Friday, November 1, 2013

දැන්ම පියවරක් නොගත්තොත් මහා අනතුරක් අතලඟ

අපට බ්‍රේක් නැත… අපට බ්‍රේක් තිබුණත් ගහන්න හිතෙන්නේ නැත.. හිතෙන්නේම අනිකා ඉස්සර කරගෙන ගොස් ඉස්සරහින්ම යන්නය.. බයිසිකලේ ගියත් මොන්ටෙරෝවේ ගියත් අපට බ්‍රේක් නැත.. අප හිතන්නේ පාරේ යන්නේ අප විතරක් බවය.. මෝටසයිකල් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියාය.. ඩිංගක් බලයක් ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීයාගේ සිට ඇමතියා දක්වා හිතන්නේ උන් යනකොට අපි කාණුවලට බැහැලා උන්ට ඉඩ දිය යුතුය කියාය.
අපේ ජනාධිපතිතුමා තවත් අවුරුදු පන්දහසකට රජවෙන්න කටුනායක – පෑලියගොඩ එක්ස්ප්‍රස්වේ එක හදා නිම කළේ පැරණි රජදරුවන් අනුරාධපුරයේ සිට මාගම දක්වා හැදූ අඩි දෙසීයක් පළල ලොව පළමු එක්ස්ප්‍රස් වේ එකට නොදෙවනි වන්නට ය. වැඩේ හොඳය.. කටුනායක සිට පෑලියගොඩට නිසි වේගෙන් එනවා නම් වැය වන්නේ හරියටම විනාඩි 20 කි. නමුත් පෑලියගොඩ බෝතල් කටේ හිරවෙලා බොරැල්ලට එන්න පැය බාගයක් හෝ ඉතාමත් වාසනාවන්ත නම් පැයකට ආසන්න කාළයක් ගත වේ….
නමුත් ප්‍රශ්නය එය නොවේ… අපට බ්‍රේක් නැතිකමය. එක්ස්ප්‍රස් එකේ සීයට එන අපි පෑලියගොඩට ලංවත්ම අසූවට අඩු කළත්, අපට බ්‍රේක් නැති නිසා හැටට හැටේ ඇරලා එන්නේය. පෑලියගොඩ පාලමට එකතු වන විට අපි පෑලියගොඩ ඉන්නබව මතක් වෙන්නේ පාලමෙන් බාගයක් ගිය පසුය… නුවර පාරේ බස් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ එන්නේද හැටට හැටේ ඇරලාය.. මේ දෙකම එකතු වෙන්නේ පෑලියගොඩ පාලම මතදීය…
CKE Opening - 2013_10_27
දිනක් අපි ගාල්ලේ සිට එනවිට සුදු පැහැති මොන්ටෙරෝවක් කාණුවක් තුළ තිබුණේ කොට්ටාව ටෝල් බූත් එකේය.. එතැන නවත්තන්න අනිවාර්ය බව දැන දැනත් ඒ අහිංසකයා කාණුව වන්දනා කිරීමට සමත්ව තිබුණේ අපේ රෝඩ් ඩිසිප්ලින් එකේ ඈස් චරිය මොනවට කියාපාමිනි.
පෑලියගොඩ පාලම මහා විනාශයක පෙර නිමිත්තකි. අදින් ඇරඹෙන්නේ අනතුරු නිවාරණ මාසයයි. මෙතැන මහා විනාශයක් වන්නට පෙර කටුනායක පෑලියගොඩ එක්සිප්‍රස් වේ එකේ අවසාන කොටසේ ස්පීඩ් බම්ප් දෙක තුනක් දැමීමෙන් මේ විනාශය මඟහරවා ගත හැක
ඔබ මෙය වගකිවයුත්තන්ට පවසා ලකුණු දමාගත්තාට කමක් නැත… මට ලකුණු අවශ්‍ය නැත.. මට අවශ්‍ය අනතුරක් වලක්වා ගැනීමටය…
එක්ස්ප්‍රස්වේ එකේ රිය පදවන ඔබත් මේ ගැන සැලකිළිමත් වන්න. මෙතැන වේගය අඩාල කිරීමට මටත් මතක් වූයේ හන්දියටම පැමිණි පසුය… එය බොහෝ දෙනෙකුට එසේ වනු ඇත…
දැන්ම ක්‍රියාත්මක වන්න…. ඔබත් පරෙස්සම් වන්න.. අප සතුව ඇත්තේ, කකුල් දෙකක්, අත් දෙකක්, එක හිසක් සහ එක ජීවිතයක් පමණක් බැවිනි… අප වෙනුවෙන්, අප නිසා ජීවත්වන බොහෝ දෙනෙකු අප වටා සිටින බැවිනි.
ඔබ සැමට අනතුරු රහිත මාසයක්, වසරක්, වේවා !