Sunday, December 16, 2012

2012 දෙසැම්බර් 17 : ලොකු හාමුදුරුවෝ දියවැඩියා....


නිධාන කතාව:
අළුත මහණ වුන පුංචි හාමුදුරුනම පන්සලේදි වුනත් තවමත් කතා කරන්නෙ ගෙදර කතා කරනවා වගේ...
"පොඩිනම... මෙහාට ආවනං...." ලොකු හාමුදුරුවො පොඩිනමට කතා කරනවා....
"එනවෝ......." කියාගෙන කාර් එකකුත් පැදගෙන පොඩිනම දුවගෙන වඩිනවා...
"පොඩිනම, දැන් ඉතිං පොඩිනම ගෙදර කතා කරනවා වගේ පන්සලේ කතා කරලා බැහැ... එනවෝ කියලා දුවන්න බැහැ පන්සලේ... කනවාට කියන්නෙ වළඳනවා කියලා... එනවා- යනවා කියනවට කියන්නෙ වඩිනවා කියලා...කියනවට කියන්නෙ වදාරනවා කියලා... ඒ නිසා ඒ වගෙ යෙදුම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන... හොඳද ?"
එහෙමයි ලොකු හාමුදුරුවනේ......
මෙහෙම ටික දවසක් ගතවෙද්දි, පොඩිනම කුඹුරක් මැද්දෙන් යද්දි බල්ලෙක් එළවගෙන ඇවිත් පොඩිනම හපා කන්න... ඉතිං පොඩි නමත් බුදු මෑණියනේ කියාගෙන කුඹුරේ වැටි වැටි පන්සලට දුවගෙන ඇවිත්... ඉහිං කණින් දාඩිය දාගෙන සිවුර පුරා මඩ ගාගෙන දුවගෙන ආපු පොඩිනමගෙන් ලොකු හාමුදුරුවො ඇහුවෙ මොකද්ද මේ සංගදිය කියලා..
"ලොකු හාමුදුරුවනේ මම කුඹුරේ නියර දිගේ පන්සලට වැඩගෙන එනකොට බල්ලෙක් ආවනෙ මාව වළඳන්න.... මම වැඩ්ඩා වැඩිල්ලක්... වැඩ්ඩ පාරට සිවුර වෙලේ වැටුනා...."
හාමුදුරුවොන්ට සිනා පහළ වුනත් පොඩි නමට කිසිවක් කියලා නැත්තෙ හැම යාමක්ම ඒමක්ම වැඩිල්ලක් නොවන නිසා වෙන්න ඇති...
ඒ වගේම මේ ලොකු හාමුදුරුවො දවසක් ස්නානය කරමින් සිටින වෙලාවක පන්සලට දායක මහතෙක් ඇවිත් පොඩිනමගෙන් විමසුවලු ලොකු හාමුදුරුවො කොහිදැයි කියා...
"ලොකු හාමුදුරුවො දියවැඩියා" කිවුවලු... 

ඉතිං දායක මහත්තයා කිවුවලු... "අනේ පොඩි හාමුදුරුවනේ මම හිතුවෙ ලොකු හාමුදුරුවො උඩවැඩියා" කියල....


