Tuesday, October 30, 2012

2012 ඔක්තෝබර් 30 : ලංකාවේ වසරකට ගබ්සා 250,000 ක් !!!! විධිමත් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවය අපට දැනෙන්නේ ලංකාවම සමාජ රෝගීන් වූවාට පසුද ?


ලංකාවට විධිමත් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවය පිළිබඳ මම මගේ බ්ලොග් අඩවිය තුළින් කතා කළේ මීට බොහෝ කලකට පෙර. ඒ ලිපියට මෙතැනින් යන්න. අද Daily Mirror  පුවත්පතේ තිබූ මේ ප්‍රවෘත්තිය දුටුවා මට ඇති වුනේ ඇත්තෙන්ම කණගාටුවක්. එයින් කියැවුනේ  ලංකාවේ වසරකට ගබ්සා 250,000 ක් සිදු වන බව... මෙය ඇත්තෙන්ම මිනීමැරුම් 250,000 ක් කිරීමක්. එනම් සමූලඝාතනයක්... පුවත්පතට අනුව දිනකට ගබ්සා 700 ක් ලංකාව තුළ සිදු වෙනවා ලු. ඇත්තෙන්ම මෙය අදහන්න පුළුවන් ප්‍රවෘත්තියක්ද කියලා මුලින්ම සිතා බලන්න අවශ්‍යයි. ගබ්සා 700 ක් දිනකට සිදු වනවා කියන්නේ තරුණියන් 700 ක් දෙනෙකුගේ අනාගතයේ අවිනිශ්චිත භාවය. හිතන්න....
ගබ්සාවක් කරන්නෙ මෙහෙමයි.

මේ තරුණියන් බොහෝ දෙනෙකු අනාගතයේ විවාහ වී දරුවන් ලැබ සිය පරපුර තවත් කාළයක් ගෙන යා යුතු පිරිසක්. මෙසේ ගබ්සා (එකක් හෝ වැඩි ගණනක්) කිරීම මගින් විනාශ වන්නේ ඔවුන් පමණක් නොවෙයි -ඔවුන් අනාගතය වෙනුවෙන් රැකගත යුතු මතු පරපුරයි. මතු පරපුර රෝගීන් වන විට රටේ අනාගතයට සිදු වන්නේ කුමක්ද කියා වර්තමානය වෙනුවෙන් අනාගතය බිලි දීම නමින් ලිපියක සඳහන් කළා. මේ තත්ත්‍වය ගැන කෑ මොර දෙමින් ගබ්සාව නීතිගත කිරීම හෝ නොකිරීම කළ යුතුද යන්න ගැන විවාද නොකර අපි කළ යුත්තේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමයි. ගබ්සාවට වඩා ගබ්සාව සිදු කිරීමට මුල් වන හේතුව වන අනාරක්‍ෂිත ලිංගික සබඳතා වැලැක්වීමට අප කටයුතු කළ යුතුයි.
මතක තියාගන්න... මේක දාන්නෙ කෙසෙල් ගෙඩිය වගේ එකට.... කෙසෙල් ගෙඩියකට නොවෙයි...

නාරිවේදය පිළිබඳ අමෙරිකානු සඟරාවක (Obstetrics and Gynecology) පළවන පර්යේෂණයක ප්‍රතිඵල අනුව සැකසුන මේ ලිපියෙන් කියැවෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ තරුණියන් අතර උපත්පාලන පෙති සහ උපත්පාලන කොපු නොමිලයේ බෙදා හැරියහොත් ගබ්සා සිදු කර ගැනීමේ ප්‍රතිශතය පවතින තත්ත්‍වයෙන් 40% - 71% ක් අතර ප්‍රමාණයක අඩුවීමක් සිදු විය හැකි බවයි. මේ පර්යේෂණය සඳහා පර්යේෂකයින් විසින් මිසූරි ප්‍රාන්තයේ ශාන්ත ලුසියා (St. Louis) ප්‍රදේශයේ වෙසෙන නව යොවුන් වියේ තරුණියන් (14-15) සහ වැඩුනු ගැහුණුන් 9000 ක් අතර ඉතා විශ්වාසදායී උපත් පාලන ක්‍රම ( පෙති, ලූප, සහ තවත් පහසු උපත්පාලන ක්‍රම) නොමිලේ  බෙදා හැර තිබෙනවා. ඒ අනුව ඔවුන් අධ්‍යයනය කර ඇත්තේ මේ කාණ්ඩයේ පිරිස අතරින් සිදු වන ගබ්සා ප්‍රමාණය 62% - 78% දක්වා ප්‍රමාණයක් අඩු වී ඇති බවයි.
ඔවුන්ගේම වදන් වලට අනුව නොමිලේ බෙදා හැරෙන උපත්පාලන උපකරණ නිසා සමාජයට සිදුවන යහපත සැලසුම් නොකළ ගැබ්ගැනීම් වැලැක්වීමට වඩා ඔබ්බට යන කාර්යයක්. ඒ අනුව උපත්පාලන උපයෝගීතාවය නිසා සහ ඒ හා සමගාමීව සිදු වෙන ලිංගික අධ්‍යාපනය හරහා අදාල නියැදියේ ගබ්සා ප්‍රතිශතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට සමත්වූවා පමණක් නොව ඔවුන්ගේ ජීවන තත්ත්‍වය ද චරිත ස්වභාවය ද ඉහළ දැමීමට සමත් වූ බව පවසනවා. වසර 2006 -2008 අතර ඇමරිකාවේ සිදු වූ පිළිසිඳ ගැනීම් වලින් 49% ක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මේ අනුව මේ තරම් දියුණු, සංස්කෘතිකව ඉතාම විවෘත ප්‍රතිපත්ති ඇති රටක් වුවත් සිදුවෙන අනාරක්‍ෂිත ලිංගික සබඳතා නිසා මේ ගැබ් ගැනීම් සිදු වනවා.
ගබ්සාවන් නිසා ඔබ මිය යාමේ අවදානම 100%ක්... අමතක කරන්න එපා

ලංකාවේ අවාසනාවකට සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි. මුලින්ම මිනිසුන්ගේ ලිංගික නිදහසට වැටී ඇති තහංචි.... ආගමේ සහ සංස්කෘතියේ නාමයෙන් මිනිසුන් හිර කර තබා ඇති බව මගේ වැටහීමයි. ඒ නිසාමයි පන්සලට ගියත් තරුණියන්ගේ අඟ-පසඟ ගැන බලන තරුණයන් අප අතර ඉන්නෙ. ඒ නිසාම තමයි "කර්ම" වැනි චිත්‍රපටයක විඩිහිටියන්ට පමණයි යන තේමාව අනුව චිත්‍රපටය නරඹන්න ගොස් බොහෝ දෙනා අපේක්‍ෂා භංගත්‍වයට පත් වෙන්නෙ. ඒ වගේමයි ඕනම මාතෘකාවක් කුමක් හෝ ලිංගික තේමාවක් ඔස්සේ කතා කළවිට එය බලන්නට කියවන්නට සෙනඟ පැමිණෙන්නෙ.. මා මේ පර්යේෂණය මගේ බ්ලොග් අඩවියේම කර ඇත්තේ වරක් දෙවරක් නොවෙයි.  සෑම වතාවකම ලිංගිකත්‍වය සම්බන්ධ තේමාවක් යෙදූ විට මගේ බ්ලොග් අඩවිය කියවන්නට එන සංඛ්‍යාව සාමාන්‍යයෙන් පැමිණෙන සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක්. මේ නිසාම තමයි පසුගිය කාළෙක ලිංගිකත්‍වය තේමා කරගත් සමහර බ්ලොග් අඩවි සෝඩා බෝතලය කැඩුවා වගේ ජනප්‍රිය වෙලා මාස කිහිපයක් ඇතුලත හිට්ස් ලක්‍ෂ ගණනක් ලබා ගත්තෙ... මිනිසා ලිංගිකත්‍වයට බරයි. කාටවත් ඒක වැටවල් ගහලා නවත්වන්න බැහැ. ඒක වැටවල් ගහලා නවත්වන්න යාමත් බොරුවක්... කරන්න බැහැ. බලන්න කොළඹම කෙපමණ ලැගුම්හල් ප්‍රමාණයක් තිබෙනවාද කියා.. ඒවාට යන්නෙ කවුද කියා බලන්න.. බොහොමයක් වෙලාවට යන්නේ පාසැල් යන වයසේ හෝ ඊට වඩා තරමක් වයස තරුණ තරුණියන්.... කවුද මේ ලැගුම් හල්, ගණිකා මධ්‍යස්ථානවල අයිතිකරුවන්... දේශපාලනඥයින්, ඔවුන්ගේ හෙංචයියො, නීතීඥවරුන්, නළු නිළියන්, වගේ රටේ බොහොම සම්භාව්‍ය උදවිය.

රටේ ලිංගික අපචාර වලට වැඩියෙන්ම නම ගෑවෙන්නෙ කාගෙද ? දේශපාලනඥයින්, හෙංචයියන්, නළු නිළියන්, වගේම කට්ටිය... ඉතින්... දැන්වත් අපේ මේ බොරුවට දවටාගෙන ඉන්න සංස්කෘතියේ දුහුල් සළු පිළි ගලවලා අනාගත පරපුර වෙනුවෙන් විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න අපේ රජය කටයුතු කළේ නැත්නම් අපට 2020 වනවිට ඉතිරි වෙන්නේ දියවැඩියාව සහ සමාජරෝග වලින් පිරිච්ච සමාජයක් පමණයි. මේ වගේ රෝගී සමාජයකින් අපට අනාගතයේදී රටක් දියුණු කරගෙන ආසියාවේ ආශ්චර්යය කරා යන්න බැරි වෙනවා. අපට වෙන්නේ ආසියාවේ රෝහල බවට පත් වෙන්නයි.

මේ නිසා දැන් අපි ක්‍රියාත්මක විය යුතුයි. දරුවන් දැනුම් තේරුම් ඇති කාළයක සිට තමන්ගේ සිරුර තමන්ට පමණක් අයිති දෙයක් බව දැනුවත් විය යුතුයි. මේ නිසා තමයි අපචාර වල නියැලෙන්නන් දරුවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නෙ... ළමා අපචාර වැඩි වන්නෙ... දරුවන් සහ දෙමාපියන් -විශේෂයෙන් මව සහ දරුවා  අතර කුඩා කාළයේදී දැඩි සම්බන්ධයක් තිබිය යුතුයි. දරුවා නාවන විට, දරුවාට ඇඳුම් අන්දවන විට මවට හැකියි මේ දේ කියා දෙන්න.. තමන්ගේ සිරුර ස්පර්ෂ කළ හැක්කේ මවට සහ තමාට පමණක් බවත්, පියාට වුවත් අනිසි ලෙස ස්පර්ෂ කිරීමක් සිදු නොකළ හැකි බවත් දරුවාට පැහැදිළි කළ යුතුයි. වෛද්‍යවරයෙකුට වුවත් දරුවා ස්පර්ශ කළ හැක්කේ දෙමාපිය අවසරයක්, දරුවාගේ රෝගී තත්ත්‍වයක් නිසා පමණක් බව ඉගැන්විය යුතුයි. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් ලිංගික අවයව පිළිබඳ සහ වෙනත් බැරෑරුම් දේ ගැන නිසි වයස එළැඹෙන විට කියා දිය යුතුයි. සාමාන්‍ය පෙළ ප්‍රජනනය පාඩම තමන්ට කියවගන්න කියන ගුරුවරු ඉන්න රටක  මෙවැනි ලිංගික අධ්‍යාපනයක් මනා සංයමයකින් ලබා දීම සුවිශාල අභියෝගයක්... ඒ අභියෝගය භාර ගන්න පුද්ගලයාට මනා සංයමයක් තිබිය යුතුයි.. ලංකාවේ අධ්‍යාපනයම පිස්සු කෙළින අවස්ථාවේ ලංකාවේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රයෙන් මේ වගේ වැදගත් දෙයක් බලාපොරොත්තු වීම ඇත්තෙන්ම කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැහැ.
ඉතින් අම්මේ තාත්තේ... දැන් ඔබ සංස්කෘතියේ බැමි ලිහිල් කළ යුතු කාළය ඇවිත්. තමන්ගේ දරුවා සමඟ ලිංගිකත්‍වය පිළිබඳව සංයමයකින් කතා කරන්න කාළය ඇවිත්... නැතිනම් සිදු වෙන්නේ ඔබේ පුතා සමාජරෝගියෙක් වීමත්, ඔබේ දුව පාසැල් යන වයසේදීම ගැබ්බර වීමත් යන දෙකෙන් එකක් පමණයි. දැන් ලංකාවේ පවතින රූපවාහිනී නාලිකා 25 කට අධික ප්‍රමාණයෙනුත් ඉන්දියාවෙන් එන චැනල සියල්ලෙනුත් කෙරෙන්නේ දරුවන්ගේ හැඟීම් ඇවිස්සෙන එක පමණයි..

ගබ්සාවක් කිරීමට මුලින්ම දරුවකු පිළිසිඳගත යුතුයි. මේ සඳහා ලිංගිකව සක්‍රීය පිරිමියෙකු සහ ගැහැණියගේ එක් වීමක් අත්‍යවශ්‍යයි. මේ අනුව ලංකාවේ දිනකට ගැහැණුන් 700 දෙනෙකු ට වඩා අනාරක්‍ෂිත ලිංගික හැසිරීම් වල නියැලෙනවා. මේ ලංකාවේ සේවය කරන ගණිකාවන් 40,000 දෙනාට අමතරව. ඒ අනුව ගැහැණුන් සහ මිනිසුන් 14,000 ක් අවම වශයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයන් වැළඳීමේ ඉඩකඩ තිබෙනවා.  මෙන්න මෙතැනයි භයානක කම. ඒ අතරින් ඒඩ්ස් පැතිරීම ලංකාවෙ සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව පැවසෙනවා. ඉතිං... බලාගෙනයි....

