Saturday, December 8, 2012

පිටස්තරයා.................. දහතුන්වන දිගහැරුම........................


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා............. අටවන දිගහැරුමපිටස්තරයා............. නවවන දිගහැරුමපිටස්තරයා............. දසවන දිගහැරුමපිටස්තරයා............. එකොළොස්වන දිගහැරුමපිටස්තරයා............. දොළොස්වන දිගහැරුම


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුභ උදෑසනක් විශ්ව....
සුභ උදෑසනක් මොලී.. කොහොමද ඔබට ?
බොහොම හොඳයි.....  ඔබට ?
මමත් හොඳින්...... අපි දැන් යමුද ?
යමු................
දෙදෙනාම  ආචාර්ය ෆියු හමුවීමට ඔහුගේ කාමරය වෙත පා නැඟූහ....


සාමාන්‍යයෙන්  හමුවන මිතුරු මිතුරියන්ගෙන් “කොහොමද ?" කියා ඇසීම ඇමරිකානු සිරිතකි. එයට පිළිතුරු දීම හෝ නොදීම අදාල පුද්ගලයාගේ සිරිතක් වන අතර බොහෝ විට කෙටි පිළිතුරක් ලබා දේ. මෙය වෙනත් රටවල, විශේෂයෙන් යුරෝපයේ හෝ ආසියාවේ දකින්නට නොලැබෙන සිරිතක් සේ පෙනේ.


මොකද දෙන්නා උදෙන්ම ? සුභ ආරංචියක්ද නැතිනම් එච්චර සුභ ආරංචියක් නෙවෙයිද ?
සුභ ආරංචියක් නීල්.... අපි දෙදෙනාම මේ වැඩේට කැමතියි.... අපි මේ ව්‍යාපෘතිය භාර ගන්නවා.
බොහොම සන්තෝෂයි.... මමත් බලාපොරොත්තු වුනා ඔබ දෙදෙනා මේ ව්‍යාපෘතිය භාර ගනීවි කියලා... මේක බොහොම වැදගත් ව්‍යාපෘතියක්, සමහරවිට  මේ ව්‍යාපෘතිය හරි ගියොත් මේක අමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රබල සංධිස්ථානයක් වේවි. ඉතින් එහෙනම් අපි පටන් ගනිමු....
ආචාර්ය නීල් ෆියු  සිය පරිඝණකයේ වූ වැඩසටහන පසෙක වූ පුළුල් තිර රූපවාහිනි තිරය මත දිස් වන්නට සැලැස්වීය... ඉන් පසු පර්යේෂණය විස්තර කිරීම ඇරඹීය....
විද්‍යාත්මක පර්යේෂණ ආවාට ගියාවට සිදු කරන්නක් නොවේ. පර්යේෂණ වලට පැහැදිලි සැකිල්ලක් ඇති අතර සෑම පර්යේෂණයක්ම පර්යේෂණ සාරධර්ම (Research Ethics) වලට යටත්ව සිදු කෙරේ. බොහෝ බටහිර රටවල පර්යේෂණ සඳහා විශාල මුදල් සම්භාරයක් යට කෙරෙන නිසාම ඒවායේ තත්ත්‍වය මෙන්ම බලාපොරොත්තු වන ප්‍රතිඵල ද උසස් වේ. මේ නිසා සිදු කරන සෑම පරීක්‍ෂණයක්ම මනා සැලසුමකින් යුක්තව බොහෝ කරුණු සළකා බලා සිදු කෙරේ.බොහෝවිට පර්යේෂණ සිදු කරන්නේ වාලුකා යන්ත්‍රයක (Hourglass) ආකෘතියකට වේ. මේ ආකෘතිය ආරම්භ වන්නේ විශාල පර්යේෂණ ක්‍ෂෙත්‍රයක කරුණු සළකා බැලීමෙනි. එසේ ලබා ගන්නා කරුණු කෙමෙන් කෙමෙන් ලඝු කර නියමිත පර්යේෂණය සඳහා කේන්‍ද්‍ර කර ගනු ලැබේ. එයින් ලැබෙන ප්‍රතිපල විදාරණය කර එහි දත්තවලින් ලැබෙන තොරතුරු සාක්‍ච්ඡා කර නිශ්චිත නිගමනයකට එළැඹීම මගින් පර්යේෂණයේ අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගත හැකිය. විද්‍යාත්මක පර්යේෂණවල මූලික අදියර කිහිපයකි.

