Saturday, January 5, 2013

පිටස්තරයා............... දහ අටවන දිගහැරුම................


:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුමනසේකර මහත්මයා.... මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්... ඔබට හෙටම ඇමරිකාව බලා යන්න පුළුවනි.
අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී රොනල්ඩ් මැන්කැඩ් පෞද්ගලිකවම මැදිහත් වී සුමනසේකර යුවලගේ ඇමරිකානු වීසා සහතිකපත් සඳුදා දිනම ඔවුනට සකස් කර දුන්නේ විශ්වගේ සැපදුක් බලා ගැනීමේ අපේක්‍ෂාව ඉක්මනින්ම මල්පල ගැන්වීමටය. සෙනසුරාදා සාකච්ඡා කරගත් පරිදි ඔවුන් දෙපළ ඇමරිකාව බලා යාමට ගුවන් ටිකට්පත් එදිනම වෙන්කරවා ගැනීම නිසා සඳුදාම වීසා ලබා ගැනීමට සිදුවිය. මේ කර්තව්‍යය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇති නිසාත්, සුමනසේකර යුවල නොදන්නා බොහෝ කරුණු කාරණා රොනල්ඩ් මැන්කැඩ් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරීන් දන්නා නිසාත්, මේ කටයුත්ත ඉතා ඉක්මනින් කර දීමට තානාපති කාර්යාලය පසුබට වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූවේ තමන් අතින් සිදු වූ වැරැද්ද කෙසේ හෝ නිවැරදි කර ගැනීමටයි.. එසේ කටයුතු කිරීමේදී සාමාන්‍ය ක්‍රියා පටිපාටි වලින් බැහැරව ක්‍රියා කිරීමට අදාල පාර්ශවයේ ඕනෑම කෙනෙකු කටයුතු කරයි.
එදින සවසම සුමනසේකර දෙපල සිය ඥාතිපුතු බැලීම සඳහා පසුදින ඇමෙරිකාව බලා යාම සඳහා ලක ලෑස්ති වූහ. ඊට පෙර ඒ බව වොෂිංටන් බෞද්ධ විහාරයේ වැඩ වසන තමාට බොහෙවින් හිතවත් මඩකුඹුරේ අත්ථදස්සි හිමියන්ට දැන්වීම සඳහා සුමනසේකර මහතා දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.
හලෝ.... වොෂිංටන් බෞද්ධ විහාරය.......
ලොකු හාමුදුරුවනේ මේ මම... සුමනසේකර.....
ආ... සුමනසේකර මහත්මයා... කොහොමද ?.....
හොඳින් ඉන්නවා ලොකු හාමුදුරුවනේ.... අපි මේ හෙට එනවා කියලා දන්වන්නයි කතා කළේ.... අත්ථදස්සි හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවද ?
අත්ථදස්සි හාමුදුරුවො නම් දැන් භාවනා කරනවා... මම දන්වන්නම් සුමනසේකර මහත්මයා කතා කළා කියලා... ඊයෙ හවසත් අත්ථදස්සි හාමුදුරුවෝ රෝහලට ගිහින් පිරිත් කියලයි ආවෙ.... ඊයෙ නම් ඒ දරුවා අතක් හෙලෙවුවා කියලා උන් වහන්සෙ කිවුවා... අදත් පිරිත් කියන්න හවස වඩිනවා කියලා කිවුවා... තුන් වේලක් වත් පිරිත් කියන්න ඕන නෙ හරි හැටි ගුණයක් ලබන්න...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පසුදින උදෑසන සේවයට ගියද, සෑම දෙනාගේම කතාබහ වූයේ විශ්වට සිදු වූ අනතුර පිළිබඳවයි. ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් යන දෙදෙනාම සැම දෙනාගේම කාර්යාල කාමර වලට පැමිණ පෞද්ගලිකවම සිය සේවක කැළගේ මානසික තත්ත්‍වය පිළිබඳ සොයා බැලූහ. ඉතා තදින් බැඳුන වියමනක් මෙන් වූ මේ හත්දෙනාගේ මානසිකත්‍වය මේ අවස්ථාවේ ඉහළින් තබාගත යුතු බව කළමණාකාරීත්‍වයේ  හසළ දැනුමක් ඇති මේ දෙදෙනාම හොඳින් දැන සිටියහ. ඒ නිසාම පෞද්ගලිකවම ඔවුන්ගේ මානසික තත්ත්‍වය පිළිබඳ සැලකිලිමත් වීමට දෙදෙනාම උනන්දු වූහ.
