Saturday, March 30, 2013

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? අකාබනික රසායන විද්‍යාව - Inorganic Chemistry


රසායන විද්‍යාවේ තවත් ඉතාම වැදගත් අංගයක් වන්නේ අකාබනික රසායනයයි. රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කාබනික සංයෝග : කාබන් මූලද්‍රව්‍යය අඩංගු හයිඩ්‍රෝකාබන, ප්‍රෝටීන, යනාදිය සහ කාබන් නොවන සංයෝග අඩංගු අකාබනික සංයෝග වශයෙන්. මෙම අකාබනික සංයෝග යටතට වැටෙන්නේ ප්‍රධාන වශයෙන් ලෝහමය සංයෝග සහ ඒවායේ සංකීර්ණ අණුයි (Metals and Metal Complexes). මෙම සංකීර්ණ අණුක ව්‍යුහයන් ගේ සංකීර්ණ කොටස් සෑදී ඇත්තේත් කාබනික සංයෝග වලින්මයි. ඒත් ඒවා අකාබනික සංයෝග ගණයට වැටෙන්නේ රසායන විද්‍යාව තුළ ලෝහ වලට ලැබී ඇති අසීමිත පිළිගැණීම නිසායි. එසේම මෙම ක්‍ෂෙත්‍ර දෙකෙහි විශාල පරාසයක් පොදුව සැලකෙනවා, විශේෂයෙන්ම Organometallic Chemistry නම් උප ක්‍ෂෙත්‍රයේ සංයෝග තැනී ඇත්තේ ලෝහ පරමාණු කෙළින්ම කාබන් පරමාණුවලට බන්ධනය වීමෙන්.  උදාහරණයක් ලෙස ග්‍රීනාඩ් ප්‍රතිකාරක (Grignard Reagents) වන මෙතිල් මැග්නීසියම් හේලයිඩ්, මෙතිල් ලිතියම් වැනි සංයෝගවල කාබන්-ලෝහ බන්ධනයක් දක්නට ලැබෙනවා. මේ අකාබනික සංයෝග සහ අකාබනික රසායනය අප නොසිතන ආකාරයට අපේ සාමාන්‍ය ජීවිත වලට සම්බන්ධයි.
බොහොමයක් අකාබනික සංයෝග අයත් වන්නේ ලවණ වර්ග වලටයි. ඒවා ධනායන (Cation) සහ ඍණායන (Anion) වශ‍යෙන් පවතින අතර අයනික බන්ධන හරහා බැඳී සංයෝග තනනවා. ගෙදර දොරේ භාවිතා වන මේස ලුණු අප වැඩියෙන්ම භාවිතා කරන අකාබනික සංයෝගය වෙනවා. තුවාලවලට බඳින මැග්සල්ට් වල ඇත්තේ මැග්නීසියම් සල්ෆේට් (MgSO4) වගේම බඩ විරේක කරන්න වෙද මහත්තයා දෙන සවිඳ ලුණුවල අඩංගු වන්නෙත් මැග්නීසියම් සල්ෆේට් (MgSO4) ම තමයි. ජලය පවිත්‍ර කිරීමට යොදන ක්ලෝරීන් ද අයත් වන්නේ අකාබනික රසායන ද්‍රව්‍ය යටතටයි. ගෙදර යකඩ ගේට්ටුව, වාහනයේ කොටස් මලකඩ කන්නෙත් මේ අකාබනික රසායනයේ එන ඔක්සිකරණය නිසායි. ඒ වගේම ඒවා වලක්වගන්න තනන තීන්ත වර්ග සහ ගැල්වනයිස් කිරීම ද අයත් වන්නේ අකාබනික රසායනය  යටතටයි. මේ ක්‍ෂෙත්‍රය තවත් සංකීර්ණ වන්නේ මෙම ඔක්සිකාරක-ඔක්සිහාරක ගුණ මිනිසාට ප්‍රයෝජනවත් ලෙස යොදාගන්නා බැටරි ආදිය නිෂ්පාදන ක්‍රියාවලියේදීයි. දැන් දැන් ඉන්ධනවලින් දුවන වාහන වෙනුවට බැටරි වලින් දුවන විදුලි වාහන (Electric cars) සහ ඉන්ධන සහ විදුල්යෙන් ක්‍රියාකරන දෙමුහුන් කාර් (Hybrid cars) නිෂ්පාදනයේ මූලික අවධානය යොමුව ඇත්තේ ලාභදායී සහ විදුලිය හොඳින් ගබඩා කළ හැකි බැටරි වර්ග තැනීමේ ක්‍රියාවලියටයි. මේ අතර ලිතියම් අයන් බැටරි (Lithium ion batteries) පෙරමුණේ සිටිනවා. කවදා හෝ දවසක පුනර්ජනනය නොකර සැතපුම් දහසක් හෝ පන්සියයක් වාහනයක් ධාවනය කළ හැකි බැටරියක් සොයාගතහොත් එය අනාගත ලෝකයේ වැදගත් සන්ධිස්ථානයක් වනවාට කිසිම සැකයක් නැහැ.
ඒවගේමයි අකාබනික රසායනය කර්මාන්තවලදී නැතුවම බැහැ. ශ්‍රී ලංකාවේ අවාසනාවකට දෝ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය පවතින්නේ ඉතාම ළදරු අවධියක. බොහෝ සම්පත් තිබුණද ඒවා නිසි පරිදි ලාභදායී ලෙස ප්‍රයෝජනයට ගන්නේ නැහැ. පුල්මුඩේ ඛණිජ නිධිය සහ එප්පාවල ඇපටයිට් නිධියෙන් ලැබෙන සම්පත් වලින් ලංකාවේ විදේශ ණය ගෙවා දමන්න තරම් අගය එක්කළ නිෂ්පාදන (Value Added Products) නිපදවීමේ හැකියාව ඇතත්, ඉල්මනයිට් පිටරට පැටවීමෙන් අප ලබා ගන්නේ සොච්චමක් පමණයි. එසේම එප්පාවල පොස්පේට් නිධියේ  පොහොරවල ඇති ෆ්ලෝරීන් ඉවත් කර නිසි ලෙස ගස්වලට උරාගත හැකි පොහොරක් තැනීමට පර්යේෂණ කෙරෙනවාද යන්න සැක සහිතයි. එසේම රජරට වැසියන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වන පාණීය ජලයේ ෆ්ලෝරීන් අධික බව කෙළින්ම සම්බන්ධ වන එප්පාවල ඇපටයිටි නිධිය පිළිබඳ නිසි ලෙස ඇගයීමක් කෙරෙනවාද යන්නත් මා දන්දේ නැහැ. සිමෙන්ති නිෂ්පාදනය, යකඩ නිෂ්පාදනය ඇතුළු බොහෝ දේ නිපදවෙන්නේත් අකාබනික රසායනය උපයෝගී කරගෙනයි. කොටින්ම කියනවා නම් ලෝහ සහ ලෝහ භාණ්ඩ අපට ලැබී ඇත්තේ අකාබනික රසායනයේ උපකාරීත්‍වයෙන්.
අකාබනික රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට එක් වන තවත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. සබන් නොතිබුණ ආදිකාලයේ මිනිසුන් ගිණි ගොඩවලින් ගත් අළු භාවිතා කර ඇඳුම් සේදූ බව වාර්තා වෙලා තිබෙනවා. මෙසේ කර ඇත්තේ අළුවල ඇති පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් (KOH) මඟින් ඇඳුම් වල ඇති තෙල් කුණු ඉවත් කරන නිසා. දැන් සබන් වල බොහෝ දුරට ඇත්තේ මේද අම්ලවල සෝඩියම් ලවණ වර්ගයි. රෙදි සෝදන කුඩු, ෂැම්පූ වර්ග, ආදියත් අපට ලැබෙන්නේ කාබනික රසායනයත් අකාබනික රසායනයත් එක්ව කරන අපූරු ක්‍රියා නිසා තමයි.
අකාබනික රසායනය බහුල ලෙස යෙදෙන ක්‍ෂෙත්‍රයක් වන්නේ ඉන්ධන නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිතව නිපදවෙන රසායන ද්‍රව්‍ය කර්මාන්තයයි. මෝටර් රථ ඉන්ධන සියල්ලක්ම පාහේ කාබනික සංයෝග වුවත් ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උත්ප්‍රේරක (Catalysts) සියල්ලම අපට ලැබී ඇත්තේ අකාබනික රසායනායේ බල මහිමයෙන්. පොලිතීන් වර්ග නිපදවන ක්‍රියාවලිය මුළුමුනින්ම පාලනය කෙරෙන්නේ අකාබනික රසායනයෙන්. එපමණක් නොවෙයි බොහොමයක් පොලිමර් වර්ග සහ ප්ලාස්ටික් වර්ග තැනීමට අදාල උත්ප්‍රේරක සියල්ලම පාහේ අකාබනික රසායනික සංයෝගයි. මේ සඳහා බොහෝ දුරට යොදා ගැණෙන්නේ ප්ලැටිනම්, පැලේඩියම්, රුතීනියම්, රෝඩියම් වැනි අධික වටිනාකමක් ඇති ලෝහමය සංයෝගයි. එසේම ඔබ සමහරවිට දන්නවා ඇති ඇමෝනියා නිෂ්පාදනය සඳහා භාවිතා කරන හේබර් ක්‍රියාවලිය සඳහා භාවිතා වන්නේ යකඩ ලෝහය සහ ලෝහමය සංයෝග....
අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලි, පරිසරයේ විවිධාකාර ක්‍රියාවලි සිදු කෙරෙන ‍ප්‍රෝටීන සහ එන්සයිම සමහරක එම අදාල ක්‍රියාවලීන් සිදුවන ස්ථානයන්හි (Active sites)  අඩංගු වන්නේත් ලෝහමය සංයෝගයි. මෙන්න මේ එන්සයිම වල එම ක්‍රියාවලිය පාලනය වන්නට ලෝහමය සංයෝග අත්‍යවශ්‍යයි. මේ ක්‍රියාවලි පිළිබඳ අධ්‍යයනය සහ ඒ මඟින් කර්මාන්තවලට, සහ වෙනත් නිෂ්පාදන ක්‍රියාවලීන්ට එවැනි ප්‍රතික්‍රියා දායක කර ගැනීමට මේ හැදෑරීම් ඉතා වැදගත් වෙනවා. මෙවැනි හැදෑරීම් කරන්නෙත් අකාබනික රසායනඥයින්.

අකාබනික රසායනයේ පියා - ඇල්ෆ්‍රඩ් වර්නර්

අකාබනික රසායනයේ පියා වශයෙන් සැලකෙන්නේ ස්විස් විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් වර්නර්. ඔහු විසින් සංගත රසායනික සංයෝග (coordination complexes) සොයා ගැනීමත් සමඟ අකාබනික රසායනය සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගන්නට හේතු වුනා. මේ නිසා අකාබනික සංයෝගවල ව්‍යුහයන් මෙන්ම ඒවායේ ක්‍රියාකාරීත්‍වය ද සොයන්නට විද්‍යාඥයින් පෙළඹුනා.. එමෙන්ම ඒ මාර්ගයෙන් නොයෙක් නව නිපැයුම් සිදු වන්නට වුනා... දැන් දැන් විද්‍යාත්මක ශිල්පක්‍රම දියුණු වීමත් සමඟම අකාබනික රසායනයත් මිනිස් ජීවිතයට ප්‍රබල ලෙස දායක වන කාර්යයන් සිදු කරන්නට පටන් අරගෙන... මේ නිසාම අකාබනික රසායනයත් රසායන විද්‍යාවේ ඉතාම වැදගත් අංශයක් ලෙසින් වර්ධනය වෙනවා.
දැන් දැන් අකාබනික රසායනයෙන් කෙරෙන වැදගත්ම දෙයක් වන්නේ CO2 මඟින් වන පාරිසරික හානිය අවම කිරීමේ කටයුත්තට අදාල උත්ප්‍රේරක සොයා ගැනීම, විකල්ප බලශක්තීන් (හයිඩ්‍රජන් නිෂ්පාදනය සහ ගබඩා කිරීම, සූර්ය ශක්තිය වැඩිපුර ගබඩා කිරීමේ ක්‍රම සෙවීම) වැනි අනාගත ආයෝජනයි. අකාබනික රසායනය මෙසේ අඩු වැඩි වශයෙන් සාමාන්‍ය ජීවිතයටත් අපේ ජීවිත පවත්වා ගැනීමට අප නොදැනුවත්ව මත් වැදගත් වෙනවා. මේ අකාබනික රසායනයේ වැදගත්කමින් අංශුමාත්‍රයක් පමණයි. මා සේවය කළ BASF ආයතනයේ සිදුවන ක්‍රියාවලි බොහොමයක් අකාබනික රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් සිදු කෙරෙන ක්‍රියාවලීන්. ඉතින් මේ මාර්ගයෙන් ඩොලර් බිලියන හැට හැත්තෑවක් වසරකදී උපයන්නට ඒ ආයතනය සමත් වීමෙන්ම එහි වටිනාකම කොපමණක්දැයි කියා ඔබටම හිතා ගන්න පුළුවන් නේද ?

  

Friday, March 29, 2013

පිටස්තරයා………………. විසිහයවන දිගහැරුම……………….