ඔබත් අනාරක්‍ෂිතව ලිංගික හැසිරීම් වල නියැලෙන්නෙකු නම්, වහාම ලඟම ඇති ෆාමසියට ගොස් ලැජ්ජාව පසෙක තබා උපත් පාලන කොපු පැකට්ටුවක් ලබා ගන්න. ගැහැණියක් ඉදිරියේ නිරුවත් වීමට ඔබට ලැජ්ජාවක් නැතිවා සේම ඒ සඳහා ආරක්‍ෂිතව සහභාගී වීමට උපත්පාලන කොපු ලබා ගැනීමට ලැජ්ජාවක් ඔබට තිබිය නොහැකියි. ඒ නිසා ලැජ්ජ බිමින් තියන්නට පෙර ලැජ්ජාව පසෙක තබා උපත්පාලන කොපු පැකට්ටුවක් ලබා ගන්න.. එසේ නොවුව හොත් ඔබට සිදු වන්නේ පිඹ පිඹ ඉන්න නොවෙයි... ඊට වඩා අනතුරක්.... ඔබ ලිංගිකව සක්‍රීය තරුණියක් නම්.. (ලංකාවෙ බොහෝ තරුණියන් ලිංගිකව හැසිරුණත් අක්‍රීයයි -ඒක වෙනම කතාවක්) තරුණියක් හැටියට ඔබට යුතුකමක් තිබෙනවා ඔබ හා ලිංගිකව එක්වන පුද්ගලයාගෙන් උපත් පාලන කොපුවක් තිබේද කියා විමසන්න... ඔබේම පෙම්වතා වුනත්... අනාරක්‍ෂිතව ලිංගිකව හැසිරුනොත් ගැබ් ගන්නෙ ඔබ මිසක් ඔහු නොවෙයි....  ඒ වගේමයි... අනාරක්‍ෂිත ගබ්සාවකදි වෛද්‍යවරයා කොතරම් දක්‍ෂයෙකු වුවත් ඔබ මිය යන්න ඇති අවකාශ වැඩියි... බොහොමයක් ගබ්සා උපකරණ නිසි ලෙස ජීවාණුහරණය කර නැහැ... ඒ නිසාම ඔබට සමාජරෝග වැළඳීමේ අවදානමත් වැඩියි... ඒ වගේම ඔබේ පෙම්වතා කෙතරම් විශ්වාසවන්ත වුනත් ඔහුගේ උණකටුව කොහේ ඔබලා  කාගෙ කාගෙ උණ බලලා එනවද කියලා ඔබ නොදන්නවා වෙන්න පුළුවනි. ඒ නිසා එක්කෝ ඔබ උපත්පාලන කොපු ඔබ සතුව තබා ගන්න... නැතිනම් ඔහුට ඒවා රැගෙන එන ලෙස පවසන්න... වරක් දෙවරක් ලිංගික සබඳතා ප්‍රතික්‍ෂේප කළාම  ඉබේම ඔහු පුරුදු වේවි... නමුත් ඔබ දෙදෙනාටම ලිංගික සබඳතා පවත්වන්නෙ නැතිව ඉන්න සංයමයක් තිබෙනවා නම් ඒක ඊටත් වඩා හොඳයි.

ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි...

දැන්ම ක්‍රියාත්මක නොවුන හොත් අපට සිදු වන්නේ විශාල විනාශයක්.. දැනටමත් ඔබ-අප අතරේ ඒඩ්ස් සහ වෙනත් සමාජ රෝග වැළඳුන කීදෙනෙක් ඉන්නවද කියා අප දන්නෙ නැහැ. ඔබට ලිංගිකව එක්වන්න එපා කියන්න මට කිසි අයිතියක් නැහැ... මම එහෙම කියන්නෙත් නැහැ... ලිංගිකත්‍වය කියන්නේ වැඩුනු - වගකීමක් ඇති මිනිසෙකුගේ ගැහැණියකගේ අයිතියක්... නමුත්, කිසිදු විටෙක විශ්වාසදායක නොවන කෙනෙකු සමඟ අනාරක්‍ෂිත ලිංගික ඇසුරක් පවත්වන්න එපා. එසේම තමන්ගේ පෙම්වතිය-පෙම්වතා සමඟ ලිංගික ඇසුරක් පවත්වනවා නම් ආරක්‍ෂක උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න... ඒ වගේම ගෙදර කෑම රසවත් නෑ කියලා පිට හෝටල් වලින් කන්න ගිහින් බඩේ අමාරු හදා ගන්නෙ නැතිව ගෙදර කෑම එකම මෙනු එක වෙනස් කර කර වෙනස් වෙනස් විදියට කන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා. ඒක ගෙදර මනුස්සයත් එක්ක සාකච්ඡා කරලා බේරගන්න.. අපට ෂලකනවනං අපිත් ෂලකනවා කියලා සමහර විට ඇහෙන්න බැරි නෑ... ලිංගික කටයුත්තෙදි බේකරි මෙතඩ් එක පාවිච්චි කරන්න ගිහිල්ලා පාන් කර කර ගත්තාම අන්තිමට වෙන්නේ පෝරණුව ගඳ ගහන එක බව විවාහක සහ අවිවාහක සියළුම දෙනා මතක් කරගත්තොත් හොඳයි.

Monday, October 29, 2012

2012 ඔක්තෝබර් 29 : ඔබ ධනවතෙක්ද ? ධනවත් වීමට සිහින දකිනවාද ?

ධනවතෙක් වීම හැම දෙනාගෙම ලොකු සිහිනයක්. ලොකු ගෙයක ජීවත් වෙමින්, ලොකු වාහනයක් පදවගෙන ගිහින් ලොකු ලොකු යාළුවො ආශ්‍රය කරන්න, ලොකු ලොකු කතා කියලා තමන් ලොක්කෙක් කියලා පෙන්වන්න සමහරුන්ට තිබෙන්නෙ පුදුම ආශාවක්. ඒ නිසාම ජීවිත කාළයම ණය ගෙවනවා. ලංකාවෙ නම් ගෙයක් නැතිනම් ලොකු අඩුවක්... තවමත් කුළියටද ඉන්නෙ ? තවමත් තමන්ට කියලා ගෙයක් නැද්ද ? ඔබට මේ වගේ කතා අනන්තවත් ඇහෙනවා ඇති.. ගෙවල් ඇති අය ගෙවල් ලස්සනට තියාගෙන උජාරුවට ජීවත් වෙනවා. ගෙවල් නැති අය හූල්ලනවා අනේ මටත් මේ වගේ ගෙයක් තියෙනවා නම් කොච්චර හොඳද කියලා. වාහනයක් වුනත් එහෙමයි. පුංචි කාර් එකක් තියාගෙන ඉන්න කෙනා ලොකු කාර් එකක් ගන්න සිහින මවනවා. ලොකු කාර් එකක් තියෙන කෙනා තවත් ලොකු කාර් එකක් ගන්න සිහින මවනවා. මේ 99යෙ කණ්ඩායම.. දන්නෙ නැතිනම් හොයලා බලන්න... මමත් ඒ කතාව ඇහුවෙ රෑ ඉරපානෙන්.
අපි හැමෝටම මුදලින් ධනවත් වෙන්න පුළුවන් නම් හරිම අගෙයි. නමුත් අපි හැමෝටම ඒ වාසනාව හෝ හැකියාව නැහැ. නමුත් හැමෝටම ඒ අවස්ථාව තිබෙනවා. ඒත් අපි ඒ අවස්ථාවන් පැහැර හරිනවා.. දැන හෝ නොදැන. සමහර වෙලාවට මටත් අනන්තවත් හිතිලා තිබෙනවා... මමත් මෙච්චර වැඩිදුර ඉගෙන ගන්නෙ නැතිව රැකියාවකට ගියා නම් කොච්චර හොඳට ජීවත් වෙන්න තිබුණද කියලා.. නමුත් තවත් වෙලාවකට හිතෙනවා මෙච්චර කල් ඉගෙනගත් නිසා නේද මේ හැම දේම ලැබුණෙ කියලා. අපට අනාගතය දකින්න බැහැ. එහෙම පුළුවන් වුනා නම් බොහෝ දෙනෙක් ධනවත්තු. නමුත් අපට කරන්න පුළුවන් එකම දේ කළ යුතු සුදුසුම දේ කිරීම. සමහර විට වරදින්න පුළුවන්. මීට පෙර ලිපියක මම කිවුවා වගේ වැරදුනාම වැරදුන තැන මතක තියාගෙන එතැනින් පටන් ගන්න පුළුවනි. එකම වැරැද්ද දෙපාරක් කරන්න ගියොත් නම් සමාවක් දෙන්න බැහැ. මිනිස්සුන්ට වරදිනවා. වරදින්නෙත් උත්සාහ කරන මිනිස්සුන්ටයි. උත්සාහ නොකර එකම විදියට ඉන්න මිනිස්සුන්ට වැරදීමක් වෙන්නෙ නැහැ ඒ අය කිසිවක් කරන්නෙ නැති නිසා. ඉතින් වැරදුන දෙයින් ඉගෙන ගන්න...
මම ආචාර්ය උපාධිප ආරම්භ කළ අවස්ථාවෙ මට එක්තරා සංයෝගයක් සෑදීමට සිදු වී තිබුණා. මේ සංයෝගය මට පෙර සිටි ශිෂ්‍යයෙකුත් උත්සාහ කළ සංයෝගයක්. නමුත් ඔහුටත් එය තනාගන්නට නොහැකි වුනා. මම 22 වතාවක් විවිධාකාර අන්දමට උත්සාහ කරලා අවසානයේ 23න් වන වතාවෙ ඒ සංයෝගය තැනුවා. මා අධීක්‍ෂණය කළ පර්යේෂක සිම්බාබ්වේ ජාතික බෙවන් මට බොහෝ ප්‍රශංසා කළේ මා කිසි විටෙක ඒ උත්සාහය අත්නොහැර අවසාන ඉලක්කය කරා ගිය නිසා. ඒ සංයෝගයෙන්  මට ලොකු ප්‍රයෝජනයක් නොමැති වුනත් ඒ 22 වතාවෙදිම ලැබූ අත්දැකීම් පසුකළෙක මගේ පර්යේෂණ සාර්ථක කර ගැනීමට උපයෝගී වුනා.
බොහෝ නව නිපැයුම් තැනූ පුද්ගලයින් සිය සාර්ථකත්‍වය කරා ලඟා වුනේ නොපසුබස්නා උත්සාහයෙන්. ඇපල් සමාගම ලෝකයේ ලොකුම සහ ධනවත්ම සමාගම බවට පත් කළ ස්ටීව් ජොබ්ස් සිය ආරම්භය කර ගත්තෙ නිවසේ ගරාජය.  ඒ මිල මුදල් පැත්තෙන් ධනවතෙකු වෙන එකම මඟ.. නොපසුබස්නා උත්සාහය... තවත් ධනවතුන් මේ ලෝකෙ අනන්තවත් ඉන්නවා. ධනවත්කම මිල මුදලින්  බඩු භාණ්ඩ වලින් යාන වාහන වලින් ඇසුරු කරන ලොකු ලොක්කන්ගෙන් මනින සමාජයක ඔබ සමහරවිට දුප්පතෙක් වෙන්න පුළුවනි. නමුත් ඔබත් කිසියම් ආකාරයක ධනවතෙක් විය හැකියි. ඔබට අවශ්‍ය වෙලාවකට අවශ්‍ය උදවුවක් කරන්න සැදී පැහැදී ඉන්න මිතුරු කැළක් (බොක්කෙන් ඉන්න යාළුවො) ඉන්නට පුළුවනි. ඒ අතින් ඔබ ධනවතෙක්... බොක්කෙන් ඉන්න මිතුරු කැළක් සමහරවිට අර මිල මුදල් සියල්ලට වඩා ධනයක් වෙන්න පුළුවනි. අන් අයට වඩා ඔබ බුද්ධිමත් වෙන්නට පුළුවනි. මිල මුදල් අතින් දුප්පත් වුනත් අපේ සමහර මහාචාර්ය වරු අන් සියල්ලට වඩා උගත්කමින් -දැනුමින් පොහොසත්, ඒ නිසාම ඔවුන් සිසු සිසුවියන්ගෙන් පොහොසත්. නමුත් උගත්කම කියන්නෙ බුද්ධිමත්කම නොවෙයි කියලත් මතක තියා ගන්න. සමහර වෙලාවට පාරෙ යද්දි වුනත් පස් එකෙන් බැහැලා ඇවිත් කතා කරන සිසුන් ඉන්නෙ, පාරෙ මැද්දේ දෙනෝදාහක් සෙනග මැද්දෙ දණ ගහලා වඳින්නෙ අන්න ඒ ධනවත් බව නිසා.
ඔබ මිලමුදල් යාන වාහන නැති වුනත් නිරෝගී කම අතින් ධනවත් වෙන්න පුළුවනි. ඔබට ඉහෙන් බහින රෝගයක් නැති වෙන්න පුළුවනි. ඔබ ඒ අතින් ධනවත්, නිරෝගී කමත් ධනයක්.... නිරෝගී කමේ වටිනාකම දන්නෙ රෝගීව ඉන්න උදවිය. සිතට කිසිදු සැනසීමක් නොමැතිව නිතරම තමන්ගේ රෝග තත්ත්‍වය පිළිබඳ සිතමින් ඉන්න මිළ මුදලින් ධනවත් අයට වඩා ඔබ සැනසීමෙන් ඉන්නවා..  ඒ ධනවත් බව කාටවත් උදුරා ගන්න බැහැ...
කොච්චර ධනයක් තිබුණත් සැන්ඩි වගේ ලොකු කුණාටුවක් ආවොත් සියල්ල මොහොතින් නැති වෙන්න පුළුවන් කියලත් හිතේ තියා ගන්න.. දැන් කී දෙනෙක් බඩේ ගින්දර පත්තු වෙවී ද ඇත්තෙ කුණාටුව නිසා... ඒ සියළු දෙනා ඉන්නෙ බයෙන්.. ජීවිතය පිළිබඳ බයෙන්, තමන්ගෙ නිවස කැඩෙයි කියන බයෙන්, තමන්ගෙ වාහනය අනතුරකට පත් වෙයි කියන බයෙන්.. කොපමණ ධනය තිබුණත් ඉන්නෙ බයෙන්... ලංකාවෙ ධනවතුන්ගෙත් වැඩි වෙනසක් නෑ.. කොපමණ මුදල් තිබුණත් ඉන්නෙ බයෙන්... හොරකම් කරයිද ? කප්පම් ගනීද? තමන් මරා දායිද ආදී විවිධාකාර බයෙන්... සමහරු ආරක්‍ෂකයොත් තියාගෙනයි ඉන්නෙ... ඒත් බයෙන්.....
ඔබට ඒ සියල්ල නැතුවත් සතුටින් ඉන්න පුළුවනි. ඔබට ආදරය කරන නෑදෑයින්, දෙමාපියන්, බිරිඳක්-සැමියෙක්, දරුවන් ඉන්නවා නම්, ඔබට සියල්ල අහිමි වුනත් නැවත යා හැකි තැනක් තියෙනවා නම්, එතැන සතුටින් ඉන්න පුළුවන් නම්, ඔබ ධනවත්,..
සංතුෂ්ඨි පරමං ධනං කියලා බුදුන් වහන්සේ වදාලේ අර්ථයක් ඇතිව...
සතුටින් ඉන්න... ඔබ ධනවතෙක්.... ඔබේ සතුට ඔබට නිරෝගී බව ඇති කරනවා... එය පරම ලාභයක්.... ජීවිතය කියන්නෙ සල්ලිම නොවෙයි... සල්ලි නැතුවත් බෑ.... ඒත් සල්ලිම නෙවෙයි... තේරෙනවද මන්දා.....
ඉතින්.... ඔබ මොන වගේ ධනවතෙක්ද ?

