Sunday, November 18, 2012

පිටස්තරයා................... සත්වන දිගහැරුම...........

පිටස්තරයා............. ඇරඹුම
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ තනතුර
හිතවත්  ආචාර්ය විශ්ව සමාධි සූර්යබණ්ඩාර වෙත,
පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව, ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට සමත් වූ බැවින් අප ආයතනයේ ආධුනික විද්‍යාඥ තනතුර සඳහා ඔබව බඳවා ගන්නා බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි. ඔබ මේ රැකියාව භාර ගන්නේද නැතිද යන්න දින තුනක් ඇතුලත මා හට ඊ මේල් පණිවුඩයකින් දන්වන්නට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.  ඔබේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටිමි.
ස්තූතියි.
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්
ප්‍රධාන පර්යේෂක,
නාවික පර්යේෂණ ආයතනය
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඊ මේල් පණිවුඩය කියවූ විශ්ව සතුටින් දෑත් ඉහළට ඔසවා ජයග්‍රහණය පළ කරන ආකාරයක් දැක්වීය... මේ තමා බලාපොරොත්තු වූ ඉලක්කයයි. මේ රැකියාව භාර ගන්නවාද නැද්ද යන්නෙහි කිසිදු අඩමානයක් තමන්ට නැති බව ඔහු දනී... නමුත්, මේ ලිපියට වහාම පිළිතුරක් දීම තමන්ට මේ රැකියාව හැර වෙනකක් නැති බවක් දිස් වන බව පෙන්වන්නක් මෙන් ඔහුට හැඟුණි. සාමාන්‍යයෙන් දින තුනක් කල් දෙන්නේ දැනට රැකියාවක් කරන්නේ නම් රැකියාව කරන ස්ථානයට දැන්වීමට සහ එයින් අවසර ලබා ගැනීමටට, වෙනත් රැකියා අවස්ථා ලැබී ඇත්නම් ඒ පිළිබඳ සිතීමට සහ ඒ ඒ ස්ථාන සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීමට යන කාරණා සඳහා ය.
විශ්ව වහාම හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට යැවීම සඳහා ඊ මේල් ලිපියකට  අකුරු අමුණන්නට  විය.
..................................................................................................................................
පසුගිය අවුරුදු හයක් තමා තනිවම ගෙවූ ජීවිතයේ අරමුණ කරා තමා පැමිණ ඇති බව විශ්ව ට පසක් විය. තමා අවුරුදු තිහක් ගෙවූ ජීවිතය, සිය දෙමාපියන් තමා වෙත තබා තිබූ බලාපොරොත්තු, සිය ගුරුදේවයා තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීම කරා තමන් ලං වන බව ඔහුට තේරුම් යමින් තිබුණි.
දවසම ඔහු ගත කළේ අදාල කටයුතු සැලසුම් කිරීම සඳහාය... ලිපියට අනුව සති දෙකකින් වොෂිංටනය වෙත  යා යුතුය. සති දෙකකින් වසන්නට නිවසක් සොයා ගැනීම තරමක ප්‍රශ්නයක් විය හැකිය. තමා සිටින තැන අඩුව පිරවීමට වෙනකෙකු සොයා ගතයුතුය. නැතහොත් දෙමසක කුලිය නිකරුණේ ගෙවිය යුතුය.. කළයුතු දෑ බොහෝය.... බලාපොරොත්තු බොහොමයකි....
බොහෝ දෑ අවසන් කර, බොහෝ වෙහෙස වී නවාතැනට පැමිණි විශ්ව සුදුරුදු පරිදි ස්නානය කර පිරිසිදු විය. වෙනත් හැමදාකම සෙනසුරාදාට ගන්නා දුරකථන ඇමතුම අද බ්‍රහස්පතින්දාවක ලබා ගැනීම පිළිබඳ ඇය පුදුම වනු ඇත.. නමුත් ඇයට මෙය දැන්විය යුතුමය... බොහෝ කළක සිට දෙමාපියන් නැති ඔහුට දෙමාපියන් වූයේ ඒ දෙපළ ය. සුමනසේකර මහත්මිය අවේලාවේ නාදවන දුරකථනය ගැන කුතුහලයෙන් යුතුව ගොස් රිසීවරය එසවූවාය.
හලෝ......
ලොකු නැන්දේ....
හලෝ සමාධි පුතා.... මොකද අප්පේ මේ අවේලාවෙ ?
මම හිතුවා ඔහොම අහයි කියලා... ආරංචියක් කියන්නයි කතා කළේ....
අපිත් මේ මඟ බලාගෙන හිටියෙ සුභ ආරංචිය අහන්න.... ගිය වැඩේ හරි ගියා නේද ?
