සිහින දැකීම සහ කැපවීම සාර්ථක මඟකට ඇති කෙටිම මඟක් යැයි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරෙක ප්‍රකාශ කර තිබුණි. මිනිසා සිහින දැකිය යුතුය. මිනිසා ඉදිරි අනාගතය පිළිබඳ සැළසුම් සකස් කළ යුතුය. පෞද්ගලිකවත්, සමාජයීයවත්, ප්රගමනය උදෙසා මිනිසා තනි තනිවත් සාමූහිකවත් සිහින දැකිය යුතුය. අවුරුදු 30 ක් පුරා ජාති ආගම් පන්ති භේද නොතකා අප දුටු සිහිනය වූයේ රුදුරු ත්‍රස්තවාදී යුද්ධයේ නිමාවක් දැකීමය. හැට දහසකට අධික සාමාන්‍ය ජනතාව මෙන්ම අධික ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් පසු උදා වූ වසන්තය සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හෝ වෙනත් ජාති භේදයකින් තොරව අපි වැළඳ ගත්තෙමු.
ඒ වසන්තය නිමා වෙමින් පවතී... යුද්ධය අවසන් වූයේ සැමට සැනසුම් සුසුම් හෙලන්නට, බලාපොරොත්තු දල්වා ගන්නට, රටට යහපතක් උදා වේ යැයි තමන් මෙතෙක් කල් රටේ නාමයෙන් තද කරගෙන සිටි පටි බුරුල් කරන්නට කාළය පැමිණ ඇති බව පසක් කරමිනි. කෙසේ නමුත් සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වූ සහනය ඔවුනට ලැබුණේ නැත. නිතිපතා සාමාන්‍ය බඩු භාණ්ඩවල මිල ඉහළ යයි. කාර්යක්ෂමව පාලනය කළ හැකි රජයේ ආයතන පවා දිනෙන් දින අකාර්යක්ෂමතාවය, ඵලදායීතාවය අඩු වීම, අලාභයන් ලැබීම පිළිබඳ අසන්නට ලැබේ. බොහෝ ආයතනවල ඉහළ තනතුරු හොබවන්නේ සුදුස්සන් නොව දේශපාලන හොංචයියන් ය. කළ යුත්ත පසෙක තබා සිය දේශපාලනඥයා පිණවීම, තමන්ටත් කොටසක් කඩා ගැනීම, අක්‍රමිකතා, ලිංගික අල්ලස් ලබා ගැනීම වැනි දහසකුත් නොකළයුතු දෑ සිදු වන බව නිති පතා අසන්නට ලැබේ. මේ බොහෝ ආයතන මේ රජයේම ආරම්භක කාළයේ හොඳින් පාලනය වූ හෝ ලාභ ලැබූ ආයතන වේ. මේ සත්‍ය තත්ත්වයයි.
අපට දූෂණය වැලැක්වීමට බොහෝ කල් ගත වනු ඇත. නමුත් නාස්තිය නැවැත්විය හැකිය... අරපරෙස්සම මෙන්ම නිසි කළමණාකරණය, නිසි සැලසුම් මගින් බොහෝ දේ එකවර හරියට කරගත හැක. උසස් පෙළ Z අගයේ ඇති වූ පටලැවිල්ල මුලින්ම හරිගස්සා ගත හැකිව තිබුණත් අදාල පාර්ශව සිය වැරැද්ද පිළිනොගැනීම නිසා එය බොහෝ දුර දිග ගොස්, අවසානයේ අගතියට පත් වූයේ උසස් පෙළට අවුරුදු ගණනක් මහන්සි වූ සිසු සිසුවියන් ය. හෙජින් අවුලට මැදිවුන අප ඉන් පරාද වූ පසු නැවත නඩු පවරන්නට ගොස් පැරදී නැවතත් වන්දි ගෙවන්නට විය. තත්ත්වයෙන් බාල ඉන්ධන ආනයනය කර තවත් වතාවක රටම අර්බුධයක හෙළුනේ වැඩි ඈතක නොවේ. වරායේ සිට තෙල් ගෙන යන නළයක සුවිශාල සිදුරකින් බොරතෙල් අපතේ යන බව වාර්තා වුයේ මෑතකදීය. මේ වැලැක්විය හැකි නාස්තිකාර ක්‍රියා වේ. මේ අපා ආරංචි වන ස්වල්පයක් පමණි: නොදන්නා දේ කොතෙකුත් ඇත්ද ?
