Monday, October 29, 2012

2012 ඔක්තෝබර් 29 : ඔබ ධනවතෙක්ද ? ධනවත් වීමට සිහින දකිනවාද ?

ධනවතෙක් වීම හැම දෙනාගෙම ලොකු සිහිනයක්. ලොකු ගෙයක ජීවත් වෙමින්, ලොකු වාහනයක් පදවගෙන ගිහින් ලොකු ලොකු යාළුවො ආශ්‍රය කරන්න, ලොකු ලොකු කතා කියලා තමන් ලොක්කෙක් කියලා පෙන්වන්න සමහරුන්ට තිබෙන්නෙ පුදුම ආශාවක්. ඒ නිසාම ජීවිත කාළයම ණය ගෙවනවා. ලංකාවෙ නම් ගෙයක් නැතිනම් ලොකු අඩුවක්... තවමත් කුළියටද ඉන්නෙ ? තවමත් තමන්ට කියලා ගෙයක් නැද්ද ? ඔබට මේ වගේ කතා අනන්තවත් ඇහෙනවා ඇති.. ගෙවල් ඇති අය ගෙවල් ලස්සනට තියාගෙන උජාරුවට ජීවත් වෙනවා. ගෙවල් නැති අය හූල්ලනවා අනේ මටත් මේ වගේ ගෙයක් තියෙනවා නම් කොච්චර හොඳද කියලා. වාහනයක් වුනත් එහෙමයි. පුංචි කාර් එකක් තියාගෙන ඉන්න කෙනා ලොකු කාර් එකක් ගන්න සිහින මවනවා. ලොකු කාර් එකක් තියෙන කෙනා තවත් ලොකු කාර් එකක් ගන්න සිහින මවනවා. මේ 99යෙ කණ්ඩායම.. දන්නෙ නැතිනම් හොයලා බලන්න... මමත් ඒ කතාව ඇහුවෙ රෑ ඉරපානෙන්.
අපි හැමෝටම මුදලින් ධනවත් වෙන්න පුළුවන් නම් හරිම අගෙයි. නමුත් අපි හැමෝටම ඒ වාසනාව හෝ හැකියාව නැහැ. නමුත් හැමෝටම ඒ අවස්ථාව තිබෙනවා. ඒත් අපි ඒ අවස්ථාවන් පැහැර හරිනවා.. දැන හෝ නොදැන. සමහර වෙලාවට මටත් අනන්තවත් හිතිලා තිබෙනවා... මමත් මෙච්චර වැඩිදුර ඉගෙන ගන්නෙ නැතිව රැකියාවකට ගියා නම් කොච්චර හොඳට ජීවත් වෙන්න තිබුණද කියලා.. නමුත් තවත් වෙලාවකට හිතෙනවා මෙච්චර කල් ඉගෙනගත් නිසා නේද මේ හැම දේම ලැබුණෙ කියලා. අපට අනාගතය දකින්න බැහැ. එහෙම පුළුවන් වුනා නම් බොහෝ දෙනෙක් ධනවත්තු. නමුත් අපට කරන්න පුළුවන් එකම දේ කළ යුතු සුදුසුම දේ කිරීම. සමහර විට වරදින්න පුළුවන්. මීට පෙර ලිපියක මම කිවුවා වගේ වැරදුනාම වැරදුන තැන මතක තියාගෙන එතැනින් පටන් ගන්න පුළුවනි. එකම වැරැද්ද දෙපාරක් කරන්න ගියොත් නම් සමාවක් දෙන්න බැහැ. මිනිස්සුන්ට වරදිනවා. වරදින්නෙත් උත්සාහ කරන මිනිස්සුන්ටයි. උත්සාහ නොකර එකම විදියට ඉන්න මිනිස්සුන්ට වැරදීමක් වෙන්නෙ නැහැ ඒ අය කිසිවක් කරන්නෙ නැති නිසා. ඉතින් වැරදුන දෙයින් ඉගෙන ගන්න...
මම ආචාර්ය උපාධිප ආරම්භ කළ අවස්ථාවෙ මට එක්තරා සංයෝගයක් සෑදීමට සිදු වී තිබුණා. මේ සංයෝගය මට පෙර සිටි ශිෂ්‍යයෙකුත් උත්සාහ කළ සංයෝගයක්. නමුත් ඔහුටත් එය තනාගන්නට නොහැකි වුනා. මම 22 වතාවක් විවිධාකාර අන්දමට උත්සාහ කරලා අවසානයේ 23න් වන වතාවෙ ඒ සංයෝගය තැනුවා. මා අධීක්‍ෂණය කළ පර්යේෂක සිම්බාබ්වේ ජාතික බෙවන් මට බොහෝ ප්‍රශංසා කළේ මා කිසි විටෙක ඒ උත්සාහය අත්නොහැර අවසාන ඉලක්කය කරා ගිය නිසා. ඒ සංයෝගයෙන්  මට ලොකු ප්‍රයෝජනයක් නොමැති වුනත් ඒ 22 වතාවෙදිම ලැබූ අත්දැකීම් පසුකළෙක මගේ පර්යේෂණ සාර්ථක කර ගැනීමට උපයෝගී වුනා.
