Friday, November 1, 2013

දැන්ම පියවරක් නොගත්තොත් මහා අනතුරක් අතලඟ

අපට බ්‍රේක් නැත… අපට බ්‍රේක් තිබුණත් ගහන්න හිතෙන්නේ නැත.. හිතෙන්නේම අනිකා ඉස්සර කරගෙන ගොස් ඉස්සරහින්ම යන්නය.. බයිසිකලේ ගියත් මොන්ටෙරෝවේ ගියත් අපට බ්‍රේක් නැත.. අප හිතන්නේ පාරේ යන්නේ අප විතරක් බවය.. මෝටසයිකල් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියාය.. ඩිංගක් බලයක් ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීයාගේ සිට ඇමතියා දක්වා හිතන්නේ උන් යනකොට අපි කාණුවලට බැහැලා උන්ට ඉඩ දිය යුතුය කියාය.
අපේ ජනාධිපතිතුමා තවත් අවුරුදු පන්දහසකට රජවෙන්න කටුනායක – පෑලියගොඩ එක්ස්ප්‍රස්වේ එක හදා නිම කළේ පැරණි රජදරුවන් අනුරාධපුරයේ සිට මාගම දක්වා හැදූ අඩි දෙසීයක් පළල ලොව පළමු එක්ස්ප්‍රස් වේ එකට නොදෙවනි වන්නට ය. වැඩේ හොඳය.. කටුනායක සිට පෑලියගොඩට නිසි වේගෙන් එනවා නම් වැය වන්නේ හරියටම විනාඩි 20 කි. නමුත් පෑලියගොඩ බෝතල් කටේ හිරවෙලා බොරැල්ලට එන්න පැය බාගයක් හෝ ඉතාමත් වාසනාවන්ත නම් පැයකට ආසන්න කාළයක් ගත වේ….
නමුත් ප්‍රශ්නය එය නොවේ… අපට බ්‍රේක් නැතිකමය. එක්ස්ප්‍රස් එකේ සීයට එන අපි පෑලියගොඩට ලංවත්ම අසූවට අඩු කළත්, අපට බ්‍රේක් නැති නිසා හැටට හැටේ ඇරලා එන්නේය. පෑලියගොඩ පාලමට එකතු වන විට අපි පෑලියගොඩ ඉන්නබව මතක් වෙන්නේ පාලමෙන් බාගයක් ගිය පසුය… නුවර පාරේ බස් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ එන්නේද හැටට හැටේ ඇරලාය.. මේ දෙකම එකතු වෙන්නේ පෑලියගොඩ පාලම මතදීය…
CKE Opening - 2013_10_27
දිනක් අපි ගාල්ලේ සිට එනවිට සුදු පැහැති මොන්ටෙරෝවක් කාණුවක් තුළ තිබුණේ කොට්ටාව ටෝල් බූත් එකේය.. එතැන නවත්තන්න අනිවාර්ය බව දැන දැනත් ඒ අහිංසකයා කාණුව වන්දනා කිරීමට සමත්ව තිබුණේ අපේ රෝඩ් ඩිසිප්ලින් එකේ ඈස් චරිය මොනවට කියාපාමිනි.
පෑලියගොඩ පාලම මහා විනාශයක පෙර නිමිත්තකි. අදින් ඇරඹෙන්නේ අනතුරු නිවාරණ මාසයයි. මෙතැන මහා විනාශයක් වන්නට පෙර කටුනායක පෑලියගොඩ එක්සිප්‍රස් වේ එකේ අවසාන කොටසේ ස්පීඩ් බම්ප් දෙක තුනක් දැමීමෙන් මේ විනාශය මඟහරවා ගත හැක
ඔබ මෙය වගකිවයුත්තන්ට පවසා ලකුණු දමාගත්තාට කමක් නැත… මට ලකුණු අවශ්‍ය නැත.. මට අවශ්‍ය අනතුරක් වලක්වා ගැනීමටය…
එක්ස්ප්‍රස්වේ එකේ රිය පදවන ඔබත් මේ ගැන සැලකිළිමත් වන්න. මෙතැන වේගය අඩාල කිරීමට මටත් මතක් වූයේ හන්දියටම පැමිණි පසුය… එය බොහෝ දෙනෙකුට එසේ වනු ඇත…
දැන්ම ක්‍රියාත්මක වන්න…. ඔබත් පරෙස්සම් වන්න.. අප සතුව ඇත්තේ, කකුල් දෙකක්, අත් දෙකක්, එක හිසක් සහ එක ජීවිතයක් පමණක් බැවිනි… අප වෙනුවෙන්, අප නිසා ජීවත්වන බොහෝ දෙනෙකු අප වටා සිටින බැවිනි.
ඔබ සැමට අනතුරු රහිත මාසයක්, වසරක්, වේවා !

Tuesday, October 29, 2013

ආණ්ඩුව මෙතරම් කාර්යක්‍ෂම නං ...... ඇයි අපි ඈස්චරිය අනාගන්නෙ ..... ?

