Tuesday, February 12, 2013

පිටස්තරයා....................... විසි තුන්වන දිගහැරුම........


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්


පිටස්තරයා............. අටවන දිගහැරුමේ සිට  දහහතරවන දිගහැරුම දක්වා


පිටස්තරයා.............පහලොස්වන දිගහැරුමේ සිට  විසිඑක්වන දිගහැරුම දක්වා


පිටස්තරයා.............විසිදෙවන දිගහැරුම


::::::::::::::::::::::::::::::::::::::::::
දැන් කොහොමද කකුල ? වෛද්‍ය ගීතිකා ගුණසේකර විශ්ව සමඟ රෝහල් උද්‍යානයේ සෙමෙන් ඇවිදින අතරතුර ඇසුවාය..... රෝහල් උද්‍යානයේ විවිදාකාර ආබාධවලට ලක් වූ සොල්දාදුවන් සිය පුනරුත්ථාපන වෛද්‍යවරු සහ උපස්ථායකයන් සමඟින් ව්‍යායාම කිරීම මෙහි සුලභ දසුනකි.
දැන් නම් සෑහෙන හොඳයි.... ගොඩක්ම බර දෙනකොට පොඩ්ඩක් රිදෙනවා... ඒ හැරෙන්න වෙන අමාරුවක් නැහැ... කොහොමත් මම ෆුට්බෝල් ගහන්න යන්නෙ නෑනෙ... ඒ නිසා මේ ගාණට බේරුණා ඇති..
ඇත්තටම විශ්වට මොකද හිතෙන්නෙ අනතුර ගැන... ? දැන් ඉතින් බය එහෙම අඩු වෙලා නෙ තියෙන්නෙ... කියන්න පුළුවන් නම් කියන්න........
කියන්න බැරි කමක් නෑ ඩොක්ට.... මට එහෙම ප්‍රශ්නයක් නෑ... නමුත්, මට හිතා ගන්න බැහැ අනතුර වුනේ කොහොමද කියලා..... මොකද කියනවා නම් මම ගේට්ටුවෙන් පාරට කාර් එක දාලා ටික වෙලාවක් යනකොට තමයි මේ ලොකු ට්‍රක් එක මගේ පස්සෙන් එන්න ගත්තෙ.... මම ඒකට ඉඩ දුන්නත්, එයා නෙවෙයි මාව පසු කරලා ගියේ.... ඒ පුද්ගලයා කවුද කියලා බලන්න මම පිටුපස බලන කණ්නාඩියෙන් බලද්දිම තමයි එකපාරට ඒකේ වේගය වැඩි වුනේ... මම එතකොටම අනිත් ලේන් එකට කාර් එක දානකොටම තමයි මගේ පැත්තෙන් ඇවිත් වාහනේ හැප්පුනේ... හැප්පුන වේගයට ඒ ට්‍රක් එක පෙරළුනා... ඒත් එක්කම ඉදිරිපස වායු බැග් එක පුපුරලා විවෘත වුනා... ඒ කම්පනයට තමයි මගේ සිහිය නැති වුනේ...
ඔයා දවස් ගණනාවක් සිහිය නැතිව හිටියා... හැමෝටම හරිම පුදුමයි ඔයා අද මේ තත්ත්‍වයෙන් ඉන්න එක ගැන... බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ නැහැ මෙච්චර ඉක්මනින් සිහිය ඒවි කියලා.... මම හිතන්නෙ අද අපට ගොඩක් දේවල් කතා කරන්න හොඳ දවසක්....
ඇය පසෙක වූ බංකුවක වාඩි වෙන අතරම විශ්වට ද ඉඳගන්නා මෙන් සන් කළාය.....
කොහොමද දැන් පපුව ?
මගේ පපුව ඉතිං කවදත් හොඳයි නෙ .... විශ්ව සිනාසෙමින් පැවසුවේය....
කාලෙකින් මම ඔයාගෙ මේ වෙනස දැක්කෙ..... ඒක බොහොම හොඳ ප්‍රවණතාවයක්.... විශ්වගෙ මාමයි නැන්දයි බොහොම වද වෙනවා විශ්ව ගැන..... ඒ දෙන්නා ලංකාවෙ ඉඳලම මෙහේ ආවෙ ඔයා වෙනුවෙන්මයි...
