Thursday, May 2, 2013

බෞද්ධයාගේ භක්තිය සහ ආගම් ඇදහිල්ල මෙහෙමයි....


පසුගිය සිකුරාදා මහනුවර බලා ගියේ සාමාන්‍යයෙන් ලැබිය නොහැකි සුවිශේෂී අවස්ථාවක් උදා කර ගැනීමේ අටියෙන්. අපේ ඥාතියෙකු විසින් භාරගත් දළදා වහන්සේට දානය පිරිනැමීම සඳහා පාත්‍රයක් පූජා කිරීමේ අවස්ථාවකට සහභාගී වීමේ දුර්ලභ අවස්ථාව අපටත් උදා වුනා. ඒ නිසා අප සැවොම ඒ සඳහා නුවර බලා පිටත් වුනා.
දළදා මන්දිරය යනු කුමන ආගමක් ඇදහූවත්, කුමන දර්ශනයක් අනුගමනය කළත් - හෝ අනාගමික වුවත්, සෑම දෙනෙකුම කිසියම් භක්තියක් මුසු හැඟීමකින් ඇතුළුවන ස්ථානයක්. මේ නිසාම එයට ඇතුළුවන පිරිස් කිසියම් සංයමකයට ලක් වෙනවා. දණහිසට වඩා ඉහළට ඇඳුම් ඇඳ ඇති අයට පාද වැසෙන සේ කිසියම් රෙද්දක් ලබාදීම, පපු පෙදෙස නිරාවරණය වූ කාන්තාවන්ට රෙද්දක් පෙරවීම වැනි දෑ සිදු කරන්නේ සාමාන්‍ය ජනතාවට අපිරිසිදු හැඟීම් මතු නොවීමට කටයුතු සැලසීමක් වශයෙනුයි.

බෞද්ධාගමිකයින් වශයෙන් පන්සලකට යාමේදී අනුගමනය කළ යුතු මූලිකම දෑ සමහරු අමතක කර තිබීම නම් බොහොම දුක්ඛදායකයි. සමහරු ඇඳලා සිටියේ කළුපාට - දම්පාට සහ කොළපාට ඇඳුම්.. තවත් සමහරු Angry Bird ටීශර්ට්... ඔය අතරේ තවත් ගෑණු ළමයෙක් I do it before the wedding කියලා පපුවෙ ගහගෙන ඇවිත් තිබුණා..මම හිතන්නෙ වෙඩින් එක ප්ලෑන් කරන එක වෙන්න ඇති. මේ මොනවා වුනත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද පන්සලකට - විශේෂයෙන් දළදා මාලිගාවට වැනි තැනකට පැමිණීමේදී පිරිසිදු සුදු ඇඳුමින් සැරසී ආ යුතු බව ? සමහරු නම් ඇවිත් තිබුණෙ ට්‍රිප් යන ගමන්. නමුත් තමන් ට්‍රිප් එකක් යන අතරේ දළදා මාලිගාවට එනවා කියන දේ නිසි සූදානමකින් පැමිණුනා නම්, එතැනදී ඇඳුමක් මාරු කරගන්න හෝ ඇඳ සිටින ඇඳුමට උඩින් සුදු ඇඳුමක් හෝ ඇඳගන්න නොහැකිද ? සමහරු තර්ක කරන්නට පුළුවන් තමන් අදහන ආගමට භක්තියක් ඇතිනම් කුමන ඇඳුමක් ඇන්දත් කමක් නෑ කියලා.. ඒ ගැන මම තර්ක කරන්න යන්නෙ නැත්තෙ ඒ ගැන කතා කරලා වැඩක් නැති බව මට හැඟෙන නිසා..

මට තේරෙන හැටියට නම් සිදු කළ යුත්තේ සුදු පැහැය 90% - 95% කට වඩා අඩු ප්‍රමාණයක් ඇති ඇඳුම් ඇඳි අය ආපසු හරවා යැවිය යුතු බවයි. එසේම සුදු ඇඳුම් ඇන්දත්, ශරීරය අනවශ්‍ය ආකාරයට නිරාවරණය වන හෝ අනවශ්‍ය ලෙස තදවන ආකාරයට ඇඳුම් ඇඳි අයත් හරවා යැවිය යුතුයි. මේ අන්දමට මාසයක් පමණ කාළයක් මේ කටයුත්ත නිසි ආකාරයට සිදු වනවා නම් නිසි විනයක් ඇතුව පන්සලකට යාමට බෞද්ධ ජනතාව පුරුදු වේවි. මේ කාරණය අනිත් ආගම් භක්තිකයන්ගෙන් දැකිය නොහැකියි. සිකුරාදා පල්ලි යන මුසල්මානුවන් නිසි පරිදි තමන්ගේ ඇඳුමින් සැරසිලයි පල්ලියට යන්නෙ.. මුස්ලිම් ආක්‍රමණයක් ගැන කෑ ගහන බොදු බල සේනාවරුනුත්, ෆේස් බුක් බෞද්ධයිනුත් මේ ගැනත් හිතුවොත් නරකද ?