Thursday, January 31, 2013

පිටස්තරයා............. පහලොස්වන දිගහැරුමේ සිට විසි එක්වන දිගහැරුම දක්වා


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්පිටස්තරයා............. අටවන දිගහැරුමේ සිට  දහහතරවන දිගහැරුම දක්වා

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

තමන්ට සැක කටයුතු පුද්ගලයින් නිරීක්‍ෂණය කිරීමේදී උසස් තාක්‍ෂණය යොදා ගැනීම බටහිර රටවල අපරාධ පරීක්‍ෂණ ආයතනවල සාමාන්‍ය පුරුද්දකි. මෙය නියමිත සාක්‍ෂි සියල්ල පටිගත වනවා පමණක් නොව වැරදිකරුවාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේදී බිඳිය නොහැකි සාක්‍ෂි ලෙස භාවිතා කළ හැක. මේ නිසා අපරාධ පරීක්‍ෂණ සම්බන්ධව පර්යේෂණ කෙරෙන බොහෝ ආයතනවල මූලිකත්‍වය ලැබෙන්නේ ඇසට නොපෙනෙන තරමේ කුඩා කැමරා සහ පටිගත කිරීමේ උපකරණ නිපැයුම, ඒවායේ ධාවන කාළය වැඩි කරගෙන වැඩිපුර දත්ත එක්රැස් කරගැනීමේ තරඟයටය. ඉතා කුඩා කැමරා, කටහඬ සම්ප්‍රේෂණය කිරීමේ උපකරණ ආදිය නිවෙස්වල සවි කිරීම සිදු කර දත්ත එකතු කර ගනු ලැබේ. එයට ඒ අංශවල Bugging the premises යැයි කියනු ලැබේ. සමහර කැමරා සහ පටිගත කිරීමේ උපකරණ අවට ඇති චුම්භක ක්‍ෂෙත්‍රවල , සූර්යාලෝකය හෝ තාප ධාරාවක ආධාරයෙන් විදුලිය නිපදවා ගැනීමටත්, නොකඩවා මාස ගණනාවක් දත්ත සැපයීමටත්, කිසිවෙකුට නොපෙනී සඟවා තැබීමටත් හැකි වන සේ සකසා ඇත. මේ නිසා සුවිශේෂී හඳුනා ගැනීමේ උපකරණ (bug detectors) නොමැතිව මේ රහස්‍ය පටිගත  කිරීමේ උපකරණ නිවසක සඟවා ඇතිදැයි සාමාන්‍ය මිනිසුන්ට සොයා ගත නොහැක.
හරිද ? ඔක්කොම වැඩ කරනවද ?
ඔව්... සාලය නම් පැහැදිලියි... නිදන කාමරයත් ප්‍රශ්නයක් නැහැ.. නාන කාමරය තමයි පොඩි ප්‍රශ්නයකට එන්නෙ...
ඇයි... මේ කැමරාව තියෙන තැන අනුව උණු ජල කරාමය ඇරියාම නාන කාමරය පුරා පැතිරෙන ජලවාෂ්ප නිසා කැමරාවෙ දර්ශන අවහිර වෙන්න පුළුවනි..
කරන්න දෙයක් නැහැ... අපිට වෙන තැනක මේක සවි කරන්න බැහැ... අහු වුනොත් අපට ප්‍රශ්නයක් නැති වුනත් අපට ලැබෙන්න තියෙන දත්ත නැති වෙනවා...  කමක් නැහැ.. අනෙක් කාමර දෙකේ තියෙන කැමරා වලින් හොඳ පින්තූර අපට ලැබෙනවනෙ... ඇරත්, නාන කාමරවල කැමරා හයි කරනවට අපේ ලොක්කො වැඩිය කැමතිත් නැහැනෙ....
ඇත්ත... දැන් බලන්න ඔක්කොම හරියට නැවත තිබූ තැන්වලම තියෙනවද කියලා.... එක් තරුණයෙක් එසේ පවසද්දී.....
ආ බය වෙන්න එපා... ඒක එහෙම නැති වුනත් අපට එයාට කියන්න හේතුවක් හොයා ගන්න පුළුවන්... තරුණිය පිළිවදන් දුන්නාය....
හැබැයි ජෙනී වැරදිලාවත් ඔයා මේ ගෙදරට ආවොත් ඉතිං අපට කැමරා නවත්වන්න බැරිවෙයි...
හරි හරි... අපි ඒක පස්සෙ බලා ගනිමු.... තමුසෙලා ගෑණු නොදැකපු මිනිස්සු නෙවෙයිනෙ... අපට වැදගත් වෙන්නෙ මේ කරන්න ආපු වැඩේ..... තරුණිය නැවතත් ඔවුන් දෙදෙනාට පැවසුවාය....
එෆ් බී අයි නිලධාරීන් බොහෝ විට වෙස්වලාගෙන ගොස් තම ඉලක්කය කරා ඇදේ. මෙසේ වෙස්වලා ගැනීමේදී සමහරවිට නිවාස පිරිසිදු කරන පුද්ගලයින්, වෛද්‍ය කණ්ඩායම්, ආගම පතුරවන්නන් වැනි විවිධ අන්දමේ සමාජයීය කොට්ඨාස ලෙස හැසිරෙමින් අදාල ඉලක්කය කෙරෙහි ලඟා වීමට ඔවුහු කටයුතු කරති.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද විශ්වට වෙලා තියෙන්නෙ ? සුමනසේකර මහත්මිය නැවතත් නොයිවසිල්ලෙන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාගෙන් විමසුවාය..
නීලා... පොඩ්ඩක් ඉවසන්න... ඒ මනුස්සයට විස්තර කරන්න ඉඩ දීලා.... කවදත් නිවුනු ගති පැවතුම් ඇති සුමනසේකර මහතා කිසි දිනක කිසිදු හේතුවක් නිසා හෝ කළබල වන්නකු නොවේ...
මේකයි සුමනසේකර මහත්මයා.. අද විශ්ව රැකියා ස්ථානයෙන් පිටවෙන වෙලාවෙ බීමතින් රිය පදවාගෙන ආපු කෙනෙක් පදවපු ට්‍රක් එකක් විශ්වගේ වාහනයෙ හැපිලා... ඒ මනුස්සයා නම් එතැනම මිය ගිහින්.. නමුත් විශ්වට ඒ තරම් කරදරයක් නැහැ කියලයි ආරංචි... මේ වන විටත් ශල්‍යකර්මයකට භාජනය කරලයි තියෙන්නෙ.. විශ්වගේ කකුලේ දණහිස අසලින් බිඳිලා... පපුවේ අස්ථියක් බිඳීම නිසා තරමක අපහසුවක් තිබෙනවා... නමුත් අපේ හමුදා රෝහලේ විශේෂ නිරීක්‍ෂණය යටතෙයි ඔහු පසුවන්නෙ... ඒ නිසා බය වෙන්න තරම් දෙයක් නැහැ. විශ්වගෙ සේවා ස්ථානයෙ අද්මිරාල් බවර් තමයි මේ බව ඔබට දන්වන්න කිවුවෙ.. විශේෂයෙන් විශ්වගෙ පියා එක්සත් ජනපදයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සිදු කළ සේවය නිසාමත්, විශ්වගේ  සේවා ස්ථානයේ සුවිශේෂී බව නිසාමත් තමයි අපි සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව ඔබට මේ දැනුම්දීම කරන්න නිවසටම පැමිණියෙ..
දැන් අපට විශ්ව ගැන කොහොමද තොරතුරු දැනගන්නෙ ? ඒ ළමයාගෙ ටෙලිෆෝන් එකවත් වැඩ කරන්නෙ නැහැ. අපට ඇමරිකාවෙ තියෙන එකම සම්බන්ධය වොෂිංටන් බෞද්ධ විහාරයෙ ස්වාමීන් වහන්සේලා පමණයි... නමුත් උන්වහන්සේලාට කරදර කරන්න අපට බැහැ...
බය වෙන්න එපා. අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔබව සම්බන්ධ කරන්නම්... නමුත් අපි ආවෙ ඒ කාරණය දැනුම් දෙන්න පමණක්ම නොවෙයි.
එහෙනම්.... තවත් ප්‍රශ්නයක්ද ?
නැහැ නැහැ... විශ්වගෙ රැකියා ස්ථානයෙන් අපට දැන ගන්නට ලැබුණ විදියට විශ්ව තරමක අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක්. ඔහුගෙ භාරකරු විදියට ඔබට කියන්න පුළුවන්ද මේ සුවිශේෂිතාවය ඔහුට ලැබුණ අන්දම....
මහත්මයා... මට බොහොම කණගාටුයි... දියුණු රටක පුද්ගලයෙක් වෙලත් ඔබ සිතන අන්දම ගැන... විශ්ව කියන්නෙ අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක් තමයි... ඒ දරුවා භාෂා හයක් පැහැදිලිව නිවැරදිව කතා කරන පුද්ගලයෙක්.. ඒ දක්‍ෂතාවය ඔහුට ලැබිලා තිබෙන්නෙ දෙමාපියන් සමඟ රට රටවල වසර ගණනාවක් ගත කිරීම නිසා... අමතක කරන්න එපා ඔහුගෙ දෙමාපියනුත් උගත් බුද්ධිමත් දෙපළක්.. ජාන වලින් වුවත් මේ බුද්ධිමත් බව පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය වෙනවා. ඒ වගේම අළුතෙන් භාෂාවක් කෙනෙක් ඉගෙන ගන්නවා කියන්නේ ඒ පුද්ගලයාගේ මොළයේ තවත් අළුත් කොටසක් වර්ධනය වෙනවා. මේ නිසා විශ්වගේ බුද්ධිය භාෂා හයක් කතා කිරීමේදී ඉතා ඉහළ වර්ධනයක් පෙන්වනවා ඇති. ඒක කොහොමත් සාමාන්‍ය ජනගහනයෙන් සියයට පහත් දහයත් අතර පුද්ගලයින්ගේ දැකිය හැකි දෙයක්... විශ්ව අසාමාන්‍ය දරුවෙක් නොවෙයි. නමුත් ඔහුටම ආවේණික විවිධ පුරුදු ඔහුට තිබෙනවා... ඒත් ඒවා වුවත් අසාමාන්‍ය නැහැ.
සමාවෙන්න අහනවාට... ඔහු කිසියම් රෝගයක් සඳහා බෙහෙත් ගන්නවද ?
මම දන්න තරමට නම් නැහැ.. විශ්ව කියන්නෙ තමන්ගෙ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ හොඳට සැලකිළිමත් වන දරුවෙක්... විශ්ව නිර්මාංශික වුනේ අවුරුදු 16 දි පමණ.. එදා ඉඳලා කිරි එකක්වත් බොන්නෙ නැහැ... නිතර නිතර ව්‍යායාම් කරන නිරෝගී පුද්ගලයෙක්..
ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැද්ද ?
මම දන්න තරමට නම් ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැහැ... හෙම්බිරිස්සාවක් උණක් හැදුනත් ඉඟුරු වැනි සරළ බෙහෙතක් තමයි පාවිච්චි කරන්නෙ. ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නෙ ? විශ්ව ගැන මොනවාහරි විශේෂ දෙයක් ඔබලා අපට හංගනවද ?
නැහැ නැහැ... අපි සාමාන්‍යයෙන් අපේ රාජ්‍ය ආයතනවල සේවය කරන පුද්ගලයන්ගේ පෞද්ගලික පසුබිම් තොරතුරු ඉතා දැඩි ලෙස පරීක්‍ෂා කර බලනවා.. මොකද කියනවා නම් විශ්ව සේවය කරන්නෙ අතිශය වැදගත් ස්ථානයක... එවැනි පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිතයත් අපට බොහොම වැදගත්... ඒ නිසයි අපි මේ පසුබිම් තොරතුරු සොයන්නෙ... අපි මේ හමුවීම යොදා ගන්න තිබුණෙ ලබන සතියෙ වුවත් අවාසනාවකට විශ්වගේ අනතුර පිළිබඳ දැනුම් දෙන්නත් අද සිදුවීම නිසා මේ අවස්ථාව ඒ තොරතුරු දැනගැනීමටත් අපට භාවිතා කරන්නට සිදු වුනා.. ඔබට විශ්ව ගැන සුවිශේෂී තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ අංකයට මට කෙළින්ම කතා කරන්න. මම ඔබට සියළු විස්තර සපයන්නම්... ඔබට ඇමරිකාවට දැන්ම යන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා පහසුකම් සපයන්නම්... ඔබට වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබේ නම් අපි අවශ්‍ය වීසා සියල්ල සකසා දෙන්නම්...
සාමාන්‍ය මිනිසුන්ට ඔබ මේ වගේ සැලකිල්ලක් දක්වන්නෙ නැහැ නේද ? ඇයි මේ අපට මේ වගේ සුවිශේෂී සැලකිල්ලක් ?
අවිශ්වාස කරන්න එපා... විශ්වගේ සේවා ස්ථානයෙන් තමයි අපට මේ උපදෙස් ලැබුණේ... ඒ අයට විශ්ව සුවිශේෂී පුද්ගලයෙක්... ඒ වගේ අයට අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා...
හොඳයි.. බොහොම ස්තූතියි... අපට විශ්ව බලන්නට යන්න අවශ්‍යයි... අපි තීරණයක් ගත් වහාම ඔබට දැනුම් දෙන්නම්....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී නැවතත් සෙනසුරාදා උදෑසනම රෝහලට පැමිණියාය.
තවමත් වෙනසක් නැද්ද ඩොක්ට ?
නැහැ මොලී.. තවම මොළයේ සංඥා ව්‍යාකූල තත්ත්‍වයක තිබෙන්නෙ.... මේ රටාවන් දිහා බැලුවාම පෙනෙන්නෙ ඔහු කිසිවක් සිතමින් සිටින ආකාරයක් හෝ යමෙකු සමඟ කතා කරන ආකාරයක්. ඒ සටහන් සියල්ල බොහොම සාමාන්‍යයි. නමුත් තවමත් ඔහු පියවි සිහියට නොපැමිණියේ ඇයිද කියලා කියන්න අපට බැහැ.
මේ අනතුර නිසා මොළයට හානියක් වෙලා නැහැ කියලා  හොඳටම විශ්වාසද ?
නැහැ... බය වෙන්න එපා.. අපි ලබා ගත් ස්කෑන් ඡායාරූප අනුව නම් කිසිම හානියක් වෙලා නැහැ.  අපි තව ටිකක් බලමු... කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ. මේ රෝහල ලෝකයේ හොඳම හමුදා රෝහල් වලින් එකක්.
මම විශ්වගෙ කාමරයට යන්නද ?
කමක් නැහැ... ගිහින් බලන්න... දැන් ඔහු ස්ථාවර තත්ත්‍වයට පත්වෙලයි ඉන්නෙ.... දැනෙන වෙනසක් නැහැ... නමුත් පියවි සිහිය ට නොපැමිණීම පිළිබඳ අපි නිතරම පරීක්‍ෂාවෙන් ඉන්නෙ....
ස්තුතියි..
ඇය විශ්ව සිටි කාමරය වෙත පා නැඟුවාය...
සියල්ල වෙනස් වී ඇත... මේ තමා බලාපොරොත්තු වූවක් නොවේ... ඇය බලාපොරොත්තු වූයේ විශ්ව හා එක්ව සිය පර්යේෂණය සිදු කිරීමත් ඉන් එහාට යමක් සිදුවනු ඇතිනම් ඒ සඳහා ඉඩක් ලබා දීම විනා මෙසේ ව්‍යාකූල තත්ත්‍වයක් නොවේ. නමුත් සියල්ල සිදු වී හමාරය.. එන දේකට මුහුණ දෙනවා හැරෙන්නට කළ හැකි යමක් නොමැත..
ඈ පසෙක වූ පුටුවෙහි අසුන්ගෙන විශ්ව දෙස බලා සිටියාය.... විශ්වගේ සැබෑ වෙනසක් ඇය දකින්නට විය... වෙනදා තිබූ පැහැපත් පෙනුම ක්‍රමයෙන් වියැකී ගොස් ඇති සෙයක් පෙනුනි. ඒ අනතුර නිසා සිදු වී ඇති වෙනසක් ලෙස ඇයට දැනුනි. කෙතරම් තර්කානුකූල බුද්ධියක් හෝ අවස්ථාවට උචිත ලෙස හැඩ ගැසීමේ පුහුණුවක් ලබා තිබුණත් තමාට සමහර හැඟීම්බර අවස්ථාවලදී ඒ හැඟීම් දරා ගත නොහැකි බව මොලීට වැටහුණි. ඇය නියපොත්තක් සපමින් කල්පනාවට බර වූවාය.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද සුමනෙ අපි කරන්නෙ ? සුමනසේකර මහත්මිය ඇගේ සැමියාගෙන් ඇසුවාය.
මොනවා කරන්නද ? අපි සුදුපුතා බලන්න යන්න ලෑස්ති වෙමු.
මමත් හිතුවෙ ඒකම තමයි... කෝකටත් අපි ලොකු හාමුදුරුවොන්ට කතා කරලා පිරිත් ටිකක් කියෙවුවොත් නරකද ?
මමත් ඒ ගැන හිතුවා... අපි කෝකටත් කියලා ලොකු හාමුදුරුවන්ට කතා කරලා බලමු..
..............................................................................................
එදින දවසම මොලී ගත කළේ විශ්වගේ ඇඳ පාමුලය... සිය ප්‍රධානියාගෙන් විටින් විට පැමිණෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමටත්, සිය සගයින්ගෙන් ලැබෙන කෙටි පණිවුඩවලට පිළිතුරු දීමටත්, පුරුද්දක් ලෙස සැමතැනම ගෙනයන අයි පෑඩය භාවිතා කර පොතක් කියවීමටත් ඇය සිය කාළය ගත කළාය.
සවස් වරුවේත් විශ්ව අසලම සිටි ඇය පිටත්ව යාමට සූදානම් වෙද්දී, අගේ අවධානය බිඳුනේ විශ්ව සිටි කාමරය වෙත සන්සුන් ගමනින් පැමිණි වොෂිංටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේලාගේ පැමිණීම නිසාවෙනි.
උන් වහන්සේලා සමඟම පැමිණියේ එම අංශය භාර වෛද්‍යවරයාත්, වොෂිංටනයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු වූ ගීතාංජන ලංකාතිලක මැතිතුමාත්ය.
සුභ සවස්යාමයක් මහත්මිය.. මම ගීතාංජන ලංකාතිලක.. වොෂිංටනයේ තානාපති කාර්යාලයෙන්...
මම මොලී... මොලී ඕ'රියෝර්ඩන්... විශ්වගෙ කාර්යාලයෙ විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ...
මොලී... අපි විශ්වට පිරිත් ටිකක් සජ්ඣායනය කරන්නයි යන්නෙ... සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්‍වයේ සිටින පුද්ගලයෙකුට අපේ ආගමේ හැටියට පිරිත් සජ්ඣායනය මගින් සෙතක් සැලසෙන බව අප පිළිගන්නවා.. විශ්වගේ භාරකරුවනුත් අපෙන් ඉල්ලා සිටියා විශ්වට පිරිත් සජ්ඣායනය කරවන හැටියට... ඒකයි මම මේ වොෂිංටන් විහාරයේ ස්වාමීන් වහන්සේලා කැටුව ආවෙ... ඔබට කැමති නම් මෙතැන රැඳී ඉන්න පුළුවන්....
උන් වහන්සේලා පිරිත් සජ්ඣායනය පටන් ගනිත්දී මොලී පසෙක රැඳී සිටියාය.....
පිරිත් සජ්ඣායනය සිදුවන අතරතුර මොහොතකින් සියල්ල වෙනස් වන්නට විය...................
අක්‍රමවත්ව තිබූ විශ්වගේ මොළයේ සංඥා ක්‍රමයෙන් කිසියම් රටාවකට අනුකූලව සැකසෙන්නට විය... විශ්වගේ හෘද ස්පන්දන වේගය සහ රටාව ක්‍රමවත් වන්නට විය.... ක්‍රමයෙන් සියල්ල යථා තත්ත්‍වයට පත් විය....

