පූර්විකාව.
මෙය මාගේ කතාවකැයි මම නොකියමි. මෙය ඔහුගේ කතාව දැයි ද මම නොකියමි. මේ කතාවක් ද නොවේ... මේ සිදුවීම් පෙළක් පමණි. මා සිදු කරන්නේ ඒ සියළු සිදුවීම් එක්තරා පිළිවෙලකට පෙළගැස්වීම පමණි. මෙය උදක්ම ඇයගේ උවමනාවට සිදු කරන්නකි. මෙය සත්‍ය සිදුවීම් වැලක් ද විය හැක...නමුත්, සියයට සියයක්ම සත්‍ය නොවීමට ද පුළුවන. අතිශයෝක්තීන්ගෙන් බැහැර වූ මේ සිදුවීම් පෙළෙහි අවසානය කුමක් වේදැයි තවමත් මා නොදන්නේ මේ සියල්ල තවමත් ඈ මට පවසමින් සිටින නිසාවෙනි. සමහරවිට දිගු කළෙකින් ඈ හමු නොවුවහොත් මේ සිදුවීම් ඔබ වෙත ගෙන ඒමට ප්‍රමාදයක් විය හැකිය. මෙහි වූ සියළු චරිත සත්‍ය විය හැකි අතර ස්ථාන සහ අවස්ථා සම්බන්ධයන් බොහෝ අවස්ථාවල සත්‍ය බව පැහැදිලිවම මට පැවසිය හැකිය. ඔබට උපදේශ කිහිපයක් ලබා දීමට ඇත. කිසි විටෙක එකවරම කිසිදු සිදුවීමක්, චරිතයක් කෙරෙහි අවසාන නිගමනයකට නොපැමිණෙන්න..... පැහැදිලිවම මෙය විද්‍යාවේ සියළු අංශ සම්බන්ධ කෙරෙන සිදුවීම් මාලාවකි. එය ඔබට ඇත්තෙන්ම නීරස විය හැකිය... නමුත් ඔබට දැනගැන්මට සියල්ල පෙළගැස්විය යුතුය...... මෙහි වෙසෙන චරිත සියල්ල එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත වේ. සිදුවීම් මාලාව වඩාත් පැහැදිළි කරනු වස්, ස්ථාන, චරිත, සහ අවස්ථාවන්ගේ මූලික හඳුන්වාදීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
ස්ථානය :
අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනය (US Naval Research Laboratory) අංක 4555, ඕවර්ලුක් මාවත, ගිණිකොණදිග වොෂිංටන් , ඩී සී 20375. විශේෂයෙන් අමෙරිකානු නාවික හමුදාවේ ක්‍රියාන්විතයන් සහ වෙනත් අමෙරිකානු හමුදා අංශවල අභිවෘද්ධිය කෙරෙහි බලපාන පර්යේෂණ සිදු කෙරෙන දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ පවත්වාගෙන යන පර්යේෂණ මධ්‍යස්ථානයකි. පර්යේෂණායතනයට අළුතින්ම එක්වූ අංගය වන්නේ අවම ගුරුත්වාකර්ෂණ මේසයයි. මෙය කැලිෆෝනියාවේ ක්ලෝවිස් හි රේමන්ඩ් ග්‍රැනයිට් පතලෙන් ලබා ගන්නා ලද වර්ග අඩි 450 ක වපසරියක් ඇති අඩි එකහමාරක ඝණකමක් ඇති තලය මතුපිට පුරාවරම අඟල් 0.0018ක වෙනසක් ඇති, ටොන් 37.5ක් බර ලෝකයේ විශාලතම තනි ග්‍රැනයිට් තලය වේ. මෙය අභ්‍යවකාශයේදී අභ්‍යවකාශ යානා හැසිරෙන ආකාරය අනුරූපණය කිරීම පිණිස ඝර්ෂණය අවම වන සේ සකස් කළ සුවිශේෂී මේසයකි. මෙයින් ලැබෙන අගයයන් නිරවද්‍යතාවය අනුව සියයට අනූ නවයකුත් දශම ස්ථාන අටකට ගණනය කළ හැකි බව සනාථ කරගෙන ඇත. මෙහි සේවය කිරීම සඳහා බොහෝ විට බඳවාගනු ලබන්නේ ඇමරිකානු පුරවැසියන් වන අතර ඔවුන් දැඩි පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව ඇමරිකානු පොලීසියේ අපරාධ පරීක්ෂණ ඒකකය වන එෆ් බී අයි ඒජන්සිය විසින් සිදු කරන විපරමකින් අනතුරුව සහ බඳවාගැනීමට පෙර සිදු කෙරෙන සුවිශේෂී වෛද්‍ය පරීක්ෂණවලින් ද සමත්වන අයට පමණක් මේ පර්යේෂණ අංශයේ සේවය කිරීමේ අවකාශ ලැබේ. බොහෝ විට අමෙරිකානු පුරවැසියන් නොවන පුද්ගලයින්ට මේ ආයතනය ඇතුලට අඩියක් වත් තැබීමට නොහැකි වන අතර එසේ යාමට නම් සුවිශේෂී අවසරයක් ලබා ගත යුතුය.
නාවික පර්යේෂණායතනයේ ඇති අවම ගුරුත්ව මේසය
සිය චරිතයේ කළු පැල්ලමක් ඇති කිසිවෙකු මේ ආයතනයේ ස්ථිර සේවය සඳහා නුසුදුසු වේ. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වූ පසු බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධතාවයක් තබාගත නොහැකි වන සේ ජංගම දුරකථන සංඥා සියල්ල අවහිර කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර, සේවකයින් සියළුම දෙනාගේ සම්බන්ධතා නිතිපතා විමර්ෂණය කෙරේ. ගේට්ටුවේ සිට පර්යේෂණායතනයට ඇති ගමනේදී පස් වතාවක් සිය අනන්‍යතාවය ප්‍රකාශ කළ යුතුය. අවසාන කඩඉම කටහඬ පරීණක්ෂයයි. එය එතරම්ම ආරක්ෂිත ස්ථානයක් වන්නේ ඇයිදැයි කිසිවෙකු නොදනී. ආයතනයට බඳවා ගැනීමේදීම රහස්‍ය භාවය සුරකින ලිපියකට අත්සන් ගැනීම සිදු වන අතර එම ගිවිසුම කඩ කෙරෙන සියළුම දෙනා ක්ෂණයකින් සේවයෙන් පහකොට ආරක්ෂක අංශ වෙත භාර කෙරෙනු ලැබේ. මේ අංශයේ පර්යේෂණ සඳහා අවකාශ ලැබෙන්නේ බුද්ධි ඵලය (IQ) අගයය 150 ට වඩා වැඩි බුද්ධි මට්ටමක් ඇති ඉංජිනේරුවරුන් පමණි.
චරිත :
මැතිව් ජෝසප් සොලමන්:
මැසෙචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ඉලෙක්ට්‍රොණික ඉංජිනේරු ආචාර්ය උපාධියක් හිමි බුද්ධි ඵලය 162 ක් හිමි තරුණයෙකි. ද්‍රව අවකාශයේ අණුක හැසිරීම පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරූ හෙතෙම විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරීන් අතරින් ජනප්‍රියතම ආචාර්ය උපාධිධාරියා වූවේ ආචාර්ය උපාධියෙන් අනතුරුව ද්‍රව අවකාශයේ අණුක හැසිරීම සහ ඒවායේ චුම්භකත්ව ගුණ අනුමාන කිරීමේ හැකියාව සහිත පරිඝණක වැඩසටහනක් ලියා ඇපල් ආයතනයට විකිණීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක් ලබා ගැනීමත්, ඒ මුදල සිය පෞද්ගලික පරිහරණයට නොගෙන මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දුප්පත් දරුවනට ශිෂ්‍යත්ව සැපයීමේ අරමුදලක් ඇරඹීමත් සමඟිනි. ඕනෑම අංකමය ගණනක් මනෝමයෙන් විසඳීමේ හැකියාව ඇති ඔහු කලාව, දේශපාලනය, ආගම වැනි එකිනෙකට වෙනස් ක්ෂෙත්රවල හසළ දැනුමක් ඇති පුද්ගලයෙකි. අමෙරිකානු ජනාධිපති මන්දිරයේ විශ්ලේෂකයෙකු ලෙස ලැබුණ තනතුරත්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආධුනික මහාචාර්යවරයෙකු ලෙස ලැබූ තනතුරත් අතේ දරාගෙන හෙතෙම නාවික පර්යේෂක ආයතනය වැනි ස්ථානයක සේවය කිරීම සඳහා සටන් වැද සිටී.
ඇන්ඩ්‍රියා ජීන් සමර්ස් :
කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය නිමකළ ඇය එම විශ්ව විද්‍යාලයේම පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂිකාවක් ලෙස සේවයට බැඳුනාය. ස්වයංක්‍රීය රොබෝවරුන් තැනීම පිළිබඳ පර්යේෂණ කළ ඇය රොබෝවරුන්ට අපරාධකරුවන්ගේ සුවිශේෂී අංග ලක්ෂණ අනුව හඳුනාගැනීමේ හැකියාව ලබාදීමේ පරිඝණක වැඩසටහන් සැකසීමටත්, ඒවා යාන්ත්‍රීකරණය කිරීමටත් සමත් වූ තැනැත්තියකි. බුද්ධි ඵලය 159කි. රහස් සංකේත සහ රහස් පණිවුඩ විසඳීමට ඇති සුවිශේෂී හැකියාව නිසාම ලත් අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) ගුප්ත සංඥා ඒකකයේ රැකියාවත්, එහි සේවයෙන් වසරකට පසු එහි ප්‍රධානියා විසින්ම පෞද්ගලිකව යොමු කරන ලද අපේක්ෂිකාවක් නිසාත්, කාන්තා පර්යේෂිකාවන්ගේ විරලත්වය නිසාත් ඇයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.
විශ්ව සමාධි සූර්ය බණ්ඩාර:
අමෙරිකාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන පරපුරේ තරුණයෙකි. නිහඬ චරිතයකි. බුද්ධි ඵලය 166 කි. කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රති-ගුරුත්වාකර්ෂණය පිළිබඳ අංශයෙන් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත. සියළුම විභාග වලින් සියයට සියයක් ලකුණු ලබාගැනීමත්, විශ්ව විද්‍යාලයේ බුද්ධිමත්ම ශිෂ්‍යයා ලෙස තේරී පත්වීමත් නිසා ප්‍රසිද්ධ වී ඇත. වයස අවුරුදු 16 න් පසු ඔහු මුහුණ දුන් සියළුම විභාගවල ලකුණු 100% ක් ලබා ගැනීම නිසා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ නවක මහාචාර්යවරයෙක් ලෙස පත්වීමක් ලැබ ඇත. සිය ආචාර්ය උපාධි අපේක්ෂක කාළය තුළ පර්යේෂණ පත්‍රිකා 24ක් පළ කරමින් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නව වාර්තාවක් තබා ඇත. ශ්‍රී ලාංකිකයෙකුගෙන් දැකිය නොහැකි අසාමාන්‍ය උසක්, පැහැපත් බවක් දක්නට ඇත.
දිගහැරුම:
අපේක්ෂකයින් තිදෙනා වෙන වෙනම දේශන ශාලා තුනක එකම අවස්ථාවේ සිය පර්යේෂණ ඉදිරිපත් කරමින් සිටිති. නමුත් කිසිදු පුද්ගලයෙකු ඔවුන් ඉදිරිපිට නොමැත. වෙනත් කාමරයක සිට තිදෙනාගේම සජීවී දර්ශන එකවිට නරඹන පුද්ගලයින් සිවු දෙනෙකි. නාවික පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක අද්මිරාල් රිචර්ඩ් බවර්, සී අයි ඒ ආයතනයේ පුද්ගල චර්යා අංශයේ ප්‍රධානි නැන්සි පෙපර්, නාවික පර්යේෂණායතනයේ ප්‍රධාන පර්යේෂක ඩෙනිස් ලිපර්ඩ්, සහ ප්‍රතිගුරුත්වාකර්ෂණ පර්යේෂණ අංශයේ ප්‍රධානි නීල් ෆියු ඒ සිවු දෙනාය.
කිසිවෙකු කලබලයෙන් වසා ඇති දොරට තට්ටු කරයි.
කවුද මේ වෙලාවෙ ?
අද්මිරාල් තුමනි.. මම... ෆිලිප් කවුෆර්...... ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයෙන්....
එන්න..... ඇතුලට ෆිලිප්.... කවුද අසමත් ?
කවුරුවත් අසමත් නැහැ... නමුත් එක පුද්ගලයෙක්ගේ රුධිරය හරිම අසාමාන්‍යයි... රුධිර සාම්පල් ගත්තෙ මමමයි.. ඒ නිසා මට වරදින්න විදියක් ඇත්තෙම නැහැ. සියළුම පරීක්ෂණ තුන් වතාවක් සිදු කළා... ඒ සියළුම ප්‍රතිඵල සියයට අනූ නවයක් එකිනෙකට ගැලපෙනවා... නමුත් මේ සාම්පලයේ නම් කුමක් හෝ වැරැද්දක් තිබෙනවා.. එක්කෝ මේ පුද්ගලයා රුධිර පාරවිලයනයක් කරලා වෙනම රුධිරය ලබාගෙන, නැතිනම් විශාල අසාමාන්‍යතාවයක්... මගේ ජීවිතයේ මේ වගේ රුධිර සාම්පලයක් විශ්ලේෂණය කළ පළමු වතාව.
කලබල වෙන්න එපා ෆිලිප්... අසාමාන්‍යතාවය මොකක්ද කියලා කියන්න.......
මේ සාම්පලයෙ කිසිම දෙයක් අසාමාන්‍ය නැහැ. සීනි මට්ටම, කොලෙස්ටරෝල්, ප්‍රතිදේහ, රුධිර පට්ඨිකා ආදී සියල්ල කිසිම වරදක් නැතිව තිබෙනවා.
ඉතින් එහෙනම් ඒක හොඳයි නෙ.....
නමුත්..... මේ රුධිර සාම්පලය අළුත උපන් ළදරුවෙක්ගෙ වගේ පිරිසිදුයි....
ඉතින් ඒ කාගෙ රුධිර සාම්පලයද ?
ඒක මෙන්න මෙයාගෙ සාම්පලය.
