Tuesday, December 18, 2012

පිටස්තරයා....... හත්වන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා...


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්

ඔබේ නම ?

විශ්ව සමාධි සූර්යබණ්ඩාර.
තනතුර ?
පර්යේෂණ විද්‍යාඥ - ප්‍රතිගුරුත්වාකර්ෂණ රසායනාගාරය.
මිනිත්තුවක් ඉන්න.
පළමු ගේට්ටුවේ සිටි ආරක්‍ෂක භටයා විශ්වගේ රියදුරු බලපත ගෙන ඉලෙක්ට්‍රොණික පුවරුවක් හරහා ගෙන ගියේය....
මේ කැමරාව දිහා බලන්න....
සැණෙකින් විශ්වගේ රූපය රැගත් තාවකාලික හැඳුනුම්පතක් පරිඝණකයෙන් සැකසුනි. එය පැලඳගත් විශ්වට මානව සම්පත් කළමණාකරණ ඒකකය වෙත යාම සඳහා සවිස්තරාත්මක රූපසටහනක් සහිත සිතියමක් ලැබුණි.
කිසිම අවස්ථාවක මාර්ගයෙන් බැහැර වෙන්න එපා. එහෙම වුනොත් ඒ ඔබ මේ ආයතනයේ ගත කරන අවසාන මිනිත්තු කිහිපය වෙන්න පුළුවන්. ආරක්‍ෂක භටයාගේ උපදෙස් සමඟම විශ්ව උදෑසන නවය වන විට තමන් යා යුතුව තිබූ පළමුවන ස්ථානය වූ මානව සම්පත් කළමණාකරණ ඒකකය වෙත පා නැඟුවේය. ඒ මඟ අතරතුර සෑම තැනම ඔහු දුටුවේ නවීන අවිගත් ආරක්‍ෂක භටයින් ඉතා පරීක්‍ෂාවෙන් ඔබ මොබ ගමන් කරන ආකාරයයි. නැවතත් මානව සම්පත් කළමණාකරණ ඒකකයට ඇතුළු වන විට ද විශ්වට සියළු විස්තර ලබා දීමට සිදු විය.
විශ්ව පැමිණෙන තෙක් එතැන බලා සිටියේ සිය කටයුතු පෙළගැස්වීම සඳහා ආයතනයෙන් පත් කර තිබූ ස්ටෙෆනී ෆිලිප්ස් මෙනවියයි. සුදු ජාතික තරුණියක් වූ ඇය ඉතා ප්‍රියමනාප ලෙස හැඳ පැළඳ සිටියාය. මානව සම්පත් කළමණාකරණ ඒකකය තුළ සෑම සැප පහසුකමක්ම තිබුණි. උදෑසන ආහාර වේලක් වුවද කැමති ආකාරයට පිළියෙල කරගත හැකිවන අන්දමට අවශ්‍ය දෑ සකසා තිබුණි. තේ - කෝපි හෝ දොඩම් යුෂ පානයන් ද, බිත්තර - බේකන් වැනි ආහාර මෙන්ම නිර්මාංශ ආහාර වර්ගද අවශ්‍ය ලෙස තෝරාගත හැකි ලෙස තිබුණි.
සුභ උදෑසනක්... මම ස්ටෙෆනී ෆිලිප්ස්. ඔබේ දවස කොහොමද ?
සුභ උදෑසනක් මම විශ්ව සූර්යබණ්ඩාර, මම සුවෙන් - ස්තූතියි ස්ටෙෆනි.. ඔබට කොහොමද ?
හොඳයි. ස්තූතියි..
මම තමයි අද දවසෙ ඔබේ කටයුතු භාරව ඉන්නෙ... ඔබ කැමති උදෑසන ආහාරය අරගෙන කතා කරන්නද ? නැතිනම් අපි පසුව යමක් කරමුද ?
ස්තූතියි. මම උදෑසන ආහාරය අරගෙනයි ආවෙ. මම පසුව යමක් ගන්නම්.
හොඳයි, එහෙනම් අපි ඔබව නාවික පර්යේෂණ ආයතනයට අනුයුක්ත කිරීමේ කටයුතු පටන් ගනිමු. මුලින්ම මට ඔබ‍ගේ සියළු සහතික වල මුල් පිටපත් අවශ්‍ය වෙනවා. අපි මේ සියල්ල අපේ මානව සම්පත් ඒකකයෙ තබා ගන්නවා, නමුත් ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මේවා ආපසු ලබා ගත හැකියි. ඔබ මේ ආයතනයෙන් අස්වන දිනයේදී  මේ සියල්ල ඔබට ආපසු ලැබෙනවා.
ඊලඟට අපට අවශ්‍ය ඔබේ හදිසි අවස්ථා දැනුම් දීමේ විස්තර, මේ විස්තර ලබා ගන්නෙ හදිසියකදි දැනුම් දීමට.
ඇත්තෙන්ම මා ගැන දැනුම් දෙන්න කවුරුවත් මේ රටේ නම් නැහැ. මගේ සියළුම නෑදෑයන් ඉන්නෙ ශ්‍රී ලංකාවෙ. ඒ විස්තර නම් දෙන්න පුළුවනි.
අඩුම ගානෙ විශ්වාසවන්ත යාළුවෙක්වත් නැද්ද ?
නැහැ... මගේ දෙමාපියන් මිය ගියාට පස්සෙ මා හැදුනෙ වැඩුනෙ තනිවම... ඔබගේ අවශ්‍යතාවයට මේ අංක සහ ලිපිනය තබා ගන්න. විශ්ව සිය ලොකුමාමා සහ ලොකු නැන්දාගේ නම්ගම් කොළයක සටහන්කර ඇයට ලබා දුන්නේය.
ඈ මේ තරම් කඩවසම් කොල්ලෙකුට කෙල්ලෙක්වත් නැද්ද  ?   සිතමින් ඔහු ඒ තොරතුරු ලියන අතරතුර ඔහු දෙස මඳ වේලාවක් බලා සිටියාය.
ඊලඟට මෙන්න මේ කොන්ත්‍රාත්තුවට අත්සන් කරන්න... මේ තියෙන්නෙ ඔබ මේ ආයතනයෙ රැකියාව භාර ගන්නවා කියා. මේ ලිපියෙ තියෙන්නෙ ආයතනයේ දත්තවල රහස්‍ය භාවය සුරකින බවට අත්සන් කරන ලිපිය. ඊලඟට මේ තියෙන්නෙ ඔබේ අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ දැනුවත් කිරීමේ ලිපිය... මේ සියල්ලට අත්සන් කළාම, ඒ ලිපි වල පිටපත් මම ඔබට ලබා දෙන්නම්.. ඊට පස්සෙ අපි ආයතනය වටා රවුමක් යා යුතුයි. එතැනදි ඔබට නිත්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම, ඔබේ ඩී එන් ඒ සාම්පල සහ ජෛවී හැඳුනුම්පත් සාම්පල ලබා දීමත් සිදු වෙනවා.
ඇය සියල්ල ඉතාම පැහැදිලිව නිරවුල්ව විශ්වට කියා දුන්නා. සියල්ල එක පාරින්ම මතක තබාගත හැකි විශ්වට ඒ කිසිවක් අනුගමනය කිරීම අපහසු වූයේ නැහැ.
සියල්ල අවසන විශ්ව ඇයත් සමඟ ආයතනය වටා ගොස් ආයතනයේ වටපිටාව සහ අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීමට යාමට නැගී සිටියා.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තවමත් හිතනවද කොහොමද මේ සිදුවීම වුනේ කියලා ?
තමා රූපගත කළ අධෝරක්ත කැමරා දර්ශනය දෙස බලා සිටි ඒජන්තවරයාගෙන්  අනෙකා විමසීය...
මට තවම හිතාගන්න බැරි විනාඩි කිහිපයක් ඇතුලත මිනිහෙක්ගේ ශරීර උෂ්ණත්‍වය මේ තරම් වෙනසකට භාජනය වෙන්න පුළුවන් ද කියලා.  මෙයා නාන කාමරයෙන් එළියට එනවිට ශරීර උෂ්ණත්‍වය ෆැරන්හයිට් 103 ක් සටහන් වුනා.. නමුත් නින්දට වැටිලා විනාඩි කිහිපයක් ඇතුලත එය 80 කට බහින්නෙ කොහොමද ? ඒ විතරක් නොවෙයි එච්චර බැහැලා මෙයා ජීවත් වෙලා ඉන්නෙ කොහොමද ? මේවා හිතන්න ඕන ප්‍රශ්න නොවෙයිද  මාක් ?
එෆ් බී අයි ඒජන්ත ජේසන් බ්‍රවුන් අනෙකාගෙන් ප්‍රශ්න කළේ දැඩි කණස්සල්ලෙනි. සම්මුඛ පරීක්‍ෂණය අවසානයේ මේ සුවිශේෂ පුද්ගලයාගේ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීමට ජාතික ආරක්‍ෂක ඒජන්සියේ ප්‍රධානි ජෙනරාල් වෙලිංටන්ගේ විශේෂ ඉල්ලීම පරිදි යෙදවූ එෆ් බී අයි ඒජන්තවරු දෙදෙනා තමන් පටිගත කළ අධෝරක්ත කැමරා දර්ශන විශ්ලේෂණය කරමින් සිටියහ. ජාතික ආරක්‍ෂක ඒජන්සිය එෆ් බී අයි ආයතනය හඳුන්වන්නේ අසමත් ළදරුවන්ගේ ආයතනය (Failed Babies' Institute) ලෙසිනි. ඒ බොහෝ අවස්ථාවල ඔවුන්ගේ පරීක්‍ෂණවල අවසාන නිගමනය ලබා ගැනීම සඳහා ජාතික ආරක්‍ෂක ඒජන්සියේ සහාය ලබා ගැනීම නිසාය. ඇමරිකා එක්සත් ජනපදය  ඇතුලත සැලසුම් කෙරෙන බොහෝ නීති විරෝධී කටයුතු මෙන්ම ත්‍රස්ත ප්‍රහාර සැලසුම් ද නිතිපතා හසු වන්නේ ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැලටය. එෆ් බී අයි ආයතනය සිය විමර්ශන කටයුතු නිම කරන විට අදාල පුද්ගලයින් දැලට හසුකරගෙන කිසිවෙකුටත් නොදන්වා අතුරුදහන් කිරීමටත්, ග්වොන්ටනාබේ සිර කඳවුරේ අඳුරු කුටි තුල ප්‍රශ්න කිරීමට සහ නිසි ක්‍රියාමාර්ග ගැනීම ජාතික ආරක්‍ෂක ඒජන්සියේ සහ සී අයි ඒ ආයතනයේ ඒජන්තවරුන් විසින් සිදු කර හමාරය. දැන් දැන් බොහෝ විට එෆ් බී අයි ආයතනය සිදු කරන්නේ වංචා විමර්ශනය සහ ළමා අපචාර සිදු කරන්නන්, දරුණු මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා යාම වැනි දෙකයි පණහේ වැඩ බව ජනරාල් වෙලිංටන් දිනක් එළි පිටම ධවල මන්දිරයේ පැවති සාදයකදී පවසා තිබුණි. මේ නිසා එෆ් බී අයි ආයතනය විසින් ජාතික ආරක්‍ෂක ඒජන්සිය මඟින් දෙනු ලබන කොන්ත්‍රාත්තු ඉටු කිරීම අවම ප්‍රමුඛත්‍වයක් දී තිබූ කටයුත්තක් විය. කෙසේ වුවත් මේ සුවිශේෂි කටයුත්ත ජාතික ආරක්‍ෂාවට වැදගත් වන්නක් යැයි ජනරාල් වෙලිංටන් විසින්ම පවසා තිබූ නිසා එෆ් බී අයි ඒජන්තවරු නොපැකිලව මේ සඳහා ඉදිරිපත් වූහ..... නමුත් දැන් ඔවුනට ඇති ප්‍රශ්නය වන්නේ සිය දත්ත තේරුම් ගැනීම සහ සිය පාරිභෝගිකයා වන ජෙනරාල් වෙලිංටන්ට ඉදිරිපත් කිරීමයි. උකුසු ඇස් ඇති, හිවලෙකු මෙන් කපටි, තීක්‍ෂණ බුද්ධියක් ඇති ජෙනරාල් වෙලිංටන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සූදානම් කරගෙන නොගිය හොත්, නැවතත් එෆ් බී අයි ඒකකය අසමත් ළදරුවන්ගේ ආයතනයක් බවට ජෙනරාල් සහතික කරන බව ඒජන්ත මාක් පිස්ට්නර් සහ ජේසන් බ්‍රවුන් යන දෙදෙනාම දැන සිටියහ... ඔවුන් කෙතරම් දක්‍ෂ ඒජන්තවරු වුවද, මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට ඔවුන් දන්නා විද්‍යාව හෝ වෙන යම් දැනුමකට නොහැකි විය...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඔබ හිතන්නෙ මේ සංසිද්ධිය මොන වගේ දෙයක් වෙන්න පුළුවන් කියලද ? මහාචාර්ය තුමනි....
මම දන්න ජීව රසායන විද්‍යාව  අනුව නම් මෙය අසාමාන්‍ය වෙනස්වීමක්... සාමාන්‍යයෙන් ෆැරන්හයිට් අංශක 103 ක ශරීර උෂ්ණත්‍වයක් ඇති කෙනෙක් නිරෝගීව සිටින්න බැහැ.. එය සාමාන්‍ය උණ ගතියටත් වඩා වැඩි උෂ්ණත්‍වයක්, නමුත්.... මේ දර්ශනය විශලේෂණය කිරීමේදී ඔබට පෙනෙන්න නැතුව ඇති මේ උෂ්ණත්‍ව වෙනස සිදු වන්නෙ ශරීර පෘෂ්ඨයේ පමණයි... ඒ කියන්නෙ සම මතුපිට සහ සමට යටින් විශාල උෂ්ණත්‍ව වෙනසක් සිදු වෙනවා. මේ බලන්න මේ දර්ශනයෙ ඔබට පැහැදිලිව පෙනෙනවා ඇඟ අභ්‍යන්තරය සාමාන්‍ය ශරීර උෂ්ණත්‍වයටයි තිබෙන්නෙ... නමුත් ශරීර උෂ්ණත්‍වය පහළ යාමේදි සිදු වන්නෙ මුළු ශරීරයෙම උෂ්ණත්‍වය පහළ යාම... සමහරවිට මේ පුද්ගලයා නාන කාමරයේදී අධික උණු ජලය ස්නානය කරන්න ඇති... ඔබ දන්නවා සාමාන්‍ය උණු ජල කරාමයක උෂ්ණත්‍වය අංශක 110 ත් 120 ත් අතර තිබෙන බව... ඒ නිසා මේ සංසිද්ධිය පැහැදිලි කරන්න පුළුවන් එකම ආකාරය මට තේරෙන විදියට නම් අධික උණු ජලය ස්නානය කිරීම නිසා ශරීරයේ සම ආසන්නයේ අධික උෂ්ණත්‍ව වැඩි වීමක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම ටික වේලාවකින් ශරීර උෂ්ණත්‍වය සමතුලිත වීමේදී නැවතත් පහළට ගොස් සාමාන්‍ය උෂ්ණත්‍වයට පත් වන්නට ඇති... ඔබ කරපු එක වැරැද්දක් නම් මේ පටිගත කිරීම ශරීර උෂ්ණත්‍වය පහළ ගොස් ඇති අවස්ථාවේදී නතර කිරීමයි.... ඔබ දිගටම පටිගත කළා නම් සමහරවිට ශරීර උෂ්ණත්‍වය නැවතත් සාමාන්‍ය තත්ත්‍වයට පත්වනු ඔබට දැකබලා ගන්නට තිබුණා....
මේක අසාමාන්‍ය තත්ත්‍වයක් නොවෙයි..... සමහර මිනිසුන්ට අසාමාන්‍ය උෂ්ණත්‍ව දරාගැනීමේ හැකියාව තිබෙනවා වගේම සමහරු අධික උෂ්ණ ශරීර ඇති අය.. ඔබ අහලා ඇති ස්වයං දහනයට පත් වෙච්ච මිනිස්සු ගැන... කිසිම බාහිර දහන සාධකයක් නොමැතිව ඉබේම ශරීරය ගිනි අරගෙන අළුගොඩක් පමණක් ඉතිරි කරලා මිය යන මිනිස්සු ගැන.... ඒ මිනිස්සු ඉන්නේ එක් අන්තයක... මම කියන්නෙ නැහැ මේ පුද්ගලයා එහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා.. නමුත් මේ පුද්ගලයාටත් ඒ වගේ අසාමාන්‍ය උෂ්ණත්‍වයන් දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක්... මේ ගැන කියන්න පුළුවන් මෙච්චරයි...ජෝර්ජ් වොෂිංටන් සරසවිය - සිසුන්ගෙන් ඉහළම මුදලක් අයකරන ඇමරිකානු විශ්ව විද්‍යාලවලින් එකකි.
එෆ් බී අයි ආයතනයට සම්පත් දායකයින් ලෙසින් විවිධාකාර ක්‍ෂෙත්‍රවල විශිෂ්ඨයින් අනුයුක්ත කර ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. අතිශය රහස්‍ය කටයුත්තක් වන මෙයට දේශපාලනය, විද්‍යාව, කලාව, ඉංජිනේරු ක්‍ෂෙත්‍රය වැනි විවිධාකාර අංශවල මහාචාර්යවරු දායක කර ගනිති. එෆ් බී අයි ඒජන්තවරුන්  ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මානව ව්‍යුහ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝසප් මන්සන් වෙත පැමිණියේද සිය පටිගත කිරීමේදී සිදු වූ අසාමාන්‍ය සංසිද්ධිය නිරාකරණය කර ගැනීම සඳහා ය...
