Wednesday, April 10, 2013

පිටස්තරයා...................... විසිහත්වන දිගහැරුම.....................


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්පිටස්තරයා............. අටවන දිගහැරුමේ සිට  දහහතරවන දිගහැරුම දක්වාපිටස්තරයා.............පහලොස්වන දිගහැරුමේ සිට  විසිඑක්වන දිගහැරුම දක්වාපිටස්තරයා.............විසිදෙවන දිගහැරුමපිටස්තරයා.............විසිතුන්වන දිගහැරුමපිටස්තරයා.............විසිහතරවන දිගහැරුමපිටස්තරයා.............විසිපස්වන දිගහැරුමපිටස්තරයා.............විසිහයවන දිගහැරුම::::::::::::::::::::::::::::::::::::::::


දැන් ඉතිං විශ්වට ආයෙම පුරුදු පරිදි වැඩ පටන් ගන්න පුළුවන් නේද ? නීල් විශ්ව දෙස බලාගෙන ඇසුවෙ පිළිතුරක් බලාපොරොත්තුවෙන්ම නොවෙයි.
ඔව් නීල්, දැන් මට 100% ක් හොඳයි... ආයෙම අතපසු වුන වැඩත් එක්කම කරන්න පුළුවන් වේවි...
ඒක හොඳයි.. මොකද අපේ අළුත් පර්යේෂණය අත ගගා ඉන්න පුළුවන් එකක් නොවෙයි.. මේක වැදගත් වෙන්නෙ අපට පමණක් නොවෙයි මුළු ලෝකයටම... ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් නැවත වතාවක් විශ්වගේත් මොලීගේත් පර්යේෂණය පිළිබඳ විස්තර රාශියක් කියාගෙන ගියේ සමහර කරුණු විශ්වට අමතක වී ඇතැයි සිතා විය හැකියි. නමුත් ඒ සියල්ල විශ්වට හොඳින් මතක තිබුණා.
දැන් ඩෙනිස් කියන්නෙ අපට මේ පර්යේෂණය සඳහා ඒ ඒ ස්ථානවලට යන්න වෙනවා කියන එකද ?
ඔව්.... සමහරවිට අපට මේ පර්යේෂණයේ ක්‍ෂෙත්‍ර පරීක්‍ෂණ සඳහා අදාල ස්ථානයටම යන්න සිදු වේවි. ඒකට අපට අදාල බලධාරීන්ගෙන් අවසර ගන්න වෙනවා. ඒ නිසාම අපට අපේ ආයතනය සමඟ ඇති ඔබේ සම්බන්ධතාවය බිඳ දමා වෙනත් ආයතනයකට සම්බන්ධ කරන්න සිදු වෙනවා. නාවික පර්යේෂණ ආයතනය මගින් වෙනත් රටක මෙවැනි පර්යේෂණයක් සිදු කරනවා කියන්නේ ඒ රටවල සැකය කෙළින්ම අප දෙස යොමු වෙන එකයි. නමුත් විශ්ව විද්‍යාලයක පර්යේෂණයක් විදියට මෙය සිදු කෙරුණොත් ඒ සැකය අප වෙත යොමු වෙන්නෙ නැහැ. අපි ඔබ දෙදෙනා යවන්නේ විශ්ව විද්‍යාලයක සිසුන් දෙදෙනකු විදියට.. අදාල ලියකියවලි සියල්ල අපි සූදානම් කරන්නම්.
ළඟදිම යන්න ඕන වෙයිද ? මොලී ඇසුවෙ ඒ සියල්ල අවසන..
නැහැ නැහැ... අපි දැනට සෑහෙන කාළයක් මෙහේම පර්යේෂණය සිදු කරගෙන යන්න පුළුවනි... නමුත් හරියටම ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල අගයයන් නිර්ණය කරන්න නම් අපට ඒ ස්ථානයටම යන්න වෙනවා.