අපේ ආණ්ඩුව තරම් කාර්යක්‍ෂම ආණ්ඩුවක් මේ ලෝකේ හතර දිග් භාගයේම නැතැයි අපේ අතිගරු ජනාධිපතිතුමා උදම් ඇනුවේ ඇස්චරියේ විහිදුම් සේලය දිගේ රේන්ජ් රෝවරයෙන් ලයිසන් නැතුව යන අතර මගදීය. ආණ්ඩුව කෙසේ වෙතත් ජනාධිපතිතුමා, ගෝඨාභය සහ බැසිල් තුන් කට්ටුව නම් අතිශය කාර්යක්‍ෂම බවට විවාදයක් නොමැත. මේ තුන්දෙනා හිටියාම ඇත්තටම ආණ්ඩුවක් අවශ්‍ය ද නැත.. මොකද කියනවා නම් අපේ රටේ 90% ක්ම පාලනය කරන්නේ මේ තුන්දෙනා නිසාය. එසේම ඒකද නියමෙටම කරනවාය.
දියත උයනට ගියාමත්, කොළඹ පැත්තේ සිදුවන දේ දිහා බැලුවාමත්, ටී එන් ඒ එකට වෙච්චි දේ ගැන සිතා බැලුවාමත් තුන් දෙනාගේම කාර්යක්‍ෂමතාවය පිළිබඳ හොඳ මිනුමක් ගත හැකිය. ඒ ගැන කතා දෙකක් නැත. ඒ වුනාට කතා කරන්න සිදු වෙන්නේ මේ හැට හුටහමාරක් ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු (නො)කරන  දේ ගැනය.
අධ්‍යාපනය දී තිබෙන දෙන්නා ඒක හොඳටම අනාගෙන කනවාය.. ආදරුශමත් උසස් අධ්‍යාපන ඇමති කැසිනෝද ගහන්න ගොස් තිබෙන බවට පුරසාරම් පවා දොඩනවාය.. මමත් දවසක් ඇට්ලැන්ටික් සිටි එකේ ට්‍රම්ප් ටවර් එකට ගොස් ඩොලර් දෙකක්  දමා ජැක්පොට් ගසා ඩොලර් පණහක් දිනා ගත්තෙමි.. එපමණය.. ඉන් පසු ජැක්පොට් ගැසීමට හිතුනේම නැත. ඒ මගේ ගැම්බිලිං කිරීමය… තව ටික දවසකින් ගණිකා වෘත්තිය නීතිගත කරන්නට නීති සැකසුනොත් මම කැසිනෝ විතරක් නොවෙයි හොඳට බඩුත් ගහලා තියෙනවා යැයි එතුමා පුරසාරම් දොඩවනවා නියතය. (අපි නොදන්නවා යෑ ඔබතුමාගෙ කළු දෙදොල් ආසාව) එතුමාගේ ගමන් සගයා මොන්ටිසෝරි ලමයින්ට පැය එකහමාරක් දේශන පවත්වා ලෝක වාර්තාවක් පිහිටවූයේ මෑතකදී ය… 2500 ට කවන්න ගිහින් අනාගත්තා මදිවට විනාඩි 10 ක අවධානයක් තියාගන්න බැරි කිරිසප්පයින්ට පැය එකහමාරක්ම දේශනයක් දුන්නේ එතුමාගේ පරිණත බව මොනවාට කියා පාමිනි.
අල්ලපු ගෙදර අමුණුගම මහත්තයා මතට තිත තියන ගමන්ම කසිප්පු නීතිගත කරන්න යෝජනා කළේද එතුමාගේ දූරදර්ශී බව මොනවාට කියා පාමිනි. අපරාදේ කියන්න බෑ ඒක නොකළත් කෙරෙනවාය. මෑතකදී ගෙන්නපු එතනෝල් තොග තවමත් ගුදම් වල ඇති බව නිකං මගේ මෝඩ හිතට සිතේ. ඒවා කසිප්පු කිරීම බොහෝ ලේසි වැඩකි….
ඛණිජ තෙල් ඇමතිවරු දෙතුන් දෙනෙක් හිටියත් ස්බ්ස්ටෑන්ඩර්ඩ් පැට්‍රෝල් තවමත් රට තුළට එනවාය… සෞඛ්‍ය ඇමති මොනවා කළත් සිගරැට් කාරයෝ දිනුවෝය… එතුමාටත් සම්මානයක් ලැබුණෝය… රටේ හාල් අතිරික්තයක් වුනත් තවමත් හාල්මිල අඩු නැත… අහ්.. ලංකාවේ ලොකුම හාල්මෝල් හිමියා අර ඉස්සෙල්ලා කියූ ඇමතිතුමාගෙ සහෝදරයා නොවැ….
ක්‍රිකට් පාලක මණ්ඩලය බිලියන ගණනක් ණය වුනත් ක්‍රීඩා ඇමතිට අවුලක් නැත… එතුමා ඒකට වගකිව යුතු නැත… මිහින් ලංකා පාඩු වුනාට අපට වගක් නැත… ඒක අපේ නොවේ නෙ…
ඉතිං මේ අපේ ඇමති මණ්ඩලයේ කාර්යක්‍ෂමතාවෙන් අංශු මාත්‍රයක් පමණයි… ජනාධිපතිතුමා කෝකටත් ඔය කතාව ලියපු එක්කෙනාගේ කණින් අල්ලා මොළය පොඩ්ඩක් තිබෙනවාදැයි හෙව්වොත් හොඳය….
නැත්තං චෝගම් සෝලිය කාලෙ නෝන්ඩි වෙන්නේ ඔබ තුමා මය..
ප.ලි. මුතුහෙට්ටිගම මැතිතුමාට අධ්‍යාපන ඇමතිකම දුන්නා නං හොඳය…. එතුමා තරං සුදුස්දෙක් ඒ සඳහා හොයා ගන්න බැරිය…
ඊ. ප. ලි. හෙට උදේට මමත් ඇස්චරියේ සේලය දිගේ කටුනායක යන්න හිතාගෙන ඉන්නවාය… හැබැයි කවුරු මොනවා කිවුවත් වැඩේ සොලිඩ් ය… අන්න එහෙමයි පාරවල් හදන්න ඕන… පාරවල් හැදිල්ල අතින් නං ඔබතුමා කාර්යක්‍ෂමය…
ඒකටත් ප.ලි. කාර්යක්‍ෂම ආයතනයකට හැට හුටහමාරක් මැනේජර්වරු අවශ්‍ය නැති බව මම ඉගෙන ගන්නා මැනේජ්මන්ට් එකේ කියා දී ඇත….