තමන්ට ලැබුණ පිළිතුරෙන් සෑහීමකට පත් වූ අසමත් ළදරුවන්ගේ ආයතනයේ ළදරුවන් දෙදෙනා නැවත සිය කාර්යාලයට පැමිණියේ හිසෙහි වූ බර සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙනයි......
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද වොෂිංටන් නගරය ඔබට ?
ආයතනය වටා ඇවිදින අතර ස්ටෙෆනී විශ්වගෙන් විමසුවාය..
නරකම නෑ... මම මීට ඉස්ලේලත් මෙහාට ඇවිත් තිබෙනවා... උසස් පාසලේ ඉන්න කාලෙ ඉස්කෝලෙ විනෝද චාරිකාවකට එක්කගෙන ආවා... ඊට පස්සෙ සම්මුඛ පරීක්‍ෂණයටත් ආවානෙ.... නමුත් ඒ කාලෙ ඉඳලා දැන් වෙනකොට නම් සෑහෙන වෙනස් වෙලා... ඒත් පැරණි ගතිය නම් එහෙමමයි.
ඇවිදින්න ගියේ නැද්ද කොහෙවත්,.....
තවම නෑ.. මම තවම මගේ අපාට්මන්ට් එක අස් කරනවා.... බඩු ටික ආවෙ දැනට දවස් දෙකකට පමණ ඉස්සර... ඒ ඔක්කොම අස්පස් කරලා පිළිවෙලකට තියන්න ටික දවසක් යනවා...
ඇය කෙතරම් දොඩමළු වුවත්, කැලිෆෝනියා කෙල්ලන්ට වඩා ආචාරශීලී ගතියක් ඇගෙන් පිළිබිඹු වන බව විශ්වට හැඟුණි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොනවද ළමයි දෙන්නා හොයා ගත්තෙ ? ජනරාල් වෙලිංටන්ගේ සුපුරුදු උපහාසාත්මක ස්වරය අභිමුව ඒජන්ත මාක් සහ ජේසන් දෙදෙනාට පොළව පලාගෙන යන්නට සිතුනි....
මෙච්චර කරලත් මූ අපට කතා කරන හැටි......තමා ඒ ටික කියුවා නම් සමහර විට  කොහේ නතර වේ දැයි තමාටවත් හිතාගත නොහැකි වනු බව මාක් ට සිතුනි.
අපි එයගෙ තාප ඡායාරූපයත් විශ්ලේෂණය කරලයි ආවෙ.... ජනරාල්තුමනි, අපි  ඉස්සරවෙලා මේ වීඩියෝ එක බලලා ඉඳිමුද ?
පරිඝණක තිරය දෙස බලා සිටින ජනරාල් වෙලිංටන්ගේ දෑස් ක්‍රම ක්‍රමයෙන් විශාලවනු ඒජන්තවරු දෙදෙනාටම පෙණුනි... දෙදෙනාගේම මුහුණුවල මඟ සිනා රැල්ලක් පහළ වූ නමුත් ජනරාල්ගේ හඬින් ඒ සියල්ල  සැණෙකින් මැකී ගියේය.
මේක කොහොමද මෙහෙම වෙන්නෙ කියලා මට විස්තර කරනවද කවුරුහරි...
තාප ඡායාරූප දැකලා තිබුණත් මේ වගේ ක්‍ෂණික වෙනස්වීමක් පෙන්වන රූපයක් දැක්කෙ අදමයි... මිනිහෙක් මැරුණත් ඇඟේ උෂ්ණත්‍වය මෙච්චර ඉක්මනට පහළ වැටෙන්නෙ නෑ... පැය ගණනාවක් යනකල්.... කොහොමද මෙහෙම වෙන්නෙ ?
ඇත්තෙන්ම ජනරාල් තුමනි අපටත් ඒක ලොකු ප්‍රශ්නයක් වුනා... අපි දෙන්නටම තේරුම් ගන්න බැරි වුනා මේකෙ මොකද වෙන්නෙ කියලා.  ඒක නිසාම තමයි අපි ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජෝසප් මන්සන් ගෙන් මේ ඡායාරූපයට අදාල විශ්ලේෂණය කර ගත්තෙ..
ඔහුට අනුව මේක සිද්ධ වෙන්න පුළුවන් එක විදියක් වන්නෙ මේ පුද්ගලයා නාන කාමරයේදී අධික උණු ජලය ස්නානය කිරීමක් කර තිබෙනවා. ඒ නිසා තමයි මේ සම සහ සම අවට පමණක් අධික උෂ්ණත්‍වයක් පෙන්නුම් කරන්නෙ.... ඒ වගේම මෙයා නාලා අවසන් වෙලා බොහොම ඉක්මනින් නින්දට ගියා... අන්න ඒ අවස්ථාවෙදි ශරීර උෂ්ණත්‍වය නැවතත් සමතුලිතතාවයට පැමිණෙද්දි තරමක් අඩු වෙලා නැවත සාමාන්‍ය තත්ත්‍වයට එන්න ඇති...
ඉතිං කෝ ඒ කොටස ? මෙතැන තියෙන්නෙ ෆැරන්හයිට් 80 කට පහළ බහිනවා විතරයි...
ඇත්තෙන්ම ජනරාල් තුමනි...
තමුසෙලට මේ වගේ වැඩක් වත් හරියට ඉවර කර ගන්න බැරිද ? කවදද FBI එකෙන් හරියට යමක් කරවගන්න පුළුවන් ? තමුසෙලා දෙන්නා මේ මිනිහා නිදා ගන්නකං වීඩියෝ කරලා ආවා... ඒ වෙලාවෙ හිතන්න මොළයක් තිබුණෙ නැද්ද මේ උෂ්ණත්‍වය අඩු වෙච්ච මිනිහට වෙන්නෙ මොකද්ද කියලා...
තමන් නැවත වතාවක් පැරණි ලේබලය නලලේම ගසා ගත් බව දෙදෙනාටම වැටහුන නමුත් තරහින් ගුගුරන ජනරාල් වෙලිංටන් හට තවත් වචනයක් හෝ පැවසීම තමන්ටම වල කපා ගැනීමක් වන බව හොඳින්ම දන්නා දෙදෙනාම ජනරාල්ට ඇති තරම් කෑ ගසන්නට ඉඩ දී නිහඬව සිටියහ.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සේවයට ගිය මුල් දින කිහිපයේ විශ්වට තිබුණේ  නව රසායනාගාරයේ පෙර සිදු කර තිබූ පර්යේෂණ වලට අදාල නිබන්ධන සහ පර්යේෂණ පත්‍රිකා කියවා අවබෝධයක් ලබා ගැනීමටය. බොහෝ දෑ තමන්ට හුරු පුරුදුව ඇති පර්යේෂණ නිසාත්, කියවූ බොහෝ දේ නිසි ලෙස මතක තබා ගැනීමේ හැකියාවක් තිබූ නිසාත් පළමු සතිය තුළ රසායනාගාරයේ සිදු කර  තිබූ පර්යේෂණ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට විශ්වට හැකියාවක් ලැබුණි.
පර්යේෂණාගාරයේ  සංයුතිය ගැහැණු දෙදෙනකු සහ පිරිමි හතර දෙනෙකු විය. සියළුම දෙනාට තම තමන්ගේ ව්‍යාපෘති ලබා දී තිබූ අතර තිදෙනා බැගින් වූ උප කණ්ඩායම් දෙකක් ද තනා තිබුණි. සෑම සතියකම බදාදා සවස තුනට පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තම තමන්ගේ පර්යේෂණවල ප්‍රගතිය කණ්ඩායම හමුවේ ඉදිරිපත් කළ යුතුව තිබුණි. මේ හමුවට ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් සහ ආචාර්ය නීල් ෆියු යන දෙදෙනා ද අනිවාර්යයෙන්ම සහභාගී වෙති. මේ නිසා සුළු වැරැද්දක් හෝ නොකර සියළුම කරුණු ඉතා තර්කාණුකූලව සහ පිළිවෙලකට ඉදිරිපත් කිරීමට සියළුම දෙනා වග බලාගෙන තිබුණි. එසේ වුවත්, අධික බුද්ධි මට්ටමක් ඇති මේ කාණ්ඩය සමඟ යමක් තර්ක කර ජය ගැනීම සිංහ කූඩුවකට රිංගා පණපිටින් ආපසු පැමිණීමක් මෙන් ඉතා අපහසු දෙයක් විය...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද මේ කවදාවත් නැතුව බාර් එකක හමු වෙන්න යොදා ගත්තෙ ?
අගනුවර ඇති අති සුඛෝපභෝගී සහ අතිශය පෞද්ගලික - සුවිශේෂී පැලැන්තියක් පමණක්ම සාමාජිකත්‍වය දරන සෙනෙටර්ස් ක්ලබ් සමාජ ශාලාවේ කොණක වූ මේසය මත, තමා බොමින් සිටි ඉස්තරම්ම  විස්කි වීදුරුව තබමින් අද්මිරාල් බවර් සිය මිතුරු ජෙනරාල් වෙලිංටන්ගෙන් විමසුවේය.
කාලෙකින් ඉතිං අපි හමු වුනෙත් නැහැනෙ... ටෙලිෆෝන් එකෙන් කතා කරනවා ඇරෙන්න.. එක්කෝ ධවල මන්දිරයෙදි හමු වෙනවා, නැත්නම් ආරක්‍ෂක මණ්ඩලයෙදි හමු වෙනවා, ඒ ඇරෙන්න ඉතිං අපට කෝ විවේකයක්....
චාලි.... මම උඹව හොඳට දන්නවා මිත්‍රයා... මම උඹව දන්නෙ වෙස්ට් පොයින්ට් එකේ එකට පුහුණු වෙන කාලෙ ඉඳලා.... උඹට මාව තම්බන්න බෑ.... කමක් නෑ... බොහොම ස්තූතියි විස්කි එකට.... මොකද වෙන්නෙ ? ආයෙම ධවල මන්දිරයෙ කචල් එකක්ද ?
බිල් ක්ලින්ටන් පාලන සමයේ මොනිකා ලෙවින්ස්කි සමඟ වූ සම්බන්ධතාවය ප්‍රසිද්ධියට පත්වීම නිසා වොෂිංටනයේ රහස් සුරකින ඉහළ පැලැන්තියේ දඩ බල්ලන් වන ජෙනරාල් වෙලිංටන්, සී අයි ඒ සංවිධානයේ අධ්‍යක්‍ෂක, එෆ් බී අයි සංවිධානයේ ප්‍රධානියා මෙන්ම නාවික පර්යේෂණ ආයතනයේ ප්‍රධානී අද්මිරාල් බවර් ද නිරතුරු සිටින්නේ දැඩි අවධානයෙනි. බොහෝවිට එවැනි හෝඩුවාවන් සම්බන්ධව දුරකථනයෙන් හෝ කතා නොකරන්නේ තමන්ගේ ද දුරකථන සංවාද වලට සවන් දෙන්නන් කොහේ සිටීදැයි නිනවුවක් කිසිවෙකුටත් නොමැති නිසාය. එසේම රාජ්‍ය රහස් සුරැකීමට දිවිහිමියෙන් බැඳී සිටින මොවුහු, කිසිදු හේතුවක් නිසා ඒ බැඳීම කඩ කිරීමට මැලි වෙති. එසේ වුවත් දැන හෝ නොදැන පවත්වන අයථා සම්බන්ධතා නිසා සිය තනතුරු අහිමි වූ උසස් පුද්ගලයින් දෑතේ ඇඟිලි ගණනට වඩා වැඩි බව දන්නෝ දනිති. මේ නිසාම පවත්වන රහස් සාකච්ඡා මෙන්ම අන් පුද්ගලයින්ගේ සම්බන්ධතා හෝ රහස් පිළිබඳ සාකච්ඡා කිරීමේදී තාක්‍ෂණික මාධ්‍ය අවම කිරීමට මේ තත්ත්‍වයේ සිටින සියල්ලෝම වග බලා ගනිති.
වෙස්ට් පොයින්ට් මිලිටරි ඇකඩමිය ඇමරිකානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකි.
එහෙම එකක් නම් ඉතිං බැරියැ... මේක එච්චර සීරියස් දෙයක් නෙවෙයි... නමුත් රික්ටත් අදාල නිසා තමයි මම මේකට ටිකක් අවධානය යොමු කළේ....
ඒ මොකද්ද ඒ...
මතකද අර මට විස්තර හොයන්න කියලා බාර දීපු කොලු ගැටයා....
ඔව්... දැන් මිනිහා අපේ රසායනාගාරයෙ වැඩත් කරනවා... හොඳ මොළයක් තියෙන පාටයි... වැඩත් නරකම නැහැ.. මට නම් වැරැද්දක් කියන්න බැහැ මිනිහා ගැන...
ඉතින් මමත් විස්තර හෙව්වා.... බබාලා දෙන්නෙකුත් දාලා පොඩි තොරතුරු ටිකක් හොයා ගත්තා.....
ඉතිං ඉතිං.... මොනවද ? වැදගත් යමක් තියෙනවද ?
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අපි දවල්ට කෑමට එලියට යමුද ?
මෙගන් විශ්වගෙන් ඇසුවේ සියල්ලන්ම ඉදිරිපිටදීය....
යමු... ඔක්කොම යනවනේ...... හැමදාම ගෙදරින්ම ගෙනත් කාලා මටත් ඇතිවෙලා.....
මෙගන්ගේ මුහුණ තරමක් අඳුරු වෙද්දී අනෙකුත් තරුණයින් ද හිස සැලුවේ තමන් ද විශ්වගේ ආරාධනය අනුමත කරන බව කියා පාමිනි...
පර්යේෂණාගාරයේ සය දෙනාම වොෂිංටනයේ වර්මොන්ට් මාවතේ පිහිටි ලින්කන් ආපන ශාලාව වෙත ගමන් කළේ කාර් දෙකකිනි. තරමක් මිල අධික බී එම් ඩබ්ලිව් රථයකට හිමිකම් කියන මෙගන් ෂුල්ට්ස් ඉහළ මධ්‍යම පාන්තික පවුලකට අයත් තරුණියකි. දෙමාපියන් ගණකාධිකාරීවරුන් වන ඇයගේ සහෝදරයින් දෙදෙනාම බැංකු නිලධාරීන් ය. මේ බී එම් ඩබ්ලිව් රථය ඇයගේ විසිපස්වන උපන් දිනයට සිය පවුලෙන් ලැබූ ත්‍යාගයකි. තිදෙනෙකු සහෝදර විද්‍යාඥ මයිකල්ගේ වාහනයට ගොඩ වෙද්දී විශ්වත් සිමෝනාත් මෙගන්ගේ වාහනයට නැගුනාහ.
ඔයා කොහේද නැවතිලා ඉන්නෙ ?
ගවනර්ස් කෝනර් එපාට්මන්ට්ස් වල....
එතැන ටිකක් ගණන් නේද ? ඉදිරිපස අසුන්ගෙන සිටි  විශ්ව දෙස හැරී බලමින් මෙගන් ඇසුවාය....
ඔව්.... ටිකක් ගණන්... නමුත් බොහොම නිස්කලංකයි... පාරෙන් තරමක් ඈත තියෙන නිසා බොහොම සාමකාමියි....
පිටුපස අසුන්ගෙන සිටි සිමෝනා ද මේ සංවාදයට ඇහුම්කන් දීගෙන සිටියාය.... මෙගන් විශ්වගෙන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරන බව ඇයට ද තේරුම් ගොස් තිබුණි... විශ්ව වැනි කඩවසම් තරුණයෙකු හට සිත ඇදී නොයන තනිකඩ තරුණියක් වේ දැයි ඇය ද සිතුවාය.. උසට සරිලන දේහ විලාශය මෙන්ම ඔහුගේ ගාම්භීර ගමන් විලාශයත්, තැන්පත් කතා විලාශයත්, ඒ සැම එකතු වූ සන්සුන් බවත් ඕනෑම තරුණියක් වශී කරවන බව ඇයද දැන සිටියාය. අන් සියළු තරුණියන් මෙන්ම තමන්ගේ පෙම්වතා මේ තරුණයා සමඟ සසඳන්නට සිමෝනා ද උත්සාහ කළාය... බොහෝ සංවාද අවසන ඔවුහු ලින්කන් ආපන ශාලාව වෙත ලඟා වී සිටියහ.
ආයුබෝවන්... මගේ නම මෙලනි ජොන්සන්... අද මමයි ඔබට සේවා සපයන්නෙ... මුලින්ම ඔබ බොන්න කැමති මොනවද ?
බොහෝ දෙනා මෙනු පෙරලාගෙන බොන්නට යමක් සොයද්දී විශ්ව ලෙමන් යුෂ සහ ජලය පමණක් ඇණවුම් කළේය..
ආහාර ගන්නා අතරතුර බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ කණ්ඩායමට එක් වූ අළුත් සාමාජිකයා වෙතය. ඔහුගේ කතා විලාශය මෙන්ම ආහාර තෝරා ගැනීමද බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.