දැන් අප අභ්‍යවකාශ යුගයකට යන බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව 2015 වසර වන විට ලංකාවේ අජටාකාශගාමියෙකු අභ්‍යවකාශයට යනු ඇත. යන්නේ කවුදැයි සැම දෙනාම හොඳින් දනී.. ඒ පිළිබඳ තරඟ කිරීම අනවශ්‍යය. නමුත් යන්නේ ඇයිදැයි කිසිවෙකු නොදනී... අප අභ්‍යවකාශයේ සොයන්නේ කුමක්ද ? අප අභ්‍යවකාශයට ගොස් ගෙන එන්නේ මොනවාද ? අපට අභ්‍යවකාශය ජය ගැනීමට තවමත් අවශ්‍යතාවයක් නොමැත. මක් නිසාද යත්, අප තවමත් අභ්‍යවකාශ යුගයෙන් බොහෝ ඈත සිටින රටකි. අසල්වැසි ඉන්දියාව වත් තනිව අජටාකාශගාමියෙකු අභ්‍යවකාශයට යැවුවේ නැත. නාසා ආයතනයේ පුහුණුව ලැබූ ඉන්දීය අභ්‍යවකාශගාමීන් සිටිති. එසේම එවැනි භාරදූර කටයුත්තකට මනා පුහුණුවක් අවශ්‍යය. ගුරුත්වජ ත්වරණයට ඔරොත්තු දීමට පුහුණු වීම, යානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පුහුණුව ආදී දහසකුත් එකක් දේ පුහුණු විය යුතුය. මේ සඳහා නාසා ආයතනය නියමුවන් පුහුණු කරන්නේ වසර හත අටක කාලයක් ගතකරමින් ය. අභ්‍යවකාශයට ගොස් ඉගෙන ගැනීමට දෙයක් අපට තවමත් නොමැත. පණිවුඩ චන්ද්‍රිකාවක් හෝ වෙනත් වටිනා යමක් යැවුවේ නම් ඉන් ආදායමක් හෝ ප්‍රයෝජනයක් හෝ ලැබිය හැක. නමුත් කෙනෙකු අභ්‍යවකාශයට ගොස් ඒමෙන් කිසිවකු ලබන පළ ප්‍රයෝජනයක් නැත. වාර්තාවක් තැබීමට පමණක් අභ්‍යවකාශයට ගොස් පළක් නැත.
අප නිෂ්පාදන ආර්ථිකයක් පදනම් කරගෙන සිටි රටකි. අපේ අපනයන භෝග වූයේ තේ, රබර්, පොල්, ආදියයි. කුළුබඩු ද තරමක හොඳ ආදායම් මාර්ගයක් වී ඇත. නමුත් දැන් අපේ නිෂ්පාදන පහළ යමින් සිටී. අපේ අදායම් මාර්ග දැඩි තරඟයකට මුහුණ පා ඇත. කම්කරු ශ්‍රමය තිබුණත්, එහි මිල චීනය, ඉන්දියාව හා සම කළ නොහැක. එසේම වෘත්තීය සමිති කිහිපයකටම ගොදුරක් වූ අපේ කම්කරු ප්‍රජාව යුතුකම් ඉටු කිරීමට වඩා අයිතිවාසිකම් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. අප තවමත් විකුණන්නේ ලාභ ශ්‍රමයයි. පුහුණු කම්කරුවන්, පුහුණු ශ්‍රමිකයන් විකිණීම පසෙක ලාභ අමුද්‍රව්‍යයක් වන ගෘහ සේවිකාවන් පිටරට පැටවීම සිදු කරනු ලබයි. මේ අපේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකින් එකකි. අනෙක සංචාරක ව්‍යාපාරයයි. රට වටා හෝටල හැදුවාට එය සාර්ථක නොවේ නිසි ක්‍රමවේදයකින් අප රටට පිටරටින් සංචාරකයින් ඇද ගනීම සිදු කළ යුතුය. 95000 වන සංචාරකයා පැමිණි බව සැබැවි. නමුත් අප උත්සාහ ගත්තේ නම් 150,000 ක ඉලක්කය වුවද සපුරාගත හැකිව තිබිණ. ඉන්දියානුවන් සහ චීනුන් පැමිණීම අපට ලාභදායක නොවන්නේ උන් ලාබෙට කන්නට ගෙදරින් රොටි ගේන ජාතියක් වීම නිසාය. එසේනම් අප යුරෝපීය සහ ඇමරිකානු සංචාරකයින් ආකර්ෂණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දැනටමත් ග්‍රීසිය, මධ්‍යධරණී දූපත්, බහමාස් දූපත් සිය රටවල සංචාරක ව්‍යාපාරයන් යුරෝපයේ ප්‍රචලිත කිරීමට ආකර්ෂණීය වෙළඳ දැන්වීම් පළකරති. නමුත් අප රටේ ස්වභාව සෞන්දර්යය සහ ආගන්තුක සත්කාර ගැන අවධානය යොමු කිරීමත්, සංචාරක වෛද්‍ය ප්‍රතිකාර (Medical Tourism) ප්‍රචලිත කිරීමෙන් අපට බොහෝ ඇමරිකානු සංචාරකයින් ගෙන්වාගත හැකිය.