Thursday, October 17, 2013

ජින්ජර් බියර් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි…. පොලීසියට අහු වෙන්න එපා…..

පිංවත්නි…
අද මේ වප් පුන් පොහෝදා ඔබ සියළුම දෙනාට වැදගත් වෙන මට අප්‍රමාණ පින් කන්දරාවක් සිදු වෙන කාරණයක් එළි දක්වන්නයි යන්නෙ. මේ ගැම මුලින්ම  බස් රේඩියෝවෙදි කියැවුනත්, මේ පිළිබඳ වඩාත්ම උනන්දු වුනේ බස් එකේ රසික මල්ලි… ඉතිං මේ රෙසිපිය ෆාලෝ කරලා ජින්ජර් බියර් හදාගෙන සෞඛ්‍යාරක්‍ෂිත විදියට මජ්ජපමා දට්ඨානා වෙන්න කියන එක තමයි මේ උතුම් වප් පුන් පෝදා මට කියන්න තියෙන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය:
ඉඟුරු ග්‍රෑම් 20 ක් පමණ.
සීනි ග්‍රෑම් 100 ක් පමණ
යීස්ට් ස්වල්පයක්
තරමක විශාල භාජනයක් ( ලොකු බෝතලයක් නම් අගෙයි)
සිදුරු සිහින් රෙද්දක්
පිරිසිදු ජලය
හොඳින් කට තද කළ හැකි බෝතල කිහිපයක්.
සාදන ක්‍රමය:
මුලින්ම ඉඟුරු ග්‍රෑම් 20 හොඳින් තලා තලපයක් සේ සාදා ගන්න.
පෙර කී විශාල භාජනය උණු වතුරෙන් හොඳින් සෝදා තරමක් ජීවාණුහරණය කරගන්න. තරමක විශාල භාජනයට ඉන්පසු ජලය මිලි ලීටර 200 ක් පමණ (කෝප්පයකින් එකක්) සීනි ග්‍රෑම් 20 ක් පමණ එකට දමා යීස්ට් ස්වල්පයක් දමන්න.  ඒ භාජනය සිදුරු සිහින් රෙද්දෙන් වසා දින දෙකක් පමණ තබන්න. එසේ වසා තබන්නෙ මැස්සන් බිත්තර දැමීමෙන් වලක්වා ගන්න.. නැතිනම් සමහරවිට දිලීර සහ පණුවො බොන්න පුළුවන් වේවි.
දින දෙකකට පසු සෑම දිනකම මේ ද්‍රාවණයට සීනි ග්‍රෑම් දෙකක් සහ යීස්ට් ස්වල්පයක්  බැගින් එකතු කරමින් යීස්ට් වලට ආහාර දීමේ ක්‍රියාවලිය දින 10 ක් පමණ සිදු කළ යුතුය. මේ කාළය තුළ එම භාජනය තුළ දිලීර (පුස්) සෑදී ඇත්දැයි ප්‍රවේශමෙන් සොයා බැලිය යුතුය. එසේ දිලීර සෑදි ඇත්නම් එය වහාම ඉවත දමා තැවතත් අළුත් ද්‍රාවණයක් සාදා ගත යුතුය. ආර්ද්‍රතාවය සහ උණුසුම වැඩි ඝර්ම කලාපීය රටවල මේ තත්ත්‍වය වැඩි වශයෙන් දැකිය හැකි නිසා මේ පිළිබඳ සුවිශේෂ අවධානයක් යොමු කළ යුතුය.
මෙසේ දින දහයයක් පමණ ආහාර දීමෙන් පසු, අදාල ද්‍රාවණය බෝතල කිහිපයකට පුරවා බෝතලයෙන් 2/3 ක් පමණ වන්නට ජලය පුරවා හොඳින් වසා තබන්න. බෝතලය තුළ යීස්ට් මගින් සීනි ජීර්ණය වීමේදී කාබන් ඩයොක්සයිඩ් සෑදෙන නිසා බෝතලයේ ඇතුලත පීඩනය අධික විය හැකිය. සමහර විට බෝතල් පුපුරා යාමකට ලක් විය හැකි නිසා මේ බෝතල කාඩ් බෝඩ් පෙට්ටියක දමා නිවසෙන් පිටත තැබීම ශරීරයට සහ නිවැසියන්ට හිතකර වීමට පුළුවන. නමුත් සුවඳට සතුන් මේ කරා ඇදෙන්නත් පුළුවන. ඒ ගැනත් පරෙස්සම් වෙන්න.
සතියක් පමණ මෙසේ තැබූ බෝතල්, නොසොල්වා ප්‍රවේශමෙන් විවෘත කළ යුතුය. මේ වන විට බෝතල අධික පීඩනයක් තුළ ඇති නිසා සෝඩා බෝතලයක් විවෘත කළ අවස්ථාවේ මෙන් පෙණ නැගීමක් දැකිය හැකි වනු ඇත. එවිට පිටතට පැමිණෙන පෙණ සහ බෝතලයේ අඩංගු දෑ සියල්ල වෙනත් භාජනයකට දමා ගැනීමෙන් අපතේ යාම වලක්වාගත හැක.
ginger-beer-concentrate-1
ඉන්පසු හොඳ බයිට් එකක් උයාගෙන, හොඳ මිතුරු සමාගමයක් ඇති විටෙක පානය කිරීමෙන් වා පිත් සෙම් ආදී සියල්ල සමනය වී බාර් හිමියාට වැයවන රුපියල් සිය දහස් ගණනක් නිවසේම ඉතිරි කරගෙන සෞඛ්‍යාරක්‍ෂිත ජින්ජර් බියර් පාවිච්චියේ වාසනාව ඔබට ලැබෙනු ඇත…
ඔබ සැමට සුපින්වත් වප් පුන් පෝයක් වේවා !

