Saturday, November 3, 2012

පිටස්තරයා................ තෙවැනි දිගහැරුම.....................

පිටස්තරයා.......... ඇරඹුම

පිටස්තරයා.......... දෙවැනි දිගහැරුම

දැන් තුන් දෙනාම හොඳින් විවේක ගන්න.. අපි විනාඩි 15 කින් ඔබව අමතන්නම්....
එක් එක් කාමරයේ වූ කුඩා ස්පීකරයෙන් අපේක්‍ෂකයින් තිදෙනාටම විධානයක් ලැබුණා. ඒ කාගෙ කඩහඬද, කොහේ සිට විධානය දෙනවාදැයි යන්න කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. නමුත් තමන්ගේ සියළුම චර්යාවන් පිළිබඳ කිසිවෙකු හෝ ඉතාම පරීක්‍ෂාවෙන් සිටින බව තිදෙනාටම අවබෝධ වී තිබුණා. ඒ නිසා තමන්ට කිසිම අවාසියක් වන අන්දමේ කටයුත්තක නොයෙදීමට මේ තිදෙනාම දැනගෙන සිටියා.. පසෙකින් නොකැඩූ වතුර බෝතලයක් සහ කුකීස් නම් බිස්කට් පිඟානක් තිබුණා. New Research Frontiers නම් නවතම පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳ වගතුග දැක්වෙන සඟරාවද ඔවුන්ගේ පරිහරණයට මේසය මත තබා තිබුණා. මේ සියල්ල සම්මුඛ පරීක්‍ෂණයට අදාල අංග වුනා.. තම අපේක්‍ෂකයින් කාළය කා දමනවාද, නැතිනම් ඒ සුළු වෙලාවත් කිසියම් ප්‍රයෝජනවත්  වැඩක යෙදෙනවාද යන්න නිගමනය කිරීමට මේ සියල්ල තබා තිබුණා.
ඉතා ඉහළ බුද්ධියක් ඇති තිදෙනාම සිය අනාගත රැකියාව උගසට තැබීමට සූදානම් වුනේ නැහැ. තමන් පැමිණි කාරණයත්, ඒ සඳහා මුහුණ දිය යුත්තේ කෙසේදැයි යන්නත් මනාව දැනගෙන සිටි තිදෙනාම  බිස්කට් එකක් බැගින් රැගෙන ජලය බෝතලය පානය කරන අතරේ පසෙක වූ සඟරාවේ පිටු පෙරළුවා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බීප් බීප්......... බීප් බීප්......... ...බීප් බීප්.........
හලෝ..... ජනරාල් වෙලිංටන්ගෙ කාර්යාලය... මම මෙගන් වොලික්..... කෙසේද මම ඔබට උදවු කරන්නෙ ?
හලෝ... මම අද්මිරාල් බවර්.... නාවික හමුදා පර්යේෂණ ආයතනයෙන්... මට ඔබේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් ද ?
පුළුවන් අද්මිරාල් තුමනි... ඉන්න මම සම්බන්ධ කරන්නම්...
ජනරාල් චාර්ල්ස් වෙලිංටන් ලිය වසරේ විශ්‍රාම යන තුරුම පසුගිය වසර අටක් පුරාම සේවය කළේ යුධහමුදා බුද්ධි බලකායේ ප්‍රධානියා හැටියටය. විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ බුද්ධි බලකාය භාරව සිටි ඔහු එහි සිටි එෆ් බී අයි, සී අයි ඒ මෙන්ම වෙනත් රහසිගත අංශ ගණනාවක්ම අධීක්‍ෂණය කළ ඉතා දක්‍ෂ එහෙත් දරුණු පුද්ගලයෙකි. දැඩි මතධාරියෙකු වූ හෙතෙම රටේ ආරක්‍ෂාව පළමුකොට සැලකූ නිලධාරියෙකි. කිසිදු අතපසුවීමකට