Wednesday, December 11, 2013

ඇය නික්ම ගියාය

amma copy
අවසාන කටයුතු අගලිය - බද්දේගම නිවසේ සිදු කෙරෙන අතර පසුව දැනුම් දෙනු ලැබේ
පැමිණෙන ආකාරය.
කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ පැමිණ කුරුඳුගහ හැතැක්ම පිටවුමෙන් පිටවන්න
අම්බලන්ගොඩ දෙසට වමට හැරී මීටර 20 කට පමණ පසු නැවතත් වමට ගාල්ල දෙසට හැරෙන්න
යක්කටුව හන්දියෙන් නැවතත් වමට හැරී ඇත්කඳුර පසුකර කිලෝ මීටර 5.5 ක් පැමිණ තණබද්දේගම හන්දියෙන් දකුණට අගලිය දෙසට හැරෙන්න
අගලිය පාරේ කිලෝමීටර 4 ක් ගමන් කළ පසු නිවසට ලඟා විය හැකිය
නොආවා කියා තරහ වන්නේ නැත...

Friday, November 1, 2013

දැන්ම පියවරක් නොගත්තොත් මහා අනතුරක් අතලඟ

අපට බ්‍රේක් නැත… අපට බ්‍රේක් තිබුණත් ගහන්න හිතෙන්නේ නැත.. හිතෙන්නේම අනිකා ඉස්සර කරගෙන ගොස් ඉස්සරහින්ම යන්නය.. බයිසිකලේ ගියත් මොන්ටෙරෝවේ ගියත් අපට බ්‍රේක් නැත.. අප හිතන්නේ පාරේ යන්නේ අප විතරක් බවය.. මෝටසයිකල් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියාය.. ඩිංගක් බලයක් ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීයාගේ සිට ඇමතියා දක්වා හිතන්නේ උන් යනකොට අපි කාණුවලට බැහැලා උන්ට ඉඩ දිය යුතුය කියාය.
අපේ ජනාධිපතිතුමා තවත් අවුරුදු පන්දහසකට රජවෙන්න කටුනායක – පෑලියගොඩ එක්ස්ප්‍රස්වේ එක හදා නිම කළේ පැරණි රජදරුවන් අනුරාධපුරයේ සිට මාගම දක්වා හැදූ අඩි දෙසීයක් පළල ලොව පළමු එක්ස්ප්‍රස් වේ එකට නොදෙවනි වන්නට ය. වැඩේ හොඳය.. කටුනායක සිට පෑලියගොඩට නිසි වේගෙන් එනවා නම් වැය වන්නේ හරියටම විනාඩි 20 කි. නමුත් පෑලියගොඩ බෝතල් කටේ හිරවෙලා බොරැල්ලට එන්න පැය බාගයක් හෝ ඉතාමත් වාසනාවන්ත නම් පැයකට ආසන්න කාළයක් ගත වේ….
නමුත් ප්‍රශ්නය එය නොවේ… අපට බ්‍රේක් නැතිකමය. එක්ස්ප්‍රස් එකේ සීයට එන අපි පෑලියගොඩට ලංවත්ම අසූවට අඩු කළත්, අපට බ්‍රේක් නැති නිසා හැටට හැටේ ඇරලා එන්නේය. පෑලියගොඩ පාලමට එකතු වන විට අපි පෑලියගොඩ ඉන්නබව මතක් වෙන්නේ පාලමෙන් බාගයක් ගිය පසුය… නුවර පාරේ බස් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ එන්නේද හැටට හැටේ ඇරලාය.. මේ දෙකම එකතු වෙන්නේ පෑලියගොඩ පාලම මතදීය…
CKE Opening - 2013_10_27
දිනක් අපි ගාල්ලේ සිට එනවිට සුදු පැහැති මොන්ටෙරෝවක් කාණුවක් තුළ තිබුණේ කොට්ටාව ටෝල් බූත් එකේය.. එතැන නවත්තන්න අනිවාර්ය බව දැන දැනත් ඒ අහිංසකයා කාණුව වන්දනා කිරීමට සමත්ව තිබුණේ අපේ රෝඩ් ඩිසිප්ලින් එකේ ඈස් චරිය මොනවට කියාපාමිනි.
පෑලියගොඩ පාලම මහා විනාශයක පෙර නිමිත්තකි. අදින් ඇරඹෙන්නේ අනතුරු නිවාරණ මාසයයි. මෙතැන මහා විනාශයක් වන්නට පෙර කටුනායක පෑලියගොඩ එක්සිප්‍රස් වේ එකේ අවසාන කොටසේ ස්පීඩ් බම්ප් දෙක තුනක් දැමීමෙන් මේ විනාශය මඟහරවා ගත හැක
ඔබ මෙය වගකිවයුත්තන්ට පවසා ලකුණු දමාගත්තාට කමක් නැත… මට ලකුණු අවශ්‍ය නැත.. මට අවශ්‍ය අනතුරක් වලක්වා ගැනීමටය…
එක්ස්ප්‍රස්වේ එකේ රිය පදවන ඔබත් මේ ගැන සැලකිළිමත් වන්න. මෙතැන වේගය අඩාල කිරීමට මටත් මතක් වූයේ හන්දියටම පැමිණි පසුය… එය බොහෝ දෙනෙකුට එසේ වනු ඇත…
දැන්ම ක්‍රියාත්මක වන්න…. ඔබත් පරෙස්සම් වන්න.. අප සතුව ඇත්තේ, කකුල් දෙකක්, අත් දෙකක්, එක හිසක් සහ එක ජීවිතයක් පමණක් බැවිනි… අප වෙනුවෙන්, අප නිසා ජීවත්වන බොහෝ දෙනෙකු අප වටා සිටින බැවිනි.
ඔබ සැමට අනතුරු රහිත මාසයක්, වසරක්, වේවා !

Tuesday, October 29, 2013

ආණ්ඩුව මෙතරම් කාර්යක්‍ෂම නං ...... ඇයි අපි ඈස්චරිය අනාගන්නෙ ..... ?

අපේ ආණ්ඩුව තරම් කාර්යක්‍ෂම ආණ්ඩුවක් මේ ලෝකේ හතර දිග් භාගයේම නැතැයි අපේ අතිගරු ජනාධිපතිතුමා උදම් ඇනුවේ ඇස්චරියේ විහිදුම් සේලය දිගේ රේන්ජ් රෝවරයෙන් ලයිසන් නැතුව යන අතර මගදීය. ආණ්ඩුව කෙසේ වෙතත් ජනාධිපතිතුමා, ගෝඨාභය සහ බැසිල් තුන් කට්ටුව නම් අතිශය කාර්යක්‍ෂම බවට විවාදයක් නොමැත. මේ තුන්දෙනා හිටියාම ඇත්තටම ආණ්ඩුවක් අවශ්‍ය ද නැත.. මොකද කියනවා නම් අපේ රටේ 90% ක්ම පාලනය කරන්නේ මේ තුන්දෙනා නිසාය. එසේම ඒකද නියමෙටම කරනවාය.
දියත උයනට ගියාමත්, කොළඹ පැත්තේ සිදුවන දේ දිහා බැලුවාමත්, ටී එන් ඒ එකට වෙච්චි දේ ගැන සිතා බැලුවාමත් තුන් දෙනාගේම කාර්යක්‍ෂමතාවය පිළිබඳ හොඳ මිනුමක් ගත හැකිය. ඒ ගැන කතා දෙකක් නැත. ඒ වුනාට කතා කරන්න සිදු වෙන්නේ මේ හැට හුටහමාරක් ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු (නො)කරන  දේ ගැනය.
අධ්‍යාපනය දී තිබෙන දෙන්නා ඒක හොඳටම අනාගෙන කනවාය.. ආදරුශමත් උසස් අධ්‍යාපන ඇමති කැසිනෝද ගහන්න ගොස් තිබෙන බවට පුරසාරම් පවා දොඩනවාය.. මමත් දවසක් ඇට්ලැන්ටික් සිටි එකේ ට්‍රම්ප් ටවර් එකට ගොස් ඩොලර් දෙකක්  දමා ජැක්පොට් ගසා ඩොලර් පණහක් දිනා ගත්තෙමි.. එපමණය.. ඉන් පසු ජැක්පොට් ගැසීමට හිතුනේම නැත. ඒ මගේ ගැම්බිලිං කිරීමය… තව ටික දවසකින් ගණිකා වෘත්තිය නීතිගත කරන්නට නීති සැකසුනොත් මම කැසිනෝ විතරක් නොවෙයි හොඳට බඩුත් ගහලා තියෙනවා යැයි එතුමා පුරසාරම් දොඩවනවා නියතය. (අපි නොදන්නවා යෑ ඔබතුමාගෙ කළු දෙදොල් ආසාව) එතුමාගේ ගමන් සගයා මොන්ටිසෝරි ලමයින්ට පැය එකහමාරක් දේශන පවත්වා ලෝක වාර්තාවක් පිහිටවූයේ මෑතකදී ය… 2500 ට කවන්න ගිහින් අනාගත්තා මදිවට විනාඩි 10 ක අවධානයක් තියාගන්න බැරි කිරිසප්පයින්ට පැය එකහමාරක්ම දේශනයක් දුන්නේ එතුමාගේ පරිණත බව මොනවාට කියා පාමිනි.
අල්ලපු ගෙදර අමුණුගම මහත්තයා මතට තිත තියන ගමන්ම කසිප්පු නීතිගත කරන්න යෝජනා කළේද එතුමාගේ දූරදර්ශී බව මොනවාට කියා පාමිනි. අපරාදේ කියන්න බෑ ඒක නොකළත් කෙරෙනවාය. මෑතකදී ගෙන්නපු එතනෝල් තොග තවමත් ගුදම් වල ඇති බව නිකං මගේ මෝඩ හිතට සිතේ. ඒවා කසිප්පු කිරීම බොහෝ ලේසි වැඩකි….
ඛණිජ තෙල් ඇමතිවරු දෙතුන් දෙනෙක් හිටියත් ස්බ්ස්ටෑන්ඩර්ඩ් පැට්‍රෝල් තවමත් රට තුළට එනවාය… සෞඛ්‍ය ඇමති මොනවා කළත් සිගරැට් කාරයෝ දිනුවෝය… එතුමාටත් සම්මානයක් ලැබුණෝය… රටේ හාල් අතිරික්තයක් වුනත් තවමත් හාල්මිල අඩු නැත… අහ්.. ලංකාවේ ලොකුම හාල්මෝල් හිමියා අර ඉස්සෙල්ලා කියූ ඇමතිතුමාගෙ සහෝදරයා නොවැ….
ක්‍රිකට් පාලක මණ්ඩලය බිලියන ගණනක් ණය වුනත් ක්‍රීඩා ඇමතිට අවුලක් නැත… එතුමා ඒකට වගකිව යුතු නැත… මිහින් ලංකා පාඩු වුනාට අපට වගක් නැත… ඒක අපේ නොවේ නෙ…
ඉතිං මේ අපේ ඇමති මණ්ඩලයේ කාර්යක්‍ෂමතාවෙන් අංශු මාත්‍රයක් පමණයි… ජනාධිපතිතුමා කෝකටත් ඔය කතාව ලියපු එක්කෙනාගේ කණින් අල්ලා මොළය පොඩ්ඩක් තිබෙනවාදැයි හෙව්වොත් හොඳය….
නැත්තං චෝගම් සෝලිය කාලෙ නෝන්ඩි වෙන්නේ ඔබ තුමා මය..
ප.ලි. මුතුහෙට්ටිගම මැතිතුමාට අධ්‍යාපන ඇමතිකම දුන්නා නං හොඳය…. එතුමා තරං සුදුස්දෙක් ඒ සඳහා හොයා ගන්න බැරිය…
ඊ. ප. ලි. හෙට උදේට මමත් ඇස්චරියේ සේලය දිගේ කටුනායක යන්න හිතාගෙන ඉන්නවාය… හැබැයි කවුරු මොනවා කිවුවත් වැඩේ සොලිඩ් ය… අන්න එහෙමයි පාරවල් හදන්න ඕන… පාරවල් හැදිල්ල අතින් නං ඔබතුමා කාර්යක්‍ෂමය…
ඒකටත් ප.ලි. කාර්යක්‍ෂම ආයතනයකට හැට හුටහමාරක් මැනේජර්වරු අවශ්‍ය නැති බව මම ඉගෙන ගන්නා මැනේජ්මන්ට් එකේ කියා දී ඇත….

Thursday, October 17, 2013

ජින්ජර් බියර් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි…. පොලීසියට අහු වෙන්න එපා…..

පිංවත්නි…
අද මේ වප් පුන් පොහෝදා ඔබ සියළුම දෙනාට වැදගත් වෙන මට අප්‍රමාණ පින් කන්දරාවක් සිදු වෙන කාරණයක් එළි දක්වන්නයි යන්නෙ. මේ ගැම මුලින්ම  බස් රේඩියෝවෙදි කියැවුනත්, මේ පිළිබඳ වඩාත්ම උනන්දු වුනේ බස් එකේ රසික මල්ලි… ඉතිං මේ රෙසිපිය ෆාලෝ කරලා ජින්ජර් බියර් හදාගෙන සෞඛ්‍යාරක්‍ෂිත විදියට මජ්ජපමා දට්ඨානා වෙන්න කියන එක තමයි මේ උතුම් වප් පුන් පෝදා මට කියන්න තියෙන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය:
ඉඟුරු ග්‍රෑම් 20 ක් පමණ.
සීනි ග්‍රෑම් 100 ක් පමණ
යීස්ට් ස්වල්පයක්
තරමක විශාල භාජනයක් ( ලොකු බෝතලයක් නම් අගෙයි)
සිදුරු සිහින් රෙද්දක්
පිරිසිදු ජලය
හොඳින් කට තද කළ හැකි බෝතල කිහිපයක්.
සාදන ක්‍රමය:
මුලින්ම ඉඟුරු ග්‍රෑම් 20 හොඳින් තලා තලපයක් සේ සාදා ගන්න.
පෙර කී විශාල භාජනය උණු වතුරෙන් හොඳින් සෝදා තරමක් ජීවාණුහරණය කරගන්න. තරමක විශාල භාජනයට ඉන්පසු ජලය මිලි ලීටර 200 ක් පමණ (කෝප්පයකින් එකක්) සීනි ග්‍රෑම් 20 ක් පමණ එකට දමා යීස්ට් ස්වල්පයක් දමන්න.  ඒ භාජනය සිදුරු සිහින් රෙද්දෙන් වසා දින දෙකක් පමණ තබන්න. එසේ වසා තබන්නෙ මැස්සන් බිත්තර දැමීමෙන් වලක්වා ගන්න.. නැතිනම් සමහරවිට දිලීර සහ පණුවො බොන්න පුළුවන් වේවි.
දින දෙකකට පසු සෑම දිනකම මේ ද්‍රාවණයට සීනි ග්‍රෑම් දෙකක් සහ යීස්ට් ස්වල්පයක්  බැගින් එකතු කරමින් යීස්ට් වලට ආහාර දීමේ ක්‍රියාවලිය දින 10 ක් පමණ සිදු කළ යුතුය. මේ කාළය තුළ එම භාජනය තුළ දිලීර (පුස්) සෑදී ඇත්දැයි ප්‍රවේශමෙන් සොයා බැලිය යුතුය. එසේ දිලීර සෑදි ඇත්නම් එය වහාම ඉවත දමා තැවතත් අළුත් ද්‍රාවණයක් සාදා ගත යුතුය. ආර්ද්‍රතාවය සහ උණුසුම වැඩි ඝර්ම කලාපීය රටවල මේ තත්ත්‍වය වැඩි වශයෙන් දැකිය හැකි නිසා මේ පිළිබඳ සුවිශේෂ අවධානයක් යොමු කළ යුතුය.
මෙසේ දින දහයයක් පමණ ආහාර දීමෙන් පසු, අදාල ද්‍රාවණය බෝතල කිහිපයකට පුරවා බෝතලයෙන් 2/3 ක් පමණ වන්නට ජලය පුරවා හොඳින් වසා තබන්න. බෝතලය තුළ යීස්ට් මගින් සීනි ජීර්ණය වීමේදී කාබන් ඩයොක්සයිඩ් සෑදෙන නිසා බෝතලයේ ඇතුලත පීඩනය අධික විය හැකිය. සමහර විට බෝතල් පුපුරා යාමකට ලක් විය හැකි නිසා මේ බෝතල කාඩ් බෝඩ් පෙට්ටියක දමා නිවසෙන් පිටත තැබීම ශරීරයට සහ නිවැසියන්ට හිතකර වීමට පුළුවන. නමුත් සුවඳට සතුන් මේ කරා ඇදෙන්නත් පුළුවන. ඒ ගැනත් පරෙස්සම් වෙන්න.
සතියක් පමණ මෙසේ තැබූ බෝතල්, නොසොල්වා ප්‍රවේශමෙන් විවෘත කළ යුතුය. මේ වන විට බෝතල අධික පීඩනයක් තුළ ඇති නිසා සෝඩා බෝතලයක් විවෘත කළ අවස්ථාවේ මෙන් පෙණ නැගීමක් දැකිය හැකි වනු ඇත. එවිට පිටතට පැමිණෙන පෙණ සහ බෝතලයේ අඩංගු දෑ සියල්ල වෙනත් භාජනයකට දමා ගැනීමෙන් අපතේ යාම වලක්වාගත හැක.
ginger-beer-concentrate-1
ඉන්පසු හොඳ බයිට් එකක් උයාගෙන, හොඳ මිතුරු සමාගමයක් ඇති විටෙක පානය කිරීමෙන් වා පිත් සෙම් ආදී සියල්ල සමනය වී බාර් හිමියාට වැයවන රුපියල් සිය දහස් ගණනක් නිවසේම ඉතිරි කරගෙන සෞඛ්‍යාරක්‍ෂිත ජින්ජර් බියර් පාවිච්චියේ වාසනාව ඔබට ලැබෙනු ඇත…
ඔබ සැමට සුපින්වත් වප් පුන් පෝයක් වේවා !

