Thursday, April 25, 2013

කරන්ට් වැදුන ඔබට මෙන්න සහනයක්..... අත්දුටුවයි සත්තයි.... හරි ගියාම ගාස්තුව ගෙවන්න...


කවුරු මොනවා කිවුවත්, මොනවා කරන්න උත්සාහ කළත්, උද්ඝෝෂණ, උපවාස සහ සාකච්ඡා පැවැත්වුවත්, ආණ්ඩුව විදුලි බිල ඉහළ දමා තිබේ. හිටපු ඇමතිතුමා කියන්නේ එය තමා නොකළ බවයි. වර්තමාන ඇමතිතුමිය ඒ ගැන කිසිත් නොදනී. දැනට දන්නා පරිද්දෙන් විදුලි බිල ඉහළ දමා තිබෙන්නේ ආර්ථික ඝාතකයා යැයි විමල් වීරවංශ ඇමතිතුමා විසින් හැඳින්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාය. ඒ මහතාට හිතු මනාපෙට විදුලිබිල ඉහළ දැමීමට නොහැක. ඒ මුදල් අමාත්‍යාංශයේ අදාල ඇමතිවරයා ජනාධිපතිතුමා වන නිසාය...
කෙසේ හෝ විදුලිබිල ඉහළ ගොස් ඇත. වැඩි වූ විදුලි බිලට සමගාමීව රූපවාහිනී නාලිකාවල සාකච්ඡා  ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත. ඉන් එක් සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ තවත් මාස කිහිපයකින් ජනාධිපතිතුමාගේ හිත උණු වී මේ විදුලිබිල වැඩිවීම අහෝසි කරනවා හෝ අඩු කරනවා ඇතැයි කියාය. එය උතුරේ පලාත්සභා ඡන්දය කාලයේ සිදු වන්නට හැකි බව මගේ ජ්‍යෝතිශ්‍ය දැනුමට හැඟේ.. කෙසේ වුවත් එය අඩුවේද වැඩිවේද යන්න කිව නොහැක..
අඩු වුවත් වැඩි වුවත් ඒ දේ සිදුවී හමාරය.. සමහරු අපි විදුලිබිල ගෙවන්නේ නෑ කියා මුහුණු පොත ඉදිරියේ සිට පාරම් බෑවත් ඒ නිවෙස්වල විදුලි බිල ගෙවන්නේ ඔවුන්මද යන්න ද සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් විදුලි බිල නොගෙවීමෙන් අනතුරුව කෙරෙන විදුලිය විසන්ධි වීමේ ඵලවිපාක දරන්නට සිදු වන්නේද පාරිභෝගිකයාටමය. නැවත විදුලිය ලබා දීමේදී අය කෙරෙන ගාස්තුව සහ හිග මුදල් ද ගෙවීමට සිදු වන්නේ ඔවුන්ටමය. අප සෑම විටම සිදු කරන්නේ අනුන් පිට වරද පටවා කෑ ගැසීමය. තම තමන්ගෙන් මේ සඳහා විය හැක්කේ කුමක්ද යන්න කිසිවෙකු අවධාරණය නොකරයි. මේ වෙනුවෙන් පෞද්ගලිකව අපට සිදු කළ හැක්කේ කුමක්ද ?
විදුලිය සහිත ලොවක ජීවත් වූ අප සැමට විදුලිය නොමැතිව ජීවත් වීමට හුරු වීම ඉතා අපහසු කාර්යයකි. නොදියුණු ගෝත්‍රික සමාජයන් සහ බටහිර වෙසෙන සමහර අන්තගාමී ආමිශ් ගෝත්‍රික සමාජයන් වැනි අයට හැරෙන්නට විදුලි බලයෙන් සිදුවන සහ සිදු කෙරෙන දෑ අතර දිවි ගෙවන අපට විදුලි බලය නොමැතිව දින කිහිපයක් ගත කිරීම අපහසුය. එසේ සිදු කළ හැකිනම් ඉතාම අගනේය. මේ නිසා විදුලිය නොමැතිව ගෙවන ජීවිතයක් පිළිබද විකල්පය සිහි බුද්ධියක් ඇති කෙනෙකු විසින් ඉවත දැමිය යුතුය. නමුත් විදුලි බිල පාලනය කිරීමට කළ හැකි දෑ බොහොමයකි.