Saturday, October 12, 2013

සියක් ආයු ලැබ... මගෙත් ආයු විඳ..... මටත් වඩා කල්... ඔබ ජීවත් වේවා... !

දියවැඩියාවට ඉංගිරිසියෙන් කියන්නෙ Silent  Killer කියලා. වෙනත් කිසිම කාරණයක් නිසා නොවෙයි... ඒ දියවැඩියාව වැළඳෙන්නෙත්, පැතිරෙන්නෙත්, කෙනෙකුගේ ජීවිතය බිලි ගන්නෙත්, හැමෝටම හොරෙන් නිසා... සමහරු තරුණ කාළයේ - මැදි වයසේදී පාලනයක් නැතිව ආහාර - සහ ආහාර නොවන දෑ ගැනීම නිසා දියවැඩියාව වැළඳෙනවා. තවත් සමහරුන්ට පවුල් පසුබිම - ජානමය හේතු කාරණා, තවත් සමහර අයට මේ දෙකම නිසා... නමුත් මේ රෝගය වැළඳුනාට පසුව නැවත ආපසු යනවා බොරු... එසේ ගියත්, ඒ මුල්ම අවස්ථාවෙදි විය යුතුයි. ඒ වුනත් එදා ඉඳලාම ආහාර පාලනයෙන් හෝ මේ රෝගය වැළඳීම නවත්වාගන්න වෙනවා. මේ නිසායි අපි බොහෝ දුරට බොහෝ දෙනාට කියන්නෙ දැන්ම ඉඳලාම ආහාර පාලනය, නිසි ලෙස ව්‍යායාම කිරීම ආදිය සිදු කිරීම මගින් දියවැඩියාව වැලඳීම වලක්වාගන්න කියා. දැනට සිදු කර ඇති සමීක්‍ෂණ ඇසුරින් කියවෙන්නෙ 2020 වනවිට ලාංකීය ජනගහනයෙන් 50% - 65% අතර ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙන්නට හැකි බව.ඒ කියන්නෙ ජනගහනයෙන් (මිලියන 22 කින්) හරි අඩක්. හාමුදුරුවරුන්ට නම් දැන්මම ආහාර වට්ටෝරුවක් නියම කරලා. නමුත් සාමාන්‍ය ජනතාවට එහෙම නියම කළාට කයිද ? එපමණක් නම් මදෑ... දරුවනුත් මේ තත්ත්‍වයට පත් වෙනවා...
ලෝකෙ වටේ කරක් ගහපු මම නැවත ලංකාවට එන්න හේතු වුනෙත් දියවැඩියාව. මට වැළඳීම නිසා නොවෙයි.. මගේ මවට දියවැඩියා තත්ත්‍වය උත්සන්න වීම නිසා. හැමදාම කතා කරද්දි බෙහෙත් ගත්තද ? කෑම හරියට කෑවද කියලා ඇහුවත්, හැමදාම ඔව් කියපු ඇය, කියපු දේ කරලා නැති බව දැනගන්නකොට දියවැඩියා තත්ත්‍වය සෑහෙන ඔඩු දුවලා අවසානයි. මේ නිසාම ඇය තවත් කළක් ජීවත් කරගන්න අවශ්‍ය නිසාම බටහිර වූ දෑ සහ අනාගතය පසෙක ලා නැවත ලංකාවට අප පැමිණියේ අප්‍රේල් මස මුලදී.. දැන් ඇය තරමක් ඔත්පල ව සිටියත්, දරුවන් තුන්දෙනාම ඇගේ ළඟ සිටින නිසා ඇයට සතුටුයි. කොපමණ පෙරැත්ත කළත් සතියකට වඩා කොළඹ නම් ඉන්න ආස නෑ... ඒ දෙන්නගෙම හැටි එහෙමයි.
අපි තුන්දෙනාගෙම සාර්ථකත්‍වය පිටුපස මහා පහන් ටැඹක් වෙලා ඉන්නෙ අම්මයි තාත්තයි. තාත්තා ඉස්කෝලෙ එක්කයි පොළව එක්කයි හැප්පෙද්දි අම්මා හැප්පුනේ අපි එක්ක... අපට ඉදිරිය උදා කරන්න.. අපි කරන කිසිම දෙයකින් අම්මා සෑහීමකට පත් නොවුනෙ අපට ඊට වඩා ඉදිරියට යන්න පුළුවන් බව අම්මා දැන හිටි නිසා... අම්මා ජීවත් වෙද්දි මට ආචාර්ය උපාධිය ලබා ගැනීමට හැකි වීම මගේ ජීවිතයේ ලොකුම සතුටක්...
