Monday, December 31, 2012

2012 දෙසැම්බර් 31 : නව වසර සුභ වීමට නම්...............


සුභ නව වසරක් වේවා !
සුභ නව වසරක් වේවා !

වසරක් ගත කරලා අපි නව වසරක් කියන තවත් දවසකට පා තබනවා. කවුරුන් හෝ පටන්ගත් ක්‍රමයකට අනුව ජනවාරි 01 දින නව අවුරුද්දක මුල් දිනය කියලා සටහන් තබාගෙන අපි නව අවුරුදු උදාව සනිටුහන් කරනවා. එක්තරා ආකාරයකට එය හොඳ දෙයක්. හිතළුවක් වූ දවසක් හෝ නිමිත්තක් කරගෙන අපි නැවුම් බලාපොරොත්තු වලින් හිත් පුරවගෙන ඒ බලාපොරොත්තු සඵල කර ගන්න අවුරුද්දක් පුරා වෙර දරනවා. බලාපොරොත්තුවක් නැති මිනිහා නුවරක් නැති පවුරක් වැනිය කියා මගේ පාසැල් මිතුරෙකු වන සුමේධ මගේ පරණ සමරු පොතක ලියලා තිබුණා. අපි හැමෝම ජීවත් වෙන්නෙ බලාපොරොත්තු මත. හෙට උදේට අපි නැගිටිනවද දන්නෙ නැතිව නින්දට ගියත්, අපේ හිත් බලාපොරොත්තු වලින් පිරිලා. ඒ නිසාම අපි ඉදිරිය සැලසුම් කරනවා. ඉදිරිය වෙනුවෙන් දිරියෙන් වැඩ කරනවා..
ජනවාරි මාසය අවුරුද්දේ මුල්ම මාසය කියලා නම් කරලා තියෙන්නේ එය ජානුස්  දෙවියා මූලික කරගෙන නම් කිරීමත් සමඟ. ජානුස් කියන්නෙ මුහුණු දෙකේ දෙවියෙක්. එක් මුහුණක් ඉදිරිය බලාගෙන ඉඳිද්දි, අනිත් මුහුණ පිටුපස බලාගෙන සිටිනවා. මෙය ජනවාරි මාසයට ගැලපෙන්නෙ නව වසර දිහාත් පැරණි වසර දිහාත් බලාගෙන සිටින ආකාරයක් දිස් වන නිසා. නමුත් ලෝකයේ කිසිම තැනක ජනවාරි 01 වනදා නව වසරක් කියා හැඳින්වීමට කිසිදු සාක්‍ෂියක් නැහැ. සළකන්නට තිබෙන ආසන්නම හේතුව මකර නිවර්තනයට හිරු මුදුන් වෙන දෙසැම්බර් 21 වන දිනය (Winter Solstice) පමණයි.  උත්තරාර්ධගෝලයට වසරේ කෙටිම දිනය වන දෙසැම්බර් 21 වනදාට පසු දහවල් කාළය වැඩි වීම ආරම්භ වන්නේ ජනවාරි පළවෙනිදාට ආසන්න දිනක වීම ඊට හේතුවයි. කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගෙවන උත්තරාර්ධගෝලයේ සමහර වැසියන්ට දීර්ඝ දහවල් කාලය උදාවීමට පටන්ගැනීම යනු සිය වගාවන් ඇරඹීමට සුදුසු කාළය එළැඹීමයි. ඒ නිසා ජනවාරි පළමුවැනිදා නව ඇරඹුමක් ලෙස සැලකෙනවා.
නව අවුරුදු උදාවක් සැමරීම පිළිබඳ මුල්ම සටහන් සොයාගෙන ඇත්තේ මෙසපොතේනියානුවන් විසින් ක්‍රිස්තු වර්ෂ 2000 කට පෙර සිදුකළ උත්සවයක් පිළිබඳ සටහන් වලින්. සමහරු මාර්තු 20 වන දිනත්, ඊජිප්තියානුවන් ෆිනොසීනියානුවන් සහ පර්සියානුවන් සැප්තැම්බර් 21 වන දිනත් අවුරුදු උදාව සැමරූ අතර ආදි ග්‍රීකයෝ දෙසැම්බර් 21 වන දින නව අවුරුදු උදාව ලෙස සැමරුවා. නමුත් මේ සියළුම දෙනා නොදත් දෙයක් නම් පෘථිවිය සූර්යයාට ආසන්නම වන දිනය ජනවාරි පළමුවනදාට ආසන්න දිනයක් වීමයි. මේ නිසා ජනවාරි පළමුවනදා නව අවුරුදු උදාව ලෙස සළකන්නට ඇතැයි මත පළ වනවා. සිංහල අවුරුදු උදාව සිදු වන්නේ නම් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟයි. මේ නිසා නව චක්‍රයක් ඇරඹීම සහ අස්වනු ගෙට ගැනීම සනිටුහන් කරගෙන සිංහලයා මෙන්ම දකුණු ඉන්දියානු ජනකොටස් ද අළුත් අවුරුද්ද සැමරීම බක් මහේ කරනු ලබනවා.
මේ කොහොම අවුරුද්ද සැමරුවත් නව අවුරුද්ද සුභ වෙන්නෙ ඔබේ සිතුම් පැතුම්, ක්‍රියා කලාපයන් අනුව. තමන් තමන්ට අවංකව අනුන්ට කරදරයක් නැතිව ජීවත් වෙනවා නම්, බොහෝ දුරට නව අවුරුද්ද සුභ වේවි. අපි හැමෝම යෙදෙන්නෙ තරඟයක. අටක ජනාධිපතිතුමාගේ සිට බස් එකේ සිඟමන් යදින යාචකයා දක්වා පරාසයේ සිටින සියළුම දෙනා කරන්නෙ ජීවත් වෙන්න සටනක්. ඒ නිසාම අපි හැමෝම යම්තාක් දුරකට ආත්මාර්ථකාමීයි. මේ ආත්මාර්ථකාමීත්‍වය පුද්ගලයාගේ මානසිකත්‍වය අනුව වෙනස් වෙනවා. සමහරු අතිශය ආත්මාර්ථකාමී වන අතර තවත් සමහරු පොඩ්ඩක් ආත්මාර්ථකාමියි... 100% ක් පරාර්ථකාමී පුද්ගලයෙක් හොයා ගන්න බොහොම අමාරුයි... ඒ මමත්‍වය කියන දේ නැති කරන්න බැරි නිසා. ඉතින් මේ සටනෙදි අපිට නොයෙක් විදියේ දේවල් සිදු කරන්න, විවිධාකාර තීරණ ගන්න වෙනවා. අන්න ඒ අවස්ථාවෙ අනිත් අයට අවම හානියක් වෙන තීරණ ගත්තා නම්, ඔබ සමාජයට සාධාරණයක් ඉටු කරලා තියෙනවා..
ඉතින්, ඔබගේ සිතේ නව අවුරුද්දේ බොහෝ බලාපොරොත්තු එකතු වෙලා ඇති. සමහරුන්ට ගිය  අවුරුද්දේ කරගන්න බැරි වුන දේවල්, තවත් සමහරුන්ට අළුත්ම බලාපොරොත්තු... මේ වගේ බලාපොරොත්තුවලින් හිත පුරවාගෙනයි ඔබ ජනවාරි පළමුවෙනිදා කියන තවත් එක් දවසකට පා නගන්නෙ.... මටත් බලාපොරොත්තු බොහොමයි... ඒවා ලබන අවුරුද්දෙ නැතත් කවදා හරි ඉටු වෙයි කියලා හිතනවා...
අපි පෞද්ගලිකවත්, සමාජයීයවත් විවිධ බලාපොරොත්තු තිබෙනවා. ඔබ හෙටින් ඇරඹෙන නව අවුරුද්දේ ඔබේ අවට සිටින අයට නිසි ගෞරවය ලබා දෙමින් බලාපොරොත්තු ඉටු කරගන්න
ඉතින් හෙටින් ලබන නව අවුරුද්ද ඔබේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවෙන, නීරෝගී බව සපිරි, සෞභාග්‍යමත්, සාමකාමී වසරක් වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා...

ඔබට බුද්ධියේ සරණයි !

ඇල්කෙමියා සහ පවුලේ සැම.

Sunday, December 30, 2012

පිටස්තරයා................ දහසය වන දිගහැරුම.................



:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොකද සුමනෙ අපි කරන්නෙ ? සුමනසේකර මහත්මිය ඇගේ සැමියාගෙන් ඇසුවාය.
මොනවා කරන්නද ? අපි සුදුපුතා බලන්න යන්න ලෑස්ති වෙමු.
මමත් හිතුවෙ ඒකම තමයි... කෝකටත් අපි ලොකු හාමුදුරුවොන්ට කතා කරලා පිරිත් ටිකක් කියෙවුවොත් නරකද ?
මමත් ඒ ගැන හිතුවා... අපි කෝකටත් කියලා ලොකු හාමුදුරුවන්ට කතා කරලා බලමු..

.........................................................................
එදින දවසම මොලී ගත කළේ විශ්වගේ ඇඳ පාමුලය... සිය ප්‍රධානියාගෙන් විටින් විට පැමිණෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමටත්, සිය සගයින්ගෙන් ලැබෙන කෙටි පණිවුඩවලට පිළිතුරු දීමටත්, පුරුද්දක් ලෙස සැමතැනම ගෙනයන අයි පෑඩය භාවිතා කර පොතක් කියවීමටත් ඇය සිය කාළය ගත කළාය.
සවස් වරුවේත් විශ්ව අසලම සිටි ඇය පිටත්ව යාමට සූදානම් වෙද්දී, අගේ අවධානය බිඳුනේ විශ්ව සිටි කාමරය වෙත සන්සුන් ගමනින් පැමිණි වොෂිංටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේලාගේ පැමිණීම නිසාවෙනි.
උන් වහන්සේලා සමඟම පැමිණියේ එම අංශය භාර වෛද්‍යවරයාත්, වොෂිංටනයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු වූ ගීතාංජන ලංකාතිලක මැතිතුමාත්ය.
සුභ සවස්යාමයක් මහත්මිය.. මම ගීතාංජන ලංකාතිලක.. වොෂිංටනයේ තානාපති කාර්යාලයෙන්...
මම මොලී... මොලී ඕ'රියෝර්ඩන්... විශ්වගෙ කාර්යාලයෙ විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ...
මොලී... අපි විශ්වට පිරිත් ටිකක් සජ්ඣායනය කරන්නයි යන්නෙ... සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්‍වයේ සිටින පුද්ගලයෙකුට අපේ ආගමේ හැටියට පිරිත් සජ්ඣායනය මගින් සෙතක් සැලසෙන බව අප පිළිගන්නවා.. විශ්වගේ භාරකරුවනුත් අපෙන් ඉල්ලා සිටියා විශ්වට පිරිත් සජ්ඣායනය කරවන හැටියට... ඒකයි මම මේ වොෂිංටන් විහාරයේ ස්වාමීන් වහන්සේලා කැටුව ආවෙ... ඔබට කැමති නම් මෙතැන රැඳී ඉන්න පුළුවන්....
උන් වහන්සේලා පිරිත් සජ්ඣායනය පටන් ගනිත්දී මොලී පසෙක රැඳී සිටියාය.....
පිරිත් සජ්ඣායනය සිදුවන අතරතුර මොහොතකින් සියල්ල වෙනස් වන්නට විය...................
අක්‍රමවත්ව තිබූ විශ්වගේ මොළයේ සංඥා ක්‍රමයෙන් කිසියම් රටාවකට අනුකූලව සැකසෙන්නට විය... විශ්වගේ හෘද ස්පන්දන වේගය සහ රටාව ක්‍රමවත් වන්නට විය.... ක්‍රමයෙන් සියල්ල යථා තත්ත්‍වයට පත් විය....

පියවරෙන් පියවර ක්‍රමවත් වන මොළයේ සංඥා සටහන
පියවරෙන් පියවර ක්‍රමවත් වන මොළයේ සංඥා සටහන

පසෙක සිටි විශේෂඥ වෛද්‍ය වරයාටද සිදු වන්නේ කුමක්දැයි යන්න වටහා ගත නොහැකි විය... පිරිත් සජ්ඣායනය කරමින් සිටි ස්වාමීන් වහන්සේලා මේ කිසිවක් නොදැන සිය සජ්ඣායනය පවත්වමින් උන්හ... අංශභාර ප්‍රධාන වෛද්‍යවරයා විශ්වගේ කාමරයට දිව ආවේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඇමතුම තමා බලාපොරොත්තුවූවක් නොවන නිසාමය...
කොහොමද මෙහෙම  දෙයක් වෙන්නෙ ? මෙච්චර වෙලාවක් කිසිම දෙයකට ප්‍රතිචාරයක් දක්වපු නැති කෙනෙක් මේ ආගමික වතාවත් වලට ප්‍රතිචාර දක්වන්නෙ ? ප්‍රධාන වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයාගෙන් රහසේ විමසීය....
පිරිත් සජ්ඣායනය කරමින් සිටි මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ වෛද්‍යවරුන් දෙපළ දෙස නෙත් කොණින් හැරී බලා හිස සැළුවේ තමා ඒ ප්‍රශ්නයට නිසි පිළිතුර දන්නා නියාවෙනි... පිරිත් සජ්ඣායනය නිම වනතුරු විශවගේ මොළයෙන් ලැබෙන සංඥා නිරීක්‍ෂණයටත් ඒ පිළිබඳ සැළකිළිමත් වීමටත් වෛද්‍යවරු දෙපළ වග බලා ගත්තේ තමන් නොදන්නා යම් දෙයක් අත්ථදස්සි හිමියන්ගෙන් ලැබිය හැකි බව ඔවුන්ට දැණුනු නිසාවෙනි.

නිතිපතා භාවනා කටයුතුවල යෙදෙන, භාවනාව පිළිබඳ හසළ බුද්ධියක් ඇති අත්ථදස්සි හිමියෝ බුදු දහම පිළිබඳ පමණක් නොව අන් ආගම් පිළිබඳව මනා අවබෝධයක් තිබූ හිමිනමකි. භාවනාව පමණක් නොව වෙනත් විෂයයන් පිළිබඳවද ග්‍රන්ථ ගණනාවක් ලියා පළ කර ඇති උන් වහන්සේ බටහිර පවා භාවනාව පිළිබඳවත්, අභිඥාන විද්‍යාව (Noetic Science) නම් බටහිරට අළුත් වූ මිනිස් සන්තානයේ අවදි නොකළ කොටස් පිළිබඳ හැදෑරීම සහ මිනිස් චිත්ත ශක්තිය පිළිබඳ හදාරන පුද්ගලයින් අතරත් දැඩි ගෞරවයට පාත්‍ර වූ හිමිනමකි.  තමා කවුරුන්දැයි කිසි විටෙකත් නොම වදාරන උන් වහන්සේ කවුදැයි යන්න එම විෂයෙහි නියැලෙන පුද්ගලයින් මෙන්ම බොහෝ මනෝ වෛද්‍යවරු, ස්නායු වෛද්‍යවරු දැන සිටියහ. ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ මහාචාර්ය වරයෙකු වන මයිකල් ගෝල්ඩ්බර්ග් මහතා අත්ථදස්සි හිමියන් දුටු සැණින් හඳුනා ගත්තේය.

