Monday, July 1, 2013
ඔන්න ඕකයි ඇල්කෙමියගෙ දිනපොතට වුනේ………..
Saturday, June 8, 2013
දැඩි සුළං නිසා ධීවරයින් මරුට, ධීවර ඇමති සහ පරිසර ඇමති ඉල්ලා අස්වනු !
හිටිහැටියේම නොවුනත්, පසුගිය දින කීපය තුළ දිවයිනට දරුණු කාළගුණ තත්ත්‍වයක් ඇති වූයේ ධිවර ප්‍රජාවට සාමාජිකයින් 17 කට අධික සංඛ්‍යාවක් අහිමි කරමින්. ධීවර ප්‍රජාව මේ තත්ත්‍වයට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්නෙ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට. ඒ කල් යලා බලා අනතුරු හැඟවීමේ නිවේදන නිකුත් නොකිරීම හේතුවෙන්. රූපවාහිනි පුවතක තිබූ පරිදි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා තිබෙන්නේ දැඩි සුලං තත්ත්‍වය ආරම්භවෙලා පැය ගණනාවක් ගොස් දැඩි අනතුරු සිදු වූවාට පසු.. උදෑසන 3.00 ට අන්තර්ජාලයෙන්. මෙය ඇත්තටම ඇඟ බේරාගැනීමක් ලෙස මම දකිනවා. ලංකාවෙ වෙලාවෙන් උදෑසන තුනට අන්තර්ජාලයේ සැරිසරන්නෙ එක්කෝ නින්ද යන්නෙ නැති උදවිය, නැතිනම් රාත්‍රී සේවා මුරයන්හි යෙදෙන උදවිය. ධීවර ප්‍රජාවට අන්තර්ජාලයේ සැරිසරන්න වෙලාවක් වත් තිබුණත් හැකියාවක්වත් නැහැ. ඇමරිකාවේ කාලගුණ විද්‍යා අනාවැකි වලින් මේ බව දන්වා තිබුණත්, එය මෙතරම් දරුණු වේ යැයි සිතුවෙ නැති බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ තුමා පවසා තිබුණා.
දැන් මාස දෙකක් පමණ ලංකාවේ වෙසෙන මා දුටු ප්‍රධාන කරුණක් නම් අප බොහෝ දෙනෙක් අප කරන රැකියාවට සාධාරණයක් ඉෂ්ඨ නොකරන බව. මොනයම් හෝ ආකාරයකට යන්තම් තමන්ට කළ යුතු පමණ ඉටු කර එක්කෝ නිකං සිටීමට හෝ නිවෙස බලා යාමටයි බොහෝ දෙනෙකු ක්‍රියා කරන්නෙ. නමුත් තමන් රාජකාරිය කරන අවස්ථාවේ එයට 100% ක සාධාරණයක් ඉෂ්ඨ කරනවා නම්, අපේ රට බොහෝ දුර ගිහින්. බොහෝ දෙනෙක් නිතරම බලන්නේ මගෙන් කෙරන්න ඕන කුමක්ද යන්න නොවෙයි - මට ගන්න පුළුවන් කුමක්ද කියා. පසුගියදා පැවති පරිසර දින සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසු සිසුවියන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඊයේ පැවැත්වූ රැකියා අයැදුම්පත්‍ර සැකසීමට කියාදෙන වැඩමුළුවට සහභාගි වුනා. ඒ තමන්ගෙන් ලෝකයට සිදු වන්න තිබෙන දේට වඩා තමන්ට ගන්න තිබෙන දේ වැඩි නිසා... මෙයයි යතාර්ථය.
එසේම බොහෝ දෙනෙකු සුපරීක්‍ෂාකරීව කටයුතු කරන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් ගතහොත් අවම වශයෙන් තමන් ලියන ලිපියක හෝ වාර්තාවක නිරවද්‍යතාවය (අක්‍ෂර වින්‍යාසය හෝ ව්‍යාකරණ) පවා බොහොම සැහැල්ලුවෙනුයි ගණන් ගන්නෙ. යමක් කිරීමේදී ඉදිරිය බලා සැලසුම් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට යමක් සිදු වුනාම පැලැස්තර විසඳුමක් යොදන එකයි කෙරෙන්නෙ.. රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා දැන් දැන් පෙන්වා දුන් වැරදි පවා නැවත නැවත කරනු දකින්නට ලැබෙනවා. (ඒකට මගෙන් නම් සමාවක් නැහැ) බොහෝ දෙනා තමන්ගෙ වගකීම නිසි ආකාරව ඉෂ්ඨ කරන්නෙ නැත්තෙ ඇයි කියන දේ මට තේරුම් ගන්න බැහැ. නමුත් මේ ප්‍රජාවම තමන්ගෙ අයිතිවාසිකම් ලබා ගන්නට නම් නොපැකිලව පෙරට එනවා.
කොයි පැත්තද තෝරා ගන්නෙ ?
නමුත් මම මේ කියන්න යන්නෙ රාජකාරිමය යුතුකම් ඉෂ්ඨ කිරීම ගැනම නොවෙයි. ලෝකයට සිදු විය යුතු යුතුකම් ඉෂ්ඨ කිරීම පිළිබඳව. පසුගිය මාසය තුළ පමණක් ලෝක පරිසරය තුළ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වුනා. වායූගෝලීය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 400 ක අගය සටහන් වුනේ මැයි මාසයේදී. එසේම ඔක්ලහෝමාවල පිට පිටම සිදු වූ කුණුටු තත්ත්‍වය නිසා සියයකට ආසන්න පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙවුවා. යුරෝපයේ ඇති වූ ගංවතුර තත්ත්‍වය නිසා බොහෝ දෙනෙකු අවතැන් වී මහා දේපල හානියක් සිදු වුනා. ලංකාවේද අසාමාන්‍යා ලෙස දැඩි සුළං තත්ත්‍වයක් ඇති වූවා. මේවා කළින් කළට අසන්නට ලැබුණත්, දැන් දැන් ඉතා සුළභ කාරණා බවට පත් වෙලා තිබෙනවා. යුද්ධ කාළයේ සිදු වූ ඝාතන නිසා අපේ මානුෂිකත්‍වය සහ මෘදු බව තරමක් යටපත් වී ඇති සේම, මේ ස්වාභාවික විපත් දැන් දැන් සුළභව අසන්නට ලැබීම නිසා ඒවාත් සාමාන්‍ය දේ බවට පත් වෙමින් පවතිනවා.
නමුත් මේ හැද ඵලයකටම හේතුවක් තිබෙන බව ඔබ අප සැම දෙනාම දන්නවා. අපට මව්වරුන් දෙදෙනෙකු සිටිනවා. වැදු මහ සහ මිහි මව. වැදු මව අප කරන හැම දේම උපේක්‍ෂාවෙන් ඉවසා සිටියත්, මිහිමවට දැරිය හැකි සීමාවක් තිබෙනවා. මා පසුගියදා ලෝක පරිසර දිනයේ දේශනයකදී පැවසුවේ අපේ ලෝකයේ ජනගහන වර්ධනය අවශ්‍ය ප්‍රදාණයට වඩා ඉක්මවා ගොස් ඇති බවයි. මෙයට ප්‍රධාන හේතු වන්නේ සෞඛ්‍ය පහසුකම් සහ නවීන තාක්‍ෂණය දියුණු වීම නිසා ස්වභාවිකව පාලනය වන මරණ අනුපාතිකය අප කෘත්‍රිමව පාලනය කර තිබෙනවා. මේ නිසා ස්වභාවික උපත් ප්‍රමාණය ස්වභාවික මරණ සංඛ්‍යාවට වඩා වැඩි වෙනවා. සෑම තත්පර 13 කට වරක්ම ලෝක ජනගහනය 1 කින් ඉහළ යනවා. මේ නිසා අප පසුගිය ශතවර්ෂයට වඩා වැඩියෙන් ස්වභාවික සම්පත් සහ විශේෂයෙන්ම ඛණිජ තෙල් භාවිතය වැඩි කර තිබෙනවා. ජලවාෂ්ප, මෙතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායූන්ගෙන් හරිතාගාර ආචරණයට බලපෑම් ඇති වුවත්, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම හරහා මිනිසා විසින් සිදුකරන හරිතාගාර ආචාණය (Anthropogenic Green House Effect) වැඩි වෙමින් පවතිනවා.
