Saturday, January 12, 2013

පිටස්තරයා........................ දහනවවන දිගහැරුම.........................


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තවම සිහිය ආවෙ නැද්ද ඩොක්ට ? මොලී පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයාගෙන් විමසුවේ ඉතා දුක්මුසුවය.....
තවම නැහැ මොලී..... අද හවසත් අර හාමුදුරුවො ඇවිත් පිරිත් කියලා ගියා.... ඒත් තවම කිසිම වෙනසක් නැහැ... එකම වෙනස පිරිත් කියන අවස්ථාවෙ විතරක් මොළයේ සංඥාවල සිදුවන වෙනස විතරයි. මේ නිසාම අපි තීරණය කළා අර මුලින් කිවුව විද්‍යුත් කම්පන ප්‍රතිකාරය හෙටින් පසුව කරන්න.
කෝකටත් අපි විශ්වගෙ භාරකාරයො එනකල් ඉඳිමු ඉදිරියේදි මොනවා කරනවද කියන දේ තීරණය කරන්න.... තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් ලැබුණා ඒ අය හෙට ලංකාවෙන් පිටත් වෙනවා කියලා... ඒ කියන්නෙ හෙට හවස් වෙනකොට ඒ අය මෙහාට එන්න ඕන... එයාලා ආවට පසු අපි වාර්තා පැහැදිලි කරලා දීලා බදාදාට විශ්වගේ කම්පන ප්‍රතිකාරය කරන්න බලාපොරොත්තු වෙනවා.
ඩොක්ට කිවුව නේද අර මුලින් කළ පරීක්‍ෂණ වගයක් ගැන, ඒවයේ වාර්තා වලින් මොනවත් තීරණයක් ගන්න බැරිද ?
ආ... මතක් කළ එක හොඳයි... ඒ වාර්තා අපි හොඳින් සළකා බැලුවා... අපි මේ රෝහලේ විතරක් නොවෙයි. සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු  විශේෂඥ වෛද්‍ය ඩෙරික් ශෙපර්ඩ්ගෙනුත් අපි අදහස් ලබා ගත්තා... ඔහුට අනුව මේ තත්ත්‍වය එතරම් අසාමාන්‍යතාවයක් නොවෙයි, නමුත් දිගටම අපි නිරීක්‍ෂණය කරනවා.. අපි අද සවස ඔහුව සජීවීව සම්බන්ධ කරගත්තා පිරිත් කියන අවස්ථාවේදී... ඔහුත් දුටුවා මේ සංසිද්ධිය... ඒ නිසාම අපි තවදුරටත් පිරිත් සජ්ඣායනය කිරීමේ කටයුත්ත දිගටම කරන්න තීරණය කළා... හාමුදුරුවොන්ගෙනුත් අකැමැත්තක් නැහැ...

සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩෙරික් ශෙපර්ඩ්
සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩෙරික් ශෙපර්ඩ්

එතකොට විශ්වගේ අනිත් අවයව වල ක්‍රියාකාරීත්‍වයේ වෙනසක් නැද්ද ? මෙතෙක් වේලා නිහඬව සිටි මෙගන් වෛද්‍යවරයාගෙන් විමසුවාය..
විශ්ව බැලීමට හමුදා රෝහලට ඇතුළුවිය හැක්කේ සීමිත සහ අවසරලත් පුද්ගලයින් සංඛ්‍යාවකට පමණක් නිසා මෙන්ම විශ්ව බැලීමට ඇති කැමැත්ත නිසාත්, වෙනත් කළහැකි කිසිවක් නොතිබූ නිසාත්, මොලී සමඟ පැමිණීමට මෙගන්ට සිදුවිය.
නැහැ.... පෙනහැල්ලේ සිදු වුන තුවාලය නිසා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් තමයි හුස්ම ගන්නෙ... ඒ ඇරෙන්න කිසිම අවයවයක හෝ ඉන්ද්‍රියක වෙනසක් පෙන්වන්නෙ නැහැ... ඒක ඇත්තටම හොඳ දෙයක්... ඒ නිසා අපට ගොඩක් බලාපොරොත්තු තබා ගන්න පුළුවනි විශ්වට ඉක්මනින්ම සිහිය ඒවි කියලා.