  • පර්යේෂණය සිදු කිරීමට අවශ්‍ය ප්‍රශ්නය හඳුනා ගැනීම (Problem)
  • මීට පෙර අන් පර්යේෂකයන් විසින් සිදු කළ සමාන පර්යේෂණවල දත්ත, තොරතුරු එක්රැස් කර ගැනීම (Literature Survey
  • පර්යේෂණයේ අභිමතාර්ථයන් පැහැදිලි කර ගැනීම (Objectives)
  • පර්යේෂණයේ සුවිශේෂී ඉලක්කයන් සහ උපකල්පනයන් පැහැදිලිව හඳුනා ගැනීම (Targets and Hypothesis)
  • පරීක්‍ෂණ සිදු කිරීම සහ දත්ත එක් රැස් කිරීම (Experimental)
  • එක් රැස් කරගත් දත්ත විශ්ලේෂණය සහ අර්ථාන්විතව පැහැදිලි කිරීම (Data analysis and interpretation) 
  • සිය දත්ත මගින් පර්යේෂණයේ උපකල්පනයන් සහ අභිමතාර්ථයන් පැහැදිලිව ඔප්පු වෙනවාදැයි දැනගැනීම (Achieving objectives)
  • එම පර්යේෂණයේ ප්‍රතිඵල පිලිගත් පර්යේෂණ සඟරාවකට හෝ ජර්නලයකට යොමු කර ඇගැයුමක් ලබාගැනීම (Submitting the manuscript)
    • අදාල සඟරාවේ කතෘ මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලයක විශ්ලේෂණයට ලිපිය යොමු කිරීම (Review)
    • ඔවුන් මේ ලිපියේ කරුණු පිලිගන්නවාද නැතහොත් ප්‍රතික්‍ෂෙප කරනවාද යන්න දැනගැනීම ( Approval)
    • අදාල යෝජනා සහ විවේචන වලට එකඟ වන පරිදි පර්යේෂණයේ ප්‍රතිපල සහ දත්ත සැකසීම  (Revisions)
    • අදාල පාර්ශව සියල්ල පර්යේෂණ ලිපිය ප්‍රසිද්ධ කිරීමට එකඟ වීම (Acceptance)
  • පර්යේෂණය ප්‍රසිද්ධ කිරීම. (Publishing)