::::::::::::::::::::::::::::::::::::
විශ්වගෙ කාර් එකට මොකද කරන්නෙ ?
මට රක්‍ෂණ ආයතනයෙන් කතා කරලා කිවුවා කාර් එක ආයෙම හදන්න බෑ කියලා..
ඔයාට අළුත් කාර් එකක් ලැබෙන්නයි යන්නෙ..
ඒක නම් හොඳයි. කොහොමද ඒක ඔයා දන්නෙ ?
මම නීල් එක්ක කතා කළා.... නීල් මගෙන් විස්තර ඇහුවා... මම පොලීසියට කතා කරලා ඒ අයගෙන් විස්තර අරගෙන නීල් එක්ක කතා කරලා රක්‍ෂණ සමාගමට කතා කළා... ඒ අය කිසි ප්‍රශ්නයක් නැතිව කාර් එකක් දෙන්න සූදානම්... ඔයාට තියෙන්නෙ මාත් එක්ක ගිහින් ලිය කියවිලි සහතික කරලා කාර් එක ගේන එක විතරයි.... මට ඔයා කැමති දවසක් කියන්න... මම ඔයාව එක්කරගෙන යන්නම්..
බොහොම ස්තූතියි මොලී... මම හිත හිතා හිටියෙ කාර් එකට මොනවා කරන්නද කියලා.... කොහොමද අළුතෙන් කාර් එකක් ගන්න පුළුවන් වෙන්නෙ ? මගේ කාර් එක ටිකක් පරණයි නෙ....
ඔයා දන්නවනෙ විශ්ව, නීල්ට තියෙන සම්බන්ධතා.... හැරත්, ඔයා වැඩ කරන්නෙ නාවික පර්යේෂණ ආයතනයෙ කියන එක අමතක කරන්න එපා....
මොලී, ලොකු මාමලා තව දවස් දෙකකින් ආපහු ලංකාවට යන්නයි හදන්නෙ.... ඊට ඉස්සරවෙලා අපි ආයෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් මගේ ප්‍රගතිය බලාගෙන එන්න ඕන... මටත් දැන්  මෙහෙම ගෙදරටම වෙලා ඉඳලා ඇති වෙලා තියෙන්නෙ... ඔයාට පුළුවන්ද හෙට හවසට මාව එහේට එක්කරගෙන යන්න ? පුළුවන් නම් ලොකු උදව්වක්...
අයියෝ ඕක මොකද්ද විශ්ව ? ඔයාට ඕක උදව්වක් නෙවෙයි... මම දැන්මම නීල් ට පණිවුඩයක් යවන්නම් නිවාඩු ඉල්ලලා... අපි හෙට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් ඒකත් කරගෙන කාර් එකේ වැඩෙත් බලාගෙනම එමු.... එතකොට ඉතිං වැඩ දෙකම එක දවසකින් ඉවර කරගන්න පුළුවන් නෙ.... අපි හෙට යනකොට මේ දෙන්නත් අපි එක්ක එනවද ? මොලී ඇසුවෙ පසෙක රූපවාහිනිය නරඹමින් සිටි සුමනසේකර යුවල පෙන්වමින්...
ඔව්... ඒ දෙන්නට ගීතිකා හමු වෙලා ස්තුති කරන්න ඕනලු... ලංකාවෙ උදවිය නෙ... කොහොමත් අපේ අය එහෙම තමයි.. සුළු උදව්වක් කළත් ඒ අයට කෘතගුණ සලකන්න අමතක කරන්නෙ නැහැ...
ඉතිං... කොහොමද පර්යේෂණාගාරය ? මම දැන් මාසයක්ම ගියේ නැති නිසා ආයෙම ඔක්කෝම අළුතෙන් පටන් ගන්න වෙයි වගේ....
නැහැ නැහැ.... කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ.... මම මේ දවස්වල සැලසුම් කරන්නෙ අපි දෙන්නට භාර දීපු පර්යේෂණය ගැන.... ගොඩක් වෙලාවට ත්‍රිමාණ පරිඝණක වැඩසටහන් විශ්ලේෂණය කරන එක තමයි කරන්නෙ... ඒ ගැන මට නම් සෑහෙන ඉගෙන ගන්න තියෙනවා... ඔයා මම එවපු පර්යේෂණ පත්‍රිකා ටික බැලුවද ?
ඔව්... මේ දවස්වල ඉතිං කළේ ඒකම තමයි... මට අළුත් අදහස් ටිකකුත් ආවා... අපි ආයෙම පර්යේෂණාගාරයට ගියාම ඕවා කතා කරමු.. දැන් පර්යේෂණාගාරයෙ කට්ටිය කොහොමද ?
ඔක්කොම හොඳින් ඉන්නවා.... මෙගන් නම් මාත් එක්ක එච්චර හොඳ හිතක් නැහැ... මම දන්නෙ නැහැ ඒ ඇයි කියලා... නමුත් මම ඔයාට සමීප වෙලා ඉන්නවට එයා වැඩිය කැමති නැති බව තමයි කට්ටිය කියන්නෙ......
ගෑණු ළමයි කොහොමත් ඉරිසියයි නෙ... නේද ? විශ්ව තරමක් උස් හඬින් සිනාසෙමින් පැවසුවා.......
මෙගන් ටිකක් කොහොමත් අමුතුයි නෙ........ එයා හිතන් ඉන්නෙ ලෝකෙ එයා වටේ කැරකෙනවා කියලනෙ.... ඉතිං හැම දේම මූලිකත්‍වයයි, හැමෝගෙමඅවධානයයි එයාට නැති වුනාම තරහ යනවා.....
ඔන්න ඕක තමයි මොලී මම ගෑණු ළමයි ගැන වැඩි අවධානයක් තිබුනෙ නැත්තෙ.... මට ඔය ප්‍රශ්න විසඳනවට වඩා දැනට ලබන මානසික නිදහස රත්තරං වටිනවා.... බැඳීම් අඩු කරගන්න තරමට මනස සන්සුන්....
එහෙම කියලා බැහැනෙ... අපි සමාජයක එකිනෙකාට බැඳිලයි ඉන්නෙ... ඔයාට පුළුවන්ද තනියම ජීවිතය ගෙනියන්න ? බැහැනෙ... දැන් මේ වෙලාවෙ වුනත් ඔයාට කී දෙනෙක්ගෙ උදව් ඕනද ? මම නැති වුනත් මේ මාමා, නැන්දා දෙන්නා, ඔයාගෙ යාළුවො.. ඒ ඔක්කොම ඔයාගෙ ජීවිතයට බැඳිලා තියෙන්නෙ.. ඔයාට ඒ බැඳුම් නැති කරගන්න නම් කවුරුවත් නැති පලාතක තනියම ජීවත් වෙන්න වෙනවා වනචාරියෙක් වගේ... මම හිතන විදියට මිනිස්සු විතරක් නොවෙයි, සතුන්, ගහකොළ පවා හැම දේකටම බැඳිලයි ඉන්නෙ.. ඒ නිසා තමයි මේ පද්ධතිය සමබරව තියෙන්නෙ.. මේ සම්බන්ධතා නැති වුන දවසට මේ සියල්ල බිඳ වැටෙනවා.. මම දන්නවා ඔයා මීට වඩා මේ කාරණා ගැන දන්න බව... නමුත් මට හිතා ගන්න බැහැ ඇයි ඔයා එහෙම කිවුවෙ කියලා.... හැමදාම තනිවෙලා ජීවත් වෙලා බැහැ විශ්ව.... ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනා... එතැනදි බැඳීම් ඇතිවෙනවා - නැතිවෙනවා.. මට ඔයාට මේ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නැති බවත් මම දන්නවා......
විශ්ව කිසිත් නොකියා අසා සිටියා පමණි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
රිචර්ඩ්,...... මට නම් තේරෙන හැටියට මේ අපි දුවන්නෙ කිසිම තේරුමක් නැති දෙයක් පස්සෙ.... ජෙනරාල් වෙලිංටන් සිය මිතුරා සමඟ දුරකථන සංවාදය අරඹමින් පැවසුවේ එතරම් සතුටකින් නොවෙයි.
මම හිතන්නෙත් අපි මේ වෙනුවෙන් වැය කරන සල්ලියි කාලයයි වෙනත් දේකට යොදවන්න පුළුවන්. කොහොම වුනත් තව ටික කාළයක් බලමු... මිනිහා තව සතියකින් විතර වැඩට ඒවි. ඒ අතරේ අපෙන් කෙරෙන්න ඕන වැඩ ටික කරමු...
ඔව්. මම දැනටමත් ඒක අර දෙන්නට භාර දීලයි තියෙන්නෙ... ඒ දෙන්නා ඉතිරි වැඩ ටික බලා ගනීවි... තව සති දෙක තුනක් ඇතුලත අපි මේ ගැන තීරණයක් ගන්න ඕන...
:::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද දැන් කකුල ? කියපු විදියටම ව්‍යායාම් කළා කියලා හිතනවා..... පසුදින සිය ප්‍රගතිය සළකා බැලීමට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය විගස ගීතිකා සිනාසෙමින් ම කතා බහ ආරම්භ කළා.
කකුල නම් දැන් සෑහෙන්න හොඳයි... ඇත්තටම මට දැනගන්න ඕන මට කවදද වැඩට යන්න පුළුවන් වෙන්නෙ කියන එක තමයි....
හරි අපි බලමු කකුල කොහොමද කියලා... දැන් ඔයාට ලොකු පරීක්‍ෂණ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා... මම හිතන්නෙ ඔයාට ඒක අමාරු වෙන එකක් නැහැ කියලයි.... දැන් ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්න... ඊට පස්සෙ අපි බලමු කොච්චර කාලෙකින් ඔයාට වැඩට යන්න පුළුවන් වෙයිද කියලා.... ගීතිකා නැවතත් පැවසුවා..
ඉතිං මේ දෙන්නා ලඟදිම ලංකාවට යනවද ? විශ්ව ඇඳුම් මාරුකර ගැනීමට  ගිය අතරේ සුමනසේකර යුවල වෙත හැරුණු ගීතිකා විමසුවා.
ඔව් ඩොක්ට.. අපි මේ කියලා යන්නත් එක්කයි ආවෙ.. ඩොක්ට අපේ පුතාට කරපු උදව් නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ...
අයියෝ සුළු දෙයක් මිසිස් සුමනසේකර, මේ අපි කරන්නෙ රාජකාරිය.. මම මේ ලංකාවෙ කෙනෙකුට මෙහේදි ප්‍රතිකාර කළ පළවෙනි අවස්ථාව.. සාමාන්‍යයෙන් ලංකාවෙ අය ඇමරිකානු හමුදාවෙ සේවය කරනවා අඩුයි නෙ. කොහොමත් විශ්ව කියන්නෙ බොහොම අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්, ඒ වගේම ඉක්මනින්ම සුව වුනා... සමහරවිට ලබන සතියෙ ඉඳලාම වැඩටත් යන්න පුළුවන් වේවි. ඇවිදින හැටියට නම් කිසිම වෙනසක් පේන්න නැහැ.. බොහොම හොඳට ව්‍යායාම කරලා තියෙනවා වගේ...
ඔව් එයා සෑහෙන මහන්සි වුනා ඉක්මනින්ම හොඳ කරගන්න... මොලීත් ඇවිත් නිතර නිතර ඇවිදින්න එක්කන් ගියානෙ....
ආ... ඒක නම් බොහොම හොඳයි... ඇඟට වගේම හිතටත් සහනයක් දැනෙනවා නම් තමයි ඉක්මනටම ලෙඩ හොඳ වෙන්නෙ.... නේද මොලී.. ? ගීතිකා මොලීගෙන් ඇසුවේ මෙතෙක් වෙලා නිහඬවම සවන් දීගෙන සිටි මොලීවත් සාකච්ඡාවට සම්බන්ධ කර ගන්නා අරමුණින්...
ඔව් ගීතිකා, මම බොහෝ වෙලාවට විශ්ව එක්ක ඇවිදින්න ගියා... කිසිම වෙලාවක මැසිවිල්ලක් නැතිව හොඳට ව්‍යායාම් කළා... මමත් හිතන්නෙ අද හොඳ ප්‍රගතියක් තියෙන්න ඕන කියලයි.
මම නම් හිතන්නෙ මට හෙට මැරතන් එකක් දුවන්නත් පුළුවන් වේවි කියලයි..... විශ්ව එසේ කියාගෙන ඔවුන් සිටින තැනට පැමිණියා..
හරි එහෙනම් ඔයාලා ඔතැන ඉන්න, මම විශ්ව එක්ක ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියලා බලාගෙන එන්නම්... එසේ කියා ගීතිකා විශ්වද සමගින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතුලට ගියා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::
පසුදා උදෑසනම විශ්ව අවදි වුනේ හිතේ ලොකු සතුටක් සිතේ දරාගෙන.... මාස එකහමාරකට පමණ පසු ආයෙම පර්යේෂණාගාරය වෙත යන්න ලැබීම ගැන සතුටක් වගේම ඒ කාළය තුළ කිසිදු වැඩක් නොකර සිය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන්ම මහන්සි වීම නිසා තරමක ඒකාකාරී බවක් විශ්වගේ සිත තුළ තිබුණා. එකම වෙනස වූයේ සිය මාමාත් නැන්දාත් තමා වෙනුවෙන් සියළු කටයුතු ඉටු කරදීම පමණයි. තව නොබෝ  දිනකින්ම ඔවුනුත් නැවත ශ්‍රී ලංකාව බලා යන නිසා නැවතත් තමා තනි වන බව සිතුනත් දැන් ඔහුගේ තනියට මොලී නිතරම ලඟ ගැවසෙන නිසා එවැනි තනිකමක් නොදැනේවි යැයි විශ්වගේ යටිහිත පවසන අයුරක් ඔහුට හිතුනා...
මාමාගේත් නැන්දාගේත් දෙපා නැමඳ විශ්ව නාවික පර්යේෂණ ආයතනය බලා යාමට ඊයේ තමාට ලැබුණ අළුත්ම වාහනයේ නැඟුන විශ්වට තරමක සැහැල්ලුවක් දැනුනා...

welcome-back-to-reality

Welcome Back ! යනුවෙන් සඳහන් කළ බැනර් එකක් සිය පර්යේෂණාගාරයේ  එල්ලා තිබෙනු විශ්ව දුර තියාම දුටුවා... ඔහුගේ මුහුණේ සිනාවක් ඇඳුනේ ඉබේටම... තමා තවමත් නාවික පර්යේෂණායතනයේ ඒ කුඩා පවුලේ සාමාජිකයෙකු බව ඔහුට මතක් වුනා...
සුපුරුදු පරිදි තම මේසයට යන විට කාර්යාලයේ වෙනදා මේ වෙලාවට නොඑන අය මෙන්ම සිය ප්‍රධානීන් දෙදෙනා වන නීල් ෆියු සහ ඩෙනිස් ලිපර්ඩ් දෙදෙනාත් පැමිණ සිටියා....
Welcome Back son,. ! ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් විශ්ව ඉදිරියට පැමිණ වැළඳ ගත්තෙ කවදාවත් නැති විදියේ හෘදයාංගම බවකින්..
ඒ සමගම වගේ මොලී කාර්යාලයට පැමිණියේ කේක් ගෙඩියක් ද රැගෙන...
ආ..... එච්චරයි අඩුවකට තිබුණෙ.....
ඔන්න මම විශ්ව නිසාම නිර්මාංශ කේක් ගෙඩියක් හදාගෙන ආවා.....
හැමදෙනාම විශ්ව නැවතත් සේවයට පැමිණීම ගැන සුභ පැතුවා..... කේක් බෙදාගෙන තේ පානයෙන් අනතුරුව වැඩ පටන් ගන්න යන අතරේ නීල් සහ ඩෙනිස් දෙදෙනාම විශ්වත් මොලීවත් නීල්ගේ කාර්යාලයට කැඳවූවා...


Thursday, March 28, 2013

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? ජීව රසායන විද්‍යාව - Biochemistry


ජීව රසායන විද්‍යාව යනු සජීවී දේවල (ක්‍ෂුද්‍ර ජීවීන්, සතුන්, ශාක) සිදුවන රසායනික ක්‍රියා පිළිබඳ හැදෑරීමයි. මෙය සජීවී දෑ තුළ අඩංගු ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට වැනි සරළ සංයෝග මෙන්ම ඩී එන් ඒ වැනි සංකීර්ණ අණුක ව්‍යුහයන් ද හැදෑරීම සඳහා වැදගත්. මා සිතන අන්දමට අනාගත ලෝකයට වැඩිපුරම සේවයක් කරන පර්යේෂණ සිදු වන්නේ මෙම ජීව රසායන විද්‍යාව හරහායි. මක් නිසාද යත් වෛද්‍ය විද්‍යාවට අදාල පර්යේෂණ බොහොමයක මූලය මෙය නිසා.  ජීව රසායන විද්‍යාවට බොහෝ මානයන් තිබෙනවා. සෛලමය සංඝඨක, ක්‍ෂුද්‍ර ජීවීන් සිට පිළිකා මර්ධන පර්යේෂණ, ඒඩ්ස් නිවාරණය, දක්වා විශාල පරාසයක ජීව රසායන විද්‍යා පර්යේෂණ පැතිර තිබෙනවා. විවිධ රෝග වලට ඖෂධ සොයාගැනීම, ජාන වෙනස් කිරීම මගින් විවිධ ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක තත්ත්‍වයන් වෙනස් කිරීම ආදී ප්‍රයෝජනවත් දෑ මෙන්ම, සත්ත්‍ව සංහතියටම වින කරන ජීව රසායන අවි නිෂ්පාදනයත් කරන්නේ මෙම ජීව රසායන විද්‍යාවේ පරතෙරට ගිය පුද්ගලයින්.   

ඒඩ්ස් වෛරසයේ අනුරුවක්
ඒඩ්ස් වෛරසයේ අනුරුවක්

ජීව රසායන විද්‍යාවේ උපත ලෙස සලකනු ලබන්නේ 1823 දී Anselme Payen විසින් ඇමයිලේස් නම් වූ එන්සයිමයේ සොයාගැන්ම කියලයි සමහර තොරතුරු පවසන්නේ. නමුත් 1796 තරම් ඈත කාළයේ එඩ්වර්ඩ් ජෙනර් (Edward Jenner)  විසින් වසූරිය එන්නත සොයාගැනීමත් මේ  කටයුත්තේ කොටසක් කියලයි මට හිතෙන්නේ. කෙසේ වුවත් මෙය කවදා පටන්ගත්තේ දැයි කීමට පැහැදිලි නිර්ණායක අප සතුව නැහැ. කළ යුත්තේ මෙය යොදාගෙන සත්ත්‍ව සංහතියට ඵලදායී යමක් කිරීමයි. නමුත් මේ පර්යේෂණ බොහොමයක් සරළ තත්ත්‍ව යටතේ සිදු කළ නොහැකි වීම නිසා ඒ සඳහා පුහුණුව ලත් විද්‍යාඥයින්ගේ සේවය අවශ්‍යව තිබෙනවා.
සාමාන්‍ය ජීවිතයට ජීව රසායන විද්‍යාව බොහෝ දෙනෙක් යොදා ගන්නවා. පාන් පිපෙන්න, ආප්ප පිපෙන්න යීස්ට් දැමීම, මාළු ජාඩි දැමීම මෙන්ම අපද්‍රව්‍ය කොම්පෝස්ට් කිරීම, ජීව වායු නිෂ්පාදනය ආදී දෑ ද ක්‍ෂුද්‍ර ජීවීන් භාවිතාකර සිදු කරගන්නක්. තවද විවිධ ‍‍රෝග, ඩෙංගු, සෙම්ප්‍රතිශ්‍යාව,  දෙයියන්ගේ ලෙඩ නමින් හඳුන්වන විවිධ වෙවරස් රෝග, ආදී සියළුම ලෙඩ රෝග සහ හෘද රෝග, දියවැඩියාව වැනි දරුණු තත්ත්‍වයේ රෝගාබාධ වලට පිළියම් සෙවීමත් මේ ඇසුරින් සිදු කෙරෙනවා. මේ ජීව රසායන විද්‍යාව අපගේ සාමාන්‍ය ජීවිතයට ප්‍රයෝජනවත් වන අන්ත දෙකක්.

