Wednesday, December 19, 2012

පිටසක්වල ජීවින් ඉන්නවද ? නැත්නම් අපට පිස්සුද ?


ජීවීන් වසන එකම ලොව පෘථිවිය විය නොහැක. බොහෝ ලෝකයන්හි ජීවය තිබිය හැකි අතරම, ඒ ජීවීන් සමහරවිට අපට වඩා දියුණු හෝ එසේත් නැතිනම් අපට වඩා ප්‍රාථමික විය හැකිය. කෙසේ වුවත් අප වසන සෞරග්‍රහ මණ්ඩලයේ නම් ජීවී ග්‍රහලෝකයකට ඇත්තේ පෘථිවිය පමණක්ම බව අපට බොහෝ දුරට ප්‍රත්‍යක්‍ෂ වී හමාරය. නමුත් අප වැරදි විය හැකිය.
2012 දෙසැම්බර් 21 වන දින සිදුවනවා යැයි කියන ලෝක විනාශය හා සමගාමීව විවිධාකාර සිදුවීම්වල සංඛ්‍යාතය වැඩිවෙමින් පවතී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙනවා යැයි කියන විවිධාකාර ආලෝකයන්, විවිධ පෙදෙස්වලට වසින රතු පැහැති වර්ෂාව මේ හා සමගාමී වෙතැයි බොහෝ දෙනෙකු පවසති. වෙනකක් තබා ලංකාවෙන් බිහි වූ විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහයන් පවා මේ රතු වැස්ස පිටසක්වල ජීවීන්ගෙන් සමන්විත විය හැකි බව පවසා තිබෙනු පුවත්පතක දක්නට ලැබුණි.
සත්‍ය වශයෙන්ම පිටසක්වල ජීවීන් සිටිත්ද ? එසේ නම් මේ තාක් කල් ඔවුන් අපව සම්බන්ධ කර ගත්තේ හෝ අපට ආක්‍රමණයක් සිදු නොකළේ මන්ද ? මේ දකින එළි, මේ වසින වැසි පිටසක්වලට සම්බන්ධ විය හැකිද යන කරුණු විග්‍රහ කරනු වස් මේ ලිපිය ලිවීමට අදහස් කරමි. මේ ලිපිය සංවාදයට විවෘත මෙන්ම, මෙහි අඩංගු දෑ පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි.
විශ්වය අනන්ත සංඛ්‍යාවක් තාරකා, ග්‍රහලෝක සහ වෙනත් සංඝඨක වලින් සමන්විත ඉමක් කොණක් නොපෙනෙන අනන්ත වූ අවකාශයකි. මේ විවෘත අවකාශයේ හඳුනාගත් සහ නොගත් මන්දාකිණි ගිණිය නොහැකි සංඛ්‍යාවක්ද, ඒවායේ අනන්තවූ තාරකා වටා සැදුම්ලත් ග්‍රහමණ්ඩලද පවතී. මේ ග්‍රහ මණ්ඩලයන්හි පෘථිවිය හා සමාන තත්ත්‍වයන් ඇති ග්‍රහලෝක පැවතීමේ සම්භාවිතාවය ඉතා ඉහළ බව සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති. මෙවැනි ග්‍රහමණ්ඩල ඇත්තේ එකක් දෙකක් පමණක් නොවේ. මේ නිසාම අනන්ත විශ්වයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථීවිය පමණක් යැයි උපකල්පනය කිරීම කළ නොහැක්කකි.