කමක් නෑ.. මමත් මගේ ආචාර්ය උපාධි පර්යේෂණයට ඒ වගේ තැන් වලට ගිහින් තිබෙන නිසා ඒ ගැන ලොකු ප්‍රශ්නයක් මට නම් නැහැ... පොඩ්ඩක් අමාරු ඒ ඒ පරිසරයට අනුගත වන එක... හරියටම මාස ගණනාවක කෑම්පින් ට්‍රිප් එකක් ගියා වගේ. එච්චරයි... වැඩියත්ම හොඳ දේ තමයි ඒ ඒ රටවල සංස්කෘතීන්ට බැඳෙන එක... සමහරු අපි දිහා බලන්නෙ සැකයෙන්.. ඒ සැකය දුරු කරගන්න හොඳම විදිය තමයි ඒ ප්‍රදේශවල මිනිස්සු එක්ක සහයෝගයෙන් කටයුතු කිරීම.. අන්තිමට අපට ඒ මිනිස්සු බොහොම ආදරයෙන් සලකන්න ගන්නවා....
හරි එහෙනම්.. අපි ඉක්මනින්ම වැඩ පටන් ගනිමු... අපි දන්නවා විශ්ව අනතුරට පත්වෙලා සිටි කාළෙ මොලී මේ පර්යේෂණයට අදාල ගණනය කිරීම් බොහොමයක් නිම කළ බව.. ඒ වගේම විශ්වත් අදාල පර්යේෂණ පත්‍රිකා කියවලා නිසි අවබෝධයක් ලැබූ බව.. ඒ නිසා මේ පර්යේෂණය තවදුරටත් පහු කරන එකේ තේරුමක් නැහැ... ආචාර්ය ලිපර්ඩ් සිය තට්ටය අතගාමින් පැවසුවා..
වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද ? අවසන නීල් ඇසුවේ සාකච්ඡාව නිමා කරන අටියෙන්...
නැහැ... මටනම් නැහැ... මොලීට නම් ප්‍රශ්න තියෙනවද දන්නෙ නෑ..
නැහැ... මටත් කිසි ප්‍රශ්නයක් නැහැ...
එහෙනම් අපි සතියකින් ආයෙම හමුවෙමු.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ දරුවා මොනවා කර ගනීද මම නම් දන්නෙ නෑ නීලා........ සුමනසේකර මහතා දිගු සුසුමක් හෙළමින් සිය බිරිඳට පැවසුවා..
එහෙම හිතන්න එපා... ඒ දරුවා මොලේ ඇති දරුවෙක්.... එයා දැන් තමන්ගෙ ජීවිතය ගැන තීරණ ගන්න පුළුවන් වයසක ඉන්නෙ.... එයා දන්නවා කොහොමද ජීවත් වෙන්න ඕන කියලා... දැන් අවුරුදු හයක්ම තනියම ජීවත් වුන එකේ කිසිම කතාවක් අහන්න වැඩක් සිද්ධ කර ගත්තෙ නෑනෙ... ඉතිං අපි ඒ ගැන එච්චර කරදර වෙන්න ඕන නැහැ.... හැරත්, ඒ දරුවා අපි ගැන තියෙන ගෞරවේ බිංදුවක්වත් අඩු වෙලා නැහැනෙ... හැම සතියෙම කතා කරලා විස්තර අහන්නෙ.. හැම දේම කියන්නෙ අපට නෙ.. මම හිතන්නෙ නං මහත්තයා ඕනවට වඩා හිතනවා.... නීලා සුමනසේකර මහත්මිය එසේ පැවසුවේ සිය සැමියාට අවවාදයක් ලෙසින්.
මම දන්නවා නීලා.... සුදු පුතා ගැන මම හොඳට දන්නවා.... නමුත් මේ දරුවගේ ග්‍රහචාරය අනුව ඉස්සරහට උදා වෙන්නෙ නං සුභ කාලයක් නෙවෙයි. එකතැනක ඉන්න නොලැබෙන, කරදර වැඩි කාළයක්... මට බය ඒකයි..
ඔය ග්‍රහචාරෙ අල්ලගෙන හැමදාම ඔයා වද වෙනවා... දැන්වත් ඔය දරුවා ගැන විස්වාස කරලා ඔය අදහස් ටිකක් අඩු කරගත්තොත් හොඳ නැද්ද ?
ඔයා කොහොමද මේ සාත්තරේ වැරදියි කියන්නෙ නීලා. ? මම මස්සිනාට කිවුවා ඔය ගමන යන්න එපා මාරකයක් තියෙනවා කියලා.. ඇහුවද ? මං කියන දේ අහලා හිටිය නං සමහරවිට මස්සිනයි නංගියි දරුවයි තවමත් ජීවතුන් අතර...