විදුලිබිල වැඩිපුරම ඉහළ යන්නේ ඒකක 90 කට වඩා වැඩියෙන් භාවිතා කළ හොත් පමණි. සාමාන්‍ය නිවසක විදුලි ඒකක කීයක් පාවිච්චි වනවාද යන්න ඒ ඒ නිවසේ වෙසෙන සාමාජික සංඛ්‍යාව සහ ඔවුන්ගේ ජීවන රටාව මත රදා පවතී. නමුත් නිවසේ පාවිච්චි වන විදුලි ඒකක ගණන අඩු කර ගැනීමට පොදුවේ අපට කළ හැකි දෑ බොහොමයකි.
සාමාන්‍ය නිවසක දැල්වෙන විදුලි පහන් වර්ග තුනකි. ටංස්ටන් පහන්, ප්‍රතිදීප්ත පහන් (ටියුබ් ලයිට්) සහ සුසංහිත ප්‍රතිදීප්ත පහන් (CFL) වශයෙනි. මේ පහන් වර්ගවලින් වැඩිපුරම විදුලි ඒකක ප්‍රමාණයක් වැයවන්නේ ටංස්ටන් පහන් වලට වන අතර ඉතිරි දෙකෙහි විදුලි ඒකක ප්‍රමාණය පිළිවෙලින් ඉන් අඩක් සහ 1/3 ක් පමණ වේ. මෙවැනි විදුලි බල්බ කිහිපයක් දීර්ඝ කාළයක් දිනපතා පාවිච්චි කිරීමෙන් විදුලි ඒකක 90 ඉක්මවා යා හැකිය. දැන් දැන් වෙළඳපොලේ ප්‍රචලිත වෙමින් පවතින එල් ඊ ඩී (LED) විදුලි පහනක් සඳහා වැයවන්නේ ඉතාමත්ම අඩු විදුලි ප්‍රමාණයක් වුවත් ඒ විදුලි පහන්වල දැනට ඇති අධික මිල නිසා පාරිභෝගිකයෝ LED විදුලි පහන් මිලදී ගැනීමට මැලිකමක් දක්වති. කෙසේ වුවත් මසකට එක බැගින් හෝ ටංස්ටන් විදුලි බල්බයක් LED විදුලි බල්බයක් මගින්  ආදේශ කර ගතහොත් දීර්ඝකාලීන ඉතිරියක් සිදු කර ගැනීමට පැහැදිලි හැකියාවක් ඇත.
දැන් පවතින අධික රස්නය නිසාම බොහෝ දෙනෙකු රාත්‍රිය පුරාවට විදුලි පංකා ක්‍රියාත්මක කරගෙන නිදා ගැන්මට පුරුදු වී ඇත. තවත් සමහරු වායුසමන යන්ත්‍ර පවා භාවිතා කරති. සාමාන්‍ය විදුලි පංකාවක් මෙන් විසි තිස් ගුණයක් විදුලිය පරිභෝජනය කරන වායු සමන යන්ත්‍ර, නිවසක වැඩියෙන්ම විදුලිය වැයවන උපකරණයක් වේ. එසේම සීලිං විදුලි පංකාවකට වඩා මේස විදුලි පංකාවක් ලාභදායී වන බව බොහෝ දෙනා නොසිතන කරුණකි.