පිරිත් සජ්ඣායනය අවසානයේ අත්ථදස්සි හිමියන් වෙත ගිය වෛද්‍යවරු දෙදෙන තම නැණ පමණින් ගෞරවාචාර දක්වා සිටියහ.
ස්වාමීන් වහන්සේ වොෂිංටන්වල ඉන්නවා කියලා අපි දන්නෙ දැන්...
ඔව්... මම මේ දවස්වල වැඩ ඉන්නෙ වොෂිංටන් බෞද්ධ විහාරයේ.... මේ දිනවල තමයි බෞද්ධාගමානුකූලව වස් පින්කම් තිබෙන්නෙ.. ඒ නිසා මම මාස තුනක් එක දිගට වැඩ ඉන්නෙ වොෂිංටන් විහාරයේ... මට ඔබේ සාකච්ඡාව යන්තමින් ඇසුනා... මම ඒ ගැන කතා කරන්නයි සිටියෙ ඔබත් සමඟ........ උන් වහන්සේ පවසා සිටියහ.
ඇත්තෙන්ම අපටත් ගැටළුවක් වුනේ ඒක තමයි... මොකද කියනවා නම් රෝගියාගේ මොළයේ සංඥා සියල්ල නිරෝගී වුවත් අසාමාන්‍ය ලෙස ක්‍රියාශීලියි. ඒ වගේම සිහිය නොමැතිව සිටින කෙනෙකුගෙන් මේ වගේ ක්‍රියාශීලී සහ නිරෝගී සංඥා ලැබෙනවා අප දුටු මුල්ම අවස්ථාව මේ... ඒ නිසාම මේ සිද්ධිය අපි දැඩිව විශ්ලේෂණය කරනවා...
මේ වගේ සිදුවීම් බොහොමයක් ආසියානු රටවල වාර්තා වෙලා තිබෙනවා... ඇත්තෙන්ම අභිඥාන විද්‍යාවෙත්, පෙරදිග ආගම්වලත් සොයාගෙන තිබෙන  දෙයක් තමයි මිනිස් සිතුවිලි නින්දේදී පවා ක්‍රියාත්මකව තිබෙන බව... උදාහරණයක් විදියට අපි යමක් සිතමින් නින්දට ගියොත් ඒ දේ සිහිනෙන් පෙනෙන්නෙ මෙන්න මේ මානව විඥානය නින්දේදී ක්‍රියාශීලී වන නිසා. ඔබ දන්නවා ඇති සමහර විද්‍යාඥයින් ලොව මවිත කරවන නිර්මාණ සිදු කරලා තිබෙන්නෙ සිහිනෙන් දුටු දේ පදනම් කරගෙන... මේ සිදුවීමේ එතරම් විශේෂත්‍වයක් මම දකින්නෙ නැහැ. අනිත් කාරණය තමයි ඔබ දුටුව සංඥාවල ඇතිවූ වෙනස... පිරිත් හරියට ගණ පිහිටුවා සජ්ඣායනය කළොත් බොහොම හොඳ ප්‍රතිඵල ලබාදෙන  දෙයක්. බුදුන් කාළයේ සිට රහතන් වහන්සේලා පිරිත් දේශනා කිරීමේදී නියම ගණ පිහිටවා සිදු කරලා තිබෙනවා. නමුත් දැන් සිදු වෙන්නෙ පිරිත් දමා ගැසීමක්. මේ නිසා නියම බලය ලැබෙනවා අඩුයි... මේ පිරිත්වලින් මුලින්ම සිදු වෙන්නෙ මිනිස් සිත ඒකාග්‍රතාවයකට ගෙන ඒම. ඉන්පසු ශබ්ධ රටා සහ ඒ ඒ සංඛ්‍යාත වලින් රෝගියාගේ හෝ අදාල පුද්ගලයාගේ වෙනස්වීම් සිදු වෙනවා. මේවා පරමාණුක අණුක තත්ත්‍වයක සිට සිතුවිලි වෙනස්වීම් දක්වා විශාල පරාසයක බල පැවැත්වෙනවා. මෙය සිදු වෙන්නෙ බුද්ධාගමේ පමණක් නොවෙයි. මේ සිදුවීම් වෙනස්ව සහ අඩු වැඩි වශයෙන් වෙනත් ආගම්වල යැදීම් හෝ ස්තෝත්‍ර ගායනා වලදීත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් පල්ලියක යාඥා කිරීමේදී බොහෝ දෙනා එක් සිතිවිල්ලක සිට ඒ ඒ යාඥාව සිදු කරනවා.. මෙන්න මේ අවස්ථාවේදී ඒ එක් එක් පුද්ගලයාගෙන් විහිදෙන ශක්තිය ඒකරාශී වීමක් සිදු වෙනවා... එවිට ලැබෙන ප්‍රතිඵලය තනි පුද්ගලයෙකුගේ යාඥාවට වඩා බලවත්....

රෝගියා මේ පිරිත් සජ්ඣායනයට ප්‍රතිචාර දැක්වුවා කියලද ඔබ වහන්සෙ හිතන්නෙ ?
සත්තකින්ම....ඔබමයි කිවුවෙ අපි පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්‍රමාණුකූල වුනා කියලා.. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුනේ කියලා...
දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්‍රමාණුකූලද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට පුළුවන් මම කියන සංසිද්ධිය.
විශ්වගේ ඇඳ අසල සවි කර තිබූ මොළයේ සංඥා සටහන් යන්ත්‍රයේ සටහන් වූයේ පෙර පරිදිම අක්‍රමවත් සටහනකි... අත්ථදස්සි හිමියෝ නැවතත් වෛද්‍යවරුන් දෙදෙනා වෙත හැරුණි...
අපට මේක පර්යේෂණ කරන්න වෙලාවක් නොවෙයි... නමුත් ඔබට මේ ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම් පන්සලට එන්න... මම ඔබට සවිස්තරාත්මකව කියා දෙන්නම්... නමුත්  අභිඥාන විද්‍යාව කියන්නෙ බොහෝ දෙනෙකු හිතන්නවත් පෙළඹෙන්නෙ නැති දෙයක්. බුදුන් වහන්සේගේ කාළයටත් පෙර විසූ විවිධ ඍෂිවරු මේ අභිඥාන විද්‍යාව බොහෝ සේ ප්‍රගුණ කරලා තිබුණා... මේ නිසාම ඔවුන්ට විවිධාකාර මාර්ගපල ලැබීමට පවා හැකියාව තිබූ බව විවිධ වේද ග්‍රන්ථවල සඳහන්.. අපේ මේ නවීන විද්‍යාව දියුණුයි කියා අපි උදම් ඇනුවට, ඇත්තෙන්ම ඒ කාළයේ තිබූ දැනුමට ලංවන්නට වත් අපට තවම හැකියාවක් නැහැ... ඒ කාලෙ මේ වගේ උපකරණ නොමැතිවයි ඒ ඍෂිවරු දැන් විද්‍යාවෙන් කියැවෙන සංකල්ප වසර දහස් ගණනකට පෙර ඉදිරිපත් කළේ...

වෛද්‍යවරු දෙදෙනා නිරුත්තරව අත්ථදස්සි හිමියන් වෙත අවධානය යොමු කරගෙන අසා සිටින්නට විය...
සමහරවිට මේ දරුවා කිසියම් අවස්ථාවක සිර වෙලා සිටිනවද කියලත් මට හිතෙනවා... ඒ වගේ අවස්ථාවල සිටින උදවියත් මේ වගේම බොහොම අවධියෙන්, නමුත් පියවි සිහියෙන් තොරව සිටිනවා... මනෝ වෛද්‍යවරයෙක් ලෙස ඔබ හොඳින්ම දන්නවා නේ මෝහනය වුන පුද්ගලයෝ ගැන... මට හිතෙන විදියට මේ දරුවත් ඒ මෝහනය වුන අවධියක සිටිනවද කියලා මට සැකයි... කොහොම වුනත් අපි තව සවස් කිහිපයකම මේ විදියට පිරිත් සජ්ඣායනය කරන්න එන්නම්. අපට වැදගත් වෙන්නේ මේ දරුවා නැවතත් යථා තත්ත්‍වයට ගෙන ඒම මිසක්, මොන ක්‍රමයෙන් යථා තත්ත්‍වයට ගෙන එනවද කියන එක නොවයි නෙ... ඒ නිසා අපි මේ අංශ දෙකෙන්ම ප්‍රතිකාර කරමුද කියන යෝජනාව ඔබතුමාට ගෙන එන්න කැමතියි...
කිසිම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්ස... මමත් ඒකට එකඟයි... අපි නැවතත් මේ ප්‍රතිකාරය හෙට සවස කරමු... මම ඉඩකඩ සලස්වා දෙන්නම්...
බොහොම හොඳයි දොස්තර මහත්මයා... අපි ගොහින් එන්නම්... හෙට හමුවෙමු...
එතෙක් වේලා පසෙක අසුන්ගෙන මේ සියළු සංවාදවලට නිහඬව ඇහුම්කන් දුන් විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා සහ තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විශ්වගේ කාමරයෙන් පිටව ගියහ.
ඒ අතරතුර මොලී හා සංවාදයේ යෙදුනු ලංකාතිලක මහතා විශ්වගේ බොහෝ තොරතුරු රැසක් මොලී හා හුවමාරු කරගත්තේය... ඒ අනුව විශ්වගේ ලොකු මාමා සහ නැන්දා ඉක්මනින්ම විශ්ව බැලීමට එන බව මොලී දැනගත්තාය....
නික්ම යාමට ප්‍රථම තවත් වතාවක් විශ්ව බැලීමට ඇය විශ්වගේ කාමරයට පියමැන්නාය....
ඇය  පිටුපසින් කිසිවෙකු සිටින බව ඇයට වැටහුනි... පිටුපස නොහැරී ඉදිරිපස වූ වීදුරුවෙන් ඇගේ පිටුපස සිටින්නේ කවුදැයි තීක්‍ෂණව ඇය බැලුවාය.....
දැක හුරුපුරුදු තරුණයින් දෙදෙනකු තමා පිටුපස විශ්වගේ කාමරයට පැමිණ ඇතිබව ඇය දුටුවාය...

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්වගේ රෝහල් කාමරයට ආ, ඒ දෙදෙනා කවුද ?

Saturday, December 29, 2012

2012 දෙසැම්බර් 30: ලංකාවට ප්‍රබල භූමිකම්පාවක්..... එකසිය ගානක් මරුට... මිලියන විසි එකක් අවතැන්....


ලංකාවේ කලින් කලට විවිධාකාර විද්වත්හු පහළ වෙති... අවාසනාවකට බොහෝ තැන්වලින් ප්‍රසිද්ධිය ලැබෙන්නේ ද මෙවැනි විද්වතුන්ටය... එක කාළයක් අපේ රටේ හිටි ජ්‍යොතිශ්‍ය විද්වත්හු ලෝක විනාසය පිළිබඳ විවිධ මත පහළ කළහ... ඒ අනුව සම-හරක් අය, ලෝක විනාසය නොවන බවත් විශාල මනුෂ්‍ය ජීවිත හානි සිදුවන බවත් සඳහන් කරමින් සිය ආධිපත්‍යය තහවුරු කළහ... ඒ සියළුම දෙනාගේ මත තහවුරු කරමින් ලෝක විනාශය සිදු වී දැන් දින අටක් ගත වී ඇත.


ඉන්පසු තවත් විද්වතෙකු පහළ කළ මතයක් වන්නේ එතුමා කොහේදෝ පස් වගයක් පරීක්‍ෂා කර ලංකාවට 28 වනදා භූමි කම්පාවක් පැමිණෙන බවයි.. තවත් කට්ටියක් අද කූඹිකම්පාවක් වෙනවයි කියලා කිවුවා... අද 30 යි... එතුමට දවස වැරදුනාද නැතිනම් පස් ගොඩේ බල්ලෙක් ජරා කරලා තිබුණද මට නොතේරේ... එසේ නොමැති නම් ඒ අනාවැකියද හරි යා යුතුය......


ලංකාවේ විද්වත්හු සහ ජ්‍යෝතිශ්‍ය වේදීහු සිය මඩිය තර කර ගන්නට විවිධාකාර අනාවැකි පහළ කරති. ජාතියේ මහා දෛවඥයා කිව්වේ ලෝක කුසලානය අනිවාර්යයෙන් දිනන බවය. ලොක්කා ගිහින් වාඩි වුන ගමන්ම වැල නොගියා නම් අපිද ලෝක කුසලානයට හිමිකම් කියනවා සිකුරුය.. (ඒ කිවුවේ මගේ අනාවැකිය අනුවය... ඒක එහෙමම සිද්ධ විය... දැන් මටත් අනාවැකි කිවහැකිය...)

මෙන්න තැන... වැරදුනොත් මුදල් ආපසු.. හරිගියොත් ඩබල්..
මෙන්න තැන... වැරදුනොත් මුදල් ආපසු.. හරිගියොත් ඩබල්..

අපේ රටේ විද්‍යාවට තැනක් නැති බව මා මීට පෙරද ප්‍රකාශ කර ඇත.. දැන් තැනක් ඇත්තේ දේවාල වලටත්, හොර ජ්‍යොතිශ්‍ය කාරයින්ටත් පමණි. අප කුඩා කාළයේ විද්‍යාවත් වෛද්‍ය විද්‍යාවත් අපූරුවට ප්‍රචලිත කළ යුග පුරුෂයින්  දෙදෙනෙකු විය.. ඒ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමා සහ ආචාර්ය උපාලි එම් සේනානායක මැතිතුමා යන දෙපළය.

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ
මහාචාර්ය නන්දදාස කෝදාගොඩ
UM Senanayake
ආචාර්ය උපාලි එම් සේනානායක

අද ඒ දෙපළම අප අතර නොමැත. අද තරමකට හෝ විද්‍යාව පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරනුයේ නාලක ගුණවර්ධන පමණි. නාලක සහ චානුක අප කුඩාකළ රස කරමින් කියැවූ, බොහෝ දැනුම ලද, විදුසර පත්‍රයේ ආරම්භක ලේඛකයින් දෙදෙනාය...  එකළ අපද විදුසරට ලියන්නට උත්සාහ ගත් නමුත්, ඒ කාළයේ අපේ ලිවීමේ හැකියාව එතරම් උසස් නොවූ නිසා සහ තොරතුරු සොයා ගැනීමේ අපහසුව නිසා නිසි ලෙස ලිපියක් ගළපන්නට නොහැකිවීම යන කරුණු නිසාත්, නාලක සහ චානුක විදුසරෙහි ලිපිවල ගුණාත්මක භාවය ඉහළින්ම තබා ගෙන තිබූ නිසාත් අපට තැනක් නැති විය.. විද්‍යා ප්‍රබන්ධ දෙක තුනක් විදුසරට යොමු කළද, ඒවායේ ද ගුණාත්මක භාවයේ ප්‍රශ්න තිබෙන්නට ඇත. උසස් පෙළ කළාටත් පසු විදුසර මගේ ප්‍රියතම පුවත්පතක් වූයේ එහි වූ විද්‍යා දැනුම නිසාවෙනි. නමුත් දැන් දැන් නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගන්නා විදුසර ද අවිදුසරක් බවට පත් වී ඇත.  රටේ මිනිසුන්ට නිසි මඟ පෙන්විය හැකි පුවත්පතක වර්තමාන කළදසාව පිළිබඳ ඇත්තෙන්ම දුකය... ඔවුනට දැනුදු නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගැනීම පැත්තකට දමා නිසි ලෙස සත්‍යය සොයා රටේ දුවා දරුවන්ට බෙදා දිය හැකි නම් නැවත රසිකයින් අතරට පැමිණිය හැකි බව මතක් කර දීමට කැමැත්තෙමි.


ලෝක විනාශය මූලික කරගෙන ලංකාවේ මාධ්‍යවල හැසිරවීම පිළිබඳ ඉතා අගනා ලිපියක් නාලක ගුණවර්ධන විසින් සිය බ්ලොග් අඩවියේ පල කර ඇත... සාමාන්‍යයෙන් නාලක සිය බ්ලොග් අඩවියේ ලිපි පළ කරන්නේ ඉංග්‍රීසියෙන් නමුත්, මේ ලිපිය මනා ලෙස සිංහලෙන් ගලපා ලියා ඇත. තවමත් නාලකගේ සිංහල රචනය ප්‍රශස්ත මට්ටමේ පවතින බවට එය හොඳ ඉඟියකි. නාලක ද සිංහලෙන් සිය බ්ලොග් අඩවිය ඉඳහිට හෝ යාවත්කාලීන කරන්නේ නම් එය ද අපේ රසිකයනට කරන සේවයකි. චානුක ද සිය "සිහි සටහන්"  බ්ලොග් අඩවිය පවත්වාගෙන යන නමුත් පෙර මෙන් විද්‍යාත්මක සංවාදවල නියැලෙනවා අඩුය.
අපි, සෑම විටම දුවන්නේ ලාභ දේ සොයාගෙනය, ලාභ දේ බොහොමයක් බාලය. කියවා තේරුම් ගැනීමට සහ සිතීමට අවශ්‍ය ලිපි කියැවෙනවා බොහෝ අඩුය.. ඒ වෙනුවට කියැවෙන්නේ සරළ සුගම ශෛලියකින් ලියැවුන, හිතට වදින සුන්දර හෝ අසුන්දර එදිනෙදා ජීවිතයට සමීප පුවත් හෝ කතාන්දරය. මා ලියූ සමහරක් ලිපි පුවත්පත් වලට යැවුවද, ඒවායින් අවම වශයෙන් ලැබුන බවට පිළිතුරක් හෝ නොලැබුනේ, මගේ ලිපි "විකිණෙන ගණයට" අයත් නැති නිසාවෙන් විය හැකිය. ඒ ගැන මට කණගාටුවක් නැත්තේ මගේ ලිපි කියවන රසික කැලක් මා සතුව ඇති බැවිනි.. ඔවුනට මා නිබඳ ස්තුතිවන්ත වෙමි....


ලංකාවේ විද්‍යා අධ්‍යාපනය අනතුරේ බව මොරටුව විශ්ව විද්‍යාලයේ සහ SLINTEC  ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා විසින් දැනට කලකට පෙර පුවත්පතකට යොමු කළ ලිපියකින් සඳහන් කර තිබුණි. එය දැන් දැන් හොඳටම දකින්නට ඇත. බොහෝ රූපවාහිනී නාලිකාවල කෙටි දැන්වීම් තීරු වල වැඩිපුරම දක්නට ලැබෙන්නේ යාග හෝම, වශී ගුරුකම්, අණවින-කොඩිවිණ සිදු කරන චීවරධාරීන්ගේ සහ කට්ටඬියන්ගේ දැන්වීම් වේ. ආණ්ඩුවේ ලොකු ලොකු ඇත්තන් රෙදි නැතුව දේවාල ගානේ යනු පත්තරවල ද ලොකු ලොකු පින්තූර පළ වේ. වෙනකක් තබා ජනාධිපති තුමා ද වශී සුරයක් අතේ රැගෙන යන පින්තූර බොහෝ පුවත්පත්වල පළ වී තිබේ....