මොකක් ?
මෙයාගෙ.. ඒක වෙන්නෙ කොහොමද ?
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඒ කියන්නෙ හැම දෙයක්ම පිරිසිදුයි....
සියයට සියයක්ම....
තවත් වතාවක් පරීක්ෂා කරලා බලන්න....
තවත් බලන්නෙ මොනවද ? තුන් වතාවක් කළා... එකම ප්‍රතිඵලය එන්නෙ.... කිසිවක් සොයා ගන්න නැහැ...
අඩුම ගානෙ මාර්ග නීති කඩ කිරීමක් වත් ?
නැහැ...
ආයෙම බලමු පාසැල් යනකාලෙ ගත්ත වීඩියෝ සටහන්...
බලන්න.. මෙන්න මේ ඉන්නෙ එයා.. කිසිම කලබලයක් නැතුව නියමිත ඉලක්කයටම පන්දුව යොමු කරනවා. කිසිම වෙලාවක වරදින්නෙ නැහැ.. අල්ලගන්න පුද්ගලයා බිම දැමුවොත් මිසක්.. කිසිම වෙලාවක නීති විරෝධී අන්දමින් ක්‍රීඩා කරන්නෙවත් නැහැ..
මේ තියෙන්නෙ සමස්ත ඇමරිකානු ටයි-ක්වොන්ඩෝ අවසාන තරඟය.... කිසිම ගණනකට නැතිව ප්‍රතිවාදියා බිම හෙලන්නෙ... දාඩිය බිංදුවක් හෙලන්නෙ නැතිව... කොහොමද මෙහෙම වෙන්නෙ... මේක අවසාන තරඟයක්.....
එතකොට විශ්ව විද්‍යාලයෙ කිසිම සිදුවීමක් වාර්තා වෙලත් නැද්ද ? ගැටීමක්.... රණ්ඩුවක්.... මත්පැන් සම්බන්ධව වත්...
නැහැ.. අවම වශයෙන් මත්පැන් සම්බන්ධයෙන් වත් කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ...
Facebook Account එක ?
කිසිම වැරැද්දක් නැහැ...
Twitter, Linked-In, Research Gate, My Space,.. E-mail ?
කිසිම දෙයක සැක කටයුතු දෙයක් හොයා ගන්නවත් නැහැ.. ඔක්කෝම පිරිසිදුයි... වැරදි පින්තූරයක්වත් නැහැ..
මේක වෙන්න බැහැ... කොහොමටවත් වෙන්න බැහැ...
ආයෙම ස්පයිඩර් වැඩසටහන සියළුම දේ වලට යවලා බලන්න.. මෙහෙම පිරිසිදු ඉතිහාසයක් තියෙන කෙනෙක් අපේ ආයතනයෙවත් හොයා ගන්න බැහැ... එක්කෝ මෙයා ලොකු හොරෙක්.. ඔක්කෝම දේවල් හොඳින් වහන්න දන්නවා... නැතිනම් මෙතන ලොකු අසාමාන්‍යතාවයක් තියෙනවා.
හොඳයි... අපි ආයෙත් වතාවක් බලමු...
ස්ථානය... එෆ් බී අයි මූලස්ථානයේ පුද්ගල තොරතුරු ඒකකය... ඒජන්ත ජෝන් හැන්සන් සහ බෙන්ජමින් යංග් ට පැවරී ඇති රාජකාරිය වන්නේ අදාල පුද්ගලයින් තිදෙනාගේ යටගියාව හාරා ඇවිස්සීම වේ... කුඩා කළ සිට දැන් දක්වා තොරතුරු එක් කර ලිපි ගොණු තුනක් තැනීමට ඔවුනට ලැබී ඇති කාළය සීමිත වුවත් අන්තර්ජාලයේ මෙන්ම ඒජන්සියේ ඇති සුවිශේෂී පරිඝණක වැඩසටහන් නිසා ලොව බොහෝ දෙනෙකුගේ තොරතුරු ඇසිල්ලකින් පරිඝණක තිරය වෙත ලබා ගැනීමේ හැකියාව ඔවුනට ඇත. ඔවුන් සකස් කළ ස්පයිඩර් වැඩසටහන මගින් ලොව ඇති සියළුම තොරතුරු සෙවීමේ වෙබ් අඩවිවල ඇති ජාලගත තොරතුරු ඒ ඒ වෙබ් අඩවි මාර්ගයෙන්ම පෙරාගෙන ක්ෂණිකව ලබාගත හැකි ආකාරයේ අති නවීනතම වැඩසටහනකි.
පසුගිය වසරේ එෆ් බී අයි වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කළ චීන විශ්ව විද්‍යාල සිසුවෙකු දැලට හසු කරගත් ඒජන්සිය, ඔහුව සිය පරිඝණක ආරක්ෂක අංශයට බඳවා ගත්තේය. මෙවැනි දක්ෂතා ඇති පුද්ගලයින් සහ අති සූක්ෂම සොරකම් සිදු කරන පුද්ගලයින් ඒජන්සියේ සම්පත් දායකයින් ලෙස බඳවා ගැනීම එහි ප්රතිපත්තියකි. ඒ ඔවුන්ගේ සූක්ෂම බුද්ධියෙන් ප්‍රයෝජන ගැනීම සහ අනාගතයේ ඔවුන්ගෙන් එල්ල විය හැකි විශාල අනතුරු වලින් ඒජන්සියත් පුරවැසියනුත් බේරා ගැනීම සඳහා සිදු කෙරෙන ආරක්ෂක ක්‍රියාදාමයක කොටසකි. මේ තාක් කල් එහි ප්‍රතිඵල යහපත් විය. මේ පරිඝණක වැඩසටහන ද ඉහත කී චීන ජාතික තරුණයාගේ නිර්මාණයකි.
විනාඩි කිහිපයකින් දත්ත ලැබුණි...
කිසිම වැරැද්දක් නැහැ... මේක නම් වෙන්න බැරි දෙයක්... අපි මේක දන්වන්න ඕන... නැතිනම් අපටයි අවනම්බු.... ඒජන්ත ජෝන් අනෙකාට පැවසීය....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නමුත් එකම වැරැද්දක් තියෙනවා මෙතන....
බලන්න... රුධිර හිමෝග්ලොබීන් ප්‍රමාණය සාමාන්‍ය වැඩුනු මිනිසෙකුට වඩා වැඩියි... අන්න ඒකයි මම කිවුවෙ මේ රුධිරය අළුත උපන් දරුවෙකුගෙ රුධිරය හා සමානයි කියලා... වැඩුනු මිනිසෙකුගේ හිමෝග්ලොබීන් ප්‍රමාණය 14-18 g/dL විය යුතුයි.... ඒත් මෙයාගෙ ඒ අගය 21 g/dL. ඒ අගය හරියටම සමාන වෙන්නේ අළුත උපන් දරුවෙකුට.. ඒ කියන්නෙ 17-22 g/dL. මේකයි මට තිබෙන ප්රශ්නය...
ෆිලිප් හිස කසමින් නොයිවසිලිමත්ව පිළිතුරු දුන්නේය....
මෙහෙම වෙන්න හේතු තියෙනවද ?
ඔව්... හේතු කිහිපයක් තිබෙනවා.. එකක් තමයි මෙයාට මොළයේ අසාමාන්‍ය ගෙඩියක් හෝ පිළිකාවක් වැනි තත්ත්වයක් තිබීම නිසා හිමෝග්ලොබීන් අධිකව නිෂ්පාදනය වීම... අනෙක පෙනහළුවල එම්ෆිසීමා නම් වූ තත්ත්වය නිසාත් හිමෝග්ලොබීන් අධිකව නිෂ්පාදනය වෙනවා...
නමුත් එක්ස් රේ සහ එම් ආර් අයි පරීක්ෂණ වලින් මේ බව තහවුරු වෙන්න තිබුණා නේද ?
ඔවු... එක්ස් රේ, කැට් ස්කෑන්, සහ එම් ආර් අයි පරීක්ෂණ කිසිම දෙයකින් ඒ වගේ අසාමාන්‍යතාවයක් පෙන්නුම් කළේ නැහැ.
තවත් සාධක තිබෙනවාද ?
ඔව්.. අපට පිළිගත හැකි ආසන්නතම සාධකය තමයි ඔහු හොඳ මළල ක්‍රීඩකයෙක්... මේ නිසා වැඩි ශක්තියක් ලැබ දෙන්න රුධිරයට එකතු කරන එරිත්‍රොපොයටින් වැනි ඖෂධ නිසාත් රුධිරගත හිමෝග්ලොබීන් වැඩි වෙනවා...
අහ්... ඒක වෙන්න පුළුවන්... කරපු හැම ක්‍රීඩාවකින්ම හොඳ දක්ෂකම් පෙන්වලා තිබෙනවා.... ඒ විතරක් නොවෙයි.. පාසැල් මට්ටමේදි, විශ්ව විද්‍යාල මට්ටමේදී මේ රුධිර මාත්‍රණයට පරීක්ෂා කරන්නෙ නැහැ.... මෙයා අමු හොරෙක්... ! සිය හැඟීම් ප්‍රසිද්ධියේ කිසිදා පිටතට නොපෙන්වන නැන්සි පෙපර් සිය ඒකාග්‍රතාවය බිඳ දමා පැවසුවාය...
නැහැ... එහෙම කියන්න බැහැ... එහෙම මාත්‍රණයක් කළා නම් රුධිර පරීක්ෂාවෙදි අනිවාර්යයෙන් අපට සොයා ගන්න පුළුවන් වෙනවා. මේ රුධිර පරීක්ෂාව ලෝකයේ වෙනත් පරීක්ෂණ වලට වඩා දියුණු බව ඔබතුමිය දන්නවා නෙ... ඒක කොහොමටවත් වෙන්න බැහැ..
මෙහෙම වෙන්න බැරිද ? මෙයා රුධිරයේදී සුළු කළෙකින් විනාශවන බෙහෙතක් මේ සඳහා පාවිච්චි කළා වෙන්න බැරිද ?
බැහැ... මේ රුධිර සාම්පලය අති පිරිසිදුයි...අවම වශයෙන් නිකටින් ස්වල්පයක් වත් නැහැ... ඒ නිසා දුම් බොන තැනැත්තෙක් කියන්නත් අමාරුයි... පුදුමය කියන්නේ මේ සාම්පලයෙ කිසිම බැර ලෝහයක් වත් නැහැ.... සාමාන්‍යයෙන් මිනිසෙක් පාරෙ ඇවිදිනවිට ආඝ්‍රාණය වන දුමෙන් ඇඟට ඇතුළුවන අංශූන්ගෙන් වත් මේ රුධිරය අපිරිසිදු වෙලා නැහැ..
එක්කෝ මේ රුධිරය තිබෙන පුද්ගලයා අති නවීන අති පිරිසිදු පරිසරයක අවුරුදු ගණනාවක් ජීවත් වන පුද්ගලයෙක් විය යුතුයි. නැත්නම් නිතර නිතර රුධිරය මාරු කරන පුද්ගලයෙක් විය යුතුයි. නමුත් මේ කරුණු දෙකම අපට ඉවත දමන්න සිදු වෙන්නෙ මෙයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්... ඒ වගේම ශරීරයේ කිසිදු සළකුණක් නැහැ එසේ රුධිරය මාරු කිරීමට එන්නත් කිරීමක් කරපු.... මේකයි මට තියෙන ප්රශ්නය...
අපට තිබෙන්නේ විකල්ප දෙකයි... මෙතෙක් වේලා නිහඬව සියල්ල අසා සිටි ප්‍රධාන පර්යේෂක ඩෙනිස් ලිපර්ඩ් සෙමෙන් කඩහඬ අවදි කළේය...
එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන... නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්... දැනටමත් අපි ඒ ගැන පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ..
ඔබට පිස්සුද ඩෙනිස් ?! අද්මිරාල් වරයා ගුගුලේය...
අපි කොහොමද මනුස්සයො මෙයාව නුසුදුස්සෙක් කියලා ඉවත් කරන්නෙ ? මෙයාගෙ සුදුසුකම් අනිත් දෙන්නාට වඩා වැඩියි... අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ ඔහු පර්යේෂණ ඉදිරිපත් කිරීමෙන් අසමත් වේවි කියන එක පමණයි. නමුත් මේ වගේ පුද්ගලයෙක් එයින් අසමත් වේවිද ? මොනවා වුනත් පරිඝණක වැඩසටහන් වලට බොරු කරන්න බැහැ.. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා මේ හැම තීරණයකටම හේතු දක්වන්න... ඔබ හිතන්නේ මේ වගේ එක දෙයක් නිසා ඔහුව අයින් කළා කියන ළදරු පිළිතුර ඉහළ පාලනාධිකාරිය භාර ගනී කියලද ? මේක මගේ රස්සාවත් ගහලා යන වැඩක්.... අපි මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන ඩෙනිස්.. අපි මීට වඩා සූක්ෂම වෙන්න ඕන...... මම බලාපොරොත්තු වුනේ නැහැ ඔබෙන් මේ වගේ උත්තරයක්... දෙයියන්ගෙ නාමෙට ඔයා මෙතන පර්යේෂණ ප්‍රධානියා.. තත්ත්වයට ගැලපෙන්න කතාකරනවා... !
සියල්ලෝම අද්මිරාල් වරයාගේ ගිගිරීමට තුෂ්නිම්භූත විය...
