Tuesday, January 1, 2013

පිටස්තරයා................. දහහත්වන දිගහැරුම......................


මොකද  ජෙනී කිසි කතාවක් නැතුව.........
මොනවා කතා කරන්නද ? බලනවා තමුසෙලා කරපු වැඩේ..... මේ මනුස්සයා ඉන්න තත්ත්‍වය. ! මොකද ලොක්කා කියන්නෙ ?
මොනවා කියන්නද ? දැන් ඉතිං කරන්න තියෙන්නෙ ඩැමේජ් කන්ට්‍රෝල් තමයි..... හොඳ වෙලාවට අපි පොලීසියට කතා කරලා අපේ මිනිහව නිදහස් කළා....මාධ්‍යවලට කිවුවෙ එතැනම මැරිලා කියලා. මොනවා වුනත් මිනිහා ඇවිත් තියෙන වේගෙ හොඳටම වැඩියි... අනිත් එක තමයි මෙයා ට්‍රක් එක එනවා දැකලා අනිත් ලේන් එකට කාර් එක අරගෙන... ඒ නිසා තමයි හරහට හැපිලා තියෙන්නෙ.... නැතිනම් වැඩිය හානියක් නැහැ...
දැන් කාර් එකට කොහොමද ?
කාර් එක ගන්න දෙයක් නැහැ... ඒක රක්‍ෂණ සමාගමට කියලා අළුතෙන් එකක් ගන්නයි වෙන්නෙ..... ඒත් කවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා... අපි ප්ලෑන් කළේ මෙච්චර ලොකු දෙයක් කරන්න නෙමෙයිනෙ...
මොනවා කළත් කමක් නෑ... මුලින්ම අපි බලන්න ඕන මෙයාව ගොඩ ගන්න... මේ වැඩේ හරි නොගියොත් අපි තුන්දෙනාම ගස්.... මම නම් කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ බරපතල දෙයක්... අපි මීට වඩා සූක්‍ෂම වෙන්න තිබුණා කියලා මට හිතෙනවා. මම යනවා... මට වැඩ ගොඩක් තියෙනවා.. කෝකටත් පරිස්සමින්... කරන දෙයක් කාටවත් ඇඟවෙන්නෙ නැතිවෙන්න කරන්න....  ඇය නොරිස්සුම් සහගත හැඟීමෙන්, එසේම කිසියම් දුකකින් ඔවුන් දෙදෙනාගෙන් වෙන්ව ගියාය.
.....................................................................................................................
එදින රාත්‍රියේ වොෂිංටන් බෞද්ධ විහාරයේ දුරකථනය නාද වෙන්නට විය.....
ලොකු හාමුදුරුවනේ........ මේ මම සුමනසේකර කතා කරන්නෙ........
ආ  සුමනසේකර මහත්මයා..... අපි අද ගිහින් විශ්වට පිරිත් ටිකක් කියලයි ආවෙ.... අපි බලාපොරොත්තු වුනේ තුන් දවසක්ම පිරිත් කියන්නයි...
අනේ කොයිතරම් හොඳයිද ලොකු හාමුදුරුවනේ..... කොහොමද අපේ දරුවට ?
සුමනසේකර මහත්මයා කිසි දේකට බය වෙන්න ඕන නැහැ..... විශ්ව ඉන්නෙ ඇමරිකාවෙ හොඳම හමුදා රෝහල් වලින් එකක... එතැන හොඳම පහසුකම් තියෙන්නෙ... ඒ අය ඕනවටත් වඩා හොඳින් එයාව බලා ගන්නවා.. හැරත්, තානාපති කාර්යාලයෙනුත් ලොකු සැලකිල්ලක් තියෙනවා විශ්ව ගැන... සූර්යබණ්ඩාර මහත්මයා ඉතිං තානාපතිතුමාගෙ හොඳ යාළුවෙක් නෙ... ඒ නිසා ඒ පැත්තෙනුත් ලොකු උදව් තියෙනවා... කිසිම අඩුවක් වෙන්නෙ නැහැ.... බය වෙන්න එපා....... දැන් කවදද  සුමනසේකර මහත්මයා මේ පැත්තෙ එන්නෙ ?