Saturday, October 27, 2012

2012 ඔක්තෝබර් 27 : ජීවිතය හරිම කටුකයි...... මේක ඇත්තමද ?


අවුරුදු 20ක්ම රසායන විද්‍යාව එක්ක හැප්පිච්ච මට ලෝකය පුරාම විවිධාකාර පුද්ගලයින් ඇසුරු කිරීමේ භාග්‍යය උදා වුන එක ඇත්තෙන්ම ලොකු අත්දැකීමක්. එක කාළයක් මම ලංකාවෙ සේවය කරන අතරෙ එතැනට ගෙන ආපු හිරකාරයන් සමඟ කතා කරන්නත් "භාග්‍යය" ලැබුවා. එහෙම කිවුවෙ ඒ මිනිස්සුන්ගෙ ජීවිත තුළට එබිලා බලන්න පුළුවන් තරමේ සංවාදයන් ඇති කර ගන්න පුළුවන්කම ලැබුණා. තවත් වෙලාවක සමාගම් අධ්‍යක්‍ෂක ලා, සමාගම් අයිතිකරුවන් වැනි ඉතාම ඉහළ තනතුරු දරන සමාජයේ සාර්ථක පුද්ගලයින් සමඟ ඇසුරු කරන්නත් ලැබුණා. එසේම අවුරුදු පහේ කුඩා දරුවන් මෙන්ම රසායන විද්‍යාවේ පරතෙරට ගිය මහාචාර්යවරුන්ගේ සමාගමය ලබන්නත් මට භාග්‍යය ලැබුණා. ඒ වගේම මේ අන්ත දෙක අතරේ ජීවත් වෙන බොහෝ දෙනා ඇසුරු කිරීමේ වාසනාව ලැබුණා. ඒ හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙනස්. ඒ නිසාම මගේ ජීවිතය අත්දැකීම් අතින් මට හරිම වැදගත්. නමුත් පරිපූර්ණ නැහැ... තවත් බොහෝ දේ ඉගෙනගන්න තිබෙනවා. මේ අතරෙ මට හමු වූ  ආචාර්ය උපාධිය හදාරන විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ගණන (දේශීය සහ විදේශීය ) අති විශාලයි. ඊට අමතරව නිතර නිතර මුහුණු පොතේ චැට් කරන, ඊ මේල් වලින් සම්බන්ධතා පවත්වාගෙන යන සිසු සිසුවියන් ගණනත් බොහොමයි. මේ සියළුම දෙනා වයස 20-30 අතර පරතරයෙ තරුණ තරුණියො... ඉඳලා හිටලා මම වගේ නාකි හම්පඩ වෙච්ච අයත් කතා කරනවා.
මේ කතා කරන සමහර කෙනෙක්ගෙ ජීවිතය බොහෝ වෙලාවට කටුක අත්දැකීම් වලින් පිරිච්ච ජීවිත, සමහරු ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. තවත් සමහරු තමන්ගෙ ජීවිතය ගෙන යා යුත්තෙ මොන දිශාවටද කියලා තීරණය කරගන්න බැරුව ඉන්න අය. බොහෝ විට මගෙන් උපදේශ බලාපොරොත්තුවෙන් මා වෙත පැමිණෙන්නෙ අවුරුදු 21-29 අතරෙ සිටින තරුණියන්... ඇයිද කියන්න මම දන්නෙ නෑ.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ කියන්නෙත් නෑ.. නමුත්, මේ සියළුම දෙනාගෙ සමානතාවය තමයි ඔවුන් නිතරම කියන්නෙ Life Really Sucks,.. !
ඉතින් මේක ඇත්තද ? ජීවිතය ගැන බොහෝ දාර්ශනිකයෝ බොහෝ ආගම් ශාස්තෘවරු, විවිධාකාර දේ පවසලා තිබෙනවා. අපිට අන්තර්ජාලයේ සැරිසැරුවොත් මේ වගේ කියමන් කෝටි ගණනක් හොයා ගන්න පුළුවන්.  ජීවිතය කියන්නෙ යුද්ධයකින් පටන් අරන් යුද්ධයකින් අවසන් වෙන දෙයක්... දරුවෙක් පිළිසිඳ ගන්නම දෙමාපියන් ලොකු යුද්ධයක් කරන්න ඕන.. සෑහෙන දාඩිය මහන්සියක් දාගෙන ලොකු  කැලරි ප්‍රමාණයක් දවන්න ඕන කාර්යයක්. සමහරුන්ට දරුවන් අවශ්‍ය වුනත් ඒක ඒ ආකාරයට සිදු වෙන්නෙ නැහැ. ඒ නිසාම සෑහෙන මුදල් ප්‍රමාණයක් වියදම් කරලා - වෛද්‍යවරු හමු වෙලා ලොකු සටනක් දීලා තමයි දරුවෙක් පිලිසිඳුවා ගන්න තත්ත්‍වයට පැමිණෙන්නෙ. (තවත් සමහරුන්ට නං පැදුර පෑගුණත් ඇති) ඒ යුද්ධෙන් පස්සෙ ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සංසේචනය වීම තමයි ලෝකයේ ලොකුම තරඟය. ඔබ තරඟ කරලා තිබෙන්නෙ ඔබේ සහෝදර සහෝදරියන් කෝටි ගණනක් සමඟයි. එහෙම යුද්ධයකින් පස්සෙ තමයි ඔබ - ඔබ බවට පත් වෙන්නෙ. ඒ වගේම මාස නවයක් අඳුරු කුටීරයක් තුළ ඔබ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාළයේ ඔබේ දෙමාපියෝ වෙනම යුද්ධයක් කරනවා ඔබව පෝෂණය කරවන්න - ජීවත් කරවන්න.. ඔබ ලෝකයට බිහි වෙන්නෙ යුද්ධයක් කරලා. ඔබේ මුහුණ චප්ප කරගෙන, ඔළුව බිත්තරයක් වගේ.. කැතම කැතයි. ඇඟ රැලි වැටිලා.. ඒ යුද්ධෙන් පස්සෙ ඔබේ ජීවිතය ගත කරන හැම තත්පරයකම ඔබටත් ඔබ අවට සිටින අයටත් ලොකු යුද්ධයක්. ඔබ මේ තරම් දුර ජීවත් වුන එකත් ලොකු ජයග්‍රහණයක්. ඉතින් මේ යුද්ධ සියල්ල අවසන ඔබ මේ ලෝකයෙන් සමුගෙන යාමත් යුද්ධයක්. සමහරවිට ඔබ යුද්ධයක් මධ්‍යයේම මියෙන්න පුළුවනි. නැතිනම් බොහොම සාමකාමීව මිය යාවි. ඒ කුමක් වුනත් ඔබේ සමුගැන්ම අනිත් අයට යුද්ධයක්. ඉතිං කවුද කියන්නෙ ජීවිතයම යුද්ධයක් නොවේය කියලා. ?
මේ යුද්ධයේ විවිධාකාර අවස්ථාවල විවිධාකාර අත්දැකීම් වලට අපට මුහුණ දෙන්න සිදු වෙනවා. සමහර දේවල් බොහොම වින්දනීයයි, ආදරණීයයි. නමුත් හැම දේම එහෙම නෑ.. සමහර දේවල් කටුකයි.. අන්තයටම කටුකයි.. අන්න ඒ වෙලාවට මිනිසුන් වශයෙන් අපේ වින්දනීය අත්දැකීම් සියල්ල යටපත් කරගෙන අපේ දුක්ඛදායක අත්දැකීම් එලීයට එනවා. එතකොට අපිට හිතෙනවා ජීවිතය හරිම කටුකයි කියලා. නමුත් ඔබ අර වින්දනීය අත්දැකීම් මොහොතකින් අමතක කරනවා. ඒ අපේ හැටි. මමත් එහෙමයි. කාට වුනත් කරපු හොඳ දේවල් - සිදු වුන හොඳ දේවල් මතක නෑ... නිතරම මතක් වෙන්නෙ වැරැද්දක්, සිදු නොවු දෙයක්... ඒක මිනිස් ස්වභාවය.
කෙනෙක්ගෙ ජීවිතය හැම තිස්සෙම කටුක වෙන්න පුළුවන්ද ? එහෙම වෙන්නෙ ඇයි (I don't know why !) ?  ඒ පුද්ගලයා නිසි ලෙස හිතන්නෙ - ජීවිතය සැලසුම් කරන්නෙ නැති නිසාද ? එහෙමත් නැතිනම් තමන්ගෙ හැකියාවට වඩා අනවශ්‍ය බලාපොරොත්තු තබාගෙන (දොඩංගොඩ බදාගෙන) හැම දේම කරන්න යන නිසාද ? නැතිනම් වැරදි අවස්ථාවේ වැරදි තැන ඉන්න නිසාද ? මේ සියල්ලෙම එකතුවක්ද ?
සමහරු ජීවිතය හොඳින් සැලසුම් කරනවා.. තවත් සමහරු ආවේගශීලීව තීරණ ගන්නවා. උදාහරණයක් වශයෙන් කෙනෙක් උසස් පෙළ අසමත් නම් තවත් බලන්න දෙයක් නෑ මම රැකියාවක් කරනවා කියලා කුමක් හෝ රැකියාවකට යනවා. නමුත් ඔහුට තවත් වතාවන් දෙකක් ඉතිරිව තිබෙනවා තමන්ගෙ දෛවය උරගා බලන්න... සමහර විට ඔහු දෙවන වතාවෙ හොඳින් සමත් වෙන්නට ඉඩ තිබෙන්න පුළුවනි. ඒත් ඒ වැඩ කරන හැටියට... මගේ ජීවිතය බොහෝ අවස්ථාවලදි මම ගනිපු තීරණ නිසාම වෙනස් පැති වලට ගොස් තිබෙනවා. ඒ බොහොමයක් හොඳ පැති. මෝඩ වැඩ නං අනන්තවත් කරලා තිබෙනවා.. ඒ ගැන කතා නොකරන තරමට හොඳයි... හැබැයි ඔබට වැරදුනාම සහ ඔබ අවුල් වී ඇති වෙලාවක ඔබට උපදෙස් දෙන්න -ඔබට කතා කරන්න කෙනෙක් හෝ කණ්ඩායමක් ඉන්නවා නම් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබේ දෙමාපියො ඔබට යන්න පුළුවන් පළමු සහාය කණ්ඩායමයි (Support group) ඔවුන් සතු අත්දැකීම්, ජීවිතය පිළිබඳ දැනුම අති විශාලයි.. තවමත් මට ප්‍රශ්නයක් ආවම මම ඉස්සෙල්ලම කතා කරන්නෙ තාත්තට - ඊලඟට කමල් බාප්පට.. ඔවුන්ගෙන් මට හරියන විසඳුමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.
මටත් සමහර දවසට වැඩ ඉවර වෙලා රෑ සීතලේ කිලෝ මීටර දෙකක් පයින් කන්දක් බඩ ගානකොට හිතෙනවා Life Sucks කියලා... නමුත් ඊලඟ මොහොතෙ  හිතෙන්නෙ, මට රැකියාවක් තියෙනවා, බාව බලාපොරොත්තුවෙන් ඉන්න ජීවිත දෙකක් තියෙනවා. දෙමාපියො, නෑදෑයො, මිත්‍රයො රාශියක් ඉන්නවා. මීටත් වඩා තවත් කුමක්ද ? මෙච්චරවත් නැති මිනිස්සු, මීට වඩා ප්‍රශ්න තියෙන කීදෙනෙක් ඇත්ද ? කියලා.. ඉතින් අපට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඇද්ද ?
ඉතිං ඔබ කොහොමද යමක් සැලසුම් කරන්නෙ ? ඔබ පළමු සැලසුම වැරදුනොත්, දෙවන සැලසුමක්, තෙවන සැලසුමක් (Plan B,C,D)  ඔබට තිබෙනවද ? ඔබට වැරදුනොත් ඔබට උපදෙස් ගන්න කවුරුවත් ඉන්නවද ? නැතිනම් ඔබ ඔබේ ප්‍රශ්න තියාගෙන විඳවනවද ?
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මේ කතාවම ඉංගිරිසියෙන් කියවන්න කැමති අයට Alchemist's Laboratory 


Friday, October 26, 2012

2012 ඔක්තෝබර් 26 : මේ මමයි.... මගේ ජීවිතයයි.... මගේ ඉට්ටැයිල් එකයි....


