Monday, November 26, 2012

පිටස්තරයා.............................. දහවන දිගහැරුම.........................


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්

පිටස්තරයා............. අටවන දිගහැරුම

පිටස්තරයා............. නවවන දිගහැරුම

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දිනය : බදාදා
ප්‍රගති සමාලෝචන රැස්වීම අවසන සියළුම දෙනාගෙ අවධානය බිඳුනෙ නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා තවත් පියකරු යුවතියක් සමඟ රැස්වීම පැවති කාමරයට පැමිණීම නිසා....
සුභ සවසක් අද්මිරාල් තුමනි, මොකද මේ පැත්තෙ නොදන්වාම ?
සාමාන්‍යයෙන් මෙවැනි රැස්වීම් සඳහා අවම වශයෙන් සහභාගි වන අද්මිරාල් තුමාගෙ පැමිණීම හැම දෙනාටම ප්‍රශ්නයක් වුනා විතරක් නෙවෙයි ඔහු සමඟ පැමිණි යුවතිය ගැනත් ගැහැණු පිරිමි භේදයක් නොමැතිව අවධානය යොමු වුනා.. පිරිමින් නම් බැලුවෙ අළුත් යුවතියගෙ ලස්සන වුවත් මෙගනුත් සිමෝනාත් බැලුවෙ තමන්ට වඩා ලස්සන මේ කෙල්ල මොනවට අද්මිරාල්තුමා සමඟ මෙතැනට ආවද කියලා... සාමාන්‍යයෙන් වයසක බලවත් පිරිමින්ගේ ඇඟේ එල්ලෙන සරාගී ගැහැණු හිටියත් මේ වගේ ප්‍රසිද්ධියේ අද්මිරාල් තුමා කෙල්ලක් අරන් ආවෙ ඇයිද කියන ප්‍රශ්නය කාටත් ඇතිවුවා... පෙනෙන විදියට දෙන්නා හොඳට අඳුනන පාටකුත් තිබෙනවා...
අද මම තකහනියක්ම මේ රැස්වීමට ආවෙ විශේෂ කාරණයකට, මම මේ කියන්න යනදේ ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් දෙදෙනා ගැනත් සාකච්ඡා කරලයි මේ තීරණය ගත්තෙ. ඔබ හැම දෙනාම දන්නවා ක්වොන්ටම් යාන්ත්‍රික ගණනය කිරීම් සහ ත්‍රිමාණ අනුරූපණ අතින් අපේ රසායනාගාරය සිටින්නෙ තරමක් පසුගාමී තත්ත්‍වයක. මම ඒ ගැන ඔබට දොස් කියන්නෙ නැහැ. මොකද ඔබට තියෙන වැඩ කන්දරාවත් එක්ක ක්වොන්ටම් යාන්ත්‍රික ගණනය කිරීම් කරන්න කියලා අපට බල කරන්න අයිතියක් නැහැ. මේක ඇත්තෙන්ම වෙනම රැකියාවක්, ඉතින් අපි ඔබට වැඩ පහසු කර ගැනීම සඳහා ගණනය කිරීම් සිදු කිරීම සඳහාම දක්‍ෂකම් දක්වන අළුත් සාමාජිකාවක් කණ්ඩායමට එකතු කරන්නට අදහස් කළා... ඒක ලිංගික සමබරතාවය (Gender balance) එකටත් එක්ක හොඳයි කියලා අපි හිතුවා. මේ මාත් සමඟ සිටින මොලී ජේන් ඕ‘රියෝර්ඩන් මැසචුසෙට්ස් තාක්‍ෂණික සරසවියෙ ආචාර්ය උපාධිධාරිණියක්, ඇගේ ප්‍රවීණත්‍වය තිබෙන්නෙ ක්වොන්ටම් ගණනය කිරීම් සහ ත්‍රිමාණ අනුරූපණයන් සඳහා.. ඉතින් තවත් කතා මොනවටද ? අපි ඔබට අළුත්ම සාමාජිකාවක් ලබා දුන්නා.. ඔබේ කටයුතු සියල්ල ඇයත් සමඟ සාකච්ඡා කර සහයෝගයෙන් කටයුතු කරන්න.... ඇගේ දායකත්‍වය වෙන්නෙ ඔබේ පර්යේෂණවලින් ලැබෙන දත්තයන් ගණනය කිරීමෙන් ලැබෙන දත්තයන් සමඟ සමපාත කිරීම මගින් ඔබේ පර්යේෂණවල නිරවද්‍යතාවය නැවත වතාවක් තහවුරු කිරීම. ඒ වගේම ඔබ සියළුම දෙනා දන්නවා අපට නාස්ති කරන්න කාළයක් නැති බව... ඒ නිසාම ගණනය කිරීම් මගින් සහ ත්‍රිමාණ අනුරූපණ මගින් ලැබෙන ආකෘතින් ඉදිරියට ගෙනයාම මගින් සෑහෙන වෙලාවක් ඉතිරිකරගෙන කාර්යක්‍ෂමතාවය ඉහළ නංවගන්නත් අපට මේ නිසා පුළුවන් වෙනවා. මතක තියාගන්න අපි බලන්නෙ ඔබේ පුද්ගලික ජයග්‍රහණ නොවෙයි... අපි සියළුම දෙනා එක කණ්ඩායමක්, අපි සියළු දෙනාගෙ ජයග්‍රහණ පුද්ගලිකව සිදු කරන පර්යේෂණ මත රඳා පැවතුනත්, අපි ජයග්‍රහණය කරන්නෙ එකමුතුව නැගී සිටියහොත්,... මට ඒ ගැන වැඩිහිටියන් වෙච්ච ඔබට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැති බව ඔබ දන්නවා... ඉතිං... හොඳට වැඩ කරගෙන යන්න.... අපි සෑහෙන සොයා ගැනීම් කරලා තිබෙනවා මේ පර්යේෂණාගාරයෙන්... මට අවශ්‍ය ඒ දේ තව තවත් වැඩි දියුණු කරවන්නයි... තේරුණා නේද ?
සියළුම දෙනා එකාවන්ව හිස සැළුයේ තමන්ට ලැබුණ විධානයන් පමණටත් වඩා හොඳින් තේරුණ බව අඟවමිනි.
සාමාන්‍යයෙන්  කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය පිළිබඳ ඉතා සැලකිල්ලක් දක්වන රසායනාගාර - ආයතන මෙන්ම කර්මාන්තශාලා ද සිය පර්යේෂණයන් සිදු කිරීමට මත්තෙන් ඒ සියළු පර්යේෂණ තත්ත්‍වයන් පරිඝණක ආශ්‍රයෙන් ගණනය කිරීම් වලට භාලනය කර වඩාත්ම උචිත පර්යේෂණ තත්ත්‍ව තෝරා ගනු ලබයි. මේ නිසා  අහඹු ලෙස තෝරා ගන්නා පර්යේෂණ තත්ත්‍ව සහ වැරදි පර්යේෂණ තත්ත්‍ව පසුපස ගොස් කාළය කා දැමීම මගින් සිදුවන හානිය වලකා ගන්නටයි. බොහෝ ඖෂධ සමාගම් සහ රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් දැන් දැන් මේ ක්‍රම භාවිතා කරනවා. මේ නිසා  ඒ සමාගම් වලට සිදුවන ලාභය ඩොලර් මිලියන ගණනක්. ඒ සියල්ල ගණනය වන්නේ වැයවන රසායන ද්‍රව්‍ය සහ අපතේ යන මිනිස් පැය ගණන මගින්. ඉහළම තත්ත්‍වයේ ඇති ආණ්ඩුවේ රසායනාගාර පවා දැන් දැන් මේ ක්‍රම අනුගමනය කරන්නේ එයින් බොහෝ වාසි ලබා ගත හැකි නිසායි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද හිතෙන්නෙ අළුත් කෙල්ල ගැන.. ?
පසුදා උදෑසනම රසායනාගාරයේ කුස්සියෙදි කෝපි කෝප්පයක් වත්කර ගන්න අතරේ බිල් ඇසුවෙ මයික් ගෙන්....
මොනවා හිතන්නද ? ආයෙ හෝදන්න දෙයක් නෑ.... ඔය ඉන්නෙ..........
