Saturday, December 8, 2012

පිටස්තරයා.................. දහතුන්වන දිගහැරුම........................


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා............. අටවන දිගහැරුමපිටස්තරයා............. නවවන දිගහැරුමපිටස්තරයා............. දසවන දිගහැරුමපිටස්තරයා............. එකොළොස්වන දිගහැරුමපිටස්තරයා............. දොළොස්වන දිගහැරුම


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුභ උදෑසනක් විශ්ව....
සුභ උදෑසනක් මොලී.. කොහොමද ඔබට ?
බොහොම හොඳයි.....  ඔබට ?
මමත් හොඳින්...... අපි දැන් යමුද ?
යමු................
දෙදෙනාම  ආචාර්ය ෆියු හමුවීමට ඔහුගේ කාමරය වෙත පා නැඟූහ....


සාමාන්‍යයෙන්  හමුවන මිතුරු මිතුරියන්ගෙන් “කොහොමද ?" කියා ඇසීම ඇමරිකානු සිරිතකි. එයට පිළිතුරු දීම හෝ නොදීම අදාල පුද්ගලයාගේ සිරිතක් වන අතර බොහෝ විට කෙටි පිළිතුරක් ලබා දේ. මෙය වෙනත් රටවල, විශේෂයෙන් යුරෝපයේ හෝ ආසියාවේ දකින්නට නොලැබෙන සිරිතක් සේ පෙනේ.


මොකද දෙන්නා උදෙන්ම ? සුභ ආරංචියක්ද නැතිනම් එච්චර සුභ ආරංචියක් නෙවෙයිද ?
සුභ ආරංචියක් නීල්.... අපි දෙදෙනාම මේ වැඩේට කැමතියි.... අපි මේ ව්‍යාපෘතිය භාර ගන්නවා.
බොහොම සන්තෝෂයි.... මමත් බලාපොරොත්තු වුනා ඔබ දෙදෙනා මේ ව්‍යාපෘතිය භාර ගනීවි කියලා... මේක බොහොම වැදගත් ව්‍යාපෘතියක්, සමහරවිට  මේ ව්‍යාපෘතිය හරි ගියොත් මේක අමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රබල සංධිස්ථානයක් වේවි. ඉතින් එහෙනම් අපි පටන් ගනිමු....
ආචාර්ය නීල් ෆියු  සිය පරිඝණකයේ වූ වැඩසටහන පසෙක වූ පුළුල් තිර රූපවාහිනි තිරය මත දිස් වන්නට සැලැස්වීය... ඉන් පසු පර්යේෂණය විස්තර කිරීම ඇරඹීය....
විද්‍යාත්මක පර්යේෂණ ආවාට ගියාවට සිදු කරන්නක් නොවේ. පර්යේෂණ වලට පැහැදිලි සැකිල්ලක් ඇති අතර සෑම පර්යේෂණයක්ම පර්යේෂණ සාරධර්ම (Research Ethics) වලට යටත්ව සිදු කෙරේ. බොහෝ බටහිර රටවල පර්යේෂණ සඳහා විශාල මුදල් සම්භාරයක් යට කෙරෙන නිසාම ඒවායේ තත්ත්‍වය මෙන්ම බලාපොරොත්තු වන ප්‍රතිඵල ද උසස් වේ. මේ නිසා සිදු කරන සෑම පරීක්‍ෂණයක්ම මනා සැලසුමකින් යුක්තව බොහෝ කරුණු සළකා බලා සිදු කෙරේ.බොහෝවිට පර්යේෂණ සිදු කරන්නේ වාලුකා යන්ත්‍රයක (Hourglass) ආකෘතියකට වේ. මේ ආකෘතිය ආරම්භ වන්නේ විශාල පර්යේෂණ ක්‍ෂෙත්‍රයක කරුණු සළකා බැලීමෙනි. එසේ ලබා ගන්නා කරුණු කෙමෙන් කෙමෙන් ලඝු කර නියමිත පර්යේෂණය සඳහා කේන්‍ද්‍ර කර ගනු ලැබේ. එයින් ලැබෙන ප්‍රතිපල විදාරණය කර එහි දත්තවලින් ලැබෙන තොරතුරු සාක්‍ච්ඡා කර නිශ්චිත නිගමනයකට එළැඹීම මගින් පර්යේෂණයේ අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගත හැකිය. විද්‍යාත්මක පර්යේෂණවල මූලික අදියර කිහිපයකි.

  • පර්යේෂණය සිදු කිරීමට අවශ්‍ය ප්‍රශ්නය හඳුනා ගැනීම (Problem)
  • මීට පෙර අන් පර්යේෂකයන් විසින් සිදු කළ සමාන පර්යේෂණවල දත්ත, තොරතුරු එක්රැස් කර ගැනීම (Literature Survey
  • පර්යේෂණයේ අභිමතාර්ථයන් පැහැදිලි කර ගැනීම (Objectives)
  • පර්යේෂණයේ සුවිශේෂී ඉලක්කයන් සහ උපකල්පනයන් පැහැදිලිව හඳුනා ගැනීම (Targets and Hypothesis)
  • පරීක්‍ෂණ සිදු කිරීම සහ දත්ත එක් රැස් කිරීම (Experimental)
  • එක් රැස් කරගත් දත්ත විශ්ලේෂණය සහ අර්ථාන්විතව පැහැදිලි කිරීම (Data analysis and interpretation) 
  • සිය දත්ත මගින් පර්යේෂණයේ උපකල්පනයන් සහ අභිමතාර්ථයන් පැහැදිලිව ඔප්පු වෙනවාදැයි දැනගැනීම (Achieving objectives)
  • එම පර්යේෂණයේ ප්‍රතිඵල පිලිගත් පර්යේෂණ සඟරාවකට හෝ ජර්නලයකට යොමු කර ඇගැයුමක් ලබාගැනීම (Submitting the manuscript)
    • අදාල සඟරාවේ කතෘ මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලයක විශ්ලේෂණයට ලිපිය යොමු කිරීම (Review)
    • ඔවුන් මේ ලිපියේ කරුණු පිලිගන්නවාද නැතහොත් ප්‍රතික්‍ෂෙප කරනවාද යන්න දැනගැනීම ( Approval)
    • අදාල යෝජනා සහ විවේචන වලට එකඟ වන පරිදි පර්යේෂණයේ ප්‍රතිපල සහ දත්ත සැකසීම  (Revisions)
    • අදාල පාර්ශව සියල්ල පර්යේෂණ ලිපිය ප්‍රසිද්ධ කිරීමට එකඟ වීම (Acceptance)
  • පර්යේෂණය ප්‍රසිද්ධ කිරීම. (Publishing)

මේ නිසා විද්‍යාත්මක පර්යේෂණයකට වැයවන මිනිස් පැය ගණන සහ මුදල් සම්භාරය නිසා බොහෝ පර්යේෂණ සිදු කෙරෙනුයේ මනා සැලසුමකින් සහ වගකීමකිනි. පර්යේෂණයට සම්බන්ධ වන සියළුම දෙනා මේ වගකීම් පැහැදිලිවම දැනගෙන ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටිති.ආරම්භය කෙසේ වුවත් විස්තරයේ මැද භාගයට යනවිට මේ පර්යේෂණයේ බැරෑරුම් බව තිදෙනාටම හොඳින් අවබෝධ වී තිබුණි. ඩොලර් මිලියන ගණනාවක පිරිවැයක් වෙන්කර ඇති මේ පර්යේෂණයේ වැදගත්කම අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන්නක් බව විශ්වට අවබෝධ විය... තමා මෙතෙක් කල් කළ පර්යේෂණවල අග්‍රඵලය ලබා ගැනීමට මේ ව්‍යාපෘතිය හොඳම මාර්ගය බව කෙමෙන් වැටහෙන්නට විය.....
හොඳයි... දැන් දෙන්නටම අවබෝධ වෙන්න ඇතිනෙ මොනවද කෙරෙන්න ඕන කියලා.... මුලින්ම කියන්න තියෙන්නෙ මේක රහස්‍ය මට්ටමේ තුන්වන තලයේ (Level 3 Classified) ඇති ව්‍යාපෘතියක්. මේ ආයතනයෙ ඒ වගේ ව්‍යාපෘති තියෙන්නෙ තුනයි නැතිනම් හතරයි. මම මේ ව්‍යාපෘතිය ඔබ දෙදෙනාට භාර දෙන්නෙ මේ රහස්‍යභාවය ඒ වගේම තබා ගනීවි කියන විශ්වාසය මත. ඒ විශ්වාසය කඩ කරන්න එපා, ඒ වගේම කඩකළොත් සිදු වන සිදුවීම්වල වගකීම මට භාරගන්නත් බැහැ. ඒක හොඳටම මතක තියාගන්න.
දෙදෙනාම ප්‍රධානියාගේ කාමරයෙන් පිටවූයේ තමා භාරගත් ව්‍යාපෘතියේ ඇති බැරෑරුම් කම හොඳින් වටහාගෙන ය. තමන් මේ කරුණු කෙසේ සිය සගයනට විස්තර කරන්නේදැයි දෙදෙනාම පැහැදිලිව දැන සිටියේ නැති වුවත් වැඩිදුර විස්තර පැවසීමට යාමෙන් තමා අමාරුවේ වැටෙන බව පමණක් දැන සිටියහ.
මොකද උඹලා දෙන්නා පැය තුනක්ම ලොක්කා එක්ක කළේ ?
එළියට එනවිටම පසෙක සිට බිල් කෑ ගැසුවේය..
පැය තුනක්ම අපි ඇතුලෙ හිටියද ? දැනුනෙවත් නෑ.....
හොඳටම සහතිකද ලොක්කා ඇතුලෙ හිටියා කියලා ? උඹලා දෙන්නා විතරක්ද දන්නෙ නෑ හිටියෙ....
හහ්... යාළුවා... ඔන්න පොට වරද්ද ගන්නයි හදන්නෙ... තව ටිකකින් ලොක්කා එළියට එනවා... ඊට ඉස්සර වෙලා මාරු වෙමු....
ඒක නෙවෙයි... අද කොහෙද කන්න යන්නෙ.... මම හිටියෙ ඔක්කොම එකතු වෙනකල්... මට යකෙක් කන්න බඩගිනියි.....
මට නම් කොහෙත් එකයි... ඒ විශ්ව...
ඔව් ඉතිං... මෙයා කන්නෙ කොළ විතරමනෙ.... මෙයාව වොෂිංටන් මෝල් එකෙන් දාගෙන අපි යමු හොඳ රෙස්ටෝරන්ට් එකකට... එනකොට අපි අරන් එමු... එතකොට ඇතිවෙන්න තණකොළ කාලා ඉඳීවි නෙ තණ පිට්ටනියෙන්...
වොෂිංටන් නගර මධ්‍යයේ සැලැස්මවොෂිංටන් නගර මධ්‍යයේ සැලැස්ම
තණකොළවල තියෙන ගුණය දන්නෙ තණකොළ කන අය මෙගන්....  ඒකෙ තියෙන ගුණ දැන ගත්තොත් ඔයා කවදාවත් මස් මාළු කන එකක් නෑ... නමුත්, මම කවුරුවත් නිර්මාංශ කරන්න උත්සාහ කරන්නෙ නෑ...
කමක් නෑ... අපි අද යමු Bangkok One තායි අවන්හලට.... ඒක නිර්මාංශ අයටත් හොඳ එකක්... ඉඳලා හිටලා අපිත් ඒවා කන්න උත්සාහ කරන එක හොඳයි... මොකද කට්ටිය කියන්නෙ ? මොලී යෝජනාවක් කළේ අන් කිසිවෙකුට යමක් කතා කරන්නට ඉඩක් ලබා නොදෙමින්...
හොඳයි හොඳයි... එහෙනම් යමු... මගදි හරකෙක් මරාගෙන එන්න බැරියෑ මට... මයික් එකඟත්‍වය පළ කළා...
සාමාන්‍යයෙන් සිකුරාදාට රසායනාගාරයේ සියළුම දෙනා දිවා ආහාරය ගැනීමට අසළ වූ අවන්හළකට යාමට පුරුදු වී තිබුණා. ඉතා ඉහළ  වේතනයක් ලබන රාජ්‍ය රසායනාගාර විද්‍යාඥයින්ට දිනපතා වුවත් ඉහළ පෙළේ අවන්හල් වලින් ආහාර ගැනීමට තරම් වත්කමක් ඇති පුද්ගලයින් වුනා.. නමුත් ඔවුන් වෙනසක් පිණිස සිකුරාදාට ආපනශාලාවට යනවා විනා සිරිතක් ලෙස දිනපතා ඒවාට නොගියේ, ඒවායේ ඇති අයහපත් ප්‍රතිපල ගැන හොඳින් දන්නා නිසායි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අද මොනවද කන්නෙ ? විශ්ව....
තණකොළ තමයි.... අපරාදෙ මෙගන්ට තිබුණෙ මාව වොෂිංටන් මෝල් එකේ දාලා එන්න.....
මම නං හරකෙක් කනවා... ඌ කන්නෙත් තණකොළ නෙ.... ඒ මයික්...
අපි සූදානම්... මොලී පසෙක සිටගෙන සිටි අවන්හලේ වේටර්වරියට දැන්වූවා...
සුපුරුදු පරිදි එදත් විශ්ව ආහාරයට ගත්තෙ කැප්රෝ ජේ නමින් ඒ ආපනශාලාවෙ හැඳින්වූ එළවලු වලින් සැකසූ ආහාරයක්. එහි  ඇතුළත් වුනේ මඳ ගින්නේ රත් කළ එළවලු වලට දැමූ සුදුළූණු සහ විවිධාකාර කොළ වර්ග.
සැම දෙනාම විවිධාකාර කතා බහ වල යෙදෙමින් ආහාර ගත්තෙ බොහොම සැහැල්ලුවෙන්.... ඒ අතරෙ අවන්හලේ සිටි තරුණයන් දෙදෙනෙකුගෙ අවධානයත් නිතර නිතර ඔවුන් වෙත යොමු වුන බව විශ්ව දුටුවෙ නෙත් කොණින්.... නමුත් ඔහු ඒ දෙදෙනා ගැන අනෙක් අයට කියන්න ගියෙත් නැහැ... එය සමහර විට සාමාන්‍ය සිදුවීමක් වෙන්න පුළුවන්. මහ හඬික් සිනාසෙමින් විවිධාකාර දේ කතා කරමින් රූමත් තරුණියන් තිදෙනෙකු සමඟ ආහාර ගන්නා තරුණයන් හතර දෙනෙකු වෙත අවධානය යොමු නොවන්නෙ කාගෙද ? එසේම වොෂිංටනය යනු බොහෝ ධනවත් මෙන්ම බලවත් පුද්ගලයින් අරක් ගත් රාජධානියක්... මේ තරුණ තරුණියන් හත් දෙනා සමහර විට බලවත් දේශපාලනඥයෙකුගේ කාර්යාලයේ සේවය කරන අය වන්නටත් හැකියාවක් තිබෙනවා. සමහර විට ධනවත් පුද්ගලයෙකුගෙ දරුවකුගෙ මිතුරු මිතුරියන් වන්නටත් ඉඩ තිබෙනවා. මේ නිසාම ඕනෑම කෙනෙකුට ඕනෑම ඇසකින් මෙවැනි පුද්ගලයින් දෙස බැලිය හැකියි. නමුත් ඉහත කී තරුණයින් දෙදෙනා නම් මේ සත් දෙනා කවුද යන්න හොඳින්ම දැන සිටියා පමණක් නොවෙයි ඉන් දෙදෙනෙකු ඉතාමත්ම හොඳින් හඳුනාගෙන සිටියා.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සිකුරාදා සවස :
විශ්ව මොකද කරන්නෙ සති අන්තයෙ ?
විශේෂ දෙයක් නැහැ, නමුත් මගේ ලොකු මාමාගේ මිතුරෙකු හමු වෙන්න යන්න නම් යොදාගෙන තිබෙනවා හෙට... ඊට අමතරව කිසිවක් නැහැ....
අපි හෙට හවසට මයික් ගෙ නවාතැනේ හමු වෙන්නයි ඉන්නෙ... විශ්ව ඉතිං වැඩිය මත්පැන් වලටත් කැමැත්තක් නැති නිසා එන්න කැමති වේද දන්නෙ නැති නිසයි අවසාන මොහොතෙ ඇහුවෙ...
ආ.... ඒකට කමක් නෑ... මට වෙලා තිබුණොත් එන්නම්.... කෝකටත් මම සෙනසුරාදා සවසට ඔයාට කෙටි පණිවුඩයක් (Text message) එවන්නම්කො.
හරි... එහෙනම් හෙට හමුවෙමු....
බොහෝ විට...... බිල් විශ්වගෙන් සමු ගත්තේය....
එදින සවස් වුවද සිය නව ව්‍යාපෘතියට අදාල පර්යේෂණ නිබන්ධන සහ පර්යේෂණ පත්‍රිකා අතර සැරිසරන්නට විශ්ව ඉටා ගත්තේය... කිසිවෙකු නොමැති රසායනාගාරය නිසොල්මන් ය... ශාන්ත දාන්තය... සිකුරාදා සවස නිසා සියළුම යන්ත්‍ර සූත්‍රවලට නිවාඩු ලැබී ඇත. ඒ සියල්ල නැවත පණ ගැන්වෙන්නේ සඳුදා උදෑසනය... සුවිසල් රසායනාගාරය මධ්‍යයේ ඇති ප්‍රති ගුරුත්‍ව මේසය වෙත විශ්වගේ සිත යොමු විය....
සෙමෙන් ඒ දෙසට ඇවිදගෙන ගිය විශ්ව මේසය මත වූ සුදු පැහැති ආවරණය මෑත් කළේය... ඔහුට එය බොහෝ හුරු පුරුදු ගතියක් දැණුනි... 100 % ක් ග්‍රැනයිට්... එය කිව නොහැකි ලෙස සුමුදු මතුපිටක් සහිත ගල් ලෑල්ලක් විය... විශ්ව ඒ මේසය සෙමෙන් අතගා බැලීය....
බීප් බීප් බීප්............
විශ්ව ඒ හඬින් අවදි විය... තමා අන්තර්ජාලය ඔස්සේ පරීක්‍ෂා කළ පර්යේෂණ පත්‍රිකා සහ නිබන්ධන සියල්ල කාර්යාල කාමරයේ වූ මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය වී අවසන් බව දැන්වෙන බීප් නාදයයි ඒ...


බොහෝ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන ලොව පුරා ඇති විවිධාකාර පර්යේෂණ සඟරා සහ ජර්නල වල අන්තර්ජාල සංස්කරණයන්හි සාමාජිකත්‍වය ලබා ගෙන ඇත. සාමාන්‍යයෙන් වසරක සාමාජිකත්‍වය සඳහා ඩොලර් 100 ක සිට එමෙන් සිය ගුණයක් දක්වා වැඩි ගණන් අයකෙරෙන මේ සඟරා වලින් පර්යේෂණයන්ට ඇති ප්‍රයෝජනය මුදලින් මැනිය නොහැක. එසේම අවශ්‍ය ඕනෑම විටක අදාල ලිපිය බාගත කර ගැනීමත් ඒ සඳහා සීමාවක් නොමැති නිසාත් බොහෝ ආයතන මෙසේ  තමන්ගේ අවශ්‍යතාවයට අනුව මේ සඟරා සහ ජර්නල වල සාමාජිකත්‍වය ලබාගෙන ඇත. විශ්ව සේවය කරන නාවික පර්යේෂණ ආයතනයට මෙවන් සඟරා සහ ජර්නල ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක සාමාජිකත්‍වය ලබාගෙන ඇතුවා පමණක් නොව ලෝකයේ විශාලතම පුස්තකාල වලින් එකක් වන වොෂිංටනයේ පාර්ලිමේන්තු පුස්තකාලයේද සාමාජිකත්‍වය ලබාගෙන ඇත. මේ නිසා ලොව පළවන ඕනෑම සඟරාවක තොරතුරක් මෙන්ම අමෙරිකාවේ පළවන ඕනෑම පොතක තොරතුරු ද, පළ කෙරෙන පර්යේෂණ නිබන්ධන වල තොරතුරු ද සැණෙකින් ලබා ගැනීමේ හැකියාව නාවික පර්යේෂණ ආයතන සේවකයන්ට ලැබීම ඉතා විශාල වරප්‍රසාදයකි.


මුද්‍රණ යන්ත්‍රයෙන් සිය පර්යේෂණ පත්‍රිකා ආපසු රැගෙන තම මේසය වෙත යාමට විශ්ව හැරුණා පමණි..... කිසියම් ඡායාවක් තමා පසුපස එන බවක් ඔහුට දැණුනි.... අනතුරක සේයාවක් නැතත්, තමා උගත් සහ මනාව ප්‍රගුණ කළ ආත්මාරක්‍ෂක සටන් ක්‍රම වල විවිධ පියවර තම සිතට ඇතුළු වන බව විශ්වට හැඟුණි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්වගේ පස්සෙන් ආවේ කවුද ?


Wednesday, December 5, 2012

පිටස්තරයා................... දෙළොස්වන දිගහැරුම...................