පියවරෙන් පියවර ක්‍රමවත් වන මොළයේ සංඥා සටහන

පියවරෙන් පියවර ක්‍රමවත් වන මොළයේ සංඥා සටහන

පසෙක සිටි විශේෂඥ වෛද්‍ය වරයාටද සිදු වන්නේ කුමක්දැයි යන්න වටහා ගත නොහැකි විය... පිරිත් සජ්ඣායනය කරමින් සිටි ස්වාමීන් වහන්සේලා මේ කිසිවක් නොදැන සිය සජ්ඣායනය පවත්වමින් උන්හ... අංශභාර ප්‍රධාන වෛද්‍යවරයා විශ්වගේ කාමරයට දිව ආවේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඇමතුම තමා බලාපොරොත්තුවූවක් නොවන නිසාමය...
කොහොමද මෙහෙම  දෙයක් වෙන්නෙ ? මෙච්චර වෙලාවක් කිසිම දෙයකට ප්‍රතිචාරයක් දක්වපු නැති කෙනෙක් මේ ආගමික වතාවත් වලට ප්‍රතිචාර දක්වන්නෙ ? ප්‍රධාන වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයාගෙන් රහසේ විමසීය....
පිරිත් සජ්ඣායනය කරමින් සිටි මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ වෛද්‍යවරුන් දෙපළ දෙස නෙත් කොණින් හැරී බලා හිස සැළුවේ තමා ඒ ප්‍රශ්නයට නිසි පිළිතුර දන්නා නියාවෙනි... පිරිත් සජ්ඣායනය නිම වනතුරු විශවගේ මොළයෙන් ලැබෙන සංඥා නිරීක්‍ෂණයටත් ඒ පිළිබඳ සැළකිළිමත් වීමටත් වෛද්‍යවරු දෙපළ වග බලා ගත්තේ තමන් නොදන්නා යම් දෙයක් අත්ථදස්සි හිමියන්ගෙන් ලැබිය හැකි බව ඔවුන්ට දැණුනු නිසාවෙනි.
නිතිපතා භාවනා කටයුතුවල යෙදෙන, භාවනාව පිළිබඳ හසළ බුද්ධියක් ඇති අත්ථදස්සි හිමියෝ බුදු දහම පිළිබඳ පමණක් නොව අන් ආගම් පිළිබඳව මනා අවබෝධයක් තිබූ හිමිනමකි. භාවනාව පමණක් නොව වෙනත් විෂයයන් පිළිබඳවද ග්‍රන්ථ ගණනාවක් ලියා පළ කර ඇති උන් වහන්සේ බටහිර පවා භාවනාව පිළිබඳවත්, අභිඥාන විද්‍යාව (Noetic Science) නම් බටහිරට අළුත් වූ මිනිස් සන්තානයේ අවදි නොකළ කොටස් පිළිබඳ හැදෑරීම සහ මිනිස් චිත්ත ශක්තිය පිළිබඳ හදාරන පුද්ගලයින් අතරත් දැඩි ගෞරවයට පාත්‍ර වූ හිමිනමකි.  තමා කවුරුන්දැයි කිසි විටෙකත් නොම වදාරන උන් වහන්සේ කවුදැයි යන්න එම විෂයෙහි නියැලෙන පුද්ගලයින් මෙන්ම බොහෝ මනෝ වෛද්‍යවරු, ස්නායු වෛද්‍යවරු දැන සිටියහ. ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ මහාචාර්ය වරයෙකු වන මයිකල් ගෝල්ඩ්බර්ග් මහතා අත්ථදස්සි හිමියන් දුටු සැණින් හඳුනා ගත්තේය.
පිරිත් සජ්ඣායනය අවසානයේ අත්ථදස්සි හිමියන් වෙත ගිය වෛද්‍යවරු දෙදෙන තම නැණ පමණින් ගෞරවාචාර දක්වා සිටියහ.
ස්වාමීන් වහන්සේ වොෂිංටන්වල ඉන්නවා කියලා අපි දන්නෙ දැන්...
ඔව්... මම මේ දවස්වල වැඩ ඉන්නෙ වොෂිංටන් බෞද්ධ විහාරයේ.... මේ දිනවල තමයි බෞද්ධාගමානුකූලව වස් පින්කම් තිබෙන්නෙ.. ඒ නිසා මම මාස තුනක් එක දිගට වැඩ ඉන්නෙ වොෂිංටන් විහාරයේ... මට ඔබේ සාකච්ඡාව යන්තමින් ඇසුනා... මම ඒ ගැන කතා කරන්නයි සිටියෙ ඔබත් සමඟ........ උන් වහන්සේ පවසා සිටියහ.
ඇත්තෙන්ම අපටත් ගැටළුවක් වුනේ ඒක තමයි... මොකද කියනවා නම් රෝගියාගේ මොළයේ සංඥා සියල්ල නිරෝගී වුවත් අසාමාන්‍ය ලෙස ක්‍රියාශීලියි. ඒ වගේම සිහිය නොමැතිව සිටින කෙනෙකුගෙන් මේ වගේ ක්‍රියාශීලී සහ නිරෝගී සංඥා ලැබෙනවා අප දුටු මුල්ම අවස්ථාව මේ... ඒ නිසාම මේ සිද්ධිය අපි දැඩිව විශ්ලේෂණය කරනවා...
මේ වගේ සිදුවීම් බොහොමයක් ආසියානු රටවල වාර්තා වෙලා තිබෙනවා... ඇත්තෙන්ම අභිඥාන විද්‍යාවෙත්, පෙරදිග ආගම්වලත් සොයාගෙන තිබෙන  දෙයක් තමයි මිනිස් සිතුවිලි නින්දේදී පවා ක්‍රියාත්මකව තිබෙන බව... උදාහරණයක් විදියට අපි යමක් සිතමින් නින්දට ගියොත් ඒ දේ සිහිනෙන් පෙනෙන්නෙ මෙන්න මේ මානව විඥානය නින්දේදී ක්‍රියාශීලී වන නිසා. ඔබ දන්නවා ඇති සමහර විද්‍යාඥයින් ලොව මවිත කරවන නිර්මාණ සිදු කරලා තිබෙන්නෙ සිහිනෙන් දුටු දේ පදනම් කරගෙන... මේ සිදුවීමේ එතරම් විශේෂත්‍වයක් මම දකින්නෙ නැහැ. අනිත් කාරණය තමයි ඔබ දුටුව සංඥාවල ඇතිවූ වෙනස... පිරිත් හරියට ගණ පිහිටුවා සජ්ඣායනය කළොත් බොහොම හොඳ ප්‍රතිඵල ලබාදෙන  දෙයක්. බුදුන් කාළයේ සිට රහතන් වහන්සේලා පිරිත් දේශනා කිරීමේදී නියම ගණ පිහිටවා සිදු කරලා තිබෙනවා. නමුත් දැන් සිදු වෙන්නෙ පිරිත් දමා ගැසීමක්. මේ නිසා නියම බලය ලැබෙනවා අඩුයි... මේ පිරිත්වලින් මුලින්ම සිදු වෙන්නෙ මිනිස් සිත ඒකාග්‍රතාවයකට ගෙන ඒම. ඉන්පසු ශබ්ධ රටා සහ ඒ ඒ සංඛ්‍යාත වලින් රෝගියාගේ හෝ අදාල පුද්ගලයාගේ වෙනස්වීම් සිදු වෙනවා. මේවා පරමාණුක අණුක තත්ත්‍වයක සිට සිතුවිලි වෙනස්වීම් දක්වා විශාල පරාසයක බල පැවැත්වෙනවා. මෙය සිදු වෙන්නෙ බුද්ධාගමේ පමණක් නොවෙයි. මේ සිදුවීම් වෙනස්ව සහ අඩු වැඩි වශයෙන් වෙනත් ආගම්වල යැදීම් හෝ ස්තෝත්‍ර ගායනා වලදීත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් පල්ලියක යාඥා කිරීමේදී බොහෝ දෙනා එක් සිතිවිල්ලක සිට ඒ ඒ යාඥාව සිදු කරනවා.. මෙන්න මේ අවස්ථාවේදී ඒ එක් එක් පුද්ගලයාගෙන් විහිදෙන ශක්තිය ඒකරාශී වීමක් සිදු වෙනවා... එවිට ලැබෙන ප්‍රතිඵලය තනි පුද්ගලයෙකුගේ යාඥාවට වඩා බලවත්....
රෝගියා මේ පිරිත් සජ්ඣායනයට ප්‍රතිචාර දැක්වුවා කියලද ඔබ වහන්සෙ හිතන්නෙ ?
සත්තකින්ම....ඔබමයි කිවුවෙ අපි පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්‍රමාණුකූල වුනා කියලා.. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුනේ කියලා...
දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්‍රමාණුකූලද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට පුළුවන් මම කියන සංසිද්ධිය.
විශ්වගේ ඇඳ අසල සවි කර තිබූ මොළයේ සංඥා සටහන් යන්ත්‍රයේ සටහන් වූයේ පෙර පරිදිම අක්‍රමවත් සටහනකි... අත්ථදස්සි හිමියෝ නැවතත් වෛද්‍යවරුන් දෙදෙනා වෙත හැරුණි...
අපට මේක පර්යේෂණ කරන්න වෙලාවක් නොවෙයි... නමුත් ඔබට මේ ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම් පන්සලට එන්න... මම ඔබට සවිස්තරාත්මකව කියා දෙන්නම්... නමුත්  අභිඥාන විද්‍යාව කියන්නෙ බොහෝ දෙනෙකු හිතන්නවත් පෙළඹෙන්නෙ නැති දෙයක්. බුදුන් වහන්සේගේ කාළයටත් පෙර විසූ විවිධ ඍෂිවරු මේ අභිඥාන විද්‍යාව බොහෝ සේ ප්‍රගුණ කරලා තිබුණා... මේ නිසාම ඔවුන්ට විවිධාකාර මාර්ගපල ලැබීමට පවා හැකියාව තිබූ බව විවිධ වේද ග්‍රන්ථවල සඳහන්.. අපේ මේ නවීන විද්‍යාව දියුණුයි කියා අපි උදම් ඇනුවට, ඇත්තෙන්ම ඒ කාළයේ තිබූ දැනුමට ලංවන්නට වත් අපට තවම හැකියාවක් නැහැ... ඒ කාලෙ මේ වගේ උපකරණ නොමැතිවයි ඒ ඍෂිවරු දැන් විද්‍යාවෙන් කියැවෙන සංකල්ප වසර දහස් ගණනකට පෙර ඉදිරිපත් කළේ...
වෛද්‍යවරු දෙදෙනා නිරුත්තරව අත්ථදස්සි හිමියන් වෙත අවධානය යොමු කරගෙන අසා සිටින්නට විය...
සමහරවිට මේ දරුවා කිසියම් අවස්ථාවක සිර වෙලා සිටිනවද කියලත් මට හිතෙනවා... ඒ වගේ අවස්ථාවල සිටින උදවියත් මේ වගේම බොහොම අවධියෙන්, නමුත් පියවි සිහියෙන් තොරව සිටිනවා... මනෝ වෛද්‍යවරයෙක් ලෙස ඔබ හොඳින්ම දන්නවා නේ මෝහනය වුන පුද්ගලයෝ ගැන... මට හිතෙන විදියට මේ දරුවත් ඒ මෝහනය වුන අවධියක සිටිනවද කියලා මට සැකයි... කොහොම වුනත් අපි තව සවස් කිහිපයකම මේ විදියට පිරිත් සජ්ඣායනය කරන්න එන්නම්. අපට වැදගත් වෙන්නේ මේ දරුවා නැවතත් යථා තත්ත්‍වයට ගෙන ඒම මිසක්, මොන ක්‍රමයෙන් යථා තත්ත්‍වයට ගෙන එනවද කියන එක නොවයි නෙ... ඒ නිසා අපි මේ අංශ දෙකෙන්ම ප්‍රතිකාර කරමුද කියන යෝජනාව ඔබතුමාට ගෙන එන්න කැමතියි...
කිසිම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්ස... මමත් ඒකට එකඟයි... අපි නැවතත් මේ ප්‍රතිකාරය හෙට සවස කරමු... මම ඉඩකඩ සලස්වා දෙන්නම්...
බොහොම හොඳයි දොස්තර මහත්මයා... අපි ගොහින් එන්නම්... හෙට හමුවෙමු...
එතෙක් වේලා පසෙක අසුන්ගෙන මේ සියළු සංවාදවලට නිහඬව ඇහුම්කන් දුන් විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා සහ තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විශ්වගේ කාමරයෙන් පිටව ගියහ.