සාමාන්‍යයෙන් ඉතාම නම්‍යශීලී සුහද පුද්ගලයෙක් වන අද්මිරාල්වරයා ඉහළ සමාජයේ සියළුම දෙනාගේ ගෞරවය දිනා සිටි ඉතා වැදගත් නිලධාරියෙකි. කිසිවිටෙක සිය නිවුණු බව බිඳ නොගන්නා පුද්ගලයෙක් ලෙස ප්රකටය...,
USS Mount Whitney
2008 අගෝස්තු 7 සහ 8 දෙදින තුළ ජෝර්ජියාව විසින් දකුණු ඔටිස්සාව අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ වෙත දරුණු හමුදා ප්‍රහාරයක් දියත් කළේය... ඒ සඳහා ජෝර්ජියාව ඉදිරිපත් කළ නිදහසට කරුණු වූයේ සිය සාම සාධක හමුදාවන්ට සහ මහජනයාට රුසියාව විසින් එවනු ලබන සාම සාධක නොවන හමුදාවන් විසින් දියත් කරන ප්රහාරයන්ගෙන් ඔවුන් ගලවා ගැනීම උදෙසා කරන ප්‍රහාරයක් බවයි. මෙහිදී ඔටිස්සා හමුදා සමඟ එක්වූ රුසියානු සාම සාධක භටයින්ට ජෝර්ජියා හමුදාවන්ගෙන් දැඩි හානි සිදු විය. ජෝර්ජියානු භටයින් විසින් ට්ක්‍ෂින්වාලි ප්‍රදේශය ඉතා සුළු කාළයකින් අත්පත් කරගන් ලැබීය. මේ සඳහා රුසියාව ප්‍රතිචාර දැක්වුයේ ප්‍රති ප්රහාරයන්ට සිය 58 වන හමුදා ඛණ්ඩය එක් කිරීමෙන් සහ විශ්වාසනීය සහ සැපයුම් ඉලක්කයන්ට ගුවන් ප්‍රහාරයට එල්ල කිරීමෙනි. මේ කෙටි යුද්ධය දින පහේ යුද්ධය ලෙස ප්‍රසිද්ධියට පත් විය. රුසියාවට අනුව මේ ප්‍රති ප්‍රහාර මානුෂීය මෙහෙයුමට අත්‍යවශ්‍ය බව සාධාරණීකරණය විය. මේ දිනවලම නේටෝවට සහාය දක්වන මවුන්ට් විට්නි ඇමෙරිකානු යුධනැව කළු මුහුදේ සිට මේ යුධයෙන් අවතැන් වූවන් සඳහා සහනාධාර ගෙන යාමට "සහතිකවම ආධාර බෙදාහරින" (Operation Assured Delivery) නම් වූ යුධ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ජෝර්ජියාවට ආධාර සැපයීම අපහසු කාර්යයක් වුවත් අද්මිරාල් රිචර්ඩ් බවර් සිය දක්ෂතාවය සහ අත්දැකීම් මනාව ඔප්පු කරමින් පෝටි වරායට ආධාර ගෙන ආ පළමු නේටෝ නැව ගෙන එමින් සාර්ථකව මෙහෙයුම අවසන් කළේය. මේ නිසාම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සිය අත්දැකීම් තවදුරටත් සිය රටට ලබාගනු වස් ජනාධිපතිවරයා විසින් ඔහු නාවික හමුදා පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය... ඔහු 2009 සිට මේ දක්වාම ඒ ධුරය හොබවමින් සිය ආයතනයෙන් සිදු කෙරෙන සේවය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස මාතෘභූමියට ලබා දෙමින් සිටී.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දැන් තුන්දෙනාම හොඳින් විවේක ගන්න..... විනාඩි 15 කට පසු අපි ඔබව නැවත අමතන්නම්.......
එක් එක් කාමරයේ වූ කුඩා ස්පීකරයෙන් අපේක්ෂකයින් තිදෙනාටම විධානයක් ලැබුණා. ඒ කාගෙ කඩහඬද, කොහේ සිට විධානය දෙනවාදැයි යන්න කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. නමුත් තමන්ගේ සියළුම චර්යාවන් පිළිබඳ කිසිවෙකු හෝ ඉතාම පරීක්ෂාවෙන් සිටින බව තිදෙනාටම අවබෝධ වී තිබුණා. ඒ නිසා තමන්ට කිසිම අවාසියක් වන අන්දමේ කටයුත්තක නොයෙදීමට මේ තිදෙනාම දැනගෙන සිටියා.. පසෙකින් නොකැඩූ වතුර බෝතලයක් සහ කුකීස් නම් බිස්කට් පිඟානක් තිබුණා. New Research Frontiers නම් නවතම පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳ වගතුග දැක්වෙන සඟරාවද ඔවුන්ගේ පරිහරණයට මේසය මත තබා තිබුණා. මේ සියල්ල සම්මුඛ පරීක්ෂණයට අදාල අංග වුනා.. තම අපේක්ෂකයින් කාළය කා දමනවාද, නැතිනම් ඒ සුළු වෙලාවත් කිසියම් ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවාද යන්න නිගමනය කිරීමට මේ සියල්ල තබා තිබුණා.
ඉතා ඉහළ බුද්ධියක් ඇති තිදෙනාම සිය අනාගත රැකියාව උගසට තැබීමට සූදානම් වුනේ නැහැ. තමන් පැමිණි කාරණයත්, ඒ සඳහා මුහුණ දිය යුත්තේ කෙසේදැයි යන්නත් මනාව දැනගෙන සිටි තිදෙනාම බිස්කට් එකක් බැගින් රැගෙන ජලය බෝතලය පානය කරන අතරේ පසෙක වූ සඟරාවේ පිටු පෙරළුවා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බීප් බීප්......... බීප් බීප්......... ...බීප් බීප්.........
හලෝ..... ජනරාල් වෙලිංටන්ගෙ කාර්යාලය... මම මෙගන් වොලික්..... කෙසේද මම ඔබට උදවු කරන්නෙ ?
හලෝ... මම අද්මිරාල් බවර්.... නාවික හමුදා පර්යේෂණ ආයතනයෙන්... මට ඔබේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් ද ?
පුළුවන් අද්මිරාල් තුමනි... ඉන්න මම සම්බන්ධ කරන්නම්...
ජනරාල් චාර්ල්ස් වෙලිංටන් ලිය වසරේ විශ්‍රාම යන තුරුම පසුගිය වසර අටක් පුරාම සේවය කළේ යුධහමුදා බුද්ධි බලකායේ ප්‍රධානියා හැටියටය. විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ බුද්ධි බලකාය භාරව සිටි ඔහු එහි සිටි එෆ් බී අයි, සී අයි ඒ මෙන්ම වෙනත් රහසිගත අංශ ගණනාවක්ම අධීක්ෂණය කළ ඉතා දක්ෂ එහෙත් දරුණු පුද්ගලයෙකි. දැඩි මතධාරියෙකු වූ හෙතෙම රටේ ආරක්ෂාව පළමුකොට සැලකූ නිලධාරියෙකි. කිසිදු අතපසුවීමකට ඉඩ නොතබන ඔහු අකාර්යක්ෂමතාවය ඉදිරියේ නයෙකු මෙන් කිපෙන පුද්ගලයෙකි. තවමත් අවිවාහක ඔහුගේ ජීවිතය වූයේ ජාතික ආරක්ෂක ඒජන්සියයි. උදෑසන හය වන විට කාර්යාලයට පැමිණෙන ඔහු පිටව යන්නේ රාත්‍රී හතද පසු වූවාට පසුවයි. රාජකාරි කටයුත්තක් හැරුණුකොට සිය ජීවිතයම කාර්යාලයේ ගෙවන ඔහුට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ ඔහුට ඇති සූක්ෂම බුද්ධියත්, අනතුරක් කල් තබා දැන හැඳින ගැනීමේ "ඉව" ත් ඇති නිසාය... රටේ වූ සියළුම අන්තර්ජාල වැඩසටහන්, ඊ මේල්, ඇතුළු බොහෝ පරිඝණක දත්ත හුවමාරුවීම් ජාතික ආරක්ෂක ඒජන්සියේ දැවැන්ත පෙරණය හරහා යන නිසාම ඔහුට ඒ ඉව ලැබී ඇත. බුද්ධි අංශ නිලධාරීන් අතර Blood Hound යන නාමයෙන් හැඳින්වෙන ඔහු අමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ ඉතා වැදගත් පුද්ගලයෙකි.
ජාතික ආරක්ෂක ඒජන්සි මූලස්ථානය
හලෝ ජනරාල්........
කොහොමද මිත්‍රයා...... මොකක්ද මගෙන් අද කෙරෙන්න ඕන..... ජනරාල් වරයා ඍජුවම ඇසීය....
මට යමක් දැනගන්න අවශ්‍යයි.... ඒ කිසියම් පුද්ගලයෙක් ගැන.....
ඔබ දන්නවා මම CIA එකවත් FBI එකවත් නොවන වග, තරහ වෙන්න එපා... ඒවගේ දේවල්වලට තමයි ඒ අය ඉන්නෙ..... ජනරාල්ගේ ස්වරය දැඩි විය.....
නැහැ නැහැ... මම ඔබේ කාළය කා දමනවා නොවෙයි... එෆ් බී අයි එක ලබා දුන් දත්ත පිළිබඳ මට සෑහීමකට පත් වන්නට බැරි නිසායි මම ඔබව ඇමතුවෙ....
කවුද ? ත්‍රස්තවාදී නායකයෙක්ද ? ඔබ දන්නවානේ......... ඒ ගැන නම් මට කිසිදු විස්තරයක් දෙන්න බැහැ...
නැහැ චාලි... මට දැනගන්න අවශ්‍ය මගේ පර්යේෂණායතනයට ආපු අපේක්ෂකයෙක් ගැන....
මොනවා... FBI එකට තනි මිනිහෙක් ගැන විස්තර හොයා ගන්න බැරිද ? ඕකෙ ඉන්නෙ මැට්ටොද ?
චාලි... මේ මිනිස්සු උපරිම ශක්තිය යොදලයි ඉන්නෙ... දැන් මට කරන්න තියෙන එකම දේ ඔහුගෙ ගෙදරට කවුරුහරි යවන්න විතරයි... නමුත් තවමත් ඔහු අපේක්ෂකයෙක් විතරයි... ඒ නිසා මම කැමති නැහැ ආණ්ඩුවෙ සම්පත් ඒ වගේ දෙයකට යොදවන්න... ඒත් මේ පුද්ගලයාගේ බොහෝ දේවල් හරිම අසාමාන්‍යයි..... ඒ නිසාමයි මම හොයන්න තීරණය කළේ... මේ පරීක්ෂණයෙන් ඔහු නොතේරුණත් අපට මෙයාව වෙනත් මොනවාහරි දේකට ප්‍රයෝජනවත් වේවි. මට ඒක ඉවෙන් මෙන් දැනෙනවා... ඒ නිසා මට මේ උදවුව කරලා දෙන්න... මට මෙයාගෙ විස්තර සියල්ල ලබා ගන්න ඔබට වඩා වෙනත් කෙනෙක් නැහැ.. මම දන්නවා ඔබේ පරිඝණක වැඩසටහන් මළ මිනිස්සු උපද්දවලා තිබෙන බව.... මට මේ උදවුව කරලා දෙන්න... සමහරවිට ඔබටත් එය වැදගත් වේවි...
හොඳයි කියමු බලන්න....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයේ පරිඝණක ඉංජිනේරු ඇලෙක්ස් රොබින්සන් අපේක්ෂකයින් තිදෙනාගේම වීඩියෝ පට පරිඝණක තුනකට කවා අවසන් විය... මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල ලැබෙනු ඇත... සම්මුඛ පරීක්ෂණ වලදී ඒ ඒ අපේක්ෂකයාගේ ගති ස්වභාවය සහ පරීක්ෂණ මණ්ඩලයේ සිටින පුද්ගලයින්ගේ මානසිකත්වය අනුව එකම දක්ෂකම් ඇති විවිධ අපේක්ෂකයින්ට ලැබෙන ලකුණු ප්‍රමාණ වෙනස් බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මේ නිසා සම්මුඛ පරීක්ෂණ වල සිදු විය හැකි මානව අසමතුලිතතාවයන් මඟහැරවීම සඳහා රජයේ අතිශය වැදගත් ආයතනවලට බඳවා ගැනීමේදී දක්ෂයා නිර්ණය කිරීම පරිඝණක වැඩසටහනකට පවරා ඇත. මෙහිදී අපේක්ෂකයාගේ පෞරුෂය, වාග් මාලාව, ඉදිරිපත් කිරීමේ විලාශය, ආත්ම විශ්වාසය, වැරදි, තීරණ ගැනීමේ හැකියාව, මුහුණේ ඉරියව් යන ප්‍රධාන ලක්ෂණ නිර්ණය කිරීම අතිශය සංකීර්ණ පරිඝණක වැඩසටහනක් මගින් තීරණය කෙරේ.
ඒ අතර අද්මිරාල් රිචර්ඩ් බවර්, නැන්සි පෙපර්, ඩෙනිස් ලිපර්ඩ්, සහ නීල් ෆියු යන සිවු දෙනා තම අපේක්ෂකයින් තිදෙනා පිළිබඳ සිය හැඟීම් විවෘතව කතා කිරීමේ අවස්ථාව කරා එළඹ ඇත.
මම නම් කියන්නේ ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලී බව හොඳයි... පර්යේෂණායතනයක් වුනාම කණ්ඩායම් හැඟීම තිබිය යුතුයි... කණ්ඩායමක් ලෙස ක්‍රියා කරලයි තීරණ ගන්නත් ප්‍රතිඵල ගන්නත් ඕන... මැතිව් තරමක් පොතට බර ගීක් කෙනෙක්... බලන්න ප්‍රියමනාප වුනාට මට පේන්නෙ එහෙමයි. අනිත් එක්කෙනා.. විශ්ව... මට එයාගෙ මුහුණෙ කිසිම හැඟීමක් පේන්නෙ නැහැ... අයදුම් පත්‍රයේ මොන සුදුසුකම තිබුණත් ඒ මුහුණ නම් තනිකර හැඟීම් විරහිතයි... මට එයාව කියවන්න බැහැ.. සැමවිටම අන් අයට පෙර කතා කරන නැන්සි පෙපර් ගේ විග්‍රහය වුනේ එලෙසයි...
නීල්.... මොකද කියන්නෙ....
විෂය කරුණු පැත්තෙන් නම් විශ්ව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා... ඔහුගෙ ගුරුත්ව ක්ෂෙත්ර පිළිබඳ තර්කය මට තවමත් පැහැදිලි නැහැ... ඒක ඒ තරම් සංකීර්ණයි.. ඒ නිසා ඔහු මේ පර්යේෂණායතනයට සුදුසුම කෙනා.. නමුත් නැන්සි කිවුවා වගේ මුහුණෙ කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් කොහොමද අපේ කණ්ඩායමට බඳව ගන්නෙ ? ඇන්ඩ්‍රියා මිත්‍රශීලී තමයි.. නමුත් ඒ මිත්‍රශීලී භාවයම ඇයට හරහට හිටින්න පුළුවන්... මේක අතිශය රහස්‍ය පර්යේෂණයක්.. මේ රහස් ගන්න රුසියාවත් චීනයත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.. තවත් කවුරු මේ ගැන බලාගෙන ඉන්නවද දන්නෙ දෙයියො තමයි. සමාවෙන්න නැන්සි... මම ඔබ ගැන දන්නවා... නමුත් කාන්තාවන් කියන්නේ රහස් සංවිධාන වල ඉතා දුර්වල අංශයක්...
