Monday, November 5, 2012

පිටස්තරයා...................... පස්වන දිගහැරුම..........


:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොනවද මේ මනුස්සයා කරන්නෙ.... ?
වීඩියෝ පටය දෙස බලා සිටි සියළුම දෙනාට වූ පැණය වූයේ එයයි....
ඔහු දෑස් පියාගෙන නින්දකට පත්වී ඇත්තාක් මෙන් නිසොල්මන් වී සිටී...... තමන් පැමිණ සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන තුන්සිය තිහක ජනතාවගෙන් කිහිප දෙනෙකුට පමණක් හිමිවන අවස්ථාවක් ලබා ගැනීමට බව අමතක වී ඇතිවාක් සේ ඔහු නිද්‍රාවට වැටී ඇත.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මැතිව්.... ඇයි ඔබ ස්ටැන්ෆර්ඩ් වැනි කීර්තිමත් විශ්ව විද්‍යාලයක මහාචාර්ය තනතුරක් අතහැරලා මේ වගේ තැනක රැකියාවක් බලාපොරොත්තු වෙන්නෙ ?
ඔහුගේ මුහුණේ සිනාරැල්ලක් ඇඳුනි...
ඔබ දන්නවා මහාචාර්ය තනතුරක වගකීමකට වඩා මට මේ වගේ තැනක විශාල කාර්ය භාරයක් කරන්න පුළුවන් බව.... හැරත්, මට ඒ මහාචාර්ය තනතුර ලැබුණෙ මගේ සුදුසුකම් වලටම වඩා මගේ පවුල් පසුබිමට.... මගේ පියාගෙ සුදුසුකම් නිසා මමත් ඔහු වගේම විශ්ව විද්‍යාලයට කීර්තියක් අත්කරදේවි කියා ඔවුන් හිතන්න ඇති.
ඔබ හිතනවද ඔබේ පියාගෙ තනතුරු සහ සම්බන්ධතා මේ ස්ථානයේ සේවයට බාධාවක් වේවි කියා..
නැහැ... මගේ පියා ඉන්නෙ කැලිෆෝනියාවෙ.. ඒ වගේම ඔහුගෙ විෂය ක්‍ෂෙත්‍රය මෙයට කිසිම අදාලතාවයක් නැහැ... ඔහු රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්.... ඒ වගේම ඔහුගෙ තනතුරු මෙයට අදාල වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙ නැහැ... නමුත් ඔහුගේ සම්බන්ධතා මගේ මහාචාර්ය පදවියට නම් බලපාන්න ඉඩ තිබෙනවා.
මැතිව්... ඔබ දන්නවා ඔහු තිස්තුන්වන මට්ටමේ මේසන්වරයෙක් (33rd Degree Free Mason) බව...
මම විතරක් නොවෙයි... මේ මුළු ලෝකයම දන්නවා.... ඔහු එය හංගන කෙනෙක් නොවෙයි... ඔබ නොදන්නවාට සොලමන් පරම්පරාවම මේසන් වරුන්... අමතක කරන්න එපා අපේ පරම්පරාව පැවත එන්නෙ සොලමන් රාජ පරම්පරාවෙන් කියලා....
මැතිව් පෙරළා පිළිතුරු දුන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අන්දමටය....
ඒත්, මට හිතාගන්න බැරි ඇයි ඔබලා මේ මගේ අතිශය පෞද්ගලික කාරණා මෙතැනට ඇදලා ගන්නෙ කියලා.. මම මෙතැනට ආවෙ සම්බන්ධකම් නිසා නොවෙයි.. මගේ සුදුසුකම් අනුව... ඔබ හිතනවා නම් මම මෙතැනට නුසුදුසුයි කියලා ඔබට තිබුණා අපි හැමෝගෙම කාළය නාස්ති නොකර මෙය මුලදිම නවත්වන්න..