ඉඩ නොතබන ඔහු අකාර්යක්‍ෂමතාවය ඉදිරියේ නයෙකු මෙන් කිපෙන පුද්ගලයෙකි. තවමත් අවිවාහක ඔහුගේ ජීවිතය වූයේ ජාතික ආරක්‍ෂක ඒජන්සියයි. උදෑසන හය වන විට කාර්යාලයට පැමිණෙන ඔහු පිටව යන්නේ රාත්‍රී හතද පසු වූවාට පසුවයි. රාජකාරි කටයුත්තක් හැරුණුකොට සිය ජීවිතයම කාර්යාලයේ ගෙවන ඔහුට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ ඔහුට ඇති සූක්‍ෂම බුද්ධියත්, අනතුරක් කල් තබා දැන හැඳින ගැනීමේ "ඉව" ත් ඇති නිසාය... රටේ වූ සියළුම අන්තර්ජාල වැඩසටහන්, ඊ මේල්, ඇතුළු බොහෝ පරිඝණක දත්ත හුවමාරුවීම් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැවැන්ත පෙරණය හරහා යන නිසාම ඔහුට ඒ ඉව ලැබී ඇත. බුද්ධි අංශ නිලධාරීන් අතර Blood Hound යන නාමයෙන් හැඳින්වෙන ඔහු අමෙරිකානු ආරක්‍ෂක කවුන්සිලයේ ඉතා වැදගත් පුද්ගලයෙකි.
ජාතික ආරක්‍ෂක ඒජන්සි මූලස්ථානය 
හලෝ ජනරාල්........
කොහොමද මිත්‍රයා...... මොකක්ද මගෙන් අද කෙරෙන්න ඕන..... ජනරාල් වරයා ඍජුවම ඇසීය....
මට යමක් දැනගන්න අවශ්‍යයි.... ඒ කිසියම් පුද්ගලයෙක් ගැන.....
ඔබ දන්නවා මම CIA එකවත් FBI එකවත් නොවන වග, තරහ වෙන්න එපා... ඒවගේ දේවල්වලට තමයි ඒ අය ඉන්නෙ..... ජනරාල්ගේ ස්වරය දැඩි විය.....
නැහැ නැහැ... මම ඔබේ කාළය කා දමනවා නොවෙයි... එෆ් බී අයි එක ලබා දුන් දත්ත පිළිබඳ මට සෑහීමකට පත් වන්නට බැරි නිසායි මම ඔබව ඇමතුවෙ....
කවුද ? ත්‍රස්තවාදී නායකයෙක්ද ? ඔබ දන්නවානේ......... ඒ ගැන නම් මට කිසිදු විස්තරයක් දෙන්න බැහැ...
නැහැ චාලි... මට දැනගන්න අවශ්‍ය මගේ පර්යේෂණායතනයට ආපු අපේක්‍ෂකයෙක් ගැන....
මොනවා... FBI එකට තනි මිනිහෙක් ගැන විස්තර හොයා ගන්න බැරිද ? ඕකෙ ඉන්නෙ මැට්ටොද ?
චාලි... මේ මිනිස්සු උපරිම ශක්තිය යොදලයි ඉන්නෙ... දැන් මට කරන්න තියෙන එකම දේ ඔහුගෙ ගෙදරට කවුරුහරි යවන්න විතරයි... නමුත් තවමත් ඔහු අපේක්‍ෂකයෙක් විතරයි... ඒ නිසා මම කැමති නැහැ ආණ්ඩුවෙ සම්පත් ඒ වගේ දෙයකට යොදවන්න... ඒත් මේ පුද්ගලයාගේ බොහෝ දේවල් හරිම අසාමාන්‍යයි..... ඒ නිසාමයි මම හොයන්න තීරණය කළේ... මේ පරීක්‍ෂණයෙන් ඔහු නොතේරුණත් අපට මෙයාව වෙනත් මොනවාහරි දේකට ප්‍රයෝජනවත් වේවි. මට ඒක ඉවෙන් මෙන් දැනෙනවා... ඒ නිසා මට මේ උදවුව කරලා දෙන්න... මට මෙයාගෙ විස්තර සියල්ල ලබා ගන්න ඔබට වඩා වෙනත් කෙනෙක් නැහැ.. මම දන්නවා ඔබේ පරිඝණක වැඩසටහන් මළ මිනිස්සු උපද්දවලා තිබෙන බව.... මට මේ උදවුව කරලා දෙන්න... සමහරවිට ඔබටත් එය වැදගත් වේවි...