මේ පිටසක්වල ජීවීන්ගේ සිරුරු කෙසේ සැකසී ඇතිද යන්නවත්, කුමක් මත යැපෙනවාද, කුමන වායුවක් ආඝ්‍රාණය කරනවාද, කුමන භාෂාවක් කතා කරනවාද යන්න උපකල්පනය උගහටය. පෘථිවියේ පමණක් ජීවත් වන විවිධාකාර ජාතීන්ගේ විවිධත්‍වය සළකා බලන කල ඔවුහු විවිධාකාර වර්ණ, ශරීර ප්‍රමාණ, භාෂා භාවිතය, ආහාර ක්‍රම ආදී සුවිශාල විවිධත්‍වයකින්  යුතු පිරිසකි. පිටසක්වලයින්ගෙන් ද අපට බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි විවිධත්‍වයකි. උදාහරණයක් ලෙස අනාගතයේ පෘථිවි වාසීන් පිටසක්වල ජීවය සොයා යවන යානයක යවන පෘථිවි වාසීන්ගේ නියැදියක සංයුතිය විය හැක්කේ කුමක්ද ? බොහෝ විට එම යානය පිටසක්වලට යවන රටෙන් තෝරාගත් පිරිසක්ද ? එසේත් නැතිනම් ලෝකයේ ජනගහන අනුපාතයට අනුව සැකසුන සංයුතියක්ද ?
මේ න්‍යායම අප පිටසක්වල ජීවීන් ඇතුලත් යානයකට යෙදූ විට අපට කුමන වර්ගයේ ජීවී කොට්ඨාසයක් දක්නට ලැබේද ? එසේම ඔවුන්ට පෘථීවි පරිසරය තුළ පැවැත්මක් තිබිය හැකිද ? උදාහරණයක් ලෙස අප ආශ්වාස කරන 78% ක නයිට්‍රජන් වායුව සහ 20.8 % ඔක්සිජන් අඩංගු වාතය ඔවුනට විශ සහිත වන්නට පුළුවන. ඔවුහු වෙනත් වායුවක් ආශ්වාස කරන පිරිසක් වන්නටද පුළුවන. අපේ ජීවය ගොඩනැඟෙන්නේ නයිටජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, සල්ෆර්, පොස්ෆරස් සහ යකඩ වැනි මූලද්‍රව්‍ය ආශ්‍රයෙන් වුවත් ඔවුන් වෙනත් මූලද්‍රව්‍ය සංඝඨක කරගෙන තැනුන සංයෝගවලින් සමන්විත ජීවීන් කොට්ඨාසයක් විය හැකි සම්භාවිතාවය ඉතා ඉහළය. මිනිසාට වෙනත් ග්‍රහලෝකයක පැවැත්මක් නැති සේම ඔවුනටද පෘථිවියේ පැවැත්මක් නොතිබිය හැකිය. මේ නිසා පෘථිවිය මත පිටසක්වල ජීවීන් ක්‍රියාකාරීව (ජීවී තත්ත්‍වයෙන්) දැකීම ඉතා විරල කරුණක් විය හැකිය.
මේ හා සමානවම නැගෙන ප්‍රශ්නය නම්, ඔවුන් පියවි ඇසට දැකිය හැකිද යන්නයි. අප දෘෂ්ඨි පරාසය පවතින්නේ නැනෝමීටර 350 සිට 750 ක් දක්වා සුළු පරාසයක පමණි. පිටසක්වල ජීවීන් අපේ දෘෂ්ඨි පරාසයටම අයත් වේදැයි යන්න අපට කිව නොහැක. සමහරවිට ඔවුහු පාරජම්බුල කිරණ හෝ අධෝරක්ත කිරණ දෘෂ්ඨි සංවේදනය පිණිස භාවිතා කරන කාණ්ඩයක් වන්නට පුළුවන. මේ නිසාම අපට පිටසක්වල ජීවින් සිටියත් දැකගන්නට ලැබේද යන පැනයට පිළිතුරු සැපයීමට ද සිදු වේ. එමෙන්ම ඔවුන්ගේ ශ්‍රවණ පරාසය කුමක් විය හැකිද ? මනුෂ්‍ය ශ්‍රවණ පරාසය හර්ට්ස් 20 සිට 20000 දක්වා වුවත් වෙනත් සතුන්ගේ පවා මෙයට වඩා වෙනස් පරාස පවතී. එසේම පිටසක්වල ජීවීන්ගේ ශ්‍රවණ පරාසය අපට සමගාමී විය හැකිද ? පිටසක්වලට කන් යොමා සිටින දියුණු රටවල් සිය ඉලෙක්ට්‍රොණික ශ්‍රවණ උපකරණ සෑම සංඛ්‍යාතයකටම පාහේ සුසර කර තිබුණත්, තවමත් සතුටුදායක පිළිතුරක් නොලැබුණේ ඇයිද ? මේ ප්‍රශ්න අපට සරළව පිළිතුරු දිය හැකි ප්‍රශ්න නොවේ.