මේ නිසා සිදුවන අයහපත් ප්‍රතිඵල බොහෝයි. වායුගෝලීය උණුසුම වැඩිවීම නිසා වැඩිපුර ජලවාශ්ප ප්‍රමාණයක් වායුගෝලයට එකතු වීම සිදු වනවා. මේ නිසා ඉහළ වායුගෝලය ප්‍රසාරණය වෙනවා පමණක් නොවෙයි, පෘථිවියේ සමහර ප්‍රදේශ වලට අධික වැසි ලැබීමට පටන් ගන්නවා මෙහි අනෙක් පැත්ත වන්නේ වැසි නොලැබෙන පෙදෙස් කාන්තාරකරණයට ලක්වීමයි. ධ්‍රැවීය අයිස් දියවීම, කඳුකර අයිස් තට්ටු දියවීම හරහා මුහුදට එකතුවන ජලය ප්‍රමාණය ඉහළ ගොස් මුහුදු මට්ටම ඉහළට යනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වෙන්නේ මුහුදුබඩ නගරවල. මේ නිසා මේ අයට ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොඩබිම් කරා ඇදෙන්නට සිදු වෙනවා. එවිට අවශ්‍යවන ඉඩ සකසා ගැනීමට වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වෙනවා. එවිට සාමාන්‍යයෙන් වායුගෝලයෙන් උරා ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වත් උරා ගැනීමට අවශ්‍ය කාන්තාර ප්‍රමාණය නැති වෙනවා. මේ ආකාරයට මේ විෂම චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වනවා. අවසානයේ අප සියළුම දෙනා වඳවී යන්න පුළුවනි.
මේ තත්ත්‍වය නැති කරන්න අප හැම දෙනාටම දායක වන්න පුළුවනි. අප භාවිතා කරන සම්පත්, බලශක්ති ප්‍රමාණය අවම කිරීම මගින් නිශ්පාදනය අඩු කරන්නට පුළුවනි. නිෂ්පාදනය අඩු වනවිට ඒවාට භාවිතාවන බලශක්තියත්, සම්පත් ප්‍රමාණයත් ඉතිරි වෙනවා. චක්‍රය අඩාල වෙනවා.
නමුත් අප හැම දෙනාම බොහොම ආත්මාර්ථකාමීයි. පාර අයිනේ ඇති කුණුරොඩු ප්‍රමාණයෙන්ම එය කියා පානවා. අප කී දෙනෙකු පආර අපද්‍රව්‍ය එකතු කරනවාද ? බස් ටිකට් එක වුනත් බස් එකෙන් බැස්ස ගමන්ම දමන්නේ පාරට, නැතහොත් කාණුවකට, ටොපියක් චොකලට් එකක් කෑවොත්, දිරා නොයන දවටනය වැටෙන්නෙත් මහපාරට... එමෙන්ම ඉවත ලන ප්ලාස්ටික් බෑගයක්, හෝ වෙනයම් අනවශ්‍ය දෙයක් එකතු වෙන්නෙත් පරිසරයටමයි. අපට මේ තත්ත්‍වය තනි තනියෙන් වෙනස් කරන්නට පුළුවනි. තමන් ගමනේ යෙදෙනවිට එකතුවන කුණු එක්කෝ කුණුබක්කියක් ඇති තැනක් එනතුරු හෝ නිවස කරා ගෙනයාමට එතරම් අපහසුවක් නැහැ. තමන්ට තමන් පාලනය කරගෙන එවැනි කුණු නිසි තැකට දමන්න පුළුවන් නම්, අවම වශයෙන් තරමක හෝ සහනයක් පරිසරයට දැනේවි.
අනුන්ට බැනලාවත්, අනුන් පිට වරද පටවලාවත් අපට දියුණු වෙන්න බැහැ. අප රැකෙන්න නම් අප දැන් දැන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. නැතිනම් ආසියාවේ ආශ්චර්යය මුහුදට හේදිලා යන දිනය තව දශක කීපයකට වඩා දුර නැති වෙන්න පුළුවනි. ඉතිං මේ ධීවරයින් මියගිය නිසා හෙට අනිද්දට ලිප්ටන් වට රවුමේ කීප දෙනෙක් එකතු වෙලා ධීවර ඇමතිටයි පරිසර ඇමතිටයි ඉල්ලා අස්වෙන්න කියලා විරෝධතාවයක් තියන්නත් බැරි නෑ...
අවවාදයට වඩා ආදර්ශය උතුම්.. අපි අපේ දරුවන්ට ආදර්ශයක් වෙමු.. එතකොට උන් අපේ පසුපස යමින් ඉගෙන ගනීවි.... ඒ වගේම සමාජයට තමන්ගෙන් වෙන්න තියෙන වගකීමත් ටික ටික හරි ඉටු කරන්න උත්සාහ ගනිමු...
Friday, June 7, 2013
ලෝක පරිසර දින සම්මන්ත්‍රණය.... කෝටි ගණන් වියදම් නොකළත්, යමක් කෙරුණ දවසක්....
ජුනි 05 වන දින ලෝක පරිසර දිනය වෙනුවෙන් ඉතාම කෙටි කලකින්, දින හතරක් තුළ සංවිධානය කළ දේශන පහකින් යුතු සම්මන්ත්‍රණයක් සංවිධානය කළේ පරිසරය ගැන රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස හැඟුන නිසායි. මේ පිළිබඳ අදහස රසායන විද්‍යා ආයතනයේ ප්‍රධානි මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතාට මම දැන්වුයේ සිකුරාදා පැවති ආචාර්යවරුන්ගේ හමුවේදී. ඒ මහතා එක පයින්ම කැමති වුනා. ඔයාම සංවිධානය කරන්න කියා ඒ බර මට පැටෙවුවත්, ඒක මම බොහොම ගෞරවයෙන් භාර ගත්තෙ එය සංවිධානය කරන එක ලෝකය වෙනුවෙන් කරන තවත් එක යුතුකමක් පමණක් නොවන බව මම දන්න නිසාමයි. පිටරට සිටිද්දි ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොග් අඩවියෙන් පරිසරය සුරැකීම මෙන්ම පරිසරයට හානි පැමිණවීමෙන් සිදුවිය හැකි අවැඩ පිළිබඳ අනන්ත කතා කළත් සක්‍රීයව යමක් කිරීමේ පහසුකම මට තිබුණෙ නැහැ. ඒ පිටරටක මම ජීවත් වුන නිසාම... වෙනත් රටවල ජීවත් වෙද්දි තමන්ට යමක් සංවිධානය කිරීම අපහසු බව මට තේරුණේ වරක් දෙවරක් නොවෙයි. නමුත් තමන්ගෙ මවු රටේදී තමන්ට අවශ්‍යතාවය තිබෙනවා නම් එය කිරීම ඉතාම පහසු බව මේකෙන්ම මට වැටහුනා.
