Sunday, January 27, 2013

2013 ජනවාරි 28 : කට වරද්දා ගත්තොත් ?....................

හොඳට නරකට දෙකට කටමය කියලා පැරැණ්නෝ කියලා තියෙන්නෙ අරුත් කිහිපයක් ඇතුවයි. කතා කිරීමේදී කට පාලනය කර නොගත්තොත් සිද්ධ වෙන්නෙ එක්කෝ දත් නැතුව බත් කන්න, නැතිනම් දතුත් එක්කම බත් ගිලින්න...... එහෙමත් නැතිනම් දැන් කාළයට අනුව ජීවිතයෙන්ම වන්දි ගෙවන්න.... ඒ එක පැත්තක්.. අනෙක් පැත්තෙන් අපි ගන්න ආහාර වර්ග පාලනය... දකින දකින දේ, අතර අහුවෙන අහුවෙන දේ කෑවොත් අපට මොකද වෙන්නෙ ?

කොහොම වුනත් දිවයින ඉරිදා පුවත්පතේ වූ මෙන්න මේ පුවත දැකීමෙන් මට මේ ලිපිය ලියන්න සිතුනා. ඇත්තෙන්ම පුදුමයට පත් වුනා. මේ ලිපිය ඉදිරියේ පළ වන ලිපි පෙළක ආරම්භය පමණයි... මේ ලිපි පෙළ පළවනතුරු මම බොහොම උනන්දුවෙන් බලා ඉන්නවා... මොකද කියනවා නම් මේ වගේ රැඩිකල් අදහසක හොඳ - නරක බලන්න වෙන්නෙ ඒ ලිපි පෙළම කියවලා අවසාන වුනාට පස්සෙයි... සමහරවිට හොඳ වෙන්න පුළුවන්... ඒත්........

බුලිත ප්‍රදීප් කුමාර විසින් ලියූ මේ වටිනා ලිපියෙන් කියැවෙන මූලික කරුණු කිහිපයක් විග්‍රහ කිරීමට මම කැමතියි.

"එබඳු විශේෂඥ දැනුමක්‌ ඇති පෝෂණ වේදියෙක්‌ පසුගිය දිනක මා හා කතාබහ කළේය. මෙම ලිපිය ලියන්නට මා යොමුකළ ආසන්නම හේතුව වුණේ එයයි. ඒ සඳහා ඔහු හරි අපූරු කාරණා රැසක්‌ මා පුදුමයට පත්කරවමින් මා ඉදිරියේ තබනු ලැබුවේය. 

 බිත්තරවල කොලස්‌ටරෝල් නෑ... බය නැතුව කන්න. අද ලාබෙටම ප්‍රෝටීන් ලබාගන්නා මග තිබෙන්නේ බිත්තර වල විතරයි... ඔහු කීවේය."  

බිත්තරවල කොලෙස්ටරෝල් නැද්ද ? 

සාමාන්‍ය බිත්තරයක කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 186 ක් පමණ ඇති බවයි බටහිර ජීව රසායන විද්‍යාව අනුව සොයාගෙන තිබෙන්නෙ... ඒ කහමදයෙයි... සුදු මදයේ කොලෙස්ටරෝල් නැහැ.. සාමාන්‍ය නිරෝගී මිනිසෙකුට දිනකට කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 300 ක් අඩංගු ආහාර අනුභවයට ගත හැකියි... නමුත් බිත්තර අධිකව ආහාරයට ගැනීම හෘද රෝගවලට අතවැනීමක් බව බටහිර විද්‍යාවේ මතයක්... ඒ එසේ වුවත් අනෙක් පැත්තෙන් බිත්තරවල මේ කියන කිසිම අගුණයක් නැති බවත් පැවසෙනවා. මේ ලිපිය බලන්න. එසේම ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය පවසන්නෙත් බිත්තරව නිසි පරිදි ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් වැඩි නොවන බවක්.. පෙරදිග විද්‍යාව මෙයට වඩා වෙනස්... ආහාර සමබලව ලබා ගැනීමෙන් සහ කොලෙස්ටරෝල් නසන ආහාර සමඟ කොලෙස්ටරෝල් ඇති ආහාර සමබර කිරීමෙන් බිත්තර වුවත් ආහාරයට ගත හැකියි. එසේම මේ කුමන ආහාරය ගත්තත් නිසි ව්‍යායාමයක හෝ ඇඟ වෙහෙසා කෙරෙන කටයුත්තක නිරත නොවන්නේ නම් අද කාළයේ දින චර්යාව අනුව රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩියි.. 

 කුරක්‌කන් පිටි වලට වඩා හාල්පිටි හොඳයි.... 

 කුරුට්‌ට නැත්නම් රතුසුදු කියා භේදයක්‌ නැහැ. මොන හාලත් අගුණයි. 