මට හිතෙන විදියට නං ඒකට කොල්ලෙක් ඇති... ඔය වගේ එකක් සාමාන්‍යයෙන් ඉතිරි වෙලා තියෙන්න විදියක් නෑ....
කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නෙ නෑ.... දෙදෙනාම මහ මහ හඬින් සිනාසෙන්නට විය...
මොකද දෙන්නගෙ  හිනාව ? සිමෝනා ද  එසේ අසමින් ම කුස්සියට  පැමිණියාය..
නෑ මේ අළුත් ගෑණු ළමයා වැඩට යොදා ගන්නෙ කොහොමද කියලා සාකච්ඡා කළේ....
අනේ මේ.... මම නොදන්නවයැ දෙන්නගෙ සාකච්ඡා..... මම එකක් කියන්නං... ගෙරි මස් කනකොට බෙල්ලෙ බැඳගෙන කන්න එපා හරිද ? මේක ඇතුලෙ සම්බන්ධතා තියාගෙන ඒවා කඩාකප්පල් වුනොත් දෙන්නටම එකිනෙකාට මූණ දෙන්න බැරි වෙයි.... ඒකයි කියන්නේ කාර්යාලීය ප්‍රේමය (Office Romance) දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා.. අනික, උඹලා දෙන්නම කිසිම දෙයක් සීරියස් කරන්නෙ නැති බව දැන දැනත් ඔය වගේ වැඩ වලට නං ගෑවෙන්න එපා.. මම දෙන්නගෙම හොඳට කියන්නෙ... මේ මම වගේ පිටින් එකෙක් හොයා ගන්නවා... කිසි ප්‍රශ්නයක් නෑ... දවස තිස්සෙම කතා කරන්නවත් විදියක් නැති නිසා ගෙදර ගියාම උපරිම සැලකිලි ලැබෙනවා....
ආ.... අපි නොදන්නවයෑ ඒක.............
ඒක නෙවෙයි...Office Romance ගැන කතා කරනකොට මතක් වුනේ.... මොකද අර මෙගන් විශ්ව ගැන වැඩිපුර හොයන්නෙ ? මිනිහවත් දැලේ දාගන්නද ?
ඒ වගේ තමයි.... ගිය සතියෙ අපි කන්න එළියට ගිය වෙලේ යනකං හරස් ප්‍රශ්න... දැක්කනේ කන වෙලාවෙත් අහපු දේවල්.... මම හිතන්නෙත් මෙගන්ගෙ පොඩි කැමැත්තක් තියෙනවා විශ්ව ගැන.
ඇයි යකෝ අපි ඔටුවොද ? මෙච්චර කළක් අපි මේ ලැබ් එකේ හිටියා මෙගන්ට ඕනකම තිබුණා නං අපි දෙන්නගෙන් ඕන කෙනෙක් සපෝට් එකක් දෙනවනේ... අළුතෙන්ම පොරක් එනකං බලං හිටියේ... අපරාදෙ ජීවිතේ...
දන්නවනේ මෙගන්ගෙ හැටි.... හරිම High Maintenance......... එයාව ආම්බාන් කරන්න ඉතිං උඹට රස්සා දෙක තුනක් කරන්න වෙයි... උඹට පුළුවන්ද  මෙගන්ට  Prada අත් බෑග් අරන් දෙන්න හැම මාසෙම..... ඔන්න පුළුවන් නං සෙට් වෙයං..... අන්තිමට උඹට Bankruptcy file කරන්නයි වෙන්නෙ.....
කවුද  Bankruptcy file කරන්නෙ ? විශ්ව ද කුස්සියට පැමිණෙන අතරේ තිදෙනාගෙන්ම ඇසුවේය....
විශ්ව මේ.... මම උඹේ හොඳට කියන්නෙ.... වැරදිලාවත් මෙගන්ට නං සෙට් වෙන්න එපා පුතෝ.... උඹේ සේසතම ඉවර වෙයි බෑග් අරන් දීලා....
ස්තූතියි බිල්... මගේ එහෙම නං අදහසක් නෑ... දන්නවනේ ඉතිං මේක ඇතුලෙ ඔහොම දේවල් තියා ගත්තාම කරදරයි කියලා.....