පිටසක්වල ජීවීන් ඇවිත්.....
පිටසක්වල ජීවීන් ඇවිත්.....
පිටසක්වල යානා සැබෑද ?
සමහරවිට පිටසක්වල ජීවීන් සතුව අපට වඩා දියුණු තාක්‍ෂණයක් තිබිය හැකිය. කාර්මික විප්ලවයෙන් සියවස් දෙකක කාළයක් තුළදී මිනිසාට මේ තරම් දියුණුවක් ලබා ගැනීමට හැකි වුණි නම්, ශබ්ධයේ වේගය අභිබවා යන ගුවන්යානා තැනීමට හැකිනම්, රේඩාර් පද්ධතිවලට හසු නොවන ගුවන් යානා නිපදවීමට හැකිනම්,  පිටසක්වල ජීවීන්ට දියුණු තාක්‍ෂණයක් පැවතීම පිළිබඳ සැකයක් නොමැත. එසේ නම් ඔවුන් තම තාක්‍ෂණය භාවිතාකර  අධික වේගයෙන් ගමන්කරන යානා මෙන්ම ක්‍ෂණික ත්‍වරණයක් ලබා ගත හැකි යානා ද නිපදවීමේ තාක්‍ෂණය ද ඔවුනට තිබිය හැක. පෘථිවි වාසීන් සිය ග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝක ගවේෂණය කරනවා සේම  ඔවුනට ද  වෙනත් ග්‍රහලෝක ගවේෂණය පිණිස සිය යානා  එවීමේ හැකියාවක් ඇතිබව අපට සිතිය හැකිය.
නමුත්, පෘථිවි වාසීන් දකින විවිධාකාර ආලෝකයන් සියල්ල පිටසක්වල යානා දැයි සැක කළ හැකිද ?  මේ පැණයට පැහැදිළි පිළිතුරු දෙකක් ඇත. එනම් ඔව් සහ නැත යන්නයි..
කිසිවෙකු ඩ්‍රෝන යානා දැක තිබේද ? ඇමරිකානු ගුවන් හමුදාව සතු ඩ්‍රෝන යානා යනු දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කළ හැකි නියමුවන් රහිත ගුවන් යානා විශේෂයකි. මේ ගුවන් යානා විවිධාකාර අරමුණු පිණිස යොදාගනු ලැබේ. උදාහරණයක් ලෙස පකිස්ථානයේ තෝරාගත් ඉලක්ක වලට පහර දෙනු ලබන්නේ ඇමරිකානු ඩ්‍රෝන යානා වලිනි. තවත් සමහර යානා ඔත්තු බැලීම පිණිස යොදා ගනී... තවත් සමහර යානා තම ඉලක්කවල චලනයන් නිරීක්‍ෂණය පිණිස යොදා ගනී.. මේ යානා බොහොමයක් පියාසර කරන්නේ ඉහළ ගුවන් තලයක වුවත්, අවශ්‍ය විටෙක පහළට ගැනීමේ හැකියාව නැත්තේද නොවේ. ඩ්‍රෝන යානා සතු වන්නේ ඇමරිකානු ගුවන් හමුදාව පමණක් නොවේ. අසල්වාසී ඉන්දියාව සහ චීනයද ඩ්‍රෝන යානා රටවල් දෙකකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවද නියමුවන් රහිත ගුවන් යානා සතු ගුවන් හමුදාවකි. අප සාමාන්‍යයෙන් නොසිතනවා වුවත්, මේ ඩ්‍රෝන යානා  හෝ නියමුවන් රහිත ගුවන් යානා  යුධ කටයුතු සඳහාම පමණක් යොදා ගැනීමක් සිදු නොවන බව දැනගත යුතුය.