ජනපතිතුමාගේ වශී යන්ත්‍රරාජයා... (පැත්තෙන් ඉන්න එක්කෙනා නෙවෙයි.. අතේ තියෙන එක)
ජනපතිතුමාගේ වශී යන්ත්‍රරාජයා... (පැත්තෙන් ඉන්න එක්කෙනා නෙවෙයි.. අතේ තියෙන එක)

මේ අපේ විද්‍යා අධ්‍යාපනයේ තත්ත්‍වයයි. කිසිවෙකු විද්‍යාත්මක යැයි හැඟෙන යමක් පැවසූ සැණින් එය හරිද වැරදිද යන්න නොසළකා බොහෝ මාධ්‍යවල උළුප්පා දක්වනු ලැබේ. වතුරෙන් දුවන මෝටර් රථය පුස්සක් බව දැනගත්තේ බොහෝ කලක් ගත වූ පසුවය... මේ අපේ මාධ්‍යවල දැනුමේ නිම් වළලු පුළුල් කිරීමේ ක්‍රියාදාමයයි. නයි නළඟනට ලැබෙන ප්‍රසිද්ධිය විද්‍යාඥයෙකුගේ ප්‍රකාශයකට නොලැබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මා පෙර කීවාක් මෙන් මිනිසුන් විද්‍යාවට සහ විද්‍යාත්මක පැහැදිලි කිරීම් හරි හැටි අවබෝධ කරගන්නේ නැත... ආසනික් ප්‍රශ්නය ඔඩු දුවන්නේත් අදාල පාර්ශව එය වවාගෙන කන්නේත් මිනිසුන් විද්‍යාවෙන් ඈත් වී ඇති නිසාය... කළින් කළට මතුවෙන විද්වත්හු මිනිසුන් මුලා කරමින් සිය ජීවිකාව පවත්වාගෙන යති. විජ්ජාවෙන් ජනතාව මුලා කරන වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා මේ ගණයට අයත් නොවේ.


නමුත්,....... ඒ මහතා අයත් ගණයටම අයත් තවත් කාණ්ඩයක් සෑම විටම සාමාන්‍ය ජනතාව මුලා කරමින් සැප විඳිති... එවන් අයෙක් රටට ඇතිවන ඊලඟ අනතුර පිළිබඳ කදිම අනාවැකියක් කියා ඇත. එය මෙතැනින් බලන්න..... මටද හැඟෙන පරිදි ඒ අනාවැකියෙන් කොටසක් හෝ සැබෑ විය හැකිය. නමුත් ඒ අනාවැකියෙන් කියැවෙන්නේ ස්වභාවික ව්‍යසනයක් ගැන නොවේ.. අපම විහින් දමාගත් ව්‍යසනයක් ගැනය....
බටහිර මාධ්‍යයන් විසින් ජනතාවට විද්‍යාත්මක දැනුම කොපමණ ලබා දුන්නද, සාමාන්‍ය මිනිසුන් ඒ පිළිබඳ එතරම් දැනුවත් වීමට කටයුතු නොකරති. ඒ මිනිසුන්ගේ හැටි ය. නමුත් අවම වශයෙන් අන්තර්ජාලයෙන් හෝ තරමක දැනුමක් ලබාගෙන මේ මොනවාදැයි කියා යම්තරමක හෝ අවබෝධයක් ලබා ගැනීමට ඔවුහු කටයුතු කරති. අපේ වැඩිහිටි පරපුර අන්තර්ජාලයෙන් බොහෝ ඈතක සිටින අතර තරුණ පරපුර SEX යනු මොනවාදැයි සොයමින් අන්තර්ජාලයේ අතරමංව සැරි සරති. මට ලැබෙන සමහර ඊමේල් අනුව, ලංකාවේ සමහර තරුණ තරුණියන් Google සෙවුම් යන්ත්‍රය භාවිතා කර තොරතුරු සොයා ගැනීමේ කටයුත්ත වත් හරි හැටි කරගන්නට හෝ, කර ගත්තද ඒ තොරතුරු පිළිබඳ නිසි අවබෝධයක් නැති පිරිසක් යැයි මට සිතෙන අවස්ථා ඇත. මෙයට ප්‍රධාන හේතුව අන්තර්ජාලයේ තොරතුරු සෙවීමේ කම්මැලිකම ද, එසේත් නැතහොත් ඉංග්‍රීසියෙන් යමක් කියවා අවබෝධ කර ගැනීමට ඇති කම්මැලිකම දැයි මම නොදනිමි.... මූණු පොතේ නිතර සැරිසැරුවද, එයින් ලැබෙන දැනුමක් නැත... අන්තර්ජාලය යනු මහා දැනුම් සම්භාරයක එකමුතුවකි... එයින් හරි දේ තෝරාගතහොත් ලැබිය හැකි දැනුම හා දියුණුව අපමණය.... තමන් දියෙන් කිරි වෙන් කර ගන්නවාද , කිරි කළයේ ඇති ගොම බිංදුව තෝරාගෙන අනුභව කරනවාද යන්න ඔබ තෝරා ගත යුතුය...


ලංකාවේ මාධ්‍ය වලින් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. මා පසුගිය කාළයේ ලංකාවේ සිටියදී ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකුගේ පුතෙකු ගෙන් ඇසූ "ලංකාවේ උසස් ගණයේ ටෙලිනාට්‍ය බිහි නොවන්නේ මන්ද ?" යන පැණයට ඔහු දුන් එකම පිළිතුර වන්නේ ටෙලිනාට්‍යයක බජට් එකට සරිලන සේ පසුතලය සැකසීමේදී ගමේ ගොඩේ එදිනෙදා සිදුවන සිදුවීම් අළලා තැනෙන බාල ගණයේ ටෙලිනාට්‍ය මිසක්, වෙනත් නාට්‍යයක් නිෂ්පාදනය කළ නොහැකි බවයි. එනම් වෙනම පසුතල නිර්මාණය කර, අළුත් ආකාරයක කතාවක් නිෂ්පාදනය අතිශය අවදානම් කටයුත්තක් බවයි... මේ නිසා බොහෝ ටෙලිනාට්‍ය උසස් ලෙස නිර්මාණය කිරීමේ නොහැකියාවක් මෙන්ම, එපිසෝඩ් එකක් වැඩිම උනොත් ලක්‍ෂයක බජට් එකකට යටකර නිෂ්පාදනය කිරීමට සිදු වීම නිසා ගෙයක් අරන් කැමරා දෙකක් දාගෙන එපිසෝඩ් එකක් හදන තත්ත්‍වයකට අපේ ටෙලිනාට්‍ය සම්ප්‍රදාය පහතට වැටී ඇතිබව කණගාටුවෙන් වුවද පැවසීමට සිදු වී ඇති බව හෙතෙම පැවසීය... මේ අපේ ටෙලිනාට්‍යවල තත්ත්‍වයයි.
බටහිර රටවල නම් ටෙලිනාට්‍යවලට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අනුව  නාට්‍යය නරඹන සංඛ්‍යාව දිගටම පහළ බසී නම්, නාට්‍ය මාලාව මැදදී වුවත් ගලවා ඉවත් කිරීම සිදු වේ. නමුත් අපට සිදු වන්නේ මොන දහජරාවක් වුවත්, නාට්‍ය මාලාව අවසන් වනතුරු නැරඹීමට වීමයි: එය ඉතා කණගාටුදායක තත්ත්‍වයකි. එයින් වඩාත්ම අප්‍රසන්න සිදුවීම වන්නේ වෙළඳ දැන්වීම් නරඹන අතරතුර ටෙලි නාට්‍යයේ විනාඩි පහක් පමණ නැරඹීමට සිදු වීමයි. එයින් වෙළඳ දැන්වීමක්වත් හරිහැටි බලාගැනීමට නොහැකි වේ.


එදා අප දුටු වෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, ගිරය, කඩුල්ල, යශෝරාවය, අඹයහළුවෝ වැනි ටෙලිනාට්‍ය අපට කවදා යළි නැරඹීමට හැකි වේද ? එදා මාධ්‍යයන්ගෙන්අප දුටු පරිණතබව, දැනුම, අපේ ඉදිරි පරපුරට කවදා දැකිය හැකි වේද ?


Thursday, December 27, 2012

2012 දෙසැම්බර් 28 : මගේ නත්තල් තෑග්ග........


නෑ නෑ... මේක නෙවෙයි...

අප බෞද්ධ වුවත්, කුඩා කළ නත්තල් සීයා තෑගි අරන් එනතුරු මඟ බලා සිටියෙමු... 24 වනදා රාත්‍රියේ නිදා ගන්නා අපේ කොට්ටය අසල කිසියම් හෝ සෙල්ලම් බඩුවක් තැබීමට දෙමාපියන් උත්සාහ කළේ ඒ නිසාමය.. අගහිඟ කාලයේ අවම වශයෙන් ටොපියක් හෝ තබා අප සැනසූයේ අප නත්තල් සීයාගෙන් කිසියම් දෙයක් බලාපොරොත්තුවෙන් සිටිනබව අපේ දෙමාපියන් හොඳින්ම දැන සිටි නිසාය... ක්‍රම ක්‍රමයෙන් කල් ගතවෙද්දී නත්තල් සීයා යනු හිතළුවක් බවත්, එය කුඩා දරුවන් තරමකට හෝ විනයානුකූල කිරීමේ එක් මනෝ විද්‍යාත්මක පියවරක් බවත් අපට වැටහෙන්නට විය. එසේ වුවත් ඒ පුරුදු අඛණ්ඩව පවත්වාගනිමින් කිසියම් දෙයක් හුවමාරු කර ගැනීම බොහෝ දෙනා සිදු කරන කටයුත්තකි. එය සමහරවිට ආගමික නොවුවත්, සාම්ප්‍රදායිකව සිද්ධ වන දෙයකි. ගම්වල නම් මේ කිසිවක් සිදු නොවන අතර එදා වේල ගැට ගසා ගැනීමේ යුද්ධය නිසා නත්තල් සීයා ඒ ගම් පෙදෙස්වලට නොඑන බව පෙනේ.
ඒ නත්තල් කාලය දැන් ඉකුත්ව බොහෝ කල් ය.. දැන් නත්තල වාණිජකරණය වී ඇත.. නත්තලේ සැබෑ අරුත වූ බෙදා හදාගෙන සියල්ලන් සමඟ සමඟියෙන් සාමයෙන් ජීවත් වීම වෙනුවට සියල්ලා බදාගෙන  අනෙකා මරාගෙන තමන් ජීවත් වීම දක්වා වෙනස් වී ඇත. තමන් වැපිරූ බීජවල පල ලබන්නේ ද තමුන්මය...
පසුගිය කාළයේ ලංකාවේ සිටි කාලයේ මම ද පාත්තියක් දැමූවෙමි... මල්පාත්තියක්ම නොවූ ඒ පාත්තියේ විවිධාකාර මල් මෙන්ම සුවිශාල රුක් සේ වැඩේ යැයි උපකල්පනය කළ හැකි විවිධාකාර ගස් වැඩෙමින් තිබුණි. ලද ඇසිල්ලේ මම ඒ ගස්වලටත් මල්පැලවලටත් පෝර දමා ඉදිරියේ වර්ධනය වියහැකි ආකාරයත් ඒ පිළිබඳ මඟපෙන්වීමකුත් සිදු කරන වැඩමුළුවක් සංවිධානය කළෙමි. මගේ ජීවිතයේ දැක්ම පවා වෙනස් වූයේ එතැන් සිටය.. මෙතෙක් කල් අන්තර්ජාලයට සීමා වූ මගේ කාර්යභාරය සත්‍ය වශයෙන්ම හිතළුවක් නොවන බව ඒත්තු ගැන්වූයේ ඔවුන්ය.. මීට පෙරද මා මේ සම්බන්ධව ලියා ඇතිමුත්, ඒ ඔවුන්ගේ අවසාන ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථමයෙනි.. මේ ඔවුන් සමහරකගෙන් මට ලැබුණ පණිවුඩයි... මං උන්ට මට සෑර් කියා නොකියන්නැයි කොතෙක් කීවද උන් මට කියන්නේම සෑර් කියාය.. (හිතං ඉන්නේ මම හරි නාකියි කියාය)
Hello sir,
Hope you are doing good..
Our final results were out and I got an A- for the research. And we both got 1st classes.. Thank you very much for your guidance, valuable advises and wishes..
මේ එයාගෙම සහෝදරියගෙ පණිවුඩය..
Hello sir,
Finally we got the results for our four years of hard work. I'm happy to tell you that I got a first class and I was qualified for that from the results of the research methods which was an A. So the credit must go to you as I believe that your effort on making us good presenters brought all of us into this level  so here is a big thank you for what you have done to make us the best among others.
මේ තවත් සිසුවියක්,
Dear Sir,
I want to give big thank for you sir.. Because I got a A+ for research performance and I`m the one who got best results for research. So you played a major role in that. Even though I have completed my research successfully it would not be the best one without your part sir.
So thank you very much for helping me to do the best. There is no words to thank you sir.
Again thank you Sir!!!
සිසුවියන් පමණක් නොවෙයි ඒ වැඩමුළුවෙ සිටියෙ..
Dear sir,
Wish u merry Christmas. I'm really happy to say that I've got a second upper class and also I've got an ''A'' for my research project. So I need to thank u sir. Because of You, we were able to get such good results for our research projects. And we faced our oral test well, because of the knowledge and the experience that we have gathered from you. Thank you again sir.
තවත් සිසුවියක් මෙහෙමත් ලියලා තිබුණා.
Dear Sir,
Dear Sir,
Finally....... after a lot of delays and postpones we got our results today. I'm so glad that i got an ''A'' for my research which feels so amazing after all the hard work.for other subjects I did, i got A A- B+ B. Will get a 2nd upper for sure but I'm short of few ''A''s for a 1st class. Wanted to thank you again & let you know how we did sir you did a great support for all of us...........Still I didn't come to know about all your 10 kids results. N..... got a ''B'' while C......... got a ''B+'' for the research.....others will let you know about their results as well. I sent my research for the National Journal of Science Foundation for publication,hopefully they'll accept my manuscript. The role u played made a huge impact in our researches as well as the way we think...!
Thanks a lot & we really are happy 2 make u proud!
Wish you all the very best sir. Take care and may God Bless you.....
මේ මම පෝර දාපු පාත්තියෙ පළදාව... මම කළේ ඔවුන්ගෙ සැඟවුන දක්‍ෂතා එලියට ගැනීමත්, තමන්ගෙ පර්යේෂණ සභාවක් ඉදිරියේ ඉදිරිපත් කරන ආකාරයත් කියා දීම පමණයි... මම ඊට වඩා ලොකු දෙයක් කළේ නැහැ... මේ පැල මහා වෘක්‍ෂ වෙලා කවදා හරි ලෝකය එළිය කරාවි... මීට පෙර මම වතුර දමාපු සමහර පැල දැනටමත් මට වඩා  ලොකු ගස් වෙලා ලෝකය පෝෂණය කරනවා... ඒ ගැන මට තියෙන්නෙ සතුටක් - ආඩම්බරයක්...ඉදිරියෙදි තවත් පැලවලට සාත්තු කරන්න මේක මට හොඳ ඇරඹුමක්... ඉතින් මේ පැල ටික තමයි මගේ ජීවිතයේ එක හැරවුම් ලක්‍ෂ්‍යයක් ඇති කළේ.... මට වැරදුනොත් ඉතිං මේ අය තමයි වගකියන්න ඕන... හරිද ! ඒ අතරෙ බොහොම කුඩා පැළයක් වගේ (ලොකුවට) අපේ බ්ලොග් අවකාශයේ ඉන්න තනි අලියාත් පැත්තකින් හිටියා.. එයාට මේක තවත් අත්දැකීමක් වුනත්, ඉදිරියට හොඳ දැක්මක් එයින් ලැබුණා කියලා හිතනවා..
මේ වගේ අත්දැකීම් හැමෝටම ලැබෙන්නෙ නැහැ.. නමුත් තමන්ට ලැබෙන අවස්ථාවකින් අනුන්ට යහපතක් කරන්න සිතනවා නම්, අවම වශයෙන් තමන් යමක් ලෝකයට/අනුන් වෙනුවෙන් කළා කියන සුවදායී හැඟීම හිතට දැනෙනවා.. ඉතිං මේ නත්තල් තෑග්ග මට ලැබුණ අනෙක් තෑගි වලට වඩා වෙනස් වුනත් මට බොහොම සන්තෝෂයක් ගෙන දුන්න තෑග්ගක්....
මේ ඉන්නේ ඒ කට්ටිය.


මේ ඉන්නෙ...
මේ ඉන්නෙ...

