Tuesday, January 22, 2013

2013 ජනවාරි 23: හතලිස් වසරක අතීතාවර්ජනය.


ජීවිතයකට අවුරුදු 40 ක් කියන්නෙ කොච්චර අත්දැකීම් සම්භාරයක් ලැබෙන කාලයක්ද ?

40years

1973 ජනවාරි 23 වෙනිදා මම ඉපදුන වෙලේ අම්මට සිහිය තිබිලා නැහැ... මම ඉස්පිරිතාලෙ පැත්තකට දාලා දොස්තරල අම්මව බේර ගන්න කටයුතු කරලා.. ඒ කාලෙ තිබිච්ච ලොකුම ඉස්පිරිතාලයක් වෙච්ච කළුතර නාගොඩ ඉස්පිරිතාලෙට අම්මව යවද්දි මාව ගෙදර ගෙනැත් තියෙන්නෙ නෝන මම්මා. ඒ කියන්නෙ මගේ පුංචි අම්මා. ඒ මගේ දෙවැනි අම්මා.. අවසානයේ අම්මව ගොඩ ගන්න ඕන කරන ලේ වර්ගය නෑ කියලා කළුබෝවිල රෝහලේ පැත්තකට දාලා තියෙද්දි, ගමේ ටික දෙනෙක් ගිහින් ලේ දීලා කොහොම හරි සතියකට පස්සෙ අම්මව ගොඩ අරගෙන.. ගෙදර ගෙනාපු මාව කවුරුවත් බලාගෙන නැත්තෙ "ඕකට වඩා අපේ කෙල්ල අපට වටිනවා" කියලා හැමෝම අම්ම ගැන වද වෙචිචි නිසා ලු... මට පාන්තිරෙන් එළකිරි පොවලා හදාගෙන තියෙන්නෙ නෝන මම්මා.. කොහොම හරි අම්මට සනීප වෙලා සති දෙකකින් විතර ගෙදර එක්කන් ආවට පස්සෙ තමයි මම කළුද සුදුද කියලා අම්මා දැකලා තියෙන්නෙ..
ඊට පස්සෙ නම් මාමලා හය දෙනෙකුත් පුංචි අම්මලා තුන් දෙනෙකුත් ලොකු අම්මගෙත් මගේ අම්මයි තාත්තගෙත් ඒ වගේම ආච්චිගෙත් සීයගෙත් ආදරය සෙනෙහස මැද්දෙ මම ලොකු මහත් වුනා.. අර ඉස්සර මාව පැත්තකට දාපු මාමලා පුංචි අම්මලා, අපේ අම්මටයි තාත්තටයි බැණ බැණ මට අතක් පයක් උස්සන්න නොදී හදාගෙන තියෙනවා.. අවුරුදු හතරෙදිම ඉස්කෝලෙ ගියේ තාත්තගෙ අතේ එල්ලිලා. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ උදේ පාන්දර ආච්චි හදන ආප්පයක් කාලා ගෙදර වැස්සිගෙන් දොවන කිරි කෝප්පයක් බීලා ඉස්කෝලෙ යන්න වාසනාව තිබුණා.. හවසට සීයත් එක්ක හරක් අරන් එන්නත් එළවලු පාත්තිවල වැඩ කරන්නත් වාසනාව සහ නිදහස මට තිබුණා..  එක දවසක් මාත් එක්ක සෙල්ලම් කර කර හිටපු වසු පැටියෙක් මට ෆ්ලයිං කික් එකක් දීපු දවසෙ ගෙදර එකම කළබලයයි. ඇහැට පොඩ්ඩක් උඩින් වැදිච්ච කික් එකට මගේ ඇහැ ගැලවෙන්න ඇති කියලයි හැමෝම හිතලා තියෙන්නෙ... වාසනාවට ඇහැට අඟලක් විතර උඩින් තමයි කික් එක වැදිලා තියෙන්නෙ. තවමත් කැළල තියෙනවා. තව දවසක් පාරෙ ටයර් පද්දන්න ගිහින් කාර් එකක හැපෙන්න ගිය දවසෙ ඉඳලා ටයර් පැද්දීමත් තහනං වුනා... ටිකක් කර දඬු උස් මහත් වෙනකොට රැලේ බයිසිකලේ කිහිල්ලෙ ගහගෙන ෆ්‍රේම් එක අස්සෙන් කකුල දාලා පැදලා, යන්තම් බයිසිකල් පදින්නත් ඉගෙන ගත්තා... වැටිලා තුවාල වෙච්ච කැළැල් නම් අපමණයි.  