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා............. අටවන දිගහැරුමපිටස්තරයා............. නවවන දිගහැරුමපිටස්තරයා............. දසවන දිගහැරුමපිටස්තරයා............. එකොළොස්වන දිගහැරුම


:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පොරොන්දු වූ පරිදි ම සේවා කාළය අවසානයේ විශ්ව මොලී හමුවන්නට ඇගේ කාමරයට ගියේ සිතේ චකිතයක් ද ඇතුවය…..
ඇගේ කාමරයේ අඩවල් වූ දොරට තට්ටුවක්  දැමූ විශ්ව...........
ඇයි මොලී.... මාව හම්බවෙන්න ඕන කිවුවෙ ?
ආ විශ්ව.........මට ඔයාව හමු වෙන්න ඕන කිවුවෙ වෙන මොකවත් නිසා නෙවෙයි... මට ආචාර්ය ෆියු අළුතෙන් පර්යේෂණයක් භාර දුන්නා.... ඒකට ඔයාවත් හවුල් කරගන්න කිවුවා... යමු අපි දෙන්නම එයාව හමු වෙන්න.... මට කිවුවා ඔයාව පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න කියලා... මම ඔයාට කිවුවෙ නැත්තෙ මේ ගැන මම තවදුරටත් කරුණු හොයපු නිසා... නැතුව ඔයාගෙන් හංගන්න නෙවෙයි... කොහොමත් ආචාර්ය ෆියු ඔයාටයි මටයි කතා කරන්නයි ඉන්නෙ දැන්....
කමක් නෑ... ඒත් ඇයි ආචාර්ය ෆියු මට කෙළින්ම ඒක නොකිවුවෙ ?
සමහරවිට ඒකටත් හේතුවක් ඇති... මෙතැන ඔයයි මමයි දෙන්නම අළුත්, ඉතින් අපි දන්නෙ නැහැනෙ මෙතැන කොහෙමද වැඩ කෙරෙන්නෙ කියලා...
එහෙම වුනා කියලා සම්මත පටිපාටි වලින් බැහැර වෙන්න බැහැනෙ.... මුලින් දන්වන්න ඕන නේද ?
ඇත්ත... කවුද දන්නෙ මේක මොනවගේ පැත්තකට යන පර්යේෂණයක්ද කියලා... මම දන්න විදියට මට තියෙන කාර්යය සුවිශේෂ ගුරුත්‍වාකර්ෂණ ක්‍ෂෙත්‍රවල ගණනය කිරීම් සහ අනුරූපණය කිරීම් කරන්න... මම හිතන්නෙ ඒ පර්යේෂණය මට වඩා අදාල වෙන්නෙ ඔයාටයි. ආචාර්ය ෆියු කිවුවා ඔයා ඒ පර්යේෂණ ක්‍ෂෙත්‍රයෙ බොහොම දක්‍ෂයෙක් කියලා... මම ඔයාගෙ පර්යේෂණ පත්‍රිකා සියල්ලම මුද්‍රණය කර ගත්තා... මේ බලන්න...
ඇය පර්යේෂණ පත්‍රිකා ගොන්නක් පිළිවෙලකට සැකසූ ලිපිගොනුවක් ඔහු වෙත යොමු කළාය.
ඉතිං මගේ පර්යේෂණ මෙතැනට එහෙමටම අදාල වෙයිද ?
අපි බලමු... දැන් යමු ආචාර්ය ෆියු හමු වෙන්න........
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී මොකාටද එන්න හදන්නෙ ? ඇවිල්ලා දවස් කීපයයි ගියේ විශ්වට බැල්ම දාන්න අරගෙන වගේ...... මෙගන් සිමෝනාට පැවසූවේ අමනාපයෙනි...
ඔයා විශ්වට කැමතිද ?
පොඩි කැමැත්තක් තියෙනවා... මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා... තවම ගෑණු ළමයෙක්වත් නැහැ...
පිරිමි ළමයෙක් ඉන්නවද දන්නෙ නෑ...... කැලිෆෝනියාවෙ ඉඳලනෙ ආවෙ.....පිටුපසින් සිට බිල් මහ හඬින් සිනාසෙමින් කතාවට එක් වූයේ තරුණියන් දෙදෙනාම පුදුමයට පත් කරවමිනි..
ඔයා අනුන්ගෙ කතාවලට කට දාන්න ඕන නෑ බිල්...
මම දාපු කටක් නෑ... මට ඇහුනා.. ඒ විතරක් නෙවෙයි ඔයා විශ්වට බැල්ම දානවා අපි හැමෝටම තේරෙනවා....
ඉතිං ඔයාට මොකද ? මම කැමති කෙනෙක් එක්ක යාළු වෙන්න මට පුළුවනි...
මම එදත් කිවුවා ... අදත් කියනවා........ ගෙරි මස් කනකොට බෙල්ලේ එල්ලගෙන කන්න එපා.... මේක මහ භයානක වැඩක්.....
සිමෝනා.... ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.... මම යමක් කරනවා නම් ඒක දිගටම කරන්නයි පටන් ගන්නෙ... මම හිතන්නෙ මට විශ්ව ගැලපෙනවා....
විශ්වට සල්ලි තියෙනවද ඔයාට බෑග් අරන් දෙන්නයි සාප්පු සවාරි එක්කන් යන්නයි ? ඔයාව නඩත්තු කරන්න ඉතිං අළුතෙන් බැංකුවක් කඩන්න වෙනවා....
ඒක ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි... මගේ වියදම් මම බලා ගන්නම්....
කොහොම වුනත් මට ආරංචි හැටියට නම් විශ්වගෙ හිතේ මොලී ගැන යමක් තියෙන පාටයි... මෙගන්ට ඉක්මන් වෙන්න වෙයි... ඔන්න දැනුත් විශ්ව මොලීගෙ කාමරයට රිංගනවා මම බලාගෙන... අපි ගැන නැති විශේෂත්‍වයක් විශ්ව ගැන මොලීට තියෙන පාටයි... එහෙනං අපි යනවා.... ඕන දෙයක් කරගන්නවලා... ඕන නම් අපි කියන්නම් විශ්වට, මෙගන්ගෙ කැමැත්තක් තියෙනවා කියලා... මගේ ගාස්තුව ගෙවන්න විතරයි ඕන....
යනවා යන්න.... අපි ඒක බලාගන්නම්... මෙගන් තරහින් මෙන් බිල්ව එලවා ගත්තාය....
ඇත්තෙන්ම කොහෙද මොලී විශ්වව එක්කගෙන ගියේ ?
මම දැක්කෙ නම් නීල්ගෙ කාමරේට ගියේ.... අළුත් ව්‍යාපෘතියක් වගේ.... කොහොමත්  අළුත් කෙනෙක් ආවම අළුතෙන් දෙයක් දෙන එක ලොක්කගෙ පුරුද්දක් නෙ....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
වාඩිවෙන්න දෙන්නම............
මම මේ දෙන්නටම එන්න කිවුවෙ මේ ව්‍යාපෘතිය ටිකක් බැරෑරුම් එකක් නිසා.. සමහරවිට ඔය දෙන්නට වෙනත් ප්‍රදේශ වලට යන්නත් වේවි... මට මුලින්ම දැනගන්න ඕන මේ වගේ ව්‍යාපෘතියක් භාර ගන්න ඔය දෙන්නා කැමතිද කියලා.
මොනවගේ ව්‍යාපෘතියක් ද ආචාර්ය ෆියු කියන්නෙ ? බැරෑරුම් කියන්නෙ ?
මේකයි... හොඳට අහගන්න... අපට දැන් චන්‍ද්‍රිකා ගුවන්ගත කිරීමෙදි  තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අධික වියදම... මේ වියදම වැඩිපුරම යෙදෙන්නෙ අපේ යානා පෘථිවි ගුරුත්‍වයෙන් මිදීමට ගන්න ශක්තිය වැඩි වීම... යානා සැකසීමට යන වියදම කොහොමත් එකයි, ඒක අඩු කරන්න තියෙන්නෙ බොහොම සුළු ක්‍රම කිහිපයක් පමණයි. නමුත් අපි විශ්වාස කරනවා මේ යානා ගුවන්ගත කිරීම වෙනස් කළොත් අපට සමහරවිට ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන් කියලා. සමහරවිට අළුත් ඉන්ධන වර්ගයක් හොයා ගැනීම හෝ වෙනස් ගුවන්ගත කිරීමේ ක්‍රමයක් හෝ වෙනයම් ක්‍රමයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපෘතිය බැරෑරුම් වෙන්නේ ඔය හේතු නිසා. මේ ව්‍යාපෘතියෙ රහස්‍ය භාවය අනෙක් ඒවට වඩා වැඩියි... ඒ නිසා බොහොම පරිස්සම් වෙන්නත් ඕන...
ඉතිං.... මොකද කියන්නෙ ? දෙන්නා මේ ව්‍යාපෘතිය කරන්න කැමතිද නැද්ද ? මට හිතලා බලලා හෙට දවස ඇතුලත කියන්න.... මොකද මට ඉක්මනට මේ ගැන වචනයක් ඉහළට දෙන්න ඕන... මේක මූලිකත්‍වයෙ ඉහළම තැනක තියෙන ව්‍යාපෘතියක්... සුදුසු කෙනෙක් එනකල් හිටියෙ භාර දෙන්න... ඉහළ පාලනාධිකාරයෙන් දැනුම් දුන්නා මේ ව්‍යාපෘතියට සුදුසුම දෙදෙනා ඔබ දෙදෙනා කියලා... ඒකයි මම දෙන්නටම එකට එන්න කියලා මේක කිවුවෙ... වැඩි විස්තර අවශ්‍ය නම් මේකට කැමතිද නැද්ද කියලා කියන්න... ඒ අනුව අපි කටයුතු කරමු....
හොඳයි.... අපි හෙට වෙනකොට හරි උත්තරයක් දෙන්නම්....
දැන් යන්න පුළුවන්... සුභ සන්ධ්‍යාවක් දෙදෙනාටම....
සුභ සන්ධ්‍යාවක්......
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද කියන්නෙ ? වැඩේ බාර ගන්නවද නැද්ද ? කාමරයෙන් පිට වූ විශ්ව මොලීගෙන් ඇසුවේ ඉතා සෙමින්....
මට නම් හිතෙන්නෙ බාර ගන්න... ටිකක් වැදගත් වැඩක් නෙ... කොහොම වුනත් බෑ කිවුවොත් අපේ වෘත්තීමය ඉදිරිගමනට (Professional Progress) හොඳ නැති වෙන්නත් පුළුවන්... මේ හැම පර්යේෂණයක්ම 100% ක් සාර්ථක වෙන ඒවා නොවෙයිනෙ.. හරි ගියේ නැතිනම් අපට ඉතිං කරන්න දෙයක් නෑ.. කොහොමත් මේ පර්යේෂණවල සාර්ථකත්‍වය ගැන අපි කාටවත් වග කියන්න බැහැ... ඒ නිසා මම නම් බාර ගන්න කැමතියි... කොහොමත් මේක අළුත්ම දෙයක්නෙ... මට යමක් ඉගෙන ගන්න අතරෙම යමක් හොයා ගන්නත් පුළුවන්... ඉතිං අපි Win-Win situation එකක ඉන්නෙ.... මම නං කියන්නෙ ඒකයි.
මටත් මේකෙ ලොකු අනතුරක් දකින්න නැහැ... අනික මට නම් දන්න විෂයයක් නිසා ඒ තරම් අමාරුවක් නැහැ.. මමත් කැමතියි මේ ව්‍යාපෘතියට... අනිත් එක මේක මේ අපි දන්න ලෝකෙ තියෙන දෙයක් නෙ... අනිත් දේවල් ඔක්කොම කරන්නෙ අභ්‍යවකාශයෙ තියෙන දේවල් පොළවෙ අත්හදාබලන එකනෙ..... ඔයත් කැමති නම්, මමත් කැමති නම් අපි දෙන්න හෙට උදෙන්ම ගිහින් කියමු වැඩේට කැමතියි කියලා.. කොහොම වුනත් අළුත් ව්‍යාපෘතියකට මමත් කැමතියි... මීට ඉස්සර කට්ටිය කරලා කුණු වෙලා තිබුණ ඒවට වඩා....
විශ්ව අගේ විකසිතවන මුව දෙස යන්තමින් බලා පැවසුවේය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද කරන්නෙ? ආයෙම බලමුද ?
දාලා තියන්න... පටිගත වෙන දෙයක් පටිගත වෙයිනෙ... අන්තිමට බලමු....
අදත් මිනිහා තනියම....
මිනිහගෙ ජීවිතේම තනියම නෙ ගෙවුනෙ....
මොනවද ඒ කරන්නෙ ? කෑමක් හදනවද ?
ඒ වගේ තමයි... කොහොමත් ඔය ආසියානු මිනිස්සු හරියට කෑම හදන්න වෙලා ගන්නවා.... අපි වගේ නෙවෙයි... උන් දවසක් කෑම හදලා පැයකින් කාලා ඉවර කරනවා. ගෙදරම කුළුබඩු ගඳයි... අපි දවසක් චීන ගෙදරකට ඇතුළු වුන වෙලාවෙ වමනෙ යන්න ආවා... උන් කුකුළු අඬු උයලා කන්න හදනවා.... ඔන්න ඔය වගේ ජරා වැඩ....
අන්න මිනිහා නාන්න යනවා... අදත් බලමු අර සංසිද්ධිය වෙනවද කියලා....
සිය ඉලක්කයට තාප සංවේදක කැමරාව මානාගෙන පටිගත කරන අතරතුර සිය අත්දැකීම් හුවමාරු කර ගනිමින් සිටි එෆ් බී අයි ඒජන්තවරු දෙදෙනා තමන් දකින්නේ කුමක්දැයි සිතාගත නොහැකිව එකිනෙකා දෙස බලාගත්වනම බලාහුන්හ....
සැමදාම සිදු කරන පිරිසිදු වීමේ පිළිවෙත ක්‍රියාත්මක කරමින් විශ්ව උණුවතුර කරාමය විවෘත කළේය.... උණු වතුරෙන් සිය සිරුරේ ශ්වේද ග්‍රන්ථි විවෘතවෙනු ඔහුට දැනුනි.... සිරුර පිරිසිදු කරන සුවිශේෂ ද්‍රාවණය ඔහු සිය සිරුර පුරා තවරාගත්තේය... සිය සිරුර උණුසුම් වනු ඔහුට දැණුනි... නැවතත් ස්නානය කරන්නට පටන් ගත් ඔහු සීතල කරාමය විවෘත කළේය.... සිය ශ්වේද ග්‍රන්ථි ක්‍රමයෙන් වැසෙනු සහ සිරුරේ මස් සම් ඇට නහර සියල්ල උණුසුම් වන අයුරු ඔහුට දැණුනි... තමා නැවතත් ළදරුවෙකු මෙන් පිරිසිදුය....
සැහැල්ලු ඇඳුමක් ලා ගත් ඔහු නාන කාමරයෙන් ඉවතට පැමිණියේය...
ඊට යාර පන්සීයක් පමණ ඈතින් වූ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිට කිසිවෙකු තමා නිරීක්‍ෂණය කරන බව විශ්ව නොදත්තේය... නමුත් කිසියම් අමුත්තක් ඔහුගේ සිතට දැනුනි.. ස්නානයෙන් පසු වහාම සුපුරුදු නින්දට වැටීම වෙනුවට තවත් ටික වෙලාවක් නොනිඳා රැඳී සිටීමට ඔහු තීරණය කළේය....
අසළ වූ පොත් රාක්කයක් වෙත ගිය ඔහු කිසියම් පොතක් අතට ගත්තේය....
කොහොමද මෙහෙම මිනිහෙක් ජීවත් වෙන්නෙ ? අදත් උෂ්ණත්‍වය 103 යි
මෙච්චර වෙලා හොඳට හිටිය මිනිහා නාලා ඉවර වුනාම කොහොමද මෙච්චර උණුසුම් වෙන්නෙ ? බලමු එදා වගේ සීතල වෙනවද කියලා....
එෆ් බී අයි ඒජන්තයින් දෙදෙනා කැමරාව මානාගෙන පැය බාගයක් පමණ සිටියත් ඔවුන් බලාපොරොත්තු වූ පරිදි සිය ඉලක්කය උෂ්ණත්‍ව වෙනසක් නොපෙන්වීය..
Jeova Sanctus Unus විසින් රචිත Philosophiæ Naturalis Principia Mathematica නම් වූ ලතින් භාෂාවෙන් ලියැවුන පොත පෙරලාගත් විශ්ව අසල වූ සෝපාවේ දිගා වී පිටු පෙරළන්නට විය.Philosophiæ Naturalis Principia Mathematica පොතෙන් පිටුවක්Philosophiæ Naturalis Principia Mathematica පොතෙන් පිටුවක්

මේ පොත ලියා ඇත්තේ එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. දාර්ශනිකයෙක්, මහා විද්‍යාඥයෙක් මෙන්ම සුප්‍රසිද්ධ ඇල්කෙමිවරයෙක් වූ පුද්ගලයෙකි. සිය පත්‍රිකා Jeova Sanctus Unus නමින් අත්සන් කළ,ලෝකයා වෙනත් නමකින් දන්නා Isaacus Neutinuus විසිනි. සිය අධ්‍යාපනයේ ඉහළ කඩඉම ඇරඹු දා සිට අයිසැක් නිවුටන් කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින වැඩි වූ බව විශ්ව දැන සිටියේය... අයිසැක් නිවුටන් මහා විද්‍යාඥයෙක් යැයි කියා පමණක් සාමාන්‍ය ලෝකයා දැන සිටියද ඔහු සතු අසාමාන්‍ය බුද්ධිය සහ දියුණු කරන ලද සිත පිළිබඳ දැන සිටියේ අතලොස්සකි. බොහෝ දාර්ශනිකයින් සිය බුද්ධිය උපතින් රැගෙන ආවැයි ලෝකයා හැඳින්වුවද, ඒ බොහෝ දෙනා කිසියම් හෝ ක්‍රමයකින් සිත දියුණු කරන ලද පුද්ගලයින් වේ. ඇරිස්ටෝටල්සොක්‍රටීස්පයිතගරස්ප්ලේටෝ, පරම්පරවෙන් පසු පැමිණි නොස්ට්‍රඩාමස් වැනි අනාවැකි කියන්නන්ද , ලියනාඩෝඅයිසැක් නිවුටන්බීතෝවන්තාගෝර්අයින්ස්ටයින් මෙන්ම දැනට ජීවතුන් අතර සිටින ස්ටීවන් හෝකින් ඇතුළු ලොව බොහෝ සුප්‍රසිද්ධ විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ මේ ගණයට අයත් පුද්ගලයෝ වෙති. සිත දියුණු කිරීම එක් ආගමකට සීමා වූවක් යැයි බොහෝ දෙනා සිතා සිටියත්, බුදුන් වහන්සේ මෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද සිය ජීවිතයේ එක්තරා අවධියක සිත දියුණු කිරීම උදෙසා කැප වී සිටි බව බොහෝ දෙනා නොසළකා හැර තිබේ. ඒ තම ආගම අනුන්ගේ ආගමට වඩා උසස් යැයි සිතීමේ පටු මානසිකත්‍වය ඇති මිනිසුන් පිරිසක් බවට ඔවුන් පත් වී ඇති නිසාය. සිත දියුණු කරන්නන් අතීතය වර්තමානය මෙන්ම අනාගතය ද දකිති. අයිසැක් නිවුටන්ට ගුරුත්‍වාකර්ෂණය පිළිබඳ සිතිවිල්ල පහළ වූයේ ඇපල් ගෙඩියක් බිමට වැටෙනවා දැකීමෙන් යැයි ප්‍රවාදයේ සටහන් වුවත් නිවුටන්ගේ දියුණු කළ සිතට එවැනි හැඟීමක් පහළ වීමට ඇපල් ගෙඩියක් බිමට වැටෙන තෙක්  සිටිය යුතුද යන්න විමර්ෂණය කළ යුතු ප්‍රශ්නයකි.නූතන විද්‍යාව නව සොයා ගැනීම් වලින් බහුල යැයි සිතා බොහෝ දෙනෙකු උදම් ඇනුවත්, ඉපැරණි වේද ග්‍රන්ථ සහ උපනිෂද් ග්‍රන්ථවල ඇති දෑ විවරණය කිරීමේදී නූතන විද්‍යාවෙන් විස්තර කෙරෙන හයිසන්බර්ග් මූලධර්මය (Heisenberg Uncertainty Principle) නම් වූ මූලධර්මය උපනිෂද් නම් හින්දු වේදික පුස්කොළපොත් වල තිබූ බව දන්නේ ලොව ඉතා ස්වල්ප දෙනෙකු පමණි. ඉපැරණි භාරතයේ සුපතල පුස්තකයක් වූ භගවත් ගීතාවෙන් ද්විත්‍ව කල්පිතය (Dual world) නම් වූ මූලධර්මය විස්තර කෙරුණේ මීට වසර දෙදහසකටත් වඩා පෙර බව බොහෝ දෙනා නොදනිති. කෙටියෙන් කිවහොත් නූතන විද්‍යාව යනු වසර දෙදහසකට පෙර සිත දියුණු කළ පුද්ගලයින් විසින් ලියන ලද පුස්තකයන්හි ඇති මූලධර්ම ආශ්‍රයෙන් ගොඩ නැඟුනක් බව නූතන විද්‍යාඥයෝ පවා අමතක කර ඇත: නැතහොත් සරළවම ඔවුහු ඒ බව නොදනිති.::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සෙස්ස පස්සට....................


Saturday, December 1, 2012

පිටස්තරයා .............................. එකොළොස්වන දිගහැරුම................