නාගරික නිවෙස්වල බොහෝවිට රෙදි සෝදා ගැනීම සිදු කෙරෙනුයේ රෙදි සෝදන යන්ත්‍රයක ආධාරයෙනි. සමහර රෙදි සෝදන යන්ත්‍ර පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක වේ. ඔබ රෙදි සෝදා ගැනීමේ යන්ත්‍රයක් තෝරා ගැනීමේදී අඩු වේලාවකින් රෙදි සේදෙන යන්ත්‍රයක් තෝරාගැනීම ඉතා වැදගත් වේ. රෙදි වේලා ගැනීමට වේලා ගැනීමේ යන්ත්‍රයක් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටක භාවිතය තරමක අණුවන ක්‍රියාවකි. එසේම රෙදි සෝදා වේලා ගැනීමෙන් අනතුරුව රෙදි මැදීම අත්‍යවශ්‍ය කාරණයකි. නිවසේ වෙසෙන සියළුම දෙනා අවම වශයෙන් දින තුනක් හෝ භාවිතා කරන රෙදි එකවර මැද ගැනීම මගින් විවිධ අවස්ථාවල රෙදි මැදීම සඳහා විදුලි ස්ත්‍රික්කය රත් කිරීමට වැය වන විදුලිය ඉතිරි කර ගත හැකිය. එසේම එමගින් නිවැසියන්ගේ කාර්යයන්ද කළමණාකරණය කර සැලසුම් කරගැනීමට මඟ පාදා ගත හැකිය.
අප බොහෝ විට අනවශ්‍ය උපකරණ නිවසේ ගොඩ ගසා ගෙන සිටීම දක්නට ලැබිය හැකි කරුණකි. රූපවාහිනී යන්ත්‍රයට සවි කෙරෙනු ලබන ඩී වී ඩී යන්ත්‍ර, ශබ්ධ වාහිනී යන්ත්‍ර (Home theater systems) ආදී දෑ නිසා ඒවා ක්‍රියාත්මක නොවුනත් කිසියම් විදුලිය ප්‍රමාණයක් වැය වේ. එසේම සාමාන්‍යයෙන් භාවිතා වන විදුලි උපකරණ පවා ක්‍රියාත්මක නොවන අවස්ථාවක වුවත් විදුලියට සම්බන්ධ වී ඇතිනම් ඒවායේ ඇති විවිධ කොටස්වලට විදුලිය වැයවීමක් සිදු වේ. මෙය සාමාන්‍ය විදුලි බිලෙන් 10% ක පමණ ප්‍රමාණයක් ලෙසින් ගණන් බලා ඇත. මසකට රුපියල් 2000 ක විදුලි බිලක් ලැබෙන නිවසකට මේ නිසා වැඩිපුර රුපියල් 200 ක් වැය වේ. පාවිච්චි නොකරන අවස්ථාවලදී ශීතකරණය හැරෙන්නට නිවසේ ඇති සෑම උපකරණයක්ම විදුලියෙන් විසන්ධි කර තබා ගැනීමෙන් සෑහෙන ප්‍රමාණයකට විදුලියක් ඉතිරි කර ගත හැකිය.
දැන් දැන් ඉලෙක්ට්‍රොණික නිශ්පාදන වැඩි වැඩියෙන් පර්යේෂණ මගින් වැඩිදියුණු වන නිසා ඒවායේ බලශක්ති කාර්යක්‍ෂමතාවය ඉහළ දැමීමට කටයුතු යොදා ඇත. Energy star ලෙසින් හැඳින්වෙන සළකුණ ඒ ඒ විදුලි උපකරණවලට ලබා දී ඇත්තේ ඒවා කාර්යක්‍ෂමතාවයෙන් ඉහළ බවට සහතික කර ඇති බවට පාරිභෝගිකයාට දැන්වීමටය. ඔබ Energy Star සළකුණ සහිත විදුලි උපකරණ භාවිතා කරන්නේ නම් ඔබේ විදුලි උපකරණ කාර්යක්‍ෂමතාවයෙන් ඉහළ තත්ත්‍වයක පවතී. එසේ නොමැති නම්, ඊලඟ වතාවක එවැනි උපකරණයක් මිලදී ගැනීමේදී Energy Star සළකුණ ඇති දැයි සොයා බලා මිලදී ගන්න.