ඒ අතරතුර මොලී හා සංවාදයේ යෙදුනු ලංකාතිලක මහතා විශ්වගේ බොහෝ තොරතුරු රැසක් මොලී හා හුවමාරු කරගත්තේය... ඒ අනුව විශ්වගේ ලොකු මාමා සහ නැන්දා ඉක්මනින්ම විශ්ව බැලීමට එන බව මොලී දැනගත්තාය....
නික්ම යාමට ප්‍රථම තවත් වතාවක් විශ්ව බැලීමට ඇය විශ්වගේ කාමරයට පියමැන්නාය....
ඇය  පිටුපසින් කිසිවෙකු සිටින බව ඇයට වැටහුනි... පිටුපස නොහැරී ඉදිරිපස වූ වීදුරුවෙන් ඇගේ පිටුපස සිටින්නේ කවුදැයි තීක්‍ෂණව ඇය බැලුවාය.....
දැක හුරුපුරුදු තරුණයින් දෙදෙනකු තමා පිටුපස විශ්වගේ කාමරයට පැමිණ ඇතිබව ඇය දුටුවාය...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද  ජෙනී කිසි කතාවක් නැතුව.........
මොනවා කතා කරන්නද ? බලනවා තමුසෙලා කරපු වැඩේ..... මේ මනුස්සයා ඉන්න තත්ත්‍වය. ! මොකද ලොක්කා කියන්නෙ ?
මොනවා කියන්නද ? දැන් ඉතිං කරන්න තියෙන්නෙ ඩැමේජ් කන්ට්‍රෝල් තමයි..... හොඳ වෙලාවට අපි පොලීසියට කතා කරලා අපේ මිනිහව නිදහස් කළා....මාධ්‍යවලට කිවුවෙ එතැනම මැරිලා කියලා. මොනවා වුනත් මිනිහා ඇවිත් තියෙන වේගෙ හොඳටම වැඩියි... අනිත් එක තමයි මෙයා ට්‍රක් එක එනවා දැකලා අනිත් ලේන් එකට කාර් එක අරගෙන... ඒ නිසා තමයි හරහට හැපිලා තියෙන්නෙ.... නැතිනම් වැඩිය හානියක් නැහැ...
දැන් කාර් එකට කොහොමද ?
කාර් එක ගන්න දෙයක් නැහැ... ඒක රක්‍ෂණ සමාගමට කියලා අළුතෙන් එකක් ගන්නයි වෙන්නෙ..... ඒත් කවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා... අපි ප්ලෑන් කළේ මෙච්චර ලොකු දෙයක් කරන්න නෙමෙයිනෙ...
මොනවා කළත් කමක් නෑ... මුලින්ම අපි බලන්න ඕන මෙයාව ගොඩ ගන්න... මේ වැඩේ හරි නොගියොත් අපි තුන්දෙනාම ගස්.... මම නම් කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ බරපතල දෙයක්... අපි මීට වඩා සූක්‍ෂම වෙන්න තිබුණා කියලා මට හිතෙනවා. මම යනවා... මට වැඩ ගොඩක් තියෙනවා.. කෝකටත් පරිස්සමින්... කරන දෙයක් කාටවත් ඇඟවෙන්නෙ නැතිවෙන්න කරන්න....  ඇය නොරිස්සුම් සහගත හැඟීමෙන්, එසේම කිසියම් දුකකින් ඔවුන් දෙදෙනාගෙන් වෙන්ව ගියාය.
.....................................................................................................................
එදින රාත්‍රියේ වොෂිංටන් බෞද්ධ විහාරයේ දුරකථනය නාද වෙන්නට විය.....
ලොකු හාමුදුරුවනේ........ මේ මම සුමනසේකර කතා කරන්නෙ........
ආ  සුමනසේකර මහත්මයා..... අපි අද ගිහින් විශ්වට පිරිත් ටිකක් කියලයි ආවෙ.... අපි බලාපොරොත්තු වුනේ තුන් දවසක්ම පිරිත් කියන්නයි...
අනේ කොයිතරම් හොඳයිද ලොකු හාමුදුරුවනේ..... කොහොමද අපේ දරුවට ?
සුමනසේකර මහත්මයා කිසි දේකට බය වෙන්න ඕන නැහැ..... විශ්ව ඉන්නෙ ඇමරිකාවෙ හොඳම හමුදා රෝහල් වලින් එකක... එතැන හොඳම පහසුකම් තියෙන්නෙ... ඒ අය ඕනවටත් වඩා හොඳින් එයාව බලා ගන්නවා.. හැරත්, තානාපති කාර්යාලයෙනුත් ලොකු සැලකිල්ලක් තියෙනවා විශ්ව ගැන... සූර්යබණ්ඩාර මහත්මයා ඉතිං තානාපතිතුමාගෙ හොඳ යාළුවෙක් නෙ... ඒ නිසා ඒ පැත්තෙනුත් ලොකු උදව් තියෙනවා... කිසිම අඩුවක් වෙන්නෙ නැහැ.... බය වෙන්න එපා....... දැන් කවදද  සුමනසේකර මහත්මයා මේ පැත්තෙ එන්නෙ ?
අපි හෙටම එන්නයි හිතන් ඉන්නෙ ලොකු හාමුදුරුවනේ.... ඒ ගැන කතා කරගන්න තමයි මේ කතා කළේ...
ආ.. බොහොම හොඳයි... බොහොම හොඳයි.. අපි මෙහෙන් කෙරෙන්න ඕන සියළුම දේ කරන්නම්... හෙට පැවැත්වෙන වස් පිංකමේදිත් අපි විශ්ව මතක් කරලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා...
අනේ බොහොම පිං ලොකු හාමුදුරුවනේ.....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::;;
ආ..... මේ එන්නෙ.......... අපි හිතුවෙ එන එකක් නැහැ කියලා.... කොහොමද විශ්වට දැන් ?
තවම සිහිය නැහැ...... හවස පන්සලේ හාමුදුරුවරු ඇවිත් පිරිත් කිවුවා.... එතකොට නම් පොඩි වෙනසක් තිබුණා... නමුත් ආයෙම පරණ තත්ත්‍වයටම පත් වුනා....
ඒ කොහොමද එහෙම වෙන්නෙ ?
මමත් කියන්න දන්නෙ නැහැ... ඩොක්ටර්ස්ලටත් ඒක ප්‍රශ්නයක් වුනා... මම දැක්කා ඒ දෙන්නම කවුදෝ හාමුදුරු කෙනෙක් එක්ක ගොඩක් වෙලා කතා කරනවා... මේක මම හිතන විදියට නම් බොහොම බරපතල තත්ත්‍වයක්... විශ්වට ලොකු අමාරුවකුත් නැහැ. මොළයේ සංඥා සියල්ල නිරෝගීයි... නමුත් සිහිය එන්නෙ නැහැ... කෝකටත් මම හෙටත් යනවා බලන්න....
අපිත් එන්නම් බලන්න යන්න... කොහොම වුනත් මිනිහා හරිම හොඳයි... කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්.. දැන් එයත් අපේම කෙනෙක් නෙ....
මම හිතන්නෙ නැහැ හැමෝටම එයාව බලන්න යන්න පුළුවන් කියලා... කෝකටත් අද්මිරාල් බවර්ට කතා කරලා ඔයාලගෙ නමත් ලැයිස්තුවට ඇතුලත් කරන්න... ඒක හමුදා රෝහලක් නිසා ආරක්‍ෂාව තදයි....
ඇයි මෙච්චර ඉස්පිරිතාල තියෙත්දි එයාව දුර තියෙන හමුදා රෝහලටම ඇතුලත් කළේ ? එයා හමුදාවට අයිති කෙනෙක් නෙවෙයි නෙ..
මම හිතන්නෙ නම් ඒක අද්මිරාල්ට තියෙන සම්බන්ධය නිසා වෙන්න ඇති... මොකද, අනතුර වුන වෙලාවෙම තමයි අද්මිරාල්ට පණිවුඩය ගිහින් තියෙන්නෙ... ආරක්‍ෂක නිලධාරීන් තමයි මුලින්ම පණිවුඩය දීලා තියෙන්නෙ... අද්මිරාල් වෙන්න ඇති විශ්ව ව හමුදා රෝහලට ගෙනයන්න කියලා කියන්න ඇත්තෙ...
කොයි තරම් කාලයක් යයිද මිනිහට සිහිය එන්න ? පව්... ඇවිල්ලා සති දෙක-තුනයි ගියේ... ජීවිතේ පටන් ගත්තා විතරයි...
මටත් තියෙන දුක ඒකයි.... කොහොම වුනත් ඉක්මනට සිහිය ඒවි කියලා හිතනවා... අපි බලමු...තවම දවසක් වත් ගියේ නැහැනෙ...
කොහොමද ඔච්චර හානියක් වෙලා තියෙන්නෙ ? විශ්වගෙ කාර් එක ඉවරෙටම ඉවර වෙන්න ?
ආරංචියෙ හැටියට නම් බීමත් රියදුරෙක් ලොකු ට්‍රක් එකක් පදවගෙන ඇවිත් තමයි හැපිලා තියෙන්නෙ... ඒ රියැදුරා නම් එතැනම මිය ගිහින් කියලයි පොලීසියෙන් කිවුවෙ... හදිසි ආපදා සේවකයෝ එයාගෙ මළසිරුර අරගෙන ගිහින් තිබෙනවා.. මම දන්නෙත් එච්චරයි... අවසන මොලී පැවසුවාය...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මම නම් හිතන්නෙ මේක පිරිත් නිසා සිදු වූවක් නෙවෙයි....
එහෙනම්.... ?
මම මේ ගැන සොයා බැලුවා... මේ රටාව තිබෙන්නේ මොළයේ ශංඛක කණ්ඩිකාවෙ අසාමාන්‍යතාවයක්...
නමුත්, ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියන්නට පෙර තිබුණෙ නැත්තෙ ? ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියලා අවසාන වුනාට පස්සෙ යථා තත්ත්‍වයට පත් වුනේ ? එහෙම අසාමාන්‍යතාවයක් තිබුණා නම් මුල ඉඳලම ඒ අසාමාන්‍යතාවය තිබෙන්න ඕන නේද ? පිරිත් කියන අවස්ථාවෙ හැරෙන්න මේ අසාමාන්‍යතාවය නැවතත් දකින්න තිබුණද ?
නැහැ... පිරිත් කියන අවස්ථාවෙ විතරයි මේ මොළයේ සංඥා මන්දගාමී වීම සිදු වුනේ... අනිත් කිසිම අවස්ථාවක මේ සංඥා මන්දාගාමී වුනේ නැහැ. ඇත්තෙන්ම සාමාන්‍ය නිරෝගී කෙනෙකුටත් වඩා වැඩියෙන් ඒ සංඥා ක්‍රියාත්මක වෙනවා.. මට පෙනෙන්නෙ නම් ඔහුගේ මොළය මේ අවස්ථාවෙදි අධිකව පණිවුඩ හුවමාරුවක යෙදෙනවා වගේ...
ශංඛක ඛණ්ඩිකාව මොළයේ ප්‍රධාන ඛණ්ඩිකාවන් හතරෙන් එකකි. ශංඛක කණ්ඩිකාව ප්‍රධාන වශයෙන් සංවේදන දැනීම, වාචික සංවේදන, භාෂාව සහ ශබ්ධ සංජානනය සහ මතකය සම්බන්ධ ක්‍රියා සඳහා ප්‍රධාන වේ. මධ්‍යම ශංඛක ඛණ්ඩිකාවේ පිහිටි ව්‍යුහයන් විසින් දීර්ඝකාලීන මතකය පිළිබඳ සංනිවේදනයන් සිදු කරනු ලබයි.  විශේෂයෙන්  මොළයේ මූලය, හයිපොතැලමස සහ අවට ව්‍යුහයන් විසින් මතකයන් ඇතිකිරීම, කරුණු තහවුරු කිරීම වැනි මතකය සම්බන්ධ කරුණු කාරණා රාශියක් පාලනය කරනු ලබයි. මේ නිසා සිහිසුන්  වූ  රෝගියෙකුගේ  වූ ශංඛක ඛණ්ඩිකාවේ ක්‍රියාකාරීත්‍වය  ඉතාම වැදගත් සාධකයක් ලෙස වෛද්‍යවරුන් විසින් සළකනු ලබයි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද ඩොක්ට දැන් විශ්වට ?
මොලී පසුදින සවස විශ්වගේ සුවදුක් බැලීමට පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයා හමු වීමට ගොස් විමසුවාය.

