Wednesday, January 30, 2013

පිටස්තරයා..................... විසිඑක්වන දිගහැරුම................


:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මේ වාර්තාව නම් සෑහෙන සංකීර්ණයි.....
ඒ මොකද එහෙම කියන්නෙ.... ඔයාම නෙ කිවුවෙ මේ වාර්තාව පැහැදිලි කරලා දෙන එක සුළු දෙයක් කියලා.
මම කිවුවා තමයි... ඒ වුනාට මේක හිතුවට වඩා සංකීර්ණයි... මේකෙ සංඝඨක කිහිපයක් මම වෙන් කරලා හඳුනා ගත්තා... නමුත්, මේකෙ සමහර වෙලාවට එකම සංඝඨකය විවිධ ප්‍රමාණ වලින් එක් එක් තෙල් වර්ගයේ තිබෙන්න පුළුවන්. මේ නිසා එක් එක් තෙල් වර්ගයට ආවේණික සංඝඨක වලින් තෙල් වර්ගය හඳුනා ගන්නවා විනා ඒවායේ ප්‍රතිශතයෙන් නම් කොහොමටවත් හඳුනාගන්න බැහැ.. උදාහරණයක් වශයෙන් පයිනීන් කියන සංඝඨකය අඩංගු වෙන්නෙ ටර්පන්ටයින් කියන තෙල් වර්ගයෙ.. ඒ නිසා අපට පුළුවනි මේ මිශ්‍රණයේ ටර්පන්ටයින් තිබෙන බව සහතික කරන්න.. සින්ජිබරීන් තියෙන්නෙ ඉඟුරු වල.. ඒ නිසා ඉඟුරුත් මේ මිශ්‍රණයේ අන්තර්ගතයි. එපමණක් නොවෙයි මස්ටර්ඩ් (අබ) පවා මේ මිශ්‍රණයේ තියෙනවා... මම කිසිම අවස්ථාවක දැකලා නැහැ මේ වගේ සංකීර්ණ මිශ්‍රණයක්.
සයන්ටිස්ට් රාහුල් ගුප්තා... ඔබ කියන්නෙ ඔබටත් මේ මිශ්‍රණයේ තියෙන සංඝඨක වෙන් වෙන්ව හඳුනා ගන්න බැහැ කියලද ?
ඔව්.... මට සමහරක් සංඝඨක හඳුනාගත්තත් සියල්ල හඳුනාගන්න අමාරුයි.. නමුත්, මේ සොයා ගත් දේ වලින් මට නිගමනය කරන්න පුළුවන් මේ මිශ්‍රණය යොදාගෙන තිබෙන්නෙ කිසියම් පිරිසිදුකාරකයක් විදියට බව.
ඒ වගේම ඔබ ගෙන ආපු පැලය අපි පරීක්‍ෂාවට ලක් කළා... ඒ පැළය කුඩා කාළයේ කුමක්ද කියා හඳුනාගන්න අමාරු වුනත්, එය Sylibum වර්ගයක් වන Milk Thistle නම් පැලෑටිය බවට හඳුනාගත්තා. එය සාමාන්‍යයෙන් ඇමරිකානු මහාද්වීපයේ වැඩෙන පැලෑටියක් නොවෙයි. නමුත් එය ඇට මගින් පැල කරගන්න පුළුවනි. එය වැඩෙන්නෙ මධ්‍යධරණී ප්‍රදේශ, උතුරු අප්‍රිකාවෙ සහ මැදපෙරදිග ප්‍රදේශ ආශ්‍රිතව. මේ පැලෑටිය අධික ඖෂධීය වටිනාකමක් තිබෙන පැලෑටියක්.
මොකද්ද ඒකෙ ඖෂධීය වටිනාකම ?