ඔබ හැමදාම කන්නෙ සලාදයක් පමණයි....
මම නිර්මාංශකයෙක්.... ඒ නිසා කිසිම සත්ව ආහාරයක් ගන්නෙ නැහැ..
අඩුම ගානෙ කිරි, චීස් වගේ දෙයක්වත්...
නැහැ.... ඒ නිසාම තමයි මම සලාදයට කිසිවක් එක් කරගන්නෙ නැත්තෙ....
ඒ ඔබ බුද්ධාගමේ නිසාද ? නැතිනම් ඔබේම තෝරා ගැනීමද ?
දෙකම.... මම බුද්ධාගමේ නිසාමත් මම මාංශ ආහාර ගන්නෙ නැහැ.... ඒ වගේම මාංශ ආහාරවල ඇති බොහෝ දේවල් අපේ ශරීර සමඟ පෑහෙන්නෙ නැහැ... ඒ නිසා අමතර දෙයක් මගේ ඇඟට දාගන්න මම කැමති නැති නිසාත් මාංශ ආහාර වලින් වැලකිලයි ඉන්නෙ...
ඉතින්, ඔබට ශක්තිය ලැබෙන්නෙ කොහොමද ?
අලි ලොකු වෙලා තියෙන්නෙ මස් කාලද මෙගන්.....  ඩැනියෙල් විහිළුවක් කළේය...
මම උසස් පාසැල් යන කාලෙ ඉඳලම නිර්මාංශයි.... දැන් ඒක පුරුද්දකට ගිහින්.... මස් ගෑවුන යමක් තිබුණත් කන්න බැහැ... නමුත් ඒක ඇඟට බොහොම සනීපයි... අවශ්‍ය ශක්තිය ශාක ආහාර වලින් අපට ඕනවටත් වඩා ලැබෙනවා. මිනිස්සු මස් කන්න බොරු හේතු හදාගෙන මස් කෑවත්, අපේ ශරීර පරිණාමය වෙලා තියෙන්නෙ සත්ත්‍ව ප්‍රෝටීන ජීර්ණය වෙන්න නොවෙයි. මේ නිසාම අපේ ඇඟට ඇතුළු වන සත්ත්‍ව ප්‍රෝටීන හැකි ඉක්මනින් ශරීරයෙන් බැහැර කරන්නයි අපේ ඇඟ උත්සාහ කරන්නෙ. හරියටම රුධිරයට ඇතුළු වුන ආගන්තුක ද්‍රව්‍යයකට විරුද්ධව ප්‍රතිදේහ ක්‍රියා කරනවා වගේ... මේ නිසා අපි මාංශ ආහාර ගන්න හැම අවස්ථාවකම අපේ ශරීරයට අපි හානියක් කරන්නෙ. මේ හේතුව නිසාම අපේ ඇඟ ඇතුලේ විවිධාකාර අහිතකර රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. ඒ වගේම මේ මාංශ ආහාර නිසා අපේ ඇඟ ඇතුලත මුක්ත කාණ්ඩ (Free Radicals) නිපදවෙනවා. මේවා නිසා අපේ ශරීරය ඇතුලත ඔක්සිකාරක ආතතියක් (Oxidative stress) ගොඩනැංවෙනවා. ඒ නිසා සෛල වියපත් වීම වැඩි වෙනවා, පිළිකා වැනි දේ සෑදීමේ ප්‍රවණතාව වැඩි වෙනවා, පසුකාලීනව ඇල්ශයිමර්ස් වගේ රෝග වලට පවා මූලික වෙන්නෙ මෙන්න මේ දේවල්..
හරි... දැන් මේ දේශනයෙන් පස්සෙ කී දෙනෙක් නිර්මාංශ වෙනවද ? මම දන්නවා කාන්තාවො දෙන්නා නම් නිර්මාංශ වෙනවා කියලා..  මට නම් මස් නොකා බෑ.... ඒ නිසා විශ්ව, ඔයා මොනවා කිවුවත් මම මගේ ස්ටේක් එක කන එක නවත්වන්නෙ නම් නෑ... සමාවෙන්න මචං (Sorry dude).... කට හැකර බිල් කටේ මස් කෑල්ලක් පුරවාගෙන මේසයේ එහා කොණේ සිට සැමට ඇසෙන්නට කියවන්නට විය.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඉතින් චාලි අපි මොකද මේ ගැන කරන්න ඕන ?
අපි කෝකටත් මේ පුද්ගලයාව තව තවත් පරීක්‍ෂා කරලා බලමු.... ඒජන්තයෝ දෙන්නෙක් මේකට දැම්මා කියලා අපට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ... මේක ඇත්තෙන්ම බොහොම වැදගත් මාතෘකාවක්... සමහර විට අපි නොදන්න බොහෝ දේවල් මෙයාගෙන් බලා ගන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා. ඒ නිසා මේ වැඩේ අපට පාඩුවක් වෙන එකක් නැහැ. මොකද මේ වගේ පුද්ගලයො තමයි අපට අවශ්‍ය, අපට පුළුවන් නම් මෙයාව අපේ පැත්තට ගන්න ඒක එක පැත්තකින් ලොකු වාසියක්. ඒ වගේම මෙයා අධ්‍යයනය කරලා මේ වගේ වෙනත් මිනිස්සුන්ගෙ හැසිරීම කොහොමද කියලා ආකෘතියක් හදන්නත් අපට පුළුවන් වේවි...
ඒක නෙවෙයි රික්... ඔය ලැබ් එකේ  තව ඇබෑර්තු නැද්ද ?
දැනට නම් විද්‍යාඥයින්ගේ ඇබෑර්තු ඔක්කොම පිරිලා තියෙන්නෙ... නමුත් අපට තව කෙනෙක්ගෙ අවශ්‍යතාවය තියෙනවා ක්වොන්ටම් ගණනය කිරීම් කරන්න සහ ආකෘති විශ්ලේෂණයට... ඔබ දන්න කියන කෙනෙක් ඉන්නවද ? හැබැයි මේක ඒ තරම් ආකර්ෂණීය රස්සාවක් නෙවෙයි... සාමාන්‍ය විද්‍යාඥයෙකුට ලැබෙන පඩිය වගේ ලොකු පඩියක් ලැබෙන්නෙ නම් නැහැ... නමුත් වැදගත් පඩියක් ලැබෙනවා...
බලමු...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දිනය : බදාදා
ප්‍රගති සමාලෝචන රැස්වීම අවසන සියළුම දෙනාගෙ අවධානය බිඳුනෙ නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා තවත් පියකරු යුවතියක් සමඟ රැස්වීම පැවති කාමරයට පැමිණීම නිසා....
සුභ සවසක් අද්මිරාල් තුමනි, මොකද මේ පැත්තෙ නොදන්වාම ?
සාමාන්‍යයෙන් මෙවැනි රැස්වීම් සඳහා අවම වශයෙන් සහභාගි වන අද්මිරාල් තුමාගෙ පැමිණීම හැම දෙනාටම ප්‍රශ්නයක් වුනා විතරක් නෙවෙයි ඔහු සමඟ පැමිණි යුවතිය ගැනත් ගැහැණු පිරිමි භේදයක් නොමැතිව අවධානය යොමු වුනා.. පිරිමින් නම් බැලුවෙ අළුත් යුවතියගෙ ලස්සන වුවත් මෙගනුත් සිමෝනාත් බැලුවෙ තමන්ට වඩා ලස්සන මේ කෙල්ල මොනවට අද්මිරාල්තුමා සමඟ මෙතැනට ආවද කියලා... සාමාන්‍යයෙන් වයසක බලවත් පිරිමින්ගේ ඇඟේ එල්ලෙන සරාගී ගැහැණු හිටියත් මේ වගේ ප්‍රසිද්ධියේ අද්මිරාල් තුමා කෙල්ලක් අරන් ආවෙ ඇයිද කියන ප්‍රශ්නය කාටත් ඇතිවුවා... පෙනෙන විදියට දෙන්නා හොඳට අඳුනන පාටකුත් තිබෙනවා...
අද මම තකහනියක්ම මේ රැස්වීමට ආවෙ විශේෂ කාරණයකට, මම මේ කියන්න යනදේ ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් දෙදෙනා ගැනත් සාකච්ඡා කරලයි මේ තීරණය ගත්තෙ. ඔබ හැම දෙනාම දන්නවා ක්වොන්ටම් යාන්ත්‍රික ගණනය කිරීම් සහ ත්‍රිමාණ අනුරූපණ අතින් අපේ රසායනාගාරය සිටින්නෙ තරමක් පසුගාමී තත්ත්‍වයක. මම ඒ ගැන ඔබට දොස් කියන්නෙ නැහැ. මොකද ඔබට තියෙන වැඩ කන්දරාවත් එක්ක ක්වොන්ටම් යාන්ත්‍රික ගණනය කිරීම් කරන්න කියලා අපට බල කරන්න අයිතියක් නැහැ. මේක ඇත්තෙන්ම වෙනම රැකියාවක්, ඉතින් අපි ඔබට වැඩ පහසු කර ගැනීම සඳහා ගණනය කිරීම් සිදු කිරීම සඳහාම දක්‍ෂකම් දක්වන අළුත් සාමාජිකාවක් කණ්ඩායමට එකතු කරන්නට අදහස් කළා... ඒක ලිංගික සමබරතාවය (Gender balance) එකටත් එක්ක හොඳයි කියලා අපි හිතුවා. මේ මාත් සමඟ සිටින මොලී ජේන් ඕ‘රියෝර්ඩන් මැසචුසෙට්ස් තාක්‍ෂණික සරසවියෙ ආචාර්ය උපාධිධාරිණියක්, ඇගේ ප්‍රවීණත්‍වය තිබෙන්නෙ ක්වොන්ටම් ගණනය කිරීම් සහ ත්‍රිමාණ අනුරූපණයන් සඳහා.. ඉතින් තවත් කතා මොනවටද ? අපි ඔබට අළුත්ම සාමාජිකාවක් ලබා දුන්නා.. ඔබේ කටයුතු සියල්ල ඇයත් සමඟ සාකච්ඡා කර සහයෝගයෙන් කටයුතු කරන්න.... ඇගේ දායකත්‍වය වෙන්නෙ ඔබේ පර්යේෂණවලින් ලැබෙන දත්තයන් ගණනය කිරීමෙන් ලැබෙන දත්තයන් සමඟ සමපාත කිරීම මගින් ඔබේ පර්යේෂණවල නිරවද්‍යතාවය නැවත වතාවක් තහවුරු කිරීම. ඒ වගේම ඔබ සියළුම දෙනා දන්නවා අපට නාස්ති කරන්න කාළයක් නැති බව... ඒ නිසාම ගණනය කිරීම් මගින් සහ ත්‍රිමාණ අනුරූපණ මගින් ලැබෙන ආකෘතින් ඉදිරියට ගෙනයාම මගින් සෑහෙන වෙලාවක් ඉතිරිකරගෙන කාර්යක්‍ෂමතාවය ඉහළ නංවගන්නත් අපට මේ නිසා පුළුවන් වෙනවා. මතක තියාගන්න අපි බලන්නෙ ඔබේ පුද්ගලික ජයග්‍රහණ නොවෙයි... අපි සියළුම දෙනා එක කණ්ඩායමක්, අපි සියළු දෙනාගෙ ජයග්‍රහණ පුද්ගලිකව සිදු කරන පර්යේෂණ මත රඳා පැවතුනත්, අපි ජයග්‍රහණය කරන්නෙ එකමුතුව නැගී සිටියහොත්,... මට ඒ ගැන වැඩිහිටියන් වෙච්ච ඔබට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැති බව ඔබ දන්නවා... ඉතිං... හොඳට වැඩ කරගෙන යන්න.... අපි සෑහෙන සොයා ගැනීම් කරලා තිබෙනවා මේ පර්යේෂණාගාරයෙන්... මට අවශ්‍ය ඒ දේ තව තවත් වැඩි දියුණු කරවන්නයි... තේරුණා නේද ?
සියළුම දෙනා එකාවන්ව හිස සැළුයේ තමන්ට ලැබුණ විධානයන් පමණටත් වඩා හොඳින් තේරුණ බව අඟවමිනි.
සාමාන්‍යයෙන්  කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය පිළිබඳ ඉතා සැලකිල්ලක් දක්වන රසායනාගාර - ආයතන මෙන්ම කර්මාන්තශාලා ද සිය පර්යේෂණයන් සිදු කිරීමට මත්තෙන් ඒ සියළු පර්යේෂණ තත්ත්‍වයන් පරිඝණක ආශ්‍රයෙන් ගණනය කිරීම් වලට භාලනය කර වඩාත්ම උචිත පර්යේෂණ තත්ත්‍ව තෝරා ගනු ලබයි. මේ නිසා  අහඹු ලෙස තෝරා ගන්නා පර්යේෂණ තත්ත්‍ව සහ වැරදි පර්යේෂණ තත්ත්‍ව පසුපස ගොස් කාළය කා දැමීම මගින් සිදුවන හානිය වලකා ගන්නටයි. බොහෝ ඖෂධ සමාගම් සහ රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් දැන් දැන් මේ ක්‍රම භාවිතා කරනවා. මේ නිසා  ඒ සමාගම් වලට සිදුවන ලාභය ඩොලර් මිලියන ගණනක්. ඒ සියල්ල ගණනය වන්නේ වැයවන රසායන ද්‍රව්‍ය සහ අපතේ යන මිනිස් පැය ගණන මගින්. ඉහළම තත්ත්‍වයේ ඇති ආණ්ඩුවේ රසායනාගාර පවා දැන් දැන් මේ ක්‍රම අනුගමනය කරන්නේ එයින් බොහෝ වාසි ලබා ගත හැකි නිසායි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද හිතෙන්නෙ අළුත් කෙල්ල ගැන.. ?
පසුදා උදෑසනම රසායනාගාරයේ කුස්සියෙදි කෝපි කෝප්පයක් වත්කර ගන්න අතරේ බිල් ඇසුවෙ මයික් ගෙන්....
මොනවා හිතන්නද ? ආයෙ හෝදන්න දෙයක් නෑ.... ඔය ඉන්නෙ..........
මට හිතෙන විදියට නං ඒකට කොල්ලෙක් ඇති... ඔය වගේ එකක් සාමාන්‍යයෙන් ඉතිරි වෙලා තියෙන්න විදියක් නෑ....
කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නෙ නෑ.... දෙදෙනාම මහ මහ හඬින් සිනාසෙන්නට විය...
මොකද දෙන්නගෙ  හිනාව ? සිමෝනා ද  එසේ අසමින් ම කුස්සියට  පැමිණියාය..
නෑ මේ අළුත් ගෑණු ළමයා වැඩට යොදා ගන්නෙ කොහොමද කියලා සාකච්ඡා කළේ....
අනේ මේ.... මම නොදන්නවයැ දෙන්නගෙ සාකච්ඡා..... මම එකක් කියන්නං... ගෙරි මස් කනකොට බෙල්ලෙ බැඳගෙන කන්න එපා හරිද ? මේක ඇතුලෙ සම්බන්ධතා තියාගෙන ඒවා කඩාකප්පල් වුනොත් දෙන්නටම එකිනෙකාට මූණ දෙන්න බැරි වෙයි.... ඒකයි කියන්නේ කාර්යාලීය ප්‍රේමය (Office Romance) දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා.. අනික, උඹලා දෙන්නම කිසිම දෙයක් සීරියස් කරන්නෙ නැති බව දැන දැනත් ඔය වගේ වැඩ වලට නං ගෑවෙන්න එපා.. මම දෙන්නගෙම හොඳට කියන්නෙ... මේ මම වගේ පිටින් එකෙක් හොයා ගන්නවා... කිසි ප්‍රශ්නයක් නෑ... දවස තිස්සෙම කතා කරන්නවත් විදියක් නැති නිසා ගෙදර ගියාම උපරිම සැලකිලි ලැබෙනවා....
ආ.... අපි නොදන්නවයෑ ඒක.............
ඒක නෙවෙයි...Office Romance ගැන කතා කරනකොට මතක් වුනේ.... මොකද අර මෙගන් විශ්ව ගැන වැඩිපුර හොයන්නෙ ? මිනිහවත් දැලේ දාගන්නද ?
ඒ වගේ තමයි.... ගිය සතියෙ අපි කන්න එළියට ගිය වෙලේ යනකං හරස් ප්‍රශ්න... දැක්කනේ කන වෙලාවෙත් අහපු දේවල්.... මම හිතන්නෙත් මෙගන්ගෙ පොඩි කැමැත්තක් තියෙනවා විශ්ව ගැන.
ඇයි යකෝ අපි ඔටුවොද ? මෙච්චර කළක් අපි මේ ලැබ් එකේ හිටියා මෙගන්ට ඕනකම තිබුණා නං අපි දෙන්නගෙන් ඕන කෙනෙක් සපෝට් එකක් දෙනවනේ... අළුතෙන්ම පොරක් එනකං බලං හිටියේ... අපරාදෙ ජීවිතේ...
දන්නවනේ මෙගන්ගෙ හැටි.... හරිම High Maintenance......... එයාව ආම්බාන් කරන්න ඉතිං උඹට රස්සා දෙක තුනක් කරන්න වෙයි... උඹට පුළුවන්ද  මෙගන්ට  Prada අත් බෑග් අරන් දෙන්න හැම මාසෙම..... ඔන්න පුළුවන් නං සෙට් වෙයං..... අන්තිමට උඹට Bankruptcy file කරන්නයි වෙන්නෙ.....