2012 දෙසැම්බර් 27: කණ්ගැට්ටන්ට සහ බාබර්ලාට ගිය රට..............


කෞතුකාගාරයේ හොරකම තනිවම කර ඇත්තේ කණ්ගැට්ටා බව හෙට අනිද්දා පැමිණෙන භූමිකම්පාව මෙන් සහතික බව සිංදු කියන රාලහාමි මහත්මයා මාධ්‍යයට පවසා ඇත. ඒ අනුව ව්‍යංගාර්ථයෙන් කියන්නේ කෞතුකාගාරයේ ආරක්‍ෂාව නූගත් කුඩුකාරයෙකුට පවා බිඳිය හැකි තරමේ සරළ දෙයක් බවය. කෞතුකාගාරයක් යනු රටක ජාතියක අනන්‍යතාවය හොවා දක්වන කැඩපතකි. වසර 500 ක තරම් කෙටි ඉතිහාසයක් ඇති ඇමරිකාව සිය අනන්‍යතාවය පෙන්වීමට නොකරන දෙයක් නොමැත. අධික වටිනාකමින් යුතු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය පිණිස තබා ඇති කෞතුකාගාර සෑම නගරයකම පාහේ දක්නට ඇත. වෙනකක් තබා, ලුයිසියානා ප්‍රාන්තයේ පවර්ටි පොයින්ට් නම් ස්ථානයේ ඇති පස්කඳු කිහිපයක් ඔවුන් මහා උජාරුවෙන් පෙන්වන්නේ එය අවුරුදු 400 කට පෙර ජනාවාසව තිබූ බිමක් ලෙසිනි... එය පවා ඔවුනට උද්දාමයට කරුණකි.. අප වැනි වසර 2000 කට අධික උරුමයක් ඔවුනට තිබුණා නම් මොනවා නොකරයිද ? දරුවන් - වැඩිහිටියන් ඒ සියල්ල නරඹා සිය බුද්ධිය  - දැනුම පුළුල් කර ගනිති. සිය රට සහ රටේ නිර්මාණ පිළිබඳ අපමණක් උද්දාමයට පත් වෙති. ඒ කෞතුකාගාරවල ශ්‍රී ලාංකික නියෝජනය වන ජාතික කෞතුකාගාරය අපට කටුගෙයකි...
වසර 2000 කට අධික ඉතිහාසයක් ඇති අප සතුව මිල කළ නොහැකි පුරා වස්තු සහ කෞතුක වස්තු සම්භාරයක් තිබිය යුතු නමුත්, යන්තම් මේ අපේ කෞතුකාගාරය යැයි පැවසීමට තරම් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩනැඟිල්ල තුළ පුරවාගෙන ප්‍රදර්ශනය කරමින් සිටිමු. බොහෝ අවස්ථාවල මේ ගොඩනැඟිල්ලේ විවිධාකාර ප්‍රශ්න මාධ්‍ය මගින් ද අනාවරණය කර තිබුණි. සාමාන්‍යයෙන් කෞතුකාගාරයක් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ තිබිය යුතුය, ඒ එතුළ වූ කෞතුක භාණ්ඩ කිසි විටෙක හිලවු කළ නොහැකි (Irreplaceable) වන නිසාය. බොහෝ කෞතුකාගාරවල කෞතුක භාණ්ඩ මිල කළ හැකි වුවත් නැති වුවත් වීදුරු පෙට්ටිවල බහා ප්‍රදර්ශනය කරන අතර ඒ සියල්ලටම විද්‍යුත් සංවේදක සවිකර සොරකම් කළ නොහැකි ලෙස සකසා ඇත. ඒ නිසාම කිසිවෙකු අත තැබුවත් කෞතුකාගාරයේ ආරක්‍ෂක අංශවලට එය දැකගත හැකි ලෙස සකසා ඇත. වරක් ඇමරිකානු ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කළ හෝප් දියමන්තිය නැරඹීමට ගිය අවස්ථාවේ එතැන තිබූ ආරක්‍ෂාව සහ ක්‍රමවේදයන් අප මහත් සේ අගය කළෙමු. එවන් ආරක්‍ෂාවක් ලංකාවේ ඇතොත් ඒ ජනාධිපති මන්දිරයේ පමණක්ම විය හැකිය.
හෝප් දියමන්තිය
හෝප් දියමන්තිය
කෙසේ වුවත් මේ සියළු සිදුරු - අතපසුවීම් වලින් රිංගා නූගත් කුඩු කාරයෙක් වූ කණ්ගැට්ටා විසින් ඉතා වටිනා කෞතුක භාණ්ඩ ගණනාවක් සොරකම් කරගෙන ගොස් තිබුණි. එය අනාවරණය කර ගැනීමට අපේ පොලීසියට සහ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට මාස ගණනාවක් ගත විය. ඒ එක කතාවකි........
රටක අවංක කම, සහ ක්‍රියාවලියක පරිපූර්ණභාවය (Integrity) තිබිය යුතු වටිනාම ස්ථානයක් වන්නේ විභාග දෙපාර්තමේන්තුවයි. (අනෙක් ස්ථානය වන පාර්ලිමේන්තුව ගැන කතා කළ යුතු නැත.. එය අවංකකම සහ පරිපූර්ණභාවය මනා ලෙස ආරක්‍ෂා කරන ස්ථානයක් වන බව අප සියළුම දෙනා දන්නා නිසාය) මක්නිසාද යත්, රටේ වැදගත් වූ විභාග සියල්ල සැකසෙන්නේ- පැවැත්වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම නිසාය. ලංකාවේ විභාග බොහෝ කලක් යනතුරු ඉතා දැඩි ක්‍රමවේදයකට යටත්ව පැවතුනි. නමුත් දැන් දැන් අසන්නට ලැබෙන තොරතුරු වලට අනුව බොහෝ විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම පිට වී අවශ්‍ය පුද්ගලයින්ට හෝ අනවශ්‍ය පුද්ගලයින්ට ඒ සියල්ල ලැබේ.. ප්‍රශ්න පත්‍රයක් රුපියල් ලක්‍ෂයකට වේයන්ගොඩ නයිවල බාබර් කෙනෙකු විසින් විකුණන්නේ මේ පසුබිමේ සිටය....
සියල්ල සිදු වූ පසුව විභාග දෙපාර්තමේන්තුවට නව ආරක්‍ෂක ක්‍රමවේදයන් ඇති කරන බව පවසා ඇත. Z අගයේ අර්බුධය, පහ වසර ශිෂ්‍යත්‍ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම මෙන්ම දැන් දැන් අසන්නට ලැබෙන සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම ද විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න ඇති කරවයි.. ඉස්තාලය වැසිය යුත්තේ අශ්වයා පැන ගියාට පසුව නොවන බව කවුරුත් දන්නා කරුණකි. විභාග දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල සිටින්නේ බුද්ධිය ඇතැයි සිතිය හැකි අන්දමේ පුද්ගලයෝය... මේ අයට මුද්‍රණාලයේ කාර්මික නිලධාරියෙකු සතු වංචා කිරීමේ දැනුම නැතැයි සිතීම උගහටය... මේ අනුව පෙනී යන්නේ මුද්‍රණාල කාර්මිකයා ද අර ඉහළ නිලධාරීන්ගේ කණින් රිංගා ඇති බවය.. මේ සියල්ල අනුව සමහර ප්‍රභූ දරුවන් 99 % ක ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් විභාගයන් සමත් වී තබන ලෝක වාර්තාවල වලංගු භාවය පිළිබඳවද පැහැදිලිවම සැක සංකා මතු කරවයි... එසේම අදාල නිලධාරීන් ලජ්ජා විය යුතුය (අවාසනාවකට ලංකාවේ බොහෝ දෙනෙකු ගේ ලැජ්ජා නහරය කපා ඇත) තමන්ගේ යටතේ මෙසේ අකටයුතු සිදු වෙද්දී තමන් වගකිවයුතු නිලධාරියෙකු ලෙස කෙසේ කොන්ද කෙළින් කරගෙන කාර්යාලයෙන් පිටතට යා හැකිද ?
Z නැවතත් ගිණි ගනී ද?
Z නැවතත් ගිණි ගනී ද?
අපේ රටේ බොහොමයක් වැදගත් ස්ථානවලට පත්ව ඇත්තේ සුදුස්සන් නොව දේශපාලන හෙංචයියන් වීම අපේ අවාසනාවට හේතු වී තිබේ. සාමාන්‍ය රැකියාවකට පවා සුදුසුකම් බලපවත්වන මුත්, උසස් රැකියා සියල්ල දේශපාලන සුදුසුකම් මත තීරණය වීම නිසා රටටම බලපාන තීරණ ගැනීමේ මධ්‍යස්ථානවලින් පැමිණෙන තීරණ සියල්ල නැවතත් සංශෝධනය කිරීමට සිදු වී ඇත. කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය පිළිබඳ කිසිදු හැඟීමක් නැත.. මේ නිසාම නාස්තිය සහ දූෂණය අධිකය... අන් රටවල උපදේශකයින් කිසියම් අධ්‍යාපන මට්ටමක් සපිරූ, ඒ ඒ ක්‍ෂෙත්‍රයන්හි ඇසූ පිරූතැන් ඇති උදවිය වුවත්, අපේ රටේ උපදේශකයින්  (නැගෙනහිර පලාතේ හිටපු මහ ඇමතිතුමා සහ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්‍ද්‍ර මැතිණිය වැන්නවුන්) විසින් ලබා දෙන උපදෙස් මොනවාද ? මේ උපදෙස් රටේ ප්‍රගමනයට වැදගත් වෙන්නේ කෙසේද ?
රටේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටී තිබියදී, බාල බෙහෙත් වර්ග ලබාදීම නිසා දරුවන් මිය යද්දී,  දස දහසක් පිළිකා රෝගීන් නිසි ඖෂධ නොමැතිව මිය යද්දී අපට කිසිදු වැදගත්කමක් නැති හියුගෝ චාවේස්ට අපේ වෛද්‍යවරු යැවීමට වඩා අපට කළ හැකි දේ බොහොමය... ඒ වෛද්‍යවරු ජාතික පිළිකා රෝහලට සතියකට වතාවක් යවා නොමිලේ ප්‍රතිකාර කළහොත් රටටත්, එයට අදාල සැමටත් ලැබිය හැකි ප්‍රතිලාභ බොහෝය...
කණ්ගැට්ටන් සහ බාබර්වරු රජකරන මේ යුගයේ තවත් අරුම පුදුම දෑ අසන්නට නොලැබුණහොත් අප පුදුම විය යුතුය.. මේ ආසියාවේ ආශ්චර්යයයි... මේවා කියන්නේ අපහසුවට පත් කරන්නට නොව හැදෙන්නටය......
සුභ අනාගතයක්. !

Wednesday, December 26, 2012

පිටස්තරයා.................. පහලොස්වන දිගහැරුම....................