කොහොම වුනත් දියවැඩියාවේ භයානක කමත්, නිසි ලෙස බෙහෙත් ලබා නොගැනීමත් යන දෙකෙහිම සම්මිශ්‍රණයක් නිසා දැන් ඇය බොහොම අබලන්. මාසෙකට සැරයක්වත් කරාපිටියෙ රෝහලේ 17 වෙනි වාට්ටුවට නොගියොත් වාට්ටුවෙ මිසීලත් බලනවලු මොකද කියලා.. ඇයට ඒ තරම් රෝහල පුරුදු වෙලා.
අම්මා වෘත්තීය ආයුර්වේද වෛද්‍යවරියක් නොවුනත්, පාරම්පරිකව හිමි වුන ඖෂධ වට්ටෝරුවක් අනුව ඇය සෙංගමාල රෝගීන් දාහක් පමණ ජීවත් කරවලා තිබෙනවා. සමහරු හොඳ කරන්න අමාරුයි කියා රෝහලින් නිවසට පිටත් කරපු මිනිස්සු... ඒ පිනෙන්ම අම්මා තව දිගු කළක් ජීවත් වෙනවා. ඒත් ඇගේ සෞඛ්‍ය තත්ත්‍වය නම් ඉතින් තරමක් ඉහළ පහල යනවා. සමහර දවසකට බොහොම හොඳයි.. තාත්තා නිරන්තරයෙන්ම ඇය සමඟ සිටින නිසා ඇයට ඒ තරම් අපහසුවක් නැහැ.. දරුවන් වශයෙන් අපි තුන්දෙනාම කළ හැකි සෑම දේම කළත්, නෑයින්ට නම් ඒකත් ප්‍රශ්නයක්. සමහරු දරුවො සළකන්නෙ නෑ නේද කියා මේ ලෙඩ වෙලා ඉන්න මනුස්සයගෙන් අහනවලු... තාත්තා මාව වැලැක්වුවේ නැතිනම් ඥාති සබඳතාවයන් එතැනින්ම නවතන්නයි මම නම් සූදානම් වුනේ.. වේයොන්ගෙන් බේරුණත් නෑයොන්ගෙන් නම් බේරෙන්න අමාරුයි. තවත් සමහරු කියනවා නංගිට කරන රැකියාව නවත්වලා ඇය බලාගන්න යන්නලු.. අපේ නංගිට අම්මගෙ කකුලක්වත් හොළවන්න පුළුවන් නම් පුළුවනි..  මේ නිසාම අපි අම්මාගෙ තනියට සහ ගෙදර වැඩකටයුතු බලාගන්න අපේම ඥාති අක්කා කෙනෙක් සහායට ගත්තා. දැන් නම් තත්ත්‍වය සතුටුදායකයි. හැම සති අන්තයේම ඇය බලන්න යන නිසා ඇයටත් සිතට සනීපයි.
ඉතිං මමත් දැන් බොහොම කාර්ය බහුලයි. අළුත් රැකියාවත් සමඟ ගෙදර ඉන්න ඇති වෙලාවත් සීමිතයි. වගකීම් වැඩි වෙනවිට ඉටු කළ යුතු කරුණා කාරණා, බැලිය යුතු වපසරිය ආදියත් වැඩි වෙනවා. මේ නිසාම බ්ලොග් එකට ඇති අවධානයත් අඩු වෙලා. කාලෙකට පස්සෙ අද තමයි යමක් කුරුටු ගාන්නවත් වෙලාවක් ඉතිරි වුනේ.
බ්ලොගය අතරමං කරලවත්, අතෑරලා වත් නෑ.. කෙටුම්පත් කළ ලිපි ගණනාවක් තිබෙනවා... ඉඩ ඇති විදියට සම්පූර්ණ කර පළ කරන්නම්... ඉඳලා හිටලා ඇවිත් යන්න..
බස් රේඩියෝවෙ කළ සංවාදය තවම වැඩකටයුතු අවසාන වෙලා නැති හැඩයි... වැඩ අවසාන වුන පසු බ්ලොගයේ පළ කරන්නම්.. කට්ටියට අහන්න...
මේ ඉන්නෙ ආච්චියි සීයයි කතරගම ගිහින්... මුණුබුරා එක්ක....
_MG_8088
ඉතිං... ගිහින් එන්නම්...
සියක් ආයු ලැබ... මගෙත් ආයු විඳ..... මටත් වඩා කල්... ඔබ ජීවත් වේවා... !