එහෙම කියන්නෙ කොහොමද නීල්...එයා දැනටමත් NSA එකේ ඒජන්ත වරියක්... ඔබ හිතනවාද ජෙනරාල් වෙලිංටන් ආවට ගියාට මිනිස්සු ගන්නවා කියලා එයා ලඟට ?
ඇත්ත... නමුත් එතැන සිදු වන දේවලුයි මෙතැන සිදුවන දේයි තනිකරම වෙනස්... ඇන්ඩ්‍රියාට NSA එකේ ලොකු රහසක් නැහැ රකින්න... නමුත් මෙතැන එහෙම නෙවෙයි.... අපි බලමු කෝකටත්... අපිට වඩා ගොඩක් නිවැරදිව තීරණ ගන්න කෙනෙක් ඔවුන් පරීක්ෂා කරනවා නෙ.
මැතිව්... මම හිතන්නෙ මැතිව් මෙතැනට අදාල වෙන්නෙ ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව ගුරුත්වාකර්ෂණයට ඈඳා කළ පරීක්ෂණය නිසා... නමුත් ඔහුගේ සමහර තර්ක මට පිළිගැනීමට අපහසුයි... එහෙම වුනා කියලා ඔහු අසමත් වෙන්නෙ නැහැ... ඔහුට බොහොම නිදහස් සිතුවිලි තිබෙනවා. මට හිතෙන විදියට ඔහු අපට හොඳ සම්පතක් වේවි...
අවසන කතා කළේ ආචාර්ය ලිපර්ඩ්: මම හිතන්නෙත් විශ්ව අපට හොඳ පර්යේෂකයෙක් වේවි... ඔහුගේ හැඟීම් රහිත මුහුණ නොවෙයි අපට වැදගත් වෙන්නෙ... අපට වැදගත් වෙන්නෙ මෙතැන පර්යේෂණ වලට සුදුසුම පුද්ගලයා කවුද කියන එක... දැනුම අතින් පරිපූර්ණ කවුද - ඔහුගේ හෝ ඇයගේ දැනුම මෙතැනට ලබා ගන්නෙ කොහොමද කියන එක... කොහොමත් අපට විද්‍යාඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ සේල්ස් රෙප් කෙනෙකුගෙ මිත්රශීලීභාවය.... නමුත් අපට හසුරවාගන්න පුළුවන් කෙනෙක් නම්, අපට කරදරයක් නැති කෙනෙක් නම් මට ප්‍රශ්නයක් නැහැ...
ඇන්ඩ්‍රියාගෙ මිත්රශීලීභාවය වගේම ඇයගේ සුදුසුකම් මට මෙතැනදි ප්‍රශ්නයක්... ඇය සුදුසු NSA එකට... ජනරාල් වෙලිංටන්ගෙ පෞද්ගලික යොමු කිරීමක් වුනත් අපට සුදුසුම කෙනා තමයි අපට තෝරගන්න වෙන්නෙ.
මැතිව්ගෙ දැනුම මට ප්‍රශ්නයක් නැහැ... ඔහුගෙ ක්වොන්ටම් විද්‍යාත්මක දැනීම, ඔහු ඒවා විෂයානුබද්ධ කළ ආකාරය හරිම අපූරුයි... මම තෝරා ගන්නවනම් තෝර ගන්නෙ විශ්ව හරි මැතිව් හරි... අපි තවම කිසිම කෙනෙක් මුහුණට මුහුණ ලා කතා කළේ නැහැනෙ... අපි බලමු අපේ හරස් ප්‍රශ්න වලට ඔවුන් කොහොම උත්තර දෙයිද කියලා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඔබ ඇන්ඩ්‍රියා ජීන් සමර්ස්...
ඔව්...
වයස තිස් දෙකයි.
ඔව්....
විවාහකද ?
නැහැ....
ඇයි ඔබ බර්ක්ලි විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධි පර්යේෂණයට යොමු වුනේ. ? ඔබ වැනි කෙනෙකුට ආචාර්ය උපාධියෙන් පසු වෙනත් ඕනම තැනකට යන්න පුළුවන් කම තිබුණා නෙ.
ඇත්තෙන්ම මගේ පර්යේෂණයේ තවත් වැදගත් අංගයක් නිම වෙලා තිබුණෙ නැහැ මම ආචාර්ය උපාධිය නිම කරන විට. ඒ නිසා මම උපාධියෙන් පසුවත් එතැනම සේවය කළා.
එය ඔබේ වෘත්තීය ජීවිතයට දැඩි පහරක් බව ඔබ දැන සිටියෙ නැද්ද ?
මම එය දැන සිටියා.. නමුත් ඔබ සිතනවද අපරාධකරුවන්ගේ මුහුණෙ හැඟීම් අනුව ඔවුන් ඉදිරියේදී යමක් කරයිද කියලා සොයන්න පුළුවන් පරිඝණක වැඩ සටහනක් හදපු මා වගේ කෙනෙක්ගේ වෘත්තීය ජීවිතය මේ වගේ සුළු දේකින් අවසාන වෙයි කියලා ? ඇය පෙරළා ප්‍රශ්න කළාය.
මෙයා නම් බොහොම තියුණු තර්ක බුද්ධියක් ඇති කෙනෙක්.... නැන්සි එසේ සිතමින් සිය කඩදාසි ගොන්නේ යමක් සටහන් කර ගත්තාය.
ඔබේ විශේෂඥතාවය තිබෙන්නේ පරිඝණක වැඩසටහන් පිළිබඳව.... නමුත් මෙතැන සිදු වන්නේ තනිකරම ඉංජිනේරු අංශයේ, අණුක සහ පරමාණුක මට්ටමේ ගණනය කිරීම් සහ පරිඝණක වැඩසටහන් ලිවීම සහ අත්හදා බැලීම... ඔබ හිතනවාද මෙතැන ඔබට සුදුසුම තැන කියලා. ? මෙතෙක් වෙලා නිහඬව සිටි ආචාර්ය ලිපර්ඩ් ඒ ප්රශ්නය යොමු කළේ ඇගේ නෙත් දෙස කෙළින්ම බලාගෙන....
ඇත්තෙන්ම මම හිතනවා මම මෙතැනට සුදුසුයි කියලා.. මා ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ මගේ පරිඝණක වැඩසටහනට වුවත් මගේ විශේෂඥතාවය තිබෙන්නේ රොබෝටික්ස්... රොබෝවරුන් තැනීම... ඔබ දන්නවා රොබෝවරු තැනීම කියන්නෙ කෙතරම් අපහසු කටයුත්තක්ද කියා... පරිඝණක වැඩසටහන් පමණක් නොවෙයි ඔවුන් සජීවීකරණය සඳහා අපට ඉංජිනේරුවිද්යාවේ බොහෝ දේ කරන්න සිදු වෙනවා. යාන්ත්‍රික විද්‍යාව, ද්‍රව්‍ය හැසිරීම සහ ඒවායේ ගුණ, නැනෝතාක්ෂණය, ජීව විද්‍යාව, මානව ව්‍යුහ විද්‍යාව අදී සියළු අංශවල එකතුවක් මේ විෂයය. ඒ වගේම ගුරුත්වය පිළිබඳ මනා දැනීමක් නොමැතිව රොබෝවරයෙකුට ජීවය දෙන්න අපහසුයි...
ඇගේ ඇස්වල කළු ඉංගිරියාවන් විශාලවනු ලිපර්ඩ් ට පෙණුනි... ඇයට පිටුපසින් සිටි තාක්ෂණික නිලධාරියාගේ දකුණතේ මහපටැඟිල්ල පහළට යොමුවනු සියළුම දෙනා හොඳින් දුටුවෝය...
තවත් ප්‍රශ්න කිහිපයකට අනතුරුව..............
හොඳයි.... අපි ඔබට දන්වන්නම් අපේ තීරණය තව දින දෙකකින්... ඒ අතරතුර ඔබ සැළකිළිමත් විය යුතුයි ඔබ අද උදෑසන අත්සන් කළ ලිපිය පිළිබඳ... එය කඩ කළහොත් මේ රැකියාවත්, දැනට ඔබ කරන රැකියාවත් අහිමි වෙන්න පුළුවන්. සුභ දවසක්...
ස්තූතියි... මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබ හැමටම ස්තූති වෙනවා..
සී අයි ඒ ආයතනය, එෆ් බී අයි ආයතනය සහ ජාතික ආරක්ෂක ඒජන්සිය යන ස්ථාන තුනෙහිම අවසාන සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙත්නේ දැඩි ආතතියක් ගෙන දෙන තත්ත්වයක් මධ්‍යයේ දී ය. පළමුව අපේක්ෂකයාගේ සිරුරෙහි පපුව වටා වයරයක් ඇද එය ඉලෙක්ට්‍රෝඩයකට සම්බන්ධ යන්ත්‍රයකට සවි කරන අතර ඇඟිලිතුඩු, බෙල්ලේ, සහ හිසේ ඇසට ඉහළින් වූ මර්මස්ථානයේ කුඩා ඉලෙක්ට්‍රෝඩ සවි කර ඒවා ද අදාල යන්ත්‍රයට සවි කෙරේ. මෙය කිසිවෙකු බොරු කියන්නේදැයි සොයා ගැනීමේ මූලිකම පරීක්ෂණයයි. බොරුවක් කියනවිට කළු ඉංගිරියාවෙහි ප්‍රමාණය වෙනස් වුවත්, පළපුරුදු බොරුකාරයෙකුට එය නොවෙනස්ව පවත්වා ගැනීම ද අපහසු නොවේ. නමුත් බොරුවක් දැන දැනම කියනවිට වෙනස්වන හෘද ස්පන්දන වේගය, මොළයේ ස්නායු තන්තු අතර ඇතිවන විද්‍යුත් අසමතුලිතතාවයන් සහ මොළයට රුධිරය ගමන් කිරීමේ විශමතාවයන් නිසා ශරීරයේ ඇතිවන ඉතා සූක්ෂම විද්‍යුත් ආරෝපණ වෙනසත්, ශරීරය මතුපිට වෙනස්වන ආරෝපණ වෙනසත්, ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණයෙහි වෙනසත් ගණන් බැලූ විට ඒ පුද්ගලයා කියන්නේ බොරුවක්ද ඇත්තක්ද යන්න සොයා ගැනීම ඉතා පහසු කාර්යයක් වී ඇත. මුලින්ම අපේක්ෂකයා/සැකකාරයා විසින් නිසැකවම ඇත්ත පිළිතුරු ලබාදෙන ප්‍රශ්න යොමු කිරීම මගින් යන්ත්‍රයේ නිරවද්‍යතාවය සහතික කර ගනී. ඉන්පසු සිය ඉලක්ක ප්‍රශ්න යොමු කිරීම මගින් අදාල ස්ථානයට ඒ පුද්ගලයා කොටු කරගෙන අවශ්‍ය දේ දැනගත හැකිය. කෙසේ වුවත් මෙම යන්ත්‍රය සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවල සහ අපරාධ පරීක්ෂණවල භාවිතා වන ඔව්/නැහැ පිළිතුරු ලබාදෙන යන්ත්‍රයකට වඩා දියුණු යන්ත්‍රයකි. මේ නිසා තම අපේක්ෂකයාගේ දීර්ඝ පිළිතුරක ඇති නිරවද්‍යතාවය සහ අවංකභාවය ඉතා තදිමට නිර්ණය කිරීමට අදාල බලධාරින්ට හැකි වේ.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේක වෙන්න පුළුවන් කොහොමද ?
ජනරාල් වෙලිංටන් තමාට ලැබුණු වාර්තාව තෙවන වරටත් කියවා අවසානයේ සිය තට්ට හිස අතගාමින් කල්පනා කළේය..... කවදාවත් කිසිම කෙනෙකුගෙ පසුබිම් වාර්තාවක් මේ තරම් පිරිසිදුව නොලැබුණ බව තමාට විශ්වාසය... අවම වශයෙන් රටේ ජනාධිපතිවරුන්ගේ පවා සොයාගත හැකි පැහැදිළි වැරදි තිබියදී අවම වශයෙන් මාර්ගනීති කඩ කිරීමක් වත් සිය දත්ත සටහනේ නොමැති මේ තරුණයා ගැන Blood Hound නොහොත් ජනරාල් වෙලිංටන්ට හට ගත්තේ මහත් සැකයකි.. වහාම සිය සහායිකාවට ඇමතූ ඔහු සිය කණ්ඩායමේ සිටින දක්ෂතම දත්ත හාරන්නන් දෙදෙනා සිය කාර්යාලයට එවන්නැයි අණ කළේය.
බිල්..... මයික්..... මට කියන්න පුළුවන් ද කෙනෙක්ගෙ පසුබිම් දත්ත සටහනක් මේ තරම් පිරිසිදු වෙන්න පුළුවන් කොහොමද කියලා. කාළය නාස්ති කිරීමට අකමැති ජනරාල් වෙලිංටන් කෙළින්ම සිය අවශ්‍යතාවය ඔවුන් හමුවේ ගෙනහැර දැක්වීය.
මේක වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කෝ මේ පුද්ගලයා ඇත්තෙන්ම පිරිසිදු පසුබිමක් තිබෙන පුද්ගලයෙක් වෙන්න ඕන. නැතිනම් ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකා දමලා අළුත්ම අනන්‍යතාවයක් ලබා ගන්න ඕන... නමුත් මේ වාර්තා පිළිබඳ බැලුවාම දෙවැන්න අපට බැහැර කරන්න සිදු වෙනවා. මේ බලන්න ඔහු එක්සත් ජනපදයට ඇවිත් තිබෙන්නෙ වයස 13 දි. එතැන් පටන් සියළුම වාර්තා මෙතැන තිබෙනවා... ඒ විතරක් නොවෙයි වීඩියෝ දර්ශනත් සමඟ අනන්‍යතාවය සඟවපු පුද්ගලයෙක් කවදාවත් මෙහෙම ප්‍රසිද්ධියේ හැසිරෙන්නෙ නැහැ. ඒ වගේම අපට පැහැදිලිවම පේනවා මොහු දක්ෂ පුද්ගලයෙක් කියලා... ඔහුගෙ ක්‍රීඩා විලාශයෙන්ම පේනවා ඒ බව.. එපමණක් නොවෙයි අපි ඔහුගෙ දෙමාපියන්ගෙ අතීතයත් හාරා අවුස්සා බැලුවා... ඒවයින් වත් පෙනෙන්නෙ නැහැ ඔහු කිසිම වැරැද්දක් කර ඇති බව.. ඔවුන් සියළුම දෙනා බොහොම නීතිගරුකව සිටි පවුලක්.. ඒ වගේම ඔහුගෙ පියා ....