මොලී වැඩිපුර විශ්ව පිළිබඳ සැලකිළිමත්වීම ගැන මෙගන්ට තිබුණේ ඊර්ෂ්‍යාවක්ද යන්න බොහෝ දෙනා තුළ තිබූ ප්‍රශ්නයකි. එළිපිට නොපෙන්වුවත් මෙගන් නිතරම වාගේ මොලී සමඟ තිබුණේ නොරිස්සුමකි. විශේෂයෙන්ම සති අන්තයේ සිදු වූ කලබැගෑනියට තමාගෙන් කිසිම දායකත්‍වයක් නොවීම පිළිබඳ ඇය සැම දෙනා සමඟම අමනාපයකින් පසු වූවාය.. එය එළිපිට නොපෙන්වුවත් සිදු වූ කතාබහේදී මෙගන්ගෙන් නිකුත් වූ හඬින් එය සැමටම තේරුම් ගොස් තිබුණි. කෙසේ වෙතත් රසායනාගාරයේ සියල්ලන්ම සිටියේ දැඩි කණස්සලු ස්වභාවයකිනි... මොලී අන් සියල්ලන්ටම වඩා පසුතැවිල්ලකින් පසුවන ආකාරයක් පෙණුනි...
අවසන ඇය සිය ප්‍රධානියා වන ආචාර්ය නීල් ෆියුගේ කාමරය වෙත පිය මැන්නාය.....
නීල්.... ඇය දොරට තට්ටු කරන ගමන්ම ඔහු ඇමතුවාය..
ඔව් මොලී.... ඇයි ? මොකක් හරි ප්‍රශ්නයක්ද ?
ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.... මම අද හවස ටිකක් කලින් යන්න ඕන.... මම විශ්ව බලන්න යනවා...
මට තේරෙනවා.... මම මේ පුද්ගලික ප්‍රශ්නයක් අහනවා නෙවෙයි..... ඔයා මේ ටික දවසට විශ්වට ගොඩක් සමීප වුනා නේද ?
නැහැ කියන්න බැහැ නීල්... විශ්ව එක්ක සතියක කාළයක් වැඩ කරද්දි තේරෙනවා එයා බොහොම හොඳ ඒ වගේම බුද්ධිමත් කෙනෙක් කියලා... ඒ තරම්ම සමීපතාවයක් නැහැ... නමුත්........
ඒක අසාමාන්‍ය නැහැ මොලී.... විශ්වට මෙහේ කවුරුත් නැහැ.... සමහරවිට ඔයා දන්නවා ඇති විශ්වගෙ පවුලෙ තොරතුරු... මගේ අකැමැත්තක් නැහැ ඔයාට පුළුවන් නම් විශ්ව මේ ඉන්න තත්ත්‍වයෙන් ගොඩ ගන්නවට... අපට විශ්ව යථා තත්ත්‍වයට ගන්න ඕන ඉක්මනටම... මේ පර්යේෂණයෙ බොහොම වැදගත් වැඩකොටසක් විශ්වගෙ අතින් කෙරෙන්න ඕන... මේ පර්යේෂණයට විශ්වගෙ දැනුම  බොහොම වටිනවා.... මට මේ කොල්ලව කොහොම හරි ආපහු මේ ලැබ් එකට ගේන්න ඕන.... ප්‍රශ්නයක් නැහැ... විශ්ව ගොඩ එනකල් ටිකක් වේලසන යන්න.. මම දන්නවා ඒ කාළය අපතෙ යන්නෙ නැහැ කියලා...  මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට දන්වන්න... මම ඒක නිරාකරණය කරලා දෙන්නම්...