Friday, September 6, 2013

මා ආ මග දිගේ ඇවිත් බස් එකට ගොඩ වෙන්න...

maa-aa-maga-piyalදැනටමත් ඔබ දන්නවා ඇති.. ආයෙමත් මම බස් එකට නගින්නයි යන්නෙ...
මේ වතාවෙ යන්නෙ මා ආ මග දිගේ දුලිප් සිකුරාට අඳී (හරිද මන්දා) හෙවත් ඕනයා එක්කයි...
දැන් නම් බ්ලොග් එක ලියන්න වෙලාවක් නෑ.... අධික වැඩ....
ඒ මොකද කියලා අහලම බලමු...
එන්න ඉරිදා හැන්දෑවෙ 8.30 ට... බත් කටක් කාලා බුලත් විටක් හපලාම පරිඝණකය ඉස්සරහ වාඩි වෙමු.... පැය දෙකයි කිවුවට කීය වෙනකල් යයිද මන්දා....
කොහොම වුනත් මොනවා වුනත් ඉරිදා හැන්දීවෙ හමු වෙමු.

Saturday, August 10, 2013

කිරිපිටි බොන්න ඕනමද ?

කිරි තියෙනවද ?
ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටිවල ඩයිසයනමයිඩ් (dicyanodiamide - ඩයි සයනො ඩයිඒමයිඩ් ) තිබෙනවාලු. ඒ මදිවට බොටුලිනමුත් තිබෙනවාලු. මේ නිසා ආණ්ඩුවේ සම-හරක් සහ වෙනත් සම-හරක්, මෙයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධාකාර තර්ක ගෙන එනවා. රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න උදවිය පවා රසායනික විද්‍යාඥයින් වෙලා විවිධාකාර දෑ පත්තරවලත්, බ්ලොග් අවකාශයෙත් ගෙනහැරපාමින් තම තමන්ගේ මතය තහවුරු කරන්න උත්සාහ කරනවා....
dicyanodiamide
dicyanodiamide
මම කිරිපිටි පානය නවත්වලා බොහෝ කල්. මම උදේට පානය කරන්නෙ වතුර වීදුරුවක් පමණයි. ඉන් පසු පළතුරු යුෂ වීදුරුවක්. ඒ මගේ සහ මගේ පවුලේ දින චර්යාව. උදෑසන තේ එකක් නොබිවුවා කියලා දවස කඩා වැටෙන්නෙ නැහැ.. අපි කාගෙවත්....
කිරි බොන්න අවශ්‍යම නම් හරකෙකුගෙන් දොවා ගත් නැවුම් කිරි උණු කරලා බීම තමයි හොඳම - ඒ මගේ මතය. පිටිකිරිවල තිබෙන්නෙ ඇත්තෙන්ම පෝෂණය අඩු,  විජලිත කිරි. මේ කිරිවලට විවිධාකාර පෝෂණ ද්‍රව්‍ය එකතු කරන්නේ අගය වැඩි කර ගන්න. සමහර වෙලාවට මේ කිරිපිටි වලට ආගන්තුක ද්‍රව්‍ය එකතු කරනවා. ඒ තමන්ගේ කිරිපිටිවල පෝෂණ ගුණය අනෙක්වාට වඩා ඉහළින් පවත්වා ගන්න. ඩයිසයනමයිඩ් ගැන ඇත්තෙන්ම ලොකු සොයා බැලීමක් මම කළේ නැහැ. මට ඒ ගැන වෙලාව නැති නිසා. අනික ඉතින් මේ ඕනතරම් දේවල් ලියැවිලා තියෙන්නෙ... කෙසේ වුනත් මගේ මතය නම් අපට කිරිපිටි අත්‍යවශ්‍ය නැහැ. එයින් පොකට්ටුවට සහනයක් ලැබෙනවා පමණක් නොවෙයි, අනවශ්‍ය දේවල් ඇඟටත් හිතටත් වැටෙන්නෙ නැහැ.
සතියක් කිරිපිටි නොබී බලන්න.... සතිය අල්ලගෙන යන්න පුළුවන් නම් තවත් සතියක් යන්න... මාසයක් යද්දි වෙනස තේරෙයි... ඒ ඉතිරි කරගන්න මුදලින් දෙහි ගෙඩි ටිකක්, ලෙමන් ගෙඩි ටිකක් ගෙදර අරන් ඇවිත් උදේට මිරිකගෙන බීලා බලන්න... පොල් කෑල්ලක යුෂ බිවුවත් කමක් නෑ... සමහරවිට  පුරුදු වුනාම හරි යාවි. පුරුදු වීමයි අමාරු....


Tuesday, July 30, 2013

ස්වභාවික වරණය මිනිස් සමාජයට බලපෑම හෙවත් මාලකට ගහලා ඕයි...