මහත්තයෝ.. මැරෙන්න තියෙන මිනිහා වෙලාව ආවම කොහේ හිටියත් මැරෙනවා.. ඕක අපට නවත්තන්න පුළුවන් කාරණයක් නෙවෙයි.. මස්සිනා ලෝකෙ වටේම ඇවිදපු මනුස්සයා... ඔය කොහේ හිටියත් සමහරවිට ඔය තුන්දෙනාම ගෙනාපු ආයු කාලෙ ඉවර වෙන්න තිබිලා තියෙන්නෙ එකට... ඒකමනෙ සුදු පුතා ඔය ගමනට එකතු නොවුනෙ.. ඒකනෙ ඒ දරුවා බේරුණේ...
ඒ දරුවා බේරුණේ ඒක නිසා නෙවෙයි... ඒ දරුවගේ කේන්දරේ හරිම බලවත්, ඒ බලවත් කම නිසා ඒ දරුවට ඒ ගමන යන්න ඉඩ සැලසුණේ නැහැ.. ඒකයි.. දැන් වුනත් ඒ දරුවා මෙච්චර අනතුරකින් බේරුණේ ඒ බලවත්කම නිසා... නමුත් ඒ බලවත්කම තව දිග කාලයක් පවතින්නෙ නැහැ.. අන්න ඒකයි මම කරදර වෙන්නෙ.. නීලාට ඕවා තේරෙන්නෙ නැහැනෙ....
අනේ මන්දා.... මම නං ජෝතිශ්‍යය අවිස්වාස කරන්නෙ නැහැ... ඒ වුනාට ඉතිං අපි නොදන්න බලවේග කොච්චරක් මේ සක්වල ඇතුලෙ ඇත්ද ? අපි මොනවද දන්නෙ ? මගේ දැනුමෙ හැටියට තමයි මම මේ දේවල් විස්වාස කරන්නෙ....
දැන් ඉතිං අපිත් අනිද්දා යන්න ලෑස්ති වෙන්න ඕන... දැන් ඉතිං සුදු පුතාගෙ වැඩකටයුතු සෑහෙන්න එකලාසයක් වෙලා ඉවරයි නෙ.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඇත්තටම මේ පර්යේෂණයෙ අරමුණ අඩු ගුරුත්‍ව ක්‍ෂෙත්‍රයකින් සිදුවෙන කාර්ය භාරය සොයා ගැනීම විතරමද කියලා ඔයා හිතනවද මොලී ?
ඇයි විශ්ව එහෙම ඇහුවෙ ?
ggm01_asia_full
නැහැ.... මේ සිතියම අනුව අපට හොඳටම පේන දෙයක් තමයි අඩු ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර සියල්ලම තිබෙන්නෙ පහසුවෙන් ලංවෙන්න බැරි ස්ථානවල කියන එක... ඒ කියන්නෙ එක්කෝ මුහුද මැද, එහෙමත් නැතිනම් මහා කන්දක් මුදුනෙ... අපි මේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර ඇති තැනක ඉඳලා යානයක් ගුවන්ගත කරනවා කියන එක හිතන්නවත් බැරි දෙයක්.. එහෙනම්, මේ පර්යේෂණයෙ මූලික අරමුණ ඒක නෙවෙයි. නමුත් නීල් ම කිවුව විදියට අපට පුළුවනි මේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල ඇති ලක්‍ෂණ උපයෝගී කරගෙන අපේ අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීම වෙනස් කරන්න... මම හිතන විදියට මේ පර්යේෂණයේ මීට වඩා ලොකු අරමුණක් තිබෙනවා.
අරමුණ මොනවා වුනත් අපි මේ අපට දුන්න පර්යේෂණය හොඳින් කරන එක නේද විශ්ව අපි කරන්න ඕන ? සමහරවිට මේක අභ්‍යවකාශයානා තාක්‍ෂණයට අදාල කරගන්න පුළුවන් වගේම ගුවන්යානා තාක්‍ෂණයටත් අදාල කරගන්න පුළුවන් වෙයි. මම ඔයා නැතිව හිටි කාළයේ කරපු ගණනය කිරීම් ගොඩාක් තිබෙනවා පෙන්වන්න... යමු... සමහරවිට මේ ගණනය කිරීම් දැක්කාම ඔයාට මේ පර්යේෂණය පිළිබඳ හොඳ නිගමනයකට එන්න පුළුවන් වේවි.
