Saturday, February 23, 2013
බාලචන්ද්‍රන්ගේ මරණය තුළින් එළිවන පරමාදර්ශීය ඇල්කෙමියාගේ නිරුවත...........
Tuesday, February 12, 2013
පිටස්තරයා....................... විසි තුන්වන දිගහැරුම........
පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්
පිටස්තරයා............. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා
පිටස්තරයා.............පහලොස්වන දිගහැරුමේ සිට විසිඑක්වන දිගහැරුම දක්වා
පිටස්තරයා.............විසිදෙවන දිගහැරුම
::::::::::::::::::::::::::::::::::::::::::
දැන් කොහොමද කකුල ? වෛද්‍ය ගීතිකා ගුණසේකර විශ්ව සමඟ රෝහල් උද්‍යානයේ සෙමෙන් ඇවිදින අතරතුර ඇසුවාය..... රෝහල් උද්‍යානයේ විවිදාකාර ආබාධවලට ලක් වූ සොල්දාදුවන් සිය පුනරුත්ථාපන වෛද්‍යවරු සහ උපස්ථායකයන් සමඟින් ව්‍යායාම කිරීම මෙහි සුලභ දසුනකි.
දැන් නම් සෑහෙන හොඳයි.... ගොඩක්ම බර දෙනකොට පොඩ්ඩක් රිදෙනවා... ඒ හැරෙන්න වෙන අමාරුවක් නැහැ... කොහොමත් මම ෆුට්බෝල් ගහන්න යන්නෙ නෑනෙ... ඒ නිසා මේ ගාණට බේරුණා ඇති..
ඇත්තටම විශ්වට මොකද හිතෙන්නෙ අනතුර ගැන... ? දැන් ඉතින් බය එහෙම අඩු වෙලා නෙ තියෙන්නෙ... කියන්න පුළුවන් නම් කියන්න........
කියන්න බැරි කමක් නෑ ඩොක්ට.... මට එහෙම ප්‍රශ්නයක් නෑ... නමුත්, මට හිතා ගන්න බැහැ අනතුර වුනේ කොහොමද කියලා..... මොකද කියනවා නම් මම ගේට්ටුවෙන් පාරට කාර් එක දාලා ටික වෙලාවක් යනකොට තමයි මේ ලොකු ට්‍රක් එක මගේ පස්සෙන් එන්න ගත්තෙ.... මම ඒකට ඉඩ දුන්නත්, එයා නෙවෙයි මාව පසු කරලා ගියේ.... ඒ පුද්ගලයා කවුද කියලා බලන්න මම පිටුපස බලන කණ්නාඩියෙන් බලද්දිම තමයි එකපාරට ඒකේ වේගය වැඩි වුනේ... මම එතකොටම අනිත් ලේන් එකට කාර් එක දානකොටම තමයි මගේ පැත්තෙන් ඇවිත් වාහනේ හැප්පුනේ... හැප්පුන වේගයට ඒ ට්‍රක් එක පෙරළුනා... ඒත් එක්කම ඉදිරිපස වායු බැග් එක පුපුරලා විවෘත වුනා... ඒ කම්පනයට තමයි මගේ සිහිය නැති වුනේ...
ඔයා දවස් ගණනාවක් සිහිය නැතිව හිටියා... හැමෝටම හරිම පුදුමයි ඔයා අද මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන... බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ නැහැ මෙච්චර ඉක්මනින් සිහිය ඒවි කියලා.... මම හිතන්නෙ අද අපට ගොඩක් දේවල් කතා කරන්න හොඳ දවසක්....
ඇය පසෙක වූ බංකුවක වාඩි වෙන අතරම විශ්වට ද ඉඳගන්නා මෙන් සන් කළාය.....
කොහොමද දැන් පපුව ?
මගේ පපුව ඉතිං කවදත් හොඳයි නෙ .... විශ්ව සිනාසෙමින් පැවසුවේය....
කාලෙකින් මම ඔයාගෙ මේ වෙනස දැක්කෙ..... ඒක බොහොම හොඳ ප්‍රවණතාවයක්.... විශ්වගෙ මාමයි නැන්දයි බොහොම වද වෙනවා විශ්ව ගැන..... ඒ දෙන්නා ලංකාවෙ ඉඳලම මෙහේ ආවෙ ඔයා වෙනුවෙන්මයි...
ඔව් ඩොක්ට..... මම ඒ ගැන හොඳටම දන්නවා.....
මට ඩොක්ට කියන්න ඕන නෑ ... ගීතිකා කියන්න... මේක ඇමරිකාව.....
හොඳයි ගීතිකා... අම්මයි තාත්තයි නැතිවුන දා ඉඳලා මට අම්මයි තාත්තයි වුනේ ලොකු මාමයි ලොකු නැන්දයි... ඒ දෙන්නට ළමයි නැති නිසා මං ගැන වද වෙනවා හැම තිස්සෙම..
අම්මයි තාත්තයි නැතිවුනේ කොහොමද ?
මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම උපදේශකවරයෙක් වෙලා හිටියෙ.... රාජකාරියෙ යෙදිලා නිවාඩුවක් අවසාන කරලා එන කොට ලෙබනනයෙදි වෙච්ච අනතුරකින් අම්මයි තාත්තයි නංගියි තුන්දෙනාම මියගියා... දැන් ඒක සිදු වෙලා සෑහෙන කලක්.... ඉස්සර නම් මට ඒ කම්පනය තදින්ම දැනුනා.... දැන් නම් තනිවම ජීවත් වෙන්න පුරුදු වෙලා එච්චරම දුකක් නෑ.....
මට තේරෙනවා... මට අම්මයි තාත්තයි දෙන්නමත් ලංකාවෙ ඉඳලා මේ තනියම මෙහාට වෙලා ඉන්නකොට දැනෙන තනිකම.... ඔයාට ඒක කොහොම දැනෙනවද කියලා මට හිතා ගන්න පුළුවන්.... ඉතිං මොලී ඉන්නවනේ ඔයාගෙ තනියට....
මොලී මගේ මිතුරියක් විතරයි... අපි අතරෙ ඊට වඩා සම්බන්ධයක් නෑ.... මොලී හම්බවෙලා මාසයක්වත් නැහැ...
ඒ වුනාට ඔයා දැඩි සත්කාර ඒකකයෙ ඉන්න දවස් හැම එකකම මොලී ඔයාව බලන්න ආවා කියලා ඩොක්ට මට කිවුවා... සිහිය ආපු වෙලාවෙ ඉක්මනටම ආවෙ එයා... සාමාන්‍ය මිතුරියක් නම් එහෙම විශේෂත්වයක් දක්වන්නෙ නැහැ නේද ?
ඔව්... මටත් තේරෙනවා මොලී මට කිසියම් විශේෂතාවයක් දක්වනවා කියලා.... නමුත් මට තවම එහෙම ලොකු විශේෂත්වයක් දැනෙන්නෙ නැහැ... මම දන්නෙ නැහැ ඒ මම ගැහැණු ළමයෙක් සමීපව ආශ්‍රය කළේ නැති නිසාද කියලා...