හොඳයි කියමු බලන්න....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයේ පරිඝණක ඉංජිනේරු ඇලෙක්ස් රොබින්සන් අපේක්‍ෂකයින් තිදෙනාගේම වීඩියෝ පට පරිඝණක තුනකට කවා අවසන් විය... මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල ලැබෙනු ඇත... සම්මුඛ පරීක්‍ෂණ වලදී ඒ ඒ අපේක්‍ෂකයාගේ ගති ස්වභාවය සහ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටින පුද්ගලයින්ගේ මානසිකත්‍වය අනුව එකම දක්‍ෂකම් ඇති විවිධ අපේක්‍ෂකයින්ට ලැබෙන ලකුණු ප්‍රමාණ වෙනස් බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මේ නිසා සම්මුඛ පරීක්‍ෂණ වල සිදු විය හැකි මානව අසමතුලිතතාවයන් මඟහැරවීම සඳහා රජයේ අතිශය වැදගත් ආයතනවලට බඳවා ගැනීමේදී දක්‍ෂයා නිර්ණය කිරීම පරිඝණක වැඩසටහනකට පවරා ඇත. මෙහිදී අපේක්‍ෂකයාගේ පෞරුෂය, වාග් මාලාව, ඉදිරිපත් කිරීමේ විලාශය, ආත්ම විශ්වාසය, වැරදි, තීරණ ගැනීමේ හැකියාව, මුහුණේ ඉරියව් යන ප්‍රධාන ලක්‍ෂණ නිර්ණය කිරීම අතිශය සංකීර්ණ පරිඝණක වැඩසටහනක් මගින් තීරණය කෙරේ.
ඒ අතර අද්මිරාල් රිචර්ඩ් බවර්, නැන්සි පෙපර්,  ඩෙනිස් ලිපර්ඩ්, සහ  නීල් ෆියු යන සිවු දෙනා තම අපේක්‍ෂකයින් තිදෙනා පිළිබඳ සිය හැඟීම් විවෘතව කතා කිරීමේ අවස්ථාව කරා එළඹ ඇත.
මම නම් කියන්නේ ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලී බව හොඳයි... පර්යේෂණායතනයක් වුනාම කණ්ඩායම් හැඟීම තිබිය යුතුයි... කණ්ඩායමක් ලෙස ක්‍රියා කරලයි තීරණ ගන්නත් ප්‍රතිඵල ගන්නත් ඕන... මැතිව් තරමක් පොතට බර ගීක් කෙනෙක්... බලන්න ප්‍රියමනාප වුනාට මට පේන්නෙ එහෙමයි.  අනිත් එක්කෙනා.. විශ්ව... මට එයාගෙ මුහුණෙ කිසිම හැඟීමක් පේන්නෙ නැහැ... අයදුම් පත්‍රයේ මොන සුදුසුකම තිබුණත් ඒ මුහුණ නම් තනිකර හැඟීම් විරහිතයි... මට එයාව කියවන්න බැහැ..  සැමවිටම අන් අයට පෙර කතා කරන  නැන්සි පෙපර් ගේ විග්‍රහය වුනේ එලෙසයි...
නීල්.... මොකද කියන්නෙ....
විෂය කරුණු පැත්තෙන් නම් විශ්ව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා... ඔහුගෙ ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳ තර්කය මට තවමත් පැහැදිලි නැහැ... ඒක ඒ තරම් සංකීර්ණයි.. ඒ නිසා ඔහු මේ පර්යේෂණායතනයට සුදුසුම කෙනා.. නමුත් නැන්සි කිවුවා වගේ මුහුණෙ  කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් කොහොමද අපේ කණ්ඩායමට බඳව ගන්නෙ ? ඇන්ඩ්‍රියා මිත්‍රශීලී තමයි.. නමුත් ඒ මිත්‍රශීලී භාවයම ඇයට හරහට හිටින්න පුළුවන්... මේක අතිශය රහස්‍ය පර්යේෂණයක්.. මේ රහස් ගන්න රුසියාවත් චීනයත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.. තවත් කවුරු මේ ගැන බලාගෙන ඉන්නවද දන්නෙ දෙයියො තමයි. සමාවෙන්න නැන්සි... මම ඔබ ගැන දන්නවා... නමුත් කාන්තාවන් කියන්නේ රහස් සංවිධාන වල ඉතා දුර්වල අංශයක්...