කාලෙකට පස්සෙ මම මගේ ජීවිතයෙ කොටසක් ගැන දිනපොතේ ලියනවා..... දිනපොතක් වුනාම ඉඳලා හිටලාවත් තමන් ගැනත් ලියන්න එපා යෑ.... නැද්ද මං අහන්නෙ ? සමහර විට ඔබට මතක ඇති මම පසුගිය වතාවෙ ලංකාවට ගිය වෙලාවෙ අතින් සල්ලි දීලා හරක් බලපු කතාවක් කිවුවා.. ඒ කියන්නෙ මගේ උවමනාවටම මමම වියදම් කරගෙන ගිහින් කරපු සමාජ සත්කාරයක්...
"මම නම් රසායන විද්‍යා ආයතනයේ වැඩමුළුවක් කළා ළමයි 25 දෙනෙකුට Presentation කරන හැටි කියලා දෙන්න.. ඒ 25 දෙනාගෙන් 10 දෙනෙක් තමන්ගේ පර්යේෂණ වලට අදාලව ඉදිරිපත් කිරීම් කළා… මට හිතෙනවා මම ඒ අයට යමක් ඉගැන්නුවා කියලා….. ඒ අයගෙ ප්‍රතිචාර වලින්ම… අවසාන දවසෙ ඒ අය අපි ඔක්කොගෙම පින්තූරයක් අරගෙන මට වතුර බොන කෝප්පයක් හදලා දුන්නා ඒ පින්තූරෙ තියෙන… කට්ටිය මතක් වෙන්න…
මම හිතනවා ඒ අය හොඳට තම තමන්ගේ presentation කරාවි කියලා…."
ඉතිං ඔය සත්කාරයෙ ප්‍රතිඵල ආවෙ අදයි... එක අතකට මට බොහොම සතුටු දවසක්... වැපිරූ බීජ වල අස්වැන්න මේ වගේ ලැබෙන කොට ඕනම ගොවියෙකුට තවත් වගා කරන්න හිතෙන එක අහන්න දෙයක් නොවෙයි.
මම ලංකාවට නිවාඩුවට ගිය හැම වතාවකම රසායන විද්‍යා ආයතනයේ සිසුන් වෙනුවෙන් පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වලා තිබෙනවා. ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යාපනය ගැනත් දේශන පවත්වලා තිබෙනවා. ඒ නිසාම පශ්චාත් උපාධිය හදාරන්න යොමු වෙච්ච අයත් ඒ අතර ඉන්නවා. පෞද්ගලිකව මම උදවු කරපු කිහිප දෙනෙක්ම සාර්ථකව ආචාර්ය උපාධි අරගෙන මටත් වඩා හොඳ තැන්වල ඉන්නවා. ඒ අතරින් එක් තැනැත්තියක් නිවුයෝක් නුවර විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්ය වරියක්, තවත් තැනැත්තියක් පර්යේෂණ ආයතනයක විද්‍යාඥ වරියක්, තවත් කෙනෙක් ටෙක්සාස් වල තෙල් සමාගමක රසායනඥයෙක්. තවත් කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ ආචාර් උපාධිය නිම කරනවා. තවත් කෙනෙක් කැනඩාවෙ ආචාර්ය උපාධිය නිම කරනවා. මේ මම ඍජුව දායක වෙච්ච ජීවිත. ඔබ දන්නා ජනප්‍රිය බ්ලොග් තරුවකටත් මම උදවු කරන්න උත්සාහ කළා... නමුත් ඔහු මම උදවු කළ තැනටත් වඩා හොඳ තැනකට ගියා... ඒ ගැන මම බොහොම සතුටුයි. මම යුනිලීවර් ආයතනයෙන් පිටවෙනකොට එතැන දොර ඇරලා දීපු දෙදෙනෙකු දැන් ඒ ආයතනයේ බොහොම ඉහළ තැන්වල.. මේ හැම දෙනාම ඉන්න තැන් මට වඩා ඉහළයි.. පහන් කන්ද පාමුල අඳුරු වුනාට පහන් කන්දට ප්‍රශ්නයක් නෑ..  ඔවුන් ඉහළට ගිහින් හොඳින් වැජඹෙනවා නම් ඒ ඇති. ඔවුනුත් අනුන්ට උදව් කරලා තවත් ජීවිත එළිය කරනවා නම් ඊටත් වඩා හොඳයි... ඒ මම හිතන හැටි.
ඉතින් මම මේ වතාවෙ ලංකාවට ගියේ දිගු නිවාඩුවකට. ඒ නිසාම රසායන විද්‍යා ආයතනයේ සිසුන්ට එක දවසකට වඩා වැය කරන්න මට හැකියාව තිබුණා. ඔවුන් වෙනුවෙන් මම මේ වතාවෙ සංවිධානය කළේ Presentation Methods කියන වැඩමුළුව. දිනකට පැය දෙක ගණනෙ දින පහක් එක දිගට තිබුණ මේ වැඩමුළුව සමහර දවස්වල පැය තුනක් හතරක් දක්වා විහිදුනා. අවසානයේ සිසුන් 8 දෙනෙකුගේ පර්යේෂණ පිළිබඳ ඉදිරිපත් කිරීම් එළියට ගන්නට මට හැකි වුනා පමණක් නොවෙයි ඔවුන් ඒ සඳහා පුහුණු කරවන්නටත් හැකියාව ලැබුණා. ඔවුන් සියළුම දෙනා ඒ තමන්ගේ පර්යේෂණ ඉදිරිපත් කර තිබුණේ අද.. ඉතින් ඒ අවස්ථාවෙ ගනිපු පින්තූරත් එක්ක ඔවුන් මාවත් අමතක කරලා නැහැ. එදා වැඩමුළුව අවසානයේ මාත් සමඟ ගනිපු පින්තූරයම අද මා නොමැතිව - නමුත් මගේ ඉඩ මාවෙනුවෙන්ම තබා ඔවුන් නැවත අරගෙන තිබුණා...
මේ තියෙන්නේ ඒ පින්තූර දෙක...
පෙර සහ පසු
ඉතින් මට සන්තෝෂ ඒ ගැන පමණක්ම නොවෙයි. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් මට යමක් කරන්නට පුළුවන් වීම ගැන.. ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කිසියම් දායකත්‍වයක් වෙන්නට පුළුවන් වීම ගැන. මගේ දැක්ම  මේ බ්ලොග් අඩවියේ ඉහළින්ම තිබෙනවා. මම හිතන අන්දමට දැනුම කිසිදාක බෙදා නොගත්තොත් ඒ දැනුමෙන් ඇති පලක් නැහැ. තමාත් සමඟම ඒ දැනුමත් මියෑදෙනවා. තමන් මියෙන්නට පෙර ඒ දැනුම ඊලඟ පරම්පරාව වෙත යැවීමක් කළේ නැතිනම් තමන් ඒ ජීවත් වූ කාළයෙන් වැඩක් වෙන්නෙ නැහැ. ඒ නිසාම තමයි කිසිදු ගුරු මුෂ්ඨියක් නොතබාගෙන මගේ දැනුම බෙදා හරින්න මම උත්සාහ කරන්නෙ...
මේ තියෙන්නෙ ඔවුන්ගෙන් කෙනෙක් මට එවූ ඊයක්
"Dear sir,

Finally its over...........in fact in a very good way. The research sessions went really well. we all did our best to make you proud. talking about myself, the lecturers at the audience said ''well done'' including Prof. G.(Edited for privacy) and my supervisor was really happy as well, she said that we'll be publishing my research soon. the panel asked some questions about commercializing my product and I managed to answer them well (I guess)..........Thanks a load sir, none of this would have been achieved without your guidance......!
with best regards,
H (Edited for privacy)"
ඒත් අපේ සමහර ඇත්තන් නම් හිතන්නෙ මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත් නිසා අනුන්ටත් ඒ අපහසුවම රැගෙන ඉගෙන ගත යුතුයි කියලා. හිතන්න, ඔවුන් ඔබ ඉගෙන ගත් දේම සෑහෙන කාළයක් බොහොම අමාරුවෙන් ඉගෙන ගනිද්දී ඔබ ඒ සියල්ල දැනගෙන පැත්තකට වෙලා ඉන්නවා. නමුත් ඔවුන්ට අළුත් දෙයක් ඉගෙන ගන්න තවත් කාළයක් වැය කරන්න වෙනවා. ඔබ ඔවුනට ඒ දේවල් කියා දුන්නා නම්, ඔවුන් බොහොම කෙටි කාළයකින් තවත් දේ ඉගෙන ගන්නවා නේද ? සමහරවිට ඒ ඉගෙන ගත් දේ ඉතා වැදගත් දෙයක් වන්නටත් පිළිවනි.
ඉතින් මට ඉඩ ලැබෙන හැම වෙලාවකම මගේ දැනුම බෙදා ගන්න උත්සාහ කරන්නෙ ඒකයි. මම ඔබව දැනුවත් කරන්න ලිපි ලියද්දි මම කොච්චර දැනුවත් වෙනවාද කියලා මටම පුදුමයි. සමහර ලිපි වෙනුවෙන් පසුබිමට තවත් ලිපි දහයක් පහලොවක් පමණ කියවන්නට මට අවස්ථාව ලැබෙනවා. ඒ හැම දෙයින්ම වෙන්නෙ මම තවත් දැනුවත් වීම. මම  බ්ලොග් ලියන්නන්ට  ගෞරව කරන්නෙ ඔවුන් තමන් සතු දැනුම තම සීමා මායිම් වලින් ඔබ්බට විහිදුවන්න කරන වෑයම වෙනුවෙන්. කතන්දරයක් හෝ වේවා, අත්දැකීමක් හෝ වේවා ඒ සියල්ලෙන් දැනුවත් වෙන්නෙ ඒ ලිපි බලන පාඨකයා. ඒ නිසාම මම බිලොග් ලියන ඔබ වෙනුවෙන් හිස නමා ආචාර කරනවා.
දැනුම බෙදන්න බෙදන්න ඔබ මිනිසුන් එකතු කරගන්නවා 
දැනුම බෙදන්න බෙදන්න ඔබ තරහකාරයින් අඩු කරගන්නවා. 
දැනුම බෙදන්න බෙදන්න ඔබ ඔබට ආදරය කරන අය වැඩි කරගන්නවා.
දැනුම බෙදන්න බෙදන්න ඔබ ඔබේ ජීවිතය අනිත් අයත් එක්ක බෙදා ගන්නවා.
ඒ නිසාම, කවදාක හෝ ඔබ මිය ගියාම ඔබත් එක්ක යන්න එන්නෙ ඔබ එකතු කරන සල්ලි නොවෙයි.. ඔබ වෙනුවෙන් ඔබට ආදරය කරපු මිනිසුන් හෙළන සුසුම්, ඔවුන්ගේ මතකයන්....
ඔබ අනුන්ට සේවයක් කරන්නට ඔබ දේශපාලනඥයෙක් හෝ සමාජ සේවකයෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ ඉඩ තිබෙන කාළයෙන් පොඩිත්තක් අනුන් වෙනුවෙන් වැය කරන්න... කොහොමත් දේශපාලනඥයො ඉන්නෙ අනුන්ට සේවය කරන්න නෙවෙයිනෙ. බලන්න ඔබ අවට බොහෝ දෙනෙකු ඇති ඔබේ සේවය අවශ්‍ය, සමහරු උදවු ඉල්ලන්න බයයි. තවත් සමහරු ලැජ්ජයි.  මේ වගේ සංස්කෘතික බැමි වලින් හැමදාම අපි බැඳිලා ඉන්නෙ... ඔබයි සේවයක් ලබා දෙන්න ඕන... සමහරවිට ඔබ හිතනවා ඇති " ඇයි මම පැනලා දෙන්නෙ ?" කියලා... අපි ආත්මාර්ථකාමී වෙන්න වෙන්න සමාජයත් අපට ආත්මාර්ථකාමී වෙනවා.. ඔබ යමෙකුට උදවු කළොත්, එය පෙරළා ඔබට නොලැබෙන්න පුළුවනි, නමුත් අර උදවු ලබපු පුද්ගලයා වෙනත් කෙනෙකුට කරන උදවුවක් මාර්ගයෙන් ඔබට යමක් ලැබෙන්නට පුළුවනි.
එක්තරා පුද්ගලයෙකු දිනක් පාළු පාරක වාහනයෙන් යද්දි අතරමඟ වාහනයක් නවතාගෙන එය පරීක්‍ෂා කරමින් හිටපු පුද්ගලයෙක් දැක ඒ අසලින් නැවැත්වූවා. වාහනයෙන් බැස ගිය ඔහු දුටුවෙ ඒ වාහනය ක්‍රියා විරහිත වී ඇති බවයි. ඒ පුද්ගලයා ශල්‍ය වෛද්‍යවරයෙක් බවත් ඔහුට ඉක්මනින් රෝහළට යා යුතු බවත් අර පුද්ගලයාට දැන්වූවා. ඒ පුද්ගලයාත් නගරයට යන නිසාම ඒ වෛද්‍යවරයා රෝහල අසලින් දමාගෙන යාමට ඔහු එකඟ වුනා. රෝහල අසලින් වෛද්‍යවරයා ඇරලූ ඔහු නගරයට යනවිට ලැබුණ දුරකථන ඇමතුම ඒ තරම් සුබදායී එකක් නොවෙයි. ඒ ඔහුගේ පුතා රිය අනතුරකට ලක් වී රෝහල්ගත කර ඇතිබව.. වහාම ඔහු රෝහලට යනවිට ඔහුගේ පුතා ශල්‍යාගාරයට රැගෙන ගොස් තිබුණා. අවසානයේ ශල්‍යාගාරයේ දොර හැරගෙන ආවෙ අර මුලින් ඔහු උදවු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා. ඔහු බොහොම අමාරුවෙන් අර පුද්ගලයාගේ පුතා බේරගෙන තිබුණා. අර මුලින් උදවු කළ පුද්ගලයා කිසි විටෙක හිතන්න නැතුව ඇති තමන් කළ සුළු උපකාරයට මේ ආකාරයෙන් ප්‍රතිඋපකාර ලැබෙයි කියලා... නමුත් ඒ දේවල් එහෙම වෙන්න පුළුවනි.
මේ කතාව ගෙතූ එකක් වෙන්න පුළුවන්.. නමුත්, මේ වගේ සත්‍ය සිදුවීම් අනන්තව ලෝකයේ සිදු වෙනවා.
ඉතින් ඔබම හිතන්න... ඔබ සල්ලි අරන් පරළොව යනවාද, නැතිනම් ඔබට ආදරය කරපු මිනිසුන්ගේ සුසුම් අරන් - මතකයන් අරන් පරළොව යනවාද කියා, ...