මේ වාක්‍ය දෙකෙහි සම්බන්ධතාවය කුමක්ද ? පිටි වශයෙන් ගත් කළ හාල්පිටි කුරක්කන්පිටි ගුණ බවත්, කුරුට්ට නැතිනම් හාල් අගුණ බවත් හෙතෙම පවසනවා.. මෑතක් වනතුරුම කුරක්කන්පිටිවල ඇති ගුණ පිළිබඳ බහුලව කතා කෙරුණා. දියවැඩියා රෝගීන් මෙන්ම හෘද රෝගීන්ටත් ආහාර සැකසීමේදී කුරක්කන් පිටි භාවිතා කරන ලෙස අනන්තවත් වෛද්‍ය උපදෙස් වලින් අසන්නට දකින්නට කියවන්නට ලැබුණා. හාල්වල කුරුට්ටේ අධික විටමින් ප්‍රමාණයක්, තන්තු ප්‍රමාණයක්, සහ පෝෂණගුණයක් අඩංගු බව සැම දෙනාම දන්නා කරුණක්. ඒ නිසාම තමයි කැකුළුහාල් ආහාරයට ගැනීම ප්‍රචලිත කරන්නෙ... නමුත් හාල් අගුණ වෙලා පිටි ගුණවත් වෙන්නෙ කොහොමද කියා මම දැනගන්නත් කැමතියි. 

කුකුළු මස්‌ ගැහැණු දරුවන්ට අගුණයි කියන්නේ මිත්‍යාවක්‌. 

කුකුළුමස් නිසි පරිදි සැකසෙනවා නම් කිසිදු අගුණක් නැතුව ඇති. නමුත් දැන් කුකුළුමස් සඳහා කුකුළන් ඇති කිරීමේදී උන් ඇතිකරන්නේ දැඩි ලෙස ඇසිරුණ කූඩු තුළ කිසිදු වාතාශ්‍රයක්, කිසිදු චලනයක් නොමැතිව, එසේම ඔවුන් ඉක්මනින් විශාල වීම සඳහා අධික හෝමෝන ප්‍රමාණයක් සහිත ආහාර ලබා දෙනවා. මේ නිසාම ඔවුන් ඉතා ඉක්මනින් වැඩෙනවා. කුකුළුමස් සැකසීමේදී අධික උෂ්ණත්‍වයකදී මේ හෝමෝන සහ බෙහෙත් වර්ග විනාශ වී යා හැකි බවට මතයක් ඇතත්, එය කෙතරම් සත්‍යද කියන්න සොයා බැලිය යුතු වෙනවා. නමුත් දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන කරුණක් නම් දැනට වසර විස්සකට පෙර ගැහැණු දරුවකු වැඩිවිය පැමිණීමේ සාමාන්‍ය වයස වූ අවුරුදු 13-15 ත් අතර කාළය අවුරුදු 11-12 අතර කාළය දක්වා පහළ ගොස් ඇති බවයි. (මේ සඳහා පැහැදිලි දත්ත මා සතුව නැතත්, ලංකාවේ වෙසෙන මගේම ඥාතීන් සහ මිතුරු මිතුරියන්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ වයස ප්‍රමාණය ගණන් බැලූ බව සලකන්න) කොහොම වෙතත් අධික කුකුළුමස් අනුභවය ශරීරයටත් පසුම්බියටත් අහිතකර බව නොකියාම බැහැ... 

 මේ ආහාර පිළිබඳ මගේ දැනීමෙන් ලියැවුන ලිපියක්... නමුත් මට වඩා මේ ගැන දන්න බොහෝ දෙනා මේ ලිපි කියවන බව මා දන්නවා.. මේ කරුණු සඳහා පක්‍ෂව හෝ විපක්‍ෂව ඕනෑම කරුණක් ප්‍රතිචාර වශයෙන් දැක්වීමට ඔබට අයිතිය තිබෙනවා. එය ලිපියට අදාල නම් නොපමාව එය පළ කෙරෙනවා ඇති. 

 "බෝ නොවන රෝග වලට ජනතාව ගොදුරුවන්නේ ආහාරමය සාධක නිසාය යන කාරණය ඔහු බැහැර කළේය. ආහාරමය සාධකය බලපාන්නේ සියයට 25 ක්‌ 30 ක්‌ අතර පමණක්‌ බව කීවේය." 

කෙසේ වුවත් දුම්පානය පෙනහළු පිළිකාවලට හේතුවක් නොවන්නේ යැයි ප්‍රසිද්ධියේ පවසන්නට දුම්වැටි සමාගම්වලින් මුදල් ලබාගත් වෛද්‍යවරුන් බටහිර රටවලින් පවා වාර්තා වෙන කාළයේ මේ සුප්‍රසිද්ධ පෝෂණවේදියාගේ රැඩිකල් ප්‍රකාශ මොනවාද යන්න මා නම් හොඳින් ඇසගසාගෙන සිටිනවා. 

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන්න පමණයි. ඒ ලිපි සියල්ල පළ වූ පසු මේ ලිපියේ පසු විපරම ඔබට දැනගන්නට ලැබේවි... අපි බලමු ඒ විද්වතාගේ මතය කුමක්ද කියලා... 

ඒත් ? ඊට පෙර... ඔබේ මතය කුමක්ද ?