යම් හෙයකින් පිටසක්වල ජීවීන් පෘථිවිය ගවේෂණයට පැමිණියා යැයි සිතමු. ඔවුන් පැමිණියේ නම් ඔවුන් ගවේෂණය කරනු ඇත්තේ කුමන ආකාරයේ රටවල්ද ? උදාහරණයක් ලෙස ගත් කළ රාත්‍රී අහස  අභ්‍යවකාශයේ සිට නිරීක්‍ෂණය කිරීමේදී ඔවුනට දැකිය හැක්කේ මෙවැනි ආලෝක සිතියමකි.
රාත්‍රී අහස - අභ්‍යවකාශයේ සිට
රාත්‍රී අහස - අභ්‍යවකාශයේ සිට
මෙවැනි සිතියමක් දකින ඔබ, නිරීක්‍ෂණය සඳහා යොදා ගනු ලබන  ස්ථානය වන්නේ කුමක් විය හැකිද ? වඩාත් ආලෝකමත් අමෙරිකාව, ජපානය, යුරෝපය වැනි ප්‍රදේශ ද ? එසේත් නැතිනම් අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව වැනි මිනිස් වාසයෙන් තොර යැයි සිතිය හැකි ප්‍රදේශ ද? එසේත් නැතිනම් ඉන්දියාව - ශ්‍රී ලංකාව වැනි මධ්‍යස්ථ ආලෝකයක් ඇති පෙදෙසක්ද ?
තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු වන මහාචාර්ය චන්‍ද්‍රා ජයරත්න මහතා පවසන්නේ මෙයට පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් තිබිය නොහැකි බවයි. මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ මේ සංසිද්ධිය මෑතදී ක්‍රියාශීලී වුන ලියොනිඩ්  උල්කාපාත වර්ෂාව සම්බන්ධ සංසිද්ධියක් විය හැකි බවයි. එසේ වුවත් කිසි විටෙක උල්කාපාත නැවත අහස කරා ඇදෙන්නේ හෝ එකතැන පැය ගණනක් දර්ශනය වන්නේ හෝ නොමැත. එසේ නම් මේ එළි මොනවාද ?
පිටසක්වල ජීවීන් සිටිත් නම්, සිය නිරීක්‍ෂණ කටයුතු සඳහා ලංකාවම යොදා ගන්නේ ඇයි ?
පිටසක්වල ජීවීන්ට ලංකාව කෙරෙහි අවධානයක් ඇතිවීමේ කිසිදු සාධකයක් නොමැත. ශ්‍රී ලංකාව සංවර්ධනය අතින් හෝ වෙනයම් දර්ශකයක් අතින් කැපී පෙනෙන ස්ථානයක පවතින රටක් නොවේ. අවම වශයෙන් දුප්පත්කම අතින්වත් අපි කිසිදු අන්තයක නොසිටින රටකි. ආසියාවේ ආශ්චර්යය වන්නට අපේ නායකයින් පෙරුම් පිරුවත් අවම වශයෙන් ඔවුන්වත් ඒ ඉලක්කය කරා රට නිසි ලෙස මෙහෙයවන කාණ්ඩයක් නොවේ. මේ නිසා පිටසක්වල ජීවීන්ට අපේ රට තුළ ගතයුත්තක් නැත. එසේ නම් ඔවුන් අප රටේ සැරිසරමින් සිය කාලය, ඉන්ධන (ඇතිනම්) හෝ ශ්‍රමය කා දමන්නේ නැත.