කවුද  Bankruptcy file කරන්නෙ ? විශ්ව ද කුස්සියට පැමිණෙන අතරේ තිදෙනාගෙන්ම ඇසුවේය....
විශ්ව මේ.... මම උඹේ හොඳට කියන්නෙ.... වැරදිලාවත් මෙගන්ට නං සෙට් වෙන්න එපා පුතෝ.... උඹේ සේසතම ඉවර වෙයි බෑග් අරන් දීලා....
ස්තූතියි බිල්... මගේ එහෙම නං අදහසක් නෑ... දන්නවනේ ඉතිං මේක ඇතුලෙ ඔහොම දේවල් තියා ගත්තාම කරදරයි කියලා.....
පටන් ගන්නෙ ඔහොම තමයි පුතා... දන්නෙම නැතුව උඹ ඒකට වැටිලා තියේවි... මෙච්චර අපි හිටියා... අපි ගැන ඇහැක් ඇරලා බැලුවද ? උඹ ආවා විතරයි උඹ ගැන මාර සැලකිල්ලක් දක්වන්නෙ... අඩුම ගානෙ එක දවසක් අපෙන් ඇහුවද කන්න එළියට යං කියලා... උඹ ඇවිල්ලා සතියයි ගියේ... කෙල්ලම වචනෙ දැම්මනේ.... නැද්ද මයික්...
ඒක තමයි.... ඔන්න අපෙන් නං ඕක ආම්බාන් කරන්න ණය ගන්න එන්න එපා.... හරිද ?
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද විශ්ව ඔබ කියන්නෙ මේ ආකෘතිය වැරදියි කියලා ?
නැහැ, මම කියන්නෙ නැහැ මේක සම්පූර්ණයෙන්ම වැරදියි කියලා... නමුත් මේකෙ අඩුපාඩු තියෙනවා....
කොහොමද එහෙම කියන්නෙ ? මේක මීට ඉස්සර වෙලා අපි කොච්චරක් නම් අත්හදා බලලා තියෙනවද ? කාටවත් එහෙම දෙයක් අහු නොවුන එකේ ඔබ විතරක් කොහොමද කියන්නෙ මේ ආකෘතියෙ අඩුපාඩු තියෙනවා කියලා ?
හරි, මෙන්න මේකයි මයික් අඩුපාඩුව... මේ අපි අත්හදා බලන චන්‍ද්‍රිකා ක්‍රියාත්මක වෙන්නෙ කොහෙද ?
පිටත වායු ගෝලයේ. (Exosphere)
හරි... දැන් කියන්න බලන්න අපේ චන්‍ද්‍රිකා ස්ථාපනය කරන්න යන්නෙ කොතැනද කියලා...
පිටත වායු ගෝලයේ ක්ලාක් කක්‍ෂයෙ (Clark Orbit) පහළ ස්ථරයෙ.
ඔතැන සංයුතිය මොකක් කියලද ගණනය කිරීම් වලදි උපකල්පනය කරන්නෙ ?
එතැන දී උපකල්පනය කරන්නෙ වායුගෝලීය අවකාශය පරිපූර්ණ වායුවක් (Ideal Gas) ලෙස හැසිරෙනවා කියලා...
හරි...... එතකොට ඉස්සර මේක අත්හදා බලපු අය පිටත වායු ගෝලයේ සංයුතිය විදියට ගත්තෙ මොකද්ද ?
සාමාන්‍ය පිටත වායු ගෝලයේ සංයුතිය: හයිඩ්‍රජන් සහ හීලියම්; අපට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලැබෙන දත්ත වලින්.
දැන් මේ වායු ගෝලයේ සංයුතිය නිසා, අපි උපකල්පන දෙකක් කරනවා.
  1. ඉහළ අවකාශයේ අංශු ප්‍රමාණය නොසැලකිය හැකි තරම් නිසා ඒවා අතර පරමාණුක ඝට්ඨන නොසලකා හැරීම
  1. ඒ පරමාණු හෝ අංශුන් කිසිදු ඝට්ඨනයකට ලක් නොවී පරිපූර්ණ රේඛිය පථයක ප්‍රක්‍ෂෙපණය වන බව
හරිද ?
ඔව්.... දැන් විශ්වගෙ තර්කය මොකද්ද ?
තර්කය වෙන්නෙ මෙන්න මේකයි මයික්....
මේ පිටත අවකාශයේ ප්‍රමාණය තීරණය වෙන්නෙ සූර්ය ක්‍රියාකාරීත්‍වය මත, සමහර කාළවලදි මේ  පිටත අවකාශයේ සංයුතිය සමහර කාළවලදී වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ සංසිද්ධිය නොසළකා හැර තිබෙනවා. ඒ වගේම සූර්ය ක්‍රියාකාරීත්‍වය වැඩි කාළවලදී පිටවන අංශු ප්‍රමාණය අර අපි උපකල්පනය කළ නොසළකා හැරිය හැකි ප්‍රමාණය ඉක්මවා යනවා..  වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙද්දිත් මේ පිට වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙනවා... අපි මේ කරුණු නොසළකා හැර තිබෙනවා... මෙන්න මෙතැනදි අපි කිසියම් නිවැරදි කිරීමක් කළ යුතුයි...
පරිපූර්ණ වායු සමීකරණයේ පරිමාව සහ පීඩනයට අපි කරන නිවැරදි කිරීම් වගේ නිවැරදි කිරීමක් අපට මේ සඳහා යොදන්න බැරිද ?
පුළුවන්, නමුත් කවුද මේ ගණනය කිරීම් කරන්නෙ ? අපි දෙන්නටම ඒවා කරන්න වෙලාවක් නැහැ...
අමතක වුනාද ? ඒකට තමයි අද්මිරාල් බවර් අළුතෙන්ම ගෑණු ළමයෙක් එවුවෙ... දෙයියො එව්වා වගේ ඔය ඇවිත් ඉන්නෙ... අද්මිරාල් කිවුවෙ පුළුවන් තරම් වැඩ ගන්න කියලා... ඉතිං ගමු....
යමු.... අදම මේක කර ගත්තොත් අපට මේ සතිය වෙනකොට නිගමනයකට එන්න පුළුවන් වේවි...
ඒ වන විටත් මොලී සිටියේ කිසියම් ත්‍රිමාණ අනුරූපණයක් පරිඝණකයේ ක්‍රියාකරවිමිනි....
හලෝ මොලී.... අපට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?
සත්තකින්ම.... එන්න.... වාඩිවෙන්න......
මේ අපේ විශ්ව පොඩි තර්කයක් ගේනවා අපේ පැරණි පර්යේෂණවල අඩුපාඩුවක් ගැන... අපිට මේ ගැන කතා කරන්න පුළුවන්ද ? මොකද අපි හිතන්නෙ මේ උපකල්පන සංශෝධනය කළොත් සමහරවිට නිවැරදි  අගයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලයි.. ඒකට ඔයාගෙ ගණනය කිරීම් අත්‍යවශ්‍ය වෙනවා...
ඔව් පුළුවන් වෙයි.... හැබැයි මට විස්තර කරලා කියන්න... තවම මේ ගණනය කිරීම් මට පොඩ්ඩක් අළුත්....
කිසි ප්‍රශ්නයක් නෑ.. විශ්වගෙ තමයි අදහසත්, විශ්වම විස්තර කළා නම් හොඳයි...
මේකයි මොලී... දැන් අපේ පර්යේෂණ කරන චන්‍ද්‍රිකා රඳවන්නෙ  පිටත අවකාශයේ. නමුත් අපි මේ කටයුතු ත්‍රිමාණ අනුරූපණ කරනකොට සමහර සාධක මඟහැර තියෙනවා කියලා මට හිතෙනවා. අපට ඕන මෙන්න මේ සාධකත් ඇතුලත් කරලා ඒ ගණනය කිරීම් කරන්නයි. ඊට පස්සෙ අපේ ගණනය කිරීමෙන් ලැබුණ කරුණු ප්‍රායෝගිකව අනුරූපණය කරන්න පුළුවන් වේවි.
දැන් මොනවද ඔයා කියන සාධක ?
විශ්ව ජීවිතයේ මුල්ම වතාවට ඒ තරම් සුන්දර නිල් පැහැති දෑසක් දුටුවේ එදාය .... තමන් කෙතරම් කෙල්ලන් දැක ඇතත්, මේ තරම් කතා කරන දෑසක් හමු වූයේ නැති බව ඔහුට හැඟුණි....
විශ්ව සිය උපකල්පනය මොලීට පැහැදිලි කළත් ඔහුගේ සිත එකතැන නොමැති බව මෑතකදී හඳුනාගත් මයික්ට පවා  වැටහී තිබුණි....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව, මට ඔයාව අද හවස හමුවෙන්න ඕන..... හවස ලොකු වැඩක් නෑ නේද ?
නැහැ... කීයට විතරද ?
හවස වැඩ ඉවර වෙලා එන්නකො.... මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.
හොඳයි...
...........................................................................................
එදින දවස විශ්ව පර්යේෂණ වල නිරත වුවත් සිත තුළ ඇති කළේ චකිතයකි. සේවයට පැමිණ සති දෙකක් යාන්තම් ගතවෙද්දී සිය ජීවිතය වෙනස් වූ ආකාරය ඔහුට සිතා ගැනීමටත් නොහැකි තරමට වේගවත් විය. මසකට පෙර තමා කැලිෆෝනියාවේ ගත කළ ජීවිතයත්, මසක් ඇතුලත සියල්ල වෙනස් වූ අයුරුත් චිත්‍රපටයක් සේ සිය දෑස් ඉදිරිපිට ඇඳී බොඳවුනි...
මොකද කරන්නෙ ? භාවනා කරනවද ?
මෙගන්ගේ හඬින් සිය දැහැන බිඳගත් විශ්ව වටපිට බැලීය...
නෑ... මම මේ කල්පනා කළේ....
මම දැන ගත්තා... ලොකු කල්පනාවක කියලා... මම ලඟට ඇවිත් විනාඩි ගාණක් යනකල් දැක්කෙ නෑ.... කවුරු ගැනද කල්පනා කළේ.... කැලිෆෝනියාවෙ ඉන්න ගෑණු ළමයා ගැනද ?
මම ?.... අනේ නැහැ මෙගන්.... මට එහෙම කෙනෙක් නැහැ.....
මෙගන්ගේ මුවඟ සිනාවක් ඇඳුනේ නිතැතින්ම.......... හිටියෙත් නැද්ද ?
නැහැ....
බොරුකාරයා.... ඔය වයසෙ කොල්ලෙකුට කෙල්ලෙක් හිටියෙ නෑ කියන්නෙ ලෝක පුදුමයක්.....
බොරු කියන්නෙ මොනවටද ? මට ගෑණු ළමයෙක් හිටියෙත් නෑ දැනුත් නෑ.....
ඒකට කමක් නෑ... මම මේ ආවෙ ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර ගැන විස්තර ටිකක් ඔයාගෙන් දැනගන්න... ඔයා ආචාර්ය උපාධියට කළේ ප්‍රති ගුරුත්‍වාකර්ෂණය ගැන කියලා මයික් කිවුවා.... පොත් පෙරළලා බලනවට වඩා විශේෂඥයෙක්ගෙන් අහගන්න එක ලේසි නිසා මම පොඩ්ඩක් අහගන්න ආවෙ... කරදරයක් නැතිනම් පොඩ්ඩක් කියලා දෙනවද ? මෙගන් එහෙම ඇහුව තාලෙට විශ්වට බෑ කියන්න බැරි වුනා...
ඉතිං මෙගන්ට දැන ගන්න අවශ්‍ය මොකක්ද හරියටම ?
මේකයි... මම කියවපු ලිපියක බොහොම සංකීර්ණව ගණනය කිරීම් සමඟ දක්වලා තිබුණා ලෝකයේ සමහර තැන්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය අඩු වැඩි මට්ටම්වල පවතිනවා කියලා... මේක තේරෙන භාෂාවෙන් දැනගන්නයි මට ඕන.. මොකද මේ කතාව ප්‍රතිගුරුත්‍ව මේසයේ ක්‍රියාකාරීත්‍වයට අදාල කරගන්නයි මට ඕන....
හරි.... ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර කියන්නෙ ලෝකය පුරාම පවතින දෙයක් නෙ... ඒක හැම තැනම ඒකාකාර නැහැ... සමහර තැන්වල වැඩි ගුරුත්‍වයක් තියෙනවා වගේම තවත් සමහර තැන්වල අඩු ගුරුත්‍වයක් තියෙනවා.
මේ බලන්න මේ සිතියම දිහා...

මේ සිතියමේ තියෙන්නෙ ලෝකයේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල වෙනස්වීම. මේ රතු පැහැයෙන් දැක්වෙන්නෙ අධික ගුරුත්‍වයක් ඇති ප්‍රදේශ.... තද නිල් පැහැයෙන් පෙන්වන්නෙ අවම ගුරුත්‍වයක් ඇති ප්‍රදේශ.  දකුණු ඇමරිකාවෙ ඇන්ඩීස් කඳු, ඉන්දියාවෙ හිමාලය, ජාවා සුමාත්‍රා පෙදෙස් වගේ තැන්වල අධික ගුරුත්‍වයක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙ දකුණු දිග, හිමාලයෙ උතුරු පෙදෙස, බර්මියුඩා ත්‍රිකෝණය වගේ තැන්වල ගුරුත්‍වය අඩු මට්ටමක තිබෙනවා. මෙන්න මේ නිසා මේ තැන්වලදී සමහර අගයයන් සාමාන්‍ය අගයයන්ගෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් බර්මියුඩා ත්‍රිකෝණයේදී නැව් ගිලෙනවා කියන මතය - සමහර විට එය මිත්‍යාවක් වුනත් මේ ගුරුත්‍ව වෙනස නිසා සිදු වන්නක් වෙන්න පුළුවනි. ඇන්ඩීස් කඳුවල ඇති සමහර විල්වල ජලයේ විවිධාකාර ගුණ තිබෙනවා කියන්නෙ මෙන්න මේ ගුරුත්‍වය වැඩි වීම නිසා වෙන්න පුළුවන්.
පුරාණ කතාවක් වන රාමායනයෙ කියැවෙන හනුමන්තා හිමාලයෙන් කොටසක් ගලවගෙන එද්දි රූමස්සල කියන ප්‍රදේශයේ එයින් කැබැල්ලක් කැඩී වැටුනා කියන කතාවෙ සත්‍යතාවය කොපමණද කියලා නොදන්නවා වුනත් ඒ භූ විෂමතාවල සහ පරිසරයෙ කිසියම් සමානතාවයක්  දකින්න පුළුවන් සාධක එහි තියෙනවා. නමුත් කවුරුවත් එහි විද්‍යාත්මක සත්‍යතාවය පර්යේෂණයකට භාජනය කරලා නැති වෙන්න පුළුවන්.  මෙන්න මේ වගේ වෙනස් වෙනස් තැන්වල වෙනස් ගුරුත්‍ව බලයයන් තියෙනවා. මගේ පර්යේෂණය වුනේ මේ ක්‍ෂෙත්‍රවල සම්බන්ධතාවයක් ඇත්දැයි හොයන එක... නමුත් මට ලෝකෙ වටේම යන්න බැරි වුන නිසා ඒ සියල්ල නිසි ලෙස අවසාන කරගන්න බැරි වුනා... ඒ නිසාමයි මම මගේ නිබන්ධනය උතුරු සහ දකුණු ඇමරිකානු මහාද්වීප වලට පමණක් සීමා කළේ... ඉඩක් ලැබුණොත් අනෙත් පැති වලත් මේ සම්බන්ධතාවය කොහොමද කියලා බලන්න ඕන..
මොකද්ද රාමායනය කියන්නෙ ?
රාමායනය කියන්නෙ ඉන්දියාවෙ ලියැවුන මහා වීර කාව්‍ය දෙකෙන් එකක්. අනිත් එක මහාභාරත්... දෙකම කියවන්න වටින පොත් දෙකක්. රාමායනය ලිවුවෙ වාල්මිකී කියන පඬිවරයා.  මේ පොතෙන් කියවෙන්නෙ  මහා දිග කතාවක්... කැමති නම් හොයාගෙන කියවන්න.... ඉතිං... තව මොනවද දැනගන්න ඕන....
මට නම් පොත් කියවන එක නම් එපා වෙලා තියෙන්නෙ..... ඒක නෙවෙයි, ඔයා ලංකාවෙ ඉපදිලත්, ඔය කියන තැනට ගිහිල්ලා නැද්ද ?
ගිහින් තියෙනවා... ගොඩක් ඉස්සර... ළඟකදි නම් ගියේ නැහැ...
මමත් හරිම ආසයි උෂ්ණ කලාපීය රටක නිවාඩුවක් ගත කරන්න යන්න... ඒත් ඉතිං අම්මලා ඉඩ දෙන්නෙ නෑනෙ..... ඒ ගොල්ලන්ගෙන් අවසර ගන්න එක ඉතිං ලේසි නෑ....
ඒ මොකද ? ඒ අය හිතන් ඉන්නෙ තවම මම පොඩියි කියලනෙ. තවම අයියලා දෙන්නගෙ පොඩි එකා මම... අම්මලත් බලන් ඉන්නෙ හැම සති අන්තෙම මම ගෙදර එනකල්... ඒ අයට මම නැතුව බෑ.... ඔයාගෙ පවුලෙ කවුද ඉන්නෙ ?