බොහොම ස්තූතියි නීල්.... බොහොම ස්තූතියි....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මෙන්න වාර්තාව... උණු උණුවෙ ආවෙ.... තාම විශ්ලේෂණය කරන්න බැරි වුනා....
මොනවද තියෙන්නෙ ?
හිතා ගන්න බෑ... එක දෙයක් කියලා නෑ... අච්චාරුවක්....
අපට විශ්ලේෂණය කරන්න බැරි තරම් සංකීර්ණද ?
මට හිතෙන විදියට මේකට හොඳම කෙනා සයන්ටිස්ට් රාහුල් ගුප්තා....
රාහුල් ගුප්තා... අර පිස්සු හටන ?
ඔව්... මිනිහා කාබනික රසායනය කරපු කෙනෙක්නෙ... මේක  ගෙනිහින් අහලා බලමු.... ඇහුවයි කියලා අපට පාඩුවක් නැහැනෙ...
යමු... කෝ මිනිහා දැන්....
දැනුත් ලැබ් එකේ ඇති.... මිනිහට ඉතිං ලැබ් එකෙන් තොර ලෝකයක් නෑනෙ......
ඔවුන් රාහුල් ගුප්තා සිටින රසායනාගාරයට යන විටත් රාහුල් සිටියේ පරීක්‍ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කරමිනි.
එෆ් බී අයි ආයතනයේ වැදගත්ම ඒකකයක් වන රසායානාගාරයට විවිධාකාර රසායන ද්‍රව්‍ය සහිත සාම්පල ලැබේ. මෙහි සිදු කෙරෙන පරීක්‍ෂණ මත සැකකරුවා වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද යන්න තීරණය වන නිසාත්, ඒ තීරණය මතම ඔහුගේ ජීවිතය පිළිබඳ ඉරණම විසඳෙන නිසාත් බොහෝවිට එකම පරීක්‍ෂණය දෙතුන් වතාවක් සිදු කර නිරවද්‍යතාවය තහවුරු කරගනු ලබයි. එසේ වුවත් සමහර තාක්‍ෂණික නිලධාරීන් මූලික පරීක්‍ෂණ සිදු කරන්නේ එතරම් තැකීමකින් තොරවය. මේ නිසාම රසායනාගාරයේ ‍ජ්‍යෙෂ්ඨ රසායනඥයින් ඉතා ඉහළ මට්ටමකින් යුතු දත්ත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරති. සමහරවිට තමාම ඒ පරීක්‍ෂණය සිදුකර එහි නිරවද්‍යතාවය තහවුරු කර ගනු ලබයි. ඉන්දියානු ජාතික - දැනට ඇමරිකානු ජාතිකත්‍වය ලබා ඇති රාහුල් ගුප්තා කාබනික රසායන විශ්ලේෂණය පිළිබඳ විශාරදත්‍වයක් ලබා ඇති පුද්ගලයෙකි. ඔහුගේ පෞරුෂත්‍වය සමාජගත ආයතනයකට නොගැලපුනද ඔහු සතු විශේෂඥ දැනුම නිසාම දැඩි අවදානමක් ගැනීමෙන් පසුව එෆ් බී අයි ආයතනය රාහුල් ගුප්තාව සිය රසායනාගාරයේ විද්‍යාඥයෙකු ලෙස  බඳවා ගත්තේය... වැඩි සමාජ ආශ්‍රයක් නොමැති ඔහු සිය රාජකාරිය දේවත්‍වයෙන් සළකනවා පමණක් නොව සිය විද්‍යාඥ තනතුර ද ඉතා ඉහළ තත්ත්‍වයක තබා ක්‍රියා කරයි.. එසේ නොවන්නට රාහුල් සාමාන්‍ය මිනිසෙකි.
හලෝ රාහුල් ගුප්තා....
යාළුවා.... නම්බු දීලා කතා කරන්න පුරුදු වෙනවා.... සයන්ටිස්ට් රාහුල් ගුප්තා.....
හරි හරි.... සයන්ටිස්ට් රාහුල් ගුප්තා... අපි මේ ආවෙ ඔයාගෙ විශේෂඥ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න...... අපි දන්නවා ඔයා තමයි මේ විෂය හොඳටම දන්නෙ කියලා..