මම දන්නවා.... මම විතරක් නොවෙයි මුළු ලෝකයම දන්නවා.
එහෙනම් ඔබ කියන්නෙ දැන් මේ තරුණයා පිරිසිදු අතීතයක් ඇති කෙනෙක් කියලා ?
ඔව්....
මෙයාට පෙම්වතියක් ඉන්නවද ? ඉඳලා තියෙනවද ?
දන්න ආකාරයට නම් කිසිම සම්බන්ධතාවයක් තිබිලා නැහැ... නමුත් යාළුවො නම් බොහොමයක් ඉන්නවා... Facebook එකේ පමණක් යාළුවො 666 ක් සිටිනවා... දැනට අවුරුදු දෙකක පමණ කාළෙ ඉඳලම මේ ගණන වෙනස් වෙලා නැහැ.. එක්කෝ කවුරුහරි එකතු වෙන්නට පෙර කිසිවෙකු ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. ඔහු අංක 666 දැඩි ලෙස අනුගමනය කරන කෙනෙක්...
666 යක්ෂයාගේ අංකය..... ඔය තියෙන්නෙ පොටක් පෑදිලා... දැන්මම සොයන්න 666 ට මෙයාගෙ ඇති වෙනත් සම්බන්ධතා මොනවද කියලා.... සමහරවිට මෙයා යක්ෂයාගේ කල්ලියේ කෙනෙක් වෙන්න ඇති... මේ වගේ සාන්ත දාන්ත අය තමයි අපට ලොකු කරදරයක් වෙන්නෙ... දැන්මම දෙන්නා ගිහින් මට පැයක් ඇතුලත මේ සම්බන්ධය හොයලා ගෙනැත් දෙන්න ඕන.... ඒ වගේම පුළුවන් නම් මෙයාගෙ ගමන් බිමන් ගැන සැටලයිට් දර්ශන, මාර්ග කැමරා දර්ශන තියෙන ඒවා අරගෙන එන්න... මුහුණ හඳුනා ගැනීමේ (Face Recognition) වැඩසටහනකින් මෙයාගෙ තියෙන සියළුම ෆොටෝ, වීඩියෝ ආදිය සොයා ගන්න.... මෙයා සමහර විට අපට අහු නොවෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්.... ඒ වගේම Facebook එකේ දාපු ප්‍රතිචාර තියෙනවා නම් සහ ඒකෙ විවිධ කණ්ඩායමවලට ඇතුලත් වෙලා තියෙනවා නම් ඒ හැම එකකම විස්තර මට ඕන... මේක ඉහළම වැදගත්කමක් ඇති (High Priority) වැඩක් විදියට මතක තියාගන්න...
හොඳමයි ජෙනරාල් තුමනි..
666 අංකය ගැන බොහෝ මතවාද ඇත....
පළමු සාමාන්‍ය අංක 36 හි එකතුව 666 කි. (1+2+3+4+..........+34+35+36 = 666) මේ නිසා
ත්‍රිකෝණාකාර අංකයක් ලෙස සළකනු ලැබේ. 666 දක්වා වූ ප්‍රථමක සංඛ්‍යා ගණන 121 කි. 121 හි මූලය 11 යි. 0-36 දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යා ගණන ද 11 කි. 666 අධි අංකයකි. (
abundant number) - එනම් අංක න්‍යායට අනුව කිසියම් අංකයක් බෙදෙන අංක සංඛ්‍යාවෙහි එකතුව එම අංකයට වඩා වැඩි නම් එය අධි අංකයක් යැයි සළකනු ලැබේ. පළමු අධි අංකය 12 ය (1,2,3,4,6 යන සංඛ්‍යාවලින් 12 බෙදේ - එහි එකතුව 16කි). 666 පුනරාවරතී අංකයකි(11,22,444, 666). රෝම ඉලක්කම්වල 666 යනු 1000ට අඩු අවස්ථාවකදී සියළුම අංක සළකුණු දැකිය හැකි එකම අංකයයි, DCLXVI, (D=500, C=100, L=50, X=10, V=5, I=1). යුදෙව් ආගමට අනුව ලෝකය මැවීම සහ පරිපූර්ණ කිරීමට අදාල අංකය 6 වේ (දින 6 කින් ලෝකය මැවීමත් 6 දිශාවකට පරිපූර්ණ කිරීමත් ඇතුළුව)
ක්‍රිස්තියානි ආගමේ නව තෙස්තමේන්තුවේ 13 වන පරිච්ඡේදයේ අංක 666 ට වැරදි චිත්‍රයක් මවාපෑම නිසාම බොහෝ බටහිර ජාතීන් අතර 666 සාතන්ගේ අංකය ලෙසින් වැරදි වැටහීමක් ඇති කරගෙන තිබේ. එසේම අනාගමිකවාදීන් (Anarchists) ද අංක 666 ට විවිධාකාර අර්ථකතන දීමත් එංගලන්තයේ ආතර් රජු අනාගමිකවාදියෙකු විසින් ඝාතනය කිරිම යන කරුණු නිසාත්, මාධ්‍ය මගින් සහ විවිධ කල්ලි මගින් 666 සිය පෞද්ගලික අවශ්‍යතාවයන් අනුව අපරණය කිරීමත් යන කරුණු නිසා අංක 666 යක්ෂයාගේ අංකය ලෙස බටහිර ජාතීන් අතර ප්‍රසිද්ධ ය... ජෙනරාල් වෙලිංටන් බුද්ධි අංශය භාර ඉහළ නිලධාරියෙකු වුවත් සිය බුද්ධිය අභිබවා සිය ආගමත් විශ්වාසයත් ඉදිරියට පැනීම නිසා ඔහුද එය යක්ෂයාගේ අංකය ලෙස පිළිගැනීම විමතියට කරුණක් නොවේ.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොනවද මේ මනුස්සයා කරන්නෙ.... ?
වීඩියෝ පටය දෙස බලා සිටි සියළුම දෙනාට වූ පැණය වූයේ එයයි....
ඔහු දෑස් පියාගෙන නින්දකට පත්වී ඇත්තාක් මෙන් නිසොල්මන් වී සිටී...... තමන් පැමිණ සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන තුන්සිය තිහක ජනතාවගෙන් කිහිප දෙනෙකුට පමණක් හිමිවන අවස්ථාවක් ලබා ගැනීමට බව අමතක වී ඇතිවාක් සේ ඔහු නිද්‍රාවට වැටී ඇත.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මැතිව්.... ඇයි ඔබ ස්ටැන්ෆර්ඩ් වැනි කීර්තිමත් විශ්ව විද්‍යාලයක මහාචාර්ය තනතුරක් අතහැරලා මේ වගේ තැනක රැකියාවක් බලාපොරොත්තු වෙන්නෙ ?
ඔහුගේ මුහුණේ සිනාරැල්ලක් ඇඳුනි...
ඔබ දන්නවා මහාචාර්ය තනතුරක වගකීමකට වඩා මට මේ වගේ තැනක විශාල කාර්ය භාරයක් කරන්න පුළුවන් බව.... හැරත්, මට ඒ මහාචාර්ය තනතුර ලැබුණෙ මගේ සුදුසුකම් වලටම වඩා මගේ පවුල් පසුබිමට.... මගේ පියාගෙ සුදුසුකම් නිසා මමත් ඔහු වගේම විශ්ව විද්‍යාලයට කීර්තියක් අත්කරදේවි කියා ඔවුන් හිතන්න ඇති.
ඔබ හිතනවද ඔබේ පියාගෙ තනතුරු සහ සම්බන්ධතා මේ ස්ථානයේ සේවයට බාධාවක් වේවි කියා..
නැහැ... මගේ පියා ඉන්නෙ කැලිෆෝනියාවෙ.. ඒ වගේම ඔහුගෙ විෂය ක්ෂෙත්රය මෙයට කිසිම අදාලතාවයක් නැහැ... ඔහු රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්.... ඒ වගේම ඔහුගෙ තනතුරු මෙයට අදාල වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙ නැහැ... නමුත් ඔහුගේ සම්බන්ධතා මගේ මහාචාර්ය පදවියට නම් බලපාන්න ඉඩ තිබෙනවා.
මැතිව්... ඔබ දන්නවා ඔහු තිස්තුන්වන මට්ටමේ මේසන්වරයෙක් (33rd Degree Free Mason) බව...
මම විතරක් නොවෙයි... මේ මුළු ලෝකයම දන්නවා.... ඔහු එය හංගන කෙනෙක් නොවෙයි... ඔබ නොදන්නවාට සොලමන් පරම්පරාවම මේසන් වරුන්... අමතක කරන්න එපා අපේ පරම්පරාව පැවත එන්නෙ සොලමන් රාජ පරම්පරාවෙන් කියලා....
මැතිව් පෙරළා පිළිතුරු දුන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අන්දමටය....
ඒත්, මට හිතාගන්න බැරි ඇයි ඔබලා මේ මගේ අතිශය පෞද්ගලික කාරණා මෙතැනට ඇදලා ගන්නෙ කියලා.. මම මෙතැනට ආවෙ සම්බන්ධකම් නිසා නොවෙයි.. මගේ සුදුසුකම් අනුව... ඔබ හිතනවා නම් මම මෙතැනට නුසුදුසුයි කියලා ඔබට තිබුණා අපි හැමෝගෙම කාළය නාස්ති නොකර මෙය මුලදිම නවත්වන්න..
මැතිව්... මතක තියාගන්න ඔබ ඇවිත් තිබෙන්නේ සම්මුඛ පරීක්ෂණයකට මිසක් පුවත්පත් සාකච්ඡාවකට නොවෙයි.... අද්මිරාල් රිචර්ඩ් බවර්ගේ කටහඬ දැඩි විය....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
666................ සිය පරිඝණක මොනිටරය දෙස බලාගෙන ජෙනරාල් වෙලිංටන් තනිවම කල්පනා කරන්නට පටන් ගත්තේය...
මේක මෙයාගෙ ජීවිතයට බොහොම සමීප අංකයක් වෙලා තියෙන්නෙ ඇයි කියලා දැනුයි තේරෙන්නෙ... මටත් අමතක වුන හැටි...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව සමාධි සූර්යබණ්ඩාර....
ඔව්...
වයස අවුරුදු 30 යි...
හරි....
ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ... ඔබට හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්.. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්....
මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්ව විද්‍යාලයට ගියත් මට මගේ පර්යේෂණ වලට මෙතැන වගේ සම්පත් උපකරණ ආදිය සොයා ගන්න අමාරු වෙයි... බලන්න ඔබ සතුව තිබෙන අවම ඝර්ෂණය සහිත ප්‍රති ගුරුත්ව මේසය.... ඔබ හිතනවද මේ වගේ උපකරණයක් මට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් හොයා ගන්න ලැබෙයි කියලා...
නීල් ෆියුත්, මහාචාර්ය ලිපර්ඩුත් දෙදෙනා මුහුණට මුහුණ බලා ගත් අතරම නැන්සි සිය කටහඬ අවදි කළාය...
ඔබගෙ ජීව දත්ත සටහනේ සඳහන් වෙනවා ඔබ බොහෝ ක්‍රීඩා කළ පුද්ගලයෙක් බව.. ඔබ කොහොමද බර්ක්ලි වගේ විශ්ව විද්‍යාලයක ඇති වැඩ කන්දරාවත් එක්ක මෙතරම් හොඳට විභාග සමත් වුනේ... බර්ක්ලි විශ්ව විද්‍යාලය වගේ තැනක මලල ක්‍රීඩාවට තැන දෙන අය හරිම අඩුයි. ඒ වගේම මම කුඩා කාළයෙ ඉඳලම වෙලාව හොඳින් කළමණාකරණය කරගෙන හිටපු කෙනෙක්, ඒ නිසාම මට අධ්‍යාපනයට කියලා විශේෂයෙන් අමතර කාළයක් යොදවන්න අවශ්‍ය වුනේ නැහැ.
අපි දන්නවා ඔබට ඉතා හොඳ මතක ශක්තියක්, යමක් එකවරක් බැලූ විට මතක තබා ගැනීමේ හැකියාවක් (Photographic Memory) තිබෙන බව... අපට කියන්න පුළුවන්ද ඔබ ඒ හැකියාව ලබා ගත්තෙ කොහොමද කියලා...
ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් දුටු පළමු අවස්ථාව එය විය.....
ඔබ සෑහෙන්න ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් බලනවා වගෙයි... ඔහු තරමක් උපහාසයෙන් පැවසීය....
ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්වල කියැවෙන Photographic Memory කියන ප්රස්තූතය ඇත්තෙන්ම සත්‍යයක් නොවෙයි නැන්සි මහත්මිය.. ඔබ දන්නවා ඇති CIA නිලධාරිනියක් විදියට ඔබේ ආයතනයේවත් Photographic Memory ඇති අය නැති බව.. නමුත් මට හොඳ මතකයක් තිබෙනවා. එය Photographic Memory එකක් නොවෙයි.. නමුත් මගේ අවධානය එකතැනකට යොමු කළ විට ඒ දේවල් හොඳින් මතක තබා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එය මනස පුහුණු කිරීමෙන් කළ හැකි දෙයක්...
ඔබ කොහොමද හිතන්නෙ මම CIA ආයතනයෙ කියලා....
ඔබේ හැසිරීමෙන්, ඔබේ ප්‍රශ්නවලින් මට අනුමාන කරන්න පුළුවන් ඔබ එවැනි ආයතනයකින් පැමිණි අයෙක් බව, ඔබේ ප්රශ්නවල ක්ෂෙත්ර දැනුමක් නැහැ. ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ පුද්ගල චර්යාවන් නිරීක්ෂණයට.