මම විතරයි....
ඔයා විතරයි ? සමාවෙන්න අහනවට ? ඔයාගෙ දෙමාපියො ? නෑදෑයො ? ඒ අය ලංකාවෙද ?
නැහැ මෙගන්.... මගේ දෙමාපියො දෙන්නම හදිසි අනතුරකින් නැති වුනා... මගේ නංගිත් එක්කම... දැනට අවුරුදු හයකට විතර ඉස්සර...
මෙගන්ගේ මුහුණ දුක්මුසු වූයේ සැණෙකිනි...
අනේ මට සමාවෙන්න විශ්ව... මම වැරදි ප්‍රශ්නයක් ඇහුවනම්.... මම දන්නෙ නැතුවයි ඇහුවෙ....
කමක් නෑ මෙගන්... කවුරුවත්  අනුන් ගැන හරියටම දන්නෙ නෑනෙ... ඒකට කමක් නෑ... ඒ අය නැති වුනේ පිටරකටදී... මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ නියෝජිතයෙක්.... ඒ ගමනකදි තමයි අනතුර වෙලා තියෙන්නෙ.... දැන් ඒක අතීතයට එක් වෙලා හමාරයි... දුක වුනත් මම ඒ ගැන වැඩිය හිතත්නෙ නෑ...
මට සමාවෙන්න... කියන්න මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා...
ස්තුතියි... මම අවශ්‍ය වුනොත් කියන්නම්... ඉතිං ඔයාට ඕන විස්තර ටික දැනගත්තද ?
ඹව්... බොහොම ස්තූතියි... හැබැයි මට නම් රාමායනයයි මහාභාරත් පොතයි කියවන්න බැහැ... අඩුම ගානෙ මම Twilight වත් කියවපු කෙනෙක් නොවෙයි...
ඒකට කමක් නෑ,.. ගුරුත්‍වය ගැන ඕනතරම් පොත්, ලිපි තියෙනවා... අන්න ඒවයින් ඔයාට හොඳට විස්තර දැනගන්න පුළුවනි...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොනවද හොයා ගත්තෙ ?
ගිය සති අන්තෙ අපේ යාළුවා පොඩි ගමනක් ගියා...  අපේ නියෝජිතයෙකුත් ඒ සමඟ යැවුවෙ කොහාටද යන්නෙ කියලා බලන්න....
ඉතිං කොහෙද ගියේ ?
චීන ටවුමට...
චීන ටවුමෙ මොනවද එයා කරන්නෙ ?
ඒක තමයි අපටත් ප්‍රශ්නය තිබුණේ... නමුත් මතකද අර දුරකථන සංවාදයෙ කිවුවා චීන කඩේකින් බෙහෙත් වගයක් ගන්න කතාවක්... මම හිතන්නෙ මෙයා ගියේ ඒ බෙහෙත් ගන්නයි...
ඉතිං ගත්ත දේවල් හොයා ගත්තද ?
නැහැ... අන්න ඒකයි ප්‍රශ්නෙ... මොකද කියනවා නම් අපට එකපාරටම චීන කඩෙන් අහන්න බැහැ මෙයා මොනවද ගත්තෙ කියලා... ඒක සැක හිතෙන්න පුළුවන් වැඩක්.... ඒ නිසයි අපි වෙන ක්‍රමයකින් ඒක හොයා ගන්න බලන්නෙ...
කොහොමද ?
කුණු බක්කි අවුස්සන්න තමයි වෙන්නෙ.....
තමුසෙලා ඉතිං හැමදාම   අනුන්ගෙ කුණු බක්කි අවුස්සන එකනෙ කරන්නෙ ! ඒක නෙවෙයි... බැරිද අපිට ගෙදර නිරීක්‍ෂණය කරන්න යමක් කරන්න... එහෙම වුනොත් මොනවහරි හොයා ගන්න පුළුවන් වේවි...  ඒ විතරක් නෙවෙයි... කාර් එකේ GPS tracker  එකක් හයි කරනවා... ඒකෙන් හොයා ගන්න පුළුවන් ගමන් බිමන් ඔක්කොම....
වෙලාවකට හිතෙනවා අපි මේ දුවන්නෙ බොරු දෙයක් පස්සෙ කියලා... ඇයි අපිට කෙළින්ම මෙයාව ප්‍රශ්න කරන්න බැරි ?
මෝඩයෝ.... මොන හේතු මතද ප්‍රශ්න කරන්න අත් අඩංගුවට ගන්නෙ ? කිසිම වැරැද්දක් කරපු නැති මනුස්සයෙක්... කතා කරන්න ඉස්සර වෙලා පොඩ්ඩක් හිතන්න පුරුදු වෙනවා.. තමුසෙ කොහොම එෆ් බී අයි ඒජන්තයෙක් වුනාද කියලා මට හිතෙනවා... ජනරාල් වෙලිංටන් ජේසන් වෙත ගුගුළේය...
සමාවෙන්න ජෙනරාල්තුමනි......
හොඳයි... දැන් යනවා.... මට තව සතියකින් ප්‍රගතිය කියන්න එන්න... මේක ඇදගෙන යන්න බැහැ.... නිකං කාළයයි සල්ලියි නාස්ති කරන්න බැහැ... ඉක්මනට හොයාගෙන එනවා මෙයා කවුද, මොනවද කරන්නෙ කියලා...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::GPS TrackingGPS Tracking
GPS tracking බොහෝ අංශවල භාවිතා වන ක්‍රමයකි. මෙය අපරාධකරුවන් අල්ලාගැනීම, වාහනවල ගමනාගමනය හෝ මාර්ග අඳුනාගැනීම, ක්‍රීඩාවලදී, වටිනා උපකරණ හෝ වාහන සොර සතුරන්ගෙන්  ආරක්‍ෂාකරගැනීම සඳහා, කුඩා දරුවන් මෙන්ම සුරතල් සතුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා ක්‍රමයකි. අදාල වස්තුවේ සවි කරන GPS උපකරණයෙන් ලැබෙන සංඥාවන් කිසියම් ස්ථානයක සිට නිරීක්‍ෂණය කිරීම සිදු කෙරේ. උදාහරණයක් ලෙස සීමිත අවකාශයක සැරිසැරීමට අවකාශ දී නිදහස් කෙරෙන සිරකරුවකුගේ වළලුකරෙහි මේ GPS tracking උපකරණයක් සවි කරනු ලබයි. අදාල නීති සම්පාදක ආයතනයෙන් ඒ නිදහස් සීමාව නිර්ණය කර, අදාල පුද්ගලයාට නිදහසේ ගමන් කළ හැකි වපසරිය දන්වනු ලබයි. යම් හෙයකින් ඒ පුද්ගලයා අදාල ප්‍රදේශයෙන්  පිටතට ගියහොත් අදාල ආයතනයට එය පෙනෙනවා පමණක් නොව ඒ පුද්ගලයාට ද කිසියම් සංඥාවක් මගින් දැනුම් දෙනු ලැබේ. තවත් උදාහරණයක් වන්නේ සමහර දරුවන්ගේ සපත්තුවල සඟවා ඇති GPS Tracking dot නම් කුඩා බොත්තමක් වැනි උපකරණයයි. ඒ මගින් තම දරුවා සිටින ස්ථානය ආසන්න වර්ගමීටරයට සොයා ගැනීමේ හැකියාව දෙමාපියන්ට ලැබේ. මෙය තරමක් මිල අධික සේවයක් වුවත්, ධනවත් දෙමාපියෝ සිය දරුවන්ට GPS Tracking dot පළඳවන්නේ ඔවුන් පැහැරගැනීමකට ලක් වුවහොත් සොයා ගැනීමේ පහසුව පිණිසය. නවීන දුරකථන වලද මේ හා ආසන්න තාක්‍ෂණයක් දැන් දැන් ඇතුලත්කර ඇත. එසේම කිසියම් පුද්ගලයෙකුගේ ගමන්බිමන් සොයාගැනීම පිණිස වාහනයේ හෝ ඒ පුද්ගලයාගේ ඇඳුමක GPS Tracking dot එකක් සවිකර සියළුම ගමන් බිමන් සොයා ගැනීමේ පහසුව නීති සම්පාදක ආයතනවලට හැකියාව ඇත.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පොරොන්දු වූ පරිදි ම සේවා කාළය අවසානයේ විශ්ව මොලී හමුවන්නට ඇගේ කාමරයට ගියේ සිතේ චකිතයක් ද ඇතුවය…..
ඇගේ කාමරයේ අඩවල් වූ දොරට තට්ටුවක්  දැමූ විශ්ව...........
ඇයි මොලී.... මාව හම්බවෙන්න ඕන කිවුවෙ ?
ආ විශ්ව.........මට ඔයාව හමු වෙන්න ඕන කිවුවෙ වෙන මොකවත් නිසා නෙවෙයි... මට ආචාර්ය ෆියු අළුතෙන් පර්යේෂණයක් භාර දුන්නා.... ඒකට ඔයාවත් හවුල් කරගන්න කිවුවා... යමු අපි දෙන්නම එයාව හමු වෙන්න.... මට කිවුවා ඔයාව පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න කියලා... මම ඔයාට කිවුවෙ නැත්තෙ මේ ගැන මම තවදුරටත් කරුණු හොයපු නිසා... නැතුව ඔයාගෙන් හංගන්න නෙවෙයි... කොහොමත් ආචාර්ය ෆියු ඔයාටයි මටයි කතා කරන්නයි ඉන්නෙ දැන්....
කමක් නෑ... ඒත් ඇයි ආචාර්ය ෆියු මට කෙළින්ම ඒක නොකිවුවෙ ?
සමහරවිට ඒකටත් හේතුවක් ඇති... මෙතැන ඔයයි මමයි දෙන්නම අළුත්, ඉතින් අපි දන්නෙ නැහැනෙ මෙතැන කොහෙමද වැඩ කෙරෙන්නෙ කියලා...
එහෙම වුනා කියලා සම්මත පටිපාටි වලින් බැහැර වෙන්න බැහැනෙ.... මුලින් දන්වන්න ඕන නේද ?
ඇත්ත... කවුද දන්නෙ මේක මොනවගේ පැත්තකට යන පර්යේෂණයක්ද කියලා... මම දන්න විදියට මට තියෙන කාර්යය සුවිශේෂ ගුරුත්‍වාකර්ෂණ ක්‍ෂෙත්‍රවල ගණනය කිරීම් සහ අනුරූපණය කිරීම් කරන්න... මම හිතන්නෙ ඒ පර්යේෂණය මට වඩා අදාල වෙන්නෙ ඔයාටයි. ආචාර්ය ෆියු කිවුවා ඔයා ඒ පර්යේෂණ ක්‍ෂෙත්‍රයෙ බොහොම දක්‍ෂයෙක් කියලා... මම ඔයාගෙ පර්යේෂණ පත්‍රිකා සියල්ලම මුද්‍රණය කර ගත්තා... මේ බලන්න...
ඇය පර්යේෂණ පත්‍රිකා ගොන්නක් පිළිවෙලකට සැකසූ ලිපිගොනුවක් ඔහු වෙත යොමු කළාය.
ඉතිං මගේ පර්යේෂණ මෙතැනට එහෙමටම අදාල වෙයිද ?
අපි බලමු... දැන් යමු ආචාර්ය ෆියු හමු වෙන්න........
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී මොකාටද එන්න හදන්නෙ ? ඇවිල්ලා දවස් කීපයයි ගියේ විශ්වට බැල්ම දාන්න අරගෙන වගේ...... මෙගන් සිමෝනාට පැවසූවේ අමනාපයෙනි...
ඔයා විශ්වට කැමතිද ?
පොඩි කැමැත්තක් තියෙනවා... මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා... තවම ගෑණු ළමයෙක්වත් නැහැ...
පිරිමි ළමයෙක් ඉන්නවද දන්නෙ නෑ...... කැලිෆෝනියාවෙ ඉඳලනෙ ආවෙ.....පිටුපසින් සිට බිල් මහ හඬින් සිනාසෙමින් කතාවට එක් වූයේ තරුණියන් දෙදෙනාම පුදුමයට පත් කරවමිනි..
ඔයා අනුන්ගෙ කතාවලට කට දාන්න ඕන නෑ බිල්...
මම දාපු කටක් නෑ... මට ඇහුනා.. ඒ විතරක් නෙවෙයි ඔයා විශ්වට බැල්ම දානවා අපි හැමෝටම තේරෙනවා....
ඉතිං ඔයාට මොකද ? මම කැමති කෙනෙක් එක්ක යාළු වෙන්න මට පුළුවනි...
මම එදත් කිවුවා ... අදත් කියනවා........ ගෙරි මස් කනකොට බෙල්ලේ එල්ලගෙන කන්න එපා.... මේක මහ භයානක වැඩක්.....
සිමෝනා.... ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.... මම යමක් කරනවා නම් ඒක දිගටම කරන්නයි පටන් ගන්නෙ... මම හිතන්නෙ මට විශ්ව ගැලපෙනවා....
විශ්වට සල්ලි තියෙනවද ඔයාට බෑග් අරන් දෙන්නයි සාප්පු සවාරි එක්කන් යන්නයි ? ඔයාව නඩත්තු කරන්න ඉතිං අළුතෙන් බැංකුවක් කඩන්න වෙනවා....
ඒක ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි... මගේ වියදම් මම බලා ගන්නම්....
කොහොම වුනත් මට ආරංචි හැටියට නම් විශ්වගෙ හිතේ මොලී ගැන යමක් තියෙන පාටයි... මෙගන්ට ඉක්මන් වෙන්න වෙයි... ඔන්න දැනුත් විශ්ව මොලීගෙ කාමරයට රිංගනවා මම බලාගෙන... අපි ගැන නැති විශේෂත්‍වයක් විශ්ව ගැන මොලීට තියෙන පාටයි... එහෙනං අපි යනවා.... ඕන දෙයක් කරගන්නවලා... ඕන නම් අපි කියන්නම් විශ්වට, මෙගන්ගෙ කැමැත්තක් තියෙනවා කියලා... මගේ ගාස්තුව ගෙවන්න විතරයි ඕන....
යනවා යන්න.... අපි ඒක බලාගන්නම්... මෙගන් තරහින් මෙන් බිල්ව එලවා ගත්තාය....
ඇත්තෙන්ම කොහෙද මොලී විශ්වව එක්කගෙන ගියේ ?
මම දැක්කෙ නම් නීල්ගෙ කාමරේට ගියේ.... අළුත් ව්‍යාපෘතියක් වගේ.... කොහොමත්  අළුත් කෙනෙක් ආවම අළුතෙන් දෙයක් දෙන එක ලොක්කගෙ පුරුද්දක් නෙ....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
වාඩිවෙන්න දෙන්නම............
මම මේ දෙන්නටම එන්න කිවුවෙ මේ ව්‍යාපෘතිය ටිකක් බැරෑරුම් එකක් නිසා.. සමහරවිට ඔය දෙන්නට වෙනත් ප්‍රදේශ වලට යන්නත් වේවි... මට මුලින්ම දැනගන්න ඕන මේ වගේ ව්‍යාපෘතියක් භාර ගන්න ඔය දෙන්නා කැමතිද කියලා.
මොනවගේ ව්‍යාපෘතියක් ද ආචාර්ය ෆියු කියන්නෙ ? බැරෑරුම් කියන්නෙ ?
මේකයි... හොඳට අහගන්න... අපට දැන් චන්‍ද්‍රිකා ගුවන්ගත කිරීමෙදි  තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අධික වියදම... මේ වියදම වැඩිපුරම යෙදෙන්නෙ අපේ යානා පෘථිවි ගුරුත්‍වයෙන් මිදීමට ගන්න ශක්තිය වැඩි වීම... යානා සැකසීමට යන වියදම කොහොමත් එකයි, ඒක අඩු කරන්න තියෙන්නෙ බොහොම සුළු ක්‍රම කිහිපයක් පමණයි. නමුත් අපි විශ්වාස කරනවා මේ යානා ගුවන්ගත කිරීම වෙනස් කළොත් අපට සමහරවිට ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන් කියලා. සමහරවිට අළුත් ඉන්ධන වර්ගයක් හොයා ගැනීම හෝ වෙනස් ගුවන්ගත කිරීමේ ක්‍රමයක් හෝ වෙනයම් ක්‍රමයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපෘතිය බැරෑරුම් වෙන්නේ ඔය හේතු නිසා. මේ ව්‍යාපෘතියෙ රහස්‍ය භාවය අනෙක් ඒවට වඩා වැඩියි... ඒ නිසා බොහොම පරිස්සම් වෙන්නත් ඕන...
ඉතිං.... මොකද කියන්නෙ ? දෙන්නා මේ ව්‍යාපෘතිය කරන්න කැමතිද නැද්ද ? මට හිතලා බලලා හෙට දවස ඇතුලත කියන්න.... මොකද මට ඉක්මනට මේ ගැන වචනයක් ඉහළට දෙන්න ඕන... මේක මූලිකත්‍වයෙ ඉහළම තැනක තියෙන ව්‍යාපෘතියක්... සුදුසු කෙනෙක් එනකල් හිටියෙ භාර දෙන්න... ඉහළ පාලනාධිකාරයෙන් දැනුම් දුන්නා මේ ව්‍යාපෘතියට සුදුසුම දෙදෙනා ඔබ දෙදෙනා කියලා... ඒකයි මම දෙන්නටම එකට එන්න කියලා මේක කිවුවෙ... වැඩි විස්තර අවශ්‍ය නම් මේකට කැමතිද නැද්ද කියලා කියන්න... ඒ අනුව අපි කටයුතු කරමු....