එසේනම්, දිනපතා අප දකින මේ වෛවර්ණ ආලෝකයන් මොනවාද ? ඒවා වෙනත් රටකින් ඔත්තු බලන්නට එවූ ඩ්‍රෝන යානාද ? විය නොහැකිය, දැන් අප රටේ යුද්ධයක් නැත, සාමයක් ඇතත් එය කිසිදු රටකට වැදගත් සාමයක් ද නොවේ. ග්‍රාමීය පෙදෙස්වල දර්ශනය වන මේ එළි, බොහෝ දෙනෙකු දුටු, ජංගම දුරකථන මගින් පටිගතකළ දර්ශන සහිත වස්තූන් වේ.. එසේ වුවත්, කිසිවෙකු මේ ආලෝකයන් මොනවාදැයි හරිහැටි හඳුනාගෙන නැත. ආලෝකය විවිධාකාර සංසිද්ධීන් ඇතිකරයි. ක්‍ෂිතිජයෙන් පුරසඳ නැඟ එනවිට එය විශාලව පෙනුනද, නිසි ගණනය කිරීමක් කළ විට එය ඉහළ අහසේ බැබලෙන සඳ හා සමාන විශ්කම්භයක් ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි. පසුගිය වසරක සෝමාවතියේ බුදුරැස් නැරඹීමට ගොස් කිහිප දෙනෙකු පෑගී නිවන් ගියේ විචාර බුද්ධියකින් තොරව  ආගමික ප්‍රබෝධය පසුපස දුවන පිරිසගේ ප්‍රමාණය හොඳින් පෙන්වා දෙමිනි. අප බොහෝ දෙනා සිතා සිටින්නේ පිටසක්වල යානා බටහිර ක්‍රියාදාම චිත්‍රපටවල මෙන් සුවිසල් විය යුතු බවය. එය එසේ විය යුතුයැයි කියා නීතියක් නැත. ඒවා ඉතා කුඩා වස්තූන් විය හැකිය. ගුවන් හමුදාවෙන් කියැවෙන්නේ සිය රේඩාර් පථයනට ඒ යානා හසු නොවූ බවය. කොටින්ගේ කුරුම්බැට්ටි යානා ද ඒ රේඩාර් වලට හසු වූයේ නැත: කුඩා පිටසක්වල යානා ගැන කවර කතාද ?
මෙය අපේ රටේ අවශ්‍යතාවයකට පිටරටකින් සැපයූ සහනයක්ද ? දැන් අප රටේ පවතින්නේ දැඩි ව්‍යාකූල තත්ත්‍වයකි. පසෙකින් අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝගය පිළිබඳ වියවුලයි. තවත් පසෙකින් ජීවන අරගලය පිළිබඳ සටනයි. මේ සියල්ල අමතක වීමට අවශ්‍ය වන්නේ විස්තර කළ නොහැකි යමක් ජනතාව වෙත සැපයීම පමණි. පැට්‍රල් මිල රුපියල් දහයකින් වැඩි වූ පසු පිටසක්වල යානා නොපෙනී ගියේ ඔවුනට ඉන්ධන මිල දරාගත නොහැකි වීම නිසා විය හැකිව. මිනිසා තේරුම්ගත නොහැකි සංසිද්ධීන් වලට වැඳුම් පිදුම් කළේ ශිෂ්ඨාචාරය බිහි වූ දා පටන් ය. හිරු දේව වන්දනාව, අග්නි වන්දනාව, දේව වන්දනාව ආදී විවිධාකාර වැඳුම් පිදුම් මිනිස් සිත් සතන් තුළ පැලපදියම් වූයේ ඔවුනට ඒවා තේරුම්ගත නොහැකි වූ නිසාය. අවාසනාවකට ලාංකීය ජනතාව තවමත් රූපවාහිනී නාලිකා වල කියැවෙන සියල්ල සත්‍ය යැයි සිතා සිටින පිරසකි. ලාංකීය ජනතාව පමණක් නොව 2012 දෙසැම්බර් 21 වන දින ලෝක විනාශය සිදු වනවා යැයි විශ්වාස කරන බොහෝ පිරිසක් බටහිර රටවල ද සිටිති.
උදාහරණයක් ලෙස යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන සමහර චීවරධාරීන් වශී ගුරුකම් වලින් දෙදෙනකු එක් කරන බව ප්‍රචාරය කරන්නේත්, ඒ චීවර ධාරියාම අනවශ්‍ය සම්බන්ධකම් නැවැත්වීමට ගුරුකම් කරන බව ප්‍රචාරය කරන්නේත් එකම නාලිකාවේය. යම් හෙයකින් කිසියම් දෙදෙනකු වශී ගුරුකමකින් එකතු කිරීමට උත්සාහ දරද්දී, එම පාර්ශවයේම ඥාතීන් එම සම්බන්ධය නැවැත්වීමට ගුරුකමක් කළොත් ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ කාගේ ඉල්ලීමට දැයි සිතීමට අපේ ජනතාව බුද්ධිමත් නැත. ඔවුහු නොදකින ගුරුකමක පිහිට පතමින් මුදල් නාස්ති කරති. අපේ රටේ සුප්‍රසිද්ධ මහාචාර්යවරයෙකු පවා නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව උගෙන ගත් බව අප සැම දන්නා කරුණකි.