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා............. අටවන දිගහැරුමපිටස්තරයා............. නවවන දිගහැරුමපිටස්තරයා............. දසවන දිගහැරුම::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව, මට ඔයාව අද හවස හමුවෙන්න ඕන..... හවස ලොකු වැඩක් නෑ නේද ?
නැහැ... කීයට විතරද ?
හවස වැඩ ඉවර වෙලා එන්නකො.... මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.
හොඳයි...
............................................................................................
එදින දවස විශ්ව පර්යේෂණ වල නිරත වුවත් සිත තුළ ඇති කළේ චකිතයකි. සේවයට පැමිණ සති දෙකක් යාන්තම් ගතවෙද්දී සිය ජීවිතය වෙනස් වූ ආකාරය ඔහුට සිතා ගැනීමටත් නොහැකි තරමට වේගවත් විය. මසකට පෙර තමා කැලිෆෝනියාවේ ගත කළ ජීවිතයත්, මසක් ඇතුලත සියල්ල වෙනස් වූ අයුරුත් චිත්‍රපටයක් සේ සිය දෑස් ඉදිරිපිට ඇඳී බොඳවුනි...
මොකද කරන්නෙ ? භාවනා කරනවද ?
මෙගන්ගේ හඬින් සිය දැහැන බිඳගත් විශ්ව වටපිට බැලීය...
නෑ... මම මේ කල්පනා කළේ....
මම දැන ගත්තා... ලොකු කල්පනාවක කියලා... මම ලඟට ඇවිත් විනාඩි ගාණක් යනකල් දැක්කෙ නෑ.... කවුරු ගැනද කල්පනා කළේ.... කැලිෆෝනියාවෙ ඉන්න ගෑණු ළමයා ගැනද ?
මම ?.... අනේ නැහැ මෙගන්.... මට එහෙම කෙනෙක් නැහැ.....
මෙගන්ගේ මුවඟ සිනාවක් ඇඳුනේ නිතැතින්ම.......... හිටියෙත් නැද්ද ?
නැහැ....
බොරුකාරයා.... ඔය වයසෙ කොල්ලෙකුට කෙල්ලෙක් හිටියෙ නෑ කියන්නෙ ලෝක පුදුමයක්.....
බොරු කියන්නෙ මොනවටද ? මට ගෑණු ළමයෙක් හිටියෙත් නෑ දැනුත් නෑ.....
ඒකට කමක් නෑ... මම මේ ආවෙ ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර ගැන විස්තර ටිකක් ඔයාගෙන් දැනගන්න... ඔයා ආචාර්ය උපාධියට කළේ ප්‍රති ගුරුත්‍වාකර්ෂණය ගැන කියලා මයික් කිවුවා.... පොත් පෙරළලා බලනවට වඩා විශේෂඥයෙක්ගෙන් අහගන්න එක ලේසි නිසා මම පොඩ්ඩක් අහගන්න ආවෙ... කරදරයක් නැතිනම් පොඩ්ඩක් කියලා දෙනවද ? මෙගන් එහෙම ඇහුව තාලෙට විශ්වට බෑ කියන්න බැරි වුනා...
ඉතිං මෙගන්ට දැන ගන්න අවශ්‍ය මොකක්ද හරියටම ?
මේකයි... මම කියවපු ලිපියක බොහොම සංකීර්ණව ගණනය කිරීම් සමඟ දක්වලා තිබුණා ලෝකයේ සමහර තැන්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය අඩු වැඩි මට්ටම්වල පවතිනවා කියලා... මේක තේරෙන භාෂාවෙන් දැනගන්නයි මට ඕන.. මොකද මේ කතාව ප්‍රතිගුරුත්‍ව මේසයේ ක්‍රියාකාරීත්‍වයට අදාල කරගන්නයි මට ඕන....
හරි.... ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර කියන්නෙ ලෝකය පුරාම පවතින දෙයක් නෙ... ඒක හැම තැනම ඒකාකාර නැහැ... සමහර තැන්වල වැඩි ගුරුත්‍වයක් තියෙනවා වගේම තවත් සමහර තැන්වල අඩු ගුරුත්‍වයක් තියෙනවා.
මේ බලන්න මේ සිතියම දිහා...මේ සිතියමේ තියෙන්නෙ ලෝකයේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල වෙනස්වීම. මේ රතු පැහැයෙන් දැක්වෙන්නෙ අධික ගුරුත්‍වයක් ඇති ප්‍රදේශ.... තද නිල් පැහැයෙන් පෙන්වන්නෙ අවම ගුරුත්‍වයක් ඇති ප්‍රදේශ.  දකුණු ඇමරිකාවෙ ඇන්ඩීස් කඳු, ඉන්දියාවෙ හිමාලය, ජාවා සුමාත්‍රා පෙදෙස් වගේ තැන්වල අධික ගුරුත්‍වයක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙ දකුණු දිග, හිමාලයෙ උතුරු පෙදෙස, බර්මියුඩා ත්‍රිකෝණය වගේ තැන්වල ගුරුත්‍වය අඩු මට්ටමක තිබෙනවා. මෙන්න මේ නිසා මේ තැන්වලදී සමහර අගයයන් සාමාන්‍ය අගයයන්ගෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් බර්මියුඩා ත්‍රිකෝණයේදී නැව් ගිලෙනවා කියන මතය - සමහර විට එය මිත්‍යාවක් වුනත් මේ ගුරුත්‍ව වෙනස නිසා සිදු වන්නක් වෙන්න පුළුවනි. ඇන්ඩීස් කඳුවල ඇති සමහර විල්වල ජලයේ විවිධාකාර ගුණ තිබෙනවා කියන්නෙ මෙන්න මේ ගුරුත්‍වය වැඩි වීම නිසා වෙන්න පුළුවන්.
පුරාණ කතාවක් වන රාමායනයෙ කියැවෙන හනුමන්තා හිමාලයෙන් කොටසක් ගලවගෙන එද්දි රූමස්සල කියන ප්‍රදේශයේ එයින් කැබැල්ලක් කැඩී වැටුනා කියන කතාවෙ සත්‍යතාවය කොපමණද කියලා නොදන්නවා වුනත් ඒ භූ විෂමතාවල සහ පරිසරයෙ කිසියම් සමානතාවයක්  දකින්න පුළුවන් සාධක එහි තියෙනවා. නමුත් කවුරුවත් එහි විද්‍යාත්මක සත්‍යතාවය පර්යේෂණයකට භාජනය කරලා නැති වෙන්න පුළුවන්.  මෙන්න මේ වගේ වෙනස් වෙනස් තැන්වල වෙනස් ගුරුත්‍ව බලයයන් තියෙනවා. මගේ පර්යේෂණය වුනේ මේ ක්‍ෂෙත්‍රවල සම්බන්ධතාවයක් ඇත්දැයි හොයන එක... නමුත් මට ලෝකෙ වටේම යන්න බැරි වුන නිසා ඒ සියල්ල නිසි ලෙස අවසාන කරගන්න බැරි වුනා... ඒ නිසාමයි මම මගේ නිබන්ධනය උතුරු සහ දකුණු ඇමරිකානු මහාද්වීප වලට පමණක් සීමා කළේ... ඉඩක් ලැබුණොත් අනෙත් පැති වලත් මේ සම්බන්ධතාවය කොහොමද කියලා බලන්න ඕන..
මොකද්ද රාමායනය කියන්නෙ ?
රාමායනය කියන්නෙ ඉන්දියාවෙ ලියැවුන මහා වීර කාව්‍ය දෙකෙන් එකක්. අනිත් එක මහාභාරත්... දෙකම කියවන්න වටින පොත් දෙකක්. රාමායනය ලිවුවෙ වාල්මිකී කියන පඬිවරයා.  මේ පොතෙන් කියවෙන්නෙ  මහා දිග කතාවක්... කැමති නම් හොයාගෙන කියවන්න.... ඉතිං... තව මොනවද දැනගන්න ඕන....
මට නම් පොත් කියවන එක නම් එපා වෙලා තියෙන්නෙ..... ඒක නෙවෙයි, ඔයා ලංකාවෙ ඉපදිලත්, ඔය කියන තැනට ගිහිල්ලා නැද්ද ?
ගිහින් තියෙනවා... ගොඩක් ඉස්සර... ළඟකදි නම් ගියේ නැහැ...
මමත් හරිම ආසයි උෂ්ණ කලාපීය රටක නිවාඩුවක් ගත කරන්න යන්න... ඒත් ඉතිං අම්මලා ඉඩ දෙන්නෙ නෑනෙ..... ඒ ගොල්ලන්ගෙන් අවසර ගන්න එක ඉතිං ලේසි නෑ....
ඒ මොකද ? ඒ අය හිතන් ඉන්නෙ තවම මම පොඩියි කියලනෙ. තවම අයියලා දෙන්නගෙ පොඩි එකා මම... අම්මලත් බලන් ඉන්නෙ හැම සති අන්තෙම මම ගෙදර එනකල්... ඒ අයට මම නැතුව බෑ.... ඔයාගෙ පවුලෙ කවුද ඉන්නෙ ?
මම විතරයි....
ඔයා විතරයි ? සමාවෙන්න අහනවට ? ඔයාගෙ දෙමාපියො ? නෑදෑයො ? ඒ අය ලංකාවෙද ?
නැහැ මෙගන්.... මගේ දෙමාපියො දෙන්නම හදිසි අනතුරකින් නැති වුනා... මගේ නංගිත් එක්කම... දැනට අවුරුදු හයකට විතර ඉස්සර...
මෙගන්ගේ මුහුණ දුක්මුසු වූයේ සැණෙකිනි...
අනේ මට සමාවෙන්න විශ්ව... මම වැරදි ප්‍රශ්නයක් ඇහුවනම්.... මම දන්නෙ නැතුවයි ඇහුවෙ....
කමක් නෑ මෙගන්... කවුරුවත්  අනුන් ගැන හරියටම දන්නෙ නෑනෙ... ඒකට කමක් නෑ... ඒ අය නැති වුනේ පිටරකටදී... මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ නියෝජිතයෙක්.... ඒ ගමනකදි තමයි අනතුර වෙලා තියෙන්නෙ.... දැන් ඒක අතීතයට එක් වෙලා හමාරයි... දුක වුනත් මම ඒ ගැන වැඩිය හිතත්නෙ නෑ...
මට සමාවෙන්න... කියන්න මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා...
ස්තුතියි... මම අවශ්‍ය වුනොත් කියන්නම්... ඉතිං ඔයාට ඕන විස්තර ටික දැනගත්තද ?
ඹව්... බොහොම ස්තූතියි... හැබැයි මට නම් රාමායනයයි මහාභාරත් පොතයි කියවන්න බැහැ... අඩුම ගානෙ මම Twilight වත් කියවපු කෙනෙක් නොවෙයි...
ඒකට කමක් නෑ,.. ගුරුත්‍වය ගැන ඕනතරම් පොත්, ලිපි තියෙනවා... අන්න ඒවයින් ඔයාට හොඳට විස්තර දැනගන්න පුළුවනි...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොනවද හොයා ගත්තෙ ?
ගිය සති අන්තෙ අපේ යාළුවා පොඩි ගමනක් ගියා...  අපේ නියෝජිතයෙකුත් ඒ සමඟ යැවුවෙ කොහාටද යන්නෙ කියලා බලන්න....
ඉතිං කොහෙද ගියේ ?
චීන ටවුමට...
චීන ටවුමෙ මොනවද එයා කරන්නෙ ?
ඒක තමයි අපටත් ප්‍රශ්නය තිබුණේ... නමුත් මතකද අර දුරකථන සංවාදයෙ කිවුවා චීන කඩේකින් බෙහෙත් වගයක් ගන්න කතාවක්... මම හිතන්නෙ මෙයා ගියේ ඒ බෙහෙත් ගන්නයි...
ඉතිං ගත්ත දේවල් හොයා ගත්තද ?
නැහැ... අන්න ඒකයි ප්‍රශ්නෙ... මොකද කියනවා නම් අපට එකපාරටම චීන කඩෙන් අහන්න බැහැ මෙයා මොනවද ගත්තෙ කියලා... ඒක සැක හිතෙන්න පුළුවන් වැඩක්.... ඒ නිසයි අපි වෙන ක්‍රමයකින් ඒක හොයා ගන්න බලන්නෙ...
කොහොමද ?
කුණු බක්කි අවුස්සන්න තමයි වෙන්නෙ.....
තමුසෙලා ඉතිං හැමදාම   අනුන්ගෙ කුණු බක්කි අවුස්සන එකනෙ කරන්නෙ ! ඒක නෙවෙයි... බැරිද අපිට ගෙදර නිරීක්‍ෂණය කරන්න යමක් කරන්න... එහෙම වුනොත් මොනවහරි හොයා ගන්න පුළුවන් වේවි...  ඒ විතරක් නෙවෙයි... කාර් එකේ GPS tracker  එකක් හයි කරනවා... ඒකෙන් හොයා ගන්න පුළුවන් ගමන් බිමන් ඔක්කොම....
වෙලාවකට හිතෙනවා අපි මේ දුවන්නෙ බොරු දෙයක් පස්සෙ කියලා... ඇයි අපිට කෙළින්ම මෙයාව ප්‍රශ්න කරන්න බැරි ?
මෝඩයෝ.... මොන හේතු මතද ප්‍රශ්න කරන්න අත් අඩංගුවට ගන්නෙ ? කිසිම වැරැද්දක් කරපු නැති මනුස්සයෙක්... කතා කරන්න ඉස්සර වෙලා පොඩ්ඩක් හිතන්න පුරුදු වෙනවා.. තමුසෙ කොහොම එෆ් බී අයි ඒජන්තයෙක් වුනාද කියලා මට හිතෙනවා... ජනරාල් වෙලිංටන් ජේසන් වෙත ගුගුළේය...
සමාවෙන්න ජෙනරාල්තුමනි......
හොඳයි... දැන් යනවා.... මට තව සතියකින් ප්‍රගතිය කියන්න එන්න... මේක ඇදගෙන යන්න බැහැ.... නිකං කාළයයි සල්ලියි නාස්ති කරන්න බැහැ... ඉක්මනට හොයාගෙන එනවා මෙයා කවුද, මොනවද කරන්නෙ කියලා...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
GPS TrackingGPS Tracking
GPS tracking බොහෝ අංශවල භාවිතා වන ක්‍රමයකි. මෙය අපරාධකරුවන් අල්ලාගැනීම, වාහනවල ගමනාගමනය හෝ මාර්ග අඳුනාගැනීම, ක්‍රීඩාවලදී, වටිනා උපකරණ හෝ වාහන සොර සතුරන්ගෙන්  ආරක්‍ෂාකරගැනීම සඳහා, කුඩා දරුවන් මෙන්ම සුරතල් සතුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා ක්‍රමයකි. අදාල වස්තුවේ සවි කරන GPS උපකරණයෙන් ලැබෙන සංඥාවන් කිසියම් ස්ථානයක සිට නිරීක්‍ෂණය කිරීම සිදු කෙරේ. උදාහරණයක් ලෙස සීමිත අවකාශයක සැරිසැරීමට අවකාශ දී නිදහස් කෙරෙන සිරකරුවකුගේ වළලුකරෙහි මේ GPS tracking උපකරණයක් සවි කරනු ලබයි. අදාල නීති සම්පාදක ආයතනයෙන් ඒ නිදහස් සීමාව නිර්ණය කර, අදාල පුද්ගලයාට නිදහසේ ගමන් කළ හැකි වපසරිය දන්වනු ලබයි. යම් හෙයකින් ඒ පුද්ගලයා අදාල ප්‍රදේශයෙන්  පිටතට ගියහොත් අදාල ආයතනයට එය පෙනෙනවා පමණක් නොව ඒ පුද්ගලයාට ද කිසියම් සංඥාවක් මගින් දැනුම් දෙනු ලැබේ. තවත් උදාහරණයක් වන්නේ සමහර දරුවන්ගේ සපත්තුවල සඟවා ඇති GPS Tracking dot නම් කුඩා බොත්තමක් වැනි උපකරණයයි. ඒ මගින් තම දරුවා සිටින ස්ථානය ආසන්න වර්ගමීටරයට සොයා ගැනීමේ හැකියාව දෙමාපියන්ට ලැබේ. මෙය තරමක් මිල අධික සේවයක් වුවත්, ධනවත් දෙමාපියෝ සිය දරුවන්ට GPS Tracking dot පළඳවන්නේ ඔවුන් පැහැරගැනීමකට ලක් වුවහොත් සොයා ගැනීමේ පහසුව පිණිසය. නවීන දුරකථන වලද මේ හා ආසන්න තාක්‍ෂණයක් දැන් දැන් ඇතුලත්කර ඇත. එසේම කිසියම් පුද්ගලයෙකුගේ ගමන්බිමන් සොයාගැනීම පිණිස වාහනයේ හෝ ඒ පුද්ගලයාගේ ඇඳුමක GPS Tracking dot එකක් සවිකර සියළුම ගමන් බිමන් සොයා ගැනීමේ පහසුව නීති සම්පාදක ආයතනවලට හැකියාව ඇත.:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පොරොන්දු වූ පරිදි ම සේවා කාළය අවසානයේ විශ්ව මොලී හමුවන්නට ඇගේ කාමරයට ගියේ සිතේ චකිතයක් ද ඇතුවය.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී මොකද්ද විශ්වට කරන්න යන්නෙ ? ඉදිරි කොටසකින්.........

Monday, November 26, 2012

පිටස්තරයා.............................. දහවන දිගහැරුම.........................


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්

පිටස්තරයා............. අටවන දිගහැරුම

පිටස්තරයා............. නවවන දිගහැරුම

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දිනය : බදාදා
ප්‍රගති සමාලෝචන රැස්වීම අවසන සියළුම දෙනාගෙ අවධානය බිඳුනෙ නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා තවත් පියකරු යුවතියක් සමඟ රැස්වීම පැවති කාමරයට පැමිණීම නිසා....
සුභ සවසක් අද්මිරාල් තුමනි, මොකද මේ පැත්තෙ නොදන්වාම ?
සාමාන්‍යයෙන් මෙවැනි රැස්වීම් සඳහා අවම වශයෙන් සහභාගි වන අද්මිරාල් තුමාගෙ පැමිණීම හැම දෙනාටම ප්‍රශ්නයක් වුනා විතරක් නෙවෙයි ඔහු සමඟ පැමිණි යුවතිය ගැනත් ගැහැණු පිරිමි භේදයක් නොමැතිව අවධානය යොමු වුනා.. පිරිමින් නම් බැලුවෙ අළුත් යුවතියගෙ ලස්සන වුවත් මෙගනුත් සිමෝනාත් බැලුවෙ තමන්ට වඩා ලස්සන මේ කෙල්ල මොනවට අද්මිරාල්තුමා සමඟ මෙතැනට ආවද කියලා... සාමාන්‍යයෙන් වයසක බලවත් පිරිමින්ගේ ඇඟේ එල්ලෙන සරාගී ගැහැණු හිටියත් මේ වගේ ප්‍රසිද්ධියේ අද්මිරාල් තුමා කෙල්ලක් අරන් ආවෙ ඇයිද කියන ප්‍රශ්නය කාටත් ඇතිවුවා... පෙනෙන විදියට දෙන්නා හොඳට අඳුනන පාටකුත් තිබෙනවා...
අද මම තකහනියක්ම මේ රැස්වීමට ආවෙ විශේෂ කාරණයකට, මම මේ කියන්න යනදේ ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් දෙදෙනා ගැනත් සාකච්ඡා කරලයි මේ තීරණය ගත්තෙ. ඔබ හැම දෙනාම දන්නවා ක්වොන්ටම් යාන්ත්‍රික ගණනය කිරීම් සහ ත්‍රිමාණ අනුරූපණ අතින් අපේ රසායනාගාරය සිටින්නෙ තරමක් පසුගාමී තත්ත්‍වයක. මම ඒ ගැන ඔබට දොස් කියන්නෙ නැහැ. මොකද ඔබට තියෙන වැඩ කන්දරාවත් එක්ක ක්වොන්ටම් යාන්ත්‍රික ගණනය කිරීම් කරන්න කියලා අපට බල කරන්න අයිතියක් නැහැ. මේක ඇත්තෙන්ම වෙනම රැකියාවක්, ඉතින් අපි ඔබට වැඩ පහසු කර ගැනීම සඳහා ගණනය කිරීම් සිදු කිරීම සඳහාම දක්‍ෂකම් දක්වන අළුත් සාමාජිකාවක් කණ්ඩායමට එකතු කරන්නට අදහස් කළා... ඒක ලිංගික සමබරතාවය (Gender balance) එකටත් එක්ක හොඳයි කියලා අපි හිතුවා. මේ මාත් සමඟ සිටින මොලී ජේන් ඕ‘රියෝර්ඩන් මැසචුසෙට්ස් තාක්‍ෂණික සරසවියෙ ආචාර්ය උපාධිධාරිණියක්, ඇගේ ප්‍රවීණත්‍වය තිබෙන්නෙ ක්වොන්ටම් ගණනය කිරීම් සහ ත්‍රිමාණ අනුරූපණයන් සඳහා.. ඉතින් තවත් කතා මොනවටද ? අපි ඔබට අළුත්ම සාමාජිකාවක් ලබා දුන්නා.. ඔබේ කටයුතු සියල්ල ඇයත් සමඟ සාකච්ඡා කර සහයෝගයෙන් කටයුතු කරන්න.... ඇගේ දායකත්‍වය වෙන්නෙ ඔබේ පර්යේෂණවලින් ලැබෙන දත්තයන් ගණනය කිරීමෙන් ලැබෙන දත්තයන් සමඟ සමපාත කිරීම මගින් ඔබේ පර්යේෂණවල නිරවද්‍යතාවය නැවත වතාවක් තහවුරු කිරීම. ඒ වගේම ඔබ සියළුම දෙනා දන්නවා අපට නාස්ති කරන්න කාළයක් නැති බව... ඒ නිසාම ගණනය කිරීම් මගින් සහ ත්‍රිමාණ අනුරූපණ මගින් ලැබෙන ආකෘතින් ඉදිරියට ගෙනයාම මගින් සෑහෙන වෙලාවක් ඉතිරිකරගෙන කාර්යක්‍ෂමතාවය ඉහළ නංවගන්නත් අපට මේ නිසා පුළුවන් වෙනවා. මතක තියාගන්න අපි බලන්නෙ ඔබේ පුද්ගලික ජයග්‍රහණ නොවෙයි... අපි සියළුම දෙනා එක කණ්ඩායමක්, අපි සියළු දෙනාගෙ ජයග්‍රහණ පුද්ගලිකව සිදු කරන පර්යේෂණ මත රඳා පැවතුනත්, අපි ජයග්‍රහණය කරන්නෙ එකමුතුව නැගී සිටියහොත්,... මට ඒ ගැන වැඩිහිටියන් වෙච්ච ඔබට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැති බව ඔබ දන්නවා... ඉතිං... හොඳට වැඩ කරගෙන යන්න.... අපි සෑහෙන සොයා ගැනීම් කරලා තිබෙනවා මේ පර්යේෂණාගාරයෙන්... මට අවශ්‍ය ඒ දේ තව තවත් වැඩි දියුණු කරවන්නයි... තේරුණා නේද ?
සියළුම දෙනා එකාවන්ව හිස සැළුයේ තමන්ට ලැබුණ විධානයන් පමණටත් වඩා හොඳින් තේරුණ බව අඟවමිනි.
සාමාන්‍යයෙන්  කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය පිළිබඳ ඉතා සැලකිල්ලක් දක්වන රසායනාගාර - ආයතන මෙන්ම කර්මාන්තශාලා ද සිය පර්යේෂණයන් සිදු කිරීමට මත්තෙන් ඒ සියළු පර්යේෂණ තත්ත්‍වයන් පරිඝණක ආශ්‍රයෙන් ගණනය කිරීම් වලට භාලනය කර වඩාත්ම උචිත පර්යේෂණ තත්ත්‍ව තෝරා ගනු ලබයි. මේ නිසා  අහඹු ලෙස තෝරා ගන්නා පර්යේෂණ තත්ත්‍ව සහ වැරදි පර්යේෂණ තත්ත්‍ව පසුපස ගොස් කාළය කා දැමීම මගින් සිදුවන හානිය වලකා ගන්නටයි. බොහෝ ඖෂධ සමාගම් සහ රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් දැන් දැන් මේ ක්‍රම භාවිතා කරනවා. මේ නිසා  ඒ සමාගම් වලට සිදුවන ලාභය ඩොලර් මිලියන ගණනක්. ඒ සියල්ල ගණනය වන්නේ වැයවන රසායන ද්‍රව්‍ය සහ අපතේ යන මිනිස් පැය ගණන මගින්. ඉහළම තත්ත්‍වයේ ඇති ආණ්ඩුවේ රසායනාගාර පවා දැන් දැන් මේ ක්‍රම අනුගමනය කරන්නේ එයින් බොහෝ වාසි ලබා ගත හැකි නිසායි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද හිතෙන්නෙ අළුත් කෙල්ල ගැන.. ?
පසුදා උදෑසනම රසායනාගාරයේ කුස්සියෙදි කෝපි කෝප්පයක් වත්කර ගන්න අතරේ බිල් ඇසුවෙ මයික් ගෙන්....
මොනවා හිතන්නද ? ආයෙ හෝදන්න දෙයක් නෑ.... ඔය ඉන්නෙ..........
මට හිතෙන විදියට නං ඒකට කොල්ලෙක් ඇති... ඔය වගේ එකක් සාමාන්‍යයෙන් ඉතිරි වෙලා තියෙන්න විදියක් නෑ....
කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නෙ නෑ.... දෙදෙනාම මහ මහ හඬින් සිනාසෙන්නට විය...
මොකද දෙන්නගෙ  හිනාව ? සිමෝනා ද  එසේ අසමින් ම කුස්සියට  පැමිණියාය..
නෑ මේ අළුත් ගෑණු ළමයා වැඩට යොදා ගන්නෙ කොහොමද කියලා සාකච්ඡා කළේ....
අනේ මේ.... මම නොදන්නවයැ දෙන්නගෙ සාකච්ඡා..... මම එකක් කියන්නං... ගෙරි මස් කනකොට බෙල්ලෙ බැඳගෙන කන්න එපා හරිද ? මේක ඇතුලෙ සම්බන්ධතා තියාගෙන ඒවා කඩාකප්පල් වුනොත් දෙන්නටම එකිනෙකාට මූණ දෙන්න බැරි වෙයි.... ඒකයි කියන්නේ කාර්යාලීය ප්‍රේමය (Office Romance) දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා.. අනික, උඹලා දෙන්නම කිසිම දෙයක් සීරියස් කරන්නෙ නැති බව දැන දැනත් ඔය වගේ වැඩ වලට නං ගෑවෙන්න එපා.. මම දෙන්නගෙම හොඳට කියන්නෙ... මේ මම වගේ පිටින් එකෙක් හොයා ගන්නවා... කිසි ප්‍රශ්නයක් නෑ... දවස තිස්සෙම කතා කරන්නවත් විදියක් නැති නිසා ගෙදර ගියාම උපරිම සැලකිලි ලැබෙනවා....
ආ.... අපි නොදන්නවයෑ ඒක.............
ඒක නෙවෙයි...Office Romance ගැන කතා කරනකොට මතක් වුනේ.... මොකද අර මෙගන් විශ්ව ගැන වැඩිපුර හොයන්නෙ ? මිනිහවත් දැලේ දාගන්නද ?
ඒ වගේ තමයි.... ගිය සතියෙ අපි කන්න එළියට ගිය වෙලේ යනකං හරස් ප්‍රශ්න... දැක්කනේ කන වෙලාවෙත් අහපු දේවල්.... මම හිතන්නෙත් මෙගන්ගෙ පොඩි කැමැත්තක් තියෙනවා විශ්ව ගැන.
ඇයි යකෝ අපි ඔටුවොද ? මෙච්චර කළක් අපි මේ ලැබ් එකේ හිටියා මෙගන්ට ඕනකම තිබුණා නං අපි දෙන්නගෙන් ඕන කෙනෙක් සපෝට් එකක් දෙනවනේ... අළුතෙන්ම පොරක් එනකං බලං හිටියේ... අපරාදෙ ජීවිතේ...
දන්නවනේ මෙගන්ගෙ හැටි.... හරිම High Maintenance......... එයාව ආම්බාන් කරන්න ඉතිං උඹට රස්සා දෙක තුනක් කරන්න වෙයි... උඹට පුළුවන්ද  මෙගන්ට  Prada අත් බෑග් අරන් දෙන්න හැම මාසෙම..... ඔන්න පුළුවන් නං සෙට් වෙයං..... අන්තිමට උඹට Bankruptcy file කරන්නයි වෙන්නෙ.....
කවුද  Bankruptcy file කරන්නෙ ? විශ්ව ද කුස්සියට පැමිණෙන අතරේ තිදෙනාගෙන්ම ඇසුවේය....
විශ්ව මේ.... මම උඹේ හොඳට කියන්නෙ.... වැරදිලාවත් මෙගන්ට නං සෙට් වෙන්න එපා පුතෝ.... උඹේ සේසතම ඉවර වෙයි බෑග් අරන් දීලා....
ස්තූතියි බිල්... මගේ එහෙම නං අදහසක් නෑ... දන්නවනේ ඉතිං මේක ඇතුලෙ ඔහොම දේවල් තියා ගත්තාම කරදරයි කියලා.....
පටන් ගන්නෙ ඔහොම තමයි පුතා... දන්නෙම නැතුව උඹ ඒකට වැටිලා තියේවි... මෙච්චර අපි හිටියා... අපි ගැන ඇහැක් ඇරලා බැලුවද ? උඹ ආවා විතරයි උඹ ගැන මාර සැලකිල්ලක් දක්වන්නෙ... අඩුම ගානෙ එක දවසක් අපෙන් ඇහුවද කන්න එළියට යං කියලා... උඹ ඇවිල්ලා සතියයි ගියේ... කෙල්ලම වචනෙ දැම්මනේ.... නැද්ද මයික්...
ඒක තමයි.... ඔන්න අපෙන් නං ඕක ආම්බාන් කරන්න ණය ගන්න එන්න එපා.... හරිද ?
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද විශ්ව ඔබ කියන්නෙ මේ ආකෘතිය වැරදියි කියලා ?
නැහැ, මම කියන්නෙ නැහැ මේක සම්පූර්ණයෙන්ම වැරදියි කියලා... නමුත් මේකෙ අඩුපාඩු තියෙනවා....
කොහොමද එහෙම කියන්නෙ ? මේක මීට ඉස්සර වෙලා අපි කොච්චරක් නම් අත්හදා බලලා තියෙනවද ? කාටවත් එහෙම දෙයක් අහු නොවුන එකේ ඔබ විතරක් කොහොමද කියන්නෙ මේ ආකෘතියෙ අඩුපාඩු තියෙනවා කියලා ?
හරි, මෙන්න මේකයි මයික් අඩුපාඩුව... මේ අපි අත්හදා බලන චන්‍ද්‍රිකා ක්‍රියාත්මක වෙන්නෙ කොහෙද ?
පිටත වායු ගෝලයේ. (Exosphere)
හරි... දැන් කියන්න බලන්න අපේ චන්‍ද්‍රිකා ස්ථාපනය කරන්න යන්නෙ කොතැනද කියලා...
පිටත වායු ගෝලයේ ක්ලාක් කක්‍ෂයෙ (Clark Orbit) පහළ ස්ථරයෙ.
ඔතැන සංයුතිය මොකක් කියලද ගණනය කිරීම් වලදි උපකල්පනය කරන්නෙ ?
එතැන දී උපකල්පනය කරන්නෙ වායුගෝලීය අවකාශය පරිපූර්ණ වායුවක් (Ideal Gas) ලෙස හැසිරෙනවා කියලා...
හරි...... එතකොට ඉස්සර මේක අත්හදා බලපු අය පිටත වායු ගෝලයේ සංයුතිය විදියට ගත්තෙ මොකද්ද ?
සාමාන්‍ය පිටත වායු ගෝලයේ සංයුතිය: හයිඩ්‍රජන් සහ හීලියම්; අපට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලැබෙන දත්ත වලින්.
දැන් මේ වායු ගෝලයේ සංයුතිය නිසා, අපි උපකල්පන දෙකක් කරනවා.
  1. ඉහළ අවකාශයේ අංශු ප්‍රමාණය නොසැලකිය හැකි තරම් නිසා ඒවා අතර පරමාණුක ඝට්ඨන නොසලකා හැරීම
  2. ඒ පරමාණු හෝ අංශුන් කිසිදු ඝට්ඨනයකට ලක් නොවී පරිපූර්ණ රේඛිය පථයක ප්‍රක්‍ෂෙපණය වන බව
හරිද ?
ඔව්.... දැන් විශ්වගෙ තර්කය මොකද්ද ?
තර්කය වෙන්නෙ මෙන්න මේකයි මයික්....
මේ පිටත අවකාශයේ ප්‍රමාණය තීරණය වෙන්නෙ සූර්ය ක්‍රියාකාරීත්‍වය මත, සමහර කාළවලදි මේ  පිටත අවකාශයේ සංයුතිය සමහර කාළවලදී වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ සංසිද්ධිය නොසළකා හැර තිබෙනවා. ඒ වගේම සූර්ය ක්‍රියාකාරීත්‍වය වැඩි කාළවලදී පිටවන අංශු ප්‍රමාණය අර අපි උපකල්පනය කළ නොසළකා හැරිය හැකි ප්‍රමාණය ඉක්මවා යනවා..  වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙද්දිත් මේ පිට වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙනවා... අපි මේ කරුණු නොසළකා හැර තිබෙනවා... මෙන්න මෙතැනදි අපි කිසියම් නිවැරදි කිරීමක් කළ යුතුයි...
පරිපූර්ණ වායු සමීකරණයේ පරිමාව සහ පීඩනයට අපි කරන නිවැරදි කිරීම්වගේ නිවැරදි කිරීමක් අපට මේ සඳහා යොදන්න බැරිද ?
පුළුවන්, නමුත් කවුද මේ ගණනය කිරීම් කරන්නෙ ? අපි දෙන්නටම ඒවා කරන්න වෙලාවක් නැහැ...
අමතක වුනාද ? ඒකට තමයි අද්මිරාල් බවර් අළුතෙන්ම ගෑණු ළමයෙක් එවුවෙ... දෙයියො එව්වා වගේ ඔය ඇවිත් ඉන්නෙ... අද්මිරාල් කිවුවෙ පුළුවන් තරම් වැඩ ගන්න කියලා... ඉතිං ගමු....
යමු.... අදම මේක කර ගත්තොත් අපට මේ සතිය වෙනකොට නිගමනයකට එන්න පුළුවන් වේවි...
ඒ වන විටත් මොලී සිටියේ කිසියම් ත්‍රිමාණ අනුරූපණයක් පරිඝණකයේ ක්‍රියාකරවිමිනි....
හලෝ මොලී.... අපට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?
සත්තකින්ම.... එන්න.... වාඩිවෙන්න......
මේ අපේ විශ්ව පොඩි තර්කයක් ගේනවා අපේ පැරණි පර්යේෂණවල අඩුපාඩුවක් ගැන... අපිට මේ ගැන කතා කරන්න පුළුවන්ද ? මොකද අපි හිතන්නෙ මේ උපකල්පන සංශෝධනය කළොත් සමහරවිට නිවැරදි  අගයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලයි.. ඒකට ඔයාගෙ ගණනය කිරීම් අත්‍යවශ්‍ය වෙනවා...
ඔව් පුළුවන් වෙයි.... හැබැයි මට විස්තර කරලා කියන්න... තවම මේ ගණනය කිරීම් මට පොඩ්ඩක් අළුත්....
කිසි ප්‍රශ්නයක් නෑ.. විශ්වගෙ තමයි අදහසත්, විශ්වම විස්තර කළා නම් හොඳයි...
මේකයි මොලී... දැන් අපේ පර්යේෂණ කරන චන්‍ද්‍රිකා රඳවන්නෙ  පිටත අවකාශයේ. නමුත් අපි මේ කටයුතු ත්‍රිමාණ අනුරූපණ කරනකොට සමහර සාධක මඟහැර තියෙනවා කියලා මට හිතෙනවා. අපට ඕන මෙන්න මේ සාධකත් ඇතුලත් කරලා ඒ ගණනය කිරීම් කරන්නයි. ඊට පස්සෙ අපේ ගණනය කිරීමෙන් ලැබුණ කරුණු ප්‍රායෝගිකව අනුරූපණය කරන්න පුළුවන් වේවි.
දැන් මොනවද ඔයා කියන සාධක ?
විශ්ව ජීවිතයේ මුල්ම වතාවට ඒ තරම් සුන්දර නිල් පැහැති දෑසක් දුටුවේ එදාය .... තමන් කෙතරම් කෙල්ලන් දැක ඇතත්, මේ තරම් කතා කරන දෑසක් හමු වූයේ නැති බව ඔහුට හැඟුණි....
විශ්ව සිය උපකල්පනය මොලීට පැහැදිලි කළත් ඔහුගේ සිත එකතැන නොමැති බව මෑතකදී හඳුනාගත් මයික්ට පවා  වැටහී තිබුණි....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව, මට ඔයාව අද හවස හම්බ වෙන්න ඕන.............