ඔවු නැන්දෙ.... අද තමයි ආරංචිය ආවෙ... නැන්දට තමයි ඉස්සෙල්ලම පණිවුඩේ කිවුවෙ.... වෙන කවුද ඉතින් මට ඉන්නෙ මේක කියන්න නැන්දයි මාමයි ඇරෙන්න ? තව සති දෙකකින් වැඩ බාර ගන්න තියෙනවා... දැන් ඉතින් ඒවට ලෑස්ති වෙනවා... මේ ඔක්කොම ආපහු දීලා යන්න ඕන නෙ... අළුතෙන් Apartment එකක් ගන්නත් ඕන... ඒවා බලන්නත් තියෙනවා. කෝ ලොකු මාමා ?
මාමා නම් මේ වෙලාවෙ එළවළු පාත්තියෙ... මම පණිවුඩේ කියන්නම්..... මාමා කිවුවා ඔයාට ගිය වැඩේ හරි යන්න ඕන කියලා...
නැන්දයි මාමයි සනීපෙන් ඉන්නවනේ...
ඔව් පුතා... අපට කිසි කරදරයක් නෑ... අපි පුරුදු විදියට සැනසීමෙන් ජීවත් වෙනවා.... පුතාගෙ බෙහෙත් කොහොමද ?
ප්‍රශ්නයක් නෑ නැන්දෙ... මට චීන කඩයක් හම්බ වුනා... ඒකෙ තියෙනවා මට ඕන කරන ඔක්කොම දේවල්...  වොෂිංටන් ගියාම ඒ පලාතෙන් හොඳ කඩයක් හොයා ගන්න ඕන... කඩේ අයිතිකාරයා දන්නවා ඇති හොඳ තැන්... හොඳයි එහෙනම්... ලොකු නැන්දේ.... මම පස්සෙ කතා කරන්නම්...
හොඳයි පුතා... තෙරුවන් සරණයි...
තෙරුවන් සරණයි දෙන්නටම...
..................................................................................................................................
බෙහෙත් ?
ඔව්... බෙහෙත්... Medicine.... එෆ් බී අයි ඒජන්තවරුන් දෙදෙනාට ඒ දුරකථන වාර්තාව පරිවර්තනය  කර දුන් පරිවර්තකයා පැහැදිළි කළේය....
ඒ වුනත් මෙයාගෙ රුධිර වාර්තාවෙ කිසිම බෙහෙතක් ගැන වාර්තා වුනේ නැහැනෙ....
අන්න එතැන තමයි ප්‍රශ්නෙ.... මෙයා කිසියම් රෝගයකට බෙහෙතක් ගන්නවා... අන්න ඒ බෙහෙත නිසා ලේ වල වෙනසක් සිදු වෙනවා ඇති... ඒකම නිසා තමයි ලේවල හිමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි වෙන්න ඇත්තෙ... නමුත් ඒ බෙහෙත බටහිර බෙහෙතක් නොවෙයි... එයා කිවුවෙ චීන කඩේකින් ගන්නවා කියලා.... සමහර විට චීන බෙහෙතක් වෙන්න පුළුවනි....
ඒත්... බෙහෙතක් ගන්නවා නම් ඒ බව රුධිර වාර්තාවෙ සඳහන් විය යුතුව තිබුණා නේද ?
සමහර වෙලාවට පෙරදිග බෙහෙත් ගනිද්දි එහෙම ආගන්තුක රසායනික ද්‍රව්‍ය ඇඟට ඇතුල් වන්නෙ නැහැ.. සියල්ලම ශාකවල ඇති රසායන ද්‍රව්‍ය... මේ නිසා පරීක්‍ෂණ වලදි අහු නොවන්න පුළුවනි....
ඔව්... ඒක තමයි... කෝකටත් අපි මේ ගැන අදාල තැන් වලට දැනුම් දිය යුතුයි.... දැන්ම මේ සංවාදයේ පරිවර්තනයක් ආචාර්ය ලිපර්ඩ්ට, අද්මිරාල් බවර්ට වගේම වෛද්‍ය රසායනාගාරයේ ආචාර්ය ෆිලිප් කවුෆර්ටත් යවන්න.... මේ ගැන ඒ අය දැනගත යුතුයි..
විශ්වගේ නවාතැනට සැතපුම් තුන් දහසකට එහා තවත් කිහිප දෙනෙක් ඒ දුරකථන සංවාදයට සවන් දෙමින් සිටි බව මේ දෙදෙනාම නොදැන සිටි කරුණක් විය...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් මහතාණෙනි,
ඔබ විසින් පිරිණමා ඇති අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුර භාර ගැනීමේ යෝජනාව මම ඉතා ගෞරවයෙන් මෙන්ම සතුටින් භාර ගනිමි. ඒ අනුව ඔබ ආයතනයේ කොන්දේසි වලට එකඟව මගේ සේවය නාවික පර්යේෂණ ආයතනයටත් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් ලබා දීමට මම එක සිතින් කැමැත්ත දක්වන බව මෙයින් දැනුම් දෙමි. මේ සම්බන්ධයෙන් ඔබතුමාට තවදුරටත්  දැනගැනීමට අවශ්‍ය කරුණක් වේ නම් කරුණාකර මා සම්බන්ධ කරගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ගෞරවයෙන්,
විශ්ව සමාධි සූර්යබණ්ඩාර.