නැන්සි පෙපර්ගේ දෑස් විශ්මයෙන් ඇළලෙනු එතැන සිටි බොහෝ දෙනාට දැනුනි...
හොඳයි විශ්ව.... ඔබ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියට හැදෑරුවෙ ප්‍රති ගුරුත්ව ක්ෂෙත්ර පිළිබඳව... නමුත් බොහෝ ශිෂ්‍යයෝ ආචාර්ය උපාධියට හදාරන්නෙ මෙයට වඩා වෙනස් විෂයයන්, ඇයි ඔබ මේ වගේ විෂයයක් තෝර ගත්තෙ ?
පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණය කිසිවිටෙක එක හා සමානව පැතිරිලා නැහැ. සමහර ස්ථානවල වැඩි ගුරුත්වයකුත්, තවත් සමහර ස්ථානවල අඩු ගුරුත්වයකුත් පවතිනවා. උදාහරණයක් වශයෙන් බහමාස් දූපත් අසළ, ඉන්දියාවේ හිමාලය කඳුවැටියේ පරිවාර කඳු සහ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට දකුණින් රූමස්සල නම් ප්‍රදේශයේ පවතින්නේ බොහොම අඩු ගුරුත්ව ක්ෂෙත්රයන්. ඒ වගේම අන්දීස් කඳු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ සමහර පෙදෙස්වල ගුරුත්ව ක්ෂෙත්රය බොහොම වැඩියි. මෙන්න මේ විසංකූලතා සහ තවත් ඓතිහාසික සාධක මත මම ගුරුත්ව ක්ෂෙත්ර පිළිබඳ හැදෑරීම තෝරා ගත්තා..
නමුත්, ඔබ ගුරුත්වය පිළිබඳ දරන ආකල්පය වෙනස් දෙයක්....
ඔව්... මම ගුරුත්වය පිළිබඳ හිතන්නෙ එය වස්තූන් දෙකක් අතර වූ සම්බන්ධතාවයක් විදියට. සරළ උදාහරණයක් ගත්තොත් යම් කෙනෙක් තවත් කෙනෙක් වෙතට දරන ආකර්ෂණය හෝ විකර්ෂණය ඒ දෙදෙනාගේ රසායනය (chemistry) අනුව වෙනස් වෙනවා ; එහෙමත් නැතිනම් අණු හෝ පරමාණු දෙකක් අතර බැඳීම ඒවායේ ආරෝපණ අනුව සහ වෙනත් සාධක මත වෙනස් වෙනවා. මේ බැඳීම් වගේම විශාල වස්තූන්වල ආකර්ෂණය විකර්ෂණයත් මෙන්න මේ කුඩා අණුක-පරමාණුක සම්බන්ධතා අනුව ගණනය කරන්න පුළුවනි. නමුත් බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ ගුරුත්වය බලපාන්නෙ විශාල වස්තූන්ට පමණක් බව, අපි පොළව අතගාලා වැලිකැටයක් ගත්තොත් එයටත් කිසියම් ගුරුත්වයක් තිබෙනවා.
ඔබ දන්නවා ගුරුත්වය ගණනය කරන සරළම සමීකරණය.
g = GM/r2
මෙහිදී ඔබට පේනවා r අගය ගුරුත්වයට ලොකු බලපෑමක් කරන බව. දැන් ඔබ වැලිකැටය සළකා බැලුවහොත්, අන්න ඒකටත් කිසියම් අරයක් තිබෙනවා. M කියන්නෙ එහි ස්කන්ධය, G ගුරුත්වාකර්ෂණ නියතය... මෙන්න මෙතැනදියි බොහෝ දෙනාට වරදින්නෙ.. අපට මෙන්න මේ කුඩා වස්තූන්වල ගුරුත්වාකර්ෂණ නියතය හදාරන්න අපහසුයි පෘථිවි ගුරුත්වය බලපාන නිසා. නමුත්, අපට හැකි නම් පෘථිවි ගුරුත්වය නොසලකා හරින්න, අන්න ඒ අවස්ථාවෙදි අපට පුළුවනි එක් එක් වස්තූන්ගෙන් අනෙක් දේ වලට ඇති ආකර්ෂණය - විකර්ෂණය ගණනය කරන්න. මගේ පර්යේෂණය වුනේ මෙන්න මේ ගුරුත්වය නොසලකා හැරිවිට සිදුවන අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය. ඉතින්, ඔබට දැන් තේරෙනවා මම ඇයි හාවඩ් විශ්ව විද්‍යාලයට වඩා මෙතැනට කැමැත්තක් දක්වන්නෙ කියලා.
ඒ පිළිතුරෙන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි සිවු දෙනා පමණක් නොව සත්‍යය නිර්ණය කරන යන්ත්‍රය ක්‍රියාකරවන තාක්ෂණික නිලධාරියා ද සෑහීමකට පත්වනු විශ්වට දැණුනි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Piece of Cake !
මැතිව් නාවික පර්යේෂණ ආයතනයෙන් පිටත්වන පිටවන විටම තමන්ට කියා ගත්තේය.......
33 වන මට්ටමේ මේසන්වරු ලෝකයේ සිටින්නේ අතලොස්සකි. රහස්‍යව පැවති අති බලවත් සමාජයක් වූ Free Masons නම් සමාජයට අයත් බලවත් පුද්ගලයින්ගේ ලැයිස්තුව එසේ මෙසේ එකක් නොවේ. ජෝර්ජ් වොෂිංටන්, බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්, ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්, එළිසබෙත් රැජිනගේ ස්වාමියා වන එඩින්බරෝ ආදිපාද ෆිලිප් කුමරු, වින්ස්ටන් චර්චිල් වැනි ලොව පාලනය කිරීමට සම්බන්ධ බලවතුන් ද, සුප්‍රකට කතා රචක සර් ආතර් කොනන් ඩොයිල්, ගලිවරය ලියූ ජොනතන් ස්විෆ්ට් වැනි ලේඛකයින් ගගනගාමී එඩ්වින් ඕල්ඩ්රින්, වැන්නවුන් මෙන්ම හිල්ටන් හෝටල් සමූහයේ නිර්මාතෘ චාර්ල්ස් හිල්ටන්, වෙන්ඩීන් අවන්හල් සමූහයේ නිර්මාතෘ ඩේව් තෝමස් වැනි ව්‍යාපාරික දැවැන්තයන් ද, ඉන්දියාවේ ආගමික ගුරු ස්වාමි විවේකානන්ද ඇතුළු ලෝ වටා වූ බොහෝ බලවත් පුද්ගලයින් රැසක් සාමාජිකත්වය දරන ඉතා බලවත් සමාජයක් වන මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට ද අතිශය අපහසු කරුණකි. එසේ ලබා ගන්නා සාමාජිකත්වය වරින් වර සිදු කෙරෙන සමත්කිරීම් සහ පරීක්ෂණවලින් පසුව මට්ටමින් මට්ටම ඉහළට ගොස් අවසන උසස්ම මට්ටම වන 33 වන මට්ටමට උසස් කරනු ලැබේ. එය අතිශය උසස් ස්ථානයකි. ලොව පුරාම 33 වන මට්ටමේ මේසන්වරු සිටින්නේ අතලොස්සකි. ඒ අතරට බලවත් රාජ්‍ය නායකයින් බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සහ සොලමන් පරම්පරාව මෙන් පාරම්පරික මේසන්වරු අයත් වෙති.
සිය පියාගේ සම්බන්ධතා මෙන්ම ආණ්ඩුව තුළ වූ මේසන්වරුන්ගේ බලපරාක්‍රමය මත මේ රැකියාව තමන්ට ලැබෙන බව දැන් ඔහුට ඉර හඳ සේ විශ්වාසය. තමා තරමක් උඩඟු බවක් පෙන්වුවත් එයින් තමාගේ නායකත්ව ගුණාංගයන් ඉහළට ඔසවා තැබෙන බව ඔහු කල්පනා කළේය. කවුරු සම්මුඛ පරීක්ෂණයට පැමිණියත්, තමන්ට මේ අවස්ථාව ලැබෙන බව ඔහුට තේරුම් ගොස් තිබුණි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඇලෙක්ස් සිය වාර්තාව සම්මන්ත්රණ කාමරයේ සිටි සිවු දෙනා වෙත ගෙන ගොස් පසෙක වූ සුවිශාල තිරය මත දිස්වන්නට සැලැස්වීය. තම ආයතනයේ ඇති පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගෙන් අවසන් අදියරට පැමිණි තිදෙනාගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම්වල පරිඝණක විශ්ලේෂණයන් වෙන වෙනම සසඳා තිබුණි. ඒ අනුව පැහැදිලිවම පිළිතුරක් ලැබී තිබූ නමුත් පරීක්ෂණ මණ්ඩලයේ සිටි සිවුදෙනාම එකසේ එයට කැමති වූයේ නැත....
පරිඝණක වැඩසටහන හරි වෙන්න පුළුවන්... නමුත් අපට තියෙනවා නේද කිසියම් හැඟීමක්...Gut Feeling එකක්... එතකොට ඒකට කිසිම තැනක් නැද්ද මෙතැන ? නැන්සි නැවතත් සිය විරෝධතාවය පළ කළා....
නැන්සි... ඔබ දන්නවා අපි මෙතැන ගන්න හැම තීරණයක්ම තර්කානුකූලව ගත යුතුයි කියලා... හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ බොහොම දුර්වල තැනක්... අපට වඩා ඔබ ඒක දන්නවා... නමුත් අපි යට වෙන්න හොඳ නැහැ සමාජ සම්බන්ධතා වලට.....
නමුත්, අපි මේ වාර්තාව මත පමණක් තීරණය ගන්න බැහැ නේද ? FBI එකේ පසුබිම් වාර්තාව එනකල් කවුරු වුනත් ඉන්නෙ එකම තැනක... ඒක අනුව නෙ අපි අවසාන තීරණය ගන්නෙ...
ඇත්ත.. නමුත් මෙයා තමයි අපට දැනට හොඳටම සුදුසු... අපි දැක්කා එයාගෙ ඉදිරිපත් කිරීම, කියන්න තරම් වැරැද්දක් ඇත්තෙම නැහැ.. තරමක් මුරණ්ඩු ගතියක් පෙන්වුවත් බුද්ධිමත්, මම හිතන්නෙ අපි පරිඝණක වැඩසටහන අනුව යා යුතුයි...
බලමු... තවත් වාර්තා එන්න තිබෙනවා නෙ.... එහෙනම් අපි ආයෙම කවදද හමු වෙන්නෙ.. මට මේක ඉක්මනටම අවසන් කරලා මේ පර්යේෂණය ඉක්මන් කරන්න ඕන.... කල් දාන්න බැහැ..
සියළුම දෙනා සිය ජංගම දුරකථන වලින් සිය කාලසටහන් පරීක්ෂා කරන්නට වූහ....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
හලෝ......... මට පුළුවන්ද OSA එකේ IC, (Intelligent Chief - Office of South Asia) මේජර් බෙන්ජමින් වයිට් ට කතා කරන්න... මම ජෙනරාල් වෙලිංටන්... NSA එකෙන්......
CIA මූලස්ථානයේ දුරකථන යතුරු පුවරුව ක්‍රියාකරවන මෙලිසා කොවැක්ස් සිය පරිඝණකයට ජෙනරාල් වෙලිංටන්ගේ නම ඇතුලත් කළාය.
ජෙනරාල් වෙලිංටන් මහත්මයා, කරුණාකර ඔබේ අංකය ඇතුලත් කරන්න....
ජෙනරාල් වෙලිංටන් සිය දුරකථනයෙන් ඉලක්කම් කිහිපයක් ඔබා සිය අනන්‍යතාවය සහතික කළේය....
ස්තුතියි... ඉන්න මම සම්බන්ධ කරන්නම්...
අතිශය ආරක්ෂාකාරී මධ්‍යස්ථාන වල ඉහළ නිළධාරීන්ට පිටතින් ඇමතීමේදී පිලිගැනීමේ නිලධාරිනිය හරහා යනවිට අදාල පුද්ගලයා රහස්‍ය භාවයෙන් නිදහස් කරන ලද ඉහළ නිලධාරියෙකු නම් ඔහුගේ/ඇයගේ පෞද්ගලික රහස් අංකයක් පරිඝණයකට ඇතුව කිරීම මගින් අදාල පුද්ගලයාට කෙලින්ම සම්බන්ධ විය හැකි වේ. එසේ නොවන කෙනෙකුගේ දුරකථන ඇමතුම බොහෝ විට පහළ නිලයක තාක්ෂණික නිලධාරියෙකු හරහා අදාල පුද්ගලයා වෙත යැවෙන්නේ උසස් නිලධාරීන්ගේ අනන්‍යතාවයත් ආරක්ෂාවත් සහතික කිරීම පිණිසයි.
මේජර් වයිට් කතාකරනවා....
මේජර්.... මම ජෙනරාල් වෙලිංටන්... NSA ප්‍රධානි...
ඔව් සර් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන....
මට ඔබෙන් තොරතුරු කිහිපයක් දැන ගන්න අවශ්‍යයි.. ඔබ නේද දකුණු ආසියානු කළාපයට අදාල බුද්ධි අංශය භාරව ඉන්නෙ. ?
ඔව් සර්...
මට එවන්න පුළුවන්ද 2006 ජුනි මස 06 වනදා ලෙබනනයේදි මියගිය එක්සත් ජාතීන්ගෙ සාම සාධක නිලධාරී සෙනරත් සූර්ය බණ්ඩාර සහ ඔහුගෙ පවුල පිළිබඳ වාර්තාව... මට ඒ සිදුවීම ගැන පසුබිම් වාර්තාවක් ගන්න අවශ්‍යයි...