 :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව හමු වෙන්න ඕන වුනේ කාටද ? පසුව දැනගනිමු....

Saturday, November 24, 2012

පිටස්තරයා...................... ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්..............


පූර්විකාව.
මෙය මාගේ කතාවකැයි මම නොකියමි. මෙය ඔහුගේ කතාව දැයි ද මම නොකියමි. මේ කතාවක් ද නොවේ... මේ සිදුවීම් පෙළක් පමණි. මා සිදු කරන්නේ ඒ සියළු සිදුවීම් එක්තරා පිළිවෙලකට පෙළගැස්වීම පමණි. මෙය උදක්ම ඇයගේ උවමනාවට සිදු කරන්නකි. මෙය සත්‍ය සිදුවීම් වැලක් ද විය හැක...නමුත්, සියයට සියයක්ම සත්‍ය නොවීමට ද පුළුවන. අතිශයෝක්තීන්ගෙන් බැහැර වූ මේ සිදුවීම් පෙළෙහි අවසානය කුමක් වේදැයි තවමත් මා නොදන්නේ මේ සියල්ල තවමත් ඈ මට පවසමින් සිටින නිසාවෙනි. සමහරවිට දිගු කළෙකින් ඈ හමු නොවුවහොත් මේ සිදුවීම් ඔබ වෙත ගෙන ඒමට ප්‍රමාදයක් විය හැකිය. මෙහි වූ සියළු චරිත සත්‍ය විය හැකි අතර ස්ථාන සහ අවස්ථා සම්බන්ධයන් බොහෝ අවස්ථාවල සත්‍ය බව පැහැදිලිවම මට පැවසිය හැකිය. ඔබට උපදේශ කිහිපයක් ලබා දීමට ඇත. කිසි විටෙක එකවරම කිසිදු සිදුවීමක්, චරිතයක් කෙරෙහි අවසාන නිගමනයකට නොපැමිණෙන්න..... පැහැදිලිවම මෙය විද්‍යාවේ සියළු අංශ සම්බන්ධ කෙරෙන සිදුවීම් මාලාවකි. එය ඔබට ඇත්තෙන්ම නීරස විය හැකිය... නමුත් ඔබට දැනගැන්මට සියල්ල පෙළගැස්විය යුතුය...... මෙහි වෙසෙන චරිත සියල්ල එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත වේ. සිදුවීම් මාලාව වඩාත් පැහැදිළි කරනු වස්, ස්ථාන, චරිත, සහ අවස්ථාවන්ගේ මූලික හඳුන්වාදීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.

ස්ථානය :
අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනය (US Naval Research Laboratory) අංක 4555,  ඕවර්ලුක් මාවත, ගිණිකොණදිග වොෂිංටන් , ඩී සී 20375. විශේෂයෙන් අමෙරිකානු නාවික හමුදාවේ ක්‍රියාන්විතයන් සහ වෙනත් අමෙරිකානු හමුදා අංශවල අභිවෘද්ධිය කෙරෙහි බලපාන පර්යේෂණ සිදු කෙරෙන දැඩි ආරක්‍ෂක විධිවිධාන යටතේ පවත්වාගෙන යන පර්යේෂණ මධ්‍යස්ථානයකි. පර්යේෂණායතනයට අළුතින්ම එක්වූ අංගය වන්නේ   අවම ගුරුත්වාකර්ෂණ මේසයයි. මෙය කැලිෆෝනියාවේ ක්ලෝවිස් හි රේමන්ඩ් ග්‍රැනයිට් පතලෙන් ලබා ගන්නා ලද වර්ග අඩි 450 ක වපසරියක් ඇති අඩි එකහමාරක ඝණකමක් ඇති තලය මතුපිට පුරාවරම අඟල් 0.0018ක වෙනසක් ඇති, ටොන් 37.5ක් බර ලෝකයේ විශාලතම තනි ග්‍රැනයිට් තලය වේ. මෙය අභ්‍යවකාශයේදී අභ්‍යවකාශ යානා හැසිරෙන ආකාරය අනුරූපණය කිරීම පිණිස ඝර්ෂණය අවම වන සේ සකස් කළ සුවිශේෂී මේසයකි. මෙයින් ලැබෙන අගයයන් නිරවද්‍යතාවය අනුව සියයට අනූ නවයකුත් දශම ස්ථාන අටකට ගණනය කළ හැකි බව සනාථ කරගෙන ඇත. මෙහි සේවය කිරීම සඳහා බොහෝ විට බඳවාගනු ලබන්නේ ඇමරිකානු පුරවැසියන් වන අතර ඔවුන් දැඩි පරීක්‍ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව ඇමරිකානු පොලීසියේ අපරාධ පරීක්‍ෂණ ඒකකය වන එෆ් බී අයි ඒජන්සිය විසින් සිදු කරන විපරමකින් අනතුරුව සහ බඳවාගැනීමට පෙර සිදු කෙරෙන සුවිශේෂී වෛද්‍ය පරීක්‍ෂණවලින් ද සමත්වන අයට පමණක් මේ පර්යේෂණ අංශයේ සේවය කිරීමේ අවකාශ ලැබේ. බොහෝ විට අමෙරිකානු පුරවැසියන් නොවන පුද්ගලයින්ට මේ ආයතනය ඇතුලට අඩියක් වත් තැබීමට නොහැකි වන අතර එසේ යාමට නම් සුවිශේෂී අවසරයක් ලබා ගත යුතුය.
නාවික පර්යේෂණායතනයේ ඇති අවම ගුරුත්ව මේසය

සිය චරිතයේ කළු පැල්ලමක් ඇති කිසිවෙකු මේ ආයතනයේ ස්ථිර සේවය සඳහා නුසුදුසු වේ. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වූ පසු බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධතාවයක් තබාගත නොහැකි වන සේ ජංගම දුරකථන සංඥා සියල්ල අවහිර කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර, සේවකයින් සියළුම දෙනාගේ  සම්බන්ධතා නිතිපතා විමර්ෂණය කෙරේ. ගේට්ටුවේ සිට පර්යේෂණායතනයට ඇති ගමනේදී පස් වතාවක් සිය අනන්‍යතාවය ප්‍රකාශ කළ යුතුය. අවසාන කඩඉම කටහඬ පරීණක්‍ෂයයි. එය එතරම්ම ආරක්‍ෂිත ස්ථානයක් වන්නේ ඇයිදැයි කිසිවෙකු නොදනී.  ආයතනයට බඳවා ගැනීමේදීම රහස්‍ය භාවය සුරකින ලිපියකට අත්සන් ගැනීම සිදු වන අතර එම ගිවිසුම කඩ කෙරෙන සියළුම දෙනා ක්‍ෂණයකින් සේවයෙන් පහකොට ආරක්‍ෂක අංශ වෙත භාර කෙරෙනු ලැබේ. මේ අංශයේ පර්යේෂණ සඳහා  අවකාශ ලැබෙන්නේ බුද්ධි ඵලය (IQ) අගයය 150 ට වඩා වැඩි  බුද්ධි මට්ටමක් ඇති ඉංජිනේරුවරුන් පමණි.

චරිත :
මැතිව් ජෝසප් සොලමන්:
මැසෙචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ ඉලෙක්ට්‍රොණික ඉංජිනේරු ආචාර්ය උපාධියක් හිමි බුද්ධි ඵලය 162 ක් හිමි තරුණයෙකි. ද්‍රව අවකාශයේ අණුක හැසිරීම පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරූ හෙතෙම විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරීන් අතරින් ජනප්‍රියතම ආචාර්ය උපාධිධාරියා වූවේ ආචාර්ය උපාධියෙන් අනතුරුව ද්‍රව අවකාශයේ අණුක හැසිරීම සහ ඒවායේ චුම්භකත්‍ව ගුණ  අනුමාන කිරීමේ හැකියාව සහිත  පරිඝණක වැඩසටහනක් ලියා ඇපල් ආයතනයට විකිණීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක්  ලබා ගැනීමත්,  ඒ මුදල සිය පෞද්ගලික පරිහරණයට නොගෙන මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දුප්පත් දරුවනට ශිෂ්‍යත්‍ව සැපයීමේ අරමුදලක් ඇරඹීමත් සමඟිනි. ඕනෑම අංකමය ගණනක් මනෝමයෙන් විසඳීමේ හැකියාව ඇති ඔහු කලාව, දේශපාලනය, ආගම වැනි එකිනෙකට වෙනස් ක්‍ෂෙත්‍රවල හසළ දැනුමක් ඇති පුද්ගලයෙකි. අමෙරිකානු ජනාධිපති මන්දිරයේ විශ්ලේෂකයෙකු ලෙස ලැබුණ තනතුරත්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආධුනික මහාචාර්යවරයෙකු ලෙස ලැබූ තනතුරත් අතේ දරාගෙන හෙතෙම නාවික පර්යේෂක ආයතනය වැනි ස්ථානයක සේවය කිරීම සඳහා සටන් වැද සිටී.

ඇන්ඩ්‍රියා ජීන් සමර්ස් : 
කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය නිමකළ ඇය එම විශ්ව විද්‍යාලයේම පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂිකාවක් ලෙස සේවයට බැඳුනාය. ස්වයංක්‍රීය රොබෝවරුන් තැනීම පිළිබඳ පර්යේෂණ කළ ඇය රොබෝවරුන්ට අපරාධකරුවන්ගේ  සුවිශේෂී අංග ලක්‍ෂණ අනුව හඳුනාගැනීමේ හැකියාව ලබාදීමේ පරිඝණක වැඩසටහන් සැකසීමටත්, ඒවා යාන්ත්‍රීකරණය කිරීමටත් සමත් වූ තැනැත්තියකි. බුද්ධි ඵලය 159කි. රහස් සංකේත සහ රහස් පණිවුඩ විසඳීමට ඇති සුවිශේෂී හැකියාව නිසාම ලත් අමෙරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සියේ (NSA) ගුප්ත සංඥා ඒකකයේ රැකියාවත්, එහි සේවයෙන් වසරකට පසු එහි ප්‍රධානියා විසින්ම පෞද්ගලිකව යොමු කරන ලද අපේක්‍ෂිකාවක් නිසාත්, කාන්තා පර්යේෂිකාවන්ගේ විරලත්‍වය නිසාත් ඇයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.

විශ්ව සමාධි සූර්ය බණ්ඩාර: 
අමෙරිකාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන පරපුරේ තරුණයෙකි. නිහඬ චරිතයකි. බුද්ධි ඵලය 166 කි. කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රති-ගුරුත්වාකර්ෂණය පිළිබඳ අංශයෙන් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත. සියළුම විභාග වලින් සියයට සියයක් ලකුණු ලබාගැනීමත්, විශ්ව විද්‍යාලයේ බුද්ධිමත්ම ශිෂ්‍යයා ලෙස තේරී පත්වීමත් නිසා ප්‍රසිද්ධ වී ඇත. වයස අවුරුදු 16 න් පසු ඔහු මුහුණ දුන් සියළුම විභාගවල ලකුණු 100% ක් ලබා ගැනීම නිසා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ නවක මහාචාර්යවරයෙක් ලෙස පත්වීමක් ලැබ ඇත. සිය ආචාර්ය උපාධි අපේක්‍ෂක කාළය තුළ පර්යේෂණ පත්‍රිකා 24ක් පළ කරමින් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නව වාර්තාවක් තබා ඇත. ශ්‍රී ලාංකිකයෙකුගෙන් දැකිය නොහැකි අසාමාන්‍ය උසක්, පැහැපත් බවක් දක්නට ඇත.