Thursday, October 25, 2012

2012 ඔක්තෝබර් 24 : රජය පෙරළීමේ UNP කුමන්ත්‍රණය සාර්ථක වන ලකුණු............


මේ කවුද ? මොනවද කොරාන්නේ ?
කාර් එක දෙක සෙමෙන් සෙමෙන් පැමිණේ.. බැලූ බැල්මට සමාජයේ සැළකිය යුතු පුද්ගලයින්ගේ වාහන බවට අනුමාන කළ හැකිය... සියල්ලෝම පැමිණෙන්නේ තමන්ගේම වාහනයෙනි ... අවම වශයෙන් රියදුරෙක්වත් නොමැත......
රහස් සාකච්ඡාවක්ම විය යුතුය.......
ස්ථානය : කොළඹ නගරයේ රහසිගත ස්ථානයක්...
ප්‍රධාන පුද්ගලයා : විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
සෙස්සෝ :
අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන,
උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක,
අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු,
ජනමාධ්‍ය ඇමති සහ රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල,
සමාජ සම්බන්ධතා පිළිබඳ ඇමති මර්වින් සිල්වා,
ධීවර ඇමති රාජිත සේනාරත්න,
කම්කරු කටයුතු සහ ඵලදායීතා ඇමති ගාමිණි ලොකුගේ
රහසිගත පටිගත කිරීමක් නිසා ශබ්ධය එතරම් හොඳින් නෑසේ... කෙසේ වුවත් කෙරෙන කතා බහෙන් සිදු වන්නේ කුමක් දැයි වටහා ගැනීම අපහසු නැත... ඒ නිසා කිසිවෙකුගේ නමක් සඳහන් නොකර අදාල පටිගත කිරීමේ වූ සියළුම කාරණා මෙසේ සඳහන් කරමු.
දැන් කට්ටිය ඔක්කොම හරි නෙ... කොහොමද ප්‍රගතිය ?
සර්.. කවුරුවත් හිතුවෙ නැති දීර්ඝකාලීන ගේමක් නෙ මේක..... සර් මේක කොටින්ට දෙන්න ගිය ගේමට වඩා ලොකු ගේමක්....
හරි හරි එස් බී... කියනවකො කොහොමද අධ්‍යාපනේ..
මේකයි... දැන් ප්‍රොපෙසර් ලා ආත්මෙකට ආපහු ගන්න බෑ... උන්ට ආණ්ඩුව එපා වෙලා විතරක් නෙවෙයි හැමෝටම එපා කරවනවා.. මට තව ඇදගෙන යන්න තිබුණා.. කොහෙද අරයා ඇවිල්ලා මැදට පැනලා වැඩේ බේරුවනේ. කොහොමත් තව මොනවා හරි කිවුවාම හැමෝම ආයෙම ඇවිස්සෙනවා... ටික දවසක් සද්ද නැතුව ඉඳලා ආයෙම මොකක් හරි කියලා ඇද බානවා... අර ප්‍රයිවෙට් යුනිවර්සිටි එක ගැනත් තව මොනවහරි කියන්න ඕන.... බය වෙන්න එපා... ලොක්කා තවම සැක කරලා නෑ... අනිත් අයත් ඉතින් නාගන්න එකනෙ කරන්නෙ....
නියමයි... අනිත් එක්කෙනා මොකද ?
ආ සර්... ඉසෙඩ් ස්කෝර් එකයි උසස් පෙළයි ළමයිනුයි දෙමාපියොයි ඔක්කොම අවුල්.... දැන් අළුතෙන් විශ්ව විද්‍යාලෙට 5000 ක් ගන්න වෙනවා.. එතකොට ලබන අවුරුද්දෙ ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් යන විදියට උත්තර පත්තර බලන්නත් සෑහෙන කාළයක් යනවා... කොහොමත් මේ සෙට් එක ඇතුළට ගන්නකොට 2013 වෙනවා... ඉතිං ඔක්කොම පස්සට යනවා.... උසස් පෙළත් අවුල්... ඉස්සර හිටපු ලේකම් ගාණට වැඩේ කළා...  බැරිම තැන මිනිහා මාරු කරන්න වුනේ.... ඒ වුනාට පලාත් අධ්‍යක්‍ෂකලා නියමෙට කරගෙන යනවා...... බය වෙන්න එපා තව අවුරුද්දක් දෙකක් යනකොට ඔක්කොම අවුල්..... දැන් ඒ මදැවට ගුරුවරුත් පැටලිලා... ඔහොම යං...
සර් සර්....
ඇයි මර්වින්... පොඩ්ඩක් ඉන්න... තමන්ගෙ වාරෙ එනකල්.....
එහෙම කොහොමද සර්.. ඔන්න මට විනය පරීක්‍ෂණයක් කරන්න යනවලු.... මේ පාර නං බැරි වෙයි වගේ...
බය නැතුව ඉන්නවා... මම ඒ කාලෙ තමුන්නාන්සෙ චන්‍ද්‍රිකා මැඩම් ගාවට යැවුවෙ තමන්ට අවශ්‍ය ගානට හම්බ කරගෙන මට ඕන විදියට වැඩේ කරවගන්න... බය වෙන්න එපා...ඔයා මර්වින් ගානට රඟපානවා... මීට වඩා හොඳයි නළුවෙක් වුනා නම්..
ඇයි සර් මමත් නළුවෙක් නෙ... දුටු ගැමුණු එකේ.....
ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉන්න... මේ පාරත් තමුන්නාන්සෙ ගොඩ යනවා... කැළණිය ගානට තියාගෙන ඉන්නවකො....
කොහොමද ජාතික ඵලදායිතාවය ?
කියලා වැඩක් නෑ සර්..... දැන් නම් වැඩක් කෙරෙන පාටක්ම නෑ.... එකම ප්‍රශ්නෙ අර යහ පාළනය සංකල්පෙ නිසා සමහර ආයතන ටිකක් වැඩ කෙරීගෙන යනවා... නමුත් එහෙමත්ම කියලා ප්‍රගතියක් නෑ.....
ඔහොම කරගෙන යං.... කවුරුවත් අවිශ්වාසයක් එහෙම නෑනෙ....
කොහොම අවිශ්වාස කරන්නද සර් අපි සර්ට බණින බැණිල්ලට ?
ඒක හොඳයි.....
මොකද්ද මනුස්යො අර ටින් මාළු ෆැක්ටරියට කළේ... ? දැන් අපේ ආණ්ඩුවක් ආවම ඕක පොල් ගාන්නද ?
සර් බය වෙන්න එපා... මම ගානට චීනෙත් එක්ක ගිවිසුම ගැහුවෙ වැඩේ බංකොලොත් වෙන්න තමයි... දැන් වහලා දාලා පස්සෙ අරිමු... ඕකම තමයි වෙන්නෙ පෑලියගොඩටත්... ඒ මදිවට මාළු ගොඩ ගහනවා... ඕකටත් මොකක් හරි කතාවක් කියලා දානවා.. පස්සෙ බැරි යෑ හරිගස්සන්න...
මමත් ගානට ප්‍රකාශ ටික කරගෙන යනවා... දැන් බොහොම ඇනිලා තියෙන්නෙ... එක්කෙනෙක් එකක් කියනවා, මම කියනවා එහෙම නෑ කියලා.... මිනිස්සුන්ට ගානට එපා වෙන්න වැඩේ කරගෙනයි යන්නෙ... තව ටික කාළයක් යනකොට බලමු... මට මේ ප්‍රශ්නෙ තියෙන්නෙ කකුල තමයි.... ඉස්සර වගේ නෙවෙයි දැන් ටිකක් අමාරුයි..
දුමින්ද මොකද කියන්නෙ... ?
ආ සර් මම ඕස්ට්‍රේලියාවෙ ඉඳලා එන ගමන් බලාගෙන ආවෙ... මිනිහා හොඳට ඉන්නවා... වෙලාව ආවම එයි... කරන්න ඕන දේ හරියට කළා නෙ....
මම කිවුවෙ ඒ කාලෙම මිනිහා හොඳ මොළයක් තියෙන කොල්ලෙක්...
හැහ් හැහ්... දැන් ඉතිං මොළේ බාගයයි නෙ....
කවුද කියන්නෙ ? අර යස අගේට ඉන්නෙ...  මර්වින් දැක්කද ? නෑනෙ...
ඒත් සර්..... මේ පාරත් ඡන්දෙ පරාදයි නෙ.. ඔහොම ගියාම කොහොමද සර් මිනිස්සු අපි ගැන විශ්වාසයක් තියන්නෙ...
 එහෙම කියන්න එපා ජොන්ස්ටන්... ඒකත් ප්ලෑන් එකක්.... කවදා හරි අපිට ඕක වැඩ කරනවා... මිනිස්සුන්ට ආණ්ඩුව එපා කළාම ඊලඟට චාන්ස් එක එන්නෙ අපිට.... ජනරාලුත් දැන් වැලේ වැල් නෑ.... කොහොමද අපි අන්තිම මොහොතෙ දුන්න ගේම ? කරුත් ගාණට එයාගෙ රෝල් එක කරා... අර මෝඩයො ටික තමයි උඩ දාගෙන ගියේ.. එයාල නං නැති එකම හොඳයි...  දයාසිරි ඒ ලණුව කෑවෙ නැති එක තමයි ප්‍රශ්නෙ..........දැන් බලන්න මම දයාසිරිව ආණ්ඩුවට එවන්න කොච්චර ට්‍රයි කරනවද ? මම ඒ කරන්නෙ ආයෙම ඔයාට කුරුණෑගල අරන් දෙන්න නෙ.. කොහෙද... කොච්චර එලෙවුවත් මිනිහා යන්නෙ නෑනෙ... කරුත් එක්ක කරු ගහගෙන ඉන්නවා... ඔයා තවම දෙතුන් පාරයි නෙ වැඩ පෙන්නුවෙ... කොහොමද අර පෙට්ටි වැඩේ ? ආයෙම අදිනවද ?
දැන් ඒක හරියන්නෙ නෑ සර් දැං .. දැන් ඉතිං එළවළු වෙලෙන්දො බංකොලොත් කරලා දාන්න ඕන.. එතකොට උන් උද්ඝෝෂණ කරන්නයි එළවළු විසික් කරන්නයි යනවා.. එහෙම වුනාම එළවළු ගණන් යනවා. එතකොට ආයෙම ප්‍රශ්න... දැං බලන්න.. ලොකු ළූණු අස්වැන්න කාලෙට පිටරටින් එන ළූණු වල ටැක්ස් අඩු කළා... අල වලට කළෙත් ඒක.. දැන් බලන්න මොකද වුනේ කියලා...
ඉස්සර මම දාපු බඩු මිල සූත්‍රය දැන් ආපස්සට කැරකෙනවා... මේ කපේදි ආයෙ බඩු මිල නං අඩු කරන්න බෑ සක්කරයා තියා වයිමා ආවත්...
Bandula,.. Who is this Why-Ma guy ?
ආ.... සර් ඒ ශක්‍රයාගෙ පුතා නෙ... වයිමා වයිමා.... වයිමා දන්නැද්ද ?
මම දන්න වයිමෙක් නෑ..... එහෙනම් එච්චරද අප්ඩේට්ස් ?
ඔවු සර්... අපි හෙමින් ගේම ගෙනියන්නං... කළබල වෙලා බෑනෙ... තව අනාගන්න අරිමු...
ඔවු එහෙම හොඳයි......
සර්.. අපි දැන් එහෙනම් යන්නම්... ලොක්කට ආරංචි වුනොත් හරි නෑනෙ...
බය වෙන්න එපා මෙයා... මම ලඟදි කිවුවනේ 2014 දි අපි ආණ්ඩුව ගන්නවා කියලා... ලොක්කා හිතං ඉන්නෙ ඕවා වෙන්නෙ නෑ කියලා... ඔහොම වැඩේ කරගෙන යං... ඔයාලට කරන්න තියෙන්නෙ තව වැඩේ අවුල් කරන එක තමයි.. ඔක්කොම අවුල් කරලා ලොක්කට වැඩේ බාර දෙන්න විසඳන්න... ලොක්කා අන්තිමට පිස්සු කෙළින්න ගනීවි... දැනුත් වැඩි වෙනසක් නෑනෙ...
හරි සර්... එහෙනම් අපි යන්නම්.... අම්මේ.... සර්ගෙ මොලේ තමයි මොලේ....
මර්වින් යන්න අනේ... පස්ස මිරිකන්නෙ නැතුව.... මොලේ තියෙන්නෙ එහෙ නෙවෙයි....
බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්....බ්ර්.... ශ්...ශ්...ශ්...ශ්...ශ්...ශ්...ශ්...ශ්...ශ්...ශ්...
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මේ.. ඔන්න ඔය ටී වී එක නිවලා දාලා නිදා ගන්නවා... හැමදාම කියනවා නිදි මත නං ඇඳට යන්න කියලා... හැමදාම ටීවී එක ඉස්සරහ ගොරව ගොරව නිදි....