ම්.. ම්... ම්...
ම්.. ම්... ම්...

ඒ වගේමයි, යුරෝපයේ ජැක් ඩැනියෙල් මහත්තයා මෙන්ම දංකොටුවේ ධර්මදාස මහත්තයාත් සිය ජීවිකාව ගෙනියන්න කරන මත්පැන් පෙරීම ආදිය කෙරෙන්නෙත් ක්‍ෂුද්‍රජීවීන් ආශ්‍රිත ජීව රසායන විද්‍යාව මූලික කරගෙනයි.  ඒ වගේම ඔබට මතක ඇති සාර්ස් (SARS) නම් වූ රෝගයේ කොරෝනා වෛරසයේ සොයාගැනීම... මිනිස් වර්ගයාට උපකාරීවන මෙවැනි දැවැන්ත සොයාගැනීම් ද ජීව රසායන විද්‍යාවේ බල මහිමයෙන් අපට ලැබී තිබෙනවා.
එසේම ශරීරයේ සිදුවන සෑම ක්‍රියාකාරකමක්ම නිවැරදිව වටහා ගැනීමට සමත් එන්සයිම රසායන විද්‍යාව, ප්‍රෝටීන විද්‍යාව මෙන්ම   අවයව - පටක සම්බන්ධව කටයුතු වලට අදාල ජීව විද්‍යාව සමඟ අත්වැල් බැඳගෙන යන ජීව රසායන විද්‍යාව යනු පුළුල් පරාසයක් පුරා විහිදුන විෂයයක්. කොටින්ම කියනවා නම් ජීව රසායන විද්‍යාව නොමැතිව ජීවයක් පවත්වාගෙන යාම ගැන සිතන්නවත් බැහැ. උදාහරණයක් ගත්තොත් සෑම ලෙඩකටම අවශ්‍ය බෙහෙත් වර්ග නිපදවෙන්නෙ නිකම්ම නොවෙයි. ජීව පරිවෘත්තීය ක්‍රියා, ප්‍රෝටීන  හා සම්බන්ධ ක්‍රියාකාරකම් සහ සරළ අණු මඟින් රෝග කාරක වලට පහර දෙන ආකාරය වැනි සියළුම අංශවල එකතුවකිනුයි මේ බෙහෙත් තැනෙන්නෙ. සමහර විට අවුරුදු දහයක් පහලොවක් ඩොලර් මිලියන සිය ගණනක් වැයකරලා කරන පර්යේෂණවල ප්‍රතිඵලයක් විදියටයි ඔබ අතට බෙහෙතක් ලැබෙන්නෙ. ඒ නිසාම තමයි මේ බෙහෙත් අධික මිල ගණන් වලට විකිණෙන්නෙ. ඒ ඖෂධ සමාගම් ඒ වෙනුවෙන් වැය කළ මුදල පියවා ගැනීම වෙනුවෙන්. අප කෙතරම් ඖෂධ මිල අධික යැයි කෑ මොර දුන්නත්, ඔවුස් සමහරවිට මිලියන ගණනක් වැය කරලා නිපදවන ඖෂධයක් විකුණනන්න ලැබෙන්නේ අවුරුද්දක් දෙකක් පමණයි. එසේත් නැතිනම් කිසිසේත්ම සාර්ථක වන්නෙත් නැහැ. මේ නිසා ඔවුන් අධික පාඩුවක් ලබන්නත් පුළුවනි. ඒ විතරක් නොවෙයි ඔය හිටපු ගමන් වැටෙන උල්කාපාතවල ඉන්නවයි කියන පිටසක්වල ජීවීන් ගැන බලන්නති මේ ජීව රසායන විද්‍යාව ලොකු උදව්වක් කරනවා.
ජීව රසායන විද්‍යාව ලෝකයේ සෑම සත්ත්ත්‍වයෙක්ගේම පැවැත්ම වෙනුවෙන් විශාල සේවයක් කරන විෂයය ක්‍ෂෙත්‍රයක්, ඉදිරියේදී මෙය තව තවත් පුළුල් වෙනවා. ඒ නිසා ඉදිරියේදී තවත් විස්කම් බලා ගන්න  පුළුවන් වේවි.
 මේ අයුරින් අපේ ජීවිත වලට අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව ජීව රසායන විද්‍යාවත් එකතු කරගන්නවා...

Tuesday, March 26, 2013

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ?


රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? කියා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් පැණ නැඟ ඇතිවාට කිසිම සැකයක් නැහැ. මේ ලිපිය පෙරදි මා විද්‍යාව.කොම් අඩවියට සැපයූ ලිපියක්. මේ ලිපිය පළ කිරීමට ආසන්නතම හේතුව මාරයාගේ හෝරාව ලියන මාරයා විසින් කරන ලද ඉල්ලීමක්. දෙයියො කියන දේ ඇහුවෙ නැතත් මාරයා කියපු දෙයක් නම් අහන්නෙ නැතිව ඉන්න බැහැ.. . ඒ නිසාම මේ ලිපිය නැවත පළ කරන්න හිතුවා...
රසායන විද්‍යාව වැදගත් වන අංශයන්.
රසායන විද්‍යාව වැදගත් වන අංශයන්.
රසායන විද්‍යාව යනු ලොව පවතින ද්‍රව්‍ය සහ ඒවා සබැඳි වෙනස්වීම් ලෙස සරළව දැක්විය හැකි වුවත්, කාළයාගේ ඇවෑමෙන් එයට එක්වන විවිධ සොයාගැනීම් සහ වෙනස් වීම් නිසා එම අර්ථකතනයෙන් බොහෝ ඈතට රසායන විද්‍යාව ගමන් කර ඇති බවක් පෙනේ. රසායන විද්‍යාවේ මූලිකම කාර්යය වන්නේ ද්‍රව්‍යයන්හි සංයුතිය, හැසිරීම, ස්වභාවය සහ ගුණාංග පිළිබඳව සහ ඒවා ප්‍රතික්‍රියාවලදී භාජනය වන වෙනස්කම් පිළිබඳව හැදෑරීමයි.  “Chemistry is the Central Science” යනුවෙන් ඉතා ප්‍රකට කියමනත් ඔබ අසා ඇති. එනම්, රසායන විද්‍යාව සියළු විද්‍යාවන්ගේ මූලික විද්‍යාව යන්නයි... ඔබ අවට බලන්න, ඒ අවට ඇති දෑ වලින් කීයක් ස්වභාවික ද්‍රව්‍ය වලින් සෑදී ඇත් ද? රසායනික ද්‍රව්‍ය වලින් නිම වූ කෘත්‍රිම දෑ වලින් සෑදී ඇත්ද ? කියා. සැබැවින්ම කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සෑදූ දෑ වලින් අප ජීවිතය පිරී පවතී. ස්වභාවයේ පවතින බොහෝ දෑ ද රසායනික ද්‍රව්‍ය ගණයට අයත් වේ. ළදරුවෙකු ඉපැදුන අවස්ථාවේ ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නතක සිට කෙනෙකු මියගිය පසු එම්බාම් කිරීමට යොදා ගන්නා ෆෝමලීන් එන්නත දක්වා අප පරිහරණය කරන බොහෝ දෑ රසායන විද්‍යාවේ බලමහිමයෙන් අප ලෝකයට ලැබුණ දේ බව සිතන්නේ කීයෙන් කී දෙනාද ? බොහොමයක් දෙනා රසායන විද්‍යාව දෙන බලන්නේ විවිධ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නක් ලෙස විනා මෙයින් ගත හැකි සහ ලැබෙන ප්‍රයෝජන මොනවාද යන්න පිළිබඳව නොවේ. බොහෝ දෙනා නොසිතන, රසායන විද්‍යාවේ එදිනෙදා යෙදීම් පිළිබඳ විමසා බැලීම මේ ලිපියේ මූලික අරමුණයි.
රසායන විද්‍යව මූලිකව කොටස්  කිහිපයකට බෙදා වෙන්කළ හැකිය.
  1. විශ්ලේශණාත්මක රසායනය - Analytical Chemistry -  විවිධ උපකරණ සහ විවිධ රසායනික ක්‍රම භාවිතයෙන් කරන මිනුම්, සහ ඒ ආශ්‍රයෙන් කෙරෙන නිගමන.
  1. ජීව රසායන විද්‍යාව - Bio Chemistry -  ශරීරයේ විවිධ රසායන ක්‍රියා, එන්සයිම සහ ක්‍ෂුද්‍ර ජීවීන් ආශ්‍රිතව සිදු කෙරෙන රසායන ක්‍රියා පිළිබඳව සලකා බැලීම.
  1. අකාබනික රසායනය - Inorganic Chemistry -  ලෝහමය සංයෝග පිළිබඳ සලකා බැලීම.
  1. කාබනික රසායනය - Organic Chemistry - කාබන් මූලද්‍රව්‍යය සබැඳි සංයෝග පිළිබඳ සලකා බැලේ. මෙය ඉතා විශාල සංයෝග රාශියක් සහිත අංශයකි.
  1. භෞතික රසායනය - Physical Chemistry - රසායන ශක්තීන්, සහ රසායන විද්‍යාවේ මූලික සිද්ධාන්ත පිළිබඳව ගැඹුරින් හැදෑරෙන අංශය.
  1. ද්‍රව්‍යමය රසායනය - Materials Chemistry - ද්‍රව්‍ය පිළිබඳව හැදෑරීම කෙරෙන විශේෂයෙන්ම ඉගැන්වීම් සඳහා වැඩිපුර යෙදෙන අංශයකි. බොහෝ දුරට නැනෝ තාක්‍ෂණයද Nano Technology අයත් වන්නේ මේ අංශයටය.
  1. සිද්ධාන්තමය රසායනය -  Theoretical Chemistry -  මූලික සිද්ධාන්තමය පැහැදිලි කිරීම් මත සිදුකෙරෙන ගණනය කිරීම් ආශ්‍රිත රසායන විද්‍යාව.
මේවාට අමතරව වෙනත් බොහෝ උප විෂයයන් 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් රසායන විද්‍යාවට අයත් වන අතර ඒවා බොහොමයක් ඉහත වර්ග යටතට ද දැක්විය හැකිය. අපි මේ ප්‍රධාන කාණ්ඩ වෙන වෙනම සරළව සළකා බලමු.
විශ්ලේශණාත්මක රසායනය - Analytical Chemistry
බොහෝ දෙනෙක් නොදන්නවාට, මෙය සාමාන්‍ය ජීවිතයට ඉතා සමීප විෂයයකි. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතුවලට මෙය යොදා නොගත්තද, ඔබ වෙනුවෙන් විශ්ලේෂණයන් සිදු කරන බොහෝ ආයතන සහ පුද්ගලයන් ඔබේ ජීවිතය යහපත්ව සහ සරළව පවත්වාගෙන යාමට උපකාරී කිරීමට විශ්ලේෂණාත්මක රසායනය භාවිතා කරගනී. විශ්ලේෂණාත්මක රසායනයේ දී මූලිකව කෙරෙනුයේ ස්වභාවික සහ කෘත්‍රිම ද්‍රව්‍යවල සංඝඨක වෙන් කිරීම, හඳුනාගැනීම, ගණනය කිරීම ආදී දෑයි. මෙය ඒ ඒ ද්‍රව්‍යයේ ගුණාංග හඳුනා ගැණීම (Qualitative) හෝ ඒවායේ සංඛ්‍යාත්මක ගණනය කිරීම (Quantitative) ලෙස ප්‍රධානව කොටස් දෙකකට බෙදේ.  මේ ක්‍රම දෙක උසස් නොහොත් ස්වාධීනව කෙරෙන විශ්ලේෂණයන් (Classical) හෝ උපකරණ ආශ්‍රිතව කෙරෙන විශ්ලේෂණයන් (Instrumental) ලෙස මූලිකව වර්ග කළ හැක. මෙම විෂයය බොහෝවිට සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ යම් ද්‍රව්‍යයක් හෝ වස්තුවක ඇති සංඝඨක සොයාගැණීම, අපරාධයක් වූ විට ඒ හා සම්බන්ධ සාක්‍ෂි සම්පිණ්ඩනයට, රුධිර, ඩී එන් ඒ සාම්පල වැනි නොයෙකුත් පරීක්‍ෂා ආදී සේවා සම්බන්ධව වේ. සාමාන්‍ය රසායනඥයෙකුට වඩා විශ්ලේෂණාත්මක දැනුමක් මේ කාර්යයන්හි යෙදෙන පුද්ගලයෙකුට තිබිය යුතු වන අතර සියළුම ප්‍රතිඵල නියමිත පරිදි වලංගු කිරීම (Validate) කළ යුතුය. මේ සඳහා අවම වශයෙන් අදාල පරීක්‍ෂණය තෙවරක් වත් ඒකාකරව සිදුකර ලැබෙන ප්‍රතිඵල සංඛ්‍යාලේඛණාත්මකව  නිරවද්‍ය බවට (Statistical Accuracy) තහවුරු කළ යුතු වේ. උදාහරණයක් ලෙස, ඔබ පානය කරන ජලය, ජල පිරිපහදුවේ සිට ඔබ නිවස වෙතට පැමිණෙන විට කිහිප වරක් විශ්ලේෂණාත්මක රසායනඥයින්ගේ පරීක්‍ෂාවලට භාජනය වී ඒ ඒ පරීක්‍ෂණ වලින් සමත්ව පානයට සුදුසු යැයි සහතික කල යුතුය. මෙහි බැරෑරුම් කම ඔබට වැටහෙන්නේ නොමැති වුවත්, පානීය ජලය ක්‍ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය, බැර ලෝහ ප්‍රතිශතය, ඔක්සිජන් ප්‍රමාණය ආදී නොයෙකුත් පරාමිතීන් සඳහා නිබඳ පරීක්‍ෂාවන්ට ලක් කර ජල නල වලට මුදා හැරේ. මෙය බැලූ බැල්මට සරළ සේ පෙණුනද, යම් හෙයකින් එක් පරාමිතියක් හෝ වෙනස් වුවහොත් සිදුවන විනාශය සුළුපටු දැයි ඔබටම සිතා බැලිය හැක. අද ලංකාවේ හතු පිපෙන්නාක් සේ බිහිවී ඇති විවිධ රසායනාගාර සේවා මධ්‍යස්ථාන වල මේ කර්තව්‍යයන් හරිහැටි සිදු වනවා දැයි සිතීම අපහසුය... බොහෝ රසායනාගාරවල පිළිගත් සුදුසුකම් සපිරූ විශ්ලේශක රසායනඥයන් දක්නට නොමැත. ඒ වෙනුවට ඇත්තේ තාක්‍ෂණික නිලධාරීන්ය. ඔවුන් කෑලි ගාණට විශ්ලේෂණයන් කරනවා විනා නියමිත පරිදි  සංඛ්‍යාලේඛණාත්මකව ප්‍රතිඵලවල නිරවද්‍ය බව තහවුරු කරනවාද යන්න පාරිභෝගිකයන් ලෙස අප සැවොම හොඳින් සලකා බැලිය යුතු කාරණයක් වේ. එසේ නැතහොත් වකුගඩු ආබාධයක පරීක්‍ෂණයක් සඳහා රසායනාගාරයකට මුත්‍ර සාම්පලයක් දෙන පුරුෂයෙක් මව් පදවිය ලබන බවට තහවුරු වී ප්‍රතිඵල සටහන ලැබෙන්නට හැකියාවක් අපේ ලංකාවේ ඇතිවිය හැකිවීම පුදුමයට කරුණක් නොවිය හැක. එසේ වුවද, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශ්ලේශකයන්, කාර්මික තාක්‍ෂණ ආයතනයේ විශ්ලේශකයන්, ජාතික ප්‍රමිති කාර්යාංශයේ විශ්ලේශකයන් සහ අන්තර්ජාතිකව පිළිගත් රසායනාගාර කිහිපයක කටයුතු පිළිගත හැකි අයුරින් උසස් ලෙස සහ ස්වාධීනව පවත්වාගෙන යන අයුරු පැසසිය යුතු කරුණක් බව ද නොකියාම බැරිය.
විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව වැදගත් වන අංශ බොහොමයකි: අපරාධ පරීක්‍ෂණය, පාරිසරික විද්‍යාව, කර්මාන්ත රසායනය, වෛද්‍ය විද්‍යාව ආදී දේ වලට මෙය ඉතා වැදගත් වේ. උසස් විශ්ව විද්‍යාලවල වෙනම අංශයක් අපරාධ ජීව රසායන විද්‍යාව (Forensic Chemistry) සම්බන්ධව පැවතීමෙන් එහි වැදගත්කම මනාව පැහැදිළි වේ. ශ්‍රී ලංකාවේ මෙම  විශ්ලේෂණාත්මක රසායනය භාවිතා වන්නේ ඉතාම අඩුවෙන් වුවත් දියුණු රටවල රජයේ හා පෞද්ගලික අංශයේ රසායනාගාරවල, කර්මාන්තශාලාවල, සහ විවිධ රාජ්‍ය ආයතනවල අවම වශයෙන් සහතිකලත් විශ්ලේශකයන් එක් අයෙක් හෝ සිටී. තාක්‍ෂණයේ දියුණුවත් සමඟම දැන් දැන් වැඩි වශයෙන් මේ විශ්ලේෂණ සඳහා උපකරණ භාවිතය වැඩි වීමට පටන් අරගෙන තිබේ. එය නිරවද්‍ය ප්‍රතිඵල ක්‍ෂණිකව ලබාගැනීමෙන් අදාල කාර්යය ඉක්මනින් කර ගැනීමට සහ කාළය ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස රුධිරයේ සීනි සාන්‍ද්‍රණය පරීක්‍ෂා කිරීමට මීට දශක ගණනාවකට පෙර රුධිරය තරමක ප්‍රමාණයක් භාවිතාකර කළ පරීක්‍ෂණයට වඩා දැන් රුධිර බිඳුවක් විශ්ලේෂණ තීරුවක් මත තබා ඒ උපකරණයට ඇතුලත් කිරීමෙන් ක්‍ෂණිකව ප්‍රතිඵලය ලබා ගත හැක. එය වඩා නිරවද්‍ය වන අතර ස්වයංක්‍රීය ගණනය කිරීමක්, දත්ත ගබඩා කර ගෙන තබා සතිය හෝ මාසය අවසන සම්පූර්ණ වාර්තාවක් දෙන තරමට දියුණු කිරීමට නවීන තාක්‍ෂණය දියුණු වී තිබේ. මේ සියල්ල විශ්ලේෂණාත්මක විද්‍යාඥයින් දිවා රෑ නොබලා කරන පර්යේෂණ වල ප්‍රතිඵල වේ. මෙම විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව දැන් දැන් සීඝ්‍රයෙන් දියුණු වන අංශයක් බවට පත් වී තිබේ. වේගවත්ව දියුණු වන ලෝකයට කාළය යනු මුදල්ය... යම් විශ්ලේෂණයක් ක්‍ෂණිකව නිරවද්‍යව කරගැනීමට ක්‍රම සැකසීම විශ්ලේෂණාත්මක විද්‍යාඥයින්ගේ කාර්යභාරයයි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන මුත් මිනිස් සිත මෙහෙයවා කරන්නට බැරි දෙයක් නොමැත... පෘථිවිය මත සිට අඟහරු ලෝකයේ පස්වල ඇති ජලය සාන්‍ද්‍රණය මනින්නට පවා මිනිසාට හැකියාව ලැබී ඇත්තේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවේ බලමහිමය නිසාවෙනි.... එය ඒ තරම් ප්‍රබලය....
නමුත් මීටත් වඩා වැදගත් කාර්යභාරයන් රැසක් විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවේ ආධාරයෙන් සිදු කරවා ගත හැකිය.

