Tuesday, November 6, 2012

පිටස්තරයා.............. සයවැනි දිගහැරුම....

පිටස්තරයා............. ඇරඹුම
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
හලෝ......... මට පුළුවන්ද OSA එකේ IC, (Intelligent Chief - Office of South Asia) මේජර් බෙන්ජමින් වයිට් ට කතා කරන්න... මම ජෙනරාල් වෙලිංටන්... NSA එකෙන්......
CIA මූලස්ථානයේ දුරකථන යතුරු පුවරුව ක්‍රියාකරවන මෙලිසා කොවැක්ස් සිය පරිඝණකයට ජෙනරාල් වෙලිංටන්ගේ නම ඇතුලත් කළාය.
ජෙනරාල් වෙලිංටන් මහත්මයා, කරුණාකර ඔබේ අංකය  ඇතුලත් කරන්න....
ජෙනරාල් වෙලිංටන් සිය දුරකථනයෙන් ඉලක්කම් කිහිපයක් ඔබා සිය අනන්‍යතාවය සහතික කළේය....
ස්තුතියි... ඉන්න මම සම්බන්ධ කරන්නම්...
අතිශය ආරක්‍ෂාකාරී මධ්‍යස්ථාන වල ඉහළ නිළධාරීන්ට පිටතින් ඇමතීමේදී පිලිගැනීමේ නිලධාරිනිය හරහා යනවිට අදාල පුද්ගලයා රහස්‍ය භාවයෙන් නිදහස් කරන ලද ඉහළ නිලධාරියෙකු නම් ඔහුගේ/ඇයගේ පෞද්ගලික රහස් අංකයක් පරිඝණයකට ඇතුව කිරීම මගින් අදාල පුද්ගලයාට කෙලින්ම සම්බන්ධ විය හැකි වේ. එසේ නොවන කෙනෙකුගේ දුරකථන ඇමතුම බොහෝ විට පහළ නිලයක තාක්‍ෂණික නිලධාරියෙකු හරහා අදාල පුද්ගලයා වෙත යැවෙන්නේ උසස් නිලධාරීන්ගේ අනන්‍යතාවයත් ආරක්‍ෂාවත් සහතික කිරීම පිණිසයි.
මේජර් වයිට් කතාකරනවා....
මේජර්.... මම ජෙනරාල් වෙලිංටන්... NSA ප්‍රධානි...
ඔව් සර් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන....
මට ඔබෙන් තොරතුරු කිහිපයක් දැන ගන්න අවශ්‍යයි.. ඔබ නේද දකුණු ආසියානු කළාපයට අදාල බුද්ධි අංශය භාරව ඉන්නෙ. ?
ඔව් සර්...
මට එවන්න පුළුවන්ද 2006 ජුනි මස 06 වනදා ලෙබනනයේදි මියගිය එක්සත් ජාතීන්ගෙ සාම සාධක නිලධාරී සෙනරත් සූර්ය බණ්ඩාර සහ ඔහුගෙ පවුල පිළිබඳ වාර්තාව... මට ඒ සිදුවීම ගැන පසුබිම් වාර්තාවක් ගන්න අවශ්‍යයි...
හොඳමයි ජෙනරාල් තුමනි... මම විනාඩි කිහිපයකින් එය ඔබේ ආරක්‍ෂිත විද්‍යුත් තැපැල් ලිපිනයට (Secured E-mail Account)  ලැබෙන්න සලස්වන්නම්.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙකු වූ සෙනරත් සූර්යබණ්ඩාර රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඉතා සාධාරණ සහ නීතිගරුක පුද්ගලයෙකු වූ ඔහු බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිමය දැනීමත් ක්‍ෂෙත්‍රයේ විශේෂඥතාවයත් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවන්ට උපදේශකත්‍වය සලසන නීති උපදේශක වරයෙකු ලෙස පත් කළ ඔහු, රටවල් කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ගෞරවයට පාත්‍ර වූ ඔහු 2006 වසරේ ලෙබනන් යුද්ධය ඇරඹීමට දින 6 කට පෙර සිදු වූ අනතුරකින් සිය පවුලේ සාමාජිකයින් සමඟ ඝාතනය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වූ තවත් කළු පැල්ලමක් විය. එය වැඩිදුර හෙළි නොවී යටපත් කිරීමට බලධාරීන් සමත් වුවත් ජෙනරාල් වෙලිංටන් එය දැන් හාරා අවුස්සන්නේ කුමකටදැයි බෙන්ජමින් ට සිතා ගන්නට නොහැකි විය.....