එහෙම කියන්නෙ කොහොමද නීල්...එයා  දැනටමත් NSA එකේ ඒජන්ත වරියක්... ඔබ හිතනවාද ජෙනරාල් වෙලිංටන් ආවට ගියාට මිනිස්සු ගන්නවා කියලා එයා ලඟට ?
ඇත්ත... නමුත් එතැන සිදු වන දේවලුයි මෙතැන සිදුවන දේයි තනිකරම වෙනස්... ඇන්ඩ්‍රියාට NSA එකේ ලොකු රහසක් නැහැ රකින්න... නමුත් මෙතැන එහෙම නෙවෙයි.... අපි බලමු කෝකටත්... අපිට වඩා ගොඩක් නිවැරදිව තීරණ ගන්න කෙනෙක් ඔවුන් පරීක්‍ෂා කරනවා නෙ.
මැතිව්... මම හිතන්නෙ මැතිව් මෙතැනට අදාල වෙන්නෙ ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව ගුරුත්වාකර්ෂණයට ඈඳා කළ පරීක්‍ෂණය නිසා... නමුත් ඔහුගේ සමහර තර්ක මට පිළිගැනීමට අපහසුයි... එහෙම වුනා කියලා ඔහු අසමත් වෙන්නෙ නැහැ... ඔහුට බොහොම නිදහස් සිතුවිලි තිබෙනවා. මට හිතෙන විදියට ඔහු අපට හොඳ සම්පතක් වේවි...
අවසන කතා කළේ ආචාර්ය ලිපර්ඩ්: මම හිතන්නෙත් විශ්ව අපට හොඳ පර්යේෂකයෙක් වේවි... ඔහුගේ හැඟීම් රහිත මුහුණ නොවෙයි අපට වැදගත් වෙන්නෙ... අපට වැදගත් වෙන්නෙ මෙතැන පර්යේෂණ වලට සුදුසුම පුද්ගලයා කවුද කියන එක... දැනුම අතින් පරිපූර්ණ කවුද - ඔහුගේ හෝ ඇයගේ දැනුම මෙතැනට ලබා ගන්නෙ කොහොමද කියන එක... කොහොමත් අපට විද්‍යාඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ සේල්ස් රෙප් කෙනෙකුගෙ මිත්‍රශීලීභාවය.... නමුත් අපට හසුරවාගන්න පුළුවන්  කෙනෙක් නම්, අපට කරදරයක් නැති කෙනෙක් නම් මට  ප්‍රශ්නයක් නැහැ...
ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලීභාවය වගේම ඇයගේ සුදුසුකම් මට මෙතැනදි ප්‍රශ්නයක්... ඇය සුදුසු NSA එකට... ජනරාල් වෙලිංටන්ගෙ පෞද්ගලික යොමු කිරීමක් වුනත් අපට සුදුසුම කෙනා තමයි අපට තෝරගන්න වෙන්නෙ.
මැතිව්ගෙ දැනුම මට ප්‍රශ්නයක් නැහැ... ඔහුගෙ ක්වොන්ටම් විද්‍යාත්මක දැනීම, ඔහු ඒවා විෂයානුබද්ධ කළ ආකාරය හරිම අපූරුයි... මම තෝරා ගන්නවනම් තෝර ගන්නෙ විශ්ව හරි මැතිව් හරි... අපි තවම කිසිම කෙනෙක් මුහුණට මුහුණ ලා කතා කළේ නැහැනෙ... අපි බලමු අපේ හරස් ප්‍රශ්න වලට ඔවුන් කොහොම උත්තර දෙයිද කියලා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සෙස්ස පස්සට