හොඳමයි ජෙනරාල් තුමනි... මම විනාඩි කිහිපයකින් එය ඔබේ ආරක්ෂිත විද්‍යුත් තැපැල් ලිපිනයට (Secured E-mail Account) ලැබෙන්න සලස්වන්නම්.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙකු වූ සෙනරත් සූර්යබණ්ඩාර රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඉතා සාධාරණ සහ නීතිගරුක පුද්ගලයෙකු වූ ඔහු බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිමය දැනීමත් ක්ෂෙත්රයේ විශේෂඥතාවයත් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවන්ට උපදේශකත්වය සලසන නීති උපදේශක වරයෙකු ලෙස පත් කළ ඔහු, රටවල් කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ගෞරවයට පාත්‍ර වූ ඔහු 2006 වසරේ ලෙබනන් යුද්ධය ඇරඹීමට දින 6 කට පෙර සිදු වූ අනතුරකින් සිය පවුලේ සාමාජිකයින් සමඟ ඝාතනය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වූ තවත් කළු පැල්ලමක් විය. එය වැඩිදුර හෙළි නොවී යටපත් කිරීමට බලධාරීන් සමත් වුවත් ජෙනරාල් වෙලිංටන් එය දැන් හාරා අවුස්සන්නේ කුමකටදැයි බෙන්ජමින් ට සිතා ගන්නට නොහැකි විය.....
ගෝලාන් කඳුකර පෙදෙස්... ඊශ්‍රායලය - ලෙබනනය- ජෝර්දානයට සහ සිරියාවට මායිම් වේ.
අද දිනයේ සිදු වූ සියල්ල සිය පියාට පැවසිය යුතු බව මැතිව්ට වැටහුණි. තමාට වෙන්කර තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගොස් සියළු බර බිමින් තැබූ හෙතෙම සිය ජංගම දුරකථනයෙන් පියාගේ කාර්යාල සහායිකාව ඇමතීය.
එල්... මම මැට්...
කියන්න මැට්....
තාත්තා ඉන්නවද කාමරේ....
ඔව් ඉන්න මම සම්බන්ධ කරන්නම්.....
පිය පුතු දෙපළ සම්බන්ධ කළ එලේනා දුරකථනය රඳවනයේ තැබුවාය.. මහාචාර්ය සොලමන්ගේ සහායිකාව වන එලේනාට මැතිව් නුහුරු පුද්ගලයෙකු නොවේ.... නමුත් අද ඔහුගේ කඩහඬ වෙනස් බව ඇයට දැණුනි.... සමහරවිට ඔහු දිගු ගමනක් ගොස් ඇති නිසා අපහසුතාවයට පත්ව සිටිනවා විය යුතුය....
ස්ටැන්ෆර්ඩ් එක දාලා මැට් මොකට වොෂිංටන් යන්න හදනවද මන්දා ? ඇය තමාටම කියාගත්තාය.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් බව ඔහු දනී... දුක් වෙන්නට හේතුවක් නැත.... සියල්ල හොඳින් සිදු වේවි....
අතරමඟ හෝටලයකින් මිලදී ගත් තමා කැමති පරිදි සකසා ගත් සලාදය සෙමෙන් අනුභව කරන අතරේ අද දවසේ සිදු වූ සිදුවීම් එකිනෙක ඔහු මෙනෙහි කරන්නට විය.. ඔවුන් නොඇසූ එකම ප්රශ්නය ගැන නැවත නැවතත් ඔහුට මතක් විය... තමා ඉතාමත් වැදගත් වචනයක් ඔවුන් ඉදිරිපිට දමාගැසුවත් ඔවුන් එය අල්ලා නොගත් හැටි ඔහු මෙනෙහි කරන්නට විය... මිනිස්සු කොයි තරම් දේවල් මඟහරිනවද ?. සෑම දේම සිතූ ආකාරයෙන්ම සිද්ධ වුනා.....
ඔහු නාන කාමරයට වැද සිය ඇඳුම් එකිනෙක උණා දමා වතුර මල යට සිටගත්තේය... සිය සිරුර පිරිසිදු කිරීම ඇරඹිය යුතුය.... සිය සිරුරට උණුසුම් ජලය වැටෙන විට අමුතුම ප්රබෝධයක් ඔහුට දැණුනි... විනාඩි කිහිපයක් උණුසුම් ජල දහරාව යටට සිටි ඔහු සිය සිරුර පිරිසිදු කිරීමේ සුවිශේෂ ද්‍රාවණය සිරුර පුරා ආලේප කළේය... උණුසුම් ජලයෙන් විවර වූ සිය සිරුරේ සම මතුපිට වූ සිදුරු ඒ ද්‍රාවණය සිරුරට ඇදගන්නා බව හැමදාම මෙන් අදද ඔහුට දැණුනි.... නැවතත් වතුරමල යටට ගිය ඔහු අතිශය සීතල ජලයෙන් සිය සිරුර නැහැවෙන්නට ඉඩ හැරීය... සිය සිරුර පිරිසිදු කරන ද්‍රාවණය සිරුරට කිඳා බස්සවමින් විවෘත ව තිබූ සියළු සිදුරු ක්ෂණයකින් වැසී යනු ඔහුට දැණුනි.... නාන කාමරයෙන් ඉවතට ආ ඔහුට සිය සිරුර ගිණියම් වනු දැණුනි.... වසර දහහතරක් පුරා සෑම දිනකම දැනෙන ඒ උණුසුම දැන් ඔහුට හොඳින් පුරුදුය.....
තමා ළදරුවකු සේ පිරිසිදු බව ඔහුට දැණුනි....
හෙට තමා නැවත යා යුතුය..... ඔහු දිගු නින්දකට සූදානම් ව ඇඳට පැන්නේය......
..................................................................................................................................
සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරයේ තාප සටහන
ඒක මහ අසාමාන්‍ය උෂ්ණත්වයක්....... සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් දැකිය නොහැකි අන්දමේ තාපයක් පිටවුනේ.....
කොච්චරක්ද ?
ෆැරන්හයිට් 103 ක් දැක්වුවා කැමරාවෙ... මිනිහට උණ ගැණිලද දන්නෙ නෑ අද වෙච්ච වැඩ වලට.....
103 ක් කියන්නෙ සෑහෙන්න වැඩියිනෙ.... කමක් නැහැ... අපි බලමු මිනිහා මොකද කරන්නෙ කියලා..... දිගටම පටිගත කරන්න.... ඉහළින් ලැබුන අණ ඒකනෙ...
ඉන්පසු ඔහුගේ තාප සංඥාව තද රතු පැහැයෙන් අසාමාන්‍ය නිල් පැහැයකට කෙමෙන් හැරෙනු, ඈත ගොඩනැගිල්ලක සිට අධෝරක්ත කැමරාවක ආධාරයෙන් පටිගත කරමින් සිටි FBI නිලධාරියාගේ කැමරාවේ සටහන් විය.....
මැරුණද ?
කෝ බලන්න ? කිසි හැල හොල්මනක් නැහැ..... උෂ්ණත්වයත් අසාමාන්‍ය ලෙස අඩු වුනා....
නමුත් මැරුණත් මෙච්චර ඉක්මනට සීතල වෙන්න බැහැ නේද ?
ඔව්... ඒක හරිම අසාමාන්‍යයි...
කමක් නෑ... ආපු වැඩ ටික කර ගත්තා නෙ... දැන් යමු.. වැඩි වැඩ කරන්න ගියොත් අපටමයි කරදරේ....
සිදු වූ සිදුවීමෙන් වික්ෂිප්ත වූ FBI නිලධාරීන් දෙදෙනා සිය කාර්යය සපුරාගෙන යන්නට විය.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බොහොම ස්තූතියි ඔබ සැමටම අදම මේ කටයුත්ත අවසන් කරන්න එකඟ වීම ගැන.. අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට ස්තුති කරමින් හමුව ඇරඹීය.
මට අවශ්‍ය සියළුම දත්ත ලැබී තිබෙන්නෙ... මේක අපට ඉක්මනට අවසාන කරන්න පුළුවනි.
මුලින්ම අපි පළමු අපේක්ෂකයා ගනිමු.
පෞරුෂත්වය 70 % යි: ඉදිරිපත් කිරීම 89 % යි: දැනුම 90% යි: ..........................................
නමුත් විෂය පරාසය තරමක් පටුයි.... ඒක අපිත් දුටුවා සම්මුඛ පරීක්ෂණයෙදි.......
පසුබිම් විස්තර කිසි ප්‍රශ්නයක් නැහැ..... සාමාන්‍යයි...
නමුත් ඔහුට ඇති සම්බන්ධතා සමහරවිට ඉදිරියේදී අපට ගැටළුවක් වේද කියන ප්රශ්නය මට තිබෙනවා.... ඒ හැරෙන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ.....
අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට තවත් විස්තර රාශියක් ඉදිරිපත් කරමින් පළමු අපේක්ෂකයාගේ සුදුසුකම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර...................... නමුත් අපි අනිත් දෙදෙනා ගැනත් බලන්න ඕන....
දෙවන අපේක්ෂකයාගෙ පෞරුෂත්වය 76 % යි: ඉදිරිපත් කිරීම 84 % යි: දැනුම 80% යි: ..........................................
මම නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ..... කොහොමද අනිත් එක්කෙනා... කාළය කා දමන්නට අකමැතිවාක් මෙන් නැන්සි ඉක්මන් කළාය...
නමුත් අනිත් එක්කෙනා තමයි ප්‍රශ්නෙ.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ගුවන් යානය තුළට ගොඩ වූ විශ්ව සුපුරුදු පරිදි දෙනෙත් පියා ගත්තේය.... කුඩා කළ සිටම ඔහු ගුවන් ගමන් අප්‍රිය කළ පුද්ගලයෙකි. සිය පියාගේ රැකියාවත් සමඟ රටින් රටට මාරු වීම සිය ජීවිතයේ අප්‍රසන්න අත්දැකීමකි... සෑම වසරකට වරක් හෝ දෙවසරකට සැරයක් කොහේ හෝ රටකට යාමට සිදුවිය.... ගුවන් තොටුපලවල් සහ ගුවන් ගමන් ඔහුට ඒ තරමටම අප්‍රිය වූවේ ඒ නිසාවෙනි.... සිය පියා පරණ පුරුදු නීතීඥ රැකියාව කරගෙන ලංකාවේ සිටියා නම් තවමත් ඔහු ජීවතුන් අතර සිටිනු ඇතැයි විශ්ව අනන්තවත් කල්පනා කළේය. තමාටත් තම සොයුරියටත් හොඳ අනාගතයක් සලසනු පිණිස සිය පියාට ලැබුණ තානාපති තනතුර මෙවන් ඉරණමක් අත් කර දේ යැයි විශ්ව සිහිනෙකිනුදු නොසිතුවේය. අවසන තමා මෙලොව ඉතිරි කර සියල්ලන් තමාගෙන් සමුගත් අයුරු විශ්වට කිසි විටක අමතක කළ නොහැකි විය.
ඒ 2006 මැයි 15 වන දින සිය පවුල අවසාන වරට දකින දිනය යැයි විශ්වට කිසිදිනෙක නොසිතින. 2006 මැදපෙරදිග ඇති වන උණුසුම් තත්ත්වය සමනය කිරීම වස් එක්සත් ජාතීන්ගේ සාම තානාපති සෙනරත් සූර්යබණ්ඩාර මහතා ලෙබනනයේ සාම තානාපති වශයෙන් පත් කර යවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නීතිමය උපදෙස් ලබා දෙනු පිණිසත් ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ රජය අතර සාකච්ඡා සඳහා පහසුකම් සළසන්නෙකුත් ලෙසිනි. සිය පියා තත්ත්වය සමනය වූ පසුව තම මවත්, සොහොයුරියත් ගෙන්වා ගත්තේ ඒ තරම් අන්තරායක් ප්‍රදේශයේ නොදුටු නිසාය. නැගණියට ලොව පුරා සංචාරය කිරීමේ ආශාව නිසාමත් ඇගේ පාසැල් නිවාඩුව ඇරඹීම නිසාත් ඇයත් මවත් දෙදෙනාම පියා වෙත ගියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නිවාස වල සති කිහිපයක් කල් ගත කර ආපසු එනු පිණිසය. සුප්‍රසිද්ධ ගෝලාන් කඳුකර පෙදෙස් බලා නැවත එන ගමනේදී සිදු වූ අනපේක්ෂිත ප්‍රහාරයකින් ඔවුන් සියළුම දෙනා මිය යාම ඔහුට කිසිසේත් දරාගත නොහැක්කක් විය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැරිය නොහැකි පාඩුවක් වූවා පමණක් නොව එය මහා අපහසුවකට ද ලක් කළේය. ඉන් පසුව කිසිදු පහසුකම් සලසන්නෙකු විසින් පවුලේ සාමාජිකයින් අර්බුධ පවතින රටට රැගෙන නොයා යුතු බවටද නව නීතියක් පැණවින. තමාද ඒ ගමනට සහභාගී වූයේ නම් තමන්ට මෙසේ තනිවන්නට සිදු නොවන බව ඔහු සෑම විටම කල්පනා කළේය... නමුත්... සිය පවුලට පොරොන්දු වූ අවසාන පොරොන්දුව ඉටු කළ යුතුය....
දින කිහිපයක් ගත විය...........
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
උදෑසන අවදි වූ වහාම ඊමේල් කිසිවක් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගිය කාගේත් සිරිතකි. එපමණක් නොව වෘත්තියක නියැලෙන කාගේ වුවත් සිරිතකි.
මේ.... එයින් දෙදෙනකු ලැබූ ලිපියයි....
හිතවත් .....................................,
පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්ෂණයේදී දැක්වූ ඔබේ දක්ෂතා අනුව ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට අසමත් වූ බව කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු. ඒ අනුව ඔබ ඒ පරීක්ෂණයෙන් අසමත් වී ඇති බැවින් අප ආයතනයේ ඔබ අයැදුම් කළ රැකියාවට ඔබ බඳවා නොගන්නා බව කණගාටුවෙන් දැනුම් දීමට කැමැත්තෙමු. ඔබේ අනාගත කටයුතු සාර්ථක වේවායි පතමු.
ස්තූතියි.
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්
ප්‍රධාන පර්යේෂක,
නාවික පර්යේෂණ ආයතනය
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ තනතුර
හිතවත් ආචාර්ය විශ්ව සමාධි සූර්යබණ්ඩාර වෙත,
පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්ෂණයේදී දැක්වූ ඔබේ දක්ෂතා අනුව, ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට සමත් වූ බැවින් අප ආයතනයේ ආධුනික විද්‍යාඥ තනතුර සඳහා ඔබව බඳවා ගන්නා බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි. ඔබ මේ රැකියාව භාර ගන්නේද නැතිද යන්න දින තුනක් ඇතුලත මා හට ඊ මේල් පණිවුඩයකින් දන්වන්නට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටිමි.