Monday, March 25, 2013

ඊට පස්සෙ මොනවා වේවිද ?


ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි සැලසුම් කරන හැම දේම ඒ ආකාරයෙන්ම ඉටු කර ගන්නත් ජීවිතයෙ ඉඩක් නැහැ. සාමාන්‍ය පෙළ කරන කාලෙ මගේ ලොකුම සිහිනය වුනේ වෛද්‍යවරයෙක් වෙන්න... උසස් පෙළ කරන කාළෙ මගේ සිහිනය වුනෙත් ඒකමයි. නමුත් උසස් පෙළ අවසාන වෙනකොට ඒ සිහිනය සැබෑ කරගන්න බැරි වුනා... නමුත් ඒ සිහිනය පිටුපස තවත් සිහිනයක් තිබුණා. මුලදි රසායන විද්‍යාව ගැන ඒ තරම් උනන්දුවක් නොතිබුණ මට අවශ්‍ය වුනේ උද්භිද විද්‍යාඥයෙක් වෙන්න... අපේ රටේ ගහකොළ ගැන දැනගන්න. ඒ නිසාමයි මම උද්භිද විද්‍යාව ගැන උනන්දුවක් මෙන්ම දක්‍ෂතාවක් දැක්වුයේ. මගේ බලාපොරොත්තුව වුනේ උද්භිද විද්‍යාව පැත්තෙන් පර්යේෂණ කරන්න... ඒ තමයි මගේ පර්යේෂකයෙක් වන සිහිනයේ ආරම්භය, නමුත් උද්භිද විද්‍යාවට වගේම රසායන විද්‍යාවටත් මගේ හැකියාවක් සහ අප්‍රමාණ කුතුහලයක් තියෙනවා කියලා දැනගත්තෙ දෙව්රුවන් සර්ගෙ රසායන විද්‍යා පන්තියට ඇතුලත් වුනාට පස්සෙ. මම සර්ගෙන් ඉගෙන ගත්තෙ රසායන විද්‍යාව විතරක් නොවෙයි, ජීවිතය ආයෙම පටන් ගත්තා. මගේ රසායන විද්‍යා දැනුම විතරක් නොවෙයි සැඟවී තිබුණ කවි ලිවීමේ හැකියාවත් නැවත ඔප මට්ටම් වෙලා ආවෙ දෙව්රුවන් සර්ගෙ උනන්දු කිරීම මත. ඒ මඟපෙන්වීම ඔස්සෙ ගිහින් මම නැවතුනේ සර්ගෙ හොඳම ගෝලයන්ගෙ ගොඩේ මූලික ස්ථානයක් ලැබීමත් සමඟ..... සර් නැවත මට ජීවිතය දුන්නෙ රසායන විද්‍යා ආයතනයෙ ඉගෙන ගන්න උනන්දු කිරීමත් සමඟ....
ඒ කාලෙ මගේ රසායන විද්‍යාව පිළිබඳ උනන්දුව තිබුණත් ආචාර්ය උපාධියක් දක්වා යන්න පුළුවන් වේවිද කියන සිහිනය හැමදාම මගේ හිතේ තිබුණා...කළින් කළට මගේ සිහින වෙනස් වුනා. ඒ කාලෙ මගේ සිහිනයක් වුනේ දෙව්රුවන් සර් වගේ රසායන විද්‍යා ගුරුවරයෙක් වෙන්න. ටික කලකින් එය වෙනස් වුනේ යුනිලීවර් වගේ ලොකු ආයතනයක රසායනඥයෙක් වෙන්න පෙරුම් පිරීමත් සමඟ. මං වගේ හද්දා පිටිසරින් ආපු පුංචි මිනිහෙක් කොළඹ රසායන විද්‍යා ආයතනයේ ඉංගිරිසියෙන් ඉගෙනගෙන මාත් එක්ක හිටපු උන් ඔක්කොම පරද්දලා බැච් ටොප් වුන නිසාමද මන්දා මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු, මහාචාර්ය එස්. පී. දැරණියගල, මහාචාර්ය එච්.ඩී ගුණවර්ධන, මහාචාර්ය ඩබ්ලිව් එස් ප්‍රනාන්දු, වැනි මහාචාර්යවරුන්ගෙන් ලැබුණෙ අප්‍රමාණ දිරි ගැන්වීමක්. රසායන විද්‍යා ආයතනයෙ උපාධිය අවසානවෙලා ටික කලක් යද්දි එක සිහිනයක් වෙච්ච යුනිලීවර් ආයතනයෙ රසායනඥයෙක් වෙන සිහිනය සැබෑ වුනා. ඒ සියල්ලටම මට ලොකු හයියක් වුනේ රසායන විද්‍යා ආයතනයෙදිම මට හමු වෙච්චි ඇල්කෙමිච්චි.. ඇයගේ උනන්දුව මත විදේශ විශ්ව විද්‍යාල කිහිපයකටම අයැදුම් කළත් ලැබුනෙ යහපත් ප්‍රතිචාර නොවෙයි. අවසානයේ අපේ මිතුරියක් වන චාමිකා මාර්ගයෙන් අපට ලුයිසියානාවට යන්න වරම් ලැබුණා. ඇයට අපි ඒ ගැන සැමදාම ස්තුතිවන්ත වෙනවා. එතැනින් පස්සෙ අපි ගිය ගමන ගැන බොහෝ දෙනෙක් පෙර ලිපි වලින් දැන ගන්න ඇති. නැත්නම් පොඩ්ඩක් පස්සට ගිහින් කියවලා බලන්න.
ඒ සියල්ල අවසානයෙ අපි දෙදෙනාම උපයගත්ත එකම දේ ආචාර්ය උපාධි දෙකක් පමණයි. ඊට අමතරව අපට ලැබුණ ලොකුම සම්පත ඇල්කෙමි පැටියා අපට එකතු වීම... ඇල්කෙමි පැටියා නිසාම අපේ බොහෝ ඉලක්කයන් වෙනස් කරන්න අපට සිදු වුනත්, ඒ ගැන කිසිදු පසුතැවිල්ලක් නැහැ. නමුත් පසුගිය කාළයේ අපේ ජීවිත බොහෝ වෙනස් වුනේ ඇමරිකාව අතහැරලා ජර්මනියට පැමිණීමට තීරණය කිරීමත් සමඟ. ඇමරිකාවෙ රැකියාවක් තිබෙත්දිත් ජර්මනියට එන්න හේතු වුනේ එය ලෝකයේ අංක එකේ රසායන ද්‍රව්‍ය සමාගම වන BASF සමාගමේ රසායනාගාරයක රැකියාවක් වුන නිසා. වසර දෙකක රැකියාව අවසානයේ ස්ථිරවම මව් ආයතනයේ රැකියාවක් ලැබෙන බවට පොරොන්දු නොවුනත්, මේ ලැබෙන අත්දැකීම් මත වෙනත් සමාගමක ඉහළ මට්ටමේ රැකියාවක් ස්ථිර බව මා දැන සිටි නිසා සහ මට පෙර මේ ආයතනයේ එවැනි රැකියා කළ සියළුම දෙනා එවැනි ඉහළ තත්ත්‍වයන්හි සේවය කරන නිසා මට කිසිදු සැකයක් වුයේ නැහැ. එසේ වුවත් අපට සළකා බැලිය යුතු කරුණු කාරණා බොහොමයක් තිබුණා. භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් එකක් නිසා පැටියාගේ ඉගෙනීම පළමුකොටම සැලකීමට සිදු වුනා. නමුත් පළමු වන පන්තියේ උගෙනිමින් සිටි පැටියාට නව භාෂාවක් ඉගැන්වීමත්, ලැබෙන නව අත්දැකීම් මතින් ඉහළ රැකියාවකට යාමත්, ඇමරිකාවට වඩා යුරෝපයේ ජීවන තත්ත්‍වය උසස් යැයි ඒ පිළිබඳ අත්දැකීම් ඇති (යැයි සැලකුන) බොහෝ දෙනාගේ රෙකමදාරුව මත සහ මා ආචාර්ය උපාධිය හැදෑරූ මහාචාර්යවරයාගේ දුර දක්නා දැනුම මත යුරෝපයේ රැකියාවට කැමැත්ත පළ කිරීමට මා තීරණය කළා.
මාස කිහිපයක් ලංකාවේ ගත කරන්න සිදු වුනේ ජර්මන් තානාපති කාර්යාලයේ වීසා ලබා දීම මාස දෙකත් තුනත් අතර කාළයක් ගතවන නිසාම. ඒ වනවිටම මා ජර්මනිය පිළිබඳ බොහෝ කළකිරීමට පත් වී තිබුණත්, ඉදිරිය හොඳ වේ යැයි සිතමින් සියල්ලට මුහුණ දුන්නා. අවසානයේ මා පළමුවත්, ඇල්කෙමිච්චි සහ පැටියා  දැඩි පරිශ්‍රමයක් දරා ඊට මාස දෙකකට පසුවත් මා සමඟ එකතු වූවා. ඒ කල සිටම ජර්මනියේ ජීවිතය කෙමෙන් කෙමෙන් අප්‍රසන්න වන තත්ත්‍වයක් මට දැනුනා. සේවා ස්ථානය ඉතාම හොඳ වුවත්, බාහිර ජීවිතය ස්ථිර රැකියාවක් කරන මා වැනි කෙනෙකුට කටුක බව මට වැටහෙමින් තිබුණා. මේ නිසාම මා සිදු කරමින් සිටි පර්යේෂණයේ කොණක් දුටු වහාම මෙතැනින් ඉවත්ව යා යුතු බව මට දැනුනත්, ඇල්කෙමිච්චි සහ පැටියාගේ තීරණයක් ලැබෙන තුරු මා ඉවසා සිටියා. නමුත් මා මෙන්ම ඒ දෙදෙනාටද මෙහි ජීවිතය එතරම් සාර්ථක බවක් පෙනුනේ නැහැ. මේ අතර අම්මාගේ අසනීප තත්ත්‍වයත් තරමක වැඩි වීමක් දැනුන නිසාම පර්යේෂණයේ එක් කොණක් දුටු වහාම මා ඉවත් වන බව පාලනාධිකාරියට දැනුම් දුන්නා.
අප කිහිප දෙනෙකු එකතු වී කළ පර්යේෂණයේ ප්‍රතිඵල පේටන්ට් බලපත්‍රයකට එකතු කළ හැකි තරමට ලැබුන නිසාමත්, මා තනිව සිදු කළ වෙනත් පර්යේෂණයක ප්‍රතිඵල ද සාර්ථක වීම නිසා මගේ කාර්ය භාරය අවසාන කළ යුතු බවට මට දැනුනා. ඒ නිසාම මා නැවත ලංකාව බලා යාමට තීරණය කළේ මගේ දැනුමින් ලංකාවට යමක් කළ යුතු බව හා හැකි බව මට දැනුන නිසා. මේ නිසා මට නැවතත් මඟහැරුණු බොහෝ දේ ලබා ගැනීමටත්, වසරින් වසර පාසැලෙන් පාසැලට මාරු වී ගිය ඇල්කෙමි පැටියාට ස්ථිරව එක් පාසැලක අකුරු කිරීමට අවස්ථාව ලබා දීමත්, මගේ දෙමාපියන්ට සහ නෑදෑයන්ට සමීපව ජීවත් වීම තරම් තවත් දෙයක් මට නැති නිසාත්, කෙතරම් කර්කෂ අනාගතයක් ලැබුණත් මා නැවත ලංකාවට යා යුතුයැයි තීරණයට එළැඹුනා. ඒ අනුව අළුත් අවුරුද්දට ලංකාවට එන්න අපි තීරණය කළා.
දැනටමත් රසායන විද්‍යා ආයතනයේ ඉගැන්වීමට ආරාධනාවක් ලැබී ඇති මට ඒ සඳහා කොටු වීමට පමණක් බලාපොරොත්තුවක් නැහැ. ආර්ථිකව සළකා බැලුවහොත් පෞද්ගලික අංශයේ රැකියාවක් මගින් යහපත් ජීවන තත්ත්‍වයක් ගොඩ නඟා ගත හැකි වුවත්, එසේ කොටු වීම මගින් මගෙන් සිදු විය හැකි සේවය බොහෝ දුරට සීමා වන බව මට හිතෙනවා. මේ නිසාම මම මගේ සීමාවන් පුළුල්ව සහ නිදහස්ව තබා ගැනීමට තීරණය කළා. නමුත් මා දකින සිහින - ලංකාවේ වර්තමාන ජීවන තත්ත්‍වය හා ගැලපෙන්නේ නැති බව මා දන්නවා. සමහරවිට ආර්ථිකව බර දැනෙන විට පෞද්ගලික අංශයේ රැකියාවකට හිරවෙන්නට මට සිදු වේවි. සමහරවිට වෙනත් දෙයක් කරන්නට සිත් දේවි. මගේ සිතේ තිබූ ලොකුම සිහිනයක් වුනේ විද්‍යාව සහ විද්‍යාත්මක දේ සාමාන්‍ය ජනතාවට සමීප කිරීම. මා ඒ සඳහා උත්සාහයක් දරනවා. සමහර විට මගේ සැලසුම් සාර්ථක වෙන්න පුළුවනි. පර්යේෂණ මට්ටමින් යමක් කරන්නටත් අදහසක් ඇති නමුත්, ඒ සඳහා ඉඩක් ලැබේ දැයි සැක සහිතයි. මක් නිසාද කියනවා නම් ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යයනාංශයේ තනතුරක් ලබා ගැනීමේ මූලිකම සුදුසුකම මා සපුරා නොමැති නිසා. ඒ, ලංකාවේ පිලිගත් විශ්ව විද්‍යාලයකින් මූලික උපාධිය ලබා සිටිය යුතුය යන්නයි. එය නොමැතිව කෙනෙක් නොබෙල් ත්‍යාගය දිනු කෙනෙකු වුවත් නීත්‍යානුකූලව ලංකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යයනාංශයක තනතුරක් ලබා ගන්නා එක සිහිනයක් වන්නට පුළුවන්. මෙය දැන් වෙනස් වෙලාද කියා මා දන්නේ නැහැ.

