Friday, November 2, 2012

2012 නොවැම්බර් 03: මෙන්න මිනිහෙක් මැරෙනවා... වරෙල්ලා වරෙල්ලා.... වීඩියෝ කරපල්ලා......


අපේ ඉතිහාසයේ නොවූ විරූ අන්දමට අපේ සිත් සතන් සහ සිතිවිලි විරූප වී තිබේ. තාක්‍ෂණයේ දියුණුවත් සමඟම සියළුම දෙනාට  අති නවීන ජංගම දුරකථන හිමි වී තිබේ. යුද්ධයේ අනුහසින් මරණය යනු තවත් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මිනිසුන් සිතන්නේ නැත.. ඔවුහු තිරිසන් හැඟීම් සහ ඇඩ්‍රිනලින් ප්‍රවාහයන් වෙනුවෙන් මානුෂිකත්‍වය බිලි දී ඇත. පුවත්පතක් ගතහොත් ස්ත්‍රී දූෂණ 10ක්, මිනී මැරුම් 15 ක් සහ ලමා අපචාර පහක්වත් කියවිය හැක. පුවත්පත් විකුණා ගැනීම සඳහා ද බොහෝ පුවත්පත් මේවා රසකමින් පළකරති. තවත් සමහර රූපවාහිනී සේවා මළකඳන් විකුණමින් සිය ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙන යති. එසේම මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් තිරිසන් වී ඇති අයුරු මෑතකදී සිදු වූ සිදුවීම් කිහිපයකින්ම අපට පසක් විය. රිය අනතුරකට පත්ව හිස කඳින් වෙන්ව ගිය මවගේ හිස රැගෙන විලාප නඟන තරුණියක් වීඩියෝ කරන්නට සමත් නරුම හිත් අපට පහළ වූයේ කෙසේදැයි සිතා ගන්නට නොහැක... එයට දෙවැනි කර රන් පදක්කම ලබා ගන්නට ගාල්ලේ සිදුවීමක් වීඩියෝ කළ පුද්ගලයා සමත්ව ඇත.

ගාල්ලේ සිදු වූ ගැටුමකදී හිටපු නගරාධිපති ගේ සොහොයුරාගේ පාදයක් හා අතක් වෙන්වන්නටම මහමඟ කපා දමා තිබියදී ඔහුව රෝහලකට ගෙනයනු වෙනුවට ඒ වටා සිටි සියළුම දෙනා තම ජංගම දුරකථන ඒ දෙසට දික් කරගෙන වීඩියෝ කරනු අපට දක්නට ලැබුණි. මෙසේ වීඩියෝ කරගෙන කුමක් කරන්නද ? නැවත නැවතත් අර මිනිසා මරණය සමඟ පොරබදනු නරඹා මාර ආතල් එකක් ගන්නද ? ගෙදර ගෙනගොස් පෙන්වන්නද ? වෙබ්අඩවියකට විකුණා මුදල් ගන්නද ? මේ සිද්ධිය ගාල්ල ප්‍රදේශයේ කල්ලි කිහිපයක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව දැන් දැන් ඇසෙන ප්‍රවෘත්ති වලින් දැනගන්නට ලැබේ. අවි ගත්තෝ අවියෙන්ම නැසුනත්, අපට ඒ ගැටුමට අත දැමීම තම ජීවිතයට තර්ජනයක් විය හැකි වුවත්, මානුෂීය හේතූන් සළකා එම පුද්ගලයා මහමඟ මිය යනු වීඩියෝ නොකර සිටියා නම් කොපමණ වටී ද ? මිනිස් ජීවිතයට ලැබෙන වටිනාකම මෙයද ?