අපි හෙටම එන්නයි හිතන් ඉන්නෙ ලොකු හාමුදුරුවනේ.... ඒ ගැන කතා කරගන්න තමයි මේ කතා කළේ...
ආ.. බොහොම හොඳයි... බොහොම හොඳයි.. අපි මෙහෙන් කෙරෙන්න ඕන සියළුම දේ කරන්නම්... හෙට පැවැත්වෙන වස් පිංකමේදිත් අපි විශ්ව මතක් කරලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා...
අනේ බොහොම පිං ලොකු හාමුදුරුවනේ.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ආ..... මේ එන්නෙ.......... අපි හිතුවෙ එන එකක් නැහැ කියලා.... කොහොමද විශ්වට දැන් ?
තවම සිහිය නැහැ...... හවස පන්සලේ හාමුදුරුවරු ඇවිත් පිරිත් කිවුවා.... එතකොට නම් පොඩි වෙනසක් තිබුණා... නමුත් ආයෙම පරණ තත්ත්‍වයටම පත් වුනා....
ඒ කොහොමද එහෙම වෙන්නෙ ?
මමත් කියන්න දන්නෙ නැහැ... ඩොක්ටර්ස්ලටත් ඒක ප්‍රශ්නයක් වුනා... මම දැක්කා ඒ දෙන්නම කවුදෝ හාමුදුරු කෙනෙක් එක්ක ගොඩක් වෙලා කතා කරනවා... මේක මම හිතන විදියට නම් බොහොම බරපතල තත්ත්‍වයක්... විශ්වට ලොකු අමාරුවකුත් නැහැ. මොළයේ සංඥා සියල්ල නිරෝගීයි... නමුත් සිහිය එන්නෙ නැහැ... කෝකටත් මම හෙටත් යනවා බලන්න....
අපිත් එන්නම් බලන්න යන්න... කොහොම වුනත් මිනිහා හරිම හොඳයි... කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්.. දැන් එයත් අපේම කෙනෙක් නෙ....
මම හිතන්නෙ නැහැ හැමෝටම එයාව බලන්න යන්න පුළුවන් කියලා... කෝකටත් අද්මිරාල් බවර්ට කතා කරලා ඔයාලගෙ නමත් ලැයිස්තුවට ඇතුලත් කරන්න... ඒක හමුදා රෝහලක් නිසා ආරක්‍ෂාව තදයි....
ඇයි මෙච්චර ඉස්පිරිතාල තියෙත්දි එයාව දුර තියෙන හමුදා රෝහලටම ඇතුලත් කළේ ? එයා හමුදාවට අයිති කෙනෙක් නෙවෙයි නෙ..
මම හිතන්නෙ නම් ඒක අද්මිරාල්ට තියෙන සම්බන්ධය නිසා වෙන්න ඇති... මොකද, අනතුර වුන වෙලාවෙම තමයි අද්මිරාල්ට පණිවුඩය ගිහින් තියෙන්නෙ... ආරක්‍ෂක නිලධාරීන් තමයි මුලින්ම පණිවුඩය දීලා තියෙන්නෙ... අද්මිරාල් වෙන්න ඇති විශ්ව ව හමුදා රෝහලට ගෙනයන්න කියලා කියන්න ඇත්තෙ...
කොයි තරම් කාලයක් යයිද මිනිහට සිහිය එන්න ? පව්... ඇවිල්ලා සති දෙක-තුනයි ගියේ... ජීවිතේ පටන් ගත්තා විතරයි...
මටත් තියෙන දුක ඒකයි.... කොහොම වුනත් ඉක්මනට සිහිය ඒවි කියලා හිතනවා... අපි බලමු...තවම දවසක් වත් ගියේ නැහැනෙ...
කොහොමද ඔච්චර හානියක් වෙලා තියෙන්නෙ ? විශ්වගෙ කාර් එක ඉවරෙටම ඉවර වෙන්න ?