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

තමන්ට සැක කටයුතු පුද්ගලයින් නිරීක්‍ෂණය කිරීමේදී උසස් තාක්‍ෂණය යොදා ගැනීම බටහිර රටවල අපරාධ පරීක්‍ෂණ ආයතනවල සාමාන්‍ය පුරුද්දකි. මෙය නියමිත සාක්‍ෂි සියල්ල පටිගත වනවා පමණක් නොව වැරදිකරුවාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේදී බිඳිය නොහැකි සාක්‍ෂි ලෙස භාවිතා කළ හැක. මේ නිසා අපරාධ පරීක්‍ෂණ සම්බන්ධව පර්යේෂණ කෙරෙන බොහෝ ආයතනවල මූලිකත්‍වය ලැබෙන්නේ ඇසට නොපෙනෙන තරමේ කුඩා කැමරා සහ පටිගත කිරීමේ උපකරණ නිපැයුම, ඒවායේ ධාවන කාළය වැඩි කරගෙන වැඩිපුර දත්ත එක්රැස් කරගැනීමේ තරඟයටය. ඉතා කුඩා කැමරා, කටහඬ සම්ප්‍රේෂණය කිරීමේ උපකරණ ආදිය නිවෙස්වල සවි කිරීම සිදු කර දත්ත එකතු කර ගනු ලැබේ. එයට ඒ අංශවල Bugging the premises යැයි කියනු ලැබේ. සමහර කැමරා සහ පටිගත කිරීමේ උපකරණ අවට ඇති චුම්භක ක්‍ෂෙත්‍රවල , සූර්යාලෝකය හෝ තාප ධාරාවක ආධාරයෙන් විදුලිය නිපදවා ගැනීමටත්, නොකඩවා මාස ගණනාවක් දත්ත සැපයීමටත්, කිසිවෙකුට නොපෙනී සඟවා තැබීමටත් හැකි වන සේ සකසා ඇත. මේ නිසා සුවිශේෂී හඳුනා ගැනීමේ උපකරණ (bug detectors) නොමැතිව මේ රහස්‍ය පටිගත  කිරීමේ උපකරණ නිවසක සඟවා ඇතිදැයි සාමාන්‍ය මිනිසුන්ට සොයා ගත නොහැක.
හරිද ? ඔක්කොම වැඩ කරනවද ?
ඔව්... සාලය නම් පැහැදිලියි... නිදන කාමරයත් ප්‍රශ්නයක් නැහැ.. නාන කාමරය තමයි පොඩි ප්‍රශ්නයකට එන්නෙ...
ඇයි... මේ කැමරාව තියෙන තැන අනුව උණු ජල කරාමය ඇරියාම නාන කාමරය පුරා පැතිරෙන ජලවාෂ්ප නිසා කැමරාවෙ දර්ශන අවහිර වෙන්න පුළුවනි..
කරන්න දෙයක් නැහැ... අපිට වෙන තැනක මේක සවි කරන්න බැහැ... අහු වුනොත් අපට ප්‍රශ්නයක් නැති වුනත් අපට ලැබෙන්න තියෙන දත්ත නැති වෙනවා...  කමක් නැහැ.. අනෙක් කාමර දෙකේ තියෙන කැමරා වලින් හොඳ පින්තූර අපට ලැබෙනවනෙ... ඇරත්, නාන කාමරවල කැමරා හයි කරනවට අපේ ලොක්කො වැඩිය කැමතිත් නැහැනෙ....
ඇත්ත... දැන් බලන්න ඔක්කොම හරියට නැවත තිබූ තැන්වලම තියෙනවද කියලා.... එක් තරුණයෙක් එසේ පවසද්දී.....
ආ බය වෙන්න එපා... ඒක එහෙම නැති වුනත් අපට එයාට කියන්න හේතුවක් හොයා ගන්න පුළුවන්... තරුණිය පිළිවදන් දුන්නාය....
හැබැයි ජෙනී වැරදිලාවත් ඔයා මේ ගෙදරට ආවොත් ඉතිං අපට කැමරා නවත්වන්න බැරිවෙයි...
හරි හරි... අපි ඒක පස්සෙ බලා ගනිමු.... තමුසෙලා ගෑණු නොදැකපු මිනිස්සු නෙවෙයිනෙ... අපට වැදගත් වෙන්නෙ මේ කරන්න ආපු වැඩේ..... තරුණිය නැවතත් ඔවුන් දෙදෙනාට පැවසුවාය....
එෆ් බී අයි නිලධාරීන් බොහෝ විට වෙස්වලාගෙන ගොස් තම ඉලක්කය කරා ඇදේ. මෙසේ වෙස්වලා ගැනීමේදී සමහරවිට නිවාස පිරිසිදු කරන පුද්ගලයින්, වෛද්‍ය කණ්ඩායම්, ආගම පතුරවන්නන් වැනි විවිධ අන්දමේ සමාජයීය කොට්ඨාස ලෙස හැසිරෙමින් අදාල ඉලක්කය කෙරෙහි ලඟා වීමට ඔවුහු කටයුතු කරති.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොකද විශ්වට වෙලා තියෙන්නෙ ? සුමනසේකර මහත්මිය නැවතත් නොයිවසිල්ලෙන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාගෙන් විමසුවාය..
නීලා... පොඩ්ඩක් ඉවසන්න... ඒ මනුස්සයට විස්තර කරන්න ඉඩ දීලා.... කවදත් නිවුනු ගති පැවතුම් ඇති සුමනසේකර මහතා කිසි දිනක කිසිදු හේතුවක් නිසා හෝ කළබල වන්නකු නොවේ...
මේකයි සුමනසේකර මහත්මයා.. අද විශ්ව රැකියා ස්ථානයෙන් පිටවෙන වෙලාවෙ බීමතින් රිය පදවාගෙන ආපු කෙනෙක් පදවපු ට්‍රක් එකක් විශ්වගේ වාහනයෙ හැපිලා... ඒ මනුස්සයා නම් එතැනම මිය ගිහින්.. නමුත් විශ්වට ඒ තරම් කරදරයක් නැහැ කියලයි ආරංචි... මේ වන විටත් ශල්‍යකර්මයකට භාජනය කරලයි තියෙන්නෙ.. විශ්වගේ කකුලේ දණහිස අසලින් බිඳිලා... පපුවේ අස්ථියක් බිඳීම නිසා තරමක අපහසුවක් තිබෙනවා... නමුත් අපේ හමුදා රෝහලේ විශේෂ නිරීක්‍ෂණය යටතෙයි ඔහු පසුවන්නෙ... ඒ නිසා බය වෙන්න තරම් දෙයක් නැහැ. විශ්වගෙ සේවා ස්ථානයෙ අද්මිරාල් බවර් තමයි මේ බව ඔබට දන්වන්න කිවුවෙ.. විශේෂයෙන් විශ්වගෙ පියා එක්සත් ජනපදයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සිදු කළ සේවය නිසාමත්, විශ්වගේ  සේවා ස්ථානයේ සුවිශේෂී බව නිසාමත් තමයි අපි සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව ඔබට මේ දැනුම්දීම කරන්න නිවසටම පැමිණියෙ..
දැන් අපට විශ්ව ගැන කොහොමද තොරතුරු දැනගන්නෙ ? ඒ ළමයාගෙ ටෙලිෆෝන් එකවත් වැඩ කරන්නෙ නැහැ. අපට ඇමරිකාවෙ තියෙන එකම සම්බන්ධය වොෂිංටන් බෞද්ධ විහාරයෙ ස්වාමීන් වහන්සේලා පමණයි... නමුත් උන්වහන්සේලාට කරදර කරන්න අපට බැහැ...
බය වෙන්න එපා. අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔබව සම්බන්ධ කරන්නම්... නමුත් අපි ආවෙ ඒ කාරණය දැනුම් දෙන්න පමණක්ම නොවෙයි.
එහෙනම්.... තවත් ප්‍රශ්නයක්ද ?
නැහැ නැහැ... විශ්වගෙ රැකියා ස්ථානයෙන් අපට දැන ගන්නට ලැබුණ විදියට විශ්ව තරමක අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක්. ඔහුගෙ භාරකරු විදියට ඔබට කියන්න පුළුවන්ද මේ සුවිශේෂිතාවය ඔහුට ලැබුණ අන්දම....
මහත්මයා... මට බොහොම කණගාටුයි... දියුණු රටක පුද්ගලයෙක් වෙලත් ඔබ සිතන අන්දම ගැන... විශ්ව කියන්නෙ අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක් තමයි... ඒ දරුවා භාෂා හයක් පැහැදිලිව නිවැරදිව කතා කරන පුද්ගලයෙක්.. ඒ දක්‍ෂතාවය ඔහුට ලැබිලා තිබෙන්නෙ දෙමාපියන් සමඟ රට රටවල වසර ගණනාවක් ගත කිරීම නිසා... අමතක කරන්න එපා ඔහුගෙ දෙමාපියනුත් උගත් බුද්ධිමත් දෙපළක්.. ජාන වලින් වුවත් මේ බුද්ධිමත් බව පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය වෙනවා. ඒ වගේම අළුතෙන් භාෂාවක් කෙනෙක් ඉගෙන ගන්නවා කියන්නේ ඒ පුද්ගලයාගේ මොළයේ තවත් අළුත් කොටසක් වර්ධනය වෙනවා. මේ නිසා විශ්වගේ බුද්ධිය භාෂා හයක් කතා කිරීමේදී ඉතා ඉහළ වර්ධනයක් පෙන්වනවා ඇති. ඒක කොහොමත් සාමාන්‍ය ජනගහනයෙන් සියයට පහත් දහයත් අතර පුද්ගලයින්ගේ දැකිය හැකි දෙයක්... විශ්ව අසාමාන්‍ය දරුවෙක් නොවෙයි. නමුත් ඔහුටම ආවේණික විවිධ පුරුදු ඔහුට තිබෙනවා... ඒත් ඒවා වුවත් අසාමාන්‍ය නැහැ.
සමාවෙන්න අහනවාට... ඔහු කිසියම් රෝගයක් සඳහා බෙහෙත් ගන්නවද ?
මම දන්න තරමට නම් නැහැ.. විශ්ව කියන්නෙ තමන්ගෙ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ හොඳට සැලකිළිමත් වන දරුවෙක්... විශ්ව නිර්මාංශික වුනේ අවුරුදු 16 දි පමණ.. එදා ඉඳලා කිරි එකක්වත් බොන්නෙ නැහැ... නිතර නිතර ව්‍යායාම් කරන නිරෝගී පුද්ගලයෙක්..
ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැද්ද ?
මම දන්න තරමට නම් ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැහැ... හෙම්බිරිස්සාවක් උණක් හැදුනත් ඉඟුරු වැනි සරළ බෙහෙතක් තමයි පාවිච්චි කරන්නෙ. ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නෙ ? විශ්ව ගැන මොනවාහරි විශේෂ දෙයක් ඔබලා අපට හංගනවද ?
නැහැ නැහැ... අපි සාමාන්‍යයෙන් අපේ රාජ්‍ය ආයතනවල සේවය කරන පුද්ගලයන්ගේ පෞද්ගලික පසුබිම් තොරතුරු ඉතා දැඩි ලෙස පරීක්‍ෂා කර බලනවා.. මොකද කියනවා නම් විශ්ව සේවය කරන්නෙ අතිශය වැදගත් ස්ථානයක... එවැනි පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිතයත් අපට බොහොම වැදගත්... ඒ නිසයි අපි මේ පසුබිම් තොරතුරු සොයන්නෙ... අපි මේ හමුවීම යොදා ගන්න තිබුණෙ ලබන සතියෙ වුවත් අවාසනාවකට විශ්වගේ අනතුර පිළිබඳ දැනුම් දෙන්නත් අද සිදුවීම නිසා මේ අවස්ථාව ඒ තොරතුරු දැනගැනීමටත් අපට භාවිතා කරන්නට සිදු වුනා.. ඔබට විශ්ව ගැන සුවිශේෂී තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ අංකයට මට කෙළින්ම කතා කරන්න. මම ඔබට සියළු විස්තර සපයන්නම්... ඔබට ඇමරිකාවට දැන්ම යන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා පහසුකම් සපයන්නම්... ඔබට වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබේ නම් අපි අවශ්‍ය වීසා සියල්ල සකසා දෙන්නම්...
සාමාන්‍ය මිනිසුන්ට ඔබ මේ වගේ සැලකිල්ලක් දක්වන්නෙ නැහැ නේද ? ඇයි මේ අපට මේ වගේ සුවිශේෂී සැලකිල්ලක් ?
අවිශ්වාස කරන්න එපා... විශ්වගේ සේවා ස්ථානයෙන් තමයි අපට මේ උපදෙස් ලැබුණේ... ඒ අයට විශ්ව සුවිශේෂී පුද්ගලයෙක්... ඒ වගේ අයට අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා...
හොඳයි.. බොහොම ස්තූතියි... අපට විශ්ව බලන්නට යන්න අවශ්‍යයි... අපි තීරණයක් ගත් වහාම ඔබට දැනුම් දෙන්නම්....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොලී නැවතත් සෙනසුරාදා උදෑසනම රෝහලට පැමිණියාය.
තවමත් වෙනසක් නැද්ද ඩොක්ට ?
නැහැ මොලී.. තවම මොළයේ සංඥා ව්‍යාකූල තත්ත්‍වයක තිබෙන්නෙ.... මේ රටාවන් දිහා බැලුවාම පෙනෙන්නෙ ඔහු කිසිවක් සිතමින් සිටින ආකාරයක් හෝ යමෙකු සමඟ කතා කරන ආකාරයක්. ඒ සටහන් සියල්ල බොහොම සාමාන්‍යයි. නමුත් තවමත් ඔහු පියවි සිහියට නොපැමිණියේ ඇයිද කියලා කියන්න අපට බැහැ.
මේ අනතුර නිසා මොළයට හානියක් වෙලා නැහැ කියලා  හොඳටම විශ්වාසද ?
නැහැ... බය වෙන්න එපා.. අපි ලබා ගත් ස්කෑන් ඡායාරූප අනුව නම් කිසිම හානියක් වෙලා නැහැ.  අපි තව ටිකක් බලමු... කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ. මේ රෝහල ලෝකයේ හොඳම හමුදා රෝහල් වලින් එකක්.
මම විශ්වගෙ කාමරයට යන්නද ?
කමක් නැහැ... ගිහින් බලන්න... දැන් ඔහු ස්ථාවර තත්ත්‍වයට පත්වෙලයි ඉන්නෙ.... දැනෙන වෙනසක් නැහැ... නමුත් පියවි සිහිය ට නොපැමිණීම පිළිබඳ අපි නිතරම පරීක්‍ෂාවෙන් ඉන්නෙ....
ස්තුතියි..
ඇය විශ්ව සිටි කාමරය වෙත පා නැඟුවාය...
සියල්ල වෙනස් වී ඇත... මේ තමා බලාපොරොත්තු වූවක් නොවේ... ඇය බලාපොරොත්තු වූයේ විශ්ව හා එක්ව සිය පර්යේෂණය සිදු කිරීමත් ඉන් එහාට යමක් සිදුවනු ඇතිනම් ඒ සඳහා ඉඩක් ලබා දීම විනා මෙසේ ව්‍යාකූල තත්ත්‍වයක් නොවේ. නමුත් සියල්ල සිදු වී හමාරය.. එන දේකට මුහුණ දෙනවා හැරෙන්නට කළ හැකි යමක් නොමැත..
ඈ පසෙක වූ පුටුවෙහි අසුන්ගෙන විශ්ව දෙස බලා සිටියාය.... විශ්වගේ සැබෑ වෙනසක් ඇය දකින්නට විය... වෙනදා තිබූ පැහැපත් පෙනුම ක්‍රමයෙන් වියැකී ගොස් ඇති සෙයක් පෙනුනි. ඒ අනතුර නිසා සිදු වී ඇති වෙනසක් ලෙස ඇයට දැනුනි. කෙතරම් තර්කානුකූල බුද්ධියක් හෝ අවස්ථාවට උචිත ලෙස හැඩ ගැසීමේ පුහුණුවක් ලබා තිබුණත් තමාට සමහර හැඟීම්බර අවස්ථාවලදී ඒ හැඟීම් දරා ගත නොහැකි බව මොලීට වැටහුණි. ඇය නියපොත්තක් සපමින් කල්පනාවට බර වූවාය.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

විශ්වට මොනවා වෙයිද ?

Monday, December 24, 2012

2012 දෙසැම්බර් 25: දෙවසරක ප්‍රගතිය.


මේ ඇල්කෙමියාගේ දිනපොතේ හීලියම් සංවත්සරයයි.
මේ ඇල්කෙමියාගේ දිනපොතේ හීලියම් සංවත්සරයයි.

ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගත්තේ 2009 අප්‍රේල් 13 වනදාය. ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වූයේ වඩාත්ම රසායන විද්‍යාවට බර ලිපි වූ අතර, ඉඳහිට දේශපාලනික යමක් ද ලියැවුණි. අළුත් යමක් පාඨකයාට සැපයීමටත්, රසායන විද්‍යාවෙන් තරමක් ඈත් වූ ලිපි පාඨකයාට යොමු කිරීමටත්, වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවියේ වූ දිනකට එක ලිපියක් ලිවිය හැකිද යන අභියෝගය භාර ගැනීමටත් අදාලව මගේ දෙවන බ්ලොග් අඩවිය වූ ඇල්කෙමියාගේ දිනපොත 2010 දෙසැම්බර් 25 වන දින ඇරඹීමි.
භාරගත් අභියෝගය ඒ අයුරින්ම ඉටු කිරීමට, මොන කටයුත්ත තිබුණත් දවසට ලිපියක් බැගින් ලිවීමට දිවා රෑ නොබලා කාළයක් කටයුතු කළෙමි. ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහගෙන රෑ පුරා අකුරු කර පළ කළ ඒ බොහොමයක් ලිපි එදිනෙදා දින සටහන වලට වඩා වෙනසක් නොගත්තත්, ඉන් යමක් ඔබ වෙත ගෙන ඒමට මම උත්සාහ කළෙමි. කෙමෙන් කෙමෙන් ඒ අභියෝගය ඉටු කිරීමට නොහැකි වෙද්දී, අවම වශයෙන් දින දෙකකට වරක්වත් ලිපියක් පළ කිරීමට උත්සාහ ගත්තෙමි. සමහර මාස වල අධික වැඩ කටයුතු නිසාත්, ගමනේම යෙදීම නිසාත්, මේ අභියෝගය ඉටු කිරීමට නොහැකි වුවත්, ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මක බව හොඳ නිසාම, ඇල්කෙමියාගේ දිනපොත තෝරාගත් මාතෘකා ඔස්සේ ලිපි පළ කරන්නට විය. බොහෝ ඒවා නීරස වුවත්, ලිංගිකත්‍වය සහ දේශපාලනය සබැඳි ලිපි වලට ලැබුණ ප්‍රතිචාර අතිමහත්ය. නමුත් මා දේශපාලන ලිපි රචකයෙකු නොවේ.
මගේ පෑණේ මුවාත ඇත්තේ විද්‍යාවට බර ලිපි ලියන්නටයි. එමෙන්ම ඔබට මගේ ලිපි කියැවීමෙන් යමක් ඉගෙන ගැනීමට හැකි නම් ඒ මගේ අභිප්‍රාය ඉටු වීමකි. කුඩා කළ සිටම විද්‍යා ප්‍රබන්ධ කියැවීමෙහි රුචිකත්‍වයක් තිබූ නිසාමත්, පසු කළෙක සිදු කිරීමට අදහස් කරගෙන සිටින කාර්යයකට මුට්ටිය දා බැලීමක් ලෙසත් "පිටස්තරයා" නම් විද්‍යා ප්‍රබන්ධය ද අකුරු කරන්නට විය. එහි පසුබිම් පර්යේෂණ සඳහා බොහෝ කාළයක් වැය වුවද, එයින් මාද ඉගෙන ගන්නා දේ බොහෝය. ඒ නිසාම ඉතා සතුටින් එය ලියමි. පසුගිය දින කීපය තුළ වූ කාර්ය බහුලත්‍වය නිසාම කොටස් 14 කින් නතර වී තිබුණද, ඉදිරියේදී නැවතත් එය දිගටම ලියාගෙන යාමට අදහස් කරමි. ඒ සඳහා මටත් වඩා දැන් උනන්දු වන්නේ මගේ ලොකුම රසිකාවිය වන ඇල්කෙමිච්චියයි.
ඔබ මෙහි පැමිණීමට සමානවම මට වටින්නේ ඔබ මේ සියල්ල ගැන සිතන ආකාරයයි. එය ඔබ සිතුවිලි තුල සිරවී තිබුණාට මට පරචිත්ත විජානන ඥාණය නොමැති නිසා දැන ගැනීමට හැකියාවක් නැත. මේ නිසාම මා Blogger.com අඩවියේ ද ඇල්කෙමියාගේ දිනපොත යාවත්කාලීන කරන්නේ සමහර බ්ලොගර් පාඨකයින්ට වර්ඩ්ප්‍රෙස් අඩවියේ ප්‍රතිචාර දැක්වීමේ අපහසුව වලකාලනු පිණිසය. නමුත්, මගේ ලිපි ඔබට රුචි නොමැති නිසාදෝ ඒ සඳහා නිසි ප්‍රතිචාර ලැබීමක් නැත. මා පෙර කලෙක කිවුවාක් මෙන් මා ලිපි ලියන්නේ සමාජයට යමක් ලබා දීමටය. මගේ කතාන්දර ශෛලිය රසවත් නැත. ඒ නිසාම මා කතාන්තර ලිවීම හෝ වෙනයම් දෑ ලිවීම පිළිබඳ අවධානයක් යොමු කර නැත. එසේ කිරීමට පෙළඹෙන්නේ ද නැත. ඒ සඳහා බොහෝ දක්‍ෂ බ්ලොග් කරුවන් සිටිති.
මගේ උත්සාහය විද්‍යාව  - විශේෂයෙන් රසායන විද්‍යාව ජනතාව අතරට ගෙන යාමටය. ඉදිරියේදී මේ බ්ලොග් අඩවිය තවත් පිම්මක් පණිනු ඇත. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සැකසෙමින් පවතින අතර ලබන වසර අවසන් වනවිට එහි එකලාසයක් දැකිය හැකි යැයි සිතමි. මගේ බලාපොරොත්තු සඵල වුව හොත් එය සැමට දැනුම බෙදන මධ්‍යස්ථානයක් වනවා ඇත. නමුත් ඒ සඳහා වූ බාධක බොහෝය. ඒ ගැන පසුව කතා කරමු. අවුරුදු 13 ක් ජනතාවගේ මුදලින් ඉගෙන ගත් මා පසුගිය අවුරුදු 12ම ගත කළේ වැඩිදුර අධ්‍යාපනයත් රසායන විද්‍යා පර්යේෂණ විධික්‍රමත් අධ්‍යයනය කිරීමටය. දැන් මගේ අධ්‍යාපනය සම්පූර්ණ වී ඇත. දැන් ඇත්තේ මා ලබා ගත් දැනුම බෙදා හදා ගැනීමයි. ඒ සඳහා මා උපන් මා ණයගැති රට තරම් උචිත ස්ථානයක් තවත් සොයා ගත හැක. කළකිරීම් ඇති විය හැකි වුවත්, ඉදිරි වසර තුළ මගේ ආගමනය සිදු වේ යැයි බලාපොරොත්තු වෙමි. පසුගිය කාළයේ මා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සිදු කළ ඉගැන්වීම් වලින් තහවුරු වූයේ මට විදේශයක සැප පහසු ජීවිතයක් ගත කරනවාට වඩා ශ්‍රී ලංකාව තුළ බොහෝ සිසු සිසුවියන්ගේ ජීවිත වලට නිසි මඟ පෙන්වීමක් කර ඔවුන්ගේ ජීවිත ද ආලෝකමත් කිරීමේ හැකියාවක් ඇති බවය.
යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී. මට අමරණීයවීමේ අවශ්‍යතාවයක් නැති වුවත්, තවත් ජීවිතයක් ආලෝකමත් කිරීමේ සංතෝෂය මා සතු කරගත හැක. මේ තාක් කල් මා ආලෝකමත් කළ ජීවිත බොහොමයක් මටත් වඩා හොඳ ජීවිත ගතකරනු දැකීමම මා ප්‍රමෝදයට පත් කරවයි. මට අවශ්‍ය වන්නේ මගේ සේවය තවදුරටත් ඔවුනට ලබා දීමයි. ජයග්‍රහණයක් පතා නොවන මුත්, මගේ බ්ලොග් අඩවිය ද බස් රේඩියෝ බ්ලොග් තරඟාවලියට ඉදිරිපත් කළෙමි. එහි වූ විනිසුරු මඬුල්ල මගේ බ්ලොග් අඩවිය හොඳම රැඩිකල් බ්ලොග් අඩවිය සහ හොඳම පර්යේෂණාත්මක බ්ලොග් අඩවිය යන අංශ දෙකටම මා තෝරාගෙන තිබූ අතර හොඳම පර්යේෂණාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනා ගන්නා ලදී... ඒ මගේ බ්ලොග් අඩවිය දිනා ගත් එකම සම්මානයයි. නමුත් එය මට බොහෝ වටී.. ඒ නිසාම තව තවත් පර්යේෂණාත්මක ලිපි ලිවීමේ ආශාව මට ඇති විය. මා මගේ මාර්ගය හඳුනා ගත්තේ එම සම්මානය තුළිනි.
මේ තාක් කල් මා එකතු කරගත් දෙයක් වේද, ඒ ඔබගේ හෘදයාංගම බවයි. ඔබේ දැනුම් පරාසය පුළුල් කරන අතරම මා ලොව වටා ගොස් එකතු කරගත් දැනුම ඔබ වෙත බෙදා හැරීමද මගේ අභිප්‍රායයි. මා මෙලොවට කළ යුතු සේවය කුමක්දැයි හඳුනා ගත්තේ ඇල්කෙමියාගේ දිනපොත සහ රසායනාගාරය තුළිනි.  මෙතෙක් කල් ඇල්කෙමියාගේ රසායනාගාරය සහ ඇල්කෙමියාගේ දිනපොත කියැවූ ලක්‍ෂයකට අධික පාඨක පිරිසට මගේ ප්‍රණාමය පුද කරමි. ඇල්කෙමියාගේ ලිපි කෙසේ සකස් විය යුතු දැයි මා දැන ගන්නේ ඔබේ ප්‍රතිචාර අනුවය. මෙතෙක් කල් මගේ ලිපිවල ගුණාගුණ වචනයකින් හෝ සටහන් කළ සියළුම දෙනාට මගේ විශේෂ ස්තූතිය හිමි වන අතර, තිරයෙන් පිටුපස සිට මගේ ලිපි සියල්ලේ ගුණදොස් නිර්දය ලෙස විවේචනය කරන ඇල්කෙමිච්චියට කිව නොහැකි තරම් ස්තුතියක් හිමි විය යුතුය (නැත්තං ඉඳලා හමාරය).
ඉදින්, තවදුරටත් කාළය මට ඉඩ ලබා දෙන ආකාරයට විවිධාකාර ලිපි හරහා මෙන්ම පිටස්තරයා විද්‍යා ප්‍රබන්ධයේ තවත් කොටස් හරහා ඔබ හමු වීමට අදහස් කරමි.
ස්තූතියි.
ඇල්කෙමියා.

