Friday, June 7, 2013

ලෝක පරිසර දින සම්මන්ත්‍රණය.... කෝටි ගණන් වියදම් නොකළත්, යමක් කෙරුණ දවසක්....

ජුනි 05 වන දින ලෝක පරිසර දිනය වෙනුවෙන් ඉතාම කෙටි කලකින්, දින හතරක් තුළ සංවිධානය කළ  දේශන පහකින් යුතු සම්මන්ත්‍රණයක් සංවිධානය කළේ පරිසරය ගැන රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස හැඟුන නිසායි. මේ පිළිබඳ අදහස රසායන විද්‍යා ආයතනයේ ප්‍රධානි මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතාට මම දැන්වුයේ සිකුරාදා පැවති ආචාර්යවරුන්ගේ හමුවේදී. ඒ මහතා එක පයින්ම කැමති වුනා. ඔයාම සංවිධානය කරන්න කියා ඒ බර මට පැටෙවුවත්, ඒක මම බොහොම ගෞරවයෙන් භාර ගත්තෙ එය සංවිධානය කරන එක ලෝකය වෙනුවෙන් කරන තවත් එක යුතුකමක් පමණක් නොවන බව මම දන්න නිසාමයි. පිටරට සිටිද්දි ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොග් අඩවියෙන් පරිසරය සුරැකීම මෙන්ම පරිසරයට හානි පැමිණවීමෙන් සිදුවිය හැකි අවැඩ පිළිබඳ අනන්ත කතා කළත් සක්‍රීයව යමක් කිරීමේ පහසුකම මට තිබුණෙ නැහැ. ඒ පිටරටක මම ජීවත් වුන නිසාම... වෙනත් රටවල ජීවත් වෙද්දි තමන්ට යමක් සංවිධානය කිරීම අපහසු බව මට තේරුණේ වරක් දෙවරක් නොවෙයි. නමුත් තමන්ගෙ මවු රටේදී තමන්ට අවශ්‍යතාවය තිබෙනවා නම් එය කිරීම ඉතාම පහසු බව මේකෙන්ම මට වැටහුනා.
ඉතින් රසායන විද්‍යා ආයතනයේ සිටි ආචාර්ය මහාචාර්යවරුන්ට මගේ අදහස දැනුම් දුන් වහාම ඔවුනුත් එයට දායක වන්න කැමැත්ත පළ කළේ එක පයින්ම. එපමණක් නොවෙයි එදින නිවාඩු ලබාගෙන සිටි මහාචාරය දසරත ගුණවර්ධන මහතා පවා පසුව තමන් දේශනයක් කිරීමට කැමැති බව ප්‍රකාශ කළා. ඒ නිසා මුලින් දේශන හතරක් ව තිබූ සම්මන්ත්‍රණය පසුව දේශන පහක් දක්වා දීර්ඝ වුනා.
මුලින් පත්‍රිකා මගින් රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන්ට මේ බව දැනුම් දුන්නත්,  සිසුන්ට ඒ ගැන දැනගන්න තිබුණ කාළය මදි වුනාද මන්දා... බලාපොරොත්තු වුන තරම් සහභාගිත්‍වයක් ලැබුණෙ නැහැ.. නමුත් වෙනත් පන්තියක සිටි භක්ති ගීත පුහුණු වෙමින් හිටපු සිසු සිසුවියන් ටිකක් ඇදලා අරගෙන යන්තම් සෙනඟ සම්පූර්ණ කර ගත්තා...
නමුත් දේශන මාලාව යන අතරවාරයේ මට තේරුණා මේ දේශනවල වටිනාකම. මා පවා නොදත් බොහෝ දේවල් ඒ දේශනවලින් ඉගෙන ගත්තා.. මගේ දේශනය තිබුණෙ අන්තිමට.. කෙසේ වුවත් මේ දේශන මාලාව මට හිතුන පරිදි සාර්ථකයි..
මේ දේශන මාලාව ගැන පූර්ව ප්‍රචාරයක් ලබා දුන් ලේක්හවුස් ආයතනයේ නලීන් දිල්රුක්‍ෂ අයියාට ස්තුතිය පිරිනැමීම කළ යුතුමයි. ඒ වගේම දිනමිණ සහ ඩේලි නිවුස් ආයතන දෙකෙන් පැමිණි චින්තා රණසිංහ සහ ඉෂාරා මුදුගමුව මාධ්‍යවේදිනියන්  දෙදෙනාටත් මගේ ස්තුතිය පිරිණමනවා.
ඉදිරියේදීත් මෙවැනි දේශන සංවිධානය කිරීමට අපේ ආචාර්ය මණ්ඩලය එකඟ වුනා.. සමහරවිට අපි දුරස්ථ පාසැල් වලට ගොස් එදිනෙදා ජීවිත හැඩගස්වා ගැනීමට රසායන විද්‍යාවෙන් සිදුවන මෙහෙයයන්, පරිසරය සුරැකීම, ආහාර පුරුදු වැනි දෑ පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වන්න අපට පුළුවන් වේවි...
මේ තියෙන්නෙ දිනමිණේ තිබුණ විස්තරේ...
Dinamina Article