මොළයෙන් පිටත මොළය..
මොළයෙන් පිටත මොළය..

තවමත් සිහිය ඇවිල්ලා නම් නැහැ... නමුත් සියළුම අවයව දැන් නිසි පරිදි ක්‍රියාත්මකයි... ඒක හොඳ ලකුණක්... අපි හිතනවා ඉක්මනින්ම සිහිය එයි කියලා... මේ වගේ රෝගීන් අනන්තවත් ඉන්නවා මොලී... බය වෙන්න එපා.... සමහරු දවස් දෙක තුනකින් සිහිය එනවා... එහෙම නොවුනොත් අපි ස්නායුවලට පොඩි විද්‍යුත් කම්පනයක් දීලා බලනවා... මේකත් හරියට කෙටි පරිපථයක් (Short circuit) වගේ දෙයක් වෙන්න පුළුවනි. අපට බයක් නැත්තෙ මේ අනතුරේදී මොළයට කිසිම හානියක් නොවී පැවතුන නිසා... සමහරවිට අනතුර සිදු වන වෙලාවෙ ගැස්සීමෙදි බෙල්ල සහ මොළය අතර සුශුම්නාව ඇට්ලස් කශේරුකාව මගින් තෙරපීමකට ලක් වුනාද කියන සාධකයත් අපි සලකා බලනවා.. අද එයාව තවත් පරීක්‍ෂණයකට භාජනය කළා.. ඒකෙ ප්‍රතිඵල අද සවස වන විට ලැබෙයි.. ඒ අනුව අපි බලනවා එහෙම දෙයක් වෙලාද කියලා.
ඒ සංවාදය සිදුවන අතරතුර මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය සඳහා වැඩම කළහ..
අත්ථදස්සි හිමියන්ට පිරිත් සජ්ඣායනය කිරීමට ඉඩ පහසුකම් සලසා දී මොලී කාමරයේ පසෙකට වූ අතර වෛද්‍යවරයා පිටව ගියේය.
පෙරදා සිදු වූ සුවිශේෂී සංසිද්ධිය මතක තිබූ නිසාම පිරිත් සජ්ඣායනයට පෙර සිටම විශ්වගේ මොළයේ සංඥා සටහන දෙස මොලී බලා සිටියාය... අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය පටන් ගෙන මඳ වේලාවකින් පෙර පරිදිම විශ්වගේ මොළයේ සංඥා සියල්ල ඉතා සුළු විචලනයන් සහිත රේඛා බවට පත් වන්නට විය... මොලීට සිය දෙනෙත් අදහාගත නොහැකි විය... දෙවරක් එකම සංසිද්ධිය එකම සේ සිදු වන්නේ නම් එය අහම්බයක් විය නොහැකි බව ඇයට වැටහුණි. අත්ථදස්සි හිමියන්ගේ මුවඟට මඳ සිනාවක් නැඟුනි... තමා ඊයේ දිනයේ අනුමාන කළ දෑ සත්‍ය බව හිමියන්ට වැටහුණි.
කෙමන් විශ්වගේ වම් අත සෙලවෙන්නට විය... මොලී වහා නැගිට විශ්ව දෙස යාමට සැරසුනත්, අත්ථදස්සි හිමියන් විසින් ඇයව නවත්වාලනු ලැබීය. උන් වහන්සේ දිගින් දිගටම පිරිත් සජ්ඣායනයේ නිරත වෙන්නට විය... විශ්ව සිය වමත සෙමෙන් සෙමෙන් උදරය දක්වාම ගෙන ආවේය.... මොලී මවිතයෙන් මෙන්ම සතුටින් ඒ දෙස බලා සිටියාය... ඇගේ සිතේ මෙන්ම මුහුණේද බලාපොරොත්තුවේ සේයාවක් ඇඳෙන්නට විය....
පිරිත් සජ්ඣායනය නිම වනතුරු වෙනත් සැළකිය යුතු කිසිවක් සිදු නොවීය....  ඒ සියල්ල අවසන අත්ථදස්සි හිමියෝ හුනස්නෙන් නැගී සිට විශ්වගේ හිස අතගා කාමරයෙන් ඉවතට වැඩි සේක... මොලීද එතුමන් පිටුපස කාමරයෙන් පිටතට පැමිණියාය....
එකෙණෙහිම වාට්ටුව භාර වෛද්‍යවරයා ද විශ්වගේ කාමරය වෙත පැමිණියේය...
කවුද මේ ලෙඩාගෙ අත තිබූ තැනින් වෙනස් කළේ. ? මේ වගේ කෙනකුගේ එහෙම වෙනසක් කරන එක අවදානම් වෙන්න පුළුවනි...
කලබල වෙන්න එපා දොස්තර මහත්මයා... විශ්වම තමයි අත සෙලවූවෙ... මම ඊයෙ කිවුවා වගේම පිරිතෙන් කිසියම් ගුණයක් මේ දරුවට ලැබෙනවා...
ඇත්ත ඩොක්ට.... හාමුදුරුවෝ පිරිත් කියද්දි තමයි විශ්ව අත අරගෙන උඩින් තියාගත්තෙ... මටත් හරිම පුදුමයි... කොහොමද මෙහෙම වුනේ කියලා....
පුදුම වෙන්න දෙයක් නැහැ දොස්තර මහත්මයා... අපි පිළිගන්න ඕන හැම දේම විද්‍යාවෙන්ම විසඳන්න බැරිබව... සමහරු හිතන් ඉන්නවා විද්‍යාවෙන් සියල්ල වෙනස් කරන්න පුළුවන් කියල, තවත් සමහරු හිතන් ඉන්නවා ආගමෙන් විතරක් හැම දේම කරන්න පුළුවන් කියලා... නමුත්, මේ දෙපාර්ශවයම අමතක කරපු දෙයක් තමයි බොහෝ ආගම්වල විද්‍යාත්මක සත්‍යය ගැබ් වෙලා තියෙන බවත්, විද්‍යාව ආගමට සම්බන්ධ බවත්...  මෙන්න මේ දෙක එකට අත්වැල් බැඳගෙන නොයන තාක් කල් මිනිසාගේ ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න බැහැ.. මිනිසාට ආගමත් විද්‍යාවත් යන දෙකම තිබිය යුතුයි... එපමණක් නෙවෙයි, මේ ලෝකයේ තිබෙන ආගම් සියල්ල කුමන ආකාරයකින් හෝ එකිනෙකට බැඳී පවතිනවා. ඉතින්, අපි තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම පිරිත් සජ්ඣායනයත් කරගෙන යමු... මම ඊයෙ කිවුවා වගේම, අපේ මූළික අරමුණ රෝගියාව ඉක්මනින්ම යථා තත්ත්‍වයට ගෙන ඒම.. අපි ඒ දේ කරන්න හැකි හැම දේම කරමු... මම නොකිවුවත් නැතත් ඔබ අදම ඔබේ ප්‍රධානීන්ව දැනුවත් කරයි මේ සිදුවීම ගැන.... ඔවුන්ට අවශ්‍ය නම් මගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් හෝ තොරතුරු ලබා ගන්න කිසි විටෙක මැලි වෙන්න එපා මාව අමතන්න... මම මේ දරුවා වෙනුවෙන් කළ හැකි යමක් තියෙනවා නම් ඒ දේ කරනවා.. ඔබ නොදන්නවාට මේ දරුවා බොහොම වටිනා පුද්ගලයෙක්...
හොඳමයි ස්වාමීන් වහන්ස, අපට අවශ්‍ය වුනොත් අපි ඔබ වහන්සෙව සම්බන්ධ කර ගන්නම්... ඇත්තෙන්ම විශ්ව සුව කර ගන්න ඔබ වහන්සෙ පමණක් නොවෙයි නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා ඇතුළු බොහොමයක් දෙනා හැකි සෑම උත්සාහයක්ම දරණවා. ඒ නිසාමයි විශ්ව මේ රෝහලට ඇතුලත් කළේ.. වෙනත් රෝගියෙකු නම් සාමාන්‍යයෙන් මෙතරම් පහසුකම් ඇති හමුදා රෝහලට ඇතුලත් කෙරෙන්නෙ නැහැ... වෛද්‍යවරයා කරුණු පැහැදිළි කළේය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුමනසේකර මහත්මයා.... මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්... ඔබට හෙටම ඇමරිකාව බලා යන්න පුළුවනි.
අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී රොනල්ඩ් මැන්කැඩ් පෞද්ගලිකවම මැදිහත් වී සුමනසේකර යුවලගේ ඇමරිකානු වීසා සහතිකපත් සඳුදා දිනම ඔවුනට සකස් කර දුන්නේ විශ්වගේ සැපදුක් බලා ගැනීමේ අපේක්‍ෂාව ඉක්මනින්ම මල්පල ගැන්වීමටය. සෙනසුරාදා සාකච්ඡා කරගත් පරිදි ඔවුන් දෙපළ ඇමරිකාව බලා යාමට ගුවන් ටිකට්පත් එදිනම වෙන්කරවා ගැනීම නිසා සඳුදාම වීසා ලබා ගැනීමට සිදුවිය. මේ කර්තව්‍යය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇති නිසාත්, සුමනසේකර යුවල නොදන්නා බොහෝ කරුණු කාරණා රොනල්ඩ් මැන්කැඩ් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරීන් දන්නා නිසාත්, මේ කටයුත්ත ඉතා ඉක්මනින් කර දීමට තානාපති කාර්යාලය පසුබට වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූවේ තමන් අතින් සිදු වූ වැරැද්ද කෙසේ හෝ නිවැරදි කර ගැනීමටයි.. එසේ කටයුතු කිරීමේදී සාමාන්‍ය ක්‍රියා පටිපාටි වලින් බැහැරව ක්‍රියා කිරීමට අදාල පාර්ශවයේ ඕනෑම කෙනෙකු කටයුතු කරයි.
එදින සවසම සුමනසේකර දෙපල සිය ඥාතිපුතු බැලීම සඳහා පසුදින ඇමෙරිකාව බලා යාම සඳහා ලක ලෑස්ති වූහ. ඊට පෙර ඒ බව වොෂිංටන් බෞද්ධ විහාරයේ වැඩ වසන තමාට බොහෙවින් හිතවත් මඩකුඹුරේ අත්ථදස්සි හිමියන්ට දැන්වීම සඳහා සුමනසේකර මහතා දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.
හලෝ.... වොෂිංටන් බෞද්ධ විහාරය.......
ලොකු හාමුදුරුවනේ මේ මම... සුමනසේකර.....
ආ... සුමනසේකර මහත්මයා... කොහොමද ?.....
හොඳින් ඉන්නවා ලොකු හාමුදුරුවනේ.... අපි මේ හෙට එනවා කියලා දන්වන්නයි කතා කළේ.... අත්ථදස්සි හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවද ?
අත්ථදස්සි හාමුදුරුවො නම් දැන් භාවනා කරනවා... මම දන්වන්නම් සුමනසේකර මහත්මයා කතා කළා කියලා... ඊයෙ හවසත් අත්ථදස්සි හාමුදුරුවෝ රෝහලට ගිහින් පිරිත් කියලයි ආවෙ.... ඊයෙ නම් ඒ දරුවා අතක් හෙලෙවුවා කියලා උන් වහන්සෙ කිවුවා... අදත් පිරිත් කියන්න හවස වඩිනවා කියලා කිවුවා... තුන් වේලක් වත් පිරිත් කියන්න ඕන නෙ හරි හැටි ගුණයක් ලබන්න...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පසුදින උදෑසන සේවයට ගියද, සෑම දෙනාගේම කතාබහ වූයේ විශ්වට සිදු වූ අනතුර පිළිබඳවයි. ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් යන දෙදෙනාම සැම දෙනාගේම කාර්යාල කාමර වලට පැමිණ පෞද්ගලිකවම සිය සේවක කැළගේ මානසික තත්ත්‍වය පිළිබඳ සොයා බැලූහ. ඉතා තදින් බැඳුන වියමනක් මෙන් වූ මේ හත්දෙනාගේ මානසිකත්‍වය මේ අවස්ථාවේ ඉහළින් තබාගත යුතු බව කළමණාකාරීත්‍වයේ  හසළ දැනුමක් ඇති මේ දෙදෙනාම හොඳින් දැන සිටියහ. ඒ නිසාම පෞද්ගලිකවම ඔවුන්ගේ මානසික තත්ත්‍වය පිළිබඳ සැලකිලිමත් වීමට දෙදෙනාම උනන්දු වූහ.
මොලී වැඩිපුර විශ්ව පිළිබඳ සැලකිළිමත්වීම ගැන මෙගන්ට තිබුණේ ඊර්ෂ්‍යාවක්ද යන්න බොහෝ දෙනා තුළ තිබූ ප්‍රශ්නයකි. එළිපිට නොපෙන්වුවත් මෙගන් නිතරම වාගේ මොලී සමඟ තිබුණේ නොරිස්සුමකි. විශේෂයෙන්ම සති අන්තයේ සිදු වූ කලබැගෑනියට තමාගෙන් කිසිම දායකත්‍වයක් නොවීම පිළිබඳ ඇය සැම දෙනා සමඟම අමනාපයකින් පසු වූවාය.. එය එළිපිට නොපෙන්වුවත් සිදු වූ කතාබහේදී මෙගන්ගෙන් නිකුත් වූ හඬින් එය සැමටම තේරුම් ගොස් තිබුණි. කෙසේ වෙතත් රසායනාගාරයේ සියල්ලන්ම සිටියේ දැඩි කණස්සලු ස්වභාවයකිනි... මොලී අන් සියල්ලන්ටම වඩා පසුතැවිල්ලකින් පසුවන ආකාරයක් පෙණුනි...
අවසන ඇය සිය ප්‍රධානියා වන ආචාර්ය නීල් ෆියුගේ කාමරය වෙත පිය මැන්නාය.....
නීල්.... ඇය දොරට තට්ටු කරන ගමන්ම ඔහු ඇමතුවාය..
ඔව් මොලී.... ඇයි ? මොකක් හරි ප්‍රශ්නයක්ද ?
ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.... මම අද හවස ටිකක් කලින් යන්න ඕන.... මම විශ්ව බලන්න යනවා...
මට තේරෙනවා.... මම මේ පුද්ගලික ප්‍රශ්නයක් අහනවා නෙවෙයි..... ඔයා මේ ටික දවසට විශ්වට ගොඩක් සමීප වුනා නේද ?
නැහැ කියන්න බැහැ නීල්... විශ්ව එක්ක සතියක කාළයක් වැඩ කරද්දි තේරෙනවා එයා බොහොම හොඳ ඒ වගේම බුද්ධිමත් කෙනෙක් කියලා... ඒ තරම්ම සමීපතාවයක් නැහැ... නමුත්........
ඒක අසාමාන්‍ය නැහැ මොලී.... විශ්වට මෙහේ කවුරුත් නැහැ.... සමහරවිට ඔයා දන්නවා ඇති විශ්වගෙ පවුලෙ තොරතුරු... මගේ අකැමැත්තක් නැහැ ඔයාට පුළුවන් නම් විශ්ව මේ ඉන්න තත්ත්‍වයෙන් ගොඩ ගන්නවට... අපට විශ්ව යථා තත්ත්‍වයට ගන්න ඕන ඉක්මනටම... මේ පර්යේෂණයෙ බොහොම වැදගත් වැඩකොටසක් විශ්වගෙ අතින් කෙරෙන්න ඕන... මේ පර්යේෂණයට විශ්වගෙ දැනුම  බොහොම වටිනවා.... මට මේ කොල්ලව කොහොම හරි ආපහු මේ ලැබ් එකට ගේන්න ඕන.... ප්‍රශ්නයක් නැහැ... විශ්ව ගොඩ එනකල් ටිකක් වේලසන යන්න.. මම දන්නවා ඒ කාළය අපතෙ යන්නෙ නැහැ කියලා...  මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට දන්වන්න... මම ඒක නිරාකරණය කරලා දෙන්නම්...
බොහොම ස්තූතියි නීල්.... බොහොම ස්තූතියි....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මෙන්න වාර්තාව... උණු උණුවෙ ආවෙ.... තාම විශ්ලේෂණය කරන්න බැරි වුනා....
මොනවද තියෙන්නෙ ?
හිතා ගන්න බෑ... එක දෙයක් කියලා නෑ... අච්චාරුවක්....
අපට විශ්ලේෂණය කරන්න බැරි තරම් සංකීර්ණද ?
මට හිතෙන විදියට මේකට හොඳම කෙනා සයන්ටිස්ට් රාහුල් ගුප්තා....
රාහුල් ගුප්තා... අර පිස්සු හටන ?
ඔව්... මිනිහා කාබනික රසායනය කරපු කෙනෙක්නෙ... මේක  ගෙනිහින් අහලා බලමු.... ඇහුවයි කියලා අපට පාඩුවක් නැහැනෙ...
යමු... කෝ මිනිහා දැන්....
දැනුත් ලැබ් එකේ ඇති.... මිනිහට ඉතිං ලැබ් එකෙන් තොර ලෝකයක් නෑනෙ......
ඔවුන් රාහුල් ගුප්තා සිටින රසායනාගාරයට යන විටත් රාහුල් සිටියේ පරීක්‍ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කරමිනි.
එෆ් බී අයි ආයතනයේ වැදගත්ම ඒකකයක් වන රසායානාගාරයට විවිධාකාර රසායන ද්‍රව්‍ය සහිත සාම්පල ලැබේ. මෙහි සිදු කෙරෙන පරීක්‍ෂණ මත සැකකරුවා වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද යන්න තීරණය වන නිසාත්, ඒ තීරණය මතම ඔහුගේ ජීවිතය පිළිබඳ ඉරණම විසඳෙන නිසාත් බොහෝවිට එකම පරීක්‍ෂණය දෙතුන් වතාවක් සිදු කර නිරවද්‍යතාවය තහවුරු කරගනු ලබයි. එසේ වුවත් සමහර තාක්‍ෂණික නිලධාරීන් මූලික පරීක්‍ෂණ සිදු කරන්නේ එතරම් තැකීමකින් තොරවය. මේ නිසාම රසායනාගාරයේ ‍ජ්‍යෙෂ්ඨ රසායනඥයින් ඉතා ඉහළ මට්ටමකින් යුතු දත්ත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරති. සමහරවිට තමාම ඒ පරීක්‍ෂණය සිදුකර එහි නිරවද්‍යතාවය තහවුරු කර ගනු ලබයි. ඉන්දියානු ජාතික - දැනට ඇමරිකානු ජාතිකත්‍වය ලබා ඇති රාහුල් ගුප්තා කාබනික රසායන විශ්ලේෂණය පිළිබඳ විශාරදත්‍වයක් ලබා ඇති පුද්ගලයෙකි. ඔහුගේ පෞරුෂත්‍වය සමාජගත ආයතනයකට නොගැලපුනද ඔහු සතු විශේෂඥ දැනුම නිසාම දැඩි අවදානමක් ගැනීමෙන් පසුව එෆ් බී අයි ආයතනය රාහුල් ගුප්තාව සිය රසායනාගාරයේ විද්‍යාඥයෙකු ලෙස  බඳවා ගත්තේය... වැඩි සමාජ ආශ්‍රයක් නොමැති ඔහු සිය රාජකාරිය දේවත්‍වයෙන් සළකනවා පමණක් නොව සිය විද්‍යාඥ තනතුර ද ඉතා ඉහළ තත්ත්‍වයක තබා ක්‍රියා කරයි.. එසේ නොවන්නට රාහුල් සාමාන්‍ය මිනිසෙකි.
හලෝ රාහුල් ගුප්තා....
යාළුවා.... නම්බු දීලා කතා කරන්න පුරුදු වෙනවා.... සයන්ටිස්ට් රාහුල් ගුප්තා.....
හරි හරි.... සයන්ටිස්ට් රාහුල් ගුප්තා... අපි මේ ආවෙ ඔයාගෙ විශේෂඥ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න...... අපි දන්නවා ඔයා තමයි මේ විෂය හොඳටම දන්නෙ කියලා..
ආ... එහෙම එන්න... කියමු බලන්න මොකද්ද ප්‍රශ්නෙ කියලා.....
මෙන්න මේකයි ප්‍රශ්නෙ... අපට ලැබුණා තෙල් සාම්පලයක්... මේ තියෙන්නෙ ඒ සාම්පලයේ වර්ණලේඛ විශ්ලේෂණ සටහන (Gas chromatogram )......... මේක අනුව කියන්න පුළුවන්ද මේ සාම්පලයෙ අඩංගු තෙල් වර්ගය මොකද්ද කියලා ?