Saturday, October 12, 2013

සියක් ආයු ලැබ... මගෙත් ආයු විඳ..... මටත් වඩා කල්... ඔබ ජීවත් වේවා... !

දියවැඩියාවට ඉංගිරිසියෙන් කියන්නෙ Silent  Killer කියලා. වෙනත් කිසිම කාරණයක් නිසා නොවෙයි... ඒ දියවැඩියාව වැළඳෙන්නෙත්, පැතිරෙන්නෙත්, කෙනෙකුගේ ජීවිතය බිලි ගන්නෙත්, හැමෝටම හොරෙන් නිසා... සමහරු තරුණ කාළයේ - මැදි වයසේදී පාලනයක් නැතිව ආහාර - සහ ආහාර නොවන දෑ ගැනීම නිසා දියවැඩියාව වැළඳෙනවා. තවත් සමහරුන්ට පවුල් පසුබිම - ජානමය හේතු කාරණා, තවත් සමහර අයට මේ දෙකම නිසා... නමුත් මේ රෝගය වැළඳුනාට පසුව නැවත ආපසු යනවා බොරු... එසේ ගියත්, ඒ මුල්ම අවස්ථාවෙදි විය යුතුයි. ඒ වුනත් එදා ඉඳලාම ආහාර පාලනයෙන් හෝ මේ රෝගය වැළඳීම නවත්වාගන්න වෙනවා. මේ නිසායි අපි බොහෝ දුරට බොහෝ දෙනාට කියන්නෙ දැන්ම ඉඳලාම ආහාර පාලනය, නිසි ලෙස ව්‍යායාම කිරීම ආදිය සිදු කිරීම මගින් දියවැඩියාව වැලඳීම වලක්වාගන්න කියා. දැනට සිදු කර ඇති සමීක්‍ෂණ ඇසුරින් කියවෙන්නෙ 2020 වනවිට ලාංකීය ජනගහනයෙන් 50% - 65% අතර ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙන්නට හැකි බව.ඒ කියන්නෙ ජනගහනයෙන් (මිලියන 22 කින්) හරි අඩක්. හාමුදුරුවරුන්ට නම් දැන්මම ආහාර වට්ටෝරුවක් නියම කරලා. නමුත් සාමාන්‍ය ජනතාවට එහෙම නියම කළාට කයිද ? එපමණක් නම් මදෑ... දරුවනුත් මේ තත්ත්‍වයට පත් වෙනවා...
ලෝකෙ වටේ කරක් ගහපු මම නැවත ලංකාවට එන්න හේතු වුනෙත් දියවැඩියාව. මට වැළඳීම නිසා නොවෙයි.. මගේ මවට දියවැඩියා තත්ත්‍වය උත්සන්න වීම නිසා. හැමදාම කතා කරද්දි බෙහෙත් ගත්තද ? කෑම හරියට කෑවද කියලා ඇහුවත්, හැමදාම ඔව් කියපු ඇය, කියපු දේ කරලා නැති බව දැනගන්නකොට දියවැඩියා තත්ත්‍වය සෑහෙන ඔඩු දුවලා අවසානයි. මේ නිසාම ඇය තවත් කළක් ජීවත් කරගන්න අවශ්‍ය නිසාම බටහිර වූ දෑ සහ අනාගතය පසෙක ලා නැවත ලංකාවට අප පැමිණියේ අප්‍රේල් මස මුලදී.. දැන් ඇය තරමක් ඔත්පල ව සිටියත්, දරුවන් තුන්දෙනාම ඇගේ ළඟ සිටින නිසා ඇයට සතුටුයි. කොපමණ පෙරැත්ත කළත් සතියකට වඩා කොළඹ නම් ඉන්න ආස නෑ... ඒ දෙන්නගෙම හැටි එහෙමයි.
අපි තුන්දෙනාගෙම සාර්ථකත්‍වය පිටුපස මහා පහන් ටැඹක් වෙලා ඉන්නෙ අම්මයි තාත්තයි. තාත්තා ඉස්කෝලෙ එක්කයි පොළව එක්කයි හැප්පෙද්දි අම්මා හැප්පුනේ අපි එක්ක... අපට ඉදිරිය උදා කරන්න.. අපි කරන කිසිම දෙයකින් අම්මා සෑහීමකට පත් නොවුනෙ අපට ඊට වඩා ඉදිරියට යන්න පුළුවන් බව අම්මා දැන හිටි නිසා... අම්මා ජීවත් වෙද්දි මට ආචාර්ය උපාධිය ලබා ගැනීමට හැකි වීම මගේ ජීවිතයේ ලොකුම සතුටක්...
කොහොම වුනත් දියවැඩියාවේ භයානක කමත්, නිසි ලෙස බෙහෙත් ලබා නොගැනීමත් යන දෙකෙහිම සම්මිශ්‍රණයක් නිසා දැන් ඇය බොහොම අබලන්. මාසෙකට සැරයක්වත් කරාපිටියෙ රෝහලේ 17 වෙනි වාට්ටුවට නොගියොත් වාට්ටුවෙ මිසීලත් බලනවලු මොකද කියලා.. ඇයට ඒ තරම් රෝහල පුරුදු වෙලා.
අම්මා වෘත්තීය ආයුර්වේද වෛද්‍යවරියක් නොවුනත්, පාරම්පරිකව හිමි වුන ඖෂධ වට්ටෝරුවක් අනුව ඇය සෙංගමාල රෝගීන් දාහක් පමණ ජීවත් කරවලා තිබෙනවා. සමහරු හොඳ කරන්න අමාරුයි කියා රෝහලින් නිවසට පිටත් කරපු මිනිස්සු... ඒ පිනෙන්ම අම්මා තව දිගු කළක් ජීවත් වෙනවා. ඒත් ඇගේ සෞඛ්‍ය තත්ත්‍වය නම් ඉතින් තරමක් ඉහළ පහල යනවා. සමහර දවසකට බොහොම හොඳයි.. තාත්තා නිරන්තරයෙන්ම ඇය සමඟ සිටින නිසා ඇයට ඒ තරම් අපහසුවක් නැහැ.. දරුවන් වශයෙන් අපි තුන්දෙනාම කළ හැකි සෑම දේම කළත්, නෑයින්ට නම් ඒකත් ප්‍රශ්නයක්. සමහරු දරුවො සළකන්නෙ නෑ නේද කියා මේ ලෙඩ වෙලා ඉන්න මනුස්සයගෙන් අහනවලු... තාත්තා මාව වැලැක්වුවේ නැතිනම් ඥාති සබඳතාවයන් එතැනින්ම නවතන්නයි මම නම් සූදානම් වුනේ.. වේයොන්ගෙන් බේරුණත් නෑයොන්ගෙන් නම් බේරෙන්න අමාරුයි. තවත් සමහරු කියනවා නංගිට කරන රැකියාව නවත්වලා ඇය බලාගන්න යන්නලු.. අපේ නංගිට අම්මගෙ කකුලක්වත් හොළවන්න පුළුවන් නම් පුළුවනි..  මේ නිසාම අපි අම්මාගෙ තනියට සහ ගෙදර වැඩකටයුතු බලාගන්න අපේම ඥාති අක්කා කෙනෙක් සහායට ගත්තා. දැන් නම් තත්ත්‍වය සතුටුදායකයි. හැම සති අන්තයේම ඇය බලන්න යන නිසා ඇයටත් සිතට සනීපයි.
ඉතිං මමත් දැන් බොහොම කාර්ය බහුලයි. අළුත් රැකියාවත් සමඟ ගෙදර ඉන්න ඇති වෙලාවත් සීමිතයි. වගකීම් වැඩි වෙනවිට ඉටු කළ යුතු කරුණා කාරණා, බැලිය යුතු වපසරිය ආදියත් වැඩි වෙනවා. මේ නිසාම බ්ලොග් එකට ඇති අවධානයත් අඩු වෙලා. කාලෙකට පස්සෙ අද තමයි යමක් කුරුටු ගාන්නවත් වෙලාවක් ඉතිරි වුනේ.
බ්ලොගය අතරමං කරලවත්, අතෑරලා වත් නෑ.. කෙටුම්පත් කළ ලිපි ගණනාවක් තිබෙනවා... ඉඩ ඇති විදියට සම්පූර්ණ කර පළ කරන්නම්... ඉඳලා හිටලා ඇවිත් යන්න..
බස් රේඩියෝවෙ කළ සංවාදය තවම වැඩකටයුතු අවසාන වෙලා නැති හැඩයි... වැඩ අවසාන වුන පසු බ්ලොගයේ පළ කරන්නම්.. කට්ටියට අහන්න...
මේ ඉන්නෙ ආච්චියි සීයයි කතරගම ගිහින්... මුණුබුරා එක්ක....
_MG_8088
ඉතිං... ගිහින් එන්නම්...
සියක් ආයු ලැබ... මගෙත් ආයු විඳ..... මටත් වඩා කල්... ඔබ ජීවත් වේවා... !

Friday, September 6, 2013

මා ආ මග දිගේ ඇවිත් බස් එකට ගොඩ වෙන්න...

maa-aa-maga-piyalදැනටමත් ඔබ දන්නවා ඇති.. ආයෙමත් මම බස් එකට නගින්නයි යන්නෙ...
මේ වතාවෙ යන්නෙ මා ආ මග දිගේ දුලිප් සිකුරාට අඳී (හරිද මන්දා) හෙවත් ඕනයා එක්කයි...
දැන් නම් බ්ලොග් එක ලියන්න වෙලාවක් නෑ.... අධික වැඩ....
ඒ මොකද කියලා අහලම බලමු...
එන්න ඉරිදා හැන්දෑවෙ 8.30 ට... බත් කටක් කාලා බුලත් විටක් හපලාම පරිඝණකය ඉස්සරහ වාඩි වෙමු.... පැය දෙකයි කිවුවට කීය වෙනකල් යයිද මන්දා....
කොහොම වුනත් මොනවා වුනත් ඉරිදා හැන්දීවෙ හමු වෙමු.

Saturday, August 10, 2013

කිරිපිටි බොන්න ඕනමද ?

කිරි තියෙනවද ?
ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටිවල ඩයිසයනමයිඩ් (dicyanodiamide - ඩයි සයනො ඩයිඒමයිඩ් ) තිබෙනවාලු. ඒ මදිවට බොටුලිනමුත් තිබෙනවාලු. මේ නිසා ආණ්ඩුවේ සම-හරක් සහ වෙනත් සම-හරක්, මෙයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධාකාර තර්ක ගෙන එනවා. රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න උදවිය පවා රසායනික විද්‍යාඥයින් වෙලා විවිධාකාර දෑ පත්තරවලත්, බ්ලොග් අවකාශයෙත් ගෙනහැරපාමින් තම තමන්ගේ මතය තහවුරු කරන්න උත්සාහ කරනවා....
dicyanodiamide
dicyanodiamide
මම කිරිපිටි පානය නවත්වලා බොහෝ කල්. මම උදේට පානය කරන්නෙ වතුර වීදුරුවක් පමණයි. ඉන් පසු පළතුරු යුෂ වීදුරුවක්. ඒ මගේ සහ මගේ පවුලේ දින චර්යාව. උදෑසන තේ එකක් නොබිවුවා කියලා දවස කඩා වැටෙන්නෙ නැහැ.. අපි කාගෙවත්....
කිරි බොන්න අවශ්‍යම නම් හරකෙකුගෙන් දොවා ගත් නැවුම් කිරි උණු කරලා බීම තමයි හොඳම - ඒ මගේ මතය. පිටිකිරිවල තිබෙන්නෙ ඇත්තෙන්ම පෝෂණය අඩු,  විජලිත කිරි. මේ කිරිවලට විවිධාකාර පෝෂණ ද්‍රව්‍ය එකතු කරන්නේ අගය වැඩි කර ගන්න. සමහර වෙලාවට මේ කිරිපිටි වලට ආගන්තුක ද්‍රව්‍ය එකතු කරනවා. ඒ තමන්ගේ කිරිපිටිවල පෝෂණ ගුණය අනෙක්වාට වඩා ඉහළින් පවත්වා ගන්න. ඩයිසයනමයිඩ් ගැන ඇත්තෙන්ම ලොකු සොයා බැලීමක් මම කළේ නැහැ. මට ඒ ගැන වෙලාව නැති නිසා. අනික ඉතින් මේ ඕනතරම් දේවල් ලියැවිලා තියෙන්නෙ... කෙසේ වුනත් මගේ මතය නම් අපට කිරිපිටි අත්‍යවශ්‍ය නැහැ. එයින් පොකට්ටුවට සහනයක් ලැබෙනවා පමණක් නොවෙයි, අනවශ්‍ය දේවල් ඇඟටත් හිතටත් වැටෙන්නෙ නැහැ.
සතියක් කිරිපිටි නොබී බලන්න.... සතිය අල්ලගෙන යන්න පුළුවන් නම් තවත් සතියක් යන්න... මාසයක් යද්දි වෙනස තේරෙයි... ඒ ඉතිරි කරගන්න මුදලින් දෙහි ගෙඩි ටිකක්, ලෙමන් ගෙඩි ටිකක් ගෙදර අරන් ඇවිත් උදේට මිරිකගෙන බීලා බලන්න... පොල් කෑල්ලක යුෂ බිවුවත් කමක් නෑ... සමහරවිට  පුරුදු වුනාම හරි යාවි. පුරුදු වීමයි අමාරු....


