ජීවිතයක් පටන් ගන්නවා කියන්නෙ හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක සෛලික සත්ත්‍වයාගේ පටන් නිල් තල්මසා දක්වා ජීවීන්ගේ වගේම ශාකවලත් ජීවිතය එකිනෙකාට විවිධාකාර වුනත්, මූලික සිද්ධාන්තවල වැඩි වෙනසක් නැහැ. මෙන්න මේ යතාර්ථය තේරුම් නොගන්න බොහෝ දෙනෙක් ජාති, කුළ, ආගම් ආදී බේද හදාගෙන ඉන්න ටික දවසෙ ගහමරාගෙන ජීවිතේ බොහොම අවලස්සන කර ගන්නවා. අනිත් එක තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලි කියලා. ජීවිතේට සල්ලි අවශ්‍ය තමයි, ඒත් ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවෙයි. සල්ලි තියෙන මිනිස්සුන්ගෙ ජීවිත වලට වඩා සල්ලි නැති මිනිස්සුන්ගෙ ජීවිත හරිම ලස්සනයි. ඒ අයගෙ ජීවිත හරිම සරළයි. නමුත් අත්‍යවශ්‍ය කරුණකට මුදල් ටිකක් ලඟ නැති වුනාම හිතට අමාරුයි තමයි
.
ඉතිං අපේ වත්තෙත් පැත්තක පුංචි පවුලක් ජීවත් වුනා. පවුලක් කිවුවට අළුත බැඳපු ජෝඩුවක්.. උන්ට සල්ලි ඇත්තෙම නෑ... හිටියෙ පුංචි ගෙදරක.. සමහර වෙලාවට ඒ ගෙදර පුංචි වැස්සක් වැටුනත් තෙමෙනවා. ඒ වුනාට ඒ ගෙදර දෙන්නා බොහොම සමගියෙන් හිටියෙ.. අඬදබරයක් ඇහෙන්නෙම නැති තරම්... ඉඳලා හිටලා සද්දෙන් කතා කළත් දෙන්නා අතරෙ නෙවෙයි විරසකයක් තිබුණේ. කුරුල්ලයි කිරිල්ලියි වගේ ජීවත් වුනේ... හැමදාම උදේට දෙන්නා කොහේදෝ ගිහින් කන්න යමක් කොහොම හරි හොයාගෙන ඇවිත් රෑ වෙද්දි ගෙදරට ගුලි වෙන එක තමයි වැඩේ... ඉඳලා හිටලා රෑට ඒ පැත්තෙන් එක එක සද්දත් ආවා... මේ අතර තමයි මේ අළුත බැඳපු ජෝඩුවට දරු සම්පත් ලබන්න ලකුණු පහළ වෙන්න ගත්තෙ.. එදා ඉඳලා මේ දෙන්නට හරි වැඩ... පුංචි වුනත් ඒ ගෙදර ලස්සන කරන්න එක එක විදියෙ වැඩ කෑලි දැම්මා.. ගේ ලස්සනට තියා ගන්න නිතරම කුණු අතුගාලා පිරිසිදුවට තියා ගත්තා. දොස්තරලා ලඟට ගියාද කියලා මම නම් දන්නෙ නෑ.. කොහොම වුනත් අන්තිමට මේ දුප්පත් දෙමාපියොන්ට නිවුන්නු තුන්දෙනෙක්ම ලැබුණා..
මේ තුන්දෙනාගෙ සද්දෙ තමයි සද්දෙ.. පුංචි වුනාට උදේ ඉඳන්ම කන්න ඉල්ලනවා... අර අසරණ දෙමව්පියන්ට ඒ හැටි වත්කමක් නැති වුනත් පුළු පුළුවන් විදියට හැම වෙලේම කන්න ගෙනත් දෙනවා අපි දැක්කා.. අපිත් සමහර වෙලාවට කන්න යමක් ගිහින් දුන්නත්, ඒ පැටවුන්ට අම්මා තාත්තා දෙන දේ අපි දෙන දේවලට වඩා වටිනවා... ඔන්න ඔහොම ටික කාලයක් යනකොට මේ තුන්දෙනා එකම විදියට උස්මහත් වුනා.. තුන්දෙනා වෙන්කරලා හඳුනා ගන්න බැරි තරමටම මේ අය සමානයි.. ඉතිං මේ දරුවො තුන්දෙනා ඒ ගණනට උස්මහත් කරගන්න මේ දෙමාපියො දෙන්නා විඳපු දුක අපි හොඳටම දැක්කා..
දවසක් දෙකක් මේ ගෙදර පුංචි පුංචි රණ්ඩු ඇතිවුනා.. පොඩි එවුන් තුන් දෙනාට ඉන්න ගෙදර ඉඩ මදිලු.. අම්මයි තාත්තයි රෑ නිදා ගත්තෙ එළියෙ... ඉක්මනටම මේකෙ කෙළවරක් දකින බව මට වැටහුනා.. කරන්න දෙයක් තිබුණෙත් නැහැ.. අපේ ගෙදරට එක්ක එන්නයෑ.. එක්ක ආවත් එයාලා අපිත් එක්ක ඉඳීවියෑ.. ඉතින් අහන්න ගියෙත් නෑ.. දවසක් උදේ මේ දරුවො තුන්දෙනා ගෙදරින් එළියට බැස්සා.. අම්මයි තාත්තයි දෙන්නත් එළියෙ ඉඳන් බලාගෙන හිටියා.. ඒ අය ඇඬුවෙ දුකටද සතුටටද කියන්න මම නම් දන්නෙ නෑ.. ඒත් ඒ දෙන්නා ඇඬුවා...
ඉතිං මේ දරුවො තුන්දෙනා එක දවසක් ගේ අතහැර දාලා යන්න ගියා.. මම හිතන්නෙ දරුවො නැති ගෙදරක දෙමාපියොන්ටත් ඉන්න හිතෙන්න නැතුව ඇති.. ඒ දෙමහල්ලොත් අපටත් නොකියා ම ගෙදරින් ගිහින්.... අපි ඉතිං ඒ දරුවො තුන්දෙනා ඉපදුන දවසේ ඉඳලම හැදෙනවා වැඩෙනවා බලාගෙන හිටපු නිසා ඒ අය ගිය එක ගැන අපටත් දුකයි.. නමුත් තුන් දෙනාම ලොකු මහත් වෙලා තමන් ගැන බලාගන්න පුළුවන් උදවිය වෙලා ගෙදරින් ගිය නිසා ඒ ගැන තැවුලක් නෑ...
ඉතිං උං ගිහින්.. ආයෙ නොඑන්නම ගිහින්.... කොහේ ගියත් හොඳින් ඇතිනෙ....
කොහොම වුනත් අම්මලා තාත්තලා ගෙදර නැති වෙලාවක ගේ ලඟටම ගිහින් ඒ දරුවොන්ගෙ පින්තූර ටිකකුත් ගත්තා..
බලන්න කොහොමද කියලා...
මේ ඉන්නෙ පුංචිම කාලෙ
ටික ටික ලොකු වුනා. පුදුම කෑමක්...
කාපු කෑමට සතියකින් මෙන්න මෙහෙම වෙලා..
ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ කියලා මෙයාලගෙන් නම් අහලා වැඩක් නෑ...
ඔන්න ඈතට ගිහින්...
ඊට පස්සෙ කට්ටිය යන්නම ගිහින්........