මේ නිසා විද්‍යාත්මක පර්යේෂණයකට වැයවන මිනිස් පැය ගණන සහ මුදල් සම්භාරය නිසා බොහෝ පර්යේෂණ සිදු කෙරෙනුයේ මනා සැලසුමකින් සහ වගකීමකිනි. පර්යේෂණයට සම්බන්ධ වන සියළුම දෙනා මේ වගකීම් පැහැදිලිවම දැනගෙන ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටිති.ආරම්භය කෙසේ වුවත් විස්තරයේ මැද භාගයට යනවිට මේ පර්යේෂණයේ බැරෑරුම් බව තිදෙනාටම හොඳින් අවබෝධ වී තිබුණි. ඩොලර් මිලියන ගණනාවක පිරිවැයක් වෙන්කර ඇති මේ පර්යේෂණයේ වැදගත්කම අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන්නක් බව විශ්වට අවබෝධ විය... තමා මෙතෙක් කල් කළ පර්යේෂණවල අග්‍රඵලය ලබා ගැනීමට මේ ව්‍යාපෘතිය හොඳම මාර්ගය බව කෙමෙන් වැටහෙන්නට විය.....
හොඳයි... දැන් දෙන්නටම අවබෝධ වෙන්න ඇතිනෙ මොනවද කෙරෙන්න ඕන කියලා.... මුලින්ම කියන්න තියෙන්නෙ මේක රහස්‍ය මට්ටමේ තුන්වන තලයේ (Level 3 Classified) ඇති ව්‍යාපෘතියක්. මේ ආයතනයෙ ඒ වගේ ව්‍යාපෘති තියෙන්නෙ තුනයි නැතිනම් හතරයි. මම මේ ව්‍යාපෘතිය ඔබ දෙදෙනාට භාර දෙන්නෙ මේ රහස්‍යභාවය ඒ වගේම තබා ගනීවි කියන විශ්වාසය මත. ඒ විශ්වාසය කඩ කරන්න එපා, ඒ වගේම කඩකළොත් සිදු වන සිදුවීම්වල වගකීම මට භාරගන්නත් බැහැ. ඒක හොඳටම මතක තියාගන්න.
දෙදෙනාම ප්‍රධානියාගේ කාමරයෙන් පිටවූයේ තමා භාරගත් ව්‍යාපෘතියේ ඇති බැරෑරුම් කම හොඳින් වටහාගෙන ය. තමන් මේ කරුණු කෙසේ සිය සගයනට විස්තර කරන්නේදැයි දෙදෙනාම පැහැදිලිව දැන සිටියේ නැති වුවත් වැඩිදුර විස්තර පැවසීමට යාමෙන් තමා අමාරුවේ වැටෙන බව පමණක් දැන සිටියහ.
මොකද උඹලා දෙන්නා පැය තුනක්ම ලොක්කා එක්ක කළේ ?
එළියට එනවිටම පසෙක සිට බිල් කෑ ගැසුවේය..
පැය තුනක්ම අපි ඇතුලෙ හිටියද ? දැනුනෙවත් නෑ.....
හොඳටම සහතිකද ලොක්කා ඇතුලෙ හිටියා කියලා ? උඹලා දෙන්නා විතරක්ද දන්නෙ නෑ හිටියෙ....
හහ්... යාළුවා... ඔන්න පොට වරද්ද ගන්නයි හදන්නෙ... තව ටිකකින් ලොක්කා එළියට එනවා... ඊට ඉස්සර වෙලා මාරු වෙමු....
ඒක නෙවෙයි... අද කොහෙද කන්න යන්නෙ.... මම හිටියෙ ඔක්කොම එකතු වෙනකල්... මට යකෙක් කන්න බඩගිනියි.....
මට නම් කොහෙත් එකයි... ඒ විශ්ව...
ඔව් ඉතිං... මෙයා කන්නෙ කොළ විතරමනෙ.... මෙයාව වොෂිංටන් මෝල් එකෙන් දාගෙන අපි යමු හොඳ රෙස්ටෝරන්ට් එකකට... එනකොට අපි අරන් එමු... එතකොට ඇතිවෙන්න තණකොළ කාලා ඉඳීවි නෙ තණ පිට්ටනියෙන්...
වොෂිංටන් නගර මධ්‍යයේ සැලැස්මවොෂිංටන් නගර මධ්‍යයේ සැලැස්ම
තණකොළවල තියෙන ගුණය දන්නෙ තණකොළ කන අය මෙගන්....  ඒකෙ තියෙන ගුණ දැන ගත්තොත් ඔයා කවදාවත් මස් මාළු කන එකක් නෑ... නමුත්, මම කවුරුවත් නිර්මාංශ කරන්න උත්සාහ කරන්නෙ නෑ...
කමක් නෑ... අපි අද යමු Bangkok One තායි අවන්හලට.... ඒක නිර්මාංශ අයටත් හොඳ එකක්... ඉඳලා හිටලා අපිත් ඒවා කන්න උත්සාහ කරන එක හොඳයි... මොකද කට්ටිය කියන්නෙ ? මොලී යෝජනාවක් කළේ අන් කිසිවෙකුට යමක් කතා කරන්නට ඉඩක් ලබා නොදෙමින්...
හොඳයි හොඳයි... එහෙනම් යමු... මගදි හරකෙක් මරාගෙන එන්න බැරියෑ මට... මයික් එකඟත්‍වය පළ කළා...
සාමාන්‍යයෙන් සිකුරාදාට රසායනාගාරයේ සියළුම දෙනා දිවා ආහාරය ගැනීමට අසළ වූ අවන්හළකට යාමට පුරුදු වී තිබුණා. ඉතා ඉහළ  වේතනයක් ලබන රාජ්‍ය රසායනාගාර විද්‍යාඥයින්ට දිනපතා වුවත් ඉහළ පෙළේ අවන්හල් වලින් ආහාර ගැනීමට තරම් වත්කමක් ඇති පුද්ගලයින් වුනා.. නමුත් ඔවුන් වෙනසක් පිණිස සිකුරාදාට ආපනශාලාවට යනවා විනා සිරිතක් ලෙස දිනපතා ඒවාට නොගියේ, ඒවායේ ඇති අයහපත් ප්‍රතිපල ගැන හොඳින් දන්නා නිසායි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අද මොනවද කන්නෙ ? විශ්ව....
