Thursday, November 1, 2012

පිටස්තරයා...... අහඹු සිදුවීම් මාලාවක පළමු දිගහැරුම..........

පූර්විකාව.
මෙය මාගේ කතාවකැයි මම නොකියමි. මෙය ඔහුගේ කතාව දැයි ද මම නොකියමි. මේ කතාවක් ද නොවේ... මේ සිදුවීම් පෙළක් පමණි. මා සිදු කරන්නේ ඒ සියළු සිදුවීම් එක්තරා පිළිවෙලකට පෙළගැස්වීම පමණි. මෙය උදක්ම ඇයගේ උවමනාවට සිදු කරන්නකි. මෙය සත්‍ය සිදුවීම් වැලක් ද විය හැක...නමුත්, සියයට සියයක්ම සත්‍ය නොවීමට ද පුළුවන. අතිශයෝක්තීන්ගෙන් බැහැර වූ මේ සිදුවීම් පෙළෙහි අවසානය කුමක් වේදැයි තවමත් මා නොදන්නේ මේ සියල්ල තවමත් ඈ මට පවසමින් සිටින නිසාවෙනි. සමහරවිට දිගු කළෙකින් ඈ හමු නොවුවහොත් මේ සිදුවීම් ඔබ වෙත ගෙන ඒමට ප්‍රමාදයක් විය හැකිය. මෙහි වූ සියළු චරිත සත්‍ය විය හැකි අතර ස්ථාන සහ අවස්ථා සම්බන්ධයන් බොහෝ අවස්ථාවල සත්‍ය බව පැහැදිලිවම මට පැවසිය හැකිය. ඔබට උපදේශ කිහිපයක් ලබා දීමට ඇත. කිසි විටෙක එකවරම කිසිදු සිදුවීමක්, චරිතයක් කෙරෙහි අවසාන නිගමනයකට නොපැමිණෙන්න..... පැහැදිලිවම මෙය විද්‍යාවේ සියළු අංශ සම්බන්ධ කෙරෙන සිදුවීම් මාලාවකි. එය ඔබට ඇත්තෙන්ම නීරස විය හැකිය... නමුත් ඔබට දැනගැන්මට සියල්ල පෙළගැස්විය යුතුය...... මෙහි වෙසෙන චරිත සියල්ල එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත වේ. සිදුවීම් මාලාව වඩාත් පැහැදිළි කරනු වස්, ස්ථාන, චරිත, සහ අවස්ථාවන්ගේ මූලික හඳුන්වාදීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.

ස්ථානය :

අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනය (US Naval Research Laboratory) අංක 4555,  ඕවර්ලුක් මාවත, ගිණිකොණදිග වොෂිංටන් , ඩී සී 20375. විශේෂයෙන් අමෙරිකානු නාවික හමුදාවේ ක්‍රියාන්විතයන් සහ වෙනත් අමෙරිකානු හමුදා අංශවල අභිවෘද්ධිය කෙරෙහි බලපාන පර්යේෂණ සිදු කෙරෙන දැඩි ආරක්‍ෂක විධිවිධාන යටතේ පවත්වාගෙන යන පර්යේෂණ මධ්‍යස්ථානයකි. පර්යේෂණායතනයට අළුතින්ම එක්වූ අංගය වන්නේ   අවම ගුරුත්වාකර්ෂණ මේසයයි. මෙය කැලිෆෝනියාවේ ක්ලෝවිස් හි රේමන්ඩ් ග්‍රැනයිට් පතලෙන් ලබා ගන්නා ලද වර්ග අඩි 450 ක වපසරියක් ඇති අඩි එකහමාරක ඝණකමක් ඇති තලය මතුපිට පුරාවරම අඟල් 0.0018ක වෙනසක් ඇති, ටොන් 37.5ක් බර ලෝකයේ විශාලතම තනි ග්‍රැනයිට් තලය වේ. මෙය අභ්‍යවකාශයේදී අභ්‍යවකාශ යානා හැසිරෙන ආකාරය අනුරූපණය කිරීම පිණිස ඝර්ෂණය අවම වන සේ සකස් කළ සුවිශේෂී මේසයකි. මෙයින් ලැබෙන අගයයන් නිරවද්‍යතාවය අනුව සියයට අනූ නවයකුත් දශම ස්ථාන අටකට ගණනය කළ හැකි බව සනාථ කරගෙන ඇත. මෙහි සේවය කිරීම සඳහා බොහෝ විට බඳවාගනු ලබන්නේ ඇමරිකානු පුරවැසියන් වන අතර ඔවුන් දැඩි පරීක්‍ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව ඇමරිකානු පොලීසියේ අපරාධ පරීක්‍ෂණ ඒකකය වන එෆ් බී අයි ඒජන්සිය විසින් සිදු කරන විපරමකින් අනතුරුව සහ බඳවාගැනීමට පෙර සිදු කෙරෙන සුවිශේෂී වෛද්‍ය පරීක්‍ෂණවලින් ද සමත්වන අයට පමණක් මේ පර්යේෂණ අංශයේ සේවය කිරීමේ අවකාශ ලැබේ. බොහෝ විට අමෙරිකානු පුරවැසියන් නොවන පුද්ගලයින්ට මේ ආයතනය ඇතුලට අඩියක් වත් තැබීමට නොහැකි වන අතර එසේ යාමට නම් සුවිශේෂී අවසරයක් ලබා ගත යුතුය.
නාවික පර්යේෂණායතනයේ ඇති අවම ගුරුත්ව මේසය
සිය චරිතයේ කළු පැල්ලමක් ඇති කිසිවෙකු මේ ආයතනයේ ස්ථිර සේවය සඳහා නුසුදුසු වේ. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වූ පසු බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධතාවයක් තබාගත නොහැකි වන සේ ජංගම දුරකථන සංඥා සියල්ල අවහිර කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර, සේවකයින් සියළුම දෙනාගේ  සම්බන්ධතා නිතිපතා විමර්ෂණය කෙරේ. ගේට්ටුවේ සිට පර්යේෂණායතනයට ඇති ගමනේදී පස් වතාවක් සිය අනන්‍යතාවය ප්‍රකාශ කළ යුතුය. අවසාන කඩඉම කටහඬ පරීණක්‍ෂයයි. එය එතරම්ම ආරක්‍ෂිත ස්ථානයක් වන්නේ ඇයිදැයි කිසිවෙකු නොදනී.  ආයතනයට බඳවා ගැනීමේදීම රහස්‍ය භාවය සුරකින ලිපියකට අත්සන් ගැනීම සිදු වන අතර එම ගිවිසුම කඩ කෙරෙන සියළුම දෙනා ක්‍ෂණයකින් සේවයෙන් පහකොට ආරක්‍ෂක අංශ වෙත භාර කෙරෙනු ලැබේ. මේ අංශයේ පර්යේෂණ සඳහා  අවකාශ ලැබෙන්නේ බුද්ධි ඵලය (IQ) අගයය 150 ට වඩා වැඩි  බුද්ධි මට්ටමක් ඇති ඉංජිනේරුවරුන් පමණි.

චරිත :

