Wednesday, November 7, 2012

Edge of the Ear's Adventure ! .... අළුත්ම චිත්‍රපට තිරකතාව... සම්පූර්ණ කිරීමට ඔබේ සහය අවශ්‍යයි....


මේ  දවස් වල විද්‍යා ප්‍රබන්ධයක් ලියන්න පටන් අරන් ඇල්කෙමියට හිතෙන්නෙම කතා ලියන්න... ඒ අතරෙ නිකං ඉන්න ගමන් පරණ චිත්තරපටියක් බැලුවා...Oceans 13 කියලා... බලපු අය දන්නවා ඇතිනෙ සිද්ධිය... බලපු නැති අය හොයාගෙන බලන්න.. මම ඉන්නෙ ඕවා හොයලා දෙන්න නෙමෙයි. ඉතිං මටත් හිතුනා මේ වගේ කතාවක් අනුසාරයෙන් තිර රචනයක් ලියලා මමම අධ්‍යක්‍ෂණය කරලා මමම නිෂ්පාදනය කරලා චිත්‍රපටියක් හදන්න... මොකද අධ්‍යක්‍ෂකලටයි අනිත් අයටයි ගෙවන ගාන ඉතිරි වෙනවනෙ... මේ දවස්වල ටිකක් නිදහසේ ඉන්න නිසා තිර රචනය ලියන්න ගත්තා... මේක දළ සටහනක්... සෑහෙන්න හදන්න තියෙනවා... මේක මම පළ කරන්නෙ ඔබේ අදහස් ගන්න.. මේකත් එක්තරා පර්යේෂණයක්... මේ චිත්‍රපටිය ඔබේ හදවතට වදින එකක් කරන්නයි මට ඕන.. ත්‍රාසය, භීතිය, කුතුහලය, ආදරය, ශෘංගාරය, රැගත් හොඳ පණිවුඩයක් ජනතාව අතරට ගෙනියන පවුලේ කතාවක් වෙන්න ඕන... කතාව හොඳ හිට් එකක් වෙන්න ඔබේ අදහස් අවශ්‍යයි... මේක තවත් අත්හදා බැලීමක්. බොහොමයක් චිත්‍රපටි බලන්න ගියාමයි පේන්නෙ බලන්න දෙයක් නෑ කියලා.. අන්න මාරයා කර්ම ගැන ලොකු විචාරයක් ලියලා තියෙනවා.. හොයාගෙන බලන්න.... ඔබේ සංශෝධන මේකට අත්‍යවශ්‍යයි.....  බලන්න කොහොමද කියලා... හිතෙන දේවල් කියන්න...  මම ලංකාවට ආපු ගමන් චිත්‍රපටියෙ වැඩ පටන් ගන්න ඉන්නෙ... ඒ නිසා දැන්ම තිර රචනය ඉවර කරලා, නළු නිළියොන්ව තෝරගෙන, ලොකේෂන් බලලා තියාගන්න ඕන....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
චරිත :
කෙවින් ගේට්ස්/ : සෞම්‍ය ලියනගේ හෝ මහේන්‍ද්‍ර පෙරේරා
ඩොටී : ගීතා කුමාරසිංහ
විලී : සනත් ගුණතිලක
ඩොටීගේ සහ විලීගේ දුවණියන් : අනර්කලී ආකර්ෂා - සිල්වා සහ හඳුන්වා දෙන නවක නිළි හිරුණිකා ප්‍රේමචන්‍ද්‍ර සිල්වා
තරුණ ඇමතිවරයා : අර්ජුන කමලනාත්
පොලිස් පරීක්‍ෂකවරුන් : බන්දු සමරසිංහ
රහස් පරීක්‍ෂකයින් : 1. ටෙනිසන් කුරේ 2. රවින්‍ද්‍ර යසස් 3. ප්‍රියන්ත සෙනවිරත්න
මුරකරු : විජය නන්දසිරි
ගරු රඟපෑම් : ආචාර්ය මර්වින් සිල්වා,
සටන් අධ්‍යක්‍ෂණය : ටෙඩී විද්‍යාලංකාර  උපදේශනය සේනක විජේසිංහ
සෙසු චරිත  සඳහා නළු නිළියන් සළකා බැලේ....