හොඳයි.... අපි හෙට වෙනකොට හරි උත්තරයක් දෙන්නම්....
දැන් යන්න පුළුවන්... සුභ සන්ධ්‍යාවක් දෙදෙනාටම....
සුභ සන්ධ්‍යාවක්......
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද කියන්නෙ ? වැඩේ බාර ගන්නවද නැද්ද ? කාමරයෙන් පිට වූ විශ්ව මොලීගෙන් ඇසුවේ ඉතා සෙමින්....
මට නම් හිතෙන්නෙ බාර ගන්න... ටිකක් වැදගත් වැඩක් නෙ... කොහොම වුනත් බෑ කිවුවොත් අපේ වෘත්තීමය ඉදිරිගමනට (Professional Progress) හොඳ නැති වෙන්නත් පුළුවන්... මේ හැම පර්යේෂණයක්ම 100% ක් සාර්ථක වෙන ඒවා නොවෙයිනෙ.. හරි ගියේ නැතිනම් අපට ඉතිං කරන්න දෙයක් නෑ.. කොහොමත් මේ පර්යේෂණවල සාර්ථකත්‍වය ගැන අපි කාටවත් වග කියන්න බැහැ... ඒ නිසා මම නම් බාර ගන්න කැමතියි... කොහොමත් මේක අළුත්ම දෙයක්නෙ... මට යමක් ඉගෙන ගන්න අතරෙම යමක් හොයා ගන්නත් පුළුවන්... ඉතිං අපි Win-Win situation එකක ඉන්නෙ.... මම නං කියන්නෙ ඒකයි.
මටත් මේකෙ ලොකු අනතුරක් දකින්න නැහැ... අනික මට නම් දන්න විෂයයක් නිසා ඒ තරම් අමාරුවක් නැහැ.. මමත් කැමතියි මේ ව්‍යාපෘතියට... අනිත් එක මේක මේ අපි දන්න ලෝකෙ තියෙන දෙයක් නෙ... අනිත් දේවල් ඔක්කොම කරන්නෙ අභ්‍යවකාශයෙ තියෙන දේවල් පොළවෙ අත්හදාබලන එකනෙ..... ඔයත් කැමති නම්, මමත් කැමති නම් අපි දෙන්න හෙට උදෙන්ම ගිහින් කියමු වැඩේට කැමතියි කියලා.. කොහොම වුනත් අළුත් ව්‍යාපෘතියකට මමත් කැමතියි... මීට ඉස්සර කට්ටිය කරලා කුණු වෙලා තිබුණ ඒවට වඩා....
විශ්ව අගේ විකසිතවන මුව දෙස යන්තමින් බලා පැවසුවේය....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද කරන්නෙ? ආයෙම බලමුද ?
දාලා තියන්න... පටිගත වෙන දෙයක් පටිගත වෙයිනෙ... අන්තිමට බලමු....
අදත් මිනිහා තනියම....
මිනිහගෙ ජීවිතේම තනියම නෙ ගෙවුනෙ....
මොනවද ඒ කරන්නෙ ? කෑමක් හදනවද ?
ඒ වගේ තමයි... කොහොමත් ඔය ආසියානු මිනිස්සු හරියට කෑම හදන්න වෙලා ගන්නවා.... අපි වගේ නෙවෙයි... උන් දවසක් කෑම හදලා පැයකින් කාලා ඉවර කරනවා. ගෙදරම කුළුබඩු ගඳයි... අපි දවසක් චීන ගෙදරකට ඇතුළු වුන වෙලාවෙ වමනෙ යන්න ආවා... උන් කුකුළු අඬු උයලා කන්න හදනවා.... ඔන්න ඔය වගේ ජරා වැඩ....
අන්න මිනිහා නාන්න යනවා... අදත් බලමු අර සංසිද්ධිය වෙනවද කියලා....
සිය ඉලක්කයට තාප සංවේදක කැමරාව මානාගෙන පටිගත කරන අතරතුර සිය අත්දැකීම් හුවමාරු කර ගනිමින් සිටි එෆ් බී අයි ඒජන්තවරු දෙදෙනා තමන් දකින්නේ කුමක්දැයි සිතාගත නොහැකිව එකිනෙකා දෙස බලාගත්වනම බලාහුන්හ....
සැමදාම සිදු කරන පිරිසිදු වීමේ පිළිවෙත ක්‍රියාත්මක කරමින් විශ්ව උණුවතුර කරාමය විවෘත කළේය.... උණු වතුරෙන් සිය සිරුරේ ශ්වේද ග්‍රන්ථි විවෘතවෙනු ඔහුට දැනුනි.... සිරුර පිරිසිදු කරන සුවිශේෂ ද්‍රාවණය ඔහු සිය සිරුර පුරා තවරාගත්තේය... සිය සිරුර උණුසුම් වනු ඔහුට දැණුනි... නැවතත් ස්නානය කරන්නට පටන් ගත් ඔහු සීතල කරාමය විවෘත කළේය.... සිය ශ්වේද ග්‍රන්ථි ක්‍රමයෙන් වැසෙනු සහ සිරුරේ මස් සම් ඇට නහර සියල්ල උණුසුම් වන අයුරු ඔහුට දැණුනි... තමා නැවතත් ළදරුවෙකු මෙන් පිරිසිදුය....
සැහැල්ලු ඇඳුමක් ලා ගත් ඔහු නාන කාමරයෙන් ඉවතට පැමිණියේය...
ඊට යාර පන්සීයක් පමණ ඈතින් වූ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිට කිසිවෙකු තමා නිරීක්‍ෂණය කරන බව විශ්ව නොදත්තේය... නමුත් කිසියම් අමුත්තක් ඔහුගේ සිතට දැනුනි.. ස්නානයෙන් පසු වහාම සුපුරුදු නින්දට වැටීම වෙනුවට තවත් ටික වෙලාවක් නොනිඳා රැඳී සිටීමට ඔහු තීරණය කළේය....
අසළ වූ පොත් රාක්කයක් වෙත ගිය ඔහු කිසියම් පොතක් අතට ගත්තේය....
කොහොමද මෙහෙම මිනිහෙක් ජීවත් වෙන්නෙ ? අදත් උෂ්ණත්‍වය 103 යි
මෙච්චර වෙලා හොඳට හිටිය මිනිහා නාලා ඉවර වුනාම කොහොමද මෙච්චර උණුසුම් වෙන්නෙ ? බලමු එදා වගේ සීතල වෙනවද කියලා....
එෆ් බී අයි ඒජන්තයින් දෙදෙනා කැමරාව මානාගෙන පැය බාගයක් පමණ සිටියත් ඔවුන් බලාපොරොත්තු වූ පරිදි සිය ඉලක්කය උෂ්ණත්‍ව වෙනසක් නොපෙන්වීය..
Jeova Sanctus Unus විසින් රචිත Philosophiæ Naturalis Principia Mathematica නම් වූ ලතින් භාෂාවෙන් ලියැවුන පොත පෙරලාගත් විශ්ව අසල වූ සෝපාවේ දිගා වී පිටු පෙරළන්නට විය.Philosophiæ Naturalis Principia Mathematica පොතෙන් පිටුවක්Philosophiæ Naturalis Principia Mathematica පොතෙන් පිටුවක්
මේ පොත ලියා ඇත්තේ එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. දාර්ශනිකයෙක්, මහා විද්‍යාඥයෙක් මෙන්ම සුප්‍රසිද්ධ ඇල්කෙමිවරයෙක් වූ පුද්ගලයෙකි. සිය පත්‍රිකා Jeova Sanctus Unus නමින් අත්සන් කළ,ලෝකයා වෙනත් නමකින් දන්නා Isaacus Neutinuus විසිනි. සිය අධ්‍යාපනයේ ඉහළ කඩඉම ඇරඹු දා සිට අයිසැක් නිවුටන් කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින වැඩි වූ බව විශ්ව දැන සිටියේය... අයිසැක් නිවුටන් මහා විද්‍යාඥයෙක් යැයි කියා පමණක් සාමාන්‍ය ලෝකයා දැන සිටියද ඔහු සතු අසාමාන්‍ය බුද්ධිය සහ දියුණු කරන ලද සිත පිළිබඳ දැන සිටියේ අතලොස්සකි. බොහෝ දාර්ශනිකයින් සිය බුද්ධිය උපතින් රැගෙන ආවැයි ලෝකයා හැඳින්වුවද, ඒ බොහෝ දෙනා කිසියම් හෝ ක්‍රමයකින් සිත දියුණු කරන ලද පුද්ගලයින් වේ. ඇරිස්ටෝටල්සොක්‍රටීස්පයිතගරස්ප්ලේටෝ, පරම්පරවෙන් පසු පැමිණි නොස්ට්‍රඩාමස් වැනි අනාවැකි කියන්නන්ද , ලියනාඩෝඅයිසැක් නිවුටන්බීතෝවන්,  තාගෝර්,  අයින්ස්ටයින්  මෙන්ම දැනට ජීවතුන් අතර සිටින ස්ටීවන් හෝකින් ඇතුළු ලොව බොහෝ සුප්‍රසිද්ධ විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ මේ ගණයට අයත් පුද්ගලයෝ වෙති. සිත දියුණු කිරීම එක් ආගමකට සීමා වූවක් යැයි බොහෝ දෙනා සිතා සිටියත්, බුදුන් වහන්සේ මෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද සිය ජීවිතයේ එක්තරා අවධියක සිත දියුණු කිරීම උදෙසා කැප වී සිටි බව බොහෝ දෙනා නොසළකා හැර තිබේ. ඒ තම ආගම අනුන්ගේ ආගමට වඩා උසස් යැයි සිතීමේ පටු මානසිකත්‍වය ඇති මිනිසුන් පිරිසක් බවට ඔවුන් පත් වී ඇති නිසාය. සිත දියුණු කරන්නන් අතීතය වර්තමානය මෙන්ම අනාගතය ද දකිති. අයිසැක් නිවුටන්ට ගුරුත්‍වාකර්ෂණය පිළිබඳ සිතිවිල්ල පහළ වූයේ ඇපල් ගෙඩියක් බිමට වැටෙනවා දැකීමෙන් යැයි ප්‍රවාදයේ සටහන් වුවත් නිවුටන්ගේ දියුණු කළ සිතට එවැනි හැඟීමක් පහළ වීමට ඇපල් ගෙඩියක් බිමට වැටෙන තෙක්  සිටිය යුතුද යන්න විමර්ෂණය කළ යුතු ප්‍රශ්නයකි.
නූතන විද්‍යාව නව සොයා ගැනීම් වලින් බහුල යැයි සිතා බොහෝ දෙනෙකු උදම් ඇනුවත්, ඉපැරණි වේද ග්‍රන්ථ සහ උපනිෂද් ග්‍රන්ථවල ඇති දෑ විවරණය කිරීමේදී නූතන විද්‍යාවෙන් විස්තර කෙරෙන හයිසන්බර්ග් මූලධර්මය (Heisenberg Uncertainty Principle) නම් වූ මූලධර්මය උපනිෂද් නම් හින්දු වේදික පුස්කොළපොත් වල තිබූ බව දන්නේ ලොව ඉතා ස්වල්ප දෙනෙකු පමණි. ඉපැරණි භාරතයේ සුපතල පුස්තකයක් වූ භගවත් ගීතාවෙන් ද්විත්‍ව කල්පිතය (Dual world) නම් වූ මූලධර්මය විස්තර කෙරුණේ මීට වසර දෙදහසකටත් වඩා පෙර බව බොහෝ දෙනා නොදනිති. කෙටියෙන් කිවහොත් නූතන විද්‍යාව යනු වසර දෙදහසකට පෙර සිත දියුණු කළ පුද්ගලයින් විසින් ලියන ලද පුස්තකයන්හි ඇති මූලධර්ම ආශ්‍රයෙන් ගොඩ නැඟුනක් බව නූතන විද්‍යාඥයෝ පවා අමතක කර ඇත: නැතහොත් සරළවම ඔවුහු ඒ බව නොදනිති.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුභ උදෑසනක් විශ්ව....
සුභ උදෑසනක් මොලී.. කොහොමද ඔබට ?
බොහොම හොඳයි.....  ඔබට ?
මමත් හොඳින්...... අපි දැන් යමුද ?
යමු................
දෙදෙනාම  ආචාර්ය ෆියු හමුවීමට ඔහුගේ කාමරය වෙත පා නැඟූහ....
සාමාන්‍යයෙන්  හමුවන මිතුරු මිතුරියන්ගෙන් “කොහොමද ?" කියා ඇසීම ඇමරිකානු සිරිතකි. එයට පිළිතුරු දීම හෝ නොදීම අදාල පුද්ගලයාගේ සිරිතක් වන අතර බොහෝ විට කෙටි පිළිතුරක් ලබා දේ. මෙය වෙනත් රටවල, විශේෂයෙන් යුරෝපයේ හෝ ආසියාවේ දකින්නට නොලැබෙන සිරිතක් සේ පෙනේ.
මොකද දෙන්නා උදෙන්ම ? සුභ ආරංචියක්ද නැතිනම් එච්චර සුභ ආරංචියක් නෙවෙයිද ?
සුභ ආරංචියක් නීල්.... අපි දෙදෙනාම මේ වැඩේට කැමතියි.... අපි මේ ව්‍යාපෘතිය භාර ගන්නවා.
බොහොම සන්තෝෂයි.... මමත් බලාපොරොත්තු වුනා ඔබ දෙදෙනා මේ ව්‍යාපෘතිය භාර ගනීවි කියලා... මේක බොහොම වැදගත් ව්‍යාපෘතියක්, සමහරවිට  මේ ව්‍යාපෘතිය හරි ගියොත් මේක අමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රබල සංධිස්ථානයක් වේවි. ඉතින් එහෙනම් අපි පටන් ගනිමු....
ආචාර්ය නීල් ෆියු  සිය පරිඝණකයේ වූ වැඩසටහන පසෙක වූ පුළුල් තිර රූපවාහිනි තිරය මත දිස් වන්නට සැලැස්වීය... ඉන් පසු පර්යේෂණය විස්තර කිරීම ඇරඹීය....
විද්‍යාත්මක පර්යේෂණ ආවාට ගියාවට සිදු කරන්නක් නොවේ. පර්යේෂණ වලට පැහැදිලි සැකිල්ලක් ඇති අතර සෑම පර්යේෂණයක්ම පර්යේෂණ සාරධර්ම (Research Ethics) වලට යටත්ව සිදු කෙරේ. බොහෝ බටහිර රටවල පර්යේෂණ සඳහා විශාල මුදල් සම්භාරයක් යට කෙරෙන නිසාම ඒවායේ තත්ත්‍වය මෙන්ම බලාපොරොත්තු වන ප්‍රතිඵල ද උසස් වේ. මේ නිසා සිදු කරන සෑම පරීක්‍ෂණයක්ම මනා සැලසුමකින් යුක්තව බොහෝ කරුණු සළකා බලා සිදු කෙරේ.
බොහෝවිට පර්යේෂණ සිදු කරන්නේ වාලුකා යන්ත්‍රයක (Hourglass) ආකෘතියකට වේ. මේ ආකෘතිය ආරම්භ වන්නේ විශාල පර්යේෂණ ක්‍ෂෙත්‍රයක කරුණු සළකා බැලීමෙනි. එසේ ලබා ගන්නා කරුණු කෙමෙන් කෙමෙන් ලඝු කර නියමිත පර්යේෂණය සඳහා කේන්‍ද්‍ර කර ගනු ලැබේ. එයින් ලැබෙන ප්‍රතිපල විදාරණය කර එහි දත්තවලින් ලැබෙන තොරතුරු සාක්‍ච්ඡා කර නිශ්චිත නිගමනයකට එළැඹීම මගින් පර්යේෂණයේ අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගත හැකිය. විද්‍යාත්මක පර්යේෂණවල මූලික අදියර කිහිපයකි.