විශ්ව මොලී සමඟින් ඇගේ කන්තෝරු කාමරය වෙත පියමැන්නා...
කවුද මොලී අර ඔයා එක්ක රෙස්ටෝරන්ට් එකේ කෑම කාපු පිරිමි දෙන්නා ? පර්යේෂණාගාරයේ කාමරයක සිට ඔළුව දැමූ මෙගන් විශ්ව සමඟ ගමන් කරන මොලීගෙන් විමසුවා....
මොන පිරිමි දෙන්න ද ? මොලී කිසිදු වෙනසක් නොපෙන්වා මෙගන්ගෙන් ඇසුවේ තරමක නොරිස්සුමකින්.
මොන පිරිමි දෙන්නද නෙවෙයි.. එදා බදාදා ඔයා දවල් කෑම කාපු දෙන්නා.... ඔයා හොඳට දන්න දෙන්නෙක් වගේ කතා කළේ නම්...
ආ... ඒ දෙන්නද ? ඒ විශ්වගෙ නවාතැන ලඟ ඉන්න දෙන්නෙක්.... පහුගිය දවස් ටිකේම මම විශ්වගෙ මාමයි නැන්දයි එක්ක එයාගෙ නවාතැනට යකකොට හඳුන ගත්තෙ... මම දවසක් ලින්කන් රෙස්ටෝරන්ට් එකට ගිය වෙලාවක දෙන්නා හම්බ වුනා... ඉතිං මම ඒ දෙන්නා එක්ක කෑම කෑවා.. විශේෂයක් නැහැ.... මම දැක්කෙ නැහැනෙ ඔයා එතැන ඉන්නවා.
ඔහොම තමයි සමහර වෙලාවට වටේ පිටේ අය පේනවා අඩුයි.... මෙගන් ඇනුම්පදයක් කියාගෙන එතැනින් යන්න ගියා.
මොකද මන්දා මෙගන්ට වෙලා තියෙන්නෙ... හැම නිතරම මාත් එක්ක පැටලෙන්නමයි බලන්නෙ...  මොලී නෝක්කාඩුවෙන් මෙන් පැවසුවා.... විශ්ව කිසිවක් නොකියා ඇය සමඟ ගොස් මොලීගේ කන්තෝරු කාමරයට ඇතුළු වුනා...
දැන් මේ තියෙන්නෙ ඉන්දීය සාගරයේ ගුරුත්‍ව සිතියමක්, ඔයා දන්නවානේ ඉන්දීය සාගරයේ අවම ගුරුත්‍වය ඇත්තේ ශ්‍රී ලංකාවට පහලින් කියලා... මෙන්න මෙතැනයි ප්‍රශ්නය තියෙන්නෙ.. අපට කවදාවත් මේ ස්ථානයට ලඟා වෙන්න අපේ පහසුකම්වලින් බැහැ... නමුත් මම ගණනය කරලා තිබෙන හැටියට මේ ස්ථානවල තිබෙන ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය සාමාන්‍ය ගුරුත්‍වය මෙන් සියයට අනූවකට වඩා අඩු වෙන්නෙ නැහැ. මෙය අපට නොදැනුනාට ගුරුත්‍ව මාපක වලට දැනෙනවා. මේ වගේමයි අධිගුරුත්‍ව ක්‍ෂෙත්‍රත්. ඒවායේ ගුරුත්‍වය වැඩි වෙන්නෙ නම් සියයට පහක් පමණ පරාසයක. මේ නිසා එයින් ඇතිවන බලපෑම අල්පයි.
මම මේ ගැන තව ටිකක් කියවලා බලන්නම්. ඔයාට පුළුවන් නේද ඔය ගණනය කිරීම් ටිකයි සිතියම් ටිකයි දත්ත ගබඩාවට දාන්න.. එතකොට මම මගේ පරිඝණකයෙන් ඒක බාගෙන තව ටිකක් හොඳට බලලා අපි මේ ගැන තව හොඳට විමර්ෂණය කරමු...
ඒක හොඳයි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::