Tuesday, July 30, 2013

ස්වභාවික වරණය මිනිස් සමාජයට බලපෑම හෙවත් මාලකට ගහලා ඕයි...

පරිසරය - සොබාදහම මහා පුදුමාකාර දෙයකි. අවශ්‍ය සියල්ලම එතැන ඇති අතර - අනවශ්‍ය සියල්ලත් එතැනම ඇත. සියල්ල සමබරව හෝ එක් පැත්තකට තරමක් බරව පවතී, කාළයකදී බරවන පැත්ත තවත් කාලයකදී සැහැල්ලු වී අනෙක් පැත්තට බර වේ. ඕනෑම දෙයක සාමාන්‍ය ස්වභාවය මෙයයි. කෑළයක මුවෝ වැඩි වන්නේ විලෝපිකයින් අඩු වන විටය. කැළයක කොටියෙකු දෙන්නෙකු සිටින විට ඉබේම මුව ජනගහනය පාලනය වේ. ඇමරිකාවේ කැළෑවල කොටි නැත. එම නිසා සෑම වසරකම දඩයම් කාලයේදී අදාල ප්‍රාන්තයේ මුව ගහණය පිලිබඳ ඇගයීමක් කර, එක් දඩයක්කරුවෙකුට දඩයම් කරගත හැකි මුවන් ගණන දක්වනු ලැබේ. අදාල මුවන් සංඛ්‍යාව දඩයම් කරගන්නා ඔවුහු, නීතියට ගරුකරමින් සහ ස්වභාදහමට ගරු කරමින් සිය කටයුත්ත නිමා කරති. ඒ විනය සහ සදාචාරයයි.
මේ ආකාරයෙන් ස්වභාවික පාලනයකට යටත් නොවන අවස්ථාවක කෘත්‍රිම පාලනයක් මගින් සොබා දහමේ සමබරතාවය තුලනය කරනු ලබයි.
මිනිස් ජනගහනය ද කිසියම් ආකාරයකට මේ අයුරින් පාලනය වුවත්, නවීන ලෝකයේ වූ පහසුකම්, රෝහල් සහ වෛද්‍ය පහසුකම්වල ඇති දියුණුව සහ ස්වභාවික විපත්වලින් සිදුවිය හැකි හානිය කල්තියා දැන ගැනීමට හැකිවීම වැනි දෑ නිසා මිනිසුන්ගේ ආයුකාලය දීර්ඝ වීම සහ මරණ අනුපාතිකය අවම වී ඇත. නමුත්, ඒ හා සමානව උපත් අනුපාතිකය අඩු නොවීම නිසා සෑම තත්පර 13 කට වතාවක්ම ලෝකයේ ජනගහනය එකකින් වැඩිවන බව සොයාගෙන ඇත.
මේ සමතුලිත තත්ත්‍වය තුළ අප සමාජයේ විවිධාකාර මිනිසුන් දැකිය හැකිය. උගතුන්, බුද්ධිමතුන්, මෙන්ම නූගත් මුග්ධ-අවිචාරවත් මිනිසුන් අනන්තවත් දැකිය හැකිය. උගතුන්ගෙන් අනූන - විනයගරුක පිරිසක් සහිත සර්ව සම්පූර්ණ සමාජයක් අපට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය : බලාපොරොත්තු නොවිය යුතුය. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අගය ද වැඩි වේ. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අවශ්‍යතාවය ද වැඩි වේ. සමහර සමාජයන් උගතුන් වැඩි අතර තවත් සමහර සමාජයන්ගේ නූගතුන් වැඩි වේ. මේ උගත් - නූගත් සහ විනයගරුක - අවිචාරවත් මිනිසුන්ගේ  අනුපාතය අනුව සමාජයේ ප්‍රගමනය තීරණය වේ. සුදනන් සහ දුදනන් අතර සම්බන්ධතාවය ද මේ හා සමාන වේ. 
පසුගිය වසර 30 කට ආසන්න කාළයක අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අත්වින්දේ යුද්ධයයි. කොටින්ම කියතොත් අප සියළුම දෙනා අඩු වැඩි වශයෙන් සිටියේ යුධ මානසිකත්‍වයකයි. දෙනෝ දාහක් ඉදිරිපිට ජනාධිපති උපදේශක කෙනෙක් සහ අධීක්‍ෂක මන්ත්‍රී කෙනෙකු වෙඩිතබා ගත්තේ (ද කියා මට නම් මතක නැත) ද, ප්‍රාදේශීය සභා සභාපති කෙනෙකු සුද්දියෙක් විසින් දූෂණය වුනේද, හිටපු ප්‍රාදේශීය සභා අතකොට සභාපති කෙනෙකු දෙනෝදාහක් ඉදිරිපිට වතු අධිකාරීවරයෙකුගෙන් මැරුම් කෑවේද, පලාබබා කෙනෙකු ගුරුවරියක් ඉදිරිපිට දණ ගැසුවේද සහ වෙනත් අනන්තවත් උදාහරණ ඇත්තේ ද මේ පශ්චාත් යුධ මානසිකත්‍වය අඩු වැඩි වශයෙන් අප තුළ ඇතිවීම නිසායි. මේ කරුණු කාරණා යුද්ධය ඇති කාළයේ ද සිදු වුවද, යුධමය ප්‍රවෘත්තිවලට වැඩිපුර අවධානයක් යොමු වීම නිසාම, මේ කරුණු යටපත්ව ගොස් තිබෙන්නට ඇති බව මගේ හැඟීමයි. කෙසේ වුවත්, යුද්ධය නිමාවීමත් සමඟම මේ කරුණු දැන් දැන් ඉස්මතු වීමට පටන්ගෙන තිබෙනවා.
අප මොන දහම අනුගමනය කළත් සොබා දහමේ ඇත්තේ සමබරතාවය පිළිබඳ නීතියයි. එනම් ධන-ඍණ නීතියයි. සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇතැයි නිවුටන් සොයා ගන්නට පෙර එය සොයා ගත්තේ පැරණි ඍෂීවරුන් විසිනි, ඒ සොබාදහම නිරීක්‍ෂණය කිරීමෙනි. ද්විත්වභාවය නොහොත් Duality යන්නෙන් හඳුන්වන්නේ එයයි. කෙසේ වුවත්, හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් සමාජයේ තිබිය යුතුය. විභාගයක සමතුන් තීරණය වන්නේ අසමතුන් ඇති විට පමණයි. ප්‍රගමනය වන සමාජයක උගතා - දක්‍ෂයා ඉදිරියට යා යුතුය. සමාජයේ යහ පැවැත්ම තීරණය වන්නේ හොඳ වැඩි වූ විටය. නරක වැඩි වූ විට සිදු වන දේ දැන් දැන් අපට අප රටේදීත්, වෙනත් රටවලදීත් හොඳින්ම පෙනෙන්නට ඇත. සතුන්ට සිතිය නොහැකි නිසාම - උන් ස්වභාවික වරණය මගින් පාළනය වේ. බලවතා විසින් දුබලයා සිය ග්‍රහණයට නතු කරගැනීම - ආහාරයට ගැනීම සිදු වේ. එසේම - බලවතුන් වැඩි වන්නට වැඩි වන්නට උන් උන් අතර සිදුවන සටනින් ඒ අවස්ථාවේ වඩාත්ම බලවතා ජය ගනී.
කෙසේ වුවත් බොහෝ විට මිනිසා බුද්ධිමත් (යැයි කියන) නිසාම, මේ ස්වභාවික වරණය  කිසියම් ආකාරයකට මැඬපැවැත්වී ඇත. නූතන සමාජයේද බලවත් විසින් දුබලයා පාගා දැමීම සිදු වුවත්, නීතිය - යම් තාක් දුරට හෝ ක්‍රියාත්මක වන විට දුබලයාට යම් සහනයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත. මෙය සභ්‍ය සමාජයක ලක්‍ෂණයයි. කෙසේ වුවත් බලවතාට නීතිය එක ආකාරයකිනුත් දුබලයාට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වීම අද දැකිය හැකි ලක්‍ෂණයක් වීම නීතියේ ආධිපත්‍යයට එල්ලවන ප්‍රධාන අභියෝගයයි. එය ද අප හොඳින්ම අත්දැක්කෙමු.
නමුත්, කවදා හෝ මේ තත්ත්‍වය වෙනස් විය යුතුය - වෙනස් වීමට ඉඩ ඇත. ලෝකයේ බොහෝ බලවත් රාජ්‍යයන් බිඳ වැටුනේ නොසිතූ ආකාරයටය. එක්කෝ සිවිල් යුද්ධයකින්, එක්කෝ කුමන්ත්‍රණයකින්, නැතහොත් නායක කාරකාදීන්ගේ ස්වභාවික/අස්වාභාවික මරණයන්ගෙන්, පිටරට ආක්‍රමණයන්ගෙන්, ස්වභාවික විපතකින්, ආදී මෙකී නොකී කිසියම් ආකාරයකින් මේ ආධිපත්‍යයන් බිඳ වැටිය හැක. සමතුලිතව- සමබරව පවතින තාක්කල් එම පද්ධතියේ ශක්තිය අවමව පවතී. අවම ශක්තියක පවතින පද්ධතියක් ස්ථායීතාවයෙන් වැඩි වේ. අසමතුලිතතාවය කෘත්‍රිමව පාලනය කළ හැකි සීමාවක් තිබේ. ඒ පද්ධතියට දරාගත හැකි ශක්තිය ඉක්මවා යනතෙක් පමණි.
ගොරකා ගසට හෙණ ගසා ඇත. එය පැණි වරකා ගසක් නොවීම නිසා බොහෝ දෙනෙකු ඇත්තෙන්ම හිත යටින් සතුටු වන බව පෙනේ. එය ලියා රඟ දැක්වූ නාටකයක්දැයි අප තවමත් නොදනිමු. මේවායේ යටි අරුත් එළියට වන්නේ බොහෝ කළකට පසුව නිසා මේ සිදුවීම සිදු වූයේ ඇයිදැයි තවමත් අවසාන නිගමනයකට පැමිණීම මෝඩකමකි. නමුත් මෙයින් සමාජයට වැදගත් පණිවුඩයක් දී තිබේ.

ස්වභාවික වරණයේ විලෝමය
ස්වභාවික වරණයේ විලෝමය

මේ පණිවුඩය භයානකය. අපට නොව - ඉහළ වැජඹෙන්නන්ටය.

Friday, July 26, 2013

යකෝ මගෙ සුරේ..... උඹ මාව කෑවා.... (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

මේ දවස්වල සිද්ධ වෙන්නේම අඥ්ඤකොරොස් ජාතියේ සිදුවීම්යැ.. යන්නෙ නෑ යන්නෙ නෑ කිය කියා හිටි දයාසොරි ලමයා ද ආයෙම මහගෙදර ගියේ ලොක්කාගේ (මං කිවුවෙ ලොක්කෝ දෙන්නාගෙම) බලාපොරොත්තු මල්පල ගන්වමින් යැ.. ඔය අල්ල පනල්ලේ දේශපාලන කතා බල බලා හිටි මට දන්නෙම නැතුව නින්ද ගියේ පුටුවක් උඩමයැ. හීනෙන් ඇවිදින - හීනෙන් ටයිප් කරන - හීනෙන් දොරවල් ඇරගෙන අනුන්ගේ ගෙවල්වලට යන - හීනෙන් ඇවිදගෙන ගොස් ශීතකරණයට චූ කරන ආදී හීනෙන් යන ප්‍රශ්න මටත් තිබෙන නිසාම.. කොහොම ඇඳට ගියා දැයි මමම දන්නේ නැතියැ..හීනය කොයි වෙලාවේ දැක්කා දැයි නිනව්වක් නැතියැ. සිදුවීම මෙසේ යැ.මම ඒ වෙලාවේ හිටියේ අරලියගහ මන්දිරයේයැ. මම ඒ වෙලාවේ හිටියේ මහින්ද අයියා ලඟමයැ. අපි දෙන්නා කුමක් හෝ බරපතල යමක් ගැන කතා කරමින් සිටියෙමුයැ. ඇල්කෙමිච්චි සහ පැටියා හිටියේ ශිරන්ති අක්කාගේ කාමරයේයැ.ශිරන්ති අක්කා මොකද්දෝ මසමින් මැසිම ලඟ හිටියායැ. අපි ඒ තරමට සමීප පවුල් දෙකක් බවට පත් වී සිටියේ කෙසේදැයි මටම හිතාගත නොහැකි වියැ.Sri Lanka's President Mahinda Rajapaksa speaks during a meeting with foreign correspondents at his office in Colomboඔය අල්ලපනල්ලේ මහින්ද අයියාගේ අතේ තිබුණ සුරය කෙසේ හෝ මගේ අතට ඇවිල්ලා තිබුණේයැ. මමත් මේ සුරය සමඟ සෙල්ලම් කරමින් නොදැනුවත්වම ඒක මගේ නළලේ අතුල්ලාගෙන ඇත.. (අම්මපා මටත් වෙන වැඩ නැති හැටි. - හීනෙන් වුනත් මහින්ද අයියගේ සුරේ මගේ නළලෙ අතුල්ලා ගන්න.....)


මහින්ද අයියාට මළ පැන්නේ මෙන්න මේ වෙලාවේය...

"යකෝ මගේ සුරේ.." මහින්ද අයියා ම‘වෙත කඩා පැන්නේ හිඩ්න් ඩ්‍රැගන් වෙත පනින ක්‍රවුචින් ටයිගර් කෙනෙක් මෙනි...president_mahinda_rajapaksa"කෑවා... කෑවා... ශිරන්තිටවත් අල්ලන්න දුන්නෙ නැති සුරේ, " කියමින් මහින්ද අයියා සුරේ අල්ලා පොලවේ ගැසුවේයැ.

සුරේ අම්බ්‍රෙල්ලා පවුඩර් වී ගියේයැ....

සුරේ තුළ තිබූ රතු පැහැති ජුජුස් කෑලි ටිකක් පොළවේ විසිරී ගියේයැ...මම හිතුවේ ඒවා රතු මැණික් කියායැ... නැත නැත.... ඒවා සූටි සූටි හාට් ශේප් ගල්කැට වැනි යමකි...

"බුදු අයියේ... මම හිතලා කර දෙයක් නෙවෙයි..... සමාවෙන්න... මේ ඩෙංගු මදුරුවෙක් ද කොහෙද මාව කෑවා... ඒකයි නළල කැහැවුවෙ....."

"මලේ... උඹ හින්දා සමාව දෙනවා... වෙන එකෙක් නං දනී කරන දේ... හරිය ?."

"හැබෑට මක්කැයි මේ සූටි සූටි හදවත් ? හැත්තෑවක්ම විතර ?"