2 comments:


  1. //රටේ වූ සියළුම අන්තර්ජාල වැඩසටහන්, ඊ මේල්, ඇතුළු බොහෝ පරිඝණක දත්ත හුවමාරුවීම් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැවැන්ත පෙරණය හරහා යන නිසාම...//
    මේක ප්‍රබන්ධයක් බව මට අමතක වුනා නෙවෙයි. නමුත් මේ කතාවෙ ඇත්තක් තියෙන්නත් බැරි කමක් නෑ නේද?

    //නමුත් කාන්තාවන් කියන්නේ රහස් සංවිධාන වල ඉතා දුර්වල අංශයක්...// D
    මේ ඉතින් ඇල් ගුටි ගන්න හදන්නෙ. ඔන්න අපි නම් නෑ (කතාව ඇත්ත වුනාට)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  2. මුල කතාව ඇත්ත... එන් එස් ඒ එකේ ෆිල්ටර් එකට සුවිශේෂ කී වර්ඩ්ස් කවලා තියෙන්නෙ... ඒකෙන් රටේ වෙන බොහොමයක් දේවල් අහු වෙනවා.
    මීට කාළෙකට පෙර එන් එස් ඒ එකේ කීවර්ඩ් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරලා තිබුණා... ඒක බොහොම සරළ ලැයිස්තුවක්... බර බර වචන ටික එයාලා තියාගෙන ප්‍රකාශ කරන්න පුළුවන් ටික විතරක් එළියට දාලා තිබුණා.
    අපි ඊ මේල් යවද්දි මේ වචන ඇතුලත් ඊ මේල් තියෙනවා නම් ඒක ටක් ගාලා මේ සර්වර් වලින් පික් කරනවා. ඊට පස්සෙ අර පුද්ගලයයි ලබන්නායි දෙන්නම ෆ්ලෑග් කරලා තියනවා... එහෙම තමයි අර තට්ටවාදියො අල්ලන්නෙ....
    කෝඩ් දාලත් පිරිමහන්න බැරිලු... මහතැන ඉන්න භාෂා විශාරදයොයි කෝඩ් බිඳින අයයි ඒවටත් වැඩේ දෙනවලු...
    සිංහලෙන් ලිවුවෙ ඔය ඉංග්‍රීසි අකුරු ටික එක තැනක තිබුණාම වුනත් ඇති නිසා........

    කතාව ඇත්ත... කාන්තාවන් කියන්නෙ රහස් සංවිධාන වල දුර්වල අංශයක්.. නමුත් හරිහමන් කෙනෙක් නං ඉතිං සුපිරිම තමයි.... ඒ වගේමයි රහස් ගන්න කාන්තාවො තරම් දක්‍ෂ වෙනත් කාණ්ඩයක් ඇත්තෙත් නෑ.... (ඒක මම අත්දැකීමෙන් දන්නෙ - කොච්චර හිත හයිය වුනත් ඉතිං ගෑණු මායම් වලට අහු වෙනවා)

    ReplyDelete