සංගීතය : ඉරාජ් වීරරත්න... (මේක ටිකක් මොඩ් චිත්තරපටියක් නිසා මොට සංගීතයක් අවශ්‍යය)
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පළමු දර්ශනය.....
ස්ථානය: කැළණි පාළම අසළ වූ සුවිසල් මන්දිරයක් පෙනේ... වේලාව සවස හතරට පමණ ඇත..... කැළණි ගඟ අනෙක් පසින් හිරු බැස යමින් තිබේ....
විලීගේ නිවස මේ වගේ එකක් විය යුතුය
මන්දිරය අනෙක් නිවාස වලින් වෙන්කර ඇත්තේ සුවිසල් යකඩ වැටකින් නිසා ගෙවත්තේ සිදුවන දෑ හොඳින් පෙනේ.... වත්තේ ඇතුලත අසලින්ම තරමක් වසයට ගිය ඩොටි අක්කා  (වයස 60ක් පමණ පෙනෙන සේ වේසනිරූපනය කර ඇත.) සිහින් පටි සහිත දිගු ගවුමක් හැඳ  දොඩම් යුෂ වීදුරුවක් පානය කරමින් Vogue Magazine එකේ පිටු පෙරළයි.. ඇය ඉදිරියට නැවෙන විට පාත්තයින් දෙදෙනා එළියට පනින්න බලාගෙන ඉනුපෙනේ...... විලී (රැවුල වවා ඇත, තරමක් නෙරා ආ උදරයක් සහිතය, මල් මල් කොට කලිසමක් හැඳ පෝලෝ ටී ෂර්ට් එකක් ඇඳ සිටී - ටිකක් තිලක් කරුණාරත්න මහත්මයා වගේය) කැළණි ගඟ දෙසට වන සේ ඉදිකළ ඩෙක් එකේ  සිට හවානා සුරුට්ටුවක් උරමින් තම අත්ල මත වූ අයි පෑඩයෙන් සන්ඩේ ඔබ්සර්වර් පත්‍රය කියවමින් සිටී... දෙපසින් ආරක්‍ෂකයින් දෙදෙනෙකි.  මොන්ටෙරෝ ජීප් රථයක්, BMW  රථයක් සහ තවත් සුඛෝපභෝගී වාහන කිහිපයක් වත්තේ නවතා ඇත. දියණියන් දෙදෙනා ඉතා සතුටින් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලී සිටිති... (Note to myself: මෙයින් හොවා දැක්විය යුත්තේ විලී දැන් සිය පැරණි දාමරික ගති වලින් අයින් වී සමාජයේ වැදගත් පුද්ගලයෙක් වී ඇති බවයි. Work on this more,.....)
දර්ශනය කෙමෙන් කෙමෙන්   කැළණි පාළම යට කුඩු උරමින් සිටින මැදි වයසට ආසන්න තරුණයෙක් දක්වා කැරකේ...... (මෙයින් පෙන්විය යුත්තේ ඇති නැති පරතරයයි) අදාල පුද්ගලයා බොහෝ සේ කළකිරීමකට පත් වී ඇති බවක් පෙන්වීමට නළුවා වගබලාගත යුතුය..... අවසාන කුඩු ටික ද ඉරූ පසු ඔහු නහය පිසදමාගෙන නැගී සිටී.... මොහොතක් අර සුවිසල් මන්දිරය වෙත බැල්මක් හෙලා දිගු සුසුමක් හෙළයි... ඔහුගේ දෑස් නවතින්නේ ක්‍රීඩා කරමින් සිටින යුවතියන් දෙදෙනා වෙතය... සුළඟට ඉහළ යන ඔවුන්ගේ කෙටි සායවල් අතරින් රෝස පැහැති කොට කලිසම් පවා පෙනේ (මේ දර්ශනය සෙනඟ අද්දවා ගැනීමට Trailer එකට දැමිය යුතුය)...