Wednesday, October 24, 2012

2012 ඔක්තෝබර් 24 : නොබොන්නෝ මැරෙන්නෝය........


සුරාමේරය මජ්ඣපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
චියර්ස්.... ඕං එහෙනං ඈ...
පන්සිල් පදවල අන්තිම පදයෙන් කියැවෙන්නෙ එහෙම. බුදුන් වහන්සේ සුරාමේරෙයෙහි ආදීනව කොතෙකුත් වදාලා ඇති. ඇත්ත.. සුරාමේරයෙන් පදම් වුනාම මිනිහා නොමිනිහා වෙනවා. හිතන්න බැරි දේ කරනවා වගේම ඒ කරලා අමාරුවෙත් වැටෙනවා. ඇහැ ඇරිලා බලද්දි එක්කෝ කාණුවක, නැතිනම් බල්ලෙක් රැවුල බානවා, නැතිනම් සංචාරක හෝටලයක් දාගෙන බස් හෝල්ට් එකක ඉන්නවා.. අනිත් අන්තෙට යන අය මිනිස්සු එක්ක ගහගන්න යනවා. මේජර්ලට ගහනවා ආදී ගොඩක් දේ කරනවා.
නමුත් මද්‍යසාර ශරීරයට අගුණද ? ආගමික වශයෙන් මොනවා වුනත් දැන් කියැවෙන දේ අනුව නම් මඳ පමණට ගත්තට එච්චර ප්‍රශ්නයක් නෑ.. මොනවද මඳපමණට ගන්නෙ ? කසිප්පුද විස්කිද නැතිනම් වයින් ද ? (මේ ලාම්පු වලට දාන වයින් ස්ප්‍රීතු නෙවෙයි ඈ) මේ වයින් කිවුවෙ මිදි වලින් හදන රතු වයින්.
රතු වයින් වල තිබෙනවා ප්‍රතිඔක්සිකාරක සංයෝග. සාමාන්‍යයෙන් ශරීරයේ සිදුවන ප්‍රතික්‍රියා නිසා මුක්ත ඛණ්ඩ (Free Radicals) නම් ක්‍රියාකාරී රසායනික ඛණ්ඩ ශරීරයේ නිපදවෙනවා. මේ මුක්ත ඛණ්ඩ වලින් සෛල වලට බොහෝ හාණි පැමිණෙන්නට පුළුවනි. මේ මුක්ත ඛණ්ඩ මොළයේ ක්‍රියාත්මක වනවිට අල්ශයිමර්ස් - පාකින්සන් වැනි රෝග සෑදීමේ අවදානමත් වැඩි වෙනවා. රතු වයින්වල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝගවලින් මේ මුක්ත ඛණ්ඩ බිඳ හෙලීමක් සිදු වෙනවා. මේ නිසා ශරීරය සෞඛ්‍ය සම්පන්න වෙනවා. මධ්‍යධරණී මුහුද අවට සිටින මිනිසුන් දිගු කළක් ජීවත් වීමේ රහස වන්නේ ඔවුන් තමන්ගේ ආහාර වේලට නැවුම් එළවළු සහ රතු වයින් එකතු කර ගැනීම නිසායි. ඉතින් රතු වයින් මඳපමණට ගත්තට කමක් නෑ... මතට තිත කිවුවට සමහරු තිතට මත අනුගමනය කරන්නෙ ඒකයි.
මද්‍යසාර සුළු වශයෙන් ගන්න පුද්ගලයො කිසි විටෙක මද්‍යසාර නොගන්නා පුද්ගලයොන්ට වඩා සමාජශීලී ලු.. ඒ අය ශාරීරිකව ප්‍රබෝධමත්ලු. වැඩිය දේවල් හිතට අරන් දුක් විඳින්නෙ නැතිලු. ඒ නිසා ඔවුන් වැඩි පුර කළක් ජීවත් වෙන්න පුළුවන් ලු. හැබැයි මෙහෙම නොවන අයත් ලෝකෙ ඉන්නවා. මගේ හොඳම මිතුරෙකු වන මෙවන් ජීවිතේට මත්පැන් කටේ තියන මිනිහෙක් නොවෙයි. නමුත් මිනිහා බොහොම සතුටින් ඉන්නවා. මත්පැන් නොගෙනත් සතුටින් ඉන්න පුළුවනි. මේ පර්යේෂණය කරලා තියෙන්නෙ බටහිර රටක, ඉතින් බටහිර රටවල මිනිස්සුන්ට නොයෙක් ප්‍රශ්න වගේම නොයෙකුත් හේතු තියෙනවා බොන්න.. සමහරු සතුටට බොනවා, තවත් සමහරු දුකට බොනවා. ඒ මිනිස්සුන්ට බොන්න හේතුවක් පමණයි අවශ්‍ය..
කොහොම වුනත් මද්‍යසාර මඳ පමණට ගත්තට මම නම් කියන්නෙ කමක් නෑ කියලයි. මම වුනත් සාදයකට ගිය විට වයින් ටිකක් ආදිය පානය කරනවා. වාහනයක් එළවන්න තිබෙනවා නම් වැඩිපුර මත්පැන් පානය කරන්නෙ නැහැ.  කොහොමත් මත්පැන් පානය කරලා වාහනයක් එළවූවොත් නම් මැරෙනවා කොයි වෙලාවක හරි..
ඉතින් බිවුවත් නැතත් හොඳින් සතුටින් හිටියොත් වැඩිකල් ජීවත් වෙන්න පුළුවනි. මේ නිසා සති අන්තයක හෝ තමන්ගේ දරුවන් නෑදෑයින් සමඟ ටිකක් සතුටින් ගත කරන්න අමතක කරන්න එපා. නිති පතා තම ආදරණීයයන් සමඟ සතුටින් ගත කරන පුද්ගලයින්ගේ සිත් තුළ ආතතිය අඩුයි. ප්‍රශ්න අඩුයි.. ඔවුන්ගෙ ඵලදායීතාවය වැඩියි.  බොනවා නම් ගානකට බොන්න.. මලාට පස්සෙ එම්බාම් කරන්න අවශ්‍ය නැති විදියට බිවුවොත් ඉතිං ඉක්මනින්ම මැරෙන්නත් පුළුවනි.
අපි හැමෝම කවදා හරි මැරෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මැරෙන්නේ කොහොමද කියන එකයි...
The question is, how to die,....?
දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රසිද්ධ වාක්‍යය තියෙන පොතේ නම හොයාගෙන මට කියන්න.... පොත පළ වුනේ 2009 දි.

Monday, October 22, 2012

2012 ඔක්තෝබර් 22: දේවෝ මාළු වස්සති අහේතු කාලේන....... අතිරික්තෙට මක්කැයි කොරන්නෙ ?


රට සශ්‍රීක වෙච්චි තරම කොච්චරද කිවුවොත් දැන් ධිවරයෝ මාළු අල්ලන්න මුහුදට යාමට අවශ්‍යම නැත. වෙරළට වී මුහුද දෙස බලා සිටින විටම මාළු ඇවිත් දෙපා මුළ මැරී වැටේ. මේ නිසා ධිවරයන්ට පවු සිදු වීමක් ද නොවේ. ඒ ප්‍රාණඝාතය සඳහා වූ අවශ්‍යතා සම්පූර්ණ නොවීම නිසාය. රටක නායක කාරකාදීන් ධාර්මික වන විට නිසි කළට වැසි ලැබේ. සැප සම්පතින් අනූන වේ. කිසිදු අඩුවක් දක්නට නොලැබේ. අන්න ආසියාවේ අයිස්-චරිය.
දැන් හීන ලෝකයේ හිටියා ඇති. බිමට බහිමු...
මාළු ගෙදරටම ඇවිත්....




















මාළු ගොඩබිමට ආවේ ඇයි දැයි ධීවර ඇමතිතුමාගෙන් ඇසූ විට දත් දොස්තර මහතා කිවුවේ මුහුදේඋෂ්ණත්‍වය වැඩි වීමත්, මුහුදේ මාළු ගහණය වැඩි වීමත් නිසා මාළුන්ට අවශ්‍ය ආහාර නොලැබීම නිසා ඔවුන් මිය ගිය බවයි. මුහුදේ උෂ්ණත්‍වය ඉහළ ගියේ ඇයි ? මා හිතන අන්දමට ඒ දක්‍ෂිණාර්ධගෝලයට ග්‍රීෂ්ම ඍතුව පැමිණි නිසා වන්නට පුළුවන. දක්‍ෂීණාර්ධ ගෝලයෙන් වැඩි කොටසක් සමුද්‍රයයි. සමුද්‍රය උණුසුම් වන විට මාළුන්ගේ චර්යා රටා වෙනස් විය හැකි වුවත් මෙසේ මාළුන් මිය යන්නට වෙනත් හේතුවක් තිබිය යුතුමය. එක් වරම මුහුදේ උෂ්ණත්වය ඉහළ නොයයි. මක්නිසාද යත් උෂ්ණත්‍වය ඉහළ යාම සෙමෙන් සිදුවන කටයුත්තක් බැවිනි. එක්වරම උෂ්ණත්‍වය ඉහළ යා හැක්කේ එක්කෝ මුහුද යට වූ ගිණිකඳු පිපිරීමක නිසා ඇතිවන අධික ලාවා ගැලීමක් හෝ අභ්‍යන්තර විවරයකින් ලාවා ගැලීමක් නිසා විය හැකිය. නමුත් එසේ සිදු වූ බවට කිසිදු වාර්තාවක් මෑතකදී පළ වූයේ නැත.
මෙය අනතුරු ඇඟවීමක් ද ? සමහර විට එය එසේ විය හැකිය. පොළව උෂ්ණත්‍වය ඉහළ යතත්, එක වරම කිසි විටෙක ඉහළ යාමක් සිදු නොවේ. මේ ගැන වැඩිදුර විස්තර සොයා බැලීමට මට අවකාශ නොතිබූ නිසා මේ ගැන පැහැදිලි නිගමනයක් මගේ පැත්තෙන් දීමට නොහැක. නමුත් පරිසරය පිළිබඳ දැන් තරමක් අවධානයෙන් සිටීම සුභදායක වේ. සමහර විට භූ චලනයක් හෝ සුනාමියක පෙර නිමිත්තක් මෙයින් අදහස් වන්නට පුළුවන.
කෙසේ හෝ වේවා දැන් මාළු ලාභය - අතිරික්තයක් ඇති විය හැකිය. දකුණු ආසියාවේ විශාලතම ටින් මාළු කම්හල ලංකාවේ පිහිටා තිබෙන නිසා මෙසේ මාළු ලංකාවේ මුහුදු වෙරළට ආවා දැයි සැකයක් මතුවේ. කෙසේ වුවත් මේ වාසියෙන් ප්‍රයෝජනයක් ගත යුතුය. ඒ සඳහා දැනටමත් අපේ ධීවර අමාත්‍යාංශය ලහි ලහියේ සූදානම් වන බව මම අත්දැකීමෙන් දනිමි. මේ නිසා අනාගතයේදී අපට ලාබෙට ටින් මාළු මිළදී ගත හැකි බව සුමනදාස අබේගූඋනවර්ධන මහතා කියනවාට වඩා ප්‍රබල අනාවැකියකින් මට පැවසිය හැකිය.
ඒ එක පැත්තකි. නමුත් මේ විශාල ව්‍යසනයක ආරම්භයකි. සාමාන්‍යයෙන්  ජලයේ විශිෂ්ඨ තාපය ඉහළ අගයක් ඇති නිසා සුළු  උෂ්ණත්‍ව වෙනස් වීමක් එතරම් හානිදායක නොවේ. කෙසේ නමුත් දීර්ඝ කාළයක් පෘථිවිය ක්‍රම ක්‍රමයෙන් රත් වී යද්දී මේ අගය සුළු වශයෙන් වෙනස් විය හැකිය. ධ්‍රැවාසන්න හිම තට්ටු මගින් පෘථිවියේ උෂ්ණත්‍වය පාලනය වන නමුත් ඒවායේ ද දියවීම සීඝ්‍ර වීම නිසා දැනටමත් එහි ආදීනව අපට පෙනෙන්නට පටන් ගෙන තිබේ. සමකය ආසන්න රටවල් අධික ලෙස රත් වීමෙන් සිදු වන්නේ එහි ජල චක්‍රයට හානි පැමිණීම, ස්වභාවික සම්පත් කෙමෙන් ක්‍ෂය වීම සහ කාළගුණ රටා වෙනස් වීමයි. කෘෂිකාර්මික රටක් වන අපට කාළගුණ රටා වෙනස් වූ විට සිදු වන්නේ භෝග හානියයි. සමහර කාළ වල අධික පළදාවක් ලැබුණත්, නිසි කළමණාකරණයක් නැති නිසා ඒවායේ වාසියද ගොවියන් එළවළු කුණු වලට දැමීමෙන් අහිමි වී යයි. මේවාට පැලැස්තර විසඳුම් නැතිව දිගු කාළීන වැඩපිළිවෙලක් යොදන්නේ නම් අතිරික්ත භෝග, මෙවැනි අතිරික්ත මත්ස්‍ය පළදාව වැනි දේ වල වාසිය පාරිභෝගිකයාට ලැබීමට සැලැස්විය හැකිය.
දැන් කරන්නට ඇත්තේ අහුවන මාළු ගෙදර ගෙන ගොස් එක්කෝ කරවල වේලීම හෝ ජාඩි දැමීමය... මොනවා කළත් ප්‍රශ්නයක් නැත. තම තමන් ඉතිරි කර ගත්තොත් තමන්ටය....
තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් වේ....