වායු-ද්‍රව වර්ණලේඛණයක් (Gas-Liquid Chromatogram)
වායු-ද්‍රව වර්ණලේඛණයක් (Gas-Liquid Chromatogram)

දෙයියනේ... මේක තෙලක්ද නැත්නම් කොහෙන් හරි කානුවකින් හොයා ගත්ත ජරාවක්ද ?
ඒ මොකද එහෙම අහන්නෙ ?
මේක පිරිසිදු තෙලක් නෙවෙයි... මේකෙ තියෙන්නෙ ලොකු මිශ්‍රණයක්....
කොහොමද එහෙම කියන්නෙ ?
එහෙම කියන්නෙ මම හොඳට දන්න නිසා.... තනි තෙල් වර්ගයක මේ තරම් විශාල සංඝඨක මිශ්‍රණයක් දකින්න බැහැ... තිබුණත් මේ වගේ අනුපාත නැහැ... මම සගන්ධ තෙල් (essential oils) ගැන හොඳට දන්නවා... මේක අනිවාර්යයෙන්ම සංඝඨක දහයකට වැඩි මිශ්‍රණයක්...... මේ මිශ්‍රණය විශ්ලේෂණය කරන්න ඔහොම බෑ..   අයියෝ  මට ගෙනැත් දුන්න නං ඉවරයි නෙ... කෝ සාම්පලය තියෙනවද ?
ඔව්... ලැබ් එකේ තියෙනවා...
මට ගෙනැත් දෙන්න සාම්පලේ... ඔය ලැබ් එකේ ඉන්න තාක්‍ෂණික නිලධාරියො දන්න ඉටිගෙඩියක් නෑ... උන් දන්නෙ ඔයාල දෙන සාම්පලේ ඔහේ ගහලා වාර්තාව දෙන්න විතරයි... මේ වගේ සාම්පලයකට වෙනම තත්ත්‍ව සකසන්න ඕන.. සමහර සංඝඨක ඉක්මනින් වාශ්පෂීලී වෙනවා.. තවත් සමහර ඒවා අඩු වාශ්පශීලීතාවයක් තියෙන්නෙ.. ඒ නිසා මේ පරීක්‍ෂණයෙ තත්ත්‍වයන් වෙනස් කරන්න ඕන... මට දවස් දෙකක් දෙන්න.. මම සම්පූර්ණ වාර්තාවම දෙන්නම්...
හරි.. මම සාම්පලය දැන්ම ගෙනත් දෙන්නම්... බොහොම ස්තූතියි සයන්ටිස්ට් රාහුල් ගුප්තා... ඔබ නම් අපේ ගැලවුම්කාරයෙක්....
කිසි දේකට බයවෙන්න එපා.... මොකද්ද නම කිවුවෙ ?
ආ... මම ජේසන්...
හරි... ජේසන්... කිසි දේකට බය වෙන්න එපා... මම දවස් දෙකකින් වැඩේ කරලා දෙන්නම්.... මොකද්ද මේ සාම්පලය...
අනේ සයන්ටිස්ට් රාහුල් ගුප්තා. ඒකනම් කියන්න බෑ... අතිශය රහසිගතයි...
හරි හරි.... මම දන්නවා...
හරි... එහෙනම්.... අපි යනවා... බොහොම ස්තූතියි..සයන්ටිස්ට් රාහුල් ගුප්තා...
හරි... මට සාම්පලය දැන්මම ගෙනැත් දෙන්නකෝ...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තවම සිහිය ආවෙ නැද්ද ඩොක්ට ? මොලී පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයාගෙන් විමසුවේ ඉතා දුක්මුසුවය.....
තවම නැහැ මොලී..... අද හවසත් අර හාමුදුරුවො ඇවිත් පිරිත් කියලා ගියා.... ඒත් තවම කිසිම වෙනසක් නැහැ... එකම වෙනස පිරිත් කියන අවස්ථාවෙ විතරක් මොළයේ සංඥාවල සිදුවන වෙනස විතරයි. මේ නිසාම අපි තීරණය කළා අර මුලින් කිවුව විද්‍යුත් කම්පන ප්‍රතිකාරය හෙටින් පසුව කරන්න.
කෝකටත් අපි විශ්වගෙ භාරකාරයො එනකල් ඉඳිමු ඉදිරියේදි මොනවා කරනවද කියන දේ තීරණය කරන්න.... තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් ලැබුණා ඒ අය හෙට ලංකාවෙන් පිටත් වෙනවා කියලා... ඒ කියන්නෙ හෙට හවස් වෙනකොට ඒ අය මෙහාට එන්න ඕන... එයාලා ආවට පසු අපි වාර්තා පැහැදිලි කරලා දීලා බදාදාට විශ්වගේ කම්පන ප්‍රතිකාරය කරන්න බලාපොරොත්තු වෙනවා.
ඩොක්ට කිවුව නේද අර මුලින් කළ පරීක්‍ෂණ වගයක් ගැන, ඒවයේ වාර්තා වලින් මොනවත් තීරණයක් ගන්න බැරිද ?
ආ... මතක් කළ එක හොඳයි... ඒ වාර්තා අපි හොඳින් සළකා බැලුවා... අපි මේ රෝහලේ විතරක් නොවෙයි. සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු  විශේෂඥ වෛද්‍ය ඩෙරික් ශෙපර්ඩ්ගෙනුත් අපි අදහස් ලබා ගත්තා... ඔහුට අනුව මේ තත්ත්‍වය එතරම් අසාමාන්‍යතාවයක් නොවෙයි, නමුත් දිගටම අපි නිරීක්‍ෂණය කරනවා.. අපි අද සවස ඔහුව සජීවීව සම්බන්ධ කරගත්තා පිරිත් කියන අවස්ථාවේදී... ඔහුත් දුටුවා මේ සංසිද්ධිය... ඒ නිසාම අපි තවදුරටත් පිරිත් සජ්ඣායනය කිරීමේ කටයුත්ත දිගටම කරන්න තීරණය කළා... හාමුදුරුවොන්ගෙනුත් අකැමැත්තක් නැහැ...

සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩෙරික් ශෙපර්ඩ්
සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩෙරික් ශෙපර්ඩ්

එතකොට විශ්වගේ අනිත් අවයව වල ක්‍රියාකාරීත්‍වයේ වෙනසක් නැද්ද ? මෙතෙක් වේලා නිහඬව සිටි මෙගන් වෛද්‍යවරයාගෙන් විමසුවාය..
විශ්ව බැලීමට හමුදා රෝහලට ඇතුළුවිය හැක්කේ සීමිත සහ අවසරලත් පුද්ගලයින් සංඛ්‍යාවකට පමණක් නිසා මෙන්ම විශ්ව බැලීමට ඇති කැමැත්ත නිසාත්, වෙනත් කළහැකි කිසිවක් නොතිබූ නිසාත්, මොලී සමඟ පැමිණීමට මෙගන්ට සිදුවිය.
නැහැ.... පෙනහැල්ලේ සිදු වුන තුවාලය නිසා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් තමයි හුස්ම ගන්නෙ... ඒ ඇරෙන්න කිසිම අවයවයක හෝ ඉන්ද්‍රියක වෙනසක් පෙන්වන්නෙ නැහැ... ඒක ඇත්තටම හොඳ දෙයක්... ඒ නිසා අපට ගොඩක් බලාපොරොත්තු තබා ගන්න පුළුවනි විශ්වට ඉක්මනින්ම සිහිය ඒවි කියලා.
අපට මොනවද වෙන කරන්න පුළුවන් ?
ඔයාලට නම් මෙතැන කරන්න කිසිම දෙයක් නැහැ... අපි මුලින්ම කරන්න ඕන විශ්ව ප්‍රකෘති තත්ත්‍වට ගන්න එකයි.. ඊට පස්සෙයි ඉතිරිය බලන්න වෙන්නෙ... අපට සමහරවිට විශ්වට මානසික ප්‍රතිකාර කරන්න වෙයි... එයා මෙතැනට වැටුනෙ ලොකු අනතුරකින් පස්සෙ.. ඒ නිසා පශ්චාත් කම්පන ආතතිය (Post Traumatic Stress Disorder) සඳහා ප්‍රතිකාර කරන්න වෙයි.. ඒක බලපාන්නෙ විශ්වගෙ මානසික තත්ත්‍වය අනුව.. එයා මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් නම් බොහොම ඉක්මනින් ප්‍රකෘති තත්ත්‍වයට පත් වේවි.. නැතිනම් ටික කලක් යාවි.. එයා ප්‍රකෘති තත්ත්‍වයට පත් වෙන්නෙ ටික කළක් සිහිනැතිව ඉඳලා නිසා එයාගෙ මතකය, මානසික මට්ටම ගැන පරීක්‍ෂණ කරන්න වේවි. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් අපට ඒ පැත්තෙන් පුනරුත්ථාපනය කරන්න වේවි. ඉන් පස්සෙ අපි බලන්න ඕන එයාගෙ අවයව වල ක්‍රියාකාරීත්‍වය ගැන.. පාදයේ අස්ථියක් සම්පූර්ණයෙන්ම බිඳුන නිසා ඇවිදීම අපහසු වේවි.. පාදය යථා තත්ත්‍වයට ගෙන එන ව්‍යායාම්වල යෙදෙන්න වේවි... මේ වගේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා ඉදිරියට.. සමහරවිට සිහිය ඇවිත්  මාස දෙකක් තුනක් යනකල් 100 % ක් ප්‍රකෘති තත්ත්‍වයට ගෙන එන්න අමාරු වේවි.. නමුත් බය වෙන්න එපා.. මීට වඩා දරුණු විදියට ආබාධවලට ලක් වෙලා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ආපු සොල්දාදුවො අපි හොඳ කරලා නැවත යුධබිමටත් යවලා තියෙනවා. ඒ නිසා හිත කලබල කර ගන්න එපා.. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු....
බොහොම ස්තූතියි ඩොක්ට....
ප්‍රශ්නයක් නැහැ....
එහෙනම්,... අපි ගිහින් එන්නම්.........
හොඳයි... සුභ සන්ධ්‍යාවක්.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පසුදා සවස්වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි..... තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සියල්ලට වඩා වෙනස් බව ඇයට හැඟෙමින් පැවතුනි. සේවා ස්ථානයද කිසිම කෙනෙකු විහිළුවක්වත් නොකරන තත්ත්‍වයකට පත්ව තිබුණි.  වෙනදා අන් අයට විහිළු කරන බිල් පවා තමන්ගේ පාඩුවේ සිය කටයුතු කරගෙන යනු දකින්ට ලැබුණි...
මේ අතර හදිසියේම සිය ප්‍රධානියාගෙන් මොලීට ලැබුණේ වහාම පැමිණ ඔහු හමුවන ලෙසයි...
සුවිශාල අනතුරක සේයාවක් ඇගේ සිතේ නලියන්නට විය....
ඇය විද්‍යාගාර ප්‍රධානී නීල් ෆියු හමුවන්නට ගියාය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද ? ගමන් මහන්සිය හොඳටම ඇති නේද ?
තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විසින්  වොෂිංටන් ඩලස් ගුවන්තොටුපලේ මගී පර්යන්තයේදී සුමනසේකර යුවල පිළිගනිමින් විමසුවේය...
මහන්සියි කියලා මොනවා කරන්නද මහත්මයා.... මේ ගමන එන්න එපායෑ...
මම ගීතාංජන ලංකාතිලක... අඳුන්වාදෙන්නත් බැරි වුනා..
බොහොම සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන.... මම විශ්වගෙ ලොකු මාමා... සුමනසේකර... මේ මගේ බිරිඳ නීලා...
ඔව්, පන්සලේ ලොකු හාමුදුරුවො මට ඔබ දෙපළ ගැනම හොඳ හැඳින්වීමක් කළා... අත්ථදස්සි හාමුදුරුවොත් සෑහෙන විස්තර මට කිවුවා.. මේ දවස් දෙක තුනම අත්ථදස්සි හාමුදුරුවො මට කතා කරලා කිවුවේ ඔබ දෙපළගෙ නවාතැන්, කෑම බීම කටයුතු සම්පාදනය කරන ආකාරය.. අපි දැන් යන්නෙ තානාපති කාර්යාලයේම සේවය කරන කෙනෙකුගෙ නිවසකට.. එහේ තමයි අපි ඔබ දෙපලට නවාතැන් පහසුකම් දෙන්න යොදාගෙන තිබෙන්නෙ.. එහි ඉන්නෙත් ඒ දෙපළ පමණයි.. ඒ නිසා වැඩි කරදරයක් නෑ.. ගමන් පහසුකම් සඳහා තානාපති කාර්යාලයෙන් වාහනයක් ලැබෙනවා රියැදුරෙක් සමඟම... විශ්වගෙ තාත්තා එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ සේවය කළ නිසා අපට මේ පිළිබඳ විශේෂ පහසුකම් ලැබී තිබෙනවා... ඒ වගේම ඔහු අපේ තානාපති කෙනෙකුව සිටි නිසා ඒ පහසුව තවත් වැඩියි... කිසිම දේකට බය වෙන්න එපා.. සියල්ල සූදානම්...
අනේ පුතා බොහොම ස්තූතියි මේ කරන උදවු වලට.... අපි කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ සත්කාරයක්... ලොකු හාමුදුරුවො කිවුවා අපට නවාතැන් පහසුකම් සකසලා තියෙන්නෙ කියලා... මම දැනං හිටියෙ එච්චරයි...
අපට විශ්ව බලන්න යන්න පුළුවන් කීයටද ?
ආ... ඒක ගැන කතා කරන්නයි මම හිටියෙ... අපි මේ බෑග් තියලා පොඩ්ඩක් පිළිවෙලක් වෙලා හවස හයට පමණ යමු රෝහලට.... ඔබ නැවතී ඉන්න අදහස් කරන යාපා මහත්මයාගෙ නිවසේ වැඩි දුරක් නැහැ... රෝහලට...
අනේ ලොකු දෙයක්... මට ඉක්මනින්ම සුදුපුතා බලාගන්න ඕන... නීලා සුමනසේකර මහත්මිය නෙතට නැඟුන කඳුලක් පිසදමමින් පැවසුවාය.
බය වෙන්න එපා මිසිස් සුමනසේකර... විශ්ව නවත්වලා තියෙන්නෙ ඇමරිකාවෙ තියෙන හොඳම හමුදා රෝහලක... මේකේ තියෙන්නෙ ලෝකයේ හොඳම පහසුකම්. ඒ වගේම මේ රෝහලට ඇමෙරිකාවේ තිබෙන අනෙක් ප්‍රධාන රෝහල් සියල්ලම සමඟ සබඳතා තිබෙනවා.. ඒ නිසා විශ්ව වෙනුවෙන් කරන්න පුළුවන් සියළුම දේ ඒ රෝහලෙන් කෙරෙනවා. එච්චරක් නෙවෙයි විශ්වගේ සේවා ස්ථානයෙනුත් මේ ගැන හොඳට හොයා බලනවා.. කිසිම දේකින් අඩුවක් වෙන්න ඉඩක් නෑ..
ඒ සංවාද අතරතුර ඔවුහු යාපා මහතාගේ නිවස කරා පැමිණ තිබුණි. ආගන්තුක සත්කාර වලින් සහ තේ පානයෙන් අනතුරුව නැවතත් මඟට පිලිපන්නේ විශ්ව බැලීම සඳහා රෝහලට යාමටය.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ මිනිස්සුන්ට හරියට වාහනයක්වත් හප්පන්න බැරි ද ? බලනවා අර මිනිහා දැන් ජීවත් වෙයිද මැරෙයිද කියලා කවුද දන්නෙ ? හොඳ වෙලාවට අපි මැදිහත් වෙලා මේක වැහුවා... කවුරුහරි දැනගත්තා නං අපි මේකට සම්බන්ධයි කියලා මොන වගේ තත්ත්‍වයක්ද ඇතිවෙන්නෙ ?
ඔවුන් තිදෙනාම කිසිදු වචනයක් නොදොඩා නිහඬව ජනරාල් වෙලිංටන් දෙස බලා සිටියා පමණි.
තමුසෙලාට කවදාවත් හරියට වැඩක් කරගන්න බැරි හැටි ? එක පාරක් තාප සංවේදක කැමරාවෙන් ගත්ත වීඩියෝ හරියට කර ගත්තෙ නෑ... දැන් ඒ මදිවට මේ මිනිහා හප්පලා ඒ මිනිහා ජීවිතයත් මරණයත් අතර සටනක.. කවුද දන්නෙ තමුසෙලා හයි කරපු කැමරා ටිකයි  ශබ්ධ රෙකෝඩ් කරන උපකරණයි ටිකත් කාටහරි අහුවෙයිද කියලා... ඒක අන්තිමට  හොයාගෙන ගිහින් ඒවා හයි කළේ එෆ් බී අයි එක කියලා දැනගත්තාම තවත් ලෙඩක්... ඇත්තෙන්ම තමුසෙලා මේ වැඩේට සුදුසුද ?
ජෙනරාල් වෙලිංටන්... අපි හිතුවෙ නැති විදියට තමයි වාහනේ හැප්පිලා තියෙන්නෙ.... අපි සැලසුම් කළේ පිටුපසින් හප්පලා පොඩි හානියක් කරලා ඔහුව නිරීක්‍ෂණය කරන්න... නමුත් හිතුවෙ නැති විදියට වාහනයෙ පැත්තක හැපිලා ඔහුගේ පෙනහැල්ල සිදුරු වෙලා තියෙනවා... මේ නිසා තමයි වැඩේ බරපතල වුනේ... ජෙනී අවසානයේ කටහඬ අවදි කළාය..
ජෙනී... මම ඔයාව මේ වැඩේට දැම්මෙ මීට වඩා සූක්‍ෂම විදියට එයාට ලංවෙලා තොරතුරු ලබා ගන්න... නමුත් මම බලාපොරොත්තු තියාගෙන හිටි ආකාරයට ඒක වුනේ නැහැ... ඔයාත් මාව අසතුටට පත් කරනවා... මේ දෙන්නට වැඩිය ඔයා සූක්‍ෂම වෙන්න ඕන... මට ආයෙම ඔය තුන්දෙනාට කතා කරන්න ඉඩ තියන්න එපා.. මට මෙයාව යථා තත්ත්‍වයට ආවට පස්සෙ ගන්න ඕන තොරතුරු ටික අරගෙන දෙන්න.... මේකට මමත් දැන් අතදාපු නිසා මේකෙ කෙළවරක් දකින්න ඕන.... මෙයා අපට වැදගත් වෙන්නෙ බොහොමයක් හේතු මත... දැන් යන්න පුළුවන්........
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුමනසේකර යුවල විශ්ව බැලීමට රෝහල් කාමරයට යන විටත් අත්ථදස්සි හිමියන් විසින් පිරිත් සජ්ඣායනය අරඹා තිබුණි. සුමනසේකර යුවල පැමිණි බව දුටු අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය මඳකට නතර කර සුමනසේකර මහතාට හිසින් සන් කළ සේක. සුමනසේකර මහතා ද අත්ථදස්සි හිමියන් අසළ සිටගෙන පිරිත් සජ්ඣායනය කරන්නට විය... සුමනසේකර මැතිණිය සෙමෙන් සෙමෙන් විශ්වගේ ඇඳ අසළට ගොස් ඔහු දෙස බලා සිටින්නට වූවාය.... ඈ සෙමෙන් විශ්වගේ අතක් පිරිමදින්නට විය...
සුපුරුදු පරිදි පිරිත් සජ්ඣායනය වන අවස්ථාවේ වෙනස් වන මොළයේ සංඥා සටහන අද දිනද වෙනස් වූ නමුත්, සුමනසේකර මහතාගේ පිරිත් සජ්ඣායනය ඇරඹෙත්ම නැවතත් ව්‍යාකූල වන්නට විය... වාට්ටුව භාර වෛද්‍යවරයා ද මේ සිදුවීම නිරීක්‍ෂණය කරමින් සිටියේය... සුමනසේකර මහත්මිය විශ්වගේ අත පිරිමදින විට සියල්ලන් පුදුමයට පත් කරමින්  විශ්වගේ ඇඟිලි සෙමෙන් සෙමෙන් ඇගේ අත ග්‍රහණය කර ගන්නට විය.. පිරිත් කියමින් සිටි ස්වාමීන් වහන්සේගේ මුවඟ මඳහසක් නැඟෙන්නට විය.. සුමනසේකර මහතා දොහොත් මුදුන් දී පිරිත් සජ්ඣායනය කරමින් සිය සිත දැඩි ඒකාග්‍රතාවයකට ගෙන ආවේය....
අවසන, සියල්ල නිසල විය... විශ්වගේ මොළයෙන් ලැබෙන සංඥා නැවතත් සරළ වන්නට විය.. පෙර පැවති ව්‍යාකූලභාවය අඩුවෙමින් තිබිණ... පිරිත් සජ්ඣායනය අවසානයේ සුමනසේකර මහතා සෙමෙන් ගොස්  විශ්වගේ හිසේ ඉලෙක්ට්‍රෝඩ සවිකර නොතිබූ නළල දෑස් පියාගෙන පිරිමදින්නට විය... විශ්වගේ මුවින් සුළු කෙඳිරියක් පිටවිය.... තවමත් ඔහු ග්‍රහණය කරගෙන තිබූ සුමනසේකර මහත්මියගේ අත අතහැරී නැත..... සැවොම බලාපොරොත්තු වූ ඒ මොහොත උදාවිය.. විශ්ව........ කෙමෙන් දෑස් විවර කළේය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සිය ප්‍රධානියාගෙන් ලැබූ අවවාද සහ ඉදිරි සැලසුම් පිළිබඳ කල්පනා කරමින් සිටි මොලී, සිය දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණ බවට ලැබුණ සංඥාවෙන් කල්පනා දැහැණින් බිඳුනාය. ඇය සිය දුරකථනයේ රහස් කේතය ඇතුලත් කර පණිවුඩය කියවා බැලුවාය...
සවස සිදු වූ කතාවේ තවත් පරිඡේදයක්දෝ යි සිතමින් මොලී කෙටි පණිවුඩය විවෘත කළාය...
විශ්වට සිහිය ඇවිත්.... දැන්ම යන්න..... සියල්ල සූදානම්.....
ඒ සිය ඉහළම ප්‍රධානියාගෙනි. ඉල්ලීම ඉවත හළ නොහැක. වහාම ඇඳ පැළඳගත් මොලී සිය රථයට නැඟී හමුදා රෝහල කරා ඉගිල්ලුනාය... වේලාව සවස හත පහු වූවා පමණි... 16වන මාවතේ ගමන් කළ ඇයට එතරම් මාර්ග තදබදයක් නොමැති වුවත් වේලාව ගතවන්නේ සෙමින් බව සිතුනි... ඇය සිය රථයේ වේගය වැඩි කර විස්කොන්සින් මාවතට හැරවීම සඳහා අතුරු මාවතකට හැරවූවා පමණි.... පිටුපසින් පැමිණි පොලිස් මාර්ග නිරීක්‍ෂණ රථයක සංඥා එළි දැගේ රථය එල්ල කරගෙන දැල්වෙන්නට විය...