ස්තූතියි.
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්
ප්‍රධාන පර්යේෂක,
නාවික පර්යේෂණ ආයතනය
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඊ මේල් පණිවුඩය කියවූ විශ්ව සතුටින් දෑත් ඉහළට ඔසවා ජයග්‍රහණය පළ කරන ආකාරයක් දැක්වීය... මේ තමා බලාපොරොත්තු වූ ඉලක්කයයි. මේ රැකියාව භාර ගන්නවාද නැද්ද යන්නෙහි කිසිදු අඩමානයක් තමන්ට නැති බව ඔහු දනී... නමුත්, මේ ලිපියට වහාම පිළිතුරක් දීම තමන්ට මේ රැකියාව හැර වෙනකක් නැති බවක් දිස් වන බව පෙන්වන්නක් මෙන් ඔහුට හැඟුණි. සාමාන්‍යයෙන් දින තුනක් කල් දෙන්නේ දැනට රැකියාවක් කරන්නේ නම් රැකියාව කරන ස්ථානයට දැන්වීමට සහ එයින් අවසර ලබා ගැනීමටට, වෙනත් රැකියා අවස්ථා ලැබී ඇත්නම් ඒ පිළිබඳ සිතීමට සහ ඒ ඒ ස්ථාන සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීමට යන කාරණා සඳහා ය.
විශ්ව වහාම හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට යැවීම සඳහා ඊ මේල් ලිපියකට අකුරු අමුණන්නට විය.
..................................................................................................................................
පසුගිය අවුරුදු හයක් තමා තනිවම ගෙවූ ජීවිතයේ අරමුණ කරා තමා පැමිණ ඇති බව විශ්ව ට පසක් විය. තමා අවුරුදු තිහක් ගෙවූ ජීවිතය, සිය දෙමාපියන් තමා වෙත තබා තිබූ බලාපොරොත්තු, සිය ගුරුදේවයා තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීම කරා තමන් ලං වන බව ඔහුට තේරුම් යමින් තිබුණි.
දවසම ඔහු ගත කළේ අදාල කටයුතු සැලසුම් කිරීම සඳහාය... ලිපියට අනුව සති දෙකකින් වොෂිංටනය වෙත යා යුතුය. සති දෙකකින් වසන්නට නිවසක් සොයා ගැනීම තරමක ප්‍රශ්නයක් විය හැකිය. තමා සිටින තැන අඩුව පිරවීමට වෙනකෙකු සොයා ගතයුතුය. නැතහොත් දෙමසක කුලිය නිකරුණේ ගෙවිය යුතුය.. කළයුතු දෑ බොහෝය.... බලාපොරොත්තු බොහොමයකි....
බොහෝ දෑ අවසන් කර, බොහෝ වෙහෙස වී නවාතැනට පැමිණි විශ්ව සුදුරුදු පරිදි ස්නානය කර පිරිසිදු විය. වෙනත් හැමදාකම සෙනසුරාදාට ගන්නා දුරකථන ඇමතුම අද බ්‍රහස්පතින්දාවක ලබා ගැනීම පිළිබඳ ඇය පුදුම වනු ඇත.. නමුත් ඇයට මෙය දැන්විය යුතුමය... බොහෝ කළක සිට දෙමාපියන් නැති ඔහුට දෙමාපියන් වූයේ ඒ දෙපළ ය. සුමනසේකර මහත්මිය අවේලාවේ නාදවන දුරකථනය ගැන කුතුහලයෙන් යුතුව ගොස් රිසීවරය එසවූවාය.
හලෝ......
ලොකු නැන්දේ....
හලෝ සමාධි පුතා.... මොකද අප්පේ මේ අවේලාවෙ ?
මම හිතුවා ඔහොම අහයි කියලා... ආරංචියක් කියන්නයි කතා කළේ....
අපිත් මේ මඟ බලාගෙන හිටියෙ සුභ ආරංචිය අහන්න.... ගිය වැඩේ හරි ගියා නේද ?
ඔවු නැන්දෙ.... අද තමයි ආරංචිය ආවෙ... නැන්දට තමයි ඉස්සෙල්ලම පණිවුඩේ කිවුවෙ.... වෙන කවුද ඉතින් මට ඉන්නෙ මේක කියන්න නැන්දයි මාමයි ඇරෙන්න ? තව සති දෙකකින් වැඩ බාර ගන්න තියෙනවා... දැන් ඉතින් ඒවට ලෑස්ති වෙනවා... මේ ඔක්කොම ආපහු දීලා යන්න ඕන නෙ... අළුතෙන් Apartment එකක් ගන්නත් ඕන... ඒවා බලන්නත් තියෙනවා. කෝ ලොකු මාමා ?
මාමා නම් මේ වෙලාවෙ එළවළු පාත්තියෙ... මම පණිවුඩේ කියන්නම්..... මාමා කිවුවා ඔයාට ගිය වැඩේ හරි යන්න ඕන කියලා...
නැන්දයි මාමයි සනීපෙන් ඉන්නවනේ...
ඔව් පුතා... අපට කිසි කරදරයක් නෑ... අපි පුරුදු විදියට සැනසීමෙන් ජීවත් වෙනවා.... පුතාගෙ බෙහෙත් කොහොමද ?
ප්‍රශ්නයක් නෑ නැන්දෙ... මට චීන කඩයක් හම්බ වුනා... ඒකෙ තියෙනවා මට ඕන කරන ඔක්කොම දේවල්... වොෂිංටන් ගියාම ඒ පලාතෙන් හොඳ කඩයක් හොයා ගන්න ඕන... කඩේ අයිතිකාරයා දන්නවා ඇති හොඳ තැන්... හොඳයි එහෙනම්... ලොකු නැන්දේ.... මම පස්සෙ කතා කරන්නම්...
හොඳයි පුතා... තෙරුවන් සරණයි...
තෙරුවන් සරණයි දෙන්නටම...
..................................................................................................................................
බෙහෙත් ?
ඔව්... බෙහෙත්... Medicine.... එෆ් බී අයි ඒජන්තවරුන් දෙදෙනාට ඒ දුරකථන වාර්තාව පරිවර්තනය කර දුන් පරිවර්තකයා පැහැදිළි කළේය....
ඒ වුනත් මෙයාගෙ රුධිර වාර්තාවෙ කිසිම බෙහෙතක් ගැන වාර්තා වුනේ නැහැනෙ....
අන්න එතැන තමයි ප්‍රශ්නෙ.... මෙයා කිසියම් රෝගයකට බෙහෙතක් ගන්නවා... අන්න ඒ බෙහෙත නිසා ලේ වල වෙනසක් සිදු වෙනවා ඇති... ඒකම නිසා තමයි ලේවල හිමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි වෙන්න ඇත්තෙ... නමුත් ඒ බෙහෙත බටහිර බෙහෙතක් නොවෙයි... එයා කිවුවෙ චීන කඩේකින් ගන්නවා කියලා.... සමහර විට චීන බෙහෙතක් වෙන්න පුළුවනි....
ඒත්... බෙහෙතක් ගන්නවා නම් ඒ බව රුධිර වාර්තාවෙ සඳහන් විය යුතුව තිබුණා නේද ?
සමහර වෙලාවට පෙරදිග බෙහෙත් ගනිද්දි එහෙම ආගන්තුක රසායනික ද්‍රව්‍ය ඇඟට ඇතුල් වන්නෙ නැහැ.. සියල්ලම ශාකවල ඇති රසායන ද්‍රව්‍ය... මේ නිසා පරීක්ෂණ වලදි අහු නොවන්න පුළුවනි....
ඔව්... ඒක තමයි... කෝකටත් අපි මේ ගැන අදාල තැන් වලට දැනුම් දිය යුතුයි.... දැන්ම මේ සංවාදයේ පරිවර්තනයක් ආචාර්ය ලිපර්ඩ්ට, අද්මිරාල් බවර්ට වගේම වෛද්‍ය රසායනාගාරයේ ආචාර්ය ෆිලිප් කවුෆර්ටත් යවන්න.... මේ ගැන ඒ අය දැනගත යුතුයි..
විශ්වගේ නවාතැනට සැතපුම් තුන් දහසකට එහා තවත් කිහිප දෙනෙක් ඒ දුරකථන සංවාදයට සවන් දෙමින් සිටි බව මේ දෙදෙනාම නොදැන සිටි කරුණක් විය...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් මහතාණෙනි,
ඔබ විසින් පිරිණමා ඇති අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුර භාර ගැනීමේ යෝජනාව මම ඉතා ගෞරවයෙන් මෙන්ම සතුටින් භාර ගනිමි. ඒ අනුව ඔබ ආයතනයේ කොන්දේසි වලට එකඟව මගේ සේවය නාවික පර්යේෂණ ආයතනයටත් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් ලබා දීමට මම එක සිතින් කැමැත්ත දක්වන බව මෙයින් දැනුම් දෙමි. මේ සම්බන්ධයෙන් ඔබතුමාට තවදුරටත් දැනගැනීමට අවශ්‍ය කරුණක් වේ නම් කරුණාකර මා සම්බන්ධ කරගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ගෞරවයෙන්,
විශ්ව සමාධි සූර්යබණ්ඩාර.
දින දෙකක් පුරා සිය දෛනික කටයුතු මෙන්ම සති දෙකකින් පසු ගත කරන්නට යන නව ජීවිතයේ වැඩ කටයුතු වෙනුවෙන් විශ්ව වෙහෙසෙන අතර තවත් කණ්ඩායමක් ද ඔහුගේ කටයුතු සහ දුරකථන මෙන්ම අනෙකුත් සම්බන්ධතා පිළිබඳ වෙනදාටත් වඩා විමර්ෂණශීලීව කටයුතු කරන බව විශ්ව නොදැන සිටියා නොවේ.
..................................................................................................................................
අමෙරිකාවේ Stanford සරසවිය.. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 10 ට අයත්ය..
සතියක ඇවෑමෙන් විශ්ව පැලෝ ඇල්ටෝ (Palo Alto) නගරයට සමු දී වොෂිංටනය බලා සැතපුම් 3000 ක ගමන තනිවම ඇරඹීය...... මේ නගරයේ ඔහුට අත් හැර යා නොහැකි කිසිවක් නොවීය... තමන් සියළු බැඳීම් වලින් නිදහස් බව තේරුණේ අද ඊයේ නොවන බව විශ්ව දැන සිටියේය... 2006 වසරේ සිටම විශ්ව සිය කටයුතු කර ගත්තේ තනිවමය. සිය දෙමාපියන් සහ සොයුරිය තමා හැරදා ගිය දින පටන් ඔහුගේ ජීවිතය තනිව ගෙවූ එකක් විය. මිතුරු මිතුරියන් කොපමණ ඔහු වටා සිටියද, ඔහුගේ පිහිටට සිටින්නේ ඔහු සහ සැතපුම් දස දහස් ගණනක් ඈත ලංකාවේ වෙසෙන විශ්වගේ ලොකු මාමා සහ ලොකු නැන්දා පමණි. ඔහුට තිබූ එකම බැඳීම එපමණකි.
විශ්වගේ මවගේ ලොකු අයියා වූ සුමනසේකර මහතා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසු සිය නිවසේ කටයුතු, සමාජසේවා කටයුතු මෙන්ම සිය අධ්‍යාත්මික ජීවිතයද පිළිවෙලකට ගොඩ නඟාගෙන, සියල්ලන්ටම යහමඟ පෙන්වමින් ආදර්ශමත් ජීවිතයක් ගතකළ පුද්ගලයෙකි. නිතර බණ භාවනා කරන ඔහු සහ සුමනසේකර මැතිණිය අධ්‍යාත්මිකව අනෙක් පුද්ගලයන්ට වඩා සහ සමහර භික්ෂූන් වහන්සේලාට පවා බොහෝ ඉදිරියෙන් සිටි යුවලක් විය. විශ්ව පිළිබඳ නිතර සොයාබැලූ ඒ දෙපළ නිබඳවම විශ්ව හට අවවාද අනුශාසනා දෙමින් සිය පවුලේ එකම අනාගත පුරුක යහපත් පුරවැසියෙකු මෙන්ම සාර්ථක පුරුවැසියෙකු ද කිරීමට වෙහෙස මහන්සි වූ දෙපළකි. ආගමිකව එක් ආගමකට කොටු නොවූ මේ දෙපළ නොයෙක් ආගම් පිළිබඳ විවෘත මනසකින් හදාරමින් ඒ ලද දැනුම් සම්භාරය අන් සියල්ලන් සමඟම බෙදා හදා ගනිමින් ජීවත් වූ දෙපළකි. සුමනසේකර මහතා සතු වූ ධර්ම ඥාණය කෙටි කාලීන ඥාණයක් නොවීය.. ඉපැරණි වේද ග්රන්ථ පවා පරිශීලනය කරන සුමනසේකර මහතා හමු වී බුද්ධාගමේ විවිධාකාර ගැඹුරු මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ඒ අවට වැඩ සිටින ධර්මධර භික්ෂූන් වහන්සේලා ම එයට සාක්ෂි සපයති.
තමන්ගේ ලොකු මාමා ලෙස පමණක් නොව සිය ජීවිතය යහමඟ ගෙනයාමට මඟ පෙන්වන මේ යුවල පිළිබඳ විශ්වගේ සිත තුළ ජනිත වූයේ ද සිය දෙමාපියන්ට පමණකම ගෞරවයකි - ආදරයකි. සතියකට වරක් නොවරදවාම ඔවුන්ගේ දුකසැප බැලීමත්, සිය විස්තර නොවලහා ඔවුන්ට දැන්වීමත් විශ්වගේ ජීවිතයේ අංගයක් වූයේ, තනිකම සිය ජීවිතය වෙලාගත් දා පටන් ය... ඒ එකුදු මිනිත්තුවක් හෝ අපතේ නොගිය බව විශ්වට හොඳටම සහතිකය.... ඒ විශ්වාසය සැමදා පවතිනු ඇති බව ඔහු හොඳින්ම දැන සිටියේය....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සමහරවිට කොටස් එකතු කරලා පළ කරනවට ඔබ කැමති ඇති..... සමහර විට අකමැතිත් ඇති... කැමති අකැමැති හැමෝටම බලන්නයි නොබලන්නයි ඔක්කොම එකතු කරලා දැම්මා.......
No comments:
Post a Comment