රටක ජනතාව අයාලේ යන තරමට, විචාරශීලී නොවන තරමට පාලකයනට පහසුය. ලංකාවේ පමණක් නොව සෑම රටකම දේශපාලනඥයින්ගේ එකම ප්‍රාර්ථනාව විචාරශීලී නොවන කියන දේ අහගෙන, තමන් කරන දේ ඉවසා සිටින ජනතාවකි. අපේ රටේ ජනතාව සිය දේශපාලනඥයින්ගේ ඒකායන ප්‍රාර්ථනාව පමණටත් වඩා ඉටු කරති, එමෙන්ම සියළුම ජනමාධ්‍ය සිය වගකීම ඒ හා සමානවම ඉටු කරති. ඔවුනට අවශ්‍ය ජනතාවගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීම නොව, ලාභ දේ විකුණාගෙන කෑමයි. මේ නිසා බොහෝ පුවත්පත් බුද්ධිමය සංවාදවලට ඉඩක් ලබා නොදේ- ඒවායේ ලියැවෙන්නේත්, ප්‍රමුඛත්‍වය ලැබෙන්නේත් එදිනෙදා කියැවෙන සරළ කතාන්දර සඳහා පමණි. වර්තමාන ජනමාධ්‍ය කරනුයේ වාර්තාකරණය පමණි. විග්‍රහයක් කිසිසේත්ම සිදු නොවේ. ජනතාව ඉල්ලන දේ ලබා දීම ඔවුන්ගේ න්‍යායපත්‍රයයි. වෙනකක් තබා මුලදී විද්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස සැලකුන විදුසර පුවත්පතත් දැන් දැන් නාථ දේව න්‍යාය පසුපස යාමෙන්ම ඒ බව මොනවට පැහැදිලි වේ. සමස්ථයක් වශයෙන් රටේ ජනතාව විද්‍යාවට බියක් දක්වයි. කිසිවෙකු විද්‍යාත්මක යමක් පැවසූ පමණින් විචාර බුද්ධියකින් තොරව පිළිගන්නේ ඒ නිසාය. එසේම ජනතාවට විද්‍යාව සමීප කිරීම අපහසු කරුණක් වී ඇත. ජනමාධ්‍ය  විචාර බුද්ධියට තට්ටු නොකරන තාක් කල් එය සිදු නොවනු ඇත.
කුඩා කළ අප අහසට සරුංගලයක් යවා එහි නූල දිගේ බකට් පත්තු කර අහසට යැවුවා අපට මතකය.. ඉන් අපි නොමඳ සතුටක් ලැබුවෙමු. සමහරු ඒවාටත් පිටසක්වල යානා යැයි රැවටුන බව අපට මතකය.. එකළ ජනමාධ්‍ය මේ සිදුවීම් වාර්තා කිරීමට තරම් බංකොලොත් වී නොතිබුණි.
තර්කාණුකූලව ගත් කල පිටසක්වල ග්‍රහලෝකවල ජීවීන් සිටිය යුතුය. ඔවුහු අප මෙන්ම අනෙක් ලෝක පිළිබඳ විමර්ෂණයේ යෙදෙනු ඇත. නමුත් ඔවුහු සති දෙකක සවාරියකට ආලෝක වර්ෂ දහස් ගණනක් ගතකර මෙහි නොඑනු ඇත. ජනතාව මෙයට වඩා අවධියෙන්, තර්කාණුකූලව මේ සංසිද්ධි දෙස බැලිය යුතුය. ජනමාධ්‍ය විද්‍යානුකූලව මේ සංසිද්ධි විග්‍රහ කළ යුතුය.
අප - මේ දෙස මෙයට වඩා විචාරශීලීව බැලිය යුතුය. නැතිනම් අපට පිස්සු බව බොහෝ දෙනා කියනු ඇත.