"හැහ්...හැහ්.. උඹ ඒකවත් දන්නෙ නැතෙයි ?" මහින්ද අයියා සුපුරුදු දකුණෙ බාසාවෙන්ම ඇසුවේයැ.sri-lanka's-president-mahinda-rajapaksa-smiles-during-a"යකෝ... මේ තියෙන්නෙ හෘද සාක්කි.. බං. හෘද සාක්කි."


"අහවල් එකාලගෙයි ?"

"අනේ...තොත්ත බබා...... උඹ ඒකවත් දන්නෙ නැ‍තෙයි ?""මොකෝ අනේ හිනාවෙන්නෙ හීනෙන් ? "

"අපි ඉන්නෙ අරලියගහ මන්දිරේ නෙවෙයිය ?"

"මොන අරලියගහ මන්දිරයක්ද ? මේ ඉන්නෙ අපේ ගෙදර...."

"මේ.... මම ම ද ?"

"ඔව් ඔව් වදේ... ඔයාම තමයි... වෙන කවුද ?"

"මල ඉලව්වයි..... ඔයා නැගිට්ටවලා මට මහින්ද අයියගෙන් ඒ කාගෙ හෘදය සාක්කියද කියලවත් අහගන්න බැරි වුනා.... හීනෙන් වුනත් බොහොම වැදගත් කාරණයක්...."

අනේ මේ...නැගිටලා උදේට උයන්න පොල් ටිකක් ගානවා... මගුල් දේශපාලන වැඩසටහන් බලලා නිදාගෙන... මෙතන එනවා විකාර කතා කරන්න.....

Wednesday, July 24, 2013

දයා සිරි - ඔයා හරි

හිතවත් දයාසිරි,
හිතවත් දයාසිරි කිවුවෙ තමුන්නාන්සෙ අපේ අයියගෙ යාළුවෙක් නිසා. ඉතිං තමුන්නාන්සෙත් අපට පුක පෙන්නලා අනිත් පැත්තට පැන්නා නෙ.  පාරෙ ඉඳලා බස් එකට නැගලා අමූලික බොරු කියලා අපෙන් කීයක් හරි කඩාගන්න හිඟන්නෙකුට වඩා වෙනස්කමක් මම දේශපාලනඥයෙකුගෙන් දකින්නෙ නැති නිසා තමුන්නාන්සෙ ආණ්ඩුවට නෙවෙයි, එල් ටී ටී ඊ එකට එකතු වුනත් අරුමයක් නෙවෙයි. අපි දන්නවා තමුන්නාන්සෙ රනිල්ට වලි දැම්මා තමයි. ඒ පක්‍ෂය දියුණු කිරීම කියන බැටළුහම පොරවගෙන තමුන්නාන්සෙට තැනක් ගන්න තමයි කියලා දන්න මිනිස්සු දන්නවා. රනිලුත් දන්නවා - මහින්දත් දන්නවා. ඒත් අපේ ජරා ගතියට ඒ කිසිම දෙයක් නොදන්න ගානට අපි ඉන්නවා. ඕකම තමයි අපට කෙළවෙන්න ප්‍රධාන හේතුව. තමුන්නාන්සෙට ඔතැන කිසිම තැනක් ලැබුණෙ නැති නිසා දවසක් හොටු පෙරාගෙන ඇඬුවත් නෙ... ඒ ඔක්කොම දැන් ඉවරයි.
මෙච්චර කලක් තමුන්නාන්සෙ ආණ්ඩුවටයි මහින්දටයි පලු යන්න බැණ බැණ හිටියා. දැන් තමුන්නාන්සෙ ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න කියලා කොහොම කොහොම හරි ආණ්ඩුවට ගොඩ වුනා. තමුන්නාන්සෙ හරි. එජාපෙ කියන ගිලෙන නැවේ ඉඳගෙන ආතක් පාතක් නැතුව ඉන්නවට වඩා, කෝටි විසිපහකට ආත්ම ගරුත්‍වය පාවා දුන්නා කියන ලේබලේ ගහ ගත්තත්, පලාබබා මැතිවරණෙ ආවම තමුන්නාන්සෙට බැණපු එවුන්ම මල් මාලා දාලා පිළිගන්නවා. අපේ හැටි එහෙමයි අනාගත මහ ඇමතිතුමා... අපේ එවුන්ට ලැජ්ජාවක් නෑ.. උන් ලැජ්ජ බිමින් තියන්න හරි දක්‍ෂයො..
ඉතිං තමුන්නාන්සෙ කීයක් අරන් ගියත්, මට නං ඇති ලබ්බක් නෑ... තමුන්නාන්සෙට සල්ලි ලැබුණද, බලේ ලැබුණද අරවා - මේවා ලැබුණද මට සත පහක් හම්බ වෙනවා කියලා යෑ.. ඔන්න අයියට නං මොනවා හරි සෙට් කරගන්න පුළුවන් වේවි.. පුළුවන් නං මොනවා හරි කරලා දෙන්න.. මම දන්නවා ඒ මනුස්සයා තමුන්නාන්සෙ වෙනුවෙන් ලොකු කැපවීමක් කරලා තියෙනවා. අමතක කරන්න එපා..
තමුන්නාන්සෙ මොනවා කළත් සාමාන්‍ය මිනිහට සෙතක් නෑ,..තමුන්නාන්සෙ ඔතැනට ගියා කියලා බඩු මිල අඩු වෙනවයෑ... තමුන්නාන්සෙ නඩත්තු කරන්න තව ටිකක් වැඩි වෙන එක විතරයි... අපටමයි කෙළවෙන්නෙ... තමුන්නාන්සෙ කරගන්න දෙයක් තමුන්නාන්සෙට. තමුන්නාන්සෙ විතරක් නෙවෙයි, ඔය දියවන්නා මඩ වගුරෙ ඉන්න 225 හෙන්ම අපට කිසිම සෙතක් නෑ. උන් ඔක්කොම කරන්නෙ උන්ටයි උන්ගෙ හෙංචයියොන්ටයි කොරන එක තමයි. උන්ට හේත්තු වෙලා ඉන්න කල් කිසි ප්‍රශ්නයක් නෑ... මොනවා කළත්, නීතියක් රීතියක්, සදාචාරයක් ආත්ම ගරුත්‍වයක්, හෘදය සාක්‍ෂියක් - ලැජ්ජාවක් කියන කාරණා උන් කිසිම කෙනෙකුට අදාල නෑ...
ඔයා හරි දයාසිරි...
ඔයා හරි දයාසිරි...
ඉතිං තමුන්නාන්සෙ - තමුන්නාන්සෙගෙ අනාගතය වෙනුවෙන් ගත්ත තීරණය හරියටම හරි. බුදු හාමුදුරුවෝ හරි යේසුස් වහන්සෙ හරි දේශපාලනයට ආවත් - දූෂණය, භීෂණය, ට අහු වෙන මේ සිස්ටම් එකේ පැවැත්මක් තියෙන්න නම්, හෘදය සාක්‍ෂිය බල්ලට දාලා, ලැජ්ජා නහරය කපා දමලා, මට මතක නෑ ඕයි තියරිය දාගෙන ඉන්න ඕන.. තමුන්නාන්සෙගේ ගුරුතුමා වගේම, තමුන්නාන්සෙත් ඒක හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. මට දුක ඊයෙ වෙනකල් තමුන්නාන්සෙ රටටම කොලේ වහලා අද මාරු වෙච්ච එක ගැන... ඇත්තටම තමුන්නාන්සෙට ලැජ්ජාවක් කියලා අළුක්කාලක්වත් ඇඟේ ගෑවිලාවත් තිබුණෙ නැද්ද අම්මපා ?
ඉතිං තමුන්නාන්සෙ අද ඉඳලා සත් ගුණවත් සන්ධාන දේශපාලන‍ඥයෙක්, හැබැයි තමුන්නාන්සෙට ලොකු ලොකු දූෂණ චෝදනා ගෑවිලා නැති එක ගැන මම ටිකක් ගරු කරනවා. නමුත්, තමුන්නාන්සෙ ආණ්ඩුවට ආවට පස්සෙ ඒ රෙකෝඩ් එක තියා ගනීවිද කියලා සැකයක් තියෙනවා. මොකද කියනවා නම් ඔය විපක්‍ෂෙ ඉන්දෙද්දි තියෙන මොළෙයි කොන්දයි දෙකම හැමෝම ආණ්ඩුවට ආවට පස්සෙ ගෙදර තියලා එන නිසා. දැන් බලන්න ආපු කට්ටිය කෙළින පිස්සු... උන් විතරක් නම් මදෑ.. උන්ගෙ දරුවොත් පිස්සු නෙ කෙළින්නෙ.
දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සන්ධානෙ ඉන්න 95% ක්ම ලොකු ලොක්කෝ ටික ඔරිම ජිනල් යූ ඇන් පී  කාරයෝ වීම.. ඒ විතරක් නෙවෙයි උන් ඔක්කෝම ලොවෙත් නැති පිස්සු කෙළීම... එක වෙලාවකට හිතෙනවා මේක රනිල් කාරයාගෙ ගේමක් ද කියලත්. මොකද කියනවා නම් ඉන්න ගොබිලෝ ඔක්කොම සන්ධානෙට එවලා - උන්ට කියලා පිස්සු කෙළවලා - රජය ජනතාව අතර අපකීර්තියට පත් කරවලා - ආණ්ඩුව පෙරළලා දැම්මාම... අර ඉස්සර යූ ඇන් පී එකෙන් ආපු සෙට් එක ආයෙම යූ ඇන් පී එකට යනව නෙ.. මොකද තමුන්නාන්සෙලා රෙදි ඇඳගෙන නෙවෙයි නෙ ඉන්නෙ.. ඔය සෙට් එකටම ආපහු හැරිලා යන එක මහ කජ්ජක් නෙවෙයි... ඉතිං මට හිතෙන්නෙ නම් මේක රනිල් ගෙ දීර්ඝකාලීන සැලසුමක් ( සිංහල වචනෙ අමතක නිසා Long Term Plan කියලම කිවුවා...) හැබැයි Sexual harassment එකක් කියලා නම් කියන්න අමාරුයි.... මොකද තමුන්නාන්සෙට ටික දවසකින් තේරෙයි යූ ඇන් පී  කාරයෝ තමුන්නාන්සෙට ඇරපු ඇරිල්ල හොඳයි කියලා. මොකද ඔය සන්ධාන කාරයෝ අරින ඇරිල්ලට අහු වුනොත් ඉතිං ආයෙ වැරදිලා  පුක හෝදගන්නවත් ගඟක මූදක බහිනවා බොරු.....
ඉතිං දයාසිරි, ඔයා හරි.... ඔයා හරි කියන්නෙ ඔයා ඔයාගෙ පැත්තෙන් හරි...
හැබැයි ඔයා හරි වුනා කියලා අපට සොරි වෙන එක නවතින්නෙත් නෑ... මෙච්චර කලක් ඔයා ජොනියට බැණ බැණ හිටියා.. දැන් ඔයයි ජොනියයි දෙන්නා එකට ජොනි වෝකර් එකක් ගහයි... දේශපාලනේ හැටි ඔහොම තමයි කියලා දෙන්නම හිනා වෙයි... ඔයාට දැන් අඩු ආචාර්ය උපාධියක් විතරයි... ඒකත් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට කිවුවා ම සෙට් කරලා දෙයි.. එතුමත් කියලා තිබුණෙ තමුන්නාන්සෙ ආණ්ඩුවට එනවා නම් එතුමත් සතුටුයි කියලා.. දැන් දෙන්නට ඩුවට් එකක් කියලා සී ඩී එකක් කරන්නත් පුළුවන් වේවි... විෂුවල්ස් වලට පබායි රෝසියි ගන්න... හැබෑට දැන් ඒ මනුස්සයට මොකෑ වෙන්නෙ ?
ඉතිං දයාසිරි, ඔයා විපක්‍ෂෙ ඉන්දෙද්දි ජනතාව වෙනුවෙන් කරපු අරගලේ ආණ්ඩු පක්‍ෂෙ ඉන්නකොට වඩා හොඳට කරනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අර ඉස්සර කියපු බඩු මිල අඩු කරන කතා, යහපාලනේ, ආදී ලොකු ලොකු කතා... මතකද මන්දා..
මට නං කියන්න තියෙන්නෙ එකම දෙයයි...
දයා    සිරි
ඔයා  හරි
අඬනු බැරි
අපට සොරි.


Monday, July 15, 2013

යකෝ.... තංගල්ලෙ ඉන්නෙ සුද්දියෙක් දූෂණය කර ගන්න බැරි පො**යොද ?

උදේ පාන්දරම ඇහැ ඇරුණාම ඔළුවත් ටිකක් හෝන්දු මාන්දු වෙලා වගේ... රෑ නිදි මැරුවා වැඩිද මන්දා..... කරපු මගුලකුත් නෑ... ඇඳේ පොල්ලකුත් නෑ.... ආයෙම ටිකක් නිදා ගන්න කියලා අනිත් පැත්ත හැරිලා ඇස්දෙක පියා ගත්තා විතරයි.......
එකොළහායි... දොළහායි.... දහතුනායි.....එකොළහායි... දොළහායි.... දහතුනායි. එකොළහායි... දොළහායි.... දහතුනායි. පොඩි එකා උගේ කාර් ටික දහතුනේ ගොඩවල් වලට වෙන් කරනවා.....
ජිංජි බරස් බරස් බරස්..... ඔන්න ඇල්කෙමිච්චි ද කොහෙද පොල් ගාන්නත් පටං අරං..............
බ්රූම්..... බ්රූම්..... බ්රූම්..... අල්ලපු ගෙදර මනුස්සයා එයාගේ බී එම් ඩබ්ලිවු එක රේස් කරනවා... මොන නින්දක්ද ?
ටී වී එක ඉස්සරහා වාඩි වෙලා චැනල් මාරු කරන්න ගත්තා.....
තාක්‍ෂණ විශයය අළුත් විෂයයක් ලෙසින් උසස් පෙළට එකතු කරනවලු.... උස්සවේ මහියංගනේ ලු...අනේ හොඳයි.... මොකක් හරි අළුතෙන් සිද්ධ වෙනවා... කාට හරි හරි යයි නෙ....
මාස පහක් හුලං බීලා ජීවත් වෙච්ච එකෙක් හොයාගෙන ලු.....  අනාගතේ මේක ස්ටෑන්ඩර්ඩ් එකක් වේවිද මන්දා...
මත්තලට ගුවන් යානා එන්නෙ නැතිලු.... අළුතෙන් දාපු කඩේකට වුනත් මිනිස්සු එනවා අඩුයි නෙ... ණය ටිකක් වැඩියෙන් දුන්නාම හරි යයි.
ආ... දණ ගැහුවයි කියන ගුරුතුමී එජාපෙන් ඡන්දෙ ඉල්ලන්න සූදානමක් තියෙනවලු..... එතකොට ඒ ගුරුතුමී  දණ ගැස්සුවයි කිවු හිටිවන කවියා ? එයාට නාම යෝජනා හම්බ වෙයිද ?
ඒ මදැයි... ශ්‍රී ලංකන් ගුවන් සේවයට තෙල් ගහන්න ආණ්ඩුවෙන් බේල්  අවුට් එකක් දෙනවලු..... ඔය මලදානෙ වහලා දාලා හිමින් එයා එකට ප්ලේන් ටිකත් දීලා මත්තල ප්‍රධාන ගුවන් තොටුපල කළානම්....
හැහ් හැහ්... බස් ගැමුණුවාගේ පුක බිම ඇනිලලු... බස් ඉස්ට්‍රැයික් එක ලත් තැනම ලොප් ලු... ලොකු තැනකින් ආපු ටෙලිෆෝන් කෝල් එකකින් පස්සෙ නැට්ට දෙපරංදෙ අස්සෙ ගහගෙන බස් ධාවනය කළාලු...
අන්තර්ජාලෙ පීරනකොට ඇල්කෙමියාගේ දිනපොත කියලා එකක් දැක්කා.... බැලින්නං ඒක ලියන්නෙ මම ලු...
අනේ මන්දා... අර දූෂණය වුනයි කියපු සුද්දි දූෂණය වෙලා නෑ කියන්නෙ....

wtf-what-did-i-just-watch

Monday, July 1, 2013

ඔන්න ඕකයි ඇල්කෙමියගෙ දිනපොතට වුනේ………..