මෝටර් රථ ධාවන තරඟයකදී පාරෙන් ඉවතට ගිය වාහනයක් ගොඩට අදින දර්ශනයක් වීඩියෝ කළ තරුණයින් දෙදෙනෙකු එහි දී සිදුවූ  අනතුරකින්  නිසාම මියගිය පුවතක් අපට අසන්නට ලැබුණේ වැඩි ඈතක නොවේ. එසේම ඒ මියගිය තරුණයින් දෙදෙනාද වීඩියෝ කර අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබෙනු අපට දකින්නට ලැබුණි. ඔබ හෝ ඔබගේ පවුලේ කිසිවෙකු මෙසේ මහමඟ මිය යද්දී අවට සිටින්නවුන් උපකාර නොකර දුරකථන දික් කරගෙන සිටිය හොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද ?

මීට වසර විස්සකට පමණ පෙර පාර අයිනෙහි බල්ලෙකු පණ අදිමින් සිටියත් අහළ-පහළ මිනිසුන් එකතු වී ඌට වතුර පොදක් පෙවීමට හෝ තරම් මනුස්සකමක් අපේ හදවත් තුළ තිබුණි. නමුත් යුද්ධයත් තාක්‍ෂණයත් තවත් නොදන්නා සාධක බොහොමයකුත් එකතුව අපේ මනුස්සකම කොහේදෝ රැගෙන ගොස් ඇත... ඒ නිසාම මිය යන මිනිසාගේ ගෞරවයට වඩා වීඩියෝ කිරීම අපට ලොකු වී ඇත....

අපි අපේ මිනිස් ජීවිතවල අර්ථය කුමක්දැයි නැවත සිතා බැලීමට කාළය පැමිණ ඇත... ආණ්ඩුවෙන් නීති පැණවීම කරනතෙක් බලා නොසිට අපි අපිම ස්වයං වාරණයක් පණවාගත යුතුය... මිනිස් ඝාතනය කොතැනත් වැරදි ය... නමුත් ඒ සඳහා ක්‍රියා කිරීමට නීතියක්, පොලීසියක් ඇත.. ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ කාර්යය ඔවුන්ට භාර කරමු.. නමුත්, මිය යන මිනිසෙකුගේ අවසාන මිනිත්තු කිහිපය ඔබේ ජංගම දුරකථනයේ තබාගෙන එය රස විඳීම නම් අන්තිම පහත් කාර්යයකි....

ඔබේ වටිනාකම පිළිබඳ ඔබම තක්සේරු කරගන්න..... ඔබ මිය යන විටත් වටපිට මිනිසුන් ජංගම දුරකථන දික් කරගෙන සිටින දිනය වැඩි ඈතක නොවන්නට පුළුවන... ඔබ වෙනස් වෙන්න... ඔබේ මිතුරන් වෙනස් කරන්න.... සමාජය වෙනස් වනු ඇත....
මිනිසෙක් වශයෙන් ජීවත් වී මිනිසෙක් වශයෙන් මිය යන්න...... අවම වශයෙන් ඔබේ ආත්මයට සැනසීමක් එක්කරවනු ඇත...

පිටස්තරයා..... දෙවැනි දිගහැරුම...

පිටස්තරයා - ඇරඹුම

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::