Sunday, December 23, 2012

අභ්‍යවකාශය ජයගන්නට පෙර....................


145956main_NTR_borowskii
සිහින දැකීම සහ කැපවීම සාර්ථක මඟකට ඇති කෙටිම මඟක් යැයි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරෙක ප්‍රකාශ කර තිබුණි. මිනිසා සිහින දැකිය යුතුය. මිනිසා ඉදිරි අනාගතය පිළිබඳ සැළසුම් සකස් කළ යුතුය. පෞද්ගලිකවත්, සමාජයීයවත්, ප්‍රගමනය උදෙසා මිනිසා තනි තනිවත් සාමූහිකවත් සිහින දැකිය යුතුය. අවුරුදු 30 ක් පුරා ජාති ආගම් පන්ති භේද නොතකා අප දුටු සිහිනය වූයේ රුදුරු ත්‍රස්තවාදී යුද්ධයේ නිමාවක් දැකීමය. හැට දහසකට අධික සාමාන්‍ය ජනතාව මෙන්ම අධික  ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් පසු උදා වූ වසන්තය සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හෝ වෙනත් ජාති භේදයකින් තොරව අපි වැළඳ ගත්තෙමු.

ඒ වසන්තය නිමා වෙමින් පවතී... යුද්ධය අවසන් වූයේ සැමට සැනසුම් සුසුම් හෙලන්නට, බලාපොරොත්තු දල්වා ගන්නට, රටට යහපතක් උදා වේ යැයි තමන් මෙතෙක් කල් රටේ නාමයෙන් තද කරගෙන සිටි පටි බුරුල් කරන්නට කාළය පැමිණ ඇති බව පසක් කරමිනි. කෙසේ නමුත් සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වූ සහනය ඔවුනට ලැබුණේ නැත. නිතිපතා සාමාන්‍ය බඩු භාණ්ඩවල මිල ඉහළ යයි. කාර්යක්‍ෂමව පාලනය කළ හැකි රජයේ ආයතන පවා දිනෙන් දින අකාර්යක්‍ෂමතාවය, ඵලදායීතාවය අඩු වීම, අලාභයන් ලැබීම පිළිබඳ අසන්නට ලැබේ. බොහෝ ආයතනවල ඉහළ තනතුරු හොබවන්නේ සුදුස්සන් නොව දේශපාලන හොංචයියන් ය. කළ යුත්ත පසෙක තබා සිය දේශපාලනඥයා පිණවීම, තමන්ටත් කොටසක් කඩා ගැනීම, අක්‍රමිකතා, ලිංගික අල්ලස් ලබා ගැනීම වැනි දහසකුත් නොකළයුතු දෑ සිදු වන බව නිති පතා අසන්නට ලැබේ. මේ බොහෝ ආයතන මේ රජයේම ආරම්භක කාළයේ හොඳින් පාලනය වූ හෝ ලාභ ලැබූ ආයතන වේ. මේ සත්‍ය තත්ත්‍වයයි.

ආණ්ඩුවේ බොහෝ කටයුතු බොරු සෝබනයටත්, ආටෝපයටත් මුල් තැන දී සිදු කරන බව පෙනෙන්නට තිබේ. බිලියන ගණනක් පාඩු ලැබුවත්, මිහින් එයාර් සමාගම ආණ්ඩුවේ මුදල්වලින් ණය ලබාගෙන පවත්වාගෙන යෑම එයට හොඳම උදාහරණයයි. පාඩු ලබන්නේ යැයි රජයට පවරා ගත් පැලවත්ත සීනි සමාගමට බලපාන නීති රෙගුලාසි එයට බලපාන්නේ නැත. මේ කාබාසිනියා වන්නේ රටේ ජනතාව දාඩිය මහන්සියෙන් උපයන මුදලෙන් අය කරගන්නා බදු මුදල් ය. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඉදිකරන මුල් දිනවල විදුලිබල ඇමතිතුමා පාරම් බෑවේ විදුලි ඒකකයක මිල අඩුකර ජනතාවට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවය. නමුත් සිදු වන්නේ කුමක්ද ? වැඩි මිලක් ගෙවා බාල තත්ත්‍වයේ ගල් අඟුරු ආනයනය කිරීම , පසුගිය වසරේ කිහිප වතාවක් තාප බලාගාරය අළුත්වැඩියාවන් සඳහා වසා දමා තිබුණි.   විදුලි බිලෙහි වැඩි වීමක් මිස අඩු වීමක් නොමැත. ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යයි. එසේ වුවත් කොළඹ රාත්‍රී රේස් සඳහා නිකුත් කළ ප්‍රවේශපත්‍ර වලින් ලැබෙන ආදායම බද්දෙන් නිදහස්ය... මේවා කාගේ උවමනාවට වෙනස් කරන නීති ද ?

අපට දූෂණය වැලැක්වීමට බොහෝ කල් ගත වනු ඇත. නමුත් නාස්තිය නැවැත්විය හැකිය... අරපරෙස්සම මෙන්ම නිසි කළමණාකරණය, නිසි සැලසුම් මගින් බොහෝ දේ එකවර හරියට කරගත හැක. උසස් පෙළ  Z  අගයේ ඇති වූ පටලැවිල්ල මුලින්ම හරිගස්සා ගත හැකිව තිබුණත් අදාල පාර්ශව සිය වැරැද්ද පිළිනොගැනීම නිසා එය බොහෝ දුර දිග ගොස්, අවසානයේ අගතියට පත් වූයේ උසස් පෙළට අවුරුදු ගණනක් මහන්සි වූ සිසු සිසුවියන් ය. හෙජින් අවුලට මැදිවුන අප ඉන් පරාද වූ පසු නැවත නඩු පවරන්නට ගොස් පැරදී නැවතත් වන්දි ගෙවන්නට විය. තත්ත්‍වයෙන් බාල ඉන්ධන ආනයනය කර තවත් වතාවක රටම අර්බුධයක හෙළුනේ වැඩි ඈතක නොවේ. වරායේ සිට තෙල් ගෙන යන නළයක සුවිශාල සිදුරකින් බොරතෙල් අපතේ යන බව වාර්තා වුයේ මෑතකදීය. මේ වැලැක්විය හැකි නාස්තිකාර ක්‍රියා වේ. මේ අපා ආරංචි වන ස්වල්පයක් පමණි: නොදන්නා දේ කොතෙකුත් ඇත්ද ?

දැන් අප අභ්‍යවකාශ යුගයකට යන බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව 2015 වසර වන විට ලංකාවේ අජටාකාශගාමියෙකු අභ්‍යවකාශයට යනු ඇත. යන්නේ කවුදැයි සැම දෙනාම හොඳින් දනී.. ඒ පිළිබඳ තරඟ කිරීම අනවශ්‍යය. නමුත් යන්නේ ඇයිදැයි කිසිවෙකු නොදනී... අප අභ්‍යවකාශයේ සොයන්නේ කුමක්ද ? අප අභ්‍යවකාශයට ගොස් ගෙන එන්නේ මොනවාද ? අපට අභ්‍යවකාශය ජය ගැනීමට තවමත් අවශ්‍යතාවයක් නොමැත. මක් නිසාද යත්, අප තවමත් අභ්‍යවකාශ යුගයෙන් බොහෝ ඈත සිටින රටකි. අසල්වැසි ඉන්දියාව වත් තනිව අජටාකාශගාමියෙකු අභ්‍යවකාශයට යැවුවේ නැත. නාසා ආයතනයේ පුහුණුව ලැබූ ඉන්දීය අභ්‍යවකාශගාමීන් සිටිති. එසේම එවැනි භාරදූර කටයුත්තකට මනා පුහුණුවක් අවශ්‍යය. ගුරුත්‍වජ ත්‍වරණයට ඔරොත්තු දීමට පුහුණු වීම, යානයේ ක්‍රියාකාරීත්‍වය පිළිබඳ පුහුණුව ආදී දහසකුත් එකක් දේ පුහුණු විය යුතුය. මේ සඳහා නාසා ආයතනය නියමුවන් පුහුණු කරන්නේ වසර හත අටක කාලයක් ගතකරමින් ය. අභ්‍යවකාශයට ගොස් ඉගෙන ගැනීමට දෙයක් අපට තවමත් නොමැත. පණිවුඩ චන්‍ද්‍රිකාවක් හෝ වෙනත් වටිනා යමක් යැවුවේ නම් ඉන් ආදායමක් හෝ ප්‍රයෝජනයක් හෝ ලැබිය හැක. නමුත් කෙනෙකු අභ්‍යවකාශයට ගොස් ඒමෙන් කිසිවකු ලබන පළ ප්‍රයෝජනයක් නැත. වාර්තාවක් තැබීමට පමණක් අභ්‍යවකාශයට ගොස් පළක් නැත.

අප නිෂ්පාදන ආර්ථිකයක් පදනම් කරගෙන සිටි රටකි. අපේ අපනයන භෝග වූයේ තේ, රබර්, පොල්, ආදියයි. කුළුබඩු ද තරමක හොඳ ආදායම් මාර්ගයක් වී ඇත. නමුත් දැන් අපේ නිෂ්පාදන පහළ යමින් සිටී. අපේ අදායම් මාර්ග දැඩි තරඟයකට මුහුණ පා ඇත. කම්කරු ශ්‍රමය තිබුණත්, එහි මිල චීනය, ඉන්දියාව හා සම කළ නොහැක. එසේම  වෘත්තීය සමිති කිහිපයකටම ගොදුරක් වූ අපේ කම්කරු ප්‍රජාව යුතුකම් ඉටු කිරීමට වඩා අයිතිවාසිකම් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. අප තවමත් විකුණන්නේ ලාභ ශ්‍රමයයි. පුහුණු කම්කරුවන්, පුහුණු ශ්‍රමිකයන් විකිණීම පසෙක ලාභ අමුද්‍රව්‍යයක් වන ගෘහ සේවිකාවන් පිටරට පැටවීම සිදු කරනු ලබයි. මේ අපේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකින් එකකි. අනෙක සංචාරක ව්‍යාපාරයයි. රට වටා හෝටල හැදුවාට එය සාර්ථක නොවේ නිසි ක්‍රමවේදයකින් අප රටට පිටරටින් සංචාරකයින් ඇද ගනීම සිදු කළ යුතුය. 95000 වන සංචාරකයා පැමිණි බව සැබැවි. නමුත් අප උත්සාහ ගත්තේ නම් 150,000 ක ඉලක්කය වුවද සපුරාගත හැකිව තිබිණ. ඉන්දියානුවන් සහ චීනුන් පැමිණීම අපට ලාභදායක නොවන්නේ උන් ලාබෙට කන්නට ගෙදරින් රොටි ගේන ජාතියක් වීම නිසාය. එසේනම් අප යුරෝපීය සහ ඇමරිකානු සංචාරකයින් ආකර්ෂණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දැනටමත් ග්‍රීසිය, මධ්‍යධරණී දූපත්, බහමාස් දූපත් සිය රටවල සංචාරක ව්‍යාපාරයන් යුරෝපයේ ප්‍රචලිත කිරීමට ආකර්ෂණීය වෙළඳ දැන්වීම් පළකරති. නමුත් අප රටේ ස්වභාව සෞන්දර්යය සහ ආගන්තුක සත්කාර ගැන අවධානය යොමු කිරීමත්, සංචාරක වෛද්‍ය ප්‍රතිකාර (Medical Tourism) ප්‍රචලිත කිරීමෙන් අපට බොහෝ ඇමරිකානු සංචාරකයින් ගෙන්වාගත හැකිය.

මේ ක්‍රම දෙක හැරෙන්නට අපේ පැරණි අපනයන භෝග වූ තේ, රබර්, පොල්, වලට ලැබී ඇත්තේ නරක කළ දසාවකි. පොල් කේරලයෙන් ආනයනය කරන තත්ත්‍වයට අප පත්ව ඇත. තේ වලට කසල තේ එකතු කර ලාභ ලැබීමට ක්‍රියා කිරීමෙන් ලොව පුරා ප්‍රචලිත ශ්‍රී ලංකා තේ (Ceylon Tea) නාමය අපවිත්‍ර කරගෙන ඇත. දැනටමත් කෙන්යාව සහ චීනය ලෝක තේ වෙළඳපොල ආක්‍රමණය කරගෙන යමින් පවතී. මෙයට අමතරව ඉන්දියානු ඇසෑම් තේ සහ චීන තේ අගය එකතු කළ තේ විශේෂ ලෙස වෙළඳ පොළට එකතු කිරීමෙන් එම අංශයද තම අණසකට නතු කරගෙන ඇත. අපේ කුළුබඩු අපද්‍රව්‍ය එකතු කිරීම මගින් බාල කර ඇත. මිරිස් කුඩු සහ කහ කුඩු වලට වර්ණක එකතු කෙරේ. මේ නියැදීන් නිසි පර්යේෂණාගාරයක විශ්ලේෂණය කළ විට නිතැතින්ම බාල බව හඳුනාගැනේ... එවිට නිසි ලෙස අපනයනය කරන ආයතනයටත් අපනයන බාධක පැණවීම මගින් රටට අයවිය යුතු ආදායම පවා අහිමි වේ.