දිගහැරුම:
අපේක්‍ෂකයින් තිදෙනා වෙන වෙනම දේශන ශාලා තුනක එකම අවස්ථාවේ සිය පර්යේෂණ ඉදිරිපත් කරමින් සිටිති. නමුත් කිසිදු පුද්ගලයෙකු ඔවුන් ඉදිරිපිට නොමැත. වෙනත් කාමරයක සිට තිදෙනාගේම සජීවී දර්ශන එකවිට  නරඹන පුද්ගලයින් සිවු දෙනෙකි.  නාවික පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂක අද්මිරාල් රිචර්ඩ් බවර්, සී අයි ඒ ආයතනයේ පුද්ගල චර්යා අංශයේ ප්‍රධානි නැන්සි පෙපර්, නාවික පර්යේෂණායතනයේ ප්‍රධාන පර්යේෂක ඩෙනිස් ලිපර්ඩ්, සහ ප්‍රතිගුරුත්වාකර්ෂණ පර්යේෂණ අංශයේ ප්‍රධානි නීල් ෆියු ඒ සිවු දෙනාය.
කිසිවෙකු කලබලයෙන් වසා ඇති දොරට තට්ටු කරයි.
කවුද මේ වෙලාවෙ ?
අද්මිරාල් තුමනි.. මම... ෆිලිප් කවුෆර්...... ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයෙන්....
එන්න..... ඇතුලට ෆිලිප්.... කවුද  අසමත් ?
කවුරුවත් අසමත් නැහැ... නමුත් එක පුද්ගලයෙක්ගේ රුධිරය හරිම අසාමාන්‍යයි... රුධිර සාම්පල් ගත්තෙ මමමයි.. ඒ නිසා මට වරදින්න විදියක් ඇත්තෙම නැහැ. සියළුම පරීක්‍ෂණ තුන් වතාවක් සිදු කළා... ඒ සියළුම ප්‍රතිඵල සියයට අනූ නවයක් එකිනෙකට ගැලපෙනවා... නමුත් මේ සාම්පලයේ නම් කුමක් හෝ වැරැද්දක් තිබෙනවා.. එක්කෝ මේ පුද්ගලයා රුධිර පාරවිලයනයක් කරලා වෙනම රුධිරය ලබාගෙන, නැතිනම් විශාල අසාමාන්‍යතාවයක්... මගේ ජීවිතයේ මේ වගේ රුධිර සාම්පලයක් විශ්ලේෂණය කළ පළමු වතාව.
කලබල වෙන්න එපා ෆිලිප්... අසාමාන්‍යතාවය මොකක්ද කියලා කියන්න.......
මේ සාම්පලයෙ කිසිම දෙයක් අසාමාන්‍ය නැහැ. සීනි මට්ටම, කොලෙස්ටරෝල්, ප්‍රතිදේහ, රුධිර පට්ඨිකා ආදී සියල්ල කිසිම වරදක් නැතිව තිබෙනවා.
ඉතින් එහෙනම් ඒක හොඳයි නෙ.....
නමුත්..... මේ රුධිර සාම්පලය අළුත උපන් ළදරුවෙක්ගෙ වගේ පිරිසිදුයි....
ඉතින් ඒ කාගෙ රුධිර සාම්පලයද ?
ඒක මෙන්න මෙයාගෙ සාම්පලය.
මොකක් ?
මෙයාගෙ.. ඒක වෙන්නෙ කොහොමද ?
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඒ කියන්නෙ හැම දෙයක්ම පිරිසිදුයි....
සියයට සියයක්ම....
තවත් වතාවක් පරීක්‍ෂා කරලා බලන්න....
තවත් බලන්නෙ මොනවද ? තුන් වතාවක් කළා... එකම ප්‍රතිඵලය එන්නෙ.... කිසිවක් සොයා ගන්න නැහැ...
අඩුම ගානෙ මාර්ග නීති කඩ කිරීමක් වත් ?
නැහැ...
ආයෙම බලමු පාසැල් යනකාලෙ ගත්ත වීඩියෝ සටහන්...
බලන්න.. මෙන්න මේ ඉන්නෙ එයා.. කිසිම කලබලයක් නැතුව නියමිත ඉලක්කයටම පන්දුව යොමු කරනවා. කිසිම වෙලාවක වරදින්නෙ නැහැ.. අල්ලගන්න පුද්ගලයා බිම දැමුවොත් මිසක්.. කිසිම වෙලාවක නීති විරෝධී අන්දමින් ක්‍රීඩා කරන්නෙවත් නැහැ..
මේ තියෙන්නෙ සමස්ත ඇමරිකානු ටයි-ක්වොන්ඩෝ අවසාන තරඟය.... කිසිම ගණනකට නැතිව ප්‍රතිවාදියා බිම හෙලන්නෙ... දාඩිය බිංදුවක් හෙලන්නෙ නැතිව... කොහොමද මෙහෙම වෙන්නෙ... මේක අවසාන තරඟයක්.....
එතකොට විශ්ව විද්‍යාලයෙ කිසිම සිදුවීමක් වාර්තා වෙලත් නැද්ද ? ගැටීමක්.... රණ්ඩුවක්.... මත්පැන් සම්බන්ධව වත්...
නැහැ.. අවම වශයෙන් මත්පැන් සම්බන්ධයෙන් වත් කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ...
Facebook Account එක ?
කිසිම වැරැද්දක් නැහැ...
Twitter, Linked-In, Research Gate, My Space,.. E-mail ?
කිසිම දෙයක සැක කටයුතු දෙයක් හොයා ගන්නවත් නැහැ.. ඔක්කෝම පිරිසිදුයි... වැරදි පින්තූරයක්වත් නැහැ..
මේක වෙන්න බැහැ... කොහොමටවත් වෙන්න බැහැ...
ආයෙම ස්පයිඩර් වැඩසටහන සියළුම දේ වලට යවලා බලන්න.. මෙහෙම පිරිසිදු ඉතිහාසයක් තියෙන කෙනෙක් අපේ ආයතනයෙවත් හොයා ගන්න බැහැ... එක්කෝ මෙයා ලොකු හොරෙක්.. ඔක්කෝම දේවල් හොඳින් වහන්න දන්නවා... නැතිනම් මෙතන ලොකු අසාමාන්‍යතාවයක් තියෙනවා.
හොඳයි... අපි ආයෙත් වතාවක් බලමු...
ස්ථානය... එෆ් බී අයි මූලස්ථානයේ පුද්ගල තොරතුරු ඒකකය... ඒජන්ත ජෝන් හැන්සන් සහ බෙන්ජමින් යංග් ට පැවරී ඇති රාජකාරිය වන්නේ අදාල පුද්ගලයින් තිදෙනාගේ යටගියාව හාරා ඇවිස්සීම වේ... කුඩා කළ සිට දැන් දක්වා තොරතුරු එක් කර ලිපි ගොණු තුනක් තැනීමට ඔවුනට ලැබී ඇති කාළය සීමිත වුවත් අන්තර්ජාලයේ මෙන්ම ඒජන්සියේ ඇති සුවිශේෂී පරිඝණක වැඩසටහන් නිසා ලොව බොහෝ දෙනෙකුගේ තොරතුරු ඇසිල්ලකින් පරිඝණක තිරය වෙත ලබා ගැනීමේ හැකියාව ඔවුනට ඇත. ඔවුන් සකස් කළ ස්පයිඩර් වැඩසටහන මගින් ලොව ඇති සියළුම තොරතුරු සෙවීමේ වෙබ් අඩවිවල ඇති  ජාලගත තොරතුරු ඒ ඒ වෙබ් අඩවි මාර්ගයෙන්ම පෙරාගෙන ක්‍ෂණිකව ලබාගත හැකි ආකාරයේ අති නවීනතම වැඩසටහනකි.
පසුගිය වසරේ එෆ් බී අයි වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කළ චීන විශ්ව විද්‍යාල සිසුවෙකු දැලට හසු කරගත් ඒජන්සිය, ඔහුව සිය පරිඝණක ආරක්‍ෂක අංශයට බඳවා ගත්තේය. මෙවැනි දක්‍ෂතා ඇති පුද්ගලයින් සහ අති සූක්‍ෂම සොරකම් සිදු කරන පුද්ගලයින් ඒජන්සියේ සම්පත් දායකයින් ලෙස බඳවා ගැනීම  එහි ප්‍රතිපත්තියකි. ඒ ඔවුන්ගේ සූක්‍ෂම බුද්ධියෙන් ප්‍රයෝජන ගැනීම සහ අනාගතයේ ඔවුන්ගෙන් එල්ල විය හැකි විශාල අනතුරු වලින් ඒජන්සියත් පුරවැසියනුත් බේරා ගැනීම සඳහා සිදු කෙරෙන ආරක්‍ෂක ක්‍රියාදාමයක කොටසකි. මේ තාක් කල් එහි ප්‍රතිඵල යහපත් විය. මේ පරිඝණක වැඩසටහන ද ඉහත කී චීන ජාතික තරුණයාගේ නිර්මාණයකි.
විනාඩි කිහිපයකින් දත්ත ලැබුණි...
කිසිම වැරැද්දක් නැහැ... මේක නම් වෙන්න බැරි දෙයක්... අපි මේක දන්වන්න ඕන... නැතිනම් අපටයි අවනම්බු.... ඒජන්ත ජෝන් අනෙකාට පැවසීය....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නමුත් එකම වැරැද්දක් තියෙනවා මෙතන....
බලන්න... රුධිර හිමෝග්ලොබීන් ප්‍රමාණය සාමාන්‍ය වැඩුනු මිනිසෙකුට වඩා වැඩියි... අන්න ඒකයි මම කිවුවෙ මේ රුධිරය අළුත උපන් දරුවෙකුගෙ රුධිරය හා සමානයි කියලා... වැඩුනු මිනිසෙකුගේ හිමෝග්ලොබීන් ප්‍රමාණය  14-18 g/dL විය යුතුයි.... ඒත් මෙයාගෙ ඒ අගය 21 g/dL. ඒ අගය හරියටම සමාන වෙන්නේ  අළුත උපන් දරුවෙකුට.. ඒ කියන්නෙ 17-22 g/dL. මේකයි මට තිබෙන ප්‍රශ්නය...
ෆිලිප් හිස කසමින් නොයිවසිලිමත්ව පිළිතුරු දුන්නේය....
මෙහෙම වෙන්න හේතු තියෙනවද ?
ඔව්... හේතු කිහිපයක් තිබෙනවා.. එකක් තමයි මෙයාට මොළයේ අසාමාන්‍ය ගෙඩියක් හෝ පිළිකාවක් වැනි තත්ත්‍වයක් තිබීම නිසා හිමෝග්ලොබීන් අධිකව නිෂ්පාදනය වීම... අනෙක පෙනහළුවල එම්ෆිසීමා නම් වූ තත්ත්‍වය නිසාත් හිමෝග්ලොබීන් අධිකව නිෂ්පාදනය වෙනවා...
නමුත් එක්ස් රේ සහ එම් ආර් අයි පරීක්‍ෂණ වලින් මේ බව තහවුරු වෙන්න තිබුණා නේද ?
ඔවු... එක්ස් රේ, කැට් ස්කෑන්, සහ එම් ආර් අයි පරීක්‍ෂණ කිසිම දෙයකින් ඒ වගේ අසාමාන්‍යතාවයක් පෙන්නුම් කළේ නැහැ.
තවත් සාධක තිබෙනවාද ?
ඔව්.. අපට පිළිගත හැකි ආසන්නතම සාධකය තමයි ඔහු හොඳ මළල ක්‍රීඩකයෙක්... මේ නිසා වැඩි ශක්තියක් ලැබ දෙන්න රුධිරයට එකතු කරන එරිත්‍රොපොයටින්  වැනි ඖෂධ නිසාත් රුධිරගත හිමෝග්ලොබීන් වැඩි වෙනවා...
අහ්... ඒක වෙන්න පුළුවන්... කරපු හැම ක්‍රීඩාවකින්ම හොඳ දක්‍ෂකම් පෙන්වලා තිබෙනවා.... ඒ විතරක් නොවෙයි.. පාසැල් මට්ටමේදි, විශ්ව විද්‍යාල මට්ටමේදී මේ රුධිර මාත්‍රණයට පරීක්‍ෂා කරන්නෙ නැහැ.... මෙයා අමු හොරෙක්... ! සිය හැඟීම් ප්‍රසිද්ධියේ කිසිදා  පිටතට නොපෙන්වන  නැන්සි පෙපර් සිය ඒකාග්‍රතාවය බිඳ දමා පැවසුවාය...
නැහැ... එහෙම කියන්න බැහැ... එහෙම මාත්‍රණයක් කළා නම් රුධිර පරීක්‍ෂාවෙදි අනිවාර්යයෙන් අපට සොයා ගන්න පුළුවන් වෙනවා. මේ රුධිර පරීක්‍ෂාව ලෝකයේ වෙනත් පරීක්‍ෂණ වලට වඩා දියුණු බව ඔබතුමිය දන්නවා නෙ... ඒක කොහොමටවත් වෙන්න බැහැ..
මෙහෙම වෙන්න බැරිද ? මෙයා රුධිරයේදී සුළු කළෙකින් විනාශවන බෙහෙතක් මේ සඳහා පාවිච්චි කළා වෙන්න බැරිද ?
බැහැ... මේ රුධිර සාම්පලය අති පිරිසිදුයි...අවම වශයෙන් නිකටින් ස්වල්පයක් වත් නැහැ... ඒ නිසා දුම් බොන තැනැත්තෙක් කියන්නත් අමාරුයි... පුදුමය කියන්නේ මේ සාම්පලයෙ කිසිම බැර ලෝහයක් වත් නැහැ.... සාමාන්‍යයෙන් මිනිසෙක් පාරෙ ඇවිදිනවිට ආඝ්‍රාණය වන දුමෙන් ඇඟට ඇතුළුවන අංශූන්ගෙන් වත් මේ රුධිරය අපිරිසිදු වෙලා නැහැ..
එක්කෝ මේ රුධිරය තිබෙන පුද්ගලයා අති නවීන අති පිරිසිදු පරිසරයක අවුරුදු ගණනාවක් ජීවත් වන පුද්ගලයෙක් විය යුතුයි. නැත්නම් නිතර නිතර රුධිරය මාරු කරන පුද්ගලයෙක් විය යුතුයි. නමුත් මේ කරුණු දෙකම අපට ඉවත දමන්න සිදු වෙන්නෙ මෙයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්... ඒ වගේම ශරීරයේ කිසිදු සළකුණක් නැහැ එසේ රුධිරය මාරු කිරීමට එන්නත් කිරීමක් කරපු.... මේකයි මට තියෙන ප්‍රශ්නය...
අපට තිබෙන්නේ විකල්ප දෙකයි... මෙතෙක් වේලා නිහඬව සියල්ල අසා සිටි ප්‍රධාන පර්යේෂක ඩෙනිස් ලිපර්ඩ් සෙමෙන් කඩහඬ අවදි කළේය...
එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන... නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්‍රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්... දැනටමත් අපි ඒ ගැන පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ..
ඔබට පිස්සුද ඩෙනිස් ?! අද්මිරාල් වරයා ගුගුලේය...
අපි කොහොමද මනුස්සයො මෙයාව නුසුදුස්සෙක් කියලා ඉවත් කරන්නෙ ? මෙයාගෙ සුදුසුකම් අනිත් දෙන්නාට වඩා වැඩියි... අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ ඔහු පර්යේෂණ ඉදිරිපත් කිරීමෙන් අසමත් වේවි කියන එක පමණයි. නමුත් මේ වගේ පුද්ගලයෙක් එයින් අසමත් වේවිද ? මොනවා වුනත් පරිඝණක වැඩසටහන් වලට බොරු කරන්න බැහැ.. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා මේ හැම තීරණයකටම හේතු දක්වන්න... ඔබ හිතන්නේ මේ වගේ එක දෙයක් නිසා ඔහුව අයින් කළා කියන ළදරු  පිළිතුර ඉහළ පාලනාධිකාරිය භාර ගනී කියලද ? මේක මගේ රස්සාවත් ගහලා යන වැඩක්.... අපි මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන ඩෙනිස්.. අපි මීට වඩා සූක්‍ෂම වෙන්න ඕන...... මම බලාපොරොත්තු වුනේ නැහැ ඔබෙන් මේ වගේ උත්තරයක්... දෙයියන්ගෙ නාමෙට ඔයා  මෙතන පර්යේෂණ ප්‍රධානියා.. තත්ත්‍වයට ගැලපෙන්න කතාකරනවා... !
සියල්ලෝම අද්මිරාල් වරයාගේ ගිගිරීමට තුෂ්නිම්භූත විය...
සාමාන්‍යයෙන් ඉතාම නම්‍යශීලී සුහද පුද්ගලයෙක් වන අද්මිරාල්වරයා ඉහළ සමාජයේ සියළුම දෙනාගේ ගෞරවය දිනා සිටි ඉතා වැදගත් නිලධාරියෙකි. කිසිවිටෙක සිය නිවුණු බව බිඳ නොගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රකටය...,
USS Mount Whitney

2008 අගෝස්තු 7 සහ 8  දෙදින තුළ ජෝර්ජියාව  විසින් දකුණු ඔටිස්සාව අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ වෙත දරුණු හමුදා ප්‍රහාරයක් දියත් කළේය... ඒ සඳහා ජෝර්ජියාව ඉදිරිපත් කළ නිදහසට කරුණු වූයේ සිය සාම සාධක හමුදාවන්ට සහ මහජනයාට රුසියාව විසින් එවනු ලබන සාම සාධක නොවන හමුදාවන් විසින් දියත් කරන ප්‍රහාරයන්ගෙන් ඔවුන් ගලවා ගැනීම උදෙසා කරන ප්‍රහාරයක් බවයි. මෙහිදී ඔටිස්සා හමුදා සමඟ එක්වූ රුසියානු සාම සාධක භටයින්ට ජෝර්ජියා හමුදාවන්ගෙන් දැඩි හානි සිදු විය. ජෝර්ජියානු භටයින් විසින් ට්ක්‍ෂින්වාලි ප්‍රදේශය ඉතා සුළු කාළයකින් අත්පත් කරගන් ලැබීය. මේ සඳහා රුසියාව ප්‍රතිචාර දැක්වුයේ ප්‍රති ප්‍රහාරයන්ට සිය 58 වන හමුදා ඛණ්ඩය එක් කිරීමෙන් සහ විශ්වාසනීය සහ සැපයුම් ඉලක්කයන්ට ගුවන් ප්‍රහාරයට එල්ල කිරීමෙනි. මේ කෙටි යුද්ධය දින පහේ යුද්ධය ලෙස ප්‍රසිද්ධියට පත් විය. රුසියාවට අනුව මේ ප්‍රති ප්‍රහාර මානුෂීය මෙහෙයුමට අත්‍යවශ්‍ය බව සාධාරණීකරණය විය. මේ දිනවලම නේටෝවට සහාය දක්වන මවුන්ට් විට්නි ඇමෙරිකානු යුධනැව කළු මුහුදේ සිට මේ යුධයෙන් අවතැන් වූවන් සඳහා සහනාධාර ගෙන යාමට "සහතිකවම ආධාර බෙදාහරින" (Operation Assured Delivery) නම් වූ යුධ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ජෝර්ජියාවට ආධාර සැපයීම අපහසු කාර්යයක් වුවත් අද්මිරාල් රිචර්ඩ් බවර් සිය දක්‍ෂතාවය සහ අත්දැකීම් මනාව ඔප්පු කරමින් පෝටි වරායට ආධාර ගෙන ආ පළමු නේටෝ නැව ගෙන එමින් සාර්ථකව මෙහෙයුම අවසන් කළේය. මේ නිසාම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සිය අත්දැකීම් තවදුරටත් සිය රටට ලබාගනු වස් ජනාධිපතිවරයා විසින් ඔහු නාවික හමුදා පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය... ඔහු 2009 සිට මේ දක්වාම ඒ ධුරය හොබවමින් සිය ආයතනයෙන් සිදු කෙරෙන සේවය වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස මාතෘභූමියට ලබා දෙමින් සිටී.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දැන් තුන්දෙනාම හොඳින් විවේක ගන්න..... විනාඩි 15 කට පසු අපි ඔබව නැවත අමතන්නම්.......
එක් එක් කාමරයේ වූ කුඩා ස්පීකරයෙන් අපේක්‍ෂකයින් තිදෙනාටම විධානයක් ලැබුණා. ඒ කාගෙ කඩහඬද, කොහේ සිට විධානය දෙනවාදැයි යන්න කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. නමුත් තමන්ගේ සියළුම චර්යාවන් පිළිබඳ කිසිවෙකු හෝ ඉතාම පරීක්‍ෂාවෙන් සිටින බව තිදෙනාටම අවබෝධ වී තිබුණා. ඒ නිසා තමන්ට කිසිම අවාසියක් වන අන්දමේ කටයුත්තක නොයෙදීමට මේ තිදෙනාම දැනගෙන සිටියා.. පසෙකින් නොකැඩූ වතුර බෝතලයක් සහ කුකීස් නම් බිස්කට් පිඟානක් තිබුණා. New Research Frontiers නම් නවතම පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳ වගතුග දැක්වෙන සඟරාවද ඔවුන්ගේ පරිහරණයට මේසය මත තබා තිබුණා. මේ සියල්ල සම්මුඛ පරීක්‍ෂණයට අදාල අංග වුනා.. තම අපේක්‍ෂකයින් කාළය කා දමනවාද, නැතිනම් ඒ සුළු වෙලාවත් කිසියම් ප්‍රයෝජනවත්  වැඩක යෙදෙනවාද යන්න නිගමනය කිරීමට මේ සියල්ල තබා තිබුණා.
ඉතා ඉහළ බුද්ධියක් ඇති තිදෙනාම සිය අනාගත රැකියාව උගසට තැබීමට සූදානම් වුනේ නැහැ. තමන් පැමිණි කාරණයත්, ඒ සඳහා මුහුණ දිය යුත්තේ කෙසේදැයි යන්නත් මනාව දැනගෙන සිටි තිදෙනාම  බිස්කට් එකක් බැගින් රැගෙන ජලය බෝතලය පානය කරන අතරේ පසෙක වූ සඟරාවේ පිටු පෙරළුවා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බීප් බීප්......... බීප් බීප්......... ...බීප් බීප්.........
හලෝ..... ජනරාල් වෙලිංටන්ගෙ කාර්යාලය... මම මෙගන් වොලික්..... කෙසේද මම ඔබට උදවු කරන්නෙ ?
හලෝ... මම අද්මිරාල් බවර්.... නාවික හමුදා පර්යේෂණ ආයතනයෙන්... මට ඔබේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් ද ?
පුළුවන් අද්මිරාල් තුමනි... ඉන්න මම සම්බන්ධ කරන්නම්...
ජනරාල් චාර්ල්ස් වෙලිංටන් ලිය වසරේ විශ්‍රාම යන තුරුම පසුගිය වසර අටක් පුරාම සේවය කළේ යුධහමුදා බුද්ධි බලකායේ ප්‍රධානියා හැටියටය. විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ බුද්ධි බලකාය භාරව සිටි ඔහු එහි සිටි එෆ් බී අයි, සී අයි ඒ මෙන්ම වෙනත් රහසිගත අංශ ගණනාවක්ම අධීක්‍ෂණය කළ ඉතා දක්‍ෂ එහෙත් දරුණු පුද්ගලයෙකි. දැඩි මතධාරියෙකු වූ හෙතෙම රටේ ආරක්‍ෂාව පළමුකොට සැලකූ නිලධාරියෙකි. කිසිදු අතපසුවීමකට ඉඩ නොතබන ඔහු අකාර්යක්‍ෂමතාවය ඉදිරියේ නයෙකු මෙන් කිපෙන පුද්ගලයෙකි. තවමත් අවිවාහක ඔහුගේ ජීවිතය වූයේ ජාතික ආරක්‍ෂක ඒජන්සියයි. උදෑසන හය වන විට කාර්යාලයට පැමිණෙන ඔහු පිටව යන්නේ රාත්‍රී හතද පසු වූවාට පසුවයි. රාජකාරි කටයුත්තක් හැරුණුකොට සිය ජීවිතයම කාර්යාලයේ ගෙවන ඔහුට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ ඔහුට ඇති සූක්‍ෂම බුද්ධියත්, අනතුරක් කල් තබා දැන හැඳින ගැනීමේ "ඉව" ත් ඇති නිසාය... රටේ වූ සියළුම අන්තර්ජාල වැඩසටහන්, ඊ මේල්, ඇතුළු බොහෝ පරිඝණක දත්ත හුවමාරුවීම් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැවැන්ත පෙරණය හරහා යන නිසාම ඔහුට ඒ ඉව ලැබී ඇත. බුද්ධි අංශ නිලධාරීන් අතර Blood Hound යන නාමයෙන් හැඳින්වෙන ඔහු අමෙරිකානු ආරක්‍ෂක කවුන්සිලයේ ඉතා වැදගත් පුද්ගලයෙකි.
ජාතික ආරක්‍ෂක ඒජන්සි මූලස්ථානය