  1. පර්යේෂණය සිදු කිරීමට අවශ්‍ය ප්‍රශ්නය හඳුනා ගැනීම (Problem)
  1. මීට පෙර අන් පර්යේෂකයන් විසින් සිදු කළ සමාන පර්යේෂණවල දත්ත, තොරතුරු එක්රැස් කර ගැනීම (Literature Survey)
  1. පර්යේෂණයේ අභිමතාර්ථයන් පැහැදිලි කර ගැනීම (Objectives)
  1. පර්යේෂණයේ සුවිශේෂී ඉලක්කයන් සහ උපකල්පනයන් පැහැදිලිව හඳුනා ගැනීම (Targets and Hypothesis)
  1. පරීක්‍ෂණ සිදු කිරීම සහ දත්ත එක් රැස් කිරීම (Experimental)
  1. එක් රැස් කරගත් දත්ත විශ්ලේෂණය සහ අර්ථාන්විතව පැහැදිලි කිරීම (Data analysis and interpretation)
  1. සිය දත්ත මගින් පර්යේෂණයේ උපකල්පනයන් සහ අභිමතාර්ථයන් පැහැදිලිව ඔප්පු වෙනවාදැයි දැනගැනීම (Achieving objectives)
  1. එම පර්යේෂණයේ ප්‍රතිඵල පිලිගත් පර්යේෂණ සඟරාවකට හෝ ජර්නලයකට යොමු කර ඇගැයුමක් ලබාගැනීම (Submitting the manuscript)
  1. අදාල සඟරාවේ කතෘ මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලයක විශ්ලේෂණයට ලිපිය යොමු කිරීම (Review)
  1. ඔවුන් මේ ලිපියේ කරුණු පිලිගන්නවාද නැතහොත් ප්‍රතික්‍ෂෙප කරනවාද යන්න දැනගැනීම ( Approval)
  1. අදාල යෝජනා සහ විවේචන වලට එකඟ වන පරිදි පර්යේෂණයේ ප්‍රතිපල සහ දත්ත සැකසීම  (Revisions)
  1. අදාල පාර්ශව සියල්ල පර්යේෂණ ලිපිය ප්‍රසිද්ධ කිරීමට එකඟ වීම (Acceptance)
  1. පර්යේෂණය ප්‍රසිද්ධ කිරීම. (Publishing)
මේ නිසා විද්‍යාත්මක පර්යේෂණයකට වැයවන මිනිස් පැය ගණන සහ මුදල් සම්භාරය නිසා බොහෝ පර්යේෂණ සිදු කෙරෙනුයේ මනා සැලසුමකින් සහ වගකීමකිනි. පර්යේෂණයට සම්බන්ධ වන සියළුම දෙනා මේ වගකීම් පැහැදිලිවම දැනගෙන ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටිති.
ආරම්භය කෙසේ වුවත් විස්තරයේ මැද භාගයට යනවිට මේ පර්යේෂණයේ බැරෑරුම් බව තිදෙනාටම හොඳින් අවබෝධ වී තිබුණි. ඩොලර් මිලියන ගණනාවක පිරිවැයක් වෙන්කර ඇති මේ පර්යේෂණයේ වැදගත්කම අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන්නක් බව විශ්වට අවබෝධ විය... තමා මෙතෙක් කල් කළ පර්යේෂණවල අග්‍රඵලය ලබා ගැනීමට මේ ව්‍යාපෘතිය හොඳම මාර්ගය බව කෙමෙන් වැටහෙන්නට විය.....
හොඳයි... දැන් දෙන්නටම අවබෝධ වෙන්න ඇතිනෙ මොනවද කෙරෙන්න ඕන කියලා.... මුලින්ම කියන්න තියෙන්නෙ මේක රහස්‍ය මට්ටමේ තුන්වන තලයේ (Level 3 Classified) ඇති ව්‍යාපෘතියක්. මේ ආයතනයෙ ඒ වගේ ව්‍යාපෘති තියෙන්නෙ තුනයි නැතිනම් හතරයි. මම මේ ව්‍යාපෘතිය ඔබ දෙදෙනාට භාර දෙන්නෙ මේ රහස්‍යභාවය ඒ වගේම තබා ගනීවි කියන විශ්වාසය මත. ඒ විශ්වාසය කඩ කරන්න එපා, ඒ වගේම කඩකළොත් සිදු වන සිදුවීම්වල වගකීම මට භාරගන්නත් බැහැ. ඒක හොඳටම මතක තියාගන්න.
දෙදෙනාම ප්‍රධානියාගේ කාමරයෙන් පිටවූයේ තමා භාරගත් ව්‍යාපෘතියේ ඇති බැරෑරුම් කම හොඳින් වටහාගෙන ය. තමන් මේ කරුණු කෙසේ සිය සගයනට විස්තර කරන්නේදැයි දෙදෙනාම පැහැදිලිව දැන සිටියේ නැති වුවත් වැඩිදුර විස්තර පැවසීමට යාමෙන් තමා අමාරුවේ වැටෙන බව පමණක් දැන සිටියහ.
මොකද උඹලා දෙන්නා පැය තුනක්ම ලොක්කා එක්ක කළේ ?
එළියට එනවිටම පසෙක සිට බිල් කෑ ගැසුවේය..
පැය තුනක්ම අපි ඇතුලෙ හිටියද ? දැනුනෙවත් නෑ.....
හොඳටම සහතිකද ලොක්කා ඇතුලෙ හිටියා කියලා ? උඹලා දෙන්නා විතරක්ද දන්නෙ නෑ හිටියෙ....
හහ්... යාළුවා... ඔන්න පොට වරද්ද ගන්නයි හදන්නෙ... තව ටිකකින් ලොක්කා එළියට එනවා... ඊට ඉස්සර වෙලා මාරු වෙමු....
ඒක නෙවෙයි... අද කොහෙද කන්න යන්නෙ.... මම හිටියෙ ඔක්කොම එකතු වෙනකල්... මට යකෙක් කන්න බඩගිනියි.....
මට නම් කොහෙත් එකයි... ඒ විශ්ව...
ඔව් ඉතිං... මෙයා කන්නෙ කොළ විතරමනෙ.... මෙයාව වොෂිංටන් මෝල් එකෙන් දාගෙන අපි යමු හොඳ රෙස්ටෝරන්ට් එකකට... එනකොට අපි අරන් එමු... එතකොට ඇතිවෙන්න තණකොළ කාලා ඉඳීවි නෙ තණ පිට්ටනියෙන්...වොෂිංටන් නගර මධ්‍යයේ සැලැස්මවොෂිංටන් නගර මධ්‍යයේ සැලැස්ම
තණකොළවල තියෙන ගුණය දන්නෙ තණකොළ කන අය මෙගන්....  ඒකෙ තියෙන ගුණ දැන ගත්තොත් ඔයා කවදාවත් මස් මාළු කන එකක් නෑ... නමුත්, මම කවුරුවත් නිර්මාංශ කරන්න උත්සාහ කරන්නෙ නෑ...
කමක් නෑ... අපි අද යමු Bangkok One තායි අවන්හලට.... ඒක නිර්මාංශ අයටත් හොඳ එකක්... ඉඳලා හිටලා අපිත් ඒවා කන්න උත්සාහ කරන එක හොඳයි... මොකද කට්ටිය කියන්නෙ ? මොලී යෝජනාවක් කළේ අන් කිසිවෙකුට යමක් කතා කරන්නට ඉඩක් ලබා නොදෙමින්...
හොඳයි හොඳයි... එහෙනම් යමු... මගදි හරකෙක් මරාගෙන එන්න බැරියෑ මට... මයික් එකඟත්‍වය පළ කළා...
සාමාන්‍යයෙන් සිකුරාදාට රසායනාගාරයේ සියළුම දෙනා දිවා ආහාරය ගැනීමට අසළ වූ අවන්හළකට යාමට පුරුදු වී තිබුණා. ඉතා ඉහළ  වේතනයක් ලබන රාජ්‍ය රසායනාගාර විද්‍යාඥයින්ට දිනපතා වුවත් ඉහළ පෙළේ අවන්හල් වලින් ආහාර ගැනීමට තරම් වත්කමක් ඇති පුද්ගලයින් වුනා.. නමුත් ඔවුන් වෙනසක් පිණිස සිකුරාදාට ආපනශාලාවට යනවා විනා සිරිතක් ලෙස දිනපතා ඒවාට නොගියේ, ඒවායේ ඇති අයහපත් ප්‍රතිපල ගැන හොඳින් දන්නා නිසායි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අද මොනවද කන්නෙ ? විශ්ව....
තණකොළ තමයි.... අපරාදෙ මෙගන්ට තිබුණෙ මාව වොෂිංටන් මෝල් එකේ දාලා එන්න.....
මම නං හරකෙක් කනවා... ඌ කන්නෙත් තණකොළ නෙ.... ඒ මයික්...
අපි සූදානම්... මොලී පසෙක සිටගෙන සිටි අවන්හලේ වේටර්වරියට දැන්වූවා...
සුපුරුදු පරිදි එදත් විශ්ව ආහාරයට ගත්තෙ කැප්රෝ ජේ නමින් ඒ ආපනශාලාවෙ හැඳින්වූ එළවලු වලින් සැකසූ ආහාරයක්. එහි  ඇතුළත් වුනේ මඳ ගින්නේ රත් කළ එළවලු වලට දැමූ සුදුළූණු සහ විවිධාකාර කොළ වර්ග.
සැම දෙනාම විවිධාකාර කතා බහ වල යෙදෙමින් ආහාර ගත්තෙ බොහොම සැහැල්ලුවෙන්.... ඒ අතරෙ අවන්හලේ සිටි තරුණයන් දෙදෙනෙකුගෙ අවධානයත් නිතර නිතර ඔවුන් වෙත යොමු වුන බව විශ්ව දුටුවෙ නෙත් කොණින්.... නමුත් ඔහු ඒ දෙදෙනා ගැන අනෙක් අයට කියන්න ගියෙත් නැහැ... එය සමහර විට සාමාන්‍ය සිදුවීමක් වෙන්න පුළුවන්. මහ හඬික් සිනාසෙමින් විවිධාකාර දේ කතා කරමින් රූමත් තරුණියන් තිදෙනෙකු සමඟ ආහාර ගන්නා තරුණයන් හතර දෙනෙකු වෙත අවධානය යොමු නොවන්නෙ කාගෙද ? එසේම වොෂිංටනය යනු බොහෝ ධනවත් මෙන්ම බලවත් පුද්ගලයින් අරක් ගත් රාජධානියක්... මේ තරුණ තරුණියන් හත් දෙනා සමහර විට බලවත් දේශපාලනඥයෙකුගේ කාර්යාලයේ සේවය කරන අය වන්නටත් හැකියාවක් තිබෙනවා. සමහර විට ධනවත් පුද්ගලයෙකුගෙ දරුවකුගෙ මිතුරු මිතුරියන් වන්නටත් ඉඩ තිබෙනවා. මේ නිසාම ඕනෑම කෙනෙකුට ඕනෑම ඇසකින් මෙවැනි පුද්ගලයින් දෙස බැලිය හැකියි. නමුත් ඉහත කී තරුණයින් දෙදෙනා නම් මේ සත් දෙනා කවුද යන්න හොඳින්ම දැන සිටියා පමණක් නොවෙයි ඉන් දෙදෙනෙකු ඉතාමත්ම හොඳින් හඳුනාගෙන සිටියා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සිකුරාදා සවස :
විශ්ව මොකද කරන්නෙ සති අන්තයෙ ?
විශේෂ දෙයක් නැහැ, නමුත් මගේ ලොකු මාමාගේ මිතුරෙකු හමු වෙන්න යන්න නම් යොදාගෙන තිබෙනවා හෙට... ඊට අමතරව කිසිවක් නැහැ....
අපි හෙට හවසට මයික් ගෙ නවාතැනේ හමු වෙන්නයි ඉන්නෙ... විශ්ව ඉතිං වැඩිය මත්පැන් වලටත් කැමැත්තක් නැති නිසා එන්න කැමති වේද දන්නෙ නැති නිසයි අවසාන මොහොතෙ ඇහුවෙ...
ආ.... ඒකට කමක් නෑ... මට වෙලා තිබුණොත් එන්නම්.... කෝකටත් මම සෙනසුරාදා සවසට ඔයාට කෙටි පණිවුඩයක් (Text message) එවන්නම්කො.
හරි... එහෙනම් හෙට හමුවෙමු....
බොහෝ විට...... බිල් විශ්වගෙන් සමු ගත්තේය....
එදින සවස් වුවද සිය නව ව්‍යාපෘතියට අදාල පර්යේෂණ නිබන්ධන සහ පර්යේෂණ පත්‍රිකා අතර සැරිසරන්නට විශ්ව ඉටා ගත්තේය... කිසිවෙකු නොමැති රසායනාගාරය නිසොල්මන් ය... ශාන්ත දාන්තය... සිකුරාදා සවස නිසා සියළුම යන්ත්‍ර සූත්‍රවලට නිවාඩු ලැබී ඇත. ඒ සියල්ල නැවත පණ ගැන්වෙන්නේ සඳුදා උදෑසනය... සුවිසල් රසායනාගාරය මධ්‍යයේ ඇති ප්‍රති ගුරුත්‍ව මේසය වෙත විශ්වගේ සිත යොමු විය....
සෙමෙන් ඒ දෙසට ඇවිදගෙන ගිය විශ්ව මේසය මත වූ සුදු පැහැති ආවරණය මෑත් කළේය... ඔහුට එය බොහෝ හුරු පුරුදු ගතියක් දැණුනි... 100 % ක් ග්‍රැනයිට්... එය කිව නොහැකි ලෙස සුමුදු මතුපිටක් සහිත ගල් ලෑල්ලක් විය... විශ්ව ඒ මේසය සෙමෙන් අතගා බැලීය....
බීප් බීප් බීප්............
විශ්ව ඒ හඬින් අවදි විය... තමා අන්තර්ජාලය ඔස්සේ පරීක්‍ෂා කළ පර්යේෂණ පත්‍රිකා සහ නිබන්ධන සියල්ල කාර්යාල කාමරයේ වූ මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය වී අවසන් බව දැන්වෙන බීප් නාදයයි ඒ...
බොහෝ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන ලොව පුරා ඇති විවිධාකාර පර්යේෂණ සඟරා සහ ජර්නල වල අන්තර්ජාල සංස්කරණයන්හි සාමාජිකත්‍වය ලබා ගෙන ඇත. සාමාන්‍යයෙන් වසරක සාමාජිකත්‍වය සඳහා ඩොලර් 100 ක සිට එමෙන් සිය ගුණයක් දක්වා වැඩි ගණන් අයකෙරෙන මේ සඟරා වලින් පර්යේෂණයන්ට ඇති ප්‍රයෝජනය මුදලින් මැනිය නොහැක. එසේම අවශ්‍ය ඕනෑම විටක අදාල ලිපිය බාගත කර ගැනීමත් ඒ සඳහා සීමාවක් නොමැති නිසාත් බොහෝ ආයතන මෙසේ  තමන්ගේ අවශ්‍යතාවයට අනුව මේ සඟරා සහ ජර්නල වල සාමාජිකත්‍වය ලබාගෙන ඇත. විශ්ව සේවය කරන නාවික පර්යේෂණ ආයතනයට මෙවන් සඟරා සහ ජර්නල ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක සාමාජිකත්‍වය ලබාගෙන ඇතුවා පමණක් නොව ලෝකයේ විශාලතම පුස්තකාල වලින් එකක් වන වොෂිංටනයේ පාර්ලිමේන්තු පුස්තකාලයේද සාමාජිකත්‍වය ලබාගෙන ඇත. මේ නිසා ලොව පළවන ඕනෑම සඟරාවක තොරතුරක් මෙන්ම අමෙරිකාවේ පළවන ඕනෑම පොතක තොරතුරු ද, පළ කෙරෙන පර්යේෂණ නිබන්ධන වල තොරතුරු ද සැණෙකින් ලබා ගැනීමේ හැකියාව නාවික පර්යේෂණ ආයතන සේවකයන්ට ලැබීම ඉතා විශාල වරප්‍රසාදයකි.
මුද්‍රණ යන්ත්‍රයෙන් සිය පර්යේෂණ පත්‍රිකා ආපසු රැගෙන තම මේසය වෙත යාමට විශ්ව හැරුණා පමණි..... කිසියම් ඡායාවක් තමා පසුපස එන බවක් ඔහුට දැණුනි.... අනතුරක සේයාවක් නැතත්, තමා උගත් සහ මනාව ප්‍රගුණ කළ ආත්මාරක්‍ෂක සටන් ක්‍රම වල විවිධ පියවර තම සිතට ඇතුළු වන බව විශ්වට හැඟුණි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඉලන්දාරියා.... මොකද තවම වැඩද ?
ඉතාමත් ලඟින් ඇසුන ඒ ගැඹුරු හඬින් විශ්ව හැරී බැලුවා.....
අද්මිරාල් රිචර්ඩ් බවර්....
ඔව් සර්...... අද අළුතෙන් ලැබුණ ව්‍යාපෘතියට ඕන කරන පර්යේෂණ පත්‍රිකා ටිකක් මුද්‍රණය කර ගන්න ටිකක් වෙලා ගියා...
හොඳයි හොඳයි.... තමා හොඳට වැඩ කරගෙන යනවා කියලා මට තොරතුරු ලැබුණා... ඒකම තමයි අපි අළුත් ව්‍යාපෘතිය ඔබට භාර දෙන්න තීරණය කළේ... සාමාන්‍යයෙන් අළුතෙන් ආපු කෙනෙකුට මේ වගේ ව්‍යාපෘතියක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්... මේ ලැබුණ අවස්ථාව අපතෙ යවන්න එපා.... මේක බොහොම වටින අවස්ථාවක්....
ඔව් සර්... මම දන්නවා....
එහෙනම් පුතා... මම ගිහින් එන්නම්... තව ගොඩක් දේවල් තියෙනවා බලාගෙන යන්න..... සුභ සති අන්තයක්....
ඔබටත් සුභ සති අන්තයක් වේවා සර්....
නාවික පර්යේෂණ ආයතනයේ ප්‍රධානී අද්මිරාල් රිචර්ඩ් බවර් සෑම සිකුරාදා සවසකම නාවික පර්යේෂණ ආයතනයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇවිදීම පුරුද්දක් කරගෙන තිබුණි. ඇවිදීම සිය ශරීර සෞඛ්‍යයට හිතකරබව මෙන්ම ආයතනයේ ප්‍රධානියා ලෙස තමන්ට ඇති වගකීම නිසාත් සිදුවන සියල්ල තම දෑසින්ම බලාගෙන තීරණ ගැනීමේ පුරුද්ද නිසාමත් අද්මිරාල් බවර් සිය ආයතනයේ සෑම තැනකම ඇවිදීමෙන් අනතුරුවයි සිකුරාදා සවස නිවස බලා යන්නෙ..