ලංකාවට ඇවිල්ලා අදට මාස තුනක් ගත වුනා... ඒ මාස තුනේ ලොකු ලොකු වෙනස්කම් කිහිපයක්ම මටත් සිද්ධ වුනා... පළමු මාස දෙකේම ජීවත් වුන පුංචි අම්මලාගේ ගෙදරින් අපේම කියලා වෙනම තැනකට ගියේ ජුනි මාසෙ මුල. අපේම කිවුවට අනුන්ගෙ.. මාසික කුලිය ගෙවලා අපේම කරගත්තා. ඒ නිසා ඒ වෙනුවෙන් බඩුගන්නයි - විකුණන්නයි පොළටයි ආවේ වගේ එහේ මෙහේ ඇවිදලා අත්‍යවශ්‍ය දේවල් ගන්න.. ආදී දේ වලට පහුගිය මාසෙම මහන්සි වුනා.. රසායන විද්‍යා ආයතනයෙ සතියකට දවස් තුනක් ඉගැන්වුවට, සමහර සතිවල දවස් හතර පහ යන්න වුනා.. ඒ අතරෙ මගේ සමාජ සේවා වැඩකටයුතුත් කරගන්න ලැබුණා.
අම්මා අසනීප තත්ත්‍වයෙන් හිටි නිසා තරමක් ඒ කටයුතු වලටත් මහන්සි වුනා. ඒ අතරේ ගිය සතියෙ මිතුරියකගෙ විවාහයත්, මගේ සමීපතම මිතුරෙකුගේ මවගේ තුන්මාසෙ දානෙටත් සහභාගි වෙන්න ඉඩ ලැබුණා.
මේ කරුණා කාරණා නිසා බ්ලොග් එක ලියන එක නම් හොඳටම අතපසු වුනා. පිටස්තරයා බලපු මගේ මිතුරෙක්, “කෝ යකෝ ආගන්තුකයා ?” කියලා අහුවාමයි මට මතක් වුනේ පිටස්තරයා කතාවෙ සෑහෙන ප්‍රමාණයක් ලියලා නෑ නේද ? කියලා.. තවත් පරිඡේද කිහිපයක් ලියලා තිබුණත්, ඉදිරියේදි පිටස්තරයා පොතක් වශයෙන් පළ කිරීමේ අභිලාශය ඇති නිසාම, අවසාන කොටස් කිහිපය පළ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කළා.
පසුගිය කාළයේ ම මම ලංකාවෙදි අත්දැකපු දේ බොහෝයි.
  • වාහනයක් පදවනවා නම් ඒ පාරේ යන්නේ තමන් පමණක් බව හිතාගෙන පැදවිය යුතුයි.
  • වම දකුණ කියා බේදයක් නැත. ඉඩ ඇති තැනකින් රිංගවිය යුතුය.
  • පයින් ගමන් කරනවා නම් පදික මාරුව තිබෙන්නේ අපට මාරු වීමට නොවන බව සිතට ගත යුතුය.
  • සමාජ සම්බන්ධතා ඇතිනම් ඕනෑම දෙයක් ඕනෑම තැනකින් කරගැනීමට හැකියි.
  • මොන බලු වැඩේ කරගන්නත් හොඳින් ඇඳ පැළඳ ටයි එකක් දමාගෙන හෝ යා යුතුයි.
  • සල්ලිවලට ගත නොහැකි දෙයක් නොමැති බව බොහෝ දෙනා සිතාගෙන සිටිති. තරමකට සත්‍යය.
  • ලංකාවේ මිනිසුන් හැදීමට නොහැක. ඊට වඩා හොඳයි වඳුරන්ට අවකලනය කියලා දෙනවා...
  • ලංකාවේ 90% ක් දෙනාට විනයක්, හැදියාවක්, සාරධර්ම යන කිසිවක වගක්වත් නොමැත.
  • තව ගොඩක් දේ ඇත..... කියලා වැඩක් නැත...
මේ සියල්ල මගේ අත්දැකීම් වලින් ලබාගත් නිගමන වේ. කිසිදු නිගමනයක් එක් වතාවක අත්දුටු දත්ත වලින් ලබාගත් නිගමන නොවෙයි.. ඒ නිසා මේ ගැන ලොකු වගකීමකිනුයි කතා කරන්නෙ...
මේ ගැන වෙන වෙනම කතා කරනවා නම් සෑහෙන දිග ලිපියක් ලියන්න වේවි.
ඉදිරියේදී නම් මගේ බ්ලොග්කරණයේ අඩුවක් දකින්න ලැබේවි. මොකද කියනවා නම් අගෝස්තු මාසයේ ඉඳලා මීටත් වඩා කාර්ය බහුල වෙන නිසා.. ඒ ගැනත් පසුව කියන්නම්..
මුලදි නම් අදහසක් තිබුණා ඇල්කෙමියාගේ රසායනාගාරය වෙනම වෙබ් පිටුවකට රැගෙන ගිහින් මීට වඩා සේවයක් කරන්න.. නමුත් දැන් දැන් සිදුවන කාර්යබහුලත්‍වයත් එක්ක ඒ අදහස නම් පස්සට දාන්න වෙනවා.
ඉඩ ලැබෙන විදියට බ්ලොග් සටහන් ලියන්න අදහස් කරගෙන ඉන්නවා... බලමු...
කොහොම වුනත් මාසෙකට එකක්වත් ලියන්න බලමු....
ඔන්න ඔහොමයි ඇල්කෙමියගෙ දිනපොතට ගිය කල...

Saturday, June 8, 2013

දැඩි සුළං නිසා ධීවරයින් මරුට, ධීවර ඇමති සහ පරිසර ඇමති ඉල්ලා අස්වනු !

හිටිහැටියේම නොවුනත්, පසුගිය දින කීපය තුළ දිවයිනට දරුණු කාළගුණ තත්ත්‍වයක් ඇති වූයේ ධිවර ප්‍රජාවට සාමාජිකයින් 17 කට අධික සංඛ්‍යාවක් අහිමි කරමින්. ධීවර ප්‍රජාව මේ තත්ත්‍වයට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්නෙ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට. ඒ කල් යලා බලා අනතුරු හැඟවීමේ නිවේදන නිකුත් නොකිරීම හේතුවෙන්. රූපවාහිනි පුවතක තිබූ පරිදි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා තිබෙන්නේ දැඩි සුලං තත්ත්‍වය ආරම්භවෙලා පැය ගණනාවක් ගොස් දැඩි අනතුරු සිදු වූවාට පසු.. උදෑසන 3.00 ට අන්තර්ජාලයෙන්. මෙය ඇත්තටම ඇඟ බේරාගැනීමක් ලෙස මම දකිනවා. ලංකාවෙ වෙලාවෙන් උදෑසන තුනට අන්තර්ජාලයේ සැරිසරන්නෙ එක්කෝ නින්ද යන්නෙ නැති උදවිය, නැතිනම් රාත්‍රී සේවා මුරයන්හි යෙදෙන උදවිය. ධීවර ප්‍රජාවට අන්තර්ජාලයේ සැරිසරන්න වෙලාවක් වත් තිබුණත් හැකියාවක්වත් නැහැ. ඇමරිකාවේ කාලගුණ විද්‍යා අනාවැකි වලින් මේ බව දන්වා තිබුණත්, එය මෙතරම් දරුණු වේ යැයි සිතුවෙ නැති බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ තුමා පවසා තිබුණා.
දැන් මාස දෙකක් පමණ ලංකාවේ වෙසෙන මා දුටු ප්‍රධාන කරුණක් නම් අප බොහෝ දෙනෙක් අප කරන රැකියාවට සාධාරණයක් ඉෂ්ඨ නොකරන බව. මොනයම් හෝ ආකාරයකට යන්තම් තමන්ට කළ යුතු පමණ ඉටු කර එක්කෝ නිකං සිටීමට හෝ නිවෙස බලා යාමටයි බොහෝ දෙනෙකු ක්‍රියා කරන්නෙ. නමුත් තමන් රාජකාරිය කරන අවස්ථාවේ එයට 100% ක සාධාරණයක් ඉෂ්ඨ කරනවා නම්, අපේ රට බොහෝ දුර ගිහින්. බොහෝ දෙනෙක් නිතරම බලන්නේ මගෙන් කෙරන්න ඕන කුමක්ද යන්න නොවෙයි - මට ගන්න පුළුවන් කුමක්ද කියා. පසුගියදා පැවති පරිසර දින සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසු සිසුවියන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඊයේ පැවැත්වූ රැකියා අයැදුම්පත්‍ර සැකසීමට කියාදෙන වැඩමුළුවට සහභාගි වුනා. ඒ තමන්ගෙන් ලෝකයට සිදු වන්න තිබෙන දේට වඩා තමන්ට ගන්න තිබෙන දේ වැඩි නිසා... මෙයයි යතාර්ථය.
එසේම බොහෝ දෙනෙකු සුපරීක්‍ෂාකරීව කටයුතු කරන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් ගතහොත් අවම වශයෙන් තමන් ලියන ලිපියක හෝ වාර්තාවක නිරවද්‍යතාවය (අක්‍ෂර වින්‍යාසය හෝ ව්‍යාකරණ) පවා බොහොම සැහැල්ලුවෙනුයි ගණන් ගන්නෙ. යමක් කිරීමේදී ඉදිරිය බලා සැලසුම් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට යමක් සිදු වුනාම පැලැස්තර විසඳුමක් යොදන එකයි කෙරෙන්නෙ.. රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා දැන් දැන් පෙන්වා දුන් වැරදි පවා නැවත නැවත කරනු දකින්නට ලැබෙනවා. (ඒකට මගෙන් නම් සමාවක් නැහැ)  බොහෝ දෙනා තමන්ගෙ වගකීම  නිසි ආකාරව ඉෂ්ඨ කරන්නෙ නැත්තෙ ඇයි කියන දේ මට තේරුම් ගන්න බැහැ. නමුත් මේ ප්‍රජාවම තමන්ගෙ අයිතිවාසිකම් ලබා ගන්නට නම් නොපැකිලව පෙරට එනවා.
කොයි පැත්තද තෝරා ගන්නෙ ?
කොයි පැත්තද තෝරා ගන්නෙ ?
නමුත් මම මේ කියන්න යන්නෙ රාජකාරිමය යුතුකම් ඉෂ්ඨ කිරීම ගැනම නොවෙයි. ලෝකයට සිදු විය යුතු යුතුකම් ඉෂ්ඨ කිරීම පිළිබඳව. පසුගිය මාසය තුළ පමණක් ලෝක පරිසරය තුළ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වුනා. වායූගෝලීය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 400 ක අගය සටහන් වුනේ මැයි මාසයේදී. එසේම ඔක්ලහෝමාවල පිට පිටම සිදු වූ කුණුටු තත්ත්‍වය නිසා සියයකට ආසන්න පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙවුවා. යුරෝපයේ ඇති වූ ගංවතුර තත්ත්‍වය නිසා බොහෝ දෙනෙකු අවතැන් වී මහා දේපල හානියක් සිදු වුනා. ලංකාවේද අසාමාන්‍යා ලෙස දැඩි සුළං තත්ත්‍වයක් ඇති වූවා. මේවා කළින් කළට අසන්නට ලැබුණත්, දැන් දැන් ඉතා සුළභ කාරණා බවට පත් වෙලා තිබෙනවා. යුද්ධ කාළයේ සිදු වූ ඝාතන නිසා අපේ මානුෂිකත්‍වය සහ මෘදු බව තරමක් යටපත් වී ඇති සේම, මේ ස්වාභාවික විපත් දැන් දැන් සුළභව අසන්නට ලැබීම නිසා ඒවාත් සාමාන්‍ය දේ බවට පත් වෙමින් පවතිනවා.
නමුත් මේ හැද ඵලයකටම හේතුවක් තිබෙන බව ඔබ අප සැම දෙනාම දන්නවා. අපට මව්වරුන් දෙදෙනෙකු සිටිනවා. වැදු මහ සහ මිහි මව. වැදු මව අප කරන හැම දේම උපේක්‍ෂාවෙන් ඉවසා සිටියත්, මිහිමවට දැරිය හැකි සීමාවක් තිබෙනවා. මා පසුගියදා ලෝක පරිසර දිනයේ දේශනයකදී පැවසුවේ අපේ ලෝකයේ ජනගහන වර්ධනය අවශ්‍ය ප්‍රදාණයට වඩා ඉක්මවා ගොස් ඇති බවයි. මෙයට ප්‍රධාන හේතු වන්නේ සෞඛ්‍ය පහසුකම් සහ නවීන තාක්‍ෂණය දියුණු වීම නිසා ස්වභාවිකව පාලනය වන මරණ අනුපාතිකය අප කෘත්‍රිමව පාලනය කර තිබෙනවා. මේ නිසා ස්වභාවික උපත් ප්‍රමාණය ස්වභාවික මරණ සංඛ්‍යාවට වඩා වැඩි වෙනවා. සෑම තත්පර 13 කට වරක්ම ලෝක ජනගහනය 1 කින් ඉහළ යනවා. මේ නිසා අප පසුගිය ශතවර්ෂයට වඩා වැඩියෙන් ස්වභාවික සම්පත් සහ විශේෂයෙන්ම ඛණිජ තෙල් භාවිතය වැඩි කර තිබෙනවා. ජලවාෂ්ප, මෙතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායූන්ගෙන් හරිතාගාර ආචරණයට බලපෑම් ඇති වුවත්, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම හරහා මිනිසා විසින් සිදුකරන හරිතාගාර ආචාණය (Anthropogenic Green House Effect) වැඩි වෙමින් පවතිනවා.
මේ නිසා සිදුවන අයහපත් ප්‍රතිඵල බොහෝයි. වායුගෝලීය උණුසුම වැඩිවීම නිසා වැඩිපුර ජලවාශ්ප ප්‍රමාණයක් වායුගෝලයට එකතු වීම සිදු වනවා. මේ නිසා ඉහළ වායුගෝලය ප්‍රසාරණය වෙනවා පමණක් නොවෙයි, පෘථිවියේ සමහර ප්‍රදේශ වලට අධික වැසි ලැබීමට පටන් ගන්නවා මෙහි අනෙක් පැත්ත වන්නේ වැසි නොලැබෙන පෙදෙස් කාන්තාරකරණයට ලක්වීමයි. ධ්‍රැවීය අයිස් දියවීම, කඳුකර අයිස් තට්ටු දියවීම හරහා මුහුදට එකතුවන ජලය ප්‍රමාණය ඉහළ ගොස් මුහුදු මට්ටම ඉහළට යනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වෙන්නේ මුහුදුබඩ නගරවල. මේ නිසා මේ අයට ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොඩබිම් කරා ඇදෙන්නට සිදු වෙනවා. එවිට අවශ්‍යවන ඉඩ සකසා ගැනීමට වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වෙනවා. එවිට සාමාන්‍යයෙන් වායුගෝලයෙන් උරා ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වත් උරා ගැනීමට අවශ්‍ය කාන්තාර ප්‍රමාණය නැති වෙනවා. මේ  ආකාරයට මේ විෂම චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වනවා. අවසානයේ අප සියළුම දෙනා වඳවී යන්න පුළුවනි.
මේ තත්ත්‍වය නැති කරන්න අප හැම දෙනාටම දායක වන්න පුළුවනි. අප භාවිතා කරන සම්පත්, බලශක්ති ප්‍රමාණය අවම කිරීම මගින් නිශ්පාදනය අඩු කරන්නට පුළුවනි. නිෂ්පාදනය අඩු වනවිට ඒවාට භාවිතාවන බලශක්තියත්, සම්පත් ප්‍රමාණයත් ඉතිරි වෙනවා. චක්‍රය අඩාල වෙනවා.
නමුත් අප හැම දෙනාම බොහොම ආත්මාර්ථකාමීයි. පාර අයිනේ ඇති කුණුරොඩු ප්‍රමාණයෙන්ම එය කියා පානවා. අප කී දෙනෙකු පආර අපද්‍රව්‍ය එකතු කරනවාද ? බස් ටිකට් එක වුනත් බස් එකෙන් බැස්ස ගමන්ම දමන්නේ පාරට, නැතහොත් කාණුවකට, ටොපියක් චොකලට් එකක් කෑවොත්, දිරා නොයන දවටනය වැටෙන්නෙත් මහපාරට... එමෙන්ම ඉවත ලන ප්ලාස්ටික් බෑගයක්, හෝ වෙනයම් අනවශ්‍ය දෙයක් එකතු වෙන්නෙත් පරිසරයටමයි. අපට මේ තත්ත්‍වය තනි තනියෙන් වෙනස් කරන්නට පුළුවනි. තමන් ගමනේ යෙදෙනවිට එකතුවන කුණු එක්කෝ කුණුබක්කියක් ඇති තැනක් එනතුරු හෝ නිවස කරා ගෙනයාමට එතරම් අපහසුවක් නැහැ. තමන්ට තමන් පාලනය කරගෙන එවැනි කුණු නිසි තැකට දමන්න පුළුවන් නම්, අවම වශයෙන් තරමක හෝ සහනයක් පරිසරයට දැනේවි.
අනුන්ට බැනලාවත්, අනුන් පිට වරද පටවලාවත් අපට දියුණු වෙන්න බැහැ. අප රැකෙන්න නම් අප දැන් දැන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. නැතිනම් ආසියාවේ ආශ්චර්යය මුහුදට හේදිලා යන දිනය තව දශක කීපයකට වඩා දුර නැති වෙන්න පුළුවනි. ඉතිං මේ ධීවරයින් මියගිය නිසා හෙට අනිද්දට ලිප්ටන් වට රවුමේ කීප දෙනෙක් එකතු වෙලා ධීවර ඇමතිටයි පරිසර ඇමතිටයි ඉල්ලා අස්වෙන්න කියලා විරෝධතාවයක් තියන්නත් බැරි නෑ...
අවවාදයට වඩා ආදර්ශය උතුම්.. අපි අපේ දරුවන්ට ආදර්ශයක් වෙමු.. එතකොට උන් අපේ පසුපස යමින් ඉගෙන ගනීවි.... ඒ වගේම සමාජයට තමන්ගෙන් වෙන්න තියෙන වගකීමත් ටික ටික හරි ඉටු කරන්න උත්සාහ ගනිමු...