මැතිව් ජෝසප් සොලමන්: මැසෙචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ ඉලෙක්ට්‍රොණික ඉංජිනේරු ආචාර්ය උපාධියක් හිමි බුද්ධි ඵලය 162 ක් හිමි තරුණයෙකි. ද්‍රව අවකාශයේ අණුක හැසිරීම පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරූ හෙතෙම විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරීන් අතරින් ජනප්‍රියතම ආචාර්ය උපාධිධාරියා වූවේ ආචාර්ය උපාධියෙන් අනතුරුව ද්‍රව අවකාශයේ අණුක හැසිරීම සහ ඒවායේ චුම්භකත්‍ව ගුණ  අනුමාන කිරීමේ හැකියාව සහිත  පරිඝණක වැඩසටහනක් ලියා ඇපල් ආයතනයට විකිණීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක්  ලබා ගැනීමත්,  ඒ මුදල සිය පෞද්ගලික පරිහරණයට නොගෙන මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දුප්පත් දරුවනට ශිෂ්‍යත්‍ව සැපයීමේ අරමුදලක් ඇරඹීමත් සමඟිනි. ඕනෑම අංකමය ගණනක් මනෝමයෙන් විසඳීමේ හැකියාව ඇති ඔහු කලාව, දේශපාලනය, ආගම වැනි එකිනෙකට වෙනස් ක්‍ෂෙත්‍රවල හසළ දැනුමක් ඇති පුද්ගලයෙකි. අමෙරිකානු ජනාධිපති මන්දිරයේ විශ්ලේෂකයෙකු ලෙස ලැබුණ තනතුරත්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආධුනික මහාචාර්යවරයෙකු ලෙස ලැබූ තනතුරත් අතේ දරාගෙන හෙතෙම නාවික පර්යේෂක ආයතනය වැනි ස්ථානයක සේවය කිරීම සඳහා සටන් වැද සිටී.
ඇන්ඩ්‍රියා ජීන් සමර්ස් : කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය නිමකළ ඇය එම විශ්ව විද්‍යාලයේම පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂිකාවක් ලෙස සේවයට බැඳුනාය. ස්වයංක්‍රීය රොබෝවරුන් තැනීම පිළිබඳ පර්යේෂණ කළ ඇය රොබෝවරුන්ට අපරාධකරුවන්ගේ  සුවිශේෂී අංග ලක්‍ෂණ අනුව හඳුනාගැනීමේ හැකියාව ලබාදීමේ පරිඝණක වැඩසටහන් සැකසීමටත්, ඒවා යාන්ත්‍රීකරණය කිරීමටත් සමත් වූ තැනැත්තියකි. බුද්ධි ඵලය 159කි. රහස් සංකේත සහ රහස් පණිවුඩ විසඳීමට ඇති සුවිශේෂී හැකියාව නිසාම ලත් අමෙරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සියේ (NSA) ගුප්ත සංඥා ඒකකයේ රැකියාවත්, එහි සේවයෙන් වසරකට පසු එහි ප්‍රධානියා විසින්ම පෞද්ගලිකව යොමු කරන ලද අපේක්‍ෂිකාවක් නිසාත්, කාන්තා පර්යේෂිකාවන්ගේ විරලත්‍වය නිසාත් ඇයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.
විශ්ව සමාධි සූර්ය බණ්ඩාර: අමෙරිකාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන පරපුරේ තරුණයෙකි. නිහඬ චරිතයකි. බුද්ධි ඵලය 166 කි. කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රති-ගුරුත්වාකර්ෂණය පිළිබඳ අංශයෙන් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත. සියළුම විභාග වලින් සියයට සියයක් ලකුණු ලබාගැනීමත්, විශ්ව විද්‍යාලයේ බුද්ධිමත්ම ශිෂ්‍යයා ලෙස තේරී පත්වීමත් නිසා ප්‍රසිද්ධ වී ඇත. වයස අවුරුදු 16 න් පසු ඔහු මුහුණ දුන් සියළුම විභාගවල ලකුණු 100% ක් ලබා ගැනීම නිසා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ නවක මහාචාර්යවරයෙක් ලෙස පත්වීමක් ලැබ ඇත. සිය ආචාර්ය උපාධි අපේක්‍ෂක කාළය තුළ පර්යේෂණ පත්‍රිකා 24ක් පළ කරමින් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නව වාර්තාවක් තබා ඇත. ශ්‍රී ලාංකිකයෙකුගෙන් දැකිය නොහැකි අසාමාන්‍ය උසක්, පැහැපත් බවක් දක්නට ඇත.

දිගහැරුම:

අපේක්‍ෂකයින් තිදෙනා වෙන වෙනම දේශන ශාලා තුනක එකම අවස්ථාවේ සිය පර්යේෂණ ඉදිරිපත් කරමින් සිටිති. නමුත් කිසිදු පුද්ගලයෙකු ඔවුන් ඉදිරිපිට නොමැත. වෙනත් කාමරයක සිට තිදෙනාගේම සජීවී දර්ශන එකවිට  නරඹන පුද්ගලයින් සිවු දෙනෙකි.  නාවික පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂක අද්මිරාල් රිචර්ඩ් බවර්, සී අයි ඒ ආයතනයේ පුද්ගල චර්යා අංශයේ ප්‍රධානි නැන්සි පෙපර්, නාවික පර්යේෂණායතනයේ ප්‍රධාන පර්යේෂක ඩෙනිස් ලිපර්ඩ්, සහ ප්‍රතිගුරුත්වාකර්ෂණ පර්යේෂණ අංශයේ ප්‍රධානි නීල් ෆියු ඒ සිවු දෙනාය.
කිසිවෙකු කලබලයෙන් වසා ඇති දොරට තට්ටු කරයි.
කවුද මේ වෙලාවෙ ?
අද්මිරාල් තුමනි.. මම... ෆිලිප් කවුෆර්...... ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයෙන්....
එන්න..... ඇතුලට ෆිලිප්.... කවුද  අසමත් ?
කවුරුවත් අසමත් නැහැ... නමුත් එක පුද්ගලයෙක්ගේ රුධිරය හරිම අසාමාන්‍යයි... රුධිර සාම්පල් ගත්තෙ මමමයි.. ඒ නිසා මට වරදින්න විදියක් ඇත්තෙම නැහැ. සියළුම පරීක්‍ෂණ තුන් වතාවක් සිදු කළා... ඒ සියළුම ප්‍රතිඵල සියයට අනූ නවයක් එකිනෙකට ගැලපෙනවා... නමුත් මේ සාම්පලයේ නම් කුමක් හෝ වැරැද්දක් තිබෙනවා.. එක්කෝ මේ පුද්ගලයා රුධිර පාරවිලයනයක් කරලා වෙනම රුධිරය ලබාගෙන, නැතිනම් විශාල අසාමාන්‍යතාවයක්... මගේ ජීවිතයේ මේ වගේ රුධිර සාම්පලයක් විශ්ලේෂණය කළ පළමු වතාව.
කලබල වෙන්න එපා ෆිලිප්... අසාමාන්‍යතාවය මොකක්ද කියලා කියන්න.......
මේ සාම්පලයෙ කිසිම දෙයක් අසාමාන්‍ය නැහැ. සීනි මට්ටම, කොලෙස්ටරෝල්, ප්‍රතිදේහ, රුධිර පට්ඨිකා ආදී සියල්ල කිසිම වරදක් නැතිව තිබෙනවා.
ඉතින් එහෙනම් ඒක හොඳයි නෙ.....
නමුත්..... මේ රුධිර සාම්පලය අළුත උපන් ළදරුවෙක්ගෙ වගේ පිරිසිදුයි....
ඉතින් ඒ කාගෙ රුධිර සාම්පලයද ?
ඒක මෙන්න මෙයාගෙ සාම්පලය.
මොකක් ?
මෙයාගෙ.. ඒක වෙන්නෙ කොහොමද ?
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පසු සටහන:
මෙය ඇල්කෙමියාගේ රසායනාගාරයෙහි පළ වුවත්, සීමිත පාඨක සංඛ්‍යාවක් අතරට ගොස් තිබූ බැවින් ඇල්කෙමියාගේ දිනපොතෙහි නැවතත් පළ කරමි. මෙය දිගහැරුම් කිහිපයකින් සමන්විත සිදුවීම් සමුදායකි... ඉඩ ලැබෙන පිළිවෙලට ඉතිරිය ඔබ අතට ලැබෙනු ඇත... කෙතරම් ලිපි ලිවුවත් මෙවන් අත්හදා බැලීමක් කෙරෙන්නේ ප්‍රථම වරටය. ඒ නිසාම ඔබේ විවේචන  උදක්ම බලාපොරොත්තු වෙමි.. සමහර විට මා අසාර්ථක වන්නට පුළුවන... නමුත් දියට නොබැස පීනන්නට බැරිය.....

6 comments:

  1. මං මේ වගේ ඒවට මාර ආසයි...

    දැං ඉතිං දුවලා ගිහින් අනිත් බ්ලොග් එකේ තියෙනවද බලන්න හිතෙනවා... හි හි.. කමක් නෑ.. මේකේ දානකම් ඉන්නම්....

    ReplyDelete
    Replies
    1. සෙස්ස පස්සට.... ඉවසන්න....

      Delete
  2. ශා...නියමයි..මේක කියවාගෙන යද්දී Sidney Sheldon ගේ The Doomsday Conspiracy පොත මතක් උනා...මම හරිම ආසයි මේ වගේ කතා කියවන්න...ඊ ලඟ කොටස එනකම් බලාගෙන ඉන්නවා ඔන්න...

    ReplyDelete
    Replies
    1. හායි ළිහිණි මාත් කියවලාතියෙන පොතක් ඕක. මම හරි ආසා දෙයක් තමයි මම කියවපු පොතක්, බලපු මූවී එකක් ගැන තවත් කෙනෙක් එක්ක කතාකරන්න. ඒක කරන්න පුලුවන් තවත් එහෙම කෙනෙක් එක්ක විතරයි.
      ඇල්, මේක පරිවර්තනයක් නම් වෙන්න බෑ. ස්ව නිර්මාණයක්ද? දෙවෙනි කොටස එනකල් මේ බලාගෙන ඉන්නෙ. මේක නම් නියමයි. තනිකර ‍ෆික්ෂන් එකක්ද?
      Cavorite කියන anti gravity material එක ආලේප කරලා තමයි HG Wellsගෙ The First Men In the Moon පොතේ හඳට ගියෙත්.


      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. ඔව් හෙන්රි මේක ස්වතන්ත්‍ර තනිකර ප්‍රබන්ධයක්.... දෙවනි කොටස ළඟම එනවා...

      Delete
  3. දෙවනි කොටස බලන්න මගබලාගන ඉන්නවා


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

    ReplyDelete