නමුත්, අපට කළ හැකි දෑ බොහෝය. මේ සියල්ලට නිසි කළමණාකරණයත්, තම නිලයට වග කියන නිලධාරීන් පත් කිරීමත්, ඔවුන් නිතිපතා ඇගයීම සහ අධීක්‍ෂණය (Evaluation and monitoring ) මගින් පාලනය කළ හැක. නමුත් සිදු නොවන්නේ ද මෙයමයි. කිසිවෙකු සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරනවා පෙනෙන්නේ නැත. සියල්ලන් ජාමෙ බේරාගෙන ක්‍රියාකරන ආකාරයක් පෙනෙන්නට ඇත...

ශ්‍රී ලංකාව යනු රටක් සහ වපසරිය අනුව සලකන කල අප්‍රමාණ ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇති, එමෙන්ම ඉතා වටිනා මානව සම්පතක් ඇති රටකි. නිසි ලෙස පාලනය සහ කළමණාකරණය කරන්නේ නම් ආසියාවේ ආශ්චර්යය වීම අපට නොහැක්කක් නොවේ. නමුත් ආණ්ඩුවේ අනවශ්‍ය නාස්තිය කිසිවෙකුට පාලනය කළ හැක්කක් ලෙස නොපෙනේ. එය පාලනය කළ හැක්කේ ද බලය ඇති අයටමය. කිසිවෙකු ඒ සඳහා අවධානයක් යොමු කරනු නොපෙනේ.... දිනෙන් දින අප යන්නේ අගාධයටය....

අප අභ්‍යවකාශය ජය ගැනීමට ප්‍රථම කළ යුතු දෑ බොහෝය. එක් අයෙකු අභ්‍යවකාශය ජය ගත්තාට රටකට ඇති පලක් නැත. අපෙ සතු වටිනා දරු සම්පතම ඒ ජයග්‍රහණය කරා කැඳවාගෙන යා යුතුය. ඒ සඳහා අප පාසැල් පද්ධතිය, අධ්‍යාපනය ශක්තිමත් කළ යුතුය. මේ නාස්ති කරන මුදල්වලින් යම් ප්‍රමාණයක් ඒ සඳහා යෙදෙවූවේ නම් ප්‍රතිඵල දැනටම ලබාගෙන අවසන්ය. විශ්ව විද්‍යාලයට නොතේරෙන  තරුණ පරපුර නිසි ලෙස අධ්‍යාපනය අවසන උසස් තාක්‍ෂණික හෝ වෙනයම් පාඨමාලා හැදෑරීමට අවකාශ ලබා දීම මගින් දැනුමින් සන්නද්ධ කළ යුතුය. අනෙක් රටවල් පිම්මේ යනවිටඅප බඩගාගෙන යන්නේ නම් ඒ දියුණුව ප්‍රමාණවත් නොවේ. එසේම විදේශීය ණය වලින් ලබන සංවර්ධනයේ පොලිය ගෙවන්නේ අනාගත පරපුර බව කිසිවෙකු නොසිතයි... රටක සැලසුම් සැකසිය යුත්තේ අවුරුදු 10 ක අනාගතය පිළිබඳ සළකා බලමිනි. එසේම රටක ප්‍රධාන අංශ කෙරෙහි අනාගතයට සරිලන ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුය. දියුණු රටවල් ඒ තත්ත්‍වයට පත් වූයේ තම පක්‍ෂය හෝ තම පුද්ගලික න්‍යායපත්‍ර අනුව ක්‍රියා කිරීමෙන් නොව රටකට සරිලන න්‍යායපත්‍රයකට අනුව ක්‍රියා කිරීමෙනි.

රටක බාගයක් බඩගින්නේ සිටිත්දී අගනුවර සැණකෙළි පැවැත්වීමෙන් ලබන සංවර්ධනය කිම ?
ඔවුහු කවදා මේ සත්‍යය වටහා ගනීවිද ?


Friday, December 21, 2012

පශ්චාත් ලෝක විනාශ ලග්න පලාපල....2013 මට නං කුජීතයි... ඔබට කොහොමද ?

ලෝක විනාසය අවසන්ය, මගේ වටේම ඉන්නා ග්‍රහයන් එක එක පැත්තට මාරු වී ඇත... දැන් මගේ පලාපල බලා ගැනීමට හොඳම කාළයයි. කණ්ගැට්ටා ද හොරකම් කළේ රාහු කාළය පන්නලා බැවින් මේ කතා බොරු වීමට බැරිය... මේ අන්තර් ජංජාලයෙන් හොයා ගත් මගේ ලග්න පලාපල ය... මම මේස ලග්නයේ වුනත් කරන්නේ වෘෂභ වැඩ නිසා ඇත්තටම මොන ලග්නයේදැයි කියා හිතා ගැනීමට නොහැක... ඉතිං මේ ලිපියේ රතු පාටින් තියෙන්නේ මගේ ලග්න පලාපල විග්‍රහයයි.. නිල් පාටින් තියෙන්නේ ඔරිමජිනල් විස්තරයයි.....


මේ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්චව 10 වැන්නේද, ගුරු දෙවැන්නේ ද, සඳු 4 වැන්නේ ද, ශනි සහ රාහු 07 වැන්නේද, සිකුරු 8 වැන්නේද, රවි බුධ 9 වැන්නේද, කේතු ලග්නයේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවෙනු ඇත. කෙළියා නේද ලොක්කා...පටන් ගත්ත ගමන්ම..... දැන් ඉතිං මොනවා කරන්න ද ? වෙච්ච දේවල හැටියට මේ වසරෙ ඉතිං වැටෙන්න තියෙන්නෙ පැදුරෙන් බිමට තමයි...


ධනය


මිල මුදල් ලාභ ලැබේ.  නියමයි. ආදායම වැඩිවේ. මිල මුදල් ලැබුනාම ආදායම වැඩි වෙනවා නේන්නම්.... පඩි වැඩි වේ. ලංකාවෙ නෙවෙයි නෙ ඉන්නෙ...  රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ මුදල් හානි වේ. ඔන්න ඔන්න... මගේ රාහු හතේ නෙ... සෙනසුරාත් හතේ... හයියෝ.... අර මුලින් ලැබෙනවයි කියපු සල්ලි..... අයියෝ සල්ලි....අධික වියදම් ඇති වේ. ආදායම වැඩි වෙනකොට වියදම වැඩි වෙනවා... එතකොට අර මුලින් ලැබෙනවයි කියපු සල්ලි ? රෝගාබාධ සඳහා මිල මුදල් වැය කිරීමට සිදු වේ. විවාහ වූ අයට නම් බිරිඳට හෝ ස්වාමියාට ධන ලාභ හෝ සැප ලැබෙන කාලයකි. බිරිඳට ධනය ලැබෙනවා තමයි... මගේ සම්පුර්ණ පඩියම දෙන්නෙ එයාට තමයි... සැප... පෞද්ගලික දේවල් ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න බෑ අප්පා... කෙටියෙන්ම කිවුවොත් සැප කණේ තමයි...


රැකීරක්‍ෂා


රැකීරක්‍ෂා වලින් උසස් වීම් ලැබේ. බම්බුවක් කතා කරනවා.. මීට වඩා උඩ යන්න බෑ මෙතන... වෙළ හෙළදාම් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. කරන එකම බිස්නස් එක මේක තමයි... භාරගෙන කරන වැඩ වලින් හෝ ආරම්භ කරන වැඩ වලින් ලාභ හා දියුණුව ඇති වේ.  ඔන්න කට්ටිය මට වැඩ බාර දෙන්ඩෝ.... අලූතින් රැකී රක්‍ෂා ලැබේ. උසස් වීමක් ලැබුණ ගමන්ම අළුතෙන් රස්සාවකට යන එක ඒ තරම් හොඳ නෑ නේද ? ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට කරගෙන එන රැකී රක්‍ෂා වලට අවහිරතා හෝ සමහර විට රැකී රක්‍ෂා නැති වීමටද ඉඩ ඇත. හුටා..... සනියා හතේ.... දැං ඉතිං රාගම ඉස්ටේසමේ ලේන්සුවක් එලාගෙන ඉන්න තමයි වෙන්නෙ...තනතුරු දරන අයට ස්ථාන මාරුවක් හෝ වෙන පලාතකට යාමට සිදු වේ. තනතුරු දරන්නෙ නැත්තෙ කවුද අප්පා... ඔහොම වුනොත් ඉතිං ඔක්කොටම මාරු වෙන්න වෙනවනෙ....


ගෘහජිවිතය


ගරු නම්බු ලැබේ. ඔව් ඔවු... ඇල්කෙමිච්චි ටිකක් ගරු සරු ඇතුව කතා කරනවා නං තමයි... සැපවත් කාලයකි. ආයෙත් අහලා.... රසවත් කෑම බීම සංග‍්‍රහ ආදිය ලැබෙන්නට පුලූවන. මෙච්චර කලා නොකා නෙ හිටියෙ...  වාසනාව මතුවන කාලයකි. වාසනාව දොර ඇරලා බලනවා.... උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඔන්න ... කට්ටිය මට මතක ඇතුව ඉන්විටේෂන් එවාන්ඩ හොඳේ.... ඥාති මිත‍්‍රයෝ තමා සොයාගෙන එයි. උන් ඔහොමමයි... සල්ලි ලැබෙනවා කිවුවාම බලන්න එනවා... ඔවුන්ගෙන් උපකාරද ලැබේ. ආ එහෙම නං කමක් නෑ...  ශුද්ධ භූමි වලට යාමට ඉඩ ලැබේ. සුද්ද වෙලා එන්න වෙයිද දන්නෙ නෑ... සතුරන් ගෙන් ජය ලැබේ.අඩෝ.... කෝ සතුරෝ ? පවුලේ පිරිස වැඩි වේ. හුටා....  මදැයි.. ආදායම... සමහර විට දරු උපතක් හෝ ඇති වේ. හුටාම තමයි... යන තැනක කොන්ඩම් දහයක් විතර අරන් යන්න වෙයි.. සුදුසු වයස නම් විවාහය හෝ කම්සැප හෝ ස්ත‍්‍රී සැප ඇති වේ. කම් සැපට ඉතිං වයසක් කොහෙන්ද ? නැට්ට කෙළින් වෙනව නං ඉතිං සැප තමයි.. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉතා යහපත් කාලයකි. උගන්වන අදහසකුත් තිබුණා තමයි... ටියුෂන් පන්තියක් දාගන්න ඕන... කම් සැපත් වැඩි වෙනවා කියලා තියෙනව නෙ...


සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයට දරු ශිෂ්‍ය ආදීන්ගෙන් වෙන්වීමක් සිදු වේ. ඔව් ඉතිං... ටියුෂන් පන්තියෙ හැමදාම ලමයි එන්නෙ නෑනෙ... මහජනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් දෝෂාරෝපනවලට හසුවේ. ඒකට ඉතිං කුඩා ජනයා එක්ක කටයුතු කරනවා ..... ප‍්‍රසිද්ධ සතුරන් ඇති වේ. කමක් නෑ... සතුරන්ගෙන් ජය ලබනවා කියලා ඉස්සෙල්ලා කිවුවනෙ.... කෝ සතුරෝ... ආ ? රාජ දඩුවම් පවා ලැබිය හැකිය. බ්ලොග් එක වහලා දාන්න වෙයි...  ගොවිතැන් වැඩ කරන අයට ඒවා පාලූ වීමෙන් අලාභ හානි ඇති වේ. අපරාදෙ වවපු ගංජා ටික....  පවුලේ කරදර මතු වේ. කම් සැප වැඩි වෙනවා කිවුවම මම දැන ගත්තා ඔය ටික වෙයි කියලා... දේශපාලන කටයුතු වල නිරත වන අයට ප‍්‍රයෝජන ලැබිය හැකි කාලයකි. සුභ අනාගතයක්.... නිතර ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩ වලට බාධා හා ප‍්‍රමාද වීම් ඇති වේ. ඇයි යකෝ රස්සාවට යන්නෙ නැද්ද මම ? තම ස්වාමිපුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් වෙන් වීමට සිදු වේ. දරු උපතක් ගැන කිවුවාම මම හිතුවා.... කම් සැපත් ලැබෙනවලු නෙ... ටියුෂන් පන්තිය නොදා ඉන්නවා.... බොරු චෝදනා වලට හසු වේ. නෑ අනේ... මම එහෙම දෙයක් කළේ නැහැ... ඔය ගෑණුන්ගෙ බොරු.... තද ලෙස සිත් කම්පා ඇති වීමට කරුණු යෙදේ. ඇත්තනෙ.. මෙහෙම බොරු චෝදනා කොහොමද ඉවසන් ඉන්නෙ ? තමාගේ තිබුණ සැප සම්පත් එක් අතකින් හීන වී යයි. අයියෝ... දුක සැප නිති පෙරළේ... රිය සක ලෙස මේ පොළවේ.... මේ කාලයේ නඩු හබ වලට පැටලූන හොත් ඉන් තමාට අවාසි විය හැක. ඔන්න කිවුවා.. ඩිවෝස් නං වෙන්න බෑ.... බොහෝ කැලබිලි සහිත චංචල සහගත කාලයක් වේ. කැළඹෙන්නෙ නැද්ද අප්පා මේ වෙන වැඩ වලට..නොයෙක් ආකාරයේ වැදගැම්මකට නැති හිංසා පීඩා ඇති වේ. අහිංසක මටමයි වෙන්නෙ...


අධ්‍යාපනය


අමුතු දේ ඉගෙන ගැනීමට හා දැන ගැනීමට ඉඩ ලැබේ. අන්න.. අළුත් කට්ටිය ආස්සරේ කරන්න ගියාම දැනුම වැඩි වෙනවා.. ඥාණය වැඩි දියුණු වේ. ඉගෙන ගන්නකොට ඥාණය වැඩි වෙන්න එපායෑ... විභාග වලින් ජය ලැබේ. ඥාණය වැඩි වෙන කොට විභාග වලින් ජය ලැබෙනවනෙ අප්පා... වර්ෂය මුල කාලයේදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ රටවලට යාමට සිදු විය හැක. ඉතිං දැං ඉන්නෙත් විදේශ රටකනෙ... තව කොහේ යන්න ද? 


සෞඛ්‍යය


තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීප වැලඳෙන්න පුලුවනි. දැං කිවුවෙ සැප වැඩි වෙනවා කියලා... එක දෙයක් කියන්න අප්පා.. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට ලිංගා බාධ, හ්ම්....  වාත ආබාධ, පඩ නං යනවා වැඩියි තමයි..  හිරිවාත, හිරිවාතෙ ඉතිං ඇරගන්න බැරියෑ මසාජ් එකකට ගියාම.... අජීර්ණ රෝග ආදිය අසනීප වලට ඉඩ තිබේ. ඉඩ තිබේ කියන්නෙ.. නොකා ඉන්නද කියන්නෙ ? ශරීර ශක්තිය හීන වේ. වැඩ වැඩි වුනාම එහෙම වෙනවා තමයි.. මෝජෝ එක බහිනවා... විශේෂයෙන් මුත‍්‍රා දෝශ, අර ලිංග දෝශ වලට අදාල එකක් වෙන්න ඇති... ධාතු දුර්වලත්වය, ඉතිං හත් ඉලවුවෙ දැං කිවුවා නේද දරු සම්පත් ලැබෙනවා කියලා.. ඊට පස්සෙද ධාතු දුර්වල වෙන්නෙ ? ඕක ඉස්සර වෙලා වෙන්න තිබුණෙ නැද්ද ? වකුගඩු වල ආබාධ ඇතිවිය හැකිය. ආ... වකුගඩු ආබාධ නිසා වෙන්න ඇති මුත්‍ර දෝශ ඇති වෙන්නෙ.... ඇතැම් විට ශල්‍යකර්මයක් හෝ කිරීමට තරම් අසනීප ආබාධ වැලඳීමට ඉඩ ඇත. වකුගඩුවක් ඕනෑ කර තිබේ.... පින්වතෙක් සිටී නම් දන්වන්න.........


ඔන්න ඔහොමයි මගේ ලග්න පලාපල.... බලාගෙන ගියාම මේ අවුරුද්දෙ සෙත්ත පෝච්චි වෙයි වගේ.... ඉතිං මේක මට විතරක් නෙවෙයිනෙ... ලෝකෙ පුරාම ඉන්න මේස ලග්න කාරයොන්ට සිද්ද වෙන අකරතැබ්බයක් නෙ... හොඳවැඩේ ඕකුන්ට... මට විතරක් කෙළවිලා හරියන්නෙ නෑනෙ...