ගෝලාන් කඳුකර පෙදෙස්... ඊශ්‍රායලය - ලෙබනනය- ජෝර්දානයට සහ සිරියාවට මායිම් වේ.
අද දිනයේ සිදු වූ සියල්ල සිය පියාට පැවසිය යුතු බව මැතිව්ට වැටහුණි. තමාට වෙන්කර තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගොස් සියළු බර බිමින් තැබූ හෙතෙම සිය ජංගම දුරකථනයෙන් පියාගේ කාර්යාල සහායිකාව ඇමතීය.
එල්... මම මැට්...
කියන්න මැට්....
තාත්තා ඉන්නවද කාමරේ....
ඔව් ඉන්න මම සම්බන්ධ කරන්නම්.....
පිය පුතු දෙපළ සම්බන්ධ කළ එලේනා දුරකථනය රඳවනයේ තැබුවාය.. මහාචාර්ය සොලමන්ගේ  සහායිකාව වන එලේනාට  මැතිව් නුහුරු පුද්ගලයෙකු නොවේ.... නමුත් අද  ඔහුගේ කඩහඬ වෙනස් බව ඇයට දැණුනි.... සමහරවිට ඔහු දිගු ගමනක් ගොස් ඇති නිසා අපහසුතාවයට පත්ව සිටිනවා විය යුතුය....
ස්ටැන්ෆර්ඩ් එක දාලා මැට් මොකට වොෂිංටන් යන්න හදනවද මන්දා ? ඇය තමාටම කියාගත්තාය.....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දුන් බව ඔහු දනී... දුක් වෙන්නට හේතුවක් නැත.... සියල්ල හොඳින් සිදු වේවි....
අතරමඟ හෝටලයකින් මිලදී ගත් තමා කැමති පරිදි සකසා ගත් සලාදය සෙමෙන් අනුභව කරන අතරේ අද දවසේ සිදු වූ සිදුවීම් එකිනෙක ඔහු මෙනෙහි කරන්නට විය.. ඔවුන් නොඇසූ එකම ප්‍රශ්නය ගැන නැවත නැවතත් ඔහුට මතක් විය... තමා ඉතාමත් වැදගත් වචනයක් ඔවුන් ඉදිරිපිට දමාගැසුවත් ඔවුන් එය අල්ලා නොගත් හැටි ඔහු මෙනෙහි කරන්නට විය... මිනිස්සු කොයි තරම් දේවල් මඟහරිනවද ?. සෑම දේම සිතූ ආකාරයෙන්ම සිද්ධ වුනා.....
ඔහු නාන කාමරයට වැද සිය ඇඳුම් එකිනෙක උණා දමා වතුර මල යට සිටගත්තේය... සිය සිරුර පිරිසිදු කිරීම ඇරඹිය යුතුය.... සිය සිරුරට උණුසුම් ජලය වැටෙන විට අමුතුම ප්‍රබෝධයක් ඔහුට දැණුනි... විනාඩි කිහිපයක් උණුසුම් ජල දහරාව යටට සිටි ඔහු සිය සිරුර  පිරිසිදු කිරීමේ සුවිශේෂ ද්‍රාවණය සිරුර පුරා ආලේප කළේය... උණුසුම් ජලයෙන් විවර වූ සිය සිරුරේ  සම මතුපිට වූ සිදුරු ඒ ද්‍රාවණය සිරුරට ඇදගන්නා බව හැමදාම මෙන් අදද ඔහුට දැණුනි.... නැවතත් වතුරමල යටට ගිය ඔහු අතිශය සීතල ජලයෙන් සිය සිරුර නැහැවෙන්නට ඉඩ හැරීය... සිය සිරුර පිරිසිදු කරන ද්‍රාවණය සිරුරට කිඳා බස්සවමින් විවෘත ව තිබූ සියළු සිදුරු ක්‍ෂණයකින් වැසී යනු ඔහුට දැණුනි.... නාන කාමරයෙන් ඉවතට ආ ඔහුට සිය සිරුර ගිණියම් වනු දැණුනි.... වසර දහහතරක් පුරා සෑම දිනකම දැනෙන ඒ උණුසුම දැන් ඔහුට හොඳින් පුරුදුය.....
තමා ළදරුවකු සේ පිරිසිදු බව ඔහුට දැණුනි....
හෙට තමා නැවත යා යුතුය..... ඔහු දිගු නින්දකට සූදානම් ව ඇඳට පැන්නේය......
.....................................................................................
සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරයේ තාප සටහන
ඒක මහ අසාමාන්‍ය උෂ්ණත්‍වයක්....... සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් දැකිය නොහැකි අන්දමේ තාපයක් පිටවුනේ.....
කොච්චරක්ද ?
ෆැරන්හයිට් 103 ක් දැක්වුවා කැමරාවෙ... මිනිහට උණ ගැණිලද දන්නෙ නෑ අද වෙච්ච වැඩ වලට.....
103 ක් කියන්නෙ සෑහෙන්න වැඩියිනෙ.... කමක් නැහැ... අපි බලමු මිනිහා මොකද කරන්නෙ කියලා..... දිගටම පටිගත කරන්න.... ඉහළින් ලැබුන අණ ඒකනෙ...
ඉන්පසු ඔහුගේ තාප සංඥාව තද රතු පැහැයෙන් අසාමාන්‍ය නිල් පැහැයකට කෙමෙන් හැරෙනු, ඈත ගොඩනැගිල්ලක සිට අධෝරක්ත කැමරාවක ආධාරයෙන් පටිගත කරමින් සිටි FBI නිලධාරියාගේ කැමරාවේ සටහන් විය.....
මැරුණද ?
කෝ බලන්න ? කිසි හැල හොල්මනක් නැහැ..... උෂ්ණත්‍වයත් අසාමාන්‍ය ලෙස අඩු වුනා....
නමුත් මැරුණත් මෙච්චර ඉක්මනට සීතල වෙන්න බැහැ නේද ?
ඔව්... ඒක හරිම අසාමාන්‍යයි...
කමක් නෑ... ආපු වැඩ ටික කර ගත්තා නෙ... දැන් යමු.. වැඩි වැඩ කරන්න ගියොත් අපටමයි කරදරේ....
සිදු වූ සිදුවීමෙන් වික්‍ෂිප්ත වූ FBI නිලධාරීන් දෙදෙනා සිය කාර්යය සපුරාගෙන යන්නට විය.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බොහොම ස්තූතියි ඔබ සැමටම අදම මේ කටයුත්ත අවසන් කරන්න එකඟ වීම ගැන.. අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට ස්තුති කරමින් හමුව ඇරඹීය.
මට අවශ්‍ය සියළුම දත්ත ලැබී තිබෙන්නෙ... මේක අපට ඉක්මනට අවසාන කරන්න පුළුවනි.
මුලින්ම අපි පළමු අපේක්‍ෂකයා ගනිමු.
පෞරුෂත්‍වය 70 % යි: ඉදිරිපත් කිරීම 89 % යි: දැනුම 90% යි: ..........................................
නමුත්  විෂය පරාසය තරමක් පටුයි....  ඒක අපිත් දුටුවා සම්මුඛ පරීක්‍ෂණයෙදි.......
පසුබිම් විස්තර කිසි ප්‍රශ්නයක් නැහැ..... සාමාන්‍යයි...
නමුත් ඔහුට ඇති සම්බන්ධතා සමහරවිට ඉදිරියේදී අපට ගැටළුවක් වේද කියන ප්‍රශ්නය මට තිබෙනවා.... ඒ හැරෙන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ.....
අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට තවත් විස්තර රාශියක් ඉදිරිපත් කරමින් පළමු අපේක්‍ෂකයාගේ සුදුසුකම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර...................... නමුත් අපි අනිත් දෙදෙනා ගැනත් බලන්න ඕන....
දෙවන අපේක්‍ෂකයාගෙ පෞරුෂත්‍වය 76 % යි: ඉදිරිපත් කිරීම 84 % යි: දැනුම 80% යි: .
මම නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ..... කොහොමද අනිත් එක්කෙනා... කාළය කා දමන්නට අකමැතිවාක් මෙන් නැන්සි ඉක්මන් කළාය...