Milk Thistle මලක්
Milk Thistle මලක්

මේක විෂ හරණ පැලෑටියක් විදියට පුරාණ කාළයේ සිටම භාවිතා කරලා තිබෙනවා. මේ පැලෑටියේ ඇති සිලිමරින් කියන සංයෝගයේ ගුණ පිළිබඳ ඉතා දිගු කාළයක සිට පර්යේෂණ කෙරිලා තිබෙනවා. ඒ අනුව අක්මාවේ සිදුවන රුධිර පිරිපහදුවේදී ශරීරයේ ඇති සියළුම විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ ඖෂධ වැනි දේ වල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කර ශරීරයෙන් ඉවත් කිරීම මගින් අක්මාවේ කාර්යක්‍ෂමතාවය වැඩි කරනවා. අක්මාව නිරෝගීව තබා ගන්නවා. මේ නිසා රුධිරය ඉතාමත් පිරිසිදු තත්ත්‍වයක පවත්වාගෙන යාමට මේ පැලෑටිය භාවිතයට ගන්න කෙනෙකුට හැකි වෙනවා. මේ සංසිද්ධිය අද ඊයෙ සොයාගත්  දෙයක් නොවෙයි. ඈත අතීතයේ රෝම සහ ග්‍රීක ජාතිකයන් පවා මේ පැලෑටිය සහ ඇට විෂහරණය හඳහා යොදාගෙන ඇති බව සඳහන්... ඒ නිසා මම හිතන්නෙත් මේ පුද්ගලයා තමන්ගෙ ශරීරයේ ඇති විෂද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය ඉවත් කරගන්න මේ පැලෑටියෙ නිස්සාරකයක් හෝ ඇටවලින් ලබා ගත් කුඩක් භාවිතා කරන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම පෙරදිග වෛද්‍ය විද්‍යාවෙදි සමහර වෙලාවට පිළිකා ප්‍රතිකාර සඳහාත් මේ පැලෑටිය යොදා ගන්නවා කියලා වාර්තා වෙනවා. රාහුල් ගුප්තා විසින් එෆ්බීඅයි ඒජන්තවරු දෙදෙනාට එම පැලෑටිය පිළිබඳ දිගු විස්තරයක් ගෙන හැර පෑවේය.
ආ.... ඒක තමයි මෙයාගෙ රුධිර පරීක්‍ෂාවෙදි කිසිම දෙයක් අපට අහු වුනේ නැත්තෙ... රුධිර වාර්තාවෙ අඩංගු වෙන්නෙ බොහොම පිරිසිදු රුධිරය ඇති පුද්ගලයෙක් කියලයි.. සියල්ල අවසන ජේසන් කටහඬ අවදි කළේය.
සමහරවිට මෙයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ බව සඟවන්න මේක පාවිච්චි කළා වෙන්න බැරිද ? ඒ මයික්...
එහෙම වෙන්නත් පුළුවන්. නමුත් දැන් ආයෙම රුධිර පරීක්‍ෂාවක් නොකෙරෙන නිසා ඇයි දැනුත් ඒවා පාවිච්චි කරන්නෙ ? රාහුල්ගෙ තර්කයත් වැදගත්...
අපට මේ දේ දැනගන්න කරන්න පුළුවන් එකම දෙයයි. මෙයාගෙ අනතුර වුන වෙලාවෙ ලබාගත් රුධිර සාම්පලය විශ්ලේෂණය කරලා බැලුවොත් මෙයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවද කියලා හොයා ගන්න පුළුවනි. අපි ඔහුගෙ නිවස පරීක්‍ෂා කළ වෙලාවෙ නම් අපට කිසිම මත්ද්‍රව්‍යයක් හෝ සිරින්ජයක්වත් හමු වුනේ නැහැ... ඒ නිසා මත්ද්‍රව්‍ය ගන්නවාද කියන සැකය ඒ තරම් තහවුරු වෙන්නෙ නැහැ.
කෝකටත් අපි වෛද්‍ය වාර්තාව අරගෙනම බලමු..... සයන්ටිස්ට් රාහුල් ගුප්තා.... බොහොම ස්තූතියි ඔබේ විශේෂඥතාවය මේ කාර්යයට ලබා දුන්නාට.... අපේ වාර්තාවෙ ඔබ ගැන විශේෂ සඳහනක් කරනවාමයි මේ සිද්ධියට උපකාර කළාට....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සතියක් ගත වෙද්දී විශ්ව කෙමෙන් කෙමෙන් සුවය ලබන්නට විය. හදිසි සත්කාර ඒකකයෙන් ඉවතට ගනු ලැබූ විශ්වට ආදර සත්කාර ද නොඅඩුව ලැබුණි... සිය මාමණ්ඩිය සහ ලොකු නැන්දාගෙන් මෙන්ම මොලී ද නිතිපතා පැමිණ විශ්වගේ සැප දුක් සොයා බැලීම නිසා විශ්ව ඉක්මනින්ම සුවය ලැබුවේය.... විශ්වට සිහිය ආ පසු පිරිත් සජ්ඣායනය කිරීම නතර වුවත්, අත්ථදස්සි හිමියෝ ද විටින් විට රෝහලට පැමිණ විශ්ව හා බොහෝ දේ සාකච්ඡා කරනු පෙණුනි. මේ අතර විශ්වගේ පාදය යථා තත්ත්‍වයට ගෙන ඒම පිණිස කායික ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය බවට සහ මානසික ප්‍රතිකාර අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නියම කිරීම  නිසා විශ්ව හමුදා රෝහලේ පුනරුත්ථාපන අංශය වෙත මාරු කර යැවීමට ද සූදානමක් තිබුණි.