තණකොළ තමයි.... අපරාදෙ මෙගන්ට තිබුණෙ මාව වොෂිංටන් මෝල් එකේ දාලා එන්න.....
මම නං හරකෙක් කනවා... ඌ කන්නෙත් තණකොළ නෙ.... ඒ මයික්...
අපි සූදානම්... මොලී පසෙක සිටගෙන සිටි අවන්හලේ වේටර්වරියට දැන්වූවා...
සුපුරුදු පරිදි එදත් විශ්ව ආහාරයට ගත්තෙ කැප්රෝ ජේ නමින් ඒ ආපනශාලාවෙ හැඳින්වූ එළවලු වලින් සැකසූ ආහාරයක්. එහි  ඇතුළත් වුනේ මඳ ගින්නේ රත් කළ එළවලු වලට දැමූ සුදුළූණු සහ විවිධාකාර කොළ වර්ග.
සැම දෙනාම විවිධාකාර කතා බහ වල යෙදෙමින් ආහාර ගත්තෙ බොහොම සැහැල්ලුවෙන්.... ඒ අතරෙ අවන්හලේ සිටි තරුණයන් දෙදෙනෙකුගෙ අවධානයත් නිතර නිතර ඔවුන් වෙත යොමු වුන බව විශ්ව දුටුවෙ නෙත් කොණින්.... නමුත් ඔහු ඒ දෙදෙනා ගැන අනෙක් අයට කියන්න ගියෙත් නැහැ... එය සමහර විට සාමාන්‍ය සිදුවීමක් වෙන්න පුළුවන්. මහ හඬික් සිනාසෙමින් විවිධාකාර දේ කතා කරමින් රූමත් තරුණියන් තිදෙනෙකු සමඟ ආහාර ගන්නා තරුණයන් හතර දෙනෙකු වෙත අවධානය යොමු නොවන්නෙ කාගෙද ? එසේම වොෂිංටනය යනු බොහෝ ධනවත් මෙන්ම බලවත් පුද්ගලයින් අරක් ගත් රාජධානියක්... මේ තරුණ තරුණියන් හත් දෙනා සමහර විට බලවත් දේශපාලනඥයෙකුගේ කාර්යාලයේ සේවය කරන අය වන්නටත් හැකියාවක් තිබෙනවා. සමහර විට ධනවත් පුද්ගලයෙකුගෙ දරුවකුගෙ මිතුරු මිතුරියන් වන්නටත් ඉඩ තිබෙනවා. මේ නිසාම ඕනෑම කෙනෙකුට ඕනෑම ඇසකින් මෙවැනි පුද්ගලයින් දෙස බැලිය හැකියි. නමුත් ඉහත කී තරුණයින් දෙදෙනා නම් මේ සත් දෙනා කවුද යන්න හොඳින්ම දැන සිටියා පමණක් නොවෙයි ඉන් දෙදෙනෙකු ඉතාමත්ම හොඳින් හඳුනාගෙන සිටියා.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සිකුරාදා සවස :
විශ්ව මොකද කරන්නෙ සති අන්තයෙ ?
විශේෂ දෙයක් නැහැ, නමුත් මගේ ලොකු මාමාගේ මිතුරෙකු හමු වෙන්න යන්න නම් යොදාගෙන තිබෙනවා හෙට... ඊට අමතරව කිසිවක් නැහැ....
අපි හෙට හවසට මයික් ගෙ නවාතැනේ හමු වෙන්නයි ඉන්නෙ... විශ්ව ඉතිං වැඩිය මත්පැන් වලටත් කැමැත්තක් නැති නිසා එන්න කැමති වේද දන්නෙ නැති නිසයි අවසාන මොහොතෙ ඇහුවෙ...
ආ.... ඒකට කමක් නෑ... මට වෙලා තිබුණොත් එන්නම්.... කෝකටත් මම සෙනසුරාදා සවසට ඔයාට කෙටි පණිවුඩයක් (Text message) එවන්නම්කො.
හරි... එහෙනම් හෙට හමුවෙමු....
බොහෝ විට...... බිල් විශ්වගෙන් සමු ගත්තේය....
එදින සවස් වුවද සිය නව ව්‍යාපෘතියට අදාල පර්යේෂණ නිබන්ධන සහ පර්යේෂණ පත්‍රිකා අතර සැරිසරන්නට විශ්ව ඉටා ගත්තේය... කිසිවෙකු නොමැති රසායනාගාරය නිසොල්මන් ය... ශාන්ත දාන්තය... සිකුරාදා සවස නිසා සියළුම යන්ත්‍ර සූත්‍රවලට නිවාඩු ලැබී ඇත. ඒ සියල්ල නැවත පණ ගැන්වෙන්නේ සඳුදා උදෑසනය... සුවිසල් රසායනාගාරය මධ්‍යයේ ඇති ප්‍රති ගුරුත්‍ව මේසය වෙත විශ්වගේ සිත යොමු විය....
සෙමෙන් ඒ දෙසට ඇවිදගෙන ගිය විශ්ව මේසය මත වූ සුදු පැහැති ආවරණය මෑත් කළේය... ඔහුට එය බොහෝ හුරු පුරුදු ගතියක් දැණුනි... 100 % ක් ග්‍රැනයිට්... එය කිව නොහැකි ලෙස සුමුදු මතුපිටක් සහිත ගල් ලෑල්ලක් විය... විශ්ව ඒ මේසය සෙමෙන් අතගා බැලීය....
බීප් බීප් බීප්............
විශ්ව ඒ හඬින් අවදි විය... තමා අන්තර්ජාලය ඔස්සේ පරීක්‍ෂා කළ පර්යේෂණ පත්‍රිකා සහ නිබන්ධන සියල්ල කාර්යාල කාමරයේ වූ මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය වී අවසන් බව දැන්වෙන බීප් නාදයයි ඒ...