හලෝ ජනරාල්........
කොහොමද මිත්‍රයා...... මොකක්ද මගෙන් අද කෙරෙන්න ඕන..... ජනරාල් වරයා ඍජුවම ඇසීය....
මට යමක් දැනගන්න අවශ්‍යයි.... ඒ කිසියම් පුද්ගලයෙක් ගැන.....
ඔබ දන්නවා මම CIA එකවත් FBI එකවත් නොවන වග, තරහ වෙන්න එපා... ඒවගේ දේවල්වලට තමයි ඒ අය ඉන්නෙ..... ජනරාල්ගේ ස්වරය දැඩි විය.....
නැහැ නැහැ... මම ඔබේ කාළය කා දමනවා නොවෙයි... එෆ් බී අයි එක ලබා දුන් දත්ත පිළිබඳ මට සෑහීමකට පත් වන්නට බැරි නිසායි මම ඔබව ඇමතුවෙ....
කවුද ? ත්‍රස්තවාදී නායකයෙක්ද ? ඔබ දන්නවානේ......... ඒ ගැන නම් මට කිසිදු විස්තරයක් දෙන්න බැහැ...
නැහැ චාලි... මට දැනගන්න අවශ්‍ය මගේ පර්යේෂණායතනයට ආපු අපේක්‍ෂකයෙක් ගැන....
මොනවා... FBI එකට තනි මිනිහෙක් ගැන විස්තර හොයා ගන්න බැරිද ? ඕකෙ ඉන්නෙ මැට්ටොද ?
චාලි... මේ මිනිස්සු උපරිම ශක්තිය යොදලයි ඉන්නෙ... දැන් මට කරන්න තියෙන එකම දේ ඔහුගෙ ගෙදරට කවුරුහරි යවන්න විතරයි... නමුත් තවමත් ඔහු අපේක්‍ෂකයෙක් විතරයි... ඒ නිසා මම කැමති නැහැ ආණ්ඩුවෙ සම්පත් ඒ වගේ දෙයකට යොදවන්න... ඒත් මේ පුද්ගලයාගේ බොහෝ දේවල් හරිම අසාමාන්‍යයි..... ඒ නිසාමයි මම හොයන්න තීරණය කළේ... මේ පරීක්‍ෂණයෙන් ඔහු නොතේරුණත් අපට මෙයාව වෙනත් මොනවාහරි දේකට ප්‍රයෝජනවත් වේවි. මට ඒක ඉවෙන් මෙන් දැනෙනවා... ඒ නිසා මට මේ උදවුව කරලා දෙන්න... මට මෙයාගෙ විස්තර සියල්ල ලබා ගන්න ඔබට වඩා වෙනත් කෙනෙක් නැහැ.. මම දන්නවා ඔබේ පරිඝණක වැඩසටහන් මළ මිනිස්සු උපද්දවලා තිබෙන බව.... මට මේ උදවුව කරලා දෙන්න... සමහරවිට ඔබටත් එය වැදගත් වේවි...
හොඳයි කියමු බලන්න....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයේ පරිඝණක ඉංජිනේරු ඇලෙක්ස් රොබින්සන් අපේක්‍ෂකයින් තිදෙනාගේම වීඩියෝ පට පරිඝණක තුනකට කවා අවසන් විය... මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල ලැබෙනු ඇත... සම්මුඛ පරීක්‍ෂණ වලදී ඒ ඒ අපේක්‍ෂකයාගේ ගති ස්වභාවය සහ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටින පුද්ගලයින්ගේ මානසිකත්‍වය අනුව එකම දක්‍ෂකම් ඇති විවිධ අපේක්‍ෂකයින්ට ලැබෙන ලකුණු ප්‍රමාණ වෙනස් බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මේ නිසා සම්මුඛ පරීක්‍ෂණ වල සිදු විය හැකි මානව අසමතුලිතතාවයන් මඟහැරවීම සඳහා රජයේ අතිශය වැදගත් ආයතනවලට බඳවා ගැනීමේදී දක්‍ෂයා නිර්ණය කිරීම පරිඝණක වැඩසටහනකට පවරා ඇත. මෙහිදී අපේක්‍ෂකයාගේ පෞරුෂය, වාග් මාලාව, ඉදිරිපත් කිරීමේ විලාශය, ආත්ම විශ්වාසය, වැරදි, තීරණ ගැනීමේ හැකියාව, මුහුණේ ඉරියව් යන ප්‍රධාන ලක්‍ෂණ නිර්ණය කිරීම අතිශය සංකීර්ණ පරිඝණක වැඩසටහනක් මගින් තීරණය කෙරේ.
ඒ අතර අද්මිරාල් රිචර්ඩ් බවර්, නැන්සි පෙපර්,  ඩෙනිස් ලිපර්ඩ්, සහ  නීල් ෆියු යන සිවු දෙනා තම අපේක්‍ෂකයින් තිදෙනා පිළිබඳ සිය හැඟීම් විවෘතව කතා කිරීමේ අවස්ථාව කරා එළඹ ඇත.
මම නම් කියන්නේ ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලී බව හොඳයි... පර්යේෂණායතනයක් වුනාම කණ්ඩායම් හැඟීම තිබිය යුතුයි... කණ්ඩායමක් ලෙස ක්‍රියා කරලයි තීරණ ගන්නත් ප්‍රතිඵල ගන්නත් ඕන... මැතිව් තරමක් පොතට බර ගීක් කෙනෙක්... බලන්න ප්‍රියමනාප වුනාට මට පේන්නෙ එහෙමයි.  අනිත් එක්කෙනා.. විශ්ව... මට එයාගෙ මුහුණෙ කිසිම හැඟීමක් පේන්නෙ නැහැ... අයදුම් පත්‍රයේ මොන සුදුසුකම තිබුණත් ඒ මුහුණ නම් තනිකර හැඟීම් විරහිතයි... මට එයාව කියවන්න බැහැ..  සැමවිටම අන් අයට පෙර කතා කරන  නැන්සි පෙපර් ගේ විග්‍රහය වුනේ එලෙසයි...
නීල්.... මොකද කියන්නෙ....
විෂය කරුණු පැත්තෙන් නම් විශ්ව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා... ඔහුගෙ ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳ තර්කය මට තවමත් පැහැදිලි නැහැ... ඒක ඒ තරම් සංකීර්ණයි.. ඒ නිසා ඔහු මේ පර්යේෂණායතනයට සුදුසුම කෙනා.. නමුත් නැන්සි කිවුවා වගේ මුහුණෙ  කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් කොහොමද අපේ කණ්ඩායමට බඳව ගන්නෙ ? ඇන්ඩ්‍රියා මිත්‍රශීලී තමයි.. නමුත් ඒ මිත්‍රශීලී භාවයම ඇයට හරහට හිටින්න පුළුවන්... මේක අතිශය රහස්‍ය පර්යේෂණයක්.. මේ රහස් ගන්න රුසියාවත් චීනයත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.. තවත් කවුරු මේ ගැන බලාගෙන ඉන්නවද දන්නෙ දෙයියො තමයි. සමාවෙන්න නැන්සි... මම ඔබ ගැන දන්නවා... නමුත් කාන්තාවන් කියන්නේ රහස් සංවිධාන වල ඉතා දුර්වල අංශයක්...
එහෙම කියන්නෙ කොහොමද නීල්...එයා  දැනටමත් NSA එකේ ඒජන්ත වරියක්... ඔබ හිතනවාද ජෙනරාල් වෙලිංටන් ආවට ගියාට මිනිස්සු ගන්නවා කියලා එයා ලඟට ?
ඇත්ත... නමුත් එතැන සිදු වන දේවලුයි මෙතැන සිදුවන දේයි තනිකරම වෙනස්... ඇන්ඩ්‍රියාට NSA එකේ ලොකු රහසක් නැහැ රකින්න... නමුත් මෙතැන එහෙම නෙවෙයි.... අපි බලමු කෝකටත්... අපිට වඩා ගොඩක් නිවැරදිව තීරණ ගන්න කෙනෙක් ඔවුන් පරීක්‍ෂා කරනවා නෙ.
මැතිව්... මම හිතන්නෙ මැතිව් මෙතැනට අදාල වෙන්නෙ ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව ගුරුත්වාකර්ෂණයට ඈඳා කළ පරීක්‍ෂණය නිසා... නමුත් ඔහුගේ සමහර තර්ක මට පිළිගැනීමට අපහසුයි... එහෙම වුනා කියලා ඔහු අසමත් වෙන්නෙ නැහැ... ඔහුට බොහොම නිදහස් සිතුවිලි තිබෙනවා. මට හිතෙන විදියට ඔහු අපට හොඳ සම්පතක් වේවි...
අවසන කතා කළේ ආචාර්ය ලිපර්ඩ්: මම හිතන්නෙත් විශ්ව අපට හොඳ පර්යේෂකයෙක් වේවි... ඔහුගේ හැඟීම් රහිත මුහුණ නොවෙයි අපට වැදගත් වෙන්නෙ... අපට වැදගත් වෙන්නෙ මෙතැන පර්යේෂණ වලට සුදුසුම පුද්ගලයා කවුද කියන එක... දැනුම අතින් පරිපූර්ණ කවුද - ඔහුගේ හෝ ඇයගේ දැනුම මෙතැනට ලබා ගන්නෙ කොහොමද කියන එක... කොහොමත් අපට විද්‍යාඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ සේල්ස් රෙප් කෙනෙකුගෙ මිත්‍රශීලීභාවය.... නමුත් අපට හසුරවාගන්න පුළුවන්  කෙනෙක් නම්, අපට කරදරයක් නැති කෙනෙක් නම් මට  ප්‍රශ්නයක් නැහැ...
ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලීභාවය වගේම ඇයගේ සුදුසුකම් මට මෙතැනදි ප්‍රශ්නයක්... ඇය සුදුසු NSA එකට... ජනරාල් වෙලිංටන්ගෙ පෞද්ගලික යොමු කිරීමක් වුනත් අපට සුදුසුම කෙනා තමයි අපට තෝරගන්න වෙන්නෙ.
මැතිව්ගෙ දැනුම මට ප්‍රශ්නයක් නැහැ... ඔහුගෙ ක්වොන්ටම් විද්‍යාත්මක දැනීම, ඔහු ඒවා විෂයානුබද්ධ කළ ආකාරය හරිම අපූරුයි... මම තෝරා ගන්නවනම් තෝර ගන්නෙ විශ්ව හරි මැතිව් හරි... අපි තවම කිසිම කෙනෙක් මුහුණට මුහුණ ලා කතා කළේ නැහැනෙ... අපි බලමු අපේ හරස් ප්‍රශ්න වලට ඔවුන් කොහොම උත්තර දෙයිද කියලා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඔබ ඇන්ඩ්‍රියා ජීන් සමර්ස්...
ඔව්...
වයස තිස් දෙකයි.
ඔව්....
විවාහකද ?
නැහැ....
ඇයි ඔබ බර්ක්ලි විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධි පර්යේෂණයට යොමු වුනේ. ? ඔබ වැනි කෙනෙකුට ආචාර්ය උපාධියෙන් පසු වෙනත් ඕනම තැනකට යන්න පුළුවන් කම තිබුණා නෙ.
ඇත්තෙන්ම මගේ පර්යේෂණයේ තවත් වැදගත් අංගයක් නිම වෙලා තිබුණෙ නැහැ මම ආචාර්ය උපාධිය නිම කරන විට. ඒ නිසා මම උපාධියෙන් පසුවත් එතැනම සේවය කළා.
එය ඔබේ වෘත්තීය ජීවිතයට දැඩි පහරක් බව ඔබ දැන සිටියෙ නැද්ද ?
මම එය දැන සිටියා.. නමුත් ඔබ සිතනවද අපරාධකරුවන්ගේ මුහුණෙ හැඟීම් අනුව ඔවුන් ඉදිරියේදී යමක් කරයිද කියලා සොයන්න පුළුවන් පරිඝණක වැඩ සටහනක් හදපු මා වගේ කෙනෙක්ගේ වෘත්තීය ජීවිතය මේ වගේ සුළු දේකින් අවසාන වෙයි කියලා ? ඇය පෙරළා ප්‍රශ්න කළාය.
මෙයා නම් බොහොම තියුණු තර්ක බුද්ධියක් ඇති කෙනෙක්.... නැන්සි එසේ සිතමින් සිය කඩදාසි ගොන්නේ යමක් සටහන් කර ගත්තාය.
ඔබේ විශේෂඥතාවය තිබෙන්නේ පරිඝණක වැඩසටහන් පිළිබඳව.... නමුත් මෙතැන සිදු වන්නේ තනිකරම ඉංජිනේරු අංශයේ, අණුක සහ පරමාණුක මට්ටමේ ගණනය කිරීම් සහ පරිඝණක වැඩසටහන් ලිවීම සහ අත්හදා බැලීම... ඔබ හිතනවාද මෙතැන ඔබට සුදුසුම තැන කියලා. ? මෙතෙක් වෙලා නිහඬව සිටි ආචාර්ය ලිපර්ඩ් ඒ ප්‍රශ්නය යොමු කළේ  ඇගේ නෙත් දෙස කෙළින්ම බලාගෙන....
ඇත්තෙන්ම මම හිතනවා  මම මෙතැනට සුදුසුයි කියලා.. මා ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ මගේ පරිඝණක වැඩසටහනට වුවත් මගේ  විශේෂඥතාවය තිබෙන්නේ රොබෝටික්ස්... රොබෝවරුන් තැනීම... ඔබ දන්නවා රොබෝවරු තැනීම කියන්නෙ කෙතරම් අපහසු කටයුත්තක්ද කියා... පරිඝණක වැඩසටහන් පමණක් නොවෙයි ඔවුන් සජීවීකරණය සඳහා අපට ඉංජිනේරුවිද්‍යාවේ බොහෝ දේ කරන්න සිදු වෙනවා. යාන්ත්‍රික විද්‍යාව, ද්‍රව්‍ය හැසිරීම සහ ඒවායේ ගුණ, නැනෝතාක්‍ෂණය, ජීව විද්‍යාව, මානව ව්‍යුහ විද්‍යාව අදී සියළු අංශවල එකතුවක් මේ විෂයය. ඒ වගේම ගුරුත්‍වය පිළිබඳ මනා දැනීමක් නොමැතිව රොබෝවරයෙකුට ජීවය දෙන්න අපහසුයි...
ඇගේ ඇස්වල කළු ඉංගිරියාවන් විශාලවනු ලිපර්ඩ් ට පෙණුනි... ඇයට පිටුපසින් සිටි තාක්‍ෂණික නිලධාරියාගේ දකුණතේ මහපටැඟිල්ල පහළට යොමුවනු සියළුම දෙනා හොඳින් දුටුවෝය...
තවත් ප්‍රශ්න කිහිපයකට අනතුරුව..............
හොඳයි.... අපි ඔබට දන්වන්නම් අපේ තීරණය තව දින දෙකකින්... ඒ අතරතුර ඔබ සැළකිළිමත් විය යුතුයි ඔබ අද උදෑසන අත්සන් කළ ලිපිය පිළිබඳ... එය කඩ කළහොත් මේ රැකියාවත්, දැනට ඔබ කරන රැකියාවත් අහිමි වෙන්න පුළුවන්. සුභ දවසක්...
ස්තූතියි... මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබ හැමටම ස්තූති වෙනවා..
සී අයි ඒ ආයතනය, එෆ් බී අයි ආයතනය සහ ජාතික ආරක්‍ෂක ඒජන්සිය යන ස්ථාන තුනෙහිම අවසාන සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙත්නේ දැඩි ආතතියක් ගෙන දෙන තත්ත්‍වයක් මධ්‍යයේ දී ය. පළමුව අපේක්‍ෂකයාගේ සිරුරෙහි පපුව වටා වයරයක් ඇද එය ඉලෙක්ට්‍රෝඩයකට සම්බන්ධ යන්ත්‍රයකට සවි කරන අතර ඇඟිලිතුඩු, බෙල්ලේ, සහ හිසේ ඇසට ඉහළින් වූ මර්මස්ථානයේ කුඩා ඉලෙක්ට්‍රෝඩ සවි කර ඒවා ද අදාල යන්ත්‍රයට සවි කෙරේ. මෙය කිසිවෙකු බොරු කියන්නේදැයි සොයා ගැනීමේ මූලිකම පරීක්‍ෂණයයි. බොරුවක් කියනවිට කළු ඉංගිරියාවෙහි ප්‍රමාණය වෙනස් වුවත්, පළපුරුදු බොරුකාරයෙකුට එය නොවෙනස්ව පවත්වා ගැනීම ද අපහසු නොවේ. නමුත් බොරුවක් දැන දැනම කියනවිට වෙනස්වන හෘද ස්පන්දන වේගය, මොළයේ ස්නායු තන්තු අතර ඇතිවන විද්‍යුත් අසමතුලිතතාවයන් සහ මොළයට රුධිරය ගමන් කිරීමේ විශමතාවයන් නිසා ශරීරයේ ඇතිවන ඉතා සූක්‍ෂම විද්‍යුත් ආරෝපණ වෙනසත්, ශරීරය මතුපිට වෙනස්වන ආරෝපණ වෙනසත්, ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණයෙහි වෙනසත් ගණන් බැලූ විට ඒ පුද්ගලයා කියන්නේ බොරුවක්ද ඇත්තක්ද යන්න සොයා ගැනීම ඉතා පහසු කාර්යයක් වී ඇත. මුලින්ම අපේක්‍ෂකයා/සැකකාරයා විසින් නිසැකවම ඇත්ත පිළිතුරු ලබාදෙන ප්‍රශ්න යොමු කිරීම මගින් යන්ත්‍රයේ නිරවද්‍යතාවය සහතික කර ගනී. ඉන්පසු සිය ඉලක්ක ප්‍රශ්න යොමු කිරීම මගින් අදාල ස්ථානයට ඒ පුද්ගලයා කොටු කරගෙන අවශ්‍ය දේ දැනගත හැකිය. කෙසේ වුවත් මෙම යන්ත්‍රය සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවල සහ අපරාධ පරීක්‍ෂණවල භාවිතා වන ඔව්/නැහැ පිළිතුරු ලබාදෙන යන්ත්‍රයකට වඩා දියුණු යන්ත්‍රයකි. මේ නිසා තම අපේක්‍ෂකයාගේ දීර්ඝ පිළිතුරක ඇති නිරවද්‍යතාවය සහ අවංකභාවය ඉතා තදිමට නිර්ණය කිරීමට අදාල බලධාරින්ට හැකි වේ.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේක වෙන්න පුළුවන් කොහොමද ?
ජනරාල් වෙලිංටන් තමාට ලැබුණු වාර්තාව තෙවන වරටත් කියවා අවසානයේ සිය තට්ට හිස අතගාමින් කල්පනා කළේය..... කවදාවත් කිසිම කෙනෙකුගෙ පසුබිම් වාර්තාවක් මේ තරම් පිරිසිදුව නොලැබුණ බව තමාට විශ්වාසය... අවම වශයෙන් රටේ ජනාධිපතිවරුන්ගේ පවා සොයාගත හැකි පැහැදිළි වැරදි තිබියදී අවම වශයෙන් මාර්ගනීති කඩ කිරීමක් වත් සිය දත්ත සටහනේ නොමැති මේ තරුණයා ගැන Blood Hound නොහොත් ජනරාල් වෙලිංටන්ට හට ගත්තේ මහත් සැකයකි.. වහාම සිය සහායිකාවට ඇමතූ ඔහු සිය කණ්ඩායමේ සිටින දක්‍ෂතම දත්ත හාරන්නන් දෙදෙනා සිය කාර්යාලයට එවන්නැයි අණ කළේය.
බිල්..... මයික්..... මට කියන්න පුළුවන් ද කෙනෙක්ගෙ පසුබිම් දත්ත සටහනක් මේ තරම් පිරිසිදු වෙන්න පුළුවන් කොහොමද කියලා. කාළය නාස්ති කිරීමට අකමැති ජනරාල් වෙලිංටන් කෙළින්ම සිය අවශ්‍යතාවය ඔවුන් හමුවේ ගෙනහැර දැක්වීය.
මේක වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කෝ මේ පුද්ගලයා ඇත්තෙන්ම පිරිසිදු පසුබිමක් තිබෙන පුද්ගලයෙක් වෙන්න ඕන. නැතිනම් ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකා දමලා අළුත්ම අනන්‍යතාවයක් ලබා ගන්න ඕන... නමුත් මේ වාර්තා පිළිබඳ බැලුවාම දෙවැන්න අපට බැහැර කරන්න සිදු වෙනවා. මේ බලන්න ඔහු එක්සත් ජනපදයට ඇවිත් තිබෙන්නෙ වයස 13 දි. එතැන් පටන් සියළුම වාර්තා මෙතැන තිබෙනවා... ඒ විතරක් නොවෙයි වීඩියෝ දර්ශනත් සමඟ අනන්‍යතාවය සඟවපු පුද්ගලයෙක් කවදාවත් මෙහෙම ප්‍රසිද්ධියේ හැසිරෙන්නෙ නැහැ. ඒ වගේම අපට පැහැදිලිවම පේනවා මොහු දක්‍ෂ පුද්ගලයෙක් කියලා... ඔහුගෙ ක්‍රීඩා විලාශයෙන්ම පේනවා ඒ බව.. එපමණක් නොවෙයි අපි ඔහුගෙ දෙමාපියන්ගෙ අතීතයත් හාරා අවුස්සා බැලුවා... ඒවයින් වත් පෙනෙන්නෙ නැහැ ඔහු කිසිම වැරැද්දක් කර ඇති බව.. ඔවුන් සියළුම දෙනා බොහොම නීතිගරුකව සිටි පවුලක්.. ඒ වගේම ඔහුගෙ පියා ....
මම දන්නවා.... මම විතරක් නොවෙයි මුළු ලෝකයම දන්නවා.
එහෙනම් ඔබ කියන්නෙ දැන් මේ තරුණයා පිරිසිදු අතීතයක් ඇති කෙනෙක් කියලා ?
ඔව්....
මෙයාට පෙම්වතියක් ඉන්නවද ? ඉඳලා තියෙනවද ?
දන්න ආකාරයට නම් කිසිම සම්බන්ධතාවයක් තිබිලා නැහැ... නමුත් යාළුවො නම් බොහොමයක් ඉන්නවා... Facebook එකේ පමණක් යාළුවො 666 ක් සිටිනවා... දැනට අවුරුදු දෙකක පමණ කාළෙ ඉඳලම මේ ගණන වෙනස් වෙලා නැහැ.. එක්කෝ කවුරුහරි එකතු වෙන්නට පෙර කිසිවෙකු ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. ඔහු අංක 666  දැඩි ලෙස අනුගමනය කරන කෙනෙක්...
666 යක්‍ෂයාගේ අංකය..... ඔය තියෙන්නෙ පොටක් පෑදිලා... දැන්මම සොයන්න 666 ට මෙයාගෙ ඇති වෙනත් සම්බන්ධතා මොනවද කියලා.... සමහරවිට මෙයා යක්‍ෂයාගේ කල්ලියේ කෙනෙක් වෙන්න ඇති... මේ වගේ සාන්ත දාන්ත අය තමයි අපට ලොකු කරදරයක් වෙන්නෙ... දැන්මම දෙන්නා ගිහින් මට පැයක් ඇතුලත මේ සම්බන්ධය හොයලා ගෙනැත් දෙන්න ඕන.... ඒ වගේම පුළුවන්  නම් මෙයාගෙ ගමන් බිමන් ගැන සැටලයිට් දර්ශන, මාර්ග කැමරා දර්ශන තියෙන ඒවා අරගෙන එන්න... මුහුණ හඳුනා ගැනීමේ (Face Recognition) වැඩසටහනකින් මෙයාගෙ තියෙන සියළුම ෆොටෝ, වීඩියෝ ආදිය සොයා ගන්න.... මෙයා සමහර විට අපට අහු නොවෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්.... ඒ වගේම Facebook එකේ දාපු ප්‍රතිචාර තියෙනවා නම් සහ ඒකෙ විවිධ කණ්ඩායමවලට ඇතුලත් වෙලා තියෙනවා නම් ඒ හැම එකකම විස්තර මට ඕන... මේක ඉහළම වැදගත්කමක් ඇති (High Priority) වැඩක් විදියට මතක තියාගන්න...
හොඳමයි ජෙනරාල් තුමනි..
666 අංකය ගැන බොහෝ මතවාද ඇත....