ඒ කියන්නෙ හැම දෙයක්ම පිරිසිදුයි....
සියයට සියයක්ම....
තවත් වතාවක් පරීක්‍ෂා කරලා බලන්න....
තවත් බලන්නෙ මොනවද ? තුන් වතාවක් කළා... එකම ප්‍රතිඵලය එන්නෙ.... කිසිවක් සොයා ගන්න නැහැ...
අඩුම ගානෙ මාර්ග නීති කඩ කිරීමක් වත් ?
නැහැ...
ආයෙම බලමු පාසැල් යනකාලෙ ගත්ත වීඩියෝ සටහන්...
බලන්න.. මෙන්න මේ ඉන්නෙ එයා.. කිසිම කලබලයක් නැතුව නියමිත ඉලක්කයටම පන්දුව යොමු කරනවා. කිසිම වෙලාවක වරදින්නෙ නැහැ.. අල්ලගන්න පුද්ගලයා බිම දැමුවොත් මිසක්.. කිසිම වෙලාවක නීති විරෝධී අන්දමින් ක්‍රීඩා කරන්නෙවත් නැහැ..
මේ තියෙන්නෙ සමස්ත ඇමරිකානු ටයි-ක්වොන්ඩෝ අවසාන තරඟය.... කිසිම ගණනකට නැතිව ප්‍රතිවාදියා බිම හෙලන්නෙ... දාඩිය බිංදුවක් හෙලන්නෙ නැතිව... කොහොමද මෙහෙම වෙන්නෙ... මේක අවසාන තරඟයක්.....
එතකොට විශ්ව විද්‍යාලයෙ කිසිම සිදුවීමක් වාර්තා වෙලත් නැද්ද ? ගැටීමක්.... රණ්ඩුවක්.... මත්පැන් සම්බන්ධව වත්...
නැහැ.. අවම වශයෙන් මත්පැන් සම්බන්ධයෙන් වත් කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ...
Facebook Account එක ?
කිසිම වැරැද්දක් නැහැ.
Twitter, Linked-In, Research Gate, My Space,.. E-mail ?
කිසිම දෙයක සැක කටයුතු දෙයක් හොයා ගන්නවත් නැහැ.. ඔක්කෝම පිරිසිදුයි... වැරදි පින්තූරයක්වත් නැහැ..
මේක වෙන්න බැහැ... කොහොමටවත් වෙන්න බැහැ...
ආයෙම ස්පයිඩර් වැඩසටහන සියළුම දේ වලට යවලා බලන්න.. මෙහෙම පිරිසිදු ඉතිහාසයක් තියෙන කෙනෙක් අපේ ආයතනයෙවත් හොයා ගන්න බැහැ... එක්කෝ මෙයා ලොකු හොරෙක්.. ඔක්කෝම දේවල් හොඳින් වහන්න දන්නවා... නැතිනම් මෙතන ලොකු අසාමාන්‍යතාවයක් තියෙනවා.
හොඳයි... අපි ආයෙත් වතාවක් බලමු...
ස්ථානය... එෆ් බී අයි මූලස්ථානයේ පුද්ගල තොරතුරු ඒකකය... ඒජන්ත ජෝන් හැන්සන් සහ බෙන්ජමින් යංග් ට පැවරී ඇති රාජකාරිය වන්නේ අදාල පුද්ගලයින් තිදෙනාගේ යටගියාව හාරා ඇවිස්සීම වේ... කුඩා කළ සිට දැන් දක්වා තොරතුරු එක් කර ලිපි ගොණු තුනක් තැනීමට ඔවුනට ලැබී ඇති කාළය සීමිත වුවත් අන්තර්ජාලයේ මෙන්ම ඒජන්සියේ ඇති සුවිශේෂී පරිඝණක වැඩසටහන් නිසා ලොව බොහෝ දෙනෙකුගේ තොරතුරු ඇසිල්ලකින් පරිඝණක තිරය වෙත ලබා ගැනීමේ හැකියාව ඔවුනට ඇත. ඔවුන් සකස් කළ ස්පයිඩර් වැඩසටහන මගින් ලොව ඇති සියළුම තොරතුරු සෙවීමේ වෙබ් අඩවිවල ඇති  ජාලගත තොරතුරු ඒ ඒ වෙබ් අඩවි මාර්ගයෙන්ම පෙරාගෙන ක්‍ෂණිකව ලබාගත හැකි ආකාරයේ අති නවීනතම වැඩසටහනකි.