ආ... එහෙම එන්න... කියමු බලන්න මොකද්ද ප්‍රශ්නෙ කියලා.....
මෙන්න මේකයි ප්‍රශ්නෙ... අපට ලැබුණා තෙල් සාම්පලයක්... මේ තියෙන්නෙ ඒ සාම්පලයේ වර්ණලේඛ විශ්ලේෂණ සටහන (Gas Chromatogram )......... මේක අනුව කියන්න පුළුවන්ද මේ සාම්පලයෙ අඩංගු තෙල් වර්ගය මොකද්ද කියලා ?

වායු-ද්‍රව වර්ණලේඛණයක් (Gas-Liquid Chromatogram)
වායු-ද්‍රව වර්ණලේඛණයක් (Gas-Liquid Chromatogram)

දෙයියනේ... මේක තෙලක්ද නැත්නම් කොහෙන් හරි කානුවකින් හොයා ගත්ත ජරාවක්ද ?
ඒ මොකද එහෙම අහන්නෙ ?
මේක පිරිසිදු තෙලක් නෙවෙයි... මේකෙ තියෙන්නෙ ලොකු මිශ්‍රණයක්....
කොහොමද එහෙම කියන්නෙ ?
එහෙම කියන්නෙ මම හොඳට දන්න නිසා.... තනි තෙල් වර්ගයක මේ තරම් විශාල සංඝඨක මිශ්‍රණයක් දකින්න බැහැ... තිබුණත් මේ වගේ අනුපාත නැහැ... මම සගන්ධ තෙල් (Essential Oils) ගැන හොඳට දන්නවා... මේක අනිවාර්යයෙන්ම සංඝඨක දහයකට වැඩි මිශ්‍රණයක්...... මේ මිශ්‍රණය විශ්ලේෂණය කරන්න ඔහොම බෑ..   අයියෝ  මට ගෙනැත් දුන්න නං ඉවරයි නෙ... කෝ සාම්පලය තියෙනවද ?
ඔව්... ලැබ් එකේ තියෙනවා...
මට ගෙනැත් දෙන්න සාම්පලේ... ඔය ලැබ් එකේ ඉන්න තාක්‍ෂණික නිලධාරියො දන්න ඉටිගෙඩියක් නෑ... උන් දන්නෙ ඔයාල දෙන සාම්පලේ ඔහේ ගහලා වාර්තාව දෙන්න විතරයි... මේ වගේ සාම්පලයකට වෙනම තත්ත්‍ව සකසන්න ඕන.. සමහර සංඝඨක ඉක්මනින් වාශ්පෂීලී වෙනවා.. තවත් සමහර ඒවා අඩු වාශ්පශීලීතාවයක් තියෙන්නෙ.. ඒ නිසා මේ පරීක්‍ෂණයෙ තත්ත්‍වයන් වෙනස් කරන්න ඕන... මට දවස් දෙකක් දෙන්න.. මම සම්පූර්ණ වාර්තාවම දෙන්නම්...
හරි.. මම සාම්පලය දැන්ම ගෙනත් දෙන්නම්... බොහොම ස්තූතියි සයන්ටිස්ට් රාහුල් ගුප්තා... ඔබ නම් අපේ ගැලවුම්කාරයෙක්....
කිසි දේකට බයවෙන්න එපා.... මොකද්ද නම කිවුවෙ ?
ආ... මම ජේසන්...
හරි... ජේසන්... කිසි දේකට බය වෙන්න එපා... මම දවස් දෙකකින් වැඩේ කරලා දෙන්නම්.... මොකද්ද මේ සාම්පලය...
අනේ සයන්ටිස්ට් රාහුල් ගුප්තා. ඒකනම් කියන්න බෑ... අතිශය රහසිගතයි...
හරි හරි.... මම දන්නවා...
හරි... එහෙනම්.... අපි යනවා... බොහොම ස්තූතියි..සයන්ටිස්ට් රාහුල් ගුප්තා...
හරි... මට සාම්පලය දැන්මම ගෙනැත් දෙන්නකෝ...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සාම්පලයේ තිබුණේ මොනවාද ?