Friday, October 5, 2012

2012 ඔක්තෝබර් 06 : ගරු ජනාධිපතිතුමනි.... කියන තැනකට වඳින්නම්, ඉරිදට මැච් එක බලන්න පිට්ටනියට නං යන්න එපා.....


ගිය අවුරුද්දේ ඉන්දියානු බලපෑම මත විහින් නැති කරගත් (නොහොත් පාවාදුන් ) ජාතියේ අභිමානය නැවත වතාවක් අපේ කොල්ලන් විසින් ජනතාව වෙත ලඟා කර වීමට සමත්ව තිබෙනවා. මෙවර අපට ඇති එක් සහනයක් වන්නේ ඉන්දියානු කණ්ඩායම අවසාන මහා තරඟයට සුදුසුකම් නොලැබී සිටීමයි. වැරදිලාවත් එසේ  සුදුසුකම් ලැබුවා නම් අපි මැච් එක බලන එක වැඩක් වන්නේ නැත... කාගේ හෝ බලපෑමකට මහේල ජයවර්ධනගේ අත් බැඳ සිතුවිලි සිරකර, මාලිංගගේ යෝකර් දියකර, සංගාට ජීවිතේ එපා කර කෙසේ හෝ ඉන්දියාව දිනවීමට කටයුතු යෙදෙන නිසාවෙනි. අපේ වාසනාවට මෙවර ඉන්දියාව අපත් සමඟ තරඟයකට සහභාගී නොවීම ගෙදර යවා ගන්නට සමත් වීම අපේ ජාතිය ලද එක ජයග්‍රහණයකි.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ඉන්දියාව තරම් බලසම්පන්න සහ පොහොසත් නොවීමත්, ඔවුන් ඉන්දියානුවන් මෙන් අසික්කිත නොවීමත් යන කරුණු හේතුවෙන් අප බොහෝ දෙනෙකු බටහිර ඉන්දීය කොදෙව්වන් අවසාන මහා තරඟයට පැමිණීම ගැන සතුටු වෙමු. මා ගියවර ලිපියේ සඳහන් කළාක් මෙන් මෙය විනිසුරු සයිමන් ටවුෆල් විනිශ්චය කරන අවසාන තරඟය නිසාත් එය තරමක් හැඟීම්බරය... කෙසේ වුවත් අප මේ කුසලානයට හිමිකම් කිව යුතු බව මගේ හැඟීමයි. ඒ බටහිර ඉන්දියානුවන් මෙන් කිහිප දෙනෙකු මත යැපෙනවා නොව අපි කණ්ඩායමක් වශයෙන් ශක්තිමත් වීම නිසායි. මුල්පෙළ තිදෙනා අසාර්ථක වුවත්, මැදපෙළ දැන් තරමක් හෝ සවිමත් වීම නිසා බලාපොරොත්තු ඇතිකරගත හැක. මාලිංග හැරෙන්නට අනෙක් සියල්ලන්ගේම පන්දු රැකීම ඉතා හොඳ තත්ත්‍වයක පැවතීමද එයට තවත් බලාපොරොත්තු එකතු කරවයි.  අජන්ත මෙන්ඩිස්, රංගන හේරත් සහ A-Killer ධනංජය හොඳින් ක්‍රීඩාවට අවතීර්ණ වීමද අප තවත් ශක්තිමත් කරවයි... මේ නිසා කණ්ඩායමක් වශයෙන් අපට අපේ කොල්ලන් ගැන බොහෝ බලාපොරොත්තු තබා ගත හැක. ඉතින් මේ සියළු කරුණු කාරණා නිසා අපි ඉරිදාට ඇස් කන් අයා අපේ කණ්ඩායම දෙස බලා සිටිමු.
ලෝක කුසලාන තරඟාවලියන් හි අවසාන තරඟ සජීවී ව නැරඹීමට බොහෝ දෙනා කැමතිය. රටේ ජනාධිපති වුවා කියා මහින්ද රාජපක්‍ෂ මහතාට ගෙදර ඉඳන් ලෝක කුසලානය නැරඹීම කළ නොහැක. 2007 බටහිර ඉන්දීය කොදෙව් දූපතට පරිවාර සේනාවද රැගෙන ගියාමෙන්, 2011 ඉන්දියාවටම ගොස් බලා ආපසු ආවා මෙන් නොව, තමන්ගේ රාජ්‍යයේ පැවැත්වෙන අවසාන මහා තරඟයක් කිසිසේත්ම අතහැරිය නොහැක. වැරදිලාවත් ජයග්‍රහණය කළොත් ජය කුසලානය ද තමන්ගේම අතින් පිරිනමන්නට පුළුවන... ලොව පුරා රූපවාහිනී නාලිකා ද තමන්ගේ රූපය දෙතුන් වතාවක වත් පෙන්වනවා නියත බව ද ඒ මහතා දනී... මේ නිසා කවුරු මොනවා කිවුවත් අපේ ජනාධිපතිතුමා ඉරිදා හවසට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට යන එක නවත්වන්න FUTA එකට වත් අඩුම ගානේ ශිරන්ති නෝනාටවත් නොහැක..
ඉතින් එතුමා අවසාන මහා තරඟය බන්න ගිය සෑම අවස්ථාවකම අපට වුනේ පසුතැවීමටය.... ඒ බව දන්නා නිසාම මෙවර අවසාන මහා තරඟයට පෙරම එතුමාගෙන් මෙවැනි ඉල්ලීම් කරන්නේ රටට ආදරයටය...

මේ දිනවල ෆේස් බුක් එකේ වැඩි පුරම බෙදා හැරෙන්නේ ලෝක කුසලානයට සම්බන්ධ පින්තූර වේ.. මේ අතර දැන් දැන් වැඩි වැඩියෙන් මේ වගේ පින්තූර බෙදා හැරෙන බව පෙනෙන්නට තිබේ... අරගත්තේ මුහුණු පොතෙනි.

ඉතින් එතුමා පොඩි මිනිසුන්ගෙ ඉල්ලීම් වලට සවන් දෙන නිසා මේ පාරවත් ගෙදර ඉඳලා මැච් එක බලයිද ?
හැබැයි එතුමා මේ පාරත් මැච් එක බලන්න ඇවිත් වැරදිලාවත් මැච් එක පැරදුනොත් ලබන පාර ජනාධිපතිවරණයත් ටිකක් අවුල් වේවි... එකපිට හතර පාරක් නෙ.... කොහොම වාවන්නද අප්පා........ අපේ මිනිස්සුන්ට කන්න බොන්න නැතත් මැච් එක පැරදුනොත් නම් හිතට අමාරුයි......
ඉතින් ජනාධිපතිතුමනි.... කියන තැනකට වඳින්නම්... ගෙදර ඉඳන් මැච් එක බලමුද මේ පාර ? දින්නාම හෙලිකොප්ටරේ ඇවිත් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙ මැදටම බාලා කුසලානෙ දෙන්න එමු.... හැමෝටම සන්තෝසයි.. ඔබතුමා ඊලඟ ඡන්දෙත් දිනුම්.....
නිකං මං කියනවට කරලා බලන්නකො....