කොහේ යන්නද ?
කොහේ යන්නද ?

ජනතාව දැනුවත් කිරීමට විද්‍යාත්මක සංනිවේදනයට යොමු වීමටත් අදහසක් තිබෙනවා. නමුත් මේ තාක් කල් පුවත්පත් වලට මා ලියූ ලිපි වලට වඩා වැදගත් ප්‍රවෘත්ති ඔවුනට පළ කිරීමට ඇති නිසා මගේ ලිපි පළ වූයේ කිහිප වතාවක් පමණයි.  සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් සමඟ මේ තත්ත්‍වය වෙනස් වන්නට පුළුවනි. එසේ වූවා කියා ඇල්කෙමියාගේ දිනපොත නවතින එකක් නැහැ - සමහර විට වැඩි දියුණු වන්නටත් පුළුවන්. ඉතින් මා නැවත ලංකාවට යන්නෙ බොහොම අවිනිශ්චිත අනාගතයක් මත හීන ගොන්නක් කරපින්නාගෙන. නමුත් කෙටි කළකින් උගත්කමට සරිලන යමක් සොයා ගන්නට - නැවත දෙපයින් සිටගන්නට හැකියාව ලැබෙයි කියා සිතනවා. එසේම රටට සේවයක් කිරීමට හැකියාවක් ලැබෙනවා නම් එයත් මට සතුටක්. ඉතිං මට කියන්න තියෙන්නෙ අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු කියලා පමණයි.
කොහොම වුනත් ඉදිරිය කෙසේ වේ දැයි දැන්ම කියන්න බැහැ. සමහරවිට මේ තීරණය මා ජර්මනියට පැමිණීමට කළ තීරණයට වඩා මෝඩ තීරණයක් වන්නටත් පුළුවන්. සමහරවිට මෙය මගේ ජීවිතයේ ගනිපු හොඳම තීරණයක් වන්නටත් පුළුවන්. අනාගතය ගැන කිසිවක් කියන්නට මට බැහැ. නමුත් දැන් දැන් ලංකාවේ බිහිවන කර්මාන්තශාලා සඳහාත්, ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක සහ පාරිසරික ප්‍රතිපත්ති සම්පාදනයටත් මට සක්‍රීයව දායක වන්න පුළුවන් බව මගේ හැඟීමයි. ලංකාවේ අපට යමක් කෙසේ හෝ කළ හැකි නමුත් විදේශයන්හි අපි නිකංම නිකං නිකමුන් පමණයි. අපේ රටේ අවම වශයෙන් අපට රටට දැනෙන යමක් කළ හැකියි. මගේ තීරණය පිළිබඳ මගේ දෙමාපියන්ට පසුව වැඩිපුරම සතුටු වන්නෙ රසායන විද්‍යා ආයතනයේ මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතා. ඒ මහතා කියන්නෙ අපි පිටරටට සේවය කරනවාට වඩා සුළුවෙන් හෝ යමක් තමන්ගෙ රටට කරන එක වටිනවා කියලා. ඒ වගේම ඒ මහතා මට කළ හැකි දෑ හොඳින්ම දන්නා කෙනෙක්. ඒ නිසා මම හිතන්නෙ පමා වෙලා හරි මම ගනිපු තීරණය හරි කියලා.
අපි බලමු.... ඊට පස්සෙ මොනවා වෙයිද කියලා....


Sunday, March 24, 2013

මිහිකත හෝරාවට පසුවදනක්...........


ලොව පුරා නොයෙක් දින වෙන් කර තිබේ.. අවුරුද්ද පුරාම ලව් කරන ප්‍රේමවන්තයන්ට තවත් ලව් කරන්නට වැලන්ටයින් දිනයක් මෙන්ම අවුරුද්ද පුරාවට මාතෘත්වය සහ පීතෘත්වය වෙනුවෙන් ලේ කඳුළු දාඩිය හෙලන දෙමාපියන් වෙනුවෙන් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දිනයක් ද වෙන්කර තිබේ. මේ සියළු දිනවල විවිධාකාර අර්ථයන් ඇත. ප්‍රේමවන්තයින්ගේ දිනය සම්පූර්ණයෙන්ම වාණිජකරණය වුවත්, මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දිනය වෙන් කර ඇත්තේ බටහිර රටවල දෙමාපියන්ගෙන් ඈත්ව වෙසෙන දරුවන්ට දෙමාපියන් සිටින බව මතක් කිරීමටත්, අවම වශයෙන් ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකි එක දිනයක් හෝ වෙන් කර තැබීම වෙනුවෙන් යැයි මට සිතේ. නමුත් අවාසනාව වන්නේ වසර පුරාවටම - ජීවිතය පුරාවටම අපව ආදරයෙන් රැකබලාගත් දෙමාපියන්ට දින දෙකක් පමණක් වෙන් කර තැබීමයි. ඔවුන්ට නිති රැකවරණය, ආදරය දැක්විය යුතු වුවත්, අවාසනාවට වර්තමාන ජීවන රටාව නිසා ඔවුන් පැත්තකට දමා තබා ඇති ඔවුන් වෙනුවෙන් දිනක් හෝ වෙන් කර මතක් කිරීමත් එක් අතකට අගය කළ යුතු කටයුත්තකි. ඒ දෙමාපියන් වෙනුවෙන් දින වෙන් කිරීමයි.
උපන්දා සිට සියල්ල දුන් දෙමාපියන්ට එසේ සලකන අපි, ජීවත්වන තුරාවට කිසිදු ප්‍රති උපකාරයක් නොපතා අපට සේවය කරන මිහිකත ට ලබා දෙන්නේ පැයක් පමණි. ඒ මිහිකත හෝරාවයි. මිහිකත දිනයක්ද ඇත. ඒකෙත් වැඩි වෙනසක් නැත. මිහිකත හෝරාව වෙනුවෙන් පැයක් ලයිට් නිවන අපි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් වෙනුවෙන් පැය හතරක් පහක් ඒ ඉතිරි කළ විදුලිය විනාශ කර දමමු. ඒ අපේ හැටි ය.
පරිසරය යනු වටිනා සම්පතකැයි තවත් අමුතුවෙන් කීමට අපට අවශ්‍යතාවයක් නැත. අප සියළුම දෙනා පරිසරය හා බැඳී පවතී. අප ජීවත් වන්නේ පරිසරය නිසාවෙනි. අප හුස්ම ගන්නේ පරිසරයෙන් ලැබෙන ඔක්සිජන් සහිත වාතයයි. අප ආහාරයට ගන්නේ පරිසරයෙන් නිපදවෙන ආහාර යි. අප බීමට ගන්නේ - පිරිසිදු වීමට භාවිතා කරන්නේ පරිසරයෙන් ලැබෙන පිරිසිදු ජලයයි. කොටින්ම - අපට දෙමාපිය - නෑදෑයන් කිසිවකු නැතිව වුවත් ජීවත් විය හැක්කේ පරිසරය යහපත්ව පවතින නිසායි. පරිසරය අයහපත් නම්, කෙතරම් මුදල් හදල් තිබුණත් සුවදායක ජීවිතයක් ගත කළ හැකිද ?
අප සංවර්ධනයේ නාමයෙන් පරිසරය විනාශ කරමින් සිටිමු. මෙයට දශක කිහිපයකට පෙර රටේ වර්ග ප්‍රමාණයෙන් 40% ක්ව තිබූ වනාන්තර ප්‍රමාණය 20%ක් දක්වා අඩු වී ඇති බව වාර්තාවක සඳහන්ව තිබුණි.  අපි වනාන්තර එළි පෙහෙළි කරමින් ගොවි බිම්, ගුවන් තොටුපලවල්, පාරවල්, කෙසෙල් වතු, ආදිය සකසන රටකි. මේ අපි පරිසරයට ආදරය කරන අන්දමයි. කාබන් පියසටහන් (Carbon Footprint) අඩුකරනවා යැයි පවසමින් තව තවත් ගල් අඟුරු බලාගාර පිහිටුවන අපි ආසියාවේ ආශ්චර්යය වීමට මඟ බලා සිටිමු. දැන්වත් අපට නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු කාළය පැමිණ ඇත.
අපට පරිසර ප්‍රතිපත්ති රාශියක් ඇත. නමුත් අපි තවමත් පරිසරය විනාශ කරමින් සිටිමු. රටක් වශයෙන් මෙන්ම පෞද්ගලිකව ද අපි පරිසරය විනාශ කරමින් සිටිමු. විදුලිබිල වැඩි වීම ගැන රජයට මැසිවිලි නඟන අපි ඒකීයව විදුලි පරිභෝජනය අවම කරන ආකාරය නොසළකා හරිමින් සිටිමු. දීර්ඝ කාලීනව වාසි ලබා දෙන සූර්යබලශක්තිය, සුලං බලය වැනි විදුලි ජනන ක්‍රම වෙනුවට ගල්අඟුරු බලාගාරයන් වෙනුවෙන් (අපේද නොවන) අනාගත පරපුර බිල්ලට දෙමින් සිටිමු... මේ ද අපමය.
වෙනත් රටවල් විදුලි බලය පිරිමැසීම, කාබන්  පියසටහන් අවම කිරීම, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී අප එහි විලෝමය ක්‍රියාත්මක කරමින් සිටිමු. නමුත් අපි පාරම් බාන්නේ ඒකක කාබන් පියසටහන් අවම කිරීම පිළිබඳවයි.
වසර 2014 අවසාන වනවිට හෝ 2013 අවසාන වනවිට වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය වායුගෝලීය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 400 ( 400 ppm) දක්වා ලඟාවනු ඇත. වසර 800,000 කට පසුව මෙය පෘථිවියේ මේ තාක් කල් වැඩිම කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය මෙය වීම  කාර්මික විප්ලවයේ ආදීනව හොඳින්ම කියා පා ඇත. මානව ක්‍රියාකාරකම් ගෝලීය උණුසුම කෙරෙහි බලපාන්නේ නැතැයි කවුරු කියා සිටියත්, වසර 800,000 කට පෙර නොවූ කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණයක් වසර 150 ක් තුළදී වැඩි වූයේ කෙසේදැයි යන ප්‍රශ්නයට කිසිවෙකු පිළිතුරු සපයන්නේ ද නැත.
මෙසේ වැඩි වන කාබන් ඩයොක්සයිඩ් මෙන්ම ඉදිරියේදී වැඩිවන මෙතේන් සාන්‍ද්‍රණ නිසා මිහිතලය උණුසුම් වීම වැඩි වේ. එවිට සිදුවන ධ්‍රැවීය අයිස් දියවීම හරහා ඇතිවන අනිසි කාලගුණ විපර්යාස සහ ස්වභාවික විපත් අධික වීම මගින් මිනිසා පරිසරයට කරන ලද හානිය මිනිසාටම දැනෙනු ඇත. මිහිකත සුරැකීමට වසර පුරා කටයුතු කරනු විනා පැයක් වෙන් කිරීමෙන්ම මිනිසා පරිසරයට දක්වන ආදරය පෙන්නුම් කෙරේ.
අපට කළ හැකි දෑ බොහොමයකි.
  1. නාස්තිය අවම කිරීම මගින් භාවිතා වන ශක්ති ප්‍රමාණය අවම කිරීම. මේ නිසා නිපදවෙන ශක්ති ප්‍රමාණය අවම වන අතර සිදුවන හානිය ද අවමය.
  1. නැවත භාවිතය මගින් යම් යම් දෑ අළුතින්ම නිෂ්පාදනය කිරීමට වැයවන ශක්තිය අඩු වේ.
  1. ප්‍රතිචක්‍රීකරණය නිසා ද ඉහත කී සෙත ම සිදු වේ.
  1. ආදේශනය - පරිසරයට අහිතකර දෑ වෙනුවට පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි යොමු වීම.
  1. දැනුවත් කිරීම - රජය මගින්, මාධ්‍ය මගින් මහජනයා නිතර දැනුවත් කිරීම.
  1. අවම පරිභෝජනයට - නාස්තිය මැඩලීමට කුඩා කල සිට දරුවන් පුරුදු කිරීම මගින් පරම්පරාවෙන් පරම්පරාවට එම පුරුදු නොකඩවා රැක ගැනීමට උනන්දු කිරීම.
  1. අවවාදයට වඩා ආදර්ශමත්ව කටයුතු කිරීම - රජය සහ ආණ්ඩුව මගින් පරිසර හිතකාමී සංවර්ධන සහ ගොඩනැඟීම් ක්‍රියාදාමයන් සඳහා යොමු වීම.
  1. කෙටි කාලීන වාසි සඳහා නොව දිගු කාලීන වාසි සඳහා සැලසුම් සකස් කිරීම.
  1. පර්යේෂණ සහ සංවර්ධනය (R&D) සඳහා වැඩි උනන්දුවක් මගින් අනාගත සැලසුම් සකස් කර ඒ අනුව කටයුතු කිරීම.
මෙවැනි දෑ නිසා කුඩා රටක් වන අපට මිහිතලය වෙනුවෙන් කළ හැකි දෑ උපරිමයෙන් කළ හැක. අප සුවිශාලව කර්මාන්තකරණයෙහි යෙදෙන රටක් නොවේ. දැන් දැන් ඇතිවන කර්මාන්තවලට පරිසර හිතකාමී සම්මාන - සහ බදුසහන ආදීය ලබා දීම මගින් පරිසරය සුරැකීමේ කාර්යයට ඔවුන් දායක කරගත හැකිය.
අනාගතය වෙනුවෙන් අප පරිසරයත් ලෝකයත් සුරැකිය යුතුය... අප සැලසුම් සකස් කළ යුත්තේ තවත් වසර 20 කටය... අදට නොවේ.
පරිසරය සුරැකීමට දිනයක්, පැයක් උවමනා නැත. එය සෑම කෙනාගේම යුතුකමකි...