මෝටර් බයිසිකල් නම් පෙන්නන්න බැහැ.. දවසක් මෝටර් සයිකලේ පියාඹාගෙන යද්දි වෑන් එකක හැප්පෙන්න ගිහින් බේරුණේ අනූ නවයෙන්.. හැබැයි දැන් ඒ ගැන හිතලා බලද්දි, එදා හැප්පුනා නං දැන් දෙන්න වෙන්නෙ විසි අවුරුදු දානෙ තමයි.. පොඩි වාසනාවක් තිබිලා තියෙනවා ජීවත් වෙන්න. (මේ කතාව කවුරුත් දන්නෙ නෑ.. දැන් නං ගෙදරින් ගුටි)
 ශිෂ්‍යත්වය පාස් වෙලා ගෙදර ආපු දවසෙ අම්මගෙ හිතේ තිබුණ සතුට මට තවමත් මතකයි... කොච්චර ලොකු වුනත් අම්මා මාව වඩාගෙන මූණ ඉම්ඹෙ අම්මා අවුරුදු තුනක් දිවා රෑ නොබලා මට උගන්වන්න වෙච්ච මහන්සියෙ ප්‍රතිඵල නිසි පරිදි ආපු නිසා... පහේ පන්තියෙන් පස්සෙ මහින්දෙට යන්න වුනාම තමයි ලොකුම කරදරේ තිබුණෙ. මහින්දෙට ගියාට හිත තිබුණෙම ගෙදර... මහින්දෙ ගාවම තිබුණ සුබසිංහ නිවසෙ මාව නැවැත්තුවේ දැන හැඳුනුම් කමකුත් තිබුණ නිසා. ඒ ගෙදර අම්මා මට තෙවැනි අම්මා වුනා.. මාව ගාල්ලෙ ඉගෙනුමට දාන්නත් සංඝාරාමෙට දාන්නත් මුල් වුනේ ඇය.. ඇය නිසා තමයි මම හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබුවෙ.. තවමත් ලංකාවට ගියොත් ඇත්නම් මම ඇය බලන්න යන්නෙ මට ඇය අම්මා කෙනෙක් වුන නිසාම නොවෙයි.. මගේ ජීවිතයෙ සාර්ථකත්‍වයට ඇයගෙන් වෙච්ච දායකත්‍වය අමතක කරන්න බැරි නිසා.  ඒ වගේම එහේ හිටපු අක්කලා අයියලාට මම පොඩි මල්ලි වුනා.. අයියලා මාව නරකට යා නොදී හොඳට ඇහැ ගහගෙන හිටියා.. එපමණක් නොවෙයි, මොකක් හරි අළුගුත්තේරු වැඩක් කරලා ආරංචි වුනොත් ඉතිං ගුටිත් ලැබුණා.. ඒ වගේම වටේ පිටේ හැමෝම මාවත් ඒ අයත් දන්න නිසා මගේ වැඩ ගැන නිතරම ඒ අයට ආරංචි වුනා.. ඒ නිසා බොහොම පරිස්සමින් තමයි වැඩ කළේ....එහෙම වුනත්, හැම සති අන්තෙම ගෙදර එන්නමයි හිත තිබුණෙ... ටික කලක් යනකොට ඉස්කෝලෙ වැඩ නිසා ගෙදර එන එක අඩු වුනා.. ඒත් මාසෙකට දවස් දෙකක් වත් එනවා මයි... ටික ටික ලොකු වෙද්දී අම්මලගෙ හිතේ තිබුණ ලොකුම බය සාමාන්‍ය පෙළ සමත් කරගැනීම.. සාමාන්‍ය පෙළ කාළයෙම තමයි 88-89 කලබල පටන් ගත්තෙ.. ඒ කාලෙ ටයර් සෑයක පිච්චුන කකුලක් දැක්කත් අම්මලා තාත්තලා බය වෙලා තිබුණ කාළයක් වුනා...
සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට විද්‍යා විෂයයන් කරන්න ඕන කියලා ජීව විද්‍යාව විෂය ධාරාව තෝර ගත්තෙ මමමයි... අම්මලා නම් කිවුවෙ කලා අංශයට යන්න කියලා... ලියන්න ටිකක් පුළුවන් කියලා දන්න නිසා වෙන්න ඇති... නමුත් මම විද්‍යාව තෝර ගත්තා.. තවත් හේතුවක් තිබුණ නිසාම... ඒ අවුරුදු දෙකේ වෙච්ච දේවල් ටිකක් කෙටි කරන්න වෙන්නෙ බොහෝ දෙනෙකුගෙ යහපතට... වැදගත්ම කාරණය වුනේ මාව මහින්දයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලයට තේරීම... එයින් ලැබුණ අත්දැකීම් ප්‍රමාණය නම් කියලා නිම කරන්න බැහැ.. ඒ නිසාම තමයි මේ තරම් ඔලුව කෙළින් තියාගෙන කටයුතු කරන්න හයිය ලැබුණේ. ඉස්කෝලෙ වැඩ නිසාම උසස් පෙළ හරියට කර ගන්න බැරි වුනා... මම කොළඹට එද්දි, ඇය කරාපිටියෙ වෛද්‍ය විද්‍යාලයට ගියා.
ඒ ගමනෙදි තමයි මට මගේ ජීවිතයෙ වඩාත්ම වැදගත් පුද්ගලයා හඳුනගන්න ලැබුණෙ. ඒ වටුතන්ත්‍රීගේ දහම් පියුම් දෙව්රුවන් ද අල්විස් ගුරු පියාණෝ. එහෙම නැත්නම් හැමෝම දන්න දෙව්රුවන් සර්... ඒ උත්තමයා මගේ ජීවිතයෙ නිසි මාර්ගය පෙන්වුවා.. ඒ මඟපෙන්වීම නිසාම තමයි මම රසායන විද්‍යා ආයතනයට පියමැන්නෙ.. රසායන විද්‍යා ආයතනයෙදි මගේ ජීවිතයේ අනිත් කොටස හමු වුනා.. එදා ඉඳලා අපි දෙදෙනා අනාගතය වෙනුවෙන් වැඩ කළා. මම පළමු විභාගයේ  පළමුවැනියා වෙද්දි ඇය දෙවැනියා වුනා.. නමුත් ඇය මාව පරද්දලා අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා විතරක් නොවෙයි රන් පදක්කමත් දිනා ගත්තා... මට දුකක් නෑ.... මට රන් පදක්කම් දෙකක්ම ලැබුණ නිසා...
අවුරුදු දෙකක් යුනිලීවර් ආයතනයෙ සේවය කළ මම ලංකාවට සමු දීලා ලුයිසියානාවට ආවෙ වැඩිදුර ඉගෙන ගන්න.. ඒ විශ්ව විද්‍යාලයෙදි ශාස්ත්‍රපති උපාධිය නිම කළ අපි දෙදෙනා ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනේ ආචාර්ය උපාධිය හදාරන්න... ඒ අතරෙයි අපේ ලොකුම වස්තුව අපට ලැබුණෙ.... ඒ වස්තුවත් රැක බලා ගන්න අතරේ අපි දෙදෙනාම කොච්චර දුක් කම්කටොළු මධ්‍යයේ වුවත් ආචාර්ය උපාධිය නිම කළා..  අවුරුදු 6 ක් කටු කාලා... ඉන් අනතුරුව අවුරුදු දෙකක් ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයේම බලශක්ති පර්යේෂණ අංශයේ කාබන් ඩයොක්සයිඩ් පර්යේෂණ පිළිබඳ කණ්ඩායමට නායකත්‍වය දෙන්නත් මට හැකි වුනා... ඒ ව්‍යාපෘතිය අවසාන වේගෙන යනකොටයි BASF ආයතනයේ උත්ප්‍රේරක පර්යේෂණ රසායනාගාරයේ විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කිරීමේ කෙටි කාලීන කොන්ත්‍රාත්තුව මට ලැබෙන්නෙ...