ඉතිං ඔබටත් මේ ලග්න පලාපල බලාගන්න ඕන නම් යන්න මේ ලිපිනයට... ගිහිල්ලා විග්‍රහයක් කර ගන්න... අත්දුටුවයි සත්තයි... කෙළවුනාම දේවශාන්ති කරන්න අප ළඟට එන්න....
http://ceylonastro.com/lagna-palapala-2013.html

Thursday, December 20, 2012

අළුත් ලෝකයක හමුවෙමු.... එය පැතුමක් පමණක්ම වේද ?


හෙට ඇරඹෙන අළුත් ලෝකය..
හෙට නිමවන පරණ ලෝකය..
අනාවැකි බොහෝය, සම-හරක් හෙට ලෝක විනාශය වන බව පවසති. තවත් සමහරක් එසේ නොවන බව පවසති. අවාසනාවකට මේ පාර්ශව දෙකෙන් එකක් අනිවාර්යයෙන් පරදිනු ඇත. 22 වනදා උදෑසන අවදිවන සියළුම දෙනා නැවතත් පෙර පරිදිම සිය කාර්යයන් කරගෙන යනු ඇත. 22 වනදා වෙනස් දිනයකි. බොහෝ දෙනෙකු රැකියා සඳහා නොයනු ඇත. දරුවන් පාසැල් නොයනු ඇත. ඒ 22 වනදා  සෙනසුරාදා දිනයක් නිසාය. නමුත්... ලෝකය 21 වනදා නිම වන විට විනාශ වුවත් නැතත්, අප ආ ගමන් මඟ දෙස නැවත හැරී බැලීමට කාළය එළඹ ඇත. එයට මීට වඩා උචිත දිනයක් තවත් දිනක නොඑළඹෙනු ඇත.
අප යන්නේ කොහිද ? අප යනුවෙන් මෙතැනදී අදහස් කරන්නේ ශ්‍රී ලාංකික අපය. ශ්‍රී ලාංකික අප සම-හරක් අය විසින් කොටස් කීපයකට විවිධාකාරව වර්ග කරගෙන ඇත. සිංහල - ද්‍රවිඩ - මුස්ලිම් - සහ වෙනත් . බෞද්ධ - හින්දු - මුස්ලිම් - කතෝලික ආගම් - වෙනත්. අධික පොහොසත් - උසස් මධ්‍යම පාන්තික - මධ්‍යම පාන්තික - දුප්පත්. බලවත් - තරමක් බලවත් - දුබල.... මේ සියළුම වර්ගීකරණයන් අප කරගෙන ඇත්තේ Homo sapiens sapiens  නම් A, B, AB, සහ O රුධිර ඝණ සිරුරේ සංසරණය වන, එකම DNA සංයුතිය ඇති එකම සත්ත්‍ව විශේෂයට වීම විද්‍යානුකූලව බලන කල ඉතාම දුබල වර්ග කිරීමකි.
අද අප බොහෝ කාණ්ඩ වලට බෙදී උනුන්ට නිග්‍රහ කර ගනිමින්, තමා වඩාත් උසස් යැයි කියමින්, මුහුණු පොතේ පින්තූර බෙදා ගනිමින්, බ්ලොග් අවකාශයේ තම මතය පතුරවමින්, තමා නියෝජනය කරන පාර්ශවයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටිති. මෙයින් ඔබ්බට යන තවත් සමහරු අන්‍ය ආගම් වලට අයත් පන්සල් පල්ලි කෝවිල් වලට සහ ආගමික සංකේත වලට නිග්‍රහ කරමින් තමන්ගේ බලය පෙන්වති. මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ මේ පුද්ගලයින් කිසි කෙනෙකු ඒ ඒ ආගම්වල කියැවෙන මූලික හරය තේරුම්ගෙන ක්‍රියා නොකරන බවයි. සෑම ආගමක්ම මූලික වශයෙන් එක හා සමාන යැයි මා වෙනත් ආගමක් ප්‍රචාරය කරන පුද්ගලයෙකුගේ වෙබ් අඩවියක් දැමූ ප්‍රතිචාරයට ඔහු අපූරු ලිපියක් ලියා තිබුණි. එහි සාරාංශය අනුව මතුපිටින් බැලූ කල සියළුම ආගම් එක සේ පෙනුනත්, ගැඹුරින් හදාරන විට ඒවායේ වෙනස්කම් ඇති බව ප්‍රකාෂ කර තිබුණා. නමුත් මට පෙනෙන්නේ එහි අනෙක් පැත්තයි. බොහෝ ආගම් පිටතින් වෙනස් වුවත්, ගැඹුරින් සිතා බැලීමේදී ඒ සියල්ලෙහි හරය සමාන බවයි. ඉතිහාසඥයින් සහ සාහිත්‍යධරයන් විසින් විවිධ ආලවට්ටම් දමා ආගම් විග්‍රහ කර තිබුණත්, මගේ මතයේ හැටියට නම් සියළුම ආගම් වලින් කෙරෙන්නෙ පුද්ගලයා සමාජයට හැඩ ගැස්වීමක්, විනයානුකූල කිරීමක්, සංයමයක් ඇති කිරීමකි. අවාසනාවකට මෙන්  සමාජයේ වෙසෙන 98 % ක් දෙනා කිසිම ආගමක් ගැඹුරින් හදාරන්න පෙළඹෙන්නේ නැත. මේ නිසා ඔවුනට අවශ්‍ය මතුපිටින් පෙනෙන සත්‍යය පමණි. මේ නිසා අප බොහෝ දෙනෙකු ලොකු ආගම් භේදයක් මවාගෙන  තම මතය ශපථ කරන්නට උත්සාහ කරමින් සිටිති. නමුත් මේ සියල්ල අවසානයේ අප මෙලොව හැර දමා යන විට කිසිවක් ගෙනයන්නෙ නොමැති බව කිසිවෙකුටත් අවබෝධ නොවේ. නමුත් කෙසේ හෝ මේ හැම ආගමකම පෙර නොවූ විරු ක්‍රියාශීලී භාවයක් දක්නට ඇත. දැනටම පෙනී යන අන්දමට බෞද්ධ - මුස්ලිම් ආතතියක් ඇතිවී තිබේ. මෙය ඉතා භයානක තත්ත්‍වයකි. අවුරුදු 30 කට අධික යුද්ධයකින් බැට කෑ ශ්‍රී ලංකාවට නැවතත් අරගලයක් අවශ්‍ය නැත. මිනිසුන් ජීවත් වන්න කරගෙන යන අරගලය හොඳටම ප්‍රමාණවත්ය.
දැන් ඇඟට දැනෙන සරළ සිංහලෙන් ලියන්නම්.....
පශ්චාත් යුධ වාතාවරණය නිසාම අපරාධ වැඩ වීමක් පෙන්නුම් කරනවා. නීතිය තමන්ට හැකි පරිදි වෙනස් කිරීමට හැකියාව ඇති  නිසාම දැන් දැන් මිනිසුන් අපරාධ කිරීමට ඇති බිය අඩු වෙමින් පවතිනවා. රුපියල් 500 කට මිනී මරා ගන්නෙත්, සාක්කි දීම වැලික්වීමට සාක්කිකරුවන් මරා දමන්නෙත්, ගම බලය පෙන්වීමට දෙනෝ දාහක් මැද්දෙ කපා කොටා මරා දමන්නෙත්, තමන්ගෙ අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන යාම පිණිස තම විවාහක බිරිඳ සහ තම ලෙයින් හැදුනු දරුවා මරා දමන්න මිනිසුන් පෙළඹෙන්නෙත් මෙන්න මේ අධ්‍යාත්මික පිරිහීමත්, නීතිය පිළිබඳ මිනිසුන්ගේ ඇති අවිශ්වාසයත් යන දෙකම නිසා. මිනිසුන් නීතියට බිය නැති වුවාම ම්ලේච්ඡයන් වෙනවා කියන දේ දැන් දැන් ඇස්පනාපිටම පෙනෙන්නට පටන් අරන් තිබෙනවා.
මේ සියළුම දෙනා ආගම් භේදයකින් තොරව ජීවන අරගලයට යුධ කරමින් සිටිනවා. එසේම මේ හැම දෙනාම අමතක කරන පැත්තක් වන්නේ අපට සහ අනාගත පරපුරට ජීවත් වීමට ඇති පරිසරය විනාශ කිරීම. එය නම් ජාති භේදයක්, පන්ති භේදයක් නොමැතිව ජයටම කෙරීගෙන යනවා. දියුණු රටවල් මෙයට දක්වන දායකත්‍වය වැඩියි වගේම ඔවුන් ඒ සිදුවීම් වැලැක්වීම සඳහා දක්වන උනන්දුවත් වැඩියි. මේ නිසාම ජනතාව දැනුවත්වීම ඒ රටවල වැඩි වෙනවා. නමුත් ලංකාවෙ සිදු වෙන්නෙ එහි අනිත් පැත්ත. වසර කිහිපයකට පෙර ලංකාව කාබන් මුදා හැරීම අතින් පහළ මට්ටමකට ගෙන ආ යුතුයි කියු ඇමතිතුමාම අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් පිට කරන ගල් අඟුරු බලාගාර තැනීමට ක්‍රියාකරගෙන යනවා. ලොව දියුණු රටවල් හරිතාගාර ආචරණය නිසා අළුතින් නිරාවරණය වූ ධ්‍රැව පෙදෙස්වල ඉන්ධන සෙවීමට ක්‍රියාකරමින් පවතිනවා. මේ අපට බණ දෙසන අයගෙ ක්‍රියා කලාපයන්. සියළුම දෙනා ඇදෙන්නෙ ලාභදායී දේ සඳහා. පරිසරය විනාශ වුවත් තමන් ලාභ ඉපැයීම, අනුන් මරා හෝ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම ආදී සියළුම ලක්‍ෂණ පෙන්වන්නේ මිනිසා නැවතත් වනචාරී යුගය කරා ඇදී යාම.
අපි මේ තතත්‍වයෙන් මිදෙන්නෙ කෙසේද ? මෙයට විසඳුමක් තිබේද ? ලෝක විනාශයක් සිදු විය යුත්තේ මේ අවිචාරවත් මිනිසා නැවත සමාජගත කිරීමටද ?  මිනිසා සමාජගත කිරීමේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ආගම මගින් අවබෝධය ලබා දී මිනිසා සත්පුරුෂයෙක් බවට පත් කිරීම. අනෙක වන්නේ දැඩි නීති රීති අනුගමනය කිරීමත්, නීතිය නිසි ලෙස සැමට එකසේ ක්‍රියාත්මක කර සමාජය දැඩි පාලනයකට නතු කර සමාජගත කිරීමත් යන ක්‍රමයයි. නමුත් අවාසනාවකට මේ ක්‍රම දෙකම ලංකාවේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ආගමිකව මිනිසා යහමග යැවිය යුතු උදවිය වෙනත් කාර්යයන්හි නිරත වෙලා. ඔවුන් මෛත්‍රිය පැතිරීම වෙනුවට වෛරය, බෙදීම පතුරවනවා. එකම ආගමක වුවත් විවිධාකාර කල්ලිවාදයන් ඇති වෙලා. බුද්ධාගමේ විවිධ දර්ශනයන්, කතෝලික ආගමේ තවත් නිකායවල්, මුස්ලිම් ආගමේ කල්ලි අතර යුද්ධ, මේ නිසා මිනිසාට ආගමකින් බලාපොරොත්තු වන සහනය සහ මඟපෙන්වීම ලැබෙන්නෙ නැහැ. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ කිරි වෙහෙරේ මල් විකුණන ගැහැණු ළමයින්ගේ "අනේ අපෙනුත් මල් ගන්න" හා සමාන මාකටින් එකක්. නීතිය පැත්තෙන් ගත් කළ බලවත් ධනවත් අයට එක නීතියකුත්, දුබලයාට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ බව අපි මෑතකදී සිදු වූ සිදුවීම් වලින් පැහැදිලිවම දුටුවා. මේ නිසාම සාමාන්‍ය මිනිසාට නීතිය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසාම ඔවුන් නීතිය අතට ගන්නවා. අවාසනාවකට මේ නීතිය අතට ගත් අය ආරක්‍ෂා කරන්නත් බලවතුන් සැදී පැහැදී සිටිනවා.
මෙයයි තිත්ත ඇත්ත... මිනිසුන්ට සිතන්න යොමු කරන්නෙ නැහැ. ජනමාධ්‍ය පවා මිත්‍යා විශ්වාස පතුරවනවා හැරෙන්න බුද්ධිමය සංවාදයක් ගොඩ නඟන්නෙ නැහැ... ඔවුන් ඒ සඳහා ආයෝජනයක් කරන්නෙත් නැහැ. ඒ ඔවුනට එය ලාභදායී නොවන නිසා. බොහෝ ජනමාධ්‍ය මුල්තැන දෙන්නෙ මිත්‍යා විශ්වාස වලට. මා පෙර සඳහන් කළාක් මෙන් ජනමාධ්‍ය කරන්නේ වාර්තාකරණය පමණයි: විග්‍රහය අමතක කරලා.
මෙන්න මේ නිසා ලෝක විනාශය සිදු විය යුතුයි කියා මා සිතනවා. ලෝක විනාශය සිදු වන්නෙ නැහැ... නමුත් මිනිසා විනාශ විය යුතුයි. මේ වසරේ සිදු නොවුනත් මිනිසා සිදු කරගෙන යන මේ පාරිසරික විනාශය නිසා ළඟදීම ලොකු විනාශයක් සිදු වේවි. ලෝකය විනාශ වී සියළු දේ නැවත ඇරඹීමට මිනිසාට සිදු විය යුතුයි. මිනිසා නැවත සිය ආත්මාර්ථකාමී ලෝකයෙන් මිදී මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි යන මතයේ සිට ක්‍රියා කළ යුතුයි. මේ සියල්ල අවසන අපට ඉතිරි වන්නේ කුමක්ද යන්න සැමටම සිතා බැලිය යුතු කාළයක් පැමිණ තිබෙනවා. නැවත මිනිස් සිත් සතන් තුළ මානව දයාව ගොඩ නැඟීමට ලෝකය විනාශ විය යුතුයි...
ඔබ හිතන්න. ඔබ අද දවසේ අනුන් වෙනුවෙන් යමක් කළාද කියා. ඔබ තම් වෙනුවෙන් දහසක් දේ කර ගන්න ඇති. නමුත් අනුන් වෙනුවෙන් අඩුම ගණනේ දොරක් වත් ඇරලා දුන්නාද ? හිඟන්නන්ට නම් සල්ලි දීම අපරාධයක්... මොකද කියනවා නම් උන් අපට වඩා පොහොසත්තු... විස්තරේ මෙතැනින් බලන්න. ලෝකයේ අමරණීය මිනිසුන් කිසිකෙනෙකු තමා වෙනුවෙන් යමක් කරගෙන අමරණීය වුනේ නැහැ. සී ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා තවමත් සිහි කරන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස, ලලිත් ඇතුලත්මුදලි මහතා ගැන කතා කරනවිට සිහි වන්නේ එතුමා ඇතිකළ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය. ගාමිණී දිසානායක මහතා තිස් වසරකින් නිමකළ යුතු මහවැලි ව්‍යාපාරය වසර හයකින් නිම කිරීම නිසා ඉතිහාසගත වනවා. ආර් ප්‍රේමදාස මහතා (මොනවා කළත්) තවමත් මිනිසුන් සිහි කරන්නෙ දුප්පත් මිනිසුන්ට නිවාස තනා දුන් කෙනෙකු විදියට. මහින්ද රාජපක්‍ෂ සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතුන් ඉතිහාසගත වන්නෙ තිස්වසරක යුද්ධය නිම කිරීම නිසා.  මේ ලංකාවෙන් ගත හැකි සරළ උදාහරණ කිහිපයක් පමණයි. ලොව වටා මෙවැනි උදාහරණ අනන්තවත්.
හෙට ඇරඹෙන අළුත් ලෝකය
හෙට ඇරඹෙන අළුත් ලෝකය
තමා සතු අමතර යමක් වේනම්, ඒ දේ අනුන්ගේ යහපත වෙනුවෙන් යෙදවීමට පසුබට වෙන්න එපා. එසේම තමා අත්විඳින්නට අකැමැති දෙයක් අනුන් වෙත සිදු කරන්න යන්නටත් එපා. එයයි සරළම නීතිය.
යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී..
What we have done for ourselves alone dies with us; what we have done for others and the world remains and is immortal.
ඒ මා අදහන පරම සත්‍යය....
හෙට මේ ලෝකය විනාශ වුවත් නැතත්, අපට අළුත් ඇරඹීමක් කළ හැකියි...
ඒ අළුත් ලෝකයේදි අළුත් සිතුම් පැතුම් හද පුරවගෙන අපි හමු වෙමු ! ඊට පස්සෙ අපි ලෝකය යහපත් තැනක් කරන්න වෙහෙසවෙමු... උත්සාහ කළොත් බැරි නෑ... හෙට ඉඳලා වෙනස් වෙමු. !