පටන් ගන්නෙ ඔහොම තමයි පුතා... දන්නෙම නැතුව උඹ ඒකට වැටිලා තියේවි... මෙච්චර අපි හිටියා... අපි ගැන ඇහැක් ඇරලා බැලුවද ? උඹ ආවා විතරයි උඹ ගැන මාර සැලකිල්ලක් දක්වන්නෙ... අඩුම ගානෙ එක දවසක් අපෙන් ඇහුවද කන්න එළියට යං කියලා... උඹ ඇවිල්ලා සතියයි ගියේ... කෙල්ලම වචනෙ දැම්මනේ.... නැද්ද මයික්...
ඒක තමයි.... ඔන්න අපෙන් නං ඕක ආම්බාන් කරන්න ණය ගන්න එන්න එපා.... හරිද ?
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද විශ්ව ඔබ කියන්නෙ මේ ආකෘතිය වැරදියි කියලා ?
නැහැ, මම කියන්නෙ නැහැ මේක සම්පූර්ණයෙන්ම වැරදියි කියලා... නමුත් මේකෙ අඩුපාඩු තියෙනවා....
කොහොමද එහෙම කියන්නෙ ? මේක මීට ඉස්සර වෙලා අපි කොච්චරක් නම් අත්හදා බලලා තියෙනවද ? කාටවත් එහෙම දෙයක් අහු නොවුන එකේ ඔබ විතරක් කොහොමද කියන්නෙ මේ ආකෘතියෙ අඩුපාඩු තියෙනවා කියලා ?
හරි, මෙන්න මේකයි මයික් අඩුපාඩුව... මේ අපි අත්හදා බලන චන්‍ද්‍රිකා ක්‍රියාත්මක වෙන්නෙ කොහෙද ?
පිටත වායු ගෝලයේ. (Exosphere)
හරි... දැන් කියන්න බලන්න අපේ චන්‍ද්‍රිකා ස්ථාපනය කරන්න යන්නෙ කොතැනද කියලා...
පිටත වායු ගෝලයේ ක්ලාක් කක්‍ෂයෙ (Clark Orbit) පහළ ස්ථරයෙ.
ඔතැන සංයුතිය මොකක් කියලද ගණනය කිරීම් වලදි උපකල්පනය කරන්නෙ ?
එතැන දී උපකල්පනය කරන්නෙ වායුගෝලීය අවකාශය පරිපූර්ණ වායුවක් (Ideal Gas) ලෙස හැසිරෙනවා කියලා...
හරි...... එතකොට ඉස්සර මේක අත්හදා බලපු අය පිටත වායු ගෝලයේ සංයුතිය විදියට ගත්තෙ මොකද්ද ?
සාමාන්‍ය පිටත වායු ගෝලයේ සංයුතිය: හයිඩ්‍රජන් සහ හීලියම්; අපට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලැබෙන දත්ත වලින්.
දැන් මේ වායු ගෝලයේ සංයුතිය නිසා, අපි උපකල්පන දෙකක් කරනවා.
  1. ඉහළ අවකාශයේ අංශු ප්‍රමාණය නොසැලකිය හැකි තරම් නිසා ඒවා අතර පරමාණුක ඝට්ඨන නොසලකා හැරීම
  2. ඒ පරමාණු හෝ අංශුන් කිසිදු ඝට්ඨනයකට ලක් නොවී පරිපූර්ණ රේඛිය පථයක ප්‍රක්‍ෂෙපණය වන බව
හරිද ?
ඔව්.... දැන් විශ්වගෙ තර්කය මොකද්ද ?
තර්කය වෙන්නෙ මෙන්න මේකයි මයික්....
මේ පිටත අවකාශයේ ප්‍රමාණය තීරණය වෙන්නෙ සූර්ය ක්‍රියාකාරීත්‍වය මත, සමහර කාළවලදි මේ  පිටත අවකාශයේ සංයුතිය සමහර කාළවලදී වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ සංසිද්ධිය නොසළකා හැර තිබෙනවා. ඒ වගේම සූර්ය ක්‍රියාකාරීත්‍වය වැඩි කාළවලදී පිටවන අංශු ප්‍රමාණය අර අපි උපකල්පනය කළ නොසළකා හැරිය හැකි ප්‍රමාණය ඉක්මවා යනවා..  වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙද්දිත් මේ පිට වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙනවා... අපි මේ කරුණු නොසළකා හැර තිබෙනවා... මෙන්න මෙතැනදි අපි කිසියම් නිවැරදි කිරීමක් කළ යුතුයි...