Sunday, October 21, 2012

2012 ඔක්තෝබර් 21: සෙක්ස් ගැන ඔබ නොදන්නා දේ...........දෙවනි කොටස.............. 18-


පසුගිය ලිපියකින් මම අවධාරණය කළේ  SEX පිළිබඳව... Sex කියන බල්ලා ගැන කතාවක් ලියන්න ගිහිල්ලා ප්‍රධාන මාතෘකාවෙන් බැහැරට ගිය නිසා කතා කරන්න හිතාගත්ත දේ කියලා ඉවර කරගන්න බැරි වුනානෙ.... ඉතින් මම එදා කිවුවේ SEX කියන දේ විවිධාකාරයෙන් අර්ථකතන දෙන්න පුළුවන් කියලා... ලිපියට ලැබුණ හිට්ස් ප්‍රමාණයෙන්ම හිතාගන්න පුළුවන් සිංහල පාඨකයො කෙතරම් SEX පිළිබඳ කියවන්න ආසද කියලා.... ලිංගිකත්‍වය කියන්නෙ කාටත් පොදු දෙයක්... ඒ වගේම බොහෝ දෙනෙක්ට ඒ පිළිබඳ තියෙන්නෙ කුතුහලයක්... ඒ වගේම ආසාවක්... නෑ කියලා ඔබ හිතනවා නම් ඔබම ඔබ ගැන හිතලා බලන්න... හිතට එකඟව...  බොරු සුදු රෙදි ගැලවූවාම හැමෝම එයට කැමතියි... ඒ වගේම යම් යම් රටවල එය විවිධාකාරයි. සමහර රටවල බොහෝ සම්බාධක පමුණවලා තියෙනවා සංස්කෘතික බැමි මුවාවෙන්. නමුත් ඒ නිසාම මිනිසුන් ඒ සම්බාධක බිඳගෙන යනවා. එවිට සිදුවන සිදුවීම් අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම තමයි ලංකාවෙ මිනිස්සු ලිංගික අසහනයකින් පෙළෙන්නෙ. ගැහැණු ළමයෙක් කොට සායක් ඇඳගෙන ගියොත් කීදෙනෙක් හැරිලා බලනවද ? කීදෙනෙක් ඒ ළමයව සිතින් නිරුවත් කරනවද ? කී දෙනෙක් විසිල් ගහනවද ? තවත් බොහෝ උදාහරණ තියෙනවා.. ඔබම දන්නවා ඇති අපේ සමාජය ගැන....
ඉතින් SEX කියන දේ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමත් Taboo එකක් වෙනවා.. ඒ නිසාම මමත් කැමතියි ඒ ගැන කතා කරන්න විවිධ අවස්ථා වල විවිධ ආකාරයට... අද කතා කරන SEX මා මුලින් කියූ පරිදි වෙනස් මාතෘකාවක්... කියවලා බලන්න....

SEX :  Sustainability : Energy Conservation : eXtended work

ඇල්කෙමියාගේ රසායනාගාරයේ මගේ මුල්ම බ්ලොග් සටහන වුනේ අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියන මාතෘකාව. ඒ වෙනකොට ඇල්කෙමියා ගැන කවුරුත් දන්නෙවත් නෑ.... දැන් නම් ටික දෙනෙක් දන්නවා... ගිහින් බලන්න පළමු ලිපිය..
මම දිගින් දිගටම මේ බ්ලොගය මගින් ඔබට අවධාරණය කරන්නෙ අපි පරිසර හිතකාමී ජීවන රටාවකට හුරු වෙන්න ඕන කියන දේ... තවත් කියන්න තරම් දෙයක් නැහැ.. ලෝකයේ සිදු වන විවිධාකාර පරිසර හිතකාමී සංවර්ධනයන්, ක්‍රියාදාමයන් ගැන අධ්‍යයනයෙන් ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා අපි වැටී සිටින අමාරුව... ලෝකයේ සිදුවන කාලගුණ සහ දේශගුණ විපර්යාසයන් ගැන අවධානයෙන් ඉන්න අය දන්නවා අපි යන්නෙ කොහාටද කියලා.. නමුත් මිනිස්සුන්ට ඊට වඩා ප්‍රශ්න තියෙනවා... රට-ලෝකය ගැන හිතනවට වඩා.... අන්තිමටම තමයි තේරෙන්නෙ... අපිත් මේකට සක්‍රීයව දායක වුනා නේද කියලා.. නමුත් එතකොට පෙරහැර ගිහින් ඉවරයි.

Sustainability :