නැහැ... ඒ නිසා නෙවෙයි... මානසිකව තවම ඔයා සූදානම් නැහැ ඒ තත්ත්වයට එන්න.... මම හිතන්නෙ ඔයා තනිව හැදුන නිසා ඔයාගෙ මනස තවම තනිකමින් ඉවත් වෙන්න කැමැත්තක් නැහැ... නැතිනම් ඔයා කැමති නැහැ සම්බන්ධතාවයක් නිසා ඔයාගෙ පෞද්ගලිකත්වයට හානි පැමිණෙනවට... ඔයාට පෙම්වතියක් ඉඳලම නැද්ද කවදාවත් ? මම මේ අහන්නෙ මානසික වෛද්‍යවරියකගෙ කෝණයෙන්... වරදවා වටහා ගන්න එපා...
නැහැ නැහැ ගීතිකා... එහෙම ප්‍රශ්නයක් නැහැ...... මම වරදවා වටහා ගන්නෙ නැහැ....
මට කවදාවත් පෙමින් වෙලෙන්න උවමනාවක් වුනේ නැහැ... මට මිතුරියෝ නම් ඕනතරම් හිටියා.... නමුත් ඒ කාත් එක්කවත් ආදරයෙන් වෙලෙන්න උවමනාවක් වුනේ නැහැ මට... ඒ වගේම මට පෞද්ගලිකත්වයක් තිබුණා ආරක්ෂා කර ගන්න... මගේ පියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබල චරිතයක් වුනා.. ඒ නිසාම මගේ පෞද්ගලිකත්වයට සීමා පැණවුනා... මගේ දෙමාපියෝ දෙන්නම බුද්ධාගමට බොහොම ලැදි උදවිය.. ඒ අය හැකි සෑම විටම බණ දහම් හැදෑරුවා... මම භාවනාවට පුරුදු වුනේ අවුරුදු 14 දි.. මගේ අම්මා තමයි මට ඒ දේ පුරුදු කළේ... ඒ නිසාම මම අධ්‍යාපනය අතින් පවා සෑහෙන ඉදිරියට ආවා.. මම ගොඩක් ක්‍රීඩා කළ කෙනෙක්.. ඒ සිත එකඟ කර ගැනීම මගේ අධ්‍යාත්මික වගේම පෞරුෂත්ව සංවර්ධනයටත් බොහෝ සේ බලපෑවා.. මගේ දෙමාපියෝ මිය ගියාට පස්සෙ මම ගොඩක් තනි වුනා... ඒ තනිය මකා ගන්න මම ලං වුනේ පොත්පත් වලට... මම ඒ කාලෙ සෑහෙන පොත්පත් කියෙවුවා... අම්මලා මිය ගියාට පස්සේ මට හමුවුනා භාවනායෝගී ස්වාමීන් වහන්සේ නමක්.... ඇමරිකාවෙ ඒ වගේ සිද්ධියක් බොහොම විරළ වුනත් මට කැලිෆෝනියා බෞද්ධ විහාරයෙදි යෝගාවචර රාහුල හාමුදුරුවො හමු වුනා... රාහුල හාමුදුරුවෝ ගැන නොදන්න බෞද්ධයෙක් ඇමරිකාවෙ නැහැනෙ.... එතැනදි මම විදර්ශනා භාවනාවට යොමු වුනා... අන්න ඒ නිසා මට ඇත්තෙන්ම ප්‍රේම සම්බන්ධතාවය කියන අවශ්‍යතාවය ඇති වුනේ නැහැ.... ඒ නිසාම මට මගේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳින් කර ගන්න ලැබුණා... ඒකයි මම අධ්‍යාපනය පැත්තෙන් පසුකාලීනව බොහෝ ඉදිරියට ආවෙ... විශ්ව සිය දීර්ඝ ඉතිහාසයෙන් බිඳක් ගීතිකා වෙත විවර කර දුන්නා...
මම පුදුම වෙන්නෙ නැහැ විශ්ව.... මට සුමනසේකර මහත්මයා කිවුවා ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා... මම දැන් දන්නවා ඇයි ඔයා මේ තරම් ඉක්මනට පුනරුත්ථාපනය වෙන්නෙ කියලා... වෙන මිනිස්සු මාස තුන හතරක් ගන්නවා සුළු අනතුරකින් මනස ප්‍රකෘති තත්ත්වයට ගෙන එන්න.. නමුත් ඔයා සතියක් දෙකක් ඇතුලත ඒ තත්ත්වයට ලඟා වුනා... මම හිතනවා ඔයාගෙ මානසික ඒකාග්‍රතාවය ඒකට බලපාන්න ඇති කියලා... ඔයා මානසිකව දැන් නිදහස්... ඒ කියන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක්.. ඔයාට පුළුවන් ඔයාගෙ ශාරීරික පුනරුත්ථාපනයත් ඉක්මන් කරගන්න... වැඩිපුර මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාගෙ කකුල ඉක්මනින්ම සනීප වේවි... ඔයා හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරනවා.. මට බොහොම සංතෝෂයි...
ඔයා කොහොමද වෝල්ටර් රීඩ් එකට ආවෙ ? සාමාන්‍යයෙන් මෙතැන බොහොම ආරක්ෂිත තැනක්.. විශ්ව පෙරළා ගීතිකාගෙන් ඇසුවේ ඇගේ සුහදතාවය පිළිබඳ පැහැදීමකින්....
ඒක දිග කතාවක්.... ඔයාට වැඩක් වේවිද ඒක... ?
කියන්න බෑනෙ.... කැමැත්තක් තියෙනවා නම් කියන්න.... මම අහගෙන ඉන්නම්... මටයි කියලාත් දැන් ඉතිං වැඩක් නෑනෙ.....
මම සාමාන්‍යයෙන් මේ කතාව කාටවත් කියන්නෙ නැහැ... නමුත් ඔයාව විශ්වාස කරනවා... මේක කිවුවයි කියලා කාටවත් වැඩක් වෙන්නෙ නැහැ කොහොමටත්... ඇය දිගු සුසුමක් හෙළුවා...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී ඇය එනතෙක් බලාසිටි අමුත්තා සිටි මේසයේ ඉතිරිව ඇති පුටුවේ අසුන් ගත්තාය. සෙනෙටර්ස් ක්ලබ් ආපනශාලාව කෙතරම් කාර්යබහුල වුවත් එතැන සිටි පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය උදෙසාම මේස සකසා තිබුණේ එකිනෙකට ඈතිනි. ඒ එකිනෙකාගේ කතාබහ අනෙක් මේසවල සිටින පුද්ගලයින්ට නෑසෙන ලෙස සිය සේවාදායකයින් ආරක්ෂා කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙසින්. මෙතැන සිදු වූ කතා බහ අතර ලෝක ඉතිහාසය වෙනස් කළ තීරණ පවා තිබූ බව දන්නේ ආපනශාලාවේ මේස සහ පුටු පමණි. මොනිකා ලෙවින්ස්කි තමා ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සමඟ පැවැත්වූ අසාමාන්‍ය සම්බන්ධතාවය පෝලා ජෝන්ස් හට හෙළි කළේ මේ අවන්හලේ එක්තරා ස්ථානයකදීය. එය ජනාධිපති බිල් ක්ලින්ටන්ට ලිංගික අපචාර සම්බන්ධයෙන් දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් ප්‍රබල විය. මේ එක් උදාහරණයක් පමණි.
ඇයි අන්කල් ? මොකක් හරි ප්‍රශ්නයක්ද ?