ජර්මනියට පැමිණීමම එක්තරා යුද්ධයක් වුනා.. ඒ සියල්ලම ජය අරන් අපි ජර්මනියට ආවා... පර්යේෂණය අවුරුද්දක් වුනත්, එයත් ඉක්මනින් අවසාන වේගෙන යනවා... ඉන් පසු මගේ බලාපොරොත්තුව මොකද්ද ? ළඟදිම දැනගන්නට ලැබේවි....
මේ මගේ මුළු ජීවිත කතාවම පරිඡේද කිහිපයකින් ලියැවුන හැටි... මේ සියල්ලම නෙවෙයි..  මේ අවුරුදු 40 තුළ සමාජයේ පහළම ස්ථරය යැයි සැලකෙන අයගෙ සිට නොබෙල් ත්‍යාගලාභීන් සහ සමාගම් ප්‍රධානීන්  අතර වූ විවිධාකාර තලයන්හි චරිත අතර ගැවසෙන්නට හැකියාව ලැබුණා. ඒ අත්දැකීම් සියල්ලමත් මට බොහොම වටිනවා.. එපමණක්ම නොවෙයි.. විවිධාකාර පුද්ගලයින් මිතුරු මිතුරියන් ලෙස ඇසුරු කරන්නට ලැබුණා... ඒ අතරින් සමහරු අපෙන් ඈත් වෙලා.. සමහරු බොහොම සමීප වෙලා... ඒ ජීවිතයෙ හැටි...
ඉතිං මේ තාක් දුර මගේ ජීවිතය කරදරයක් නැතිව ගෙන එන්න මූලික වුන සහ තවමත් මගේ මඟ පෙන්නන්වන් වන මගේ අම්මටත්, තාත්තටත් මගේ ජීවිතයෙන්ම ණය ගැතියි... ඒ වගේම අම්මවයි තාත්තවයි බලාගෙන ඉන්න මගේ මල්ලිටත් මම වගේම ගතිගුණ ඇති යකෙකුටවත් බය නැති නංගිටත් ඒ ණයගැති භාවය එහෙමමයි. මගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවුනෙ ඒ අයගෙන් ඈත්ව.. ඒ අය ලඟට යන්න කාළය හරි කියලයි හිතෙන්නෙ... මට දෙවැනි මවුපිය යුවලක් වුන  නෝන මම්මා සහ කමල් බාප්පා නොහිටින්න මම මේ තැන අද නැහැ... (කාගෙවත් නම් කියන්නෙ නැත්තෙ  ඒ අයගේ පෞද්ගලිකත්‍වය ගැන සිතලා ) ඒ බව අද මම කියන්නෙ බොහොම සතුටින් ඒ වගේම ගෞරව පූර්වකව. ඒ වගේම මගේ මාමලා - නැන්දලා පුංචි අම්මලා- බාප්පලා වගේම මගේ ඥාති සහෝදර සහෝදරියෝ මට බොහොම වටිනවා. විශේෂවෙන්ම මට  විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න යොමු කළ  සුදු අක්කත්, මගේ හොඳම මිතුරිය වුන මැණිකෙත්, මගේම නංගි කෙනෙක් වගේ මට සැලකූ සුදු නංගිත් මගේ ජීවිතයට විශේෂයි.   මගේ ජීවිතයට අදටත් අවවාද අනුශාසනා දෙන දෙව්රුවන් සර්ට මම සදා ණය ගැතියි... සර් එදා මාව පිටත් කළ මාර්ගයෙ මම තවමත් නොනැවතී ගමන් කරනවා. ඒ වගේම රසායන විද්‍යා ආයතනයේ ඇදුරු මඬුල්ලත් මට අමතක කරන්න බැහැ. ඇල්කෙමිච්චිගේ මා පිය යුවලත් මල්ලිත් නංගිත් ඇතුළු ඒ අයගේ පවුල් මාව තමන්ගේම පුතෙක් සහෝදරයෙක් වගේ ආදරයෙන් සැළකීම මා ලැබූ භාග්‍යයක්.