නිවසේ අනවශ්‍ය විදුලිපහන් නිවා දැමීම, නිකරුණේ විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම නැවැත්වීම, අවබෝධයෙන් යුතුව නිවසේ කටයුතු සිදු කිරීම මගින් විදුලි බිලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව බොහෝ දෙනා දනිතත්, ප්‍රායෝගිකව එය සිදු කිරීමට අමතක වීම නිසාම සාමාන්‍ය ප්‍රමාණයට වඩා විදුලි ඒකක 30 ක් පමණ සෑම නිවසකම භාවිතා කෙරෙයි.
පෞද්ගලිකව අප මෙසේ විදුලි පරිභෝජනය අවම කරන අතරම, කාර්යාලයේ ද සේවය අවසානයේ පරිඝණක ක්‍රියා විරහිත කර පේනුවෙන් ගලවා දැමීම මගින් ඒ ඒ ආයතනයට සෑහෙන ප්‍රමාණයක විදුලි බලයක් ඉතිරි කර ගැනීමට හැකි වේ. සාමාන්‍ය අවස්ථාවලදී පවා පරිඝණකයේ තිරය මිනිත්තුවක් හෝ දෙකකින් අනතුරුව නිවා යාමට සැකසීමෙන් ද සැලකිය යුතු විදුලි ඒකක ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. කාර්යාලීය වායු සමනය කිරීමේ යන්ත්‍රය එක් අංශකයක් වැඩි කර සැකසීම මගින් විදුලි ඒකක විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි අතර සාමාන්‍යයෙන් එක් අංශකයක වෙනසක් දැඩි අපහසුතාවයක් ලබා නොදෙන බවද අවධාරණය කළ යුතුමය.
මාර්ගස්ථ විදුලි පහන් දිවා කාලයේ පවා දැල්වෙනු අපට නිතර දැකිය හැකි දසුනකි. එසේම බොහොමයක් මාර්ග ආලෝක කරණය සිදු වන්නේ තවමත් අකාර්යක්‍ෂම විදුලි පහන් භාවිතයෙනි. ඒ විදුලි පහන් කාර්යක්‍ෂම විදුලි පහන් බවට පරිවර්තනය කිරීම සහ ස්වයංක්‍රීයව දැල්වෙන ආලෝක සංවේදී ස්විච සවි කිරීම මගින් රාත්‍රී කාළය වනවිට හෝ ආලෝකය අඩුවන විට ස්වයංක්‍රීයව දැල්වෙන පහන් උදෑසන වනවිට ඉබේම නිවී යාම මගින් කාර්යක්‍ෂම විදුලි පරිභෝජනයක් සිදු කළ හැක.
දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ මෙන්ම රාත්‍රී ධාවන තරඟද පැවැත්වීමේදී මෙයට වඩා පුළුල්ව රටක් වශයෙන් සිතා බැලීමත් ඉතා වැදගත්ය. මේ තරඟ වලදී වැය වන්නේ ඒ ඒ ස්ථානවලදී වැයවන විදුලිය පමණක් නොවේ. රූපවාහිනී ඉදිරිපිට සිට ඒ තරඟ නරඹන ප්‍රේක්‍ෂකයෝද ඒ හා සමාන හෝ ඊටත් වැඩි විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය කරති. මේ පිළිබඳවද අදාල බලධාරීන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයේ දවසට අපම වශයෙන් පැය අටක්වත් සූර්යාලෝකය ලැබෙන රටකි. එවැනි රටකට ඇති මහඟුම බලශක්ති ප්‍රභවය වන්නේ සූර්යාලෝකයයි. මේ කරුණ සිතා බලා සූර්යකෝෂ සම්බන්ධිත විදුලි ජනනයට යොමු වීම දීර්ඝකාලීනව වාසි ලැබිය හැකි ක්‍රියාවකි. එය, ඇති හැකි පුද්ගලයින්ට පෞද්ගලිකව සිය නිවාසවලට සූර්යකෝෂ සවිකරගෙන ඒ මගින් දිවාකාලයේ විදුලි ජනනය කිරීමත් - ඒ ජනනය වන විදුලිය ප්‍රධාන විදුලි සැපයුමට ස්මාර්ට් මීටර මගින් සම්බන්ධකරගෙන ජනනය වන විදුලියට අයවන මුදල මාසික විදුලිබිලෙන් අඩුකරන ක්‍රමයකට යා හැකි නම් පාරිභෝගිකයා මීටත් වඩා විදුලිය අරපිරිමැස්මකට යොමු වෙනවා ඇත. එසේම රාජ්‍ය ආයතනවලද ගොඩනැගිලිවල වහලයන් මත සූර්යකෝෂ සවිකිරීම මගින් ඒ ඒ ආයතනවල විදුලිබිල තරමකට හෝ පාලනය කර ගැනීමට පිටිවහලක් වනවා ඇත.