සිය අසුනේ හරිබරි ගැසී වාඩි වී ඉදිරිපස අසුනේ වූ සිය මාමණ්ඩිය දෙස ඍජුවම බලාගෙන මොලී සෙමෙන් ඇසුවාය. ඔහු සිය ඥාතියෙකු බව දන්නේ වොෂිංටනයේ ඉතාම ස්වල්ප දෙනෙකු පමණි. එසේම ඔහුටද, ඇය ඉතාම විශ්වාසවන්ත සේවිකාවක වූවා.. මේ නිසාම තමන්ගේ සම්බන්ධය පිටතට නොපෙන්වන්න දෙදෙනාම වගබලාගත්තා පමණක් නොව, සාමාන්‍ය වෘත්තීයමය අවස්ථාවලදී ඔහු මොලීටත් සැලකුවේ කිසිදු විශේෂත්වයක් නොපෙන්වා. මේ නිසාම ක්ෂෙත්රයේ කිසිම කෙනෙක් මේ ඥාතීත්වය හෝ සම්බන්ධය දැන සිටියේ නැහැ. දන්න ටික දෙනාත් ඒ රහස හොඳින්ම රැකගෙන සිටියා.
කොහොමද දුව ? වැඩ කටයුතු හොඳින් කෙරෙනවද ?
ඔව්... දැන් අළුත් පර්යේෂණයත් පටන් ගන්නයි යන්නෙ.. විශ්ව සනීප වෙලා ආපු හැටියෙ අපි දෙන්නා එකතු වෙලා ඉක්මනින්ම ඒක පටන් ගන්නයි යන්නෙ..
මොකද විශ්ව මේ දවස්වල කරන්නෙ ?
විශ්ව දැන් ඉන්නෙ පුනරුත්ථාපන ඒකකයෙ. මේ දවස්වල එයා බිඳුන කකුළ පුනරුත්ථාපනය කරන්නයි මහන්සි වෙන්නෙ.. මානසිකව නම් යථා තත්ත්වයට ඇවිත්, මට නම් හිතාගන්න අමාරුයි එයා මෙච්චර ඉක්මනින් මෙහෙම පුනරුත්ථාපනය වුන එක... සාමාන්‍ය සොල්දාදුවෙක් නැතිනම් නාවික සීල් භටයෙක් වත් මේ තරම් ඉක්මනට මානසිකව පුනරුත්ථාපනය වෙන්නෙ නැහැ.. හැරත් එයා සතියක්ම සිහිය නැතිව ඉඳලා මෙහෙම ඉක්මනට සනීප වුන එක ගැන මටත් පුදුමයි. අංකල් දන්නවනේ අච්චර දරදඬු ක්ෂෙත්ර ඒජන්තයො කොච්චර කල් ගන්නවද කියලා පුනරුත්ථාපනය වෙන්න...
වේටර්වරිය ආහාර ඇනවුම භාරගැනීමට පැමිණිහෙයින් සිය කතාව නතර කළ මොලී සැන්ඩ්විච් එකක් සහ දෙහි යුෂ වීදුරුවක් ඇනවුම් කළාය.... ඉන් අනතුරුව ඔහු සිය ගැඹුරු කටහඬ අවදි කළේය.
මට තේරෙනවා ජෙනී.. ඒකම තමයි මම අද ඔයාව හමුවෙන්න තීරණය කළේ. ඔයා මේ ගැන දරන ආකල්පය මොකද්ද ? අපි මේ මනුස්සයා පස්සෙ මේ තරම් දුවන එකේ තේරුමක් තියෙනවද ? අපි මේ වැය කරන්නෙ රටේ සල්ලි, කාළය... ඔයා හිතනවද මේ දෙයින් අපි කිසියම් ප්‍රයෝජනයක් තියෙනවා කියලා
මම පෞද්ගලිකව නම් හිතන්නෙ නැහැ අපට විශ්වගෙන් ලොකු තොරතුරක් ලබාගන්න පුළුවන් වේවි කියලා. මේ දවස් කීපයට මම නිරීක්ෂණය කළ දෙයක් තමයි විශ්වගෙ පසුබිම බොහොම සාමාන්‍ය පසුබිමක්, එයාගෙ පවුලෙ සහ ඥාතීන් සියල්ල බොහොම සාමකාමී අය.. ඒ නිසා ප්රචණ්ඩත්වයක් ගැන නම් කිසිම සාධකයක් නැහැ. බොහොම ආගමානුකූලයි. විශ්ව භාවනාවටත් යොමු වෙලා කියලයි එයාගෙ මාමා කිවුවෙ.... නමුත් වෘත්තීයමය වශයෙන් ගත්තොත් විශ්වට බොහොම ශක්තිමත් පෞරුෂත්වයක්, මතකයක්, බුද්ධියක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවනි විශ්ව වෙනත් වැදගත් කාර්යයකට යොදා ගන්න.. නමුත් මම හිතන්නෙ නැහැ විශ්ව තමන්ගෙ ප්‍රතිපත්තිවලට පටහැණි තීරණයක් ගනීවි කියලා... එයා හරිම හොඳ කෙනෙක්..... නමුත් මම දන්නවා හොඳයි කියලා පිටින් පෙන්නගෙන ඉන්න සමහරු අන්තිම මෘගයො වගේ ක්‍රියා කරන අවස්ථා...
මට කියන්න තියෙන්නෙ මම විශ්වට පෞද්ගලිකවත් කැමතියි කියලා..... මම කැමති නැහැ එයාට මේ නිසා කරදරයක් වෙනවා නම්...
ජෙනී.... මේ ඔයාමද කතා කරන්නෙ ? සිය ඥාති දියණියගෙන් මෙවන් ප්‍රකාශයක් බලාපොරොත්තු නොවූ නිසා, අතිශයින් හැඟීම් පාලනය කරන්නකු සේ සුපතල ඔහුගේ දෑස් විශාල වූයේ ඔහුටත් නොදැනුවත්වමය...
මොලී කිසිවක් නොකියූවාය.................
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලීගේ සහ විශ්වගේ අනාගතය කුමක් වේද ? ගීතිකා විශ්වට සමීප වේද ?
Sunday, February 10, 2013
2013 පෙබරවාරි 10: මෙන්න තවත් ලෝක වාර්තාවක්.... හිතේ අමාරුවට නොලියා ඉන්න බැරි වූ කතාවක්......
ලංකාවේ ආණ්ඩුවේ ඇමති තනතුරු සංඛ්‍යාව ශතකය ඉක්මවූයේ මෑතකදීය... ඒ බූරුවන් කූට්ටමේ වෙනස් වූ කොළ අතර ඛණිජ තෙල් ඇමති ධුරයද විය. ඛණිජතෙල් නීතිගත සංස්ථාව එසේ නැතහොත් සිපෙට්කෝ ආයතනය සැමදාම පාඩු ලැබූ ආයතනයකි. එය පාඩු ලබනවා පමණක් නොව විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලටද පාඩු සිදු කරන බව හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක පවසා තිබුණි.
මෙසේ පාඩු ලබන මේ ආයතනය පසුගිය වසරක සිදු කළ ඓතිහාසික හෙජින් ගණුදෙනුවද, මෑතකදී සිදු කළ බාල පෙට්‍රල් ගෙන්වීම නිසා සිදු වූ අලකලංචිය ද ලිහිසි තෙල් හුටපටයක් නිසා සිදු වූ පාඩුව ද ආදී ආසියානු වාර්තා රැසක් තබා ඇති ආයතනයකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ නැතහොත් අඩුම ගණනේ ආසියාවේ ලොකුම ඒවා තබාගෙන වාර්තා තබන නිසා මෙවැනි වාර්තා ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයනට අමුත්තක් නොවේ.
