Wednesday, February 6, 2013

පිටස්තරයා.................. විසි දෙවන දිගහැරුම.....................


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුලත් කර සතියක් ගත වූ නමුත් මොලීට විශ්ව බැලීමට යාමට හැකි වූයේ බදාදා දිනයකදී පමණි. පර්යේෂණාගාරයේ අධික රාජකාරි කන්දරාවත්, විශ්ව එකතුව හා ඇරඹීමට සැලසුම්කරගෙන තිබූ පර්යේෂණයේ මූලික කටයුතු තනිවම කරගෙන යාමට සිදු වීමත් නිසා මොලීට ඉහටත් උඩින් රාජකාරි පැවරී තිබිණ. විශ්ව ප්‍රකෘති තත්ත්‍වයට පැමිණීම නිසා පර්යේෂණාගාරයේ සියල්ලන්ම තරමක සතුටින් පසු වූහ. ආචාර්ය නීල් ෆියු මෙන්ම ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් ද පැමිණ මොලීගෙන් විශ්ව ගැන තොරතුරු විමසීම නිසා මෙගන් පසු වූයේ තරමක අමනාපයෙනි.
මොකද මේ දවස්වල විශ්ව බලන්න කවුරුවත් ගියේ නැත්තෙ ? වෙනදා හැමදාම ගිය කට්ටියට යන්න එපා වෙලාද ? දහවල් කෑම වෙලාවේ කෑම කාමරයේදී මෙගන් උපහාසයට මෙන් ඇසුවාය.
මේ දවස්වල විශ්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නවත්වලා ඉන්නෙ. එයාගෙ කකුල ශක්තිමත් කරන ව්‍යායාම ආදිය කරවනවා.. සමහරවිට තවත් සතියකින් විතර ගෙදර යන්න පුළුවන් වේවි. එයා ගෙදර එක්කගෙන ගියාම තමයි ඉතින් වැඩිපුර උදව් ඕන වෙන්නෙ.. දැන් නම් ඉතිං හැම දේටම උදවුවට කට්ටිය ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ... මොලී සැමට ඇසෙන්නට පැවසුවාය.
ඒ සමඟම මොලීගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබීමෙන් ඇය තරමක් චකිතයකට පත් විය.
මට පොඩ්ඩක් එළියට යන්න වෙලා තිබෙනවා... මම ගිහින් එන්නම්....
මොකද්ද හදිස්සිය.... බිල් එසේ ඇසුවේ ඔහුගේ පෞද්ගලික ක්‍රියාකලාපය කුමක් වුවත් අනුන්ට උදවු කිරීමට නිතරම සැදී පැහැදී සිටින නිසාය.
නැහැ බිල්.. ප්‍රශ්නයක් නෙවෙයි. මගේ මාමා කෙනක් වොෂිංටන් වලට ඇවිත්, මාව බලන්න ඕන කියලා එන්න කියලා තියෙන්නෙ... මම ඉක්මනට ගිහින් එන්නම්...
මොලී ඉක්මනින්ම සිය රථයට නැගී, නගරයේ අති සුඛෝපභෝගී ආපන ශාලාවක් වන සෙනෙටර්ස් ක්ලබ් බලා රිය ධාවනය කළාය.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්වට දැන් සෑහෙන සනීපයි... බොහොම උනන්දුවෙන් ව්‍යායාම කරනවා... ඉක්මනටම ගෙදර යන්න ඕන වෙලා වගේ.... විශ්ව බැලීමට පැමිණි සුමනසේකර යුවලට වෛද්‍ය ගීතිකා ගුණසේකර සිනාමුසු මුහුණින් පැවසුවාය...
ඩොක්ටගෙ අත්ගුණේ තමයි.... අපේ පුතා හොඳට බලාගත්ත නිසාම එයාට ඉක්මනින්ම සනීප වුනා... තව කොච්චර කාළයක් විතර යයිද සම්පූර්ණයෙන්ම සනීප වෙන්න ?
දැන් නම් සියයට අනූවක්ම හොඳයි... අනතුර සිදු වුනාට පස්සේ අපි හිතපු තරම් විශ්වගේ මනස කැළඹිලා නැහැ.. මානසිකත්‍වය නම් ඉක්මනටම යථා තත්ත්‍වයට පැමිණියා... නමුත් කකුලේ අස්ථියක් බිඳී ඇති නිසා තමයි මෙච්චර කාළයක් ගත වෙන්නෙ පුනරුත්ථාපනයට... අපි විශ්වට තවම පාදයට සම්පූර්ණ බර දරන්න දෙන්නෙ නැහැ.. මොකද කියනවා නම් කකුලෙ අස්ථි සවි වෙන්න තව ටික කලක් ගතවෙන නිසා... අපි තව සතියකින් පමණ තමයි විශ්වගෙ අළුත් වෛද්‍ය වාර්තා ලබා ගන්නෙ.. ඒ අනුව තමයි කියන්න වෙන්නෙ මොකද්ද තත්ත්‍වය කියලා....