විකල්ප බලශක්ති ප්‍රභව ගැන අවධානය යොමු කිරීමේදී කොළඹ නගරයේ සදාකාලිකව පවත්නා කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට ද පිළියමක් යෙදිය හැකිය. කොළඹ නගරයේ පමණක් දිනකට කුණු ටොන් 700 ක් එකතු වන බව රජයේ ඇමතිවරයෙකු විසින්ම පවසා තිබුණි. මේ කුණු ටොන් 700 න් විදුලි බලය ජනනය කිරීමට විවිධාකාර ක්‍රම තිබේ. කුණු පූතිභවනය නිසා ජනනය වන ජීව වායුව දහනයෙන් ක්‍රියාත්මක වන කුඩා පරිමාණයේ තාප බලාගාරයක් සහ ඍජුවම දහනය කළ හැකි අපද්‍රව්‍ය මගින් ක්‍රියාත්මක වන තාප බලාගාරයක් වශයෙන් එය භාවිතයට ගත හැකිය.
විදුලිබල මණ්ඩලය පවසන අන්දමට විදුලි බිල වැඩි වීමට හේතු වූයේ විදුලි බල මණ්ඩලයේ පාඩුව මඟහරවා ගැනීමටය. එසේ නම් ඒ පාඩු සිද්ධවන අංශ පිළිබඳ සොයා බැලීමක් සිදු කර ඒ පාඩු මඟහරවා ගැනීමට ක්‍රියා කිරීමෙන් අවම වශයෙන් ඉදිරි වසරවලදී හෝ මෙවැනි අගතිගාමී කටයුතු සිදු වන්නට ඇති ඉඩකඩ අවුරාගත හැක. එසේම තම උදරය ගැන නොසිතන, සුදුසුකම් ඇති අවංක සහ දක්‍ෂ කළමණාකරණ මණ්ඩලයක් පත් කිරීම මගින් මේ පාඩු පියවාගෙන කිසියම් ආකාරයක ස්ථාවරත්‍වයකට විදුලිබල මණ්ඩලය ගෙන ඒමට හැකියාවක් තවමත් ඇත. කොටුවේ විදුලිබල මණ්ඩල ගොඩනැඟිල්ලේම සිදු වන විදුලිබල නාස්තිය සහ බලශක්ති නාස්තියෙන් පටන් ගෙන පාඩු ලබන අංශවල පාඩු අවම කරගෙන, අනාගත බලශක්ති අවශ්‍යතාවයනට ගැලපෙන පරිදි විදුලිබල මණ්ඩලය සැකසීමෙන් ඉදිරිය ආලෝකමත් වනු ඇත. නැතිනම් ආසියාවේ ආශ්චර්යය කරා යන ගමන අධිබල විදුලිසැර වැදීමෙන් අතරමගදී මරණයට පත්වනවා නියතය.
කළ හැකි දෑ බොහොමයකි. සාම්ප්‍රදායික සහ මහා පරිමාණ විසඳුම් වලින් මෙවැනි ප්‍රශ්නවලට පිළියම් සෙවීමට වඩා නව චින්තනයකින් සහ අළුත් ක්‍රම අත්හදා බැලීමේ Thinking outside the box ක්‍රමයේ විසඳුම් කරා යොමු වීමෙන් මේ ගැටළුවෙන් ගොඩ ඒමට අපට හැකියාවක් ලැබෙන බව මගේ විශ්වාසයයි.