දර්ශනය බොඳ වී යයි....
දෙවැන්න....
කෙවින් රෑ බෝ වී මුඩුක්කුවක් අතරින් ගමන් කරනු පෙනේ... (අතරින් පතර හොටු පෙරා ගත් කොල්ලෙක් උන්ට බණිමින් යන ගැහැණියක් පෙන්විය යුතුය.... ගමන් කරන දර්ශනය ඉදිරියෙන් සහ පසුපසින් රූපගත කර වරින් වර මාරු කරමින් පෙන්විය යුතුය..... Length : 2 minutes) ..... ඔහුගේ අතේ කෑම පැකට් එකක් ඇත.. දකුණතින් බීඩියක් උරමින් වරින් වර කෙළගසමින් ගමන් කරයි..... ඔහු පැමිණ දොර තල්ලු කර විවෘත කරයි. දොරට අගුලක් නැත.. අගුලක් අවශ්‍ය ද නැත. කිසිවක් නිවස තුළ නැත. නිවස අඳුරුය.... ඔහුගේ නිවසේ සිටින්නේ ඔහු පමණි... නිවසේ ඇති එකම විදුලි ස්විචය දමා ඔහු සිය නිවස ආලෝකමත් කරයි.. (මෙහිදී ඔහුගේ දුප්පත්කම වැඩි වැඩියෙන් උළුප්පා දක්වන දර්ශනයක් සැකසිය යුතුය) දුර්වර්ණව ගිය මේසයක් මත මහළු කාන්තාවකගේ පින්තූරයක් තබා තිබෙනු පෙනේ...  ඔහු මඳක් ඒ දෙස බලා සිටී....
පසුබිමින් නිරෝෂා විරාජිනී ගේ "ඔබ ගියාම දුක මටදී...................." ගීතයේ අළුත් වර්ශන් එකක් යා යුතුය............
ඔහු සෙමෙන් ගොස් පින්තූරය රැගෙන පපුවට තබා ගනී... ඔහුගේ දෑසින් කඳුළුකැට කඩා වැටේ...... මේසය තෙත්වේ....
හ්... හ්... උඹ හිටියනං මට මෙහෙම වෙන්නෙ නෑ අම්මෙ.. උඹ හිටියනං මම රජෙක් වගේ ජීවත් වෙන්නෙ.........මොන මගුලකට උඹ මාව දාලා වික්ටරයත් එක්ක පැනලා ගියාද මේ නහින දෙහින කාලෙ ? උඹට මම කන්න දෙන හරිය මදිද අම්මෙ ?  උඹට තව මොනවද ඕන වුනේ ? හ්... හ්.....
ඔහු වැලපෙයි.... කැඩී ගිය වැල් ඇඳ මත සිට වැලපෙන අයුරක් පෙන්විය යුතුය.....
පසුව වැල් ඇඳෙන් නැගිට ගෙන ආ බත්පත දිග හැර ගන්නා ඔහු මේසය මත තබාගෙන බත්පත කන්නට පටන් ගනී....
බත්පත ඔතාගෙන ආ කොළයේ ප්‍රවෘත්තියකට ඔහුගේ ඇස ඇදේ...

කොළඹ කෞතුකාගාරයේ වහල අබලන්.... බලධාරීන්ගේ අවධානයක් නැහැ...