ඉතිං ඩොක්ට, විශ්වට තනියම වැඩ කර ගන්න තව කොච්චර විතර කාළයක් යාවිද ? සුමනසේකර මහත්මියගෙ කුතුහලය වැඩි කමටම දැඩිව ප්‍රශ්න කෙරුණා.
කලබල වෙන්න දෙයක් නැහැ.. විශ්වට තව සතියක් වගේ යනකොට කිහිළිකරු ආධාරයෙන් තනිවම ඇවිදින්න පුළුවන් වේවි. කොහොමත් ඔබ දෙදෙනාත් විශ්වගේ මිතුරියත් ඉන්නවනේ විශ්වගේ වැඩ කටයුතු බලා ගන්න....
ඒ වුනත් ඩොක්ට ඒ ළමයටත් වැඩ නෙ... කොහොමත් එයා ආවයි කියලා මම හිතන්නෙ නැහැ විශ්වගේ වැඩකටයුතු එයා අතින් කෙරේවි කියලා.. ඒ ළමයා විශ්වගේ වැඩපොලේ යාළුවෙක් විතරනෙ..
වෛද්‍යවරියගේ මුවඟ ඇඳුන සිනාරැල්ලේ අරුත කුමක්දැයි වටහා ගැනීමට තරම් අවධානයක් සුමනසේකර මහත්මියට නොතිබුණත්, සුමනසේකර මහතා යමක් අවබෝධ කරගත්තාක් මෙන් හිස සලා මඳ සිනාවක් පෑවේය.
ඩොක්ට ඇමරිකාවට ඇවිත් ගොඩක් කල්ද ? අවසන සුමනසේකර මහතා වෛද්‍ය ගීතිකාගේ පෞද්ගලික තොරතුරු දැනගැනීමේ අටියෙන් විමසුවේය.
ඔව්.. දැනට අවුරුදු නවයක්  පමණ වෙනවා. මම මුලින්ම ආවෙ ආචාර්ය උපාධිය කරන්නයි. නමුත් මුලින් කරන්න හිටි අංශය වෙනස් කරලා  වොල්ටර් රීඩ් එකට බැඳුනා භෞත චිකිත්සක පර්යේෂණ කරන්න, සහ වෛද්‍ය සේවාව කරන්න.. මේ වගේ රෝහලක එවැනි පර්යේෂණ කරන එක තරමක් ලේසියි... අපට ඉගෙන ගන්න පුළුවන් වෙනවා වගේම මේ රටටත් බොහොම ලොකු සේවයක් වෙනවා... ඒ නිසා මම මේකට කැමතියි..
ඒ වුනාට මෙතැන වැඩිපුර යන්නෙ සොල්දාදුවො නේද ?
ඔව්.. යුද්ධයෙන් අතපය කැඩිලා එන සොල්දාදුවෝ ඔක්කොම වගේ ප්‍රතිකාර ලබන්නේ මෙතැන.. ඒ අයගේ අවශ්‍යතා විවිධයි. ඒ නිසා ඒ අයගෙ විවධාකාර ගැටළු වලට අපේ පර්යේෂණ හරහා පිළිතුරු සොයන එක සහ ඒ සියල්ල වාර්තා කරන එක තමයි මගේ පර්යේෂණය.. ඒ නිසා අනාගතයේ ඇතිවන ගැටළු වලට අළුතෙන් පර්යේෂණ කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.. එක් එක් ගැටළුවට වෙන වෙනම විසඳුම් සියල්ලම අපි ලේඛණගත කරලයි තියෙන්නෙ... වෙන එකක් තියා නියපොත්තක් ගැලවුනත්, ඒකටත් වෙනම සැකසුන විසඳුමක් තිබෙනවා. ඒ තරම් මේ ස්ථානය ක්‍රමාණුකූලයි. ඒ නිසාම තමයි විශ්වගේ පුනරුත්ථාපනය මේ තරම් ඉක්මන් වුනේ..