පරිපූර්ණ වායු සමීකරණයේ පරිමාව සහ පීඩනයට අපි කරන නිවැරදි කිරීම්වගේ නිවැරදි කිරීමක් අපට මේ සඳහා යොදන්න බැරිද ?
පුළුවන්, නමුත් කවුද මේ ගණනය කිරීම් කරන්නෙ ? අපි දෙන්නටම ඒවා කරන්න වෙලාවක් නැහැ...
අමතක වුනාද ? ඒකට තමයි අද්මිරාල් බවර් අළුතෙන්ම ගෑණු ළමයෙක් එවුවෙ... දෙයියො එව්වා වගේ ඔය ඇවිත් ඉන්නෙ... අද්මිරාල් කිවුවෙ පුළුවන් තරම් වැඩ ගන්න කියලා... ඉතිං ගමු....
යමු.... අදම මේක කර ගත්තොත් අපට මේ සතිය වෙනකොට නිගමනයකට එන්න පුළුවන් වේවි...
ඒ වන විටත් මොලී සිටියේ කිසියම් ත්‍රිමාණ අනුරූපණයක් පරිඝණකයේ ක්‍රියාකරවිමිනි....
හලෝ මොලී.... අපට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?
සත්තකින්ම.... එන්න.... වාඩිවෙන්න......
මේ අපේ විශ්ව පොඩි තර්කයක් ගේනවා අපේ පැරණි පර්යේෂණවල අඩුපාඩුවක් ගැන... අපිට මේ ගැන කතා කරන්න පුළුවන්ද ? මොකද අපි හිතන්නෙ මේ උපකල්පන සංශෝධනය කළොත් සමහරවිට නිවැරදි  අගයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලයි.. ඒකට ඔයාගෙ ගණනය කිරීම් අත්‍යවශ්‍ය වෙනවා...
ඔව් පුළුවන් වෙයි.... හැබැයි මට විස්තර කරලා කියන්න... තවම මේ ගණනය කිරීම් මට පොඩ්ඩක් අළුත්....
කිසි ප්‍රශ්නයක් නෑ.. විශ්වගෙ තමයි අදහසත්, විශ්වම විස්තර කළා නම් හොඳයි...
මේකයි මොලී... දැන් අපේ පර්යේෂණ කරන චන්‍ද්‍රිකා රඳවන්නෙ  පිටත අවකාශයේ. නමුත් අපි මේ කටයුතු ත්‍රිමාණ අනුරූපණ කරනකොට සමහර සාධක මඟහැර තියෙනවා කියලා මට හිතෙනවා. අපට ඕන මෙන්න මේ සාධකත් ඇතුලත් කරලා ඒ ගණනය කිරීම් කරන්නයි. ඊට පස්සෙ අපේ ගණනය කිරීමෙන් ලැබුණ කරුණු ප්‍රායෝගිකව අනුරූපණය කරන්න පුළුවන් වේවි.
දැන් මොනවද ඔයා කියන සාධක ?
විශ්ව ජීවිතයේ මුල්ම වතාවට ඒ තරම් සුන්දර නිල් පැහැති දෑසක් දුටුවේ එදාය .... තමන් කෙතරම් කෙල්ලන් දැක ඇතත්, මේ තරම් කතා කරන දෑසක් හමු වූයේ නැති බව ඔහුට හැඟුණි....
විශ්ව සිය උපකල්පනය මොලීට පැහැදිලි කළත් ඔහුගේ සිත එකතැන නොමැති බව මෑතකදී හඳුනාගත් මයික්ට පවා  වැටහී තිබුණි....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව, මට ඔයාව අද හවස හම්බ වෙන්න ඕන.............

 :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව හමු වෙන්න ඕන වුනේ කාටද ? පසුව දැනගනිමු....