Thursday, March 21, 2013

පිටස්තරයා..................... විසිපස්වන දිගහැරුම..............


:::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොනවද මේ පැල ජාතිය ? මල් පැලද නැතිනම් එළවළු පැල ද ? මොලී විශ්වගෙන් ඇසුවේ විශ්වගේ නවාතැනේ බැල්කනිය දෙස නෙත් යොමාගෙන...
ආ... ඕකට කියන්නෙ Milk Thistle කියලා... මේක බොහොම හොඳ ඖෂධීය ගුණයක් තියෙන පැලෑටියක්. ඇඟේ තියෙන විෂ ඔක්කෝම ඉවත් කරනවා. විශ්ව කිසි ගණනකට නොගෙන පැවසුවා.
මේක මේ රටේ තියෙනවද ? මම නම් කවදාවත් දැකලා නැහැ..
මේක මට යාළුවෙකුගෙන් ලැබුණ ඇට කිහිපයකින් පැළ කරගත් ගස්.... හරි අමාරුයි වගා කරගන්න... මේ රටේ වැවෙන දෙයක් නෙවෙයි.....
ඉතිං... ඔයාට ඇයි විෂ ඉවත් කරගන්න ඕන ඇඟේ ? විශේෂ විෂක් කියලා දෙයක් ඇතුළු වෙන්නෙ නෑ නෙ ?
මොලී.... මොලී.... ඔයා දන්නෙ නැති කොච්චර දේවල් වෙනවද ලෝකෙ.... මම මේක පාවිච්චි කරන්නෙ සෑහෙන කාලෙක ඉඳලා... විශේෂ විෂක් ඇඟට ආවෙ නැතත්, අපේ ඇඟේ ක්‍රියාකාරීත්‍වය හොඳින් සිදු වෙන්න වගේම නීරෝගි බව පවත්වාගෙන යන්නත් මේ වගේ පොඩි පොඩි දේවල් උපකාරී වෙනවා..
ආ පුතා... මම තේ එකක් හදාගෙන ආවා.... සුමනසේකර මහත්මිය ඔවුන් දෙදෙනා අතරට පැමිණීම නිසා සිදු වූ කතා බහට නැවතුම් තිතක් තබන්නට මොලීට සිදු වුනා...
කාලෙකින් හොඳ තේ එකක් බිව්වෙ... ඉස්පිරිතාලෙ හොඳ තේ එකක්වත් නැහැනෙ..
ඒ සංවාදය එසේ සිදු වන අතරේ ඊට නුදුරු නිවසක ඒ සියල්ල පටිගත වන බව එතැන සිටි බොහෝ දෙනෙකු දැන සිටියේ නැහැ.
තේ පානයෙන් අනතුරුව මොලී ආපසු යාමට සූදානම් වුනා....
මට අද හරිම සංතෝෂයි විශ්ව... ඔයා නැවතත් පරණ පුරුදු තත්ත්‍වයට ටික ටික පැමිණීම ගැන මට හරිම සංතෝෂයි... මම බලාගෙන ඉන්නෙ ආයෙම ඔයා කවදද පර්යේෂණාගාරයට එන්නෙ කියලා...
මටත් දැන් නම් හරිම අමාරුයි පර්යේෂණාගාරයට යන්නෙ නැතුව ඉන්න... කොහොම වුනත් මට කරන්න තියෙන ව්‍යායාම ටික කරලා ඉක්මනටම කකුල හොඳ කරගන්න ඕන... සති දෙකකින් ආයෙම ඉස්පිරිතාලෙට ගියාම දැනගන්න පුළුවනි මට වැඩට යන්න පුළුවන්ද කියලා... මේ දෙන්නටත් වැඩි කල් මගේ වැඩ කර කර ඉන්න බැහැනෙ... තව ටික දවසකින් යන්න ඕන නෙ.. ඒ නිසා ඉක්මනින්ම මට හොඳ වෙන්න ඕන..
බය වෙන්න එපා විශ්ව.... ඔයාගෙ අමාරුම කාළය ගෙවුනා... ඔයාට සිහිය එන්නෙ නැතිව තියෙනකොට මම විඳපු දුක දන්නෙ මම විතරයි... මම හිටියෙ හරිම බයකින්.... ඒත්..... ඒත් දැන් නම් මම ඉන්නෙ බොහොම සතුටින්.... මොලී පැවසුවෙ බොහොම ආදරෙන් බව විශ්වටත්, ඒ සංවාදය අසා සිටි සුමනසේකර මහතාටත් නොදැනුනා නෙවෙයි....
එහෙනම්, මම ගිහින් එන්නම්...... සුභ රාත්‍රියක් හැම දෙනාටම....
සුභ රාත්‍රියක් මොලී,... පරිස්සමින් ගිහින් එන්න... කට්ටිය ඔක්කෝම මතක් කළා කියන්න.....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුදු පුතා, මම මේ පුතාගෙන් අහන්නමයි හිටියෙ.....
මොලී එතැනින් පිට වී සුළු වෙලාවකින් සුමනසේකර මහතා සිය බැරෑරුම් කටහඬ අවදි කළා... විශ්ව කියවන්න ගත් පර්යේෂණ ලිපිය පසෙකින් තබා සිය මාමාට සවන් යොමු කළා...
මොනවා ගැනද ලොකු මාමා ?
මොලී ගැන.... පුතා ගැන ඒ දරුවා සෑහෙන්න කරදර වෙනවා.... මට පේනවා ඒ දරුවගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පුතා ගැන....
මටත් ඒක පේනවා ලොකු මාමා.... නමුත්....
මොකද නමුත් කිවුවෙ ? පුතාගෙත් අකැමැත්තක් මට නම් පේන්න නැහැ.....
සුමනසේකර මහත්මියත් කතාවට හවුල් වුනේ තවත් තේ කෝප්පයක් පානය කරන ගමන්....
නමුත් කිවුවෙ මේකයි... මට තවමත් මොලී ගැන එහෙම හැඟීමක් නැහැ... එයා මට තවමත් යාළුවෙක් විතරයි... නමුත් මටත් දැනෙනවා ඒක යාළුකමට වඩා ලඟ බැඳීමක් කියලා... නමුත් ඊට වඩා දෙයක් නැහැ..
සුදු පුතාට වෙනත් යමක් තියෙනවද කියන්න ? අර දොස්තර නෝනත් සෑහෙන්න යාළු වුනා නේද ? එයා නම් ලංකාවෙ කෙනෙක්...
ඇය සිය සිතැඟි නොවලහා පැවසුවා...
මම දන්නවා ලොකු නැන්දා එන්නෙ ඔතැනට කියලා.... මම එයා එක්ක ගොඩක් යාළු වුනා තමයි... නමුත් එයාගෙ කතාව බොහොම වෙනස් කතාවක්.... මම හිතන්නෙ නැහැ එයා ආයෙම කිසිම බැඳීමක් ඇතිකර ගනී කියලා.....
ඒ මොකද ?
එයා බඳින්න එන්ගේජ් වෙලා හිටපු ඇමරිකානු යුධ හමුදාවෙ හිටපු එයාගෙ පෙම්වතා ඉරාකයෙදි මිය ගිහින්.... එදා ඉඳලා එයා ජීවිතේම කැප කරන්නෙ යුද්ධයෙන් තුවාල වෙලා අසරණ වුන සොල්දාදුවොන්ගෙ ජීවිත නැවත හරිගස්සන්න.... එයාගෙ මුළු ජීවිත කතාවම මට දවසක් කිවුවා... මම කවදාවත් හිතන්නෙ නැහැ එයා එයාගෙ හිත වෙනස් කරගනී කියලා... මම දන්නවා මම කොච්චර තනි වෙලා හිටියද කියලා... එයාටත් එයාගෙ කියලා කවුරුවත් නැහැ.... එයා ඇමරිකන් ජාතිකයෙක් එක්ක විවාහ වෙන්න යනවා කියලා එයාගෙ පවුලෙන් එයාව අයින් කරලා.... මට කිවුවෙ එහෙමයි.... කොහොම වුනත් මට ඒ ගැන බලාපොරොත්තුවකුත් නැහැ... කොටින්ම මට තවත් බැඳීමක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ... ඒක බොහොම කරදර වැඩක්නෙ....
පුතා.... මම දන්නවා ඔයා එන්න හදන්නෙ කොතැනටද කියලා... නමුත්, හැමදාම ඔහොම ඉන්න බැහැනෙ... ඔයාට කියලා යන කලදවසක් තියෙන්න ඕන... ඒ විතරක් නෙවෙයි.. ඔයාගෙ පරම්පරාගත දේපල ඉඩකඩම් වලට යන කලදවසක් තියෙන්නත් ඕන... අපියි කියලා හැමදාම ජීවත් වෙන්නෙත් නැහැ... ඔයාගෙ ජීවිතයට මේ වුන කරදරේ ගැන හිතනකොට අපට හරිම බයයි... කවුද දන්නෙ ඔයාට මොනවගේ දේවල් වේද කියලා ඉස්සරහට... මට තවමත් සැකයි මස්සිනාට වුන දේ ගැන... දැන් මේක... කවුද දන්නෙ මේවා පස්සෙ කවුරුම හරි ඉන්නවද කියලා ..... සුමනසේකර මහතා තමන්ගෙ හිතේ හංගාගෙන හිටි බොහෝ දේ පවසලා හිත සැහැල්ලු කර ගත්තා....
මාමා දන්නවනෙ.... මට ඕවයෙ බැඳීමක් නැහැ කියලා.... මම කියන්නෙ නම් කවදා හරි ඕවා පන්සලකට හරි නැතිබැරි කෙනෙකුට හරි දෙන්න කියලා..... ඕවා එකතු කර ගන්න තරමට ප්‍රශ්න වැඩියි....
මට තේරෙනවා පුතා... ඒ වුනාට ඒවා එහෙමම කරන්න බැහැනෙ.. ඔයා තවමත් හොඳ අනාගතයක් තියෙන දරුවෙක්... දැන් එපා වුනාට පස්සෙ ඕන වෙන වෙලාවල් තියෙනවා... අපි ඉන්න කල් ඕවා අපට බලා කියාගන්න පුළුවන්... ඒ ඔක්කොම නිරවුල්ව පුතාගෙ නමට තියෙන ඉඩම්.... ආගම දහමට නැඹුරු වෙන එක එකදෙයක්.. නමුත් තමන්ට හිමි දේවල  අයිතිය ඒ විදියට තියා ගන්න ඕන... ඒක තන්හාව නෙවෙයි.. තමන්ගෙ අයිතියක්....
ඕන එකක් ලොකු මාමා... තවම මම නම් ඔය ප්‍රශ්න දෙක ගැනම පැහැදිලි තීරණයක් අරගෙන නැහැ....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අන්න එනවා.... ගිහින් අල්ලගන්න..... පරිඝණක තිරයෙන් දෑස් මෑත් නොකරම ජේසන් සිය සගයාට පැවසුවා....
ඉන්න මම කෙටි පණිවුඩයක් යවන්නම්....
කෙටි පණිවුඩ යවලා වැඩක් නෑ... ගිහින් අල්ලගෙනම එනවා.... ඔය විදියට ගියොත් මේ වැඩේ කරගන්න බැරි වෙනවා....
හරි.....
ඇය ඒ ගොඩනැඟිල්ලේ සිට තට්ටු දෙකක් බැස්සා පමණි.... පිටුපසින් දුව ආ එෆ් බී අයි ඒජන්ත මාක් පිස්ට්නර් ඇය අසළටම ගොස් කතා කළාය.....
ජෙනී.... අපට පොඩ්ඩක් කතා කරන්න ඕන........
මොනවා ගැනද ? ඇගේ හඬේ තිබුණෙ නොරිස්සුමක්....
අර හාදයා ගැන....
මොනවා කතා කරන්නද ? ඔයාලා දකින්න ඇතිනෙ ගෙදර සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම.....
දැක්කා තමයි... දැක්ක නිසා තමයි කතා කරන්න ඕන... අපිට තේරෙන්නෙ නැහැ මොකද්ද මෙතන සිද්ධ වෙන්නෙ කියලා....
මොනවා සිද්ධ වෙන්නද ? දැන් එයා පුනරුත්ථාපනය වෙනවා... තව සති දෙකකින් හොඳටම හොඳ වේවි... තවමත් මොකද්ද වෙන්නෙ කියලා මටවත් තෝරා බේරා ගන්න බැහැ... කලබල වුනොත් අපට ගොඩක් දේවල් නැති වෙයි.... අපි හෙමින් තමයි මේ වගේ ඉලක්කයකට ලං වෙන්න ඕන... දැනට මම හොයා ගත් තොරතුරු වලට අනුව නම් මෙයා අනතුරුදායක පුද්ගලයෙක් නෙවෙයි.. නමුත් මෙයාගෙන් ලැබෙන තොරුතුරු වෙනත් දේ වලට යොදා ගන්න පුළුවන් වේවි... ආරක්‍ෂාව අතින් නම් මෙයා පූස් පැටියෙක් වගේ....
ඇත්තද ? අපි දැක්කා හොර පූසිගෙ මූණෙ තිබුණ බැල්ම..... මොනවා කළත් කමක් නෑ... අපේ මූලික අරමුණ අමතක කරන්න එපා....
ඒ ගැන බය වෙන්න එපා.... මම ජෙනරාල්ටත් කතා කළා ඒ ගැන......
ඔයා කොහොමද ජෙනරාල්ට ලං වුනේ ? කවදද ?
ඒවා වැඩක් නෑ.... මට ජෙනරාල් දවසක් හම්බ වුනා... ඒ වෙලාවෙ තමයි මම කිවුවෙ මගේ අරමුණ වෙනස් වෙලා නැහැ කියලා.. ඔයා දැනගන්න ඕන... ඔයාට වඩා මේ සම්බන්ධයෙන් මට ලොකු පුහුණුවක් තියෙන බව......
හරි හරි.... ඔයාට හොඳට කට්ටිය අන්දන්න පුළුවන් නෙ.... අපි නොදන්නවයෑ ඔයාගෙ හැටි.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඉන් පසුව එළැඹුන සතිය පුරාවටම විශ්ව සිය පාදය සවිමත් කර ගැනීමේ ව්‍යායාම් වල නිරත වුනා.... ක්‍රම ක්‍රමයෙන් මානසික ඒකාග්‍රතාවය තීවෘ කර ගැනීමටත් සිය සිරුරේ පරිපූර්ණතාවය කරා ලඟා කර ගැනීමටත් ඔහු වෙහෙසුනා..... කිහිප වතාවක් මොලී පැමිණ ඔහුගේ සැපදුක් සොයා බැලුවත්, විශේෂ යමක් සිදු වූයේ නැහැ... සති කිහිපයක්ම ඇමරිකාවේ ගත කළ සුමනසේකර යුවල නැවතත් ශ්‍රී ලංකාව බලා යා යුතු බවට සිතා බැලුවා... විශ්වගේ පාදයත් සෑහෙන තරමක සුවයක් ලබා ඇති නිසාත්, ඔහුට බොහෝ දේ තනිවම කරගත හැකිව තිබූ නිසාත්, ඔවුන් දැන් ලංකාව බලා යා යුතු යැයි  සැම දෙනාටම දැනුනා..... ඒ අතර දිනක මොලී පැමිණියේ තවත් අළුත්ම ආරංචියක් රැගෙන....


Monday, March 11, 2013

පිටස්තරයා ..................... විසිහතරවන දිගහැරුම..................