අතිශය පෞරාණික භාණ්ඩ සහ වටිනා කෞතුක භාණ්ඩ සුවිසල් ප්‍රමාණයක් තබා ඇති කොළඹ කෞතුකාගාරයේ එක් පැත්තක් සුළු වැස්සකට පවා තෙතබරිත වන බව වාර්තා වේ. මේ කෞතුක භාණ්ඩ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා භාවිතා කළ සිංහාසනය, ඔටුන්න, කඩුව, මුදු සහ පළඳනා මෙන්ම වෙනත් වටිනා කෞතුක භාණ්ඩ වේ. බලධාරීන් වහා පියවරක් නොගතහොත් අනාගත පරපුරට ප්‍රදර්ශනය කිරීමටවත් මෙවැනි භාණ්ඩ සොයා ගත නොහැකි තත්ත්‍වයට පත් වන බව නම හෙළි කිරීමට අකමැති කෞතුකාගාර බලධාරියෙක් අප වාර්තාකරුට ප්‍රකාශ කර ඇත. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ කෙසේ හෝ මේ වහල පිලිසකර කරදී කෞතුක භාණ්ඩ වලට වන විනාශය අවම කර දෙන ලෙසය......
කෙවින් බත්මුල කන අතරේ මේ ප්‍රවෘත්තිය කියවනු සමීප දසුන් සහ දුර දසුන් මඟින් පෙන්විය යුතුය.. මෙහිදී ඔහගේ මුහුණේ වන හැඟීම් වල වෙනස පැහැදිලිව පෙන්වීමට නළුවාත් කැමරා ශිල්පියාත් වගබලාගත යුතුය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කෙවින් අම්මාගේ රෙද්දක් පොරවාගෙන නිදන්න සැරසේ.... ටික වේලාවක් ඔහු ඇඳේ ඒ මේ අත පෙරළේ.... එක් වරම බිත්තියට රිද්මයානුකූලව තදින් යමක් වදින ශබ්ධයක් වැනි දෙයකින් ඔහුගේ සිතිවිලි බිඳ වැටේ..... ඒ අතරම ගැහැණියකගේ රිද්මයානුකූල කෙඳිරීමක් ඇසේ
ඔහු වැරෙන් බිත්තියට ගසමින් කෑ ගසයි...
යකෝ බීප්බීප්බීප්බීප් නං සද්ද නැතුව බීප්බීප්බීප්බීප්බීප්...... අහල පහළ මිනිස්සුන්ට නිදා ගන්න තියෙනවා... තොපි දවල්ටත් බීප්බීප්බීප් රෑටත් බීප්බීප්බීප් තමයි මේ වත්තම පුරවලා තියෙන්නෙ...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කෙවින්   වටිනා හැඳුමක් හැඳ බොහෝ පොහොසත් පෙනුමැති තරුණියක් සමඟ හෝටලයකට යන දර්ශනයකින් මෙය ඇරඹේ.... පිළිගැනීමේ නිලධාරියා සමඟ ඉංග්‍රීසියෙන් කතා කරන ඔහු තරුණියගේ බඳවටා අතක් යවමින් ඇයව අසළ මේසයක් වෙත කැඳවාගෙන යයි. තරුණිය  අන් කිසිවකු නොව ඩොටීගේ වැඩිමහල් දියණියයි... ඇය බොහෝ සතුටින් ආදරයෙන් කෙවින්  සමඟ සිටින බවක් පෙන්වයි... මේ රටේ මතට තිත බැවින් දෙදෙනාටම ඔරෙන්ජ් ජූස් දෙකක් ගෙන වේටරයෙක් පැමිණේ..... ඔහු කෙවින්  ගේ කණට යමක් පවසයි... කෙවින්   හැරී බලයි.. මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් යැයි සිතිය හැකි පෞරුෂයක් ඇති පුද්ගලයෙකු තවත් කණ්ඩායමක් සමඟ ඔරෙන්ජ් ජූස් පානය කරමින් සිටිති.... ඔහු තරුණියගෙන් අවසර ගෙන ඒ දෙසට ගමන් කරයි....
හලෝ හලෝ කෙවින්.... කොහොමද කොහොමද ? කාලෙකින්  .. දැන් සරු පාටයි....