මට තියෙන ප්‍රශ්නය ඇයි විශ්ව වගේ කෙනෙක් මෙතැන ප්‍රතිකාර ගන්නෙ ? එයා හමුදාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි නේද ?
අපිත් හරියටම දන්නෙ නැහැ ඩොක්ට.. එයා වැඩ කරන ආයතනය නම් හමුදාවට සම්බන්ධයි ලු... ඒ නිසා වෙන්න ඇති.. ඩොක්ට විශ්ව එක්ක පෞද්ගලික තොරතුරු කතා කරන්නෙ නැද්ද ?
නැහැ.... මම මේ සතියෙම කළේ විශ්වගේ මනස යථා තත්ත්‍වයට ගෙන එන එකයි.. මේ වෙනතෙක් මම අවම වශයෙන් පවුලෙ තොරතුරුවත් ඇහුවෙ නැහැ. ඒක මානසික සමබරතාවයට බාධාවක්.. දැන් විශ්ව සෑහෙන දුරට මානසිකව ශක්තිමත්... අපි මේ සතියෙ කරන අභ්‍යාස අනුව මම ඒ පැත්තට යොමු වෙනවා.. ඒ වගේම එයාට වාහන පදවන්න බයක් තිබෙනවාද කියන එකත් දැනගන්න වෙනවා.. මොකද කියනවා නම් එයාට සිහිය නැති වුනේ වාහනයක් පදවමින් සිටින අවස්ථාවෙ නිසා, ආයෙම වාහනයක් පදවන්න ගියොත් එයාට තිගැස්මක් වගේ එන්න පුළුවනි. ඒ නිසා අපි ඒ පැත්තෙනුත් මානසිකව පුනරුත්ථාපනය කරන්න වෙනවා.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අපට හොඳ වෙලාවට මේ එපාට්මන්ට් එක ළඟම එකක් ලැබුණෙ. එෆ් බී අයි ඒජන්ත ජේසන්  සිය සගයා වූ මයික්ට පැවසුවේ සතුටිනි.
ඔව්. එතකොට අපට වෑන් අස්සෙ කර වෙන්න ඕන නැහැ.. ඔක්කොම උපකරණ ටික මේ ගෙදරම හයි කරලා අල්ලපු ගෙදර සිද්ධ වෙන දේවල් බලා ගන්න බැරියෑ. අපේ නිවාස ප්‍රශ්නෙත් ඒත් එක්කම විසඳෙනවා..
ඒ වුනාට කොච්චර කාලෙකටද දන්නෙ නැහැනෙ... එක්කෝ මිනිහව අල්ලගන්න වෙනවා... නැතිනම් අතාරින්න වෙනවා.. මේ දෙකෙන් එකක් සිද්ධ වෙන්න වැඩි කාළයක් යන්නෙ නැහැ...
අපට දැන් කරන්න තියෙන්නෙ ඔක්කොම උපකරණ ටික හයි කරලා මිනිහා ගෙදර එන්න ඉස්සරවෙලා ඒ ඔක්කෝම ටෙස්ට් කරන එකයි... එතකොට මිනිහා ගෙදර ආවම ඔක්කෝම ටික පටිගත කරගන්න පුළුවනි.
ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවේ වෙන් කරගත් නිවාස ඒකකය වෙත සිය බඩුභාණ්ඩ සහ විදුලි උපකරණ රැගෙන යන අතර ජේසන් සහ මයික් දෙදෙනා කතා කළේ තමන්ගේ ඉලක්කය පිළිබඳ රහස් විමර්ෂණය කවදා නිම වේද යන්නය.. තවමත් කෙළවරක් නොපෙනෙන මේ විමර්ෂණය එක්කෝ සඵල කටයුත්තක්ද, නැතහොත් නිශ්ඵල කටයුත්තක්ද යන්න කිසිවෙකු දැන සිටියේ නැත. තමන් සැලසුම් කළ අනතුර අනපේක්‍ෂිත ලෙස සැමගේම සැලසුම් වෙනස් කළ නිසා තමන්ට නැවතත් වැරැද්දක් සිදු කිරීමේ අවකාශයක් නොමැති බව දෙදෙනාම දැන සිටියහ. කෙතරම් පුරුදු පුහුණු වී සිටියත් සැලසුමක සරළ වෙනසක් ජීවිතයක ඉරණම වෙනස් කළ අයුරු දෙදෙනාටම තමන්ගේ කාර්යයේ අවදානම නැවත නැවතත් සිතා බැලීමට මතක් කර දුනි. ඒ නිසාම සිය කාර්යයන් සහ සැලසුම් දෙතුන් වතාවක් නොව ඊටත් වඩා වැඩි වාර ගණනක් නැවත නැවතත් සැලසුම් කර ක්‍රියාවට නැංවීමට දෙදෙනාම කතා කර ගත්හ.