:::::::::::::::::::::::::::::::::::::::

ඉතින් මම ඒ සියල්ල අමතක කරලා වෝල්ටර් රීඩ් එකට ආවෙ අවම වශයෙන් එයා වෙනුවෙන් වෙන්න ඕන දෙයක් තිබෙනවා නම් එයාගෙ සහෝදර සොල්දාදුවොන්ටවත් වෙදකම් කරලා ඒ අය නැවතත් මේ ලෝකයට ගේන්න....ගීතිකා  දිගු සුසුමක් හෙලා සිය කතාව නිම කරද්දී ඇගේ නෙතඟින් ඇයටත් නොදැනීම කඳුලක් මතු වී තිබුණා...
ඔයාගෙයි මගෙයි අතීතෙ ලොකු වෙනසක් නෑ ගීතිකා.. විශ්ව සෙමෙන් පැවසූවේ තම දෙමාපියන් සහ ආදරණීය නැඟණිය නැවතත් සිහි වූ නිසාමයි...
ඒ දුක්බර සාකච්ඡාව නිමා වුනේ ගීතිකාගේ පේජරයට ලැබුණ කෙටි පණිවුඩයත් සමඟ..
අන්න නෑදෑයො ඇවිත් ලෙඩාව බලන්න... අපි යමු.......
ගීතිකා විශ්ව ද සමඟින් අමුත්තන් රැඳී සිටින ශාලාව වෙත පැමිණෙන විට සුමනසේකර යුවල සිනාසෙමින් ඒ දෙස බලා සිටියා...
ගොඩක් වෙලාද ඇවිත් ? විශ්ව ලොකු නැන්දාගෙන් ඇසුවේ සිනාසෙමින්...
ටිකක් වෙලා... අපි හිතුවා ඔයාට බාධා නොකරන්න.... ඇවිදින තරමට කකුලට හොඳයි නෙ....
ගීතිකා ඔවුන්ගෙන් සමුගෙන ගොස් නැවත පැමිණියේ තරමක සුභ ආරංචියක් ද රැගෙන....
මේ ප්‍රගතියෙ හැටියට විශ්වට තව දින තුනකින් විතර ගෙදර යන්න පුළුවන් කියලා ප්‍රධානියා කිවුවා... ඇය සිනාසෙමින් පැවසූවා...
හතර දෙනාගෙම මුහුණේ ඇඳුනේ සැනසුමක සිනා රැල්ලක්.....
::::::::::::::::::::::::::::::::::::::::
පසුවදා මොලී පැමිණියේ තවත් ආරංචියක් රැගෙන... ඒ විශ්වත් ඇයත් එකතු ව සිදු කරන්නට නියමිත පර්යේෂණයට අවශ්‍ය අරමුදල් අදාල ආයතනයෙන් ලැබීමට නියමිත ආරංචිය. ඒ නිසා විශ්වගේ සිතේ නැවතත් තම පර්යේෂණය පිළිබඳ මතකයන් මෝදුලන්න පටන් ගත්තා...
මොලී... ඔයාට පුළුවන්ද මට අර පර්යේෂණ පත්‍රිකා ටික එවන්න ? එතකොට මට මෙතැන ඉන්න වෙලාවෙ ඒ ටික කියවලා නැවත මගේ මතකය අළුත් කරගන්න පුළුවනි.
ඉන්න, මට දැන්මම දෙන්න පුළුවනි... මොලී සිය අයි පෑඩ් එක ගෙන එහි වූ ලිපිගොණුවක් විවෘත කර විශ්වට පෙන්වූවාය... මම මේ ටික ඔයාට දැන්මම එවන්නම්, ඔයාට නිදහසේ කියවන්න පුළුවනි.. එතකොට අළුත් අදහස් ඇති  වෙන්නත් බැරි නැහැ...
ඒ සමඟම පැමිණි හෙදියක් විශ්වගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අවශ්‍ය බව දැන්වූවාය.... මොලී ඇයට ඉඩ දී මඳක් පසුපසට විය....
ඇයි මේ තරම් මගෙන් රුධිර සාම්පල් ගන්නෙ ? දැනට හතරක්ම ගත්තා නේද ? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ?
නැහැ නැහැ... අපි මේ රුධිර සාම්පල් ගන්නෙ ඔබේ සෞඛ්‍ය තත්ත්‍වය පරීක්‍ෂා කරන්න... ඔබට ලබා දුන් බෙහෙත්වල අතුරු ප්‍රතිපල තිබෙනවද කියලා දැනගන්න අපි මේ රෝහලේ ඉන්න සෑම රෝගියෙකුගේම රුධිර සාම්පල් අරගන්නවා.. මේකත් එක්තරා ආකාරයක පර්යේෂණයක්...
ඔව් විශ්ව... මේ වගේ රජයෙන් පාලනය වෙන රෝහලක ඉන්නව නං මේ වගේ පර්යේෂණ වලට දායක වෙන්න සිදු වෙනවා. සාමාන්‍යයෙන් හමුදා නිලධාරීන්ට සහ සොල්දාදුවන්ට නම් මේ පරීක්‍ෂණ සාමාන්‍ය දේවල්... අපි රජයට සහ පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට දත්ත යවන්නෙ මේ ලබා ගන්න සාම්පල් වලින්. ඒ වගේම අපට පුළුවනි කිසියම් බෙහෙතකට රෝගියෙකු දක්වන අහිතකර ප්‍රතිචාරයක් තිබෙනවා නම් ඒ බෙහෙත වහාම නවත්වලා වෙනත් බෙහෙතක් ලබා දෙන්න... මේ ක්‍රමයේ වාසි බොහොමයක් තිබෙනවා. නමුත් පෞද්ගලික රෝහල්වල මේ දේ කරන්න බැහැ... ගීතිකා ද එතැනට පැමිණ සිටි නිසා හෙදියගේ විස්තරයට තම දැනුමද එක් කළා.
::::::::::::::::::::::::::::::::::::::::::::
ඔන්න අහුවුනා වැඩේ.... ජේසන්ගේ මුව රැඳී තිබුණේ ජයග්‍රහණයක් මුසු සිනා රැල්ලකි...
මොන වැඩේද ?
ලේ සාම්පල් වල වෙනස අහු වුනා.....
මේ තියෙන්නෙ සම්මුඛ පරීක්‍ෂණය දවසෙ ගත්ත ලේ සාම්පලය..... කිසිම ආගන්තුක ද්‍රව්‍යයක් නෑ... හරිද ?
හරි...
මේ තියෙන්නෙ අනතුර වුන දවසෙම ගනිපු සාම්පලය..... වැඩි වෙනසක් නෑනෙ....
කෝ බලන්න........... මයික් විමසිල්ලෙන් බැලුවා.......
මේ තියෙන්නෙ අනතුරෙන් දවස් තුනකට පස්සෙ ගනිපු සාම්පලේ...... මෙන්න මෙතැනයි වෙනස තියෙන්නෙ.... ඔන්න දැන් සාම්පලේ තත්ත්‍වය සාමාන්‍ය ගණනට පත් වෙනවා........
මේ තියෙන්නෙ අනිත් සාම්පල්.... දැන් පේනවනෙ.... මේ හැම එකක්ම ටික ටික සාමාන්‍ය ගණනට හැම අගයක්ම එනවා... මෙන්න මෙතැනයි ප්‍රශ්නය තියෙන්නෙ.... කොහොමද මෙයා මෙච්චර ලේ පිරිසිදුව තියා ගන්නෙ කියන එක.....
විශේෂයෙන් බෙහෙතක් ගන්නවා නම්, ඒක ලේ සාම්පල් එකේ පෙන්වන්න ඕන නේද ? මයික් ඇසුවෙ ජේසන්ගෙ නොනවතින කියැවිල්ලට තිතක් තබමින්....
ඔව්... නමුත් එහෙම දෙයක් පෙන්වන්නෙත් නෑ... එක්කෝ මෙයා අර පාවිච්චි කරන තෙල් සාම්පලයෙ හරි නැතිනම් අර Milk Thistle පැලෑටියෙන් ලබා ගන්න දෙයක් හරි, එහෙමත් නැතිනම් මේ දෙකෙන්ම ලැබෙන ගුණයක් මත තමයි මේ මෙයා ලේ පිරිසිදුව තියා ගන්නෙ...
ඉතිං ඒක නීති විරෝධී නැහැනෙ..... ඒ නිසා අපට මුකුත් කරන්න බැහැ නේද ?
ඇත්ත... නමුත් මේක හොඳ සොයාගැනීමක් වෙන්න පුළුවන්.... බලන්න පිළිකා රෝගීන් කොච්චර කීමොතෙරපි (Chemotherapy) නිසා දුක් විඳිනවද ? ඒ මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරගන්න මෙන්න මේ වගේ ක්‍රමයක් හොයා ගන්න පුළුවන් නම්, කොච්චර සෙතක් වෙන්න පුළුවන්ද ?
එහෙනම් අපි එයාගෙන් කෙළින්ම ඇහුව නං මේ ගැන අහගන්න තිබුණනෙ... මෙච්චර වටේ යන්නෙ නැතුව ?
කෙළින්ම අහන්න ? එතකොට එයා දන්නවනෙ අපි හොරෙන් එයා ගැන හොයලා බැලුවා කියලා ! මොළයක් නැද්ද ?
:::::::::::::::::::::::::::::::::::::::::::::
දින දෙකක ඇවෑමෙන් විශ්ව ආපසු යන වෙලාව පැමිණුනි. ගීතිකා යුහුසුළුව විශ්වගේ සියළුම ඕනෑ එපාකම් සොයා බලනු මොලී හොඳින්ම දුටුවාය. කිසියම් ඊර්ෂ්‍යාවක් සිතට දැනුනත් එය නොපෙන්වා සිය අරමුණ කරා යාම පුරුදු පුහුණු කළ ඇය කිසිදු වෙනසක් නොදක්වා සිනාසෙමින් සිටියාය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඇය ද විශ්වගේ කටයුතු වලට නොමසුරුව සහයෝගය දුන්නාය. සුමනසේකර යුවලද ඉතාම උනන්දුවෙන් සිය ඥාති පුත්‍රයා නැවතත් ඔහුගේ නවාතැනට ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළෝය.
ඉතිං.... තව සති දෙකකින් මේ පැත්තෙ ඇවිත් යන්න වෙයි....
තව සති දෙකක් යනකොට මට නම් ආයෙම මැරතන් එකක් දුවන්න පුළුවන් වෙයි....
ඒ වුනාට සුදු පුතාට මේ ලැබුණ සත්කාර ගෙදර ලැබෙන එකක් නෑ නේද මහත්තයා.... සුමනසේකර මැතිණිය තම සැමියා දෙස බලා විමසුවාය....
එහෙමම කියන්න බෑනෙ.. අපි දෙන්නත් ගෙදරම ඉන්න එකේ.....
ඒත් ඉතිං අපි කවදා හරි ආපහු යන්න ඕනනෙ... අපි ගියාම කවුද සුදු පුතාව බලා ගන්නෙ ?
සිංහලෙන් කෙරෙන මේ සාකච්ඡාව දෙස මොලී බලා සිටියේ කිසිවක් තේරුම් ගත නොහැකි බැල්මකිනි. ඇගේ අපහසුව තේරුම් ගත් ගීතිකා මොලීට කිසිවක් පැහැදිළි කර දුන්නාය.
ඔව්... මටත් නිතර නිතර ඇවිත් බලන්න පුළුවන්... අපේ පර්යේෂණාගාරය තියෙන්නෙත් එතැන ඉඳලා වැඩි දුරකින් නෙවෙයිනෙ....
අවශ්‍ය ලියකියවිලි සහ බෙහෙත්, ආම්පන්න සියල්ල සකසා අවසන සියළුම දෙනා මොලී ගේ රථයට නැඟුනේ විශ්වගේ නවාතැන බලා යාමටය. පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සේවය ලබාලෙන සුව වී නිවෙස් බලා යන රෝගීන් අනන්තව දැක තිබුණත් ගීතිකාට තරමක දුකක් දැනුනේ තම රටේ තම භාෂාව කතා කරන තමන්ට බෙහෙවින් සමීප වූ කෙනෙකු තමාගෙන් ඈත් වී යනවාක් මෙන් හැඟීමක් දැණුන නිසා වන්නට ඇත. ගත වූ කාළය තුළදී ඒ තරමටම ඇය විශ්ව හා කුළුපගව සිටියාය.
:::::::::::::::::::::::::::::::::::::::::::
මොලීට අද වැඩ නැද්ද ? විශ්ව මොලීගෙන් ඇසුවේ රථය පණගන්වා මහා මාර්ගයට අවතීර්ණ වෙද්දීම ය.
මම අද නිවාඩුවක් දැම්මා.... මම නීල්ට කිවුවා අද ඔයා නිවසට යන දවස කියලා... නීල් මට අවසර දුන්නා අද ඔයා වෙනුවෙන් කැප කරන්න.... දැන් කොහොමත් අළුත් පර්යේෂණයේ වැඩ කටයුතු පටන් ගන්නකල් මට තරමක් විවේකීයි... ගණනය කිරීම් වුනත් සැලසුම් කළාට පස්සෙ කොම්පියුටරයෙ ඉබේම වැඩ කෙරෙනව නෙ...
ඉතිං කොහොමද පර්යේෂණය ?
ඔයාට දෙන්න කියලා නීල් මට පර්යේෂණ ලිපි ගොඩක් එකතු කරලා දුන්නා...
ඒක හොඳයි මටත් වැඩක් නැති එකේ ඒවා කියවලා හොඳ අදහස් ටිකක් ගන්න පුළුවනි. මම ඔයා ගෙනැත් දුන් ලිපි ටිකත් කියෙව්වා... තව සති දෙකකින් අපට ආයෙම වැඩ පටන් ගන්න පුළුවන් වේවි...
ඒ අතරතුර ඔවුහු විශ්වගේ නවාතැන වෙත ළඟා වී තිබුණි.
විශ්ව සහ පිරිස ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවට සෝපානයෙන් යනවිට තම නිවස ඉදිරිපිට දැක පුරුදු දෙදෙනෙකු සිටිනු ඔහු දුටුවේය. කවදා හෝ දැක පුරුදු බව දැණුනත් කොහේ දී දැයි විශ්වට නිනවුවක් වුනේ නැහැ. කෙසේ වුවත් මොලී ඔවුන් දෙදෙනා දෙස බලා මඳ සිනාවක් පානු විශ්ව දුටුවා. කෙසේ වුවත් අසල්වැසියෝ එකිනෙකා වෙත සිනහා පෑම සාමාන්‍ය දෙයක් නිසා විශ්ව ඒ පිළිබඳ වැඩි අවධානයක් පෑවේ නැහැ.
නිවසට පැමිණි විශ්වට කිසියම් සැහැල්ලුවක් දැණුනේ එය තමාට හුරුපුරුදු තැනක් වූ නිසා. රෝහල මෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථානය ද තමන්ට නුහුරු තැන් වූ නිසා ඒ තැන් කිසිවක තමන්ගේ නිදහස් බව නොතිබූ නිසා.... ඔහු සෙමෙන් ගොස් සෝපාවේ වාඩි වී අවට බලන්න වුනා.....
:::::::::::::::::::::::::::::::::::::::::
සෙස්ස පස්සට..........