Friday, June 7, 2013

ලෝක පරිසර දින සම්මන්ත්‍රණය.... කෝටි ගණන් වියදම් නොකළත්, යමක් කෙරුණ දවසක්....

ජුනි 05 වන දින ලෝක පරිසර දිනය වෙනුවෙන් ඉතාම කෙටි කලකින්, දින හතරක් තුළ සංවිධානය කළ  දේශන පහකින් යුතු සම්මන්ත්‍රණයක් සංවිධානය කළේ පරිසරය ගැන රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස හැඟුන නිසායි. මේ පිළිබඳ අදහස රසායන විද්‍යා ආයතනයේ ප්‍රධානි මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතාට මම දැන්වුයේ සිකුරාදා පැවති ආචාර්යවරුන්ගේ හමුවේදී. ඒ මහතා එක පයින්ම කැමති වුනා. ඔයාම සංවිධානය කරන්න කියා ඒ බර මට පැටෙවුවත්, ඒක මම බොහොම ගෞරවයෙන් භාර ගත්තෙ එය සංවිධානය කරන එක ලෝකය වෙනුවෙන් කරන තවත් එක යුතුකමක් පමණක් නොවන බව මම දන්න නිසාමයි. පිටරට සිටිද්දි ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොග් අඩවියෙන් පරිසරය සුරැකීම මෙන්ම පරිසරයට හානි පැමිණවීමෙන් සිදුවිය හැකි අවැඩ පිළිබඳ අනන්ත කතා කළත් සක්‍රීයව යමක් කිරීමේ පහසුකම මට තිබුණෙ නැහැ. ඒ පිටරටක මම ජීවත් වුන නිසාම... වෙනත් රටවල ජීවත් වෙද්දි තමන්ට යමක් සංවිධානය කිරීම අපහසු බව මට තේරුණේ වරක් දෙවරක් නොවෙයි. නමුත් තමන්ගෙ මවු රටේදී තමන්ට අවශ්‍යතාවය තිබෙනවා නම් එය කිරීම ඉතාම පහසු බව මේකෙන්ම මට වැටහුනා.
ඉතින් රසායන විද්‍යා ආයතනයේ සිටි ආචාර්ය මහාචාර්යවරුන්ට මගේ අදහස දැනුම් දුන් වහාම ඔවුනුත් එයට දායක වන්න කැමැත්ත පළ කළේ එක පයින්ම. එපමණක් නොවෙයි එදින නිවාඩු ලබාගෙන සිටි මහාචාරය දසරත ගුණවර්ධන මහතා පවා පසුව තමන් දේශනයක් කිරීමට කැමැති බව ප්‍රකාශ කළා. ඒ නිසා මුලින් දේශන හතරක් ව තිබූ සම්මන්ත්‍රණය පසුව දේශන පහක් දක්වා දීර්ඝ වුනා.
මුලින් පත්‍රිකා මගින් රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන්ට මේ බව දැනුම් දුන්නත්,  සිසුන්ට ඒ ගැන දැනගන්න තිබුණ කාළය මදි වුනාද මන්දා... බලාපොරොත්තු වුන තරම් සහභාගිත්‍වයක් ලැබුණෙ නැහැ.. නමුත් වෙනත් පන්තියක සිටි භක්ති ගීත පුහුණු වෙමින් හිටපු සිසු සිසුවියන් ටිකක් ඇදලා අරගෙන යන්තම් සෙනඟ සම්පූර්ණ කර ගත්තා...
නමුත් දේශන මාලාව යන අතරවාරයේ මට තේරුණා මේ දේශනවල වටිනාකම. මා පවා නොදත් බොහෝ දේවල් ඒ දේශනවලින් ඉගෙන ගත්තා.. මගේ දේශනය තිබුණෙ අන්තිමට.. කෙසේ වුවත් මේ දේශන මාලාව මට හිතුන පරිදි සාර්ථකයි..
මේ දේශන මාලාව ගැන පූර්ව ප්‍රචාරයක් ලබා දුන් ලේක්හවුස් ආයතනයේ නලීන් දිල්රුක්‍ෂ අයියාට ස්තුතිය පිරිනැමීම කළ යුතුමයි. ඒ වගේම දිනමිණ සහ ඩේලි නිවුස් ආයතන දෙකෙන් පැමිණි චින්තා රණසිංහ සහ ඉෂාරා මුදුගමුව මාධ්‍යවේදිනියන්  දෙදෙනාටත් මගේ ස්තුතිය පිරිණමනවා.
ඉදිරියේදීත් මෙවැනි දේශන සංවිධානය කිරීමට අපේ ආචාර්ය මණ්ඩලය එකඟ වුනා.. සමහරවිට අපි දුරස්ථ පාසැල් වලට ගොස් එදිනෙදා ජීවිත හැඩගස්වා ගැනීමට රසායන විද්‍යාවෙන් සිදුවන මෙහෙයයන්, පරිසරය සුරැකීම, ආහාර පුරුදු වැනි දෑ පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වන්න අපට පුළුවන් වේවි...
මේ තියෙන්නෙ දිනමිණේ තිබුණ විස්තරේ...
Dinamina Article

Monday, June 3, 2013

ලෝක පරිසර දිනය ජුනි 05 දා... සැමට කෙරෙන ආරාධනයයි....

අනාගතය වෙනුවෙන්
අනාගතය වෙනුවෙන්
අනාගත ලෝකය කෙසේ වේ දැයි තවමත් කිසිවෙකුට අනුමාන කළ නොහැක. නමුත් මේ යන ආකාරයට එය අනිවාර්යයෙන්ම අධිකව දූෂණය වූ පරිසරයක් ඇති, ජලය සහ පිරිසිදු වාතය සමහරවිට සුඛෝපභෝගී අවශ්‍යතා බවට පත් විය හැකි, සතුන් ගහකොළ විරළ වූ එකක් විය හැකි බව පමණක් සිතිය හැකිය.
ජුනි 05 වනදා ලෝක පරිසර දිනයයි. ඇල්කෙමියාගේ රසායනාගාරයෙන් පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පුන පුනා ප්‍රකාශ කෙරුණද, ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව යමක් කළ නොහැකිව තිබුණේ විදේශයන්හිදී සංවිධානය කළ හැකිව තිබූ දෑ අල්පයක් වී තිබීම නිසායි. නමුත් දැන් යමක් කළ හැකි තත්ත්‍වයක් ඇති නිසාම, රසායන විද්‍යා ආයතනයේදී ජුනි 05 වන දින සවස 2 සිට 4 දක්වා පැවැත්වෙන අනාගත ලෝකය වෙනුවෙන් පරිසරය සුරකිමු යන තේමාව ඔස්සේ ගෙන එනු ලබන දේශන මාලාවට කෙරෙන ආරාධනයයි මේ.
මේ දේශන මාලාවෙන් හි මාතෘකා වනුයේ..
  • පලිබෝධනාශකවල පාරිසරික ආචරණ
  • පරිසරය සහ කසළ කළමණාකරණය
  • පරිසරය සුරැකීමේ පාරම්පරික පසුබිම
  • කාබන් ඩයොක්සයිඩ් සතුරෙක්ද? මිතුරෙක්ද?

යන විෂයයන් වන අතර ඒ සියල්ල රසායන විද්‍යා ආයතනයේ කථිකාචාර්යවරුන් විසින් පවත්වනු ලබයි.
පරිසරය පිළිබඳ ඇල්මක් ඇති, යමක් ඉගෙන ගැනීමට කැමැත්ත ඇති අයට මේ දේශන මාලාවට සහභාගී වන මෙන් ආරාධනා කර සිටිමි.
දේශන මාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර පැමිණෙන සැම සාදරයෙන් පිළිගනු ලැබේ...
ස්ථානය : ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය 341/22 ඇඩමැන්ටේන් නිවස, කෝට්ටේ පාර වැලිකඩ රාජගිරිය.
        ( සරණ පාරේ ජාතික දියවැඩියා මධ්‍යස්ථානය අසළ පාරෙන් පැමිණිය හැකිය)
දිනය : 2013 ජුනි 05 දා
වෙලාව : සවස 2.00 සිට 4.00 දක්වා
සියල්ලෝම පැමිණෙත්වා.....................

Sunday, May 12, 2013

400 ට බොහොම ළඟයි...... මොනවද ? කියමු බලන්න......


400
400

දැන් නම් 400 ආසන්නයටම ඇවිත්..... 

මේ මාසෙ 400 පනියි වගේ.....
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.....
මොකද්ද මේ 400 ?