මොලී... ඔයා විශ්වගෙ පෙම්වතියද ? දිනක් මොලී සමඟ කතා බහේ නියැලී හුන් සුමනසේකර මහතා එක්වරම මොලීගෙන් විමසීය.
නැහැ... ඇයි එහෙම ඇහුවෙ ?
නැහැ... මම නිකමටයි ඇහුවෙ... මෙච්චර කාලයක් විශ්ව අසනීප වෙලා ඉඳිත්දි දිගටම විශ්ව බලන්න, එයාගෙ ගැන හැම නිතරම හොයා බලන්න වැඩියෙන්ම ආවෙ ඔයා විතරයි... මෙච්චර කාලයකට විශ්වට ගෑණු ළමයෙක් කියලා ලංවෙලා හරි හිටියෙ ඔයා විතරයි... ඒකයි මම ඇහුවෙ... වෙන කාරණයක් නිසා නොවෙයි... සුමනසේකර මහතා සන්සුන්ව උත්තර දුන්නේය...
මම විශ්වගෙ පෙම්වතිය නොවෙයි... නමුත් අනතුර සිදු වෙන්න පෙර  සතියක පමණ වෙලේ ඉඳලා අපි දෙන්නා එකටමයි වැඩ කළේ.. ඒ නිසා ගොඩක් මිතුරු වුනා...
ඇත්තම කියනවා නමු නම් ඔයා විශ්ව බලන්න එනවට මගේ එච්චර කැමැත්තක් මුලින් තිබුණෙ නැහැ.. නමුත් මට තේරුම් ගියා ඔයා විශ්ව ගැන සෑහෙන වද වෙනවා කියලා... මොලී... විශ්ව කියන්නෙ අපට බොහොම සුවිශේෂ දරුවෙක්... විශ්ව අපි හැමෝටම සම්පතක්. විශ්වගෙ පවුලෙ අය අකාලයේ මිය ගියත්, විශ්වගෙ තාත්තා නිතරම මට කිවුවෙ ඒ අය නැති කාලෙක විශ්ව හොඳින් බලාගන්න කියලා... මට හිතෙන විදියට විශ්වගෙ තාත්තා දැනගෙන හිටියා එයාගෙ ජීවිතය කෙටියි කියලා... විශ්වට අවුරුදු 16 වෙනකොටම තමයි විශ්වගෙ තාත්තා විශ්වට එයාගෙ සේසතම ලියලා දුන්නෙ. නංගිටත් අයිතියක් තියලා. නමුත් ඒ හැමෝම විශ්ව දාලා ගියා... දැන්එයාට ඉන්නෙ අපි විතරයි. අපි විශ්ව අපේම දරුවෙක් වගේ බලාගන්නෙ ඒ නිසයි... මම බලාපොරොත්තු වෙනවා ඔයාගෙ හිතේ විශ්ව ගැන අදහසක් තිබෙනවා නම් ඒක ස්ථිර අදහසක් වේවි කියලා... මොකද විශ්ව කියන්නෙ මේ ලෝකෙ තනි වුන දරුවෙක්... අපි නැති කාලෙක විශ්වට කවුරුවත් නැහැ... අන්න ඒ නිසා අපි බොහොම කල්පනාකාරී වෙනවා විශ්වගෙ අනාගතය ගැන...