මේ අද දිවයින පුවත්පතේ වූ ලිපි දෙකකි. පළමුවැන්නෙන් කියැවෙන්නේ මූලදී රසායනාගාර තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ රුපියල් මිලියන 8000 ක් වටිනා ඛණිජතෙල් තොගයක් පසුව එක රැයින් රසායනාගාර පරීක්ෂණවලින් සමත් වූ බවය. මේ අනුව නැවතත් අපට සමහරවිට වාහනවලට වන්දි ලබා ගැනීමේ ස්වර්ණමය අවස්ථාව හිමි වෙනු ඇත.
දෙවන ප්‍රවෘත්තිය නම් ඛණිජතෙල් සංස්ථාවේ එක්තරා ලොක්කෙකු සිය මාසික වැටුප රුපියල් ලක්ෂ දෙකේ සිට හත දක්වා වැඩි කරගෙන ඇති බවත් ඔහුට රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා වාහනයක් ද ආනයනය කරගෙන ඇති බවයි. එසේ වැඩි කර ගත්තේ අමතර කාර්යයක් හෝ අමතර වගකීමක් කිසිවෙකු දරන නිසාද ? නැතිනම් තමන්ට වැඩි කරගත හැකි වූ නිසා එසේ වැඩි කරගත්තාද ?
මේ එක දිනයක ඛණිජතෙල් සංස්ථාව තැබූ වාර්තාවකි... මේ දෙකටම ගෙවන්නේ අදාල නිලධාරීන් නොව මහජනතාවගේ මුදලිනි. එනම් පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයකට රුපියලක් හෝ දෙකක් වැනි ප්‍රමාණයක් මේ සඳහා වැයවනු ඇත.. මේ කාබාසිනියා කරන්නේ මහජන මුදල් වේ. සාමාන්‍යයෙන් සදාචාර සම්පන්න රටක පොදු දේපල අයථා ලෙස පරිහරණය කරන්නන් හට දඬුවම් ලැබෙන නමුත් ලංකාවේ ලැබෙන්නේ උසස්වීම් ය...
මේ, ඒ ආයතනයේ උසස් නිලධාරියෙකු දිවයිනට පැවසූ ප්‍රකාශයකි.
"බාල පෙට්‍රල් හා බාල ඩීසල් ගෙන්වීමද, ඒවා නිසි පරිදි පරීක්ෂා කිරීම ආදී කටයුතුවලට සුදුසු සහ පළපුරුදු නිලධාරීන් නොමැති නිසා මෙම අර්බුද පැනනැගී ඇතැයි ද 1994 වසරින් පසු දේශපාලන හිතවතුන්ට ඉහළ තනතුරු ලබාදීම මෙම ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව යෑයි ද හෙතෙම කියා සිටියේය."
මේ අතර ඇමරිකාවේ එක්සෝන් මොබයිල් සමාගම 2012 වසරේ ඩොලර් බිලියන 44.3 ක වාර්තාගත ආදායමක් ලබා ගත් බවත් එය සමාගම් වැඩිම ලාභයට වඩා අඩුව ඇත්තේ මිලියන තුන්සියයකින් පමණක් බවත් මෙය ලෝකයේ තෙල් සමාගම් තැබූ ආදායම් වාර්තා අතර ඉහළම අගය ගන්නා බවත් වාර්තා වේ. මේ නිසි කළමණාකරණයෙන් නිසි සම්පත් පරිහරණයෙන් ලාභ ලබාගතහැකි එක් උදාහරණයක් පමණි. නමුත්, අප රටේ කිසිදු ආයතනයක නිසි සම්පත් කළමණාකරණයක් කවදා සිදු වේද ?
ජනාධිපතිතුමා කියන්නේ තමන්ගේ රට විවේචනය කිරීමෙන් වලකින ලෙසයි.... එසේනම් එතුමාගේ 2/3 බලතල සහ පූර්ණ විධායක ජනපති බලතල පාවිච්චි කර මේ අකටයුතුකම් නැවැත්විය යුතුය... එවිට රටේ සිදුවන යහපත් දෑ අගය කළ හැක... එතුමාගේ විධායක බලතල පාවිච්චි වන්නේ තම හෙංචයිනයට උසස්වීම් ලබාදෙන්නට පමණක් නම් අපට ආසියාවේ ආශ්චර්යය වීම ඉතාම ඉක්මනින් ඉටු කරගත හැක... සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන තුරු අපි හැමදාම වලේය... නැතහොත් ඉක්මනින්ම මහින්ද චින්තනය ඇහින්ද චින්තනයක් වනු නොඅනුමානය...
ඔබට සුභ අනාගතයක් !මේ සින්දුවත් අහගෙනම යමු...
මේ කියන්නේ තරහ ගන්නට නොව රට ගැන ආදරයට තියෙන හිතේ අමාරුවටය..... මේවා කිවුවාය කියා ඔබතුමන්ලා ගන්නා තීරණ වෙනස් වේ යැයි ද සිතන්නට අමාරුය... එසේ වූවා නම් මේ රට මීට වඩා හොඳ තැනක තිබෙන බව ද උපකල්පනය කළ හැක.
Saturday, February 9, 2013
උල්කාෂ්මයක් සරළව හඳුනාගන්නේ කෙසේද ?
පසුගිය මාස කිහිපය පුරාවටම ලංකාවේ විවිධ පලාත්වලින් උල්කාෂ්ම පතනය වීම් වාර්තා වුනා... මේ හැම වාර්තාවක් ගැනම පුවත්පත් සහ වෙබ් අඩවි පුරා විවිධාකාර ලිපි ලියැවී තිබුණත්, සාමාන්‍ය කෙනෙකුට විද්‍යාගාර පර්යේෂණයකින් තොරව උල්කාෂ්මයක් හඳුනා ගන්නේ කෙසේද යන දැනුම ලබා දීමට කිසිවකු උනන්දු වී තිබුණ බවක් වාර්තා වී නැහැ.. එසේ වාර්තාවක් තිබුණා නම් එය ඉතා අගය කළ යුතු ක්‍රියාවක් - සමහරවිට මට එය මඟහැරුණා විය හැකියි...
උල්කාෂ්මව බොහෝ දුරට පොළවේ ඇති සාමාන්‍ය ගල් වලට පෙනුමින් හැඩයෙන් සමාන වෙන නිසා සමහරුන් උල්කාෂ්ම වුවත් සාමාන්‍ය ගල් කැටයක් ලෙස සළකා කසළගොඩට දමන අවස්ථා වාර්තා වී තිබෙනවා. මේ උල්කාෂ්ම පෙනුම - හැඩය - අතින් පෘථිවියේ ඇති ගල්කැට වලට කිසියම් සාමානකමක් දැක්වූවත්, ඒවායේ ගුණ අතින් නම් කිසිසේත්ම සමාන වන්නේ නැහැ. මේ නිසා සරළ පරීක්ෂණ කිහිපයක් මගින් පෘථීවියේ ගල්කැට සහ උල්කාෂ්ම වෙන්කර හඳුනාගන්න පුළුවනි. උල්කාෂ්ම යනු අභ්‍යවකාශයේ සැරිසරන ඇස්ටරොයිඩ සහ වෙනත් වස්තූන්ගෙන් කැඩී එන කුඩා කොටස්. මේවා සිය ගමනේදී පෘථිවි ගුරුත්ව ක්ෂෙත්රයට හසුවීම නිසා පෘථිවියට ඇද වැටෙනවා. බොහොමයක් පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට සිදුවන ඝර්ෂණය හේතුවෙන් රත් වී පසුව ඔක්සිජන් හා ක්‍රියා කර ගිණිබෝල ලෙස පොළවට පතිත වනවා. මේවා ඉතාම අධික වේගයකින් පොළවට පතිත වන නිසා සමහර උල්කාෂ්ම පිපිරුම් ශබ්ධයක් (Sonic Boom ) පවා පිටකරනවා. සමහරු මෙය අකුණු සැරයක් බවට වරදවා වටහා ගන්නවා. සමහරක් වායුගෝලයේදීම දැවී අළු වනවා සමහරක් පොළවට පතිතවෙනවා. මේවා ලංකාවේ පමණක් නොවෙයි, සෑම විටම ලෝකය පුරාවටම පොළවට පතිත වෙනවා.