පළමු සාමාන්‍ය අංක 36 හි එකතුව 666 කි. (1+2+3+4+..........+34+35+36 = 666) මේ නිසා ත්‍රිකෝණාකාර අංකයක් ලෙස සළකනු ලැබේ.  666 දක්වා වූ ප්‍රථමක සංඛ්‍යා ගණන 121 කි. 121 හි මූලය 11 යි. 0-36 දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යා ගණන ද 11 කි. 666 අධි අංකයකි. (abundant number) - එනම් අංක න්‍යායට අනුව කිසියම් අංකයක් බෙදෙන අංක සංඛ්‍යාවෙහි එකතුව එම අංකයට වඩා වැඩි නම් එය අධි අංකයක් යැයි සළකනු ලැබේ. පළමු අධි අංකය 12 ය (1,2,3,4,6 යන සංඛ්‍යාවලින් 12 බෙදේ - එහි එකතුව 16කි). 666 පුනරාවරතී අංකයකි(11,22,444, 666). රෝම ඉලක්කම්වල 666 යනු 1000ට අඩු අවස්ථාවකදී සියළුම අංක සළකුණු දැකිය හැකි එකම අංකයයි, DCLXVI, (D=500, C=100, L=50, X=10, V=5, I=1). යුදෙව් ආගමට අනුව ලෝකය මැවීම සහ පරිපූර්ණ කිරීමට අදාල අංකය 6 වේ (දින 6 කින් ලෝකය මැවීමත් 6 දිශාවකට පරිපූර්ණ කිරීමත් ඇතුළුව)
ක්‍රිස්තියානි ආගමේ නව තෙස්තමේන්තුවේ 13 වන පරිච්ඡේදයේ අංක 666 ට වැරදි චිත්‍රයක් මවාපෑම නිසාම බොහෝ බටහිර ජාතීන් අතර 666 සාතන්ගේ අංකය ලෙසින් වැරදි වැටහීමක් ඇති කරගෙන තිබේ. එසේම අනාගමිකවාදීන් (Anarchists) ද අංක 666 ට විවිධාකාර අර්ථකතන දීමත් එංගලන්තයේ ආතර් රජු අනාගමිකවාදියෙකු විසින් ඝාතනය කිරිම යන කරුණු නිසාත්, මාධ්‍ය මගින් සහ විවිධ කල්ලි මගින් 666 සිය පෞද්ගලික අවශ්‍යතාවයන් අනුව අපරණය කිරීමත් යන කරුණු නිසා අංක 666 යක්‍ෂයාගේ අංකය ලෙස බටහිර ජාතීන් අතර ප්‍රසිද්ධ ය... ජෙනරාල් වෙලිංටන් බුද්ධි අංශය භාර ඉහළ නිලධාරියෙකු වුවත් සිය බුද්ධිය අභිබවා සිය ආගමත් විශ්වාසයත් ඉදිරියට පැනීම නිසා ඔහුද එය යක්‍ෂයාගේ අංකය ලෙස පිළිගැනීම විමතියට කරුණක් නොවේ.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොනවද මේ මනුස්සයා කරන්නෙ.... ?
වීඩියෝ පටය දෙස බලා සිටි සියළුම දෙනාට වූ පැණය වූයේ එයයි....
ඔහු දෑස් පියාගෙන නින්දකට පත්වී ඇත්තාක් මෙන් නිසොල්මන් වී සිටී...... තමන් පැමිණ සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන තුන්සිය තිහක ජනතාවගෙන් කිහිප දෙනෙකුට පමණක් හිමිවන අවස්ථාවක් ලබා ගැනීමට බව අමතක වී ඇතිවාක් සේ ඔහු නිද්‍රාවට වැටී ඇත.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මැතිව්.... ඇයි ඔබ ස්ටැන්ෆර්ඩ් වැනි කීර්තිමත් විශ්ව විද්‍යාලයක මහාචාර්ය තනතුරක් අතහැරලා මේ වගේ තැනක රැකියාවක් බලාපොරොත්තු වෙන්නෙ ?
ඔහුගේ මුහුණේ සිනාරැල්ලක් ඇඳුනි...
ඔබ දන්නවා මහාචාර්ය තනතුරක වගකීමකට වඩා මට මේ වගේ තැනක විශාල කාර්ය භාරයක් කරන්න පුළුවන් බව.... හැරත්, මට ඒ මහාචාර්ය තනතුර ලැබුණෙ මගේ සුදුසුකම් වලටම වඩා මගේ පවුල් පසුබිමට.... මගේ පියාගෙ සුදුසුකම් නිසා මමත් ඔහු වගේම විශ්ව විද්‍යාලයට කීර්තියක් අත්කරදේවි කියා ඔවුන් හිතන්න ඇති.
ඔබ හිතනවද ඔබේ පියාගෙ තනතුරු සහ සම්බන්ධතා මේ ස්ථානයේ සේවයට බාධාවක් වේවි කියා..
නැහැ... මගේ පියා ඉන්නෙ කැලිෆෝනියාවෙ.. ඒ වගේම ඔහුගෙ විෂය ක්‍ෂෙත්‍රය මෙයට කිසිම අදාලතාවයක් නැහැ... ඔහු රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්.... ඒ වගේම ඔහුගෙ තනතුරු මෙයට අදාල වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙ නැහැ... නමුත් ඔහුගේ සම්බන්ධතා මගේ මහාචාර්ය පදවියට නම් බලපාන්න ඉඩ තිබෙනවා.
මැතිව්... ඔබ දන්නවා ඔහු තිස්තුන්වන මට්ටමේ මේසන්වරයෙක් (33rd Degree Free Mason) බව...
මම විතරක් නොවෙයි... මේ මුළු ලෝකයම දන්නවා.... ඔහු එය හංගන කෙනෙක් නොවෙයි... ඔබ නොදන්නවාට සොලමන් පරම්පරාවම මේසන් වරුන්... අමතක කරන්න එපා අපේ පරම්පරාව පැවත එන්නෙ සොලමන් රාජ පරම්පරාවෙන් කියලා....
මැතිව් පෙරළා පිළිතුරු දුන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අන්දමටය....
ඒත්, මට හිතාගන්න බැරි ඇයි ඔබලා මේ මගේ අතිශය පෞද්ගලික කාරණා මෙතැනට ඇදලා ගන්නෙ කියලා.. මම මෙතැනට ආවෙ සම්බන්ධකම් නිසා නොවෙයි.. මගේ සුදුසුකම් අනුව... ඔබ හිතනවා නම් මම මෙතැනට නුසුදුසුයි කියලා ඔබට තිබුණා අපි හැමෝගෙම කාළය නාස්ති නොකර මෙය මුලදිම නවත්වන්න..
ඉහළම සුදුසුකම් ඇති, කේවල් කළ නොහැකි ලෙස අදාල තනතුරට සුදුසු අපේක්‍ෂකයින් සමහරවිට සිය පෞරුෂත්‍වය විදහාලනු වස් සම්මුඛපරීක්‍ෂණ මණ්ඩලය ඉදිරිපිට පාරම් බෑවත්, මැතිව් සොලමන් එසේ මෙසේ පුද්ගලයෙකු නොවන බව ඔහුව පරීක්‍ෂණයට භාජනය කරන සිවු දෙනාම හොඳින්ම දැන සිටි කරුණකි. මැතිව් සොලමන්ගේ පියා කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය එඩ්වර්ඩ් සොලමන් වේ. සොලමන් පරම්පරාව පැවත එන්නේ ක්‍රිස්තු පූර්ව 970-931 දක්වා ජෙරුසෙලමේ රජකම් කළ සොලමන් රාජ පරම්පරාවෙන් යැයි විශ්වාසයක් පවතී. ජෙරුසලමේ පළමු පල්ලිය තැනුවේ සොලමන් රජතුමා විසින්ම ඇඳි සැලසුමකට අනුව යැයි පුරාවෘතවල සඳහන්වේ. කළෙක ඉතා රහසිගත සමාජයක් වූ නමුත් දැන් දැන් ප්‍රසිද්ධියේම හැසිරෙන Free Mason වරුන් හා සොලමන් පරම්පරාව  අතර වූ සම්බන්ධය සමහරු බැහැර කරතත්, සොලමන් පරම්පරාව සිය  මුතුන්මිත්තන්ගේ රාජකීය තේජස මෙන්ම රාජකීය රුධිරය පිළිබඳ තවමත් ආඩම්බර වෙමින්  එය රැකගනිමින් ඉදිරියට ගමන් කරති.
මැතිව්... මතක තියාගන්න ඔබ ඇවිත් තිබෙන්නේ සම්මුඛ පරීක්‍ෂණයකට මිසක් පුවත්පත් සාකච්ඡාවකට නොවෙයි.... අද්මිරාල් රිචර්ඩ් බවර්ගේ කටහඬ දැඩි විය....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
666................ සිය පරිඝණක මොනිටරය දෙස බලාගෙන ජෙනරාල් වෙලිංටන් තනිවම කල්පනා කරන්නට පටන් ගත්තේය...
මේක මෙයාගෙ ජීවිතයට බොහොම සමීප අංකයක් වෙලා තියෙන්නෙ ඇයි කියලා දැනුයි තේරෙන්නෙ... මටත් අමතක වුන හැටි...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව සමාධි සූර්යබණ්ඩාර....
ඔව්...
වයස  අවුරුදු 30 යි...
හරි....
ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ... ඔබට හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්.. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්....
මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්ව විද්‍යාලයට ගියත් මට මගේ පර්යේෂණ වලට මෙතැන වගේ සම්පත් උපකරණ ආදිය සොයා ගන්න අමාරු වෙයි... බලන්න ඔබ සතුව තිබෙන අවම ඝර්ෂණය සහිත ප්‍රති ගුරුත්ව මේසය.... ඔබ හිතනවද මේ වගේ උපකරණයක් මට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් හොයා ගන්න ලැබෙයි කියලා...
නීල් ෆියුත්, මහාචාර්ය ලිපර්ඩුත් දෙදෙනා මුහුණට මුහුණ බලා ගත් අතරම නැන්සි සිය කටහඬ අවදි කළාය...
ඔබගෙ ජීව දත්ත සටහනේ සඳහන් වෙනවා ඔබ බොහෝ ක්‍රීඩා කළ පුද්ගලයෙක් බව.. ඔබ කොහොමද බර්ක්ලි වගේ විශ්ව විද්‍යාලයක ඇති වැඩ කන්දරාවත් එක්ක මෙතරම් හොඳට විභාග සමත් වුනේ... බර්ක්ලි විශ්ව විද්‍යාලය වගේ තැනක මලල ක්‍රීඩාවට තැන දෙන අය හරිම අඩුයි. ඒ වගේම මම කුඩා කාළයෙ ඉඳලම වෙලාව හොඳින් කළමණාකරණය කරගෙන හිටපු කෙනෙක්, ඒ නිසාම මට අධ්‍යාපනයට කියලා විශේෂයෙන් අමතර කාළයක් යොදවන්න අවශ්‍ය වුනේ නැහැ.
අපි දන්නවා ඔබට ඉතා හොඳ මතක ශක්තියක්, යමක් එකවරක් බැලූ විට මතක තබා ගැනීමේ හැකියාවක් (Photographic Memory) තිබෙන බව... අපට කියන්න පුළුවන්ද ඔබ ඒ හැකියාව ලබා ගත්තෙ කොහොමද කියලා...
ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් දුටු පළමු අවස්ථාව එය විය.....
ඔබ සෑහෙන්න ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් බලනවා වගෙයි... ඔහු තරමක් උපහාසයෙන් පැවසීය....
ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්වල කියැවෙන Photographic Memory කියන ප්‍රස්තූතය ඇත්තෙන්ම සත්‍යයක් නොවෙයි නැන්සි මහත්මිය.. ඔබ දන්නවා ඇති CIA නිලධාරිනියක් විදියට ඔබේ ආයතනයේවත් Photographic Memory ඇති අය නැති බව.. නමුත් මට හොඳ මතකයක් තිබෙනවා. එය Photographic Memory එකක් නොවෙයි.. නමුත් මගේ අවධානය එකතැනකට යොමු කළ විට ඒ දේවල් හොඳින් මතක තබා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එය මනස පුහුණු කිරීමෙන් කළ හැකි දෙයක්...
ඔබ කොහොමද හිතන්නෙ මම CIA ආයතනයෙ කියලා....
ඔබේ හැසිරීමෙන්, ඔබේ ප්‍රශ්නවලින් මට අනුමාන කරන්න පුළුවන් ඔබ එවැනි ආයතනයකින් පැමිණි අයෙක් බව, ඔබේ ප්‍රශ්නවල ක්‍ෂෙත්‍ර දැනුමක් නැහැ. ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ පුද්ගල චර්යාවන් නිරීක්‍ෂණයට.
නැන්සි පෙපර්ගේ දෑස් විශ්මයෙන් ඇළලෙනු එතැන සිටි බොහෝ දෙනාට දැනුනි...
හොඳයි විශ්ව.... ඔබ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියට හැදෑරුවෙ ප්‍රති ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳව... නමුත් බොහෝ ශිෂ්‍යයෝ ආචාර්ය උපාධියට හදාරන්නෙ මෙයට වඩා වෙනස් විෂයයන්, ඇයි ඔබ මේ වගේ විෂයයක් තෝර ගත්තෙ ?
පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණය කිසිවිටෙක එක හා සමානව පැතිරිලා නැහැ. සමහර ස්ථානවල වැඩි ගුරුත්වයකුත්, තවත් සමහර ස්ථානවල අඩු ගුරුත්වයකුත් පවතිනවා. උදාහරණයක් වශයෙන් බහමාස් දූපත් අසළ, ඉන්දියාවේ හිමාලය කඳුවැටියේ   පරිවාර කඳු සහ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට දකුණින් රූමස්සල නම් ප්‍රදේශයේ පවතින්නේ බොහොම අඩු ගුරුත්ව ක්‍ෂෙත්‍රයන්. ඒ වගේම   අන්දීස් කඳු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ සමහර පෙදෙස්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය බොහොම වැඩියි. මෙන්න මේ විසංකූලතා සහ තවත් ඓතිහාසික සාධක මත මම ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර පිළිබඳ හැදෑරීම තෝරා ගත්තා..
නමුත්, ඔබ ගුරුත්‍වය පිළිබඳ දරන ආකල්පය වෙනස් දෙයක්....
ඔව්... මම ගුරුත්‍වය පිළිබඳ හිතන්නෙ එය වස්තූන් දෙකක් අතර වූ සම්බන්ධතාවයක් විදියට. සරළ උදාහරණයක් ගත්තොත් යම් කෙනෙක් තවත් කෙනෙක් වෙතට දරන ආකර්ෂණය හෝ විකර්ෂණය ඒ දෙදෙනාගේ රසායනය (chemistry) අනුව වෙනස් වෙනවා ; එහෙමත් නැතිනම් අණු හෝ පරමාණු දෙකක් අතර බැඳීම ඒවායේ ආරෝපණ අනුව සහ වෙනත් සාධක මත වෙනස් වෙනවා. මේ බැඳීම් වගේම විශාල වස්තූන්වල ආකර්ෂණය විකර්ෂණයත් මෙන්න මේ කුඩා අණුක-පරමාණුක සම්බන්ධතා අනුව ගණනය කරන්න පුළුවනි. නමුත් බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ ගුරුත්‍වය බලපාන්නෙ විශාල වස්තූන්ට පමණක් බව, අපි පොළව අතගාලා වැලිකැටයක් ගත්තොත් එයටත් කිසියම් ගුරුත්‍වයක් තිබෙනවා.
ඔබ දන්නවා ගුරුත්‍වය ගණනය කරන සරළම සමීකරණය.
g = GM/r2
මෙහිදී ඔබට පේනවා  r  අගය ගුරුත්‍වයට ලොකු බලපෑමක් කරන බව. දැන් ඔබ වැලිකැටය සළකා බැලුවහොත්, අන්න ඒකටත් කිසියම් අරයක් තිබෙනවා. M  කියන්නෙ එහි ස්කන්ධය, G  ගුරුත්වාකර්ෂණ නියතය... මෙන්න මෙතැනදියි බොහෝ දෙනාට වරදින්නෙ.. අපට මෙන්න මේ කුඩා වස්තූන්වල ගුරුත්‍වාකර්ෂණ නියතය හදාරන්න අපහසුයි පෘථිවි ගුරුත්‍වය බලපාන නිසා. නමුත්, අපට හැකි නම් පෘථිවි ගුරුත්‍වය නොසලකා හරින්න, අන්න ඒ අවස්ථාවෙදි අපට පුළුවනි එක් එක් වස්තූන්ගෙන් අනෙක් දේ වලට ඇති ආකර්ෂණය - විකර්ෂණය ගණනය කරන්න. මගේ පර්යේෂණය වුනේ මෙන්න මේ ගුරුත්‍වය නොසලකා හැරිවිට සිදුවන අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය. ඉතින්, ඔබට දැන් තේරෙනවා මම ඇයි හාවඩ් විශ්ව විද්‍යාලයට වඩා මෙතැනට කැමැත්තක් දක්වන්නෙ කියලා.
ඒ පිළිතුරෙන් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවු දෙනා පමණක් නොව සත්‍යය නිර්ණය කරන යන්ත්‍රය ක්‍රියාකරවන තාක්‍ෂණික නිලධාරියා ද සෑහීමකට පත්වනු විශ්වට දැණුනි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Piece of Cake !
මැතිව් නාවික පර්යේෂණ ආයතනයෙන් පිටත්වන පිටවන විටම තමන්ට කියා ගත්තේය.......
33 වන මට්ටමේ මේසන්වරු ලෝකයේ සිටින්නේ අතලොස්සකි. රහස්‍යව පැවති අති බලවත් සමාජයක් වූ Free Masons නම් සමාජයට අයත් බලවත් පුද්ගලයින්ගේ ලැයිස්තුව එසේ මෙසේ එකක් නොවේ. ජෝර්ජ් වොෂිංටන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, එළිසබෙත් රැජිනගේ ස්වාමියා වන එඩින්බරෝ ආදිපාද ෆිලිප් කුමරු, වින්ස්ටන් චර්චිල් වැනි ලොව පාලනය කිරීමට සම්බන්ධ බලවතුන් ද, සුප්‍රකට කතා රචක සර් ආතර් කොනන් ඩොයිල්, ගලිවරය ලියූ ජොනතන් ස්විෆ්ට් වැනි ලේඛකයින් ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින්, වැන්නවුන් මෙන්ම හිල්ටන් හෝටල් සමූහයේ නිර්මාතෘ චාර්ල්ස් හිල්ටන්, වෙන්ඩීන් අවන්හල් සමූහයේ නිර්මාතෘ  ඩේව් තෝමස් වැනි ව්‍යාපාරික දැවැන්තයන් ද, ඉන්දියාවේ ආගමික ගුරු ස්වාමි විවේකානන්ද  ඇතුළු ලෝ වටා වූ බොහෝ බලවත් පුද්ගලයින් රැසක් සාමාජිකත්‍වය දරන ඉතා බලවත් සමාජයක් වන මෙහි සාමාජිකත්‍වය ලබා ගැනීමට ද අතිශය අපහසු කරුණකි. එසේ ලබා ගන්නා සාමාජිකත්‍වය වරින් වර සිදු කෙරෙන සමත්කිරීම් සහ පරීක්‍ෂණවලින් පසුව මට්ටමින් මට්ටම ඉහළට ගොස් අවසන උසස්ම මට්ටම වන 33 වන මට්ටමට උසස් කරනු ලැබේ. එය අතිශය උසස් ස්ථානයකි. ලොව පුරාම 33 වන මට්ටමේ මේසන්වරු සිටින්නේ අතලොස්සකි. ඒ අතරට බලවත් රාජ්‍ය නායකයින් බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සහ සොලමන් පරම්පරාව මෙන් පාරම්පරික මේසන්වරු අයත් වෙති.
සිය පියාගේ සම්බන්ධතා මෙන්ම ආණ්ඩුව තුළ වූ මේසන්වරුන්ගේ බලපරාක්‍රමය මත මේ රැකියාව තමන්ට ලැබෙන බව දැන් ඔහුට ඉර හඳ සේ විශ්වාසය. තමා තරමක් උඩඟු බවක් පෙන්වුවත් එයින් තමාගේ නායකත්‍ව ගුණාංගයන් ඉහළට ඔසවා තැබෙන බව ඔහු කල්පනා කළේය. කවුරු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණියත්, තමන්ට මේ අවස්ථාව ලැබෙන බව ඔහුට තේරුම් ගොස් තිබුණි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඇලෙක්ස් සිය වාර්තාව සම්මන්ත්‍රණ කාමරයේ සිටි සිවු දෙනා වෙත ගෙන ගොස් පසෙක වූ සුවිශාල තිරය මත දිස්වන්නට සැලැස්වීය. තම ආයතනයේ ඇති පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ගෙන් අවසන් අදියරට පැමිණි තිදෙනාගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම්වල පරිඝණක විශ්ලේෂණයන් වෙන වෙනම සසඳා තිබුණි. ඒ අනුව පැහැදිලිවම පිළිතුරක් ලැබී තිබූ නමුත් පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවුදෙනාම එකසේ එයට කැමති වූයේ නැත....
පරිඝණක වැඩසටහන හරි වෙන්න පුළුවන්... නමුත් අපට තියෙනවා නේද කිසියම් හැඟීමක්...Gut Feeling එකක්... එතකොට ඒකට කිසිම තැනක් නැද්ද මෙතැන ? නැන්සි නැවතත් සිය විරෝධතාවය පළ කළා....
නැන්සි... ඔබ දන්නවා අපි මෙතැන ගන්න හැම තීරණයක්ම තර්කානුකූලව ගත යුතුයි කියලා... හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ බොහොම දුර්වල තැනක්... අපට වඩා ඔබ ඒක දන්නවා... නමුත් අපි යට වෙන්න හොඳ නැහැ සමාජ සම්බන්ධතා වලට.....
නමුත්, අපි මේ වාර්තාව මත පමණක් තීරණය ගන්න බැහැ නේද ? FBI එකේ පසුබිම් වාර්තාව එනකල් කවුරු වුනත් ඉන්නෙ එකම තැනක... ඒක අනුව නෙ අපි අවසාන තීරණය ගන්නෙ...
ඇත්ත.. නමුත් මෙයා තමයි අපට දැනට හොඳටම සුදුසු... අපි දැක්කා එයාගෙ ඉදිරිපත් කිරීම, කියන්න තරම් වැරැද්දක් ඇත්තෙම නැහැ.. තරමක් මුරණ්ඩු ගතියක් පෙන්වුවත් බුද්ධිමත්, මම හිතන්නෙ අපි පරිඝණක වැඩසටහන අනුව යා යුතුයි...
බලමු... තවත් වාර්තා එන්න තිබෙනවා නෙ.... එහෙනම් අපි ආයෙම කවදද හමු වෙන්නෙ.. මට මේක ඉක්මනටම අවසන් කරලා මේ  පර්යේෂණය ඉක්මන් කරන්න ඕන.... කල් දාන්න බැහැ..
සියළුම දෙනා සිය ජංගම දුරකථන වලින් සිය කාලසටහන් පරීක්‍ෂා කරන්නට වූහ....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
හලෝ......... මට පුළුවන්ද OSA එකේ IC, (Intelligent Chief - Office of South Asia) මේජර් බෙන්ජමින් වයිට් ට කතා කරන්න... මම ජෙනරාල් වෙලිංටන්... NSA එකෙන්......
CIA මූලස්ථානයේ දුරකථන යතුරු පුවරුව ක්‍රියාකරවන මෙලිසා කොවැක්ස් සිය පරිඝණකයට ජෙනරාල් වෙලිංටන්ගේ නම ඇතුලත් කළාය.
ජෙනරාල් වෙලිංටන් මහත්මයා, කරුණාකර ඔබේ අංකය  ඇතුලත් කරන්න....
ජෙනරාල් වෙලිංටන් සිය දුරකථනයෙන් ඉලක්කම් කිහිපයක් ඔබා සිය අනන්‍යතාවය සහතික කළේය....
ස්තුතියි... ඉන්න මම සම්බන්ධ කරන්නම්...
අතිශය ආරක්‍ෂාකාරී මධ්‍යස්ථාන වල ඉහළ නිළධාරීන්ට පිටතින් ඇමතීමේදී පිලිගැනීමේ නිලධාරිනිය හරහා යනවිට අදාල පුද්ගලයා රහස්‍ය භාවයෙන් නිදහස් කරන ලද ඉහළ නිලධාරියෙකු නම් ඔහුගේ/ඇයගේ පෞද්ගලික රහස් අංකයක් පරිඝණයකට ඇතුව කිරීම මගින් අදාල පුද්ගලයාට කෙලින්ම සම්බන්ධ විය හැකි වේ. එසේ නොවන කෙනෙකුගේ දුරකථන ඇමතුම බොහෝ විට පහළ නිලයක තාක්‍ෂණික නිලධාරියෙකු හරහා අදාල පුද්ගලයා වෙත යැවෙන්නේ උසස් නිලධාරීන්ගේ අනන්‍යතාවයත් ආරක්‍ෂාවත් සහතික කිරීම පිණිසයි.
මේජර් වයිට් කතාකරනවා....
මේජර්.... මම ජෙනරාල් වෙලිංටන්... NSA ප්‍රධානි...
ඔව් සර් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන....
මට ඔබෙන් තොරතුරු කිහිපයක් දැන ගන්න අවශ්‍යයි.. ඔබ නේද දකුණු ආසියානු කළාපයට අදාල බුද්ධි අංශය භාරව ඉන්නෙ. ?
ඔව් සර්...
මට එවන්න පුළුවන්ද 2006 ජුනි මස 06 වනදා ලෙබනනයේදි මියගිය එක්සත් ජාතීන්ගෙ සාම සාධක නිලධාරී සෙනරත් සූර්ය බණ්ඩාර සහ ඔහුගෙ පවුල පිළිබඳ වාර්තාව... මට ඒ සිදුවීම ගැන පසුබිම් වාර්තාවක් ගන්න අවශ්‍යයි...
හොඳමයි ජෙනරාල් තුමනි... මම විනාඩි කිහිපයකින් එය ඔබේ ආරක්‍ෂිත විද්‍යුත් තැපැල් ලිපිනයට (Secured E-mail Account)  ලැබෙන්න සලස්වන්නම්.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙකු වූ සෙනරත් සූර්යබණ්ඩාර රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඉතා සාධාරණ සහ නීතිගරුක පුද්ගලයෙකු වූ ඔහු බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිමය දැනීමත් ක්‍ෂෙත්‍රයේ විශේෂඥතාවයත් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවන්ට උපදේශකත්‍වය සලසන නීති උපදේශක වරයෙකු ලෙස පත් කළ ඔහු, රටවල් කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ගෞරවයට පාත්‍ර වූ ඔහු 2006 වසරේ ලෙබනන් යුද්ධය ඇරඹීමට දින 6 කට පෙර සිදු වූ අනතුරකින් සිය පවුලේ සාමාජිකයින් සමඟ ඝාතනය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වූ තවත් කළු පැල්ලමක් විය. එය වැඩිදුර හෙළි නොවී යටපත් කිරීමට බලධාරීන් සමත් වුවත් ජෙනරාල් වෙලිංටන් එය දැන් හාරා අවුස්සන්නේ කුමකටදැයි බෙන්ජමින් ට සිතා ගන්නට නොහැකි විය.....
ගෝලාන් කඳුකර පෙදෙස්... ඊශ්‍රායලය - ලෙබනනය- ජෝර්දානයට සහ සිරියාවට මායිම් වේ.