තමා මුද්‍රණය කරගත් පර්යේෂණ පත්‍රිකා සියල්ල තම මේසය මත තැබූ විශ්ව තම නවාතැන බලා යන්නට වාහනයට නැගුන විශ්ව තම වාහනය ප්‍රධාන පාරට අවතීර්ණ කළා.... ප්‍රධාන මාර්ගයට හරවා මඳ වේලාවකින් සිය පිටුපස බලන කණ්නාඩියෙන් බැලූ විශ්වට සිය දෙනෙත් අදහාගත නොහැකි වුනා........
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සෙනසුරාදා උදෑසනම නාද වන දුරකථනයේ හඬින් අවදි වුන සුමනසේකර මහතා නිදිකඩමින් දුරකථනයට ඇමතුවා....
හලෝ.....
හලෝ.......... සුමනසේකර මහත්මයාද කතා කරන්නෙ ?
ඔව් ඒ මම තමයි....
මම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කතා කරන්නෙ....
ඔබ ද විශ්ව සමාධි සූර්යබණ්ඩාර ගෙ භාරකරු ?
ඔව් ඒ මම තමයි... විශ්ව කියන්නෙ මගෙ නංගිගෙ පුතා....
අපට විශ්ව ගැන තොරතුරු ටිකක් දැනගන්න තිබෙනවා... ඔබට අපහසුවක් නැතිනම් අද අපි ඔබේ නිවසට පැමිණෙන්නද ?
මම කොහොමද දැනගන්නෙ ඔබ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්මද කියලා ? අද සෙනසුරාදා ඇයි ඔබේ තානාපති කාර්යාලයෙන් පණිවුඩ ලබා දෙන්නෙ ? ඔබ වෙනත් කෙනෙක් වෙන්න බැරිද ?
ඔබ හරි... මම දැන් ඒ බව කියන්න තමයි හදන්නෙ... කරුණාකර මගේ තොරතුරු ලියාගන්න.. මම පැමිණෙන්නෙ ඇමරිකානු තානාපති කාර්යාල වාහනයක... ඒ නිසා වරදින්න විදියක් නැහැ....  සෙනසුරාදා කියලා රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු නවත්වන්න අපට බැහැනෙ... ආවම විස්තර කතා කරගනිමු. මේ මගේ තොරතුරු....කරුණාකර ලියාගන්න...
මගේ නම රොනල්ඩ් මැන්කැඩ්... මගේ හැඳුනුම්පත් අංකය USDPL17384790 ඔබට පුළුවන් මා ඔබ හමු වෙන්න පැමිණි පසු මේ අංකය සසඳා බලන්නට....
හොඳයි... මට අපහසුවක් නැහැ ඔබ හමු වන්නට... ඔබ දන්නවාද මගේ නිවස තිබෙන තැන....
කරදර වෙන්න එපා... අපට පුළුවනි සොයා ගන්නට... අපේ රියැදුරු මහතුන් සියළුම දෙනා හොඳට පාරවල් දන්න ශ්‍රී ලාංකිකයින්... අපි ඔබ හමු වෙන්නට උදෑසන දහය වනවිට පැමිණෙන්නම්....
සහයෝගයට ස්තූතියි....
අපි හමුවෙමු....
ස්තූතියි....
මොකක්ද සුමනෙ ? සුමනසේකර මහත්මිය සිය සැමියාගෙන් විමසූයේ  කුතුහළයෙන්....
ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කතා කළේ... සමාධි ගැන ඇහැවුවෙ.... අද උදේ දහයට එනවලු විස්තර දැනගන්න... කොල්ලට මොකුත් කරදරයක් ද දන්නෙ නැහැ වැඩ කරන තැන....
ඉතිං කෝකටත් අපි එයාට කතා කරලා බැලුවොත් හොඳ නැද්ද ?
ඔව්... ඒක තමයි... අපි පුතාට කතා කරලා බලමු....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දැන් මොකද කරන්නෙ ?
මොනවා කරන්නද ? වෙන දෙයක් වෙනකල් බලාගෙන ඉඳිමු....
නීල් මොකද කිවුවෙ ?
නීල් කිවුවලු දැන්මම එන්නම් කියලා.... අද්මිරාල්ටත් කිවුවා... එයා කෝල් කරලා ඔක්කොම ඉක්මනින්ම ප්‍රමුඛතාවයෙන් කෙරෙන්න සැලැස්වුවා... හොඳ වෙලාවට අපි මෙතැන වැඩ කරන්නෙ....
ඔබට කවුද මේ පණිවුඩේ කිවුවෙ ?
මට කිවුවෙ මොලී.... ආරක්‍ෂක අංශයෙ ඉදිරිපස ගේට්ටුවෙ අය තමයි මුලින්ම දැකලා නීල් ට පණිවුඩේ කියලා තියෙන්නෙ... නීල් මොලීට කතා කරලා ඔක්කොටම කියන්න කියලා... මෙගන් ගෙදර ගිහින්... අපි දෙන්නට තමයි පණිවුඩේ මුලින්ම ලැබුණෙ....
දැන් මොලී කොහෙද ?
මොලී ගියා විස්තර දැනගෙන එන්න.........
...........................................................................
මේ සටහනේ කිසිම ක්‍රමවත් බවක් නැහැ...... අපට හිතාගන්න බැහැ මොන වගේ දෙයක් වෙලාද කියලා.... මොළයත් එහෙමමයි.... අපට දැන්ම වචනයක් කියන්න බැහැ.
ඉතිං ඩොක්ට..... අපට බලාපොරොත්තු තියාගන්න පුළුවන් නේද ?
ඔව් ඔව්.... බය වෙන්න එපා... මොලී..... සම්පූර්ණ ශරීරයම ස්ථාවරයි......කකුලේ දණහිස ලඟ අස්ථියේ බිඳීමක් තිබෙනවා.. අපි ඒකට ටයිටේනියම් ඇණ දමා සකස් කළා... ඒ අස්ථිය ටිකක් දරුණු විදියට බිඳිලා... ටික කලක් පුනරුත්ථාපනය කරන්න වෙයි... ඒ  හැරෙන්න වාහනයෙ වායු බෑග් එක පිපිරීම නිසා මුහුණෙ සුළු තුවාල කිහිපයක් තිබෙනවා. අපට හිතා ගන්න බැහැ පපුවෙ ඉල ඇට කැඩුනෙ කොහොමද කියලා, නමුත් අපි සියල්ලම නැවත සැකසුවා, නමුත් අපටත් හිතා ගන්න බැරි මොකද වුනේ කියලා... ඇයි තවම සිහිය ආවෙ නැත්තෙ කියලා...
ඔයා කවුද එයාගෙ ? පෙම්වතියද ?
නැහැ නැහැ.... මම එයාගෙ සේවා ස්ථානයේ එයා එක්ක එකට වැඩ කරන කෙනෙක්.... නමුත් අපේ ප්‍රධානියා තමයි කිවුවෙ ඇවිත් මෙයා ගැන බලන්න කියලා... මෙයා මෙහේ ඉන්නෙ තනියම... දැන් සමහරවිට එනවත් ඇති...
ඔව් මට අද්මිරාල් බවර් පෞද්ගලිකවම කතා කරලා විස්තර කිවුවා... බය වෙන්න එපා අපි හැම දෙයක්ම කරනවා මෙයාව පියවි තත්ත්‍වයට ගෙන එන්න... අපට තිබෙන එකම ප්‍රශ්නය මොළයට හානියක් වෙලාද නැද්ද කියන එක... ඒ මත තමයි සියළුම දේවල් රඳා පවතින්නෙ.....
ඔබ මෙතැන ඉන්න එක තේරුමක් නැහැ මේ වෙලාවෙ.... දැන් හොඳටම රෑ වෙලානෙ... හෙට උදේට නැවත එන්න... ඒ වෙනකොට ලෙඩාට සිහිය ඇවිත් තිබේවි... බය වෙන්න එපා... අපි හැම දෙයක්ම කරනවා මෙතැන...
බොහොම ස්තූතියි ඩොක්ට.... එහෙනම් මම ගිහින් එන්නම්....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කෝ මේ ළමයා ෆෝන් එක ගන්නෙ නැහැනෙ.....
ආයෙම බලන්න ..................
ආයුබෝවන්.... මේ විශ්ව සමාධි සූර්යබණ්ඩාර... මම මේ අවස්ථාවේ සම්බන්ධ කරගත නොහැකි නිසා කරුණාකර ඔබේ දුරකථන අංකය සහ නම සඳහන් කර කෙටි පණිවුඩයක් තබන්න... මම හැකි වහාම නැවත ඔබට අමතන්නම්... ස්තූතියි....
සුමනසේකර යුවල ලබා ගත් සියළුම දුරකථන පණිවුඩවලට ලැබුණ එකම ප්‍රතිචාරය වුනේ විශ්වගේ දුරකථනයේ පණිවුඩ සටහන් කරන තැන වෙත යොමු වීම පමණයි... මේ නිසාම සුමනසේකර යුවල තරමක් කළබලයට පත් වුනා... ඔවුනට කතා කළ හැකි අනෙක් ස්ථානය වුනේ තම හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙකු වැඩ සිටින වොෂිංටන් බෞද්ධ විහාරය පමණයි... ඔවුන් වොෂිංටන් බෞද්ධ විහාරයට ඇමතුමක් ලබා ගත්තා...
ආයුබෝවන්...... විහාරාධිපති හිමියන්ගෙ කාරුණික කටහඬ අනෙක් පසින් ඇසුනා.. ඔවුන් තමන්ගේ සිතේ ඇති කණස්සල්ල විහාරාධිපති හිමියන්ට පැහැදිළි කළා... කරුණු සොයා බලා සිය හිතවතාගේ දුක් ගැනවිල්ලට සහනයක් ලබා දෙන්න විහාරාධිපති හිමියෝ තමා දන්නා හඳුනන කිහිප දෙනෙකුටම පණිවුඩ යැවුවා...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ අතර ගවනර්ස් කෝර්නර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවේ නිවසක සෑම අස්සක් මුල්ලක් නෑරම පීරන තරුණයන් දෙදෙනෙකු සහ තරුණියක් මොනවාදෝ සොයමින් සිටිති... සිය ඉලක්කයන් කරා යාමට දැඩි පුහුණුවක් ලැබූ මේ තිදෙනා සියළුම බඩු භාණ්ඩ සීරුවෙන් ඉවත් කරමින් තමන්ගේ ඉලක්කය කරා ඇදෙමින් සිටියත් තමා මේ නිවස්නයේ සිටි බවට කිසිදු සාක්‍ෂියක් ඉතිරි නොකර යාමට ඔවුන් වග බලාගෙන ඇත. ඉවත් කරන සියළුම දෑ නැවතත් ඒ ආකාරයෙන්ම සකස් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. අවසානයේ ඔවුන් සෙවූ දේ හමු විය... තම සාක්කුවේ තිබූ කුඩා බෑගයකට තමා සෙවූ දෙයින් ස්වල්පයක් ගෙන නැවතත් එය තැබූ තැනම තබා අයෙක් සාලයට පැමිණියේය...
හරි... සෙවූව දේ හමු වුනා..
මේක ඇත්තටම මිනිහෙක් ජීවත් වෙන ගෙදරක්ද ?
මටත් හිතාගන්න බැරි ඒක තමයි... හරිම පිළිවෙලයි... කිසිම දෙයක් අනවශ්‍ය තැනක නැහැ... මේ වගේ පිළිවෙලක් තියෙන ගෙයක් දැක්කමයි...
සාමාන්‍ය කොල්ලෙක් ජීවත් වෙනව කියලා හිතාගන්නත් බෑ...
මේ මොනවද මේ කුඩා පැලෑටි ?... මල් පැලද ? නැතිනම් වෙනත් පැල ජාතියක්ද ?
තවම බොහොම කුඩා පැළ... ඒ නිසා කියන්න අමාරුයි... කෝකටත් පැලයක් අපි අරගෙන යමු... සමහර විට එළවලු පැල ද කියන්න දන්නෙත් නැහැ... මිනිහා ශාක භක්‍ෂකයෙක් නෙ.... තරුණිය පැවසුවේ ඔහු ගැන හොඳින් දන්නා අයෙක් මෙන්....
දැන් මේවා හයි කරන්නෙ කොහෙද ? මේවා හොයා ගන්න බැරි තැනක සවි කරන්නත් ඕන.. ඒ වගේම නිවැරදි සංඥා එන ආකාරයට සකස් කරන්නත් ඕන..
බය වෙන්න එපා.. මෙහාට අද කවුරුවත් එන්නෙ නැති බව හොඳටම විශ්වාසයි... ඒ නිසා කැමති විදියට කාළය අරගෙන හරියට වැඩේ කරන්න.. ආයෙ මෙහාට එන්න වැඩ සලස්ව ගන්නෙ නැතුව... මේ අවස්ථාව ආයෙ ලැබෙන්නෙ නැහැ... ඒ නිසා හොඳට සැලසුම් කරන්න... මිනිහා අමාරුකාරයා... වැරදිලාවත් අපි කළ දේ අහු වුනොත් අපිත් ගස්...
ඉතිං කොහෙද අපි මේවා සවි කරන්නෙ ? සැක නොසිතෙන තැනක වගේම වැඩිය අස්පස් නොකරන තැනක් වෙන්න ඕන...
ඒකට හොඳම තැන වායු සමන යන්ත්‍රයෙ වායුව එළියට එන කවුළුව... නමුත් වායු සමන යන්ත්‍රය ක්‍රියා කරවූවාම ඒකෙ පැහැදිලිතාවයට බාධා ඇති වෙනවා...
නැහැ... මේ පද්ධතියෙ වායු සමන යන්ත්‍රය තිබෙන්නෙ වෙන තැනක... එතැනින් එළියට එන බටයක් වහලෙන් ඇවිත් තමයි මේ කවුළුවට සම්බන්ධ වෙන්නෙ... ශබ්ධයෙන් බාධාවක් එන්නෙ නැති වෙයි...
කෝකටත් මේ කැමරා හැම කාමරයකම සවි කරලා පරීක්‍ෂා කරලා බලමු...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුභ උදෑසනක් සුමනසේකර මහත්මයා... මම රොනල්ඩ් මැන්කැඩ්... මේ මගේ හැඳුනුම්පත... ඔබ ලියාගත් තොරතුරු සමඟ සසඳා බලන්න...
උදෑසන දහය වන විට සුමනසේකර නිවස වෙත පැමිණි ඇමරිකානු තානාපති කාර්යාල වාහනයෙන් බැසගත් පාංශු දේහධාරී පුද්ගලයා සුමනසේකර මහතා වෙත සිය හැඳුනුම්පත දිගු කළේය.
වාඩිවෙන්න...
ස්තුතියි....
ඉතිං අපි කෙළින්ම ආව කාරණයට එමු.. ඔබ විශ්වගෙ නීත්‍යානුකූල භාරකාරයා...
ඔව්. විශ්ව මගේ නංගිගෙ පුතා... නමුත් මීට අවුරුදු හයකට පමණ පෙර විශ්වගෙ දෙමව්පියො අනතුරකින් මිය ගියා... ඉන්පසුව විශ්වගෙ නීත්‍යානුකූල භාරකාරයා වුනේ මම.
ඔව්... අපි දන්නවා ඒ සේරම විස්තර....
ඔබ කිසියම් රෝගයකට ප්‍රතිකාර ගන්නවාද ?
නැහැ... මට ඉහෙන් බහින රෝගයක් නැහැ... මම හොඳ නීරෝගී මිනිහෙක්...
ඔබේ පවුලේ කිසියම් නිධන්ගත රෝගයක් තිබෙනවද ?
නැහැ... කිසිම නිධන්ගත රෝගයක් අපේ පවුල්වල නැහැ.. ඇයි ඔබ එහෙම අහන්නෙ ? විශ්වට කිසියම් රෝගයක් තිබෙනවා කියලාවත් සොයාගෙන තිබෙනවද ?
නැහැ නැහැ.... විශ්වගේ සේවා ස්ථානයෙන් අපට මේ විස්තර ඔබෙන් අසා දැනගන්නා ලෙස දැන්වුවා... විශ්ව මෑතකදි ඔබට දුරකථනයෙන් කතා කළේ කවදාද ?
ගිය සෙනසුරාදා... එයා හැම සෙනසුරාදාම රෑට අපට කතා කරලා විස්තර  අහනවා..
අද තවම කතා කළේ නැහැ...
නැහැ... නමුත් මම දැන් කතා කරලා බැලුවා.... කිසිම පිළිතුරක් නැහැ....
ඒක නිසාම තමයි මම ඔබව හමු වෙන්න ආවෙ....
කළබල වෙන්න එපා... ඔබට විශ්ව ගැන ආරංචියක් කියන්නයි ආවෙ....
ඇයි... සමාධි පුතාට කරදරයක්ද ? කාමරයක සිට මේ සංවාදයට ඇහුම්කන් දෙමින් සිටි සුමනසේකර මහත්මිය ද  සාලයට පැමිණෙමින් නොයිවසිල්ලෙන් විමසුවාය.....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්වට ඇත්තටම කරදරයක්ද ? තවත් කොටසකින් බලමු.........