Monday, October 22, 2012

2012 ඔක්තෝබර් 22: දේවෝ මාළු වස්සති අහේතු කාලේන....... අතිරික්තෙට මක්කැයි කොරන්නෙ ?


රට සශ්‍රීක වෙච්චි තරම කොච්චරද කිවුවොත් දැන් ධිවරයෝ මාළු අල්ලන්න මුහුදට යාමට අවශ්‍යම නැත. වෙරළට වී මුහුද දෙස බලා සිටින විටම මාළු ඇවිත් දෙපා මුළ මැරී වැටේ. මේ නිසා ධිවරයන්ට පවු සිදු වීමක් ද නොවේ. ඒ ප්‍රාණඝාතය සඳහා වූ අවශ්‍යතා සම්පූර්ණ නොවීම නිසාය. රටක නායක කාරකාදීන් ධාර්මික වන විට නිසි කළට වැසි ලැබේ. සැප සම්පතින් අනූන වේ. කිසිදු අඩුවක් දක්නට නොලැබේ. අන්න ආසියාවේ අයිස්-චරිය.
දැන් හීන ලෝකයේ හිටියා ඇති. බිමට බහිමු...
මාළු ගෙදරටම ඇවිත්....




















මාළු ගොඩබිමට ආවේ ඇයි දැයි ධීවර ඇමතිතුමාගෙන් ඇසූ විට දත් දොස්තර මහතා කිවුවේ මුහුදේඋෂ්ණත්‍වය වැඩි වීමත්, මුහුදේ මාළු ගහණය වැඩි වීමත් නිසා මාළුන්ට අවශ්‍ය ආහාර නොලැබීම නිසා ඔවුන් මිය ගිය බවයි. මුහුදේ උෂ්ණත්‍වය ඉහළ ගියේ ඇයි ? මා හිතන අන්දමට ඒ දක්‍ෂිණාර්ධගෝලයට ග්‍රීෂ්ම ඍතුව පැමිණි නිසා වන්නට පුළුවන. දක්‍ෂීණාර්ධ ගෝලයෙන් වැඩි කොටසක් සමුද්‍රයයි. සමුද්‍රය උණුසුම් වන විට මාළුන්ගේ චර්යා රටා වෙනස් විය හැකි වුවත් මෙසේ මාළුන් මිය යන්නට වෙනත් හේතුවක් තිබිය යුතුමය. එක් වරම මුහුදේ උෂ්ණත්වය ඉහළ නොයයි. මක්නිසාද යත් උෂ්ණත්‍වය ඉහළ යාම සෙමෙන් සිදුවන කටයුත්තක් බැවිනි. එක්වරම උෂ්ණත්‍වය ඉහළ යා හැක්කේ එක්කෝ මුහුද යට වූ ගිණිකඳු පිපිරීමක නිසා ඇතිවන අධික ලාවා ගැලීමක් හෝ අභ්‍යන්තර විවරයකින් ලාවා ගැලීමක් නිසා විය හැකිය. නමුත් එසේ සිදු වූ බවට කිසිදු වාර්තාවක් මෑතකදී පළ වූයේ නැත.
මෙය අනතුරු ඇඟවීමක් ද ? සමහර විට එය එසේ විය හැකිය. පොළව උෂ්ණත්‍වය ඉහළ යතත්, එක වරම කිසි විටෙක ඉහළ යාමක් සිදු නොවේ. මේ ගැන වැඩිදුර විස්තර සොයා බැලීමට මට අවකාශ නොතිබූ නිසා මේ ගැන පැහැදිලි නිගමනයක් මගේ පැත්තෙන් දීමට නොහැක. නමුත් පරිසරය පිළිබඳ දැන් තරමක් අවධානයෙන් සිටීම සුභදායක වේ. සමහර විට භූ චලනයක් හෝ සුනාමියක පෙර නිමිත්තක් මෙයින් අදහස් වන්නට පුළුවන.
කෙසේ හෝ වේවා දැන් මාළු ලාභය - අතිරික්තයක් ඇති විය හැකිය. දකුණු ආසියාවේ විශාලතම ටින් මාළු කම්හල ලංකාවේ පිහිටා තිබෙන නිසා මෙසේ මාළු ලංකාවේ මුහුදු වෙරළට ආවා දැයි සැකයක් මතුවේ. කෙසේ වුවත් මේ වාසියෙන් ප්‍රයෝජනයක් ගත යුතුය. ඒ සඳහා දැනටමත් අපේ ධීවර අමාත්‍යාංශය ලහි ලහියේ සූදානම් වන බව මම අත්දැකීමෙන් දනිමි. මේ නිසා අනාගතයේදී අපට ලාබෙට ටින් මාළු මිළදී ගත හැකි බව සුමනදාස අබේගූඋනවර්ධන මහතා කියනවාට වඩා ප්‍රබල අනාවැකියකින් මට පැවසිය හැකිය.
ඒ එක පැත්තකි. නමුත් මේ විශාල ව්‍යසනයක ආරම්භයකි. සාමාන්‍යයෙන්  ජලයේ විශිෂ්ඨ තාපය ඉහළ අගයක් ඇති නිසා සුළු  උෂ්ණත්‍ව වෙනස් වීමක් එතරම් හානිදායක නොවේ. කෙසේ නමුත් දීර්ඝ කාළයක් පෘථිවිය ක්‍රම ක්‍රමයෙන් රත් වී යද්දී මේ අගය සුළු වශයෙන් වෙනස් විය හැකිය. ධ්‍රැවාසන්න හිම තට්ටු මගින් පෘථිවියේ උෂ්ණත්‍වය පාලනය වන නමුත් ඒවායේ ද දියවීම සීඝ්‍ර වීම නිසා දැනටමත් එහි ආදීනව අපට පෙනෙන්නට පටන් ගෙන තිබේ. සමකය ආසන්න රටවල් අධික ලෙස රත් වීමෙන් සිදු වන්නේ එහි ජල චක්‍රයට හානි පැමිණීම, ස්වභාවික සම්පත් කෙමෙන් ක්‍ෂය වීම සහ කාළගුණ රටා වෙනස් වීමයි. කෘෂිකාර්මික රටක් වන අපට කාළගුණ රටා වෙනස් වූ විට සිදු වන්නේ භෝග හානියයි. සමහර කාළ වල අධික පළදාවක් ලැබුණත්, නිසි කළමණාකරණයක් නැති නිසා ඒවායේ වාසියද ගොවියන් එළවළු කුණු වලට දැමීමෙන් අහිමි වී යයි. මේවාට පැලැස්තර විසඳුම් නැතිව දිගු කාළීන වැඩපිළිවෙලක් යොදන්නේ නම් අතිරික්ත භෝග, මෙවැනි අතිරික්ත මත්ස්‍ය පළදාව වැනි දේ වල වාසිය පාරිභෝගිකයාට ලැබීමට සැලැස්විය හැකිය.
දැන් කරන්නට ඇත්තේ අහුවන මාළු ගෙදර ගෙන ගොස් එක්කෝ කරවල වේලීම හෝ ජාඩි දැමීමය... මොනවා කළත් ප්‍රශ්නයක් නැත. තම තමන් ඉතිරි කර ගත්තොත් තමන්ටය....
තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් වේ....