උල්කාෂ්ම වර්ගීකරණය (Meteorite Classification)
උල්කාෂ්ම ප්‍රධාන වර්ග තුනකි. පාෂාණමය (Stony) පාෂාණමය-යකඩ සහිත (Stony-Irons ) සහ යකඩමය (Irons) මේ අනුව උල්කාෂ්මවල යකඩ අඩංගු වන බව ඔබට පෙනෙනවා ඇති. මේ නිසාම 99% ක් පමණම උල්කාෂ්ම ප්‍රබල චුම්භකයන්ට ඇදී යාමේ හැකියාවක් පවතිනවා. නමුත් හීමටයිට් සහ මැග්නටයිට් නම් යකඩ බහුල පෘථිවි පාෂාණත් මේ ලක්ෂණයම පෙන්නුම් කරනවා... පහත දැක්වෙන්නේ පියවරෙන් පියවර උල්කාෂ්මයක් හඳුනා ගන්නා පිළිවෙලයි.
පෙනුම
අළුත පතිත වූ උල්කාෂ්මයක් සාමාන්‍යයෙන් දැවී අළු වුන ස්වභාවයක් සහිත මතුපිටක් උරුම කර ගන්නවා. මෙය සිදුවන්නේ ගිණිගැනීම නිසායි. මෙයට Fusion Crust කියා කියනු ලබනවා. මෙය කළු පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා විවිධ වර්ණයන් ගන්නවා. නමුත් පරණ වූ උල්කාෂ්මවල මේ ගතිය දකින්නට ලැබෙන්නේ නැහැ.
එය සාමාන්‍ය ගලක් බවට බොහෝ විට වරදවා හඳුනා ගන්න පුළුවනි. එය වෙන්කර හඳුනාගත හැකි එක් ක්‍රමයක් නම් එම පාෂාණය තරමක් දිළිසෙනසුළු පොලිෂ් වූ ගතියක් පෙන්වීමයි. එසේම ඒ උල්කාෂ්ම විවිධ හැඩයන් ගන්නවා. සමහර ඒවා ඇඟිලි වලින් එබූ මඩ ගුලියක් පිළිස්සූ කළෙක මෙන් කුඩා වලවල් පෙන්නුම් කරනවා (Regmaglypts).
මේ අතරම කාබනික උල්කාෂ්ම (Carbonaceous Meteorites) නම් විරළ ( පතනය වන මුළු උල්කාෂ්ම වලින් 4.6% ක් පමණ) උල්කාෂ්ම ද මෙවැනි ස්වභාවයක් ගන්නවා.. සමහර ඒවා තරමක් රළු වනවා. ලංකාවට මෑතදී පතනය වූ උල්කාෂ්ම කාබනික උල්කාෂ්ම බවට මහාචාර්ය චන්ද්‍රා ජයරත්න මහතා පවසා තිබුණා. මේ උල්කාෂ්ම වල ජලය 3% - 22% අතර ප්‍රමාණයක් තිබෙනවා, අනෙක්වා කාබනික සංයෝග, සිලිකේට, ලෝහ ඔක්සයිඩ, සල්ෆයිඩ වැනි විවිධ සංයෝග අඩංගු වෙනවා. මෙම උල්කාෂ්මවල කාබනික සංයෝග අඩංගුවීමෙන් පැවසෙන්නේ ඒවා දැඩි උෂ්ණත්වයකට හසු වී නොමැති බවයි. මේවා සූර්ය නෙබියුලාවේ සංයුතියට සමාන බව පැවසෙනවා. මේවා වැඩිපුර රත්වීමකට ලක් නොවීම නිසා ජීවය පැවතිය හැකි බවට කෙනෙකුට තර්ක කළ හැකි වුවත්, මෙයට පෙර පතනය වූ කිසිම උල්කාෂ්මයක ජීවය ඇති බවට හඳුනා නොගැනීම නිසා මේ මතය බැහැර කිරීමට තවත් කෙනෙකුට හැකියි. මේ නිසා කාබනික උල්කාෂ්ම රාශියක් ජීවය ඇති-නැති බවට පරීක්ෂා කර හඳුනාගත යුතුයි.
මේ තිබෙන්නේ එවැනි කාබනික උල්කාෂ්මයක් සහ එහි හරස්කඩක්.
භෞතික ගුණ (Physical Properties)
උල්කාෂ්මවල සුවිශේෂ භෞතික ගුණ කිහිපයක් තිබෙනවා. පළමුවැන්න තමයි එහි ඇති අධික යකඩ ප්‍රතිශතය නිසා ප්‍රබල චුම්භක වලට ඇති ආකර්ෂණය. සාමාන්‍යයෙන් කුඩා චුම්භකයකට ද ප්‍රතිචාර දක්වන මේවා හරියටම හඳුනා ගැනීමට තරමක් ප්‍රබල චුම්භකයක් භාවිතා කළ හැකියි. ශීතකරණයක සවි කරන කුඩා සිහිවටනවල ඇති (Refrigerator Magnets) චුම්භක සමහර අවස්ථාවලදී භාවිතයට ගැනුනත්, මීට වඩා ප්‍රබල චුම්භක අප සතුව තිබෙන බව සමහරවිට ඔබ නොදන්නවා ඇති. ඔබ සතුව අකර්මන්‍ය වූ පරිඝණක දෘඪාංග තැටියක් (hard disk) ඇතිනම් එය තුළ ඇති ඉතා ප්‍රබල චුම්භක සොයාගත හැකියි. මෙවැනි චුම්භකයක් ඉතා පහසුවෙන් උල්කාෂ්මයකට ඇලී පවතිනු ඇති. එය පළමු සාක්ෂියයි.
නමුත් යකඩ අඩංගු පාෂාණ වන හීමටයිට් සහ මැග්නටයිට් ද මෙසේ චුම්භක වලට ආකර්ෂණය වන නිසා ඒවා උල්කාෂ්ම ලෙස වරදවා වටහා ගත හැකියි. මේ නිසා ඒවා හීමටයිට් සහ මැග්නටයිට් බවට සහතික කර ගත හැකි පරීක්ෂණයක් ද ඔබටම කළ හැකියි.
මේ පරීක්ෂණය සිදු කිරීමට ඔබට සෙරමික් ටයිල් එකක් හෝ බිඳුනු සෙරමික් පිඟානක් අවශ්‍ය වෙනවා. ඔබ උල්කාෂ්මයක් යැයි සැක කරන චුම්භක ගුණ ඇති පාෂාණය සෙරමික් ටයිල් එකේ ඇතිල්ලූ පසු රතු හෝ කළු පැහැයක් ඇඳෙනවා නම් එය උල්කාෂ්මයක් නොවේ.