අපට මොනවද වෙන කරන්න පුළුවන් ?
ඔයාලට නම් මෙතැන කරන්න කිසිම දෙයක් නැහැ... අපි මුලින්ම කරන්න ඕන විශ්ව ප්‍රකෘති තත්ත්‍වට ගන්න එකයි.. ඊට පස්සෙයි ඉතිරිය බලන්න වෙන්නෙ... අපට සමහරවිට විශ්වට මානසික ප්‍රතිකාර කරන්න වෙයි... එයා මෙතැනට වැටුනෙ ලොකු අනතුරකින් පස්සෙ.. ඒ නිසා පශ්චාත් කම්පන ආතතිය (Post Traumatic Stress Disorder) සඳහා ප්‍රතිකාර කරන්න වෙයි.. ඒක බලපාන්නෙ විශ්වගෙ මානසික තත්ත්‍වය අනුව.. එයා මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් නම් බොහොම ඉක්මනින් ප්‍රකෘති තත්ත්‍වයට පත් වේවි.. නැතිනම් ටික කලක් යාවි.. එයා ප්‍රකෘති තත්ත්‍වයට පත් වෙන්නෙ ටික කළක් සිහිනැතිව ඉඳලා නිසා එයාගෙ මතකය, මානසික මට්ටම ගැන පරීක්‍ෂණ කරන්න වේවි. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් අපට ඒ පැත්තෙන් පුනරුත්ථාපනය කරන්න වේවි. ඉන් පස්සෙ අපි බලන්න ඕන එයාගෙ අවයව වල ක්‍රියාකාරීත්‍වය ගැන.. පාදයේ අස්ථියක් සම්පූර්ණයෙන්ම බිඳුන නිසා ඇවිදීම අපහසු වේවි.. පාදය යථා තත්ත්‍වයට ගෙන එන ව්‍යායාම්වල යෙදෙන්න වේවි... මේ වගේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා ඉදිරියට.. සමහරවිට සිහිය ඇවිත්  මාස දෙකක් තුනක් යනකල් 100 % ක් ප්‍රකෘති තත්ත්‍වයට ගෙන එන්න අමාරු වේවි.. නමුත් බය වෙන්න එපා.. මීට වඩා දරුණු විදියට ආබාධවලට ලක් වෙලා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ආපු සොල්දාදුවො අපි හොඳ කරලා නැවත යුධබිමටත් යවලා තියෙනවා. ඒ නිසා හිත කලබල කර ගන්න එපා.. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු....
බොහොම ස්තූතියි ඩොක්ට....
ප්‍රශ්නයක් නැහැ....
එහෙනම්,... අපි ගිහින් එන්නම්.........
හොඳයි... සුභ සන්ධ්‍යාවක්.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පසුදා සවස්වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි..... තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සියල්ලට වඩා වෙනස් බව ඇයට හැඟෙමින් පැවතුනි. සේවා ස්ථානයද කිසිම කෙනෙකු විහිළුවක්වත් නොකරන තත්ත්‍වයකට පත්ව තිබුණි.  වෙනදා අන් අයට විහිළු කරන බිල් පවා තමන්ගේ පාඩුවේ සිය කටයුතු කරගෙන යනු දකින්ට ලැබුණි...
මේ අතර හදිසියේම සිය ප්‍රධානියාගෙන් මොලීට ලැබුණේ වහාම පැමිණ ඔහු හමුවන ලෙසයි...
සුවිශාල අනතුරක සේයාවක් ඇගේ සිතේ නලියන්නට විය....
ඇය විද්‍යාගාර ප්‍රධානී නීල් ෆියු හමුවන්නට ගියාය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද ? ගමන් මහන්සිය හොඳටම ඇති නේද ?
තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විසින්  වොෂිංටන් ඩලස් ගුවන්තොටුපලේ මගී පර්යන්තයේදී සුමනසේකර යුවල පිළිගනිමින් විමසුවේය...
මහන්සියි කියලා මොනවා කරන්නද මහත්මයා.... මේ ගමන එන්න එපායෑ...
මම ගීතාංජන ලංකාතිලක... අඳුන්වාදෙන්නත් බැරි වුනා..
බොහොම සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන.... මම විශ්වගෙ ලොකු මාමා... සුමනසේකර... මේ මගේ බිරිඳ නීලා...
ඔව්, පන්සලේ ලොකු හාමුදුරුවො මට ඔබ දෙපළ ගැනම හොඳ හැඳින්වීමක් කළා... අත්ථදස්සි හාමුදුරුවොත් සෑහෙන විස්තර මට කිවුවා.. මේ දවස් දෙක තුනම අත්ථදස්සි හාමුදුරුවො මට කතා කරලා කිවුවේ ඔබ දෙපළගෙ නවාතැන්, කෑම බීම කටයුතු සම්පාදනය කරන ආකාරය.. අපි දැන් යන්නෙ තානාපති කාර්යාලයේම සේවය කරන කෙනෙකුගෙ නිවසකට.. එහේ තමයි අපි ඔබ දෙපලට නවාතැන් පහසුකම් දෙන්න යොදාගෙන තිබෙන්නෙ.. එහි ඉන්නෙත් ඒ දෙපළ පමණයි.. ඒ නිසා වැඩි කරදරයක් නෑ.. ගමන් පහසුකම් සඳහා තානාපති කාර්යාලයෙන් වාහනයක් ලැබෙනවා රියැදුරෙක් සමඟම... විශ්වගෙ තාත්තා එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ සේවය කළ නිසා අපට මේ පිළිබඳ විශේෂ පහසුකම් ලැබී තිබෙනවා... ඒ වගේම ඔහු අපේ තානාපති කෙනෙකුව සිටි නිසා ඒ පහසුව තවත් වැඩියි... කිසිම දේකට බය වෙන්න එපා.. සියල්ල සූදානම්...
අනේ පුතා බොහොම ස්තූතියි මේ කරන උදවු වලට.... අපි කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ සත්කාරයක්... ලොකු හාමුදුරුවො කිවුවා අපට නවාතැන් පහසුකම් සකසලා තියෙන්නෙ කියලා... මම දැනං හිටියෙ එච්චරයි...
අපට විශ්ව බලන්න යන්න පුළුවන් කීයටද ?
ආ... ඒක ගැන කතා කරන්නයි මම හිටියෙ... අපි මේ බෑග් තියලා පොඩ්ඩක් පිළිවෙලක් වෙලා හවස හයට පමණ යමු රෝහලට.... ඔබ නැවතී ඉන්න අදහස් කරන යාපා මහත්මයාගෙ නිවසේ වැඩි දුරක් නැහැ... රෝහලට...
අනේ ලොකු දෙයක්... මට ඉක්මනින්ම සුදුපුතා බලාගන්න ඕන... නීලා සුමනසේකර මහත්මිය නෙතට නැඟුන කඳුලක් පිසදමමින් පැවසුවාය.
බය වෙන්න එපා මිසිස් සුමනසේකර... විශ්ව නවත්වලා තියෙන්නෙ ඇමරිකාවෙ තියෙන හොඳම හමුදා රෝහලක... මේකේ තියෙන්නෙ ලෝකයේ හොඳම පහසුකම්. ඒ වගේම මේ රෝහලට ඇමෙරිකාවේ තිබෙන අනෙක් ප්‍රධාන රෝහල් සියල්ලම සමඟ සබඳතා තිබෙනවා.. ඒ නිසා විශ්ව වෙනුවෙන් කරන්න පුළුවන් සියළුම දේ ඒ රෝහලෙන් කෙරෙනවා. එච්චරක් නෙවෙයි විශ්වගේ සේවා ස්ථානයෙනුත් මේ ගැන හොඳට හොයා බලනවා.. කිසිම දේකින් අඩුවක් වෙන්න ඉඩක් නෑ..