ආරංචියෙ හැටියට නම් බීමත් රියදුරෙක් ලොකු ට්‍රක් එකක් පදවගෙන ඇවිත් තමයි හැපිලා තියෙන්නෙ... ඒ රියැදුරා නම් එතැනම මිය ගිහින් කියලයි පොලීසියෙන් කිවුවෙ... හදිසි ආපදා සේවකයෝ එයාගෙ මළසිරුර අරගෙන ගිහින් තිබෙනවා.. මම දන්නෙත් එච්චරයි... අවසන මොලී පැවසුවාය...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මම නම් හිතන්නෙ මේක පිරිත් නිසා සිදු වූවක් නෙවෙයි....
එහෙනම්.... ?
මම මේ ගැන සොයා බැලුවා... මේ රටාව තිබෙන්නේ මොළයේ ශංඛක කණ්ඩිකාවෙ අසාමාන්‍යතාවයක්...
නමුත්, ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියන්නට පෙර තිබුණෙ නැත්තෙ ? ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියලා අවසාන වුනාට පස්සෙ යථා තත්ත්‍වයට පත් වුනේ ? එහෙම අසාමාන්‍යතාවයක් තිබුණා නම් මුල ඉඳලම ඒ අසාමාන්‍යතාවය තිබෙන්න ඕන නේද ? පිරිත් කියන අවස්ථාවෙ හැරෙන්න මේ අසාමාන්‍යතාවය නැවතත් දකින්න තිබුණද ?
නැහැ... පිරිත් කියන අවස්ථාවෙ විතරයි මේ මොළයේ සංඥා මන්දගාමී වීම සිදු වුනේ... අනිත් කිසිම අවස්ථාවක මේ සංඥා මන්දාගාමී වුනේ නැහැ. ඇත්තෙන්ම සාමාන්‍ය නිරෝගී කෙනෙකුටත් වඩා වැඩියෙන් ඒ සංඥා ක්‍රියාත්මක වෙනවා.. මට පෙනෙන්නෙ නම් ඔහුගේ මොළය මේ අවස්ථාවෙදි අධිකව පණිවුඩ හුවමාරුවක යෙදෙනවා වගේ...
ශංඛක ඛණ්ඩිකාව මොළයේ ප්‍රධාන ඛණ්ඩිකාවන් හතරෙන් එකකි. ශංඛක කණ්ඩිකාව ප්‍රධාන වශයෙන් සංවේදන දැනීම, වාචික සංවේදන, භාෂාව සහ ශබ්ධ සංජානනය සහ මතකය සම්බන්ධ ක්‍රියා සඳහා ප්‍රධාන වේ. මධ්‍යම ශංඛක ඛණ්ඩිකාවේ පිහිටි ව්‍යුහයන් විසින් දීර්ඝකාලීන මතකය පිළිබඳ සංනිවේදනයන් සිදු කරනු ලබයි.  විශේෂයෙන්  මොළයේ මූලය, හයිපොතැලමස සහ අවට ව්‍යුහයන් විසින් මතකයන් ඇතිකිරීම, කරුණු තහවුරු කිරීම වැනි මතකය සම්බන්ධ කරුණු කාරණා රාශියක් පාලනය කරනු ලබයි. මේ නිසා සිහිසුන්  වූ  රෝගියෙකුගේ  වූ ශංඛක ඛණ්ඩිකාවේ ක්‍රියාකාරීත්‍වය  ඉතාම වැදගත් සාධකයක් ලෙස වෛද්‍යවරුන් විසින් සළකනු ලබයි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද ඩොක්ට දැන් විශ්වට ?
මොලී පසුදින සවස විශ්වගේ සුවදුක් බැලීමට පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයා හමු වීමට ගොස් විමසුවාය.

මොළයෙන් පිටත මොළය..
මොළයෙන් පිටත මොළය..