අද දිනයේ සිදු වූ සියල්ල සිය පියාට පැවසිය යුතු බව මැතිව්ට වැටහුණි. තමාට වෙන්කර තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගොස් සියළු බර බිමින් තැබූ හෙතෙම සිය ජංගම දුරකථනයෙන් පියාගේ කාර්යාල සහායිකාව ඇමතීය.
එල්... මම මැට්...
කියන්න මැට්....
තාත්තා ඉන්නවද කාමරේ....
ඔව් ඉන්න මම සම්බන්ධ කරන්නම්.....
පිය පුතු දෙපළ සම්බන්ධ කළ එලේනා දුරකථනය රඳවනයේ තැබුවාය.. මහාචාර්ය සොලමන්ගේ  සහායිකාව වන එලේනාට  මැතිව් නුහුරු පුද්ගලයෙකු නොවේ.... නමුත් අද  ඔහුගේ කඩහඬ වෙනස් බව ඇයට දැණුනි.... සමහරවිට ඔහු දිගු ගමනක් ගොස් ඇති නිසා අපහසුතාවයට පත්ව සිටිනවා විය යුතුය....
ස්ටැන්ෆර්ඩ් එක දාලා මැට් මොකට වොෂිංටන් යන්න හදනවද මන්දා ? ඇය තමාටම කියාගත්තාය.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දුන් බව ඔහු දනී... දුක් වෙන්නට හේතුවක් නැත.... සියල්ල හොඳින් සිදු වේවි....
අතරමඟ හෝටලයකින් මිලදී ගත් තමා කැමති පරිදි සකසා ගත් සලාදය සෙමෙන් අනුභව කරන අතරේ අද දවසේ සිදු වූ සිදුවීම් එකිනෙක ඔහු මෙනෙහි කරන්නට විය.. ඔවුන් නොඇසූ එකම ප්‍රශ්නය ගැන නැවත නැවතත් ඔහුට මතක් විය... තමා ඉතාමත් වැදගත් වචනයක් ඔවුන් ඉදිරිපිට දමාගැසුවත් ඔවුන් එය අල්ලා නොගත් හැටි ඔහු මෙනෙහි කරන්නට විය... මිනිස්සු කොයි තරම් දේවල් මඟහරිනවද ?. සෑම දේම සිතූ ආකාරයෙන්ම සිද්ධ වුනා.....
ඔහු නාන කාමරයට වැද සිය ඇඳුම් එකිනෙක උණා දමා වතුර මල යට සිටගත්තේය... සිය සිරුර පිරිසිදු කිරීම ඇරඹිය යුතුය.... සිය සිරුරට උණුසුම් ජලය වැටෙන විට අමුතුම ප්‍රබෝධයක් ඔහුට දැණුනි... විනාඩි කිහිපයක් උණුසුම් ජල දහරාව යටට සිටි ඔහු සිය සිරුර  පිරිසිදු කිරීමේ සුවිශේෂ ද්‍රාවණය සිරුර පුරා ආලේප කළේය... උණුසුම් ජලයෙන් විවර වූ සිය සිරුරේ  සම මතුපිට වූ සිදුරු ඒ ද්‍රාවණය සිරුරට ඇදගන්නා බව හැමදාම මෙන් අදද ඔහුට දැණුනි.... නැවතත් වතුරමල යටට ගිය ඔහු අතිශය සීතල ජලයෙන් සිය සිරුර නැහැවෙන්නට ඉඩ හැරීය... සිය සිරුර පිරිසිදු කරන ද්‍රාවණය සිරුරට කිඳා බස්සවමින් විවෘත ව තිබූ සියළු සිදුරු ක්‍ෂණයකින් වැසී යනු ඔහුට දැණුනි.... නාන කාමරයෙන් ඉවතට ආ ඔහුට සිය සිරුර ගිණියම් වනු දැණුනි.... වසර දහහතරක් පුරා සෑම දිනකම දැනෙන ඒ උණුසුම දැන් ඔහුට හොඳින් පුරුදුය.....
තමා ළදරුවකු සේ පිරිසිදු බව ඔහුට දැණුනි....
හෙට තමා නැවත යා යුතුය..... ඔහු දිගු නින්දකට සූදානම් ව ඇඳට පැන්නේය......
..................................................................................................................................
සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරයේ තාප සටහන

ඒක මහ අසාමාන්‍ය උෂ්ණත්‍වයක්....... සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් දැකිය නොහැකි අන්දමේ තාපයක් පිටවුනේ.....
කොච්චරක්ද ?
ෆැරන්හයිට් 103 ක් දැක්වුවා කැමරාවෙ... මිනිහට උණ ගැණිලද දන්නෙ නෑ අද වෙච්ච වැඩ වලට.....
103 ක් කියන්නෙ සෑහෙන්න වැඩියිනෙ.... කමක් නැහැ... අපි බලමු මිනිහා මොකද කරන්නෙ කියලා..... දිගටම පටිගත කරන්න.... ඉහළින් ලැබුන අණ ඒකනෙ...
ඉන්පසු ඔහුගේ තාප සංඥාව තද රතු පැහැයෙන් අසාමාන්‍ය නිල් පැහැයකට කෙමෙන් හැරෙනු, ඈත ගොඩනැගිල්ලක සිට අධෝරක්ත කැමරාවක ආධාරයෙන් පටිගත කරමින් සිටි FBI නිලධාරියාගේ කැමරාවේ සටහන් විය.....
මැරුණද ?
කෝ බලන්න ? කිසි හැල හොල්මනක් නැහැ..... උෂ්ණත්‍වයත් අසාමාන්‍ය ලෙස අඩු වුනා....
නමුත් මැරුණත් මෙච්චර ඉක්මනට සීතල වෙන්න බැහැ නේද ?
ඔව්... ඒක හරිම අසාමාන්‍යයි...
කමක් නෑ... ආපු වැඩ ටික කර ගත්තා නෙ... දැන් යමු.. වැඩි වැඩ කරන්න ගියොත් අපටමයි කරදරේ....
සිදු වූ සිදුවීමෙන් වික්‍ෂිප්ත වූ FBI නිලධාරීන් දෙදෙනා සිය කාර්යය සපුරාගෙන යන්නට විය.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බොහොම ස්තූතියි ඔබ සැමටම අදම මේ කටයුත්ත අවසන් කරන්න එකඟ වීම ගැන.. අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට ස්තුති කරමින් හමුව ඇරඹීය.
මට අවශ්‍ය සියළුම දත්ත ලැබී තිබෙන්නෙ... මේක අපට ඉක්මනට අවසාන කරන්න පුළුවනි.
මුලින්ම අපි පළමු අපේක්‍ෂකයා ගනිමු.
පෞරුෂත්‍වය 70 % යි: ඉදිරිපත් කිරීම 89 % යි: දැනුම 90% යි: ..........................................
නමුත්  විෂය පරාසය තරමක් පටුයි....  ඒක අපිත් දුටුවා සම්මුඛ පරීක්‍ෂණයෙදි.......
පසුබිම් විස්තර කිසි ප්‍රශ්නයක් නැහැ..... සාමාන්‍යයි...
නමුත් ඔහුට ඇති සම්බන්ධතා සමහරවිට ඉදිරියේදී අපට ගැටළුවක් වේද කියන ප්‍රශ්නය මට තිබෙනවා.... ඒ හැරෙන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ.....
අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට තවත් විස්තර රාශියක් ඉදිරිපත් කරමින් පළමු අපේක්‍ෂකයාගේ සුදුසුකම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර...................... නමුත් අපි අනිත් දෙදෙනා ගැනත් බලන්න ඕන....
දෙවන අපේක්‍ෂකයාගෙ පෞරුෂත්‍වය 76 % යි: ඉදිරිපත් කිරීම 84 % යි: දැනුම 80% යි: ..........................................
මම නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ..... කොහොමද අනිත් එක්කෙනා... කාළය කා දමන්නට අකමැතිවාක් මෙන් නැන්සි ඉක්මන් කළාය...
නමුත් අනිත් එක්කෙනා තමයි ප්‍රශ්නෙ.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ගුවන් යානය තුළට ගොඩ වූ විශ්ව සුපුරුදු පරිදි දෙනෙත් පියා ගත්තේය.... කුඩා කළ සිටම ඔහු ගුවන් ගමන් අප්‍රිය කළ පුද්ගලයෙකි. සිය පියාගේ රැකියාවත් සමඟ රටින් රටට මාරු වීම සිය ජීවිතයේ අප්‍රසන්න අත්දැකීමකි... සෑම වසරකට වරක් හෝ දෙවසරකට සැරයක් කොහේ හෝ රටකට යාමට සිදුවිය.... ගුවන් තොටුපලවල් සහ ගුවන් ගමන් ඔහුට ඒ තරමටම අප්‍රිය වූවේ ඒ නිසාවෙනි.... සිය පියා පරණ පුරුදු නීතීඥ රැකියාව කරගෙන ලංකාවේ සිටියා නම් තවමත් ඔහු ජීවතුන් අතර සිටිනු ඇතැයි විශ්ව අනන්තවත් කල්පනා කළේය. තමාටත් තම සොයුරියටත් හොඳ අනාගතයක් සලසනු පිණිස සිය පියාට ලැබුණ තානාපති තනතුර මෙවන් ඉරණමක් අත් කර දේ යැයි විශ්ව සිහිනෙකිනුදු නොසිතුවේය. අවසන තමා මෙලොව ඉතිරි කර සියල්ලන් තමාගෙන් සමුගත් අයුරු විශ්වට කිසි විටක අමතක කළ නොහැකි විය.
ඒ 2006 මැයි 15 වන දින සිය පවුල අවසාන වරට දකින දිනය යැයි විශ්වට කිසිදිනෙක නොසිතින. 2006 මැදපෙරදිග ඇති වන උණුසුම් තත්ත්‍වය සමනය කිරීම වස් එක්සත් ජාතීන්ගේ සාම තානාපති සෙනරත් සූර්යබණ්ඩාර මහතා ලෙබනනයේ සාම තානාපති වශයෙන් පත් කර යවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නීතිමය උපදෙස් ලබා දෙනු පිණිසත් ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ රජය අතර සාකච්ඡා සඳහා පහසුකම් සළසන්නෙකුත් ලෙසිනි. සිය පියා තත්ත්‍වය සමනය වූ පසුව තම  මවත්, සොහොයුරියත් ගෙන්වා ගත්තේ ඒ තරම් අන්තරායක් ප්‍රදේශයේ නොදුටු නිසාය. නැගණියට ලොව පුරා සංචාරය කිරීමේ ආශාව නිසාමත් ඇගේ පාසැල් නිවාඩුව ඇරඹීම නිසාත් ඇයත් මවත් දෙදෙනාම පියා වෙත ගියේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නිවාස වල සති කිහිපයක් කල් ගත කර ආපසු එනු පිණිසය. සුප්‍රසිද්ධ ගෝලාන් කඳුකර පෙදෙස් බලා නැවත එන ගමනේදී සිදු වූ අනපේක්‍ෂිත ප්‍රහාරයකින්   ඔවුන් සියළුම දෙනා මිය යාම ඔහුට කිසිසේත් දරාගත නොහැක්කක් විය.  එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැරිය නොහැකි පාඩුවක් වූවා පමණක් නොව එය මහා අපහසුවකට ද ලක් කළේය. ඉන් පසුව කිසිදු පහසුකම් සලසන්නෙකු විසින් පවුලේ සාමාජිකයින් අර්බුධ පවතින රටට රැගෙන නොයා යුතු බවටද නව නීතියක් පැණවින. තමාද ඒ ගමනට සහභාගී වූයේ නම් තමන්ට මෙසේ තනිවන්නට සිදු නොවන බව ඔහු සෑම විටම කල්පනා කළේය... නමුත්... සිය පවුලට පොරොන්දු වූ අවසාන පොරොන්දුව ඉටු කළ යුතුය....
දින කිහිපයක් ගත විය...........
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
උදෑසන අවදි වූ වහාම ඊමේල් කිසිවක් ලැබී ඇත්දැයි පරීක්‍ෂා කිරීම රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට ගිය කාගේත් සිරිතකි. එපමණක් නොව වෘත්තියක නියැලෙන කාගේ වුවත් සිරිතකි.
මේ.... එයින් දෙදෙනකු ලැබූ ලිපියයි....

හිතවත් .....................................,
පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට අසමත් වූ බව කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු. ඒ අනුව ඔබ ඒ පරීක්‍ෂණයෙන් අසමත් වී ඇති බැවින් අප ආයතනයේ ඔබ අයැදුම් කළ රැකියාවට ඔබ බඳවා නොගන්නා බව කණගාටුවෙන් දැනුම් දීමට කැමැත්තෙමු. ඔබේ අනාගත කටයුතු සාර්ථක වේවායි පතමු.
ස්තූතියි.
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්
ප්‍රධාන පර්යේෂක,
නාවික පර්යේෂණ ආයතනය
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ තනතුර
හිතවත්  ආචාර්ය විශ්ව සමාධි සූර්යබණ්ඩාර වෙත,
පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව, ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට සමත් වූ බැවින් අප ආයතනයේ ආධුනික විද්‍යාඥ තනතුර සඳහා ඔබව බඳවා ගන්නා බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි. ඔබ මේ රැකියාව භාර ගන්නේද නැතිද යන්න දින තුනක් ඇතුලත මා හට ඊ මේල් පණිවුඩයකින් දන්වන්නට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.  ඔබේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටිමි.
ස්තූතියි.
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්
ප්‍රධාන පර්යේෂක,
නාවික පර්යේෂණ ආයතනය
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඊ මේල් පණිවුඩය කියවූ විශ්ව සතුටින් දෑත් ඉහළට ඔසවා ජයග්‍රහණය පළ කරන ආකාරයක් දැක්වීය... මේ තමා බලාපොරොත්තු වූ ඉලක්කයයි. මේ රැකියාව භාර ගන්නවාද නැද්ද යන්නෙහි කිසිදු අඩමානයක් තමන්ට නැති බව ඔහු දනී... නමුත්, මේ ලිපියට වහාම පිළිතුරක් දීම තමන්ට මේ රැකියාව හැර වෙනකක් නැති බවක් දිස් වන බව පෙන්වන්නක් මෙන් ඔහුට හැඟුණි. සාමාන්‍යයෙන් දින තුනක් කල් දෙන්නේ දැනට රැකියාවක් කරන්නේ නම් රැකියාව කරන ස්ථානයට දැන්වීමට සහ එයින් අවසර ලබා ගැනීමටට, වෙනත් රැකියා අවස්ථා ලැබී ඇත්නම් ඒ පිළිබඳ සිතීමට සහ ඒ ඒ ස්ථාන සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීමට යන කාරණා සඳහා ය.
විශ්ව වහාම හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට යැවීම සඳහා ඊ මේල් ලිපියකට  අකුරු අමුණන්නට  විය.
..................................................................................................................................
පසුගිය අවුරුදු හයක් තමා තනිවම ගෙවූ ජීවිතයේ අරමුණ කරා තමා පැමිණ ඇති බව විශ්ව ට පසක් විය. තමා අවුරුදු තිහක් ගෙවූ ජීවිතය, සිය දෙමාපියන් තමා වෙත තබා තිබූ බලාපොරොත්තු, සිය ගුරුදේවයා තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීම කරා තමන් ලං වන බව ඔහුට තේරුම් යමින් තිබුණි.
දවසම ඔහු ගත කළේ අදාල කටයුතු සැලසුම් කිරීම සඳහාය... ලිපියට අනුව සති දෙකකින් වොෂිංටනය වෙත  යා යුතුය. සති දෙකකින් වසන්නට නිවසක් සොයා ගැනීම තරමක ප්‍රශ්නයක් විය හැකිය. තමා සිටින තැන අඩුව පිරවීමට වෙනකෙකු සොයා ගතයුතුය. නැතහොත් දෙමසක කුලිය නිකරුණේ ගෙවිය යුතුය.. කළයුතු දෑ බොහෝය.... බලාපොරොත්තු බොහොමයකි....
බොහෝ දෑ අවසන් කර, බොහෝ වෙහෙස වී නවාතැනට පැමිණි විශ්ව සුදුරුදු පරිදි ස්නානය කර පිරිසිදු විය. වෙනත් හැමදාකම සෙනසුරාදාට ගන්නා දුරකථන ඇමතුම අද බ්‍රහස්පතින්දාවක ලබා ගැනීම පිළිබඳ ඇය පුදුම වනු ඇත.. නමුත් ඇයට මෙය දැන්විය යුතුමය... බොහෝ කළක සිට දෙමාපියන් නැති ඔහුට දෙමාපියන් වූයේ ඒ දෙපළ ය. සුමනසේකර මහත්මිය අවේලාවේ නාදවන දුරකථනය ගැන කුතුහලයෙන් යුතුව ගොස් රිසීවරය එසවූවාය.
හලෝ......
ලොකු නැන්දේ....
හලෝ සමාධි පුතා.... මොකද අප්පේ මේ අවේලාවෙ ?
මම හිතුවා ඔහොම අහයි කියලා... ආරංචියක් කියන්නයි කතා කළේ....
අපිත් මේ මඟ බලාගෙන හිටියෙ සුභ ආරංචිය අහන්න.... ගිය වැඩේ හරි ගියා නේද ?
ඔවු නැන්දෙ.... අද තමයි ආරංචිය ආවෙ... නැන්දට තමයි ඉස්සෙල්ලම පණිවුඩේ කිවුවෙ.... වෙන කවුද ඉතින් මට ඉන්නෙ මේක කියන්න නැන්දයි මාමයි ඇරෙන්න ? තව සති දෙකකින් වැඩ බාර ගන්න තියෙනවා... දැන් ඉතින් ඒවට ලෑස්ති වෙනවා... මේ ඔක්කොම ආපහු දීලා යන්න ඕන නෙ... අළුතෙන් Apartment එකක් ගන්නත් ඕන... ඒවා බලන්නත් තියෙනවා. කෝ ලොකු මාමා ?
මාමා නම් මේ වෙලාවෙ එළවළු පාත්තියෙ... මම පණිවුඩේ කියන්නම්..... මාමා කිවුවා ඔයාට ගිය වැඩේ හරි යන්න ඕන කියලා...
නැන්දයි මාමයි සනීපෙන් ඉන්නවනේ...
ඔව් පුතා... අපට කිසි කරදරයක් නෑ... අපි පුරුදු විදියට සැනසීමෙන් ජීවත් වෙනවා.... පුතාගෙ බෙහෙත් කොහොමද ?
ප්‍රශ්නයක් නෑ නැන්දෙ... මට චීන කඩයක් හම්බ වුනා... ඒකෙ තියෙනවා මට ඕන කරන ඔක්කොම දේවල්...  වොෂිංටන් ගියාම ඒ පලාතෙන් හොඳ කඩයක් හොයා ගන්න ඕන... කඩේ අයිතිකාරයා දන්නවා ඇති හොඳ තැන්... හොඳයි එහෙනම්... ලොකු නැන්දේ.... මම පස්සෙ කතා කරන්නම්...
හොඳයි පුතා... තෙරුවන් සරණයි...
තෙරුවන් සරණයි දෙන්නටම...
..................................................................................................................................
බෙහෙත් ?
ඔව්... බෙහෙත්... Medicine.... එෆ් බී අයි ඒජන්තවරුන් දෙදෙනාට ඒ දුරකථන වාර්තාව පරිවර්තනය  කර දුන් පරිවර්තකයා පැහැදිළි කළේය....
ඒ වුනත් මෙයාගෙ රුධිර වාර්තාවෙ කිසිම බෙහෙතක් ගැන වාර්තා වුනේ නැහැනෙ....
අන්න එතැන තමයි ප්‍රශ්නෙ.... මෙයා කිසියම් රෝගයකට බෙහෙතක් ගන්නවා... අන්න ඒ බෙහෙත නිසා ලේ වල වෙනසක් සිදු වෙනවා ඇති... ඒකම නිසා තමයි ලේවල හිමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි වෙන්න ඇත්තෙ... නමුත් ඒ බෙහෙත බටහිර බෙහෙතක් නොවෙයි... එයා කිවුවෙ චීන කඩේකින් ගන්නවා කියලා.... සමහර විට චීන බෙහෙතක් වෙන්න පුළුවනි....
ඒත්... බෙහෙතක් ගන්නවා නම් ඒ බව රුධිර වාර්තාවෙ සඳහන් විය යුතුව තිබුණා නේද ?
සමහර වෙලාවට පෙරදිග බෙහෙත් ගනිද්දි එහෙම ආගන්තුක රසායනික ද්‍රව්‍ය ඇඟට ඇතුල් වන්නෙ නැහැ.. සියල්ලම ශාකවල ඇති රසායන ද්‍රව්‍ය... මේ නිසා පරීක්‍ෂණ වලදි අහු නොවන්න පුළුවනි....
ඔව්... ඒක තමයි... කෝකටත් අපි මේ ගැන අදාල තැන් වලට දැනුම් දිය යුතුයි.... දැන්ම මේ සංවාදයේ පරිවර්තනයක් ආචාර්ය ලිපර්ඩ්ට, අද්මිරාල් බවර්ට වගේම වෛද්‍ය රසායනාගාරයේ ආචාර්ය ෆිලිප් කවුෆර්ටත් යවන්න.... මේ ගැන ඒ අය දැනගත යුතුයි..
විශ්වගේ නවාතැනට සැතපුම් තුන් දහසකට එහා තවත් කිහිප දෙනෙක් ඒ දුරකථන සංවාදයට සවන් දෙමින් සිටි බව මේ දෙදෙනාම නොදැන සිටි කරුණක් විය...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් මහතාණෙනි,
ඔබ විසින් පිරිණමා ඇති අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුර භාර ගැනීමේ යෝජනාව මම ඉතා ගෞරවයෙන් මෙන්ම සතුටින් භාර ගනිමි. ඒ අනුව ඔබ ආයතනයේ කොන්දේසි වලට එකඟව මගේ සේවය නාවික පර්යේෂණ ආයතනයටත් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් ලබා දීමට මම එක සිතින් කැමැත්ත දක්වන බව මෙයින් දැනුම් දෙමි. මේ සම්බන්ධයෙන් ඔබතුමාට තවදුරටත්  දැනගැනීමට අවශ්‍ය කරුණක් වේ නම් කරුණාකර මා සම්බන්ධ කරගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ගෞරවයෙන්,
විශ්ව සමාධි සූර්යබණ්ඩාර.
දින දෙකක් පුරා සිය දෛනික කටයුතු මෙන්ම සති දෙකකින් පසු ගත කරන්නට යන නව ජීවිතයේ වැඩ කටයුතු වෙනුවෙන් විශ්ව වෙහෙසෙන අතර තවත් කණ්ඩායමක් ද ඔහුගේ කටයුතු සහ දුරකථන මෙන්ම අනෙකුත් සම්බන්ධතා පිළිබඳ වෙනදාටත් වඩා විමර්ෂණශීලීව කටයුතු කරන බව විශ්ව නොදැන සිටියා නොවේ.
..................................................................................................................................
අමෙරිකාවේ Stanford සරසවිය.. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 10 ට අයත්ය..

සතියක ඇවෑමෙන් විශ්ව පැලෝ ඇල්ටෝ (Palo Alto)  නගරයට සමු දී වොෂිංටනය බලා සැතපුම් 3000 ක ගමන තනිවම ඇරඹීය...... මේ නගරයේ ඔහුට අත් හැර යා නොහැකි කිසිවක් නොවීය... තමන් සියළු බැඳීම් වලින් නිදහස් බව තේරුණේ අද ඊයේ නොවන බව විශ්ව දැන සිටියේය... 2006 වසරේ සිටම විශ්ව සිය කටයුතු කර ගත්තේ තනිවමය. සිය දෙමාපියන් සහ සොයුරිය තමා හැරදා ගිය දින පටන් ඔහුගේ ජීවිතය තනිව ගෙවූ එකක් විය. මිතුරු මිතුරියන් කොපමණ ඔහු වටා සිටියද, ඔහුගේ පිහිටට සිටින්නේ ඔහු සහ සැතපුම් දස දහස් ගණනක් ඈත ලංකාවේ වෙසෙන විශ්වගේ ලොකු මාමා සහ ලොකු නැන්දා පමණි. ඔහුට තිබූ එකම බැඳීම එපමණකි.
විශ්වගේ මවගේ ලොකු අයියා වූ සුමනසේකර මහතා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසු සිය නිවසේ කටයුතු, සමාජසේවා කටයුතු මෙන්ම සිය අධ්‍යාත්මික ජීවිතයද පිළිවෙලකට ගොඩ නඟාගෙන, සියල්ලන්ටම යහමඟ පෙන්වමින් ආදර්ශමත් ජීවිතයක් ගතකළ පුද්ගලයෙකි. නිතර බණ භාවනා කරන ඔහු සහ සුමනසේකර මැතිණිය අධ්‍යාත්මිකව අනෙක් පුද්ගලයන්ට වඩා සහ සමහර භික්‍ෂූන් වහන්සේලාට පවා බොහෝ ඉදිරියෙන් සිටි යුවලක් විය. විශ්ව පිළිබඳ නිතර සොයාබැලූ ඒ දෙපළ නිබඳවම විශ්ව හට අවවාද අනුශාසනා දෙමින් සිය පවුලේ එකම අනාගත පුරුක යහපත් පුරවැසියෙකු මෙන්ම සාර්ථක පුරුවැසියෙකු ද කිරීමට වෙහෙස මහන්සි වූ දෙපළකි. ආගමිකව එක් ආගමකට කොටු නොවූ මේ දෙපළ නොයෙක් ආගම් පිළිබඳ විවෘත මනසකින් හදාරමින් ඒ ලද දැනුම් සම්භාරය අන් සියල්ලන් සමඟම බෙදා හදා ගනිමින් ජීවත් වූ දෙපළකි. සුමනසේකර මහතා සතු වූ ධර්ම ඥාණය කෙටි කාලීන ඥාණයක් නොවීය.. ඉපැරණි වේද ග්‍රන්ථ පවා පරිශීලනය කරන සුමනසේකර මහතා හමු වී බුද්ධාගමේ විවිධාකාර ගැඹුරු මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ඒ අවට වැඩ සිටින ධර්මධර භික්‍ෂූන් වහන්සේලා ම  එයට සාක්‍ෂි සපයති.
තමන්ගේ ලොකු මාමා ලෙස පමණක් නොව සිය ජීවිතය යහමඟ ගෙනයාමට මඟ පෙන්වන මේ යුවල පිළිබඳ විශ්වගේ සිත තුළ ජනිත වූයේ ද සිය දෙමාපියන්ට පමණකම ගෞරවයකි - ආදරයකි. සතියකට වරක් නොවරදවාම ඔවුන්ගේ දුකසැප බැලීමත්, සිය විස්තර නොවලහා ඔවුන්ට දැන්වීමත් විශ්වගේ ජීවිතයේ අංගයක් වූයේ, තනිකම සිය ජීවිතය වෙලාගත් දා පටන් ය... ඒ එකුදු මිනිත්තුවක් හෝ අපතේ නොගිය බව විශ්වට හොඳටම සහතිකය.... ඒ විශ්වාසය සැමදා පවතිනු ඇති බව ඔහු හොඳින්ම දැන සිටියේය....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සමහරවිට කොටස් එකතු කරලා පළ කරනවට ඔබ කැමති ඇති..... සමහර විට අකමැතිත් ඇති... කැමති අකැමැති හැමෝටම බලන්නයි නොබලන්නයි ඔක්කොම එකතු කරලා දැම්මා.......