Tuesday, October 9, 2012

2012 ඔක්තෝබර් 09 : වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය........ වැඩුන සෛල බහුවිධ කාර්යයන් සඳහා නැවත පණගැන්වීමට.... තේරෙන්නෙ නැත්නම් කියවලා බලන්න........


දැන් ආයෙම නොබෙල් තෑගි දෙන කාළය... ඉතින් කවුරු නැතත් ඇල්කෙමියා මේ ගැන ලොකු අවධානයකිනුයි ඉන්නෙ. දැනටමත් වෛද්‍ය විද්‍යාවට සහ භෞතික විද්‍යාවට නොබෙල් ත්‍යාග පිරිනමා අවසන්. හෙට වෙන විට රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයත් පිරිණමනවා. මෙවර  වෛද්‍ය විද්‍යාවට නොබෙල් ත්‍යාගය ලැබී ඇත්තේ කළල සෛල විද්‍යාවට (Stem Cell Research) -හරිද මන්දා සිංහල වචනය-  අදාල පර්යේෂණයන් පැවැත්වූ ශ්‍රීමත් ජෝන් බී ගර්ඩන් සහ ශින්යා යමනකා (Sir John B. Gurdon & Shinya Yamanaka) යන දෙදෙනාටයි. මේ අතරින්  ජෝන් බී ගර්ඩන් පර්යේෂණ පැවැත්වූයේ සුවිශේෂිත සෛල සිය අවසාන කර්තව්‍යය වූ යම් අවයවයක් තැනීම සඳහා නිසැකවම සැකසී ඇතැයි යන මතය බිඳ දැමීමට කටයුතු කළා.. ඔහු 1962 තරම් ඈත කලෙක මේ මතය බිඳීමට ගෙඹි බිත්තරයක් ගෙන එහි වූ න්‍යෂ්ඨිය ඉවත් කර ගෙම්බකුගේ සෛලයකින් න්‍යෂ්ඨියක් ගෙන එයට ඇතුළු කළා. එම මතය - එනම් සුවිශේෂී සෛල සුවිශේෂී අවයව තැනිය යුතු යැයි කියන මතය බිඳ හෙළමින් එම සෛලය ඉස්ගෙඩියෙකු දක්වා වැඩුනා.... පසුව කළ පර්යේෂණ වලින් වැඩුන ගෙම්බකු තැනීමට මේ ක්‍රමයෙන් පුළුවන් වුනා.. මෙමඟින් අර පැරණි මතය බිඳ වැටුනා පමණක් නොව ඊටත් එහා යමින් විවිධ කඩඉම් බිඳ දැමීමට මේ විද්‍යාව සමත් වුනා.
ශින්යා යමනකා කළේ එහි අනෙක් පැත්තයි. ඔහු බහුවිධ කාර්යයන් සඳහා සැකසුන කළල සෛල රැගෙන ඒවා කළලයෙන් වෙන් කර රසායනාගාරයේ වැඩෙන්නට සැලැස්වූවා. මෙය මුලින්ම කළේ ඇත්තෙටම 2007 නොබෙල් ත්‍යාගය දිනූ මාටින් එවන්ස් විසින්. නමුත් යමනකා ඊටත් වඩා වැඩි දුර ගොස් මේ සෛල නොවැඩී තබා ගන්නා ජානය සොයා ගත්තා.. මෙසේ ජාන කිහිපයක් සොයාගෙන ඒවා එකතු කර නැවත මුලින් වෙන් කළ සෛල බහුවිධ කාර්යයන් සඳහා සැකසිය හැකි බවට සොයා ගත්තා.


ඒ අනුව පර්යේෂණ කරලා අවසානයේ විවිධ සෛල වලින් යුතු  අවයව තැනීම දක්වා මේ අංශය දියුණු කරන්නට පුළුවන් බව දැන් පෙනී යනවා. ඉතින් මේ පර්යේෂණ වල අවසානය දිනෙක වෙන වෙනම එකතු කරපු අවයව වලින් තනපු කෘත්‍රිම මිනිසෙක් වන්නටත් පුළුවන්. ඒ කියන්නෙ අපට වකුගඩු බද්ධ කිරීම්, අක්මාව බද්ධ කිරීම් වගේ දේ වලට කෙනෙක් ඒ අවයවය ප්‍රදානය කරන තෙක් බලා නොසිට තමන්ගේම සෛලයකින් එය තනා බද්ධ කිරීම වැනි දියුණු ක්‍රම දක්වා ගමන් කරන්න පුළුවන්. ඒත් ඉතිං අපේ සමහරක් අයට මොළයක් නම් බද්ධ කරන්න බැරි වෙයි... ඒ ගැන හීන මවන්න එපා.
මේ ලෝකයේ "බටහිරයන්ගේ" දියුණු පැත්ත... සමහරු බටහිරයන් හෙලාතලා කතා කළත් ඔවුන්ටත් තමන්ගෙම කියලා විද්‍යාවක් ඉදිරිපත් කරන්නවත් ශක්තිය නෑ දෙයියොන්ගෙ සහය නැතුව... අපේ කට්ටිය ඒ වෙනුවට කරන දේවල් ගැන කතා කරන්න වෙනම බ්ලොග් තිබෙන නිසා මම ඒ ගැන කතා කරන්නෙ නෑ.... මට කියන්න තියෙන්නෙ අපේ රටේ තියෙන මොළ කුරුවල් වෙලා යනකල් ඒවා පාරෙ පිකටින් කරනවා. තරුණ මොළ වගේම වැඩුන මොළත් එතැන තියෙනවා.. එක්කෝ මේ මොළ අයිතිකාරයොන්ට මොළේ පෑදෙන්න ඕන.... නැතිනම් මේ මොළ සියල්ල පාලනය කරන මහ මොළේට මොළේ පෑදෙන්න ඕන... මේ දෙකෙන් එකක් නොවී අපේ රට ගොඩ යනවා බොරු...
ඕං කිවුවා....
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
Here is the link

The Nobel Prize in Physiology or Medicine 2012

Sir John B. Gurdon, Shinya Yamanaka