එසේම මේ උල්කාෂ්ම පිටතින් බලා කළ හැකි පරීක්ෂණ අවසානයේ ඔබට මෙහි ඇතුලත පරීක්ෂා කිරීම ඇරඹිය හැකියි. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ පීරක් පමණයි. මේ උල්කාෂ්ම සමහරවිට වටිනා උල්කාෂ්ම විය හැකි නිසා ඒවා පළුදු කිරීමෙන් වටිනාකම අඩු වන නිසාත්, අවශ්‍ය පරීක්ෂණ වලට බාධා පැමිණෙන නිසාත්, හානිය අවම කරගැනීමට සුදුසුයි. මේ නිසා උල්කාෂ්මයේ එක් පසෙකින් කොටසක් තෝරාගෙන පීරෙන් හෙමින් එහි ඇතුළත නිරාවරණය වන සේ පීරිගාන්න.. ඉන්පසු ඔබට එහි ඇතුලත හරස්කඩක් ලැබෙනු ඇති.
ඒ හරස්කඩ මගින් උල්කාෂ්මයක් පැහැදිලිව හඳුනා ගත හැකියි.
සාමාන්‍ය පෘථිවි පාෂාණ වලට වඩා උල්කාෂ්ම වෙනස් වන තවත් ප්‍රධාන භෞතික ලක්ෂණයක් වන්නේ ඒවායේ ඝණත්වයයි. සාමාන්‍ය පාෂාණයකට වඩා උල්කාෂ්ම ඝණත්වයෙන් වැඩියි. පහත දැක්වෙන්නේ සාමාන්‍ය පෘථිවි පාෂාණ සහ උල්කාෂ්ම අතර වූ ඝණත්ව සංසන්දනයයි.
Rock Type | Density in grams / milliliter (mL) | Density in ounces / cup |
---|---|---|
Granite | 2.8 | 23 |
Sandstone | 2.6 | 21 |
Basalt or lava rock | 3.1 | 26 |
Hematite | 5.1 | 42 |
Stony meteorite | 3.5 | 29 |
Iron meteorite | 8.0 | 66 |
මේ භෞතිකව උල්කාෂ්මයක් හඳුනා ගන්නා ක්‍රම කිහිපයක්. රසායනිකව සහ උසස් භෞත රසායනික උපකරණ භාවිතයෙන් උල්කාෂ්මයක් හරියටම හඳුනාගැනීම පහසුවෙන් කළ හැකියි.
උල්කාෂ්ම හඳුනා ගැනීම රසායනිකව කිරීම සාමාන්‍ය පුද්ගලයින්ට විද්‍යාගාර පහසුකම් නොමැතිව නොහැකියි. මේ උල්කාෂ්ම බොහොමයක නිකල් අඩංගුයි ඒ වගේම සාමාන්‍ය පෘථිවි පාෂාණවල නිකල් ලෝහය අඩංගු නැහැ. මේ නිකල් ලෝහය සඳහා සුවිශේෂී පරීක්ෂණයක් කිරීම මගින් කිසියම් පාෂාණයක් හරියටම උල්කාෂ්මයක් ද නැද්ද යන්න සොයාගත හැකියි. නිකල් ආම්ලික මාධ්‍යයකදී ඩයිමෙතිල් ග්ලයොක්සීම් (DMG) සමඟ සංකීර්ණ අණුවක් තනනවා. මෙය රෝස පැහැතියි.
මේ සඳහා උල්කාෂ්මයෙන් ලබාගත් කුඩු ස්වල්පයක් ගෙන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ එම කුඩු කිසියම් ප්‍රමාණයකට දිය කර එම ද්‍රාවණය ඩයිමෙතිල් ග්ලයොක්සීම් (DMG) මගින් පරීක්ෂා කළ විට රෝස පැහැයක් ලබා දේ නම් එම පාෂාණය 99% ක්ම උල්කාෂ්මයක් බවට සහතික කරගත හැකිය.
මෙයට අමතරව Scanning Electron Microscope යන උපකරණයේ ලෝහමය සමස්ථානික රටාව ආශ්රයෙන් කිසියම් පාෂාණයක උප්පත්තිය නිසැකවම හඳුනාගත හැකියි. නමුත් මේ ක්‍රමය ලංකාවේ ඇතිනම් එය ඇති එකම ස්ථානය ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය විය හැකියි. (SLINTEC).
ඉතින් ඉහත දක්වා ඇත්තේ ලංකාව තුළදී කිසියම් පාෂාණයක් උල්කාෂ්මයක්ද නැද්ද හඳුනාගැනීමට යොදා ගත හැකි සරළ පරීක්ෂණ කිහිපයක්. මේ සරළ පරීක්ෂණ කිහිපය භාවිතයෙන් ඔබ උල්කාෂ්මයක් යැයි සැක කරන ඕනෑම පාෂාණයක් හඳුනා ගැනීමට හැකියි. මේ උල්කාෂ්ම සමහරවිට අධික වටිනාකමින් යුත් දේ විය හැකියි. ඒ නිසා ඔබ උල්කාෂ්මයක් සතු කරගත් පසු එය කුණු කූඩයකට නොදමා පරිස්සමෙන් තබා ගතහොත් අනාගතයේදී ඔබේ නමත් සමහරවිට විද්‍යාත්මක සොයා ගැනීමකට සම්බන්ධ විය හැකියි.
ඉතින්, ඔබ මිදුලට වැටෙන උල්කාෂ්මයක් හෝ පාරේ ඇවිදිනවිට පයේ හැපෙන ගල් කැබැල්ලක් උල්කාෂ්මයක්දැයි පරීක්ෂා කිරීමට ඔබටත් හැකියාවක් මේ මගින් ලැබේ යැයි මා සිතනවා.
ලිපිය දිගු වැඩි වන නිසා මෙයට වඩා විස්තර එකතු කරන්නෙ නැහැ..
මෙන්න මේ වෙබ් අඩවියේ ඇති ක්‍රම වලින් උල්කාෂ්මයක් හඳුනාගත හැකියි. එතැනට මෙතැනින් යන්න. තවත් එකක් මෙතැන.
How to identify a meteorite යනුවෙන් Google (හෝ Weemal) කළ විට ඔබට මේ ගැන වැඩිදුර විස්තර දැනගත හැකියි...
මෙය ඔබ බෙදාහදා ගන්නේ නම් ඇල්කෙමියාගේ දිනපොතින් උපුටා ගත් බවට නොකියන්න අකාරුණික වන්න එපා... මෙය වෙබ් අඩවි විස්සක් පමණ කියවා නිදිවරා ලියූ ලිපියක් නිසා එහි අගය මට හොඳටම දැනෙනවා.
Friday, February 8, 2013
දිගු කල් ජීවත් වෙන්න නිර්මාංශ ආහාර (Vegetarian Diet) වලින් ලැබෙන උදව්......
නිර්මාංශ ආහාර යනු සැම දෙනාම පාහේ දන්නා පරිපූර්ණව ශාක ආහාරයන්ගෙන් පමණක් සැදුම්ලත් ආහාරයි. සමහරුන් සත්‍ය වශයෙන්ම එහි වටිනාකම අවබෝධ කරගෙන නිර්මාංශ වන අතර තවත් සමහරු සිය ආගමානුකූලව නිර්මාංශ වීම සිදු කරයි. තවත් සමහරු මේ අතර මෝස්තරයට ද නිර්මාංශ වීම සඳහා යොමු වී සිටනවා. මෙසේ නිර්මාංශ වීමේ සීමාව එකිනෙකාගේ සිතුම් පැතුම් වලට අනුව වෙනස් වෙනවා.