මේ ක්‍රම දෙක හැරෙන්නට අපේ පැරණි අපනයන භෝග වූ තේ, රබර්, පොල්, වලට ලැබී ඇත්තේ නරක කළ දසාවකි. පොල් කේරලයෙන් ආනයනය කරන තත්ත්වයට අප පත්ව ඇත. තේ වලට කසල තේ එකතු කර ලාභ ලැබීමට ක්‍රියා කිරීමෙන් ලොව පුරා ප්‍රචලිත ශ්‍රී ලංකා තේ (Ceylon Tea) නාමය අපවිත්‍ර කරගෙන ඇත. දැනටමත් කෙන්යාව සහ චීනය ලෝක තේ වෙළඳපොල ආක්‍රමණය කරගෙන යමින් පවතී. මෙයට අමතරව ඉන්දියානු ඇසෑම් තේ සහ චීන තේ අගය එකතු කළ තේ විශේෂ ලෙස වෙළඳ පොළට එකතු කිරීමෙන් එම අංශයද තම අණසකට නතු කරගෙන ඇත. අපේ කුළුබඩු අපද්‍රව්‍ය එකතු කිරීම මගින් බාල කර ඇත. මිරිස් කුඩු සහ කහ කුඩු වලට වර්ණක එකතු කෙරේ. මේ නියැදීන් නිසි පර්යේෂණාගාරයක විශ්ලේෂණය කළ විට නිතැතින්ම බාල බව හඳුනාගැනේ... එවිට නිසි ලෙස අපනයනය කරන ආයතනයටත් අපනයන බාධක පැණවීම මගින් රටට අයවිය යුතු ආදායම පවා අහිමි වේ.
නමුත්, අපට කළ හැකි දෑ බොහෝය. මේ සියල්ලට නිසි කළමණාකරණයත්, තම නිලයට වග කියන නිලධාරීන් පත් කිරීමත්, ඔවුන් නිතිපතා ඇගයීම සහ අධීක්ෂණය (Evaluation and monitoring ) මගින් පාලනය කළ හැක. නමුත් සිදු නොවන්නේ ද මෙයමයි. කිසිවෙකු සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරනවා පෙනෙන්නේ නැත. සියල්ලන් ජාමෙ බේරාගෙන ක්‍රියාකරන ආකාරයක් පෙනෙන්නට ඇත...
ශ්‍රී ලංකාව යනු රටක් සහ වපසරිය අනුව සලකන කල අප්‍රමාණ ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇති, එමෙන්ම ඉතා වටිනා මානව සම්පතක් ඇති රටකි. නිසි ලෙස පාලනය සහ කළමණාකරණය කරන්නේ නම් ආසියාවේ ආශ්චර්යය වීම අපට නොහැක්කක් නොවේ. නමුත් ආණ්ඩුවේ අනවශ්‍ය නාස්තිය කිසිවෙකුට පාලනය කළ හැක්කක් ලෙස නොපෙනේ. එය පාලනය කළ හැක්කේ ද බලය ඇති අයටමය. කිසිවෙකු ඒ සඳහා අවධානයක් යොමු කරනු නොපෙනේ.... දිනෙන් දින අප යන්නේ අගාධයටය....
අප අභ්‍යවකාශය ජය ගැනීමට ප්‍රථම කළ යුතු දෑ බොහෝය. එක් අයෙකු අභ්‍යවකාශය ජය ගත්තාට රටකට ඇති පලක් නැත. අපෙ සතු වටිනා දරු සම්පතම ඒ ජයග්‍රහණය කරා කැඳවාගෙන යා යුතුය. ඒ සඳහා අප පාසැල් පද්ධතිය, අධ්‍යාපනය ශක්තිමත් කළ යුතුය. මේ නාස්ති කරන මුදල්වලින් යම් ප්‍රමාණයක් ඒ සඳහා යෙදෙවූවේ නම් ප්‍රතිඵල දැනටම ලබාගෙන අවසන්ය. විශ්ව විද්‍යාලයට නොතේරෙන තරුණ පරපුර නිසි ලෙස අධ්‍යාපනය අවසන උසස් තාක්ෂණික හෝ වෙනයම් පාඨමාලා හැදෑරීමට අවකාශ ලබා දීම මගින් දැනුමින් සන්නද්ධ කළ යුතුය. අනෙක් රටවල් පිම්මේ යනවිටඅප බඩගාගෙන යන්නේ නම් ඒ දියුණුව ප්‍රමාණවත් නොවේ. එසේම විදේශීය ණය වලින් ලබන සංවර්ධනයේ පොලිය ගෙවන්නේ අනාගත පරපුර බව කිසිවෙකු නොසිතයි... රටක සැලසුම් සැකසිය යුත්තේ අවුරුදු 10 ක අනාගතය පිළිබඳ සළකා බලමිනි. එසේම රටක ප්‍රධාන අංශ කෙරෙහි අනාගතයට සරිලන ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුය. දියුණු රටවල් ඒ තත්ත්වයට පත් වූයේ තම පක්ෂය හෝ තම පුද්ගලික න්යායපත්ර අනුව ක්‍රියා කිරීමෙන් නොව රටකට සරිලන න්යායපත්රයකට අනුව ක්‍රියා කිරීමෙනි.
රටක බාගයක් බඩගින්නේ සිටිත්දී අගනුවර සැණකෙළි පැවැත්වීමෙන් ලබන සංවර්ධනය කිම ?
ඔවුහු කවදා මේ සත්‍යය වටහා ගනීවිද ?
No comments:
Post a Comment