ඒ අනුව මුලින්ම ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ වූ විශ්වගේ නිවසට යාබද නිවස වෙන්කරවා ගැනීමට ඔවුහු කටයුතු කළහ. ඒ නිසාම විශ්වගේ නිවසේ සවි කළ ඉතා සූක්‍ෂම කැමරා සහ මයික්‍රෆෝන වලින් ලැබෙන සංඥා කිසිදු බාධාවකින් තොරව පටිගත කිරීමේ හැකියාව ඔවුනට ලැබේ. විශ්ව නිවසේ නැති නිසාම සහ විශ්වගේ නිවසේ දැනට වාසය කරන්නේ විශ්වගේ මාමා සහ නැන්දා වන සුමනසේකර යුවල නිසා සිය පටිගත කිරීමේ කටයුතුවල විශ්වාසනීය භාවය මැන ගැනීමටද එය උපයෝගී වන බව දෙදෙනාම දැනහුන්හ.. මේ නිසා ඉක්මනින්ම නිවසට පැමිණ සිය උපකරණ සවි කර ඒවායේ ක්‍රියාකාරීත්‍වය සහතික කර ගැනීම දෙදෙනාගේම අභිප්‍රාය වී තිබිණ..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සෙනෙටර්ස් ක්ලබ් ආපනශාලාව අමුත්තන්ගෙන් පිරී පැවතුනි.. සෑම අවස්ථාවකම එය ඉහල පැලැන්තියේ අමුත්තන්, සෙනෙට් සභිකයින්, ආණ්ඩුකාරවරුන්, ආදී දේශපාලනඥයින්ද, ඒ අයට සම්බන්ධ ඉහළ තනතුරු දරන නිලධාරීන් මෙන්ම ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නිලධාරීන්, දේශපාලනිකයින්ගේ ආරක්‍ෂක භටයින්, ඔත්තුකරුවන්, ආදී විවිධාකාර පුද්ගලයින්ගේ හමුවීම් සිදු කෙරෙන ස්ථානයක් බවට සෙනෙටර්ස් ක්ලබ් ප්‍රසිද්ධව පැවතියා පමණක් නොව ඒ නිසාම එහි ආරක්‍ෂාවද ඉතා තදින් පැවතිණ... සාමාන්‍ය මිනිසෙකුට මේ ස්ථානයට යා හැක්කේ එක්කෝ උසස් පුද්ගලයෙක් ගේ ආරාධනාවක් හෝ එවැනි පුද්ගලයෙක් කැටුව පමණි. ආරක්‍ෂක අංශයේම පිරිසක් විසින් පවත්වාගෙන යන මෙය නිරන්තරයෙන් ඇමරිකාවේ ඔත්තුසේවා හා සම්බන්ධව පවතින ස්ථානයකි.
ආපන ශාලාවේ රථගාලට සිය රථය ඇතුළු කරන විටම කිසියම් පුද්ගලයෙක් පැමිණ සිය රථය නතර කරන ලෙස මොලීට සන් කළාය.
රථය නතර කර එයින් බැසගත් මොලී සිය හැඳුනුම්පත ඔහු වෙත දිගු කළාය... මොලී වෙත මඳ සිනහවක් පෑ ඔහු සිය නවීනතම ජංගම පරිඝණකයේ විවරයක් හරහා එය වරක් ඇදගෙන ගොස් කිසියම් අංක කිහිපයක් ඇතුලත් කළේය...
ඔබ එනතුරු ඔහු මඟ බලාගෙනයි ඉන්නෙ... ඉක්මනටම යන්න....
සිය ඥාතියා නොදන්නා ආරක්‍ෂක අංශයේ කෙනෙකු වේදැයි කල්පනා කරමින්ම මොලී සිය අත්බෑගයෙන් ගත් කුඩා කණ්නාඩියෙන් බලා සියල්ල නිසි ලෙස පවතින බව සහතික කරගෙන සෙනෙටර්ස් ක්ලබ් අවන්හලේ දොර හැරගෙන එයට ඇතුළු වූවාය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී එනතුරු සෙනෙටර්ස් ක්ලබ් අවන්හලේ සිටි ප්‍රබල පුද්ගලයා කවුද ?