ඉතිං මේ සරළ කතාව කාටවත් හිත් රිදවීමක් නොවෙයි කියලා මම හිතනවා... කොහොමත් ආගම වපුරගෙන වවාගෙන කන අයට නම් සමහරවිට මේක ලොකු කතාවක් වෙයි...
නමුත් මේ කතාව මට මතක් වුනේ ලංකාවෙ දායකයින්ට හාමුදුරුවන්ට දානය දෙන එකට ආචාරධර්ම පද්ධතියක් පණවන්න යන එක ගැන කියැවිච්ච මෙන්න මේ පුවත දැකලා...
අපි කවුරුත් බොහොම කැමතියි දන් දෙන්න... දන් දීම කොයි තරම් හොඳ දෙයක්ද ? නමුත් මේ දන් දීම ගැන අපි බලන්නෙ මොන විදියටද ? තමන් කැමති ඉස්තරම්ම කෑම ජාති උපරිමෙන්ම හදලා කටට රහට හාමුදුරුවන් වහන්සේලාට පිදීම තමයි අපි හැමෝම බලන්නෙ... ඉස්සර නම් දාන වලට කුකුළු මසුත් අනිවාර්යයෙන්ම තිබුණත්, දැන් දැන් මස් මාළු දාන වේල් වලින් ඈත් වෙලා තිබෙනවා. අපේ ශ්‍රද්ධාව වැඩිකම නිසා බොහෝ විට අමාරුවෙ වැටෙන්නේ පන්සල්වල වැඩ සිටින ස්වාමීන්වහන්සේලා. මොකද කියනවා නම් අපි පූජ කරන දානය බොහෝ විට අමාරුවෙන් හෝ වළඳන ඒ ස්වාමීන් වහන්සේලාට ඒ දානයෙන් ලැබෙන අධි කැලරි පෝෂණය දිරවගන්න බැරි වීම නිසා. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයින්ට පිණ්ඩපාතයේ වැඩීමට නියම කළේ නිකම්ම නොවෙයි. ඇවිදීමෙන් ශරීරයට සිදුවන සෙත, පිණ්ඩපාතය මගින් ලැබෙන ඕනෑම දෙයක් ශ්‍රද්ධාවෙන් යුතුව වැළඳීම, ආදී බොහෝ දේ නිසයි (මේ පිළිබඳ දන්නා කියන කෙනෙකු දැනුවත් කරනවා නම් අගෙයි). කොහොම වුනත් දැන් කාළයේ පිණ්ඩපාතයේ යාමක් කෙසේ වුවත් ස්වාමීන් වහන්සේලා සක්මන් කිරීමක් හෝ සිදු වනවා දැයි දන්නෙ නැහැ... මේ නිසාම බොහෝ ස්වාමීන් වහන්සේලා විවිධාකාර රෝගවලින් පීඩා විඳිනවා.
අධික තෙල්, ලුණු, සහ මේදය ඇති ආහාර වැළඳීම මගින් කොලෙස්ටරෝල් වැඩි වීම නිසා හෘද රෝගත්, සීනි අධික ආහාර වැළඳීම නිසා දියවැඩියාව වැළඳීමත් මෙයින් ප්‍රධානයි. මේ නිසාම දැන් දැන් බොහෝ ස්වාමීන් වහන්සේලා අල්පේච්ඡ දාන වේලක් පිරිනමන මෙන් සිය දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ශ්‍රද්ධාව වැඩිකම නිසාම අපේ උපාසකම්මලා මහා පරිමාණ දාන වේල් සපයනවා. මෙය දෙපැත්ත කැපෙන පිහියක්, තම දායක දායිකාවන් නිසාම ඒ ඒ දානය යන්තමින් හෝ වැළඳීමට ඒ ස්වාමීන් වහන්සේලාට සිදු වෙනවා. දායක දායිකාවන් මේ ගැන එතරම් තැකීමක් කරන්නෙත් නැහැ..  නමුත් මේකට තිත තැබීමට කාළය පැමිණිලා.
ස්වාමීන්වහන්සේලා එතරම් ව්‍යායාමයක් නොලබන පිරිසක්. මේ නිසාම අධික කැලරි සහිත ආහාර මෙන්ම අධික සීනි හෝ ලුණු සහිත ආහාර වැළඳීම එතරම් ගුණදායක නැහැ.. මේ නිසා එවැනි දානයන් පිරිණැමීමෙන් වලකින ලෙස සිය දායක දායිකාවන් දැනුවත් කිරීම කළ යුතු මෙන්ම, තම පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ සෞඛ්‍යය පිළිබඳ සැළකිලිමත් වී උන් වහන්සේලාට පෝෂ්‍යදායක සරළ දානය වේලක් පිරිනැමීමත් දායක දායිකාවන්ගෙ වගකීමක්...
ඉතින්.. මේක අදාල වෙන්නෙ ස්වාමීන් වහන්සේලාට විතරද ? නැහැ... අපේ බොහොමයක් දෙනා හරිහැටි ව්‍යායාමයක් ලබන පිරිසක් නෙවෙයි.. ස්වාමීන්වහන්සේලාට අදාල මේ කාරණේ ගැන තමන් වහන්සේලාත් සළකා බැලුවොත් ගිහි උන්දලාටත් වටිනවා...
බුදුන් වහන්සේ "ආරෝග්‍යා පරමා ලාභා" කියලා වදාරලා තියෙන්නෙත් ඒකයි...
පෞද්ගලික රෝහල්වලත් "ආරෝග්‍යා පරමා ලාභා" කියලා ගහලා තියෙන්නෙ... මිනිස්සු ලෙඩ නොවී ඉන්න බව දන්න නිසා... ඒකත් තමන්ට පරම ලාභයක්....
ඉතිං අපි හැමොම ආහාර පාලනය කරන්න කාළය හරි... හරිමත් නෙවෙයි... දැනුත් පරක්කුයි.... අපි බොහොමයක් කන්නෙ ජරාව.. පසුගිය දවස්වල ලංකාවෙ ටික කළක් හිටපු නිසා මම දුටු දෙයක් තමයි, බොහෝ දෙනෙක් කන්නෙ ජරාව... මස් මාළු ගැන කතා කරලා වැඩක් නෑ... කුළුබඩු වලටත් වර්ණක දානවා. පරිප්පු වලට, කැකුළු බත් වලට රතුපාට දානවා. හැම දේටම බාල දේ කවලම් කරනවා. මේ සියල්ල විෂ...  ලංකාවෙ වස විස නැති පෝෂ්‍යදායක ආහාර වේලක් කන්න නම්, ගමේ ගෙදරක තමන් විසින්ම වවා ගත් එළවලු වලින් සකසා ගත් ආහාර වේලක් ගත යුතුයි. ඒවයෙත් තිබෙන්නෙ රසායනික පොහොර... කාබනික පොහොර පාවිච්චි කරලා, වස විස ඉහලා නැති ආහාර වේලක රස බලන්න ලංකාවෙ තැනක් තියෙනවද ?
දන්න කෙනෙක් ඉන්නව නං කියන්න...