මොන සරුවක්ද ඇමති තුමා... ඔබතුමාලගෙ පිහිටෙන් අපේ සල්ලිවලින් ජීවත් වෙනවා... දැන් ඉතිං බිස්නස් ඒ තරම් ජය නෑ නෙ.... හොරු වැහි වැහැලා...  හරියට counterfeit බඩු... ඇත්ත දේවල් හොයා ගන්න හරිම අමාරුයි....
මචං මේ කෙවින්.... කෙවින් ගේට්ස්... මගේ හොඳ යාළුවෙක්.. බිස්නස්මන්.. දැන් මිලියනයර්.... නම දාලා තියෙන්නෙ කෙවින් කොස්ට්නර් මතක් වෙන්නයි බිල් ගේට්ස් මතක් වෙන්නයි ලු... ඒ දෙන්නා වගේම මෙයත් හොඳ වැඩ කාරයා....  ඇන්ටීක් බිස්නස් තමයි වැඩිපුරම කරන්නෙ... පරණ දේවල් හොයා ගන්න මාර Expert,.. කියන්න විතරයි තියෙන්නෙ.... කොහෙන් හරි ගෙනැත් දෙයි....
තරුණ ඇමතිවරයා සිය සගයින්ට  කෙවින් ගේට්ස් හඳුන්වා දුන්නේ එලෙසය.... කතා බහ ඇදී යමින් යයි... තරුණිය නොයිවසිලිමත්ව ඔරෙන්ජ් ජූස් එක අවසන් කරයි... ඇය බලා හිඳ බැරිම තැන නැගිට ගොස් කෙවින්ගේ අතින් අදිමින් යන්නට කතා කරයි....
Excuse me please,...කෙවින් අපි යමු... තාත්ති බලාගෙන ඇති...
පොඩ්ඩක් ඉන්න ඩාලිං... මේ ඇමතිතුමා මගේ හොඳ යාළුවෙක්... කාළෙකින් හම්බ වුනේ.... අපි තව ටිකක් ඉඳලා යමු ස්වීටි...
අනේ කෙවින් යමුකො.. තාත්ති කිවුවානේ පරක්කු වෙන්නෙ නැතුව එන්න කියලා...
යමුකො.... ඇය අතින් අල්ලා අදින්නට විය.....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
යකෝ..... දවල් තිස්සේ කුඩු ගහලා මෙතැන ගොරොද්දෙ ඇද ඇද නිදි... නැගිටපිය... අන්න කවුද මහත්තයෙක් ඇවිල්ලා උඹව හොයනවා හැම තැනම..... මෙතනට මහත්තයෙක් එක්ක එන්න පුළුහං තැනක්යැ...
අන්න එළියෙ ඉන්න කියලා මං පුටුවක් දුන්නා... උඹ අඩු ගානෙ සරම වත් හරියට ඇඳගෙන පල.....
(ඊයේ රෑ එළිවෙනතුරු හයිරං දැමූ) අල්ලපු ගෙදර මැටිල්ඩා ඇවිත් ඇහැ ඇරවන තුරු කෙවින්  තද නින්දේ සිහිනයක් දකිමින් සිටි බව අඟවන දර්ශනයක් පෙන්විය යුතුය....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
(කෙවින්ගේ ගෙදර ඉදිරිපස තබා ඇති පුටුවක අවුකණ්නාඩි යුගලක් පැලඳ සිටින තරබාරු පුද්ගලයෙකි... මොහු කිසියම් තනතුරක් දරන, නමුත් කිසිදු වැදගත්කමක් නැති කෙනෙකු සේ දැක්වෙන ඉරියවුවකින් සිටිය යුතුය. දේශපාලනයට සම්බන්ධ බව දැක්වෙන සේ රත්‍රං මාල කිහිපයක් කරේ දමා, පිරිත් නූල් කිහිපයක් අතේ බැඳ සිටිනු දැක්විය හැකිය... සුදුසු නළුවෙකු සොයාගත යුතුය.)
ආ මේ සර් නෙ..... ඇයි සර් මේ උදෙන්ම....