දින දෙකක් පුරා සිය දෛනික කටයුතු මෙන්ම සති දෙකකින් පසු ගත කරන්නට යන නව ජීවිතයේ වැඩ කටයුතු වෙනුවෙන් විශ්ව වෙහෙසෙන අතර තවත් කණ්ඩායමක් ද ඔහුගේ කටයුතු සහ දුරකථන මෙන්ම අනෙකුත් සම්බන්ධතා පිළිබඳ වෙනදාටත් වඩා විමර්ෂණශීලීව කටයුතු කරන බව විශ්ව නොදැන සිටියා නොවේ.
..................................................................................................................................
අමෙරිකාවේ Stanford සරසවිය.. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 10 ට අයත්ය..
සතියක ඇවෑමෙන් විශ්ව පැලෝ ඇල්ටෝ (Palo Alto)  නගරයට සමු දී වොෂිංටනය බලා සැතපුම් 3000 ක ගමන තනිවම ඇරඹීය...... මේ නගරයේ ඔහුට අත් හැර යා නොහැකි කිසිවක් නොවීය... තමන් සියළු බැඳීම් වලින් නිදහස් බව තේරුණේ අද ඊයේ නොවන බව විශ්ව දැන සිටියේය... 2006 වසරේ සිටම විශ්ව සිය කටයුතු කර ගත්තේ තනිවමය. සිය දෙමාපියන් සහ සොයුරිය තමා හැරදා ගිය දින පටන් ඔහුගේ ජීවිතය තනිව ගෙවූ එකක් විය. මිතුරු මිතුරියන් කොපමණ ඔහු වටා සිටියද, ඔහුගේ පිහිටට සිටින්නේ ඔහු සහ සැතපුම් දස දහස් ගණනක් ඈත ලංකාවේ වෙසෙන විශ්වගේ ලොකු මාමා සහ ලොකු නැන්දා පමණි. ඔහුට තිබූ එකම බැඳීම එපමණකි.
විශ්වගේ මවගේ ලොකු අයියා වූ සුමනසේකර මහතා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසු සිය නිවසේ කටයුතු, සමාජසේවා කටයුතු මෙන්ම සිය අධ්‍යාත්මික ජීවිතයද පිළිවෙලකට ගොඩ නඟාගෙන, සියල්ලන්ටම යහමඟ පෙන්වමින් ආදර්ශමත් ජීවිතයක් ගතකළ පුද්ගලයෙකි. නිතර බණ භාවනා කරන ඔහු සහ සුමනසේකර මැතිණිය අධ්‍යාත්මිකව අනෙක් පුද්ගලයන්ට වඩා සහ සමහර භික්‍ෂූන් වහන්සේලාට පවා බොහෝ ඉදිරියෙන් සිටි යුවලක් විය. විශ්ව පිළිබඳ නිතර සොයාබැලූ ඒ දෙපළ නිබඳවම විශ්ව හට අවවාද අනුශාසනා දෙමින් සිය පවුලේ එකම අනාගත පුරුක යහපත් පුරවැසියෙකු මෙන්ම සාර්ථක පුරුවැසියෙකු ද කිරීමට වෙහෙස මහන්සි වූ දෙපළකි. ආගමිකව එක් ආගමකට කොටු නොවූ මේ දෙපළ නොයෙක් ආගම් පිළිබඳ විවෘත මනසකින් හදාරමින් ඒ ලද දැනුම් සම්භාරය අන් සියල්ලන් සමඟම බෙදා හදා ගනිමින් ජීවත් වූ දෙපළකි. සුමනසේකර මහතා සතු වූ ධර්ම ඥාණය කෙටි කාලීන ඥාණයක් නොවීය.. ඉපැරණි වේද ග්‍රන්ථ පවා පරිශීලනය කරන සුමනසේකර මහතා හමු වී බුද්ධාගමේ විවිධාකාර ගැඹුරු මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ඒ අවට වැඩ සිටින ධර්මධර භික්‍ෂූන් වහන්සේලා ම  එයට සාක්‍ෂි සපයති.
තමන්ගේ ලොකු මාමා ලෙස පමණක් නොව සිය ජීවිතය යහමඟ ගෙනයාමට මඟ පෙන්වන මේ යුවල පිළිබඳ විශ්වගේ සිත තුළ ජනිත වූයේ ද සිය දෙමාපියන්ට පමණකම ගෞරවයකි - ආදරයකි. සතියකට වරක් නොවරදවාම ඔවුන්ගේ දුකසැප බැලීමත්, සිය විස්තර නොවලහා ඔවුන්ට දැන්වීමත් විශ්වගේ ජීවිතයේ අංගයක් වූයේ, තනිකම සිය ජීවිතය වෙලාගත් දා පටන් ය... ඒ එකුදු මිනිත්තුවක් හෝ අපතේ නොගිය බව විශ්වට හොඳටම සහතිකය.... ඒ විශ්වාසය සැමදා පවතිනු ඇති බව ඔහු හොඳින්ම දැන සිටියේය....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්වගේ වොෂිංටන් ජීවිතය ගැන ඊලඟ කොටසකින් දැනගනිමු....