බොහෝ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන ලොව පුරා ඇති විවිධාකාර පර්යේෂණ සඟරා සහ ජර්නල වල අන්තර්ජාල සංස්කරණයන්හි සාමාජිකත්‍වය ලබා ගෙන ඇත. සාමාන්‍යයෙන් වසරක සාමාජිකත්‍වය සඳහා ඩොලර් 100 ක සිට එමෙන් සිය ගුණයක් දක්වා වැඩි ගණන් අයකෙරෙන මේ සඟරා වලින් පර්යේෂණයන්ට ඇති ප්‍රයෝජනය මුදලින් මැනිය නොහැක. එසේම අවශ්‍ය ඕනෑම විටක අදාල ලිපිය බාගත කර ගැනීමත් ඒ සඳහා සීමාවක් නොමැති නිසාත් බොහෝ ආයතන මෙසේ  තමන්ගේ අවශ්‍යතාවයට අනුව මේ සඟරා සහ ජර්නල වල සාමාජිකත්‍වය ලබාගෙන ඇත. විශ්ව සේවය කරන නාවික පර්යේෂණ ආයතනයට මෙවන් සඟරා සහ ජර්නල ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක සාමාජිකත්‍වය ලබාගෙන ඇතුවා පමණක් නොව ලෝකයේ විශාලතම පුස්තකාල වලින් එකක් වන වොෂිංටනයේ පාර්ලිමේන්තු පුස්තකාලයේද සාමාජිකත්‍වය ලබාගෙන ඇත. මේ නිසා ලොව පළවන ඕනෑම සඟරාවක තොරතුරක් මෙන්ම අමෙරිකාවේ පළවන ඕනෑම පොතක තොරතුරු ද, පළ කෙරෙන පර්යේෂණ නිබන්ධන වල තොරතුරු ද සැණෙකින් ලබා ගැනීමේ හැකියාව නාවික පර්යේෂණ ආයතන සේවකයන්ට ලැබීම ඉතා විශාල වරප්‍රසාදයකි.


මුද්‍රණ යන්ත්‍රයෙන් සිය පර්යේෂණ පත්‍රිකා ආපසු රැගෙන තම මේසය වෙත යාමට විශ්ව හැරුණා පමණි..... කිසියම් ඡායාවක් තමා පසුපස එන බවක් ඔහුට දැණුනි.... අනතුරක සේයාවක් නැතත්, තමා උගත් සහ මනාව ප්‍රගුණ කළ ආත්මාරක්‍ෂක සටන් ක්‍රම වල විවිධ පියවර තම සිතට ඇතුළු වන බව විශ්වට හැඟුණි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්වගේ පස්සෙන් ආවේ කවුද ?