උදෙන්ම ? කෙවින් බලනවා වෙලාව.... දැන් දොළහමාරයි....
ඈ සර් මම එච්චර වෙලා නිදා ගත්තද ?
මම දන්නෙ කොහොමද හලෝ......
ඔරලෝසුවක්වත් නෑනෙ සර් ගෙදර.... ඉතිං කෝමද වෙලාව බලාගන්නෙ.... දැන් සර් මොකද කෙරෙන්න ඕන....... සර් ලට අපිව ඕන වෙන්නෙ ඉතිං උදවුවක් ඕන උනාමනෙ... නැද්ද සර්.....
මේ... අපේ ලොක්කට පොඩි බඩුවක් ඕන වෙලා තියෙනවා...
සර් මේ... ඕන දෙයක් කරන්නම් පොඩි එවුන් එක්ක නං මගේ සෙල්ලං නෑ...... ඒවා මේ කෙවින් ලඟ නෑ..........
නෑ ඕයි.... පොඩි එවුන් ගැන නෙවෙයි කිවුවෙ.... පොඩි දෙයක්...
ආ ඒම එන්න සර්........ මොකද්ද ඕන.....
තමුසෙ දන්නව නේද අර වාසනා බේකරියෙ අයිතිකාරයා.....
ඔව්......
අන්න ඒ මිනිහා අපේ ලොක්කට පොඩි සද්දයක් දාලා...... මතකනෙ සර් අර කාලයක් වරිපනං බදු කතාවක් ඇදලා අරන් පොඩි ප්‍රසිද්ධියක් ගත්තා.......
අනේ මොකද සර් මතක නැත්තෙ.. ටීවී එකෙත් දැක්කෙ...
අන්න ඒ පොර අපේ ලොක්කට සද්දයක් දාලා.... දැන් ලොක්කට දිරවගන්න බැරුව ඉන්නෙ... ගෝලයො දාලා ගැස්සුවොත් වැඩේ යන්නෙ ලොක්කා පිටිං.... ඔය වාසනා පොර ඉන්නෙ ලොකු උණකින්... ලොක්කත් එක්ක පැටලෙන්න තමයි ඉන්නෙ.....
ඉතිං සර් මම කොහොමද පොරට ගහන්නෙ.... මම තනි මිනිහනේ....
ඒක තමයි ඕයි මම කියන්න යන්නෙ.... පනින්න එපා...
තමුසෙට කරන්න තියෙන්නෙ මිනිහගෙ ගෙදරට ගේමක් දීලා පොඩි සුද්දයක් දෙන එක... වැරදුනොත් ලොක්කා වැඩේ බලා ගනී... වැඩිම  උනොත් මාස තුනක් ඇතුළෙ ඉඳී.... එහෙම වුනත් ප්‍රශ්නයක් නෑ.... ඇතුලෙත් ඉන්නෙ ලොක්කගෙ කට්ටිය.... තමුසෙ හොඳට බලාගනී......
සර්... කියනව නං... ලොක්කා මාව බලාගන්නවනං ඕන දෙයක් සර්... මටත් දැං යන එන මං නැතුව ඉන්නෙ......
මෙන්න මෙතැන ඇඩ්වාන්ස් 20,000 ක් තියෙනවා... ඉතුරු ටික පස්සෙ දෙන්නං...  හැබැයි තමුසෙ මේ ගේම දෙන්න ඕන තනියම... වැඩිය කට්ටිය ගාව ගත්තොත් වැඩේ කුරුවල් වෙනවා... ඒ නිසා තමුසෙ තනියම දෙනවා ගේම...  හරිද ? තමුසෙ ගන්න බඩු වල ගාන තමුසෙම තියාගන්නවා... හැබැයි එකක්... මේකට අහු වුනොත් මාවවත් ලොක්කවත් ගාවනව නෙවෙයි.... දන්නවනේ වෙන දේ........
හරි සර්.... මම ගානට ගේම දෙන්නං......