කෙසේ වුවත්, නිර්මාංශ වීමෙන් සිදුවන වාසි අනන්තවත්. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට මෙන්ම තම තමන්ගේ චිත්ත ධෛර්යයේ ප්‍රමාණය අනුව මේ නිර්මාංශ වීම වෙනස් වෙනවා. මීට වසර දහයකට විස්සකට පමණ පෙර නම් නිර්මාංශ වීම පිළිබඳ මිනිසුන්ට තිබුණෙ වැරදි හැඟීම්... ශරීරය දුර්වල වෙන බව, ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබෙන බව මේ මිත්‍යා මත වලින් ප්‍රධාන දෙකක්. නමුත් කෙමෙන් කෙමෙන් නිර්මාංශ ආහාර ප්‍රචලිත වෙද්දී මේ දුර්මත බැහැර වුනා.. ලෝක ප්‍රසිද්ධ නළු නිළියන් සහ විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් නිර්මාංශ ආහාර වලට පුරුදු වෙන බව ප්‍රචලිත වෙද්දි බොහෝ දෙනා ඒ අනුව යමින් නිර්මාංශ වන්නත් පටන් ගත්තා. ඒ වගේම ඒ නිර්මාංශ වීමේ නියම තේරුම් දැනගත් අයත් ඒ හා සමානවම නිර්මාංශ වෙන්නට පටන් ගත්තා...
නිර්මාංශිකයින් වර්ග කිහිපයක් සිටිනවා.
සමහර නිර්මාංශිකයින් මස්, මාළු, කිරි බිත්තර භාවිතයෙන් වැලකෙනවා වගේම සතුන්ගේ සමින් සැදුන කිසිම භාණ්ඩයක් පාවිච්චි කරන්නෙත් නැහැ. මේ විවිධාකාර කාණ්ඩයන් නිර්මාංශ වීමේ ප්‍රමාණය අනුව කොටස් කිහිපයකට බෙදෙනවා.
- Fruitarians: මොවුන් සියළු සත්ත්ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා. එසේම සැකසූ ආහාර (processed foods) පවා භාවිතා කරන්නෙ නැහැ .
- Vegans: මොවුන් සියළු සත්ත්ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා.
- Lacto-vegetarians: මස් මාංශ සහ කිරි ආහාර භාවිතා කළත් බිත්තර පාවිච්චියක් නැහැ
- Lacto-ovo-vegetarians: මස් මාංශ වලින් වැලකුණත් බිත්තර සහ කිරි ආහාරයට ගන්නවා.
- Semi-vegetarians: මාළු සහ කුකුළුමස් වැනි සුදු මස් භාවිතා කළත් රතු මස් භාවිතා කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මේ අය නිර්මාංශ පුද්ගලයින් ලෙස වර්ග කෙරෙන්නේ නැහැ.
නිර්මාංශ ආහාර වේලකට පුරුදු වීම ඉතාමත් හිතකර පුරුද්දක් වුවත්, එම නිර්මාංශ ආහාර වේල් සෑමවිටම සමබල ආහාර වේලක් වීම වඩාත් සුදුසුයි. උදාහරණයක් වශයෙන් ඔබට නිර්මාංශ ආහාර ලෙස නිතරම පාහේ අල පෙති බැද ආහාරයට ගත හැකියි - නමුත් ඉන් ඇතිවන හානිය අධිකයි. ඒ නිසා නිර්මාංශ වනවා නම් එය ඉතාමත් කල්පනාවෙන් කළ යුත්තක්.
සමබල නිර්මාංශ ආහාර වේලක ඇති දේ බොහෝයි.....
- ධාන්‍ය වර්ග සහ පිෂ්ඨමය ආහාර: පරළු පාන් - ධාන්‍ය වර්ග ඇතුලත් කළ පාන්, රතු හාල්, සහ වෙනත් ධාන්‍ය වර්ග.
- රනිල කුළයේ ශාක ද්‍රව්‍ය: සෝයා බෝංචි සහ වෙනත් බෝංචි වර්ග, පරිප්පු, මුං, කජු, තල ආදිය.
- එළවලු සහ පළතුරු: විවිධාකාර එළවලු සහ පළතුරු වර්ග
- කිරි හෝ සෝයා නිෂ්පාදන: කිරි පානය කරන නිර්මාංශිකයින්ට කිරි ද එසේ නොමැති අයට සෝයා නිෂ්පාදනද සුදුසුය.
සාමාන්‍ය නිර්මාංශ ආහාර වේලක් මෙසේ ගැනීමෙන් මාංශ සහිත ආහාර වේලක ගුණයම ලැබේ. එසේම මෙයින් වැඩිපුර තන්තුමය ආහාර ලැබෙන නිසා ඇතිවන වාසි බොහොමයකි. වග බලාගත යුත්තේ මේ සියළු ගුණාංග ඇති ආහාර වේලක් ගැනීමයි.
නිර්මාංශ ආහාර පුරුද්දක් ඇතිකර ගැනීමේ විශාලතම වාසිය වන්නේ එයින් පිළිකා වැළඳීම වලක්වාලන නිසාය. 1997 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව වැඩි වශයෙන් නිර්මාංශ පැත්තට බර වන ආහාර රටාවක් මගින් ශරීරයට ඇතුළු වන පිළිකා කාරක ප්‍රමාණය අඩු කරගතහැකි බව පැවසෙනවා. සමහර කෑම වර්ග පිසීමේදී පිළිකා කාරක බහුවලික ඇරෝමැටික හයිඩ්‍රොකාබන සහ විශමචක්රිය ඇමීන (heterocyclic amines) ශරීරයට ඇතුළු වනවා. එළවලු සහ පළතුරු ආහාරයට ගැනීම පිළිබඳ සිදු කරන ලද වසර 200 ක පමණ පැරණි පර්යේෂණවල ප්රතිඵලයන් දෙස බැලීමේදී වැඩිපුර එළවලු සහ පළතුරු ආහාරයට ගන්නා පුද්ගලයින්ට පිළිකා වැළඳීමේ අවදානම 50% කින් අඩු වී ඇති බවත්, තවත් 20-50% අතර කාණ්ඩයකට කුමන ආකාරයේවත් පිළිකාවක් වැළඳීමේ හැකියාව අඩු වී ඇති බවත් සොයාගෙන තිබෙනවා.