US_Capitol_Police_Car

ශිහ්... මේ වෙලාවෙම ?
ඇයට කළ හැකි කිසිත් නොහැක... ඇය සිදු කලේ වැරැද්දක් බව ඇයට හැඟුණි... මාර්ගයේ වේග සීමාවට වඩා පැයට සැතපුම් 15 කට වැඩියෙන් ඇය ධාවනය කර ඇති බව ඇයට දැනුනි... මීටත් වඩා හදිසි අවස්ථාවල මීට වඩා භයානක අවස්ථාවන්හි රථ ධාවනය කිරීමට පළපුරුද්දක් ඇති ඇයට මේ සිදුවීම අදහාගත නොහැකි විය.. කෙසේ වෙතත් කළ හැක්කක් නොමැත... සිය රථයට පිටුපසින් පොලිස් රථය නැවැත්වූ නිලධාරියා මොලීගේ රථයේ දොර අසල සිටගත්තේය. ඇය සිය රථයේ වීදුරුව පහත් කර තමා සතු වූ ඉහළම සේවා හැඳුනුම්පත නිලධාරියාට පෙන්වූවාය..
ඇයි මිස්... හදිසියක්ද ?
ඔව්.. ඉක්මනින්ම වෝල්ටර් රීඩ් හමුදා රෝහලට යන්න ඕන... ඒකයි මම මේ ඉක්මනින් යන්නෙ... දැන්ම ගියේ නැතිනම් මට අවශ්‍ය බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්....
මිස් දන්නවනේ වෙච්ච වැරැද්ද.... පොලිස් නිලධාරියා ඇය අතින් සිදු වූ වැරැද්ද පැහැදිළි කරදෙන්නට  විය.. ඉන්පසු සිය රථයට ගොස් එම හැඳුනුම්පතේ වූ අංකය සිය පරිඝණකයට ඇතුලත් කර ඒ හැඳුනුම්පතේ වූ විස්තර සහතික කර ගත්තේය.
මහත්මයා... මට දැන් යන්න ඕන... ඔබ දන්නවා මම ඉන්න තත්ත්‍වය... මට ඉක්මනටම යන්න ඕන... නැතිනම් මට ප්‍රධානියාට දන්වන්න වේවි..
හරි මිස්...  ඉක්මනට යන්න...  නමුත් පරිස්සමින්....
අනෙක් වැරදිකරුවනට නීතිය අකුරටම ක්‍රියාත්මක කළත්, මේ තරුණියට සිය ගමනාන්තයට ඉක්මනින් ළඟාවීමට ඉඩ දිය යුතු බව පොලිස් නිලධාරියා වටහාගත්තේය.
බොහොම ස්තූතියි.....
ඇය නැවතත් සිය රථය පණගන්වාගෙන වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත ධාවනය කළාය... මේ අවස්ථාවේ හැටියට එසේ ඉක්මනින්ම පොලිස් නිලධාරියාගෙන් ගැලවී යාමට හැකිවීම ගැන ඇය බොහෝ සතුටු වූවාය. දැනටමත් පරක්කු වැඩිය... විශ්වගේ ඥාතීන් ද රෝහලට පැමිණ සිටිය හැකි බව ඇයට මතක් වූවාය.... රෝහල් ගේට්ටුව වෙත ලඟා වූ ඇය සිය සේවා හැඳුනුම්පත ආරක්‍ෂක අංශයට ලබා දුන්නාය.. ඒ දෙස දෙවරක් බැලූ හමුදා නිලධාරියා ගේට්ටුව විවර කර දුන්නේ වෙනදා නොමැති වෙනසක් මුහුණේ දරාගෙනය.... වෙනදා ශාන්ත දාන්තව රෝහලට පැමිණෙන මේ තරුණිය අද බොහෝ වෙනස්වී ඇත... කළබලයෙන් නමුත් කිසියම් අරමුණක් කරා යන බවක් ඔහුට පෙණුනි..
රෝහල් පරිශ්‍රයේ වාහනය නතර කළ ඇය විශ්වගේ කාමරය කරා ඇවිද්දා නොව දිවුවාය... ඇයට අවශ්‍ය වූයේ ඉක්මනින්ම විශ්ව බලා ගන්නටය.. විශ්වගේ මානසික තත්ත්‍වය කුමක්දැයි නිශ්චිතව දැන ගැනීමටය.. විශ්ව ඒ තරම්ම ඇයට වටී.... ඈ වටා සිටි සියල්ලන්ටම වටී... ඈ සිය සිතිවිලි එකලස් කර ගත්තාය... තමා මෙතෙක් කල් අන් අය වෙත පෑ ඒ මෘදු සිනාව, සුමුදු බව, අදත් පෙන්විය යුතු බව ඇයට සිහි වූවාය... ඇය වහා අසළ වූ කාන්තා වැසිකිලියකට ඇතුළු වී තමන්ගේ ස්වභාවය කුමනාකාර දැයි පිරික්සා බැලුවාය...
සියල්ල ඒ ලෙසම සිදු වේවි... ඈ තමාටම මුමුණා ගත්තාය.
ඇය සෙමින් සෙමින් විශ්ව සිටි කාමරය වෙත පියමැන්නාය....
මේ තරම් ඉක්මනට කොහොමද ඔයා මේක දැනගත්තෙ ? තානාපති කාර්යාලයේ ගීතාංජන ලංකාතිලක මහතා මොලී හැඳිනගෙන  දුර සිටම විමසුවා.
මට කෙටි පණිවුඩයක් ලැබුණා මගේ ප්‍රධානියාගෙන්... මම හිතන්නෙ ප්‍රධාන වෛද්‍යවරයා ඔහුට දැනුම් දෙන්න ඇති.
විශ්වට දැන් පැයකට විතර ඉස්සර සිහිය ආවා.. තවමත් වෛද්‍යවරු පරීක්‍ෂා කරලා බලනවා කොහොමද කියලා... ඊට පස්සෙ ඔයාට පුළුවන් වේවි එයාව බලන්න...
අපි හැමෝම හුඟක් බලාපොරොත්තු වුන දෙයක්... අපි හැමෝටම සතුටුයි විශ්වට ඉක්මනින්ම සිහිය ආපු එක ගැන... අපේ හැම දෙනාම සෑහෙන කණගාටුවෙන් හිටියෙ....
මේ ඉන්නෙ විශ්වගෙ මාමයි නැන්දයි... ලංකාතිලක මහතා මොලීට සුමනසේකර යුවල හඳුන්වා දුන්නේය.
සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන.... මම මොලී... විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ....
නීලකාන්ති සුමනසේකර මහත්මිය මොලී දෙස විමසුම් සහගත බැල්මක් හෙළුවාය... මොලී ඇය හා සිනාසුනාය...
සුමනසේකර මහත්මිය ඈ හා සිනාසුනත්, සුමනසේකර මහතාගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවීය.....
අද හවස මම ආවා මෙගන් එක්ක... එතකොටත් විශ්වට සිහිය තිබුණෙ නැහැ... ඩොක්ට කිවුවා විශ්වගෙ ඥාතීන් ආවම කම්පන ප්‍රතිකාරය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා.. විශ්වට සිහිය ආවෙ ඒකෙන් පස්සෙද ? ඇය අපහසුතාවය මඟහරවාගනිමින් විමසුවාය.
නැහැ නැහැ.... මම හිතන්නෙ  නම් මේ දෙන්නා ආවා කියලා විශ්වට තේරිලා... මේ දෙන්නා ආපු ගමන් ඇස් ඇරියා... කවුරු හරි නෑ කෙනෙක් එනකල් ඉඳලා තියෙන්නෙ... ලංකාතිලක මහතා විහිළුවක් කර ඒ අවස්ථාව සැමට පහසු කිරීමට සරළ උත්සාහයක් ගත්තේය.
ඒක හරිම පුදුමයි නෙ... කිසිම බෙහෙතක් නැතිව ?
විශ්වට ලැබෙන්න ඕන හොඳම බෙහෙත ලැබුණා මොලී... එයාට හැමදාම ඒ බව දැනුනා... ඒක අදත් දැනෙන්න ඇති... සුමනසේකර මහත්මිය සෙමෙන් පැවසුවාය....
මමත් හිතන්නෙ එහෙමයි... පිරිත් සජ්ඣායනය වෙලාවෙ නම් වෙනසක් පෙන්වුවා... නමුත් සිහිය එන පාටක් තිබුණෙ නැහැ.... අපි හැමෝම දැනගෙන හිටියා පිරිත් වලින් විශ්වට ලොකු සෙතක් වෙනවා කියලා.. ඒත් කොයි තරම් දුරට ඒක වෙනවද කියලා කාටවත් නිනවුවක් තිබුණෙ නැහැ... මොනවා වුනත් සිහිය ආපු එක ලොකු දෙයක්... මොලී නැවතත් පැවසුවාය....
අපි බලමු... තව ගොඩක් පරීක්‍ෂණ කරන්න වෙයි...
ඒ කතාබහ මොහොතකට නතර වූයේ විශේෂඥ වෛද්‍යවරයා සුමනසේකර යුවලට කාමරය තුළට පැමිණෙන ලෙස කළ ඇරයුමත් සමඟිනි. ඔහුට අවශ්‍ය වූයේ විශ්ව දන්නා හඳුනන මුහුණු වෙත දක්වන ප්‍රතිකාරය අනුව දිගුකාලීන මතකයේ ප්‍රතිස්ථාපනය කෙතෙක් දුරට සිදු වී ඇත්දැයි යන්න ගුණාත්මකව සොයා ගැනීමය.
සුමනසේකර යුවල සෙමෙන් ගොස් විශ්වගේ ඇඳ දෙපස සිටියහ. ඔහුගේ දෑස් කඳුලින් තෙත් විය... මුවේ සිහින් සිනාවක් මතු කරන්නට තැත් කිරීමක් පෙණුනි. නීලකාන්ති සුමනසේකර මහත්මිය සතුටු කඳුලක් හෙළුවාය. වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැතත්, ඔහු තමා හඳුනාගත් බව ඇයට දැනුනි...
මමත් යන්නද ? මොලී නොයිවසිල්ලෙන් මෙන් විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසුවාය...
යන්න... ගිහින් බලන්න එයාගෙ කෙටි කාලීන මතකය කොහොමද කියලා... වෛද්‍යවරයා ඇය දිරිමත් කළාය....
ඇඳ අසළට ගිය මොලී විශ්වගේ මුහුණට එබී බලා සිනාසුනාය.......
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ වාර්තාව නම් සෑහෙන සංකීර්ණයි.....
ඒ මොකද එහෙම කියන්නෙ.... ඔයාම නෙ කිවුවෙ මේ වාර්තාව පැහැදිලි කරලා දෙන එක සුළු දෙයක් කියලා.
මම කිවුවා තමයි... ඒ වුනාට මේක හිතුවට වඩා සංකීර්ණයි... මේකෙ සංඝඨක කිහිපයක් මම වෙන් කරලා හඳුනා ගත්තා... නමුත්, මේකෙ සමහර වෙලාවට එකම සංඝඨකය විවිධ ප්‍රමාණ වලින් එක් එක් තෙල් වර්ගයේ තිබෙන්න පුළුවන්. මේ නිසා එක් එක් තෙල් වර්ගයට ආවේණික සංඝඨක වලින් තෙල් වර්ගය හඳුනා ගන්නවා විනා ඒවායේ ප්‍රතිශතයෙන් නම් කොහොමටවත් හඳුනාගන්න බැහැ.. උදාහරණයක් වශයෙන් පයිනීන් කියන සංඝඨකය අඩංගු වෙන්නෙ ටර්පන්ටයින් කියන තෙල් වර්ගයෙ.. ඒ නිසා අපට පුළුවනි මේ මිශ්‍රණයේ ටර්පන්ටයින් තිබෙන බව සහතික කරන්න.. සින්ජිබරීන් තියෙන්නෙ ඉඟුරු වල.. ඒ නිසා ඉඟුරුත් මේ මිශ්‍රණයේ අන්තර්ගතයි. එපමණක් නොවෙයි මස්ටර්ඩ් (අබ) පවා මේ මිශ්‍රණයේ තියෙනවා... මම කිසිම අවස්ථාවක දැකලා නැහැ මේ වගේ සංකීර්ණ මිශ්‍රණයක්.
සයන්ටිස්ට් රාහුල් ගුප්තා... ඔබ කියන්නෙ ඔබටත් මේ මිශ්‍රණයේ තියෙන සංඝඨක වෙන් වෙන්ව හඳුනා ගන්න බැහැ කියලද ?
ඔව්.... මට සමහරක් සංඝඨක හඳුනාගත්තත් සියල්ල හඳුනාගන්න අමාරුයි.. නමුත්, මේ සොයා ගත් දේ වලින් මට නිගමනය කරන්න පුළුවන් මේ මිශ්‍රණය යොදාගෙන තිබෙන්නෙ කිසියම් පිරිසිදුකාරකයක් විදියට බව.
ඒ වගේම ඔබ ගෙන ආපු පැලය අපි පරීක්‍ෂාවට ලක් කළා... ඒ පැළය කුඩා කාළයේ කුමක්ද කියා හඳුනාගන්න අමාරු වුනත්, එය Sylibum වර්ගයක් වන Milk Thistle නම් පැලෑටිය බවට හඳුනාගත්තා. එය සාමාන්‍යයෙන් ඇමරිකානු මහාද්වීපයේ වැඩෙන පැලෑටියක් නොවෙයි. නමුත් එය ඇට මගින් පැල කරගන්න පුළුවනි. එය වැඩෙන්නෙ මධ්‍යධරණී ප්‍රදේශ, උතුරු අප්‍රිකාවෙ සහ මැදපෙරදිග ප්‍රදේශ ආශ්‍රිතව. මේ පැලෑටිය අධික ඖෂධීය වටිනාකමක් තිබෙන පැලෑටියක්.
මොකද්ද ඒකෙ ඖෂධීය වටිනාකම ?