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දර්ශනය බොඳ වී නව දර්ශනයක් මතු වේ............
විලී සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකු අමතන දර්ශනයක්....(අනෙක් පස සිටින්නාගේ මුහුණ නොපෙන්විය යුතුය.... ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස ඇඟවෙන පරිදි වෙස්ගැන්විය යුතුය........)
ආ සර්..... කොහොමද ?
විලී.... මොකද ඔය පැත්තෙ වෙන්නෙ ?
මොකුත් නෑ සර්.... ගානට වැඩ කෙරෙනවා.... මොකද සර් කෙරෙන්න ඕන.....
නෑ විලී මොකුත් නෑ.... මට දැනගන්න ඕන වුනේ කොහොමද තත්ත්‍වය කියලා... මේ දවස්වල අපේ බඩු එච්චර යන්නෙ නෑ.... කවුරුවත් අළුතෙන් බිස්නස් එකට බැහැලද දන්නෙ නෑ.....
දන්න කෙනෙක් නං නෑ සර්.... මම හොයලා බලන්නං... දැන් ඉතිං ගොඩක් කට්ටිය ඇතුලෙ නැත්තං රට... ඒ නිසා පරණ අය නං ගේමෙ නෑ....  මම හොයලා බලන්නං........
හරි විලී.... මම පස්සෙ කතා කරන්නං.....
හොඳමයි සර්... (විලී පුටුවෙන් නැගිට යටහත් පහත්ව කතා කරන අයුරක් පෙන්විය යුතුය)
මේ දර්ශනය තරමක් සංශෝධනය විය යුතුය......
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කෙවින් සුවිසල් නිවසක් අසළ සිටින දසුනක් පෙනේ......... සුවිසල් තාප්පයේ පිටතින් "වාසනා" යන්න රන් පැහැ අකුරින් ලියූ ලෝහ තහඩුවක සවි කර තිබේ.... නිවස අසළින් කෙවින් කිහිප වතාවක් ගමන් කරයි.... ඒ යන හැම වතාවක් අවසානයේම නැවතී යමක් පොතක ලියා සටහන් කර ගනී......  අසළ ඇති ඔරලෝසු කණුවක වෙලාව උදෑසන නවය ලෙස සටහන් වී තිබේ.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඉහත දර්ශනය කිහිප වතාවක් දින කිහිපයක් රූගත කළ යුතුය...  සෑම අවස්ථාවකම ඔරලෝසු කණුවේ වෙලාවන් විවිධ ලෙස සටහන් වී තිබිය යුතුය...  උදෑසන සිට රාත්‍රිය දක්වාම මේ පිළිවෙල යා යුතුය.....එයින් හැඟවිය යුත්තේ කෙවින් විවිධ අවස්ථාවන් වලදී මේ නිවස ගැන ඔත්තු බැලූ බවයි..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ දර්ශනය වැසි දිනයක රූගත කළ යුතුය.....
වේලාව සවස දෙකහමාර පසු වූ වහාම නිවසින් කළු පැහැති මොන්ටෙරෝ ජීප් රියක් පිටවේ...... එහි සිටින්නේ නිවසේ ගෙහිමි කාන්තාවත්, ඇයගේ මෙහෙකාරියත් ය... රියැදුරෙකු මොන්ටෙරෝ රථය පදවයි.... අසළ වූ කඩයක බීඩියක් උරමින් සිටින කෙවින් රෙදි මල්ලක් ද රැගෙන ගේට්ටුව දෙසට ගමන් කරයි... වැසි දිනයක් නිසා පාරේ මිනිසුන් අඩුය.... සාක්කුවෙන් යමක් ගන්නා කෙවින් ගේට්ටුවේ යතුරු සිදුරට එය ඇතුළු කර කිසියම් ආකාරයකට සොලවයි... ගේට්ටුව ඉබේම විවර වේ...... කෙවින් ගේට්ටුවෙන් ඇතුළට රිංගා ගනී..