Friday, May 10, 2013

දිය මතුපිට රබර් බෝල........................... කෙටි විද්‍යා ප්‍රබන්ධය


“මහාචාර්යතුමා.... තමුන්නාන්සෙට උගත්කම තිබුණට මොළේ කඳුලක්වත් නැති මිනිහෙක්....”
නියෝජ්‍ය ඇමතිවරයා අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය නාරද වෛද්‍යසේකර මහතාට කළකිරුණු හැඟීමක් මුහුණට ආරූඪ කරගෙන දොස් නැඟුවේය.
“මම කිවුවෙ ඇත්ත මිස්ටර් ජයසේකර...”
“මිස්ටර් ජයසේකර ? තමුන්නාන්සෙට මම කියලා තියෙනව නේද මට මිස්ටර් ජයසේකර කියලා කියන්න ඕන නෑ කියලා... එක්කෝ ඇමතිතුමා කියනවා... නැත්තං සර් කියනවා අනිත් මිනිස්සු වගේ.....”
දහය ශ්‍රේණිය පමණක් සමත් මැර බලයෙන් ඡන්දය දිනා පාර්ලිමේන්තුවට ආ නියෝජ්‍ය ඇමති සරත් ජයසේකර ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා  ලොව පුරා රටවල් රාශියක විවිධාකාර උසස් තනතුරු දැරූ මහාචාර්ය වෛද්‍යසේකර වෙත නිර්දය ලෙස කඩා පැන්නේය....
“මම තමුන්නාන්සෙ මේ අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට බඳව ගත්තෙ ජනාධිපතිතුමියගෙ උවමනාවට මිසක් මට උපදෙස් ගන්න නෙවෙයි... මට උපදෙස් ගන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා... තමුන්නාන්සෙගෙ පර්යේෂණයෙ ප්‍රතිඵල ඕන කෙනෙකුට පෙන්වගන්න... මට ඔය පර්යේෂණයෙන් ලාභයක් නෑ.. මට ලැබෙන්නෙ පාඩුවක් විතරයි... මම තමුන්නාන්සෙට කිවුවෙ නෑනෙ ඔය පර්යේෂණය කරන්න කියලා.. තමුන්නාන්සෙ පත් කළේ අමාත්‍යංශයට උපදෙස් දෙන්න.... මේ පර්යේෂණය ඕකට අදාල නෑ...”
“එහෙම කියන්න එපා ඇමතිතුමා.. මේ නිසා රටට කොච්චරක් කියලා සල්ලි ඉතිරි වෙනවද ?”
“රටට සල්ලි ඉතුරු කරලා කාටද හලෝ හරි ගියේ ? බලනවා.. තමුන්නාන්සෙ අවුරුදු හතරක් විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙනගෙන.. තවත් අවුරුදු ගානක් ආචාර්ය උපාධිය කරලා... රට රටවල ගිහින් වැඩ කරලා.. මොනවද හම්බ කළේ ?  ආ ? අඩුම ගානෙ ඉන්න ගෙයක්වත් තියෙනවද ? පාරට පැස්සම මිනිස්සු තමුන්නාන්සෙ අඩුම ගානෙ කවුද කියලවත් දන්නවද ? මොකද්ද තියෙන පිළිගැනීම ?”
“බලනවා.. මම පාරට බහින්නෙ ආරක්‍ෂකයො පිරිවරාගෙන... කිසිම සාමාන්‍ය මිනිහෙකුට මගේ ළඟටවත් එන්න බෑ ඒ අයගෙ අවසරයක් නැතුව... පාරෙ යනකොට අනිත් වාහන ඔක්කෝම අයින් කර ගන්නවා මම එනකොට.. ටී වී එකේම මගේ ගැන කී පාරක් කියනවද ? ලංකාවෙම මිනිස්සු මගේ නම කිවුව ගමන් කවුද කියලා දන්නවා... මම කාගෙන් හරි උදව්වක් ඉල්ලුවාම ඒ මිනිස්සු දෙපාරක් හිතන්නෙ නැතුව.. හරි සර්... මොනවද වෙන්න ඕන කියලා අහනවා.... බලනවා... ඔය කියන එක දෙයක්වත් තමුන්නාන්සෙට තියෙනව ද ?”
“ඔන්න ඕකයි මහාචාර්යතුමා මම තමුන්නාන්සෙට කියන්නෙ..... උගත්කම තිබුණට මදි... ඒක හරියට පාවිච්චි කරන්න මොලේ තියෙන්න ඕන.... තමුන්නාන්සෙට මොළේ නෑ...... මට උගත්කම නෑ... කවුද දිනුම් ?”
මහාචාර්යවරයා නිරුත්තර විය.. ඔහුට සිය සගයෙකු විසින් සුහද හමුවකදී පැවසූ යමක් මතක් විය..
“නාරද.... මෝඩයොත් එක්ක වාද කරන එක පරිස්සමින් කරන්න... මොකද උන් අපිව උන්ගෙ තත්ත්‍වයට අරගෙන බිමට දාලා අපට ගහන්න යනවා.. අපි ඒ තත්ත්‍වයට ගියාම අපි අසරණයි... මොකද අපට මෝඩයෝ වගේ හිතන්න බැරි නිසා.. ඔය උපදේශක තනතුර ගත්තට කමක් නෑ... නමුත් ඕකෙ අවදානම හොඳට හිතට අරගෙන වැඩ කරන්න... ඔයා වැඩ කරන්නෙ කාටද කියලා හොඳට මතක තියාගන්න... මෙතන තියෙන්නෙ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි.. පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්....”
“ඔබතුමා දිනුම්... හරි... මම මේ පර්යේෂණය නවත්වන්නම්....”
“නැවැත්තුවට කමක් නෑ.. මේවා ඉහළ තැන්වලට යවන්නෙ නැතුව... මොකද අපිට බොහොම සමාදානෙන් මෙතන වැඩ කරන්න තියෙන අවස්ථාව නැති කරගන්න ඕන නෑනෙ.. ඔබතුමාට අවශ්‍ය නම් මම අළුතෙන් වාහනයක් ගන්න කටයුතු කරවන්නම්... දැන් පාවිච්චි කරන වාහනෙත් ඉතිං පරණයිනෙ... ආණ්ඩුවට කියන පරක්කුවෙන් වාහනයක් ගෙන්වලා දෙන්න පුළුවන්... “
“කමක් නෑ ඇමතිතුමා... මේ තියෙන වාහනේ මට හොඳටම ප්‍රමාණවත්.... මම ඉතිං වයසක මනුස්සයා... රෝද හතර හරියට කැරකුණාම ඇති...”
“ඕකනෙ කියන්නෙ මහාචාර්යතුමා... ඔබතුමාට හිතන්න බෑ කියලා... පින නෑ... පින නෑ... කමක් නෑ... අපි සහයෝගෙන් කටයුතු කරමු.... ඔන්න ඔය පර්යේෂණේ නවත්තලා දාන්න... මම වාහනයක් එවන්නම්...... අමාත්‍යාංශෙට අළුතෙන් ජීප් දෙකතුනක් ආවා.... අළුත් ජීප් එකක යනකොට ඉතිං ඔබතුමාටත් ගතියක් තියෙනව නෙ...”
“ඇමතිතුමාගෙ කැමැත්තක්...”
෴෴෴෴෴
මහාචාර්යවරයා නිවසේ ආලින්දයේ හාන්සි පුටුවේ සිට සිවිලිමේ කොටු ගණන් කරන අතරතුර ඔහුගේ බිරිඳ,
“මොකද නාරද දාහට අරන් සීයට දීල වගේ ?  මොකද ? අදත් ලෙඩක්ද ?”
“එහෙමමත් නැහැ ශීලා...නමුත්, මම හිතන්නෙ අපි මෙහාට ආපු එකෙන් කර ගත්තෙ ලොකු වැරැද්දක්... හිටපු විදියට ජපානෙට වෙලා හිටිය නං.. අඩුම ගානෙ හිතට සැනසීමෙන්වත් ජීවත් වෙනවා.”
“ඉතිං මහ ලොකුවට ඔයාමනෙ උඩ දාගෙන ආවෙ.... ඉගෙන ගත්ත රටට සේවය කරන්න ඕන කියලා.... විශ්‍රාම ගියාට පස්සෙ ලංකාවට ඇවිත් වැඩ කරනවා කියලා ඔයාම නෙ තීරණය කළේ.... මම ලොකු දුවගෙන් අහන්නද අපි ආයෙම එයා ගාවට එන්නද කියලා ? ඔයාට වැඩ හොයා ගන්න අමාරු මනුස්සයෙකුත් නෙවෙයි නෙ...”
“එපා ශීලා... තව ටිකක් බලමු.... මම කවුරු කිවුවත් මේක දිගටම කරගෙන යනවා... අපි දැන් අපට අයිති නැහැ.. අපි තව ටික කාලයයි ජීවත් වෙන්නෙ.. ඒ ටිකේ අපි මේ රටට යමක් කරන්න ඕන... මම ලෝකෙටම වැඩ කළත් මේ රටට යමක් කළේ නැහැ.... කවුරු මොනවා කිවුවත් මේ රට පිං බිමක්.... අපට පුළුවන් මේ රට හදන්න... මට හොඳටම විශ්වාසයි මේ පර්යේෂණයෙන් සෑහෙන දෙයක් රටට කරන්න පුළුවන්...”
“මොනවා කළත් කමක් නෑ... පරිස්සමින්... ඔයා වැඩ කරන්නෙ සෑහෙන සල්ලි පාවිච්චි වෙන තැනක... මේක පිටරට වගේ නෙවෙයි.. ඒ රටවල අඩුම ගානෙ නීතියවත් තියෙනවා පිහිටට. මේ රටේ සල්ලිවලට කරන්න බැරි දෙයක් නැහැ.... ඒ නිසා ඔයාගෙ වැඩ ගැන පරිස්සම් වෙන්න... මම අළුතෙන් ඔයාට මතක් කරලා දෙන්න ඕන නැහැනෙ බ්‍රසීලෙදි වුන දේ ?”
මහාචාර්ය නාරද වෛද්‍යසේකරට බ්‍රසීල ඛණිජ තෙල් පර්යේෂණාගාරයේ ප්‍රධාන විද්‍යාඥ තනතුර ලැබුණේ ඔහුගේ කීර්තිමත් පර්යේෂණ ඉතිහාසයට පින් සිදු වන්නටය. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් බලශක්ති කළමණාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් හෙතෙම ඉන් අනතුරුව වසර අටක්ම සේවය කළේ ඇමරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ බලශක්ති පර්යේෂණ අංශයේ ය. වසරින් වසර සේවයේ ඉහළට ගිය ඔහු වසර අටක් ඇතුලත මහාචාර්ය තනතුරට උසස් විය... ඔහුගේ පර්යේෂණ සඳහා බොහෝවිට මූල්‍යමය ප්‍රතිපාදන ලැබුණේ ටෙක්සාස් හි ශෙල් ගෑස් ආයතනයේ පර්යේෂණ අරමුදලිනි. .. එසේම ඒ අරමුදල් ලබා දීමේ එක් කොන්දේසියක් වූයේ ඒ මුදල්වලින් කෙරෙන ඔහුගේ සොයාගැනීම් වල පේටන්ට් අයිතිය ශෙල් ගෑස් සමාගම සතුවීමයි. මුලදී මුදල් හිඟකම නිසා එයට එකඟ වූවද, පසුව කීර්තිය සහ තනතුරු ඔහු කරා පැමිණෙන විට ශෙල් ගෑස් සමාගම හා තිබූ ගිවිසුම් අවලංගු කරන්නට ඔහු කටයුතු කළේය... එය විරසකයක ආරම්භය විය... හූස්ටන් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අරමුදල් සපයන්නා වන ශෙල් ගෑස් සමාගමේ බලපෑම මතම මහාචාර්ය නාරද වෛද්‍යසේකර හූස්ටන් වලින් පිටකිරීමට විශ්ව විද්‍යාල බලධාරීන්ට සිදු විය... එයට සුවිශාල වන්දියක් ලැබුණත්, ඒ සියල්ල සිය දරුවනට බෙදා දී ඔහු නැවතත් සිය පර්යේෂණ කටයුතු සඳහා බ්‍රසීලය තෝරා ගත්තේය.
ඒ සමය උක් වගාවෙන් සරුසාර වූ බ්‍රසීලයේ එවකට පැවති පාලනය ඛණිජතෙල් භාවිතය අවම කර උක් සාරයෙන් ලබා ගන්නා එතනෝල් භාවිතයෙන්  රථවාහන ධාවනයට කටයුතු කළ කාළයයි. බ්‍රසීලයේ වූ ඛණිජතෙල් සමාගම් මේ පර්යේෂණ වලට දැඩි ලෙස අකුල් හෙලන්නට විය... සමහර අවස්ථාවලදී මැරයන් විසින් එල්ල කළ මරණීය තර්ජන හමුවේ බොහෝ පර්යේෂකයින් බ්‍රසීලය හැර දමා ජීවිතය බේරා ගන්නට රටින් පිට වූහ... කවදත් සිය රාජකාරිය දේවකාරිය ලෙසම සළකන මහාචාර්ය නාරද ජයසේකර ඒ කිසිදු තර්ජනයකින් නොසැලී සිය කාර්යය නිසි ලෙස කරගෙන ගියේ, රජයෙන් ලැබුණ සහයෝගය තමන් දැඩිව විශ්වාස කළ බැවිනි. ඒ අනුව ප්‍රථම වතාවට සියයට සියයක් එතනෝල් භාවිතයෙන් රථ ධාවනය කිරීම මගින් ලැබෙන ආර්ථික සහ බලශක්ති ප්‍රතිලාභය ඔහු ලෝකයට හඳුන්වා දුන්නේය... මේ නිසාම බොහෝ රටවලින් පැසසුම් ප්‍රශංසා සහ සම්මාන පිරිණැමුනද, ඔහු බලශක්ති සමාගම්වල ප්‍රධාන හතුරා බවට ද නිතරඟයෙන් පත්විය... අවසානයේ ඒ නිසාම ජීවිතය රැක ගැනීම සඳහා ඔහු කිසිවෙකුට නොදන්වා ජපානයට පැමිණියේ අප්‍රකට ජීවිතයක් ගත කිරීමේ අටියෙන් වුවත්, නගෝයා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයට බැඳුන පසු නැවතත් ජීවිතය වෙනස් වන්නට විය. එහි වූ ශ්‍රී ලාංකික උත්සවයකදී හමු වූ සිය පැරණි සිසුවෙකු මාර්ගයෙන් ලාංකික රජයට ඔහුගේ තොරතුරු දැනගන්නට ලැබිණ.. එවකට රට වටා ඛණිජතෙල් සම්පත් හමු වෙද්දී, ජනාධිපතිනිය විසින් ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඛණිජතෙල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කරන ලදී. ඛණිජතෙල් සංවර්ධන අමාත්‍යාංශය ඇය සතුව තබාගෙන නියෝජ්‍ය ඇමතිවරයෙක් පමණක් පත් කර එය පාලනයට කටයුතු කළද, නියෝජ්‍ය ඇමති සරත් ජයසේකර විසින් අමාත්‍යාංශය පුරා සිය බලපරාක්‍රමය විහිදවාගෙන සියල්ල පාලනය කරමින් සිටියේය. ජනාධිපතිනිය විසින් පත් කළද, මහාචාර්ය වෛද්‍යෙස්කරට කිසිදු බලයක් නොමැති වූයේ ඔහු නියෝජ්‍ය ඇමතිවරයාගේ අණසකට යටත්ව සිටිය යුතු නිසාය.
“මම දන්නවා ශීලා.... කොයි රටෙත් පොලිටීශියන්ස් ලා එකම වගේ.... තමන්ට වාසියක් වෙනව නම් අම්මා තාත්තා උනත් උගස් තියයි. මෙහෙයි කියලා වෙනසක් නෑ... මට නම් දැන් එපා වෙලා.. නමුත් මාත් එක්ක වැඩ කරන පොඩි එවුන් ටික රටේ හොඳම මොළ ටිකක්.. උන් ටිකවත් අඩුම ගානෙ හොඳ තැන් වලට යවලා මම මෙතැනින් අයින් වෙන්නයි ඉන්නෙ... ඊට ඉස්සර තව කරන්න වැඩ ටිකක් තියෙනවා... උන්ට සුදුසුකම් හදා ගන්න මේ පර්යේෂණය කොහේ හරි පබ්ලිෂ් කරන්න ඕන.. ඊට පස්සෙ අපි යමු..”
“ඔයා ඔය දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා.... දන්නවනේ මෙහේ මිනිස්සුන්ගෙ හැටි... අපට ලොකු දුව දැන් කී පාරක් කියලා තියෙනවද එහේ එන්න කියලා... ඔයාට මොනෑෂ් වලම මොකක් හරි හොයා ගන්න පුළුවන්....”