ඔව් ඩොක්ට..... මම ඒ ගැන හොඳටම දන්නවා.....
මට ඩොක්ට කියන්න ඕන නෑ ... ගීතිකා කියන්න... මේක ඇමරිකාව.....
හොඳයි ගීතිකා... අම්මයි තාත්තයි නැතිවුන දා ඉඳලා මට අම්මයි තාත්තයි වුනේ ලොකු මාමයි ලොකු නැන්දයි... ඒ දෙන්නට ළමයි නැති නිසා මං ගැන වද වෙනවා හැම තිස්සෙම..
අම්මයි තාත්තයි නැතිවුනේ කොහොමද ?
මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම උපදේශකවරයෙක් වෙලා හිටියෙ.... රාජකාරියෙ යෙදිලා නිවාඩුවක් අවසාන කරලා එන කොට ලෙබනනයෙදි වෙච්ච අනතුරකින් අම්මයි තාත්තයි නංගියි තුන්දෙනාම මියගියා... දැන් ඒක සිදු වෙලා සෑහෙන කලක්.... ඉස්සර නම් මට ඒ කම්පනය තදින්ම දැනුනා.... දැන් නම් තනිවම ජීවත් වෙන්න පුරුදු වෙලා එච්චරම දුකක් නෑ.....
මට තේරෙනවා... මට අම්මයි තාත්තයි දෙන්නමත් ලංකාවෙ ඉඳලා මේ තනියම මෙහාට වෙලා ඉන්නකොට දැනෙන තනිකම.... ඔයාට ඒක කොහොම දැනෙනවද කියලා මට හිතා ගන්න පුළුවන්.... ඉතිං මොලී ඉන්නවනේ ඔයාගෙ තනියට....
මොලී මගේ මිතුරියක් විතරයි... අපි අතරෙ ඊට වඩා සම්බන්ධයක් නෑ.... මොලී හම්බවෙලා මාසයක්වත් නැහැ...
ඒ වුනාට ඔයා දැඩි සත්කාර ඒකකයෙ ඉන්න දවස් හැම එකකම මොලී ඔයාව බලන්න ආවා කියලා ඩොක්ට මට කිවුවා... සිහිය ආපු වෙලාවෙ ඉක්මනටම ආවෙ එයා... සාමාන්‍ය මිතුරියක් නම් එහෙම විශේෂත්‍වයක් දක්වන්නෙ නැහැ නේද ?
ඔව්... මටත් තේරෙනවා මොලී මට කිසියම් විශේෂතාවයක් දක්වනවා කියලා.... නමුත් මට තවම එහෙම ලොකු විශේෂත්‍වයක් දැනෙන්නෙ නැහැ... මම දන්නෙ නැහැ ඒ මම ගැහැණු ළමයෙක් සමීපව ආශ්‍රය කළේ නැති නිසාද කියලා...
නැහැ... ඒ නිසා නෙවෙයි... මානසිකව තවම ඔයා සූදානම් නැහැ ඒ තත්ත්‍වයට එන්න.... මම හිතන්නෙ ඔයා තනිව හැදුන නිසා ඔයාගෙ මනස තවම තනිකමින් ඉවත් වෙන්න කැමැත්තක් නැහැ... නැතිනම් ඔයා කැමති නැහැ සම්බන්ධතාවයක් නිසා ඔයාගෙ පෞද්ගලිකත්‍වයට හානි පැමිණෙනවට... ඔයාට පෙම්වතියක් ඉඳලම නැද්ද කවදාවත් ? මම මේ අහන්නෙ මානසික වෛද්‍යවරියකගෙ කෝණයෙන්... වරදවා වටහා ගන්න එපා...
නැහැ නැහැ ගීතිකා... එහෙම ප්‍රශ්නයක් නැහැ...... මම වරදවා වටහා ගන්නෙ නැහැ....