මේ අතර වාහනයේ ඇතුලත දර්ශනයක් පෙන්විය යුතුය... හොඳින් හැඳ පැළඳගත් කාන්තාව  සහ සිය ස්වාමියා යැයි සිතිය හැකි කෙනෙකු සමඟ දුරකථන සංවාදයක නිරත වේ... දර්ශන තලය දෙකට බෙදා අනෙක් පස සිටින පුද්ගලයා වන සිය ස්වාමියා ව්‍යාපාරික ස්ථානයක කටයුතු කරනු පෙන්විය යුතුය....
දර්ශන තලය තුනට බෙදා තෙවන දර්ශනයේ කෙවින් නිවසට ඇතුළුවනු පෙන්විය යුතුය. කෙවින් නිවසට ඇතුළු වන්නේ හිස වැසෙන සේ කළු හිස්වැසුමක් දමා කළු පැහැති අත්මේස් පැළඳගෙනය. ඔහු කිසිවෙකුට හඳුනාගත නොහැකිය.... නමුත් නිවසට ඇතුළුවීමට ප්‍රථම ඔහු බීඩියක් උරයි... බීඩි කොටය බිමට දමා පාගන ඔහු විවර කළ දොරින් ඇතුළු වේ....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දර්ශනය...... සුඛෝපභෝගී නිවසකි..... එහි සිටින්නේ කෙවින් හමු වීමට පැමිණි තරබාරු පුද්ගලයා ය.... ඔහු නිවසේ රූපවාහිනිය නරඹමින් සිටී.....
රූපවාහිනියේ දැක්වෙන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් දෙනු ලබන කෙටි සාකච්ඡාවකි.....
" මම දන්නවා මේක මගේ හතුරන්ගෙ වැඩක් කියලා..... නමුත් ඔවුන් දන්නෙ නැහැ මගේ නිවසෙ ආරක්‍ෂක කැමරා සවි කරලා තිබෙන බව... මට පුළුවන් ඒ මගින් කවුද මගේ නිවසට ඇතුළු වෙලා මේ සොරකම කළේ කියලා හොයා ගන්න... මම දන්නවා මේ පලාතෙ පොලීසියෙන් මට වැඩි උදවුවක් වෙන්නෙ නැති බව.... නමුත් මම මගේ මිනිස්සු දාලා මෙය කළේ කවුද කියලා හොයා ගන්නවා...... "
මෙය පුද්ගලික පලි ගැනීමක් කියලා හිතන්න ඔබට තිබෙන සාක්‍ෂි මොනවද ?
මම පසුගිය දවසක මේ ප්‍රදේශයේ ප්‍රබල පුද්ගලයෙකුට අභියෝග කළා... ඒකට එකට එක කිරිමක් වශයෙන් තමයි මේ කරලා තියෙන්නෙ.....
නමුත් ඔබට පැහැදිලි සාක්‍ෂි නැතිව ඔබ කොහොමද එහෙම චෝදනා කරන්නෙ ?
බලමු.... මම මේක හොයා ගන්නම්....
මේ දර්ශනය බොඳ වී යන අතරම සිය අඳුරු නිවසේ දොර වසාගෙන වටිනා රන් බඩු සහ මැණික් විශාල ප්‍රමාණයක් සිය රෙදි පොට්ටනියෙන් ඉවතට ගන්නා කෙවින්ගේ දුරස්ථ රූපයක් පෙනේ... ඔහුගේ මුහුණ විඩාවෙන් බර වී ඇත...... නමුත් එයට යටින් කිසියම් සතුටක් ද පෙන්විය යුතුය......
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ තිර රචනයේ මුල් කොටස.... ඔබේ සංශෝධන සහ යෝජනා අනුව ඉතිරි කොටස් ලියන්න බලාපොරොත්තු වෙනවා.... මේ මූලික දර්ශන ටික විතරයි.... වැඩිපුර ලිවුවාම එපා වෙන නිසා තව කොටසකට දාන්නම් ඉතිරිය....