මගේ ජීවිතයෙ පෞද්ගලිකත්‍වය සම්පූර්ණයෙන්ම නිරාවරණය වුනේ ඇල්කෙමියාගේ රසායනාගාරය සහ ඇල්කෙමියාගේ දිනපොත ඇරඹුවාට පසුව. ඒ ගැන මට කණගාටුවක් නැත්තෙ  ඊට වඩා  ඒ මඟින් බොහෝ දේවල් ලබා ගත්ත නිසා. මම හොඳ බ්ලොග් මිතුරන් රාශියක් ඇති කර ගත්තා.. මුහුණට මුහුණ හමු වෙලා කතා කරලා තියෙන්නෙ දෙදෙනෙකු පමණක් වුනත්, ඉදිරියේදී ඊට වඩා ගොඩක් අන්තර්ක්‍රියා ඇති වෙන බව විශ්වාසයි. ඒ වගේම ඔබෙන් ලැබෙන දිරි ගැන්වීම්, ප්‍රතිචාර සහ විවේචන සියල්ල මගේ ලිපි සහ  ඉදිරි ගමන හැඩ ගස්වා ගන්නට ලොකු පිටුවහලක්.. ඒ ගැන ඔබට බොහොම ස්තූතියි.... මගේ සේවය මීටත් වඩා විශාල වශයෙන් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරන බව පමණක් දැනට කිව යුතුයි... ඒ ගැන කිසිදු සැකයක් නැහැ... ඉදිරියේදී ඒ සැලසුම් එළි දක්වන්නම්.
ඉතින් මේ අවුරුදු හතලිහේ මම ලබපු ලොකුම දේවල් කිහිපයයි තියෙන්නෙ.. ඒ අතරින් මූලිකම වෙන්නෙ මගේ අම්මයි තාත්තයි මගේ ගැන තිබිච්ච බලාපොරොත්තු බොහොමයක් ඒ අයුරින්ම ඉටු කරලා දීලා ඒ දෙන්නගේ ලේ කඳුළු දාඩිය වලට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න පුළුවන් වීම....මට ඒ නිසා මම ගැන ආඩම්බරයි. ඒ අතරෙම බොහොම වෙහෙස මහන්සි වෙලා ලබා ගත්ත අධ්‍යාපනය සහ අත්දැකීම් නම් කියලා නිම කරන්න බැහැ. ඒ වගේම ජීවිතයට වටිනා කියන පුද්ගලයින් රාශියක් දැන හඳුනාගන්නටත් දිගටම සම්බන්ධකම් පවත්වන්නටත් ලැබුණා.. මගේ ජීවිතයෙ දුක සැප හැම දේම බෙදා ගන්න මගේ හොඳම මිතුරිය නිබඳවම මගේ ලඟ ඉන්න එක තරම් හයියක් මගේ ජීවිතේටම නැහැ..  ඉඳලා හිටලා මට කෑ ගැහුවත්, ගෙදර පිටසක්වලක් වගේ වෙලා පියාඹන පීරිසියක් දෙකක් ගෙදර පාවුනත්, ඒ සියල්ල මගේම යහපතට කියලා මට හිතෙනවා.. (එහෙම නැති වුනත් නෑ කියන්නයෑ ?)  ඒ වගේම  ඇය මට ලබා දුන්න මගේ ජීවිතයෙ වටිනාම වස්තුවත් මගේ ලඟ... ද්‍රව්‍යමය සහ මූල්‍යමය වස්තු වලට වඩා මට මේ සියල්ල හොඳටම ඇති.
ඉතිං....
තවත් වෙන මොනවද මට ඕන ?