නමුත් අනිත් එක්කෙනා තමයි ප්‍රශ්නෙ.....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ගුවන් යානය තුළට ගොඩ වූ විශ්ව සුපුරුදු පරිදි දෙනෙත් පියා ගත්තේය.... කුඩා කළ සිටම ඔහු ගුවන් ගමන් අප්‍රිය කළ පුද්ගලයෙකි. සිය පියාගේ රැකියාවත් සමඟ රටින් රටට මාරු වීම සිය ජීවිතයේ අප්‍රසන්න අත්දැකීමකි... සෑම වසරකට වරක් හෝ දෙවසරකට සැරයක් කොහේ හෝ රටකට යාමට සිදුවිය.... ගුවන් තොටුපලවල් සහ ගුවන් ගමන් ඔහුට ඒ තරමටම අප්‍රිය වූවේ ඒ නිසාවෙනි.... සිය පියා පරණ පුරුදු නීතීඥ රැකියාව කරගෙන ලංකාවේ සිටියා නම් තවමත් ඔහු ජීවතුන් අතර සිටිනු ඇතැයි විශ්ව අනන්තවත් කල්පනා කළේය. තමාටත් තම සොයුරියටත් හොඳ අනාගතයක් සලසනු පිණිස සිය පියාට ලැබුණ තානාපති තනතුර මෙවන් ඉරණමක් අත් කර දේ යැයි විශ්ව සිහිනෙකිනුදු නොසිතුවේය. අවසන තමා මෙලොව ඉතිරි කර සියල්ලන් තමාගෙන් සමුගත් අයුරු විශ්වට කිසි විටක අමතක කළ නොහැකි විය.
ඒ 2006 මැයි 15 වන දින සිය පවුල අවසාන වරට දකින දිනය යැයි විශ්වට කිසිදිනෙක නොසිතින. 2006 මැදපෙරදිග ඇති වන උණුසුම් තත්ත්‍වය සමනය කිරීම වස් එක්සත් ජාතීන්ගේ සාම තානාපති සෙනරත් සූර්යබණ්ඩාර මහතා ලෙබනනයේ සාම තානාපති වශයෙන් පත් කර යවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නීතිමය උපදෙස් ලබා දෙනු පිණිසත් ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ රජය අතර සාකච්ඡා සඳහා පහසුකම් සළසන්නෙකුත් ලෙසිනි. සිය පියා තත්ත්‍වය සමනය වූ පසුව තම  මවත්, සොහොයුරියත් ගෙන්වා ගත්තේ ඒ තරම් අන්තරායක් ප්‍රදේශයේ නොදුටු නිසාය. නැගණියට ලොව පුරා සංචාරය කිරීමේ ආශාව නිසාමත් ඇගේ පාසැල් නිවාඩුව ඇරඹීම නිසාත් ඇයත් මවත් දෙදෙනාම පියා වෙත ගියේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නිවාස වල සති කිහිපයක් කල් ගත කර ආපසු එනු පිණිසය. සුප්‍රසිද්ධ ගෝලාන් කඳුකර පෙදෙස් බලා නැවත එන ගමනේදී සිදු වූ අනපේක්‍ෂිත ප්‍රහාරයකින්   ඔවුන් සියළුම දෙනා මිය යාම ඔහුට කිසිසේත් දරාගත නොහැක්කක් විය.  එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැරිය නොහැකි පාඩුවක් වූවා පමණක් නොව එය මහා අපහසුවකට ද ලක් කළේය. ඉන් පසුව කිසිදු පහසුකම් සලසන්නෙකු විසින් පවුලේ සාමාජිකයින් අර්බුධ පවතින රටට රැගෙන නොයා යුතු බවටද නව නීතියක් පැණවින. තමාද ඒ ගමනට සහභාගී වූයේ නම් තමන්ට මෙසේ තනිවන්නට සිදු නොවන බව ඔහු සෑම විටම කල්පනා කළේය... නමුත්... සිය පවුලට පොරොන්දු වූ අවසාන පොරොන්දුව ඉටු කළ යුතුය....
දින කිහිපයක් ගත විය...........
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
උදෑසන අවදි වූ වහාම ඊමේල් කිසිවක් ලැබී ඇත්දැයි පරීක්‍ෂා කිරීම රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට ගිය කාගේත් සිරිතකි. එපමණක් නොව වෘත්තියක නියැලෙන කාගේ වුවත් සිරිතකි.
මේ.... එයින් දෙදෙනකු ලැබූ ලිපියයි....
හිතවත් .....................................,
පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට අසමත් වූ බව කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු. ඒ අනුව ඔබ ඒ පරීක්‍ෂණයෙන් අසමත් වී ඇති බැවින් අප ආයතනයේ ඔබ අයැදුම් කළ රැකියාවට ඔබ බඳවා නොගන්නා බව කණගාටුවෙන් දැනුම් දීමට කැමැත්තෙමු. ඔබේ අනාගත කටයුතු සාර්ථක වේවායි පතමු.
ස්තූතියි.
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්
ප්‍රධාන පර්යේෂක,
නාවික පර්යේෂණ ආයතනය
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයට බඳවා ගත්තේ කවුද ? සහ තවත් දේ  සතියක පමණ විරාමයකට පසු .........