පසුගිය වසරේ එෆ් බී අයි වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කළ චීන විශ්ව විද්‍යාල සිසුවෙකු දැලට හසු කරගත් ඒජන්සිය, ඔහුව සිය පරිඝණක ආරක්‍ෂක අංශයට බඳවා ගත්තේය. මෙවැනි දක්‍ෂතා ඇති පුද්ගලයින් සහ අති සූක්‍ෂම සොරකම් සිදු කරන පුද්ගලයින් ඒජන්සියේ සම්පත් දායකයින් ලෙස බඳවා ගැනීම  එහි ප්‍රතිපත්තියකි. ඒ ඔවුන්ගේ සූක්‍ෂම බුද්ධියෙන් ප්‍රයෝජන ගැනීම සහ අනාගතයේ ඔවුන්ගෙන් එල්ල විය හැකි විශාල අනතුරු වලින් ඒජන්සියත් පුරවැසියනුත් බේරා ගැනීම සඳහා සිදු කෙරෙන ආරක්‍ෂක ක්‍රියාදාමයක කොටසකි. මේ තාක් කල් එහි ප්‍රතිඵල යහපත් විය. මේ පරිඝණක වැඩසටහන ද ඉහත කී චීන ජාතික තරුණයාගේ නිර්මාණයකි.
විනාඩි කිහිපයකින් දත්ත ලැබුණි...
කිසිම වැරැද්දක් නැහැ... මේක නම් වෙන්න බැරි දෙයක්... අපි මේක දන්වන්න ඕන... නැතිනම් අපටයි අවනම්බු.... ඒජන්ත ජෝන් අනෙකාට පැවසීය....
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
නමුත් එකම වැරැද්දක් තියෙනවා මෙතන....
බලන්න... රුධිර හිමෝග්ලොබීන් ප්‍රමාණය සාමාන්‍ය වැඩුනු මිනිසෙකුට වඩා වැඩියි... අන්න ඒකයි මම කිවුවෙ මේ රුධිරය අළුත උපන් දරුවෙකුගෙ රුධිරය හා සමානයි කියලා... වැඩුනු මිනිසෙකුගේ හිමෝග්ලොබීන් ප්‍රමාණය  14-18 g/dL විය යුතුයි.... ඒත් මෙයාගෙ ඒ අගය 21 g/dL. ඒ අගය හරියටම සමාන වෙන්නේ  අළුත උපන් දරුවෙකුට.. ඒ කියන්නෙ 17-22 g/dL. මේකයි මට තිබෙන ප්‍රශ්නය...
ෆිලිප් හිස කසමින් නොයිවසිලිමත්ව පිළිතුරු දුන්නේය....
මෙහෙම වෙන්න හේතු තියෙනවද ?
ඔව්... හේතු කිහිපයක් තිබෙනවා.. එකක් තමයි මෙයාට මොළයේ අසාමාන්‍ය ගෙඩියක් හෝ පිළිකාවක් වැනි තත්ත්‍වයක් තිබීම නිසා හිමෝග්ලොබීන් අධිකව නිෂ්පාදනය වීම... අනෙක පෙනහළුවල එම්ෆිසීමා නම් වූ තත්ත්‍වය නිසාත් හිමෝග්ලොබීන් අධිකව නිෂ්පාදනය වෙනවා...
නමුත් එක්ස් රේ සහ එම් ආර් අයි පරීක්‍ෂණ වලින් මේ බව තහවුරු වෙන්න තිබුණා නේද ?
ඔවු... එක්ස් රේ, කැට් ස්කෑන්, සහ එම් ආර් අයි පරීක්‍ෂණ කිසිම දෙයකින් ඒ වගේ අසාමාන්‍යතාවයක් පෙන්නුම් කළේ නැහැ.
තවත් සාධක තිබෙනවාද ?
ඔව්.. අපට පිළිගත හැකි ආසන්නතම සාධකය තමයි ඔහු හොඳ මළල ක්‍රීඩකයෙක්... මේ නිසා වැඩි ශක්තියක් ලැබ දෙන්න රුධිරයට එකතු කරන එරිත්‍රොපොයටින්  වැනි ඖෂධ නිසාත් රුධිරගත හිමෝග්ලොබීන් වැඩි වෙනවා...
අහ්... ඒක වෙන්න පුළුවන්... කරපු හැම ක්‍රීඩාවකින්ම හොඳ දක්‍ෂකම් පෙන්වලා තිබෙනවා.... ඒ විතරක් නොවෙයි.. පාසැල් මට්ටමේදි, විශ්ව විද්‍යාල මට්ටමේදී මේ රුධිර මාත්‍රණයට පරීක්‍ෂා කරන්නෙ නැහැ.... මෙයා අමු හොරෙක්... ! සිය හැඟීම් ප්‍රසිද්ධියේ කිසිදා  පිටතට නොපෙන්වන  නැන්සි පෙපර් සිය ඒකාග්‍රතාවය බිඳ දමා පැවසුවාය...