මම දන්නවා මිස්ටර් සුමනසේකර, විශ්ව කියන්නෙ වෙනත් අයට වඩා බොහොම වෙනස් විදියට හිතන කෙනෙක් කියලා මම දන්නවා.. ඒ වගේම හරිම හොඳ කෙනෙක්. මාත් සමඟ සතියකටත් වඩා එකට වැඩ කරද්දි මට තේරුණ දෙයක් තමයි එයා කිසිම අසංවර ගතියක් නැති බොහොම තැන්පත් කෙනෙක් කියන දේ... මම දන්නෙ නැහැ විශ්ව මට මොන විදියකට සළකනවද කියන එක... නමුත් මම කියන්න ඕන මම විශ්වට බොහොම කැමතියි.. අපි ගැන අපේ අනාගතය  ඉදිරියේදී විසඳයි...
ඒ කතා බහ අවසන් වූයේ වාට්ටුව භාර වෛද්‍යවරයා තවත් වෛද්‍යවරියක් සමඟ සුමනසේකර මහතා සහ මොලී කතාකරමින් හුන් තැනට පැමිණීම නිසාවෙන්..
මිස්ටර් සුමනසේකර, මේ ඉන්නේ අපේ රෝහලේ පුනරුත්ථාපන අංශයේ වෛද්‍යවරියක්. ඔබත් විශ්වත්  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිසා අපි තීරණය කළා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙක්ම විශ්වගේ පුනරුත්ථාපන කටයුතු සඳහා යොදවන්න. ඒක මානසිකවත් විශ්වට සහ ඔබ සියළු දෙනාට පහසුවක් වෙන නිසාම.. ඊට අමතරව මේ ඉන්න වෛද්‍ය ගීතිකා ගුණසේකර මානසික වෛද්‍ය විද්‍යාවත් ප්‍රගුණ කළ අයෙක්, ඒ නිසා විශ්වගේ මානසික පුනරුත්ථාපනයත් කායික පුනරුත්ථාපනයත් යන දෙකම එකතැනින් සිදු කර ගන්න පුළුවනි. අපි හෙට විශ්වව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගෙනයනවා... ඉන් පසුව නම් මේ වගේ නිතර ඔහුව බලන්න එන්න බැරි වේවි. මොකද දවස පුරාවටම තරමක දැඩි පුනරුත්ථාපනයක් කෙරෙන නිසා ඒ සියල්ල ක්‍රමාණුකූලව සිදු විය යුතුයි. දවසකට එක වතාවක් පමණක් ඥාතීන් බලන්න අවසර ලැබෙනවා. ඔහුගේ මානසික පුනරුත්ථාපනයට අදාල අභ්‍යාස කෙරෙන නිසා බාහිර මානසික හේතූන් අවම කරන්න අපි කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඔබලා පුනරුත්ථාපන වෛද්‍ය කාර්යමණ්ඩලය නියම කරන වෙලාවක් ඇතුලත පමණක් පැමිණිය යුතුයි.
හොඳමයි ඩොක්ට, කොහොමත් මට දවල් වෙලාවෙ නම් වැඩිය එන්න ලැබෙන්නෙ නැහැ... මට බොහෝ විට එන්න ලැබෙන්නෙ සේවය අවසානයේ සවස පහ පසු වුනාට පස්සෙයි...  මොලී සිය කණස්සල්ල මුසු හැඟීම් වෛද්‍යවරයා වෙත හැරපෑවාය.
මට තේරෙනවා මොලී... නමුත්, මට මේ සැලසුම් වෙනස් කරන්න බැහැ.. මොකද මේ වෛද්‍යවරු ඒ ඒ රෝගියාට නිසි සැලසුම් සකස් කරලා තිබෙන නිසා... ඔබට පුළුවන් දවස් කිහිපයකට වතාවක් ඇවිත් විශ්ව බලලා යන්න..
ඔව් මොලී .. අපි එහෙම කරමු... අපිත් තව සති කිහිපයක් මෙහේ ඉන්න නිසා විශ්වගේ පුනරුත්ථාපන කටයුතු ඉක්මනින් කරගනිමු.. හොඳ වුනාට පස්සෙ අපි එයාව ගෙදර එක්කරගෙන ගිහින් ඉතිරිය බලමු... සුමනසේකර මහතා ද වෛද්‍යවරයාගේ අදහසට එකඟත්වය පළ කළේය...
මෙතෙක් වෙලා නිහඬව සිටි වෛද්‍ය ගුණසේකර මෙනෙවිය සිය කටහඬ අවදි කළාය........
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඊට පස්සෙ ?