the quality of not being harmful to the environment or depleting natural resources, and thereby supporting long-term ecological balance: කියන්නෙ ඒකයි.... අපේ පැරණ්නො මේ ජීවන රටාවට හුරු වෙලා හිටිය නිසා තමයි ඒ අය නිරෝගීව දිගු කාළයක් ජීවත් වුනේ. එපමණක් නොවෙයි කරන හැම දෙයකම පරිසරය සංරක්‍ෂණය ගෑවිලා තිබුණා. ආච්චි කඩේට ගෙනියන පන් මල්ල දිරා යන ද්‍රව්‍යයක් වන පන් වලින් හදලා තිබුණෙ. ගෙදර නිදිය ගන්න බූරු ඇඳ ගෝනි සහ ලී වලින් හදලා තිබුණෙ... එළවලු පාත්තියෙ පතෝල, වැටකොළු වහන්න ගත්තෙ පත්තර කොළ වලින් හදපු වැසුම්. කෙසෙල් කැන වැහුවෙ පොල් අත්තක් වියා ගත් වැස්මකින්. පැණි මුලක් බැන්දෙ පුවක් කොළපොතක් නවලා හදාගෙන.. මේ වගේ අනන්තවත් උදාහරණ දෙන්න පුළුවන්... ඒ වගේමයි... ඒ මිනිස්සු අවම වශයෙන් දවසකට එක වතාවක් වත් වත්තෙ වැඩක් කළා. ටික දුරක් හෝ පයින් ඇවිද්දා.. දහඩිය හෙළුවා.. සවසට සතුටු සාමීචියෙ යෙදුනා... සුවසේ නින්දට ගියා... මේ නිසාම දියවැඩියාව, හෘද රෝග, පිළිකා කියන තුන් වැදෑරුම් මාරක දන්න කියන කිසිම කෙනෙකුට හැදෙනවා කියලා අහන්නවත් ලැබුණෙ නැහැ.
ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු සංවර්ධිත ජීවන රටාවට පුරුදු වෙන්න ගනිද්දි ඒ අය නගරයට සංක්‍රමණය වෙන්න ගත්තා... ගමේ තියෙන සරළ ජීවන රටාව වෙනුවට නාගරිකයාට තියෙන්නෙ කලබලකාරී ජීවන රටාවක්. තමන් වවාගෙන කනවා වෙනුවට කාගිල්ස් එකෙන් බඩු ගන්න පුරුදු වුනා.. සොසෙජස්, හැම් බේකන් කන්න පටන් ගත්තා.. ස්වභාවික ආහාර වෙනුවට පිළියෙල කළ ආහාර Processed food පරිභෝජනය වැඩි වුනා. ඒත් එක්කම රෝගී තත්ත්‍වයනුත් වෙනස් වෙන්න ගත්තා... ව්‍යායාම මඳ ශරීරයට දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ පෝසත් ලෙඩ ගොඩ වෙන්න පටන් ගත්තෙ මේ ඒකාකාරී අවිවේකී ජීවන රටාව එක්ක... ඇත්ත.. අද තියෙන තරඟය ජය ගන්න නොවෙයි, තරඟයේ රැඳිලා ඉන්නත් ලොකු සටනක් කරන්න වෙනවා. දරුවන් පාසල් යවන්න, දරුවන්ට අමතර පන්ති (අත්‍යවශ්‍ය නොවුනත් - රැල්ලට යන්න හරි), පිහිණුම්, සංගීතය, කරාටේ, ආදී තවත් දහසකුත් එකක් අමතර වැඩ, ශිෂ්‍යත්‍වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ.. ඉන් පසු... ආදී මේ සියල්ලට අවශ්‍ය වෙන්නෙ සල්ලි. ඒ සල්ලි හොයන්න දෙමාපියො වැඩට යා යුතුයි. එවිට ගමේ ඉන්න ආච්චි සීයා නගරයට එනවා දරුවන් බලා ගන්න... මේකයි නගරයේ ජීවන රටාව.
ඉතින් නැවතත් අපි පරිසර හිතකාමී ජීවන රටාවකට යායුතු කාළය ඇවිත් (ඇවිත් කියන්නෙ බොහෝ කළකට පෙර.. දැන් කාළය පහු වෙලා) ඇත්තෙන්ම ඒ කාළය ආවෙ මීට දශකයකටත් පෙර, නමුත් අපේම නොසැලකිල්ල නිසා අපි ඒ කිසි දෙයක් ගණන් ගත්තෙ නැහැ.. දැන් වෙලා තියෙන්නෙ ආපසු හරවන්න බැරි විනාශයක් වේගෙන යන එකයි. මිහිතලය උණුසුම් වීම වැඩි වෙලා... ඒ නිසාම ධ්‍රැවීය අයිස් දියවීම වැඩි වෙලා.. මෙහෙම ගියොත් තවත් අවුරුදු 20 ක් ඇතුලත ධ්‍රැවීය අයිස් සියල්ල දියවී යන්න පුළුවන්. එවිට සිදු වන්නෙ එක අතකට මුහුදු මට්ටම ඉහළ යාම. මේ නිසා මාලදිවයින වැනි මුහුදු මට්ටමේ ඇති දූපත්වලට ලොකු අවදානමක් ඇති වෙනවා. එපමණක් නොවෙයි පෘථිවියේ උශ්ණත්‍වය පාලනය/නියාමනය කරන්නට මේ ධ්‍රැවීය අයිස් මහඟු මෙහෙයක් කරනවා. එසේම මේ අයිස් තට්ටු නිසා සූර්යාලෝකයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් පරාවර්තනය වෙනවා. මෙය සිදු නොවීම නිසා මිහිතලයේ උණුසුම් වීම වැඩි වෙනවා. දැනට තියෙන රස්නය හොඳට දැනෙයි. මේක දාම ප්‍රතික්‍රියාවක්. මිහිතලය උණුසුම් වීම නිසා වායුගෝලය ප්‍රසාරණය  වෙනවා. තැනෙන වලාකුළු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මේ නිසා වැසි ලැබෙන කාළෙට එපා නොකියන්න වැසි ලැබෙනවා. නොලැබෙන කාලෙට එපි නොකියන්න පායනවා. ඒ වගේම කාළගුණ රටාවන් වෙනස් වෙනවා. ඍතු වෙනස් වෙනවා. සතුන්ට දරා ගන්න බැරි වෙයි. ධ්‍රැවීය සතුන් එක්කෝ හැඩ ගැසෙයි එසේ නොහැකි එවුන් මිය යාවි.. හිම වලහා වගේ සතුන් සමහර විට පුළුන් පුරවලා කෞතුකාගාර වලදී පමණක් බලන්න පුළුවන් වේවි අනාගතයෙදී. මේ සිදුවිය හැකි අනර්ථයන්ගෙන් ස්වල්පයක් පමණයි.
ඉතින් මේ තත්ත්‍වය ආපසු හරවන්න නම් බැරිවෙයි. නමුත් දැන් තියෙන තත්ත්‍වය පාලනයට පියවර ගත හැකියි. කොහොමද ? මුලින්ම අපි ශක්ති පර්භෝජනය කළමණාකරණය කළ යුතුයි. අපේ රටේ මිනිසුන්ගෙවත්, ආණ්ඩුවේ වත්, පෞද්ගලික අංශයේ වත් දකින්නට නැති එක (ප්‍රධාන) දෙයක් තමයි බලශක්ති කලමණාකරණය. මෙය බොහෝ දෙනෙකු කියන්නෙ කල නොහැක්කක් කියලා... නමුත් මම දිගින් දිගටම කියලා තියෙනවා මේ කරුණ ගැන.
  • මුලින්ම අපි සළකා බලන්න ඕන බලශක්ති ජනනය ගැන. වාසනාවකට වගේ අපට අවශ්‍ය ප්‍රමාණයට ජලාශ තිබෙනවා ජල විදුලි බලය උත්පාදනයට. නමුත්, අපි හිතලා බලලා තිබෙනවද ඒ ජලාශ පෝෂණය කරන්න අවශ්‍ය පෝෂක වනාන්තර කොපමණක් සහ අවශ්‍ය ප්‍රමාණයට ලංකාවෙ තිබෙනවද කියලා ? අපි නිතරම වැස්සට දත නියවගෙන ඉන්නවා. වැස්ස නැති කාලෙට අපි බොහොම අසරණයි. ජලාශ හිඳෙනවා, විදුලිබල අවශ්‍යතාවය පිරිමහගන්න ඩීසල් බලාගාර පාවිච්චියට ගන්නවා. -පරිසරය විනාශ වෙනවා-. අපට හැකියාවක් තිබෙනවා නම් ජලාශ පෝෂක ප්‍රදේශ නිසි ආකාරව කළමණාකරණය කරගන්න, අපට පුළුවන් වේවි ඒකාකාර ජලවහනයක් පවත්වාගන්න.. කඳුකරයේ පයිනස් ඉන්දෙවුවට ඒක කරන්න බැහැ.... එසේම තවත් ප්‍රශ්නයක් තමයි බලාගාර පෝෂක ජලාශවල රොන්මඩ තැන්පත් වීම... මේ සඳහා දැනුමැත්තන්ගෙන් උපදෙස් අරගෙන එක්කෝ රොන්මඩ ඉවත් කළ යුතුයි. නැතහොත් එසේ රොන්මඩ එකතු වීමට පිළියමක් යෙදිය යුතුයි. අපේ ජලාශ වලින් හරි අඩක්ම රොන්මඩ වලින් පිරී ගොස් ඇති නිසා අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කරගන්න බැහැ. ලිං වලට බදු ගැහුවට ඒක කරන්නත් බැහැ...
  • අනිත් දේ තමයි අපේ බලාගාර පිහිටවීමේදී අපි බැලිය යුතු වන්නේ ඒ සඳහා යොදා ගනු ලබන ඉන්ධන. අපට අඩු මුදලට ලැබුණ ගල් අඟුරු බලාගාර වල නිසි කාර්යක්‍ෂමතාවයකින් අඛණ්ඩව විදුලි ජනනය කිරීම කළ හැකි ලෙස කළමණාකරණය කරගත හැකි නම් ගල් අගුරු උපරිම පූර්ණ දහනයකට භාජනය කරලා උඵරිම ධාරිතාවක් ජනනය කළ හැකියි. නමුත්, දැනට පවතින අඩුපාඩු නිසා අවශ්‍ය තරම් කාර්යක්‍ෂමතාවයක් ලැබෙන්නෙ නැහැ. මේ නිසා ගල් අඟුරු අපතේ යාමක් හා/හෝ බලශක්ති අපතේ යාමක් සිදු වෙනවා. මේ කෙසේ වුනත් ගල් අඟුරු දහනයෙන් කාබන් ඩයොක්සයිඩි පිට වනවා. මේ පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිචක්‍රීකරණය හෝ වෙනත් දේකට නැවත පාවිච්චියට ගත හැකි නම් එය පරිසර හිතකාමී වනවා. උදාහරණයක් ලෙස සමහර රටවල් මේ කර්මාන්තශාලා වලින් පිටවන කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය මුහුදු වතුර සමඟ මිශ්‍ර කරලා සෝඩියම් සහ කැල්සියම් කාබනේට් වැනි රසායන ද්‍රව්‍ය තනා ගන්නවා... මේවා අතිශය පිරිසිදු නැති වුනත් ගොඩනැඟිලි ඉදිකිරීම් වැනි දේ වලට අවශ්‍ය ද්‍රව්‍ය තනාගත හැකි බව කියැවෙනවා. කොහොම වුනත් පිටවන කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වීමට ඉඩ නොදී භාවිතයට ගන්නවා.
  • ඊලඟ කාරණය තමයි ජීව ඉන්ධන භාවිතය. ෆොසිල ඉන්ධන භාවිතයෙදී අපි කරන්නෙ කාළයක් තිස්සේ පොළව යට තැන්පත්  වී ඇති කාබන් සංචිත නැවත භාවිතයට ගැනීම.. නමුත් මේ සංචිත නැවත ඇති වෙන්න කල්ප කාලාන්තරයක් යනවා. මෙසේ භාවිතයට ගැනීම නිසා පරිසරයට  කාබන් ඩයොක්සයිඩ් එකතු වන වේගය ඒ සංචිත නැවත සැකසීමට ගතවන වේගයට වඩා බොහොම වැඩි නිසා පරිසරයේ එකත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වනවා. නමුත් ජීව ඉන්ධන භාවිතා කළ විට සිදු වන්නේ පරිසරයේ ඇති කාබන් සංචිතයක් භාවිතයයි. මේ සංචිත ඉක්මනින් නැවත සැකසෙන නිසා පරිසරයට එකතු වන ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය (Net CO2 ප්‍රමාණය) බිංදුවක් හෝ අවම අගයක් (ජීව ඉන්ධන සැකසීමේදී භාවිතා වන ඉනධන හෝ බලශක්තිය නිසා පිටවන CO2 ප්‍රමාණය මත)  ගන්නවා. මේ නිසා ජීව ඉන්ධන භාවිතය ප්‍රචලිත කළ හැකි නම් එය ඉතා අගෙයි.
  • එසේම සූර්ය ශක්තිය සහ සුලං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය ප්‍රචලිත කිරීම.. දැනට ලංකාවෙ නම් මේ ගැන ලොකු ප්‍රවණතාවයක් දක්නට තිබෙනවා. මෙය ඉතා හොඳ ලක්‍ෂණයක්. දැනට සූර්යකෝෂ නිෂ්පාදනයෙ ඉදිරියෙන්ම සිටින්නෙ චීනය.. අපේ රටේ චීනය සමඟ ඇති මිත්‍රත්ව සබඳතා උපයෝගී කරගෙන සූර්යකෝෂ කම්හලක් ලංකාවෙ අරඹන්න පුළුවන් නම් එයින් අපේ උගත් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සැළසෙනවා වගේම අපට අපේ රට සූර්ය බලශක්තියෙන් ස්වයංපෝෂිත කරන්නත් පුළුවන් වේවි. එහෙම වුනොත් අපට ඩීසල් බලාගාර මත යැපීම අඩු කරලා අඩු මිලට විදුලිය ලබා දෙන්නත් පුළුවන් වේවි. මේ රජයක් වශයෙන් බලශක්තිය කළමණාකරණය කර ගත හැකි ආකාරය.
  • රජයේ සහ පෞද්ගලික ආයතනවලටත් විවිධාකාරව බලශක්තිය කළමණාකරණය කරගත හැකියි. උදාහරණයක් වශයෙන් අවම විදුලි පහන් ප්‍රමාණයක් භාවිතය, හෝ අවම බලශක්තියක් වැය කෙරෙන LED විදුලි පහන් භාවිතය. මෙය CFL විදුලි පහන් වලටත් වඩා අතිශයින්ම කාර්යක්‍ෂමයි. වායු සමන යන්ත්‍ර අවමයෙන් භාවිතය, භාවිතයට නොගන්නා අවසථාවල විදුලි උපකරණවල පේනු ගලවා තැබීම. Energy Star සළකුණ ඇති විදුලි පිරිමසින විදුලි උපකරණ භාවිතය. ආදී දේ විදුලිය පිරිමැසීම අතිනුත්,
  • අවම කඩදාසි ප්‍රමාණයක් භාවිතය- උදාහරණයක් වශයෙන් දැන් දැන් සියළුම ආයතනයන් පරිඝණකගත කර ඇති නිසා බොහෝ දෑ ඊමේල් හෝ අභ්‍යන්තර ලියැවිලි ලෙස ඉලෙක්ට්‍රොණිකව යැවීම- කඩදාසි ප්‍රතිචක්‍රීකරණය ආදී දේ සැළකීමට හැකියි.
  • එසේම රජයට හැකිනම් කාර්යක්‍ෂම ප්‍රතිචක්‍රීකරණ සේවාවක් අරඹන්නට එමගින් ඉතිරි කළ හැකි බලශක්තිය ඉතා විශාලයි. මා දන්නා පරිදි දැන් දැන් ඇඹිලිපිටිය කඩදාසි කම්හල සිය නිශ්පාදන සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසි පාවිච්චි කරනවා. මෙය ඉතා අගයකළ යුතු වැදගත් කටයුත්තක්.
  • පෞද්ගලිකවත් ඔබට බොහෝ දෑ කළ හැකියි. ඔබටත් හැකියි පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරන්න. CFL විදුලි පහන් වෙනුවට LED විදුලි පහන් භාවිතා කළ හැකියි.
  • LP ගෑස් වෙනුවට මෑතකදී හඳුන්වා දුන් කුණු/කාබනික අපද්‍රව්‍ය භාවිතයෙන් නිපදවෙන මෙතේන් (LP ගෑස් වලට සමාන) වායුව සකසා ගන්නා උපකරණයක් සවි කර ගැනීම : මූලික ආයෝජනය තරමක් වැඩි වුනත් වසරක් හෝ දෙකක් ඇතුලත ඒ ආයෝජනයට සරිලන ලාභයක් (break-even) ලබාගත හැකි බවයි මගේ හැඟීම.
  • ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතය. බොහෝ දිරා යන ද්‍රව්‍ය  තමන්ගේම වත්තේ වගාවන්ට යොදාගත හැකි කොම්පෝස්ට් ලෙස භාවිතා කළ හැකියි. දිරා නොයන ද්‍රව්‍ය කිසියම් ආකාරයකට ප්‍රතිචක්‍රීකරණය කළ හැකිනම් අගෙයි.
  • නැවතත් - භාවිතයට නොගන්නා විට විදුලි උපකරණ පේනු වලින් ගලවා තැබීම. විදුලිය පිරිමසින විදුලි උපකරණ භාවිතය.
  • වාහනය නිසි පරිදි භාවිතය
    • නිසි පරිදි නඩත්තුව
    • තනි පුද්ගලයෙකු බැගින් වාහන කිහිපයක ගමන් කරනවා වෙනුවට නිවසේ කිහිප දෙනෙකු එක වාහනයක ගමන් කිරීම - car-pooling.
    • පොදු ප්‍රවාහණ සේවා භාවිතය.
    • ඉන්ධන අධික ලෙස පරිභෝජනය කරන විශාල වාහන වෙනුවට තමන්ට සරිලන සාමාන්‍ය වාහනයක් භාවිතය - තමන්ගේ ආත්මාභිමානය පසෙක දැමිය යුතු අවස්ථාවක් වන මේ කැපකිරීම ලාංකිකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බව මා හොඳටම දනී
    • දෙමුහුන් වාහන භාවිතය (Hybrid Vehicles) නිසා භාවිතා වන ඉන්ධන වලින් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි වෙනවා. සාමාන්‍යයෙන් දෙමුහුන් වාහන සෙමෙන් ගමන් කිරීමේදී බැටරිය භාවිතා කරන නිසා කොළඹ වැනි අධික වාහන තදබදය ඇති පෙදෙසක ධාවනය වන වාහනවල සෑහෙන ඉන්ධන ඉතිරියක් වනවා. රජය මීට බදු සහන ලබා දී තිබුණත් කාගේ හෝ මුග්ධ අදහසකට අනුව  ඒ වාහන වලටත් බදු අය කිරීම නිසා දැන් ඒ වාහන ගෙන්වීම අඩු වී තිබෙනවා. ඒ පුද්ගලයා  දුර දක්නා නුවණකින් යුතු කෙනෙක් නම් තව වසර දහයක් දක්වා ඉදිරිය ගැන සිතා මෙවැනි වාහන ගෙන්වීම දිරිමත් කළ යුතුයි. එවැනි වාහන ගෙන්වීමෙන් අධික ඉන්ධන දහනය සිදු වන පැරණි වාහන ගෙන්වීම නතර වන අතර ඉදිරියේදී ඉන්ධන භාවිතයද අඩු වී රටටත් බරක් අඩු වනවා. කාගෙ වුනත් මොළේ තමයි මොළේ....
ඉතින් මේ කිවුවෙ SEX වල මුල හරිය පමණයි... තවත් දේ බොහෝ කියන්න තිබුණත් ලිපිය හොඳටම දිග වැඩි වුනා... EX වලින් තේරුම් යන දෑත් ඉදිරියේ දවසක ලියන්නම්..... ඇත්තෙන්ම කියන්න තියෙන්නෙ මේ වගේ ලිපියකට වෙනත් මාතෘකාවක් දැම්මා නම් මේ කියවපු ගණනෙන් බාගයක් වත් නොකියවන්න ඉඩ තිබුණ බවයි. මේකත් මගේ එක්තරා පර්යේෂණයක්.... මිනිස්සු කොතරම් SEX කියන වචනයට ඇදිලා එනවද කියලා බලන්න.... පර්යේෂණය සාර්ථකයි... .ගියවර ලිපියකිනුත් මම ඒ ගැන කිවුවා...
තරහ වෙන්න එපා.. ඔබ සියල්ලන් මගේ පර්යේෂණ නියැදීන්....