පරිසරය - සොබාදහම මහා පුදුමාකාර දෙයකි. අවශ්‍ය සියල්ලම එතැන ඇති අතර - අනවශ්‍ය සියල්ලත් එතැනම ඇත. සියල්ල සමබරව හෝ එක් පැත්තකට තරමක් බරව පවතී, කාළයකදී බරවන පැත්ත තවත් කාලයකදී සැහැල්ලු වී අනෙක් පැත්තට බර වේ. ඕනෑම දෙයක සාමාන්‍ය ස්වභාවය මෙයයි. කෑළයක මුවෝ වැඩි වන්නේ විලෝපිකයින් අඩු වන විටය. කැළයක කොටියෙකු දෙන්නෙකු සිටින විට ඉබේම මුව ජනගහනය පාලනය වේ. ඇමරිකාවේ කැළෑවල කොටි නැත. එම නිසා සෑම වසරකම දඩයම් කාලයේදී අදාල ප්‍රාන්තයේ මුව ගහණය පිලිබඳ ඇගයීමක් කර, එක් දඩයක්කරුවෙකුට දඩයම් කරගත හැකි මුවන් ගණන දක්වනු ලැබේ. අදාල මුවන් සංඛ්‍යාව දඩයම් කරගන්නා ඔවුහු, නීතියට ගරුකරමින් සහ ස්වභාදහමට ගරු කරමින් සිය කටයුත්ත නිමා කරති. ඒ විනය සහ සදාචාරයයි.
මේ ආකාරයෙන් ස්වභාවික පාලනයකට යටත් නොවන අවස්ථාවක කෘත්‍රිම පාලනයක් මගින් සොබා දහමේ සමබරතාවය තුලනය කරනු ලබයි.
මිනිස් ජනගහනය ද කිසියම් ආකාරයකට මේ අයුරින් පාලනය වුවත්, නවීන ලෝකයේ වූ පහසුකම්, රෝහල් සහ වෛද්‍ය පහසුකම්වල ඇති දියුණුව සහ ස්වභාවික විපත්වලින් සිදුවිය හැකි හානිය කල්තියා දැන ගැනීමට හැකිවීම වැනි දෑ නිසා මිනිසුන්ගේ ආයුකාලය දීර්ඝ වීම සහ මරණ අනුපාතිකය අවම වී ඇත. නමුත්, ඒ හා සමානව උපත් අනුපාතිකය අඩු නොවීම නිසා සෑම තත්පර 13 කට වතාවක්ම ලෝකයේ ජනගහනය එකකින් වැඩිවන බව සොයාගෙන ඇත.
මේ සමතුලිත තත්ත්‍වය තුළ අප සමාජයේ විවිධාකාර මිනිසුන් දැකිය හැකිය. උගතුන්, බුද්ධිමතුන්, මෙන්ම නූගත් මුග්ධ-අවිචාරවත් මිනිසුන් අනන්තවත් දැකිය හැකිය. උගතුන්ගෙන් අනූන - විනයගරුක පිරිසක් සහිත සර්ව සම්පූර්ණ සමාජයක් අපට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය : බලාපොරොත්තු නොවිය යුතුය. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අගය ද වැඩි වේ. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අවශ්‍යතාවය ද වැඩි වේ. සමහර සමාජයන් උගතුන් වැඩි අතර තවත් සමහර සමාජයන්ගේ නූගතුන් වැඩි වේ. මේ උගත් - නූගත් සහ විනයගරුක - අවිචාරවත් මිනිසුන්ගේ  අනුපාතය අනුව සමාජයේ ප්‍රගමනය තීරණය වේ. සුදනන් සහ දුදනන් අතර සම්බන්ධතාවය ද මේ හා සමාන වේ. 
පසුගිය වසර 30 කට ආසන්න කාළයක අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අත්වින්දේ යුද්ධයයි. කොටින්ම කියතොත් අප සියළුම දෙනා අඩු වැඩි වශයෙන් සිටියේ යුධ මානසිකත්‍වයකයි. දෙනෝ දාහක් ඉදිරිපිට ජනාධිපති උපදේශක කෙනෙක් සහ අධීක්‍ෂක මන්ත්‍රී කෙනෙකු වෙඩිතබා ගත්තේ (ද කියා මට නම් මතක නැත) ද, ප්‍රාදේශීය සභා සභාපති කෙනෙකු සුද්දියෙක් විසින් දූෂණය වුනේද, හිටපු ප්‍රාදේශීය සභා අතකොට සභාපති කෙනෙකු දෙනෝදාහක් ඉදිරිපිට වතු අධිකාරීවරයෙකුගෙන් මැරුම් කෑවේද, පලාබබා කෙනෙකු ගුරුවරියක් ඉදිරිපිට දණ ගැසුවේද සහ වෙනත් අනන්තවත් උදාහරණ ඇත්තේ ද මේ පශ්චාත් යුධ මානසිකත්‍වය අඩු වැඩි වශයෙන් අප තුළ ඇතිවීම නිසායි. මේ කරුණු කාරණා යුද්ධය ඇති කාළයේ ද සිදු වුවද, යුධමය ප්‍රවෘත්තිවලට වැඩිපුර අවධානයක් යොමු වීම නිසාම, මේ කරුණු යටපත්ව ගොස් තිබෙන්නට ඇති බව මගේ හැඟීමයි. කෙසේ වුවත්, යුද්ධය නිමාවීමත් සමඟම මේ කරුණු දැන් දැන් ඉස්මතු වීමට පටන්ගෙන තිබෙනවා.