නැහැ... එහෙම කියන්න බැහැ... එහෙම මාත්‍රණයක් කළා නම් රුධිර පරීක්‍ෂාවෙදි අනිවාර්යයෙන් අපට සොයා ගන්න පුළුවන් වෙනවා. මේ රුධිර පරීක්‍ෂාව ලෝකයේ වෙනත් පරීක්‍ෂණ වලට වඩා දියුණු බව ඔබතුමිය දන්නවා නෙ... ඒක කොහොමටවත් වෙන්න බැහැ..
මෙහෙම වෙන්න බැරිද ? මෙයා රුධිරයේදී සුළු කළෙකින් විනාශවන බෙහෙතක් මේ සඳහා පාවිච්චි කළා වෙන්න බැරිද ?
බැහැ... මේ රුධිර සාම්පලය අති පිරිසිදුයි...අවම වශයෙන් නිකටින් ස්වල්පයක් වත් නැහැ... ඒ නිසා දුම් බොන තැනැත්තෙක් කියන්නත් අමාරුයි... පුදුමය කියන්නේ මේ සාම්පලයෙ කිසිම බැර ලෝහයක් වත් නැහැ.... සාමාන්‍යයෙන් මිනිසෙක් පාරෙ ඇවිදිනවිට ආඝ්‍රාණය වන දුමෙන් ඇඟට ඇතුළුවන අංශූන්ගෙන් වත් මේ රුධිරය අපිරිසිදු වෙලා නැහැ..
එක්කෝ මේ රුධිරය තිබෙන පුද්ගලයා අති නවීන අති පිරිසිදු පරිසරයක අවුරුදු ගණනාවක් ජීවත් වන පුද්ගලයෙක් විය යුතුයි. නැත්නම් නිතර නිතර රුධිරය මාරු කරන පුද්ගලයෙක් විය යුතුයි. නමුත් මේ කරුණු දෙකම අපට ඉවත දමන්න සිදු වෙන්නෙ මෙයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්... ඒ වගේම ශරීරයේ කිසිදු සළකුණක් නැහැ එසේ රුධිරය මාරු කිරීමට එන්නත් කිරීමක් කරපු.... මේකයි මට තියෙන ප්‍රශ්නය...
අපට තිබෙන්නේ විකල්ප දෙකයි... මෙතෙක් වේලා නිහඬව සියල්ල අසා සිටි ප්‍රධාන පර්යේෂක ඩෙනිස් ලිපර්ඩ් සෙමෙන් කඩහඬ අවදි කළේය...
එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන... නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්‍රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්... දැනටමත් අපි ඒ ගැන පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ..
ඔබට පිස්සුද ඩෙනිස් ?! අද්මිරාල් වරයා ගුගුලේය...
අපි කොහොමද මනුස්සයො මෙයාව නුසුදුස්සෙක් කියලා ඉවත් කරන්නෙ ? මෙයාගෙ සුදුසුකම් අනිත් දෙන්නාට වඩා වැඩියි... අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ ඔහු පර්යේෂණ ඉදිරිපත් කිරීමෙන් අසමත් වේවි කියන එක පමණයි. නමුත් මේ වගේ පුද්ගලයෙක් එයින් අසමත් වේවිද ? මොනවා වුනත් පරිඝණක වැඩසටහන් වලට බොරු කරන්න බැහැ.. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා මේ හැම තීරණයකටම හේතු දක්වන්න... ඔබ හිතන්නේ මේ වගේ එක දෙයක් නිසා ඔහුව අයින් කළා කියන ළදරු  පිළිතුර ඉහළ පාලනාධිකාරිය භාර ගනී කියලද ? මේක මගේ රස්සාවත් ගහලා යන වැඩක්.... අපි මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන ඩෙනිස්.. අපි මීට වඩා සූක්‍ෂම වෙන්න ඕන...... මම බලාපොරොත්තු වුනේ නැහැ ඔබෙන් මේ වගේ උත්තරයක්... දෙයියන්ගෙ නාමෙට ඔයා  මෙතන පර්යේෂණ ප්‍රධානියා.. තත්ත්‍වයට ගැලපෙන්න කතාකරනවා... !