මට කවදාවත් පෙමින් වෙලෙන්න උවමනාවක් වුනේ නැහැ... මට මිතුරියෝ නම් ඕනතරම් හිටියා.... නමුත් ඒ කාත් එක්කවත් ආදරයෙන් වෙලෙන්න උවමනාවක් වුනේ නැහැ මට... ඒ වගේම මට පෞද්ගලිකත්‍වයක් තිබුණා ආරක්‍ෂා කර ගන්න... මගේ පියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබල චරිතයක් වුනා.. ඒ නිසාම මගේ පෞද්ගලිකත්‍වයට සීමා පැණවුනා... මගේ දෙමාපියෝ දෙන්නම බුද්ධාගමට බොහොම ලැදි උදවිය.. ඒ අය හැකි සෑම විටම බණ දහම් හැදෑරුවා... මම භාවනාවට පුරුදු වුනේ අවුරුදු 14 දි.. මගේ අම්මා තමයි මට ඒ දේ පුරුදු කළේ... ඒ නිසාම මම අධ්‍යාපනය අතින් පවා සෑහෙන ඉදිරියට ආවා.. මම ගොඩක් ක්‍රීඩා කළ කෙනෙක්.. ඒ සිත එකඟ කර ගැනීම මගේ අධ්‍යාත්මික වගේම පෞරුෂත්‍ව සංවර්ධනයටත් බොහෝ සේ බලපෑවා.. මගේ දෙමාපියෝ මිය ගියාට පස්සෙ මම ගොඩක් තනි වුනා... ඒ තනිය මකා ගන්න මම ලං වුනේ පොත්පත් වලට... මම ඒ කාලෙ සෑහෙන පොත්පත් කියෙවුවා... අම්මලා මිය ගියාට පස්සේ මට හමුවුනා භාවනායෝගී ස්වාමීන් වහන්සේ නමක්.... ඇමරිකාවෙ ඒ වගේ සිද්ධියක් බොහොම විරළ වුනත් මට කැලිෆෝනියා බෞද්ධ විහාරයෙදි යෝගාවචර රාහුල හාමුදුරුවො හමු වුනා... රාහුල හාමුදුරුවෝ ගැන නොදන්න බෞද්ධයෙක් ඇමරිකාවෙ නැහැනෙ.... එතැනදි මම විදර්ශනා භාවනාවට යොමු වුනා... අන්න ඒ නිසා මට ඇත්තෙන්ම ප්‍රේම සම්බන්ධතාවය කියන අවශ්‍යතාවය ඇති වුනේ නැහැ.... ඒ නිසාම මට මගේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳින් කර ගන්න ලැබුණා... ඒකයි මම අධ්‍යාපනය පැත්තෙන් පසුකාලීනව බොහෝ ඉදිරියට ආවෙ... විශ්ව සිය දීර්ඝ ඉතිහාසයෙන් බිඳක් ගීතිකා වෙත විවර කර දුන්නා...

පුනරුත්ථාපනය ඉතා
පුනරුත්ථාපනය ඉතා

මම පුදුම වෙන්නෙ නැහැ විශ්ව.... මට සුමනසේකර මහත්මයා කිවුවා ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා... මම දැන් දන්නවා ඇයි ඔයා මේ තරම් ඉක්මනට පුනරුත්ථාපනය වෙන්නෙ කියලා... වෙන මිනිස්සු මාස තුන හතරක් ගන්නවා සුළු අනතුරකින් මනස ප්‍රකෘති තත්ත්‍වයට ගෙන එන්න.. නමුත් ඔයා සතියක් දෙකක් ඇතුලත ඒ තත්ත්‍වයට ලඟා වුනා... මම හිතනවා ඔයාගෙ මානසික ඒකාග්‍රතාවය ඒකට බලපාන්න ඇති කියලා... ඔයා මානසිකව දැන් නිදහස්... ඒ කියන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක්.. ඔයාට පුළුවන් ඔයාගෙ ශාරීරික පුනරුත්ථාපනයත් ඉක්මන් කරගන්න... වැඩිපුර මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාගෙ කකුල ඉක්මනින්ම සනීප වේවි... ඔයා හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරනවා.. මට බොහොම සංතෝෂයි...
ඔයා කොහොමද වෝල්ටර් රීඩ් එකට ආවෙ ? සාමාන්‍යයෙන් මෙතැන බොහොම ආරක්‍ෂිත තැනක්.. විශ්ව පෙරළා ගීතිකාගෙන් ඇසුවේ ඇගේ සුහදතාවය පිළිබඳ පැහැදීමකින්....