Wednesday, March 6, 2013

2013 මාර්තු 07 : ප්‍රතිරූප වන්දනාව නිසා බැටකන ලසිත් මාලිංග


ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දීමනා ප්‍රශ්නයක් නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට ක්‍රීඩකයෝ 23 දෙනෙකු අකැමැතිවීම පිළිබඳ ආන්දෝලනය අවසාන වූයේ ඔවුන් ඒ සඳහා එකඟ වීමත්, සිදු වූ කිසිවක් මාධ්‍ය හමුවේ නොකිව යුතු බවට එකඟතාවයක් (හෝ තර්ජනයක්) ඇතිකරගැනීමත් සමඟය. නමුත් ඒ ආන්දෝලනය සමනය වන්නට නොදී ලංකාවේ ක්‍රිකට් නැවත වතාවක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් කරගැනීමට අපේ මාධ්‍ය සමත්විය.
මිනිසා කවදත් තමන්ට වඩා ඉදිරියෙන් සිටින්නකු වෙත කිසියම් ගෞරව පූර්වක බැල්මක් හෙලූ සත්ත්‍වයෙකි. ඒ නිසා ඒ පුද්ගලයා වටා  ප්‍රතිරූපයක්  ගොඩනගා ගනී. බටහිර සංස්කෘතියේ  විශේෂයෙන් ඇමරිකාවේ වැඩිහිටියන්ට ගරු කිරීම හෝ උගතාට/ඉහළ මට්ටමේ රැකියාවක් කරන පුද්ගලයෙකුට එතරම් ගරු කිරීමක් නැත්තේ, සියල්ල සමානව සැලකීමට පුරුදුව ඇති නිසාය. යුරෝපයේ තවමත්  අවම වශයෙන් අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ මේ ගරුත්‍වය තරමක් හෝ දුරට රැඳී පවතී. ආසියාව තවමත් ප්‍රතිරූප වන්දනාව ඉහළින්ම ඇති කලාපයකි. මේ පුද්ගල/ප්‍රතිරූප වන්දනාවට ඉහළින්ම පාත්‍ර වන්නේ වෛද්‍යවරු - විශ්ව විද්‍යාල ආචාර්යවරු - ඉංජිනේරුවරු - නීතීඥයින් වැනි ඉහළ තලවල රැකියා දරන පුද්ගලයින් ය. එසේම පසුගිය යුධ කාළයේ ත්‍රිවිධ හමුදාවල සේවය කරන්නන් වන්දනා කළේ රණවිරුවන් යන නාමයෙන් වුවත්, දැන් දැන් කාර් රේස් සඳහා වැලි කොට්ට අදින, අතිරික්ත එළවලු වෙළඳාම් කරන පුද්ගලයින්ගේ තත්ත්‍වයට ඔවුන් පත්ව ඇත්තේ අපට ඇති සති දෙකේ මතකය නිසාම විය හැකිය.  ඊට අමතරව කෘත්‍රිමව ඇතිකරගත් ප්‍රතිරූප වන්දනාවට අනුකූලව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිතුමා දක්වා විවිධාකාර දේශපාලනඥයින් සහ හෙංචයියන් පුද්ගල වන්දනාවට ලක්වෙති. ඒ බොහෝ දුරට එකිනෙකාගේ පෞද්ගලික වාසි ලබා ගැනීම පිණිසය.
නළු නිළියන් සහ ක්‍රීඩකයින් මෙන්ම වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝ විට සිය දක්‍ෂතාවය මත කැපී පෙනෙන නිසා ප්‍රතිරූප වන්දනාවට ලක්වෙති. දක්‍ෂ නළු නිළියන් සහ දක්‍ෂ ක්‍රීඩකයින් මේ තත්ත්‍වයෙහි ඉදිරියෙන් සිටිති. මෙයට අමතරව මාධ්‍යවල අවශ්‍යතාවය මත පිම්බෙන සහ හැකිළෙන ප්‍රතිරූප වන්දනාවක් ද දැකිය හැක. නයි නළඟන මාධ්‍යවලට මහඟු වස්තුවක් වූයේත්, ආචාර්ය මර්වින් සිල්වා වැන්නන්ගේ සුළු චලනයක් වුවත් මාධ්‍යවලට සුවිශාල ආකර්ෂණයක් වන්නේත් මේ නිසාය. මිනිසුන් සතුව  ස්වභාවයෙන්ම ඇති කටකතා සහ ඕපාදූප ඇසීමට ඇති කැමැත්ත දඩමීමා කරගෙන මාධ්‍ය සිය මඩි තර කර ගන්නේ එසේය.
ලංකාව පළමු ටෙස්ට් තරඟය දිනූ දිනයේ සිට සහ ඊට පෙරත්, ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් වෙත තරමක ආකර්ෂණයක් ඇතිව තිබුණි. මෙය ලෝක කුසලානය දිනූ කාළයේ සිට වැඩි වැඩියෙන් දක්නට ලැබුණි. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තත්ත්‍වය ඉහළ යන විට ඔවුන් ද පුද්ගල වන්දනාවට බඳුන් වූහ. එමෙන්ම අර්ජුන - මහේල - සනත් - සංගක්කාර - මුරලි - වාස් - වැනි අයගේ අගය ඉහළ ගියේ ඔවුන් සතුව තිබූ පෞරුෂත්‍වය සහ නිහතමානීකම නිසාම විය හැක. මේ අතර විවිධ චරිත දක්නට ඇත. සියල්ලන්ටම අර්ජුන - මහේල -සංගක්කාර වැන්නවුන් වීමට නොහැක. එකිනෙකාගේ පෞරුෂත්‍වය වෙනස්ය. නමුත් පුද්ගල වන්දනාවේ යෙදෙන්නවුන්ට මේ වෙනස නොතේරේ. ඔවුන්ට සියළුම ක්‍රිකට් ක්‍රීඩකයින් එක සේ දීප්තිමත්ව බැබැළිය යුතුය. ආදර්ශමත්ව හැසිරිය යුතුය. නමුත්, සත්‍යය බොහෝ විට උපකල්පිත මට්ටමින් බොහෝ අපගමනය වී ඇති බව කිසිවෙකුට නොවැටහේ. මේ නිසාම දර්ශීය ක්‍රිකට් ක්‍රීඩකයා මේ යැයි අච්චුවකට දමා (Stereotype) සියල්ලන්ම සැලකීමට පුරුදු වී තිබේ.
පසුගිය දා සිදු වූයේ එයයි. මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයකට මාලිංග දුන් පිළිතුරක් කප්පරක් සේ වර්ධනය කර ජනතාව අතරට ගිය කතාවයි.
මේ ද ලාස්ට් රෝ නම් බ්ලොග් පිටුවේ තිබූ සටහනකි. අයිතිය කස්සා සතුය.

මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි
-------------------------------------------
මම කොල්ලේක් එක්ක චැටක් දාගන ඉන්න ගමන් මාලිංගගේ සීන් එකත් කතාවට ඇදුනා. ඌත් මම වගේම සෑහෙන ක්‍රිකට උනක් තියන එකෙක්
“මාලිංග පොඩ්ඩක් චාටර් උනා නේද” මම ඇහුවා.
“මොන චාටර්ද? ඔය අගේට ඉන්නේ”අරූ කියනවා.
“ඒ උනාට අර ටීවි එකේ ඌ කතාකරනවා පෙන්නුවට පස්සේ කට්ටියට පොඩ්ඩක් අවුල් ගියේ නැද්ද.උට කැමැත්තෙන් හිටපු එවුනුත් දැන් උට අනං මනං කියනවා”මම කිව්වා.
“මාලිංග බැන්නේ බං එතන හිටපු ජනලිස්ට මිසක් උගේ ක්‍රිකට් බලන එවුන්ට නෙවේනේ.මම කියන්නේ මචං මාලිංග මාධ්‍ය කාරයන්ට කතාකලා හොඳ වැඩියි. ඌ එතෙන්ට ආවේ ක්‍රිකට් ගහලා මිසක් ස්ටෙජ් වල කතා පවත්තපුවා පත්තරේ ටීවී එකේ දාලා නෙවේ. මාද්‍ය කාරයෝ සහ උගෙ ටැලන්ට් එකේ සම්බන්ද්යක් නෑනේ.”
“ඒ උනාට බන් හෙන සල්ලි ගොඩක් හම්බෙන එකේ මොකටද සල්ලි පස්සේම යන්නේ.එතකොටත් කොල්ලන්ට මල පනිනවනේ”
“අනේ බං ඔය මාලින්ගගේ වීඩියෝ එකට බනින ගොඩක් උන් අපි උඹලා වගේ නිදි මරාගෙන ක්‍රිකට් බලන එවුන් නෙවේ. උන්ට හෙන ඊරිසියාව අරුන්ට සල්ලි ගොඩක් හම්බෙනවා කියලා. ඉතින් බන් අනික් රටවල ක්‍රිකටස්ලට ගෙවන ගානත් එක්ක ඒ ගාන සාධාරන නැද්ද. ඔතන තියෙන්නේ කුහක කම. සමහර එවුන් හිතනවා අපි ඩිග්‍රිය ගහලත් මෙච්චර වැඩ කරලත් පඩි මෙච්චරයි අරුන්ට කෝටි ගනන් කියලා. අපිට ක්‍රිකට් ගහන්න බැරිවෙච්ච එකට හරි අපේ අම්මලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන වෙලාව ඒවට යන්න නොදි ශිෂ්‍යත්ව පන්ති යවපු එකට හරි උන් පලි නෑනේ.”
“හරි ඔක්කොම හරි කියමු ඒ උනාට පෝඩ්ඩක් හරි සංයමයෙන් කතාකරන්න තිබ්බේ නැද්ද”මම කිව්වා.
“උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?
මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා”

උපුටාගැනීම අවසන්.
මාලිංග ක්‍රිකට් ගැසුවේ මාලිංගගේ දක්‍ෂතාවය නිසා ය. ඒ නිසාම මාලිංග ධනවත් වී ඇත. මාලිංග රත්ගම වැල්ලේ ටෙනිස් බෝලයෙන් ක්‍රිකට් ගසමින් සිටියා නම් සමහරවිට කොහේ හෝ පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කරමින් සිටින පුද්ගලයෙකු වන්නට ඉඩ තිබුණි. නමුත් ඔහුගේත් අපගේත් වාසනාවට ඔහුගේ දක්‍ෂතාවයන් මත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩකඩ ලැබුණි.
අපි සියළුම දෙනාට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ නොහැක. මා ද අප ක්‍රීඩා කරන මට්ටමේ ක්‍රීඩකයින් අතර තරමක දක්‍ෂයෙකු වුවත්, මගේ දක්‍ෂතා ජාතික කණ්ඩායමට නොව ක්‍රීඩා සමාජයකටවත් වැද්ද ගැනීමට තරම් නොවේ. ජාතික තලයේ ක්‍රීඩකයින් එම ස්ථානවලට පැමිණ ඇත්තේ අපමණ දුක් විඳ සිදු කරනලද කැපවීම් තුළිනි. ඔබ-අප ද අප කරනා රාජකාරිවල නිසි කැපවීමක් ඇතුව ක්‍රියා කළා නම් සමහරවිට අප ද දැන් සිටින ස්ථානයට වඩා හොඳ රැකියාවක්, උසස් තනතුරක සිටින්නට බැරිකමක් නැත.
අප බොහෝ දෙනා ඉතා ඉක්මනින් නිගමනවලට පැමිණෙන පිරිසකි. කිසිවෙකු උසිගැන්වූ සැණින් සොයා නොබලා විවිධ චෝදනා කිරීමට අප මඟබලා සිටිමු. මාලිංගට වූයේ ද මෙයයි. මේ සුළු ප්‍රශ්නය අප වවාගෙන කෑවා විය හැකිය. මාලිංග ජාතික සම්පතක් වූ කාළයක් විය. නමුත් ඔහු ක්‍රීඩා කළ විලාශය අනුව සහ ප්‍රධාන තරඟවලදී පෙරදි නොපෙන්වූ දක්‍ෂතා නොපෙන්වීම නිසාම ඔහු මුදලට තරඟ කරන පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ විය. අරවින්ද ද සිල්වා ටද මෙවැනිම චෝදනා එල්ල වී තිබූ කාළයක් මට මතක තිබේ. තරඟයේ හෝ තරඟාවලියේ වීරයා සඳහා සුපිරි මෝටර් රථයක් පිරිනමන්නේ නම් අරවින්දගේ දක්‍ෂතා නැරඹිය හැකි බවට මතයක් එකළ පැවතින.
මිනිසුන් තුළ විවිධ පුද්ගලයන් අරභයා විවිධ ප්‍රතිරූප මැවී පවතී. මෙවන් වාක්‍යයක් දේශපාලනඥයෙකුගේ මුවින් පිටවුනි නම්, එය සාමාන්‍ය දෙයක් වන්නට ඉඩ තිබිණ. ඒ රටේ සියළුම දෙනාගේ සිත් තුළ තැන්පත් වී ඇත් දේශපාලනඥයාගේ පහත් ප්‍රතිරූපය නිසායි. මේ වාක්‍යය සාමාන්‍ය මිනිසකුගේ මුවින් පිටවන්නට කිසිදු හේතුවක් නැත. ඒ ඔවුනට මාලිංගට තරම් මාධ්‍ය ආවරණයක් නොලැබෙන නිසාය. මේ සිදුවීම අල්ලාගෙන පතුරු ගසන්නට පටන් ගෙන ඇත්තේ කිසිදු වැඩක් නොකර ෆේස් බුක් එකේම කාළය ගෙවන කිහිප දෙනෙකු වන්නට පුළුවන. කාළයක් දුමින්ද සිල්වා, හිරුණිකා, අනර්කලී, මර්වින් සිල්වා, පබා, ආදී පුද්ගලනාමයන් පතුරු ගැසූ ඔබ මෑතකදී පතුරු ගසන්නට වූයේ හලාල් සහ බොදුබලසේනාවයි. මටද දිනකට හලාල් සහ මුස්ලිම් ආක්‍රමණ පිළිබඳ ඊ මේල් දහයක් පමණ ලැබුණත් මගේ මේල් පෙට්ටියේදී ඒ සියල්ලේ අවසාන නවාතැන වන්නේ කුණු කූඩයයි. මා සිංහලයෙකි. බෞද්ධයෙකි. නමුත්, මුස්ලිම් ප්‍රශ්නයත් හලාල් ප්‍රශ්නයත් මීට වඩා පුළුල්ව සහ සූක්‍ෂමව ක්‍රියා කළ යුත්තකි. එය ගාල කඩා ගත් හරක් සේ දුව පැන ඇවිද කෑ ගසා විසඳිය යුත්තක් නොවේ. බුද්ධිය මෙහෙයවා - නිසි සැළසුමක් ඇතිව කළ යුතු කටයුත්තකි. මෙසේ කෑ ගැසීමෙන් ඒ පිළිබඳ  අවධානය වෙනතක යනවා පමණක් නොව අදාල ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා ගැනීමේ අවස්ථාව ද අවහිර වනු ඇත.
අපේ මාධ්‍ය ද කටයුතු කරන්නේ කළ දුටු කළ වල ඉහ ගැනීමේ න්‍යාය මත සිටය. කිසිදු වටිනාකමන් නැති නයි නළඟනට ලැබුණ මාධ්‍ය ආවරණය තුළින්ම අපේ මාධ්‍ය කටයුතු කරන ආකාරය ගැන මනා වැටහීමක් ලබා ගත හැකිය. අපේ මාධ්‍යවලට ආචාර ධර්ම පද්ධතියක් නැත. කිසිවෙකු ඒ සඳහා උනන්දුවක් ද නැත. ඒ වැල යන පැත්තට මැස්ස ගසාගෙන තමන්ගේ මඩි තර කර ගත හැකි බව ඒ සියල්ලන් දන්නා නිසාය. උඩු ගං බලා පිහිණීමට කිසිවෙකු කැමති නැත. ඒ එය අපහසු නිසාය.
තව සති දෙකකින් මාලිංග මාධ්‍ය වේදියාට බැණ වැදුනාද යන්න සැමට අමතක වනු ඇත. බාලචන්‍ද්‍රන් මිය ගියාද යන්නවත් සැමට අමතක වනු ඇත. දැනටමත් අමතක වී ඇත. මාලිංග ඊලඟ ටෙස්ට් තරඟයේදී කඩුළු පහක් හෝ ත්‍රිත්වයක් ගත් කළ ෆේස් බුක් පිටුවල නැවතත් මාලිංගව අගය කෙරෙනු ඇත. ඒ අපි මොනවා කලත් උන්ට ආදරේ නිසා බව ද ඒ ඒ පුද්ගලයින් තම මතය සාධාරණීකරණය කරන නිසාය.

Malinga

ප්‍රතිරූප වන්දනාව භයානකය. අදාල පුද්ලයාටත්, වන්දනාව කරන පුද්ගලයින්ටත් එය එකසේ භයානකය. ප්‍රතිරූප වන්දනාවට ලක්වන පුද්ගලයා තමා තබා ඇති රාමුවෙන් පිටතට පැනීම මාරාන්තික විය හැක. ඒ වන්දනාව කරන පුද්ගලයින්ගේ සිතැඟි අනුව කටයුතු නොකළහොත් මරණය පවා අත්විය හැකි නිසාය....
මට නම් මාලිංග මොනවා කීවත් කමක් නැත. ඒක ඌට ඇති අයිතියකි. මීට වඩා කතා කිරීමට අපට ප්‍රශ්න ඇත. 
ඒ මට හිතෙන හැටිය...