Milk Thistle මලක්
Milk Thistle මලක්

මේක විෂ හරණ පැලෑටියක් විදියට පුරාණ කාළයේ සිටම භාවිතා කරලා තිබෙනවා. මේ පැලෑටියේ ඇති සිලිමරින් කියන සංයෝගයේ ගුණ පිළිබඳ ඉතා දිගු කාළයක සිට පර්යේෂණ කෙරිලා තිබෙනවා. ඒ අනුව අක්මාවේ සිදුවන රුධිර පිරිපහදුවේදී ශරීරයේ ඇති සියළුම විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ ඖෂධ වැනි දේ වල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කර ශරීරයෙන් ඉවත් කිරීම මගින් අක්මාවේ කාර්යක්‍ෂමතාවය වැඩි කරනවා. අක්මාව නිරෝගීව තබා ගන්නවා. මේ නිසා රුධිරය ඉතාමත් පිරිසිදු තත්ත්‍වයක පවත්වාගෙන යාමට මේ පැලෑටිය භාවිතයට ගන්න කෙනෙකුට හැකි වෙනවා. මේ සංසිද්ධිය අද ඊයෙ සොයාගත්  දෙයක් නොවෙයි. ඈත අතීතයේ රෝම සහ ග්‍රීක ජාතිකයන් පවා මේ පැලෑටිය සහ ඇට විෂහරණය හඳහා යොදාගෙන ඇති බව සඳහන්... ඒ නිසා මම හිතන්නෙත් මේ පුද්ගලයා තමන්ගෙ ශරීරයේ ඇති විෂද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය ඉවත් කරගන්න මේ පැලෑටියෙ නිස්සාරකයක් හෝ ඇටවලින් ලබා ගත් කුඩක් භාවිතා කරන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම පෙරදිග වෛද්‍ය විද්‍යාවෙදි සමහර වෙලාවට පිළිකා ප්‍රතිකාර සඳහාත් මේ පැලෑටිය යොදා ගන්නවා කියලා වාර්තා වෙනවා. රාහුල් ගුප්තා විසින් එෆ්බීඅයි ඒජන්තවරු දෙදෙනාට එම පැලෑටිය පිළිබඳ දිගු විස්තරයක් ගෙන හැර පෑවේය.
ආ.... ඒක තමයි මෙයාගෙ රුධිර පරීක්‍ෂාවෙදි කිසිම දෙයක් අපට අහු වුනේ නැත්තෙ... රුධිර වාර්තාවෙ අඩංගු වෙන්නෙ බොහොම පිරිසිදු රුධිරය ඇති පුද්ගලයෙක් කියලයි.. සියල්ල අවසන ජේසන් කටහඬ අවදි කළේය.
සමහරවිට මෙයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ බව සඟවන්න මේක පාවිච්චි කළා වෙන්න බැරිද ? ඒ මයික්...
එහෙම වෙන්නත් පුළුවන්. නමුත් දැන් ආයෙම රුධිර පරීක්‍ෂාවක් නොකෙරෙන නිසා ඇයි දැනුත් ඒවා පාවිච්චි කරන්නෙ ? රාහුල්ගෙ තර්කයත් වැදගත්...
අපට මේ දේ දැනගන්න කරන්න පුළුවන් එකම දෙයයි. මෙයාගෙ අනතුර වුන වෙලාවෙ ලබාගත් රුධිර සාම්පලය විශ්ලේෂණය කරලා බැලුවොත් මෙයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවද කියලා හොයා ගන්න පුළුවනි. අපි ඔහුගෙ නිවස පරීක්‍ෂා කළ වෙලාවෙ නම් අපට කිසිම මත්ද්‍රව්‍යයක් හෝ සිරින්ජයක්වත් හමු වුනේ නැහැ... ඒ නිසා මත්ද්‍රව්‍ය ගන්නවාද කියන සැකය ඒ තරම් තහවුරු වෙන්නෙ නැහැ.
කෝකටත් අපි වෛද්‍ය වාර්තාව අරගෙනම බලමු..... සයන්ටිස්ට් රාහුල් ගුප්තා.... බොහොම ස්තූතියි ඔබේ විශේෂඥතාවය මේ කාර්යයට ලබා දුන්නාට.... අපේ වාර්තාවෙ ඔබ ගැන විශේෂ සඳහනක් කරනවාමයි මේ සිද්ධියට උපකාර කළාට....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සතියක් ගත වෙද්දී විශ්ව කෙමෙන් කෙමෙන් සුවය ලබන්නට විය. හදිසි සත්කාර ඒකකයෙන් ඉවතට ගනු ලැබූ විශ්වට ආදර සත්කාර ද නොඅඩුව ලැබුණි... සිය මාමණ්ඩිය සහ ලොකු නැන්දාගෙන් මෙන්ම මොලී ද නිතිපතා පැමිණ විශ්වගේ සැප දුක් සොයා බැලීම නිසා විශ්ව ඉක්මනින්ම සුවය ලැබුවේය.... විශ්වට සිහිය ආ පසු පිරිත් සජ්ඣායනය කිරීම නතර වුවත්, අත්ථදස්සි හිමියෝ ද විටින් විට රෝහලට පැමිණ විශ්ව හා බොහෝ දේ සාකච්ඡා කරනු පෙණුනි. මේ අතර විශ්වගේ පාදය යථා තත්ත්‍වයට ගෙන ඒම පිණිස කායික ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය බවට සහ මානසික ප්‍රතිකාර අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නියම කිරීම  නිසා විශ්ව හමුදා රෝහලේ පුනරුත්ථාපන අංශය වෙත මාරු කර යැවීමට ද සූදානමක් තිබුණි.
මොලී... ඔයා විශ්වගෙ පෙම්වතියද ? දිනක් මොලී සමඟ කතා බහේ නියැලී හුන් සුමනසේකර මහතා එක්වරම මොලීගෙන් විමසීය.
නැහැ... ඇයි එහෙම ඇහුවෙ ?
නැහැ... මම නිකමටයි ඇහුවෙ... මෙච්චර කාලයක් විශ්ව අසනීප වෙලා ඉඳිත්දි දිගටම විශ්ව බලන්න, එයාගෙ ගැන හැම නිතරම හොයා බලන්න වැඩියෙන්ම ආවෙ ඔයා විතරයි... මෙච්චර කාලයකට විශ්වට ගෑණු ළමයෙක් කියලා ලංවෙලා හරි හිටියෙ ඔයා විතරයි... ඒකයි මම ඇහුවෙ... වෙන කාරණයක් නිසා නොවෙයි... සුමනසේකර මහතා සන්සුන්ව උත්තර දුන්නේය...
මම විශ්වගෙ පෙම්වතිය නොවෙයි... නමුත් අනතුර සිදු වෙන්න පෙර  සතියක පමණ වෙලේ ඉඳලා අපි දෙන්නා එකටමයි වැඩ කළේ.. ඒ නිසා ගොඩක් මිතුරු වුනා...
ඇත්තම කියනවා නමු නම් ඔයා විශ්ව බලන්න එනවට මගේ එච්චර කැමැත්තක් මුලින් තිබුණෙ නැහැ.. නමුත් මට තේරුම් ගියා ඔයා විශ්ව ගැන සෑහෙන වද වෙනවා කියලා... මොලී... විශ්ව කියන්නෙ අපට බොහොම සුවිශේෂ දරුවෙක්... විශ්ව අපි හැමෝටම සම්පතක්. විශ්වගෙ පවුලෙ අය අකාලයේ මිය ගියත්, විශ්වගෙ තාත්තා නිතරම මට කිවුවෙ ඒ අය නැති කාලෙක විශ්ව හොඳින් බලාගන්න කියලා... මට හිතෙන විදියට විශ්වගෙ තාත්තා දැනගෙන හිටියා එයාගෙ ජීවිතය කෙටියි කියලා... විශ්වට අවුරුදු 16 වෙනකොටම තමයි විශ්වගෙ තාත්තා විශ්වට එයාගෙ සේසතම ලියලා දුන්නෙ. නංගිටත් අයිතියක් තියලා. නමුත් ඒ හැමෝම විශ්ව දාලා ගියා... දැන්එයාට ඉන්නෙ අපි විතරයි. අපි විශ්ව අපේම දරුවෙක් වගේ බලාගන්නෙ ඒ නිසයි... මම බලාපොරොත්තු වෙනවා ඔයාගෙ හිතේ විශ්ව ගැන අදහසක් තිබෙනවා නම් ඒක ස්ථිර අදහසක් වේවි කියලා... මොකද විශ්ව කියන්නෙ මේ ලෝකෙ තනි වුන දරුවෙක්... අපි නැති කාලෙක විශ්වට කවුරුවත් නැහැ... අන්න ඒ නිසා අපි බොහොම කල්පනාකාරී වෙනවා විශ්වගෙ අනාගතය ගැන...
මම දන්නවා මිස්ටර් සුමනසේකර, විශ්ව කියන්නෙ වෙනත් අයට වඩා බොහොම වෙනස් විදියට හිතන කෙනෙක් කියලා මම දන්නවා.. ඒ වගේම හරිම හොඳ කෙනෙක්. මාත් සමඟ සතියකටත් වඩා එකට වැඩ කරද්දි මට තේරුණ දෙයක් තමයි එයා කිසිම අසංවර ගතියක් නැති බොහොම තැන්පත් කෙනෙක් කියන දේ... මම දන්නෙ නැහැ විශ්ව මට මොන විදියකට සළකනවද කියන එක... නමුත් මම කියන්න ඕන මම විශ්වට බොහොම කැමතියි.. අපි ගැන අපේ අනාගතය  ඉදිරියේදී විසඳයි...
ඒ කතා බහ අවසන් වූයේ වාට්ටුව භාර වෛද්‍යවරයා තවත් වෛද්‍යවරියක් සමඟ සුමනසේකර මහතා සහ මොලී කතාකරමින් හුන් තැනට පැමිණීම නිසාවෙන්..
මිස්ටර් සුමනසේකර, මේ ඉන්නේ අපේ රෝහලේ පුනරුත්ථාපන අංශයේ වෛද්‍යවරියක්. ඔබත් විශ්වත්  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිසා අපි තීරණය කළා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙක්ම විශ්වගේ පුනරුත්ථාපන කටයුතු සඳහා යොදවන්න. ඒක මානසිකවත් විශ්වට සහ ඔබ සියළු දෙනාට පහසුවක් වෙන නිසාම.. ඊට අමතරව මේ ඉන්න වෛද්‍ය ගීතිකා ගුණසේකර මානසික වෛද්‍ය විද්‍යාවත් ප්‍රගුණ කළ අයෙක්, ඒ නිසා විශ්වගේ මානසික පුනරුත්ථාපනයත් කායික පුනරුත්ථාපනයත් යන දෙකම එකතැනින් සිදු කර ගන්න පුළුවනි. අපි හෙට විශ්වව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගෙනයනවා... ඉන් පසුව නම් මේ වගේ නිතර ඔහුව බලන්න එන්න බැරි වේවි. මොකද දවස පුරාවටම තරමක දැඩි පුනරුත්ථාපනයක් කෙරෙන නිසා ඒ සියල්ල ක්‍රමාණුකූලව සිදු විය යුතුයි. දවසකට එක වතාවක් පමණක් ඥාතීන් බලන්න අවසර ලැබෙනවා. ඔහුගේ මානසික පුනරුත්ථාපනයට අදාල අභ්‍යාස කෙරෙන නිසා බාහිර මානසික හේතූන් අවම කරන්න අපි කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඔබලා පුනරුත්ථාපන වෛද්‍ය කාර්යමණ්ඩලය නියම කරන වෙලාවක් ඇතුලත පමණක් පැමිණිය යුතුයි.
හොඳමයි ඩොක්ට, කොහොමත් මට දවල් වෙලාවෙ නම් වැඩිය එන්න ලැබෙන්නෙ නැහැ... මට බොහෝ විට එන්න ලැබෙන්නෙ සේවය අවසානයේ සවස පහ පසු වුනාට පස්සෙයි...  මොලී සිය කණස්සල්ල මුසු හැඟීම් වෛද්‍යවරයා වෙත හැරපෑවාය.
මට තේරෙනවා මොලී... නමුත්, මට මේ සැලසුම් වෙනස් කරන්න බැහැ.. මොකද මේ වෛද්‍යවරු ඒ ඒ රෝගියාට නිසි සැලසුම් සකස් කරලා තිබෙන නිසා... ඔබට පුළුවන් දවස් කිහිපයකට වතාවක් ඇවිත් විශ්ව බලලා යන්න..
ඔව් මොලී .. අපි එහෙම කරමු... අපිත් තව සති කිහිපයක් මෙහේ ඉන්න නිසා විශ්වගේ පුනරුත්ථාපන කටයුතු ඉක්මනින් කරගනිමු.. හොඳ වුනාට පස්සෙ අපි එයාව ගෙදර එක්කරගෙන ගිහින් ඉතිරිය බලමු... සුමනසේකර මහතා ද වෛද්‍යවරයාගේ අදහසට එකඟත්වය පළ කළේය...
මෙතෙක් වෙලා නිහඬව සිටි වෛද්‍ය ගුණසේකර මෙනෙවිය සිය කටහඬ අවදි කළාය........
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඊට පස්සෙ ?