ඒක දිග කතාවක්.... ඔයාට වැඩක් වේවිද ඒක... ?
කියන්න බෑනෙ.... කැමැත්තක් තියෙනවා නම් කියන්න.... මම අහගෙන ඉන්නම්... මටයි කියලාත් දැන් ඉතිං වැඩක් නෑනෙ.....
මම සාමාන්‍යයෙන් මේ කතාව කාටවත් කියන්නෙ නැහැ... නමුත් ඔයාව විශ්වාස කරනවා... මේක කිවුවයි කියලා කාටවත් වැඩක් වෙන්නෙ නැහැ කොහොමටත්... ඇය දිගු සුසුමක් හෙළුවා...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී ඇය එනතෙක් බලාසිටි අමුත්තා සිටි මේසයේ ඉතිරිව ඇති පුටුවේ අසුන් ගත්තාය. සෙනෙටර්ස් ක්ලබ් ආපනශාලාව කෙතරම් කාර්යබහුල වුවත් එතැන සිටි පුද්ගලයින්ගේ පෞද්ගලිකත්‍වය උදෙසාම මේස සකසා තිබුණේ එකිනෙකට ඈතිනි. ඒ එකිනෙකාගේ කතාබහ අනෙක් මේසවල සිටින පුද්ගලයින්ට නෑසෙන ලෙස සිය සේවාදායකයින් ආරක්‍ෂා කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙසින්. මෙතැන සිදු වූ කතා බහ අතර ලෝක ඉතිහාසය වෙනස් කළ තීරණ පවා තිබූ බව දන්නේ ආපනශාලාවේ මේස සහ පුටු පමණි. මොනිකා ලෙවින්ස්කි තමා ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සමඟ පැවැත්වූ අසාමාන්‍ය සම්බන්ධතාවය පෝලා ජෝන්ස් හට හෙළි කළේ මේ අවන්හලේ එක්තරා ස්ථානයකදීය. එය ජනාධිපති බිල් ක්ලින්ටන්ට ලිංගික අපචාර සම්බන්ධයෙන් දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් ප්‍රබල විය. මේ එක් උදාහරණයක් පමණි.
ඇයි අන්කල් ? මොකක් හරි ප්‍රශ්නයක්ද ?
සිය අසුනේ හරිබරි ගැසී වාඩි වී ඉදිරිපස අසුනේ වූ සිය මාමණ්ඩිය දෙස ඍජුවම බලාගෙන මොලී සෙමෙන් ඇසුවාය. ඔහු සිය ඥාතියෙකු බව දන්නේ වොෂිංටනයේ ඉතාම ස්වල්ප දෙනෙකු පමණි.  එසේම ඔහුටද, ඇය ඉතාම විශ්වාසවන්ත සේවිකාවක වූවා.. මේ නිසාම තමන්ගේ සම්බන්ධය පිටතට නොපෙන්වන්න දෙදෙනාම වගබලාගත්තා පමණක් නොව, සාමාන්‍ය වෘත්තීයමය අවස්ථාවලදී ඔහු මොලීටත් සැලකුවේ කිසිදු විශේෂත්‍වයක් නොපෙන්වා. මේ නිසාම ක්‍ෂෙත්‍රයේ කිසිම කෙනෙක් මේ ඥාතීත්‍වය හෝ සම්බන්ධය දැන සිටියේ නැහැ. දන්න ටික දෙනාත් ඒ රහස හොඳින්ම රැකගෙන සිටියා.
කොහොමද දුව ? වැඩ කටයුතු හොඳින් කෙරෙනවද ?
ඔව්... දැන් අළුත් පර්යේෂණයත් පටන් ගන්නයි යන්නෙ.. විශ්ව සනීප වෙලා ආපු හැටියෙ අපි දෙන්නා එකතු වෙලා ඉක්මනින්ම ඒක පටන් ගන්නයි යන්නෙ..
මොකද විශ්ව මේ දවස්වල කරන්නෙ ?