8 comments:

  1. සුබ උපන්දිනයක්!!! නිහතමානී ආඩම්බරයක් විය හැකි අතීත කතාවක් !!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්.

      Delete
  2. සයිබර් අවකාශය හරහා හෝ ඔබ වැන්නෙක් හඳුනාගැනීමට හැකිවීම ගැන සතුටුයි.

    උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නෙ දිගටම බ්ලොග් ලියනවා නම් පියාඔන පීරිසි ටිකක් වැඩිපුර ගෙදර ගෙනල්ලා තියාගන්න කියලා තමා.

    උප්පත්ති කතාව නං අපි දෙන්නගේ ටිකක් සමානයි වගේ.... වෙලාවක් ලැබුනොත් කියවලා බලන්න.

    http://cyberyaya.blogspot.com/2010/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. කියෙව්වා කියෙව්වා...
      පීරිසි ඉවර වුනාම පිඟන් පාවෙන්න ගන්නව නෙ....
      මව් යානයට සැළ කරන්න තමයි වෙන්නෙ...
      බලාගෙන ගියාම ලොකු සමාන කමක් තියෙනවා උප්පත්ති කතාවෙ...
      මගේ බලාපොරොත්තුවක් තියෙනවා බුද්ධිගෙ රූප කළාව සම්බන්ධ කරගෙන පොඩි ව්‍යාපෘතියක් කරන්න... ලංකාවට ආපු කාලෙක හමුවෙමුකො...

      Delete
    2. ස්තුතියි. තමුන්නැහේව දැනගත්තතු එක්කෙනෙක් මට කතා කලා දවසක්. එදා මම කල්පනා කලේ මට තමුන්නැහේව හමුවුනොත් ඇත්තටම අපිට කතා කරන්න ගැලපෙන දෙයක් තියේ ද කියලා. මම මේ නිකං කෙහෙල්කොටුවක් කරගෙන ඉන්න මනුස්සයා වෙච්චි. තමුන්නැහේ එහෙමද? :D

      Delete
    3. ඔන්න ඔන්න.... වැරදි පාරෙ යනවා
      අපිට කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා... හමුබ වෙලා බලමුකො දවසක....
      මම මේ හොඳට පොළවෙ පය ගහලා ඉන්න මිනිහෙක්... මොනවද කතා කරන්න ඕන... අපි කතා කරමු....

      Delete
  3. සයිබර් අවකාශය හරහා හෝ ඔබ වැන්නෙක් හඳුනාගැනීමට හැකිවීම ගැන සතුටුයි.

    උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නෙ දිගටම බ්ලොග් ලියනවා නම් පියාඔන පීරිසි ටිකක් වැඩිපුර ගෙදර ගෙනල්ලා තියාගන්න කියලා තමා.

    උප්පත්ති කතාව නං අපි දෙන්නගේ ටිකක් සමානයි වගේ.... වෙලාවක් ලැබුනොත් කියවලා බලන්න.

    http://cyberyaya.blogspot.com/2010/10/blog-post.html

    ReplyDelete