බොහෝ නව නිපැයුම් තැනූ පුද්ගලයින් සිය සාර්ථකත්‍වය කරා ලඟා වුනේ නොපසුබස්නා උත්සාහයෙන්. ඇපල් සමාගම ලෝකයේ ලොකුම සහ ධනවත්ම සමාගම බවට පත් කළ ස්ටීව් ජොබ්ස් සිය ආරම්භය කර ගත්තෙ නිවසේ ගරාජය.  ඒ මිල මුදල් පැත්තෙන් ධනවතෙකු වෙන එකම මඟ.. නොපසුබස්නා උත්සාහය... තවත් ධනවතුන් මේ ලෝකෙ අනන්තවත් ඉන්නවා. ධනවත්කම මිල මුදලින්  බඩු භාණ්ඩ වලින් යාන වාහන වලින් ඇසුරු කරන ලොකු ලොක්කන්ගෙන් මනින සමාජයක ඔබ සමහරවිට දුප්පතෙක් වෙන්න පුළුවනි. නමුත් ඔබත් කිසියම් ආකාරයක ධනවතෙක් විය හැකියි. ඔබට අවශ්‍ය වෙලාවකට අවශ්‍ය උදවුවක් කරන්න සැදී පැහැදී ඉන්න මිතුරු කැළක් (බොක්කෙන් ඉන්න යාළුවො) ඉන්නට පුළුවනි. ඒ අතින් ඔබ ධනවතෙක්... බොක්කෙන් ඉන්න මිතුරු කැළක් සමහරවිට අර මිල මුදල් සියල්ලට වඩා ධනයක් වෙන්න පුළුවනි. අන් අයට වඩා ඔබ බුද්ධිමත් වෙන්නට පුළුවනි. මිල මුදල් අතින් දුප්පත් වුනත් අපේ සමහර මහාචාර්ය වරු අන් සියල්ලට වඩා උගත්කමින් -දැනුමින් පොහොසත්, ඒ නිසාම ඔවුන් සිසු සිසුවියන්ගෙන් පොහොසත්. නමුත් උගත්කම කියන්නෙ බුද්ධිමත්කම නොවෙයි කියලත් මතක තියා ගන්න. සමහර වෙලාවට පාරෙ යද්දි වුනත් පස් එකෙන් බැහැලා ඇවිත් කතා කරන සිසුන් ඉන්නෙ, පාරෙ මැද්දේ දෙනෝදාහක් සෙනග මැද්දෙ දණ ගහලා වඳින්නෙ අන්න ඒ ධනවත් බව නිසා.
ඔබ මිලමුදල් යාන වාහන නැති වුනත් නිරෝගී කම අතින් ධනවත් වෙන්න පුළුවනි. ඔබට ඉහෙන් බහින රෝගයක් නැති වෙන්න පුළුවනි. ඔබ ඒ අතින් ධනවත්, නිරෝගී කමත් ධනයක්.... නිරෝගී කමේ වටිනාකම දන්නෙ රෝගීව ඉන්න උදවිය. සිතට කිසිදු සැනසීමක් නොමැතිව නිතරම තමන්ගේ රෝග තත්ත්‍වය පිළිබඳ සිතමින් ඉන්න මිළ මුදලින් ධනවත් අයට වඩා ඔබ සැනසීමෙන් ඉන්නවා..  ඒ ධනවත් බව කාටවත් උදුරා ගන්න බැහැ...
කොච්චර ධනයක් තිබුණත් සැන්ඩි වගේ ලොකු කුණාටුවක් ආවොත් සියල්ල මොහොතින් නැති වෙන්න පුළුවන් කියලත් හිතේ තියා ගන්න.. දැන් කී දෙනෙක් බඩේ ගින්දර පත්තු වෙවී ද ඇත්තෙ කුණාටුව නිසා... ඒ සියළු දෙනා ඉන්නෙ බයෙන්.. ජීවිතය පිළිබඳ බයෙන්, තමන්ගෙ නිවස කැඩෙයි කියන බයෙන්, තමන්ගෙ වාහනය අනතුරකට පත් වෙයි කියන බයෙන්.. කොපමණ ධනය තිබුණත් ඉන්නෙ බයෙන්... ලංකාවෙ ධනවතුන්ගෙත් වැඩි වෙනසක් නෑ.. කොපමණ මුදල් තිබුණත් ඉන්නෙ බයෙන්... හොරකම් කරයිද ? කප්පම් ගනීද? තමන් මරා දායිද ආදී විවිධාකාර බයෙන්... සමහරු ආරක්‍ෂකයොත් තියාගෙනයි ඉන්නෙ... ඒත් බයෙන්.....
ඔබට ඒ සියල්ල නැතුවත් සතුටින් ඉන්න පුළුවනි. ඔබට ආදරය කරන නෑදෑයින්, දෙමාපියන්, බිරිඳක්-සැමියෙක්, දරුවන් ඉන්නවා නම්, ඔබට සියල්ල අහිමි වුනත් නැවත යා හැකි තැනක් තියෙනවා නම්, එතැන සතුටින් ඉන්න පුළුවන් නම්, ඔබ ධනවත්,..
සංතුෂ්ඨි පරමං ධනං කියලා බුදුන් වහන්සේ වදාලේ අර්ථයක් ඇතිව...
සතුටින් ඉන්න... ඔබ ධනවතෙක්.... ඔබේ සතුට ඔබට නිරෝගී බව ඇති කරනවා... එය පරම ලාභයක්.... ජීවිතය කියන්නෙ සල්ලිම නොවෙයි... සල්ලි නැතුවත් බෑ.... ඒත් සල්ලිම නෙවෙයි... තේරෙනවද මන්දා.....
ඉතින්.... ඔබ මොන වගේ ධනවතෙක්ද ?