තවමත් සිහිය ඇවිල්ලා නම් නැහැ... නමුත් සියළුම අවයව දැන් නිසි පරිදි ක්‍රියාත්මකයි... ඒක හොඳ ලකුණක්... අපි හිතනවා ඉක්මනින්ම සිහිය එයි කියලා... මේ වගේ රෝගීන් අනන්තවත් ඉන්නවා මොලී... බය වෙන්න එපා.... සමහරු දවස් දෙක තුනකින් සිහිය එනවා... එහෙම නොවුනොත් අපි ස්නායුවලට පොඩි විද්‍යුත් කම්පනයක් දීලා බලනවා... මේකත් හරියට කෙටි පරිපථයක් (Short circuit) වගේ දෙයක් වෙන්න පුළුවනි. අපට බයක් නැත්තෙ මේ අනතුරේදී මොළයට කිසිම හානියක් නොවී පැවතුන නිසා... සමහරවිට අනතුර සිදු වන වෙලාවෙ ගැස්සීමෙදි බෙල්ල සහ මොළය අතර සුශුම්නාව ඇට්ලස් කශේරුකාව මගින් තෙරපීමකට ලක් වුනාද කියන සාධකයත් අපි සලකා බලනවා.. අද එයාව තවත් පරීක්‍ෂණයකට භාජනය කළා.. ඒකෙ ප්‍රතිඵල අද සවස වන විට ලැබෙයි.. ඒ අනුව අපි බලනවා එහෙම දෙයක් වෙලාද කියලා.
ඒ සංවාදය සිදුවන අතරතුර මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය සඳහා වැඩම කළහ..
අත්ථදස්සි හිමියන්ට පිරිත් සජ්ඣායනය කිරීමට ඉඩ පහසුකම් සලසා දී මොලී කාමරයේ පසෙකට වූ අතර වෛද්‍යවරයා පිටව ගියේය.
පෙරදා සිදු වූ සුවිශේෂී සංසිද්ධිය මතක තිබූ නිසාම පිරිත් සජ්ඣායනයට පෙර සිටම විශ්වගේ මොළයේ සංඥා සටහන දෙස මොලී බලා සිටියාය... අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය පටන් ගෙන මඳ වේලාවකින් පෙර පරිදිම විශ්වගේ මොළයේ සංඥා සියල්ල ඉතා සුළු විචලනයන් සහිත රේඛා බවට පත් වන්නට විය... මොලීට සිය දෙනෙත් අදහාගත නොහැකි විය... දෙවරක් එකම සංසිද්ධිය එකම සේ සිදු වන්නේ නම් එය අහම්බයක් විය නොහැකි බව ඇයට වැටහුණි. අත්ථදස්සි හිමියන්ගේ මුවඟට මඳ සිනාවක් නැඟුනි... තමා ඊයේ දිනයේ අනුමාන කළ දෑ සත්‍ය බව හිමියන්ට වැටහුණි.
කෙමන් විශ්වගේ වම් අත සෙලවෙන්නට විය... මොලී වහා නැගිට විශ්ව දෙස යාමට සැරසුනත්, අත්ථදස්සි හිමියන් විසින් ඇයව නවත්වාලනු ලැබීය. උන් වහන්සේ දිගින් දිගටම පිරිත් සජ්ඣායනයේ නිරත වෙන්නට විය... විශ්ව සිය වමත සෙමෙන් සෙමෙන් උදරය දක්වාම ගෙන ආවේය.... මොලී මවිතයෙන් මෙන්ම සතුටින් ඒ දෙස බලා සිටියාය... ඇගේ සිතේ මෙන්ම මුහුණේද බලාපොරොත්තුවේ සේයාවක් ඇඳෙන්නට විය....
පිරිත් සජ්ඣායනය නිම වනතුරු වෙනත් සැළකිය යුතු කිසිවක් සිදු නොවීය....  ඒ සියල්ල අවසන අත්ථදස්සි හිමියෝ හුනස්නෙන් නැගී සිට විශ්වගේ හිස අතගා කාමරයෙන් ඉවතට වැඩි සේක... මොලීද එතුමන් පිටුපස කාමරයෙන් පිටතට පැමිණියාය....
එකෙණෙහිම වාට්ටුව භාර වෛද්‍යවරයා ද විශ්වගේ කාමරය වෙත පැමිණියේය...