ඉහළම සුදුසුකම් ඇති, කේවල් කළ නොහැකි ලෙස අදාල තනතුරට සුදුසු අපේක්‍ෂකයින් සමහරවිට සිය පෞරුෂත්‍වය විදහාලනු වස් සම්මුඛපරීක්‍ෂණ මණ්ඩලය ඉදිරිපිට පාරම් බෑවත්, මැතිව් සොලමන් එසේ මෙසේ පුද්ගලයෙකු නොවන බව ඔහුව පරීක්‍ෂණයට භාජනය කරන සිවු දෙනාම හොඳින්ම දැන සිටි කරුණකි. මැතිව් සොලමන්ගේ පියා කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය එඩ්වර්ඩ් සොලමන් වේ. සොලමන් පරම්පරාව පැවත එන්නේ ක්‍රිස්තු පූර්ව 970-931 දක්වා ජෙරුසෙලමේ රජකම් කළ සොලමන් රාජ පරම්පරාවෙන් යැයි විශ්වාසයක් පවතී. ජෙරුසලමේ පළමු පල්ලිය තැනුවේ සොලමන් රජතුමා විසින්ම ඇඳි සැලසුමකට අනුව යැයි පුරාවෘතවල සඳහන්වේ. කළෙක ඉතා රහසිගත සමාජයක් වූ නමුත් දැන් දැන් ප්‍රසිද්ධියේම හැසිරෙන Free Mason වරුන් හා සොලමන් පරම්පරාව  අතර වූ සම්බන්ධය සමහරු බැහැර කරතත්, සොලමන් පරම්පරාව සිය  මුතුන්මිත්තන්ගේ රාජකීය තේජස මෙන්ම රාජකීය රුධිරය පිළිබඳ තවමත් ආඩම්බර වෙමින්  එය රැකගනිමින් ඉදිරියට ගමන් කරති.
මැතිව්... මතක තියාගන්න ඔබ ඇවිත් තිබෙන්නේ සම්මුඛ පරීක්‍ෂණයකට මිසක් පුවත්පත් සාකච්ඡාවකට නොවෙයි.... අද්මිරාල් රිචර්ඩ් බවර්ගේ කටහඬ දැඩි විය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
666................ සිය පරිඝණක මොනිටරය දෙස බලාගෙන ජෙනරාල් වෙලිංටන් තනිවම කල්පනා කරන්නට පටන් ගත්තේය...
මේක මෙයාගෙ ජීවිතයට බොහොම සමීප අංකයක් වෙලා තියෙන්නෙ ඇයි කියලා දැනුයි තේරෙන්නෙ... මටත් අමතක වුන හැටි...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව සමාධි සූර්යබණ්ඩාර....
ඔව්...
වයස  අවුරුදු 30 යි...
හරි....
ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ... ඔබට හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්.. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්....
මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්ව විද්‍යාලයට ගියත් මට මගේ පර්යේෂණ වලට මෙතැන වගේ සම්පත් උපකරණ ආදිය සොයා ගන්න අමාරු වෙයි... බලන්න ඔබ සතුව තිබෙන අවම ඝර්ෂණය සහිත ප්‍රති ගුරුත්ව මේසය.... ඔබ හිතනවද මේ වගේ උපකරණයක් මට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් හොයා ගන්න ලැබෙයි කියලා...
නීල් ෆියුත්, මහාචාර්ය ලිපර්ඩුත් දෙදෙනා මුහුණට මුහුණ බලා ගත් අතරම නැන්සි සිය කටහඬ අවදි කළාය...
ඔබගෙ ජීව දත්ත සටහනේ සඳහන් වෙනවා ඔබ බොහෝ ක්‍රීඩා කළ පුද්ගලයෙක් බව.. ඔබ කොහොමද බර්ක්ලි වගේ විශ්ව විද්‍යාලයක ඇති වැඩ කන්දරාවත් එක්ක මෙතරම් හොඳට විභාග සමත් වුනේ... බර්ක්ලි විශ්ව විද්‍යාලය වගේ තැනක මලල ක්‍රීඩාවට තැන දෙන අය හරිම අඩුයි. ඒ වගේම මම කුඩා කාළයෙ ඉඳලම වෙලාව හොඳින් කළමණාකරණය කරගෙන හිටපු කෙනෙක්, ඒ නිසාම මට අධ්‍යාපනයට කියලා විශේෂයෙන් අමතර කාළයක් යොදවන්න අවශ්‍ය වුනේ නැහැ.
අපි දන්නවා ඔබට ඉතා හොඳ මතක ශක්තියක්, යමක් එකවරක් බැලූ විට මතක තබා ගැනීමේ හැකියාවක් (Photographic Memory) තිබෙන බව... අපට කියන්න පුළුවන්ද ඔබ ඒ හැකියාව ලබා ගත්තෙ කොහොමද කියලා...
ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් දුටු පළමු අවස්ථාව එය විය.....
ඔබ සෑහෙන්න ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් බලනවා වගෙයි... ඔහු තරමක් උපහාසයෙන් පැවසීය....
ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්වල කියැවෙන Photographic Memory කියන ප්‍රස්තූතය ඇත්තෙන්ම සත්‍යයක් නොවෙයි නැන්සි මහත්මිය.. ඔබ දන්නවා ඇති CIA නිලධාරිනියක් විදියට ඔබේ ආයතනයේවත් Photographic Memory ඇති අය නැති බව.. නමුත් මට හොඳ මතකයක් තිබෙනවා. එය Photographic Memory එකක් නොවෙයි.. නමුත් මගේ අවධානය එකතැනකට යොමු කළ විට ඒ දේවල් හොඳින් මතක තබා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එය මනස පුහුණු කිරීමෙන් කළ හැකි දෙයක්...
ඔබ කොහොමද හිතන්නෙ මම CIA ආයතනයෙ කියලා....
ඔබේ හැසිරීමෙන්, ඔබේ ප්‍රශ්නවලින් මට අනුමාන කරන්න පුළුවන් ඔබ එවැනි ආයතනයකින් පැමිණි අයෙක් බව, ඔබේ ප්‍රශ්නවල ක්‍ෂෙත්‍ර දැනුමක් නැහැ. ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ පුද්ගල චර්යාවන් නිරීක්‍ෂණයට.
නැන්සි පෙපර්ගේ දෑස් විශ්මයෙන් ඇළලෙනු එතැන සිටි බොහෝ දෙනාට දැනුනි...
හොඳයි විශ්ව.... ඔබ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියට හැදෑරුවෙ ප්‍රති ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳව... නමුත් බොහෝ ශිෂ්‍යයෝ ආචාර්ය උපාධියට හදාරන්නෙ මෙයට වඩා වෙනස් විෂයයන්, ඇයි ඔබ මේ වගේ විෂයයක් තෝර ගත්තෙ ?
පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණය කිසිවිටෙක එක හා සමානව පැතිරිලා නැහැ. සමහර ස්ථානවල වැඩි ගුරුත්වයකුත්, තවත් සමහර ස්ථානවල අඩු ගුරුත්වයකුත් පවතිනවා. උදාහරණයක් වශයෙන් බහමාස් දූපත් අසළ, ඉන්දියාවේ හිමාලය කඳුවැටියේ   පරිවාර කඳු සහ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට දකුණින් රූමස්සල නම් ප්‍රදේශයේ පවතින්නේ බොහොම අඩු ගුරුත්ව ක්‍ෂෙත්‍රයන්. ඒ වගේම   අන්දීස් කඳු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ සමහර පෙදෙස්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය බොහොම වැඩියි. මෙන්න මේ විසංකූලතා සහ තවත් ඓතිහාසික සාධක මත මම ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර පිළිබඳ හැදෑරීම තෝරා ගත්තා..
නමුත්, ඔබ ගුරුත්‍වය පිළිබඳ දරන ආකල්පය වෙනස් දෙයක්....
ඔව්... මම ගුරුත්‍වය පිළිබඳ හිතන්නෙ එය වස්තූන් දෙකක් අතර වූ සම්බන්ධතාවයක් විදියට. සරළ උදාහරණයක් ගත්තොත් යම් කෙනෙක් තවත් කෙනෙක් වෙතට දරන ආකර්ෂණය හෝ විකර්ෂණය ඒ දෙදෙනාගේ රසායනය (chemistry) අනුව වෙනස් වෙනවා ; එහෙමත් නැතිනම් අණු හෝ පරමාණු දෙකක් අතර බැඳීම ඒවායේ ආරෝපණ අනුව සහ වෙනත් සාධක මත වෙනස් වෙනවා. මේ බැඳීම් වගේම විශාල වස්තූන්වල ආකර්ෂණය විකර්ෂණයත් මෙන්න මේ කුඩා අණුක-පරමාණුක සම්බන්ධතා අනුව ගණනය කරන්න පුළුවනි. නමුත් බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ ගුරුත්‍වය බලපාන්නෙ විශාල වස්තූන්ට පමණක් බව, අපි පොළව අතගාලා වැලිකැටයක් ගත්තොත් එයටත් කිසියම් ගුරුත්‍වයක් තිබෙනවා.
ඔබ දන්නවා ගුරුත්‍වය ගණනය කරන සරළම සමීකරණය.
g = GM/r2
මෙහිදී ඔබට පේනවා  r  අගය ගුරුත්‍වයට ලොකු බලපෑමක් කරන බව. දැන් ඔබ වැලිකැටය සළකා බැලුවහොත්, අන්න ඒකටත් කිසියම් අරයක් තිබෙනවා. M  කියන්නෙ එහි ස්කන්ධය, G  ගුරුත්වාකර්ෂණ නියතය... මෙන්න මෙතැනදියි බොහෝ දෙනාට වරදින්නෙ.. අපට මෙන්න මේ කුඩා වස්තූන්වල ගුරුත්‍වාකර්ෂණ නියතය හදාරන්න අපහසුයි පෘථිවි ගුරුත්‍වය බලපාන නිසා. නමුත්, අපට හැකි නම් පෘථිවි ගුරුත්‍වය නොසලකා හරින්න, අන්න ඒ අවස්ථාවෙදි අපට පුළුවනි එක් එක් වස්තූන්ගෙන් අනෙක් දේ වලට ඇති ආකර්ෂණය - විකර්ෂණය ගණනය කරන්න. මගේ පර්යේෂණය වුනේ මෙන්න මේ ගුරුත්‍වය නොසලකා හැරිවිට සිදුවන අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය. ඉතින්, ඔබට දැන් තේරෙනවා මම ඇයි හාවඩ් විශ්ව විද්‍යාලයට වඩා මෙතැනට කැමැත්තක් දක්වන්නෙ කියලා.
ඒ පිළිතුරෙන් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවු දෙනා පමණක් නොව සත්‍යය නිර්ණය කරන යන්ත්‍රය ක්‍රියාකරවන තාක්‍ෂණික නිලධාරියා ද සෑහීමකට පත්වනු විශ්වට දැණුනි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Piece of Cake !
මැතිව් නාවික පර්යේෂණ ආයතනයෙන් පිටත්වන පිටවන විටම තමන්ට කියා ගත්තේය.......
33 වන මට්ටමේ මේසන්වරු ලෝකයේ සිටින්නේ අතලොස්සකි. රහස්‍යව පැවති අති බලවත් සමාජයක් වූ Free Masons නම් සමාජයට අයත් බලවත් පුද්ගලයින්ගේ ලැයිස්තුව එසේ මෙසේ එකක් නොවේ. ජෝර්ජ් වොෂිංටන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, එළිසබෙත් රැජිනගේ ස්වාමියා වන එඩින්බරෝ ආදිපාද ෆිලිප් කුමරු, වින්ස්ටන් චර්චිල් වැනි ලොව පාලනය කිරීමට සම්බන්ධ බලවතුන් ද, සුප්‍රකට කතා රචක සර් ආතර් කොනන් ඩොයිල්, ගලිවරය ලියූ ජොනතන් ස්විෆ්ට් වැනි ලේඛකයින් ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින්, වැන්නවුන් මෙන්ම හිල්ටන් හෝටල් සමූහයේ නිර්මාතෘ චාර්ල්ස් හිල්ටන්, වෙන්ඩීන් අවන්හල් සමූහයේ නිර්මාතෘ  ඩේව් තෝමස් වැනි ව්‍යාපාරික දැවැන්තයන් ද, ඉන්දියාවේ ආගමික ගුරු ස්වාමි විවේකානන්ද  ඇතුළු ලෝ වටා වූ බොහෝ බලවත් පුද්ගලයින් රැසක් සාමාජිකත්‍වය දරන ඉතා බලවත් සමාජයක් වන මෙහි සාමාජිකත්‍වය ලබා ගැනීමට ද අතිශය අපහසු කරුණකි. එසේ ලබා ගන්නා සාමාජිකත්‍වය වරින් වර සිදු කෙරෙන සමත්කිරීම් සහ පරීක්‍ෂණවලින් පසුව මට්ටමින් මට්ටම ඉහළට ගොස් අවසන උසස්ම මට්ටම වන 33 වන මට්ටමට උසස් කරනු ලැබේ. එය අතිශය උසස් ස්ථානයකි. ලොව පුරාම 33 වන මට්ටමේ මේසන්වරු සිටින්නේ අතලොස්සකි. ඒ අතරට බලවත් රාජ්‍ය නායකයින් බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සහ සොලමන් පරම්පරාව මෙන් පාරම්පරික මේසන්වරු අයත් වෙති.
සිය පියාගේ සම්බන්ධතා මෙන්ම ආණ්ඩුව තුළ වූ මේසන්වරුන්ගේ බලපරාක්‍රමය මත මේ රැකියාව තමන්ට ලැබෙන බව දැන් ඔහුට ඉර හඳ සේ විශ්වාසය. තමා තරමක් උඩඟු බවක් පෙන්වුවත් එයින් තමාගේ නායකත්‍ව ගුණාංගයන් ඉහළට ඔසවා තැබෙන බව ඔහු කල්පනා කළේය. කවුරු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණියත්, තමන්ට මේ අවස්ථාව ලැබෙන බව ඔහුට තේරුම් ගොස් තිබුණි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඇලෙක්ස් සිය වාර්තාව සම්මන්ත්‍රණ කාමරයේ සිටි සිවු දෙනා වෙත ගෙන ගොස් පසෙක වූ සුවිශාල තිරය මත දිස්වන්නට සැලැස්වීය. තම ආයතනයේ ඇති පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ගෙන් අවසන් අදියරට පැමිණි තිදෙනාගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම්වල පරිඝණක විශ්ලේෂණයන් වෙන වෙනම සසඳා තිබුණි. ඒ අනුව පැහැදිලිවම පිළිතුරක් ලැබී තිබූ නමුත් පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවුදෙනාම එකසේ එයට කැමති වූයේ නැත....
පරිඝණක වැඩසටහන හරි වෙන්න පුළුවන්... නමුත් අපට තියෙනවා නේද කිසියම් හැඟීමක්...Gut Feeling එකක්... එතකොට ඒකට කිසිම තැනක් නැද්ද මෙතැන ? නැන්සි නැවතත් සිය විරෝධතාවය පළ කළා....
නැන්සි... ඔබ දන්නවා අපි මෙතැන ගන්න හැම තීරණයක්ම තර්කානුකූලව ගත යුතුයි කියලා... හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ බොහොම දුර්වල තැනක්... අපට වඩා ඔබ ඒක දන්නවා... නමුත් අපි යට වෙන්න හොඳ නැහැ සමාජ සම්බන්ධතා වලට.....
නමුත්, අපි මේ වාර්තාව මත පමණක් තීරණය ගන්න බැහැ නේද ? FBI එකේ පසුබිම් වාර්තාව එනකල් කවුරු වුනත් ඉන්නෙ එකම තැනක... ඒක අනුව නෙ අපි අවසාන තීරණය ගන්නෙ...
ඇත්ත.. නමුත් මෙයා තමයි අපට දැනට හොඳටම සුදුසු... අපි දැක්කා එයාගෙ ඉදිරිපත් කිරීම, කියන්න තරම් වැරැද්දක් ඇත්තෙම නැහැ.. තරමක් මුරණ්ඩු ගතියක් පෙන්වුවත් බුද්ධිමත්, මම හිතන්නෙ අපි පරිඝණක වැඩසටහන අනුව යා යුතුයි...
බලමු... තවත් වාර්තා එන්න තිබෙනවා නෙ.... එහෙනම් අපි ආයෙම කවදද හමු වෙන්නෙ.. මට මේක ඉක්මනටම අවසන් කරලා මේ  පර්යේෂණය ඉක්මන් කරන්න ඕන.... කල් දාන්න බැහැ..
සියළුම දෙනා සිය ජංගම දුරකථන වලින් සිය කාලසටහන් පරීක්‍ෂා කරන්නට වූහ....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සෙස්ස පස්සට...............

6 comments:

  1. Free Mason ...... මතක් වෙන්නෙම නෑනේ මොන ෆිල්ම් එකේද දැක්කේ කියලා.... හි හි
    Photographic Memory ගැන නම් පොඩි හැඟීමක් තියෙනවා...

    ඉස්සර පොතක් කියෙව්වට පස්සේ ඕනෙම වෙලාවක ඇස් දෙක පියාගෙන අදාළ කොටස පොතේ මොන පිටුවෙද, මොන හරියෙද, මොන ‌‌‌ඡේදෙද, කියලා හරියට කියන්න පුළුවන් කමක් මට තිබුනා.. පාඩම් පොත් වගේම නවකතා පොතුත්... ඒක මම කරන්නේ හරියට හිතෙන් පොත පෙරළනවා වගේ.... ගොඩක් වෙලාවට එක පාරක් පොත බැලුවාම හොඳටම ඇති... විශේෂයෙන් සාමාන්‍ය පෙළ විද්‍යාව පේපර් එක ලියද්දි නම් ඒක පුදුම විදියට උදවු උනා...

    මේ මැතිව් නම් පොඩ්ඩක් ඔලුව උදුම්මව ගත්ත එක්කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ... හම්ම්....

    ReplyDelete
    Replies
    1. Dan Brown ගෙ Lost Symbol පොතේ මේ ගැන තමයි තියෙන්නෙ. හොයාගෙන කියවන්න.. මම දැනට තුන් පාරක් කියවලා තියෙනවා
      මැතිව් වගේ අයත් ලෝකෙ ඉන්නවනේ ඕනතරම්....
      මටත් ඉස්සර ඔය මෙමරි එක ටිකක් තිබුණා... දැන් නම් ඒක අඩු වෙලා....

      මට ඕන කියවන අයට කියවන ගමන්ම කිසියම් දැනුමකුත් දෙන්න... මම හිතන්නෙ මම කට්ටියගෙ කුතුහලය අවදි කරලා තියෙනවා...

      Delete
  2. ඔය Photographic Memory එක තියෙන මගෙ යාළුවෙකුත් ඉන්නවා. මාරම bright. කොච්චර වටිනා talent එකද්ද...ඔන්න අදත් අපූරු කතාන්දරය කියෙව්වා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...
      ඔව් මේක තරමකට දියුණු අය ඉන්නවා... උප්පත්තියෙන්ම එන දෙයක්.. නමුත් හරිම වටිනවා මේ කාලෙ....
      දිගටම කියවන්න...

      Delete
  3. ඔය රූමස්සල කන්ද ලඟ ඇත්තටම මෙහෙම ගුරුත්වයේ වෙනසක් හොයාගෙන තියෙනවද ඇල්?

    මුහුදු මට්ටමේ සිට උස අනුවත් ගුරුත්වය වෙනස් වෙන්න ඕනෙ නේද? මම මතක විදියට ස්කන්ධයෙයි බරෙයි වෙනස කියන්න ඒක අවශ්‍ය වෙනවා නේ?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ලෝකයේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය හැම තැනම එක හා සමාන නැහැ... ලංකාවෙ දකුණු දිග මුහුදු පෙදෙස මේ වගේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය දුබලම තැනක්... තවත් තැන් බොහොමයක් තියෙනවා... මේ ගැන ඇත්තම තොරතුරු ඉදිරි කථාංගයකින් බලාපොරොත්තු වෙන්න.....
      මම ඉස්සෙල්ලා කිවුවා වගේ මේකෙ බොහොමයක් දේවල් ඇත්ත තොරතුරු.... ඉතින් ඉදිරියේදි ඇත්තම දැනගන්න ලැබේවි...
      ගුරුත්‍වය මුහුදු මට්ටම අනුව නම් වෙනස් වෙනවද කියලා කියන්න මම දන්නෙ නැහැ... නමුත් හොයලා බලලා කියන්නම්... සමහරවිට ඒ තොරතුරුත් ඉදිරි කථාංග වලට ඇතුලත් කරන්න පුළුවනි..

      Delete