ඉතින් රසායන විද්‍යා ආයතනයේ සිටි ආචාර්ය මහාචාර්යවරුන්ට මගේ අදහස දැනුම් දුන් වහාම ඔවුනුත් එයට දායක වන්න කැමැත්ත පළ කළේ එක පයින්ම. එපමණක් නොවෙයි එදින නිවාඩු ලබාගෙන සිටි මහාචාරය දසරත ගුණවර්ධන මහතා පවා පසුව තමන් දේශනයක් කිරීමට කැමැති බව ප්‍රකාශ කළා. ඒ නිසා මුලින් දේශන හතරක් ව තිබූ සම්මන්ත්‍රණය පසුව දේශන පහක් දක්වා දීර්ඝ වුනා.
මුලින් පත්‍රිකා මගින් රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන්ට මේ බව දැනුම් දුන්නත්, සිසුන්ට ඒ ගැන දැනගන්න තිබුණ කාළය මදි වුනාද මන්දා... බලාපොරොත්තු වුන තරම් සහභාගිත්‍වයක් ලැබුණෙ නැහැ.. නමුත් වෙනත් පන්තියක සිටි භක්ති ගීත පුහුණු වෙමින් හිටපු සිසු සිසුවියන් ටිකක් ඇදලා අරගෙන යන්තම් සෙනඟ සම්පූර්ණ කර ගත්තා...
නමුත් දේශන මාලාව යන අතරවාරයේ මට තේරුණා මේ දේශනවල වටිනාකම. මා පවා නොදත් බොහෝ දේවල් ඒ දේශනවලින් ඉගෙන ගත්තා.. මගේ දේශනය තිබුණෙ අන්තිමට.. කෙසේ වුවත් මේ දේශන මාලාව මට හිතුන පරිදි සාර්ථකයි..
මේ දේශන මාලාව ගැන පූර්ව ප්‍රචාරයක් ලබා දුන් ලේක්හවුස් ආයතනයේ නලීන් දිල්රුක්‍ෂ අයියාට ස්තුතිය පිරිනැමීම කළ යුතුමයි. ඒ වගේම දිනමිණ සහ ඩේලි නිවුස් ආයතන දෙකෙන් පැමිණි චින්තා රණසිංහ සහ ඉෂාරා මුදුගමුව මාධ්‍යවේදිනියන් දෙදෙනාටත් මගේ ස්තුතිය පිරිණමනවා.
ඉදිරියේදීත් මෙවැනි දේශන සංවිධානය කිරීමට අපේ ආචාර්ය මණ්ඩලය එකඟ වුනා.. සමහරවිට අපි දුරස්ථ පාසැල් වලට ගොස් එදිනෙදා ජීවිත හැඩගස්වා ගැනීමට රසායන විද්‍යාවෙන් සිදුවන මෙහෙයයන්, පරිසරය සුරැකීම, ආහාර පුරුදු වැනි දෑ පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වන්න අපට පුළුවන් වේවි...
මේ තියෙන්නෙ දිනමිණේ තිබුණ විස්තරේ...
Monday, June 3, 2013
ලෝක පරිසර දිනය ජුනි 05 දා... සැමට කෙරෙන ආරාධනයයි....
අනාගත ලෝකය කෙසේ වේ දැයි තවමත් කිසිවෙකුට අනුමාන කළ නොහැක. නමුත් මේ යන ආකාරයට එය අනිවාර්යයෙන්ම අධිකව දූෂණය වූ පරිසරයක් ඇති, ජලය සහ පිරිසිදු වාතය සමහරවිට සුඛෝපභෝගී අවශ්‍යතා බවට පත් විය හැකි, සතුන් ගහකොළ විරළ වූ එකක් විය හැකි බව පමණක් සිතිය හැකිය.
ජුනි 05 වනදා ලෝක පරිසර දිනයයි. ඇල්කෙමියාගේ රසායනාගාරයෙන් පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පුන පුනා ප්‍රකාශ කෙරුණද, ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව යමක් කළ නොහැකිව තිබුණේ විදේශයන්හිදී සංවිධානය කළ හැකිව තිබූ දෑ අල්පයක් වී තිබීම නිසායි. නමුත් දැන් යමක් කළ හැකි තත්ත්‍වයක් ඇති නිසාම, රසායන විද්‍යා ආයතනයේදී ජුනි 05 වන දින සවස 2 සිට 4 දක්වා පැවැත්වෙන අනාගත ලෝකය වෙනුවෙන් පරිසරය සුරකිමු යන තේමාව ඔස්සේ ගෙන එනු ලබන දේශන මාලාවට කෙරෙන ආරාධනයයි මේ.
මේ දේශන මාලාවෙන් හි මාතෘකා වනුයේ..
- පලිබෝධනාශකවල පාරිසරික ආචරණ
- පරිසරය සහ කසළ කළමණාකරණය
- පරිසරය සුරැකීමේ පාරම්පරික පසුබිම
- කාබන් ඩයොක්සයිඩ් සතුරෙක්ද? මිතුරෙක්ද?
යන විෂයයන් වන අතර ඒ සියල්ල රසායන විද්‍යා ආයතනයේ කථිකාචාර්යවරුන් විසින් පවත්වනු ලබයි.
පරිසරය පිළිබඳ ඇල්මක් ඇති, යමක් ඉගෙන ගැනීමට කැමැත්ත ඇති අයට මේ දේශන මාලාවට සහභාගී වන මෙන් ආරාධනා කර සිටිමි.
දේශන මාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර පැමිණෙන සැම සාදරයෙන් පිළිගනු ලැබේ...
ස්ථානය : ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය 341/22 ඇඩමැන්ටේන් නිවස, කෝට්ටේ පාර වැලිකඩ රාජගිරිය.
( සරණ පාරේ ජාතික දියවැඩියා මධ්‍යස්ථානය අසළ පාරෙන් පැමිණිය හැකිය)
දිනය : 2013 ජුනි 05 දා
වෙලාව : සවස 2.00 සිට 4.00 දක්වා
සියල්ලෝම පැමිණෙත්වා.....................
Sunday, May 12, 2013
400 ට බොහොම ළඟයි...... මොනවද ? කියමු බලන්න......
දැන් නම් 400 ආසන්නයටම ඇවිත්.....
මේ මාසෙ 400 පනියි වගේ.....
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.....
මොකද්ද මේ 400 ?
Friday, May 10, 2013
දිය මතුපිට රබර් බෝල........................... කෙටි විද්‍යා ප්‍රබන්ධය
“මහාචාර්යතුමා.... තමුන්නාන්සෙට උගත්කම තිබුණට මොළේ කඳුලක්වත් නැති මිනිහෙක්....”
නියෝජ්‍ය ඇමතිවරයා අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය නාරද වෛද්‍යසේකර මහතාට කළකිරුණු හැඟීමක් මුහුණට ආරූඪ කරගෙන දොස් නැඟුවේය.
“මම කිවුවෙ ඇත්ත මිස්ටර් ජයසේකර...”
“මිස්ටර් ජයසේකර ? තමුන්නාන්සෙට මම කියලා තියෙනව නේද මට මිස්ටර් ජයසේකර කියලා කියන්න ඕන නෑ කියලා... එක්කෝ ඇමතිතුමා කියනවා... නැත්තං සර් කියනවා අනිත් මිනිස්සු වගේ.....”
දහය ශ්‍රේණිය පමණක් සමත් මැර බලයෙන් ඡන්දය දිනා පාර්ලිමේන්තුවට ආ නියෝජ්‍ය ඇමති සරත් ජයසේකර ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ලොව පුරා රටවල් රාශියක විවිධාකාර උසස් තනතුරු දැරූ මහාචාර්ය වෛද්‍යසේකර වෙත නිර්දය ලෙස කඩා පැන්නේය....
“මම තමුන්නාන්සෙ මේ අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට බඳව ගත්තෙ ජනාධිපතිතුමියගෙ උවමනාවට මිසක් මට උපදෙස් ගන්න නෙවෙයි... මට උපදෙස් ගන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා... තමුන්නාන්සෙගෙ පර්යේෂණයෙ ප්‍රතිඵල ඕන කෙනෙකුට පෙන්වගන්න... මට ඔය පර්යේෂණයෙන් ලාභයක් නෑ.. මට ලැබෙන්නෙ පාඩුවක් විතරයි... මම තමුන්නාන්සෙට කිවුවෙ නෑනෙ ඔය පර්යේෂණය කරන්න කියලා.. තමුන්නාන්සෙ පත් කළේ අමාත්‍යංශයට උපදෙස් දෙන්න.... මේ පර්යේෂණය ඕකට අදාල නෑ...”
“එහෙම කියන්න එපා ඇමතිතුමා.. මේ නිසා රටට කොච්චරක් කියලා සල්ලි ඉතිරි වෙනවද ?”
“රටට සල්ලි ඉතුරු කරලා කාටද හලෝ හරි ගියේ ? බලනවා.. තමුන්නාන්සෙ අවුරුදු හතරක් විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙනගෙන.. තවත් අවුරුදු ගානක් ආචාර්ය උපාධිය කරලා... රට රටවල ගිහින් වැඩ කරලා.. මොනවද හම්බ කළේ ? ආ ? අඩුම ගානෙ ඉන්න ගෙයක්වත් තියෙනවද ? පාරට පැස්සම මිනිස්සු තමුන්නාන්සෙ අඩුම ගානෙ කවුද කියලවත් දන්නවද ? මොකද්ද තියෙන පිළිගැනීම ?”
“බලනවා.. මම පාරට බහින්නෙ ආරක්‍ෂකයො පිරිවරාගෙන... කිසිම සාමාන්‍ය මිනිහෙකුට මගේ ළඟටවත් එන්න බෑ ඒ අයගෙ අවසරයක් නැතුව... පාරෙ යනකොට අනිත් වාහන ඔක්කෝම අයින් කර ගන්නවා මම එනකොට.. ටී වී එකේම මගේ ගැන කී පාරක් කියනවද ? ලංකාවෙම මිනිස්සු මගේ නම කිවුව ගමන් කවුද කියලා දන්නවා... මම කාගෙන් හරි උදව්වක් ඉල්ලුවාම ඒ මිනිස්සු දෙපාරක් හිතන්නෙ නැතුව.. හරි සර්... මොනවද වෙන්න ඕන කියලා අහනවා.... බලනවා... ඔය කියන එක දෙයක්වත් තමුන්නාන්සෙට තියෙනව ද ?”
“ඔන්න ඕකයි මහාචාර්යතුමා මම තමුන්නාන්සෙට කියන්නෙ..... උගත්කම තිබුණට මදි... ඒක හරියට පාවිච්චි කරන්න මොලේ තියෙන්න ඕන.... තමුන්නාන්සෙට මොළේ නෑ...... මට උගත්කම නෑ... කවුද දිනුම් ?”
මහාචාර්යවරයා නිරුත්තර විය.. ඔහුට සිය සගයෙකු විසින් සුහද හමුවකදී පැවසූ යමක් මතක් විය..
“නාරද.... මෝඩයොත් එක්ක වාද කරන එක පරිස්සමින් කරන්න... මොකද උන් අපිව උන්ගෙ තත්ත්‍වයට අරගෙන බිමට දාලා අපට ගහන්න යනවා.. අපි ඒ තත්ත්‍වයට ගියාම අපි අසරණයි... මොකද අපට මෝඩයෝ වගේ හිතන්න බැරි නිසා.. ඔය උපදේශක තනතුර ගත්තට කමක් නෑ... නමුත් ඕකෙ අවදානම හොඳට හිතට අරගෙන වැඩ කරන්න... ඔයා වැඩ කරන්නෙ කාටද කියලා හොඳට මතක තියාගන්න... මෙතන තියෙන්නෙ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි.. පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්....”
“ඔබතුමා දිනුම්... හරි... මම මේ පර්යේෂණය නවත්වන්නම්....”
“නැවැත්තුවට කමක් නෑ.. මේවා ඉහළ තැන්වලට යවන්නෙ නැතුව... මොකද අපිට බොහොම සමාදානෙන් මෙතන වැඩ කරන්න තියෙන අවස්ථාව නැති කරගන්න ඕන නෑනෙ.. ඔබතුමාට අවශ්‍ය නම් මම අළුතෙන් වාහනයක් ගන්න කටයුතු කරවන්නම්... දැන් පාවිච්චි කරන වාහනෙත් ඉතිං පරණයිනෙ... ආණ්ඩුවට කියන පරක්කුවෙන් වාහනයක් ගෙන්වලා දෙන්න පුළුවන්... “
“කමක් නෑ ඇමතිතුමා... මේ තියෙන වාහනේ මට හොඳටම ප්‍රමාණවත්.... මම ඉතිං වයසක මනුස්සයා... රෝද හතර හරියට කැරකුණාම ඇති...”
“ඕකනෙ කියන්නෙ මහාචාර්යතුමා... ඔබතුමාට හිතන්න බෑ කියලා... පින නෑ... පින නෑ... කමක් නෑ... අපි සහයෝගෙන් කටයුතු කරමු.... ඔන්න ඔය පර්යේෂණේ නවත්තලා දාන්න... මම වාහනයක් එවන්නම්...... අමාත්‍යාංශෙට අළුතෙන් ජීප් දෙකතුනක් ආවා.... අළුත් ජීප් එකක යනකොට ඉතිං ඔබතුමාටත් ගතියක් තියෙනව නෙ...”
“ඇමතිතුමාගෙ කැමැත්තක්...”
෴෴෴෴෴
මහාචාර්යවරයා නිවසේ ආලින්දයේ හාන්සි පුටුවේ සිට සිවිලිමේ කොටු ගණන් කරන අතරතුර ඔහුගේ බිරිඳ,
“මොකද නාරද දාහට අරන් සීයට දීල වගේ ? මොකද ? අදත් ලෙඩක්ද ?”
“එහෙමමත් නැහැ ශීලා...නමුත්, මම හිතන්නෙ අපි මෙහාට ආපු එකෙන් කර ගත්තෙ ලොකු වැරැද්දක්... හිටපු විදියට ජපානෙට වෙලා හිටිය නං.. අඩුම ගානෙ හිතට සැනසීමෙන්වත් ජීවත් වෙනවා.”
“ඉතිං මහ ලොකුවට ඔයාමනෙ උඩ දාගෙන ආවෙ.... ඉගෙන ගත්ත රටට සේවය කරන්න ඕන කියලා.... විශ්‍රාම ගියාට පස්සෙ ලංකාවට ඇවිත් වැඩ කරනවා කියලා ඔයාම නෙ තීරණය කළේ.... මම ලොකු දුවගෙන් අහන්නද අපි ආයෙම එයා ගාවට එන්නද කියලා ? ඔයාට වැඩ හොයා ගන්න අමාරු මනුස්සයෙකුත් නෙවෙයි නෙ...”
“එපා ශීලා... තව ටිකක් බලමු.... මම කවුරු කිවුවත් මේක දිගටම කරගෙන යනවා... අපි දැන් අපට අයිති නැහැ.. අපි තව ටික කාලයයි ජීවත් වෙන්නෙ.. ඒ ටිකේ අපි මේ රටට යමක් කරන්න ඕන... මම ලෝකෙටම වැඩ කළත් මේ රටට යමක් කළේ නැහැ.... කවුරු මොනවා කිවුවත් මේ රට පිං බිමක්.... අපට පුළුවන් මේ රට හදන්න... මට හොඳටම විශ්වාසයි මේ පර්යේෂණයෙන් සෑහෙන දෙයක් රටට කරන්න පුළුවන්...”
“මොනවා කළත් කමක් නෑ... පරිස්සමින්... ඔයා වැඩ කරන්නෙ සෑහෙන සල්ලි පාවිච්චි වෙන තැනක... මේක පිටරට වගේ නෙවෙයි.. ඒ රටවල අඩුම ගානෙ නීතියවත් තියෙනවා පිහිටට. මේ රටේ සල්ලිවලට කරන්න බැරි දෙයක් නැහැ.... ඒ නිසා ඔයාගෙ වැඩ ගැන පරිස්සම් වෙන්න... මම අළුතෙන් ඔයාට මතක් කරලා දෙන්න ඕන නැහැනෙ බ්‍රසීලෙදි වුන දේ ?”
මහාචාර්ය නාරද වෛද්‍යසේකරට බ්‍රසීල ඛණිජ තෙල් පර්යේෂණාගාරයේ ප්‍රධාන විද්‍යාඥ තනතුර ලැබුණේ ඔහුගේ කීර්තිමත් පර්යේෂණ ඉතිහාසයට පින් සිදු වන්නටය. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් බලශක්ති කළමණාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් හෙතෙම ඉන් අනතුරුව වසර අටක්ම සේවය කළේ ඇමරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ බලශක්ති පර්යේෂණ අංශයේ ය. වසරින් වසර සේවයේ ඉහළට ගිය ඔහු වසර අටක් ඇතුලත මහාචාර්ය තනතුරට උසස් විය... ඔහුගේ පර්යේෂණ සඳහා බොහෝවිට මූල්‍යමය ප්‍රතිපාදන ලැබුණේ ටෙක්සාස් හි ශෙල් ගෑස් ආයතනයේ පර්යේෂණ අරමුදලිනි. .. එසේම ඒ අරමුදල් ලබා දීමේ එක් කොන්දේසියක් වූයේ ඒ මුදල්වලින් කෙරෙන ඔහුගේ සොයාගැනීම් වල පේටන්ට් අයිතිය ශෙල් ගෑස් සමාගම සතුවීමයි. මුලදී මුදල් හිඟකම නිසා එයට එකඟ වූවද, පසුව කීර්තිය සහ තනතුරු ඔහු කරා පැමිණෙන විට ශෙල් ගෑස් සමාගම හා තිබූ ගිවිසුම් අවලංගු කරන්නට ඔහු කටයුතු කළේය... එය විරසකයක ආරම්භය විය... හූස්ටන් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අරමුදල් සපයන්නා වන ශෙල් ගෑස් සමාගමේ බලපෑම මතම මහාචාර්ය නාරද වෛද්‍යසේකර හූස්ටන් වලින් පිටකිරීමට විශ්ව විද්‍යාල බලධාරීන්ට සිදු විය... එයට සුවිශාල වන්දියක් ලැබුණත්, ඒ සියල්ල සිය දරුවනට බෙදා දී ඔහු නැවතත් සිය පර්යේෂණ කටයුතු සඳහා බ්‍රසීලය තෝරා ගත්තේය.
ඒ සමය උක් වගාවෙන් සරුසාර වූ බ්‍රසීලයේ එවකට පැවති පාලනය ඛණිජතෙල් භාවිතය අවම කර උක් සාරයෙන් ලබා ගන්නා එතනෝල් භාවිතයෙන් රථවාහන ධාවනයට කටයුතු කළ කාළයයි. බ්‍රසීලයේ වූ ඛණිජතෙල් සමාගම් මේ පර්යේෂණ වලට දැඩි ලෙස අකුල් හෙලන්නට විය... සමහර අවස්ථාවලදී මැරයන් විසින් එල්ල කළ මරණීය තර්ජන හමුවේ බොහෝ පර්යේෂකයින් බ්‍රසීලය හැර දමා ජීවිතය බේරා ගන්නට රටින් පිට වූහ... කවදත් සිය රාජකාරිය දේවකාරිය ලෙසම සළකන මහාචාර්ය නාරද ජයසේකර ඒ කිසිදු තර්ජනයකින් නොසැලී සිය කාර්යය නිසි ලෙස කරගෙන ගියේ, රජයෙන් ලැබුණ සහයෝගය තමන් දැඩිව විශ්වාස කළ බැවිනි. ඒ අනුව ප්‍රථම වතාවට සියයට සියයක් එතනෝල් භාවිතයෙන් රථ ධාවනය කිරීම මගින් ලැබෙන ආර්ථික සහ බලශක්ති ප්‍රතිලාභය ඔහු ලෝකයට හඳුන්වා දුන්නේය... මේ නිසාම බොහෝ රටවලින් පැසසුම් ප්‍රශංසා සහ සම්මාන පිරිණැමුනද, ඔහු බලශක්ති සමාගම්වල ප්‍රධාන හතුරා බවට ද නිතරඟයෙන් පත්විය... අවසානයේ ඒ නිසාම ජීවිතය රැක ගැනීම සඳහා ඔහු කිසිවෙකුට නොදන්වා ජපානයට පැමිණියේ අප්‍රකට ජීවිතයක් ගත කිරීමේ අටියෙන් වුවත්, නගෝයා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයට බැඳුන පසු නැවතත් ජීවිතය වෙනස් වන්නට විය. එහි වූ ශ්‍රී ලාංකික උත්සවයකදී හමු වූ සිය පැරණි සිසුවෙකු මාර්ගයෙන් ලාංකික රජයට ඔහුගේ තොරතුරු දැනගන්නට ලැබිණ.. එවකට රට වටා ඛණිජතෙල් සම්පත් හමු වෙද්දී, ජනාධිපතිනිය විසින් ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඛණිජතෙල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කරන ලදී. ඛණිජතෙල් සංවර්ධන අමාත්‍යාංශය ඇය සතුව තබාගෙන නියෝජ්‍ය ඇමතිවරයෙක් පමණක් පත් කර එය පාලනයට කටයුතු කළද, නියෝජ්‍ය ඇමති සරත් ජයසේකර විසින් අමාත්‍යාංශය පුරා සිය බලපරාක්‍රමය විහිදවාගෙන සියල්ල පාලනය කරමින් සිටියේය. ජනාධිපතිනිය විසින් පත් කළද, මහාචාර්ය වෛද්‍යෙස්කරට කිසිදු බලයක් නොමැති වූයේ ඔහු නියෝජ්‍ය ඇමතිවරයාගේ අණසකට යටත්ව සිටිය යුතු නිසාය.
“මම දන්නවා ශීලා.... කොයි රටෙත් පොලිටීශියන්ස් ලා එකම වගේ.... තමන්ට වාසියක් වෙනව නම් අම්මා තාත්තා උනත් උගස් තියයි. මෙහෙයි කියලා වෙනසක් නෑ... මට නම් දැන් එපා වෙලා.. නමුත් මාත් එක්ක වැඩ කරන පොඩි එවුන් ටික රටේ හොඳම මොළ ටිකක්.. උන් ටිකවත් අඩුම ගානෙ හොඳ තැන් වලට යවලා මම මෙතැනින් අයින් වෙන්නයි ඉන්නෙ... ඊට ඉස්සර තව කරන්න වැඩ ටිකක් තියෙනවා... උන්ට සුදුසුකම් හදා ගන්න මේ පර්යේෂණය කොහේ හරි පබ්ලිෂ් කරන්න ඕන.. ඊට පස්සෙ අපි යමු..”
“ඔයා ඔය දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා.... දන්නවනේ මෙහේ මිනිස්සුන්ගෙ හැටි... අපට ලොකු දුව දැන් කී පාරක් කියලා තියෙනවද එහේ එන්න කියලා... ඔයාට මොනෑෂ් වලම මොකක් හරි හොයා ගන්න පුළුවන්....”
“ඉන්න ශීලා... අපි තව ටිකක් බලමු... අර මනුස්සයා එහෙම කෑ ගැහුවට මම ආයෙම කතා කළාම සමහරවිට මේකට කැමති වෙන්න පුළුවන්...”
“ඔයාගෙ මහා කරුණාව නිසා තමයි අපි අමාරුවෙ වැටෙන්නෙ... එක පාරක් යන්තම් නොමැරි බේරුණා... මේ පාර මොනවයින් මොනවා වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ.”
“දෙයියො මේ ලෝකෙ ඉන්නව නං මෙහෙම දේවල් වෙන්නෙ නෑ ශීලා.... මම කියලා තියෙනව නෙ මාත් එක්ක දෙයියො ගැන කතා කරන්න එපා කියලා... අපි බලමු... හැම දේටම වෙලාවක් එයි...”
“මම දන්නෙ නෑ නාරද..... කරන දෙයක් පරිස්සමින්....” අවසානයේ ශීලා වෛද්‍යසේකර මහත්මිය පුටුවෙන් නැගිට කාමරය කරා පා නැඟුවේ සිය සැමියාගේ මුරණ්ඩුභාවය ගැන කණස්සල්ලක් ද සමඟිනි.
෴෴෴෴෴
බ්‍රසීලයෙන් අතුරුදහන් වූ මහාචාර්ය නාරද ජයසේකර නතර වූයේ ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය ධූරයක වැඩ භාර ගැනීමෙනි. ෆොසිල ඉන්ධන මතම යැපුණ ජපාන ආර්ථිකයේ බලශක්ති සමතුලිතතාවයේ වෙනසක් කිරීමට ජපාන රජය කටයුතු කරමින් සිටි කාළයේ ජපානයට මහාචාර්ය නාරදගේ පැමිණීම දෙආකාරයකින් ආශිර්වාදයක් විය. බලශක්ති කළමණාකරණය පිළිබඳ ඔහුගේ හසළ දැනුමත්, ඉංජිනේරු වරයෙකු වශයෙන් බලශක්ති පරිවර්තනය පිළිබඳ වූ සුවිසල් ඥාණ සම්භාරයත් නිසා ඔහු ඉල්ලූ වේතනයටත් වැඩි වේතනයක් සහිතව නගෝයා විශ්ව විද්‍යාලයට මහාචාර්ය නාරද බඳවා ගත්තේ ඔහුගේ වටිනාකම දන්නා නිසාමය. එතැන් පටන් මහාචාර්යවරයා කටයුතු කළේ කසළ කළමණාකරණයෙන් පිටවන ජීව වායුව භාවිතයෙන් මෝටර් රථ ධාවනය කිරීමට ක්‍රමයක් සොයා ගැනීම උදෙසා කරන පර්යේෂණ සිදු කිරීම පිණිසය. මේ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට සහ අවශ්‍ය වූ මෝටර් රථ සහ ඉංජිනේරු ශිල්පීන් සහ උපකරණ සියල්ලම ලබා දීමට ටොයොටා සමාගම එකඟ වීමත් නිසා මහාචාර්ය වරයාට සම්පත්වලින් කිසිදු හිඟයක් නොවීය... බටහිර රටවල පර්යේෂණ සිදු කෙරෙන බලශක්ති කෝෂ (Fuel Cell) තාක්‍ෂණයට වඩා කෙළින්ම ජීව වායුව දහනය සඳහා වාහනවල එන්ජිම වෙනස් කිරීම සහ ක්‍රමාණුකූල ඉන්ධන නිකුතුව මඟින් බලශක්ති උත්පාදනය උපරිම කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ පර්යේෂණ කණ්ඩායම ඉක්මනින්ම ජීව වායුව දහනයෙන් වාහන ධාවනය පිළිබඳ තරඟයේ ඉදිරියෙන්ම සිටීමට සමත් විය. මේ නිසා මහාචාර්ය නාරද වෛද්‍යසේකරගේ නම බලශක්ති ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් අතර නැවතත් කරලියට පැමිණුනි. මේ නිසා විදේශයන්හි මහාචාර්ය නාරද වෛද්‍යසේකරගේ නම බොහෝ සේ ප්‍රචලිත විය. ජපානයේ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය ජපානයේ ශ්‍රී ලාංකික විද්වතුන්ගේ හමුවකදී මහාචාර්ය නාරද වෛද්‍යසේකරට තමන් යටතේ පවතින විදුලිබල, බලශක්ති සහ ඛණිජතෙල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට ඇරයුම් කළාය... වසර තිහක්ම උපන් රටින් පිටත ජීවත් වෙමින් ලෝකයටම සේවය කළත්, තම රටට තමන්ගෙන් සිදු විය යුතු යුතුකම් ඉටු කරනු පිණිස හෙතෙම සිය බිරිඳද කැටුව, ඇගේද අකැමැත්ත පිටම පැමිණ ලංකාවේ පදිංචි වී අදාල තනතුරෙහි සේවය කළේය.. ඔහුගේම ඉල්ලීම පරිදි මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු සහ සිසුන් පිරිසක් සමඟ ජීව වායුව දහන ඉන්ධනයක් ලෙස භාවිතා කරමින් ලංකාවේ මෝටර් රථ ධාවනයට ඇති හැකියාව පිළිබඳ සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල සිය ප්‍රධානියා වන සරත් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයාට පෙන්වා දීමට ඔහුගේ කාර්යාලයට ගිය අවස්ථාවේ තමන්ට සිදු වූ අකරතැබ්බය ගැන මහාචාර්යවරයා නැවත නැවතත් කල්පනා කළේය..
කමක් නෑ... මම මේක ජනාධිපතිනියට දන්වනවා.. මාව පත් කළේ එයානෙ... අඩුම ගානෙ එතකොට මේක ක්‍රියාවට නංවන්න වැඩ පිළිවෙලක් හරි යොදයි නෙ... හෙතෙම තමාටම කියා ගත්තේය....
෴෴෴෴෴
“සර් කියන්නෙ අපි මේ පර්යේෂණය කළා ඇති කියලද ?”
“ඔව් විපුල... දැන් අපි අපේ ඉලක්කයෙන් සෑහෙන ප්‍රතිශතයක් දිනාගෙන අවසන්... දැන් තියෙන්නේ මේ රථය දිගු කාලීන පාවිච්චියට ඔරොත්තු දෙනවද කියන දේ කරන්න විතරයි... ඒක ඉතින් අපි කිහිප දෙනෙකුට කරන්න පුළුවන්... ඒ නිසා ඔයා ළමයින්ට කියන්න අපි පර්යේෂණය මෙතැනින් නතර කරනවා කියලා...”
“ඒ වුනාට සර්, ඒ දරුවො සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියෙ මේක ප්‍රසිද්ධ කරන්න...”
“ඇත්ත විපුල... මට තේරෙනවා.. නමුත්, අපට දැන්ම මේක ජනමාධ්‍යයට ප්‍රසිද්ධ කරන්න බැහැ.. ඔයා දන්නවනේ අර වතුරෙන් දුවපු මෝටර් රථයට වෙච්ච දේ ? ප්ලාස්ටික් වලින් පැට්‍රෝල් හදපු මනුස්සයා කරපු දේ ? ඔය වගේ මේ පර්යේෂණයත් නිකම්ම පුස්සක් වෙනවා අපි හරියට අවසාන නිගමනය ගත්තෙ නැති වුනොත්... මේ නිසයි මම කියන්නෙ අපි මේ රථය මාස තුනක් දුවලා බලමු.. කොච්චර ඉන්ධන ඉතිරියක් අපට කර ගන්න පුළුවන් ද කියලා.”
“එහෙනම් සර් මම කියන්නම් දැනට අපි පර්යේෂණය අත්හිටෙව්වා කියලා.. මාස තුනක ටෙස්ට් රන් එකකින් පස්සෙ නැවත පටන් ගන්නවා කියලා.... එතකං කාටවත් කිසිම දෙයක් කියන්න එපා කියන්නම්... නැත්නම් ඉතිං අපේ දත්ත දාලා වෙන කවුරු හරි ලොකු කතාවක් කියාවි... සර් දන්නෙ නෑනෙ ලංකාවෙ කට්ටියගෙ හැටි...”
“මම නොදන්නවා නෙවෙයි විපුල.... මමත් මේ ගෙන්දගම් පොළවෙ ඉපදිලා හැදුන වැඩුන මිනිහෙක්... දැන් මිනිස්සු පිස්සුවෙන් වගේ වැඩ කළාට ඉස්සර නම් සාරධර්ම කියලා දෙයක් තිබුණා.... මම දන්නවා ඔය කට්ටියගෙ හැටි... එහෙනම් මම දැන් තියන්නම්... අර වාහනයෙ ධාවන කාළයයි දුරයි හරියට මැන ගන්න... එක ජීව වායු සිලින්ඩරයකින් කොච්චර කිලෝමීටර ගණනක් ගමන් කරන්න පුළුවන්ද කියන එක තමයි අපට වැඩියෙන්ම වැදගත්.. ඒ වගේම කඳු සහිත ප්‍රදේශයක ධාවනය වෙනකොට ඉන්ධන දහනයේදි සිදුවන වෙනසත් ගණනය කරන්න ඕන.. මෙන්න මේ පරාමිතීන් දෙක අනුව අපට කියන්න පුළුවන් මේ ක්‍රමය කොයි තරම් කාර්යක්‍ෂමද කියන එක... මාස තුනක ධාවනයෙන් පස්සෙ ඒ සියල්ල ගණනය කරලා අපි අවසාන නිගමනය දෙමු....”
“හොඳයි සර්... ඔබට සුභ දවසක්....”
“සුභ දවසක්....”
෴෴෴෴෴
මැතිණියනි, මහාචාර්ය නාරද වෛද්‍යසේකර ඇවිත් ඉන්නවා ඔබතුමිය හමුවෙන්න...
එවන්න....
ආ නාරද මහත්මයා.... කොහොමද වැඩ කටයුතු.... කාලෙකින් කතා කරන්නත් බැරි වුනා....
ජනාධිපතිතුමියනි, මෙන්න පර්යේෂණයෙ ප්‍රතිඵල... මේ පර්යේෂණයට අනුව අපට කසළ පූතිභවනයෙන් ඇතිකෙරෙන ජීව වායුව එකතු කිරීමෙන් සෑහෙන ප්‍රමාණයක ජීව වායුවක් එකතු කරගන්න පුළුවනි. මේ ජීව වායුව අපට කෙළින්ම දහනයට යොමු කරලා වාහන ධාවනයට යොදා ගන්න පුළුවනි. එසේත් නැතිනම් ඉන්ධන කෝෂයකට (Fuel Cell) යොමු කිරීම මගින් විදුලිය නිපදවලා මෝටර් රථවල මෝටර් කරකැවීමට යොදා ගැනීමට පුළුවනි.
නාරද මහත්මයාගෙ හයිඩ්‍රජන් පර්යේෂණයට මොකද වුනේ ? මුලින්ම හයිඩ්‍රජන් යොදාගෙන පර්යේෂණයක් කළා නේද ?
ඔව් මැතිණියනි. නමුත් හයිඩ්‍රජන් වල තිබෙන ප්‍රශ්නය ඉන්ධනයක් විදියට තවමත් භාවිතා කරන්න බැරි ප්‍රශ්න තිබෙනවා. ආරක්‍ෂාව වගේම හයිඩ්‍රජන් භාවිතයේ සහ ගබඩා කිරීමේ ගැටළු තිබෙනවා. ඒ වගේම එය කාර්යක්‍ෂමව භාවිතා කරන්නනම් තවත් ප්‍රායෝගික ගැටළු රාශියක් තිබෙනවා. නමුත් ජීව වායුව දැනටමත් භාවිතා වෙනවා. අපට කරන්න තිබෙන්නේ අපේ මෝටර් රථවලට සරිලන විදියට වෙනස් කරන්න පමණයි. මම හිතන්නෙ මගේ රාජකාරිය මෙතැනින් අවසාන කරන්නයි. මම ලබන සතියෙ නැවතත් මගේ දුව ඉන්න රටට යනවා. මම ඒ ගැන කියන්නත් එක්කයි ඔබතුමිය හමු වෙන්න ආවෙ.
ඒ මොකද හදිසියෙම ? ඒ තරම් ඉක්මනට මේ රට එපා වුනාද ?
අනේ නැහැ මැතිණියනි, මම සෑහෙන කළක් වැඩ කළානෙ.. දැන් පොඩි විවේකයක් අරගෙන අවුරුද්දක් දෙකක් දුවගෙ ලඟ ඉඳලා දරු මුණුපුරන්ගෙ වැඩකටයුතුත් බලලා එන්නයි කියලා හිතාන ඉන්නෙ...
නාරද මහත්මයාගෙ කැමැත්තට පිටුපාන්න මට බැහැ.. මම දන්නවා ඔබතුමා කොච්චර වටිනා කෙනෙක්ද කියලා.. මගෙන් කෙරෙන්න ඕන දෙයක් තියෙනවා නම් කියන්න.. මම අදම ඔබේ ලිපි ලේඛණ සකස් කරන්න කියලා දන්වන්නම්.. ලැබෙන්න අවශ්‍ය ගෙවීම් ඉක්මනින්ම ලැබෙන්න සලස්වන්නම්... මට ඔබතුමා වගේ අවංක මිනිස්සු ලැබෙනවා අඩුයි.. හැකිනම් ආයෙම අපට එකතු වෙන්න.. ඔබතුමාගෙ දැනුම අපට හරිම වැදගත්, මේ වාර්තාවෙ ඇති දේ මම ඉක්මනින්ම ක්‍රියාවට නංවන්න සලස්වන්නම්. අපේ රටට දියුණුවක්, ඉතිරියක් කරගන්න ලැබෙනවා නම් මේ වගේ පර්යේෂණ ක්‍රියාවට නංවන්න මම පසුබට වෙන්නෙ නෑ.. බොහොම ස්තුතියි මේ කෙටි කාළයෙ කරපු සේවයට... මම මේක සරත් ජයසේකරට දෙන්නම් ඉක්මනට ක්‍රියාවට නංවන්න.
හොඳයි, මම එහෙනම් ගිහින් එන්නම්........
෴෴෴෴෴
සර්, කවුද නාකි මනුස්සයෙක් කහ ඉර අයිනෙදි අපේ එස්කෝට් වෙහිකල් එකේ හැපුනා... නියෝජ්‍ය ඇමති සරත් ජයසේකරට සිය වාහන පේළියේ පසුපසින්ම පැමිණි වාහනයකින් ඇමතුමක් ලැබුණි...
හරි, තමුසෙලා එක්කෙනෙක් නැවතිලා බලනවා. මම දිගටම පාර්ලිමේන්තුවට යනවා. මොනවා හරි වෙලා නම් පොඩ්ඩක් බලනවා ශේප් කරගන්න.... වාහන යනකොට අයින් වෙන්න දන්නෙ නැති බූරු මිනිස්සු....
෴෴෴෴෴
ඊට මාස තුනකට පසු.............
කොළොන්නාව කුණු කන්ද අසළ සැකසුන මහා පරිමාණ ජීව වායු නිෂ්පාදනාගාරය - ජයලංකා ගෑස් - විවෘත වන අවස්ථාව. ප්‍රධාන අමුත්තා රටේ ජනාධිපතිනිය...
සරත්, ඇත්තෙන්ම මට හරිම සන්තෝසයි ඔයා මේ ප්‍රශ්නෙට අතගහපු එක.. නැතිනම් කවුරුවත් මේ කුණු ප්‍රශ්නය නිරාකරණය කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.. කොහොමද මේ වගේ අයිඩියා එකක් ආවෙ ?
ඇත්තෙන්ම මැතිණියනි, මේකෙ මූලික අදහස නම් නාරද මහත්මයාගෙ.. නමුත් ඒ මහත්මයා අකාළයෙ මිය ගියානෙ රට යන්න ඉස්සර. කාගෙදෝ වාහනයක් හප්පගෙන ගිහින් පාරෙ අයිනෙ ඉන්නකොට.. මතක නෙ ඔබතුමිය ශෝකප්‍රකාශයකුත් නිකුත් කළේ... මම ඒ අදහස ගැන ටිකක් හිතලා මේක වැඩිදියුණු කළා. කොහොමත් රජයේ ආයතනයක් කරලා මේක කරන්න ගියා නම් ටික කළක් යන නිසා තමයි මම ම ආයෝජනය කරලා මේක පටන් ගත්තෙ.. අපරාදෙ නිකං තියෙන කුණු.. ඒ වගේම ඉතිං දැන් කුණු ප්‍රශ්නෙත් ඉවරයි නෙ..
බොහොම හොඳයි... මටත් ඕන මෙන්න මේ වගේ හිතන අය තමයි.. අපි බලමු ඉස්සරහට, මටත් දැන් මේ ඇමතිකම් ගොඩක් ඔළුවෙ තියාගෙන ඉඳලා ඇතිවෙලා තියෙන්නෙ....
සැළකිය යුතුයි.
මෙම විද්‍යා ප්‍රබන්ධය සියයට සියයක් ස්වතන්ත්‍ර නිර්මාණයක් වන අතර මූලික පිටපතට සබැඳියක් නොමැතිව උපුටා ගැනීම සිදු නොකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි....
Saturday, May 4, 2013
හිරුණිකා පළිගනී..............................
දුමින්ද ආශ්චර්යයකින් සුව වී ගෙදර පැමිණි දිනයේ දත කට පූට්ටු වී සිටි හිරුණිකා සිය විශ්වාසවන්තම ආධාරකරුවන් පස්දෙනා නිවසට කැඳවූවාය..
දැන් ඉතිං අපට කරන්න දෙයක් නැද්ද ?
අනේ මන්දා මිස්... දැන් නම් ඉතිං මොනවා කරන්නද මන්දා.. හැම Option එකම වැහුන නේ...
නෑ නෑ... තව එක තුරුම්පුවක් තියෙනවා....
ඒ මොකද්ද ඒ ? පස් දෙනාම ඇරපු කටවල් වසා ගන්නට බැරිව බලා සිටියා...
මම එයාගෙන් පලි ගන්නවා පලි ගන්නවා මයි....
ඒ කොහොමද ?
මම එයාව............
හරි... මම දන්නවා... මිස් ගිහින් අර ගලේ දේවාලෙ කපුවට ස්වර්ණමහල් එකෙන් රත්තරං කිලෝ එකක් අරන් ගිහින් දීලා පලි ගස්සවනවා.... එකෙක් පැන්නා......
නෑ... එහෙම නෙවෙයි...
හරි... මම දන්නවා... මම හිතන්නෙ මිස් අර අංකොක්කාවල සෝභිතට කියලා ගුරුකමක් කරවනවා....
නෑ අනේ....
එහෙනම් අර අළුත්ම සෙන්සේශන් එක අවුරුදු දහ අටේ සක්විති හාමුදුරුවොන්ට කියලා ගේමක් දෙන්න නේද යන්නෙ ?
නෑ එහෙමත් නෙවෙයි.. මම...
හරි හරි... කළුකම්බිලි දේවාලෙ ගිහින් මිරිස් තලියක් අඹරලා හැඳිගෑවිලා යන්නම වැඩක් දෙන්නයි මිස් හදන්නෙ..
නෑ අනේ මට ඔයාලා කියන්න දෙන්නෙම නෑනෙ...
හරි මිස්... ඔයා හදන්නෙ ජිනීවා වල මානව හිමිකම් එක මාර්ගයෙන් මේ ගැන කටයුතු කරන්න නේද ?
නෑ අනේ...
එහෙනම් කෙළින්ම ගිහින් ඔයාම වෙඩි තියන්නද ?
නෑ.. එතකොට මාව අහු වෙනව නෙ
හරි... කාව හරි ලවා වෙඩි තියවන්න....
එහෙමත්ම නෙවෙයි...
වස දෙන්නද ?
ඒක අමාරු වැඩක්...
හරි... මාලිගාවත්තෙ පාතාලෙ ලවුවා බෝම්බයක් ගහනවා...
නෑ අනේ.... ඔයාල මට කියන්න දෙන්නෙම නැද්ද ?
එහෙනම් දෙයියනේ ඔයා කොහොමද මිස් එයාගෙන් පලි ගන්නෙ ?
මම.............. දුමින්දව බඳිනවා.........
Subscribe to:
Posts (Atom)