කවුද මේ ලෙඩාගෙ අත තිබූ තැනින් වෙනස් කළේ. ? මේ වගේ කෙනකුගේ එහෙම වෙනසක් කරන එක අවදානම් වෙන්න පුළුවනි...
කලබල වෙන්න එපා දොස්තර මහත්මයා... විශ්වම තමයි අත සෙලවූවෙ... මම ඊයෙ කිවුවා වගේම පිරිතෙන් කිසියම් ගුණයක් මේ දරුවට ලැබෙනවා...
ඇත්ත ඩොක්ට.... හාමුදුරුවෝ පිරිත් කියද්දි තමයි විශ්ව අත අරගෙන උඩින් තියාගත්තෙ... මටත් හරිම පුදුමයි... කොහොමද මෙහෙම වුනේ කියලා....
පුදුම වෙන්න දෙයක් නැහැ දොස්තර මහත්මයා... අපි පිළිගන්න ඕන හැම දේම විද්‍යාවෙන්ම විසඳන්න බැරිබව... සමහරු හිතන් ඉන්නවා විද්‍යාවෙන් සියල්ල වෙනස් කරන්න පුළුවන් කියල, තවත් සමහරු හිතන් ඉන්නවා ආගමෙන් විතරක් හැම දේම කරන්න පුළුවන් කියලා... නමුත්, මේ දෙපාර්ශවයම අමතක කරපු දෙයක් තමයි බොහෝ ආගම්වල විද්‍යාත්මක සත්‍යය ගැබ් වෙලා තියෙන බවත්, විද්‍යාව ආගමට සම්බන්ධ බවත්...  මෙන්න මේ දෙක එකට අත්වැල් බැඳගෙන නොයන තාක් කල් මිනිසාගේ ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න බැහැ.. මිනිසාට ආගමත් විද්‍යාවත් යන දෙකම තිබිය යුතුයි... එපමණක් නෙවෙයි, මේ ලෝකයේ තිබෙන ආගම් සියල්ල කුමන ආකාරයකින් හෝ එකිනෙකට බැඳී පවතිනවා. ඉතින්, අපි තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම පිරිත් සජ්ඣායනයත් කරගෙන යමු... මම ඊයෙ කිවුවා වගේම, අපේ මූළික අරමුණ රෝගියාව ඉක්මනින්ම යථා තත්ත්‍වයට ගෙන ඒම.. අපි ඒ දේ කරන්න හැකි හැම දේම කරමු... මම නොකිවුවත් නැතත් ඔබ අදම ඔබේ ප්‍රධානීන්ව දැනුවත් කරයි මේ සිදුවීම ගැන.... ඔවුන්ට අවශ්‍ය නම් මගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් හෝ තොරතුරු ලබා ගන්න කිසි විටෙක මැලි වෙන්න එපා මාව අමතන්න... මම මේ දරුවා වෙනුවෙන් කළ හැකි යමක් තියෙනවා නම් ඒ දේ කරනවා.. ඔබ නොදන්නවාට මේ දරුවා බොහොම වටිනා පුද්ගලයෙක්...
හොඳමයි ස්වාමීන් වහන්ස, අපට අවශ්‍ය වුනොත් අපි ඔබ වහන්සෙව සම්බන්ධ කර ගන්නම්... ඇත්තෙන්ම විශ්ව සුව කර ගන්න ඔබ වහන්සෙ පමණක් නොවෙයි නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා ඇතුළු බොහොමයක් දෙනා හැකි සෑම උත්සාහයක්ම දරණවා. ඒ නිසාමයි විශ්ව මේ රෝහලට ඇතුලත් කළේ.. වෙනත් රෝගියෙකු නම් සාමාන්‍යයෙන් මෙතරම් පහසුකම් ඇති හමුදා රෝහලට ඇතුලත් කෙරෙන්නෙ නැහැ... වෛද්‍යවරයා කරුණු පැහැදිළි කළේය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව සුවපත් වේද ?
නොවුනොත් ? කෝ ඉතිරියක් ?

No comments:

Post a Comment