“ඉන්න ශීලා... අපි තව ටිකක් බලමු... අර මනුස්සයා එහෙම කෑ ගැහුවට මම ආයෙම කතා කළාම සමහරවිට මේකට කැමති වෙන්න පුළුවන්...”
“ඔයාගෙ මහා කරුණාව නිසා තමයි අපි අමාරුවෙ වැටෙන්නෙ... එක පාරක් යන්තම් නොමැරි බේරුණා... මේ පාර මොනවයින් මොනවා වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ.”
“දෙයියො මේ ලෝකෙ ඉන්නව නං මෙහෙම දේවල් වෙන්නෙ නෑ ශීලා.... මම කියලා තියෙනව නෙ මාත් එක්ක දෙයියො ගැන කතා කරන්න එපා කියලා... අපි බලමු... හැම දේටම වෙලාවක් එයි...”
“මම දන්නෙ නෑ නාරද..... කරන දෙයක් පරිස්සමින්....” අවසානයේ ශීලා වෛද්‍යසේකර මහත්මිය පුටුවෙන් නැගිට කාමරය කරා පා නැඟුවේ සිය සැමියාගේ මුරණ්ඩුභාවය ගැන කණස්සල්ලක් ද සමඟිනි.
෴෴෴෴෴
බ්‍රසීලයෙන් අතුරුදහන් වූ මහාචාර්ය නාරද ජයසේකර නතර වූයේ ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය ධූරයක වැඩ භාර ගැනීමෙනි. ෆොසිල ඉන්ධන මතම යැපුණ ජපාන ආර්ථිකයේ බලශක්ති සමතුලිතතාවයේ වෙනසක් කිරීමට ජපාන රජය කටයුතු කරමින් සිටි කාළයේ ජපානයට මහාචාර්ය නාරදගේ පැමිණීම දෙආකාරයකින් ආශිර්වාදයක් විය. බලශක්ති කළමණාකරණය පිළිබඳ ඔහුගේ හසළ දැනුමත්, ඉංජිනේරු වරයෙකු වශයෙන් බලශක්ති පරිවර්තනය පිළිබඳ වූ සුවිසල් ඥාණ සම්භාරයත් නිසා ඔහු ඉල්ලූ වේතනයටත් වැඩි වේතනයක් සහිතව නගෝයා විශ්ව විද්‍යාලයට මහාචාර්ය නාරද බඳවා ගත්තේ ඔහුගේ වටිනාකම දන්නා නිසාමය. එතැන් පටන් මහාචාර්යවරයා කටයුතු කළේ කසළ කළමණාකරණයෙන් පිටවන ජීව වායුව භාවිතයෙන් මෝටර් රථ ධාවනය කිරීමට ක්‍රමයක් සොයා ගැනීම උදෙසා කරන පර්යේෂණ සිදු කිරීම පිණිසය. මේ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට සහ අවශ්‍ය වූ මෝටර් රථ සහ ඉංජිනේරු ශිල්පීන් සහ උපකරණ සියල්ලම ලබා දීමට ටොයොටා සමාගම එකඟ වීමත් නිසා මහාචාර්ය වරයාට සම්පත්වලින් කිසිදු හිඟයක් නොවීය... බටහිර රටවල පර්යේෂණ සිදු කෙරෙන බලශක්ති කෝෂ (Fuel Cell) තාක්‍ෂණයට වඩා කෙළින්ම ජීව වායුව දහනය සඳහා වාහනවල එන්ජිම වෙනස් කිරීම සහ ක්‍රමාණුකූල ඉන්ධන නිකුතුව මඟින් බලශක්ති උත්පාදනය උපරිම කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ පර්යේෂණ කණ්ඩායම ඉක්මනින්ම ජීව වායුව දහනයෙන් වාහන ධාවනය පිළිබඳ තරඟයේ ඉදිරියෙන්ම සිටීමට සමත් විය. මේ නිසා මහාචාර්ය නාරද වෛද්‍යසේකරගේ නම බලශක්ති ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් අතර නැවතත් කරලියට පැමිණුනි. මේ නිසා විදේශයන්හි මහාචාර්ය නාරද වෛද්‍යසේකරගේ නම බොහෝ සේ ප්‍රචලිත විය. ජපානයේ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය ජපානයේ ශ්‍රී ලාංකික විද්වතුන්ගේ හමුවකදී මහාචාර්ය නාරද වෛද්‍යසේකරට තමන් යටතේ පවතින විදුලිබල, බලශක්ති සහ ඛණිජතෙල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට ඇරයුම් කළාය... වසර තිහක්ම උපන් රටින් පිටත ජීවත් වෙමින් ලෝකයටම සේවය කළත්, තම රටට තමන්ගෙන් සිදු විය යුතු යුතුකම් ඉටු කරනු පිණිස හෙතෙම සිය බිරිඳද කැටුව, ඇගේද අකැමැත්ත පිටම පැමිණ ලංකාවේ පදිංචි වී අදාල තනතුරෙහි සේවය කළේය.. ඔහුගේම ඉල්ලීම පරිදි මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු සහ සිසුන් පිරිසක් සමඟ ජීව වායුව දහන ඉන්ධනයක් ලෙස භාවිතා කරමින් ලංකාවේ මෝටර් රථ ධාවනයට ඇති හැකියාව පිළිබඳ සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල සිය ප්‍රධානියා වන සරත් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයාට පෙන්වා දීමට ඔහුගේ කාර්යාලයට ගිය අවස්ථාවේ තමන්ට සිදු වූ අකරතැබ්බය ගැන මහාචාර්යවරයා නැවත නැවතත් කල්පනා කළේය..
කමක් නෑ... මම මේක ජනාධිපතිනියට දන්වනවා.. මාව පත් කළේ එයානෙ... අඩුම ගානෙ එතකොට මේක ක්‍රියාවට නංවන්න වැඩ පිළිවෙලක් හරි යොදයි නෙ... හෙතෙම තමාටම කියා ගත්තේය....
෴෴෴෴෴
“සර් කියන්නෙ අපි මේ පර්යේෂණය කළා ඇති කියලද ?”
“ඔව් විපුල... දැන් අපි අපේ ඉලක්කයෙන් සෑහෙන ප්‍රතිශතයක් දිනාගෙන අවසන්... දැන් තියෙන්නේ මේ රථය දිගු කාලීන පාවිච්චියට ඔරොත්තු දෙනවද කියන දේ කරන්න විතරයි... ඒක ඉතින් අපි කිහිප දෙනෙකුට කරන්න පුළුවන්... ඒ නිසා ඔයා ළමයින්ට කියන්න අපි පර්යේෂණය මෙතැනින් නතර කරනවා කියලා...”
“ඒ වුනාට සර්, ඒ දරුවො සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියෙ මේක ප්‍රසිද්ධ කරන්න...”
“ඇත්ත විපුල... මට තේරෙනවා.. නමුත්, අපට දැන්ම මේක ජනමාධ්‍යයට ප්‍රසිද්ධ කරන්න බැහැ.. ඔයා දන්නවනේ අර වතුරෙන් දුවපු මෝටර් රථයට වෙච්ච දේ ? ප්ලාස්ටික් වලින් පැට්‍රෝල් හදපු මනුස්සයා කරපු දේ ? ඔය වගේ මේ පර්යේෂණයත් නිකම්ම පුස්සක් වෙනවා අපි හරියට අවසාන නිගමනය ගත්තෙ නැති වුනොත්... මේ නිසයි මම කියන්නෙ අපි මේ රථය මාස තුනක් දුවලා බලමු.. කොච්චර ඉන්ධන ඉතිරියක් අපට කර ගන්න පුළුවන් ද කියලා.”
“එහෙනම් සර් මම කියන්නම් දැනට අපි පර්යේෂණය අත්හිටෙව්වා කියලා.. මාස තුනක ටෙස්ට් රන් එකකින් පස්සෙ නැවත පටන් ගන්නවා කියලා.... එතකං කාටවත් කිසිම දෙයක් කියන්න එපා කියන්නම්... නැත්නම් ඉතිං අපේ දත්ත දාලා වෙන කවුරු හරි ලොකු කතාවක් කියාවි... සර් දන්නෙ නෑනෙ ලංකාවෙ කට්ටියගෙ හැටි...”
“මම නොදන්නවා නෙවෙයි විපුල.... මමත් මේ ගෙන්දගම් පොළවෙ ඉපදිලා හැදුන වැඩුන මිනිහෙක්... දැන් මිනිස්සු පිස්සුවෙන් වගේ වැඩ කළාට ඉස්සර නම් සාරධර්ම කියලා දෙයක් තිබුණා.... මම දන්නවා ඔය කට්ටියගෙ හැටි... එහෙනම් මම දැන් තියන්නම්... අර වාහනයෙ ධාවන කාළයයි දුරයි හරියට මැන ගන්න... එක ජීව වායු සිලින්ඩරයකින් කොච්චර කිලෝමීටර ගණනක් ගමන් කරන්න පුළුවන්ද කියන එක තමයි අපට වැඩියෙන්ම වැදගත්.. ඒ වගේම කඳු සහිත ප්‍රදේශයක ධාවනය වෙනකොට ඉන්ධන දහනයේදි සිදුවන වෙනසත් ගණනය කරන්න ඕන.. මෙන්න මේ පරාමිතීන් දෙක අනුව අපට කියන්න පුළුවන් මේ ක්‍රමය කොයි තරම් කාර්යක්‍ෂමද කියන එක... මාස තුනක ධාවනයෙන් පස්සෙ ඒ සියල්ල ගණනය කරලා අපි අවසාන නිගමනය දෙමු....”
“හොඳයි සර්... ඔබට සුභ දවසක්....”
“සුභ දවසක්....”
෴෴෴෴෴
මැතිණියනි, මහාචාර්ය නාරද වෛද්‍යසේකර ඇවිත් ඉන්නවා ඔබතුමිය හමුවෙන්න...
එවන්න....
ආ නාරද මහත්මයා.... කොහොමද වැඩ කටයුතු.... කාලෙකින් කතා කරන්නත් බැරි වුනා....
ජනාධිපතිතුමියනි, මෙන්න පර්යේෂණයෙ ප්‍රතිඵල... මේ පර්යේෂණයට අනුව අපට කසළ පූතිභවනයෙන් ඇතිකෙරෙන ජීව වායුව එකතු කිරීමෙන් සෑහෙන ප්‍රමාණයක ජීව වායුවක් එකතු කරගන්න පුළුවනි. මේ ජීව වායුව අපට කෙළින්ම දහනයට යොමු කරලා වාහන ධාවනයට යොදා ගන්න පුළුවනි. එසේත් නැතිනම් ඉන්ධන කෝෂයකට (Fuel Cell) යොමු කිරීම මගින් විදුලිය නිපදවලා මෝටර් රථවල මෝටර් කරකැවීමට යොදා ගැනීමට පුළුවනි.
නාරද මහත්මයාගෙ හයිඩ්‍රජන් පර්යේෂණයට මොකද වුනේ ? මුලින්ම හයිඩ්‍රජන් යොදාගෙන පර්යේෂණයක් කළා නේද ?
ඔව් මැතිණියනි. නමුත් හයිඩ්‍රජන් වල තිබෙන ප්‍රශ්නය ඉන්ධනයක් විදියට තවමත් භාවිතා කරන්න බැරි ප්‍රශ්න තිබෙනවා. ආරක්‍ෂාව වගේම හයිඩ්‍රජන් භාවිතයේ සහ ගබඩා කිරීමේ ගැටළු තිබෙනවා. ඒ වගේම එය කාර්යක්‍ෂමව භාවිතා කරන්නනම් තවත් ප්‍රායෝගික ගැටළු රාශියක් තිබෙනවා. නමුත් ජීව වායුව දැනටමත් භාවිතා වෙනවා. අපට කරන්න තිබෙන්නේ අපේ මෝටර් රථවලට සරිලන විදියට වෙනස් කරන්න පමණයි. මම හිතන්නෙ මගේ රාජකාරිය මෙතැනින් අවසාන කරන්නයි. මම ලබන සතියෙ නැවතත් මගේ දුව ඉන්න රටට යනවා. මම ඒ ගැන කියන්නත් එක්කයි ඔබතුමිය හමු වෙන්න ආවෙ.
ඒ මොකද හදිසියෙම ? ඒ තරම් ඉක්මනට මේ රට එපා වුනාද ?
අනේ නැහැ මැතිණියනි, මම සෑහෙන කළක් වැඩ කළානෙ.. දැන් පොඩි විවේකයක් අරගෙන අවුරුද්දක් දෙකක් දුවගෙ ලඟ ඉඳලා දරු මුණුපුරන්ගෙ වැඩකටයුතුත් බලලා එන්නයි කියලා හිතාන ඉන්නෙ...
නාරද මහත්මයාගෙ කැමැත්තට පිටුපාන්න මට බැහැ.. මම දන්නවා ඔබතුමා කොච්චර වටිනා කෙනෙක්ද කියලා.. මගෙන් කෙරෙන්න ඕන දෙයක් තියෙනවා නම් කියන්න.. මම අදම ඔබේ ලිපි ලේඛණ සකස් කරන්න කියලා දන්වන්නම්.. ලැබෙන්න අවශ්‍ය ගෙවීම් ඉක්මනින්ම ලැබෙන්න සලස්වන්නම්... මට ඔබතුමා වගේ අවංක මිනිස්සු ලැබෙනවා අඩුයි.. හැකිනම් ආයෙම අපට එකතු වෙන්න.. ඔබතුමාගෙ දැනුම අපට හරිම වැදගත්, මේ වාර්තාවෙ ඇති දේ මම ඉක්මනින්ම ක්‍රියාවට නංවන්න සලස්වන්නම්. අපේ රටට දියුණුවක්, ඉතිරියක් කරගන්න ලැබෙනවා නම් මේ වගේ පර්යේෂණ ක්‍රියාවට නංවන්න මම පසුබට වෙන්නෙ නෑ.. බොහොම ස්තුතියි මේ කෙටි කාළයෙ කරපු සේවයට... මම මේක සරත් ජයසේකරට දෙන්නම් ඉක්මනට ක්‍රියාවට නංවන්න.
හොඳයි, මම එහෙනම් ගිහින් එන්නම්........
෴෴෴෴෴
සර්, කවුද නාකි මනුස්සයෙක් කහ ඉර අයිනෙදි අපේ එස්කෝට් වෙහිකල් එකේ හැපුනා... නියෝජ්‍ය ඇමති සරත් ජයසේකරට සිය වාහන පේළියේ පසුපසින්ම පැමිණි වාහනයකින් ඇමතුමක් ලැබුණි...
හරි, තමුසෙලා එක්කෙනෙක් නැවතිලා බලනවා. මම දිගටම පාර්ලිමේන්තුවට යනවා. මොනවා හරි වෙලා නම් පොඩ්ඩක් බලනවා ශේප් කරගන්න.... වාහන යනකොට අයින් වෙන්න දන්නෙ නැති බූරු මිනිස්සු....
෴෴෴෴෴
ඊට මාස තුනකට පසු.............
කොළොන්නාව කුණු කන්ද අසළ සැකසුන මහා පරිමාණ ජීව වායු නිෂ්පාදනාගාරය - ජයලංකා ගෑස් - විවෘත වන අවස්ථාව. ප්‍රධාන අමුත්තා රටේ ජනාධිපතිනිය...
සරත්, ඇත්තෙන්ම මට හරිම සන්තෝසයි ඔයා මේ ප්‍රශ්නෙට අතගහපු එක.. නැතිනම් කවුරුවත් මේ කුණු ප්‍රශ්නය නිරාකරණය කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.. කොහොමද මේ වගේ අයිඩියා එකක් ආවෙ ?
ඇත්තෙන්ම මැතිණියනි, මේකෙ මූලික අදහස නම් නාරද මහත්මයාගෙ.. නමුත් ඒ මහත්මයා අකාළයෙ මිය ගියානෙ රට යන්න ඉස්සර. කාගෙදෝ වාහනයක් හප්පගෙන ගිහින් පාරෙ අයිනෙ ඉන්නකොට.. මතක නෙ ඔබතුමිය ශෝකප්‍රකාශයකුත් නිකුත් කළේ... මම ඒ අදහස ගැන ටිකක් හිතලා මේක වැඩිදියුණු කළා. කොහොමත් රජයේ ආයතනයක් කරලා මේක කරන්න ගියා නම් ටික කළක් යන නිසා තමයි මම ම  ආයෝජනය කරලා මේක පටන් ගත්තෙ.. අපරාදෙ නිකං තියෙන කුණු.. ඒ වගේම ඉතිං දැන් කුණු ප්‍රශ්නෙත් ඉවරයි නෙ..
බොහොම හොඳයි... මටත් ඕන මෙන්න මේ වගේ හිතන අය තමයි.. අපි බලමු ඉස්සරහට, මටත් දැන් මේ ඇමතිකම් ගොඩක් ඔළුවෙ තියාගෙන ඉඳලා ඇතිවෙලා තියෙන්නෙ....
 සැළකිය යුතුයි.
මෙම විද්‍යා ප්‍රබන්ධය සියයට සියයක් ස්වතන්ත්‍ර නිර්මාණයක් වන අතර මූලික පිටපතට සබැඳියක් නොමැතිව උපුටා ගැනීම සිදු නොකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි....