Friday, July 26, 2013
යකෝ මගෙ සුරේ..... උඹ මාව කෑවා.... (සත්ය සිදුවීමක් ඇසුරෙනි)
මේ දවස්වල සිද්ධ වෙන්නේම අඥ්ඤකොරොස් ජාතියේ සිදුවීම්යැ.. යන්නෙ නෑ යන්නෙ නෑ කිය කියා හිටි දයාසොරි ලමයා ද ආයෙම මහගෙදර ගියේ ලොක්කාගේ (මං කිවුවෙ ලොක්කෝ දෙන්නාගෙම) බලාපොරොත්තු මල්පල ගන්වමින් යැ.. ඔය අල්ල පනල්ලේ දේශපාලන කතා බල බලා හිටි මට දන්නෙම නැතුව නින්ද ගියේ පුටුවක් උඩමයැ. හීනෙන් ඇවිදින - හීනෙන් ටයිප් කරන - හීනෙන් දොරවල් ඇරගෙන අනුන්ගේ ගෙවල්වලට යන - හීනෙන් ඇවිදගෙන ගොස් ශීතකරණයට චූ කරන ආදී හීනෙන් යන ප්රශ්න මටත් තිබෙන නිසාම.. කොහොම ඇඳට ගියා දැයි මමම දන්නේ නැතියැ..හීනය කොයි වෙලාවේ දැක්කා දැයි නිනව්වක් නැතියැ. සිදුවීම මෙසේ යැ.මම ඒ වෙලාවේ හිටියේ අරලියගහ මන්දිරයේයැ. මම ඒ වෙලාවේ හිටියේ මහින්ද අයියා ලඟමයැ. අපි දෙන්නා කුමක් හෝ බරපතල යමක් ගැන කතා කරමින් සිටියෙමුයැ. ඇල්කෙමිච්චි සහ පැටියා හිටියේ ශිරන්ති අක්කාගේ කාමරයේයැ.ශිරන්ති අක්කා මොකද්දෝ මසමින් මැසිම ලඟ හිටියායැ. අපි ඒ තරමට සමීප පවුල් දෙකක් බවට පත් වී සිටියේ කෙසේදැයි මටම හිතාගත නොහැකි වියැ.
"යකෝ මගේ සුරේ.." මහින්ද අයියා ම‘වෙත කඩා පැන්නේ හිඩ්න් ඩ්රැගන් වෙත පනින ක්රවුචින් ටයිගර් කෙනෙක් මෙනි...
සුරේ අම්බ්රෙල්ලා පවුඩර් වී ගියේයැ....
සුරේ තුළ තිබූ රතු පැහැති ජුජුස් කෑලි ටිකක් පොළවේ විසිරී ගියේයැ...මම හිතුවේ ඒවා රතු මැණික් කියායැ... නැත නැත.... ඒවා සූටි සූටි හාට් ශේප් ගල්කැට වැනි යමකි...
"බුදු අයියේ... මම හිතලා කර දෙයක් නෙවෙයි..... සමාවෙන්න... මේ ඩෙංගු මදුරුවෙක් ද කොහෙද මාව කෑවා... ඒකයි නළල කැහැවුවෙ....."
"මලේ... උඹ හින්දා සමාව දෙනවා... වෙන එකෙක් නං දනී කරන දේ... හරිය ?."
"හැබෑට මක්කැයි මේ සූටි සූටි හදවත් ? හැත්තෑවක්ම විතර ?"
"හැහ්...හැහ්.. උඹ ඒකවත් දන්නෙ නැතෙයි ?" මහින්ද අයියා සුපුරුදු දකුණෙ බාසාවෙන්ම ඇසුවේයැ.
"අපි ඉන්නෙ අරලියගහ මන්දිරේ නෙවෙයිය ?"
"මොන අරලියගහ මන්දිරයක්ද ? මේ ඉන්නෙ අපේ ගෙදර...."
"මේ.... මම ම ද ?"
"ඔව් ඔව් වදේ... ඔයාම තමයි... වෙන කවුද ?"
"මල ඉලව්වයි..... ඔයා නැගිට්ටවලා මට මහින්ද අයියගෙන් ඒ කාගෙ හෘදය සාක්කියද කියලවත් අහගන්න බැරි වුනා.... හීනෙන් වුනත් බොහොම වැදගත් කාරණයක්...."
Wednesday, July 24, 2013
දයා සිරි - ඔයා හරි
හිතවත් දයාසිරි,
හිතවත් දයාසිරි කිවුවෙ තමුන්නාන්සෙ අපේ අයියගෙ යාළුවෙක් නිසා. ඉතිං තමුන්නාන්සෙත් අපට පුක පෙන්නලා අනිත් පැත්තට පැන්නා නෙ. පාරෙ ඉඳලා බස් එකට නැගලා අමූලික බොරු කියලා අපෙන් කීයක් හරි කඩාගන්න හිඟන්නෙකුට වඩා වෙනස්කමක් මම දේශපාලනඥයෙකුගෙන් දකින්නෙ නැති නිසා තමුන්නාන්සෙ ආණ්ඩුවට නෙවෙයි, එල් ටී ටී ඊ එකට එකතු වුනත් අරුමයක් නෙවෙයි. අපි දන්නවා තමුන්නාන්සෙ රනිල්ට වලි දැම්මා තමයි. ඒ පක්ෂය දියුණු කිරීම කියන බැටළුහම පොරවගෙන තමුන්නාන්සෙට තැනක් ගන්න තමයි කියලා දන්න මිනිස්සු දන්නවා. රනිලුත් දන්නවා - මහින්දත් දන්නවා. ඒත් අපේ ජරා ගතියට ඒ කිසිම දෙයක් නොදන්න ගානට අපි ඉන්නවා. ඕකම තමයි අපට කෙළවෙන්න ප්රධාන හේතුව. තමුන්නාන්සෙට ඔතැන කිසිම තැනක් ලැබුණෙ නැති නිසා දවසක් හොටු පෙරාගෙන ඇඬුවත් නෙ... ඒ ඔක්කොම දැන් ඉවරයි.
මෙච්චර කලක් තමුන්නාන්සෙ ආණ්ඩුවටයි මහින්දටයි පලු යන්න බැණ බැණ හිටියා. දැන් තමුන්නාන්සෙ ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න කියලා කොහොම කොහොම හරි ආණ්ඩුවට ගොඩ වුනා. තමුන්නාන්සෙ හරි. එජාපෙ කියන ගිලෙන නැවේ ඉඳගෙන ආතක් පාතක් නැතුව ඉන්නවට වඩා, කෝටි විසිපහකට ආත්ම ගරුත්වය පාවා දුන්නා කියන ලේබලේ ගහ ගත්තත්, පලාබබා මැතිවරණෙ ආවම තමුන්නාන්සෙට බැණපු එවුන්ම මල් මාලා දාලා පිළිගන්නවා. අපේ හැටි එහෙමයි අනාගත මහ ඇමතිතුමා... අපේ එවුන්ට ලැජ්ජාවක් නෑ.. උන් ලැජ්ජ බිමින් තියන්න හරි දක්ෂයො..
ඉතිං තමුන්නාන්සෙ කීයක් අරන් ගියත්, මට නං ඇති ලබ්බක් නෑ... තමුන්නාන්සෙට සල්ලි ලැබුණද, බලේ ලැබුණද අරවා - මේවා ලැබුණද මට සත පහක් හම්බ වෙනවා කියලා යෑ.. ඔන්න අයියට නං මොනවා හරි සෙට් කරගන්න පුළුවන් වේවි.. පුළුවන් නං මොනවා හරි කරලා දෙන්න.. මම දන්නවා ඒ මනුස්සයා තමුන්නාන්සෙ වෙනුවෙන් ලොකු කැපවීමක් කරලා තියෙනවා. අමතක කරන්න එපා..
තමුන්නාන්සෙ මොනවා කළත් සාමාන්ය මිනිහට සෙතක් නෑ,..තමුන්නාන්සෙ ඔතැනට ගියා කියලා බඩු මිල අඩු වෙනවයෑ... තමුන්නාන්සෙ නඩත්තු කරන්න තව ටිකක් වැඩි වෙන එක විතරයි... අපටමයි කෙළවෙන්නෙ... තමුන්නාන්සෙ කරගන්න දෙයක් තමුන්නාන්සෙට. තමුන්නාන්සෙ විතරක් නෙවෙයි, ඔය දියවන්නා මඩ වගුරෙ ඉන්න 225 හෙන්ම අපට කිසිම සෙතක් නෑ. උන් ඔක්කොම කරන්නෙ උන්ටයි උන්ගෙ හෙංචයියොන්ටයි කොරන එක තමයි. උන්ට හේත්තු වෙලා ඉන්න කල් කිසි ප්රශ්නයක් නෑ... මොනවා කළත්, නීතියක් රීතියක්, සදාචාරයක් ආත්ම ගරුත්වයක්, හෘදය සාක්ෂියක් - ලැජ්ජාවක් කියන කාරණා උන් කිසිම කෙනෙකුට අදාල නෑ...
ඔයා හරි දයාසිරි...
ඉතිං තමුන්නාන්සෙ - තමුන්නාන්සෙගෙ අනාගතය වෙනුවෙන් ගත්ත තීරණය හරියටම හරි. බුදු හාමුදුරුවෝ හරි යේසුස් වහන්සෙ හරි දේශපාලනයට ආවත් - දූෂණය, භීෂණය, ට අහු වෙන මේ සිස්ටම් එකේ පැවැත්මක් තියෙන්න නම්, හෘදය සාක්ෂිය බල්ලට දාලා, ලැජ්ජා නහරය කපා දමලා, මට මතක නෑ ඕයි තියරිය දාගෙන ඉන්න ඕන.. තමුන්නාන්සෙගේ ගුරුතුමා වගේම, තමුන්නාන්සෙත් ඒක හොඳට ප්රගුණ කරලා තියෙනවා. මට දුක ඊයෙ වෙනකල් තමුන්නාන්සෙ රටටම කොලේ වහලා අද මාරු වෙච්ච එක ගැන... ඇත්තටම තමුන්නාන්සෙට ලැජ්ජාවක් කියලා අළුක්කාලක්වත් ඇඟේ ගෑවිලාවත් තිබුණෙ නැද්ද අම්මපා ?
ඉතිං තමුන්නාන්සෙ අද ඉඳලා සත් ගුණවත් සන්ධාන දේශපාලනඥයෙක්, හැබැයි තමුන්නාන්සෙට ලොකු ලොකු දූෂණ චෝදනා ගෑවිලා නැති එක ගැන මම ටිකක් ගරු කරනවා. නමුත්, තමුන්නාන්සෙ ආණ්ඩුවට ආවට පස්සෙ ඒ රෙකෝඩ් එක තියා ගනීවිද කියලා සැකයක් තියෙනවා. මොකද කියනවා නම් ඔය විපක්ෂෙ ඉන්දෙද්දි තියෙන මොළෙයි කොන්දයි දෙකම හැමෝම ආණ්ඩුවට ආවට පස්සෙ ගෙදර තියලා එන නිසා. දැන් බලන්න ආපු කට්ටිය කෙළින පිස්සු... උන් විතරක් නම් මදෑ.. උන්ගෙ දරුවොත් පිස්සු නෙ කෙළින්නෙ.
දැන් මට තියෙන ලොකුම ප්රශ්නෙ තමයි සන්ධානෙ ඉන්න 95% ක්ම ලොකු ලොක්කෝ ටික ඔරිම ජිනල් යූ ඇන් පී කාරයෝ වීම.. ඒ විතරක් නෙවෙයි උන් ඔක්කෝම ලොවෙත් නැති පිස්සු කෙළීම... එක වෙලාවකට හිතෙනවා මේක රනිල් කාරයාගෙ ගේමක් ද කියලත්. මොකද කියනවා නම් ඉන්න ගොබිලෝ ඔක්කොම සන්ධානෙට එවලා - උන්ට කියලා පිස්සු කෙළවලා - රජය ජනතාව අතර අපකීර්තියට පත් කරවලා - ආණ්ඩුව පෙරළලා දැම්මාම... අර ඉස්සර යූ ඇන් පී එකෙන් ආපු සෙට් එක ආයෙම යූ ඇන් පී එකට යනව නෙ.. මොකද තමුන්නාන්සෙලා රෙදි ඇඳගෙන නෙවෙයි නෙ ඉන්නෙ.. ඔය සෙට් එකටම ආපහු හැරිලා යන එක මහ කජ්ජක් නෙවෙයි... ඉතිං මට හිතෙන්නෙ නම් මේක රනිල් ගෙ දීර්ඝකාලීන සැලසුමක් ( සිංහල වචනෙ අමතක නිසා Long Term Plan කියලම කිවුවා...) හැබැයි Sexual harassment එකක් කියලා නම් කියන්න අමාරුයි.... මොකද තමුන්නාන්සෙට ටික දවසකින් තේරෙයි යූ ඇන් පී කාරයෝ තමුන්නාන්සෙට ඇරපු ඇරිල්ල හොඳයි කියලා. මොකද ඔය සන්ධාන කාරයෝ අරින ඇරිල්ලට අහු වුනොත් ඉතිං ආයෙ වැරදිලා පුක හෝදගන්නවත් ගඟක මූදක බහිනවා බොරු.....
ඉතිං දයාසිරි, ඔයා හරි.... ඔයා හරි කියන්නෙ ඔයා ඔයාගෙ පැත්තෙන් හරි...
හැබැයි ඔයා හරි වුනා කියලා අපට සොරි වෙන එක නවතින්නෙත් නෑ... මෙච්චර කලක් ඔයා ජොනියට බැණ බැණ හිටියා.. දැන් ඔයයි ජොනියයි දෙන්නා එකට ජොනි වෝකර් එකක් ගහයි... දේශපාලනේ හැටි ඔහොම තමයි කියලා දෙන්නම හිනා වෙයි... ඔයාට දැන් අඩු ආචාර්ය උපාධියක් විතරයි... ඒකත් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට කිවුවා ම සෙට් කරලා දෙයි.. එතුමත් කියලා තිබුණෙ තමුන්නාන්සෙ ආණ්ඩුවට එනවා නම් එතුමත් සතුටුයි කියලා.. දැන් දෙන්නට ඩුවට් එකක් කියලා සී ඩී එකක් කරන්නත් පුළුවන් වේවි... විෂුවල්ස් වලට පබායි රෝසියි ගන්න... හැබෑට දැන් ඒ මනුස්සයට මොකෑ වෙන්නෙ ?
ඉතිං දයාසිරි, ඔයා විපක්ෂෙ ඉන්දෙද්දි ජනතාව වෙනුවෙන් කරපු අරගලේ ආණ්ඩු පක්ෂෙ ඉන්නකොට වඩා හොඳට කරනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අර ඉස්සර කියපු බඩු මිල අඩු කරන කතා, යහපාලනේ, ආදී ලොකු ලොකු කතා... මතකද මන්දා..
මට නං කියන්න තියෙන්නෙ එකම දෙයයි...
දයා සිරි
ඔයා හරි
අඬනු බැරි
අපට සොරි.
Monday, July 15, 2013
යකෝ.... තංගල්ලෙ ඉන්නෙ සුද්දියෙක් දූෂණය කර ගන්න බැරි පො**යොද ?
උදේ පාන්දරම ඇහැ ඇරුණාම ඔළුවත් ටිකක් හෝන්දු මාන්දු වෙලා වගේ... රෑ නිදි මැරුවා වැඩිද මන්දා..... කරපු මගුලකුත් නෑ... ඇඳේ පොල්ලකුත් නෑ.... ආයෙම ටිකක් නිදා ගන්න කියලා අනිත් පැත්ත හැරිලා ඇස්දෙක පියා ගත්තා විතරයි.......
එකොළහායි... දොළහායි.... දහතුනායි.....එකොළහායි... දොළහායි.... දහතුනායි. එකොළහායි... දොළහායි.... දහතුනායි. පොඩි එකා උගේ කාර් ටික දහතුනේ ගොඩවල් වලට වෙන් කරනවා.....
ජිංජි බරස් බරස් බරස්..... ඔන්න ඇල්කෙමිච්චි ද කොහෙද පොල් ගාන්නත් පටං අරං..............
බ්රූම්..... බ්රූම්..... බ්රූම්..... අල්ලපු ගෙදර මනුස්සයා එයාගේ බී එම් ඩබ්ලිවු එක රේස් කරනවා... මොන නින්දක්ද ?
ටී වී එක ඉස්සරහා වාඩි වෙලා චැනල් මාරු කරන්න ගත්තා.....
තාක්ෂණ විශයය අළුත් විෂයයක් ලෙසින් උසස් පෙළට එකතු කරනවලු.... උස්සවේ මහියංගනේ ලු...අනේ හොඳයි.... මොකක් හරි අළුතෙන් සිද්ධ වෙනවා... කාට හරි හරි යයි නෙ....
මාස පහක් හුලං බීලා ජීවත් වෙච්ච එකෙක් හොයාගෙන ලු..... අනාගතේ මේක ස්ටෑන්ඩර්ඩ් එකක් වේවිද මන්දා...
මත්තලට ගුවන් යානා එන්නෙ නැතිලු.... අළුතෙන් දාපු කඩේකට වුනත් මිනිස්සු එනවා අඩුයි නෙ... ණය ටිකක් වැඩියෙන් දුන්නාම හරි යයි.
ආ... දණ ගැහුවයි කියන ගුරුතුමී එජාපෙන් ඡන්දෙ ඉල්ලන්න සූදානමක් තියෙනවලු..... එතකොට ඒ ගුරුතුමී දණ ගැස්සුවයි කිවු හිටිවන කවියා ? එයාට නාම යෝජනා හම්බ වෙයිද ?
ඒ මදැයි... ශ්රී ලංකන් ගුවන් සේවයට තෙල් ගහන්න ආණ්ඩුවෙන් බේල් අවුට් එකක් දෙනවලු..... ඔය මලදානෙ වහලා දාලා හිමින් එයා එකට ප්ලේන් ටිකත් දීලා මත්තල ප්රධාන ගුවන් තොටුපල කළානම්....
හැහ් හැහ්... බස් ගැමුණුවාගේ පුක බිම ඇනිලලු... බස් ඉස්ට්රැයික් එක ලත් තැනම ලොප් ලු... ලොකු තැනකින් ආපු ටෙලිෆෝන් කෝල් එකකින් පස්සෙ නැට්ට දෙපරංදෙ අස්සෙ ගහගෙන බස් ධාවනය කළාලු...
අන්තර්ජාලෙ පීරනකොට ඇල්කෙමියාගේ දිනපොත කියලා එකක් දැක්කා.... බැලින්නං ඒක ලියන්නෙ මම ලු...
අනේ මන්දා... අර දූෂණය වුනයි කියපු සුද්දි දූෂණය වෙලා නෑ කියන්නෙ....
Monday, July 1, 2013
ඔන්න ඕකයි ඇල්කෙමියගෙ දිනපොතට වුනේ………..
ලංකාවට ඇවිල්ලා අදට මාස තුනක් ගත වුනා... ඒ මාස තුනේ ලොකු ලොකු වෙනස්කම් කිහිපයක්ම මටත් සිද්ධ වුනා... පළමු මාස දෙකේම ජීවත් වුන පුංචි අම්මලාගේ ගෙදරින් අපේම කියලා වෙනම තැනකට ගියේ ජුනි මාසෙ මුල. අපේම කිවුවට අනුන්ගෙ.. මාසික කුලිය ගෙවලා අපේම කරගත්තා. ඒ නිසා ඒ වෙනුවෙන් බඩුගන්නයි - විකුණන්නයි පොළටයි ආවේ වගේ එහේ මෙහේ ඇවිදලා අත්යවශ්ය දේවල් ගන්න.. ආදී දේ වලට පහුගිය මාසෙම මහන්සි වුනා.. රසායන විද්යා ආයතනයෙ සතියකට දවස් තුනක් ඉගැන්වුවට, සමහර සතිවල දවස් හතර පහ යන්න වුනා.. ඒ අතරෙ මගේ සමාජ සේවා වැඩකටයුතුත් කරගන්න ලැබුණා.
අම්මා අසනීප තත්ත්වයෙන් හිටි නිසා තරමක් ඒ කටයුතු වලටත් මහන්සි වුනා. ඒ අතරේ ගිය සතියෙ මිතුරියකගෙ විවාහයත්, මගේ සමීපතම මිතුරෙකුගේ මවගේ තුන්මාසෙ දානෙටත් සහභාගි වෙන්න ඉඩ ලැබුණා.
මේ කරුණා කාරණා නිසා බ්ලොග් එක ලියන එක නම් හොඳටම අතපසු වුනා. පිටස්තරයා බලපු මගේ මිතුරෙක්, “කෝ යකෝ ආගන්තුකයා ?” කියලා අහුවාමයි මට මතක් වුනේ පිටස්තරයා කතාවෙ සෑහෙන ප්රමාණයක් ලියලා නෑ නේද ? කියලා.. තවත් පරිඡේද කිහිපයක් ලියලා තිබුණත්, ඉදිරියේදි පිටස්තරයා පොතක් වශයෙන් පළ කිරීමේ අභිලාශය ඇති නිසාම, අවසාන කොටස් කිහිපය පළ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කළා.
පසුගිය කාළයේ ම මම ලංකාවෙදි අත්දැකපු දේ බොහෝයි.
- වාහනයක් පදවනවා නම් ඒ පාරේ යන්නේ තමන් පමණක් බව හිතාගෙන පැදවිය යුතුයි.
- වම දකුණ කියා බේදයක් නැත. ඉඩ ඇති තැනකින් රිංගවිය යුතුය.
- පයින් ගමන් කරනවා නම් පදික මාරුව තිබෙන්නේ අපට මාරු වීමට නොවන බව සිතට ගත යුතුය.
- සමාජ සම්බන්ධතා ඇතිනම් ඕනෑම දෙයක් ඕනෑම තැනකින් කරගැනීමට හැකියි.
- මොන බලු වැඩේ කරගන්නත් හොඳින් ඇඳ පැළඳ ටයි එකක් දමාගෙන හෝ යා යුතුයි.
- සල්ලිවලට ගත නොහැකි දෙයක් නොමැති බව බොහෝ දෙනා සිතාගෙන සිටිති. තරමකට සත්යය.
- ලංකාවේ මිනිසුන් හැදීමට නොහැක. ඊට වඩා හොඳයි වඳුරන්ට අවකලනය කියලා දෙනවා...
- ලංකාවේ 90% ක් දෙනාට විනයක්, හැදියාවක්, සාරධර්ම යන කිසිවක වගක්වත් නොමැත.
- තව ගොඩක් දේ ඇත..... කියලා වැඩක් නැත...
මේ සියල්ල මගේ අත්දැකීම් වලින් ලබාගත් නිගමන වේ. කිසිදු නිගමනයක් එක් වතාවක අත්දුටු දත්ත වලින් ලබාගත් නිගමන නොවෙයි.. ඒ නිසා මේ ගැන ලොකු වගකීමකිනුයි කතා කරන්නෙ...
මේ ගැන වෙන වෙනම කතා කරනවා නම් සෑහෙන දිග ලිපියක් ලියන්න වේවි.
ඉදිරියේදී නම් මගේ බ්ලොග්කරණයේ අඩුවක් දකින්න ලැබේවි. මොකද කියනවා නම් අගෝස්තු මාසයේ ඉඳලා මීටත් වඩා කාර්ය බහුල වෙන නිසා.. ඒ ගැනත් පසුව කියන්නම්..
මුලදි නම් අදහසක් තිබුණා ඇල්කෙමියාගේ රසායනාගාරය වෙනම වෙබ් පිටුවකට රැගෙන ගිහින් මීට වඩා සේවයක් කරන්න.. නමුත් දැන් දැන් සිදුවන කාර්යබහුලත්වයත් එක්ක ඒ අදහස නම් පස්සට දාන්න වෙනවා.
ඉඩ ලැබෙන විදියට බ්ලොග් සටහන් ලියන්න අදහස් කරගෙන ඉන්නවා... බලමු...
කොහොම වුනත් මාසෙකට එකක්වත් ලියන්න බලමු....
ඔන්න ඔහොමයි ඇල්කෙමියගෙ දිනපොතට ගිය කල...
Saturday, June 8, 2013
දැඩි සුළං නිසා ධීවරයින් මරුට, ධීවර ඇමති සහ පරිසර ඇමති ඉල්ලා අස්වනු !
හිටිහැටියේම නොවුනත්, පසුගිය දින කීපය තුළ දිවයිනට දරුණු කාළගුණ තත්ත්වයක් ඇති වූයේ ධිවර ප්රජාවට සාමාජිකයින් 17 කට අධික සංඛ්යාවක් අහිමි කරමින්. ධීවර ප්රජාව මේ තත්ත්වයට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්නෙ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවට. ඒ කල් යලා බලා අනතුරු හැඟවීමේ නිවේදන නිකුත් නොකිරීම හේතුවෙන්. රූපවාහිනි පුවතක තිබූ පරිදි, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා තිබෙන්නේ දැඩි සුලං තත්ත්වය ආරම්භවෙලා පැය ගණනාවක් ගොස් දැඩි අනතුරු සිදු වූවාට පසු.. උදෑසන 3.00 ට අන්තර්ජාලයෙන්. මෙය ඇත්තටම ඇඟ බේරාගැනීමක් ලෙස මම දකිනවා. ලංකාවෙ වෙලාවෙන් උදෑසන තුනට අන්තර්ජාලයේ සැරිසරන්නෙ එක්කෝ නින්ද යන්නෙ නැති උදවිය, නැතිනම් රාත්රී සේවා මුරයන්හි යෙදෙන උදවිය. ධීවර ප්රජාවට අන්තර්ජාලයේ සැරිසරන්න වෙලාවක් වත් තිබුණත් හැකියාවක්වත් නැහැ. ඇමරිකාවේ කාලගුණ විද්යා අනාවැකි වලින් මේ බව දන්වා තිබුණත්, එය මෙතරම් දරුණු වේ යැයි සිතුවෙ නැති බව කාලගුණ විද්යා අධ්යක්ෂ තුමා පවසා තිබුණා.
දැන් මාස දෙකක් පමණ ලංකාවේ වෙසෙන මා දුටු ප්රධාන කරුණක් නම් අප බොහෝ දෙනෙක් අප කරන රැකියාවට සාධාරණයක් ඉෂ්ඨ නොකරන බව. මොනයම් හෝ ආකාරයකට යන්තම් තමන්ට කළ යුතු පමණ ඉටු කර එක්කෝ නිකං සිටීමට හෝ නිවෙස බලා යාමටයි බොහෝ දෙනෙකු ක්රියා කරන්නෙ. නමුත් තමන් රාජකාරිය කරන අවස්ථාවේ එයට 100% ක සාධාරණයක් ඉෂ්ඨ කරනවා නම්, අපේ රට බොහෝ දුර ගිහින්. බොහෝ දෙනෙක් නිතරම බලන්නේ මගෙන් කෙරන්න ඕන කුමක්ද යන්න නොවෙයි - මට ගන්න පුළුවන් කුමක්ද කියා. පසුගියදා පැවති පරිසර දින සම්මන්ත්රණයට සහභාගී වූ සිසු සිසුවියන් සංඛ්යාවට වඩා වැඩි ප්රමාණයක් ඊයේ පැවැත්වූ රැකියා අයැදුම්පත්ර සැකසීමට කියාදෙන වැඩමුළුවට සහභාගි වුනා. ඒ තමන්ගෙන් ලෝකයට සිදු වන්න තිබෙන දේට වඩා තමන්ට ගන්න තිබෙන දේ වැඩි නිසා... මෙයයි යතාර්ථය.
එසේම බොහෝ දෙනෙකු සුපරීක්ෂාකරීව කටයුතු කරන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් ගතහොත් අවම වශයෙන් තමන් ලියන ලිපියක හෝ වාර්තාවක නිරවද්යතාවය (අක්ෂර වින්යාසය හෝ ව්යාකරණ) පවා බොහොම සැහැල්ලුවෙනුයි ගණන් ගන්නෙ. යමක් කිරීමේදී ඉදිරිය බලා සැලසුම් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට යමක් සිදු වුනාම පැලැස්තර විසඳුමක් යොදන එකයි කෙරෙන්නෙ.. රසායන විද්යා ආයතනයේ ශිෂ්ය ශිෂ්යාවන් පවා දැන් දැන් පෙන්වා දුන් වැරදි පවා නැවත නැවත කරනු දකින්නට ලැබෙනවා. (ඒකට මගෙන් නම් සමාවක් නැහැ) බොහෝ දෙනා තමන්ගෙ වගකීම නිසි ආකාරව ඉෂ්ඨ කරන්නෙ නැත්තෙ ඇයි කියන දේ මට තේරුම් ගන්න බැහැ. නමුත් මේ ප්රජාවම තමන්ගෙ අයිතිවාසිකම් ලබා ගන්නට නම් නොපැකිලව පෙරට එනවා.
කොයි පැත්තද තෝරා ගන්නෙ ?
නමුත් මම මේ කියන්න යන්නෙ රාජකාරිමය යුතුකම් ඉෂ්ඨ කිරීම ගැනම නොවෙයි. ලෝකයට සිදු විය යුතු යුතුකම් ඉෂ්ඨ කිරීම පිළිබඳව. පසුගිය මාසය තුළ පමණක් ලෝක පරිසරය තුළ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වුනා. වායූගෝලීය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 400 ක අගය සටහන් වුනේ මැයි මාසයේදී. එසේම ඔක්ලහෝමාවල පිට පිටම සිදු වූ කුණුටු තත්ත්වය නිසා සියයකට ආසන්න පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙවුවා. යුරෝපයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා බොහෝ දෙනෙකු අවතැන් වී මහා දේපල හානියක් සිදු වුනා. ලංකාවේද අසාමාන්යා ලෙස දැඩි සුළං තත්ත්වයක් ඇති වූවා. මේවා කළින් කළට අසන්නට ලැබුණත්, දැන් දැන් ඉතා සුළභ කාරණා බවට පත් වෙලා තිබෙනවා. යුද්ධ කාළයේ සිදු වූ ඝාතන නිසා අපේ මානුෂිකත්වය සහ මෘදු බව තරමක් යටපත් වී ඇති සේම, මේ ස්වාභාවික විපත් දැන් දැන් සුළභව අසන්නට ලැබීම නිසා ඒවාත් සාමාන්ය දේ බවට පත් වෙමින් පවතිනවා.
නමුත් මේ හැද ඵලයකටම හේතුවක් තිබෙන බව ඔබ අප සැම දෙනාම දන්නවා. අපට මව්වරුන් දෙදෙනෙකු සිටිනවා. වැදු මහ සහ මිහි මව. වැදු මව අප කරන හැම දේම උපේක්ෂාවෙන් ඉවසා සිටියත්, මිහිමවට දැරිය හැකි සීමාවක් තිබෙනවා. මා පසුගියදා ලෝක පරිසර දිනයේ දේශනයකදී පැවසුවේ අපේ ලෝකයේ ජනගහන වර්ධනය අවශ්ය ප්රදාණයට වඩා ඉක්මවා ගොස් ඇති බවයි. මෙයට ප්රධාන හේතු වන්නේ සෞඛ්ය පහසුකම් සහ නවීන තාක්ෂණය දියුණු වීම නිසා ස්වභාවිකව පාලනය වන මරණ අනුපාතිකය අප කෘත්රිමව පාලනය කර තිබෙනවා. මේ නිසා ස්වභාවික උපත් ප්රමාණය ස්වභාවික මරණ සංඛ්යාවට වඩා වැඩි වෙනවා. සෑම තත්පර 13 කට වරක්ම ලෝක ජනගහනය 1 කින් ඉහළ යනවා. මේ නිසා අප පසුගිය ශතවර්ෂයට වඩා වැඩියෙන් ස්වභාවික සම්පත් සහ විශේෂයෙන්ම ඛණිජ තෙල් භාවිතය වැඩි කර තිබෙනවා. ජලවාෂ්ප, මෙතේන්, නයිට්රස් ඔක්සයිඩ් වැනි වායූන්ගෙන් හරිතාගාර ආචරණයට බලපෑම් ඇති වුවත්, කාබන් ඩයොක්සයිඩ් ප්රමාණය ඉහළ යාම හරහා මිනිසා විසින් සිදුකරන හරිතාගාර ආචාණය (Anthropogenic Green House Effect) වැඩි වෙමින් පවතිනවා.
මේ නිසා සිදුවන අයහපත් ප්රතිඵල බොහෝයි. වායුගෝලීය උණුසුම වැඩිවීම නිසා වැඩිපුර ජලවාශ්ප ප්රමාණයක් වායුගෝලයට එකතු වීම සිදු වනවා. මේ නිසා ඉහළ වායුගෝලය ප්රසාරණය වෙනවා පමණක් නොවෙයි, පෘථිවියේ සමහර ප්රදේශ වලට අධික වැසි ලැබීමට පටන් ගන්නවා මෙහි අනෙක් පැත්ත වන්නේ වැසි නොලැබෙන පෙදෙස් කාන්තාරකරණයට ලක්වීමයි. ධ්රැවීය අයිස් දියවීම, කඳුකර අයිස් තට්ටු දියවීම හරහා මුහුදට එකතුවන ජලය ප්රමාණය ඉහළ ගොස් මුහුදු මට්ටම ඉහළට යනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වෙන්නේ මුහුදුබඩ නගරවල. මේ නිසා මේ අයට ක්රම ක්රමයෙන් ඉහළ ගොඩබිම් කරා ඇදෙන්නට සිදු වෙනවා. එවිට අවශ්යවන ඉඩ සකසා ගැනීමට වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වෙනවා. එවිට සාමාන්යයෙන් වායුගෝලයෙන් උරා ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්රමාණය වත් උරා ගැනීමට අවශ්ය කාන්තාර ප්රමාණය නැති වෙනවා. මේ ආකාරයට මේ විෂම චක්රය දිගින් දිගටම ක්රියාත්මක වනවා. අවසානයේ අප සියළුම දෙනා වඳවී යන්න පුළුවනි.
මේ තත්ත්වය නැති කරන්න අප හැම දෙනාටම දායක වන්න පුළුවනි. අප භාවිතා කරන සම්පත්, බලශක්ති ප්රමාණය අවම කිරීම මගින් නිශ්පාදනය අඩු කරන්නට පුළුවනි. නිෂ්පාදනය අඩු වනවිට ඒවාට භාවිතාවන බලශක්තියත්, සම්පත් ප්රමාණයත් ඉතිරි වෙනවා. චක්රය අඩාල වෙනවා.
නමුත් අප හැම දෙනාම බොහොම ආත්මාර්ථකාමීයි. පාර අයිනේ ඇති කුණුරොඩු ප්රමාණයෙන්ම එය කියා පානවා. අප කී දෙනෙකු පආර අපද්රව්ය එකතු කරනවාද ? බස් ටිකට් එක වුනත් බස් එකෙන් බැස්ස ගමන්ම දමන්නේ පාරට, නැතහොත් කාණුවකට, ටොපියක් චොකලට් එකක් කෑවොත්, දිරා නොයන දවටනය වැටෙන්නෙත් මහපාරට... එමෙන්ම ඉවත ලන ප්ලාස්ටික් බෑගයක්, හෝ වෙනයම් අනවශ්ය දෙයක් එකතු වෙන්නෙත් පරිසරයටමයි. අපට මේ තත්ත්වය තනි තනියෙන් වෙනස් කරන්නට පුළුවනි. තමන් ගමනේ යෙදෙනවිට එකතුවන කුණු එක්කෝ කුණුබක්කියක් ඇති තැනක් එනතුරු හෝ නිවස කරා ගෙනයාමට එතරම් අපහසුවක් නැහැ. තමන්ට තමන් පාලනය කරගෙන එවැනි කුණු නිසි තැකට දමන්න පුළුවන් නම්, අවම වශයෙන් තරමක හෝ සහනයක් පරිසරයට දැනේවි.
අනුන්ට බැනලාවත්, අනුන් පිට වරද පටවලාවත් අපට දියුණු වෙන්න බැහැ. අප රැකෙන්න නම් අප දැන් දැන් ක්රියාත්මක වෙන්න අවශ්යයි. නැතිනම් ආසියාවේ ආශ්චර්යය මුහුදට හේදිලා යන දිනය තව දශක කීපයකට වඩා දුර නැති වෙන්න පුළුවනි. ඉතිං මේ ධීවරයින් මියගිය නිසා හෙට අනිද්දට ලිප්ටන් වට රවුමේ කීප දෙනෙක් එකතු වෙලා ධීවර ඇමතිටයි පරිසර ඇමතිටයි ඉල්ලා අස්වෙන්න කියලා විරෝධතාවයක් තියන්නත් බැරි නෑ...
අවවාදයට වඩා ආදර්ශය උතුම්.. අපි අපේ දරුවන්ට ආදර්ශයක් වෙමු.. එතකොට උන් අපේ පසුපස යමින් ඉගෙන ගනීවි.... ඒ වගේම සමාජයට තමන්ගෙන් වෙන්න තියෙන වගකීමත් ටික ටික හරි ඉටු කරන්න උත්සාහ ගනිමු...
Friday, June 7, 2013
ලෝක පරිසර දින සම්මන්ත්රණය.... කෝටි ගණන් වියදම් නොකළත්, යමක් කෙරුණ දවසක්....
ජුනි 05 වන දින ලෝක පරිසර දිනය වෙනුවෙන් ඉතාම කෙටි කලකින්, දින හතරක් තුළ සංවිධානය කළ දේශන පහකින් යුතු සම්මන්ත්රණයක් සංවිධානය කළේ පරිසරය ගැන රසායන විද්යා ආයතනයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස හැඟුන නිසායි. මේ පිළිබඳ අදහස රසායන විද්යා ආයතනයේ ප්රධානි මහාචාර්ය ජේ එන් ඕ ප්රනාන්දු මහතාට මම දැන්වුයේ සිකුරාදා පැවති ආචාර්යවරුන්ගේ හමුවේදී. ඒ මහතා එක පයින්ම කැමති වුනා. ඔයාම සංවිධානය කරන්න කියා ඒ බර මට පැටෙවුවත්, ඒක මම බොහොම ගෞරවයෙන් භාර ගත්තෙ එය සංවිධානය කරන එක ලෝකය වෙනුවෙන් කරන තවත් එක යුතුකමක් පමණක් නොවන බව මම දන්න නිසාමයි. පිටරට සිටිද්දි ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොග් අඩවියෙන් පරිසරය සුරැකීම මෙන්ම පරිසරයට හානි පැමිණවීමෙන් සිදුවිය හැකි අවැඩ පිළිබඳ අනන්ත කතා කළත් සක්රීයව යමක් කිරීමේ පහසුකම මට තිබුණෙ නැහැ. ඒ පිටරටක මම ජීවත් වුන නිසාම... වෙනත් රටවල ජීවත් වෙද්දි තමන්ට යමක් සංවිධානය කිරීම අපහසු බව මට තේරුණේ වරක් දෙවරක් නොවෙයි. නමුත් තමන්ගෙ මවු රටේදී තමන්ට අවශ්යතාවය තිබෙනවා නම් එය කිරීම ඉතාම පහසු බව මේකෙන්ම මට වැටහුනා.
ඉතින් රසායන විද්යා ආයතනයේ සිටි ආචාර්ය මහාචාර්යවරුන්ට මගේ අදහස දැනුම් දුන් වහාම ඔවුනුත් එයට දායක වන්න කැමැත්ත පළ කළේ එක පයින්ම. එපමණක් නොවෙයි එදින නිවාඩු ලබාගෙන සිටි මහාචාරය දසරත ගුණවර්ධන මහතා පවා පසුව තමන් දේශනයක් කිරීමට කැමැති බව ප්රකාශ කළා. ඒ නිසා මුලින් දේශන හතරක් ව තිබූ සම්මන්ත්රණය පසුව දේශන පහක් දක්වා දීර්ඝ වුනා.
මුලින් පත්රිකා මගින් රසායන විද්යා ආයතනයේ සිසු සිසුවියන්ට මේ බව දැනුම් දුන්නත්, සිසුන්ට ඒ ගැන දැනගන්න තිබුණ කාළය මදි වුනාද මන්දා... බලාපොරොත්තු වුන තරම් සහභාගිත්වයක් ලැබුණෙ නැහැ.. නමුත් වෙනත් පන්තියක සිටි භක්ති ගීත පුහුණු වෙමින් හිටපු සිසු සිසුවියන් ටිකක් ඇදලා අරගෙන යන්තම් සෙනඟ සම්පූර්ණ කර ගත්තා...
නමුත් දේශන මාලාව යන අතරවාරයේ මට තේරුණා මේ දේශනවල වටිනාකම. මා පවා නොදත් බොහෝ දේවල් ඒ දේශනවලින් ඉගෙන ගත්තා.. මගේ දේශනය තිබුණෙ අන්තිමට.. කෙසේ වුවත් මේ දේශන මාලාව මට හිතුන පරිදි සාර්ථකයි..
මේ දේශන මාලාව ගැන පූර්ව ප්රචාරයක් ලබා දුන් ලේක්හවුස් ආයතනයේ නලීන් දිල්රුක්ෂ අයියාට ස්තුතිය පිරිනැමීම කළ යුතුමයි. ඒ වගේම දිනමිණ සහ ඩේලි නිවුස් ආයතන දෙකෙන් පැමිණි චින්තා රණසිංහ සහ ඉෂාරා මුදුගමුව මාධ්යවේදිනියන් දෙදෙනාටත් මගේ ස්තුතිය පිරිණමනවා.
ඉදිරියේදීත් මෙවැනි දේශන සංවිධානය කිරීමට අපේ ආචාර්ය මණ්ඩලය එකඟ වුනා.. සමහරවිට අපි දුරස්ථ පාසැල් වලට ගොස් එදිනෙදා ජීවිත හැඩගස්වා ගැනීමට රසායන විද්යාවෙන් සිදුවන මෙහෙයයන්, පරිසරය සුරැකීම, ආහාර පුරුදු වැනි දෑ පිළිබඳ සම්මන්ත්රණ පවත්වන්න අපට පුළුවන් වේවි...
මේ තියෙන්නෙ දිනමිණේ තිබුණ විස්තරේ...
Monday, June 3, 2013
ලෝක පරිසර දිනය ජුනි 05 දා... සැමට කෙරෙන ආරාධනයයි....
අනාගත ලෝකය කෙසේ වේ දැයි තවමත් කිසිවෙකුට අනුමාන කළ නොහැක. නමුත් මේ යන ආකාරයට එය අනිවාර්යයෙන්ම අධිකව දූෂණය වූ පරිසරයක් ඇති, ජලය සහ පිරිසිදු වාතය සමහරවිට සුඛෝපභෝගී අවශ්යතා බවට පත් විය හැකි, සතුන් ගහකොළ විරළ වූ එකක් විය හැකි බව පමණක් සිතිය හැකිය.
ජුනි 05 වනදා ලෝක පරිසර දිනයයි. ඇල්කෙමියාගේ රසායනාගාරයෙන් පරිසරය සුරැකීමේ අවශ්යතාව පුන පුනා ප්රකාශ කෙරුණද, ඒ වෙනුවෙන් ක්රියාකාරීව යමක් කළ නොහැකිව තිබුණේ විදේශයන්හිදී සංවිධානය කළ හැකිව තිබූ දෑ අල්පයක් වී තිබීම නිසායි. නමුත් දැන් යමක් කළ හැකි තත්ත්වයක් ඇති නිසාම, රසායන විද්යා ආයතනයේදී ජුනි 05 වන දින සවස 2 සිට 4 දක්වා පැවැත්වෙන අනාගත ලෝකය වෙනුවෙන් පරිසරය සුරකිමු යන තේමාව ඔස්සේ ගෙන එනු ලබන දේශන මාලාවට කෙරෙන ආරාධනයයි මේ.
මේ දේශන මාලාවෙන් හි මාතෘකා වනුයේ..
- පලිබෝධනාශකවල පාරිසරික ආචරණ
- පරිසරය සහ කසළ කළමණාකරණය
- පරිසරය සුරැකීමේ පාරම්පරික පසුබිම
- කාබන් ඩයොක්සයිඩ් සතුරෙක්ද? මිතුරෙක්ද?
යන විෂයයන් වන අතර ඒ සියල්ල රසායන විද්යා ආයතනයේ කථිකාචාර්යවරුන් විසින් පවත්වනු ලබයි.
පරිසරය පිළිබඳ ඇල්මක් ඇති, යමක් ඉගෙන ගැනීමට කැමැත්ත ඇති අයට මේ දේශන මාලාවට සහභාගී වන මෙන් ආරාධනා කර සිටිමි.
දේශන මාලාව ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර පැමිණෙන සැම සාදරයෙන් පිළිගනු ලැබේ...
ස්ථානය : ශ්රී ලංකා රසායන විද්යා ආයතනය 341/22 ඇඩමැන්ටේන් නිවස, කෝට්ටේ පාර වැලිකඩ රාජගිරිය.
( සරණ පාරේ ජාතික දියවැඩියා මධ්යස්ථානය අසළ පාරෙන් පැමිණිය හැකිය)
දිනය : 2013 ජුනි 05 දා
වෙලාව : සවස 2.00 සිට 4.00 දක්වා
සියල්ලෝම පැමිණෙත්වා.....................
Subscribe to:
Posts (Atom)