සියල්ලෝම අද්මිරාල් වරයාගේ ගිගිරීමට තුෂ්නිම්භූත විය...
සාමාන්‍යයෙන් ඉතාම නම්‍යශීලී සුහද පුද්ගලයෙක් වන අද්මිරාල්වරයා ඉහළ සමාජයේ සියළුම දෙනාගේ ගෞරවය දිනා සිටි ඉතා වැදගත් නිලධාරියෙකි. කිසිවිටෙක සිය නිවුණු බව බිඳ නොගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රකටය...,
USS Mount Whitney
2008 අගෝස්තු 7 සහ 8  දෙදින තුළ ජෝර්ජියාව  විසින් දකුණු ඔටිස්සාව අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ වෙත දරුණු හමුදා ප්‍රහාරයක් දියත් කළේය... ඒ සඳහා ජෝර්ජියාව ඉදිරිපත් කළ නිදහසට කරුණු වූයේ සිය සාම සාධක හමුදාවන්ට සහ මහජනයාට රුසියාව විසින් එවනු ලබන සාම සාධක නොවන හමුදාවන් විසින් දියත් කරන ප්‍රහාරයන්ගෙන් ඔවුන් ගලවා ගැනීම උදෙසා කරන ප්‍රහාරයක් බවයි. මෙහිදී ඔටිස්සා හමුදා සමඟ එක්වූ රුසියානු සාම සාධක භටයින්ට ජෝර්ජියා හමුදාවන්ගෙන් දැඩි හානි සිදු විය. ජෝර්ජියානු භටයින් විසින් ට්ක්‍ෂින්වාලි ප්‍රදේශය ඉතා සුළු කාළයකින් අත්පත් කරගන් ලැබීය. මේ සඳහා රුසියාව ප්‍රතිචාර දැක්වුයේ ප්‍රති ප්‍රහාරයන්ට සිය 58 වන හමුදා ඛණ්ඩය එක් කිරීමෙන් සහ විශ්වාසනීය සහ සැපයුම් ඉලක්කයන්ට ගුවන් ප්‍රහාරයට එල්ල කිරීමෙනි. මේ කෙටි යුද්ධය දින පහේ යුද්ධය ලෙස ප්‍රසිද්ධියට පත් විය. රුසියාවට අනුව මේ ප්‍රති ප්‍රහාර මානුෂීය මෙහෙයුමට අත්‍යවශ්‍ය බව සාධාරණීකරණය විය. මේ දිනවලම නේටෝවට සහාය දක්වන මවුන්ට් විට්නි ඇමෙරිකානු යුධනැව කළු මුහුදේ සිට මේ යුධයෙන් අවතැන් වූවන් සඳහා සහනාධාර ගෙන යාමට "සහතිකවම ආධාර බෙදාහරින" (Operation Assured Delivery) නම් වූ යුධ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ජෝර්ජියාවට ආධාර සැපයීම අපහසු කාර්යයක් වුවත් අද්මිරාල් රිචර්ඩ් බවර් සිය දක්‍ෂතාවය සහ අත්දැකීම් මනාව ඔප්පු කරමින් පෝටි වරායට ආධාර ගෙන ආ පළමු නේටෝ නැව ගෙන එමින් සාර්ථකව මෙහෙයුම අවසන් කළේය. මේ නිසාම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සිය අත්දැකීම් තවදුරටත් සිය රටට ලබාගනු වස් ජනාධිපතිවරයා විසින් ඔහු නාවික හමුදා පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය... ඔහු 2009 සිට මේ දක්වාම ඒ ධුරය හොබවමින් සිය ආයතනයෙන් සිදු කෙරෙන සේවය වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස මාතෘභූමියට ලබා දෙමින් සිටී.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
සෙස්ස පස්සට.....