විශ්ව දැන් ඉන්නෙ පුනරුත්ථාපන ඒකකයෙ. මේ දවස්වල එයා බිඳුන කකුළ පුනරුත්ථාපනය කරන්නයි මහන්සි වෙන්නෙ.. මානසිකව නම් යථා තත්ත්‍වයට ඇවිත්, මට නම් හිතාගන්න අමාරුයි එයා මෙච්චර ඉක්මනින් මෙහෙම පුනරුත්ථාපනය වුන එක... සාමාන්‍ය සොල්දාදුවෙක් නැතිනම් නාවික සීල් භටයෙක් වත් මේ තරම් ඉක්මනට මානසිකව පුනරුත්ථාපනය වෙන්නෙ නැහැ.. හැරත් එයා සතියක්ම සිහිය නැතිව ඉඳලා මෙහෙම ඉක්මනට සනීප වුන එක ගැන මටත් පුදුමයි. අංකල් දන්නවනේ අච්චර දරදඬු ක්‍ෂෙත්‍ර ඒජන්තයො කොච්චර කල් ගන්නවද කියලා පුනරුත්ථාපනය වෙන්න...
වේටර්වරිය ආහාර ඇනවුම භාරගැනීමට පැමිණිහෙයින් සිය කතාව නතර කළ මොලී සැන්ඩ්විච් එකක් සහ දෙහි යුෂ වීදුරුවක් ඇනවුම් කළාය.... ඉන් අනතුරුව ඔහු සිය ගැඹුරු කටහඬ අවදි කළේය.
මට තේරෙනවා ජෙනී.. ඒකම තමයි මම අද ඔයාව හමුවෙන්න තීරණය කළේ. ඔයා මේ ගැන දරන ආකල්පය මොකද්ද ? අපි මේ මනුස්සයා පස්සෙ මේ තරම් දුවන එකේ තේරුමක් තියෙනවද ? අපි මේ වැය කරන්නෙ රටේ සල්ලි, කාළය... ඔයා හිතනවද මේ දෙයින් අපි කිසියම් ප්‍රයෝජනයක් තියෙනවා කියලා
මම පෞද්ගලිකව නම් හිතන්නෙ නැහැ අපට විශ්වගෙන් ලොකු තොරතුරක් ලබාගන්න පුළුවන් වේවි කියලා. මේ දවස් කීපයට මම නිරීක්‍ෂණය කළ දෙයක් තමයි විශ්වගෙ පසුබිම බොහොම සාමාන්‍ය පසුබිමක්, එයාගෙ පවුලෙ සහ ඥාතීන් සියල්ල බොහොම සාමකාමී අය.. ඒ නිසා ප්‍රචණ්ඩත්‍වයක් ගැන නම් කිසිම සාධකයක් නැහැ. බොහොම ආගමානුකූලයි. විශ්ව භාවනාවටත් යොමු වෙලා කියලයි එයාගෙ මාමා කිවුවෙ.... නමුත් වෘත්තීයමය වශයෙන් ගත්තොත් විශ්වට බොහොම ශක්තිමත් පෞරුෂත්‍වයක්, මතකයක්, බුද්ධියක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවනි විශ්ව වෙනත් වැදගත් කාර්යයකට යොදා ගන්න.. නමුත් මම හිතන්නෙ නැහැ විශ්ව තමන්ගෙ ප්‍රතිපත්තිවලට පටහැණි තීරණයක් ගනීවි කියලා... එයා හරිම හොඳ කෙනෙක්..... නමුත් මම දන්නවා හොඳයි කියලා පිටින් පෙන්නගෙන ඉන්න සමහරු අන්තිම මෘගයො වගේ ක්‍රියා කරන අවස්ථා...
මට කියන්න තියෙන්නෙ මම විශ්වට පෞද්ගලිකවත් කැමතියි කියලා..... මම කැමති නැහැ එයාට මේ නිසා කරදරයක් වෙනවා නම්...
ජෙනී.... මේ ඔයාමද කතා කරන්නෙ ? සිය ඥාති දියණියගෙන් මෙවන් ප්‍රකාශයක් බලාපොරොත්තු නොවූ නිසා, අතිශයින් හැඟීම් පාලනය කරන්නකු සේ සුපතල ඔහුගේ දෑස් විශාල වූයේ ඔහුටත් නොදැනුවත්වමය...
මොලී කිසිවක් නොකියූවාය.................
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලීගේ සහ විශ්වගේ අනාගතය කුමක් වේද ? ගීතිකා විශ්වට සමීප වේද ?