මේ පිළිබඳ පසුගිය දශක දෙකෙහිදී සිදු කෙරුණ පර්යේෂණ ප්‍රමාණය අති විශාලයි. ඒ අනුව පිළිකා වලක්වන ශාක ආහාර වර්ග 40 ක් පමණ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. ගෝවා කුළයේ එළවලු වන බ්රොකොලි, කෝලිෆ්ලවර්, බ්රසල්ස්ප්රවුට්ස්, ගෝවා යන එළවලු; කැරට්, සෙලරි, පාස්ලි, කොත්තමල්ලි කොළ, උළුහාල් ආදී එළවලු සහ ඖෂධ පැලෑටි; වෙනත් එළවලු සහ පළතුරු වර්ග වන දොඩම්, තක්කාලි, පිපිඤ්ඥා, මිදි, බෙරි වර්ග ආදිය; බෝංචි, සෝයා බෝංචි; රතුහාල්, යවහාල් සහ බාර්ලි වර්ග; සහ විවිධාකාර කුළුබඩු වර්ග වන සුදුළූණු, රතුළූණු, ඉඟුරු, කහ, සහ රෝස්මෙරි, තයිම්, ආදී ඖෂධ පැලෑටි වර්ග මේ සුපිරි ආහාර ගණයන්ට අයත් වෙනවා.මේ ආහාර වල පිළිකා වලක්වන රසායනික වන කැරොටිනොයිඩ, ෆ්ලේවනොයිඩ, අයිසොතයෝසයනේට, අයිසෝෆ්ලේවෝන, එලෙජික් අම්ලය, ග්ලූකරේට, කුකර්මින්, ලිමිනොයිඩ්, ලිග්නන්, ෆීනොලික අම්ල, තැලීඩ්, සැෆොනීන්, ෆයිටොස්ටෙරෝල්, සල්ෆයිඩ, ටර්පිනොයිඩ, ආදී විවිධාකාර සංයෝග රාශියක් අඩංගු වෙනවා. මේ නිසා මේ ආහාරවල අඩංගු මේ සංයෝග පිළිකා කාරක ද්‍රව්‍ය හා සටන් කර ඒවායින් ඇති කරන මුක්ත ඛණ්ඩ හා ක්‍රියා කර මුක්ත ඛණ්ඩ විනාශ කරනවා. මේ නිසා පිළිකා සෑදීමේ අවදානම අඩු වෙනවා. මේ ආහාර වල ප්‍රතිඔක්සිකාරක (Antioxidants) අඩංගු යැයි කියන්නේ මේ නිසායි.
හෘද රෝග - Heart Disease
නිතිපතා එළවලු පළතුරු ආහාරයට ගැනීම මඟින් හෘද රෝග වැළඳීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තිබෙනවා. ඉතාලි ජාතිකයින් 47,000 ක් යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය වූයේ වැඩියෙන් එළවලු අනුභව කළ අයගේ හෘද රෝග වැළඳීමේ ප්‍රතිශතය සියයට 21 කින් අඩු වී ඇති බවත්, පපුවේ මහන්සිය - රිදීම වැනි රෝගයන් සියයට 11 දක්වා අඩු වී ඇති බවයි. බ්‍රිතාන්‍යයේ පැවැත්වූ තවත් පර්යේෂණයකින් අනාවරණය වූයේ නැවුම් පළතුරු වැඩිපුර ආහාරයට ගන්නා අය හෘදරෝග වලින් මිය යාමේ ප්‍රවණතාවය සියයට 24 කින් සහ මස්තිශ්ක වාහිනී පිපිරීමෙන් මිය යන (ආඝාතය - stroke) ප්‍රවණතාවය සියයට 32 කින් ද අඩු වී ඇති බවයි. එසේම අමු එළවලු වලින් සැදි සැලඩ් දිනපතා ආහාරයට ගන්නා අය ද හෘදරෝගවලින් මිය යාමේ ප්‍රවණතාවය සියයට 36 කින් අඩු වන බව සොයාගෙන තිබෙනවා.
තවත් පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ දීර්ඝකාලීනව මස් මාංශ ආහාරයට ගන්නා අයට වඩා කිරි සහ බිත්තර සහිතව නිර්මාංශ ආහාර ගන්නා අය රුධිර වාහිනී ආශ්රිත හෘද රෝග වලින් මිය යාමේ ප්‍රවණතාවය සියයට 24 කිනුත්, පරිපූර්ණ නිර්මාංශ (vegan) ආහාරයට ගන්නා අය සියයට 57 කිනුත් අඩු වන බවයි.. එනම් නිර්මාංශිකයින් හදිසි මරණවලට ගොදුරු වීමේ අවදානම අඩු බවයි. එසේ වන්නේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය නිර්මාංශ ආහාර මගින් දැඩි සේ පාලනය වීම නිසා එසේ අකල් මරණයනට ගොදුරු වීම අඩු වෙනවා.
ආඝාතය සහ දියවැඩියාව (Stroke and Diabetes)
දීර්ඝකාලීන පර්යේෂණ වලින් අනාවරණය වී ඇති කරුණු අනුව නිර්මාංශ ආහාර ගන්නා අයට සහ විශේෂයෙන්ම නොපිසූ නිර්මාංශ ආහාර (Raw Vegan Diet) ගන්නා අයට දියවැඩියාව සහ ආඝාතයන් වැළඳීමේ බ්‍රවණතාවය බොහෝ අඩු බව සොයාගෙන තිබෙනවා. මේ අනුව මාංශ සහිත ආහාර ගන්නා අය නිර්මාංශිකයින්ට වඩා 20 -30 % වැඩි ප්‍රමාණයකින් ආඝාතයන් නිසා මරණයට පත් වීමට හැකි අතර නිර්මාංශිකයින්ගේ රුධිර පීඩනය ද ක්‍රමවත්ව පවත්වාගෙන යාම පහසු බව සඳහන්.නිර්මාංශිකයින් අධික තරබාරුකමින් නොපෙළෙන අතර බොහෝ විට සතුටින් සිටින කාණ්ඩයක්.. ධාන්‍ය සහ ඇට වර්ග අධිකව ආහාරයට ගන්නා නිර්මාංශිකයින්ට දියවැඩියාව වැළඳීම අඩු බවත් සොයාගෙන තිබෙනවා. එසේම දියවැඩියාව සහ හෘද රෝග යන බෝ නොවන මාරාන්තික රෝග දෙකම ආහාර පාලනය මගින් වලක්වාගැනීම පහසු බව ආහාර විශේෂඥයින් පවසනවා.
ඉතින් මේ දක්වා ඇත්තේ නිර්මාංශ වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිපල කිහිපයක්. එසේම නිර්මාංශ වීමෙන් තවත් සතෙකුගේ ජීවිතයක් ද නොනසා ඉතිරි කරගන්නත් පුළුවනි. නිර්මාංශිකයින් බොහොම සතුටින් ජීවත් වන සැහැල්ලු ජීවිත ගත කරන එසේම ආවේගයන් නොදරන පාලනය කරගත් මනසක් සහිත පුද්ගලයින්... මේ අය අතින් වැරදි සිදු වනවා බොහොම අඩුයි. මක් නිසාද යත්, නිර්මාංශ වීමට ඉතා ඉහළ මානසික පාලනයක් තිබිය යුතුයි. මේ නිර්මාංශ ආහාර පුරුදු ගැන ඔබට කියන මමත් ඉඳලා හිටලා හෝ කුකුළු මස් කැබැල්ලක රස බලනවා. මට වුවත් ඒ මානසික පාලනය ඇති කරගන්න තවමත් අමාරුයි...
ඉතින් ඒ විතරක් නොවෙයි. නිර්මාංශ වීම පොකට් එකටත් හොඳයි.. ඒ කෙසේ වුවත්, මේ නිර්මාංශ ආහාර වස විස නැති රසායනික පොහොර සහ රසායන ද්‍රව්‍ය නොයෙදූ නිර්මාංශ ආහාර වනවා නම් ඉතාම හොඳයි. කෙතරම් නිර්මාංශ වුවත්, ඒ එළවලු පළතුරුවල ඇත්තේ වසවිස නම්, ඒ නිර්මාංශ වීමෙන් ඇති ප්‍රතිඵලයක් නැහැ... ඒ නිසා තමන්ගේ වත්තේ වස විස නොයොදා වගා කරගතහැකි යමක් අමුවෙන් කන්න පුළුවන් නම් එයින් ඇතිවන වාසි ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ...
Subscribe to:
Posts (Atom)