අප මොන දහම අනුගමනය කළත් සොබා දහමේ ඇත්තේ සමබරතාවය පිළිබඳ නීතියයි. එනම් ධන-ඍණ නීතියයි. සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇතැයි නිවුටන් සොයා ගන්නට පෙර එය සොයා ගත්තේ පැරණි ඍෂීවරුන් විසිනි, ඒ සොබාදහම නිරීක්‍ෂණය කිරීමෙනි. ද්විත්වභාවය නොහොත් Duality යන්නෙන් හඳුන්වන්නේ එයයි. කෙසේ වුවත්, හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් සමාජයේ තිබිය යුතුය. විභාගයක සමතුන් තීරණය වන්නේ අසමතුන් ඇති විට පමණයි. ප්‍රගමනය වන සමාජයක උගතා - දක්‍ෂයා ඉදිරියට යා යුතුය. සමාජයේ යහ පැවැත්ම තීරණය වන්නේ හොඳ වැඩි වූ විටය. නරක වැඩි වූ විට සිදු වන දේ දැන් දැන් අපට අප රටේදීත්, වෙනත් රටවලදීත් හොඳින්ම පෙනෙන්නට ඇත. සතුන්ට සිතිය නොහැකි නිසාම - උන් ස්වභාවික වරණය මගින් පාළනය වේ. බලවතා විසින් දුබලයා සිය ග්‍රහණයට නතු කරගැනීම - ආහාරයට ගැනීම සිදු වේ. එසේම - බලවතුන් වැඩි වන්නට වැඩි වන්නට උන් උන් අතර සිදුවන සටනින් ඒ අවස්ථාවේ වඩාත්ම බලවතා ජය ගනී.
කෙසේ වුවත් බොහෝ විට මිනිසා බුද්ධිමත් (යැයි කියන) නිසාම, මේ ස්වභාවික වරණය  කිසියම් ආකාරයකට මැඬපැවැත්වී ඇත. නූතන සමාජයේද බලවත් විසින් දුබලයා පාගා දැමීම සිදු වුවත්, නීතිය - යම් තාක් දුරට හෝ ක්‍රියාත්මක වන විට දුබලයාට යම් සහනයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත. මෙය සභ්‍ය සමාජයක ලක්‍ෂණයයි. කෙසේ වුවත් බලවතාට නීතිය එක ආකාරයකිනුත් දුබලයාට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වීම අද දැකිය හැකි ලක්‍ෂණයක් වීම නීතියේ ආධිපත්‍යයට එල්ලවන ප්‍රධාන අභියෝගයයි. එය ද අප හොඳින්ම අත්දැක්කෙමු.
නමුත්, කවදා හෝ මේ තත්ත්‍වය වෙනස් විය යුතුය - වෙනස් වීමට ඉඩ ඇත. ලෝකයේ බොහෝ බලවත් රාජ්‍යයන් බිඳ වැටුනේ නොසිතූ ආකාරයටය. එක්කෝ සිවිල් යුද්ධයකින්, එක්කෝ කුමන්ත්‍රණයකින්, නැතහොත් නායක කාරකාදීන්ගේ ස්වභාවික/අස්වාභාවික මරණයන්ගෙන්, පිටරට ආක්‍රමණයන්ගෙන්, ස්වභාවික විපතකින්, ආදී මෙකී නොකී කිසියම් ආකාරයකින් මේ ආධිපත්‍යයන් බිඳ වැටිය හැක. සමතුලිතව- සමබරව පවතින තාක්කල් එම පද්ධතියේ ශක්තිය අවමව පවතී. අවම ශක්තියක පවතින පද්ධතියක් ස්ථායීතාවයෙන් වැඩි වේ. අසමතුලිතතාවය කෘත්‍රිමව පාලනය කළ හැකි සීමාවක් තිබේ. ඒ පද්ධතියට දරාගත හැකි ශක්තිය ඉක්මවා යනතෙක් පමණි.
ගොරකා ගසට හෙණ ගසා ඇත. එය පැණි වරකා ගසක් නොවීම නිසා බොහෝ දෙනෙකු ඇත්තෙන්ම හිත යටින් සතුටු වන බව පෙනේ. එය ලියා රඟ දැක්වූ නාටකයක්දැයි අප තවමත් නොදනිමු. මේවායේ යටි අරුත් එළියට වන්නේ බොහෝ කළකට පසුව නිසා මේ සිදුවීම සිදු වූයේ ඇයිදැයි තවමත් අවසාන නිගමනයකට පැමිණීම මෝඩකමකි. නමුත් මෙයින් සමාජයට වැදගත් පණිවුඩයක් දී තිබේ.

ස්වභාවික වරණයේ විලෝමය
ස්වභාවික වරණයේ විලෝමය

මේ පණිවුඩය භයානකය. අපට නොව - ඉහළ වැජඹෙන්නන්ටය.