ඒ සංවාද අතරතුර ඔවුහු යාපා මහතාගේ නිවස කරා පැමිණ තිබුණි. ආගන්තුක සත්කාර වලින් සහ තේ පානයෙන් අනතුරුව නැවතත් මඟට පිලිපන්නේ විශ්ව බැලීම සඳහා රෝහලට යාමටය.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ මිනිස්සුන්ට හරියට වාහනයක්වත් හප්පන්න බැරි ද ? බලනවා අර මිනිහා දැන් ජීවත් වෙයිද මැරෙයිද කියලා කවුද දන්නෙ ? හොඳ වෙලාවට අපි මැදිහත් වෙලා මේක වැහුවා... කවුරුහරි දැනගත්තා නං අපි මේකට සම්බන්ධයි කියලා මොන වගේ තත්ත්‍වයක්ද ඇතිවෙන්නෙ ?
ඔවුන් තිදෙනාම කිසිදු වචනයක් නොදොඩා නිහඬව ජනරාල් වෙලිංටන් දෙස බලා සිටියා පමණි.
තමුසෙලාට කවදාවත් හරියට වැඩක් කරගන්න බැරි හැටි ? එක පාරක් තාප සංවේදක කැමරාවෙන් ගත්ත වීඩියෝ හරියට කර ගත්තෙ නෑ... දැන් ඒ මදිවට මේ මිනිහා හප්පලා ඒ මිනිහා ජීවිතයත් මරණයත් අතර සටනක.. කවුද දන්නෙ තමුසෙලා හයි කරපු කැමරා ටිකයි  ශබ්ධ රෙකෝඩ් කරන උපකරණයි ටිකත් කාටහරි අහුවෙයිද කියලා... ඒක අන්තිමට  හොයාගෙන ගිහින් ඒවා හයි කළේ එෆ් බී අයි එක කියලා දැනගත්තාම තවත් ලෙඩක්... ඇත්තෙන්ම තමුසෙලා මේ වැඩේට සුදුසුද ?
ජෙනරාල් වෙලිංටන්... අපි හිතුවෙ නැති විදියට තමයි වාහනේ හැප්පිලා තියෙන්නෙ.... අපි සැලසුම් කළේ පිටුපසින් හප්පලා පොඩි හානියක් කරලා ඔහුව නිරීක්‍ෂණය කරන්න... නමුත් හිතුවෙ නැති විදියට වාහනයෙ පැත්තක හැපිලා ඔහුගේ පෙනහැල්ල සිදුරු වෙලා තියෙනවා... මේ නිසා තමයි වැඩේ බරපතල වුනේ... ජෙනී අවසානයේ කටහඬ අවදි කළාය..
ජෙනී... මම ඔයාව මේ වැඩේට දැම්මෙ මීට වඩා සූක්‍ෂම විදියට එයාට ලංවෙලා තොරතුරු ලබා ගන්න... නමුත් මම බලාපොරොත්තු තියාගෙන හිටි ආකාරයට ඒක වුනේ නැහැ... ඔයාත් මාව අසතුටට පත් කරනවා... මේ දෙන්නට වැඩිය ඔයා සූක්‍ෂම වෙන්න ඕන... මට ආයෙම ඔය තුන්දෙනාට කතා කරන්න ඉඩ තියන්න එපා.. මට මෙයාව යථා තත්ත්‍වයට ආවට පස්සෙ ගන්න ඕන තොරතුරු ටික අරගෙන දෙන්න.... මේකට මමත් දැන් අතදාපු නිසා මේකෙ කෙළවරක් දකින්න ඕන.... මෙයා අපට වැදගත් වෙන්නෙ බොහොමයක් හේතු මත... දැන් යන්න පුළුවන්........
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඊට පස්සෙ ?